ටික දවසකට කලින් අපේ ප්‍රාන්තයේ ආදායම් දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි සඳහන්ව තිබුණේ එම දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් (message) එවා ඇති බව සහ එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගොස් අපගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළු කර අදාළ පණිවිඩය කියවිය යුතු බවයි.
ප්‍රාන්ත ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රාන්ත වැසියෙකුට පණිවිඩයක් එවන්නට තිබේනම් එය බදු ගෙවීම් හා අදාළ එකක් විය යුතුයි. බදු ගෙවීම් හා අදාළව සිදු කෙරෙන දැනුම් දීමක් හොඳ එකක් වෙන්න තිබෙන ඉඩකඩ අඩු නිසා මෙවැනි විද්‍යුත් ලිපියක් ලැබී අදාළ වෙබ් අඩවියේ ඇති ගිණුමට ඇතුළු වෙද්දී ඇති වන්නේ මේ කඩා පාත් වී තිබෙන්නේ මොන මරාලයක්ද වැනි හැඟීමක්.
නමුත් වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කරද්දී ලැබී තිබුණු පණිවුඩය බිය විය යුතු එකක් නෙමෙයි. එය පසුගිය (2024) වසර සඳහා ප්‍රාන්තයට ගෙවූ ආදායම් බදු මුදල් වැය කළ ආකාරය පිළිබඳව විස්තරාත්මක දැනුම් දීමක්. බදු මුදල් එකතු කර ගැනීමෙන් පසුව සිදු වන ක්‍රියාවලිය පිළිබඳව මුලින්ම විස්තර කිරීමක් සිදු කර තිබුණා. ඒ අනුව, එකතු කර ගන්නා බදු මුදල් සියල්ලම මුලින්ම ප්‍රාන්ත රජයේ පොදු අරමුදලකට බැර කෙරෙන අතර ඉන් පසුව ව්‍යවස්ථාදායකය විසින් විවිධ කටයුතු සඳහා එම මුදල් වෙන් කරනවා. ගෙවූ බදු මුදල එක් එක් කාර්යය සඳහා යොදවා ඇති ආකාරය බදු ගෙවන්නෙකුට දැනගත හැකියි.
අපේ ප්‍රාන්තයේ වැසියන් සියළු දෙනෙකු විසින්ම එකම අනුපාතයකින් ප්‍රාන්ත ආදායම් බදු ගෙවිය යුතුයි. බදු නිදහස් සීමාව එක් බදු ගෙවන්නෙකුට වසරකට ඩොලර් 1000ක් පමණයි. එම සීමාවෙන් ඉහළ ආදායම් වෙනුවෙන් සියලුම ආදායම් උපයන්නන් විසින් 3.05%ක ආදායම් බද්දක් ගෙවිය යුතුයි. මීට අමතරව තමන් ජීවත් වන කවුන්ටියට වෙනම ආදායම් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් ලෙස ප්‍රාන්ත අගනුවර පිහිටි කවුන්ටියට ගෙවිය යුතු ආදායම් බද්ද 2.02%ක්. මේ ආදායම් බදු ගෙවිය යුත්තේ සියලුම ඇමරිකානුවන් විසින් ගෙවිය යුතු ෆෙඩරල් ආදායම් බදු ගෙවීමෙන් අනතුරුවයි. ෆෙඩරල් ආදායම් බදු අනුපාතය ආදායම් මට්ටම අනුව වැඩි වන්නක්.
මෙහි අප අවධානය යොමු කරන්නේ ප්‍රාන්ත ආදායම් බදු වැය කර ඇති ආකාරය වෙතයි. වසරකට ඩොලර් 102,000ක් උපයන පවුලක දෙදෙනෙකු විසින් එකතුව බදු ගොනු කරන්නේයැයි සිතමු. මෙම අගය ප්‍රාන්තයේ පවුලක මධ්‍යන්‍ය ආදායමට වඩා අඩු, එහෙත් මධ්‍යස්ථ ආදායමට වඩා වැඩි අගයක්. ඒ අනුව, එක් අයෙකුට ඩොලර් 1000 බැගින් ඩොලර් 2000ක මුදලක් ප්‍රාන්ත ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඉතිරි ඩොලර් 100,000 වෙනුවෙන් ඩොලර් 3,050ක් බදු සේ ගෙවිය යුතුයි. එම මුදල වැය කෙරෙන්නේ පහත පරිදියි.
පොදු (පාසැල්) අධ්‍යාපනය - ඩොලර් $1441.74 (47.27%)
සමාජ සේවා - ඩොලර් $832.34 (27.29%)
උසස් අධ්‍යාපනය - ඩොලර් $306.22 (10.04%)
රාජ්‍ය පරිපාලන වියදම් - ඩොලර් $186.05 (6.10%)
අපරාධ යුක්තිය - ඩොලර් $175.99 (5.77%)
ආර්ථික සංවර්ධනය - ඩොලර් $64.36 (2.11%)
මහජන ඡන්දයෙන් පත් වන්නන්ගේ වියදම් - ඩොලර් $19.52 (0.64%)
පරිසරය හා ස්වභාවික සම්පත් - ඩොලර් $17.69 (0.58%)
යටිතල පහසුකම් - ඩොලර් $6.10 (0.20%)
මෙහි සඳහන්ව තිබෙන්නේ ප්‍රාන්තය විසින් අය කරන පුද්ගල ආදායම් බදු වැය කර ඇති ආකාරය මිස ප්‍රාන්ත රජයේ සමස්ත ආදායම වැය කර ඇති ආකාරය නෙමෙයි. පුද්ගල ආදායම් බදු ප්‍රාන්ත රජයේ සමස්ත ආදායමෙන් 37.4%ක් පමණයි. ප්‍රාන්ත රජයේ ආදායමෙන් 49.5%ක් පමණ ලැබෙන්නේ විකිණුම් හා භාවිත බදු (sales and use taxes) වලිනුයි. සමාගම් ආදායම් බදු වලින් ලැබෙන කොටස 6.1%ක්. ඉතිරිය ඉන්ධන, මත්පැන්, දුම්වැටි, සූදු, රක්ෂණ ආදිය මත පනවා ඇති විශේෂ බදු හා බලපත්‍ර ගාස්තු ආදියයි. එම ආදායම් වෙනත් විවිධ ආකාර වලින් වැය කෙරෙනවා. උදාහරණයක් ලෙස ඉන්ධන බදු වැය කෙරෙන්නේ මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිණිසයි.
වැදගත්ම කාරණය මෙයයි. අපේ ප්‍රාන්තයේ පුද්ගල ආදායම් බදු වලින් 57.31%ක්ම වැය කෙරෙන්නේ අධ්‍යාපනය සඳහායි.
පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පසුගිය (2025 ජූනි) මාසයේදී ඇමරිකාවේ ෆෙඩරල් රජය විශාල කාලයකට පසු අයවැය අතිරික්තයක් වාර්තා කළා. මෙය එක් මාසයකදී පමණක් සිදුව ඇති දෙයක්ද නැත්නම් දිගටම පැවතිය හැකි දෙයක්ද කියා කියන්නට තවමත් කල් වැඩි වුවත්, මේ ප්‍රතිඵලය ලැබුණේ බදු ආදායම් ඉහළ යාමේ සහ වියදම් අඩු වීමේ සංයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි. වියදම් අඩුවීමක් කියා කිවුවත් ඇත්තටම අඩු වී තිබුණේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපනය සඳහා වැය කළ වියදමයි. අනෙකුත් බොහෝ වියදම් ඉහළ ගොස් තිබුණා.
මේ අයුරින් ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමේ පදනම වූයේ ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය ප්‍රාන්ත රජයන්ට අයිති විෂයයක් වීමයි. අපේ ප්‍රාන්ත රජය වැනි ප්‍රාන්ත රජයයන් විසින්ද අධ්‍යාපන වියදම් කප්පාදු කරමින් සිටීමේ දේශපාලන නැඹුරුව වෙනම කරුණක්.
ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපන විෂය කෙරෙහි ෆෙඩරල් රජයට මැදිහත්වීම් කිරීමට බාධාවක් නැහැ. එහෙත් එය ෆෙඩරල් රජය විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් නෙමෙයි. ෆෙඩරල් රජයේ කාර්යයක් සේ ව්‍යවස්ථාවේ සඳහන් නොවන කාර්යයයන් සැලකෙන්නේ ප්‍රාන්ත රජයන්හි කාර්යයන් ලෙසයි. ඒ නිසා, ඇමරිකාවේ අධ්‍යාපනය නියාමනය කිරීම හා සුබසාධනය කිරීම බොහෝ දුරට සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමෙන් හෝ ඊටත් වඩා පහළ මට්ටමකින්.
සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඕනෑම සිසුවෙකුට පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකියි. ඒ සඳහා තමන්ට ලඟම පාසැලට යන්නට සිදු වෙනවා. පාසැල වෙනස් කරන්නනම් පදිංචියද වෙනස් කරන්නට සිදු වෙනවා.
අපේ ප්‍රාන්තයේ පාසැල් අධ්‍යාපනය සඳහා වැය වන මුදල් වලින් වැඩි කොටසක් (55%-60% පමණ) ලබා දෙන්නේ ප්‍රාන්ත රජය විසින්. කවුන්ටි බදු වල දායකත්වයද ඉතා විශාල (35%-40%) වන අතර ෆෙඩරල් රජයෙන් සිදු කෙරෙන වෙන් කිරීම් සාමාන්‍යයෙන් 5% ඉක්මවන්නේ නැහැ.
ප්‍රාන්තය සහ කවුන්ටිය විසින් අය කරන ආදායම් බදු, ආදායමට අනුපාතිකව, අඩු හා ඉහළ ආදායම්ලාභීන්ගෙන් එක සේ අය කරනවා කියන්නේ පොදු අධ්‍යාපනයේ බරපැන අදාළ ප්‍රදේශයේම සේවාලාභී පවුල් විසින් පොදුවේ බෙදා ගැනීමට කිට්ටු තත්ත්වයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබෙනවා. අඩු ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට ලැබෙන්නේ අඩු සම්පත් ප්‍රමාණයක්. ෆෙඩරල් රජයේ වැඩසටහන් මගින් සිදු වූ එක් ප්‍රධාන කාර්යයක් වූයේ සම්පත් අඩු පාසැල් වලට විවිධ ක්‍රම වලින් සම්පත් ලබා දීම මගින් මෙම විෂමතාවය අඩු කිරීමයි.
ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකි වුවත්, උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීමක් සිදු වන්නේ නැහැ. එහෙත්, ප්‍රාන්ත රජයයන් විසින් උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමක් කරනවා. ඒ නිසා, තමන්ගේ ප්‍රාන්තයේම පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන සිසුවෙකු විසින් ටියුෂන් ගාස්තු ලෙස ගෙවිය යුත්තේ සැලකිය යුතු අඩු මුදලක්.
උදාහරණයක් ලෙස අපේ ප්‍රාන්තයේ විශාලම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයේ වාර්ෂික සාමාන්‍ය ටියුෂන් ගාස්තුව ඩොලර් 42,300ක් පමණ වන නමුත් ප්‍රාන්තයේ සිසුවෙකු විසින් ගෙවිය යුත්තේ ඩොලර් 12,150කට ආසන්න මුදලක් පමණයි. ඉතිරි කොටස ප්‍රාන්ත රජය විසින් සුබසාධනය කරනවා.
මේ අයුරින් ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමෙහිද ආර්ථික අරමුණක් තිබෙනවා. ප්‍රාන්තයේ පවුලක දරුවෙකු ප්‍රාන්තයේම පිහිටි සරසවියකින් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව ප්‍රාන්තය තුළම රැඳී සිට රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. එහිදී උසස් අධ්‍යාපනයේ උදවුවෙන් උපයන වැඩි ආදායම් වලින් ප්‍රතිශතයක් පුද්ගල ආදායම් බදු බවට පත් වී ප්‍රාන්ත රජයේ අනාගත ආදායම් බවට පත් වෙනවා. මෙය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.