සාමාන්‍ය ඇමරිකානුවෙකු විසින් තමන්ගේ මාසික වියදමෙන් 40%ක් පමණ වැය කරන්නේ නිවාස වියදම් වෙනුවෙන් බව කලින් සටහනෙන් කිවුවා. මෙය නිවසක් කුලියට ගැනීමේ වියදම වෙන්න පුළුවන්. එසේ නැත්නම් තමන්ගේම නිවසක් මිල දී ගෙන එහි ජීවත්වීම වෙනුවෙන් දරන වියදම් වෙන්න පුළුවන්. මේ වියදමට විදුලි, ජල, ගෑස්, මළ අපහරණ, කසල අපහරණ ආදී වියදම්ද ඇතුළත්. ඊට අමතරව හෝටල් වැනි තාවකාලික නවාතැන්පොලවල් වෙනුවෙන් ගෙවන මුදල්ද ඇතුළත්.
ඇමරිකානු දරුවෙක් සාමාන්‍යයෙන් පාසැල් ගිහින් ඉවර වුනාට පස්සේ, ඒ කියන්නේ වයස අවුරුදු 18 පැන්නට පස්සේ ගෙදරින් යනවා. පාසැල් අවසන් කරන අයගෙන් 75%ක් පමණම අනෙක් අතට සරසවියකට යනවනේ. ඒ නිසා, පාසැල් වයස පසු කරන ගොඩක් අයගේ පළමු ස්වාධීන නවාතැන වන්නේ සරසවිය තුළ හෝ අවට තැනක්. මේක ලංකාවේ සරසවියකට යාමට සමානයි. ප්‍රධානම වෙනස ලංකාවේ වගේ පාසැල් අවසන් කිරීම හා සරසවි යාම අතර කාල පරතරයක් නැති කම.
ඔය විදිහට පාසැල් අවසන් කරලා සරසවියකට යන දරුවන් ප්‍රායෝගිකව නැවත දෙමවුපියන්ගේ නිවසට පදිංචියට එන්නේ නැහැ. සරසවි නොයන කෙනෙක් වුනත් පාසැල් අවසන් කර මොකක් හෝ රැකියාවක් හොයා ගත්තට පස්සේ ගෙදරින් යන එක සාමාන්‍ය තත්ත්වයක්.
ජීවිතය පටන් ගන්න තරුණයෙක් හෝ තරුණියක් මුලින්ම කරන්නේ මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක. එක්කෝ තනියම. නැත්නම් ලිංගික සහකරුවෙකු හෝ සහකාරියක එක්ක හවුලේ. සමහර වෙලාවට වෙන යාළුවෙක් හෝ කාමර සගයෙක් එක්ක හවුලේ. ජීවිතය පටන් ගන්න අලුත කෙනෙක් ගෙයක් සල්ලි වලටම ගන්න හිතන එක අඩුයි. හැබැයි සරසවි කාලයේදීම ගෙවල් සල්ලි වලට ගන්න අයත් නැත්තේම නැහැ.
මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක වුනත් ගිවිසුමක් අත්සන් කරලා නිශ්චිත කාලයකට බැඳීමක් ඇති කරගෙන කරන්න වෙන දෙයක්. ගොඩක් වෙලාවට අඩු වශයෙන් අවුරුද්දකට. අතර මගදී ගේ දාලා යන්න වුනත් ගිවිසුම ඉවර වන තුරු කුලිය ගෙවන්න වෙනවා.
මුල් කාලයේදී නිතර රැකියා මාරු කරන එකත්, රැකියා එක්ක ජීවත් වන ප්‍රදේශය මාරු කරන එකත් සාමාන්‍ය දෙයක්. ඇමරිකාව වගේ රටක ප්‍රදේශය මාරු කරනවා කියන්නේ ලංකාවට සාපේක්ෂවනම් වෙනම රටක පදිංචියට යනවා වගේ වැඩක්. සිංගප්පූරුව වගේ අතිශයින්ම කුඩා රටකදී මේ වගේ ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. රටේ කොයි කොණේ රැකියාව කරන්න වුනත් ඉන්න තැන ඉඳලා යන එක අමාරු වැඩක් නෙමෙයි.
රැකියාව, එයින් ලැබෙන වැටුප හෝ ඉන්න ප්‍රදේශය ගැන එතරම් සතුටු නැති කෙනෙක් ගෙයක් ගන්න හදිස්සි වෙන්නේ නැහැ. මහල් නිවාස ඒකකයක කුලියට ඉන්න එක ඊට වඩා නම්‍යශීලී තේරීමක්. ඒ වගේම බොහෝ කරුණු අතින් ලේසියි, පහසුයි.
කලින් සටහනේ කිවුවා වගේ ගෙයක් සල්ලි වලට ගන්න එක කුලියට ඉන්නවට වඩා වාසියි. නමුත්, වාසිය තියෙන්නේ දිගුකාලීනව. ගෙයක් ගනිද්දී එකතු වන යම් යම් ස්ථාවර වියදම් හා අනෙකුත් හේතු නිසා ගෙයක් අරගෙන අනෙක් අතට විකුණලා ලාබ ගන්න බැහැ.
මේකට එක හේතුවක් කලින් සටහනේ ලියපු 6%ක ඒජන්ත ගාස්තුව. මේ හේතුව නිසාම, ගෙයක් අරගෙන අනෙක් අතට විකිණුවොත් අනිවාර්යයෙන්ම 6%ක් පාඩු වෙනවා. ඒ නිසා, විකුණලා ලාබයක් ගන්නනම් මිල 6%කින්වත් වැඩි වන තුරු බලා ඉන්න වෙනවා. ඊට අමතරව නිවාස ණයක් ගැනීමේදී බැංකුව එකතු කරන ගාස්තුත් තියෙනවා. මේ සියල්ල එක්ක පාඩුවක් නැතුව ගේ විකුණගන්න පුළුවන් වෙන්නේ අවුරුදු තුන හතරක්වත් ගෙයි හිටියොත් විතරයි. එච්චර කාලයක් එක තැනක ඉන්න එක ගැන සහතිකයන් නැත්නම් කුලියට ඉන්න එක වඩා වාසිදායකයි.
ඉන්න තැන ඉඩ මදි වගේනම් වඩා ලොකු මහල් නිවාස ඒකකයකට යන්න පුළුවන්. තනි කාමරේ ඒකකයක ඉඳලා කාමර දෙකක ඒකකයකට. කාමර දෙකක ඒකකයක ඉඳලා තුනක එකකට. ඔහොම යද්දී කුලියත් වැඩි වෙනවා. ඔය අතරවාරයේ විවාහ වී හෝ නොවී දරුවන් හදන එක වගේ දේවලුත් වෙන්න පුළුවන්. දරුවෝ ඉපදෙද්දී, ඒ දරුවෝ ලොකු වෙද්දී වැඩියෙන් ඉඩකඩ තියෙන ගෙයක් අවශ්‍ය වෙනවා.
ඔහොම යද්දී තමන්ටම කියලා ගෙයක් සල්ලි වලට ගන්න හිතෙන වෙලාවක් එනවා. ගොඩක් අය ගෙවල් ගන්නේ අවශ්‍යතාවය මත පදනම්ව. සමහර වෙලාවට ආදායම මත පදනම්ව. 28% රීතිය කියා එකක් තිබෙනවා. ඒ කියන්නේ නිවාස ණය වාරිකය ලෙස ගෙවිය යුත්තේ තමන්ගේ ආදායමෙන් 28%කට නොවැඩි කොටසක් කියලා.
ආදායමෙන් වඩා ලොකු කොටසක් ණය වාරිකයට කැපෙන විදිහට ණයක් ගන්න අමාරුයි. ඒ නිසා, මිල දී ගන්න පුළුවන් වෙන්නේ නිවසක උපරිම වටිනාකම යම් මට්ටමකින් සීමා වෙනවා. අනෙක් අතට ආදායම වැඩිනම් බැංකු විසින් ලොකු ණයක් අරගෙන ලොකු ගෙයක් ගන්න පොළඹවනවා. බැංකු වලටත් වඩා නිවාස ඒජන්තයින් විසින්. මොකද ගන්න ගෙයි වටිනාකම වැඩි වන තරමට ඒ අයට ලැබෙන කොමිස් මුදලත් වැඩි වෙනවනේ. ඒ වගේම, ගෙවල් වල මිල කාලයත් එක්ක වැඩි වෙන නිසා, ගෙවාගෙන යන්න පුළුවන්නම් ලොකු ගෙයක් ගන්න එකේ පාඩුවක් නැහැ. මේ හැම දෙයකින්ම වෙන්නේ ගන්න ගෙයි වටිනාකම ලැබෙන ආදායම මත තීරණය වීම.
ගන්න පුළුවන් ගෙයි වටිනාකම ආදායම මත තීරණය වුනාට පස්සේ තේරීම තියෙන්නේ ගෙයි ප්‍රමාණය හා ප්‍රදේශය අතර. සමහර පැති විවිධ හේතු නිසා වඩා "හොඳ" ලෙස සැලකිය හැකි පැති. ඒ වගේ පැති වල ගෙවල් සාපේක්ෂව ගණන්. ගන්න පුළුවන් මිලට වඩා ලොකු ගෙයක් ගන්නනම් අඩුවෙන් ඉල්ලුම තිබෙන පැත්තක් තෝරා ගන්න වෙනවා. එකම නගරයක වුනත් මේ වගේ වෙනස් පැති තිබෙනවා.
දරුවන් සිටින කෙනෙකුට කාමර ගණන වැඩි, සාපේක්ෂව ලොකු ගෙයක් අවශ්‍ය වෙනවා. දරුවන් ගණන වැඩි වන තරමට කාමර අවශ්‍යතාවය වැඩියි. කාමර ගණන වැඩි වෙද්දී වැය කළ යුතු මුදලත් ඉහළ යනවා. අනෙක් අතට ප්‍රදේශය ජීවත්වීමට වඩා හොඳ වන තරමට මිල ඉහළ යනවා.
ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතිය තුළ හැම දරුවෙකුටම නිශ්චිත පාසැලක් හිමි වෙනවා. පාසැල තීරණය වෙන්නේ ඉන්න තැන අනුව. මේ හේතුව නිසා, හොඳ පාසැල් අවට ගෙවල් වලට ඉල්ලුම වැඩියි. ඒ නිසාම මිලත් වැඩියි.
අනෙක් අතට, මිල වැඩි පැත්තක ගෙවල් මිල දී ගත හැක්කේ ආදායම වැඩි අයට. ආදායම වැඩි වෙද්දී යමෙක් තමන්ගේ දරුවන්ගේ අධ්‍යපනය වෙනුවෙන් කරන ආයෝජනද වැඩි වෙනවා. මේ ආයෝජන මූල්‍ය හෝ මූල්‍ය නොවන ආයෝජන විය හැකියි. දරුවන් වෙනුවෙන් දෙමවුපියන් වැඩියෙන් ආයෝජන කරද්දී දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යනවා. ඒ වගේ දරුවන් වැඩි දෙනෙක් ඉන්න පැත්තක පාසැලක් නිකම්ම හොඳ පාසැලක් වෙනවා.
ඇමරිකාවේ අධ්‍යාපනය ප්‍රාදේශීය කටයුත්තක්. පොදු පාසැල් අධ්‍යාපන වියදම් වලින් විශාල කොටසක් දරන්නේ අදාළ ප්‍රදේශයේම ජීවත් වන අයයි. පාසැල් බොහෝ දුරට නඩත්තු වෙන්නේ වරිපනම් බදු වලින්. නිවාස වල මිල ඉහළ යද්දී එකතු වන වරිපනම් බදු ආදායම්ද ඉහළ යනවා. ඊට අනුරූපව පාසැල් පද්ධතිය නඩත්තු කිරීම සඳහා ලැබෙන අරමුදල් ඉහළ ගිහින් වැඩි වැටුප් ගෙවා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගන්න පාසැල් වලට පුළුවන් වෙනවා. අනෙක් පහසුකම් වෙනුවෙන්ද වැඩි මුදලක් වැය කළ හැකි වෙනවා. ඒ හේතුව නිසාත් ප්‍රදේශයේ පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ යනවා. ඔය විදිහට පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ යද්දී වැඩියෙන් ආදායම් ලබන පවුල් එම ප්‍රදේශයට තවත් වැඩියෙන් ආකර්ෂණය වෙනවා.
ඇමරිකාවේ වෙඩි තැබීම් ගැන ගොඩක් වෙලාවට මාධ්‍ය වල කතා වෙනවා. යම් ප්‍රදේශයක මේ වගේ සිද්ධි නිතර වෙද්දී ඒ ප්‍රදේශයේ ගෙවල් වලට ඉල්ලුම අඩු වෙලා මිල පහළ යනවා. ඒ වගේ පැත්තක සාපේක්ෂව ලොකු ගෙයක් වුනත් අඩු මිලට ගන්න පුළුවන්. ගෙවල් වල මිල අඩු වෙද්දී වරිපනම් බදු ආදායම් අඩු වෙලා අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද අඩු වෙන නිසා ප්‍රදේශයට එන්න තිබෙන කැමැත්ත තවත් අඩු වෙනවා. මේ වගේ පැත්තකට පදිංචියට එන්නේ අවදානම් ගැන ලොකු තැකීමක් නොකරන අය. ඒ වගේ අය තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හෝ හොඳ සෞඛ්‍ය පුරුදු ආදිය ගැන වුනත් දක්වන්නේ අඩු සැලකිල්ලක්. මේ නිසා, මේ වගේ පැත්තක අධ්‍යාපන මට්ටම, සෞඛ්‍ය තත්ත්වය, සුරක්ෂිතතාවය වගේ කොයි දෙයක් දිහා බැලුවත් සාපේක්ෂව හොඳ මට්ටමක නැහැ.
වායු දූෂණය වගේ දෙයක් ගත්තත්, එහි මිල නිවාස වල මිලෙන් පිළිබිඹු වෙනවා. පිරිසිදු වාතය තිබෙන පැති වල ගෙවල් ගණන්. වාතයේ ගුණාත්මක භාවය අඩු වෙද්දී ගෙවල් වල මිලත් අඩු වෙනවා.
සක්‍රිය නිවාස වෙළඳපොළක් තිබෙන නිසා වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම ඔය බෙදීම කරනවා. හොඳ පැත්තක ඉන්නනම්, වැඩි මිලක් ගෙවන්න වෙනවා. නමුත් අඩු මිලක් ගෙවලා ඒ තරම් හොඳ නැති පැත්තක ඒ තරම්ම ලොකු ගෙයක ඉන්න පුළුවන්. ගේ හදන්න යන පිරිවැය පමණක් මත මිල තීරණය වෙනවානම් මේ තේරීම ලැබෙන්නේ නැහැ. නිවාස ඉල්ලුම මත තීරණය වන වෙළඳපොළ මිල ඇතුළේ සෘජුව ගණනය කළ හැකි ගේ හදන්න යන භාණ්ඩ හා සේවා වල වියදම් වගේම, වෙළඳපොළේ ඒ විදිහට නොවිකිණෙන පිරිසිදු වාතය, සුරක්ෂිත පරිසරය, හොඳ අසල්වැසියන් වගේ දේවල් වෙනුවෙන් ගෙවිය යුතු මිලත් වක්‍ර ලෙස තීරණය වෙනවා. ඒ මිලත් නිවසේ මිලට එකතු වෙනවා.
ඇමරිකානුවෙක් ගෙයක් මිල දී ගන්නේ ජීවිත කාලයම ඒ ගෙදර ඉන්න නෙමෙයි. වඩා වැඩි වැටුපක් වෙන ප්‍රදේශයකින් ලැබුණු ගමන් බොහෝ දෙනෙක් ගේ විකුණලා අලුත් රැකියා ස්ථානය තියෙන පැත්තට යනවා. දරුවන් ගණන වැඩි වෙද්දී ගේ විකුණලා ලොකු ගෙයක් ගන්නවා. රැකියාව වෙනස් නොකළත්, රැකියාවෙන් ලැබෙන ආදායම ඉහළ යද්දී ඉන්න ගේ විකුණලා වඩා ලොකු ගෙයක් ගන්නවා. නැත්නම් වඩා අලුත් ගෙයක් ගන්නවා. අවසාන වශයෙන් තමන්ගේ මාසික ආදායම ඉහළ යද්දී ඊට අනුරූපව නිවාස වෙනුවෙන් කරන වියදමද ඉහළ යනවා.
සාමාන්‍යයෙන් රැකියා වෙළඳපොළට එන තරුණයෙක් හෝ තරුණියක් මැදි වියට එද්දී ආදායම ඉහළ යනවා. මැදි විය පහු කරද්දී ආදායම තවත් ඉහළ යනවා. ඒ අතර දරුවන් ඉපදී පවුල ලොකු වෙනවා. දරුවන්ද ටිකෙන් ටික ලොකු වී ඒ අයට ගෙදර වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා. ඔය දේවල් වෙද්දී කිහිප වරක් ගෙවල් මාරු වෙන්න පුළුවන්. පළමු ගෙය ගනිද්දී මුළු මුදලම වගේ නිවාස ණයෙන් පියවා ගන්න වුනත්, දෙවෙනි තුන් වෙනි ගෙවල් ගනිද්දී පළමු ගෙයට යට කළ මුදල ඉතිරි වී තිබෙන නිසා මුළු මුදලම ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඇමරිකානුවෙකු හැම විටම ඔය විදිහට පොඩි ගෙයකින් ලොකු ගෙයකට යන්නේ නැහැ. එහි අනෙක් පැත්ත වෙන වෙලාවල්ද තිබෙනවා. ඕනෑම වෙලාවක ඇමරිකානුවෙකුගේ රස්සාව නැති වෙන්න පුළුවන්. සේවකයින්ට රැකියාව දමා යන්න තිබෙන අයිතියම අනෙක් පැත්තෙන් සමාගමටත් තියෙනවා. රස්සාව නැති වුනාට පස්සේ ජීවත් වෙන්න නැවත මොකක් හෝ රස්සාවක් හොයා ගන්න වෙනවා. ඒ හොයා ගන්න රස්සාවෙන් කලින් වැටුප නොලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන වැටුපට කලින් දැරූ නිවාස වියදම දරාගන්න බැරි වෙන්න පුළුවන්.
නිවාස වියදම දරාගන්න අමාරු වෙද්දී ඇමරිකානුවෙක් විසින් කරන්නේ ඉන්න ලොකු ගෙය විකුණලා පොඩි ගෙයකට යන එක. ඇමරිකානුවෙකුට ගෙයක් කියන්නේ තාවකාලිකව ජීවත් වන නවාතැනක් මිස ලොකු චිත්තවේගීය බැඳීමක් තිබෙන තැනක් නොවන නිසා මෙහි අවුලක් නැහැ. ඒ වගේම, මෙහි ලොකු සමාජයීය ප්‍රශ්නයකුත් නැහැ.
ඇමරිකාවේ දික්කසාද අනුපාතය ටිකක් වැඩියි. දික්කසාද වුනාට පස්සේ දේපොළ බෙදී යන්නේ ලංකාවේ ක්‍රමයට නෙමෙයි. හැම දෙයක්ම දෙන්නා අතර සමසමව බෙදී යනවා. හම්බ කළේ කවුද, වියදම් කළේ කවුද වගේ දේවල් අදාළ නැහැ. ගොඩක් වෙලාවක විවාහක පවුලකට තිබෙන ලොකුම වත්කම ගෙවාගෙන ගිය නිවාස ණය වාරික ටික. ගෙයි වටිනාකමින් හිඟ ණය මුදල අඩු කළාට පස්සේ කොටස දෙකට බෙදූ විට එන එක් අයෙකුගේ කොටස සාමාන්‍යයෙන් ටිකක් ලොකු මුදලක්. එක් කෙනෙක් ගේ තියා ගන්නනම් ඒ මුදල අනෙක් තැනැත්තාට දෙන්න වෙනවා. නමුත්, ඒ වගේ මුදලක් අතින් දෙන එක අමාරු වැඩක් නිසා බොහෝ විට කරන්න වෙන්නේ ගේ විකුණලා, බැංකු ණය පියවලා, ඉතිරි සල්ලි ටික බෙදා ගන්න එකයි. මේකත් ගෙවල් විකිණෙන්න හේතුවක්.
දරුවන් ලොකු වෙලා ගෙදරින් ගියාට පස්සේ තව දුරටත් ලොකු ගෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය කාලයේදී ගොඩක් ඇමරිකානුවෝ, ආදායම තිබුණත්, ඉන්න ගේ විකුණලා පොඩි ගෙයකට යනවා.
ඇමරිකානු දෙමවුපියන් විසිනුත් විශ්‍රාම ගත්තට පස්සේ ලංකාවේ වගේම දරුවන්ගේ දරුවන් බලා ගන්නවා. ඒ වගේ බැඳීම් තියෙන්නේ ලංකාවේ විතරයි කියන එක ලංකාවේ ඉන්න අයගේ හිතළුවක්. වෙනස, දරුවන්ගේ ගෙදරට රිංගලා දරුවන්ට වාතයක් නොවීම. ගොඩක් දෙමවුපියන් විසින් කරන්නේ අදාළ දරුවාගේ හෝ දරුවන්ගේ ගේ කිට්ටුවෙන් කුලියට හෝ සල්ලි වලටම ගෙයක් අරගෙන එහි පදිංචියට යන එක. එවිට වැඩට යන යන දරුවන්ට ඔවුන්ගේ දරුවන්ව තමන්ගේ දෙමවුපියන්ට භාර දීලා වැඩට යන්න පුළුවන්.
ඒ වගේම, විශ්‍රාමික වයසට ආපු ඇමරිකානුවෝ තමන්ගේ ගේ විකුණලා විශ්‍රාමික අය ජීවත් වන පැති වල පදිංචියට යනවා. ඒ වගේ පැති තියෙනවා. මේ වගේ පැත්තක පදිංචියට යන එකේ වාසිය සමාන අවශ්‍යතා තිබෙන පිරිසක් එක්ක ජීවත් වෙන්න ඉඩ ලැබීම. හොඳටම වයස්ගත වුනාට පස්සේ ගෙවල් විකුණලා මහලු නිවාසයකට යනවා. ඒක තමයි සුරක්ෂිතම තේරීම. දරුවෝ එක්ක ඉඳලා, දරුවෝ වැඩට ගියාට පස්සේ හදිසියක් වුනොත් මුහුණ දෙන්න වෙන අවදානම මහලු නිවාසයකට ගියාම නැති වෙනවා.
ඕක තමයි ඇමරිකාවේ නිවාස චක්‍රය. ඔය නිවාස චක්‍රය සම්පූර්ණ කරන ඇමරිකානුවෙක් තමන්ගේ ජීවිත කාලය තුළ 12 වරක් පමණ ඉන්න තැන මාරු කරනවා. උපන්දා සිට හතළිස් පාරකට වඩා ඉන්න තැන මාරු කරලා තිබෙන මටනම් මේක පොඩි ගාණක්.
ඇමරිකානුවෙකුට ගෙයක් කියන්නේ යම් කාලයක් ජීවත් වන තැනක් පමණයි. තමන් ඉන්න ගේ කොයි වෙලාවේ හෝ විකුණන්න වන බව ඇමරිකානුවෙක් දන්නවා. ඒ නිසා, ගේ සම්බන්ධව කටයුතු කිරීමේදී තමන්ගේ රුචිකත්වය ගැන මෙන්ම එය අනාගතයේ මිල දී ගැනීමට ඉඩ තිබෙන අනෙකාගේ රුචිකත්වය ගැනත් හිතන්න වෙනවා. ඒ නිසාම, රජයෙන් එකම අච්චුවට ගෙවල් නොහැදුවත්, ගෙවල් අතර මූලික සමානකම් තිබෙන බවට වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම වග බලා ගන්නවා. නිවාස ණය ක්‍රමය, නිවාස රක්ෂණ ක්‍රමය ආදී දියුණු වෙළඳපොළ යාන්ත්‍රණ නිසා මේ සමානත්වය තවතවත් තහවුරු වෙනවා.
ඇමරිකානුවෙක් සල්ලි දීලා තමන්ටම ගෙයක් ගත්තත්, අයිතිය පෞද්ගලික වුනත්, ඇත්තටම එය එක්තරා ආකාරයක පොදු භාණ්ඩයක්. කාට වුනත් ගෙයක් නඩත්තු කරන්න වෙන්නේ පොදු සමාජයට අවශ්‍ය විදිහට. පොදු සම්මත වලට ගැලපෙන විදිහට. එහෙම නැත්නම් වෙළඳපොළ වටිනාකම අහිමිවීමේ පාඩුව දරාගන්න වෙනවා.
ඉහත හේතුව නිසාම, ඇමරිකාව ඇතුළේ ගෙයකින් ගෙයකට යන එක විශාල ආතතියක් හෝ කම්පනයක් ඇති කරන දෙයක් නෙමෙයි. අලුත් ගෙයත් බොහෝ කරුණු අතින් පරණ ගේ වගේම තමයි.
අනෙක් අතට තමන්ගේම ගේක හිටියා හෝ කුලියට හිටියා කියලා ජීවත් වන විදිහේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අවුරුදු හතරක් පහක් එක තැනක එක දිගට ඉන්න අදහස් කරනවානම් ගෙයක් සල්ලි වලට ගන්න එක වාසියි. අවුරුද්දක් දෙකක් ඉන්නවානම් ගෙයක් හෝ මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක වාසියි. ඊටත් අඩු කාලයකට ඉන්න දිගුකාලීන පදනම මත හෝටල් හා නවාතැන්පළ කාමර කුලියට ගන්න පුළුවන්. ඔය කොයි දේ කළත්, ගණන් වල පරාසය ගොඩක් විශාල නැහැ.
මේ විදිහට ලොකු ගෙවල්, පොඩි ගෙවල්, මහල් නිවාස ඒකක, තමන්ගේම ගෙවල්, කුලී ගෙවල්, හෝටල් හා නවාතැන්පොළවල් අතර මාරු වෙද්දී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලට විසඳුම්ද වෙළඳපොළ යාන්ත්‍රනය ඇතුළේම හැදිලා තිබෙනවා. බඩු වැඩිනම්, පොඩි ගේක තියා ගන්න ඉඩ නැත්නම්, ගබඩා කාමරයක් කුලියට ගන්න පුළුවන්. හැම නගරයකම වගේ තැනින් තැන මෙවැනි ගබඩා කාමර පහසුකම් සපයන ගබඩා කාමර සංකීර්ණ තිබෙනවා. ඒ වගේම, ගෙයකින් ගෙයකට බඩු ප්‍රවාහනය කර ගැනීම සඳහා කුලියට ගත හැකි ඒ සඳහාම හදපු වාහන හා අනෙකුත් සේවාවන් තිබෙනවා.
මේ වගේ කරුණු ගණනාවක් නිසා කිසියම් මොහොතක ඇමරිකානුවෙකු ජීවත් වෙන්නේ තමන්ටම අයිති නිවසක නෙමෙයි කියන එකෙන් අදහස් වන්නේ තමන්ටම නිවසක් අයිති කර ගැනීමේ හැකියාවක් නැහැ කියන එක නෙමෙයි. එය හොඳම තේරීම නොවන බවයි. උදාහරණයක් විදිහට පසුගිය වසංගත සමයේ ඇමරිකාවේ තමන්ගේම නිවසක ජීවත් වන ප්‍රතිශතය එකවර විශාල ලෙස ඉහළ ගියා. නමුත්, එයින් අදහස් වුනේ හොඳ දෙයක් නෙමෙයි. එය තමන්ගේ නිවස විකුණා වෙනත් නිවසකට යාමට පොළඹවන ආර්ථික අවස්ථා තාවකාලිකව අඩු වීමේ ප්‍රතිඵලයක්.