වෙබ් ලිපිනය:

Sunday, December 18, 2022

ජවිපෙ හැරවුම


මේ වෙද්දී ජවිපෙ මතවාදයේ පැහැදිලි හැරවුමක් පේන්න තිබෙනවා. මම දකින විදිහට මෙය ශ්‍රී ලාංකික දේශපාලනයේ තීරණාත්මක හැරවුමක්. 

නිදහස් ලංකාවේ ජනමතය තුළ මුල සිටම ජාතික සමාජවාදයට සැලකිය යුතු ඉඩක් තිබුණා. මම ජාතික සමාජවාදය කියා කියන්නේ ලෝකයේ සමාජවාදී ලෙස හැඳින්වුණු හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් තිබුණු, දැන් උතුරු කොරියාව වගේ තැන් කිහිපයක පමණක් ඉතිරි වී තිබෙන ක්‍රමය. 

ලංකාවේ සමාජවාදීන් විසින් මුල සිටම ලංකාවේ කවදාවත් නොතිබුණු ධනවාදයක් ගැන විවේචනය කරමින් හිටියත්, එජාප වැනි පක්ෂ පවා අඩු වැඩි වශයෙන් පෙනී සිටියේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කරන, රාජ්‍ය මූලික ආයෝජන හරහා රට දියුණු කිරීම ඉලක්ක කෙරෙන, සුබසාධනය නඩත්තු කෙරෙන ක්‍රමයක් වෙනුවෙන්. මේ ක්‍රමයේ බොහෝ දුරට තිබුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. ධනවාදී බටහිර රටවල් වෙත නැඹුරුවක්නම් එජාපයේ මුල සිටම වගේ තිබුණා.

ශ්‍රීලනිපය කැඩී ගියේ එජාපයෙන්ම වුනත්, දිගින් දිගටම වාමාංශික පක්ෂ එක්ක එකතු වෙලා හදපු සභාග ආණ්ඩු එක්ක එන්න එන්නම ශ්‍රීලනිපය ජාතික සමාජවාදය පැත්තට තල්ලු වුනා. සමගි පෙරමුණු ආණ්ඩුව එහි උච්ඡතම අවස්ථාව. නමුත් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සමාජවාදය කවදාවත් එකට ගිය දෙකක් නෙමෙයි. ලෝකයේ ජාතික සමාජවාදී ආකෘතියේ ආණ්ඩු හැම එකක්ම වගේ හැදුණේ එක්කෝ කැරැල්ලකින් හෝ කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය පැහැර ගෙන. එහෙම නැත්නම්, සාමාන්‍ය ක්‍රමයකට මැතිවරණ ජයග්‍රහණයක් ලැබීමෙන් පසුව නැවත පෙර පරිදි මැතිවරණ නොපවත්වමින්. 

ජවිපෙ කියන පක්ෂය හැදුණේම රාජ්‍ය බලය උදුරා ගෙන ජාතික සමාජවාදී ආණ්ඩුවක් හදලා එය පවත්වා ගැනීම වෙනුවෙන්. නමුත්, ජවිපෙ ඔය වැඩේ කරන්න හදද්දී ලෝකයේ ප්‍රධාන සමාජවාදී රටවල් හැම එකක්ම වගේ හිටියේ ජවිපෙට එරෙහිව සමගි පෙරමුණු ආණ්ඩුව පැත්තේ. ඒ ආණ්ඩුව ඇතුළේ අවශ්‍ය පමණ ජාතික සමාජවාදය තිබුණු නිසා වෙන්න ඇති. 

සමගි පෙරමුණු පරීක්ෂණය අවසන් වුනේ එජාපයට හයෙන් පහක බලයක් ලැබිලා. ශ්‍රීලනිපයට අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න වුනා. සම්ප්‍රදායික වාමාංශික පක්ෂ අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ ලංකාවේ බහුතර ජනමතය කවදාවත්ම ජාතික සමාජවාදය පැත්තට හැරුණේ නැහැ. ජාතික සමාජවාදය හොයපු සුළුතරයක්නම් දිගටම හිටියා.

අවුරුදු 17ක් විපක්ෂයේ හිටියට පස්සේ ශ්‍රීලනිපය ජාතික සමාජවාදය අතඇරියා. මේකට කිවුවේ ධනවාදයට මානුෂික මුහුණුවරක් දීම කියලා. ධනවාදය හෝ මානුෂික මුහුණුවර යන දෙකෙන් එකක්වත් හරියකට තිබුණේ නැති තැනකට වුනත්, ශ්‍රීලනිපය වෙනස් වුනා. ඊට පස්සේ එජාප හා ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති අතර කලින් තිබුණා වගේ විශාල වෙනසක් තිබුණේ නැහැ.

ශ්‍රීලනිපය ජාතික සමාජවාදය අත ඇරියට පස්සේ දිගින් දිගටම ජාතික සමාජවාදය කර ගහගෙන ගියේ ජවිපෙ. ක්‍රමක්‍රමයෙන් යටිබිම්ගත රහසිගත දේශපාලන ආකෘතිය වෙනස් වෙලා, පෙසපෙත් කඩා ගෙන ගියාට පස්සේ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයකින් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කයෙන් තීරණාත්මක ලෙස විතැන් වුනා. නමුත්, ජාතික සමාජවාදය එක්ක මැතිවරණ දේශපාලනය ඇතුළේ ජවිපෙට දුර ගමනක් තිබුණේ නැහැ. 

පස්සේ පස්සේ ජවිපෙ දේශපාලනය බවට පත් වුනේ දූෂණ විරෝධය. එතැනින් එහාට පැහැදිලි වැඩ පිළිවෙළක් ජවිපෙ සතුව තිබුණේ නැහැ. ජවිපෙ එක්ක එකතු වුනු පිරිස ප්‍රධාන වශයෙන්ම කෝකටත් විරෝධීන්. කෝකටත් විරෝධීන් එක්ක ආණ්ඩුවක් කරන්න බැහැ. 

දූෂණ විරෝධය ජවිපෙ විසින් ජනගත කරපු සටන් පාඨයක් නෙමෙයි. හොයා බැලුවොත්, ජවිපෙ බිහිවෙන්නත් කලින් ඉඳන්ම, දූෂණ විරෝධය හැම මැතිවරණයකදීම ප්‍රධාන සටන් පාඨයක් වුනා. ආණ්ඩු පක්ෂයේ හොරු එළවන්න මිනිස්සු අනෙක් ප්‍රධාන පක්ෂය බලයට පත් කර ගත්තා. ඊට පස්සේ අලුත් ආණ්ඩු පක්ෂයේ හොරු එළවන්න මිනිස්සු නැවත පරණ ආණ්ඩු පක්ෂය බලයට ගෙනාවා. ඔය චක්‍රය දිගින් දිගටම ගියා. කොයි ආණ්ඩුවක්වත් හොරු අල්ලලා හොරුන්ට දඬුවම් කළේ නැහැ.

ජවිපෙට මේ තත්ත්වයේ වාසිය ගන්න පුළුවන් වුනා. "උනුත් එකයි මුනුත් එකයි" සටන් පාඨය නැගලා ගියා. කවදාවත් බලය නොගත් නිසා මේ චෝදනාව නැවත ජවිපෙ වෙතම දමා ගසන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. 

අරගලය හොරු ඇල්ලීමේ දේශපාලනයේ උච්ඡතම අවස්ථාවක් කියා කියන්න පුළුවන්. අරගලය එක්ක ජවිපෙ සටන් පාඨය ජනතා සටන් පාඨයක් වුනා. නමුත්, එහි වාසිය ජවිපෙට ගෙඩිය පිටින්ම ගන්න පුළුවන් වුනේ නැහැ. ඒ ජවිපෙ ප්‍රතිපත්ති ඇතුළේම තිබුණු විරුද්ධාභාෂයක් නිසා. 

ප්‍රධාන පක්ෂ දෙක ප්‍රායෝගිකව කොහොම වෙතත්, නමට හරි, කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටිද්දී ජවිපෙ දිගටම පෙනී සිටියේ විශාල රජයක් වෙනුවෙන්. දූෂණ, වංචා, නාස්ති සියල්ල සිදු වුනේ ඔය විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. එක පැත්තකින් දූෂණ, වංචා, නාස්ති වලට හේතු වන විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිටින අතරම අනෙක් පැත්තෙන් දූෂණ විරෝධය ගැන කතා කිරීමේ තිබෙන පරස්පරය තව දුරටත් මිනිස්සුන්ට නොතේරෙන දෙයක් වුනේ නැහැ.

මේක වුනේ හංගන්නේ නැතුව කෙළින්ම කට ඇරලා ධනවාදය ගැන කතා කරන, ඒ වෙනුවෙන් සෘජුව පෙනී ඉන්න අය ටිකෙන් ටික මතු වීමත් එක්ක. මෙය කියවන පැතුම් කර්නර් වගේ අය කෙළින්ම නම් කරන්න පුළුවන්. මංජු නිශ්ශංක, රසික ජයකොඩි වගේ තවත් අය ඉන්නවා. එජාප හෝ ශ්‍රීලනිප නායකයින් කවදාවත් බය නැතුව ධනවාදය වෙනුවෙන් පෙනී සිටලා නැහැ. රනිල් දැනට වුනත් කතා කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගැන. "සමාජ" කෑල්ලක් කොහෙන් හරි එල්ල ගන්නවාම තමයි. 

මේ වගේ තනි පුද්ගලයින් ආශ්‍රිතව කුඩා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී පෙළ ගැහිලා ඉන්නවා. ප්‍රධාන දේශපාලන පක්ෂ වලට තියා ජවිපෙට සාපේක්ෂව වුනත් ඒ අය ජනතාව අතර විශාල බලයක් වෙලා කියලා මම හිතන්නේ නැහැ. නමුත්, ඒ අයගෙන් එල්ල වෙන මතවාදී තර්ජනය ඉතාම දරුණු එකක්. මේක විශේෂයෙන්ම ජවිපෙට ඔලුවටම වදිනවා. 

සමාජවාදීන්ට හා ජාතිකවාදීන්ට සාපේක්ෂව ලිබරල්වාදීන්ට තිබෙන ලොකුම අවාසිය ලිබරල්වාදීන්ට නායකයෙකු විසින් යෝජනා කරන සියල්ලටම ප්‍රශ්න නොකර එකඟ වෙන්න බැරිවීම. මුල් කණ්ඩායම් දෙකට ඔය ප්‍රශ්නය ලොකුවට නැහැ. තමන්ගේ ඉලක්ක අරමුණට යන බව පේනවානම් නායකයාට වැඩේ කරගෙන යන්න ඉඩ දීලා බොක්කෙන්ම උදවු කරන එක ඒ කණ්ඩායම් දෙකටම අවුලක් නැති දෙයක්. නමුත් ලිබරල්වාදීන් ගත්තහම එක් එක් ලිබරල්වාදියාට තියෙන්නේ තමන්ගේම අදහස්. 

අනෙක් අතට ලිබරල්වාදීන්ට තිබෙන ලොකුම වාසියත් මේකම තමයි. අනෙක් කණ්ඩායම් දෙකෙන් වෙනස්ව, ඒ අයට තමන්ගේ අදහස් එක්ක සියයට සියයක් එකඟ නොවෙන අය එක්ක වුනත් එකට වැඩ කරගෙන යන්න පුළුවන්. 

වෙනස් නොවී ඉන්න බැරි තැනකට ජවිපෙ තල්ලු කරලා තියෙන්නේ අරගලයත් එක්ක මතු වුනු මේ අලුත් බලවේගය. බලවේගය කියා කිවුවත් තවමත් තියෙන්නේ කුඩා කණ්ඩායම් රාශියක් සහ ඒ කණ්ඩායම් කිසිවකට සම්බන්ධ නැති තනි පුද්ගලයින් ටිකක්. එකතු වෙලා සංවිධානය වුනොත් මේ කණ්ඩායම් ටිකට අල්ලා ගත හැකි පැහැදිලි හිස් අවකාශයක් ලංකා දේශපාලන භූමියේ තියෙනවා. නාගරික හා අර්ධ නාගරික පහළ හා ඉහළ මධ්‍යම පාන්තිකයින්ගෙන් සමන්විත හතරවෙනි බලවේගයක් විදිහට මතු වෙලා පසුව ඒ ඉඩ පුළුල් කරගන්න එක බැරි දෙයක් නෙමෙයි. 

හැමදාම මැතිවරණ වලදී ජවිපෙ වටා එකතු වුනේ ප්‍රධාන පක්ෂ දෙකට විරෝධය පළ කරන්න ඡන්දය දුන්න අය මිසක් ජවිපෙ දිනවන්න ඡන්දය දුන්න අය නෙමෙයි. ඒ ඡන්ද වලින් කොටසක් අලුත් බලවේගයකට පහසුවෙන්ම ආකර්ෂණය කරන්න පුළුවන්. නමුත්, ඒ නිසා ජවිපෙ ඡන්ද අඩු වෙන එකක් නැහැ. මොකද ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන කොටස් නගර වල වගේම ගම් වලත් විශාල ලෙස වැඩි වෙලා නිසා. ජවිපෙ පාක්ෂික ඡන්දනම් කොහොමත් කැඩෙන්නේ නැහැනේ. 

පක්ෂ දෙකම එපා වී තිබෙන අයගේ ඡන්ද කලින් ගෙඩිය පිටින්ම ජවිපෙට ලැබුණත්, දැන් ජවිපෙට තරඟයකට මුහුණ දෙන්න වෙලා. ජවිපෙ හැරවුම මේ තත්ත්වය තුළ නොගෙන සිටිය නොහැකි උපාය මාර්ගික තීරණයක්. තරඟය හමුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාජබ නංගිව පෙන්නලා ජාතික සමාජවාදී ජවිපෙ අක්කාව ගොඩ දාගන්න දරපු ජවිපෙ උත්සාහය අසාර්ථක වෙලා ඉවරයි. දැන් කුඩා රජයක් වෙනුවෙන්, ව්‍යවසායකත්වය වෙනුවෙන්, පෞද්ගලික සරසවි වෙනුවෙන් පෙනී නොසිට බැරි දේශපාලනික උගුලක ජවිපෙ හිර වෙලා. ජාජබ නියෝජිතයින් විතරක් නෙමෙයි ජවිපෙ නායකයිනුත් කට ඇරලා මේ දේවල් කතා කරනවා. මමනම් පෞද්ගලිකව මේ තත්ත්වය දකින්නේ ඉතාම සාධනීය දෙයක් විදිහට.

කොහොමටවත්ම ජවිපෙ ධනවාදී වෙලා නැහැ. ජවිපෙ දැන් යන ක්‍රමය ගැන වුනත් අපහසුවක් නැතුව ඕනෑ තරම් විවේචන කරන්න පුළුවන්. හැබැයි මම ජවිපෙ සංසන්දනය කරන්නේ ජවිපෙම හිටපු තැනත් එක්ක. ඒ තැන සිට ජවිපෙ වෙනස් වී ඇති සහ වෙනස් වෙමින් තිබෙන දිශානතිය දිහා සුබවාදී ලෙස බලන්න පුළුවන්. සිදුවන හොඳම දෙය ජාජබ හරහා ජවිපෙ සමඟ සම්බන්ධ වී සිටින අළුත් නායකයින් විසින් සම්ප්‍රදායික ජවිපෙ සාමාජිකයින්ව පුනරුත්ථාපනය කරමින් සිටීම. 

ජවිපෙ සාමාජිකයා හෙමින් හෙමින් වෙනස් වෙමින් සිටිද්දී, රනිල් හරහා පොහොට්ටු සාමාජිකයින් හීලෑ කෙරෙමින් තිබෙනවා. ඒ හීලෑවීම පුනරුත්ථාපනය වීමක්ද කියා කියන්න තවම කල් වැඩියි. ඔය දෙකම වෙන්නේ දේශපාලන බලය අහිමි වීමේ තර්ජනය එක්ක. දේශපාලන බලය අහිමි වීමේ තර්ජනයට හේතුව ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ සියල්ලටම වඩා වේගයෙන් මිනිස්සු වෙනස් වීම. මිනිස්සු ටිකෙන් ටික හරි හරි තැනට එනවානම් දේශපාලන පක්ෂ වලට වගේම ඒවායේ නායකත්වයටත් මිනිස්සු අනුව වෙනස් වෙන්න වෙනවා. 

5 comments:

  1. අලුත් මොකුත් ලියලා නැහැනේ ඉකොනෝ.

    ඉකොනෝමැට්ටාත් අර පැතුම් කර්නර්ද මොකක්ද කියන කන්නාඩි පොළගා වගේ.

    හැම මගුල ගැනම ලියන්න යනවා. ගත යුත්තක් නැහැ

    ReplyDelete
  2. ජනතා විමුක්ති පෙරමුණට නුදුරු අනාගතයේදී බලයට එන්න අද රට තියෙන සංදිස්ථානය ප්‍රයෝජනයට ගන්න තරම් දැක්මක් සහ වැටහීමක් ඇතිවෙයිද කියන දේ ගැන හිතන්න. මගේ අදහස නම් ජනතා විමුක්ති පෙරමුණ 1994 දී ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වය ගත්විට පක්ෂයට කල වෙනස හැදෑරිය යුතුයි කියායි. 1994 ට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමාජවාදී ප්‍රතිපත්ති දැරූ පක්ෂයක්. 1979 සිට කීප වතාවක්ම දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂයට පැරදුණා. 1994 දී කම්කරු පක්ෂ නායකත්වයට පත් බ්ලෙයාර් එය සමාජවාදී සහ කම්කරුවන්ගේ පැත්තට අදින පක්ෂයක් ලෙස නොව නව ආර්ථික ක්‍රම පිළිගන්නා නවීන පක්ෂයක් බවට පත්කලා ඉන් අවුරුදු තුනකට පසුව කම්කරු පක්ෂය බ්ලෙයාර් යටතේ ජයගත්තා. ඔවුන්ට පිට පිට මහ මැතිවරණ තුනක්ම බලය ලබා ගන්න පුළුවන් වුණා. අනික් උදාහරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1956 සිට 1993 දක්වා තිබූ සෑම මැතිවරණයකටම ඔවුන් පෙනී සිටියේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අදහන පක්ෂයක් ලෙසටයි. 1993 නායකත්වයට පත් චන්ද්‍රිකා කුමාරණතුංග මෙය වෙනස් කලා. ඔවුන් සමාජවාදය අතහැර විවෘත ආර්ථිකය පිළිගත්තා. 1994 දී ඔවුන් පොරොන්දු වුණේ විවෘත ආර්ථිකය මානුෂික මුහුණුවරකින් කියන මැතිවරණ පාඨය. එසේ නොවන්නට ඔවුන්ට ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ.

    ජනතා විමුක්ති පෙරමුණේ ඇති බොලඳ භාවය අත්හැරීමටත් සමාජවාදී හැව අතහැරීමටත් හොඳම කාලය මෙයයි යන්න මගේ විශ්වාසයයි. මෙය කිරීමට රටේ මුදල් කාබාසිනියා කරන ඔවුන් පාඩු ලබන ආයතන විකිණීමට විරුද්ධ වීම, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වීම, වෘත්තීය සමිති පැත්තට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යාපාර වල කම්කරු අසහනය ඇතිකිරීමට උල්පන්දම් දීම වැනි අද ආර්ථිකයන්ට නොගැලපෙන දේවල් වෙනුවෙන් පෙනී සිටීමෙන් බහුතරයක් ඔවුන්ට ඡන්දය දීමට මැළි වෙන බව වැටහිය යුතුයි.

    ඔවුන්ගේ මුදුන් මල්කඩ වූ රුසියාව සහ චීනයත් අත්හැර දැමූ ආර්ථික ප්‍රතිපත්තියක් කරපින්නා ගෙන සිටින තාක් කල් ඔවුන්ට චන්ද ලක්ෂ 5 සීමාව පහු කිරීම නම් නොවෙනු ඇතැයි යන්න මම සිතනවා. යම්කිසි ප්‍රාතිහාර්යයක් සිදුවී ජනතා විමුක්ති පෙරමුණ තම දර්ශණය වෙනස් කරගත්තොත් විය හැකි දේ සිතා බලන්න. විවෘත ආර්ථික ක්‍රමය හොර මැරකම් නැතිව ක්‍රියාත්මක කරනවා නම් අද එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස සිතින එහෙත් සජිත් ගේ micro management වලට එකඟ නොවෙන අයට ජනතා විමුක්ති පෙරමුණ හොඳ විකල්පයක් වෙන්න පුළුවන්. https://lankanian.blogspot.com/2016/11/blog-post_3.html

    ReplyDelete
  3. සංචාරයක් සඳහා මෙරටට පැමිණ මිහින්තලා පූජා භූමියේ කළු දිය පොකුණ නැරඹීමට ගිය එංගලන්ත ජාතික පිරිමි පුද්ගලයකු හට ලිංගික අපහරණයක් සිදු කළ බව කියන චීවරධාරියකු පෙරේදා (16 දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු හැට නවයක් වන, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චීවරධාරියකු බව පොලිසිය කියයි.

    එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි 46 හැවිරිදි පුද්ගලයකු මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    පසුගිය 16දා සවස් කාලයේ කළු දිය පොකුණ නැරඹීමට ගිය අවස්ථාවේදී සැකකාර චීවරධාරියා විසින් පැමිණිලිකාර එංගලන්ත ජාතිකයාට අපහරණයක් සිදු කර ඇති බවටත්, පසුව ඔහු එම ස්ථානයෙන් මිදී මිහින්තලය රජමහා විහාරයේ මැද මළුවට පැමිණ සංචාරක පොලිස් මුරපළ වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබූ බව මිහින්තලය පොලිසිය පවසයි.

    ReplyDelete
  4. උඩඟුකම වැඩි බැවින
    රනිල් වෙත නොහැරෙන
    මහලුකම පොරෝගෙන සිටින
    මහින්දත් එපාවෙන
    ලක්දනට සතොසේ පෙනෙන
    සැලුන් දොර ජවිපේ

    ReplyDelete
  5. "උනුත් එකයි මුනුත් එකයි" වඩාත් වලංගු අදටයි. ඒ බව ධනපති පක්ෂ භාවිතයෙන් පෙන්නමින් සිටිනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: