වෙබ් ලිපිනය:

Sunday, December 11, 2022

අපනයන ආදායම් 100%ක්ම රටට ගෙනත් - මහ බැංකු අධිපති


මෑතකදී මහ බැංකුව විසින් ස්ථාපනය කරන ලද අපනයන ආදායම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රනය හරහා එකතු කරගත් දත්ත අනුව පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක තුළ ඉපැයූ අපනයන ආදායම් ප්‍රමාණයෙන් 100%ක්ම අපනයනකරුවන් විසින් රටට රැගෙන විත් ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. ඔහු මෙසේ පවසන්නේ දෙරණ හයිඩ්පාක් වැඩ සටහනේ මාධ්‍යවේදිනියක විසින් අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

(සබැඳිය: https://www.youtube.com/watch?v=66YrYTTNi-Y)

ප්‍රශ්නයට පාදක වන්නේ අධිකරණ ඇමතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයක්. 

"අවුරුදු 12ක් රටින් හැංගු ඩොලර් බිලියන 53ක් ගිය වසරේ පමණක් ඩොලර් බිලියන 3ක් හංගලා - විජයදාස රාජපක්ෂ" - හිරු නිවුස් 

(සබැඳිය: https://www.youtube.com/watch?v=S1BxOZFsEnM)

විජයදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශය අනුව පසුගිය වසර 12ක කාලයක් තුළ මහ බැංකුවේ නියෝග උල්ලංඝනය කරමින් ඩොලර් බිලියන 53.5ක මුදලක් රටින් පිට කර තිබෙනවා. මේ ප්‍රකාශය පදනම් වන්නේ පුවත්පතක පළව ඇති ලිපියක් මතයි. එම ලිපිය සඳහා පාදක කර ගෙන ඇත්තේ (අප විසින් මීට පෙර සාකච්ඡාවට බඳුන් කර ඇති) රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාවක්. විජයදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශය අනුවම පසුගිය වසර තුළ මේ අයුරින් රටට රැගෙන විත් නැති අපනයන ආදායම් ප්‍රමාණය ඩොලර් බිලියන තුනක්. මහ බැංකුව මෙවැන්නක් කියා ඇත්තේ කොතැනකද යන්න පැහැදිලි නැහැ. 

ඉහත සඳහන් "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාව ගැන විස්තරාත්මක ලිපි දෙකක්ම පළ කර ඇති නිසා මම ඒ ගැන තව තව කතා කරන්න යන්නේ නැහැ. මෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ පිළිබඳ මහ බැංකුවේ ස්ථාවරයටයි. පහළින් තියෙන්නේ මහ බැංකු අධිපති වරයාගේ පිළිතුරේ සාරාංශයක්.

- මේ ප්‍රකාශයේ මූලාශ්‍රය වන "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" වාර්තාව මට තවමත් කියවන්නට ලැබී නැහැ. මෙය එම වාර්තාවේ ඇතැයි කියන දෙයක් හා මා කියූ දෙයක් එකට සම්බන්ධ කර වැරදි අර්ථකතනයක් දෙමින් සිදු කර ඇති නොමග යවන සුළු ප්‍රකාශයක්. අදාළ කාලයේ අපනයනකරුවන් විසින් මෙවැනි මුදලක් රටින් පිටකර ඇති බව තහවුරු කළ හැකි  සාක්ෂි හෝ තොරතුරු කිසිවක් අප සතුව නැහැ. 

-1994 සිට 2016 දක්වා කාලය තුළ අපනයනකරුවන් විසින් අපනයන ආදායම් ලංකාවට රැගෙන ඒමේ නීතිමය අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. රටේ විණිමය ප්‍රතිපත්තිය අනුව, ඔවුන්ට එම මුදල් රටින් පිට තබා ගත හැකිව තිබුණා. ඒ නිසා, යම් හෙයකින් එම කාලය තුළ අපනයන ආදායම් රටට ගෙනත් නැතත්, එයින් නීතිය කඩවීමක් සිදු වීමේ හැකියාවක් නැහැ. නීතිය කඩවීමක් සිදු විය හැකිව තිබුණේ එසේ කිරීම නිතී විරෝධී කටයුත්තක් වීනම් පමණයි.

අපගේ එකතු කිරීම: අලුත්ම (2021) "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" වාර්තාවෙහි ඩොලර් බිලියන 53.3ක් රටින් පන්නා ඇති බවට කිසිදු සඳහනක් නැහැ. මෙය අදාළ වාර්තාව ගැන සඳහන් කරමින් ලංකාවේ ඇතැම් අය කියන බොරුවක්. එයින් කියන්නේ රේගුවට පෙන්වා ඇති අපනයන ආදායම් හා එම අපනයන යවනු ලැබූ රටවල රේගු වලට පෙන්වා ඇති ගණන් අතර වෙනසක් ඇති බවයි. කෙසේ වුවද, එම ගණනය කිරීම් කර ඇති ක්‍රමවේදයේද අඩුපාඩු හා දුර්වලතා ගහණයි. එම ආයතනයේම පැරණි (2017) වාර්තාවක මෙවැනි (පැහැදිලි ලෙසම දෝෂ සහගත) සඳහනක් ඇතත්, අළුත් වාර්තාව සකස් කිරීමේදී කලින් කළ වැරැද්ද නොකිරීමට අදාළ ආයතනය ප්‍රවේශම් වී තිබෙනවා.

- අපනයන ආදායම් රටට ගෙන ආ යුතු බවට නියෝගයක් 2016දී පනවනු ලැබුවා. එසේ වුවත්, එසේ රැගෙන එන විදේශ විණිමය රුපියල් බවට හැරවීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. 2021 අග භාගයේදී මහ බැංකුව විසින් මෙවැනි නියෝගයක් පැනවූ අතර එම නියෝගය අනුව රටට ගෙන එන අපනයන ආදායම් වලින් අපනයනකරුවන්ගේ ආනයන වියදම් සඳහා ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන විදේශ විණිමය ප්‍රමාණයෙන් 25%ක් රුපියල් වලට හැරවීම අනිවාර්ය කරනු ලැබුවා. මෙය නිසි පරිදි සිදු වේදැයි පරීක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් මෙම වසරේ ජූලි මාසයේදී ස්ථාපනය කරනු ලැබුවා. ඒ අනුව, රේගු දත්ත හා බැංකු වල විදේශ විණිමය ලැබීම් සංසන්දනය කිරීමෙන් පසු පැහැදිලි වන්නේ පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක තුළ ඉපැයූ අපනයන ආදායම් ප්‍රමාණයෙන් 100%ක්ම අපනයනකරුවන් විසින් රටට රැගෙන විත් ඇති බවයි.

- මගේ [මහ බැංකු අධිපතිගේ] පෙර ප්‍රකාශයක මා සඳහන් කළේ අපනයන ආදායම් වලින් රුපියල් බවට පරිවර්තනය වී ඇති කොටස ගැනයි. එම කොටස ආසන්න වශයෙන් 25%ක් පමණ. නමුත්, අපනයන ආදායම් වලින් අපනයනකරුවන්ගේ ආනයන වියදම් සඳහා ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන කොටස 50%ක් පමණවත් විය යුතුයි. මේ අනුව, ඉතිරි 25%ට කුමක් වුනේද යන්න පැහැදිලි නැහැ. දැනට අපි මේ ගැන සොයා බලමින් සිටිනවා. ඇතැම් විට ඉන්ධන සපයන්නන් වැනි වක්‍ර ආදාන (indirect inputs) සැපයුම්කරුවන්ට ඩොලර් වලින් ගෙවීම් කිරීම සඳහා මෙම මුදල් යොදාගත්තා විය හැකියි. 

අපගේ එකතු කිරීම: මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් ලංකාවේ අපනයන වල දේශීය අගය කිරීම් කොටස 50%ක් විය යුතු බව නිගමනය කරනවා. මෙය ඔහුගේ උපකල්පනයක් පමණයි. ඔහුට, මහ බැංකුවට හෝ වෙනත් කිසිවෙකුට මේ පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ. මෙය අඩු වශයෙන් 2016 පමණ සිට අප විසින් අවධාරණය කර ඇති කරුණක්. 

"අපනයන ආදායමෙන් විශාල කොටසක් නිෂ්පාදන පිරිවැය බැවින් එහි ඇති අතිරික්තය එතරම් විශාල නැත. උදාහරණයක් ලෙස තේ කිලෝවක් විකුණා ඩොලර් තුනක් ලැබෙන විට එහි නිෂ්පාදන වියදම ලෙස ඩොලර් දෙකක් හෝ දෙකයි පණහක් වැය වී තිබිය හැකිය. ඇඟළුම් වල තත්ත්වයද එසේමය." - 2016 මැයි 20, ඉකොනොමැට්ටාගේ සතපහ. 

මේ සාධකය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම නිසා ලංකාවේ වෙළඳ ශේෂය දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණේ එහි වූ භයානක අවදානමෙන් කොටසක් පමණයි. අවදානමෙන් විශාල කොටසක් සැඟවී තිබුණේ ලංකාවේ අපනයන ආදායම් වලින් විශාල කොටසක්ද ශුද්ධ අපනයන ආදායම් නොවීම තුළයි. මෙම ජාතික වශයෙන් ඉතාම වැදගත් පර්යේෂණ කාර්යය වෙත මහ බැංකුවේ පර්යේෂණ අංශ වලින් හෝ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආර්ථික අධ්‍යනාංශ වලින් ප්‍රමාණවත් අවධානයක්‌ යොමු කර නැහැ. 

ලංකාවේ අපනයන වල සාමාන්‍ය දේශීය අගය එකතු කිරීම් අනුපාතය 50% ලෙස සැලකුවොත්, එම ප්‍රමාණයෙන් 25%ක් රුපියල් වී ඇත්නම්, එයින් අදහස් වන්නේ රටට ආ අපනයන ආදායම් වලින් 50%ක් රුපියල් වී ඇති බවයි. එසේනම්, මෙහිදී මහ බැංකුවේ නියෝග කඩවීමක් සිදු වී නැහැ. ඉතිරි කොටස රුපියල් වී නැත්නම් එයින් පෙනෙන්නේ පවතින විණිමය අනුපාතයේ තිරසාර පැවැත්ම පිළිබඳව අපනයනකරුවන් විශ්වාස නොකරන බවයි. තත්ත්වය එවැන්නක්නම්, මහ බැංකුව විසින් කළ යුත්තේ එම විශ්වාසය ඇති කිරීම මිස අපනයනකරුවන්ට චෝදනා කිරීම නෙමෙයි. 

අපනයනකරුවන්ගේ දේශීය අගය එකතු කිරීම් ගැන නිසි අධ්‍යයනයක් කර ඇස්තමේන්තු කරන්නේ නැතිව, ඒ පිළිබඳව තමන්ට හිතෙන දේවල් මත පදනම්ව අපනයනකරුවන්ට චෝදනා කිරීම මහ බැංකු අධිපතිවරයා විසින් නොකළ යුතු දෙයක්. රටට ගෙනාවත්, රටට නොගෙනාවත්, රටට ගෙනත් ඩොලර් වලින් තියා ගත්තත්, රුපියල් කළත්, ඒ ඔවුන් විසින් උපයන ඔවුන්ගේ සල්ලි. 

8 comments:

  1. අපිට මහබැංකුව අහෝසි කරන්න බැරිද ඉකොනෝ.

    මහබැංකුවේ අදුරදර්ශී ක්‍රියා නිසානේ රට මේ වගේ බංකොලොත් උනේ

    ReplyDelete
  2. කිරි කෑ කෙන්ජි
    කිරි කෑ ඉකොනෝ

    ReplyDelete
  3. අපනයන ආදායම් රට ගෙන ඒම සහ ඒවා රුපියල් වලට පරිවර්ථනය කිරීම කියන්නේ දෙකක් නිසා, මම නම් හිතන්නේ නීතිය විය යුත්තේ එම ආදායම් විදේශ මුදලින් රටට ගෙන ඒම ප්‍රමාණවත් බවයි. ඩොලර් අනුපාතය ගැන විශ්වාශයක් නොතිබිය හැකි අවධියක එම ආදායම විදේශ මුදලින් ලංකාවේ බැංකුවක තැන්පත් කලත් එය රටේ විදෙශ මුදල් ඉපැයීමට සහ සංචිත වලට හොඳයි කියලයි මම හිතන්නේ. උදාහරණයකට ශ්‍රමික ප්‍රේශණ රුපියල් කිරීම අනිවාර්‍යය වුවහොත් එම මුදල් රට නොලැබී යාමට ඉඩ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉයන්, ලංකාවේ දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අලුත් විදේශ ආයෝජකයන් ගෙන ඒම පැත්තකින් තියා හෝ ලංකාවේ දැනට ඉන්න විදේශ ආයෝජකයන් විතරක් නෙමෙයි දේශිය නිෂ්පාදන කර්මාන්ත කරුවන් පවා රට හැර යෑම පාලනය කර ගන්නේ කෙසේද යන්න. බොහෝ ලංකාවේ BOI සෝන්වල ඉන්න ලොව පිළිගත් හයි එන්ඩ් සමාගම් විතරක් නෙවෙයි අයි ඩී බී එකේ කර්මාන්තපුර වල ආයෝජකයන් පවා අධික පිරිවැය වගේම අධික බදු අය කිරීම නිසා ලංකාවේ ආයෝජන ක්‍රමයෙන් රටින් පිටතටඉවත් කරගෙන යනවා

      දැන් ලංකාවේ හැම දෙයක්ම ගිනි ගණන් අමුද්‍රව්‍ය වලට එල් සී ඕපන් කරන්න බැහැ එක්ස්පෝට් කරලා ඩොලර් තියෙන අපටත් මාර කට්ටක් කන්න වෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඇති ලංකාවේ තමයි කලාපයේ වැඩිම ඉන්ධන මිල තියෙන රට බව ඒ වගේම විදුලි බිල පවා සෑහෙන ඉහළින් තියෙනවා

      2021 වසරේදී දකුණු ආසියා කලාපයේ අඩුම ඉන්ධන මිල ගණන් ඩීසල් එහෙම තිබුණේ ලංකාවේ සහ පාකිස්තානය අතර ඒ කාලේ ඉන්දියාව බංග්ලාදේශයේ එහෙම ඩීසල් මිල වගේම පෙට්රල් මිල පවා සෑහෙන්න වැඩියි

      නමුත් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ කලාපයේ වැඩිම ඩීසල් මිල ගණන් වගේම පෙට්රල් මිලත් ඉතාමත් වැඩියි නේපාල් වැනි කඳුකර පෙදෙසක මාලදිවයින වගේ දූපත් සමූහයක් ඇති රටවල් වල පවා සාපේක්ෂව ලොකු දූපතක් වී හොඳ වරායවල් තියෙන ලංකාවට වඩා අඩුයි ඉතින් මේ වගේ වියදම් අධික පහසුකම් අඩු බදු වැඩි ඉන්ධන කෝටා ක්‍රමයට දෙන ගොබ්බ රටක ඉන්න තරම් ආයෝජකයන් පිස්සෝ රැලක් නෙවෙයි නේද?

      බංග්ලාදේශ වියත්නං කෙන්යා ර්වණ්ඩා එතිඕපියා වගේ රටවල් පැන පැන බදු සහන ලාබෙට ඉඩම් ක්ෂණිකව අනුමැතිය ආදී හැමදේම දෙද්දී ලංකාවේ වගේ මෙලෝ රසක් නැති ගෝතකරුමෙකට කරගහන්න ඕන නෑ නේ නේද?

      ලංකාවේ SME කර්මාන්ත ශාලා විශාල වශයෙන් වැටීගෙන වැසීගෙන යනවා, දැනට තියෙන අධික පොළි අනුපාතික අධික බදු අය කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් අනාථයි

      මේකෙන් කලාපයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ ඩීසල් මිල ගණන් බලා ගන්න පුළුවන් වේවි

      https://www.globalpetrolprices.com/diesel_prices/

      ඒ වගේම මෙන්න මේ කෙටි වීඩියෝ එකේ කියන දේවල් ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන්ද?

      https://fb.watch/hmOwKupSh2/

      මේ කියන විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිංතොට තුනී ලෑලි සංස්ථාව, රක්ෂණ සංස්ථාව වගේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කිරීමෙන් ලංකාවේ ආර්ථිකයට එකතු වූ අගය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      Delete
    2. මීට කලින් පෝස්ට් එකේ මගේ කමෙන්ට් එකට උත්තර දුන්නේ ඔබද? ඒකෙ මගේ පිළිතුරේ තිබුන වැරදි ටික කමෙන්ට් එකකින් නිවැරදි කලාට ස්තූතියි. සාමන්‍ය ඇනෝ කමෙන්ට් වලට වඩා හරයක් ඇති කමෙන්ට් දාන ඔබ ඇනෝ නොව ඔබගේ නමින් එන්න කියා ආරාධනා කරනවා.

      Delete
  4. මට නං මේ මහා බැංකු අධිපතියා පේන්න බැහැ. කුඩුකේඩු මුඩුම මුණක් මුට තියෙන්නේ.

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා,

    ඔය කතන්දර වලින් වැඩක් නැහැ මෙන්න මේ ක්ලිප් එකේ ලංකාවේ ප්‍රායෝගිකව ඇති එක් ප්‍රශ්නයක් ගැන කෙටියෙන් කියනවා මේකට පිලියම් වශයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි ද ඔබට?

    https://www.facebook.com/MawathaSL/videos/1191252631470537/?app=fbl

    ReplyDelete
  6. නන්දලාල් යන්නෙත් මගේ අඩිපාරෙ..! – කබ්රාල්ගෙන් හෙළිදරව්වක්

    වර්තමාන මහබැංකු අධිපති ආචාරය නනදලාල් වීරසිංහ ආර්ථිකය හැසිරවීමට අනුගමනය කරමින් සිටින්නේ මීට කාලෙකට ඉහත තමන් කළ දේ ම බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

    මුදල් මණ්ඩලය සහ මහබැංකු අධිපතිවරයා අතින් සිදුවෙන්නේ තමන් කළ ආකාරයෙන් ම ඩොලරයේ අගය ඉහළ යා නොදී පාලනය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහබැංකු අධිපතිවරයා,

    “අද මට මේ අය චෝදනා කරනවා ඩොලරයේ අගය ඉහළ යා නොදී බලහත්කාරයෙන් පාලනය කළා කියලා. ඒ විදිහට රුපියලේ අගය රැකගත් නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා කියළා මට චෝදනා කරනවා. නමුත් අද මහ බැංකු අධිපති හා මුදල් මණ්ඩලය කරන්නෙත් එදා මම කළ දේ ම යි. ඒකෙ වැරැද්දක් මම දකින්නේ නෑ. හැබැයි එදා මම එහෙම කළ එක වැරදියි කියන අය අද මේ අය කරන දේ ගැන මොකුත් කියන්නේ නෑ.

    මට එල්ල කරලා තියෙන සියලු ම චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මම නීති විරෝධී දෙයක් කරලා නෑ. රටේ ආර්ථිකය කඩා වැට්ටුවෙත් නෑ. එදා තිබුණු ආර්ථිකය පාලනය කරලා මම ජනතාවට සහන ලබා දුන්නා. අද මොකද වෙන්නේ. රටේ ජනතාවට බර පටවන්නේ නැතිව විකල්ප ක්‍රමවලට රාජ්‍ය පාලකයෝ යායුතුයි කියන එක තමයි මම හිතන්නේ. මේ සම්බන්ධයෙන් විකල්ප ක්‍රම තියෙනවා ඒවා සොයා බැලිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන විතරක් ම විශ්වාසය තියලා කටයුතු කිරීම පමණක් ම මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් නෙවෙයි” යනුවෙන් හිටපු මහා බැංකු අධිපතිවරයා පවසනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: