තෙල් සංස්ථාවේ 2021 වසරේ අලාභය රුපියල් බිලියන 82.2ක්. මේ විදිහට තෙල් සංස්ථාව පාඩු ලැබීම 2021 වසරේදී පමණක් වූ අහම්බයක් නෙමෙයි. බොහෝ විට සිදු වන දෙයක්. ආයතනයක් දිගින් දිගටම මේ විදිහට පාඩු ලබමින් පවත්වා ගෙන යන්නේ කොහොමද?
කෙටි පිළිතුර ණය වලින් කියන එකයි. පහළින් තියෙන්නේ 2021 අවසානයේදී තෙල් සංස්ථාවේ වත්කම් හා බැරකම්.
වත්කම් - රුපියල් බිලියන 419.8
බැරකම් - රුපියල් බිලියන 778.3
ආයතනයක වටිනාකම කියා කියන්නේ වත්කම් හා බැරකම් අතර වෙනස. ඒ කියන්නේ වත්කම් වලින් බැරකම් සියල්ල අඩු කළාට පසු ඉතිරි වන කොටස. එහෙමනම්, තෙල් සංස්ථාවේ වටිනාකම කොපමණද?
පසුගිය වසර අවසානයේදී තෙල් සංස්ථාවේ වටිනාකම රුපියල් බිලියන සෘණ 357.5ක්!
දැන් තත්ත්වය කොහොමද?
මේ (2022) වසරේ පළමු මාස හතර තුළ තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 628.4ක්. ඒ සමඟ සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 1,047.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සමඟම, කොටස් ප්‍රාග්ධනය ලෙස පොදු අරමුදල් වලින් රුපියල් බිලියන 61.5ක් යොදවා පිහිටුවා තිබෙන මේ ආයතනයේ වටිනාකම 2022 අප්‍රේල් අවසානය වන විට රුපියල් බිලියන සෘණ 985.9 දක්වා පහත වැටී තිබෙනවා.
තෙල් සංස්ථාව තුළ යට කර තිබෙන රුපියල් බිලියන 61.5ක පොදු අරමුදල් වෙනුවෙන් (එම මුදල ණයට ගත් සේ සලකා) රජය විසින් වසරක් පාසා ගෙවා ඇති පොලී මුදල් සහ එම පොලී මුදල් ගෙවීම සඳහා ලබාගත් ණය වෙනුවෙන් ගෙවා ඇති පොලී මුදල් ගණනය කිරීම අපි පැත්තකින්ම තියමු. ඒ සියලුම වියදම් වගේම ඉහත කී රුපියල් බිලියන 61.5ක මුදලද වතුරේ ගොස් බොහෝ කල්. ඊට අමතරව, තෙල් සංස්ථාව ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 985.9ක් ණයයි. ඒ කියන්නේ, තෙල් සංස්ථාවේ සියලු වත්කම් විකුණා එම මුදලින් ණය ගෙවූ පසුවද ඉතිරි වන ණය.
තෙල් සංස්ථාව විසින් 2022 අප්‍රේල් අවසානය වන විට රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 1,223.6ක්. 2021 වසරේදී රජයේ සමස්ත බදු ආදායම වූයේද රුපියල් බිලියන 1,298.0ක් පමණයි. ඊට පෙර 2020 වසරේදීනම් රුපියල් බිලියන 1,216.5ක් පමණයි. ඒ කියන්නේ තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන තිබෙන ණය පියවන්නට පමණක් 2020 හෝ 2021 වැනි වසරක රජයේ මුළු බදු ආදායමම මෙන් වැය කරන්නට සිදු වෙනවා.
තෙල් සංස්ථාව වැනි පාඩු ලබන රාජ්‍ය ආයතනයක් විකුණන්න බැරි ඇයි කියන එක මෙයින් පැහැදිලි වෙනවා ඇති. අපි හිතමු කවුරු හෝ කෙනෙක් තෙල් සංස්ථාව සල්ලි වලට ගත්තා කියලා. එහෙම අරගෙන තෙල් සංස්ථාව සතු වත්කම් සියල්ල විකුණලා තෙල් සංස්ථාවේ ණය ටික ගෙවන්නනම් අතින් තව රුපියල් බිලියන 985.9ක් දමන්න වෙනවා. එහෙම ආයතනයක් සල්ලි වලට ගන්නේ කවුද?
සල්ලි වලට නෙමෙයි නිකම් දුන්නත් තෙල් සංස්ථාව වගේ ආයතනයක් කවුරුත් ගන්නේ නැහැ. ශුද්ධ සෘණ වටිනාකමක් තියෙන ආයතනයක් කාගේ හෝ ඇඟේ ගහන්න පුළුවන් වෙන්නේ සල්ලිත් එක්ක දුන්නොත් පමණයි. තෙල් සංස්ථාව හා අදාළවනම් රුපියල් බිලියන 985.9ක් එක්ක දුන්නොත් පමණයි. දැන් ඔය ගණන තවත් වැඩි වෙලා ඇති.
තෙල් සංස්ථාවේ වත්කම් පරීක්ෂා කළ විට තත්ත්වයේ භයානකකම තවත් පැහැදිලිව පෙනෙනවා. තෙල් සංස්ථාවේ වත්කම් ලෙස ගණන් ගෙන තිබෙන දේවල් වලින් රුපියල් බිලියන 175.9ක්ම වෙනත් රාජ්‍ය ආයතන වලින් අය කරගත යුතු මුදල්. ප්‍රධාන වශයෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් සහ විදුලිබල මණ්ඩලයෙන්. ඒ, තෙල් සංස්ථාවේ ණය වලින් කොටසක් ගෙවීම සඳහා රජය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ලංවිම වෙත පොදු අරමුදල් වලින් රුපියල් බිලියන 45ක් ලබා දීමෙන්ද පසුවයි.
තෙල් සංස්ථාවට හෝ එය මිල දී ගන්නා අයෙකුට එකතු කර ගන්න එම ආයතන සතුව ප්‍රමාණවත් වත්කම් තිබෙනවාද? යම් හෙයකින් මේ ලැබිය යුතු මුදල් තෙල් සංස්ථාවට නොලැබී යනවා කියන්නේ තෙල් සංස්ථාවේ සෘණ වටිනාකම තවත් පහළ යනවා කියන එකයි.
තෙල් සංස්ථාව මෙන් පාඩු නොලබන ලංකා බැංකුවේ පසුගිය 2021 වසර අවසානයේ මූල්‍ය තත්ත්වය පහත පරිදියි.
වත්කම් - රුපියල් බිලියන 3,803.3යි
බැරකම් - රුපියල් බිලියන 3,602.5යි
ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන 200.8යි.
ඔය විදිහටම අපි මහජන බැංකුවේ 2021 වසර අවසානයේ මූල්‍ය තත්ත්වය දෙසත් බලමු.
වත්කම් - රුපියල් බිලියන 2,647.6යි
බැරකම් - රුපියල් බිලියන 2,511.6යි
ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන 136.1යි.
මේ අනුව, රාජ්‍ය බැංකු දෙකේම ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 336.9ක් වෙනවා. නමුත්, ඉහත කී රාජ්‍ය බැංකු වල වත්කම් වලින් රුපියල් බිලියන 1,223.6ක්ම තෙල් සංස්ථාවෙන් අය කර ගත යුතු මුදල්. තවත් විශාල කොටසක් ලංවිම වැනි වෙනත් රාජ්‍ය ආයතන වලින් අය කර ගත යුතු මුදල්. තෙල් සංස්ථාවෙන් ලැබිය යුතු මුදල් වලින් 30%ක් රාජ්‍ය බැංකු වලට නොලැබී ගියොත් රාජ්‍ය බැංකු වලට වෙන්නේ කුමක්ද? ගණන් හදලා බලාගන්න.
මධ්‍යගත සැලසුමක් යටතේ රජය ව්‍යාපාර කරන්න ගියාම හැදෙන්නේ ඔය වගේ අවුල් ජාලයක්. ඔය අවුල් ජාලය අස්සේ ලාබ ලබන ආයතන කියලා ඒවා හොයන්න ලේසි නැහැ. ශ්‍රීලන්කන්, ලංවිම වගේ ආයතන පාඩු ලබද්දී ඒ පාඩුව තෙල් සංස්ථාවට බලපානවා. ඔය ආයතන තුනේම පාඩු රාජ්‍ය බැංකු දෙකට බලපානවා. ඒ නිසා, රාජ්‍ය බැංකු කඩා වැටෙන එක බේරාගන්න වුනත් ශ්‍රීලන්කන්, ලංවිම වගේ ආයතන වලට බදු මුදල් පොම්ප කරන්න වෙනවා. කොහේ තිබෙන බදු මුදල්ද?
රාජ්‍ය ආයතන විකිණීම ගැන ගොඩක් අය කෑ ගැහුවට මේ ආයතන බොහොමයක්ම දැනටමත් තියෙන්නේ විකුණන්නවත් පුළුවන් තත්ත්වයක නෙමෙයි. විකුණන්න හරි පුළුවන් වෙන්නේ මිල ගණන් වැඩි කිරීම මගින් පාඩු තව තව එකතු වෙන එක නවත්තලා, බදු වැඩි කරලා ගන්න සල්ලි පොම්ප කරලා ණය වලින් කොටසක් හෝ ගෙවලා, වෙනත් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම්ද කරලා මේ ආයතන විකිණිය හැකි ආයතන බවට පත් කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ විකුණන්න පුළුවන්කමක් තියෙන්නේ ටිකක් හෝ හොඳින් ක්‍රියාත්මක වන, යම් ලාබයක් ලබන, ටෙලිකොම් වගේ ආයතන පමණයි.
ගොඩක් වෙලාවට රජය පාඩු ලබන ආයතන නොවිකුණා ලාබ ලබන ආයතන විකුණන්න යොමු වෙන්නෙත් ඔය හේතුව නිසා. හැම විටම නොවුනත්, පාඩු ලබන ආයතන වල විකිණිය හැකි ශුද්ධ වත්කම් නැහැ. එහෙම තිබුණත්, ස්වභාවය අනුවම ඒවා පොත් වල පමණක් තිබෙන, කිසිදා නොලැබෙන වත්කම්. ආර්ථික ලාබ නැතත් ගිණුම්කරණ ලාබ පමණක් හෝ ලබන රාජ්‍ය ආයතන විකුණගන්න පුළුවන් වෙලාවක විකුණ ගත්තේ නැත්නම් ඒවාට වෙන්න ඉඩ තියෙන්නෙත් ඔය සන්තෑසියම තමයි.
දෙයියෝ සාක්කි කියලයි හිතුණේ තේරුම් ගියාම ජංජාලේ
ReplyDeleteගෙදර ගියත්, මඟ හිටියත් මරණේ වගෙයි මේ ලබා ඇති අපලේ
එතකොට දිගටම තියා ගන්නවෙද මෙහෙම හූනියම් ගේ ඇතුළේ
රටයි අපියි ඔක්කොමලම සුං නෙව, දිගටම හිටියොත් මේ අවුලේ
තෙල් සංස්ථාව වික්කම අපිට කෝ තෙල් වාහනේට? ඉකොනෝමහත්තයද තෙල් දෙන්නේ?
ReplyDeleteහා ඔච්චර මහදැන ඉකොනෝ එහෙනං කියන්න බලන්න සංස්ථාව පාඩු වෙද්දී ලංකා ඉන්දියන් තෙල් කොම්පැනිය ලාබ ලබන්නේ කොහොමද ඒ මිලටම පැට්‍රොල් ඩීසල් විකුණා?
ReplyDeleteරටේ වතකම ඩොලර් බිලියන් 400 වෙනකම් වැඩිවෙලා තියෙන්නෙ ඔය බැරකම් එහෙමත් ගනන් හැදිවට පස්සෙද?
ReplyDeleteහොඳ ප්‍රශ්නයක්. පළමුව මම ඉදිරිපත් කරපු ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තුව 2021 එකක්. ආර්ථිකයේ කඩා වැටීමෙන් පසු මෙම අගයේ සැලකිය යුතු අඩුවීමක් සිදු වී තිබිය යුතුයි. නමුත් තවදුරටත් ඩොලර් බිලියන 250-300ක් පමණවත් විය යුතුයි කියා මම හිතනවා. දෙවනුව, එම ඇස්තමේන්තුවේ තියෙන්නේ නිවාස ඒකක සතු වත්කම්. රාජ්‍ය අංශය එහි නැති නිසා මේ ගණන් එයට ඇතුළත් නැහැ. රාජ්‍ය අංශයේ ශුද්ධ මූල්‍ය බැරකම් ඩොලර් බිලියන 80ක් පමණ වෙනවා. එම ගණනට තෙල් සංස්ථාව ආදියේ බැරකම්ද ඇතුළත්.
Deleteඒ කියන්නෙ ඩොලර් බිලියන 150ක් හොයා ගත්තනම් මුලු ලන්කාවම මිලට ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ. මාර ලාබයිනෙ
Deleteඉකෝන් කාලෙකට කලින් ලියපු ලිපියක් උනත් නැවත කියවන්න පැමිණි නිසා පොඩි ප්‍රශ්ණ කීපයක් නිරාකරණය කර ගන්න කැමතියි.
ReplyDelete1. තෙල් සංස්ථාවේ සේවකයන්ගේ පඩි නඩි ගෙවන්නේ රජයේ පොදු අරමුදලෙන් නෙමෙයිද? එහෙම ගෙවනවා නම් ඒ මුදල ඉකෝන් දක්වා ඇති බිලියන 61.5 ඇතුලේ තියෙනවද?
2.දැන් අපි හිතමු තෙල් සංස්ථාවට දැන් කරන විදිහට මාස කීපයකට පාරක් තෙල් මිල සූත්‍රය අනුව තෙල් මිල වෙනස් කරන්න දෙනවයි කියලා. එහෙමනම් තෙල් සංස්ථාව පාඩු වෙන්න බෑ නේද. මෙච්චර කල් තෙල් සංස්ථාව පාඩු ලැබුවේ කොස්ට් එක කවර් කර ගන්න විදිහට තෙල් ටික විකුණ ගන්න බැරි උන නිසා නේද? ( ඔවුන්ගේ ආකාර්යක්ශමතාවය සදහා පාරිබෝගිකයට ගෙවන්න තියෙන මිලත් එක්කම)
3. ඇත්තටම තෙල් සංස්ථාවේ ණය ටික රජයට ගන්නවට වඩා කරන්න තියෙන්නෙ ඔවුන්ට තෙල්මිල සූත්‍රය අනුව තෙල් ටික විකුණගන්න දෙන අතරතුර රාජ්‍ය බැංකුවලට ඔවුන්ගේ ණය පියවා දමන්න අවස්ථාව හා කාලය ලබා දෙන එක නේද?
4. තෙල් සංස්ථාවේ ආකාර්‍යකශමතාවය නිසා පාරිභෝගිකයට වෙන අවාසිය නැති කරන්න, තෙල් වෙලදපොල දැන් කරන්න හදන විදිහට විවෘත කරන එක නේද හොද? හැබැයි ඉතින් ඒකටත් මිල සූත්‍රය දැම්මොත්, ඒකත් නියම විවෘත වෙලදපොලක් වෙන්නේ නෑ නේද?
1.1. නැහැ.
Delete1.2. ඉහත පිළිතුර නැහැ නිසා අදාළ නැහැ.
2. තෙල් සූත්‍රය අනුව මිල තීරණය වන විදිහ මම හරියටම දන්නේ නැහැ. එයින් වියදම ආවරණය වන සේ සැලකුවොත් ඔබ කියා ඇති දේවල් නිවැරදියි.
3. මෙය ප්‍රායෝගිකව කරන්න අමාරුයි. සමුච්ඡිත අලාබය ඒ තරමට විශාලයි. එක්කෝ තෙල් මිල සමස්ත පිරිවැයට වඩා විශාල ලෙස වැඩි කරන්න වෙනවා. එය දේශපාලනිකව පමණක් නොව ආර්ථික වශයෙන්ද ශක්‍ය නැහැ. තව බොහෝ දේවල් වලට බලපානවා. නැත්නම් සමස්ත පිරිවැයට වඩා ටිකක් වැඩි කරලා විශාල කාලයක් බලා ඉන්න වෙනවා. බැංකු වල ස්ථායීත්වය කෙරෙහි වන බලපෑම නිසා එතෙක් කල් බලා ඉන්න බැහැ.
4.1. ඔව්- පළමු පියවරක් ලෙස. මෙයින් හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ.
4.2. ඔව්.
Thanks,Econ
Deleteඉකොන් ඔයාගෙ පිලිතුරුව්ලට හා වටිනා කාලයට බොහොම ස්තූත්යි.
Deleteඉකොන් මට පේන විදිහට තෙල් සංස්ථාවේ අලාභය ගිණුම් වල තියෙන දෙයක් මිස කාටවත් ඒකේ ඇඟට දැනෙන දෙයක් වෙලා නෑ නේද. ඔව් ඔයා කියන විදිහට පොදු අරමුදලෙන් දාපු බිලියන 61.6 වාශ්ප වෙලා ගිහිල්ලා. එකේ ඔපචුනිටි කොස්ට් එකත් තියෙනවා.. ඒක ආයෙ ගන්න බෑ. ඒ වගේම රාජ්‍ය බැංකු දෙකට ණයයි. නමුත් මේ එකක්වත් මහජනතාවට දැනිලා නෑ. පාඩු ටික එක එක්කෙනාගේ ගිණුම් වල තියෙනවා. ඒත් එදිනෙදා දුවා ගන්න පොකට් එකට සල්ලි වැටෙන නිසා ඔහේ කරගෙන යනවා. මේවා විකුණන්නත් බෑ.
මට පේන විදිහට කරන්න තියෙන්න තෙල් වෙලදපොල රාජ්‍ය එකාධිකාරය නැති කරන ගමන්, විවෘත වෙලදපොලක, තෙල් සංස්ථාවටත් ඔපරේට් වෙන්න දෙන එකයි කරන්න තියෙන්නේ , ඒකට ස්භාවික මරණයක් උරුම කර දෙන එක. කවදා හරි මැරුණ දවසට, තෙල් සංථාවේ දේපල වෙන්දේසී කරලා බැංකුවල පාඩුවලින් කොටසක් පියවා ගන්න පුලුවන් වේවි. එහෙම ස්භාවික මරණයක් උනේ නැතත් අවුලක් නෑ...මොකද ජනතාවගේ බදු මුදල් මේගොල්ලන්ගේ ඔපරේශන් කොස්ට් එකට යට කරන්නේ නැති හින්දා.මේ තර්කයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද?
ඒ වගේම තෙල් සංස්ථාවේ සේවකයන්ට පඩි ගෙවන්නේ, ඒ ගොල්ලො උපයන ආදායමෙන්ද?.
එතකොට අනෙක් SOE වල කාටවත් ආන්ඩුවෙන් පඩි ගෙවන්නැද්ද?
//ඒ වගේම තෙල් සංස්ථාවේ සේවකයන්ට පඩි ගෙවන්නේ, ඒ ගොල්ලො උපයන ආදායමෙන්ද?.//
Deleteආදායමක් ඇත්නම් උපයන ආදායමෙන්. නැත්නම් ණය වලින්.
//එතකොට අනෙක් SOE වල කාටවත් ආන්ඩුවෙන් පඩි ගෙවන්නැද්ද?//
සෘජුව පඩි ගෙවන්නේ නැහැ. නමුත් වරින් වර මුදල් සම්ප්‍රේෂණය කරනවා.
මං මේ ගැන හොයලා බැලුවා.......තෙල් සංස්තාවට ගෙවන්න කියලා CEB එකට රජයෙන් දුන්න මුදලක් හැරෙන්න ලඟකදි රජයෙන් තෙල් සංස්ථාවට මුදල් පොම්ප කරලා නෑ....ඒ වගේම සහනධාර මුදලට දුන්න හින්දා, තෙල් සංස්ථාවට රජයෙන් දෙන්න තියෙන මුදලක් තියෙනවා...ඒක ගෙවලත් නෑ
Delete