වෙබ් ලිපිනය:

Monday, July 7, 2025

නිල විදේශ සංචිත - 2025 ජූනි


ජූනි මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,080 දක්වා පහත වැටී තිබෙනවා. මේ මෙසේ එක දිගට නිල සංචිත පහත වැටෙන තෙවන මාසයයි. කෙසේ වුවද, මෙම සෑම මාසයකදීම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගෙන ඇති ආකාරයද නිරීක්ෂණය කළ හැකියි. 

පසුගිය ජූනි මාසය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 112.2ක විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන ඇති අතර ඊට පෙර මැයි මාසයේදීද ඩොලර් මිලියන 256.8ක විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙනවා. ඒ අනුව, පසුගිය මාස දෙක ඇතුළත මහ බැංකුව විසින් මිල දී ගෙන තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 269ක්. එහෙත් එම මාස දෙක ඇතුළත නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 247කින් පහත වැටී තිබෙනවා. පසුගිය ජූනි මාසයේ පහත වැටීම ඩොලර් මිලියන 206ක්.

මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටියදීද සංචිත පහත වැටෙමින් තිබීමෙන් පෙනෙන්නේ මිල දී ගන්නා මුදලට වඩා වැඩි මුදලක් ණය ආපසු ගෙවීම් වෙනුවෙන් වැය කෙරෙන බවයි. මෙම රටාව වසරේ ඉදිරි මාස හය තුළද නොවෙනස්ව පැවතිය හැකියි.

නිල විදේශ වත්කම් ඇමරිකන් ඩොලර් වලින් ප්‍රකාශයට පත් කළද මෙසේ ඉදිරිපත් කරන්නේ විවිධ වර්ග වල විදේශ වත්කම් වල ඩොලර් වටිනාකමයි. ජූනි මාසය අවසානයේදී ඩොලර් මිලියන 6,080ක් වූ විදේශ වත්කම් වලින් වැඩි කොටසක්, එනම් ඩොලර් මිලියන 6,023ක්, ඩොලර් ඇතුළු විවිධ විදේශ ව්‍යවහාර මුදල් වන අතර ඩොලර් මිලියන 50ක ප්‍රමාණයක් රත්තරන්. ඩොලර් මිලියන 6ක් මූල්‍ය අරමුදලේ ඉතිරිව ඇති සංචිත සහ SDR වත්කම්. 

කෙසේ වුවද, මම සංචිත වලට ඇතුළත්ව නැතත්, මේ වන විට මූල්‍ය අරමුදලේ පස් වන වාරිකය ලැබී තිබෙනවා. එම මුදල SDR මිලියන 254ක් වන අතර මේ වන විට පවතින විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 350ක පමණ මුදලක්. මෙම අරමුදල් වල උදවුවෙන් ජූලි මාසය තුළ සංචිත නැවත ඉහළ යාමට ඉඩ තිබෙනවා. දැනට පවතින ප්‍රවණතා අනුව මෙම මුදල් ඩොලර් නොකර SDR වශයෙන්ම තබා ගැනීම වඩා වාසිදායක වන්නට පුළුවන්. 

මෙම වසර අවසාන වන විට ඩොලර් මිලියන 7,255ක සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගත යුතුව ඇති අතර චීනයෙන් ලබා ගත් යුවාන් බිලියන 10ක ණය මුදලද ආපසු ගෙවිය යුතුයි. ඒ අනුව, මූල්‍ය අරමුදලේ වාරිකය ලැබීමෙන් පසුවද, මාස හයක කාලයක් ඇතුළත තවත් ඩොලර් බිලියන 2.3ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් එකතු කර ගැනීමට සිදු වෙනවා. මෙය තරමක් අභියෝගාත්මක කාර්යයක් වන බැවින් වසරේ දෙවන අර්ධය තුළ විණිමය අනුපාතය මත යම් පීඩනයක් ඇති වීමට ඉඩ තිබෙනවා. 

ඩොලර් මිලියන 7,255ක් යනු මහ බැංකුව විසින් පවත්වා ගත යුතු අවම සංචිත ප්‍රමාණයෙන් 60%ක ප්‍රමාණයක් පමණයි. මෙම ප්‍රමාණය 100% මට්ටමට ගැනීම ඉලක්ක කර තිබෙන්නේ 2027 වසර අවසානයේදීයි. ඒ සඳහා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 12,974 දක්වා ඉහළ යා යුතුයි. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: