වෙබ් ලිපිනය:

Friday, December 30, 2022

උද්ධමනයෙන් අවධමනයට...


වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 වසරේ උද්ධමනය 57.2% ලෙස සටහන් කරමින්. දෙසැම්බර් උද්ධමනය යනු වසර තුළ පැවති උද්ධමනයයි. 

නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනය 61.0% සිට 57.2% දක්වා පහත වැටෙද්දී, ආහාර උද්ධමනය 64.4% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 53.4% දක්වාත් පහත වැටී තිබෙනවා.

උද්ධමනය සේ සැලකෙන්නේ වසරක් තුළ පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමයි. 2021 දෙසැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගය 154.7ක් වූ අතර, 2022 දෙසැම්බර් වෙද්දී එම අගය 243.2 දක්වා ඒකක 88.5කින් (57.2%කින්) ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, මෙම ඉහළ යාම මුළුමනින්ම මෙන් සිදු වී තිබෙන්නේ වසරේ පළමු කාර්තු තුන තුළයි. අවසන් කාර්තුව තුළ ඇත්තටම දැකිය හැක්කේ අවධමන තත්ත්වයක්. එනම් සෘණ උද්ධමන තත්ත්වයක්. 

පළමු කාර්තුව තුළ දර්ශකය වෙනස් වීම = ඒකක 10.2 (6.6%)

දෙවන කාර්තුව තුළ දර්ශකය වෙනස් වීම = ඒකක 55.3 (35.7%)

තෙවන කාර්තුව තුළ දර්ශකය වෙනස් වීම = ඒකක 24.5 (15.8%)

සිවුවන කාර්තුව තුළ දර්ශකය වෙනස් වීම = ඒකක (-1.5) (-1.0%)

වසර තුළ දර්ශකය වෙනස් වීම = ඒකක 88.5 (57.2%)

ඉහත දත්ත විසංයෝජනය තුළ දැකිය හැකි පරිදි, මේ වන විටද පවතින ඉහළ උද්ධමනයට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ වසරේ දෙවන කාර්තුව තුළ සිදු වූ මිල වැඩිවීමයි. තෙවන කාර්තුව තුළද සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු වුනා. එහෙත්, සිවුවන කාර්තුව තුළ දැකිය හැක්කේ මිල අඩු වීමක්. එනම් අවධමන තත්ත්වයක්. දැඩි මුදල් ප්‍රතිපත්ති ඊට හේතු වී තිබෙනවා.

මේ වන විට පසුගිය දෙවසර තුළ සිදු වූ සල්ලි අච්චු ගැසීමේ බලපෑම මුළුමනින්ම ඉවත් වී අවසන්. ඒ නිසා, තවත් සල්ලි අච්චු නොගැසුවොත්, කෙටිකාලීනව උද්ධමනය මත ඉල්ලුම් පීඩන ඇති වීමේ ඉඩක් නැහැ. එහෙත්, විදුලි ගාස්තු විශාල ලෙස ඉහළ දමනු ලැබුවහොත්, එම හේතුව නිසා, ජනවාරි හා පෙබරවාරි මාස වල උද්ධමනය නැවතත් ඉහළ යා හැකියි. 

ඉහත පෙන්වා දී ඇති පරිදි, වසරේ දෙවන අර්ධය තුළ සිදුව ඇති මිල ඉහළ යාම 15%කට වඩා අඩුයි. ඒ නිසා, 2023 පළමු කාර්තුව තුළ විදුලි ගාස්තු 400%කින් පමණ ඉහළ දමනු ලැබ, පෙබරවාරි පමණ වන විට නැවතත් උද්ධමනය 70% පමණ මට්ටමකට යා හැකි තත්ත්වයක් යටතේ වුවත්, වසර මැද වන විට නැවතත් උද්ධමනය 30% මට්ටම දක්වා අඩුවීමට නියමිතයි. එමෙන්ම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් පමණ වන විට එම අගය තනි අංකයක් දක්වා අඩු විය හැකියි. 

Thursday, December 29, 2022

තෙල් සංස්ථාව විකුණන්න බැරි ඇයි?


තෙල් සංස්ථාවේ 2021 වසරේ අලාභය රුපියල් බිලියන 82.2ක්. මේ විදිහට තෙල් සංස්ථාව පාඩු ලැබීම 2021 වසරේදී පමණක් වූ අහම්බයක් නෙමෙයි. බොහෝ විට සිදු වන දෙයක්. ආයතනයක් දිගින් දිගටම මේ විදිහට පාඩු ලබමින් පවත්වා ගෙන යන්නේ කොහොමද? 

කෙටි පිළිතුර ණය වලින් කියන එකයි. පහළින් තියෙන්නේ 2021 අවසානයේදී තෙල් සංස්ථාවේ වත්කම් හා බැරකම්.

වත්කම් - රුපියල් බිලියන 419.8

බැරකම් - රුපියල් බිලියන 778.3

ආයතනයක වටිනාකම කියා කියන්නේ වත්කම් හා බැරකම් අතර වෙනස. ඒ කියන්නේ වත්කම් වලින් බැරකම් සියල්ල අඩු කළාට පසු ඉතිරි වන කොටස. එහෙමනම්, තෙල් සංස්ථාවේ වටිනාකම කොපමණද?

පසුගිය වසර අවසානයේදී තෙල් සංස්ථාවේ වටිනාකම රුපියල් බිලියන සෘණ 357.5ක්!

දැන් තත්ත්වය කොහොමද?

මේ (2022) වසරේ පළමු මාස හතර තුළ තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 628.4ක්. ඒ සමඟ සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 1,047.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සමඟම, කොටස් ප්‍රාග්ධනය ලෙස පොදු අරමුදල් වලින් රුපියල් බිලියන 61.5ක් යොදවා පිහිටුවා තිබෙන මේ ආයතනයේ වටිනාකම 2022 අප්‍රේල් අවසානය වන විට රුපියල් බිලියන සෘණ 985.9 දක්වා පහත වැටී තිබෙනවා. 

තෙල් සංස්ථාව තුළ යට කර තිබෙන රුපියල් බිලියන 61.5ක පොදු අරමුදල් වෙනුවෙන් (එම මුදල ණයට ගත් සේ සලකා) රජය විසින් වසරක් පාසා ගෙවා ඇති පොලී මුදල් සහ එම පොලී මුදල් ගෙවීම සඳහා ලබාගත් ණය වෙනුවෙන් ගෙවා ඇති පොලී මුදල් ගණනය කිරීම අපි පැත්තකින්ම තියමු. ඒ සියලුම වියදම් වගේම ඉහත කී රුපියල් බිලියන 61.5ක මුදලද වතුරේ ගොස් බොහෝ කල්. ඊට අමතරව, තෙල් සංස්ථාව ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 985.9ක් ණයයි. ඒ කියන්නේ, තෙල් සංස්ථාවේ සියලු වත්කම් විකුණා එම මුදලින් ණය ගෙවූ පසුවද ඉතිරි වන ණය. 

තෙල් සංස්ථාව විසින් 2022 අප්‍රේල් අවසානය වන විට රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 1,223.6ක්. 2021 වසරේදී රජයේ සමස්ත බදු ආදායම වූයේද රුපියල් බිලියන 1,298.0ක් පමණයි. ඊට පෙර 2020 වසරේදීනම් රුපියල් බිලියන 1,216.5ක් පමණයි. ඒ කියන්නේ තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන තිබෙන ණය පියවන්නට පමණක් 2020 හෝ 2021 වැනි වසරක රජයේ මුළු බදු ආදායමම මෙන් වැය කරන්නට සිදු වෙනවා. 

තෙල් සංස්ථාව වැනි පාඩු ලබන රාජ්‍ය ආයතනයක් විකුණන්න බැරි ඇයි කියන එක මෙයින් පැහැදිලි වෙනවා ඇති. අපි හිතමු කවුරු හෝ කෙනෙක් තෙල් සංස්ථාව සල්ලි වලට ගත්තා කියලා. එහෙම අරගෙන තෙල් සංස්ථාව සතු වත්කම් සියල්ල විකුණලා තෙල් සංස්ථාවේ ණය ටික ගෙවන්නනම් අතින් තව රුපියල් බිලියන 985.9ක් දමන්න වෙනවා. එහෙම ආයතනයක් සල්ලි වලට ගන්නේ කවුද? 

සල්ලි වලට නෙමෙයි නිකම් දුන්නත් තෙල් සංස්ථාව වගේ ආයතනයක් කවුරුත් ගන්නේ නැහැ. ශුද්ධ සෘණ වටිනාකමක් තියෙන ආයතනයක් කාගේ හෝ ඇඟේ ගහන්න පුළුවන් වෙන්නේ සල්ලිත් එක්ක දුන්නොත් පමණයි. තෙල් සංස්ථාව හා අදාළවනම් රුපියල් බිලියන 985.9ක් එක්ක දුන්නොත් පමණයි. දැන් ඔය ගණන තවත් වැඩි වෙලා ඇති.

තෙල් සංස්ථාවේ වත්කම් පරීක්ෂා කළ විට තත්ත්වයේ භයානකකම තවත් පැහැදිලිව පෙනෙනවා. තෙල් සංස්ථාවේ වත්කම් ලෙස ගණන් ගෙන තිබෙන දේවල් වලින් රුපියල් බිලියන 175.9ක්ම වෙනත් රාජ්‍ය ආයතන වලින් අය කරගත යුතු මුදල්. ප්‍රධාන වශයෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් සහ විදුලිබල මණ්ඩලයෙන්. ඒ, තෙල් සංස්ථාවේ ණය වලින් කොටසක් ගෙවීම සඳහා රජය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ලංවිම වෙත පොදු අරමුදල් වලින් රුපියල් බිලියන 45ක් ලබා දීමෙන්ද පසුවයි. 

තෙල් සංස්ථාවට හෝ එය මිල දී ගන්නා අයෙකුට එකතු කර ගන්න එම ආයතන සතුව ප්‍රමාණවත් වත්කම් තිබෙනවාද? යම් හෙයකින් මේ ලැබිය යුතු මුදල් තෙල් සංස්ථාවට නොලැබී යනවා කියන්නේ තෙල් සංස්ථාවේ සෘණ වටිනාකම තවත් පහළ යනවා කියන එකයි. 

තෙල් සංස්ථාව මෙන් පාඩු නොලබන ලංකා බැංකුවේ පසුගිය 2021 වසර අවසානයේ මූල්‍ය තත්ත්වය පහත පරිදියි. 

වත්කම් - රුපියල් බිලියන 3,803.3යි 

බැරකම් - රුපියල් බිලියන 3,602.5යි 

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන 200.8යි.


ඔය විදිහටම අපි මහජන බැංකුවේ 2021 වසර අවසානයේ මූල්‍ය තත්ත්වය දෙසත් බලමු. 

වත්කම් - රුපියල් බිලියන 2,647.6යි 

බැරකම් - රුපියල් බිලියන 2,511.6යි 

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන 136.1යි.

මේ අනුව, රාජ්‍ය බැංකු දෙකේම ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 336.9ක් වෙනවා. නමුත්, ඉහත කී රාජ්‍ය බැංකු වල වත්කම් වලින් රුපියල් බිලියන 1,223.6ක්ම තෙල් සංස්ථාවෙන් අය කර ගත යුතු මුදල්. තවත් විශාල කොටසක් ලංවිම වැනි වෙනත් රාජ්‍ය ආයතන වලින් අය කර ගත යුතු මුදල්. තෙල් සංස්ථාවෙන් ලැබිය යුතු මුදල් වලින් 30%ක් රාජ්‍ය බැංකු වලට නොලැබී ගියොත් රාජ්‍ය බැංකු වලට වෙන්නේ කුමක්ද? ගණන් හදලා බලාගන්න.

මධ්‍යගත සැලසුමක් යටතේ රජය ව්‍යාපාර කරන්න ගියාම හැදෙන්නේ ඔය වගේ අවුල් ජාලයක්. ඔය අවුල් ජාලය අස්සේ ලාබ ලබන ආයතන කියලා ඒවා හොයන්න ලේසි නැහැ. ශ්‍රීලන්කන්, ලංවිම වගේ ආයතන පාඩු ලබද්දී ඒ පාඩුව තෙල් සංස්ථාවට බලපානවා. ඔය ආයතන තුනේම පාඩු රාජ්‍ය බැංකු දෙකට බලපානවා. ඒ නිසා, රාජ්‍ය බැංකු කඩා වැටෙන එක බේරාගන්න වුනත් ශ්‍රීලන්කන්, ලංවිම වගේ ආයතන වලට බදු මුදල් පොම්ප කරන්න වෙනවා. කොහේ තිබෙන බදු මුදල්ද?

රාජ්‍ය ආයතන විකිණීම ගැන ගොඩක් අය කෑ ගැහුවට මේ ආයතන බොහොමයක්ම දැනටමත් තියෙන්නේ විකුණන්නවත් පුළුවන් තත්ත්වයක නෙමෙයි. විකුණන්න හරි පුළුවන් වෙන්නේ මිල ගණන් වැඩි කිරීම මගින් පාඩු තව තව එකතු වෙන එක නවත්තලා, බදු වැඩි කරලා ගන්න සල්ලි පොම්ප කරලා ණය වලින් කොටසක් හෝ ගෙවලා, වෙනත් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම්ද කරලා මේ ආයතන විකිණිය හැකි ආයතන බවට පත් කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ විකුණන්න පුළුවන්කමක් තියෙන්නේ ටිකක් හෝ හොඳින් ක්‍රියාත්මක වන, යම් ලාබයක් ලබන, ටෙලිකොම් වගේ ආයතන පමණයි. 

ගොඩක් වෙලාවට රජය පාඩු ලබන ආයතන නොවිකුණා ලාබ ලබන ආයතන විකුණන්න යොමු වෙන්නෙත් ඔය හේතුව නිසා. හැම විටම නොවුනත්, පාඩු ලබන ආයතන වල විකිණිය හැකි ශුද්ධ වත්කම් නැහැ. එහෙම තිබුණත්, ස්වභාවය අනුවම ඒවා පොත් වල පමණක් තිබෙන, කිසිදා නොලැබෙන වත්කම්. ආර්ථික ලාබ නැතත් ගිණුම්කරණ ලාබ පමණක් හෝ ලබන රාජ්‍ය ආයතන විකුණගන්න පුළුවන් වෙලාවක විකුණ ගත්තේ නැත්නම් ඒවාට වෙන්න ඉඩ තියෙන්නෙත් ඔය සන්තෑසියම තමයි.

Tuesday, December 27, 2022

බැංකු හරහා සල්ලි යවන හැටි...

ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීම ගැන සිදුවන කතාබහ ගැන හරියට පැහැදිලි කරන්නනම් බැංකු හරහා සල්ලි යන ක්‍රමය ගැන මුලින් පැහැදිලි කරන්න වෙනවා. නෝට්ටු හා කාසි යොදා නොගෙන ගෙවීමක් කිරීමෙන් පසු අදාළ මුදල ඔබේ ගිණුමෙන් අඩු වී අනෙක් පුද්ගලයාගේ ගිණුමට යන්නේ කොහොමද? පිටරටක සිට එවන සල්ලි ලංකාවට එන්නේ කොහොමද? ඉන්දියාව කරපු වැඩෙන් මේ තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? මේ දේවල් ගැන පැහැදිලි කිරීම් වීඩියෝවේ තිබෙනවා.



Monday, December 26, 2022

රුපියලේ පාලනය ඉන්දියාවට යයිද?


මේ වන විට අඩු වශයෙන් ශ්‍රී ලාංකික බැංකු පහක් විසින් ඉන්දියානු රුපියල් වලින් සෘජුව ගනුදෙනු කිරීමට පහසුකම් සලස්වමින් ඉන්දීය සංචිත බැංකුවේ අධීක්ෂණයට හා නියාමනයට යටත් වන ඉන්දියානු රුපියල් ගිණුම් (වොස්ට්‍රෝ ගිණුම්) විවෘත කර තිබෙනවා. ඉතා ඉක්මණින් තවත් බැංකු ගණනාවක් විසින්ද මෙම පියවර ගනු ඇතැයි අනුමාන කළ හැකියි. 

ඉන්දියානු රුපියල කලාපය තුළ ජනප්‍රිය කිරීමේ හා ඉන්දියානු අපනයන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකාව ඇතුළු විදේශ රටවල වාණිජ බැංකු වලට ඉන්දියාව තුළ වොස්ට්‍රෝ ගිණුම් ආරම්භ කිරීමට ඉඩ දීමට පසුගිය ජූලි මාසයේදී ඉන්දීය සංචිත බැංකුව තීරණය කළා. ශ්‍රී ලාංකික වාණිජ බැංකු පහක ඉන්දියානු රුපියල් ගිණුම් ඉන්දීය සංචිත බැංකුව විසින් මේ වන විටද අනුමත කර තිබෙනවා.

මේ අනුව, මහජන බැංකුව විසින් ඉන්දීය රාජ්‍ය බැංකුවේ (State Bank of India) ඉන්දියානු රුපියල් ගිණුමක් විවෘත ඇති අතර සෙලාන් බැංකුව, NDB බැංකුව සහ තවත් බැංකුවක් ඉන්දියානු බැංකුවේ (Indian Bank) ගිණුම් විවෘත කර තිබෙනවා. ලංකා බැංකුව මේ කාර්යය සඳහා එහි චෙන්නායි ශාඛාව හරහා වොස්ට්‍රෝ ගිණුමක් විවෘත කර තිබෙනවා.

ඉන්දියාව නිදහස ලබන විට ඉන්දියානු රුපියල දකුණු ආසියානු කලාපය මෙන්ම මැදපෙරදිග පවා ජනප්‍රියව තිබුණු ප්‍රබල මුදල් ඒකකයක්. එය ලංකාව ඇතුළු රටවල් ගණනාවක සංචිත මුදල් ඒකකයක් ලෙසද භාවිතා වුනා. 

මුලින්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව මෙන් කොටස් හිමියන්ගේ බැංකුවක් වූ ඉන්දීය සංචිත බැංකුව 1949දී රජයට පවරා ගැනීමෙන් පසුව ඉන්දියානු රුපියලේ පරිහානි කාලය ඇරඹුනා. නිදහසින් පසුව ලංකාව මෙන්ම ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වැළඳ ගනිමින්, සුබසාධන වියදම් නඩත්තු කිරීම සඳහා දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී ඉන්දියාවටද ලංකාවට මෙන් දිගින් දිගටම ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්නට වුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් මේ අර්බුද වලින් ගොඩ ගියත් ආර්ථිකයේ වූ ආකෘතිමය ප්‍රශ්න එලෙසම පැවති නිසා ඉන්දියාවටද නැවත නැවත අරමුදලේ උදවු සොයා යන්න සිදු වුනා. 

ඉන්දියාව දරුණුම ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් 1991දී ඉන්දියාවට ණය ලබා ගත හැකි වූයේ රටේ තිබුණු රන් සංචිත ගුවන් මගින් ප්‍රවාහනය කර ඇපකරයක් ලෙස එංගලන්ත බැංකුවේ තැන්පත් කිරීමෙන් පසුවයි. ඒ වන විට ඉන්දියාවේ විදේශ ණය ප්‍රමාණය රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය මෙන් 15 ගුණයක් පමණ දක්වා ඉහළ ගොස් තිබුණා. වෙනත් විදිහකින් කිවුවොත්, රටේ නිල සංචිත ප්‍රමාණය රටේ විදේශ ණය ප්‍රමාණයෙන් 6%-7% මට්ටම දක්වා පහත වැටී තිබුණා.

කෙසේ වුවත්, මේ දරුණු ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසුව ඉන්දියාව පාඩමක් ඉගෙන ගත්තා. පෙර වැරදි නැවත නැවත කළේ නැහැ. රට ක්‍රමක්‍රමයෙන් විවෘත වුණා. ජාතික සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවට වෙළඳපොළ ප්‍රතිපත්ති ආදේශ වුනා. ඉන්දියානු රුපියල ටිකෙන් ටික ශක්තිමත් වුනා. ඉන්දීය සංචිත බැංකුව විසින් එංගලන්ත බැංකුවේ ණය ගෙවා තමන්ගේ රන් සංචිත බේරාගෙන නැවත රටට ගෙනාවා. ඉන්දියාවේ විදේශ සංචිත රටේ විදේශ ණය ප්‍රමාණය ඉක්මවා ගියා. දැන් ඉන්දියානු රුපියල නැවතත් ශක්තිමත් මුදල් ඒකකයක්.

ඉන්දියානු රුපියල නැවතත් ශක්තිමත් මුදල් ඒකකයක් වී තිබුණත් රටේ මහ බැංකුව රජය සතු කරන්නට පෙර මුදල් ඒකකය සතු වූ කීර්තිය නැවත හිමි කර ගැනීමට තවමත් ඉන්දියානු රුපියල සමත් වී නැහැ. දැන් ඉන්දියාවේ ඉලක්කය ඒ නැති වූ පිළිගැනීම නැවතත් තමන්ගේ මුදල් ඒකකයට ලබා දීමයි. 

ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීම සඳහා ලංකාව පොළඹවා ගැනීමේ උත්සාහය සාර්ථක ලෙස ක්‍රියාවට නැගෙන්නේ මේ පසුබිම තුළ වුවත් ඒ සඳහා ලංකාව යොමු වීමට තවත් ප්‍රබල සාධකයක්ද හේතු වී තිබෙනවා. ඒ, වසර 47ක් තිස්සේ ලංකාව හා ඉන්දියාව අතර ගනුදෙනු සිදු වූ ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය තුළින් ශ්‍රී ලංකාව මේ වන විට ඉවත් වී සිටීමයි.

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය යනු 1975 සිට ඉන්දියාව හා ලංකාව ඇතුළු කලාපයේ රටවල් ගණනාවක මහ බැංකු අතර ඇති සම්මුතියක්. මෙම සම්මුතිය අනුව, සාමාජික රටවල් අතර ගනුදෙනු සිදු වෙද්දී ක්ෂණිකව රටවල් අතර මුදල් හුවමාරුවක් සිදු වන්නේ නැහැ.

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය ක්‍රියාත්මක තිබියදී ශ්‍රී ලාංකිකයෙකු විසින් ඉන්දියාවට මුදලක් යැවීමේදී (උදාහරණයක් ලෙස කිසියම් ආනයනයක් වෙනුවෙන්) මුලින්ම තමන්ගේ බැංකුවට ගොස් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගත යුතුයි. ඉන්දියානුවාට ඔහුගේ බැංකුවෙන් එම ඩොලර් ප්‍රමාණයට සමාන ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් වහාම ලැබෙනවා. 

මේ ගනුදෙනු දෙකෙන් එකකදීවත් මුදල් නෝට්ටු භාවිතා කිරීමට අවශ්‍ය නැහැ. ලංකාවේ බැංකුවට තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුමෙන් අදාළ මුදල අඩු කර ගත හැකියි. මේ අයුරින්ම ඉන්දියානු බැංකුව විසින් කරන්නේත් තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුම් ශේෂයට අදාළ මුදල එකතු කරන එකයි.

එහෙත්, ලංකාවේ වාණිජ බැංකුව විසින් ඉන්දියාවේ අදාළ වාණිජ බැංකුවට ඩොලර් යැවීමක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට ලංකාවේ වාණිජ බැංකුව විසින් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ඩොලර් ප්‍රමාණයේ වටිනාකමට සමාන රුපියල් ප්‍රමාණයක් ලබා දීමයි. රුපියල් ලබා දෙනවා කිවුවත් මෙහිදී සිදු වන්නේ මහ බැංකුවේ තිබෙන අදාළ බැංකුවේ ගිණුම් ශේෂය අඩුවීමයි.

අනෙක් පැත්තෙන්, ඉන්දියාවේ මහ බැංකුව විසින් අදාළ ඉන්දියානු බැංකුවට මෙම ඉන්දියානු රුපියල් ප්‍රමාණය ලබා දෙනවා. එය කරන්නේත් එම බැංකුව සතු ගිණුමේ ශේෂය වැඩි කිරීම මගින්. 

ඉන්දියාවෙන් ලංකාවට සල්ලි එවද්දී වෙන්නේත් මෙයමයි. මෙහිදී රටවල් දෙක අතර මුදල් ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. ඉන්දියාවේ හා ලංකාවේ මහ බැංකු අන්‍යෝන්‍ය විශ්වාසය මත එකම ඒකකයක් ලෙස කටයුතු කරනවා. මේ යාන්ත්‍රනයට සම්බන්ධ වී සිටින කලාපීය රටවල් සියල්ලේම මහ බැංකු අතර මේ අන්‍යෝන්‍ය විශ්වාසය පවත්වා ගැනෙනවා. ඒ නිසා, ගනුදෙනු සිදු වන්නේ ඩොලර් වලින් වුවත්, ඇත්තටම ඩොලර් හුවමාරුවක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවත්, යම් අවස්ථාවක ඩොලර් හුවමාරුවක් සිදු විය යුතුයි. මෙය සිදු වන්නේ මාස දෙකකට වරක්. මාස දෙක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙක් රටවල් වෙනුවෙන් ලංකාවේ වාණිජ බැංකු වලට ගෙවා ඇති මුදල සහ අනෙක් රටවල් වෙනුවෙන් එකතු කරගෙන ඇති මුදල ගණනය කිරීමෙන් පසු අමතර මුදලක් ගෙවිය යුතුනම් එම මුදල මාස දෙකකට වරක් පියවිය යුතුයි. ඒ සඳහා දින හතරක කාලයක් ලැබෙනවා. 

මෙහිදී ඇමරිකන් ඩොලර් මෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවද සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම අනෙකුත් රටවල මහ බැංකුද මේ සඳහා ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යනවා. ලංකාව ඉන්දියාවට මුදලක් ගෙවිය යුතුනම් ෆෙඩරල් සංචිත බැංකුවේ ඇති ලංකාවේ ගිණුමෙන් අදාළ මුදල අඩු වී ඉන්දියාවේ ගිණුමට එකතු වෙනවා. 

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය තිබීමේ වාසිය වන්නේ ගනුදෙනු සිදු වන්නේ ඩොලර් වලින් වුනත් ඒ සඳහා ඇත්තටම ඩොලර් අවශ්‍ය වන්නේ මාස දෙකකට වරක් සිදුවන මේ ගනුදෙනු පියවීමේදී පමණක් වීමයි. මෙවැනි යාන්ත්‍රණයක් නොතිබෙන්නට ලංකාව හා ඉන්දියාව අතර ගනුදෙනුවක් සිදුවන වාරයක් පාසා එයට ඇමරිකාවද සම්බන්ධ කර ගැනීමට සිදු වෙනවා. 

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයේ පියවීම් සඳහා මුලින් යොදාගත්තේ ඇමරිකන් ඩොලර් පමණක් වුවත් පසුව මේ සඳහා යුරෝ මුදල් ඒකකයද, ඉතා මෑතකදී යෙන් මුදල් ඒකකයද අනුමත කෙරුණා. එහෙත්, එහිදී සිදු වන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව වෙනුවට ජපාන බැංකුව වැනි තවත් බාහිර විකල්පයක් ලැබීම පමණයි.

පසුගිය වසර අවසානයේදී ලංකාවේ සංචිත හිඳී යාම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයේ එකඟතාව පරිදි ඉන්දියාවට මුදල් පියැවීමට නොහැකි වුනා. ඉන්දියාව කිහිප වරක්ම මේ සඳහා නැවත නැවත කල් දුන්නා. ජූනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු වූ හිඟ මුදල ඩොලර් බිලියන 1.9 දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන් පසුව මෙම මුදලෙන් කොටසක් හෝ පියෙවුවාද නැත්නම් හිඟ මුදල තවත් ඉහළ ගොස් ඇත්ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වුවත්, ඔක්තෝබර් මැදදී ශ්‍රී ලංකාව ඒකපාර්ශ්විකව ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයෙන් ඉවත් වුනා.

ශ්‍රී ලංකා මහ බැංකුව ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයෙන් ඉවත් වීමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දශක ගණනක් තිස්සේ ගණුදෙනු පියැවුණු යාන්ත්‍රනය අක්‍රිය වී තිබෙනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලාංකික බැංකු වලට ඉන්දියාව සමඟ සෘජුව ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීමට ඉඩකඩ සලසා තියෙන්නේ මෙම පසුබිම තුළයි.

අලුත් යාන්ත්‍රනය තුළ ලංකාවෙන් ඉන්දියාවට සල්ලි යද්දී ලංකාවෙන් එකතු කර ගන්නා රුපියල් ප්‍රමාණයට අනුරූප ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ඉන්දියාවේදී ලැබෙන්නේ එම මුදල අදාළ වොස්ට්‍රෝ ගිණුමේ ශේෂයෙන් අඩු කර ගැනීම මගින්. මේ සඳහා ශ්‍රී ලාංකික බැංකු වලට තමන්ගේ ඉන්දියාවේ වොස්ට්‍රෝ ගිණුම් තුළ ප්‍රමාණවත් ශේෂයක් (සංචිත) පවත්වා ගන්න වෙනවා. එම මුදල් ඉන්දියාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කළ හැකියි.

ඉතා පැහැදිලිවම ඉන්දියාව මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවේ ජාතික අභිලාශ මත ඔවුන්ගේ පැත්තෙන් බලලා. නමුත්, මේ වැඩෙන් ලංකාවට හානියක් වන බවක් මෙයින් අදහස් වන්නේ නැහැ.

පළමුව, මේ වැඩෙන් ශ්‍රී ලංකා රුපියල් වෙනුවට ඉන්දියානු රුපියල් ආදේශ වෙන්නේ නැහැ. ඉන්දියානු රුපියල් ආදේශ වන්නේ ඩොලර්, යුරෝ හෝ යෙන් වැනි වෙනත් මුදල් ඒකක වෙනුවටයි. මෙය ඉන්දියාව හා ලංකාව අතර වෙළඳ ශේෂය කෙරෙහි බලපාන්නේ කොහොමද?

දැනටමත් ඉන්දියාව සහ ලංකාව අතර විශාල වෙළඳ හිඟයක් තිබෙනවා. ඒ නිසා, ලංකාවේ බැංකුවක් ඉන්දියාවේ පවත්වා ගෙන යන ඉන්දියානු රුපියල් ගිණුමකින් සල්ලි යන තරමට එම ගිණුම් වලට සල්ලි එන්නේ නැහැ. මේ අඩුව පුරවන්නට ලංකාවේ බැංකු වලට ඔවුන් කොහෙන් හෝ හොයා ගන්නා ඩොලර් ඉන්දියානු රුපියල් කර ඉන්දියාවේ තැන්පත් කරන්න සිදු වෙනවා. 

වාණිජ බැංකු වලට එන විදේශ විණිමය ඉන්දියාවේ ගිණුම් වල එකතු වෙනවානම් එය නරක දෙයක්ම නෙමෙයි. මොන විදිහකින් හෝ වෙන්නේ රටේ විදේශ සංචිත ඉහළ යන එකයි. ඒවා නිල සංචිත නොවෙන්න පුළුවන්. නමුත් මේ ඩොලර් රටට ඇවිත් මහ බැංකුවට විකිණීමෙන් පසුව ඉතිහාසය තුළ සිදු වී තිබෙන දෙය අපි දන්නවනේ. එහෙම බලද්දී ඉන්දියාවේ ඒ සල්ලි එකතු වෙන එක ලංකාවේ ජාතික අභිලාශ අනුව වුනත් වඩා සුරක්ෂිතයි. 

තවමත් අවසන් එකඟත්වයක් ඇති වී නැතත් ඉන්දියාව මේ වන විට ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟද සාකච්ඡා කරමින් සිටිනවා. එම සාකච්ඡා වල ප්‍රගතිය මත ඇතැම් විට මැද පෙරදිග සිට ලංකාවට එන ඩොලර් වලින් කොටසක් ඉන්දියන් රුපියල් වී ඉන්දියාවේ රැඳෙන්න පුළුවන්. එහෙම වුනොත්නම් මුලින් කියපු වාසිය නැතුව යනවා. 

මේ වැඩෙන් ලංකාවට එන විදේශ විණිමය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හා ඉන්දියාව අතර යම් තරඟයක් ඇති වෙනවා. මම හිතන්නේ මේ තරඟය හොඳ එකක් කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියලේ අගය තියා ගන්න අවශ්‍යනම් සංචිත එකතු කරගෙන රුපියල ශක්තිමත් කරන්නම වෙනවා. සංචිත එකතු කරගන්නනම් විදේශ විණිමය වෙනුවෙන් නියම මිල ගෙවන්නම වෙනවා. නැත්නම් ඒ සංචිත ඉන්දියාවට යන එක වලක්වන්න බැරි වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට මෙයින් වෙන්නේ වාසියක්. ඇත්තටම කියනවානම් මේ වැඩෙන් දිගුකාලීනව වෙන්නේ ඉන්දියානු රුපියලේ ශක්තියත් අරගෙන ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙනවා වගේ දෙයක්. එහෙම නැතුව ශ්‍රී ලංකා රුපියල අතු ගෑවිලා යන්නේ නැහැ. (වෙන හේතු නිසා එහෙම වෙන්න පුළුවන්.)

ශ්‍රී ලංකා රුපියල කියන එක ඓතිහාසිකව හැදී තිබෙන්නේම ඉන්දියානු රුපියලේ ශක්තියෙන්. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවට පස්සේ ඒ සම්බන්ධය කැඩිලා රුපියල අයාලේ ගියා. අනෙක් අතට ඉන්දියානු රුපියලේත් හුළං බැහැලා ශක්තියක් නැති මුදල් ඒකකයක් වුනා. නමුත් දැන් නැවතත් ඉන්දියානු රුපියල එහි පරණ ඓශ්චර්යය කරා හෙමින් හෙමින් ගමනක් අරඹා තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලේ ගැට ගහන එක මේ වෙලාවේ හැටියට වගේම දිගුකාලීනව වුනත් නරක අදහසක් නෙමෙයි.

Sunday, December 25, 2022

අයවැය කළමනාකරණයේ දිශානතිය

සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 57.6%කින් වර්ධනය වී තිබෙනවා. තෙවන කාර්තුවේදී රටේ මූර්ත ආර්ථිකය 11.8%කින් හැකිලුනත්, 64.7%ක් වූ උද්ධමනයේ බලපෑම නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය 45.2%කින් ඉහළ ගියා. මෙම තත්ත්වය තුළ, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් ඉහළ යාම ස්වභාවික ලෙසම සිදු විය යුතු දෙයක්. ඉතිරි කොටස බදු ප්‍රතිපත්ති වෙනස් වීමේ ප්‍රතිඵලයක් සේ සැලකිය හැකියි.

නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් මෙන්ම රාජ්‍ය වියදම්ද ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත්,  2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය වියදම් වල 1.4%ක සුළු අඩුවීමක් දැකිය හැකියි. විදේශ ණය හා පොලී නොගෙවා පැහැර හැර තිබීම මෙයට හේතුවක් විය හැකි වුවත්, දේශීය ණය පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගොස් තිබීම නිසා වියදම් මත ඇති වී තිබෙන පීඩනයද අප‍ට අමතක කළ නොහැකියි. ඒ අනුව, රාජ්‍ය වියදම් දැඩි ලෙස සීමා කිරීමක් පෙනෙන්නට තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ 2021 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 548.0ක් වූ රාජ්‍ය අයවැය හිඟය 2022 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 341.8 දක්වා 62.4%කින් පහත වැටී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩයාමටනම් මේ තත්ත්වය දිගටම පවත්වා ගන්නට සිදු වෙනවා.

Friday, December 23, 2022

නත්තලට අලුත් තැපැල් පෙට්ටියක්!


නත්තලට තව දවසයි. මේ වෙලාවේ අපේ පැත්තේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සෘණ 9යි. සෙන්ටිග්‍රේඩ් අංශක වලින්නම් සෘණ 23ක්. පට්ට සීතලයි කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. 

සීතල මැද්දේම එළියට බැහැලා ගත්ත මේ සමඟ පළ කර තිබෙන ඡායාරූපයේ වම් පැත්තේ තියෙන්නේ අපේ ගේ ඉදිරිපිට දර්ශනයක්. අඟල් දෙක තුනක් හිම වැටිලා. ඒක විශාල හිම පතනයක් නෙමෙයි. ඔයිට වඩා ගොඩක් හිම වැටෙන දවස් තියෙනවා. හැබැයි අපි දැන් ඉන්න පැත්ත සීතලම පැත්තක් නෙමෙයි. ඇමරිකාවේ සමහර පැති වල සීතල වගේම හිම පතනයත් ඔයිට වඩා ගොඩක් වැඩියි.

නත්තලට අපි ඉන්න පැත්තේ බොහෝ විට යම් තරමකින් හරි හිම වැටෙනවා. හිම වැටුණු සුදු නත්තලක් දකින්න ඇමරිකානුවන් සාමාන්‍යයෙන් කැමතියි. හැමදාම නත්තල් නැහැ වගේ හැම නත්තලටම හිම නැහැ. සමහර අවුරුදු වල කාලගුණය ටිකක් වැඩිපුර උණුසුම් වෙන අවස්ථා තියෙනවා. මේ පාරනම් නත්තලට හිම තියෙනවා. 

හිම මැද්දේ නත්තල් තොප්පියක් දාගෙන ඉන්නේ තැපැල් පෙට්ටියක්. ඇමරිකාවේ ගෙවල් ඉදිරිපිට ඔය විදිගේ තැපැල් පෙට්ටියක් තියෙනවා. කණුවක් හිටවා එහි රඳවපු එකක්. ලියුම් ගේන තැපැල් වෑන් එක ලියුම් දමලා යන්නේ ඔය පෙට්ටියට. අපිට යවන්න අවශ්‍ය ලියුම් ඔය පෙට්ටියේ දමලා තිබ්බහම ඒවත් එකතු කර ගෙන යනවා. කාට හෝ අපිට යමක් දෙන්න අවශ්‍යනම් එයත් ඔය තැපැල් පෙට්ටියටම දාලා යන වෙලාවල් තියෙනවා. 

තැපැල් පෙට්ටිය රඳවා තිබෙන කණුවේ ආකෘතිය හා පාට වගේම තැපැල් පෙට්ටියේ සැලසුම වගේ දේවල් සම්මතයක්. මේ සම්මතය හදාගෙන තියෙන්නේ අසල්වැසි සංගමය විසින්. සම්මතය පිළිපදින්න එහි සාමාජිකයින් බැඳී සිටිනවා. නිවසේ අංකය හා පාරේ නම තැපැල් පෙට්ටියේ සඳහන්ව තිබෙනවා. හොඳින් බැලුවොත් හැම ගෙයක් ඉදිරිපිටම තිබෙන මේ වගේ එක සමාන තැපැල් පෙට්ටි ගණනාවක් පෙනෙයි. 

තැපැල් පෙට්ටිය හෝ කණුව පරණ වී නියමිත ප්‍රමිතිය නැති වුනොත් ඒ වෙනුවට අලුත් කණුවක් හිටවා අලුත් පෙට්ටියක් සවි කරගන්න එක නිවෙස් හිමියන්ගේ වගකීමක්. එසේ නොකළොත් නිවාස හිමියන්ගේ සංගමයෙන් සිහි කැඳවීමක් එන්න පුළුවන්. වසර කිහිපයකට පෙර අපි අපේ තැපැල් කණුව මාරු කළා. ඒ වෙද්දී කණුව ටිකක් දිරලා තැන් තැන් වල තීන්ත වල පාට ගිහිනුයි තිබුණේ. 

මේ තැපැල් කණු හදලා සවි කරන වැඩේම කරන සමාගම් තිබෙනවා. කෝල් එකක් දී මුදල් ගෙවීම පමණයි කළ යුත්තේ. ගෙයි ලිපිනය දුන්නට පස්සේ අදාළ තැපැල් කණුවේ හා පෙට්ටියේ සම්මතය ඔවුන්ට දත්ත ගබඩාවකින් හොයා ගන්න පුළුවන්.

තැපැල් කණුවට දමලා තියෙන නත්තල් තොප්පියනම් ඔය විදිහේ සම්මතයක් නෙමෙයි. ඒක අපේ පාරේ ඉන්න අසල්වැසියෙක් හැමදාම නත්තලට කරන දෙයක්. නත්තල කිට්ටු වෙද්දී හැම තැපැල් කණුවකටම ඔය වගේ නත්තල් තොප්පියක් දමාගෙන යන මේ අසල්වැසියා නත්තල් සතිය ඉවර වෙද්දී නැවත තොප්පි ටික ඉවත් කරන වැඩේත් කරනවා.

මේ පාර නත්තලට අපිට අලුත් තැපැල් පෙට්ටියක් සහ තැපැල් කණුවක් ලැබුණා. නත්තල් සීයාගෙන්නම් නෙමෙයි. ආණ්ඩුවෙනුත් නෙමෙයි. කාගෙවත් බදු සල්ලි වලිනුත් නෙමෙයි.

තැපැල් පෙට්ටිය ලැබුණේ කොහොමද කියන එක ඡායාරූපයේ දකුණු පැත්තේ තිබෙන ලිපිය දිහා බැලුවොත් පැහැදිලි වෙයි. අපේ අල්ලපු ගෙදර අසල්වැසියා වාහනය රිවස් කරද්දී මොන විදිහකින් හරි අපේ තැපැල් පෙට්ටියේ කොණක වැදිලා. තැපැල් පෙට්ටියේ කොණක් ඇද වෙලා. රෑ වෙලාවක ඔය වැඩේ වෙන්න ඇත්තේ. 

ඔය ලියුම තැපැල් පෙට්ටියට දාලා ගිහින් නොතිබුණානම් වැඩේ කළේ කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ගොඩක් ඇමරිකානුවෝ තමන් අතින් වෙනත් අයෙකුගේ දේපොළකට සුළු හෝ හානියක් වුනහම එහි වගකීම ගන්නවා. හැමෝම ඔය වැඩේ කරන්නේ නැහැ තමයි. සද්ද නැතුව මාරු වෙලා යන අයත් ඉන්නවා. නමුත් එහෙම නොකරන අය වැඩියි. 

මේකට එක හේතුවක් තාක්ෂනය. ගොඩක් ගෙවල් වල කැමරා තිබෙනවා. ඒ නිසා, ඔය වගේ දෙයක් වුනාට පස්සේ කරපු කෙනාව හොයා ගන්න පුළුවන් වෙන්න ලොකු සම්භාවිතාවක් තිබෙනවා. දෙවන හේතුව නීතිය හරියට ක්‍රියාත්මක වීම. ඔය වගේ දෙයක් කරලා සද්ද නැතුව ඉඳලා පස්සේ වැරැද්ද කරපු කෙනා ඒ ගැන පැමිණිල්ලක් කළොත් අනිවාර්යයෙන්ම වැඩේ දුරදිග යනවා. තුන් වන කාරණය මිනිස්සු අතේ සල්ලි තිබීම. කන්න බොන්නවත් අතේ සල්ලි නැති කෙනෙක් ඔය වගේ දේවල් ගැන වද වෙනවා අඩුයි. හතරවෙනි හා වැදගත්ම කාරණය මිනිස්සුන්ට පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ ගැඹුරටම කාවැදුණු හැඟීමක් තිබීම. තමන්ගේ පෞද්ගලික දේපොළ අයිතිය ගැන හිතන කෙනෙක් වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොළ අයිතිය ගැනත් ඒ විදිහටම හිතනවා.

සුබ නත්තලක්!

Wednesday, December 21, 2022

නොවැම්බර් උද්ධමනය

 

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේ උද්ධමනය 65.0% දක්වා පහත වැටී තිබෙනවා. දෙමසකට පෙර මෙම අගය පැවතුණේ 73.7% මට්ටමේ. ආහාර උද්ධමනය 69.8% දක්වා පහත වැටී ඇති අතර ආහාර නොවන උද්ධමනය 60.4% දක්වා අඩු වී තිබෙනවා. 

උද්ධමනය අඩු වීමට අමතරව සමස්තයක් ලෙස සාමාන්‍ය මිල මට්ටමෙහිද සුළු අඩු වීමක් දැකිය හැකියි. හාල්, සීනි, පළතුරු, අළුත් මාළු, කරවල, කුකුළු මස්, පාන්, පරිප්පු, තිරිඟු පිටි, අමු මිරිස්, පොල් තෙල් ආදියේ මිල ගණන් පහළ යද්දී පොල්, එළවළු, රතු ළූණු, ලොකු ළූණු, අර්තාපල්, බිත්තර ආදියේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, අද පැවති වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 85ක භාණ්ඩාගාර බිල්පත් සියල්ලම පහසුවෙන් අලෙවි වී ඇති අතර පොලී අනුපාතික වලද සුළු අඩුවීමක් දැකිය හැකියි. 

Monday, December 19, 2022

ලංකාවට ඇත්තටම ආයෝජන එනවද?


බදු වැඩි කිරීමේ අයහපත් ප්‍රතිඵල ගැන කතා කරන අය කියන දෙයක් තමයි මේ වැඩෙන් රටට එන විදේශ ආයෝජන නැති විය හැකියි කියන එක. මේ කතාව ටිකක් දුරට ඩොලරයේ මිල ඉහළ යද්දී රජයේ ණය ඉහළ යනවා කියන කතාවට සමානයි.

කලින් නැවත නැවත පැහැදිලි කර දී තිබෙන දෙවන කතාව තවත් වරක් කෙටියෙන් මතක් කරන්නම්. ඩොලර් ණයට අරගෙන, ඒ ණය ආපසු ගෙවද්දී ඩොලරයක මිල වැඩි වෙලානම් ඒ හේතුව නිසා රජයට රුපියල් වලින් වැඩි වියදමක් යනවා. කතාව ඇත්ත. 

ඉහත තර්කයේ ප්‍රශ්නය තියෙන්නේ තර්කය ඇතුළේ නෙමෙයි. තර්කයට පිටින්. කතාව ඇත්ත වුනත් රජයට ඔය පාඩුව වෙන්නේ ගත්ත විදේශ ණය ආපහු ගෙවද්දී. නමුත් ලංකාවේ රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ආපහු ගෙවලාම නැහැ. ගෙවන්නෙත් නැහැ. හැමදාම වගේ කළේ ගෙවන ණයට වඩා අලුතෙන් විදේශ ණය ගන්න එක. ඔහොම විදේශ ණය අරගෙන රුපියල් කරද්දී ඩොලරයේ මිල ඉහළින් තියෙන තරමට රජයට වාසියි. පාඩු වෙන්නේ ඩොලරයේ මිල අඩු වෙද්දී.

විදේශ ආයෝජන ගැන කතාවත් ඔය වගේම එකක්. වැඩියෙන් බදු ගෙවද්දී රටට එන ආයෝජන අඩු වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ රටට ආයෝජන එනවානම්. මෑතකාලීනව දිගින් දිගටම වෙලා තියෙන්නේ ආයෝජකයින් විසින් රජය ණයට ගන්න සල්ලිත් රටින් ගෙනියන එක. 

විදේශ ණය අරගෙන රටට වෙලා තියෙන අවුල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් ඒ ගැන කවුරුත් වගේ දන්නවා. ණය විදිහට රටට එන විදේශ ප්‍රාග්ධනය ගැන බයෙන් සැකෙන් බලන ගොඩක් අය කොටස් හිමිකම් විදිහට රටට එන සෘජු විදේශ ආයෝජන වගේ දේවල් වල කිසිම අවුලක් දකින්නේ නැහැ. නමුත් ඇත්තටම ණය හෝ කොටස් භේදයක් නැතිව ලංකාව විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්න ආකෘතියේම අවුලක් තියෙනවා.

රටකට විදේශ ආයෝජන එන එකේ වාසි ගණනාවක් තියෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ඒ වාසි අමතක කරලා, කරන්නන් වාලේ ආයෝජකයෝ ගෙන්න ගනිද්දී වෙන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. 

ලංකාව කාලයක් තිස්සෙම කරලා තියෙන්නේ බදු සහන දීලා ආයෝජකයින් ආකර්ශනය කර ගන්න එක. ආයෝජකයින් රටට එන එකෙන් රජයට වාසියක් ගන්න පුළුවන් වෙන්නේ ලැබෙන බදු ආදායම වැඩි කර ගැනීම මගිනුයි. බදු ආදායම වැඩි වෙන්නේ නැත්නම්, කොහොම හරි ආයෝජකයෝ ගෙන්න ගත්තා කියලා ඒ ගෙන්න ගත්ත එකෙන් වැඩක් නැහැ.

රටේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදෙනවානම් බදු සහන නැතත් ආයෝජකයෝ එනවා. ඒ එන්නේ දිගුකාලීන වාසි බලාගෙන. එහෙම එන ආයෝජකයෝ තමන්ගේ ලාබ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය කරනවා මිසක් රටෙන් අරන් යන්න හදිසි වෙන්නේ නැහැ.

රටේ ඒ ආකාරයේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදීම සඳහා කළ යුතු මූලික දේවල් සිදු නොකර බදු සහන දීලා ආයෝජකයෝ ගෙන්නුවහම රටට එන්නේ පුළුවන් තරම් ඉක්මනින් රටට ගෙනාපු මුදල වගේ කිහිප ගුණයක් රටින් අරන් යන්න බලාගෙන එන ආයෝජකයෝ. අන්තිමට වෙන්නේ රටට ගේන ඩොලර් ටික වගේ කිහිප ගුණයක් රටින් එළියට යන එක. අන්තිමට රජයට බදුත් නැහැ. රටට විදේශ විණිමයත් නැහැ.

පහත සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම මේ කරුණ පැහැදිලි වෙයි.

වර්ෂය- 2016

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 949

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 500

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 450

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 260

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 240


වර්ෂය- 2017

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 934

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 431

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 503

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 32

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 399


වර්ෂය- 2018

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 783

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 558

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 225

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 238

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 320


වර්ෂය- 2019

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 863

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 599

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 264

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 120

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 474


වර්ෂය- 2020

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 636

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 445

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 191

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 211

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 234


වර්ෂය- 2021

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 647

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 357

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 290

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 317

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 40

ආර්ථික වර්ධනය මනින හැටි

ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? එය මනින්නේ කොහොමද? නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස කුමක්ද? ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් වලින් මැනීමේ ප්‍රශ්නය කුමක්ද?




Sunday, December 18, 2022

ජවිපෙ හැරවුම


මේ වෙද්දී ජවිපෙ මතවාදයේ පැහැදිලි හැරවුමක් පේන්න තිබෙනවා. මම දකින විදිහට මෙය ශ්‍රී ලාංකික දේශපාලනයේ තීරණාත්මක හැරවුමක්. 

නිදහස් ලංකාවේ ජනමතය තුළ මුල සිටම ජාතික සමාජවාදයට සැලකිය යුතු ඉඩක් තිබුණා. මම ජාතික සමාජවාදය කියා කියන්නේ ලෝකයේ සමාජවාදී ලෙස හැඳින්වුණු හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් තිබුණු, දැන් උතුරු කොරියාව වගේ තැන් කිහිපයක පමණක් ඉතිරි වී තිබෙන ක්‍රමය. 

ලංකාවේ සමාජවාදීන් විසින් මුල සිටම ලංකාවේ කවදාවත් නොතිබුණු ධනවාදයක් ගැන විවේචනය කරමින් හිටියත්, එජාප වැනි පක්ෂ පවා අඩු වැඩි වශයෙන් පෙනී සිටියේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කරන, රාජ්‍ය මූලික ආයෝජන හරහා රට දියුණු කිරීම ඉලක්ක කෙරෙන, සුබසාධනය නඩත්තු කෙරෙන ක්‍රමයක් වෙනුවෙන්. මේ ක්‍රමයේ බොහෝ දුරට තිබුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. ධනවාදී බටහිර රටවල් වෙත නැඹුරුවක්නම් එජාපයේ මුල සිටම වගේ තිබුණා.

ශ්‍රීලනිපය කැඩී ගියේ එජාපයෙන්ම වුනත්, දිගින් දිගටම වාමාංශික පක්ෂ එක්ක එකතු වෙලා හදපු සභාග ආණ්ඩු එක්ක එන්න එන්නම ශ්‍රීලනිපය ජාතික සමාජවාදය පැත්තට තල්ලු වුනා. සමගි පෙරමුණු ආණ්ඩුව එහි උච්ඡතම අවස්ථාව. නමුත් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සමාජවාදය කවදාවත් එකට ගිය දෙකක් නෙමෙයි. ලෝකයේ ජාතික සමාජවාදී ආකෘතියේ ආණ්ඩු හැම එකක්ම වගේ හැදුණේ එක්කෝ කැරැල්ලකින් හෝ කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය පැහැර ගෙන. එහෙම නැත්නම්, සාමාන්‍ය ක්‍රමයකට මැතිවරණ ජයග්‍රහණයක් ලැබීමෙන් පසුව නැවත පෙර පරිදි මැතිවරණ නොපවත්වමින්. 

ජවිපෙ කියන පක්ෂය හැදුණේම රාජ්‍ය බලය උදුරා ගෙන ජාතික සමාජවාදී ආණ්ඩුවක් හදලා එය පවත්වා ගැනීම වෙනුවෙන්. නමුත්, ජවිපෙ ඔය වැඩේ කරන්න හදද්දී ලෝකයේ ප්‍රධාන සමාජවාදී රටවල් හැම එකක්ම වගේ හිටියේ ජවිපෙට එරෙහිව සමගි පෙරමුණු ආණ්ඩුව පැත්තේ. ඒ ආණ්ඩුව ඇතුළේ අවශ්‍ය පමණ ජාතික සමාජවාදය තිබුණු නිසා වෙන්න ඇති. 

සමගි පෙරමුණු පරීක්ෂණය අවසන් වුනේ එජාපයට හයෙන් පහක බලයක් ලැබිලා. ශ්‍රීලනිපයට අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න වුනා. සම්ප්‍රදායික වාමාංශික පක්ෂ අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ ලංකාවේ බහුතර ජනමතය කවදාවත්ම ජාතික සමාජවාදය පැත්තට හැරුණේ නැහැ. ජාතික සමාජවාදය හොයපු සුළුතරයක්නම් දිගටම හිටියා.

අවුරුදු 17ක් විපක්ෂයේ හිටියට පස්සේ ශ්‍රීලනිපය ජාතික සමාජවාදය අතඇරියා. මේකට කිවුවේ ධනවාදයට මානුෂික මුහුණුවරක් දීම කියලා. ධනවාදය හෝ මානුෂික මුහුණුවර යන දෙකෙන් එකක්වත් හරියකට තිබුණේ නැති තැනකට වුනත්, ශ්‍රීලනිපය වෙනස් වුනා. ඊට පස්සේ එජාප හා ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති අතර කලින් තිබුණා වගේ විශාල වෙනසක් තිබුණේ නැහැ.

ශ්‍රීලනිපය ජාතික සමාජවාදය අත ඇරියට පස්සේ දිගින් දිගටම ජාතික සමාජවාදය කර ගහගෙන ගියේ ජවිපෙ. ක්‍රමක්‍රමයෙන් යටිබිම්ගත රහසිගත දේශපාලන ආකෘතිය වෙනස් වෙලා, පෙසපෙත් කඩා ගෙන ගියාට පස්සේ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයකින් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කයෙන් තීරණාත්මක ලෙස විතැන් වුනා. නමුත්, ජාතික සමාජවාදය එක්ක මැතිවරණ දේශපාලනය ඇතුළේ ජවිපෙට දුර ගමනක් තිබුණේ නැහැ. 

පස්සේ පස්සේ ජවිපෙ දේශපාලනය බවට පත් වුනේ දූෂණ විරෝධය. එතැනින් එහාට පැහැදිලි වැඩ පිළිවෙළක් ජවිපෙ සතුව තිබුණේ නැහැ. ජවිපෙ එක්ක එකතු වුනු පිරිස ප්‍රධාන වශයෙන්ම කෝකටත් විරෝධීන්. කෝකටත් විරෝධීන් එක්ක ආණ්ඩුවක් කරන්න බැහැ. 

දූෂණ විරෝධය ජවිපෙ විසින් ජනගත කරපු සටන් පාඨයක් නෙමෙයි. හොයා බැලුවොත්, ජවිපෙ බිහිවෙන්නත් කලින් ඉඳන්ම, දූෂණ විරෝධය හැම මැතිවරණයකදීම ප්‍රධාන සටන් පාඨයක් වුනා. ආණ්ඩු පක්ෂයේ හොරු එළවන්න මිනිස්සු අනෙක් ප්‍රධාන පක්ෂය බලයට පත් කර ගත්තා. ඊට පස්සේ අලුත් ආණ්ඩු පක්ෂයේ හොරු එළවන්න මිනිස්සු නැවත පරණ ආණ්ඩු පක්ෂය බලයට ගෙනාවා. ඔය චක්‍රය දිගින් දිගටම ගියා. කොයි ආණ්ඩුවක්වත් හොරු අල්ලලා හොරුන්ට දඬුවම් කළේ නැහැ.

ජවිපෙට මේ තත්ත්වයේ වාසිය ගන්න පුළුවන් වුනා. "උනුත් එකයි මුනුත් එකයි" සටන් පාඨය නැගලා ගියා. කවදාවත් බලය නොගත් නිසා මේ චෝදනාව නැවත ජවිපෙ වෙතම දමා ගසන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. 

අරගලය හොරු ඇල්ලීමේ දේශපාලනයේ උච්ඡතම අවස්ථාවක් කියා කියන්න පුළුවන්. අරගලය එක්ක ජවිපෙ සටන් පාඨය ජනතා සටන් පාඨයක් වුනා. නමුත්, එහි වාසිය ජවිපෙට ගෙඩිය පිටින්ම ගන්න පුළුවන් වුනේ නැහැ. ඒ ජවිපෙ ප්‍රතිපත්ති ඇතුළේම තිබුණු විරුද්ධාභාෂයක් නිසා. 

ප්‍රධාන පක්ෂ දෙක ප්‍රායෝගිකව කොහොම වෙතත්, නමට හරි, කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටිද්දී ජවිපෙ දිගටම පෙනී සිටියේ විශාල රජයක් වෙනුවෙන්. දූෂණ, වංචා, නාස්ති සියල්ල සිදු වුනේ ඔය විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. එක පැත්තකින් දූෂණ, වංචා, නාස්ති වලට හේතු වන විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිටින අතරම අනෙක් පැත්තෙන් දූෂණ විරෝධය ගැන කතා කිරීමේ තිබෙන පරස්පරය තව දුරටත් මිනිස්සුන්ට නොතේරෙන දෙයක් වුනේ නැහැ.

මේක වුනේ හංගන්නේ නැතුව කෙළින්ම කට ඇරලා ධනවාදය ගැන කතා කරන, ඒ වෙනුවෙන් සෘජුව පෙනී ඉන්න අය ටිකෙන් ටික මතු වීමත් එක්ක. මෙය කියවන පැතුම් කර්නර් වගේ අය කෙළින්ම නම් කරන්න පුළුවන්. මංජු නිශ්ශංක, රසික ජයකොඩි වගේ තවත් අය ඉන්නවා. එජාප හෝ ශ්‍රීලනිප නායකයින් කවදාවත් බය නැතුව ධනවාදය වෙනුවෙන් පෙනී සිටලා නැහැ. රනිල් දැනට වුනත් කතා කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගැන. "සමාජ" කෑල්ලක් කොහෙන් හරි එල්ල ගන්නවාම තමයි. 

මේ වගේ තනි පුද්ගලයින් ආශ්‍රිතව කුඩා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී පෙළ ගැහිලා ඉන්නවා. ප්‍රධාන දේශපාලන පක්ෂ වලට තියා ජවිපෙට සාපේක්ෂව වුනත් ඒ අය ජනතාව අතර විශාල බලයක් වෙලා කියලා මම හිතන්නේ නැහැ. නමුත්, ඒ අයගෙන් එල්ල වෙන මතවාදී තර්ජනය ඉතාම දරුණු එකක්. මේක විශේෂයෙන්ම ජවිපෙට ඔලුවටම වදිනවා. 

සමාජවාදීන්ට හා ජාතිකවාදීන්ට සාපේක්ෂව ලිබරල්වාදීන්ට තිබෙන ලොකුම අවාසිය ලිබරල්වාදීන්ට නායකයෙකු විසින් යෝජනා කරන සියල්ලටම ප්‍රශ්න නොකර එකඟ වෙන්න බැරිවීම. මුල් කණ්ඩායම් දෙකට ඔය ප්‍රශ්නය ලොකුවට නැහැ. තමන්ගේ ඉලක්ක අරමුණට යන බව පේනවානම් නායකයාට වැඩේ කරගෙන යන්න ඉඩ දීලා බොක්කෙන්ම උදවු කරන එක ඒ කණ්ඩායම් දෙකටම අවුලක් නැති දෙයක්. නමුත් ලිබරල්වාදීන් ගත්තහම එක් එක් ලිබරල්වාදියාට තියෙන්නේ තමන්ගේම අදහස්. 

අනෙක් අතට ලිබරල්වාදීන්ට තිබෙන ලොකුම වාසියත් මේකම තමයි. අනෙක් කණ්ඩායම් දෙකෙන් වෙනස්ව, ඒ අයට තමන්ගේ අදහස් එක්ක සියයට සියයක් එකඟ නොවෙන අය එක්ක වුනත් එකට වැඩ කරගෙන යන්න පුළුවන්. 

වෙනස් නොවී ඉන්න බැරි තැනකට ජවිපෙ තල්ලු කරලා තියෙන්නේ අරගලයත් එක්ක මතු වුනු මේ අලුත් බලවේගය. බලවේගය කියා කිවුවත් තවමත් තියෙන්නේ කුඩා කණ්ඩායම් රාශියක් සහ ඒ කණ්ඩායම් කිසිවකට සම්බන්ධ නැති තනි පුද්ගලයින් ටිකක්. එකතු වෙලා සංවිධානය වුනොත් මේ කණ්ඩායම් ටිකට අල්ලා ගත හැකි පැහැදිලි හිස් අවකාශයක් ලංකා දේශපාලන භූමියේ තියෙනවා. නාගරික හා අර්ධ නාගරික පහළ හා ඉහළ මධ්‍යම පාන්තිකයින්ගෙන් සමන්විත හතරවෙනි බලවේගයක් විදිහට මතු වෙලා පසුව ඒ ඉඩ පුළුල් කරගන්න එක බැරි දෙයක් නෙමෙයි. 

හැමදාම මැතිවරණ වලදී ජවිපෙ වටා එකතු වුනේ ප්‍රධාන පක්ෂ දෙකට විරෝධය පළ කරන්න ඡන්දය දුන්න අය මිසක් ජවිපෙ දිනවන්න ඡන්දය දුන්න අය නෙමෙයි. ඒ ඡන්ද වලින් කොටසක් අලුත් බලවේගයකට පහසුවෙන්ම ආකර්ෂණය කරන්න පුළුවන්. නමුත්, ඒ නිසා ජවිපෙ ඡන්ද අඩු වෙන එකක් නැහැ. මොකද ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන කොටස් නගර වල වගේම ගම් වලත් විශාල ලෙස වැඩි වෙලා නිසා. ජවිපෙ පාක්ෂික ඡන්දනම් කොහොමත් කැඩෙන්නේ නැහැනේ. 

පක්ෂ දෙකම එපා වී තිබෙන අයගේ ඡන්ද කලින් ගෙඩිය පිටින්ම ජවිපෙට ලැබුණත්, දැන් ජවිපෙට තරඟයකට මුහුණ දෙන්න වෙලා. ජවිපෙ හැරවුම මේ තත්ත්වය තුළ නොගෙන සිටිය නොහැකි උපාය මාර්ගික තීරණයක්. තරඟය හමුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාජබ නංගිව පෙන්නලා ජාතික සමාජවාදී ජවිපෙ අක්කාව ගොඩ දාගන්න දරපු ජවිපෙ උත්සාහය අසාර්ථක වෙලා ඉවරයි. දැන් කුඩා රජයක් වෙනුවෙන්, ව්‍යවසායකත්වය වෙනුවෙන්, පෞද්ගලික සරසවි වෙනුවෙන් පෙනී නොසිට බැරි දේශපාලනික උගුලක ජවිපෙ හිර වෙලා. ජාජබ නියෝජිතයින් විතරක් නෙමෙයි ජවිපෙ නායකයිනුත් කට ඇරලා මේ දේවල් කතා කරනවා. මමනම් පෞද්ගලිකව මේ තත්ත්වය දකින්නේ ඉතාම සාධනීය දෙයක් විදිහට.

කොහොමටවත්ම ජවිපෙ ධනවාදී වෙලා නැහැ. ජවිපෙ දැන් යන ක්‍රමය ගැන වුනත් අපහසුවක් නැතුව ඕනෑ තරම් විවේචන කරන්න පුළුවන්. හැබැයි මම ජවිපෙ සංසන්දනය කරන්නේ ජවිපෙම හිටපු තැනත් එක්ක. ඒ තැන සිට ජවිපෙ වෙනස් වී ඇති සහ වෙනස් වෙමින් තිබෙන දිශානතිය දිහා සුබවාදී ලෙස බලන්න පුළුවන්. සිදුවන හොඳම දෙය ජාජබ හරහා ජවිපෙ සමඟ සම්බන්ධ වී සිටින අළුත් නායකයින් විසින් සම්ප්‍රදායික ජවිපෙ සාමාජිකයින්ව පුනරුත්ථාපනය කරමින් සිටීම. 

ජවිපෙ සාමාජිකයා හෙමින් හෙමින් වෙනස් වෙමින් සිටිද්දී, රනිල් හරහා පොහොට්ටු සාමාජිකයින් හීලෑ කෙරෙමින් තිබෙනවා. ඒ හීලෑවීම පුනරුත්ථාපනය වීමක්ද කියා කියන්න තවම කල් වැඩියි. ඔය දෙකම වෙන්නේ දේශපාලන බලය අහිමි වීමේ තර්ජනය එක්ක. දේශපාලන බලය අහිමි වීමේ තර්ජනයට හේතුව ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ සියල්ලටම වඩා වේගයෙන් මිනිස්සු වෙනස් වීම. මිනිස්සු ටිකෙන් ටික හරි හරි තැනට එනවානම් දේශපාලන පක්ෂ වලට වගේම ඒවායේ නායකත්වයටත් මිනිස්සු අනුව වෙනස් වෙන්න වෙනවා. 

Friday, December 16, 2022

තෙවන කාර්තුවේදී ආර්ථිකය 11.8%කින් හැකිළේ!


ජූලි 1 දිනෙන් පටන් ගෙන, සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 11.8%කින් හැකිළී තිබෙනවා. කෝවිඩ් හේතුවෙන් රට වසා දමනු දැමීම නිසා ආර්ථික ක්‍රියාකාරකම් විශාල ලෙස මන්දනය වූ, පෙර වසරේ තෙවන කාර්තුව තුළද ශ්‍රී ලංකා ආර්ථිකය 5.8%කින් හැකිලුනා. 

කිසියම් වසරකදී ආර්ථිකය සැලකිය යුතු ලෙස හැකිලීමෙන් පසුව එළැඹෙන වසරකදී, එම හැකිළීම නැවත යථා තත්ත්වයට පත් වීම තුළම ආර්ථික වර්ධනයක් දැකිය හැකි වීම සාමාන්‍ය තත්ත්වය වුවත්, පෙර වසරේ 5.8%කින් හැකිළුණු ආර්ථිකය 11.8%කින් තව දුරටත් හැකිළී තිබීම මෙහි ඇති කණගාටුදායක විශේෂත්වයයි. 

රට මුහුණ දී සිටින ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන්, තෙවන කාර්තුව තුළ, ඉන්ධන ඇතුළු භාණ්ඩ ආනයන ඇණහිට රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට තව දුරටත් දැඩි බාධා ඇති වීම මෙයට හේතුවයි. තෙවන කාර්තුව පමණක් සැලකූ විට දෙවසරක සම්ප්‍රයුක්ත හැකිළීම 17.0%ක්.

පැවති මිල ගණන් යටතේ 2022 තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 6,417.0ක්. 2021 තෙවන කාර්තුවේදී එවකට පැවති මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය පැවතුනේ රුපියල් බිලියන 4,318.1 මට්ටමේ. මේ අනුව, නාමික පදනමින් ආර්ථිකය 45.2%කින් වර්ධනය වී තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, රටේ ආදායම් 45.2%කින් වර්ධනය වී තිබෙනවා. එහෙත්, මේ නාමික වර්ධනයට ප්‍රධානම හේතුව පැවති ඉහළ උද්ධමනයයි.

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහද්දී රටේ මිනිසුන්ගේ ආදායම් ඉහළ යනවා. එහෙත්, එම ආදායම් ඉහළ යාම මිල ගණන් ඉහළ නිසා සිදු වන්නක්. නාමික දළ දේශීය නිෂ්පාදිතය තුළ සැබෑ ආර්ථික වර්ධනය (හෝ හැකිලීම) මෙන්ම උද්ධමනය නිසා සිදුවන මෙම මිල ඉහළ යාමද (හෝ අවධමනය නිසා සිදුවන මිල පහළ යාමද) පිළිබිඹු වෙනවා.

සැබෑ ආර්ථික වර්ධනය මැන ගැනීම සඳහා නාමික ආර්ථික වර්ධනයෙන් මිල වෙනස් වීමේ බලපෑම ඉවත් කළ යුතුයි. මෙය කරන්නේ කොහොමද?

සැබෑ ආර්ථික වර්ධනය, එසේත් නැත්නම් මූර්ත ආර්ථික වර්ධනය, මැන ගැනීමේ පළමු පියවර ඒ සඳහා සුදුසු පාදක වර්ෂයක් තෝරා ගැනීමයි. මේ වන විට පාදක වර්ෂය ලෙස යොදා ගන්නේ 2015 වසරයි. 

ඉහත කී පරිදි, පාදක වර්ෂයක් තෝරා ගැනීමෙන් පසුව, පාදක වර්ෂයේදී පැවති මිල ගණන් මත පදනම්ව ඉන් පසු වසර වල දළ දේශීය නිෂ්පාදිතය නැවත ගණනය කරනවා. උදාහරණයක් ලෙස, 2022දී තේ විකුණා ලැබූ ආදායම නාමික දළ දේශීය නිෂ්පාදනයට එකතු වන අතර, මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන්නේ 2022දී විකිණූ තේ ප්‍රමාණයම 2015 වසරේදී එවකට පැවති මිල ගණන් යටතේ විකිණුවේනම් ලැබිය හැකිව තිබුණු ආදායමයි. 

පාදක වර්ෂය ලෙස සලකා ඇති 2015 මිල ගණන් අනුව, 2021 තෙවන කාර්තුවේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 3,269.5ක් පමණක් වන අතර 2022 තෙවන කාර්තුව වන විට එම අගය රුපියල් බිලියන 2,884.0 දක්වා 11.8%කින් පහත වැටී තිබෙනවා. ආර්ථිකය 11.8%කින් හැකිළී ඇතැයි යන්නෙන් අදහස් වන්නේ මෙයයි. 

තවත් විදිහකින් කිවුවොත් පසුගිය වසරක කාලය තුළ රටේ ජනතාවගේ ආදායම් 45.2%කින් ඉහළ ගොස් ඇතත්, මිල ගණන් 64.7%කින් ඉහළ ගොස් ඇති නිසා, ජීවන මට්ටමේ 11.8%ක කඩා වැටීමක් සිදුව තිබෙනවා (145.2/164.7 = 88.2%). වසරේ මුල් කාර්තු තුනම සමස්තයක් ලෙස ගත් විට, 7.1%ක හැකිළීමක් පෙන්නුම් කරනවා. 

මාස නමයේම තත්ත්වය අනුව මෙය 2016 පැවති මට්ටම දක්වා ආපසු යාමක්. තෙවන කාර්තුවේ ප්‍රතිඵලය අනුව, 2014 පමණ දක්වා ආපසු යාමක්. 

රටේ ජීවන තත්ත්වය 11.8%කින් පහත යාම යන්නෙන් සියල්ලන්ගේම ජීවන තත්ත්වය එක සමානව පහත වැටී ඇති බවක් අදහස් වන්නේ නැහැ. මෙහි බලපෑම වැඩිපුරම තිබෙන්නේ යමක්කමක් ඇති අයටයි. එනම්, පරිභෝජනය සඳහා වැය කිරීමෙන් පසුව ආයෝජන කළ හැකි වූ අයටයි. 

තෙවන කාර්තුව සඳහා අදාළ සංඛ්‍යාලේඛණ තවමත් නිකුත් වී නැතත්, දෙවන කාර්තුව දෙස බැලීමෙන් මේ පිළිබඳ අදහසක් ගත හැකියි. දෙවන කාර්තුවේදී ආර්ථිකය 8.4%කින් සංකෝචනය වී ඇතත් පරිභෝජනය කෙරෙහි බලපෑම 2.6%ක අඩු වීමක් පමණයි. එම අඩු වීමට සාපේක්ෂව, ආයෝජන 43.1%කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, බොහෝ දෙනෙකු කෙසේ හෝ වේල පිරිමසාගෙන ඇතත්, එසේ වේල පිරිමසා ගැනීමෙන් පසුව අතේ කීයක් හෝ ඉතිරි කරගෙන කරන දේවල් කළ නොහැකි වී ඇති බවයි. 

රජයේ සංඛ්‍යාලේඛණ සියයට සියයක් නිවැරදිද? මේ ප්‍රශ්නයට මගේ පිළිතුර මෙවැන්නක්. කඩෙන් මිල දී ගන්නා මාළු කෑම පාර්සලයක මාළු කෑල්ලක් ඇත්තටම තිබෙන බව ඔබට සියයට සියයක් සහතිකද? 

මාළු කෑම පාර්සලයේ ඇත්තටම මාළු කෑල්ලක් නැති වෙන්න පුළුවන්. නමුත් කෑම පාර්සලයක් මිල දී ගන්නා හැම විටකම වෙළෙන්දා ඉදිරිපිට එය විවෘත කර බැලීම ප්‍රායෝගික වැඩක් නෙමෙයි. මාළු කෑම පාර්සලයේ ඇත්තටම මාළු කෑල්ලක් නැති වීමේ අවදානම ගන්න එක ඊට වඩා ප්‍රායෝගිකයි. නමුත්, කවුරු හෝ විසින් වෙළෙන්දා සහ ඔබ ඉදිරිපිට කෑම පාර්සලය විවෘත කර එහි මාළු නැති බව පෙන්නුවොත්, ඉන් පසුව තත්ත්වය වෙනස් වෙනවා. ඔබේ කෑම පාර්සලයේ මාළු නැති බව ඔබට කිහිප වරක්ම පෙනී ගොස් ඇත්නම් ඔබටම වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. 

Tuesday, December 13, 2022

පීනට් බටර්


ඇමරිකාවේ පාසැල් ගැන පෙර සටහන් වල ලියා තිබෙනවා. ඇමරිකාවේ පොදු පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් කිසිවෙකුගෙන් මුදල් අය කරන්නේ නැහැ. මම හිතන්නේ එය ලෝකයේ හැම රටකම වගේ සිදුවන දෙයක්. එහෙත්, අවශ්‍යනම් යමෙකුට තමන්ගේ දරුවන් මුදල් අය කරන පෞද්ගලික පාසැලකට යවන්න පුළුවන්. එසේ කළත් නොකළත් පොදු පාසැල් අධ්‍යාපන වියදම් සියල්ලන්ටම දරන්න වෙනවා. මේ වියදම් බොහෝ දුරට ආවරණය කර ගන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් අය කරන වරිපනම් බදු වලින්.

පොදු පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ට පාසැල් අධ්‍යාපනය මෙන්ම පාසැලට යාම සඳහා පාසැල් බස් රථද නොමිලේ ලැබෙන එක සාමාන්‍ය තත්ත්වයයි. ලංකාවේ පාසැල් කාලයට සාපේක්ෂව ඇමරිකාවේ දරුවෙකු දවසේ වැඩි පැය ගණනක් පාසැලේ ගත කරනවා. මේ කාලය තුළ දිවා ආහාර කාලය ගෙවෙනවා. 

එක් පාඨක ප්‍රතිචාරයක සඳහන් කර තිබුණු පරිදි, ඇමරිකාවේ ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් දිවා ආහාරය වෙනුවෙන් මුදල් අය කරන්නේ නැහැ. එහෙත්, අපේ පාසැල් දිස්ත්‍රික්කය තුළ පාසැල් දරුවන්ට දිවා ආහාරය නොමිලේ සැපයෙන්නේ පවුලේ ආදායම් මට්ටම මත පදනම්වයි. ආදායම් සීමාව එම මට්ටම ඉක්මවන පවුල් වල දරුවන්ගේ දිවා ආහාර වෙනුවෙන් දෙමවුපියන් විසින් මුදල් ගෙවිය යුතුයි.

ආහාර නොමිලේ ලැබුණත්, මුදල් වලට ලැබුණත්, දරුවන් විසින් නියමිත කාලය තුළ පාසැලේ කැන්ටිම (කැෆටේරියාව) වෙත ගොස් ශිෂ්‍ය අංකය ඇතුළත් කර තමන්ට අවශ්‍ය ආහාර ඇණවුම් කර ලබා ගැනීමයි සිදු වෙන්නේ. මුදල් ගෙවිය යුතු දරුවන්ගේ බිල්පත් ඔවුන්ගේ පෙර ගෙවුම් ගිණුමකින් අඩු වෙනවා. මුදල් නොගෙවන අය වෙනුවෙන් කිසියම් අරමුදලකින් මුදල් ලැබෙනවා. එසේ ලැබෙන්නේ ෆෙඩරල් රජය හෝ ප්‍රාන්ත රජය විසින් මේ වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන විය හැකියි. 

දෙමවුපියන්ට තමන්ගේ දරුවන්ගේ ආහාර සඳහා මුදල් අය කෙරෙන පෙරගෙවුම් ගිණුමේ ශේෂය පරීක්ෂා කර එය අඩු වෙද්දී ගිණුමට මුදල් දමන්නට සිදු වෙනවා. ශේෂය යම් සීමාවක් දක්වා අඩු වූ විට ඒ ගැන දැනුම් දීමක්ද ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. යම් හෙයකින් ගිණුමේ මුදල් ඉවර වුනොත් මොකද වෙන්නේ?

ගිණුමේ මුදල් ඉවර වුනොත් දරුවන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. ඔවුන්ට "ණයට" කෑම ලැබෙනවා. නමුත්, මේ විදිහට ණයට කෑම ගන්නා දරුවන්ට වෙනදා කෑම ගැනීමේදී ලැබෙන තේරීම් නැති වෙනවා. ඔවුන්ට ණයට ලැබෙන්නේ "පීනට් බටර් සහ ජෙලි සැන්ඩ්විච්" පමණයි. එසේ කරන්නේ තමන්ගේ පාසැල් ආහාර ගිණුමට මුදල් එකතු කරන මෙන් දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිය යුතු බව මතක් කිරීමක් ලෙසයි. (මෙය ඇමරිකාවටම පොදු දෙයක් නෙමෙයි). 

මෙහි ජෙලි කියා කියන්නේ ලංකාවේ ජෑම් කියන අර්ථයෙන්. රටකජු බටර් සහ ජෑම් තැවරූ පාන් පෙති ඇමරිකාවේ ගොඩක් ප්‍රචලිත ආහාරයක්. ඇමරිකාවේ වෙනත් බොහෝ ආහාර වර්ග වලද රටකජු බටර් අඩංගුයි. 

මම ලංකාවෙන් පිටවන තුරු රටකජු බටර් ගැන දැනගෙන හිටියේ නැහැ. මුල් කාලයේදී ලංකාවට එන විට මම රටකජු බටර් බෝතල් කිහිපයක් අරගෙන ආවා. මුල් වරට රජකජු බටර් රස විඳි ගොඩක් අය මේ ආහාරයට රුචිකත්වයක් දැක්වූවා. එහෙත් පසුකාලීනව ලංකාවට එන විට රටකජු බටර් ලංකාවට අමුතු දෙයක් නෙමෙයි. ඒ වෙද්දී ගම් දනවු දක්වා ව්‍යාප්ත වී තිබුණු කීල්ස්, කාගීල්ස් වගේ සුපිරි වෙළඳසැල් වල රටකජු බටර් මෙන්ම, හේසල් නට් බටර් වැනි අනෙකුත් බටර් ආදේශකද දැකිය හැකි වුනා. මේවා ආනයනික නිෂ්පාදන විය යුතු බව මගේ අදහසයි. 

අප කුඩා කාලයේ නිවසින් එළියට ගිය විට අපට අරන් දෙන්නට දෙමවුපියන්ට අද ලංකාවේ තිබෙන තරම් තේරීම් තිබුණේ නැහැ. බොහෝ විට අප ඉල්ලූ, අපට ලැබුණු, දෙයක් වුණේ රටකජු ගොට්ටක්. වෙරළු අච්චාරු, නෙල්ලි එහෙමත් ඔය විදිහට විකුණන්න තිබුණා.

රටකජු කාරයින් ලංගම බස් රථ වලට නැග රටකජු විකිණුවා. නගරයේ තැන් තැන් වල "රටකජු කාරයෝ" හිටියා. මේ විදිහට විකුණපු රජ කජු ගොට්ටට ආවේ කොහොමද කියන එක ගැන හොයන්න මට උනන්දුවක් තිබුණේ නැහැ. ගත්තා. පොතු ඇරියා. කෑවා. එච්චරයි. ඒ දවස් වල ජම්බෝ පීනට් එහෙම ලංකාවට ඇවිත් තිබුණේත් නැහැ.

මෑතකදී කෘෂිකර්ම ඇමතිවරයා විසින් කියා ඇති පරිදි ලංකාවේ වාර්ෂික රටකජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000ක් පමණ. මේ වන විට නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 64,000කට වැඩියි. ඒ නිසා දැන් ලංකාවට රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

ජාත්‍යන්තර වෙළඳ සංවිධානයට ලංකාව විසින් වාර්තා කර ඇති තොරතුරු අනුව, ලංකාව පසුගිය කාලයේ වුනත් ඒ තරම්ම රටකජු ආනයනය කරලා නැහැ. පහළින් තියෙන්නේ එම දත්ත අනුව ලංකාවේ රටකජු ආනයන.

2010 - මෙට්‍රික් ටොන් 659

2011 - මෙට්‍රික් ටොන් 682

2012 - මෙට්‍රික් ටොන් 401

2013 - මෙට්‍රික් ටොන් 128

2014 - මෙට්‍රික් ටොන් 239

2015 - මෙට්‍රික් ටොන් 312

2016 - මෙට්‍රික් ටොන් 253

2017 - මෙට්‍රික් ටොන් 419

2018 - දත්ත නැත 

2019 - මෙට්‍රික් ටොන් 466

2020 - මෙට්‍රික් ටොන් 454

2021 - මෙට්‍රික් ටොන් 494

ඔය හැම වසරකදීම සුළු ප්‍රමාණයක් හෝ ලංකාවෙන් රටකජු අපනයනය කරලත් තිබෙනවා. 2021දීනම් මෙට්‍රික් ටොන් 21ක්. 

මේ දත්ත නිවැරදිනම් සහ කෘෂිකර්ම අමාත්‍යංශය කියන විදිහට රටේ රජකජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වෙනවානම්, පහු ගිය කාලය පුරාම බොහෝ දුරට මේ ඉල්ලුම රට ඇතුළෙන්ම සම්පූර්ණ වෙලා තිබෙනවා. ආනයනය කළේ රටකජු බටර් වගේ දේවල් වෙන්න පුළුවන්. මුලදී ජම්බෝ පීනට් ආනයනය කර ඇතත්, දැන් ඒවාත් ලංකාවේ වවනවා.

මේ වෙද්දී නිෂ්පාදනය ඉල්ලුම වගේ දෙගුණයක් වෙලානම් ඒ කියන්නේ දේශීය ඉල්ලුම මෙන් දෙගුණයක් රටකජු රටේ නිෂ්පාදනය වෙලා. එහෙම වෙලානම්, ඒ කියන්නේ ඔය වගේ මට්ටමක නිෂ්පාදනයක් දිගටම වුනත් පවත්වාගෙන යන්න පුළුවන් කියන එක.

ලංකාවේ රටකජු වලට ලොකු අපනයන වෙළඳපොළක් නැහැ. එහෙම එකක් හදිසියේ හදාගන්න එකත් ප්‍රායෝගිකව ලේසි වැඩක් නෙමෙයි. ඔය තත්ත්වය යටතේ රජකජු මිල පහත වැටිලා ගොවීන් රටකජු අත ඇරියොත් ඒක අපරාදයක්. 

රටකජු වලින් රටකජු බටර් හදන එක රොකට් සයන්ස් එකක් නෙමෙයි. 1930 පමණ වන තුරුම ඇමරිකාවේ රටකජු බටර් හදලා තියෙන්නේ බොහෝ දුරට ගෙවල් වලමයි. මේ වැඩේ සරල පියවර කිහිපයකින් කර ගන්න පුළුවන්.

පළමුව රටකජු බැද ගැනීම. දෙවනුව උණු වතුරේ දමා හෝ සුළු වෙලාවක් තම්බා පොතු ඇර ගැනීම. තෙවනුව අඹරා ගැනීම. ඉන් පසු අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක්, එළවළු තෙල් ටිකක් සහ අවශ්‍යනම් සීනි ටිකක් එකතු කිරීම. මේ එකතු කිරීම් අත්‍යාවශ්‍ය නැහැ. සමහර විට එළවළු තෙල් වලට ආදේශකයක් විදිහට පොල් තෙල් වුනත් හරියන්න පුළුවන්. 

ඇමරිකාවේ සමහර වෙළඳසැල් වල තමන්ටම රජකජු බටර් හදාගත හැකි යන්ත්‍ර තිබෙනවා. සුලබ දෙයක්නම් නෙමෙයි. පැත්තක තිබෙන බැද, පොතු ඇර තිබෙන රටකජු යන්ත්‍රයට දමා අතින් කරකවා එයින් ඇඹරී එන රටකජු බටර් එකතු කර ගන්න එකයි කරන්නේ තියෙන්නේ. මේවා අත් යන්ත්‍ර. මේ වැඩේම කරන විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍ර ඩොලර් 60 වැනි මුදලකට ඇමසන් එකේ තිබෙනවා. 

මම හිතන්නේ රටකජු බටර් හදන අත් යන්ත්‍රයක් ලංකාවේ ලියවන පට්ටලයක වුනත් හදාගන්න පුළුවන්. මේ වගේ පොඩි මහන්සියකින් හා අඩු වියදමකින් කළ හැකි අගය එකතු කිරීමකින් රජකජු ගොවියෙක්ට සැලකිය යුතු ලාබයක් උපයන්න පුළුවන්.

ලංකාවේ කිරි නිෂ්පාදන ඉල්ලුම දේශීය වශයෙන් සපුරා ගැනීම කාලයක ඉඳලා උත්සාහ කළත් හරි ගිහින් නැති ඉලක්කයක්. මේ වැඩේ හෙට අනිද්දා හරියන වැඩකුත් නෙමෙයි. රටකජු බටර් ඔය විදිහට හැදිලා වෙළඳපොළට එනවානම් එය සාමාන්‍ය බටර් වලට හොඳ ආදේශකයක්. ඇත්තටම කියනවානම් කරුණු ගණනාවක් නිසා වඩා හොඳ ආදේශකයක්.

ලංකාවේ සම්ප්‍රදායික ආහාර කියන්නේ බොහෝ විට කාබෝහයිඩ්රේට් ගුලි. දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ නිදන්ගත රෝග වලට ප්‍රධානම හේතුව ඔය ආහාර වල සංයුතිය. රටකජු බටර් වල කැලරි ගණන ගොඩක් වැඩියි. වැඩිපුර තියෙන්නේ ලාංකික සම්ප්‍රදායික ආහාර වලින් අඩුවෙන් ලැබෙන මේද සහ ප්‍රෝටීන්. සාමාන්‍ය බටර් වල සංතෘප්ත මේද වලට සාපේක්ෂව මේවා (වැඩි වශයෙන්ම) අසංතෘප්ත මේද. මස්, මාළු වලට වගේ ආගමික හෝ සංස්කෘතික ප්‍රශ්නයකුත් නැහැ. තරමක ආයෝජනයක් කරලා සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවානම්, දේශීය වෙළඳපොළ ජයගෙන, සන්නාමයක් සහිත නිෂ්පාදනයක් විදිහට අපනයන කරන්න වුනත් බැරිකමක් නැහැ. ආර්ථික අර්බුද ඇති වන කාල කියන්නේ අලුත් දේවල් අත්හදා බලන්න හොඳම කාල.

පසු සටහන: "රටකජු ගොවියන්ගේ එකමුතුව සහ රටකජු වෙළෙඳපොල" ෆේස්බුක් පිටුවේ ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මේ දවස් වල වියලි රටකජු කිලෝවක් සඳහා ගොවීන්ට ලැබෙන මුදල රුපියල් 360ක් පමණ හා අමු රටකජු කිලෝවක මිල රුපියල් 160ක් පමණ වන බවයි. කාගිල්ස් ෆුඩ්සිටිහි ග්‍රෑම් 510 පීනට් බටර් බෝතලයක් විකිණෙන්නේ රුපියල් 2,588ක මිලකටයි. මාසයකට පීනට් බටර් බෝතල් 50ක් පමණ හදා විකුණා ගත හැකි අයෙකුට ඇතැම් විට සාඩම්බර ආදායම් බදු ගෙවන්නෙක් විය හැකියි. 

Monday, December 12, 2022

ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්


ඇමරිකාවේ නිවාස චක්‍රය ගැන කලින් සටහනක ලිවුවා. ඇමරිකානුවන් අතරින් තමන්ගේම නිවසක ඉන්නේ ආසන්න වශයෙන් 65%ක පමණ ප්‍රතිශතයක්. මෙම ප්‍රතිශතය විවිධ සාධක මත විචලනය වෙනවා. 

ඇමරිකානුවන්ගෙන් තුනෙන් එකක් පමණ තමන්ගේම නිවසක නොසිටින්න ප්‍රධානම හේතුවක් වන්නේ යාන්තම් වයස දහඅට පිරුණු පසු දරුවන් ගෙවල් වලින් යාම. එසේ ගෙවල් වලින් නවාතැනකට හෝ කුලී නිවසකට යන තරුණ තරුණියන් තමන්ගේම නිවසක් මිල දී ගෙන පිළිවෙලක් වෙන මධ්‍යන්‍ය වයස අවුරුදු 36ක් පමණ වෙනවා. එතෙක්, කුලී නිවසක සිටීම ඔවුන්ගේ තෝරා ගැනීමක්. 

මේ වයස වන තුරු නිතර නිතර රැකියා මාරු කිරීම මීට ප්‍රධාන හේතුවක්. ඉන් පසුව වුනත් ඇමරිකානුවන් නිතර රැකියා මාරු කරන නමුත් එසේ රැකියා මාරු කරන වේගය අඩු වෙනවා. ඒ වගේම ඇමරිකානු කාන්තාවක් විවාහ වන සාමාන්‍ය වයස අවුරුදු 27-28ක් පමණද, පිරිමියෙකු සඳහා මේ වයස අවුරුදු 29-30 පමණද වෙනවා. ඒ කියන්නේ, තමන්ටම ගෙයක් ගන්න එක ගැන හිතන්නේ විවාහ වෙලා දරුවෙක් හෝ දෙන්නෙක් හදලා ඒ දරුවෝ පාසැල් යන වයසට වගේ එද්දී. 

ඇමරිකාවේ සාමාන්‍ය විශ්‍රාම වයස අවුරුදු 66ක්. මෙය 67 දක්වා ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි. ඇමරිකානුවෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77ක් පමණ. ඒ කියන්නේ, අවුරුදු 36ක් වෙලා ගෙයක් ගන්න කෙනෙක්ට ඒ ගෙදර ජීවත් වෙන්න ඉතිරිව තියෙන්නේ අවුරුදු 40ක වගේ කාලයක්. ඒ කාලයෙන් අවුරුදු 30ක් පමණම වැඩ කරන කාලය. 

දැන් කවුරු හරි ගෙයක් ගන්නවානම් ගන්නේ ඔය අවුරුදු 40 ඉන්නනේ. ඒ කාලය ඒ වගේම ගෙයක කුලියට ඉන්න වැය වන්නේ ගේ සල්ලි වලට ගන්න යන මුදලට වඩා අඩු මුදලක්නම් ගෙයක් ගන්න එකේ විශේෂ වාසියක් නැහැනේ. ඒකේ අනෙක් පැත්තත් එහෙමයි. ඒ නිසා, සක්‍රිය නිවාස වෙළඳපොළක් ඇති විටෙක ඔය වියදම් දෙකම ආසන්නව සමාන විය යුතුයි. එහෙම නැත්නම් එකකට ඉල්ලුම නැති විය යුතුයිනේ. ඇත්තටම වෙන්නේත් ඔය වගේ දෙයක්. 

ගෙයක් සල්ලි වලට ගන්න අය සාමාන්‍යයෙන් කරන්නේ වසර 30කට උගස් ණයක් ගන්න එක. මෙම කාලය සාමාන්‍යයෙන් ඇමරිකානුවෙක් පළමු වරට ගෙයක් මිල දී ගන්න වයස සහ විශ්‍රාම වයස අතර කාලයට ආසන්නව සමානයි. 2019දී ඇමරිකානුවෙක් විසින් මසකට ගෙවූ උගස් ණය වාරිකයේ මධ්‍යස්ථ අගය ඩොලර් 1,609ක්. එම වසරේදීම කුලී ගෙදරක ඉන්න කෙනෙක් මාසයකට ගෙවූ මධ්‍යස්ථ මුදලත් ආසන්න වශයෙන් ඩොලර් 1,600ක් පමණ. 

වයස අවුරුදු 36 වෙද්දී ගෙයක් ගන්න කෙනෙක් විශ්‍රාම යන වයස වන විට උගස් ණය ගෙවා අවසන්. ඉන් පසුව ගෙයි අයිතිය තමන්ට. එහෙත්, දිගටම කුලියට හිටියොත් එවැනි වාසියක් නැතුවම ඒ මුදල වැය කරන්න වෙනවා. අනෙක් අතට, ගෙයක් සල්ලි වලට ගැනීමෙන් පසුව වරිපනම් බදු, නිවාස රක්ෂණය ආදී ලෙස තවත් ගෙවීම් එකතු වෙන නිසා ඒ වාසිය බොහෝ දුරට කැපිලා යනවා. කොහොම වුනත්, අවදානමක් ගෙන කරන ආයෝජනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ කොටස ඉතිරි වෙනවා.  

කලින් සටහනෙන් කියපු විදිහට ගෙයක් ගන්නනම් ඩවුන් පේමන්ට් එක ගෙවන්න වෙනවා. ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට ටිකක් අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන පොඩි ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ.

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න පුළුවන්. 

ගෙයක් මිල දී ගන්න හිතන, සම්ප්‍රදායික ණයක් ගන්න අමාරු, ඇමරිකානුවෙකුට ෆෙඩරල් නිවාස පරිපාලනයේ උදවුවෙන් නිවසක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. එය මොන වගේ එකක්ද කියන එක පසුව පැහැදිලි කරන්නම්. මේ ණය වලට කියන්නේ FHA ණය කියලා. අකුරු තුනේ තියෙන්නේ Federal Housing Administration කියන අර්ථය. ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් FHA ණය.

ඇමරිකාවේ සුබසාධන ක්‍රම ගොඩක් ආරම්භ වී තිබෙන්නේ 1929 මහා ආර්ථික අවපාතයෙන් පසුවයි. පසුගිය අඩ සියවසක පමණ කාලය තුළ ඇමරිකානුවන් අතරින් තමන්ගේම නිවසක වසන ප්‍රමාණය 65% ආසන්න මට්ටමක පැවතී ඇතත් 1940 පමණ වන තුරු මේ අනුපාතය තිබී ඇත්තේ 45% ආසන්න මට්ටමකයි. මහා ආර්ථික අවපාතයෙන් පසුව, 1930දී 47.8%ක් වූ මෙම අනුපාතය 1940 වන විට 43.6% දක්වා පහත වැටී තිබෙනවා. මේ කාලයේදී නිවසක් මිල දී ගැනීමේදී ගෙවිය යුතු ආරම්භක මුදල (ඩවුන් පේමන්ට් එක) නිවසේ වටිනාකමින් 30%-50% වැනි ඉහළ මට්ටමක තිබී ඇති අතර ණය ආපසු ගෙවිය යුතු කාලයද අවුරුදු 5-10කට වඩා වැඩි කාලයක්ව පැවතී නැහැ. එම තත්ත්වයන් යටතේ නිවසක හිමිකරුවෙකු වීම බොහෝ දෙනෙකුට අභියෝගයක්.

අනෙක් පැත්තෙන්, මීට වඩා හොඳ කොන්දේසි යටතේ ණයක් දී එහි අවදානම දරා ගැනීමේ හැකියාවක් බැංකු වලට තිබුණේ නැහැ. මේ වෙද්දී ඇමරිකාවේ තිබුණු වාණිජ බැංකු ප්‍රමාණය 24,000ක් පමණ. මේවා බොහොමයක් තනි ශාඛාවක් පමණක් තිබුණු කුඩා ව්‍යාපාර. අදටත් ඇමරිකාවේ මේ වගේ කුඩා බැංකු විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම දන්නා තරමින් බැංකු ක්ෂේත්‍රයේ මෙවැනි තරඟකාරිත්වයක් තිබෙන එකම රට ඇමරිකාවයි. 

ඇමරිකාවේ "ලංකා බැංකුව" ගැන මම ටික කලකට පෙර ලිපියක් ලියා තිබෙනවා. ලංකා බැංකුව කියා නිකමට වගේ කිවුවත් ඔය බැංකුවේ නියම නම ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන්. මේ බැංකුව තිබුණේ මිනසෝටා ප්‍රාන්තයේ දකුණු කොණේ අයෝවා ප්‍රාන්ත මායිම කිට්ටුව තිබෙන සිලෝන් කියන ප්‍රදේශයේ. ඇමරිකාවේ 42වන උප ජනාධිපති වූ වෝල්ටර් මොන්ඩේලුත් මේ සිලෝන් කියන ප්‍රදේශයේ ඉපදුනු අයෙක්. මේ ප්‍රදේශය සිලෝන් ලෙස නම් කර තිබෙන්නේ ලංකාව හැඳින්වුණු සිලෝන් කියන නම අනුව යමිනුයි.

වසර හතරකට පෙර 2018දී ඔය ලිපිය ලියා පළ කරද්දී ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් නමින් හැඳින්වුණු මේ බැංකුව ඊට අවුරුද්දකට පස්සේ 2019දී පෝර්ටේජ් බෑන්ක් විදිහට නම වෙනස් කරලා. එතෙක් අවුරුදු 117ක් බැංකුව හැඳින්වුණේ ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් ලෙසයි. බැංකු ක්ෂේත්‍රයේ රාජ්‍ය නියාමනය දැඩි වීමට අනුරූපව මේ වගේ පොඩි බැංකු එකකින් එක වැහී යනවා. වැහී යනවා කිවුවට වැහිලම යන්නේ නැහැ. ලොකු බැංකු විසින් මේ වගේ පොඩි බැංකු මිල දී ගන්න එකයි වෙන්නේ. ඉහත කී බැංකුවේ නම වෙනස් වෙලා තියෙන්නෙත් මුල් අයිතිකරුවන් විසින් එය අලුත් ආයෝජකයින් පිරිසකට විකිණුවට පස්සේ. අතුරු කතාවෙන් නැවත මුල් කතාවට එමු.

ඇමරිකානුවන් රටේ ඉතිහාසයේ සිටම ඒකාධිකාර වලට කැමති නැති ජාතියක්. ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව පවා හදලා තියෙන්නේ එකිනෙකට සම්බන්ධ බැංකු පද්ධතියක් විදිහට. 

කලින් කියපු 1929 මහා අවපාතයෙන් පසුව බැංකු විශාල ප්‍රමාණයක් කඩා වැටුණා. මෙයට පිලියමක් විදිහට 1934දී ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම පිහිටවනු ලැබුවා. ෆෙඩරල් නිවාස ණය ක්‍රමය ආරම්භ වුනෙත් ඔය කාලයේ. පළමු වරට නිවාසයක් මිල දී ගන්නා අයෙකුට වගේම සාමාන්‍ය නිවාස ණයක් ගන්න අසීරු වෙනත් ඇතැම් අයටත් FHA ණයක් සඳහා අයදුම් කළ හැකියි. මෙම ණය ලබා දීම සඳහා ඇමරිකාව ආවරණය වන පරිදි ෆෙඩරල් නිවාස ණය බැංකු 11ක් ස්ථාපනය කර තිබෙනවා.

ආයතනයේ නමට ෆෙඩරල් කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු රජයට අයිති නැහැ. එක් එක් බැංකුවේ අයිතිය තියෙන්නේ අදාළ ප්‍රදේශයේ සාමාජික වාණිජ බැංකු වලට. එක් එක් සාමාජික වාණිජ බැංකුව විසින් තමන්ගේ පෙර වසරේ ලාබයෙන් 20%ක් තමන්ගේ ප්‍රදේශයේ ෆෙඩරල් නිවාස ණය බැංකුවේ කොටස් මිල දී ගැනීම සඳහා වෙන් කළ යුතුයි. මේ ෆෙඩරල් නිවාස ණය බැංකු පාලනය කරන්නෙත් එම සාමාජික බැංකු විසින්මයි. ඒ වගේම, ලාබ බෙදා ගන්නෙත් එම සාමාජික බැංකු විසින්. 

ආයතනයේ නමට ෆෙඩරල් කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු රජයට අයිති නැහැ කියා කිවුවනේ. ඒ වගේම, ආයතනයේ නමට නිවාස ණය කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් සෘජුව නිවාස ණය ගන්න බැහැ. ඒ වගේම නමට බැංකු කියා තිබුණත් මේ ආයතන ඇත්තටම බැංකුත් නෙමෙයි. 

නිවාස ණයක් ගන්න කෙනෙක්ට එය ගන්න වෙන්නේ තමන් කැමති බැංකුවකින්. ඒ විදිහට තමන් කැමති බැංකුවකින් නිවාස ණයක් ගනිද්දී, අදාළ අවශ්‍යතා සපුරන කෙනෙකුට සාමාන්‍ය ණයක් වෙනුවට FHA ණයක් ගන්න පුළුවන්. මේ වැඩේට ණය ගන්නා තැනැත්තා ෆෙඩරල් නිවාස ණය බැංකුවකට යා යුතු නැහැ. ඒ වෙනුවට වෙන්නේ සාමාජික වාණිජ බැංකු විසින් අදාළ ෆෙඩරල් නිවාස ණය බැංකුවේ අරමුදල් යොදාගෙන ණය දෙන එකයි. හැබැයි මෙහිදී ආයතන දෙකෙන්ම ණය අනුමත විය යුතුයි. 

දැන්නම් FHA ණයක් ගන්න එකේ ලොකුම වාසිය ඩවුන් පේමන්ට් එක අඩු වීම. නමුත්, මුල් කාලයේදී සාමාන්‍ය නිවාස ණයක ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5-10ක් වෙද්දී FHA ණයක් අවුරුදු 20-30කින් ආපසු ගෙවීමේ වාසියත් විශාල වාසියක්ව තිබී තිබෙනවා. මේ ක්‍රමය ආවට පස්සේ දැන් වෙළඳපොළත් ඊට අනුරූපව වෙනස් වෙලා.

එක ගමකට සීමාවුණු පොඩි වාණිජ බැංකුවක් එක්ක බලද්දී ඒ වගේ බැංකු දහසකට වඩා ප්‍රමාණයක් සාමාජිකත්වය දරන ෆෙඩරල් නිවාස ණය බැංකුවක් විශාල ආයතනයක්. පොඩි බැංකුවකට ගන්න බැරි අවදානම් ඒ වගේ ලොකු ආයතනයකට ගන්න පුළුවන්. මේ යාන්ත්‍රනය නිසා වාණිජ බැංකු අතර තරඟකාරිත්වය හා ඒ හේතුවෙන් ඇති වෙන කාර්යක්ෂමතාවය ඒ විදිහටම තිබෙනවා. බැංකු කුඩා වෙද්දී නැති වෙන පරිමාණයේ වාසිය (ඉකොනොමි ඔෆ් ස්කේල්) ෆෙඩරල් නිවාස ණය බැංකුව නිසා ලැබෙනවා. එයට ඒකාධිකාරයක් තිබුණත්, ඒකාධිකාරය දරන්නේ අදාළ ප්‍රදේශයේ බැංකු සියල්ලම විසින් සාමූහිකව නිසා වැඩේ කිසිම අවුලක් නැහැ. ඒ වගේම, රටම ආවරණය කරන එක ෆෙඩරල් නිවාස ණය බැංකුවක් වෙනුවට බැංකු 11ක් තිබෙන නිසා, මේ ආයතන වල කාර්යක්ෂමතාවය පිළිබඳ සංසන්දනයක්ද සිදු වෙනවා. ඇමරිකාවේ විදුලිබල සැපයුම් කර්මාන්තය වගේ දෙයක් ගත්තත් ක්‍රියාත්මක වෙන්නේ ඔය මූලධර්මය. මම හිතන්නේ ලංවිම කොටස් කිරීමේ යෝජනාව ඇතුළේ තියෙන්නෙත් ඔය මූලධර්මය.

මේක සාර්ථක ආකෘතියක්. හැම ෆෙඩරල් නිවාස ණය බැංකුවක්ම ලාබ ලබනවා. ඒ වගේම, ෆෙඩරල් නිවාස ණය බැංකුවක "ප්‍රමාණය" සාමාජික බැංකු වල ලාබ අනුව විචලනය වෙනවා. බැංකු වැඩියෙන් ලාබ ලබන කාල වකවානු වලදී FHA ණය වැඩියෙන් ලැබෙනවා. 

ණය ගන්නා කෙනෙක්ගේ පැත්තෙන් බැලුවහම, ඩවුන් පේමන්ට් එක අඩුවෙන් ගෙවීමේ වාසිය තිබුණත්, ණය වාරිකයට වගේම මුල් ණය මුදලටත් රක්ෂණ වාරික මුදලක් එකතු වෙනවා. වැඩි අවදානමක් ගන්නා අතරම කඩා නොවැටී ෆෙඩරල් නිවාස ණය බැංකු පවත්වා ගෙන යා හැකිව තිබෙන්නේ ණය ගෙවීම නැවතුනු විටෙක හිඟ ණය මුදල රක්ෂණය හරහා ලැබෙන නිසා. FHA ණය වලට රාජ්‍ය මැදිහත්වීමක් වෙන්නේ මේ රක්ෂණ ක්‍රමය හරහා.

රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය ෆෙඩරල් නිවාස පරිපාලන ආයතනය. හැබැයි ඒ ආයතනය වුනත් බදු මුදලෙන් නඩත්තු වන ආයතනයක් නෙමෙයි. ෆෙඩරල් නිවාස ණය බැංකු වලට රක්ෂණ වන්දි ගෙවන්නේ රක්ෂණ වාරික විදිහට එකතු කර ගන්නා අරමුදල් වලින්. මේ වැඩේට ෆෙඩරල් රජය මැදිහත් වෙන්නේ එවැනි අවදානමක් ගත හැකි පෞද්ගලික ආයතනයක් නොතිබුණු පසුබිමක. 

එහෙත්, මේ වෙද්දී නිවාස ණය රක්ෂණය කරන පෞද්ගලික ආයතන ගණනාවක් බිහි වී තිබෙනවා. ඒ නිසා, FHA නොවන ණයක් වුනත්, 5%ක පමණ අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවා වසර 30ක් වැනි දිගු කාලයකට ලබා ගන්න පුළුවන්. රජය වෙළඳපොළ මාර්ගෝපදේශනය කරමින් වෙළඳපොළ දියුණු වීමට උදවු කරනවා මිසක් ඒකාධිකාරයක් නඩත්තු කරමින් එයට බාධා කරන්නේ නැහැ. මේ වැඩේට බදු මුදල් නාස්ති කරන්නෙත් නැහැ.

Sunday, December 11, 2022

අපනයන ආදායම් 100%ක්ම රටට ගෙනත් - මහ බැංකු අධිපති


මෑතකදී මහ බැංකුව විසින් ස්ථාපනය කරන ලද අපනයන ආදායම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රනය හරහා එකතු කරගත් දත්ත අනුව පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක තුළ ඉපැයූ අපනයන ආදායම් ප්‍රමාණයෙන් 100%ක්ම අපනයනකරුවන් විසින් රටට රැගෙන විත් ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. ඔහු මෙසේ පවසන්නේ දෙරණ හයිඩ්පාක් වැඩ සටහනේ මාධ්‍යවේදිනියක විසින් අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

(සබැඳිය: https://www.youtube.com/watch?v=66YrYTTNi-Y)

ප්‍රශ්නයට පාදක වන්නේ අධිකරණ ඇමතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයක්. 

"අවුරුදු 12ක් රටින් හැංගු ඩොලර් බිලියන 53ක් ගිය වසරේ පමණක් ඩොලර් බිලියන 3ක් හංගලා - විජයදාස රාජපක්ෂ" - හිරු නිවුස් 

(සබැඳිය: https://www.youtube.com/watch?v=S1BxOZFsEnM)

විජයදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශය අනුව පසුගිය වසර 12ක කාලයක් තුළ මහ බැංකුවේ නියෝග උල්ලංඝනය කරමින් ඩොලර් බිලියන 53.5ක මුදලක් රටින් පිට කර තිබෙනවා. මේ ප්‍රකාශය පදනම් වන්නේ පුවත්පතක පළව ඇති ලිපියක් මතයි. එම ලිපිය සඳහා පාදක කර ගෙන ඇත්තේ (අප විසින් මීට පෙර සාකච්ඡාවට බඳුන් කර ඇති) රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාවක්. විජයදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශය අනුවම පසුගිය වසර තුළ මේ අයුරින් රටට රැගෙන විත් නැති අපනයන ආදායම් ප්‍රමාණය ඩොලර් බිලියන තුනක්. මහ බැංකුව මෙවැන්නක් කියා ඇත්තේ කොතැනකද යන්න පැහැදිලි නැහැ. 

ඉහත සඳහන් "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාව ගැන විස්තරාත්මක ලිපි දෙකක්ම පළ කර ඇති නිසා මම ඒ ගැන තව තව කතා කරන්න යන්නේ නැහැ. මෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ පිළිබඳ මහ බැංකුවේ ස්ථාවරයටයි. පහළින් තියෙන්නේ මහ බැංකු අධිපති වරයාගේ පිළිතුරේ සාරාංශයක්.

- මේ ප්‍රකාශයේ මූලාශ්‍රය වන "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" වාර්තාව මට තවමත් කියවන්නට ලැබී නැහැ. මෙය එම වාර්තාවේ ඇතැයි කියන දෙයක් හා මා කියූ දෙයක් එකට සම්බන්ධ කර වැරදි අර්ථකතනයක් දෙමින් සිදු කර ඇති නොමග යවන සුළු ප්‍රකාශයක්. අදාළ කාලයේ අපනයනකරුවන් විසින් මෙවැනි මුදලක් රටින් පිටකර ඇති බව තහවුරු කළ හැකි  සාක්ෂි හෝ තොරතුරු කිසිවක් අප සතුව නැහැ. 

-1994 සිට 2016 දක්වා කාලය තුළ අපනයනකරුවන් විසින් අපනයන ආදායම් ලංකාවට රැගෙන ඒමේ නීතිමය අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. රටේ විණිමය ප්‍රතිපත්තිය අනුව, ඔවුන්ට එම මුදල් රටින් පිට තබා ගත හැකිව තිබුණා. ඒ නිසා, යම් හෙයකින් එම කාලය තුළ අපනයන ආදායම් රටට ගෙනත් නැතත්, එයින් නීතිය කඩවීමක් සිදු වීමේ හැකියාවක් නැහැ. නීතිය කඩවීමක් සිදු විය හැකිව තිබුණේ එසේ කිරීම නිතී විරෝධී කටයුත්තක් වීනම් පමණයි.

අපගේ එකතු කිරීම: අලුත්ම (2021) "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" වාර්තාවෙහි ඩොලර් බිලියන 53.3ක් රටින් පන්නා ඇති බවට කිසිදු සඳහනක් නැහැ. මෙය අදාළ වාර්තාව ගැන සඳහන් කරමින් ලංකාවේ ඇතැම් අය කියන බොරුවක්. එයින් කියන්නේ රේගුවට පෙන්වා ඇති අපනයන ආදායම් හා එම අපනයන යවනු ලැබූ රටවල රේගු වලට පෙන්වා ඇති ගණන් අතර වෙනසක් ඇති බවයි. කෙසේ වුවද, එම ගණනය කිරීම් කර ඇති ක්‍රමවේදයේද අඩුපාඩු හා දුර්වලතා ගහණයි. එම ආයතනයේම පැරණි (2017) වාර්තාවක මෙවැනි (පැහැදිලි ලෙසම දෝෂ සහගත) සඳහනක් ඇතත්, අළුත් වාර්තාව සකස් කිරීමේදී කලින් කළ වැරැද්ද නොකිරීමට අදාළ ආයතනය ප්‍රවේශම් වී තිබෙනවා.

- අපනයන ආදායම් රටට ගෙන ආ යුතු බවට නියෝගයක් 2016දී පනවනු ලැබුවා. එසේ වුවත්, එසේ රැගෙන එන විදේශ විණිමය රුපියල් බවට හැරවීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. 2021 අග භාගයේදී මහ බැංකුව විසින් මෙවැනි නියෝගයක් පැනවූ අතර එම නියෝගය අනුව රටට ගෙන එන අපනයන ආදායම් වලින් අපනයනකරුවන්ගේ ආනයන වියදම් සඳහා ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන විදේශ විණිමය ප්‍රමාණයෙන් 25%ක් රුපියල් වලට හැරවීම අනිවාර්ය කරනු ලැබුවා. මෙය නිසි පරිදි සිදු වේදැයි පරීක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් මෙම වසරේ ජූලි මාසයේදී ස්ථාපනය කරනු ලැබුවා. ඒ අනුව, රේගු දත්ත හා බැංකු වල විදේශ විණිමය ලැබීම් සංසන්දනය කිරීමෙන් පසු පැහැදිලි වන්නේ පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක තුළ ඉපැයූ අපනයන ආදායම් ප්‍රමාණයෙන් 100%ක්ම අපනයනකරුවන් විසින් රටට රැගෙන විත් ඇති බවයි.

- මගේ [මහ බැංකු අධිපතිගේ] පෙර ප්‍රකාශයක මා සඳහන් කළේ අපනයන ආදායම් වලින් රුපියල් බවට පරිවර්තනය වී ඇති කොටස ගැනයි. එම කොටස ආසන්න වශයෙන් 25%ක් පමණ. නමුත්, අපනයන ආදායම් වලින් අපනයනකරුවන්ගේ ආනයන වියදම් සඳහා ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන කොටස 50%ක් පමණවත් විය යුතුයි. මේ අනුව, ඉතිරි 25%ට කුමක් වුනේද යන්න පැහැදිලි නැහැ. දැනට අපි මේ ගැන සොයා බලමින් සිටිනවා. ඇතැම් විට ඉන්ධන සපයන්නන් වැනි වක්‍ර ආදාන (indirect inputs) සැපයුම්කරුවන්ට ඩොලර් වලින් ගෙවීම් කිරීම සඳහා මෙම මුදල් යොදාගත්තා විය හැකියි. 

අපගේ එකතු කිරීම: මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් ලංකාවේ අපනයන වල දේශීය අගය කිරීම් කොටස 50%ක් විය යුතු බව නිගමනය කරනවා. මෙය ඔහුගේ උපකල්පනයක් පමණයි. ඔහුට, මහ බැංකුවට හෝ වෙනත් කිසිවෙකුට මේ පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ. මෙය අඩු වශයෙන් 2016 පමණ සිට අප විසින් අවධාරණය කර ඇති කරුණක්. 

"අපනයන ආදායමෙන් විශාල කොටසක් නිෂ්පාදන පිරිවැය බැවින් එහි ඇති අතිරික්තය එතරම් විශාල නැත. උදාහරණයක් ලෙස තේ කිලෝවක් විකුණා ඩොලර් තුනක් ලැබෙන විට එහි නිෂ්පාදන වියදම ලෙස ඩොලර් දෙකක් හෝ දෙකයි පණහක් වැය වී තිබිය හැකිය. ඇඟළුම් වල තත්ත්වයද එසේමය." - 2016 මැයි 20, ඉකොනොමැට්ටාගේ සතපහ. 

මේ සාධකය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම නිසා ලංකාවේ වෙළඳ ශේෂය දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණේ එහි වූ භයානක අවදානමෙන් කොටසක් පමණයි. අවදානමෙන් විශාල කොටසක් සැඟවී තිබුණේ ලංකාවේ අපනයන ආදායම් වලින් විශාල කොටසක්ද ශුද්ධ අපනයන ආදායම් නොවීම තුළයි. මෙම ජාතික වශයෙන් ඉතාම වැදගත් පර්යේෂණ කාර්යය වෙත මහ බැංකුවේ පර්යේෂණ අංශ වලින් හෝ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආර්ථික අධ්‍යනාංශ වලින් ප්‍රමාණවත් අවධානයක්‌ යොමු කර නැහැ. 

ලංකාවේ අපනයන වල සාමාන්‍ය දේශීය අගය එකතු කිරීම් අනුපාතය 50% ලෙස සැලකුවොත්, එම ප්‍රමාණයෙන් 25%ක් රුපියල් වී ඇත්නම්, එයින් අදහස් වන්නේ රටට ආ අපනයන ආදායම් වලින් 50%ක් රුපියල් වී ඇති බවයි. එසේනම්, මෙහිදී මහ බැංකුවේ නියෝග කඩවීමක් සිදු වී නැහැ. ඉතිරි කොටස රුපියල් වී නැත්නම් එයින් පෙනෙන්නේ පවතින විණිමය අනුපාතයේ තිරසාර පැවැත්ම පිළිබඳව අපනයනකරුවන් විශ්වාස නොකරන බවයි. තත්ත්වය එවැන්නක්නම්, මහ බැංකුව විසින් කළ යුත්තේ එම විශ්වාසය ඇති කිරීම මිස අපනයනකරුවන්ට චෝදනා කිරීම නෙමෙයි. 

අපනයනකරුවන්ගේ දේශීය අගය එකතු කිරීම් ගැන නිසි අධ්‍යයනයක් කර ඇස්තමේන්තු කරන්නේ නැතිව, ඒ පිළිබඳව තමන්ට හිතෙන දේවල් මත පදනම්ව අපනයනකරුවන්ට චෝදනා කිරීම මහ බැංකු අධිපතිවරයා විසින් නොකළ යුතු දෙයක්. රටට ගෙනාවත්, රටට නොගෙනාවත්, රටට ගෙනත් ඩොලර් වලින් තියා ගත්තත්, රුපියල් කළත්, ඒ ඔවුන් විසින් උපයන ඔවුන්ගේ සල්ලි. 

Friday, December 9, 2022

ශ්‍රමික ප්‍රේෂණ තවත් ඉහළට!

ගෙවුණු නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 384.4ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබෙනවා. මෙම ප්‍රමාණය පෙර වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 42%ක වැඩි වීමක්ද, පෙර මාසයට සාපේක්ෂව 8%ක වැඩිවීමක්ද පෙන්නුම් කරන අතර, 2021 අගෝස්තු මාසයෙන් පසුව වාර්තා වන ඉහළම අගයයි. 

ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඉහත මුදල ලැබෙද්දී, නොවැම්බර් මාසයේ සංචාරක ඉපැයීම්ද ඩොලර් මිලියන 107.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, අපනයන ආදායම් වලට අමතරව, ආනයන වෙනුවෙන් වැය කළ හැකි ඩොලර් මිලියන 492ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් නොවැම්බර් මාසය තුළ ලංකාවට ලැබී තිබෙනවා.

නොවැම්බර් මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය පෙර මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 1,705 සිට ඩොලර් මිලියන 1,804 දක්වා ඩොලර් මිලියන 100කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, මෙම සංචිත වලින් ඩොලර් බිලියන 1.4ක් පමණ චීනයෙන් මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබාගත් මුදල්. 

නොවැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 219ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙන අතර අත්‍යාවශ්‍ය ආනයන සඳහා පහසුකම් සලසමින් එම විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 213ක් නැවත විකුණා තිබෙනවා. 

Thursday, December 8, 2022

ඇමරිකාවේ නිවාස චක්‍රය


සාමාන්‍ය ඇමරිකානුවෙකු විසින් තමන්ගේ මාසික වියදමෙන් 40%ක් පමණ වැය කරන්නේ නිවාස වියදම් වෙනුවෙන් බව කලින් සටහනෙන් කිවුවා. මෙය නිවසක් කුලියට ගැනීමේ වියදම වෙන්න පුළුවන්. එසේ නැත්නම් තමන්ගේම නිවසක් මිල දී ගෙන එහි ජීවත්වීම වෙනුවෙන් දරන වියදම් වෙන්න පුළුවන්. මේ වියදමට විදුලි, ජල, ගෑස්, මළ අපහරණ, කසල අපහරණ ආදී වියදම්ද ඇතුළත්. ඊට අමතරව හෝටල් වැනි තාවකාලික නවාතැන්පොලවල් වෙනුවෙන් ගෙවන මුදල්ද ඇතුළත්. 

ඇමරිකානු දරුවෙක් සාමාන්‍යයෙන් පාසැල් ගිහින් ඉවර වුනාට පස්සේ, ඒ කියන්නේ වයස අවුරුදු 18 පැන්නට පස්සේ ගෙදරින් යනවා. පාසැල් අවසන් කරන අයගෙන් 75%ක් පමණම අනෙක් අතට සරසවියකට යනවනේ. ඒ නිසා, පාසැල් වයස පසු කරන ගොඩක් අයගේ පළමු ස්වාධීන නවාතැන වන්නේ සරසවිය තුළ හෝ අවට තැනක්. මේක ලංකාවේ සරසවියකට යාමට සමානයි. ප්‍රධානම වෙනස ලංකාවේ වගේ පාසැල් අවසන් කිරීම හා සරසවි යාම අතර කාල පරතරයක් නැති කම. 

ඔය විදිහට පාසැල් අවසන් කරලා සරසවියකට යන දරුවන් ප්‍රායෝගිකව නැවත දෙමවුපියන්ගේ නිවසට පදිංචියට එන්නේ නැහැ. සරසවි නොයන කෙනෙක් වුනත් පාසැල් අවසන් කර මොකක් හෝ රැකියාවක් හොයා ගත්තට පස්සේ ගෙදරින් යන එක සාමාන්‍ය තත්ත්වයක්.

ජීවිතය පටන් ගන්න තරුණයෙක් හෝ තරුණියක් මුලින්ම කරන්නේ මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක. එක්කෝ තනියම. නැත්නම් ලිංගික සහකරුවෙකු හෝ සහකාරියක එක්ක හවුලේ. සමහර වෙලාවට වෙන යාළුවෙක් හෝ කාමර සගයෙක් එක්ක හවුලේ. ජීවිතය පටන් ගන්න අලුත කෙනෙක් ගෙයක් සල්ලි වලටම ගන්න හිතන එක අඩුයි. හැබැයි සරසවි කාලයේදීම ගෙවල් සල්ලි වලට ගන්න අයත් නැත්තේම නැහැ. 

මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක වුනත් ගිවිසුමක් අත්සන් කරලා නිශ්චිත කාලයකට බැඳීමක් ඇති කරගෙන කරන්න වෙන දෙයක්. ගොඩක් වෙලාවට අඩු වශයෙන් අවුරුද්දකට. අතර මගදී ගේ දාලා යන්න වුනත් ගිවිසුම ඉවර වන තුරු කුලිය ගෙවන්න වෙනවා. 

මුල් කාලයේදී නිතර රැකියා මාරු කරන එකත්, රැකියා එක්ක ජීවත් වන ප්‍රදේශය මාරු කරන එකත් සාමාන්‍ය දෙයක්. ඇමරිකාව වගේ රටක ප්‍රදේශය මාරු කරනවා කියන්නේ ලංකාවට සාපේක්ෂවනම් වෙනම රටක පදිංචියට යනවා වගේ වැඩක්. සිංගප්පූරුව වගේ අතිශයින්ම කුඩා රටකදී මේ වගේ ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. රටේ කොයි කොණේ රැකියාව කරන්න වුනත් ඉන්න තැන ඉඳලා යන එක අමාරු වැඩක් නෙමෙයි. 

රැකියාව, එයින් ලැබෙන වැටුප හෝ ඉන්න ප්‍රදේශය ගැන එතරම් සතුටු නැති කෙනෙක් ගෙයක් ගන්න හදිස්සි වෙන්නේ නැහැ. මහල් නිවාස ඒකකයක කුලියට ඉන්න එක ඊට වඩා නම්‍යශීලී තේරීමක්. ඒ වගේම බොහෝ කරුණු අතින් ලේසියි, පහසුයි. 

කලින් සටහනේ කිවුවා වගේ ගෙයක් සල්ලි වලට ගන්න එක කුලියට ඉන්නවට වඩා වාසියි. නමුත්, වාසිය තියෙන්නේ දිගුකාලීනව. ගෙයක් ගනිද්දී එකතු වන යම් යම් ස්ථාවර වියදම් හා අනෙකුත් හේතු නිසා ගෙයක් අරගෙන අනෙක් අතට විකුණලා ලාබ ගන්න බැහැ. 

මේකට එක හේතුවක් කලින් සටහනේ ලියපු 6%ක ඒජන්ත ගාස්තුව. මේ හේතුව නිසාම, ගෙයක් අරගෙන අනෙක් අතට විකිණුවොත් අනිවාර්යයෙන්ම 6%ක් පාඩු වෙනවා. ඒ නිසා, විකුණලා ලාබයක් ගන්නනම් මිල 6%කින්වත් වැඩි වන තුරු බලා ඉන්න වෙනවා. ඊට අමතරව නිවාස ණයක් ගැනීමේදී බැංකුව එකතු කරන ගාස්තුත් තියෙනවා. මේ සියල්ල එක්ක පාඩුවක් නැතුව ගේ විකුණගන්න පුළුවන් වෙන්නේ අවුරුදු තුන හතරක්වත් ගෙයි හිටියොත් විතරයි. එච්චර කාලයක් එක තැනක ඉන්න එක ගැන සහතිකයන් නැත්නම් කුලියට ඉන්න එක වඩා වාසිදායකයි. 

ඉන්න තැන ඉඩ මදි වගේනම් වඩා ලොකු මහල් නිවාස ඒකකයකට යන්න පුළුවන්. තනි කාමරේ ඒකකයක ඉඳලා කාමර දෙකක ඒකකයකට. කාමර දෙකක ඒකකයක ඉඳලා තුනක එකකට. ඔහොම යද්දී කුලියත් වැඩි වෙනවා. ඔය අතරවාරයේ විවාහ වී හෝ නොවී දරුවන් හදන එක වගේ දේවලුත් වෙන්න පුළුවන්. දරුවෝ ඉපදෙද්දී, ඒ දරුවෝ ලොකු වෙද්දී වැඩියෙන් ඉඩකඩ තියෙන ගෙයක් අවශ්‍ය වෙනවා. 

ඔහොම යද්දී තමන්ටම කියලා ගෙයක් සල්ලි වලට ගන්න හිතෙන වෙලාවක් එනවා. ගොඩක් අය ගෙවල් ගන්නේ අවශ්‍යතාවය මත පදනම්ව. සමහර වෙලාවට ආදායම මත පදනම්ව. 28% රීතිය කියා එකක් තිබෙනවා. ඒ කියන්නේ නිවාස ණය වාරිකය ලෙස ගෙවිය යුත්තේ තමන්ගේ ආදායමෙන් 28%කට නොවැඩි කොටසක් කියලා. 

ආදායමෙන් වඩා ලොකු කොටසක් ණය වාරිකයට කැපෙන විදිහට ණයක් ගන්න අමාරුයි. ඒ නිසා, මිල දී ගන්න පුළුවන් වෙන්නේ නිවසක උපරිම වටිනාකම යම් මට්ටමකින් සීමා වෙනවා. අනෙක් අතට ආදායම වැඩිනම් බැංකු විසින් ලොකු ණයක් අරගෙන ලොකු ගෙයක් ගන්න පොළඹවනවා. බැංකු වලටත් වඩා නිවාස ඒජන්තයින් විසින්. මොකද ගන්න ගෙයි වටිනාකම වැඩි වන තරමට ඒ අයට ලැබෙන කොමිස් මුදලත් වැඩි වෙනවනේ. ඒ වගේම, ගෙවල් වල මිල කාලයත් එක්ක වැඩි වෙන නිසා, ගෙවාගෙන යන්න පුළුවන්නම් ලොකු ගෙයක් ගන්න එකේ පාඩුවක් නැහැ. මේ හැම දෙයකින්ම වෙන්නේ ගන්න ගෙයි වටිනාකම ලැබෙන ආදායම මත තීරණය වීම. 

ගන්න පුළුවන් ගෙයි වටිනාකම ආදායම මත තීරණය වුනාට පස්සේ තේරීම තියෙන්නේ ගෙයි ප්‍රමාණය හා ප්‍රදේශය අතර. සමහර පැති විවිධ හේතු නිසා වඩා "හොඳ" ලෙස සැලකිය හැකි පැති. ඒ වගේ පැති වල ගෙවල් සාපේක්ෂව ගණන්. ගන්න පුළුවන් මිලට වඩා ලොකු ගෙයක් ගන්නනම් අඩුවෙන් ඉල්ලුම තිබෙන පැත්තක් තෝරා ගන්න වෙනවා. එකම නගරයක වුනත් මේ වගේ වෙනස් පැති තිබෙනවා. 

දරුවන් සිටින කෙනෙකුට කාමර ගණන වැඩි, සාපේක්ෂව ලොකු ගෙයක් අවශ්‍ය වෙනවා. දරුවන් ගණන වැඩි වන තරමට කාමර අවශ්‍යතාවය වැඩියි. කාමර ගණන වැඩි වෙද්දී වැය කළ යුතු මුදලත් ඉහළ යනවා. අනෙක් අතට ප්‍රදේශය ජීවත්වීමට වඩා හොඳ වන තරමට මිල ඉහළ යනවා.

ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතිය තුළ හැම දරුවෙකුටම නිශ්චිත පාසැලක් හිමි වෙනවා. පාසැල තීරණය වෙන්නේ ඉන්න තැන අනුව. මේ හේතුව නිසා, හොඳ පාසැල් අවට ගෙවල් වලට ඉල්ලුම වැඩියි. ඒ නිසාම මිලත් වැඩියි. 

අනෙක් අතට, මිල වැඩි පැත්තක ගෙවල් මිල දී ගත හැක්කේ ආදායම වැඩි අයට. ආදායම වැඩි වෙද්දී යමෙක් තමන්ගේ දරුවන්ගේ අධ්‍යපනය වෙනුවෙන් කරන ආයෝජනද වැඩි වෙනවා. මේ ආයෝජන මූල්‍ය හෝ මූල්‍ය නොවන ආයෝජන විය හැකියි. දරුවන් වෙනුවෙන් දෙමවුපියන් වැඩියෙන් ආයෝජන කරද්දී දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යනවා. ඒ වගේ දරුවන් වැඩි දෙනෙක් ඉන්න පැත්තක පාසැලක් නිකම්ම හොඳ පාසැලක් වෙනවා. 

ඇමරිකාවේ අධ්‍යාපනය ප්‍රාදේශීය කටයුත්තක්. පොදු පාසැල් අධ්‍යාපන වියදම් වලින් විශාල කොටසක් දරන්නේ අදාළ ප්‍රදේශයේම ජීවත් වන අයයි. පාසැල් බොහෝ දුරට නඩත්තු වෙන්නේ වරිපනම් බදු වලින්. නිවාස වල මිල ඉහළ යද්දී එකතු වන  වරිපනම් බදු ආදායම්ද ඉහළ යනවා. ඊට අනුරූපව පාසැල් පද්ධතිය නඩත්තු කිරීම සඳහා ලැබෙන අරමුදල් ඉහළ ගිහින් වැඩි වැටුප් ගෙවා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගන්න පාසැල් වලට පුළුවන් වෙනවා. අනෙක් පහසුකම් වෙනුවෙන්ද වැඩි මුදලක් වැය කළ හැකි වෙනවා. ඒ හේතුව නිසාත් ප්‍රදේශයේ පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ යනවා. ඔය විදිහට පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ යද්දී වැඩියෙන් ආදායම් ලබන පවුල් එම ප්‍රදේශයට තවත් වැඩියෙන් ආකර්ෂණය වෙනවා.

ඇමරිකාවේ වෙඩි තැබීම් ගැන ගොඩක් වෙලාවට මාධ්‍ය වල කතා වෙනවා. යම් ප්‍රදේශයක මේ වගේ සිද්ධි නිතර වෙද්දී ඒ ප්‍රදේශයේ ගෙවල් වලට ඉල්ලුම අඩු වෙලා මිල පහළ යනවා. ඒ වගේ පැත්තක සාපේක්ෂව ලොකු ගෙයක් වුනත් අඩු මිලට ගන්න පුළුවන්. ගෙවල් වල මිල අඩු වෙද්දී වරිපනම් බදු ආදායම් අඩු වෙලා අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද අඩු වෙන නිසා ප්‍රදේශයට එන්න තිබෙන කැමැත්ත තවත් අඩු වෙනවා. මේ වගේ පැත්තකට පදිංචියට එන්නේ අවදානම් ගැන ලොකු තැකීමක් නොකරන අය. ඒ වගේ අය තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හෝ හොඳ සෞඛ්‍ය පුරුදු ආදිය ගැන වුනත් දක්වන්නේ අඩු සැලකිල්ලක්. මේ නිසා, මේ වගේ පැත්තක අධ්‍යාපන මට්ටම, සෞඛ්‍ය තත්ත්වය, සුරක්ෂිතතාවය වගේ කොයි දෙයක් දිහා බැලුවත් සාපේක්ෂව හොඳ මට්ටමක නැහැ.

වායු දූෂණය වගේ දෙයක් ගත්තත්, එහි මිල නිවාස වල මිලෙන් පිළිබිඹු වෙනවා. පිරිසිදු වාතය තිබෙන පැති වල ගෙවල් ගණන්. වාතයේ ගුණාත්මක භාවය අඩු වෙද්දී ගෙවල් වල මිලත් අඩු වෙනවා.

සක්‍රිය නිවාස වෙළඳපොළක් තිබෙන නිසා වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම ඔය බෙදීම කරනවා. හොඳ පැත්තක ඉන්නනම්, වැඩි මිලක් ගෙවන්න වෙනවා. නමුත් අඩු මිලක් ගෙවලා ඒ තරම් හොඳ නැති පැත්තක ඒ තරම්ම ලොකු ගෙයක ඉන්න පුළුවන්. ගේ හදන්න යන පිරිවැය පමණක් මත මිල තීරණය වෙනවානම් මේ තේරීම ලැබෙන්නේ නැහැ. නිවාස ඉල්ලුම මත තීරණය වන වෙළඳපොළ මිල ඇතුළේ සෘජුව ගණනය කළ හැකි ගේ හදන්න යන භාණ්ඩ හා සේවා වල වියදම් වගේම, වෙළඳපොළේ ඒ විදිහට නොවිකිණෙන පිරිසිදු වාතය, සුරක්ෂිත පරිසරය, හොඳ අසල්වැසියන් වගේ දේවල් වෙනුවෙන් ගෙවිය යුතු මිලත් වක්‍ර ලෙස තීරණය වෙනවා. ඒ මිලත් නිවසේ මිලට එකතු වෙනවා.

ඇමරිකානුවෙක් ගෙයක් මිල දී ගන්නේ ජීවිත කාලයම ඒ ගෙදර ඉන්න නෙමෙයි. වඩා වැඩි වැටුපක් වෙන ප්‍රදේශයකින් ලැබුණු ගමන් බොහෝ දෙනෙක් ගේ විකුණලා අලුත් රැකියා ස්ථානය තියෙන පැත්තට යනවා. දරුවන් ගණන වැඩි වෙද්දී ගේ විකුණලා ලොකු ගෙයක් ගන්නවා. රැකියාව වෙනස් නොකළත්, රැකියාවෙන් ලැබෙන ආදායම ඉහළ යද්දී ඉන්න ගේ විකුණලා වඩා ලොකු ගෙයක් ගන්නවා. නැත්නම් වඩා අලුත් ගෙයක් ගන්නවා. අවසාන වශයෙන් තමන්ගේ මාසික ආදායම ඉහළ යද්දී ඊට අනුරූපව නිවාස වෙනුවෙන් කරන වියදමද ඉහළ යනවා.

සාමාන්‍යයෙන් රැකියා වෙළඳපොළට එන තරුණයෙක් හෝ තරුණියක් මැදි වියට එද්දී ආදායම ඉහළ යනවා. මැදි විය පහු කරද්දී ආදායම තවත් ඉහළ යනවා. ඒ අතර දරුවන් ඉපදී පවුල ලොකු වෙනවා. දරුවන්ද ටිකෙන් ටික ලොකු වී ඒ අයට ගෙදර වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා. ඔය දේවල් වෙද්දී කිහිප වරක් ගෙවල් මාරු වෙන්න පුළුවන්. පළමු ගෙය ගනිද්දී මුළු මුදලම වගේ නිවාස ණයෙන් පියවා ගන්න වුනත්, දෙවෙනි තුන් වෙනි ගෙවල් ගනිද්දී පළමු ගෙයට යට කළ මුදල ඉතිරි වී තිබෙන නිසා මුළු මුදලම ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

ඇමරිකානුවෙකු හැම විටම ඔය විදිහට පොඩි ගෙයකින් ලොකු ගෙයකට යන්නේ නැහැ. එහි අනෙක් පැත්ත වෙන වෙලාවල්ද තිබෙනවා. ඕනෑම වෙලාවක ඇමරිකානුවෙකුගේ රස්සාව නැති වෙන්න පුළුවන්. සේවකයින්ට රැකියාව දමා යන්න තිබෙන අයිතියම අනෙක් පැත්තෙන් සමාගමටත් තියෙනවා. රස්සාව නැති වුනාට පස්සේ ජීවත් වෙන්න නැවත මොකක් හෝ රස්සාවක් හොයා ගන්න වෙනවා. ඒ හොයා ගන්න රස්සාවෙන් කලින් වැටුප නොලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන වැටුපට කලින් දැරූ නිවාස වියදම දරාගන්න බැරි වෙන්න පුළුවන්.

නිවාස වියදම දරාගන්න අමාරු වෙද්දී ඇමරිකානුවෙක් විසින් කරන්නේ ඉන්න ලොකු ගෙය විකුණලා පොඩි ගෙයකට යන එක. ඇමරිකානුවෙකුට ගෙයක් කියන්නේ තාවකාලිකව ජීවත් වන නවාතැනක් මිස ලොකු චිත්තවේගීය බැඳීමක් තිබෙන තැනක් නොවන නිසා මෙහි අවුලක් නැහැ. ඒ වගේම, මෙහි ලොකු සමාජයීය ප්‍රශ්නයකුත් නැහැ. 

ඇමරිකාවේ දික්කසාද අනුපාතය ටිකක් වැඩියි. දික්කසාද වුනාට පස්සේ දේපොළ බෙදී යන්නේ ලංකාවේ ක්‍රමයට නෙමෙයි. හැම දෙයක්ම දෙන්නා අතර සමසමව බෙදී යනවා. හම්බ කළේ කවුද, වියදම් කළේ කවුද වගේ දේවල් අදාළ නැහැ. ගොඩක් වෙලාවක විවාහක පවුලකට තිබෙන ලොකුම වත්කම ගෙවාගෙන ගිය නිවාස ණය වාරික ටික. ගෙයි වටිනාකමින් හිඟ ණය මුදල අඩු කළාට පස්සේ කොටස දෙකට බෙදූ විට එන එක් අයෙකුගේ කොටස සාමාන්‍යයෙන් ටිකක් ලොකු මුදලක්. එක් කෙනෙක් ගේ තියා ගන්නනම් ඒ මුදල අනෙක් තැනැත්තාට දෙන්න වෙනවා. නමුත්, ඒ වගේ මුදලක් අතින් දෙන එක අමාරු වැඩක් නිසා බොහෝ විට කරන්න වෙන්නේ ගේ විකුණලා, බැංකු ණය පියවලා, ඉතිරි සල්ලි ටික බෙදා ගන්න එකයි. මේකත් ගෙවල් විකිණෙන්න හේතුවක්.

දරුවන් ලොකු වෙලා ගෙදරින් ගියාට පස්සේ තව දුරටත් ලොකු ගෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය කාලයේදී ගොඩක් ඇමරිකානුවෝ, ආදායම තිබුණත්, ඉන්න ගේ විකුණලා පොඩි ගෙයකට යනවා. 

ඇමරිකානු දෙමවුපියන් විසිනුත් විශ්‍රාම ගත්තට පස්සේ ලංකාවේ වගේම දරුවන්ගේ දරුවන් බලා ගන්නවා. ඒ වගේ බැඳීම් තියෙන්නේ ලංකාවේ විතරයි කියන එක ලංකාවේ ඉන්න අයගේ හිතළුවක්. වෙනස, දරුවන්ගේ ගෙදරට රිංගලා දරුවන්ට වාතයක් නොවීම. ගොඩක් දෙමවුපියන් විසින් කරන්නේ අදාළ දරුවාගේ හෝ දරුවන්ගේ ගේ කිට්ටුවෙන් කුලියට හෝ සල්ලි වලටම ගෙයක් අරගෙන එහි පදිංචියට යන එක. එවිට වැඩට යන යන දරුවන්ට ඔවුන්ගේ දරුවන්ව තමන්ගේ දෙමවුපියන්ට භාර දීලා වැඩට යන්න පුළුවන්.

ඒ වගේම, විශ්‍රාමික වයසට ආපු ඇමරිකානුවෝ තමන්ගේ ගේ විකුණලා විශ්‍රාමික අය ජීවත් වන පැති වල පදිංචියට යනවා. ඒ වගේ පැති තියෙනවා. මේ වගේ පැත්තක පදිංචියට යන එකේ වාසිය සමාන අවශ්‍යතා තිබෙන පිරිසක් එක්ක ජීවත් වෙන්න ඉඩ ලැබීම. හොඳටම වයස්ගත වුනාට පස්සේ ගෙවල් විකුණලා මහලු නිවාසයකට යනවා. ඒක තමයි සුරක්ෂිතම තේරීම. දරුවෝ එක්ක ඉඳලා, දරුවෝ වැඩට ගියාට පස්සේ හදිසියක් වුනොත් මුහුණ දෙන්න වෙන අවදානම මහලු නිවාසයකට ගියාම නැති වෙනවා.

ඕක තමයි ඇමරිකාවේ නිවාස චක්‍රය. ඔය නිවාස චක්‍රය සම්පූර්ණ කරන ඇමරිකානුවෙක් තමන්ගේ ජීවිත කාලය තුළ 12 වරක් පමණ ඉන්න තැන මාරු කරනවා. උපන්දා සිට හතළිස් පාරකට වඩා ඉන්න තැන මාරු කරලා තිබෙන මටනම් මේක පොඩි ගාණක්. 

ඇමරිකානුවෙකුට ගෙයක් කියන්නේ යම් කාලයක් ජීවත් වන තැනක් පමණයි. තමන් ඉන්න ගේ කොයි වෙලාවේ හෝ විකුණන්න වන බව ඇමරිකානුවෙක් දන්නවා. ඒ නිසා, ගේ සම්බන්ධව කටයුතු කිරීමේදී තමන්ගේ රුචිකත්වය ගැන මෙන්ම එය අනාගතයේ මිල දී ගැනීමට ඉඩ තිබෙන අනෙකාගේ රුචිකත්වය ගැනත් හිතන්න වෙනවා. ඒ නිසාම, රජයෙන් එකම අච්චුවට ගෙවල් නොහැදුවත්, ගෙවල් අතර මූලික සමානකම් තිබෙන බවට වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම වග බලා ගන්නවා. නිවාස ණය ක්‍රමය, නිවාස රක්ෂණ ක්‍රමය ආදී දියුණු වෙළඳපොළ යාන්ත්‍රණ නිසා මේ සමානත්වය තවතවත් තහවුරු වෙනවා. 

ඇමරිකානුවෙක් සල්ලි දීලා තමන්ටම ගෙයක් ගත්තත්, අයිතිය පෞද්ගලික වුනත්, ඇත්තටම එය එක්තරා ආකාරයක පොදු භාණ්ඩයක්. කාට වුනත් ගෙයක් නඩත්තු කරන්න වෙන්නේ පොදු සමාජයට අවශ්‍ය විදිහට. පොදු සම්මත වලට ගැලපෙන විදිහට. එහෙම නැත්නම් වෙළඳපොළ වටිනාකම අහිමිවීමේ පාඩුව දරාගන්න වෙනවා. 

ඉහත හේතුව නිසාම, ඇමරිකාව ඇතුළේ ගෙයකින් ගෙයකට යන එක විශාල ආතතියක් හෝ කම්පනයක් ඇති කරන දෙයක් නෙමෙයි. අලුත් ගෙයත් බොහෝ කරුණු අතින් පරණ ගේ වගේම තමයි. 

අනෙක් අතට තමන්ගේම ගේක හිටියා හෝ කුලියට හිටියා කියලා ජීවත් වන විදිහේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අවුරුදු හතරක් පහක් එක තැනක එක දිගට ඉන්න අදහස් කරනවානම් ගෙයක් සල්ලි වලට ගන්න එක වාසියි. අවුරුද්දක් දෙකක් ඉන්නවානම් ගෙයක් හෝ මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක වාසියි. ඊටත් අඩු කාලයකට ඉන්න දිගුකාලීන පදනම මත හෝටල් හා නවාතැන්පළ කාමර කුලියට ගන්න පුළුවන්. ඔය කොයි දේ කළත්, ගණන් වල පරාසය ගොඩක් විශාල නැහැ. 

මේ විදිහට ලොකු ගෙවල්, පොඩි ගෙවල්, මහල් නිවාස ඒකක, තමන්ගේම ගෙවල්, කුලී ගෙවල්, හෝටල් හා නවාතැන්පොළවල් අතර මාරු වෙද්දී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලට විසඳුම්ද වෙළඳපොළ යාන්ත්‍රනය ඇතුළේම හැදිලා තිබෙනවා. බඩු වැඩිනම්, පොඩි ගේක තියා ගන්න ඉඩ නැත්නම්, ගබඩා කාමරයක් කුලියට ගන්න පුළුවන්. හැම නගරයකම වගේ තැනින් තැන මෙවැනි ගබඩා කාමර පහසුකම් සපයන ගබඩා කාමර සංකීර්ණ තිබෙනවා. ඒ වගේම, ගෙයකින් ගෙයකට බඩු ප්‍රවාහනය කර ගැනීම සඳහා කුලියට ගත හැකි ඒ සඳහාම හදපු වාහන හා අනෙකුත් සේවාවන් තිබෙනවා. 

මේ වගේ කරුණු ගණනාවක් නිසා කිසියම් මොහොතක ඇමරිකානුවෙකු ජීවත් වෙන්නේ තමන්ටම අයිති නිවසක නෙමෙයි කියන එකෙන් අදහස් වන්නේ තමන්ටම නිවසක් අයිති කර ගැනීමේ හැකියාවක් නැහැ කියන එක නෙමෙයි. එය හොඳම තේරීම නොවන බවයි. උදාහරණයක් විදිහට පසුගිය වසංගත සමයේ ඇමරිකාවේ තමන්ගේම නිවසක ජීවත් වන ප්‍රතිශතය එකවර විශාල ලෙස ඉහළ ගියා. නමුත්, එයින් අදහස් වුනේ හොඳ දෙයක් නෙමෙයි. එය තමන්ගේ නිවස විකුණා වෙනත් නිවසකට යාමට පොළඹවන ආර්ථික අවස්ථා තාවකාලිකව අඩු වීමේ ප්‍රතිඵලයක්.

වෙබ් ලිපිනය: