වෙබ් ලිපිනය:

Friday, December 23, 2022

නත්තලට අලුත් තැපැල් පෙට්ටියක්!


නත්තලට තව දවසයි. මේ වෙලාවේ අපේ පැත්තේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සෘණ 9යි. සෙන්ටිග්‍රේඩ් අංශක වලින්නම් සෘණ 23ක්. පට්ට සීතලයි කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. 

සීතල මැද්දේම එළියට බැහැලා ගත්ත මේ සමඟ පළ කර තිබෙන ඡායාරූපයේ වම් පැත්තේ තියෙන්නේ අපේ ගේ ඉදිරිපිට දර්ශනයක්. අඟල් දෙක තුනක් හිම වැටිලා. ඒක විශාල හිම පතනයක් නෙමෙයි. ඔයිට වඩා ගොඩක් හිම වැටෙන දවස් තියෙනවා. හැබැයි අපි දැන් ඉන්න පැත්ත සීතලම පැත්තක් නෙමෙයි. ඇමරිකාවේ සමහර පැති වල සීතල වගේම හිම පතනයත් ඔයිට වඩා ගොඩක් වැඩියි.

නත්තලට අපි ඉන්න පැත්තේ බොහෝ විට යම් තරමකින් හරි හිම වැටෙනවා. හිම වැටුණු සුදු නත්තලක් දකින්න ඇමරිකානුවන් සාමාන්‍යයෙන් කැමතියි. හැමදාම නත්තල් නැහැ වගේ හැම නත්තලටම හිම නැහැ. සමහර අවුරුදු වල කාලගුණය ටිකක් වැඩිපුර උණුසුම් වෙන අවස්ථා තියෙනවා. මේ පාරනම් නත්තලට හිම තියෙනවා. 

හිම මැද්දේ නත්තල් තොප්පියක් දාගෙන ඉන්නේ තැපැල් පෙට්ටියක්. ඇමරිකාවේ ගෙවල් ඉදිරිපිට ඔය විදිගේ තැපැල් පෙට්ටියක් තියෙනවා. කණුවක් හිටවා එහි රඳවපු එකක්. ලියුම් ගේන තැපැල් වෑන් එක ලියුම් දමලා යන්නේ ඔය පෙට්ටියට. අපිට යවන්න අවශ්‍ය ලියුම් ඔය පෙට්ටියේ දමලා තිබ්බහම ඒවත් එකතු කර ගෙන යනවා. කාට හෝ අපිට යමක් දෙන්න අවශ්‍යනම් එයත් ඔය තැපැල් පෙට්ටියටම දාලා යන වෙලාවල් තියෙනවා. 

තැපැල් පෙට්ටිය රඳවා තිබෙන කණුවේ ආකෘතිය හා පාට වගේම තැපැල් පෙට්ටියේ සැලසුම වගේ දේවල් සම්මතයක්. මේ සම්මතය හදාගෙන තියෙන්නේ අසල්වැසි සංගමය විසින්. සම්මතය පිළිපදින්න එහි සාමාජිකයින් බැඳී සිටිනවා. නිවසේ අංකය හා පාරේ නම තැපැල් පෙට්ටියේ සඳහන්ව තිබෙනවා. හොඳින් බැලුවොත් හැම ගෙයක් ඉදිරිපිටම තිබෙන මේ වගේ එක සමාන තැපැල් පෙට්ටි ගණනාවක් පෙනෙයි. 

තැපැල් පෙට්ටිය හෝ කණුව පරණ වී නියමිත ප්‍රමිතිය නැති වුනොත් ඒ වෙනුවට අලුත් කණුවක් හිටවා අලුත් පෙට්ටියක් සවි කරගන්න එක නිවෙස් හිමියන්ගේ වගකීමක්. එසේ නොකළොත් නිවාස හිමියන්ගේ සංගමයෙන් සිහි කැඳවීමක් එන්න පුළුවන්. වසර කිහිපයකට පෙර අපි අපේ තැපැල් කණුව මාරු කළා. ඒ වෙද්දී කණුව ටිකක් දිරලා තැන් තැන් වල තීන්ත වල පාට ගිහිනුයි තිබුණේ. 

මේ තැපැල් කණු හදලා සවි කරන වැඩේම කරන සමාගම් තිබෙනවා. කෝල් එකක් දී මුදල් ගෙවීම පමණයි කළ යුත්තේ. ගෙයි ලිපිනය දුන්නට පස්සේ අදාළ තැපැල් කණුවේ හා පෙට්ටියේ සම්මතය ඔවුන්ට දත්ත ගබඩාවකින් හොයා ගන්න පුළුවන්.

තැපැල් කණුවට දමලා තියෙන නත්තල් තොප්පියනම් ඔය විදිහේ සම්මතයක් නෙමෙයි. ඒක අපේ පාරේ ඉන්න අසල්වැසියෙක් හැමදාම නත්තලට කරන දෙයක්. නත්තල කිට්ටු වෙද්දී හැම තැපැල් කණුවකටම ඔය වගේ නත්තල් තොප්පියක් දමාගෙන යන මේ අසල්වැසියා නත්තල් සතිය ඉවර වෙද්දී නැවත තොප්පි ටික ඉවත් කරන වැඩේත් කරනවා.

මේ පාර නත්තලට අපිට අලුත් තැපැල් පෙට්ටියක් සහ තැපැල් කණුවක් ලැබුණා. නත්තල් සීයාගෙන්නම් නෙමෙයි. ආණ්ඩුවෙනුත් නෙමෙයි. කාගෙවත් බදු සල්ලි වලිනුත් නෙමෙයි.

තැපැල් පෙට්ටිය ලැබුණේ කොහොමද කියන එක ඡායාරූපයේ දකුණු පැත්තේ තිබෙන ලිපිය දිහා බැලුවොත් පැහැදිලි වෙයි. අපේ අල්ලපු ගෙදර අසල්වැසියා වාහනය රිවස් කරද්දී මොන විදිහකින් හරි අපේ තැපැල් පෙට්ටියේ කොණක වැදිලා. තැපැල් පෙට්ටියේ කොණක් ඇද වෙලා. රෑ වෙලාවක ඔය වැඩේ වෙන්න ඇත්තේ. 

ඔය ලියුම තැපැල් පෙට්ටියට දාලා ගිහින් නොතිබුණානම් වැඩේ කළේ කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ගොඩක් ඇමරිකානුවෝ තමන් අතින් වෙනත් අයෙකුගේ දේපොළකට සුළු හෝ හානියක් වුනහම එහි වගකීම ගන්නවා. හැමෝම ඔය වැඩේ කරන්නේ නැහැ තමයි. සද්ද නැතුව මාරු වෙලා යන අයත් ඉන්නවා. නමුත් එහෙම නොකරන අය වැඩියි. 

මේකට එක හේතුවක් තාක්ෂනය. ගොඩක් ගෙවල් වල කැමරා තිබෙනවා. ඒ නිසා, ඔය වගේ දෙයක් වුනාට පස්සේ කරපු කෙනාව හොයා ගන්න පුළුවන් වෙන්න ලොකු සම්භාවිතාවක් තිබෙනවා. දෙවන හේතුව නීතිය හරියට ක්‍රියාත්මක වීම. ඔය වගේ දෙයක් කරලා සද්ද නැතුව ඉඳලා පස්සේ වැරැද්ද කරපු කෙනා ඒ ගැන පැමිණිල්ලක් කළොත් අනිවාර්යයෙන්ම වැඩේ දුරදිග යනවා. තුන් වන කාරණය මිනිස්සු අතේ සල්ලි තිබීම. කන්න බොන්නවත් අතේ සල්ලි නැති කෙනෙක් ඔය වගේ දේවල් ගැන වද වෙනවා අඩුයි. හතරවෙනි හා වැදගත්ම කාරණය මිනිස්සුන්ට පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ ගැඹුරටම කාවැදුණු හැඟීමක් තිබීම. තමන්ගේ පෞද්ගලික දේපොළ අයිතිය ගැන හිතන කෙනෙක් වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොළ අයිතිය ගැනත් ඒ විදිහටම හිතනවා.

සුබ නත්තලක්!

11 comments:

  1. සුබ නත්තලක්!
    //වැදගත්ම කාරණය මිනිස්සුන්ට පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ ගැඹුරටම කාවැදුණු හැඟීමක් තිබීම. තමන්ගේ පෞද්ගලික දේපොළ අයිතිය ගැන හිතන කෙනෙක් වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොළ අයිතිය ගැනත් ඒ විදිහටම හිතනවා.//
    ඇමෙරිකාවේ අයත් ධම්ම පදය කියවල තියෙනවා වෙන්නැති අපේ හාමුදුරුවනේ.... අත්තානං උපමං කත්වා කියලා කියන්නේ ඕකනේ.

    ReplyDelete
    Replies
    1. නිදී පහුගිය දශක එක හමාරක් විතර කාලයක් තිස්සේ ලංකාවේ දේශපාලනය තුල මූලික වශයෙන් කල්ලි දෙකයි තිබුනෙ ඒ රාජපක්ෂ කල්ලිය සහ රාජපක්ෂ විරෝධී කල්ලිය ලෙස එජාපය ජවිපෙ ටී එන් ඒ මුස්ලිම් පක්ෂ සහ වෙනත් කණ්ඩායම් ලෙස, නමුත් දැන් මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා රනිල් රාජපක්ෂ බයි පූට්ටු කණ්ඩායම සහ සජබයි (සජිත් ජලනි බලවේග) කල්ලිය සහ ඊට අමතරව ජවිපෙ විසින් වෙනමම කණ්ඩායමක් සහ ඔය පක්ෂ වලට එරෙහි සහ එසේ නොවන වෙනත් සුළු සුළු කණ්ඩායම් සහ තනි ස්වාධීන පුද්ගලයන් වශයෙන් බෙදිලා තියෙනවා

      ඒ අනුව ලංකාවේ නූතන දේශපාලන පක්ෂ වශයෙන් ගත්තොත් මූලික වශයෙන් කණ්ඩායම් හතරක් පමණ තියෙනවා ඔය රනිල් රාජපක්ෂ පොහොට්ටු කණ්ඩායම, සජබයි කණ්ඩායම, ජවිපෙ ජාතික ජන බලවේගයේ කණ්ඩායම සහ ඔය සේරටම විරුද්ධව සටන් කරන අලුත් ස්වාධීන වෙනත් තනි පුද්ගලයන් රැසක් ඇතුලත් කුලකය ආදී වශයෙන්

      ආණ්ඩුව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ අපි ඕනතරම් කතා කරලා විවේචනය කරලා තියෙනවානේ

      ඊළඟට පැමිණෙන්නේ ලංකාවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන සජිත් ජලනි පක්ෂය නොහොත් සජබ නායක සහ ලංකාවේ නිල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි, එහි නායක සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ තනිකරම ජෝක් එකක්... කැපී පෙනීමේ පුදුම අමාරුවකින් පෙළෙන මානසික ලෙඩෙක්… බොරුවට පොඩි මිනිහා එක්ක ඉන්නවා කියලා ව්‍යාජයක් මවා පෙන්වන නමුත් සැබෑ ජීවිතේදි උන්ව ඉතා අසික්කිත ලෙස පිළිකුල් කරන අපත ගෙවලයෙක්… සජිත් ප්‍රේමදාස වගේ පතෝල මී හරකෙක් විපක්ෂ නායක උන එකත් ලංකාවේ දැනට පවතින බරපතල ආර්ථික දේශපාලනික අර්බුදකාරී තත්වයට ප්‍රධානතම හේතුවක්.. මොළයක් නැති මානසික රෝග වලින් පිරුණු කමකට නැති නිකමෙක් විපක්ෂයේ නායකත්වයට පත් වීමෙන් ආණ්ඩුවට නිසි පරිදි පීඩනයක් එල්ල කරන්න බැරි වෙලා තියෙනවා ඒ වගේම ඊටත් වඩා දැනට තියෙන ගොබ්බ ආණ්ඩුව පෙරලලා හරි හමන් ආණ්ඩුවක් පත් කර ගන්න කිසිම ඔප්ෂන් එකක් නෑ

      එකම ඔප්ෂන් එක තියෙන ආණ්ඩුවට පුළුවන් තරම් බලපෑමක් ස්වාධීන පුද්ගලයන් වශයෙන් එල්ල කිරීම පමණි ඊට අමතරව අර අලුත් ස්වාධීන තනි තනි වශයෙන් සීටින පුද්ගලයන් පිරිස එකතු කරලා වෙනමම පක්ෂයක් ලෙස සංවිධානය කරන එක නේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි පෝස්ට් එකක් දාලා ඔයාගේ බ්ලොග් එකේ?

      Delete
    2. මං තෝරාගෙන තියෙන්නේ ඔබතුමාම කියන පරිදි //තියෙන ආණ්ඩුවට පුළුවන් තරම් බලපෑමක් ස්වාධීන පුද්ගලයන් වශයෙන් එල්ල කිරීම// කියන ක්‍රමයයි.
      දේශපාලන විග්‍රහයන් කරන බ්ලොග්ස් ගොඩක් තියෙන නිසා මම වගේ දුහුනෙකුත් ඒවා නොලිව්වට කමක් නෑ කියලයි මට හිතෙන්නේ.

      Delete
    3. සජිත්, ජලනි, විතරක් නෙවෙයි එරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, හර්ෂද සිල්වා, සාලිය පීරිස් ඇතුළු සජබ කට්ටිය ගොඩක් අය බෝන් අගේන්…. කාවින්ද ජයවර්ධන තමයි කෝඩිනේටර්, එරාන් ගේ තාත්තා පාස්ටර් කෙනෙක් වගේම එරාන්ගේ සහෝදරයා ෂෙරාන් ඒත් පාස්ටර් කෙනෙක් මම හිතන්නේ බෝන් අගේන් කණ්ඩායම මෙහෙයවීම කරන්නේ එක්සත් ජනපදයේ බුද්ධි අංශ වල පිරිසක් ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙන ටීම් එකක්

      ඒ වගේම තමයි රාජපක්ෂ පවුල ගත්තොත් ඒත් ශිරන්ති සහ ලේලියන් තුන් දෙනා ගත්තොත් එතනත් බෝන් අගේන් තව ලංකාවේ නිරාගමික කණ්ඩායම් මෙහෙයවීම කරන්නේත් එක්සත් ජනපදයේ බුද්ධි අංශ වලින්. වාමාංශික කණ්ඩායම් දැන් එක්සත් ජනපදයේ හෝ වෙනත් රටවල අතකොලු වෙලා තියෙන්නේ එහෙම නැති කණ්ඩායම් ත්‍රී වීල් පක්ෂ වලට සීමා වෙලා. පොහොට්ටු පක්ෂයේ ඇමරිකන් බළල් අත් වන බැසිල්ලා ඩලස්ලා ගෝඨලා (රිපබ්ලිකන්) වගේම භාරත රිසර්ච් ඇන්ඩ් ඇනලයිසිස් විං වලට අමතරව චීන එම් එස් එස් අතකොලුත් තදට ක්‍රියාත්මක වෙනවා

      සජිත් ප්‍රේමදාස නම් බෝන් එගේන් කියලා මුණටම රනිල් කීවා පාර්ලිමේන්තුවේදි. මතකද යම් කෙනෙක් වෙන ආගමක නායකයෙක්ගේ සරණ යනවා නම් ඔහු පිරිහෙනවා කියා පරාභව සූත්තයේ තියෙනවා කියා රනිල් කීවා සජිත්ට, තව සරත් ෆොන්සේකා ඡන්ද කාලේ කිරිල්ලපොන පල්ලියකට රිංගුවා, ඔය ගැන ඩයනාත් කීවා ඒ දවස්වල ඇත්තටම සජබේ පාලනය කරන්නේ ජලනි හරීන් කාවින්ද ඇතුලු බෝන් එගේන් කණ්ඩායම, ඔය බෝන් අගේන් කේස් එක ලංකාවට මොන විදියට බලපායි ද දන්නේ නැහැ නේද ඉකොනොමැට්ටා? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

      ඉකොනොමැට්ටා ලංකාවේ ඇමරිකන් ඇජෙන්ඩා එක ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා ලංකාවේ වෙසෙන අය අනාගතය වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
  2. ඉකොනෝලා නං සිංහල බෞද්ධ කළු කැත ජරාව නිසා නත්තල් නැහැනේ.

    ReplyDelete
  3. අසල් වැසියෝ ගැන කියද්දී දෙයක් මතක් උනා. මම කාලයක් හිටිය අධ්‍යාපන කටයුතු වලට යට පැත්තේ තියන කැන්ගරු රටේ. මම හිටියේ අපාර්ට්මන්ට් එකක. ඔකේ ගොඩක් හිටියේ මම වගේම ශිෂ්‍යයෝ තමයි. ඔකේ හිටිය එක එක රටවලින් ආව අය. ඔකේ සිරිතක් තිබ්බ සිකුරාදා හවසට කොමන් ලොබි ඒකෙ කෑම තියන. කෑම කියන්නේ ගොඩක් වෙලාවට පිසා තමයි. කීප දෙනෙක් පාර්ට් ටයිම් කරා ලග තිබ්බ පිසා කඩේක. එහෙම නැති අයත් කැමති අය මොනවා මොනවා හරි තියනවා පුළු පුළුවන් දවසට. සමහරු එතනින් මොනවා හරි අරගන අනිත් අයත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳල යනවා. තව සමහරු මොකක් හරි අරගන තමන්ගේ ගෙදරට යනවා. මාර ආතල් වැඩේ හැබැයි.
    අන්තිමට එන අය කෑම තිබ්බ තැන අස් කරලා යනවා. සරලයි.

    හොද අසල වාසි සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. මම විදේශයක අධ්‍යාපනය ලබද්දි වැඩකරේ සුපිරි වෙළඳ සැලක. මිලදී ගන්න අයගෙ භාණ්ඩ එයාලගේ වාහනවලට පටවන එක තමයි රැකියාව. එයාල යද්දි මිලදී ගන්න ඒවගෙන් පොඩි දෙයක් මට දීල යනව. පැය 4 කදි සමහර දවසට ගොඩක් දේවල් එකතු වෙලා. ඒ දේවල් මම යාලුවොත් එක්ක බෙදා ගත්ත. අනිත් අයත් ඒ වගේ දේවල් හැමදාම ගේනව. ඉතින් වැඩේ කියන්නෙ එක මහත්මයෙක් හිටිය හැම සතියෙම එතෙන්ට එන. එයා මට දීල යන්නෙ කොනඩම් පැකට එකක්. ඒක මම නම් ගත්තෙ නෑ ඔන්න. යාලුවෙක් තමයි හැමදාම අරන් ගියෙ.

      මට කියන්න ඕන වුනේ මේ දේවල් මම අපේ ගමේදිත් ඕන තරම් දැකල තියෙනව. අපි පුන්චි කාලෙ ඕන තරම් මාළු පිනි අසල්වැසි ගෙවල් එක්ක හුවමාරු කර ගන්නව. කොස් නම් කොහොමත් බෙදාගන්නව. කුඹුරු කපන කාලෙට වී ටිකකුත් අම්මල දෙනව ළඟපාත අසල්වැසියන්ට. වැඩිහිටි - කුඩා කවුරු ආවත් කෑම වෙලාවක ආහාර නොදී යවන්නෙ නෑ ගොඩක වෙලාවට. ඉතින් ලංකාවෙ කියලත් මේ දේවල් නොතිබුණා නොවෙයි.

      දැන් තියෙන්නෙ ක්‍රමවල වෙනසක්. පිරිමි අසල් වැසියන්ට අරක්කු බොන්න ආරාධනා කරාට කෑමට ආරාධනා කරනවා අඩුයි. නමුත් ඉස්සර එහෙම නෑ. ඒකයි අපිට ඒ අතීතය සුන්දර.

      Delete
  4. ඔබේ සටහන ආසාවෙන් කියෙව්වා. කෙටිකතාවකට හොද වස්තු බීජ රැසක් තියෙනවා. මගේ නිවස තිබෙන ප්‍රදේශයේ නැති වුණත් මගේ නිවසට කිලෝමීටර 15 ක් විතර දුරින් තිබෙන මා කලින් සේවය කල පලාතේ මෙවැනි ලියුම් පෙට්ටි තිබෙනවා . ඒ හා බැදුණු සිරිත් සහ කථා රැසක් මට ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්නට ලැබුණා. හරිම රසවත් වගේම විචිත්‍රයි. ඒත් මෑතක පටන් සංක්‍රමණික කණ්ඩායමක් වයසක නිවැසියන් සිටින නිවෙස්වල ලිපි හොරකම් කරමින් හොර ක්‍රෙඩිට් පත් අයැදුම් කිරීම හින්ද අනාගතයේදී ඒවා නැතිවී යාමේ අවදානමක් තිබෙනවා.

    ඔබේ කොමෙන්ටුවේ තිබූ පීසා කතාව වගේම සිදුවීමක් මට මතක් වුණා. මා මේ රටට ආ මුල් කාලයේ පදිංචි වෙලා හිටියෙ ගෙදරක පහත මාලයේ. ඒ ගෙදර අයිතිකරුවන්ගේ දියණිය අතිකාල වැඩ කල බේකරිය එදා දවසේ ඉතිරි වුනු කෑම සියල්ල අයින් කරනවා. ඇය ඒවා ළග තිබෙන Food Bank එකට ගෙනැවිත් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපටත් ගෙනැවිත් දුන් අවස්ථා තිබුණා.

    ඔබට සතුටුදායක විවේක කාලයක් වේවා . ඊළග සටහන කියවන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එම කතා වලට වස්තු භීජය කුමක්ද වලිගමගේ? ලියුම් පෙට්ටියක් තිබීම නිසා අඳුරේ බලවේග වලට නිවසට ඇතුළු වීමට නොහැකිය යන මතය පැරණි ඕක්වරුන් සතුව තිබෙනවා ඇලබාමා වල. නොහැකිය යන මතය බැහැර කිරීමට හැකිද අපට අනුරුද්ද? ඔබගේ ලියමන රසවත්, මෙම පොස්ටුවට අදාලව. තුතිපුදනෙමි.

      Delete
  5. බේබදු කමට කටගොන්නක් බීගෙන තැපැල් නයින්ටියේ ගිහින් අනුන්ගේ දේපල වලට හානි කරන්න එපා ඉකොනෝ.

    ReplyDelete
  6. ඇමෙරිකාවේ හිම කුණාටුවෙන් සති අගදී 12 ක් මියගිහින්

    (විමුක්ති එස් රුද්‍රිගු)

    ඇමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේදී අවම වශයෙන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.5 කට විදුලිය නැති වී ඇති බවත් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

    හිම කුණාටුව ටෙක්සාස් සිට කැනඩාවේ කිව්බ් නගරය දක්වා කිලෝ මීටර 3200 ක් පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    මොන්ටෑනා ප්‍රාන්තයේ එල්ක් පාර්ක් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 45 ක් දක්වා පහත වැටුණු බවත් පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්ත වලට දැඩි හිම පතනයක් බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.

    නිව්යෝර්ක් සහ බෆලෝ නගරවලට අඟල් 35 ක පමණ හිම පතනයක් සිදු වේ යැයි බලාපොරොත්තු වන බවත් බලධාරීන් පෙන්වා දී ඇත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: