වෙබ් ලිපිනය:

Saturday, July 19, 2025

මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳ කතාව


මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව පිළිගත් සම්මත කතාවක් තිබෙනවා. ඒ කතාව අඩු වැඩි වශයෙන් පහත සාරාංශගත කර තිබෙන ආකාරයට සමානයි. 

සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ ලෝහ කාසි ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල් ↓ ඉලෙක්ට්‍රොනික මුදල් ↓ ඩිජිටල් සහ ක්‍රිප්ටෝ මුදල්


සමහර විට මේ කතාව මීට වඩා පියවර ගණන අඩු, සරල එකක් වෙන්න පුළුවන්. 

සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල්

කතාවේ මූලික ආකෘතිය දෙවැන්න ලෙසත්, පළමුවැන්න ඒ තුළට අප්‍රධාන පියවර එකතු කර පුළුල් ලෙස හදපු ආකෘතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. 

මේ ආකෘති වල ලොකු වැරැද්දක් නැතත්, ආකෘතිය විස්තර කරද්දී සහ තේරුම් ගනිද්දී සමහර වෙලාවට මෙය ආකෘතියක් කියන එක අමතක වෙනවා. ඒ නිසා, මේ විකාශනය තේරුම් ගැනෙන්නේ වැරදි අවබෝධත් එක්ක විය හැකි අවස්ථා තිබෙනවා.

ආකෘතිය විස්තර කරද්දී, ගොඩක් වෙලාවට, එයට කාල වකවානු යෙදීමක් සිදු වෙනවා. ඒ කාල වකවානු ලෝකයේ හැම කලාපයකටම ගැලපෙන්නේ නැතත්, සාමාන්‍යයෙන් ඒ කරුණට අවධානය යෙදවෙන්නේ අඩුවෙන්. ඒ වැරැද්ද නිවැරදි කෙරෙන විස්තර කිරීමකදී වුවත්, මේ විකාශනය අනිවාර්ය රේඛීය ගලායාමක් විදිහට තේරුම් යනවා. නමුත් එය එසේම විය යුතු නැහැ. ඉදිරි පියවරක සිට පසු පියවරකට ආපසු ඇවිත් නැවත ඉදිරියට ගිය අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම මේ හැම පියවරක්ම අනිවාර්ය නැහැ. පියවර පැනලා ඉදිරියට යන්න බැරිකමක් නැහැ. ලෝකයේ බොහෝ කලාප වල එය එසේ සිදු වී තිබෙනවා.

මේ ආකෘතිය කාලානුක්‍රමනික (chronological) විකාශනයක් ලෙස තේරුම් නොගෙන සංකල්පීය විකාශනයක් ලෙස තේරුම් ගත්තොත් අවුල් අඩුයි. 

සෘජු භාණ්ඩ හුවමාරුව (Barter system)

ගනුදෙනු වල මූලිකම අවස්ථාව සෘජු භාණ්ඩ හුවමාරුව (Barter system) කියන එක බොහෝ දෙනෙකුට පහසුවෙන්ම එකඟ වෙන්න පුළුවන් කරුණක්. මේ අවස්ථාවේදී ගනුදෙනු සිදු වුනත්, මුදල් කියා දෙයක් නැහැ. සංකල්පීය වශයෙන් වගේම ප්‍රායෝගිකවත්, ගනුදෙනු කරන්න මුදල් කියා දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, මේ පියවර ආකෘතිගත කරන්න වෙන්නේ ඕනෑම මුදල් වර්ගයක් භාවිතා කරන අදියරකට පෙර අදියරක් ලෙසයි.

සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයේදී හුවමාරුවක් සිදු වෙන්නනම් එක් එක් පුද්ගලයා සතුව අනෙක් පුද්ගලයාට අවශ්‍ය දෙයක් තිබිය යුතුයි. උදාහරණයක් විදිහට මා සතුව වී තිබුණත් පොල් නැහැ. මට පොල් අවශ්‍යයි. තවත් අයෙකු සතුව පොල් තිබුණත් වී නැහැ. ඒ පුද්ගලයාට වී අවශ්‍යයි. ඔය වගේ තත්ත්වයක් යටතේදී හුවමාරුවක් සිදු වෙනවා. මේ විදිහට අවශ්‍යතා ද්විත්වයක සමපාත වීමක් සිදු නොවුවහොත් ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. 

භාණ්ඩ මුදල් (Commodity money)

මේ තමයි මුදල් කියන සංකල්පයේ මූලිකම අවස්ථාව. භාණ්ඩ මුදල් භාවිතය සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයේ සීමාවන් අතික්‍රමණය කරනවා. උදාහරණයක් ලෙස මා සතුව වී තිබුණත් පොල් නැහැ. මට පොල් අවශ්‍යයි. තවත් අයෙකු සතුව පොල් තිබෙනවා. පොල් හුවමාරු කරගන්නත් කැමතියි. නමුත් ඒ පුද්ගලයාට අවශ්‍ය වන්නේ බිත්තර මිසක් වී නෙමෙයි. ඒ නිසා, හුවමාරුවක් වෙන්නේ නැහැ. 

භාණ්ඩ මුදල් ක්‍රමයකදී මේ පුද්ගලයා විසින් මා සතු වී ලබාගෙන ඒ වෙනුවට පොල් ලබා දෙනවා. නමුත් එසේ කරන්නේ ඒ පුද්ගලයාට වී අවශ්‍ය නිසා නෙමෙයි. වෙනත් අයෙකු එක්ක වී වෙනුවට බිත්තර හුවමාරු කර ගැනීමේ අරමුණෙන්. එසේ කරන්නේ වී වෙනුවට බිත්තර හුවමාරු කර ගැනීමට කැමති කෙනෙක් සිටියි කියන විශ්වාසය මතයි. මේ ගණුදෙනුවේදී වී භාණ්ඩ මුදලක් සේ ක්‍රියා කරනවා. 

භාණ්ඩ මුදලක් විය හැක්කේ මොන වගේ භාණ්ඩයක්ද?

භාණ්ඩ මුදලක් විය හැක්කේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩයක්. හුවමාරු කර ගැනීමේ ශක්‍යතාවය වැඩි වන්නේ භාණ්ඩ මුදලක් වැඩි දෙනෙකුට අවශ්‍ය භාණ්ඩයක් වූ තරමටයි. ඊට අමතරව භාණ්ඩ මුදලක් නැවත හුවමාරුවක් සිදු කරන තුරු කල් තබා ගත හැකි ද්‍රව්‍යයක් විය යුතුයි. ඒ නිසා, බිත්තර වැනි දෙයක් මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. වී ගැලපෙනවා. 

මුදල් වලින් කාර්යයන් තුනක් ඉටුවන සේ සැලකෙනවා. ඒ කාර්යයන් තුන භාණ්ඩ මුදල් ඇසුරෙන් වුවත් පැහැදිලි කළ හැකියි.

1. ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස - තමන්ට වී අවශ්‍ය නැති කෙනෙක් තමන් සතු පොල් වෙනුවට වී හුවමාරු කර ගන්නවා. ඉන් පසුව වී වෙනුවට බිත්තර හුවමාරු කරගන්නවා. අවසාන වශයෙන් වෙලා තියෙන්නේ පොල් වෙනුවට බිත්තර ලබා ගැනීම. කෙළින්ම පොල් වෙනුවට බිත්තර හුවමාරු කර ගත හැකි වුනානම් වෙන්නෙත් මේ වැඩේමයි. නමුත් බිත්තර සතු වූ පුද්ගලයාට අවශ්‍ය වී තිබුණේ වී මිසක් පොල් නෙමෙයිනම්, ඒ වගේ ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. ගනුදෙනු කිරීමේ උපකරණයක් ලෙස වී යොදා ගත හැකි වූ නිසා මේ වැඩේ සිදු වුනා. 

2. වටිනාකම් සංසන්දනය කිරීමේ ඒකකයක් ලෙස - කිසියම් භාණ්ඩයක් භාණ්ඩ මුදලක් වූ විට එම භාණ්ඩය ඇසුරෙන් අනෙක් භාණ්ඩ වල වටිනාකම් මනින්න පුළුවන්. පොල් ගෙඩියක් වී සේරුවයි, බිත්තර පහක් වී සේරුවයි යනාදී වශයෙන්. ඔය විදිහේ සම්මතයක් හදාගත්තට පස්සේ පොල් වල සහ බිත්තර වල වටිනාකම් වී වලින් කියන්න පුළුවන්. ප්‍රායෝගිකව කොහොම වෙතත්, සෛද්ධාන්තිකව වී කියන දේ එකවරම ලෝකයෙන් අතුරුදහන් වුනත් ඔය සම්මතය දිගටම පවත්වා ගෙන යමින් වී වලින් වටිනාකම් මනින්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ සාමූහික එකඟතාවයක් නැත්නම් සම්මුතියක් පමණයි. නමුත්, මේ විදිහට වටිනාකම් සංසන්දනය කිරීමේ ඒකකයක් සම්මුතියක් බවට පත් වෙන්නනම් මුලින්ම අදාළ දෙය  ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් වෙන්න ඕනෑ. ඒ නිසා මුදලක පළමු කාර්යය දෙවන කාර්යයට වඩා ප්‍රමුඛයි. 

3. වටිනාකම් ගබඩා කළ හැකි දෙයක් ලෙස - වටිනාකම් ගබඩා කිරීම සඳහා මුදල් කියා දෙයක් තිබීම තබා ගනුදෙනු සිදුවීම හෝ අවශ්‍ය වන්නේ නැහැ. ඔය දෙකෙන් එකක්වත් නැතත් කෙනෙකුට වටිනාකම් ගබඩා කර ගන්න පුළුවන්. තමන්ටම අයිති වී තමන් විසින්ම ගබඩා කර ගනිද්දීත් වටිනාකම් එක්රැස් වීමක් වෙනවා. ඒ නිසා, මේ කාර්යය වෙනුවෙන් පමණක් මුදල් කියා දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. මුදලක කාර්යයන් තුනෙන් අඩුවෙන්ම වැදගත් කාර්යය මෙයයි. මුදල් නොවන දෙයක් වටිනාකම් ගබඩා කිරීම සඳහා යොදා ගත් විට එය වත්කමක් වෙනවා. ඒ නිසාම, මුදල් කියන්නේද වත්කමක් වුවත්, වත්කම් කියන්නේ මුදල් පමණක් නෙමෙයි.

භාණ්ඩ මුදල් ලෙස යම් කිසි මුදල් වර්ගයක් භාවිතයට එනවාද කියන එක තීරණය වෙන්නේ ඉහත එක් එක් අවශ්‍යතාවය කොයි තරම් වැදගත්ද කියන එකත්, කිසියම් භාණ්ඩයක් භාණ්ඩ මුදල් සේ භාවිතා කිරීමෙන් එම අවශතාවය කෙතෙක් දුරට ඉටු වේද කියන එකත් මතයි. 

සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයක ඉඳලා භාණ්ඩ මුදල් භාවිතයට ක්‍රමයෙන් පුරුදු වෙද්දී ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදලක් යොදා ගැනීමේ හැකියාව ගැන බොහෝ දෙනෙකුට ලොකු විශ්වාසයක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේදී යම් තරමකින් හෝ විශ්වාසය තැබිය හැක්කේ වී වැනි දෙයක් මතයි. ගනුදෙනුවක් සඳහා යොදා ගන්න බැරි වුනොත් පරිභෝජනය සඳහා හෝ ගන්න පුළුවන්. 

නමුත් ගනුදෙනු සංස්කෘතියක් ඇති වෙලා කිසියම් මුදලකින් ගනුදෙනු කිරීමේ හැකියාව ගැන සාමූහික විශ්වාසයක් ඇති වුනාට පස්සේ මේ වැඩේට පරිභෝජනය කළ හැකි දෙයක්ම අවශ්‍ය වන්නේ නැහැ. එවිට වැදගත් වන්නේ නරක් නොවී කල් තබා ගත හැකි වීම. ඒ කියන්නේ තුන් වන කාර්යය වන වටිනාකම් විනාශ නොවී ගබඩා කර තබා ගැනීම. 

කුකුළන්, එළුවන් වැනි පණ තිබෙන සතුන්ද භාණ්ඩ මුදල් ලෙස භාවිතා වී තිබෙනවා. මේ සතුන් බෝ වෙන නිසා ප්‍රතිලාභයකුත් තිබෙන වත්කමක් සේ සලකන්න පුළුවන්. නමුත් සත්තු හදිසියේ මැරෙන්න පුළුවන් නිසා අවදානමකුත් තිබෙනවා. 

ලෝකයේ විවිධ කලාප වල විවිධ කාල වකවානු වල විවිධ භාණ්ඩ භාණ්ඩ මුදල් සේ භාවිතා වී තිබෙනවා. ඒ අතර, රන්, රිදී, තඹ වැනි ලෝහ වර්ගද තිබෙනවා. මෙවැනි ලෝහ වර්ග භාණ්ඩ මුදල් සේ ජනප්‍රිය වීමට හේතු වී තිබෙන්නේ විනාශ නොවී කල් තබා ගැනීමේ හැකියාව නිසා විය යුතුයි. ඒ කියන්නේ මේ ලෝහ වර්ග විසින් වත්කම් ලෙස ඉටු කළ කාර්ය භාරය. 

මේ වර්ග අතරින්ද රන් බොහෝ විට භාවිතා වී තිබෙන්නේ මුදලකට වඩා වත්කමක් ලෙසයි. මුදල් ලෙස වැඩිපුරම භාවිතා වී තිබෙන්නේ රිදී. ඊට හේතුව කලාප කිහිපයක හැර, කිසිම විටෙක ගනුදෙනු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට රන් සැපයුමක් ලෝකයේ තිබී නොමැති වීමයි. ඊට සාපේක්ෂව ගනුදෙනු සඳහා ප්‍රමාණවත් රිදී සැපයුමක් ලෝකයේ බොහෝ ප්‍රදේශ වල තිබී ඇති බව පේනවා. 

රන් හෝ රිදී කියන්නේ වී හෝ කුකුළන් වැනි පරිභෝජනය සඳහා බොහෝ දෙනෙකුට අවශ්‍ය වන දේවල් නෙමෙයි. ඒ නිසා, භාණ්ඩ මුදල් ක්‍රමය තුළම වී හෝ කුකුළන් වෙනුවට රන් හෝ රිදී ආදේශ වෙද්දී පසුකාලීන අදියරකදී භාවිතයට ආ ෆියට් මුදල් වල මූලික ස්වරූපයක් මුදල් ක්‍රමයට එකතු වෙනවා. යමෙක් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් ෆියට් මුදල් භාර ගන්නේ ඒ ෆියට් මුදල් වෙනත් අයෙකුට දී තමන්ට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත හැකි වේයැයි යන විශ්වාසය නිසා. මුදල් ලෙස රන් හෝ රිදී භාර ගනිද්දී සිදු වෙන්නෙත් ඔය දෙයමයි. 

ඉහත හේතුව නිසා අවශ්‍යනම් කෙනෙකුට රන් හෝ රිදී කියා කියන්නේ භාණ්ඩ මුදල්ම නෙමෙයි කියලා කියන්නත් පුළුවන්. භෞතිකව වී හෝ කුකුළන් වගේම රන් හා රිදී කියන්නෙත් භාණ්ඩ. නමුත් සංකල්පීයව මේ දෙවර්ගයේ වෙනසක් තිබෙනවා. ඔය දෙවර්ගය එකට දමනවා වගේම අවශ්‍යනම් රන් හා රිදී, ඒවා මත පදනම් වූ නියෝජිත මුදල් සහ ෆියට් මුදල් ආදී වර්ග සියල්ලම එක ගොඩකට දමලා ඉරක් අඳින්නත් පුළුවන්. ඓතිහාසික විකාශනයන් විස්තර කරද්දී සිදු කරන යුග බෙදීම් හා අදියර බෙදීම් කියන්නේ ආකෘති ඇතුළේ තිබෙන වෛෂයික බෙදීම් මිසක් වාස්තවික බෙදීම් නෙමෙයි. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: