වෙබ් ලිපිනය:

Friday, December 16, 2022

තෙවන කාර්තුවේදී ආර්ථිකය 11.8%කින් හැකිළේ!


ජූලි 1 දිනෙන් පටන් ගෙන, සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 11.8%කින් හැකිළී තිබෙනවා. කෝවිඩ් හේතුවෙන් රට වසා දමනු දැමීම නිසා ආර්ථික ක්‍රියාකාරකම් විශාල ලෙස මන්දනය වූ, පෙර වසරේ තෙවන කාර්තුව තුළද ශ්‍රී ලංකා ආර්ථිකය 5.8%කින් හැකිලුනා. 

කිසියම් වසරකදී ආර්ථිකය සැලකිය යුතු ලෙස හැකිලීමෙන් පසුව එළැඹෙන වසරකදී, එම හැකිළීම නැවත යථා තත්ත්වයට පත් වීම තුළම ආර්ථික වර්ධනයක් දැකිය හැකි වීම සාමාන්‍ය තත්ත්වය වුවත්, පෙර වසරේ 5.8%කින් හැකිළුණු ආර්ථිකය 11.8%කින් තව දුරටත් හැකිළී තිබීම මෙහි ඇති කණගාටුදායක විශේෂත්වයයි. 

රට මුහුණ දී සිටින ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන්, තෙවන කාර්තුව තුළ, ඉන්ධන ඇතුළු භාණ්ඩ ආනයන ඇණහිට රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට තව දුරටත් දැඩි බාධා ඇති වීම මෙයට හේතුවයි. තෙවන කාර්තුව පමණක් සැලකූ විට දෙවසරක සම්ප්‍රයුක්ත හැකිළීම 17.0%ක්.

පැවති මිල ගණන් යටතේ 2022 තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 6,417.0ක්. 2021 තෙවන කාර්තුවේදී එවකට පැවති මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය පැවතුනේ රුපියල් බිලියන 4,318.1 මට්ටමේ. මේ අනුව, නාමික පදනමින් ආර්ථිකය 45.2%කින් වර්ධනය වී තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, රටේ ආදායම් 45.2%කින් වර්ධනය වී තිබෙනවා. එහෙත්, මේ නාමික වර්ධනයට ප්‍රධානම හේතුව පැවති ඉහළ උද්ධමනයයි.

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහද්දී රටේ මිනිසුන්ගේ ආදායම් ඉහළ යනවා. එහෙත්, එම ආදායම් ඉහළ යාම මිල ගණන් ඉහළ නිසා සිදු වන්නක්. නාමික දළ දේශීය නිෂ්පාදිතය තුළ සැබෑ ආර්ථික වර්ධනය (හෝ හැකිලීම) මෙන්ම උද්ධමනය නිසා සිදුවන මෙම මිල ඉහළ යාමද (හෝ අවධමනය නිසා සිදුවන මිල පහළ යාමද) පිළිබිඹු වෙනවා.

සැබෑ ආර්ථික වර්ධනය මැන ගැනීම සඳහා නාමික ආර්ථික වර්ධනයෙන් මිල වෙනස් වීමේ බලපෑම ඉවත් කළ යුතුයි. මෙය කරන්නේ කොහොමද?

සැබෑ ආර්ථික වර්ධනය, එසේත් නැත්නම් මූර්ත ආර්ථික වර්ධනය, මැන ගැනීමේ පළමු පියවර ඒ සඳහා සුදුසු පාදක වර්ෂයක් තෝරා ගැනීමයි. මේ වන විට පාදක වර්ෂය ලෙස යොදා ගන්නේ 2015 වසරයි. 

ඉහත කී පරිදි, පාදක වර්ෂයක් තෝරා ගැනීමෙන් පසුව, පාදක වර්ෂයේදී පැවති මිල ගණන් මත පදනම්ව ඉන් පසු වසර වල දළ දේශීය නිෂ්පාදිතය නැවත ගණනය කරනවා. උදාහරණයක් ලෙස, 2022දී තේ විකුණා ලැබූ ආදායම නාමික දළ දේශීය නිෂ්පාදනයට එකතු වන අතර, මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන්නේ 2022දී විකිණූ තේ ප්‍රමාණයම 2015 වසරේදී එවකට පැවති මිල ගණන් යටතේ විකිණුවේනම් ලැබිය හැකිව තිබුණු ආදායමයි. 

පාදක වර්ෂය ලෙස සලකා ඇති 2015 මිල ගණන් අනුව, 2021 තෙවන කාර්තුවේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 3,269.5ක් පමණක් වන අතර 2022 තෙවන කාර්තුව වන විට එම අගය රුපියල් බිලියන 2,884.0 දක්වා 11.8%කින් පහත වැටී තිබෙනවා. ආර්ථිකය 11.8%කින් හැකිළී ඇතැයි යන්නෙන් අදහස් වන්නේ මෙයයි. 

තවත් විදිහකින් කිවුවොත් පසුගිය වසරක කාලය තුළ රටේ ජනතාවගේ ආදායම් 45.2%කින් ඉහළ ගොස් ඇතත්, මිල ගණන් 64.7%කින් ඉහළ ගොස් ඇති නිසා, ජීවන මට්ටමේ 11.8%ක කඩා වැටීමක් සිදුව තිබෙනවා (145.2/164.7 = 88.2%). වසරේ මුල් කාර්තු තුනම සමස්තයක් ලෙස ගත් විට, 7.1%ක හැකිළීමක් පෙන්නුම් කරනවා. 

මාස නමයේම තත්ත්වය අනුව මෙය 2016 පැවති මට්ටම දක්වා ආපසු යාමක්. තෙවන කාර්තුවේ ප්‍රතිඵලය අනුව, 2014 පමණ දක්වා ආපසු යාමක්. 

රටේ ජීවන තත්ත්වය 11.8%කින් පහත යාම යන්නෙන් සියල්ලන්ගේම ජීවන තත්ත්වය එක සමානව පහත වැටී ඇති බවක් අදහස් වන්නේ නැහැ. මෙහි බලපෑම වැඩිපුරම තිබෙන්නේ යමක්කමක් ඇති අයටයි. එනම්, පරිභෝජනය සඳහා වැය කිරීමෙන් පසුව ආයෝජන කළ හැකි වූ අයටයි. 

තෙවන කාර්තුව සඳහා අදාළ සංඛ්‍යාලේඛණ තවමත් නිකුත් වී නැතත්, දෙවන කාර්තුව දෙස බැලීමෙන් මේ පිළිබඳ අදහසක් ගත හැකියි. දෙවන කාර්තුවේදී ආර්ථිකය 8.4%කින් සංකෝචනය වී ඇතත් පරිභෝජනය කෙරෙහි බලපෑම 2.6%ක අඩු වීමක් පමණයි. එම අඩු වීමට සාපේක්ෂව, ආයෝජන 43.1%කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, බොහෝ දෙනෙකු කෙසේ හෝ වේල පිරිමසාගෙන ඇතත්, එසේ වේල පිරිමසා ගැනීමෙන් පසුව අතේ කීයක් හෝ ඉතිරි කරගෙන කරන දේවල් කළ නොහැකි වී ඇති බවයි. 

රජයේ සංඛ්‍යාලේඛණ සියයට සියයක් නිවැරදිද? මේ ප්‍රශ්නයට මගේ පිළිතුර මෙවැන්නක්. කඩෙන් මිල දී ගන්නා මාළු කෑම පාර්සලයක මාළු කෑල්ලක් ඇත්තටම තිබෙන බව ඔබට සියයට සියයක් සහතිකද? 

මාළු කෑම පාර්සලයේ ඇත්තටම මාළු කෑල්ලක් නැති වෙන්න පුළුවන්. නමුත් කෑම පාර්සලයක් මිල දී ගන්නා හැම විටකම වෙළෙන්දා ඉදිරිපිට එය විවෘත කර බැලීම ප්‍රායෝගික වැඩක් නෙමෙයි. මාළු කෑම පාර්සලයේ ඇත්තටම මාළු කෑල්ලක් නැති වීමේ අවදානම ගන්න එක ඊට වඩා ප්‍රායෝගිකයි. නමුත්, කවුරු හෝ විසින් වෙළෙන්දා සහ ඔබ ඉදිරිපිට කෑම පාර්සලය විවෘත කර එහි මාළු නැති බව පෙන්නුවොත්, ඉන් පසුව තත්ත්වය වෙනස් වෙනවා. ඔබේ කෑම පාර්සලයේ මාළු නැති බව ඔබට කිහිප වරක්ම පෙනී ගොස් ඇත්නම් ඔබටම වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. 

5 comments:

  1. ඇත්ත කියන රජයක් ලෙස පෙනෙන්නැතී
    රජයක ගණන් ගැන කීමත් වැඩක් නැතී
    දැන් මහ උන්ට විළි ලජ්ජා දෙකම නැතී
    ඒත් මහ මුදලිකම නං ඔහෙ ඇතී

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා

      ලංකාවේ තරුණ තරුණියන් යොදා ගනිමින් ඇතැම් පිරිස් විසින් ඩොලර් මිලියන ගණනක් අරගලය හරහා හම්බ කර ගත්තා නේද? මේ හරහා ලංකාවෙ ආර්ථිකයේ සැබෑ කඩාවැටීම සෑහෙන දුරකට පාලනය කිරීමට පුළුවන් වෙන්න ඇති නේද?

      මේ බලන්න;

      // ශ්‍රී ලංකාවේ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව පැවැති ආණ්ඩු විරෝධී අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරීන්ට විදේශවලින් මුදල් ලැබුණු මූලාශ්‍ර සම්බන්ධ වූ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

      එම අරගලය ක්‍රියාත්මකව පැවැති කාලසීමාවේ දී ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානය විසින් එම අරගල ක්‍රියාකාරීන්ට විශාල මුදල් තොගයක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් කරමින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.

      මේ අතර කොළඹ ගාලුමුවදොර පිටියේ සහ අන්තර්ජාලය හරහා සමාජ ජාල වල විවිධ ආකාරයේ කැම්පේන් මෙහෙයවමින් ක්‍රියාකාරී ලෙස අරගල කරුවන්ට ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදී ලෙස විදෙස් මුදල් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති බවත් ඒවා රුපියල් බවට පරිවර්තනය කරන ලද අරගල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටී.

      එම අති විශාල මුදල් ඩොලර් මිලියන සිය ගණනක් ක්‍රියාකාරීන් අතර සංසරණය වීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මීට පෙර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

      - lankadeepa.lk//

      මේ ගැන තවදුරටත් විස්තර සහිතව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
  2. 'මම නෑ කිව්වම නෑ. එතනින් ඒක ඉවරයි. මගේ කාලේ වෙනස් කරන්න (කාලේ කන්න) එපා.මේ එක්කෙනෙක්.
    "මගේ කට වචනේ තමයි චක්‍ර ලේඛේ" මේ තව එක්කෙනෙක්.
    දෙන්නම ජනාධිපතිවරු.!

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා විතරක් නෙමෙයි බන් ලංකාවේ සේරම ජනාධිපතිවරු ඔහොම තමයි කොටින්ම විජේතුංග සහ සිරිසේන ගමරාලත් උන්ට ඕන වැඩ තමයි මොන ජාතියෙන් හරි ක්‍රියාත්මක කළේ, පිටරටවල උනත් ලොකු වෙනසක් නෑ එක්සත් ජනපදයේ යුරෝපීය රටවල් වල කෙළින්ම අමුවෙන් කියන්නේ නෑ ඔය වගේ ඒත් යටින් ගේම් දීලා කරන්නේ ඕකම තමයි.

      Delete
  3. මාතලන්

    ඩොලර් උඹත් මිලියනයක් පමණ අරගලය හරහා හම්බ කර ගත්තා නේද?

    මේ බලන්න;

    // ශ්‍රී ලංකාවේ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව පැවැති ආණ්ඩු විරෝධී අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරීන්ට විදේශවලින් මුදල් ලැබුණු මූලාශ්‍ර සම්බන්ධ වූ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

    එම අරගලය ක්‍රියාත්මකව පැවැති කාලසීමාවේ දී ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානය විසින් එම අරගල ක්‍රියාකාරීන්ට විශාල මුදල් තොගයක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් කරමින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.

    මේ අතර කොළඹ ගාලුමුවදොර පිටියේ සහ අන්තර්ජාලය හරහා සමාජ ජාල වල විවිධ ආකාරයේ කැම්පේන් මෙහෙයවමින් ක්‍රියාකාරී ලෙස අරගල කරුවන්ට ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදී ලෙස විදෙස් මුදල් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති බවත් ඒවා රුපියල් බවට පරිවර්තනය කරන ලද අරගල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටී.

    එම අති විශාල මුදල් ඩොලර් මිලියන සිය ගණනක් ක්‍රියාකාරීන් අතර සංසරණය වීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මීට පෙර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

    - lankadeepa.lk//

    මේ ගැන තවදුරටත් විස්තර සහිතව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: