වෙබ් ලිපිනය:

Monday, December 19, 2022

ලංකාවට ඇත්තටම ආයෝජන එනවද?


බදු වැඩි කිරීමේ අයහපත් ප්‍රතිඵල ගැන කතා කරන අය කියන දෙයක් තමයි මේ වැඩෙන් රටට එන විදේශ ආයෝජන නැති විය හැකියි කියන එක. මේ කතාව ටිකක් දුරට ඩොලරයේ මිල ඉහළ යද්දී රජයේ ණය ඉහළ යනවා කියන කතාවට සමානයි.

කලින් නැවත නැවත පැහැදිලි කර දී තිබෙන දෙවන කතාව තවත් වරක් කෙටියෙන් මතක් කරන්නම්. ඩොලර් ණයට අරගෙන, ඒ ණය ආපසු ගෙවද්දී ඩොලරයක මිල වැඩි වෙලානම් ඒ හේතුව නිසා රජයට රුපියල් වලින් වැඩි වියදමක් යනවා. කතාව ඇත්ත. 

ඉහත තර්කයේ ප්‍රශ්නය තියෙන්නේ තර්කය ඇතුළේ නෙමෙයි. තර්කයට පිටින්. කතාව ඇත්ත වුනත් රජයට ඔය පාඩුව වෙන්නේ ගත්ත විදේශ ණය ආපහු ගෙවද්දී. නමුත් ලංකාවේ රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ආපහු ගෙවලාම නැහැ. ගෙවන්නෙත් නැහැ. හැමදාම වගේ කළේ ගෙවන ණයට වඩා අලුතෙන් විදේශ ණය ගන්න එක. ඔහොම විදේශ ණය අරගෙන රුපියල් කරද්දී ඩොලරයේ මිල ඉහළින් තියෙන තරමට රජයට වාසියි. පාඩු වෙන්නේ ඩොලරයේ මිල අඩු වෙද්දී.

විදේශ ආයෝජන ගැන කතාවත් ඔය වගේම එකක්. වැඩියෙන් බදු ගෙවද්දී රටට එන ආයෝජන අඩු වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ රටට ආයෝජන එනවානම්. මෑතකාලීනව දිගින් දිගටම වෙලා තියෙන්නේ ආයෝජකයින් විසින් රජය ණයට ගන්න සල්ලිත් රටින් ගෙනියන එක. 

විදේශ ණය අරගෙන රටට වෙලා තියෙන අවුල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් ඒ ගැන කවුරුත් වගේ දන්නවා. ණය විදිහට රටට එන විදේශ ප්‍රාග්ධනය ගැන බයෙන් සැකෙන් බලන ගොඩක් අය කොටස් හිමිකම් විදිහට රටට එන සෘජු විදේශ ආයෝජන වගේ දේවල් වල කිසිම අවුලක් දකින්නේ නැහැ. නමුත් ඇත්තටම ණය හෝ කොටස් භේදයක් නැතිව ලංකාව විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්න ආකෘතියේම අවුලක් තියෙනවා.

රටකට විදේශ ආයෝජන එන එකේ වාසි ගණනාවක් තියෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ඒ වාසි අමතක කරලා, කරන්නන් වාලේ ආයෝජකයෝ ගෙන්න ගනිද්දී වෙන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. 

ලංකාව කාලයක් තිස්සෙම කරලා තියෙන්නේ බදු සහන දීලා ආයෝජකයින් ආකර්ශනය කර ගන්න එක. ආයෝජකයින් රටට එන එකෙන් රජයට වාසියක් ගන්න පුළුවන් වෙන්නේ ලැබෙන බදු ආදායම වැඩි කර ගැනීම මගිනුයි. බදු ආදායම වැඩි වෙන්නේ නැත්නම්, කොහොම හරි ආයෝජකයෝ ගෙන්න ගත්තා කියලා ඒ ගෙන්න ගත්ත එකෙන් වැඩක් නැහැ.

රටේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදෙනවානම් බදු සහන නැතත් ආයෝජකයෝ එනවා. ඒ එන්නේ දිගුකාලීන වාසි බලාගෙන. එහෙම එන ආයෝජකයෝ තමන්ගේ ලාබ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය කරනවා මිසක් රටෙන් අරන් යන්න හදිසි වෙන්නේ නැහැ.

රටේ ඒ ආකාරයේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදීම සඳහා කළ යුතු මූලික දේවල් සිදු නොකර බදු සහන දීලා ආයෝජකයෝ ගෙන්නුවහම රටට එන්නේ පුළුවන් තරම් ඉක්මනින් රටට ගෙනාපු මුදල වගේ කිහිප ගුණයක් රටින් අරන් යන්න බලාගෙන එන ආයෝජකයෝ. අන්තිමට වෙන්නේ රටට ගේන ඩොලර් ටික වගේ කිහිප ගුණයක් රටින් එළියට යන එක. අන්තිමට රජයට බදුත් නැහැ. රටට විදේශ විණිමයත් නැහැ.

පහත සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම මේ කරුණ පැහැදිලි වෙයි.

වර්ෂය- 2016

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 949

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 500

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 450

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 260

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 240


වර්ෂය- 2017

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 934

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 431

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 503

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 32

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 399


වර්ෂය- 2018

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 783

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 558

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 225

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 238

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 320


වර්ෂය- 2019

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 863

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 599

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 264

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 120

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 474


වර්ෂය- 2020

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 636

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 445

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 191

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 211

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 234


වර්ෂය- 2021

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 647

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 357

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 290

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 317

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 40

6 comments:

  1. ඔය ආයෝජන කියල එන්නෙ සුද්දන්ගෙ සල්ලිද? නැතිනම් ලන්කාවෙ උන්ගෙම පිටරට තියෙන සල්ලිද?

    ReplyDelete
    Replies
    1. විදේශිකයින්ගේ සල්ලි. සුද්දෝ හෝ වෙනත් අය වෙන්න පුළුවන්. ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන විදේශිකයෙක් වුනත් ඔය ගොඩට වැටෙනවා.

      Delete
    2. බැසිල්ගෙ ඩොලර් ලන්කාවෙ ආයෝජනය කලොත් ඒව fdi විදියට නෙමෙයිද ගනන් ගැනෙන්නෙ?

      Delete
    3. ද්විත්ව පුරවැසියන් හා අදාළ තත්ත්වය ගැන හරියටම දන්නේ නැහැ.

      Delete
  2. අපනයන ආදායම ගැන මහ බැංකු අධිපති රහසක් කියයි

    (රංජන් කස්තුරි)

    ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉකුත් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවල ආපනයන ආදායමනේ සියයට 100ක්ම මුදල් මෙරටට පෙන්වා ගෙන හෝ මෙරට බැංකු පද්ධතියට එවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.

    ආපනයනකරුවන් විදේශ රටවල මුදල් තබා නොගන්නා බව එමගින් පැහැදිලිවන බව ද මහ බැංකු අධිපතිවරයා පවසා තිබේත

    තවද ඇඟළුම් කේෂත්‍රයේ අපනයනකරුවන් සිය ආදායමෙන් සියයට 25ක් සෘජුවම රුපියල් බවට පරිවර්ථනය කර තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත. 

    ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සාමාජිකයන් අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීමට මහ බැංකු නීතිවලට අනුව කටයුතු කරන බව ද එම සංසදය සඳහන් කරයි.

    ReplyDelete
  3. මේ ගැන සිපිපියාගේ අදහස මොකක්ද ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: