වෙබ් ලිපිනය:

Showing posts with label නීතිය. Show all posts
Showing posts with label නීතිය. Show all posts

Friday, March 20, 2026

වැඩි මිලට තෙල් විකුණන්න පුළුවන්ද?


සමහර අය කියන විදිහට පෞද්ගලික තෙල් සමාගම් වලට තෙල් ගෙනත් කැමති මිලකට විකුණන්න පුළුවන්කම තියෙද්දී ඔවුන් එසේ නොකර ඉන්නවද? ඒ විදිහට, ඔවුන්ට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන්ද?

මේ හා අදාළව දැනට බලාත්මකව තිබෙන්නේ 2479/27 අංක දරන, 2026 මාර්තු 9 දින නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රයයි. එහි සඳහන්ව තිබෙන්නේ කුමක්ද?

"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වන මම, 2026 මාර්තු 9 දින මධ්‍යම රාත්‍රී 12:00 සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරමි."

ඉන් පසුව, ඉන්ධන වර්ග පහක පවතින මිල සහ සංශෝධිත මිල සඳහන් කර තිබෙනවා. එම සියළුම මිල ගණන් නිශ්චිත මිල ගණන්. මේ මිල ගණන් කිසිවක් අවම හෝ උපරිම මිල ගණන් බවක් ගැසට් නිවේදනයේ සඳහන්ව නැහැ. ඒ වගේම, මෙම මිල ගණන් අදාළ වන්නේ නිශ්චිත ආයතනයකට හෝ නිශ්චිත ප්‍රදේශයකට බවක්ද ගැසට් නිවේදනයේ සඳහන්ව නැහැ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වෙත පැවරී ඇති බලතල මොනවාද?

පණතේ 66(1) වගන්තිය අනුව බලශක්ති ඇමතිවරයාට මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබා ගෙන ඉන්ධන මිල ගණන් හා අදාළව (a) උපරිම මිලක් (b) අවම මිලක් හෝ (c) නිශ්චිත මිලක් නියම කරමින් නියෝගයක් නිකුත් කළ හැකියි. 

පණතේ 66(2)a අනු වගන්තිය අනුව එසේ නියෝගයක් කරන විට එය තෙල් සංස්ථාවට පමණක් බලපැවැත්වෙන පරිදි සිදු කළ හැකියි. එසේ නැත්නම්, 66(2)b අනුව සියල්ලන්ටම බලපාන පරිදි නියෝගය පැනවිය හැකියි. 66(2)c අනුව, යම් නිශ්චිත ප්‍රදේශයකට හෝ කාලයකට පමණක් බලපාන පරිදි සිදු කළ හැකියි. 

බලශක්ති ඇමතිවරයා විසින් මෙවැනි නියෝගයකට අත්සන් තබා එය ගැසට් කිරීමෙන් පසුව නියෝගය බලාත්මක වෙනවා. 

ඉංජිනේරු කුමාර ජයකොඩිගේ නිවේදනයෙහි "ඉන්ධන මිල" මිස එයින් අදහස් වන්නේ කුමක්ද කියා පැහැදිලි කර නැහැ. ඒ නිසා, පණතේ 66 වන වගන්තිය සහ නියෝගය එක්ව ගත් විට මෙය උපරිම, අවම හෝ නිශ්චිත මිලක් වෙන්න පුළුවන්. ඒ වගේම, මේ නියෝගය තෙල් සංස්ථාවට පමණක් බලපාන නියෝගයක් බව සඳහන් කර නැහැ. ඒ නිසා, හරියටම ගැසට් නිවේදනයේ සඳහන් මිලට ඉන්ධන නොවිකුනා අඩුවෙන් හෝ වැඩියෙන් විකුණන අයෙකුට නීතිමය අවදානමක් ගන්න සිදු වී තිබෙනවා. ඒ නීතිමය අවදානම හා බැඳුනු විශාල මූල්‍යමය අවදානමකුත් තිබෙනවා.

පේන විදිහට ඇත්තටම වෙලා තියෙන්නේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විසින් (කැම්පස් වල කෝස්වර්ක් ගහන විදිහට) හිටපු බලශක්ති අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ ගැසට් නිවේදන වල දිනය සහ මිල ගණන් පමණක් වෙනස් කරලා අලුත් ගැසට් එකක් ගහන එක. අස්සන ගහද්දී පණත කියවා ඇති බවක් පේන්නේ නැහැ. ඊට කලින් අනුර කුමාර දිසානායක විසින් කරලා තියෙන්නෙත් ඒ විදිහටම කාංචන විජේසේකර ගහපු ගැසට් එකේ දිනය සහ මිල ගණන් වෙනස් කර අලුත් ගැසට් එකක් ගහන එක.

කාලයක් තිස්සේ ලංකාවේ ඉන්ධන මිල ගණන් නිසි ක්‍රමවේදයකට සංශෝධනය වුනේ නැහැ. තෙල් සංස්ථාව රුපියල් ට්‍රිලියනය ඉක්මවන විශාල අලාබයක් එකතු කර ගත්තේ ඒ නිසා. මේ වැඩේ අවුරුදු ගාණකට පස්සේ වෙනස් වුනේ 2022දී. ඒ අනුව මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබ කිසියම් පිළිවෙළකට මිල ගණන් විචලනය කිරීමක් (මාසයකට වරක්) සිදු වෙන්න පටන් ගත්තා.

මිල සූත්‍රයේ අරමුණ වුනේ තෙල් සංස්ථාවට පාඩු නොලැබෙන මිලකට තෙල් විකුණන එක. සාමාන්‍යයෙන් මේ මිල අඩු මිලක් වූ නිසා ඒ වෙද්දී වෙළඳපොළේ හිටපු LIOC සමාගම කවදාවත් ඊට වඩා අඩුවෙන් තෙල් විකිණුවේ නැහැ. තෙල් සංස්ථාවේ විශාල වෙළඳපොළ පංගුව නිසා ඊට වඩා වැඩියෙන් තෙල් විකිණුවෙත් නැහැ. ඒ නිසා ඒ කාලයේ ඔය ගැසට් නිවේදනය කවදාවත් ප්‍රශ්නයක් වුනේ නැහැ.

සිනොපෙක් සමාගම පැමිණි අලුත ඇතැම් ඉන්ධන වර්ග රුපියල් තුනක් අඩු මිලකට විකිණුවා. රජය විසින් එය ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඒ අනුව පෙනෙන පරිදි, රජය විසින් ගැසට් කළ මිල ප්‍රායෝගිකව උපරිම සිල්ලර මිලක් සේ සැලකීම පිළිබඳ පුර්වාදර්ශ තිබෙනවා. නමුත් ඒ මිලට වඩා වැඩියෙන් විකුණන එකේ පැහැදිලි අවදානමක් තිබෙනවා.

දින කිහිපයකට කලින් ජනාධිපති දිසානායක විසින් ව්‍යාපාරිකයින් පිරිසකට වැඩි මිලට තෙල් මිල දී ගෙන විකිණීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් එසේ කිරීම මගින්, පෙනෙන විදිහට, නීතිමය අවුලක් හදාගෙන තිබෙනවා. ඉතා ඉක්මණින් හරියකට ගැසට් එකක් ගසා නියෝගය අලුත් කිරීම මගින් මේ අවුල ලෙහා ගන්න පුළුවන්.

ගැසට් එක හරියට ගැසිය හැක්කේ කොහොමද?

- ආණ්ඩුවට ඇත්තටම අවශ්‍ය උපරිම සිල්ලර මිලක්නම් එය පැහැදිලිව සඳහන් කළ යුතුයි. එසේ නැත්නම්, ව්‍යාකූල ලෙස 66 වගන්තිය අනුව කියන්නේ නැතිව, 66(1)a අනුව කියා නිශ්චිතව සඳහන් කළ යුතුයි.

- ආණ්ඩුවට අවශ්‍ය තෙල් සංස්ථාවේ මිල තීරණය කිරීමට පමණක්නම්, එය පැහැදිලිව නියෝගයේ සඳහන් විය යුතුයි. එසේ නැත්නම්, 66(2)a අනුව කියා නිශ්චිතව සඳහන් කළ යුතුයි.

- ඔය දෙකම නිශ්චිතව සඳහන් කළත්, "ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව මෙතෙක් නිකුත් කර ඇති අනෙකුත් සියලුම නියෝග මේ සමඟ අවලංගු වේ" කියන කොටසත් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි. එසේ නැත්නම් කවදා හෝ නිකුත් කළ පරණ නියෝගයකට වලංගු භාවයක් තිබෙනවා. 

(ඔය වැඩේ කළත් පෞද්ගලික තෙල් සමාගම් වැඩි මිලට තෙල් නොවිකුණන්න ඉඩ තිබෙනවා. එය වෙනම ආර්ථික කාරණයක් නිසා මේ සටහනේ පැහැදිලි කරන්න යන්නේ නැහැ.)

Saturday, February 21, 2026

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?


ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම්ව ආනයන මත විශාල පරාසයක තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය නොමැති බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

මෙම නඩු තීන්දුව විශාල ගෝලීය ආර්ථික හා දේශපාලනික බලපෑමක් ඇති නඩු තීන්දුවක්. එහිදී සලකා බැලුනු ප්‍රධානම කරුණ වූයේ ඇමරිකාවේ බදු පැනවීමේ බලය තිබෙන්නේ කා සතුවද යන්නයි. ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසුව කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ඇමරිකාවේ ජනාධිපතිවරයාට ආනයන මත තීරු බදු පැනවිය හැකිද?

මෙම නෛතික ප්‍රශ්නය සඳහා මේ වන විට ලැබී ඇති ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුර "නැත" යන්නයි.

පදවි ප්‍රාප්තයෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්ව දෙකක් ප්‍රකාශයට පත් කරමින් වට දෙකකින් තීරු බදු පැනවීම් සිදු කළා. පළමුව, කැනඩාව, මෙක්සිකෝව සහ චීනයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගලා එන බවත් එය මහජන සෞඛ්‍ය අර්බුදයක් බවත් සඳහන් කරමින් තීරු බදු පැනවීමක් කළා. දෙවනුව, විශාල සහ දිගුකාලීනව අඛණ්ඩව පවතින ඇමරිකාවේ වෙළඳ හිඟය රටේ නිෂ්පාදන ආර්ථිකය දුර්වල කරන බව පවසමින් ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මත තීරු බදු පනවනු ලැබුවා.

මෙම තීරු බදු පැනවීම් සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගත්තේ 1977දී සම්මත කර ගෙන තිබුණු ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ (International Emergency Economic Powers Act -IEEPA) ප්‍රතිපාදනයි. මෙම නීතිය මීට පෙර භාවිතා කර තිබුණේ විවිධ රටවල් මත ආර්ථික සම්බාධක පැනවීම පිණිසයි. අධිකරණය විසින් විසඳිය යුතු වූ මූලික නෛතික ප්‍රශ්නය වූයේ අදාළ පණතේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට තීරු බදු පැනවීම සඳහා බලතල ලැබෙන්නේද යන්නයි.

නඩු තීන්දුව ලබා දීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගෙන තිබෙන්නේ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I(8) වගන්තියයි. එම වගන්තිය අනුව බදු පැනවීම ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය සතු අයිතියක්. තීරු බදු යනු ආනයන මත අය කෙරෙන බදු බැවින් තීරු බදු පැනවීමේ අයිතියද ව්‍යවස්ථාදායකය සතුයි. විධායකයේ තර්කය වූයේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණත මගින් හදිසි අවස්ථාවකදී කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන බවයි.

නව පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක්. අග විනිසුරු ජෝන් රොබට්ස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හය දෙනෙකුගේ බහුතර මතය අනුව, විධායකයට කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා අයිතියක් නොමැති බව අධිකරණ මතය බවට පත් වී තිබෙනවා. මෙම විනිසුරුවරුන් හය දෙනා අතර රිපබ්ලිකන් ජනාධිපතිවරුන් විසින් පත් කළ විනිසුරුවරුන් තිදෙනෙකුද සිටීම විශේෂත්වයක්.

මේ තීන්දුව අනුව පසුගිය වසරක පමණ කාලය තුළ අය කළ තීරු බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී අය කිරීම් බවට පත් වෙනවා. එම මුදල් ආපසු ගෙවිය යුතු බවක් හෝ එසේ කළ යුතු ආකාරය නඩු තීන්දුවේ සඳහන්ව නැතත්, මෙම නඩු තීන්දුව මත පදනම්ව, තමන්ගෙන් අනීතිකව අය කරගත් බදු ආපසු ඉල්ලා සිටිමින් නඩු පැවරීම සඳහා ආනයනකරුවන්ට අවස්ථාව සැලසෙනවා. 

ඉහත නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ තීරු බදු පැනවීම නීති විරෝධී බව තීරණය වී ඇතත්, වෙනත් පනත් වල ප්‍රතිපාදන අනුව නැවත බදු පැනවීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම "හරි ක්‍රමයට" කොංග්‍රසයේ අනුමැතිය ලබා ගනිමින් ඉහත නීතිය හෝ අදාළ වෙනත් නීති වෙනස් කරගැනීමට මෙන්ම අලුත් නීති පනවා තීරු බදු අය කිරීමටද ඇමරිකාවට පුළුවන්. එහෙත්, මෙවැනි ක්‍රියාමාර්ග හදිසි නීතිය යටතේ විධායකයේ තනි කැමැත්තට තීරු බදු පනවන තරම් පහසු නැහැ.

පසුගිය වසරක පමණ කාලය තුළ අය කර තිබෙන "නීති විරෝධී" තීරු බදු ප්‍රමාණය සැලකූ විට එම බදු අය කිරීම් වල බලපෑම ආපසු හැරවීම පහසු කටයුත්තක් නෙමෙයි. එවැනි පරිමාණයක ආපසු හැරවීමක් මීට පෙර සිදු වී නැහැ. ඒ නිසා, සිදු වී ඇති "වැරැද්දට" නීතිමය ආවරණයක් ලැබෙන පරිදි නීති සම්මතයක් හෝ සංශෝධනයක් යෝජනා වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 


Thursday, November 28, 2024

උසස්පෙළ ප්‍රශ්නයක්!


"2023 නව මහ බැංකු පණත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වළක්වාලනු ලැබ ඇත්තේ,

(1) මුදල් අච්චු ගැසීමෙනි 

(2) ආණ්ඩුවට සෘජුව හෝ වක්‍රව ණය ලබා දීමෙනි.

(3) ආණ්ඩුවේ බැංකුකරුවා ලෙස ඉටුකරනු ලබන කාර්යය කිරීමෙනි.

(4) මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙස විවට වෙළඳපොළ කටයුතු කිරීමෙනි 

(5) විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වීමෙනි."

මෙය පාඨකයෙකු විසින් අප වෙත යොමු කර ඇති මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද?

නව මහ බැංකු පණතේ 37 වගන්තිය අනුව, ඉහත (5) මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඒ වගේම, 31 වගන්තිය අනුව (4) කියන්නේත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. පණතේ 81 වගන්තියෙන් (3) සඳහා ඉඩ සලසා ඇති බැවින් පිළිතුර එයද විය නොහැකියි. ඒ අනුව, "අපේක්ෂිත පිළිතුර" විය හැක්කේ (1) හෝ (2).

"මුදල් අච්චු ගැසීම" කියන එක ඇත්තටම අවුල් සහගත යෙදුමක්. එය සාමාන්‍ය භාවිතයේදී යොදා ගැනෙන යෙදුමක් මිසක් තාක්ෂණික වචනයක් නෙමෙයි. ඒ නිසා, නව මහ බැංකු පණතේ හෝ පැරණි පණතේ මේ වචනය ඒ ආකාරයෙන්ම භාවිතා කර නැහැ.

වචන වල සාමාන්‍ය අර්ථයෙන් "මුදල් අච්චු ගැසීම" කියද්දී හැඟවෙන්නේ මුදල් නෝට්ටු අච්චු ගැසීම. නව මහ බැංකු පණතේ 44 වගන්තිය අනුව මහ බැංකුවට ශ්‍රී ලංකාව තුළ මුදල් නිකුත් කිරීම සඳහා අනන්‍ය බලයක් හිමි වෙනවා. තෙවන පාර්ශ්වයක් හරහා මේ වැඩේ කරගත්තත් අදාළ කාර්යය සිදු වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදියි.

කෙසේ වුවත්, සාමාන්‍ය ව්‍යවහාරයේ "මුදල් අච්චු ගැසීම" කියා කියද්දී එයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි වෙන යම් ක්‍රියාමාර්ගයන් ගැනීමයි. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණයේත්, වාණිජ බැංකු හා රජය විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුම් ශේෂ වලත් එකතුවයි. 

මහ බැංකුව විසින් (4) හා (5) කරද්දීත්, තවත් දේවල් කරද්දීත්, සංචිත මුදල් සැපයුම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා, (1) නිවැරදි පිළිතුරක් සේ සලකන්න බැහැ. එවිට ඉතිරි වෙන්නේ (2).

නව මහ බැංකු පනතේ 86(1) වගන්තියෙහි මෙසේ සඳහන් වෙනවා.

"මහ බැංකුව විසින්, සෘජුව හෝ වක්‍රාකාරව, ආණ්ඩුව වෙත හෝ ආණ්ඩුවට අයත් යම් පොදු අධිකාරියක් වෙත හෝ වෙනත් යම් රාජ්‍ය අස්ථිත්වයක් වෙත ණය ප්‍රදානය නො කළ යුතුය."

මෙම වගන්තිය අදාළ නොවෙන ව්‍යතිරේඛ ගණනාවක් තිබුණත්, ඉහත පිළිතුරු අතරින් "වඩාත්ම සුදුසු" පිළිතුර සේ සැලකිය හැක්කේ (2) පිළිතුරයි. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත්නම්, (1), (4) හා (5) මගින් රජයට වක්‍ර ලෙස ණය දීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් මෙහිදී පිළිතුර තෝරා ගන්න වෙන්නේ පණතේ සඳහන්ව තිබෙන නිශ්චිත වචන අනුවයි.

Wednesday, November 20, 2024

නිවුයෝර්ක් අධිකරණයෙන් තවත් දින දහයක්!


ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක්හි අධිකරණයක ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම තෙවන වරටද තාවකලිකව අත් හිටවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජය විසින් එම අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද, මෙවර අදාළ නඩුව විභාගයට ගැනීම අත් හිටුවා තිබෙන්නේ ඉතා කෙටි කාලයකටයි. එනම්, මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව සහ එම බැංකුව වෙත බලය පවරා ඇති අනෙකුත් පාර්ශ්ව වෙත ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් වශයෙන් ඩොලර් මිලියන 250ක් පමණ මුදලක් ආපසු ගෙවිය යුතුයි. එම බැංකුව විසින් අදාළ මුදල ලබා ගැනීම සඳහා අධිකරණ සහාය අපේක්ෂා කරනවා.

මෙම නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන මෙන් 2023 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම එම අධිකරණය විසින් පිළිගත්තා. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාසියට ලැබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ රජය විසින් (නීතිපති) මෙන්ම එක්සත් රාජධානිය හා ප්‍රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසයි. මේ අනුව 2024 පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කළ නමුත් ඒ වන තුරුද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වුනේ නැහැ. 

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් මෙම වාරණ නියෝගයේ කාලය තවත් මාස පහකින් දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව දෙවන වරටද නඩුව විභාගයට ගැනීම කල් තබනු ලැබුවා. දැන් නැවත වරක් නඩුව විභාගයට ගැනීම කල් දමා තිබෙනවා. එහෙත්, එසේ කල් දී තිබෙන්නේ මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් පසුගිය ඔක්තෝබර් 1 දින අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබුනේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති සේ තේරී පත්වීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය ප්‍රමාද වනු ඇති බවයි. එහෙත්, මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය විසින් ඔක්තෝබර් 4 වන දින එම අධිකරණයට දැනුම් දුන්නේ නව රජය විසින්ද හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා අනුව දිගටම කටයුතු කෙරෙනු ඇති බවයි. නිවුයෝර්ක් අධිකරණය විසින් මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන තිබෙනවා. එමෙන්ම මෙතෙක් නඩුව විභාගයට ගැනීම කල් දැමීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉදිරියට යාමට උදවු වී ඇති බවද එම අධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් කර ඇති එක් ඉල්ලීමක් වන්නේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කළද ඔවුන්ට ලැබිය යුතු මුදල් කිසිදු අඩුවක් නොමැතිව ආපසු ගෙවන බවට ශ්‍රී ලංකා රජය විසින් සහතිකයක් ලබා දිය යුතු බවයි. එහෙත්, අධිකරණය විසින් ශ්‍රී ලංකාවට එවැනි කොන්දේසියක් පනවා නැහැ.

ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය හා අදාළ එකඟතා සියල්ල මේ වන විට අවසන්ව ඇති අතර දැන් ශ්‍රී ලංකා පාර්ශ්වයට අවශ්‍යව තිබෙන්නේද මේ කටයුත්ත ඉක්මණින් අවසන් කර ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විමර්ශනය අවසන් වූ පසුව මෙම කටයුත්ත මීළඟ අදියරට යනු ඇතැයි සිතිය හැකියි. කෙසේ වුවත්, හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව විභාගයට නොගැනීම සඳහා දැනට ඉතිරිව තිබෙන්නේ දින දහයක කාලයක් පමණක් බැවින්, ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේ ඊළඟ අදියර ඉතා ඉක්මණින් ආරම්භ නොවුවහොත් ශ්‍රී ලංකාවට තවත් වරක් ප්‍රස්තුත අධිකරණය වෙත යන්නට සිදු විය හැකියි. 

Friday, October 18, 2024

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය

පසුගිය අගෝස්තු 8 දින ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ 52 වගන්තිය අනුව, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනක කාලයක් ඇතුළත මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබිය යුතු අතර එහි පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි.

- අදාළ වර්ෂය සඳහා රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ ඇස්තමේන්තු 

- රාජ්‍ය ණය පිළිබඳ ඇස්තමේන්තු 

- ඉහත ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී සිදු කර ඇති උපකල්පන 

- රාජ්‍යමූල්‍ය තත්ත්වය කෙරෙහි බලපෑ හැකි අවදානම් පිළිබඳ ප්‍රකාශයක්.

මේ වන විට ඉහත වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

රාජ්‍ය ආදායම 

ඉහත වාර්තාව අනුව ජනවාරි සිට අගෝස්තු අවසානය දක්වා මාස අටක කාලය තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,557.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 40.5%ක වර්ධනයක්. මෙය අයවැය ඇස්තමේන්තු අනුව අපේක්ෂිත වර්ධනය වූ 20.5%ට වඩා සැලකිය යුතු තරමින් ඉහළ මට්ටමක්. 

බදු ආදායම පමණක් සැලකුවහොත් රුපියල් බිලියන 2,348.5 දක්වා 41.4%කින් වර්ධනය වී ඇති අතර ඇස්තමේන්තුගත වර්ධනය 22.0%ක් පමණයි. බදු නොවන ආදායම්ද ඇස්තමේන්තුගත වර්ධනය වූ 3.2% විශාල ලෙස ඉක්මවමින් 31.7%කින් වර්ධනය වී තිබෙනවා.

බදු ආදායම ඉහළ යාමට විශාල ලෙස දායක වී තිබෙන්නේ භාණ්ඩ හා සේවා මත අය කරන බදු වලින් ලැබෙන ආදායම 59.8%කින් වර්ධනය වී රුපියල් බිලියන 1,421.3 දක්වා ඉහළ යාමයි. ඇස්තමේන්තුගත වර්ධනය 26.8%ක් පමණයි. විදේශ වෙළඳාම මත අය කරන බදුද ඇස්තමේන්තුගත වර්ධනය වූ 11.0% ඉක්මවා 29.0%කින් වර්ධනය වී තිබෙනවා. එහෙත්, ආදායම් බදු වර්ධනය වී තිබෙන්නේ 16.3%කින් පමණයි. මෙම වර්ධනය ඇස්තමේන්තුගත මට්ටම වූ 18.4%ට වඩා තරමක් අඩුයි. එහෙත්, වසරේ ඉදිරි මාස හතරක කාලය තුළ ආදායම් බදු එකතු වෙද්දී වර්ෂාවසාන ඉලක්කය කරා යා හැකි වනු ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. 


රාජ්‍ය වියදම් 

වසරේ පළමු මාස අටක කාලය තුළ රාජ්‍ය වියදම් වර්ධනය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 12.2%කට සීමා කිරීම ඉලක්කය වුවද, සැබෑ රාජ්‍ය ආදායම් වර්ධනය 5.4%කට සීමා කරගෙන තිබෙනවා. රුපියල් බිලියන 3,477ක් වන පළමු මාස අටේ රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 1,560ක්ම වැය වී තිබෙන්නේ පොලී ගෙවීම් සඳහා වුවත්, පොලී ගෙවීම් වියදම් වර්ධනය ඇස්තමේන්තුගත වර්ධනය වූ 20.9%ට සාපේක්ෂව 2.2%කට සීමා වී තිබෙනවා. අනෙකුත් පුනරාවර්තන වියදම් සිදු කෙරී තිබෙන්නේද ඇස්තමේන්තුගත මට්ටමට වඩා අඩුවෙන්. එම ඉතිරියෙන් කොටසක් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු ඉක්මවා වර්ධනය කිරීම පිණිස යොදවා තිබෙනවා.


අයවැය අතිරික්තය 

වසරේ පළමු මාස අටක කාලය තුළ රුපියල් බිලියන 648.6ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී ඇති නමුත් පොලී වියදම් වලින් පසුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 911.0ක්. මෙම හිඟය පියවා ගැනීම සඳහා රුපියල් බ්ලියන 742.4ක දේශීය ණය සහ රුපියල් බිලියන 168.6ක විදේශීය ණය යොදාගෙන තිබෙනවා.

ණය සේවාකරණය 

වසරේ මුල් මාස අටක කාලය තුළ ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2,321ක මුදලක් යොදවා තිබෙනවා. ඒ, පෙර සඳහන් කළ රුපියල් බිලියන 1,559ක පොලී වියදමේ සහ රුපියල් බිලියන 762ක ණය වාරික ආපසු ගෙවීම් වල එකතුව ලෙසයි. 

පොලී වියදම් වලින් රුපියල් බිලියන 1,459ක්ම දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන් වැය වී ඇති අතර විදේශ ණය වල පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 100ක මුදලක් වැය වී තිබෙනවා. ඒ අතර, විදේශ ණය වල වාරික ලෙස රුපියල් බිලියන 107ක් සහ දේශීය ණය වල වාරික ලෙස රුපියල් බිලියන 655ක් වැය වී තිබෙනවා. මෙම ණය ආපසු ගෙවීම් වලට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගන්නා ණය ආපසු ගෙවීම් ඇතුළත්ව නැහැ. 

ඉහත දත්ත අනුව විදේශ ණය වාරික හා පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 207ක් වැය වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 650-700 අතර මුදලක්.


භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වය 

අලුත් මහ බැංකු පණත සම්මත වීමෙන් පසුව රජයට හිතුනු හිතුනු වෙලාවට මහ බැංකුවෙන් ණය ගත නොහැකියි. ඒ නිසා, හදිසියකදී ප්‍රයෝජනයට ගැනීමට තරම් ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවත්වා ගත යුතුයි. මෙම අරමුණ ඇතිව, පසුගිය කාලයේදී අඩු පොලියට ණය ලබා ගත හැකිව තිබුණු අවස්ථා වලදී ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා වියදමට සහ ණය හා පොලී ගෙවීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා තරමක් වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින් මුදල් රැස් කිරීමක් සිදු කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර මුල රුපියල් බිලියන 94.0ක් වූ රජයේ බැංකු ගිණුම් ශේෂය අගෝස්තු අවසානය වන විට රුපියල් බිලියන 760.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත සම්මත කරගනු ලැබීමට පෙර සිදු වූ සෑම ආණ්ඩු වෙනසකින් පසුවම අහන්නට ලැබුණේ තමන්ට ලැබුනේ හිස් භාණ්ඩාගාරයක් බවයි. මැතිවරණයක් ආසන්න වෙද්දී පවතින ආණ්ඩුව විසින් අත දිග හැර සල්ලි වියදම් කිරීම හැම විටම මෙන් දැකිය හැකි වූ දෙයක්. එහෙත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත නිසා මෙවර එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. රුපියල් බිලියන 760.1ක මුදල් අතිරික්තය වසරේ පළමු මාස අටක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කර ඇති රුපියල් බිලියන 660ක මුදල හා සැසඳීමෙන් මේ වන විට රාජ්‍යමූල්‍ය තත්ත්වය කොපමණ යහපත් මට්ටමක ඇත්ද යන්න පිළිබඳව අදහසක් ගත හැකියි. 

දැනට පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව විසින්ද මෙම යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වය එලෙසම දිගටම පවත්වා ගැනීමට හෝ තවත් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවයි. විශේෂයෙන්ම කලින් ආණ්ඩුව විසින් සිදු කිරීමට තීරණය කර තිබුණු රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් අත් හිටවීම හේතුවෙන් රාජ්‍යමූල්‍ය තත්ත්වය වඩා යහපත් මට්ටමකට පැමිණීමට නියමිතයි. 

Sunday, October 13, 2024

මැතිවරණ දිනය නීත්‍යානුකූලද?

සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය "අනවශ්‍ය සීමා කිරීමක්" ලෙස දකිද්දී තවත් අය "ඒ තරම් දෙයක්වත් හරියට කර ගත නොහැකි වීමක්" ලෙස අදහස් පළ කර තිබෙනු දැකිය හැකියි. 

මට පෙනෙන විදිහටනම්, මේ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන්නේම පාර්ලිමේන්තු මැතිවරණ පණතට අනනුකූලවයි. 1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පණතෙන් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තිය අනුව, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය "නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති පහකට නොඅඩු වූද සති හතකට නොවැඩි වූද දිනයක්" විය යුතුයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණ දිනය නිවේදනය කළ 2024 සැප්තැම්බර් 24 දිනැති අංක 2403/13 දරන ඇති විශේෂ ගැසට් පත්‍රය අනුව, "නාමයෝජනා කාලසීමාව වශයෙන් වර්ෂ දෙදහස් විසිහතරක් වූ ඔක්තෝබර් මස හතර වන දිනයෙන් ආරම්භව වර්ෂ දෙදහස් විසිහතරක් වූ ඔක්තෝබර් මස එකොළොස් වන දිනට අවසන් වන කාලසීමාව" නාමයෝජනා භාරගත යුතු කාලසීමාව ලෙස නියම කර තිබෙනවා. 

මේ අනුව, නාමයෝජනා කාලසීමාව අවසන් වූයේ ඔක්තෝබර් 11 සිකුරාදා දිනයි. එදින සිට සති පහකට නොඅඩු කාලයකින් පසු එළඹෙන පළමු දිනය නොවැම්බර් 15 සිකුරාදා දිනයයි. නමුත් මැතිවරණය සඳහා නියම කර තිබෙන දිනය නොවැම්බර් 14 දිනයයි. මෙය "නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති පහකට නොඅඩු වූද සති හතකට නොවැඩි වූද දිනයක්" නෙමෙයි. ඒ අනුව, මෙම දිනය පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තියට අනුකූල නැහැ. 

මැතිවරණය පෝය දිනයකද පැවැත්විය නොහැකියි. නොවැම්බර් 15 ඉල් පුර පසළොස්වක පෝයයි. ඒ අනුව, මැතිවරණය පැවැත්විය හැකි මුල්ම දිනය වන්නේ නොවැම්බර් 16 දිනයයි. එහෙත්, කිසිදු අපේක්ෂකයකු හෝ දේශපාලන පක්ෂයක් මෙය ප්‍රශ්නයක් කරගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. 



Friday, August 23, 2024

තවත් මැතිවරණයක් අත ළඟද?


පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා. ඒ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. 

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන වල කාලය පසුගිය වසරේ (2023) මාර්තු 19 දිනෙන් අවසන් වුනා. පළාත් පාලන මැතිවරණ පණත අනුව එසේ කාලය අවසන් වන දිනයට මාස හයකට පෙර කාලය තුළ මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු වුනත් අදාළ මැතිවරණ මේ දක්වාම පවත්වා නැහැ. මැතිවරණ කොමිසමට මෙම මැතිවරණ නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වූයේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය විසින් ලබා නොදුන් බැවිනුයි. මුදල් අමාත්‍යංශය එසේ කටයුතු කළේ අමාත්‍ය මණ්ඩල නියෝග අනුවයි.

සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණේ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (හා ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු) විසින් මැතිවරණ කොමිසමේ සභාපති පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණා. ජාතික ජන බලවේගය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය, සුනිල් හඳුන්නෙත්ති හා ආචාර්ය නිහාල් අබේසිංහ විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණේද භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනවයි. පැෆරල් සංවිධානය විසින් නීතිපතිව පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබෙනවා. එකට විභාගයට ගත් මෙම පෙත්සම් හතරේ අනෙකුත් වග උත්තරකරුවන් අතර මැතිවරණ කොමිසමේ නිලධාරීන්, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා වෙනත් රජයේ නිලධාරීන් ගණනාවක් සිටිනවා. 

අග විනිසුරුද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් පළාත් පාලන මැතිවරණ නියමිත පරිදි නොපැවැත්වීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති බව තීන්දු කර තිබෙනවා. මේ සඳහා මූලික වශයෙන්ම වගකිව යුත්තේ නීතිපති විසින් නියෝජනය කරන රටේ විධායකයයි. එමෙන්ම තමන්ට ඇති බලතල පරිදි මැතිවරණ ක්‍රියාවලිය නිසි සේ සැලසුම් කිරීම හා කළමනාකරණය සිදු නොකළ බැවින් මැතිවරණ කොමිසමද මේ සඳහා වග කිව යුතුයි. මුදල් ඇමතිවරයාද වන ජනාධිපතිවරයාද මේ සම්බන්ධව සෘජුව වග කිව යුතු අයෙක්.

කෙසේ වුවත්, මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මේ සඳහා වග කිව යුතු නැහැ. ඔහු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය හා මුදල් ඇමතිවරයා විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමක් පමණයි. අධිකරණ තීන්දුව අනුව, මේ සම්බන්ධව පොදුවේ අමාත්‍ය මණ්ඩලය වගකිව යුතු වන්නේද නැහැ. ඊට හේතුව රාජ්‍ය වියදම් ප්‍රමුඛතා තීරණය කිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීමට පෙර එමගින් මැතිවරණය කෙරෙහි සිදු විය හැකි බලපෑම පිළිබඳව ඔවුන්ව ප්‍රමාණවත් තරමින් දැනුවත් කර නොතිබීමයි. මේ අයුරින්ම, රජයේ මුද්‍රනාලයාධිපති, පොලිස්පති ඇතුළු අනෙකුත් වග උත්තරකරුවන්ද මේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව වගකීමෙන් නිදහස් කර තිබෙනවා.

අධිකරණ නියෝගය අනුව මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පැවැත්විය යුතු අතර එසේ කිරීමේදී ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු අනෙකුත් මැතිවරණ වලට බාධාවක් සිදු නොවිය යුතුයි. මෙම මැතිවරණ සඳහා දැනටමත් නාම යෝජනා කැඳවා අවසන්ව ඇති බැවින් මැතිවරණය පැවැත්වීම ඉතා ඉක්මණින් කළ හැකි කටයුත්තක්. කෙසේ වුවත්, ජනාධිපතිවරණ දිනයට තවත් ඇත්තේ සති හතරක් පමණයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය වැනි කටයුතුද බොහෝ දුරට අවසන්ව පැවති නිසා ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණ පැවැත්වීම වුවද කළ නොහැක්කක් නෙමෙයි. එසේ නොකරන්නේනම්, ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව කෙටි කලක් ඇතුළත පළාත් පාලන මැතිවරණ පවත්වන්නට සිදු වෙනවා. 

ජනාධිපතිවරණය අනුර කුමාර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස විසින් ජයගතහොත් දින කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුවද විසුරුවා හරින්නට ඉඩ තිබෙන බැවින් මැතිවරණ කොමිසමට මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වීම පිළිබඳවද සිතා බලන්නට සිදු වෙනවා. මේ තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසම කෙසේ කටයුතු කරනු ඇතිද? 

Saturday, July 20, 2024

විසි දෙවන සංශෝධනය කුමකටද?


විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. 

මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව විසින් වගේම මැතිවරණ කොමිසම විසින්ද පැහැදිලි ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරණය කල් දැමීමක් සිදු නොවන බව කියා තිබුණත්, එහෙමනම් මේ වෙලාවේ මේ සංශෝධනය එළියට ගත්තේ ඇයි කියන එක ගොඩක් අයට මතු වන සාධාරණ ප්‍රශ්නයක්. 

විසි දෙවන සංශෝධනයෙන් සිදු වෙන්නේ කුමක්ද?

ව්‍යවස්ථාවේ පෙළ වෙනස්වීම අනුවනම්, මෙය ඉතාම කුඩා සංශෝධනයක්. එයින් කෙරෙන්නේ ව්‍යවස්ථාවේ එක් වචනයක් වෙනස් කරන එක. නමුත් ඒ වචනය වෙනස් වීමේ සහ ඊට අදාළ ක්‍රියාවලියේ තිබෙන බලපෑම ඒ තරම්ම සරල නැහැ. 

රටේ ව්‍යවස්ථාදායකයට, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට, අලුතෙන් නීති හැදීමේ, තිබෙන නීති ඉවත් කිරීමේ හා එම නීති සංශෝධනය කිරීමේ පූර්ණ බලය තිබෙනවා. නමුත් මේ වැඩේ කළ හැක්කේ දැනට පවතින නීති රාමුවට යටත්වයි. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ නොගැටෙන නීතියක්නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක රටේ නීතියක්. නමුත් කිසියම් නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක ගැටෙනවානම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වෙනස් කරන්න අවශ්‍යනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර කොටස් වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබිලත් මදි. ඒ සඳහා ජනමතවිචාරණයක් තියලා මහජන කැමැත්ත විමසන්නත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ කොටස් සමඟ ගැටෙන වෙනත් නීතියකට වුනත් මේ කරුණ වලංගුයි.

මේ විදිහට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමතවිචාරණයක්ද පැවැත්විය යුතු වන්නේ ව්‍යවස්ථාවේ මොන කොටස් වලට බලපෑමක් වෙනවානම්ද කියන එක සඳහන් කරලා තියෙන්නේ 83 ව්‍යවස්ථාවේ. ඒ 83 ව්‍යවස්ථාවේ වචනයක් තමයි විසි දෙවන සංශෝධනයෙන් වෙනස් කරන්න යන්නේ. 

මේ විදිහට ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන කොටස් වලට බලපෑමක් වන විටද? 

කෙටියෙන් කිවුවොත් තත්ත්වයන් දෙකකදී ජනමතවිචාරණයක් අවශ්‍ය වෙනවා. පළමුව ශ්‍රී ලංකා රාජ්‍යයේ මූලික ස්වභාවය අර්ථ දක්වන ව්‍යවස්ථාවේ මුල් කොටස් වලට බලපෑමක් වෙනවානම්. ඒ කියන්නේ රටේ නම, ජාතික ගීය, ජාතික කොඩිය, රටේ නිදහස් දිනය, බුද්ධාගමට ප්‍රමුඛත්වය දිය යුතු බව වගේ දේවල්. මේවා ගැන සඳහන්ව තිබෙන්නේ 1-3 හා 6-9 ව්‍යවස්ථා වල. ඒ වගේම මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 10 හා 11 ව්‍යවස්ථා. 

දෙවනුව පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කරගන්නවානම් හෝ ඒ සම්බන්ධව සඳහන්ව ඇති 30(2) හා 62(2) අනුව්‍යවස්ථා සංශෝධනය කරනවානම් ජනමතවිචාරණයක් අවශ්‍ය වෙනවා.

දැන් මේ විදිහට ජනමතවිචාරණයක් නැතුව ඇතැම් වෙනස්කම් කළ නොහැකි බව සඳහන්ව තිබෙන්නේ 83 ව්‍යවස්ථාවේ නිසා එම 83 ව්‍යවස්ථාව වෙනස් කළොත් ඔය ඕනෑම එකක් වෙනස් කරන්න පුළුවන්නේ. 

අපි උදාහරණයක් විදිහට ඉඩමක් කාට හරි බලා ගන්න දෙනවා කියා හිතමු. ඒකේ පැත්තක වැටක් ගහලා වැටෙන් එහා කිසිම දෙයක් වෙනස් කරන්න එපා කියනවා. නමුත් වැට වෙනස් කරන්න එපා කියන්නේ නැහැ. දැන් ඔය වැඩේ අවුලක් තියෙනවනේ. අර ඉඩම බලා ගන්න පුද්ගලයාට මුලින් වැට වෙනස් කරලා ඊට පස්සේ වැටෙන් එහා තිබුණු දේවලුත් වෙනස් කරන්න පුළුවන්. 

ඔන්න ඔය හේතුව නිසා ඉහත කී ව්‍යවස්ථා වලට අමතරව 83 ව්‍යවස්ථාවත් ජනමතවිචාරණයක් නොතියා වෙනස් කළ නොහැකි බව එම 83 ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. හැබැයි එහෙම සඳහන් කරන එකේ අරමුණ අර මුල් කාණ්ඩ දෙකේ ව්‍යවස්ථා වල තිබෙන විධිවිධාන සෘජු මහජන කැමැත්ත නැතිව වෙනස් කරන එක වලක්වන එක. 

දැන් 22 වන සංශෝධනයෙන් වෙන්නේ 83 ව්‍යවස්ථාව වෙනස් කරන එකනේ. 83 ව්‍යවස්ථාවේ පෙළ අනුව එම ව්‍යවස්ථාවේ විධිවිධාන වෙනස් කරන්නනම් ජනමතවිචාරණයක් තියන්න වෙනවා. ජනමතවිචාරණ කතාව එන්නේ ඔය විදිහටයි. හැබැයි ඉතිං නීතිය අර්ථ දක්වන්නේ සිංහල භාෂාවේ රීති හෝ තර්ක ශාස්ත්‍රයේ රීති අනුවම නෙමෙයි. මේ සංශෝධනය කරන්න ජනමතවිචාරණයක් අවශ්‍ය නැහැ කියලා නීති තර්ක ගේන්නත් පුළුවන්. අන්තිමට තීරණය දෙන්න පුළුවන් අධිකරණයටම තමයි. 

දැන් ඔය 83 ව්‍යවස්ථාව සංශෝධනය වෙලා නැහැනේ. දහනවවන සංශෝධනය ගේන කොට තිබුණෙත් ඔය 83 ව්‍යවස්ථාවමයි. එහි වචන අනුව, "30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා" ජනමතවිචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතුයි. නමුත් දහනවවන සංශෝධනයෙන් 30(2) හා 62(2) සංශෝධනය කළේ ජනමතවිචාරණයක් තියන්නේ නැතිවයි.  ඒ මගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර පහකට සීමා කළා.

මම දකින විදිහටනම් දහනවවන සංශෝධනයෙන් 30(2) හා 62(2) වෙනස් කරන්න ජනමතවිචාරණයක් නොතියපු එකේ මූලධාර්මික වැරැද්දක් නැහැ. මොකද පරමාධිපත්‍ය බලය තිබෙන මහජනතාව විසින් ඔවුන්ගේ නියෝජිතයින්ට දැනටම දී තිබෙන බලය සීමා කර ගන්න නැවත මහජනතාවගෙන් අහන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ එම බලය පුළුල් කරගන්නවානම්. දහනවවන සංශෝධනයෙන් වුනේ ඒ වන විට තිබුණු බලය සීමා කර ගැනීමක්. 

දැන් ප්‍රශ්නය විසි දෙවන සංශෝධනයෙන් වෙන්නෙත් ඕකමනම් දහනවවන සංශෝධනයට අවශ්‍ය නොවුණු ජනමතවිචාරණයක් විසි දෙවන සංශෝධනයට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. රනිල් වික්‍රමසිංහ හා විජේදාස රාජපක්ෂ එවැනි ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව හිතන බව පේනවා. නමුත් ජයම්පති වික්‍රමරත්නට අනුව ජනමතවිචාරණයක් නොපවත්වා විසි දෙවන සංශෝධනය සම්මත කළ නොහැකියි. 

ඊළඟ ප්‍රශ්නය දහනවවන සංශෝධනය සම්මත කරගනිද්දී 83 සංශෝධනය නොකළේ ඇයි කියන එක. රනිල් වික්‍රමසිංහ කියන විදිහට මෙය ජයම්පති වික්‍රමරත්නට සිදු වූ අත්වැරැද්දක්. නමුත් ජයම්පති වික්‍රමරත්න කියන විදිහට මෙය හිතාමතා කරපු දෙයක්. එහෙම කරලා තියෙන්නේ ජනමතවිචාරණයකට යන්න වෙන එක වලක්වා ගන්න. ඒ අනුව, දහනවවන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හය සිට පහ දක්වා අඩු කර ගෙන තිබුණත්, 83 වෙනස් වී නැති නිසා එහි පෙළ අනුව නැවත එම ධුර කාලයන් වසර හයක් කරගැනීම සඳහා ජනමතවිචාරණයකට යන්න අවශ්‍ය නැහැ. මොකද ඒක සීමා කරගෙන නැහැ. දැන් විසි දෙවන සංශෝධනයෙන් කරන්න හදන්නේ ඒකත් සීමා කරගන්න එක. (විසි දෙවන සංශෝධනය නැතත්, තුනෙන් දෙකෙන් නැවත පහ හය කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එසේ කිරීමෙන් 30(2) හා 62(2) විධිවිධාන වලට බලපෑමක් වෙනවා. ලිපිය දිගු වන නිසා ඒ පැත්ත කතා කරන එක අත ඇරියා.)

සමහර විට රනිල් වික්‍රමසිංහ කියන ජයම්පති වික්‍රමරත්නගේ අත් වැරැද්ද 83 වෙනස් කරන්න ජනමතවිචාරණයක් අවශ්‍යයි කියලා මතයක් ඉදිරිපත් කළ එක වෙන්න පුළුවන්. ඒ අනුව, ඒ වෙලාවේ 83 වෙනස් නොකර හිටියත් දැන් හොයා බැලූ විට ජනමතවිචාරණයක් නොතියා අවශ්‍ය වෙනස කළ හැකි බව පේනවා වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ කියන්නේ 83 දැක්කේ නැහැ වගේ දෙයක් ගැනනම් ඒක වෙන්න බැරි තරමේ අත්වැරැද්දක්. ව්‍යවස්ථාවක් සංශෝධනය කරද්දී ඒ වගේ මූලික වැරැද්දක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද 83 කියන්නේ ප්‍රධානම ව්‍යවස්ථාවක්. 

කොහොම වුනත් මේ මට පේන විදිහ. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙක් නෙමෙයි. ඒ වගේම මේ හා අදාළ පැරණි ලේඛණ සියල්ල පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබිලත් නැහැ. විශේෂයෙන්ම දහනවවන සංශෝධනයට පෙර 30(2) හා 62(2) වෙනස් කළ හැකි ආකාරය ගැන අධිකරණයේ මතය. එහි මෙහි මට නොපෙනෙන දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ  30(2) හා 62(2) වෙනස් කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවූ හේතුව 83ට අදාළ නොවන හේතුවක් තියෙනවද? මේ ගැන අදහසක් ගන්න පුළුවන් අදාළ ලේඛණය පරිශීලනය කරන්න ලැබුනොත් පමණයි. 

කොහොම වුනත් විසි දෙවන සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍යද කියලා අධිකරණයෙන් ඇහුවොත් අධිකරණයට ඒ ගැන තීරණයක් දෙන්න වෙනවා. දෙපැත්තටම නීති තර්ක ගේන්න පුළුවන් නිසා පිළිතුර නිසැක පිළිතුරක් නෙමෙයි. ඒ කියන්නේ තීරණයක් එන තුරු ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව නිශ්චිතව කියන්න බැහැ. වෙනත් විදිහකින් කිවුවොත් යම් ජනමතවිචාරණ අවදානමක් තියෙනවා.

නමුත් මේ වෙලාවේ ආණ්ඩුව ජනමතවිචාරණයකට යයිද? එහෙම දෙයක් කරයි කියලා හිතන එක කිසිසේත්ම තර්කානුකූල නැහැ. මෙතෙක් එකම ආණ්ඩුක්‍රම සංශෝධනයකදීවත් ජනමතවිචාරණයකට ගිහින් නැහැ. සියල්ලම තුනෙන් දෙකේ සීමාවෙන් ගොඩින් තමයි බේරාගෙන තියෙන්නේ. මෙතෙක් කරපු සංශෝධන එක්ක බලද්දී මේ සංශෝධනය හදිසි නැති, වැදගත්කමින් අඩු එකක්. එහෙමනම් ආණ්ඩුව හදිසියේ විසි දෙවන සංශෝධනය ගෙනාපු එකේ අරමුණ කුමක්ද?

රනිල් මේ සංශෝධනය පාර්ලිමේන්තුවට දමනවා ඇත්තේ තුනෙන් දෙක ගැන සැකයක් නැත්නම් පමණයි. ඒ කියන්නේ එය කොහොමත් පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා කියන එක. කැබිනට් මණ්ඩලයේ මතය අනුව මේ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්නම් සහ වෙන කවුරු හෝ අධිකරණයට යාමේ ප්‍රතිඵලයක් ලෙස අධිකරණය ජනමතවිචාරණයක් අවශ්‍ය වන බව කිවුවේ නැත්නම් එය ඉන් පසු ජනමතවිචාරණයකට යන්නේ නැහැ. 

මෙතැන වැදගත් දේ මේ එක්ක විපක්ෂයට මුහුණ දෙන්න වෙන අර්බුදය. මේ සංශෝධනයට විරුද්ධ වෙනවා කියන්නේ ධුර කාලය සීමා කරගන්න එකට විරුද්ඩ වීමක් නිසා ඒක කරන්න බැහැ. විරුද්ධ වීම සඳහා ඉදිරිපත් කළ හැකි ලොකුම හේතුව මේ වෙලාවේ ජනමතවිචාරණයක් තියන්න වෙන එකේ අවදානම ගන්න එක සුදුසු නැහැ කියන එක. නමුත් කවුරුවත් අධිකරණය වෙත ගියේ නැත්නම් ජනමතවිචාරණයක් තියන්න වෙන්නේ නැහැ. ජනමතවිචාරණයකට විරුද්ධව පෙනී ඉන්න අයෙකුට ජනමතවිචාරණයක් ඉල්ලලා අධිකරණයට යන්නත් බැහැ. 

විපක්ෂය අධිකරණයට ගිහින් අධිකරණය ජනමතවිචාරණයක් අවශ්‍යයි කියා තීරණය කළොත් අප්‍රසාදයට පත් වෙන්නේ අධිකරණයට ගිය එක. එහෙම ගියත් ගොඩක් වෙලාවට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව කියන්න ඉඩ තියෙන නිසා අන්තිමට නිකම්ම නරක නම විතරක් ඉතිරි වෙන්න පුළුවන් වැඩක්. ඒ වගේම, එහෙම නොගියොත් ජනමතවිචාරණයක් තියන්න වෙනවා කියන තර්කය එසැණින් බොරු වෙනවා. ඒ නිසා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන්න හේතුවක් නැහැ. අවසාන වශයෙන් ගොඩක් අයට අකමැත්තෙන් හෝ රනිල් එක්ක හිටගන්න වෙන එක පමණක් සිදු වෙන්න පුළුවන්. 

ඊට අමතරව, අවශ්‍යනම් පහසුවෙන්ම තව අවුරුද්දක් ඉන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර මැතිවරණයට ඉදිරිපත් වුනා කියන කතාවත් රනිල්ට කියන්න පුළුවන්. මොකද 82 අනුව පහ හය කරගන්න ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්නම්, තුනෙන් දෙකකුත් තියෙනවා කියලා පෙන්නුවට පස්සේ ඒ කතාව පහසුවෙන් ගොඩක් අයට පිළිගන්වන්න පුළුවන්. හැබැයි ඔය වගේ සූපීන් වැඩ වලින් ජනමතයේ දැනෙන වෙනසක් වෙයිද කියන එක ප්‍රශ්නයක්. 

ගොඩක් ඉස්සර ඇමරිකාවෙත් විසි දෙවන සංශෝධනයක් තිබුණා. ඇමරිකන් ජනාධිපතිධුරයට එක් අයෙකුට පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කෙරුණේ ඒ සංශෝධනයෙන්. 

Friday, July 19, 2024

විසි දෙවන සංශෝධනය හා ජනාධිපතිවරණය


විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරලා තිබෙනවා. මගේ අදහසනම් මේ සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ තිබෙන අවුලක් ලිහෙනවා හැර ප්‍රායෝගිකව වෙන කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එකයි. මේ හා අදාළව අධිකරණ මැදිහත්වීමක් සිදු විය හැකියි. එසේ වුවත්, කලින් ලබා දී තිබෙන අධිකරණ තීන්දු අනුව, මේ සංශෝධනය සිදු කිරීම සඳහා ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. කොහොම වුනත්, මම ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි.  [පසු සටහන. 83 ව්‍යවස්ථාව සැලකිල්ලෙන් කියවූ විට, ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වන බව පෙනී යනවා. මේ ගැන පසුව කතා කරමු.]

ජනාධිපතිවරණය සම්බන්ධව මෙයින් බලපෑමක් සිදු නොවන බවත්, ඒ හා අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් වනු ඇති බවත්, මැතිවරණ කොමිසමේ සභාපති විසින් දැනුම් දී තිබෙනවා. ඒ කියන්නේ ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය එනවා කියන එක. 

ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය ආවොත් අගෝස්තු 16ට පෙර නාම යෝජනා ගන්න වෙනවා. රාහු කාලය නිසා සිකුරාදා දවස් අත ඇරියොත් අගෝස්තු 12-15 අතර දවසක. ලබන සතියේ සඳුදා හෝ අඟහරුවාදා ගැසට් නිවේදනය නිකුත් කළොත් පමණක් අගෝස්තු 7 හෝ 8 මේ වැඩේ වෙන්න පුළුවන්. 

ඒ අනුව, ලබන සතියේ ගැසට් නිවේදනය නිකුත් වුනොත්, සැප්තැම්බර් 26ට පෙර ජනාධිපතිවරණය තියන්න වෙනවා. පෝය දවසට පසු දින නිසා සැප්තැම්බර් 18ත් අත ඇරියොත්, සැප්තැම්බර් 19-26 අතර දවසක තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ. 

ජනාධිපතිවරණයක් සාමාන්‍යයෙන් තියන්නේ සෙනසුරාදා හෝ සතියේ නිශ්චිත දවසකද? එහෙම එකක් නැහැ. සෙනසුරා ලබපු අන්තිම ජනාධිපතිවරණය තිබ්බේ සෙනසුරාදා දවසක වුනත්, ඊට පෙර ජනාධිපතිවරණ සියල්ලම පවත්වා තිබෙන්නේ සතියේ දින වල. මෙතෙක් ජනාධිපතිවරණ පවත්වා නැත්තේ ඉරිදා සහ සිකුරාදා දවස් වල පමණයි.  

1982 ඔක්තෝබර් 20 - බදාදා 

1988 දෙසැම්බර් 19 - සඳුදා

1994 නොවැම්බර් 9 - බදාදා

1999 දෙසැම්බර් 21 - අඟහරුවාදා

2005 නොවැම්බර් 17 - බ්‍රහස්පතින්දා

2010 ජනවාරි 26 - අඟහරුවාදා

2015 ජනවාරි 8 - බ්‍රහස්පතින්දා

2019 නොවැම්බර් 16 - සෙනසුරාදා

මට හිතෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වන සැප්තැම්බර් 19 හා 26 දවස් වලට ටිකක් බර වැඩියි කියලා. ප්‍රතිඵලය අවිනිශ්චිත වූ 2005 සහ 2015 ජනාධිපතිවරණ තියලා තියෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වල. බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය තිබ්බොත් ප්‍රතිඵල එන්නේ සිකුරාදා. රට සන්සුන් වෙන්න සති අන්තය තියෙනවා. 

Wednesday, July 17, 2024

ජනාධිපතිවරණ දිනය


මේ අවුරුද්දේ ඇමරිකාවේ වගේම ලංකාවේත් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 අඟහරුවාදා. මේ දිනය ඇමරිකන් නීතියෙන් නිශ්චය වී තිබෙන දිනයක්. ඒ නිසා, කිසියම් බලධාරියෙකුට ඒ දිනය තීරණය කිරීමේ හැකියාවක් නැහැ.

ලංකාවේ නීතියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ඇමරිකාවේ වගේ හරියටම තීරණය වී නැහැ. එම දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි. නමුත් ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාල රාමුව නීතියෙන් නිශ්චය කර තිබෙන නිසා මැතිවරණ කොමිසමට දින තීරණය කළ හැක්කේ නීතියෙන් ඉඩ ලැබෙන කාල රාමු හා ගැලපෙන විදිහටයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මසකට නොඅඩු හා දෙමසකට නොවැඩි දිනයක ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වී සිටින්නේ ඉල්ලා අස් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි කොටස අවසන් වන තුරුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18 වෙනිදා. ඒ නිසා, ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් 17 දිනෙන් අවසන් වෙනවා. ඒ අනුව, සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 අතර දිනක ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. 

නමුත්, මේ අවුරුද්දේ සැප්තැම්බර් 17 වගේම ඔක්තෝබර් 17ත් පෝය දවස්. ජනාධිපති මැතිවරණ පණත අනුව පෝය දවසක ජනාධිපතිවරණය පවත්වන්න බැහැ. ඒ නිසා, ඔය කාල පරාසය සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 16 දක්වා කාලයට සීමා වෙනවා.

ජනාධිපති මැතිවරණ පණත අනුව, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට සති හතරකට නොඅඩු හා සති හයකට නොවැඩි දිනක නාමයෝජනා කැඳවිය යුතුයි. මේ අනුව, නාමයෝජනා භාර දීම සඳහා අගෝස්තු 7 හා සැප්තැම්බර් 18 අතර දිනයක් යොදාගන්න පුළුවන්. 

නාමයෝජනා කැඳවන දිනය දැනුම් දී ගැසට් නිවේදනයක් නිකුත් කළ යුත්තේ නාමයෝජනා දිනයට දින 16කට නොඅඩු හා දින 21කට නොවැඩි කාලයක් ඇතුළතයි. මේ අනුව, මැතිවරණ කොමිසමට ජූලි 17 සිට සැප්තැම්බර් 2 දක්වා දිනයක මෙම ගැසට් නිවේදනය නිකුත් කළ හැකියි. ඔය තමයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු දිනය සම්බන්ධ නෛතික සීමාවන්.

මැතිවරණ කොමිසමේ සභාපතිට අනුව, ඉහත ගැසට් නිවේදනය නිකුත් කළ හැකි අවසන් දිනය අගෝස්තු 20. ඒ දිනය ඔහු ගණනය කළේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. මම හිතන විදිහට මේ සඳහා මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 2 දක්වාම කාලය තිබෙනවා. සරල ගණිතය අනුව, සැප්තැම්බර් 2 දින අදාළ නිවේදනය නිකුත් කළත්, එයින් දින 16කට පසුව සැප්තැම්බර් 18 දින නාම යෝජනා කැඳවලා, තවත් දින 28කට පසුව ඔක්තෝබර් 16 දින ජනාධිපතිවරණය තියන්න පුළුවන්. 

මෙය ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කිරීමට යෝජනා කිරීමක් නෙමෙයි. නෛතික ප්‍රතිපාදන තිබුනත්, ඒ විදිහට අවසන් දවස දක්වා කල් ගන්න සුදුසු නැහැ. විශේෂයෙන්ම රටේ ගොඩක් අය මේ දවස දැන ගන්න විශේෂ උනන්දුවකින් ඉන්න මේ වගේ අවස්ථාවක ඔය වැඩේ පුළුවන් තරම් කලින් කරන එකයි වඩා සුදුසු. කොහොම වුනත්, මේ වන විට මැතිවරණ කොමිසමේ සභාපති මේ හා අදාළව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇති නිසා ඔය ගැසට් නිවේදනය නිකුත් වීමට ඒ තරම් කල් යන එකක් නැහැ. 

මැතිවරණ කොමිසමේ සභාපති විසින් නිවේදනය කළ පරිදි මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරෙන නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. නමුත් ඔය වැඩේ හෙට අනිද්දා කරන්න ඉන්නවානම් ඒ ගැන කලින් ප්‍රකාශ නිකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ගොඩක් වෙලාවට වැඩේ වෙන්න ඉඩ තියෙන්නේ මාසයේ අවසානය කිට්ටු කරලා. අපි ජූලි 25-31 සතිය ඇතුළත මේ නිවේදනය නිකුත් කරනු ඇතැයි උපකල්පනය කරමු.

ඉහත සතිය ඇතුළත ගැසට් නිවේදනය නිකුත් කළොත්, නාම යෝජනා කැඳවන්න වෙන්නේ අගෝස්තු 10-21 දක්වා කාලය ඇතුළතයි. සති අන්තය අත ඇරියොත් අගෝස්තු 12-21 අතර. පෝය, රාහු කාල දවස් අත ඇරියම මේ දවස අගෝස්තු 12, 13, 14, 15, 20, 21 දවස් වලින් එකක් වෙන්න පුළුවන්. 

මේ දවසක නාම යෝජනා කැඳවනු ලැබුවොත්, ඔක්තෝබර් 2 වෙන්න කලින් ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා. සමහර තැන් වල සඳහන්ව තිබුණු පරිදි ඔක්තෝබර් 3 හෝ ඔක්තෝබර් 10 වගේ දවසක ජනාධිපතිවරණය තියන්න වෙන්නේ නැහැ. එහෙම කරන්නනම්, ගැසට් නිවේදනය නිකුත් කරන එක අගෝස්තු මාසය දක්වා කල් දමන්න වෙනවා.

අපි හිතමු ගැසට් නිවේදනය එන්නේ ජූලි 31 කියලා. එහෙම වුනොත් නාම යෝජනා ගන්න පුළුවන් අන්තිම දවස අගෝස්තු 21නේ. එතකොට මැතිවරණය පැවැත්විය හැකි අවසාන දිනය ඔක්තෝබර් 2. ඒ කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය අනුව ඔහු ඇත්තටම කටයුතු කළොත්, මේ වෙද්දී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 2 දක්වා කාල පරාසයට සීමා වී අවසන්. උපරිම වශයෙන් තව දවස් 77යි!

Friday, July 12, 2024

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත


ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී දැකිය හැක්කේ ඔය තත්ත්වය. හැබැයි ධනවාදය දියුණු වෙද්දී ඔය සම්බන්ධය දියාරු වී යනවා.

ගොඩක් රටවල සමාජ සම්මතය තුළ ප්‍රාග්ධනහිමියන් එකතු වී කාටලයක් සේ කටයුතු කිරීම නරක දෙයක් ලෙස සැලකෙනවා. ඇතැම් රටවල මේ සමාජ සම්මතය යම් ආකාරයක නීතියක් වෙලා තිබෙනවා. නමුත් ශ්‍රමය සම්බන්ධව තියෙන්නේ වෙනස් සම්මතයක්. ශ්‍රමිකයින් එකතු වී කාටලයක් සේ කටයුතු කිරීම ගොඩක් වෙලාවට නරක දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. ඒ පමණක් නෙමෙයි. ගොඩක් රටවල එය මූලික අයිතිවාසිකමක්!

මේ වෙනසට හේතුව ශ්‍රමිකයින් සතුව නැති හෙට්ටු කිරීමේ බලයක් ප්‍රාග්ධනහිමියන් සතුව තිබෙනවා කියන අදහස. ඓතිහාසික තත්ත්වයන් දිහා බැලුවොත් කතාවේ වැරැද්දක් නැහැ. ශ්‍රමිකයන්ගේ කාටල වලට සමාජයීය හා නෛතික පිළිගැනීමක් ලැබෙන්නේ ඔය තත්ත්වයත් එක්ක. 

ධනවාදයේ මුල් අදියරේදී ප්‍රාග්ධනහිමියන් ඉන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ නිසා, ඔවුන් අතර තරඟය අඩුයි. ඊට සාපේක්ෂව ශ්‍රමිකයෝ "ඕනෑ තරම්" ඉන්නවා. ඒ නිසා, ශ්‍රමිකයින් සතුව නැති හෙට්ටු කිරීමේ බලයක් ප්‍රාග්ධනහිමියන්ට ඇත්තටම ලැබෙනවා. "ශ්‍රමය සූරාකෑම" කියන අදහස මතු වෙන්නෙත් ඔය තත්ත්වයත් එක්ක.

"වෘත්තීය සමිති" කියන්නේ ශ්‍රමිකයින්ගේ කාටල. ඓතිහාසිකව බැලුවොත් ශ්‍රමිකයින්ගේ තත්ත්වය වඩා යහපත් කර ගැනීමට වෘත්තීය සමිති ලෙස සංවිධානය වීම උදවුවක් වී තිබෙනවා. නමුත් ධනවාදය දියුණු වෙද්දී ප්‍රාග්ධනහිමියන් හා ශ්‍රමිකයින් අතර තිබෙන බල අසමතුලිතතාවය ක්ෂය වී යන නිසා වෘත්තීය සමිති වලින් සිදු වූ ඓතිහාසික කාර්ය භාරය තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. 

තරඟකාරී නිදහස් වෙළඳපොළක අවසාන වශයෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනහිමියාටත් ලැබෙනවා. වඩා සරල භාෂාවකින් පැහැදිලි කළොත් ශ්‍රමිකයෙකු අලුතෙන් එකතු වීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වටිනාකම මුළුමනින්ම එම ශ්‍රමිකයාට ලැබෙනවා. ප්‍රාග්ධනය එකතු කිරීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වටිනාකම මුළුමනින්ම එම ප්‍රාග්ධනහිමියාට ලැබෙනවා. මෙය ඉතාම සාධාරණ බෙදීමක්. 

"වෘත්තීය සමිති" වලට කාර්ය භාරයක් තියෙන්නේ කවර හෝ හේතුවක් නිසා ඔය වැඩේ නොවෙන තත්ත්වයක් යටතේදී. හරියටම කිවුවොත්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයක් යටතේදී. ඒ වගේ තත්ත්වයක් යටතේදී ශ්‍රමිකයෙකුට තනිව හෝ සාමූහිකව හෙට්ටු කරලා ලබා ගත හැකි අතිරික්තයක්  තිබෙනවා.

දියුණු ධනවාදයක් ඇතුළේ ශ්‍රමිකයෙකුට තමන්ගේ  ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබී යන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද වෙළඳපොළක එකම නිෂ්පාදනය කරන සමාගම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා, ඕනෑම ආකාරයක ශ්‍රමය විකිණිය හැකි විකල්ප අවස්ථා තිබෙනවා. තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවය ලැබෙන්නේ නැත්නම් ඉන්න තැනින් අයින් වෙලා වෙන තැනකට යන්න පුළුවන්. 

ඒ විදිහට ශ්‍රමිකයෙක් අයින් වෙලා ගියාම අදාළ ව්‍යවසායකයාට වැඩි අපහසුවක් නොමැතිව වෙනත් අයෙකු බඳවා ගන්න පුළුවන් වුනත්, ඒ අලුත් ශ්‍රමිකයාගේ ශ්‍රමය මිල දී ගන්න වෙන්නේ එහි ආන්තික ඵලදායීතාවය ගෙවලා. ඒ නිසා, ඉන්න ශ්‍රමිකයාට අඩුවෙන් ගෙවලා යන්න අරින එකේ තේරුමක් නැහැ. ඔය තත්ත්වය තුළ හැම වෙලාවකම වගේ ව්‍යවසායකයෙකු විසින් ශ්‍රමිකයෙකුට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ගෙවන්න පෙළඹෙනවා. ඒකට ඒ තරම් හෙට්ටු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔය වැඩේ වෙන්නේ දියුණු වෙළඳපොළක් ඇත්නම් පමණයි.

ඉහත හේතුව නිසා දියුණු වෙළඳපොළක් තිබෙන රටවල වෘත්තීය සමිති වලින් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසාම, වෘත්තීය සමිති විදිහට සංවිධානය වීමේ අයිතිය තිබුණා කියලා ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට වෘත්තීය සමිති තිබෙනවා කියන එක පේන්නෙවත් නැහැ.

උත්ප්‍රාසජනක දෙයක් වන්නේ දැන් ගොඩක් වෙලාවට වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය පේන්න තියෙන්නේ රාජ්‍ය අංශය ඇතුළේ වීමයි. එයින් අදහස් වන්නේ පෞද්ගලික අංශයේ ශ්‍රමිකයෙකුට සාමාන්‍යයෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලැබෙනවා කියන එකයි. ඒ නිසා සාමූහිකව හෙට්ටු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

මේ වෙද්දී බටහිර රටවල රාජ්‍ය අංශය ක්‍රියාත්මක වෙන්නේ පොදු සේවා සැපයීම තුළයි. ඇමරිකාවේනම් එවැන්නක් සිදු වෙන්නෙත් නැති තරම්. ඒ නිසාම, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලට ඉඩක් හෝ අවස්ථාවක් නැති තරම්. නමුත් යුරෝපයේ තත්ත්වය වෙනස්. රටෙන් රටට තත්ත්වය වෙනස් නමුත් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ පොදු සේවා සැපයීමේදී ගොඩක් වෙලාවට රාජ්‍ය ඒකාධිකාරයක් හෝ ඊට ආසන්න තත්ත්වයක් දකින්න පුළුවන්.

උදාහරණයක් විදිහට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සැලකුවොත් එම ආයතනය එරට ලොකුම රැකියා සපයන්නා පමණක් නෙමෙයි රැකියා සැපයීම අතින් ලෝකයේම පස්වන තැන සිටින ආයතනය. ඊට වඩා වැඩි පිරිසකට සේවා සපයන ආයතන වන්නේ ඇමරිකාවේ, ඉන්දියාවේ හා චීනයේ ආරක්ෂක අංශ හා ඇමරිකාවේ වෝල්මාට් ආයතනය පමණයි. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය මිලියන 1.7කට සෘජු ලෙස රැකියා සපයනවා. 

මේ වගේ රාජ්‍ය ඒකාධිකාරයක් වෙනුවෙන් සේවය කරන කෙනෙකුට තමන්ගේ ආන්තික ඵලදායීතාවය මැනගත හැකි සම්මතයක් නැතිව යනවා. මොකද සේවය හැර ගියොත් ගොඩක් වෙලාවට රට ඇතුළේ වෙනත් විකල්ප රැකියා සපයන්නෙක් නැහැ. 

රාජ්‍ය අංශය විසින් සපයන මෙවැනි පොදු සේවාවන් සමහර වෙලාවට නොමිලේත්, තවත් සමහර වෙලාවට සුබසාධිත මිලකටත් සපයනවා. හරියටම කිවුවොත් බදු මුදල් වලින් මෙවැනි සේවාවන් සුබසාධනය කෙරෙනවා. ඒ නිසා, මිල, ආදායම හෝ ලාබය තව දුරටත් සපයන සේවාවේ වටිනාකම පිළිබඳ නිර්ණායකයක් වන්නේ නැහැ. ඒ නිසාම, ආයතනයේ ලාබ හෝ පාඩු වලින් එම ආයතනයේ සේවකයින්ගේ ශ්‍රමයේ ඵලදායීතාවය මැන ගන්න බැහැ. 

ඉහත තත්ත්වය තුළ පොදු සේවා සපයන රාජ්‍ය ආයතනයක සේවකයෙකුට ආයතනය සමඟ තනිව හෙට්ටු කරන්න අසීරු වෙනවා. මොකද එහෙම හෙට්ටු කරලා රස්සාවෙන් යන්න වුනොත් රට හැර යනු හැර වෙන යන්න තැනක් නැහැ. ආයතනය ගොඩක් විශාල නිසා එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා ආයතනයට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, හෙට්ටු කිරීමේ හැකියාව අතින් ශ්‍රමිකයා හා ආයතනය අතර පැහැදිලි බල වෙනසක් තිබෙනවා. 

ඔය වගේ ආයතනයක සේවකයින් බහුතරය වෘත්තීය සමිතියක් යටතේ සංවිධානගත වූ විට තත්ත්වය කණපිට හැරෙනවා. දැන් ශ්‍රමිකයින්ට කලින් නොතිබුණු හෙට්ටු කිරීමේ බලයක් තිබෙනවා. මොකද මේ සේවකයෝ ඔක්කොම අයින් කරලා අලුතෙන් පිරිස් බඳවා ගත හැකි ශ්‍රම වෙළඳපොළක් රට ඇතුළේ නැහැ. ඒ නිසා අදාළ රාජ්‍ය ආයතනයට සේවකයින් එක්ක (වෘත්තීය සමිතිය එක්ක) කිසියම් සංහිඳියාවකට එන්නම වෙනවා.

මේකේ තිබෙන අවුල මේ ක්‍රමයට සේවකයින්ට හෙට්ටු කරලා තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් වුනත් ලබා ගන්න පුළුවන් වීමයි. මොකද ඔවුන් හෙට්ටු කරන්නේ ලාබ ලැබීම ඉලක්ක කරගත් ආයතනයක් එක්ක නෙමෙයි. එවැනි ආයතනයක් එක්ක හෙට්ටු කළානම් ආයතනයේ ලාබ ප්‍රමාණය මගින් හෙට්ටු කිරීමේ හැකියාව නියාමනය වෙනවා. තේරෙන විදිහට කිවුවොත් ආයතනයක් පාඩු විඳගෙන සේවක පඩි වැඩ කරන්නේ නැහැ. ආයතනය වහල දමලා ප්‍රාග්ධනය වෙන තැනකට අරගෙන යන එක ඊට වඩා වාසියි. ඒ නිසාම ශ්‍රමිකයෝ තමන්ගේ රැකියා අහිමි වීමේ අවදානම අරගෙන ඒ මට්ටමට හෙට්ටු කරන්නේ නැහැ.

රාජ්‍ය ආයතනයක් එක්ක හෙට්ටු කරද්දී ඔය ප්‍රශ්නය නැහැ. මොකද ආයතනයේ ලාබ පාඩු මේ හෙට්ටු කිරීමට අදාළ නැහැ. රජයට අවශ්‍යනම් බදු ගෙවන්නන් මත වැඩි බරක් පටවමින් සේවක වැටුප් හා ප්‍රතිලාභ වැඩි කරන්න පුළුවන්. 

මේ ආකාරයේ වැඩ වර්ජනයක් සාර්ථක වෙන්නේ බදු ගෙවන්නන් මත, ඒ කියන්නේ සාමාන්‍ය මහජනතාව මත, වැඩි පීඩනයක් එල්ල කරපු තරමටයි. රාජ්‍ය ආයතනයකට පොදු සේවා සැපයීමේ ඒකාධිකාරයක් තියෙද්දී මේ වැඩේ කරන එක අමාරු නැහැ. මොකද මේ පොදු සේවා බොහොමයක් අත්‍යවශ්‍ය සේවා.

නමුත් මේ වැඩේ සාධාරණද? 

සමාජ සම්මතය ඇතුලෙ නැත්නම් නීතිය ඇතුලෙ වැඩ වර්ජන අයිතිය තහවුරු කරලා තියෙන්නේ වෙනම සන්දර්භයක. හරියටම කිවුවොත් ප්‍රාග්ධනහිමියන් එක්ක හෙට්ටු කිරීමේදී බල අසමතුලිතතාවය නිසා ශ්‍රමිකයින්ට සිදු විය හැකි අසාධාරණයට පිළියමක් විදිහට. නමුත්, දැන් වෙන්නේ මොකක්ද?

දැන් වෙන්නේ ශ්‍රමිකයින් පිරිසක් විසින් ඒකාධිකාරයක් හදාගෙන ඒ හරහා රටේ සාමාන්‍ය මහජනතාව වෙත පීඩනයක් එල්ල කරමින් එහි වාසිය ගන්න එක. මෙහිදී සේවායෝජකයා වන රජය අතරමැදියෙක් පමණයි. මේ තත්ත්වය තුළ, කිසියම් පිරිසකගේ සාමූහික හෙට්ටු කිරීමේ අයිතිය තහවුරු කරනවා කියන්නේ ඊට වඩා විශාල පිරිසකගේ ජීවත් වීමේ, අධ්‍යාපනය ලැබීමේ, සංචලනයේ අයිතීන් උල්ලංඝනය වෙනවා කියන එක. එතකොට රජයක් විසින් ගත යුත්තේ කාගේ පැත්තද?

මේක අඩු වශයෙන් යුරෝපය පුරා මෑතකාලීනව සංවාදයට බඳුන් වී තිබෙන මාතෘකාවක්. එක පැත්තකින් ශ්‍රමිකයින්ගේ සාමූහිකව හෙට්ටු කිරීමේ අයිතිය තහවුරු කළ යුතු අතරම අනෙක් පැත්තෙන් සාමාන්‍ය මහජනතාවගේ ජීවත් වීමේ, අධ්‍යාපනය ලැබීමේ, සංචලනයේ අයිතීන් තහවුරු කිරීම ගැනත් රජයකට හිතන්න වෙනවා. නමුත් මේ එකක් කරද්දී එයින් අනෙක් එකට බාධා වෙන එක වලක්වන්න බැහැ.

මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට එංගලන්තය පසු ගිය වසරේදී වැඩ වර්ජන (අවම සේවා) පණත සම්මත කළා. එය එවැනි පණතක් සම්මත කරගත් පළමු යුරෝපීය රට නෙමෙයි. ඉතාලිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය කලින්ම මෙවැනි පණත් සම්මත කරගෙනයි තිබුණේ.

මෙම පණත ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබූයේ පසුගිය සතියේ ලේබර් පක්ෂය බලයට පත්වන තුරු එක්සත් රාජධානියේ බලය හෙබවූ කොන්සර්වේටිව් පක්ෂය විසිනුයි. 2023 ජනවාරි 16 දින මේ සඳහා පැවති ඡන්ද විමසීමේදී 310-249 ලෙස වැඩි ඡන්ද 61කින් මෙම පනත මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ (House of Commons) සම්මත වුණා. පණතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 308 දෙනෙකුම කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජිතයින්. ලේබර් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ සියල්ලක්ම පාහේ ඡන්දය දුන්නේ මෙම පණතට විරුද්ධවයි.

එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වූ මෙම පණත ඉන් පසුව සාමි මන්ත්‍රී මණ්ඩලය තුළද සම්මත වී 2023 ජූලි 20 දින නීතියක් බවට පත් වුනා. ඊට පෙර පෙන්ම පසුවද වෘත්තීය සමිති වලින් මෙම පණතට එරෙහිව විරෝධතා පැමිණි අතර, දැන් බලයට පත් වී සිටින ලේබර් පක්ෂය එම විරෝධතා වලට සහයෝගය දෙමින් තමන් බලයට පත් වී දින 100ක් ඇතුළත පණත අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. කෙසේ වුවත්, මේ වන විට මෙය එංගලන්තයේ නීතියක්ව තිබෙනවා. 

මෙම පණත යටතේ සෞඛ්‍යය, අධ්‍යාපනය හා ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් කාණ්ඩ හයක් ආවරණය වෙනවා. මේ වන විට පණතේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය මාර්ගෝපදේශන නිකුත් කර තිබෙනවා. ඒ අනුව, වැඩ වර්ජන කළ හැක්කේ පූර්ව දැනුම්දීමකින් පසුව දෙපාර්ශ්වයට එකඟ විය හැකි සැලසුමකට අනුවයි.

වැඩ වර්ජනයට දින 14කට පෙර - වෘත්තීය සමිතිය විසින් වැඩ වර්ජනය කිරීමේ අභිප්‍රාය සේවායෝජකයා වෙත දැනුම්දීම.

වැඩ වර්ජනයට දින 7-14කට පෙර - සේවායෝජකයා විසින් අවම සේවා මට්ටමක් පවත්වා ගැනීම පිණිස අවශ්‍ය වන සේවකයින් ප්‍රමාණය ඇස්තමේන්තු කිරීම සහ නිශ්චිත සේවකයින් හඳුනාගෙන ඔවුන්ගේ ලැයිස්තුවක් සකස් කර වෘත්තීය සමිතිය වෙත ලබා දීම.

වැඩ වර්ජනයට දින 1-7කට පෙර - සේවායෝජකයා විසින් ලැයිස්තුවේ නම් සඳහන් සේවකයින් වෙත ඒ බැව් දැනුම් දීම.

වැඩ වර්ජනයට දින 4කට පෙර - සේවායෝජකයා විසින් අත්‍යවශ්‍ය සේවක ලැයිස්තුව සංශෝධනය කළ හැකි අවසන් දවස. 

මෙම කාර්ය පටිපාටිය ඉතාලිය වැනි අනෙකුත් යුරෝපීය රටවල ක්‍රියාත්මක කාර්ය පටිපාටියට බොහෝ දුරට සමානයි. කෙසේ වුවත්, දැන් බලයට පත්ව සිටින ලේබර් පක්ෂය විසින් ඉහත නීතිය අහෝසි කරයිද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක්.

Wednesday, July 10, 2024

ඉතාලියේ කෝච්චි ස්ට්‍රයික්!


පසුගිය දෙසතියක පමණ කාලය ගත කළේ යුරෝපයේ. එයින් අවසන් දවස් කිහිපය ගත කළේ ඉතාලියේ. යුරෝපයේ සංචාරය කරද්දී කවුරු වුනත් සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනය කෙරෙහි ලොකු බරක් තියනවානේ. නමුත් ගිහින් අනෙක් අතට දැන ගන්න ලැබුණේ රෝම නගරයේ දුම්රිය වැඩ වර්ජනයක් බවයි. ඒ මදිවට හරියටම ආපහු එන දවසේ ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනයක්. අර කියනවනේ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා. ඔන්න ඔය වගේ වැඩක් තමයි සිද්ද වුනේ. 

දුම්රිය සේවක වර්ජනය නිසා ඉන්න දවස් දෙක තුනේ අවශ්‍ය තැනකට යා ගන්න එකට බාධාවක් වෙයිද? ඊටත් වඩා වැඩියෙන්, ආපහු එන ගුවන් යානය ප්‍රමාද වෙලා හරි අවලංගු වෙලා හරි අවුලක් වෙයිද? ඔය වගේ අවිනිශ්චිතතා ගණනාවක් ගැන වද වෙන්න සිදු වුනත් වාසනාවට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. 

පසුගිය සති අන්තයේ ඉතාලිය පුරාම ව්‍යාප්ත වූ ලොකු දුම්රිය වැඩ වර්ජනයක් තිබුණා. හැබැයි ඒ අපි ඉතාලියෙන් පිට වෙන්න නියමිතව තිබුණු සිකුරාදා දවසට පස්සේ. ඒ නිසා, ඒ වැඩ වර්ජනය අපට බලපෑවේ නැතත්, ඊට කලින් බ්‍රහස්පතින්දා දවසේ රෝම නගරයේ හුදෙකලා දුම්රිය සේවක වැඩ වර්ජනයක් තිබුණා. අපට බලපෑවේ එම වැඩ  වර්ජනය සහ සිකුරාදා පැවති ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනය. 

බලපෑවා කිවුවට ඇත්තටම වුනේ දුම්රිය ගමන් නියමිත වෙලාවට වඩා විනාඩි කිහිපයක් ප්‍රමාද වුන එක පමණයි. වෙන ප්‍රශ්නයක් සිදු වුනේ නැහැ. මෙයට හේතුව ඉතාලි නීතිය අනුව වැඩ වර්ජන කිරීමේ අයිතිය තහවුරු කර තිබුණත්, ඒ එක්කම වැඩ වර්ජන නිසා පොදු සේවාවන් ලබා ගැනීමේ අයිතියට බාධා වීමද වලක්වා තිබීමයි. 

ඉතාලි ව්‍යවස්ථාවේ 40 වගන්තියෙන් "ඉතාලි නීතියට අනුගත වන පරිදි" වැඩ වර්ජනය කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. මෙය පුද්ගලික අයිතියක්. නමුත් රටේ කිසියම් පිරිසකගේ මෙවැනි අයිතියක් නීතියෙන් තහවුරු කරද්දී ඒ හේතුව නිසා තවත් පිරිසකගේ අයිතීන් අහිමි වීමක් සිදු වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඉතාලි ව්‍යවස්ථාදායකය විසින් 1990 අංක 146 දරන නීතිය සම්මත කර තිබෙනවා. ඉන් පසුව, 2000 අංක 83 දරන නීතියෙන් මෙයට තවත් දේවල් එකතු කර තිබෙනවා.

ඉහත නීති මගින් ව්‍යවස්ථාවේ තිබෙන වර්ජන කිරීමේ අයිතිය තහවුරු කරන අතරම එයට යම් සීමා පනවමින් වැඩ වර්ජන නිසා අනෙකුත් පුද්ගලයින්ගේ අධ්‍යාපනය ලැබීමේ, වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ, ප්‍රවාහන පහසුකම් ලැබීමේ අයිතීන් උල්ලංඝනය නොවන බවද තහවුරු කර තිබෙනවා. එවැනි මූලික අවශ්‍යතා වලට බාධා වන අයුරින් වැඩ වර්ජන කළ නොහැකියි. මේ දෙකම එක වර කරන්නේ කොහොමද?

ඉතාලි ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් තහවුරු වන පරිදි 1990 අංක 146 දරන නීතිය මගින් වැඩ වර්ජන කරද්දී ආරක්ෂා විය යුතු මූලික අයිතීන් අර්ථ දක්වා තිබෙනවා. මෙම අයිතීන්ට ජීවත් වීමේ අයිතිය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ අයිතිය, පුද්ගල නිදහස හා ආරක්ෂාව, සංචාරය කිරීමේ නිදහස, අධ්‍යාපනය ලැබීමේ අයිතිය, සන්නිවේදනය කිරීමේ අයිතිය ආදිය ඇතුළත්. ඒ නිසා, වැඩ වර්ජන කළ හැකි වුවත්, සාමාන්‍ය මහජනතාවගේ ඉහත සඳහන් අයිතීන් උල්ලංඝනය වන පරිදි වැඩ වර්ජන කළ නොහැකියි. 

මේ අනුව, ඉහත සඳහන් පොදු සේවාවන් සැපයීමට දායක වන අයගේ වැඩ වර්ජනය කිරීමේ අයිතිය සීමා වෙනවා. වැඩ වර්ජන කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන් අවම මට්ටමකින් පවත්වා ගනිමින් පමණයි. එසේ නැත්නම් එය තීති විරෝධීයි. මෙම අවම මට්ටම තීරණය කිරීම සඳහා බලධාරියෙක් ඉන්නවා.

දුම්රිය සේවය සැලකුවහොත්, වැඩ වර්ජනයකදී ඇතැම් දුම්රිය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙන යා හැකි පරිදි එම වැඩ වර්ජනය සිදු කළ යුතුයි. උදාහරණයක් විදිහට රෝම නගරයේ සිට ගුවන් තොටුපොළ දක්වා දිවෙන ලියනාඩෝ එක්ස්ප්‍රස් දුම්රිය වැඩ වර්ජනයකදී වුවද බාධාවක් නොමැතිව ධාවනය විය යුතුයි. 

මේ නීතිය බලපාන්නේ රජයේ සේවකයින්ට පමණක් නෙමෙයි. අත්‍යවශ්‍ය පොදු සේවා සපයන පෞද්ගලික අංශයේ සේවකයින්ටද මෙම නීතිය බලපානවා.

ඉතාලියේ මෙන්ම ප්‍රංශය හා ස්පාඤ්ඤය වැනි රටවලද මෙවැනි අවම සේවා නීති ක්‍රියාත්මකව ඇති අතර පසුගිය වසරේදී එක්සත් රාජධානියද (ස්කොට්ලන්තය හැර) මෙවැනි නීතියක් (වැඩ වර්ජන (අවම සේවා) පණත) සම්මත කළා. මේ අනුව, වැඩ වර්ජන අවස්ථාවකදී සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර වල අවම සේවා මට්ටමක් පවත්වා ගෙන යාම තහවුරු වෙනවා. 

Friday, May 3, 2024

ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත


මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණයහිමියන්ගේ විෂමජාතිත්වයයි (heterogeneity). 

ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් අතර ගිජුළිහිණි අරමුදල් ආදියද තිබෙනවා. ණය අවදානම හොඳටම වැඩි වූ අවස්ථා වලදී කුණු කොල්ලයට බැඳුම්කර මිල දී ගන්නා ගිජුළිහිණි අරමුදල් විසින් ඉන් පසුව උත්සාහ කරන්නේ කෙසේ හෝ පුළුවන් තරම් වැඩි මුදලක් ආපසු ගැනීමටයි. ඔවුන්ව ස්වේච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ කර ගැනීම කළ නොහැකි තරම් අසීරු කාර්යයක්. 

ලෝක මූල්‍ය වෙළඳපොළේ "ගුරුත්ව කේන්ද්‍රය" නිවුයෝර්ක් නගරය බව කිසිවෙකුට මග හැර යා නොහැකි ඇත්තක්. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රාජ්‍යයන් විසින් දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර වලින් 52%ක්ම නිකුත් කර තිබෙන්නේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ නීතිය යටතේයි. මෙම නීතිය අනුව, ඇමරිකාවේ ෆෙඩරල් රජයට වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් මත බලපෑමක් කළ නොහැකියි. 

පවතින නීතිමය තත්ත්වය තුළ ගිජුලිහිණි අරමුදල් වලට හෝ වෙනත් ණයහිමියෙකුට "මස් රාත්තලම" ඉල්ලමින් නිවුයෝර්ක් අධිකරණයේ සටන් කළ හැකියි. අධිකරණයක් සාධාරණත්වය තීරණය කරන්නේ පවතින නීති රාමුවට අනුගත වන්නේද යන පදනම මතයි. ඒ නිසා, මෙවැනි ඉල්ලීමක වැඩි වාසිය ණයහිමියන්ට ලැබෙන එක නොවැලැක්විය හැකි දෙයක්. 

කෙසේ වුවත්, මේ වන විට නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත්ව ඇති "ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත" සම්මත වුවහොත් එය ක්‍රීඩාවේ නීති වෙනස් කරන්නක් බවට පත් වෙනවා. පණත කලට වේලාවට සම්මත වුවහොත් එයින් ක්ෂණික හා වැඩිම වාසිය ලැබෙන්නේ ලංකාවටයි. ලංකාවට ඉතාම වැදගත් මේ පණත ගැන ලංකාවේ කිසිදු ප්‍රධාන හෝ වෙනත් මාධ්‍යයක සටහන්ව තිබෙනු මා දැක්කේ නැහැ. මට මග හැරුණා වෙන්න පුළුවන්. 

තවත් මාසයකින්, එනම් ජූනි 2 දින, නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකයේ සභාවාරය අවසන් වෙනවා. මෙම පණත ඊට පෙර ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකෙන්ම සම්මත කරගෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ අත්සන ලබා ගැනීම එය ඉදිරිපත් කර ඇති ගුස්ටවෝ රිවේරා ඇතුළු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ගේ ඉලක්කයයි. එහෙත්, තවමත් මෙම පණත කාරකසභා අවස්ථාවේ සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන නිසා එය සම්මත වීමට පෙර සභාවාරය අවසන් වීමට ඉඩකඩ වැඩියි. 

මේ පණත සම්මත වුවහොත් ලංකාවට ලැබෙන වාසි මොනවාද?

පණතේ ප්‍රතිපාදන අනුව, ලංකාව වැනි ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ඇති රටකට නිවුයෝර්ක් අධිකරණයෙන් දෙආකාරයක සහන ඉල්ලා සිටිය හැකි වෙනවා.

1) සමානාත්මතා පදනම මත සහනයක් ඉල්ලීම- මේ සහනය අනුව පෞද්ගලික ණයහිමියකුට ඉල්ලා සිටිය හැකි උපරිම මුදල ඇමරිකන් ෆෙඩරල් රජය විසින් ලංකාවට (හෝ වෙනත් එවැනි රටකට) ලබා දී ඇති ණය සඳහා ලබා දෙන සහනයට වඩා අඩු නොවන සහනයක් ලැබෙන මට්ටමක් විය යුතුයි. ඊට වඩා වැඩි මුදලක් ආපසු ඉල්ලිය නොහැකියි.

2) ණය ගෙවීමේ හැකියාවක් නැතිකම මත සහනයක් ඉල්ලීම- මෙය බංකොලොත් වූ සමාගමකට ලබාගත හැකි සහනයට තරමක් සමානයි. මෙම සහනය ලැබුණහොත් ස්වාධීන නිරීක්ෂකයෙකුගේ අධීක්ෂණයට යටත්ව ලංකාවට (හෝ වෙනත් එවැනි රටකට) තමන්ගේම ඒකපාර්ශ්වීය යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා, ණය ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් දෙකක අයිතිය තිබෙන ණයහිමියන්ගේ සහයෝගය ලැබුණහොත් සහ ණය ආපසු ඉල්ලා අධිකරණයට ඉල්ලීම් කරන පාර්ශ්ව වලින් 50%ක අනුමැතිය ලැබුණහොත්, එම ඒකපාර්ශ්වීය යෝජනාව බලාත්මක වෙනවා.

මේ යෝජනාවට සහයෝගය දෙන ලෙස ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින් ඇතුළු විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, රටවල් ගණනාවක හිටපු රාජ්‍ය නායකයින්, බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික නායකයින් ආදීන්ගෙන් සමන්විත පිරිසක් විසින් නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකයින්ගෙන් විවෘත ලිපියක් මගින් විශේෂ ආයාචනයක් කර තිබෙනවා. ලංකාවේ හිටපු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ නමද මෙම ඉල්ලීම කර ඇති අයගේ නම් අතර දැකිය හැකියි.

Saturday, March 9, 2024

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය


පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද?

මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් "ශ්‍රී ලංකා මහ බැංකුව" කියා දැන් තිබෙන ආකාරයේ ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව නම් වූ "සංස්ථාවක්" පිහිටවනු ලබන්නේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන යටතේයි. 

මහ බැංකු පණතේ 4 වන වගන්තිය අනුව, එහි ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් දරනු ලැබිය යුතුයි. එමෙන්ම, ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරන ලද අරමුදල් වලින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වරින් වර වැඩි කළ හැකියි. වෙනත් විදිහකින් කිවුවොත් මෙම ආයතනය සියයට සියයක් ජනතා බදු මුදල් යොදවා පිහිටුවා තිබෙන රාජ්‍ය සංස්ථාවක්. 

විවිධ කාර්යයක් සඳහා පිහිටුවා තිබෙන මෙවැනි රාජ්‍ය සංස්ථා ගණනාවක් තිබෙනවා. ඒ රාජ්‍ය සංස්ථා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර තිබෙන වෙනස කුමක්ද?

පණතේ 5 වගන්තිය අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පරිපාලනමය හා මූල්‍ය ස්වාධීනත්වයක් ඇති ආයතනයක්. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ පාලක මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යවරයාගේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින්. පණතේ 21 වගන්තිය අනුව, මෙම පාලක මණ්ඩල සාමාජිකයින්ට ගෙවිය යුතු වැටුප්, දීමනා ආදිය ඔවුන්ව පත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් තීරණය කරනවා. ඉන් පසුව එම වැටුප්, දීමනා ආදිය අඩු කළ නොහැකියි. එමෙන්ම, පණතේ නිශ්චිතව සඳහන් කර ඇති පරිදි ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය (පාරිශ්‍රමික) මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතුයි. 

ඉහත කොන්දේසිය පණතටම ඇතුළු කර තිබෙන්නේ ඇයි කියන කරුණ අපගේ පෙර ලිපිය කියවා අවබෝධ කරගත හැකි විය යුතුයි. මහ බැංකුවේ ආදායම් වලින් හෝ ලාබ වලින් එම ආයතනයේ පාලක මණ්ඩලයේ හෝ සේවකයින්ගේ කාර්යක්ෂමතාවය හෝ ඵලදායීත්වය පිළිබිඹු කරන්නේ නැහැ. මෙම වෙනස නිසා මහ බැංකුවක් එහි ව්‍යාපාරික ස්වභාවයෙන් වෙනත් ඕනෑම ව්‍යවසායකට වඩා වෙනස් ආයතනයක්. ඒ වගේම, මහ බැංකු සේවකයින්ට වැටුප් ගෙවන්නේ බදු මුදල් වලින් නොවේ කියන එක තේරුමක් නැති තර්කයක් කියන එකද මෙයින් තහවුරු වෙනවා. 

මහ බැංකුවේ සේවා නියුක්තයින් පත් කිරීම හා ඉවත් කිරීම පිළිබඳව නෛතික තත්ත්වය පණතේ 23 වගන්තිය විස්තර කරනවා. එම වගන්තිය අනුව, මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කරන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින්. එම වැටුප් හා දීමනා මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතු බව නැවතත් විශේෂයෙන් සඳහන් වෙනවා. 

නැවතත් පනතේ 5 වගන්තිය වෙත ගියොත්, පණතෙන් ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී, කිසිවෙකුට මහ බැංකුවේ අධිපතිවරයාට හෝ එහි පාලක මණ්ඩලයට බලපෑම් කළ නොහැකියි. පණතේ 23 වගන්තිය අනුව සේවකයින් බඳවා ගැනීම සහ ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කිරීම එසේ පනත මගින් එහි පාලක මණ්ඩලයට ලබා දී තිබෙන බලතලයක්. ඒ නිසා, වෙනත් කිසිවෙකුට ඒ සම්බන්ධව පාලක මණ්ඩලයට බලපෑම් කිරීමේ අයිතියක් නැහැ.

අලුත් මහ බැංකු පණත සම්මත වීමට පෙර මහ බැංකුවට මේ මට්ටමේ ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. ඊට පෙරද මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවුවේ මහ බැංකුවේ අරමුදල් වලින්ම තමයි. ඒ වගේම, මීට පෙරද මහ බැංකු සේවකයින්ගේ වැටුප් විශාල ලෙස වැඩි කළ අවස්ථා තිබෙනවා. අප මෙහි කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මෙය වෙනම කාරණාවක්.

දැනටත් රාජ්‍ය සංස්ථා වල සේවකයින්ට වැටුප් ගෙවන්නේ එම ආයතන වල අරමුදල් වලින් මිසක් ඒකාබද්ධ අරමුදලින් නෙමෙයි. නමුත් මෙම රාජ්‍ය සංස්ථා මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත්. මුදල් අමාත්‍යාංශ අනුමැතියක් නැත්නම් එම ආයතන වලට අලුත් බඳවා ගැනීම් කිරීමට හෝ වැටුප් වැඩි කිරීමට නොහැකියි. සාමූහික ගිවිසුම් වලට එළැඹිය නොහැකියි. නමුත් මහ බැංකුව දැන් මෙම සීමාවන්ගෙන් නිදහස්.

මහ බැංකුවට මේ බලය ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. නමුත්, පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට බලය ලබා දීමෙන් පසුව පාර්ලිමේන්තුවට එම බලය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම වැළැක්විය හැක්කේ නීතිය වෙනස් කර දුන් බලය ආපසු ලබා ගැනීමෙන් පමණයි. වත්මන් මහ බැංකු පණත බලාත්මකව තිබෙන තුරු මහ බැංකුවේ පාලක මණ්ඩලයට අභිමතය පරිදි සේවක වැටුප් වැඩි කළ හැකියි. (සාමූහික ගිවිසුම් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ගැන පසුව වෙනම කතා කරමු.)

අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයක් සැලකුවහොත්, මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය පැත්තකින් තිබ්බත්, සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව අදාළ ආයතනයේ ආදායම් හා ලාබ හරහා නියාමනය වෙනවා. එසේ නැත්නම් වෙළඳපොළ විසින් නියාමනය කරනවා. අදාළ ආයතනය ඒකාධිකාරයක් වූ විට සහ නිපදවන භාණ්ඩය හෝ සේවාව අත්‍යාවශ්‍ය එකක් වීම මත මෙවැනි ආයතනයකට රිසි සේ ලාබ වැඩි කර ගැනීම සඳහා සැලකිය යුතු අවකාශයක් ලැබිය හැකි වුවත්, මහ බැංකුවට මෙන් "අසීමිත" අවකාශයක් ලැබෙන්නේ නැහැ.

මහ බැංකුව සතු නෛසර්ගික මූල්‍ය ස්වාධීනත්වය සම කළ හැක්කේ ව්‍යවස්ථාදායකයේ මූල්‍ය ස්වාධීනත්වයට පමණයි. ව්‍යවස්ථාදායකයට තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කරගන්න පුළුවන්. මහ බැංකුවට තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩි කරගන්න පුළුවන්. වෙනත් කිසිම ආයතනයකට එවැන්නක් කළ නොහැකියි. තෙල්, විදුලි ගාස්තු වැඩි වෙද්දී එය කොපමණ පීඩනයක් වුවත්, එක්තරා අයෙක් පසුගිය දිනෙක කියා ඇති පරිදි, "කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න" පුළුවන්. බර කරත්ත වලින් ගමන් යන්න පුළුවන්. නමුත් බදු, විශේෂයෙන්ම වක්‍ර බදු, නොගෙවා ඉන්න බැහැ. උද්ධමනයෙන් බේරෙන්න කොහොමටවත් බැහැ.

ව්‍යවස්ථාදායකය විසින් තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කර ගැනීම සහ මහ බැංකුව විසින් තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩිගැනීම නියාමනය විය හැකි එකම ආකාරය සෘජු ජනතා මැදිහත් වීම් පමණයි. ජනතා විරෝධය ප්‍රශ්නයක් වන තුරු ඔය දෙකම වෙන්න පුළුවන්. ජනතාවට ව්‍යවස්ථාදායකය පිළිබඳව ප්‍රශ්න ඇති විට එහි නියෝජිතයින් වෙනස් කළ හැකියි. එය වරින් වර සිදු වෙනවා. එහෙත්, මහ බැංකුව හා අදාළව ජනතාවට මේ විකල්පය හෝ නැහැ. 

ඉහත හේතුව නිසා සෘජුව ජනතාවට වගවීමට පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට තිබෙන වගකීමටද වඩා වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නෛතික අයිතිය අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද අවශ්‍ය පමණ වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් කිසිවකුගෙන් අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ. අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුවටද එවැනිම, පාර්ලිමේන්තුවට සම, නෛතික අයිතියක් ලැබී තිබෙනවා. ඇතැම් විට එම අයිතියේ බර දරා ගැනීමට මහ බැංකුවට තවමත් හැකියාවක් නැතුවා විය හැකියි. 

මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද 100%කින් වැඩි කරගත්තොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔවුන්ට එසේ කර ගැනීමට පූර්ණ නෛතික හැකියාවක් තිබෙනවා. නමුත්, ඔවුන් එසේ නොකරන්නේ ඒ සමඟ ඇති වන මහජන ප්‍රතිචාරය ගැන අවබෝධයක් තිබෙන නිසා. අලුත් පණත සම්මත වීමෙන් පසුව මහ බැංකු සේවකයින් සිටින්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඳගෙන සිටින ආකාරයේම උණුසුම් පුටු වලයි. 

කෙසේ වුවත්, මේ ලිපිය අනාගතවාදීව ලියන්නක් මිසක් සිදුව ඇති වැටුප් වැඩිවීම පමණක් ඉලක්ක කරගෙන ලියන්නක් නෙමෙයි. ඒ වගේම, මහ බැංකුවට සුවිශේෂී මානව ප්‍රාග්ධනයක් අවශ්‍යද කියන කරුණ ඇතුළු කතා නොකළ කරුණු පසුව කතා කරමු. 

Sunday, September 10, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම- අලුත්ම තත්ත්වය


මෙම ලිපිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව පසුගිය සතිය තුළ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම මෙම සතිය තුළ සිදු විය හැකි දේවල් පිළිබඳව කෙරෙන සමාලෝචනයක්. ලිපියෙන් බොහෝ දුරට කෙරෙන්නේ දැනටමත් පොදු අවකාශයේ ඇති තොරතුරු සාරාංශගත කර නැවත ඉදිරිපත් කිරීමක්.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතේ පළමුවන උපලේඛනය සංශෝධනය කෙරුණා. ඒ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF), අනුමත කරනු ලැබූ අර්ථසාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදල්, හා අනුමත කරනු ලැබූ සමාපන අරමුදල් (termination funds) මත අය කෙරෙන ආදායම් බදු අනුප්‍රමාණය 30% දක්වා වැඩි කෙරුණු අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වන අරමුදල් සඳහා අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණය තවදුරටත් 14% ලෙසම පවත්වාගනු ලැබෙනවා. මෙම වෙනස්කම් 2023 සැප්තැම්බර් 1 දින සිට ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. 

ඉහත සංශෝධනය මේ වන විට රටේ නීතිය බවට පත් වී අවසානයි. ඒ අනුව, අදාළ සංශෝධනයේ පසුබිම කුමක් වුවත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු වෙනත් ඕනෑම අයෙකුට එම නීතියට යටත්ව කටයුතු කිරීමට සිදු වෙනවා. 

ඉහත නීතිය අනුව, "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම" යන්නෙන් අදහස් වන්නේ සුදුසුකම් ලත් අරමුදලක් සතුව තිබෙන 2023 වසර තුළ කල් පිරෙන සුදුසුකම් ලත් බැඳුම්කර අතරින් එක් එක් ශ්‍රේණියේ බැඳුම්කර වලින් අවම වශයෙන් 50%ක් සහ 2024-2032 කාලය තුළ (එම වර්ෂ දෙකද ඇතුළුව) කල් පිරෙන බැඳුම්කර සියල්ල අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අර්පණය කිරීම සහ එම අර්පණයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලැබීමයි.

ඉහත සඳහන් සුදුසුකම් ලත් අරමුදල් යන්නට සේවක අර්ථසාධක අරමුදලද ඇතුළත්. අර්පණයන් ඉදිරිපත් කිරීම සඳහා හෙට (සැප්තැම්බර් 11) දින පස්වරු 4 දක්වා කාලය ලබා දී ඇති අතර පසු දින (සැප්තැම්බර් 12) ප්‍රතිඵල නිවේදනය කෙරෙනවා. 

සේවක අර්ථසාධක අරමුදලෙහි භාරකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවට එම අරමුදල් වලට "අත නොතබා" සිටිය නොහැකියි. ඔවුන්ගේ වගකීම වනුයේ සාමාජිකයින්ට වැඩිම ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම අරමුදල් ආයෝජනය කිරීම සහ එම ආයෝජන කල් පිරෙන විට එලෙසම නැවත නැවත ආයෝජනය කිරීමයි. 

මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, ඉහත සඳහන් බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස 2038 දක්වා වන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 21.6%කින් අඩු වෙනවා. ඒ අනුව, සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 7.7% දක්වා අඩු වෙනවා. එහෙත්, "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම" මගින් ඉහත අලාභය 4.8% දක්වා අඩු කරගත හැකි අතර සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 9.1% මට්ටමෙහි පවත්වා ගත හැකියි.

මහ බැංකුවේ ගණන් බැලීම් අනුව සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීමට නියමිත බව ඉතාම පැහැදිලියි. ඇතැම් බාහිර විශ්ලේෂකයින් විසින් මේ අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වීම සේවක අර්ථසාධක අරමුදලට අවාසිදායක බව පෙන්වීමට උත්සාහ කර ඇතත් අපගේ අදහස වනුයේ එම ඇස්තමේන්තු දෝෂ සහගත බවයි. එමෙන්ම, මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය නිසා අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 47%කින් අඩු වන බවද එම බාහිර විශ්ලේෂකයින් විසින් පෙන්වා දී තිබෙනවා.

ණය හුවමාරුව සඳහා අර්පණයන් ඉදිරිපත් වී, එම අර්පණයන් සියල්ලම හෝ කොටසක් මහ බැංකුව විසින් භාර ගැනීමෙන් අනතුරුව සැප්තැම්බර් 14 දින බැඳුම්කර හුවමාරුව සිදු වෙනවා. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වන ආයතන එදින අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක හිමිකරුවන් බවට පත් වෙනවා. ඔවුන්ට පසු දින සිටම මෙම බැඳුම්කර වෙනත් අයට විකිණීම සඳහා අර්පණය කළ හැකියි. වෙනත් අයට මෙම අලුත් බැඳුම්කර මිල දී ගැනීම සඳහා අර්පණය කළ හැකියි. ඒ අනුව, දෙපාර්ශ්වයේ එකඟත්වය මත මෙම බැඳුම්කර විකිණීම හා මිල දී ගැනීම මගින් හුවමාරු කරගත හැකියි. 

ඉහත සඳහන් පරිදි අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වල මිල වෙළදපොළ තුළ තීරණය වෙද්දී එම බැඳුම්කර වෙනුවෙන් අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්කම් වටිනාකමද වෙළඳපොළ තුළ නිර්ණය වී දෘශ්‍යමාන වෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලට හෝ වෙනත් එවැනි අරමුදලකට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් සිදු වූ පාඩුව නිශ්චිත ලෙස ගණන් බැලීමට ඉඩ සැලසෙනවා. ඒ නිසා, එම පාඩුව මහ බැංකුවේ ඇස්තමේන්තුව වන 4.8% වඩා කිට්ටු වේද එසේ නැත්නම් වෙරිටේ රිසර්ච් ඇස්තමේන්තුවට (47%) වඩා කිට්ටු වේද යන්න දැක බලාගැනීම සඳහා බලා සිටිය යුත්තේ වැඩිම වුනොත් තවත් දෙසතියකට නොවැඩි කාලයක් පමණයි. එම පාඩුව දැක ගැනීමෙන් පසුවම ඒ ගැන වැඩිපුර කතා කරමු. 

පාඩුව කොපමණ වුවත්, අපේක්ෂිත පාඩුවක් සිදු වන බව පොදු පිළිගැනීමයි. එමෙන්ම, මෙවැනි පාඩුවක් නොවැලැක්විය හැකි වූ බවද පොදු පිළිගැනීමක්. එහෙත්, මේ පාඩුවේ බර සේවක අර්ථසාධක අරමුදල ඇතුළු "සුදුසුකම් ලත් අරමුදල්" මත පමණක් නොපටවා සියලු බැඳුම්කර හිමියන් අතර බෙදා හැරිය යුතු වූ බව සැලකිය යුතු පිරිසකගේ අදහසක්. 

මෙම අදහස දැරූ ඇතැම් අය සාධාරණත්වය සොයා අධිකරණය වෙත ගියා. එවැනි එක් අයෙක් චතුරංග අබේසිංහ. ඔහු මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ බදු සංශෝධනයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන බව සඳහන් කරමින් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළා (S.C. (SD) No.63/2023). ස්වස්තිකා අරුලිංගම් හා ජයන්ත දෙහිඅත්තගේ විසින් තවත් මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර (S.C. (SD) No.6412023) පෙත්සම් දෙකෙහි කරුණු වල සමානත්වය සලකා බලමින් මෙම පෙත්සම් දෙකම එක වර විභාගයට ගැනුණා. පෙත්සම් දෙකෙහිම වග උත්තරකරු වූයේ නීතිපතිවරයායි. 

ජනාධිපති නීතිඥ බුවනෙක අළුවිහාරේ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ ඉහත මූලික අයිතිවාසිකම් නඩුවට මැදිහත්කරුවෙකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කරමින් ලංකා බැංකුවද සම්බන්ධ වුනා. මහ බැංකු අධිපති විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා. මෙහිදී සලකා බලනු ලැබූ මූලික කරුණ වූයේ බැඳුම්කර හිමියන් අතරින් තෝරාගත් පිරිසකට පමණක් වෙනස් ලෙස සැලකීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙහි සඳහන් නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය කඩ වී ඇත්ද යන්නයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කළේ ඉහත බදු සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය හෝ වෙනත් කිසිදු වගන්තියක් උල්ලංඝනය වී නොමැති බවයි. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගත හැකි බවයි. මෙය මේ වන විට සිදු වී තිබෙනවා.

මෙම නඩුව වැදගත් නඩුවක් සේ සැලකිය හැකියි. එහිදී ඉදිරිපත් වූ හා සලකා බලනු ලැබූ කරුණු අප කෙටියෙන් විමසා බලමු.

තෝරාගත් පිරිසකට පමණක් බද්දක් පැනවීම නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය උල්ලංඝනය කිරීමක්ද?

අධිකරණයේ මතය අනුව, නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන ලෙස සැලකිය යුතුය යන්නෙන් අදහස් වන්නේ සියලුම නීති වල සියලුම කොටස් වලින් සියලුම පුද්ගලයින් එක ලෙස ආවරණය විය යුතු බව නොවේ. තර්කානුකූල හේතුවක් මත කිසියම් නීතියක් මගින් පුද්ගල වර්ගීකරණයක් කිරීම සඳහා රාජ්‍යය සතු බලය එමගින් ඉවත් නොකරයි.

Article 12(f) of the Sri Lankan Constitution does not insist that every piece of legislation must have universal application and it does not take away from the State the power to classify persons for the purposes of legislation, but the classification must be rational.

මෙහිදී අදාළ නීතිය පරීක්ෂාවන් දෙකක් සමත් කළ යුතුයි. පළමුවැන්න, මෙහිදී සිදු කෙරෙන වර්ගීකරණය පැහැදිලිව හඳුනාගත හැකි වෙන් කිරීමක්ද යන්නයි. දෙවැන්න, එසේ වෙන් කිරීම මගින් කිසියම් නීතියකින් අපේක්ෂා කරන අරමුණ ඉටු වේද යන්නයි. 

කිසියම් පුද්ගලයෙකු මත බද්දක් පැනවීමේදී එසේ කිරීම සඳහා අනෙකුත් සියල්ලන් මතද එවැනිම බද්දක් පැනවිය යුතු නැති බව තීතිය තුළ මැනවින් ස්ථාපනය වී ඇති මූලධර්මයකි. ඒ නිසා, බද්දක් පැනවීමේදී පුද්ගල වර්ගීකරණය මගින් වෙනස් කොට සැලකීම ඒ හේතුව නිසාම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු නොකරයි.

මේ අනුව, අධිකරණය විසින් සලකා බැලිය යුතු වූයේ මෙම නීතියේ උපකාරයෙන් බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් බැහැර කිරීම සඳහා තර්කානුකූල හේතු තිබේද යන්නයි.

මහ බැංකු අධිපති විසින් අධිකරණය වෙත කර ඇති කරුණු දැක්වීම අනුව විශාල විනාශයක් වලක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු වන අතර පෙත්සම්කරුවන් විසින් මෙය නොපිළිගනිමින් කරුණු ඉදිරිපත් කර නැහැ. මෙම කරුණු අප විසින් පෙර විස්තර කර ඇති රටේ ආර්ථික අර්බුදය පිළිබඳ සවිස්තරාත්මක කරුණු බැවින් මා මෙම කරුණු නැවත විස්තර කරන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් මත පැටවෙන බර සුදුසුකම් ලත් අරමුදල් මත පැටවෙන බර හා සසඳමින් ලංකා බැංකුව විසින් පහත කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙතින් මෙම කරුණු වලට ප්‍රතිපක්ෂව කරුණු ඉදිරිපත් කිරීමක් සිදු වී නැහැ. 

බැංකු වලට සිදුව ඇති හා සිදු වන පාඩුව:

-බැංකු විසින් දැනටමත් 50% ඉක්මවන බදු ගෙවයි. මේ අනුව, බැංකු වල ලාබයෙන් එම බැංකු විසින් ලබා ගන්නා ලාබයටද වඩා වැඩි කොටසක් රජය විසින් දැනටමත් ලබා ගනී. 

-මේ හරහා බැංකු විසින් රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-මහ බැංකුවේ නියමය මත වසංගත සමයේදී බැංකු විසින් ණයහිමියන්ට ණය ආපසු ගෙවන කාලය කල් දමන්නට ඉඩ දී ඇත. 

-බැංකු වල ආපසු නොලැබෙන ණය අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඒ නිසා, සුළු වෙනසකින් රටේ මූල්‍ය ස්ථායීත්වය බිඳ වැටිය හැකියි.

-බැංකු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක නොවුනහොත් රටේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමද අපහසු වේ.

-රටේ බැංකු ගිණුම් මිලියන 57.2ක් ඇති අතර එම බැංකු ගිණුම් වල ඇති අරමුදල් සුරක්ෂිතව පවත්වා ගැනීම ඉතා වැදගත්ය.

-බැංකු පද්ධතිය බිඳ වැටුනොත් සිදු වන්නේ ඉතා විශාල විනාශයකි.

-සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, ඉදිරියේදී ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, බැංකු වලට විශාල පාඩුවක් සිදු වේ.

ප්‍රාථමික අලෙවිකරුවන් සහ අනෙකුත් සමාගම්:

-මොවුන් දැනටමත් 30%ක ආදායම් බද්දක් ගෙවයි. ඒ හරහා, රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-ඔවුන් සතු මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 153ක් පමණක් වන අතර රක්ෂණ සමාගම් සතුව තවත් රුපියල් බිලියන 322ක බැඳුම්කර ඇත. මෙම ප්‍රමාණය රුපියල් බිලියන 8,722ක මුළු බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් වුවත් එම ප්‍රමාණය ආයතන 380ක් අතර බෙදී ගොස් ඇත. මෙම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය සේවා අවශ්‍යතාවයට සිදුවන නොගිණිය හැකි තරමේ බලපෑමට සාපේක්ෂව අදාළ පරිපාලන කටයුතු වෙනුවෙන් විශාල කාලයක් යොදවන්නට සිදුවන නිසා මෙම කණ්ඩායම් ඇතුළත් කර ගැනීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වේ. එම ප්‍රමාදය නිසා සිදු වන අවාසියට සාපේක්ෂ ලැබෙන වාසිය ප්‍රමාණවත් නැත. 

-එමෙන්ම, ආර්ථිකය සංකෝචනය වීම නිසා ඉහත සමාගම් වලටද සැලකිය යුතු පාඩුවක් සිදු වී ඇත.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර අරමුදල:

-දැනට ගෙවන්නේ 14%ක බද්දක් පමණයි.

-මෙම අරමුදල් වල ඇති තැන්පතු ක්ෂණිකව ඉවත් කරගැනීමේ අවදානම නීති මගින් වලක්වා ඇති නිසා ද්‍රවශීලතා අවදානමක් නැත.

-මෙම අරමුදල් ස්වෛරිත්ව බැඳුම්කර වල හෝ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර නොමැති බැවින් එම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩුවක් සිදු නොවේ. 

මෙම සංසන්දනයන්ට හා තොරතුරු එරෙහිව පෙත්සම්කාර පාර්ශ්ව විසින් කරුණු ඉදිරිපත් කිරීමක් කර නැහැ. ඒ අනුව, "සුදුසුකම් ලත් අරමුදල්" වලට වෙනස් ලෙස සැලකීම සඳහා රජයට තර්කානුකූල හේතු ඇති බවත්, එසේ කිරීමෙන් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් අධිකරණයේ මතයයි.

From the foregoing reasons that we have adumbrated in the determination, we proceed to hold that neither the Bill nor any of its provisions is inconsistent with Article 12 or any provisions of the Constitution. 

Wednesday, May 17, 2023

ණය සීමාව වැඩි කළේ ඇයි?

මෑතකදී රජයට නිකුත් කළ හැකි උපරිම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් ඉහළ දැම්මා. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ භාවිතා කෙරෙන ණය උපකරණයක්. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ. මේ පණත වරින් වර සංශෝධනයට ලක්ව ඇතත් නිදහස ලබන්න පෙර සිටම පැවති පණතක්. 

මෙම පණතේ 2(1) වගන්තිය අනුව මුදල් විෂය භාර ඇමතිවරයාට පුළුවන් කිසියම් උපරිමයකට යටත්ව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරයේ අදාළ නියෝජ්‍ය ලේකම් වරයාට නියෝග කරන්න. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීම ඇතුළු රාජ්‍ය මූල්‍යනය පිළිබඳ බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා, මේ බලය මුදල් ඇමති වරයාට ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත්, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 2(1) වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසින් මේ අනුමැතිය දෙන්නේ යම් උපරිම සීමාවකට යටත්ව. ඒ නිසා, නීතිය අනුව, ඊට වඩා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න බැහැ. 

ඉහත සීමාව කවදාවත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් අප දන්නා පරිදි රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගනිද්දී වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න වෙනවා. ඔහොම ගිහින් යම් අවස්ථාවක රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඔය අනුමත උපරිම සීමාවට කිට්ටු වෙනවා. එවිට විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගෙන උපරිම සීමාව වැඩි කර ගන්නවා. කලට වෙලාවට ඔය වැඩේ නොකළොත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න යද්දී නීතිමය/ තාක්ෂනික ප්‍රශ්නයක් ඇති වෙලා ලොකු අවුලක් වෙන්න පුළුවන්. ලංකාවේ කවදාවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. (ඇමරිකාවේනම් මේ දවස් වල ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා.)

2021 ජුනි මාසය වන තුරු මෙම සීමාව රුපියල් බිලියන 2000ක්. එම මාසයේදී අදාළ සීමාව රුපියල් බිලියන 3000 දක්වා වැඩි කළා. ඉන්පසුව, පසුගිය 2022 වසරේ ජූනි මාසයේදී මෙම සීමාව රුපියල් බිලියන 4000 දක්වාත්, නැවත 2022 නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 5000 දක්වාත් ඉහළ දමනු ලැබුවා. දැන් මෙම සීමාව රුපියල් බිලියන 6000 දක්වා ඉහළ දමා තිබෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව ඉහළ දැමූ පමණින් එපමණ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙනු ඇති බවක් අදහස් වන්නේ නැහැ. එයින් අදහස් වන්නේ නැවත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා තුරු ඊට වඩා වැඩියෙන් බිල්පත් නිකුත් කළ නොහැකි බව පමණයි. එහෙත්, වඩා වැඩියෙන් බිල්පත් නිකුත් නොකරන්නේනම් සීමාව ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. සීමාව ඉහළ දමන්නේම පරණ සීමාව ඉක්මවා බිල්පත් නිකුත් කිරීමට අවශ්‍ය නිසයි. 

පසුගිය සතිය අවසන් වන විට (මැයි 11) රුපියල් බිලියන 4,840ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුණා. උපරීම සීමාව වැඩි නොකළේනම්, රටේ නීතිය අනුව තව දුරටත් නිකුත් කළ හැකිව තිබුණේ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. මේ වගේ වෙලාවක නොව සාමාන්‍ය තත්ත්වයකදී වුවත් මෙවැනි සීමිත නීතිමය අවකාශයක් තිබීම රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාමාන්‍ය පරිදි කිරීමට බාධාවක්. ඒ වගේම, සතිපතා හෝ මාස්පතා සීමාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගැනීමද තේරුමක් නැති වැඩක්. එකවර තරමක් වැඩි ප්‍රමාණයකින් සීමාව ඔසොවන්නේ ඒ නිසා. 

කෙසේ වුවත් මෙවැනි උපරිම නීතිමය සීමාවක් තිබීම නරක දෙයක් නෙමෙයි. එයින් යම් පාලනයක් සිදු වෙනවා. 

පෙරේදා (මැයි 15) රුපියල් බිලියන 103.6ක බැඳුම්කර ප්‍රමාණයක කල් පිරුණා. ඒ වගේම, පසුගිය සතියේ (මැයි 12) රුපියල් බිලියන 305.7ක විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරුණා. අනිද්දා (මැයි 19) තවත් රුපියල් බිලියන 305.7ක බිල්පත් ප්‍රමාණයක් කල් පිරෙනවා (මෙම ගණන් දෙක සමාන වීම අත්වැරැද්දක් නෙමෙයි.) මේ ටික එකතු කළොත් රුපියල් බිලියන 715.0ක අති දැවැන්ත මුදලක්. මැයි 12-19 කාලය තුළ රජය විසින් මෙම බිල්පත් හා බැඳුම්කර පියවිය යුතුයි. මේ වෙනුවෙන් 23% පොලියට බිල්පත් මිල දී ගත්තොත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 879ක බිල්පත් අලුතෙන් නිකුත් කරන්න සිදු වෙනවා. එවිට දැනට නිකුත් කර ඇති බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 268කින් පමණ වැඩි වෙනවා. එසේ නැත්නම් අනෙක් විකල්පය බිල්පත් අඩුවෙන් නිකුත් කර අඩුව පිරවීමට බැඳුම්කර අලුතෙන් නිකුත් කිරීමයි.

මගේ අදහසනම් මේ වෙලාවේ බැඳුම්කර අඩුවෙන් නිකුත් කර බිල්පත් වැඩියෙන් නිකුත් කළ යුතු බවයි. එසේ යෝජනා කරන්නට හේතු කිහිපයක් තිබෙනවා. 

පළමුව, සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් විය යුතුයි. එවිට මූල්‍ය වෙළඳපොළ අවිනිශ්චිතතා විශාල ලෙස දුරු වී පොලී අනුපාතික මත වන අවදානම් අධිභාරය ඉවත් වෙනවා. මෙය සිදු නොවුවහොත් විශාලම අවුලක් වන නිසා පොලී අනුපාතික ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. අපේක්ෂිත පරිදි වැඩේ වෙයි කියලා දැනට හිතමු.

දෙවන කරුණ සැප්තැම්බර් වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමයි. ඒ වන විට මෙම අගය තනි අංකයක් වෙන්න පුළුවන්. යම් එහා මෙහා වීමක් හැරුණු විට මෙය නියත වශයෙන්ම සිදු වීමට නියමිත නමුත් ඒ පිළිබඳ වෙළදපොල විශ්වාසය තවමත් ගොඩ නැගී නැහැ. තව සති හයකින් මේ විශ්වාසය ගොඩ නැගෙයි. ඇතැම් විට ඊට පෙර දේශීය ණය ගැන පැහැදිලි ප්‍රකාශයක් ආවොත් එහි බලපෑමත් පොලී අනුපාතික වලට එයි. මේ තත්ත්වයන් එක්ක සැප්තැම්බර් පමණ වන විට පොලී අනුපාතික විශාල ලෙස අඩු විය යුතුයි.

දැන් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළොත් එම බිල්පත් වසරක් ඇතුළත කල් පිරෙන නිසා ඉන් පසුව අඩු පොලියකට නැවත නිකුත් කළ හැකියි. සය මාසික බිල්පත් නිකුත් කළොත් වාසිය තවත් වැඩියි. බැඳුම්කර නිකුත් කළොත් දැන් තිබෙන ඉහළ පොලී අනුපාතිකය දිගටම ගෙවන්න සිදු වෙනවා. වැඩියෙන් බිල්පත් නිකුත් කරන්නනම් උපරිම සීමාව අනිවාර්යයෙන්ම ඉහළ දමන්න වෙනවා. දැන් එය කර ඇති නිසා මේ වැඩේට බාධාවක් නැහැ.

අද (මැයි 17) වෙන්දේසියේදී රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. මෙම ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. පසුගිය සතියේදීද මීට ආසන්න බිල්පත් ප්‍රමාණයක් නිකුත් කෙරුණා. කෙසේ වුවත්, මෙම ප්‍රමාණය කල් පිරුණු බිල්පත් ප්‍රමාණයට වඩා අඩු නිසා මුළු බිල්පත් ප්‍රමාණය වැඩි වී නැති විය හැකියි. ඇතැම් විට මීට අමතරව මහ බැංකුව සතු වූ කල් පිරුණු බිල්පත් නැවත ආයෝජනය කළා වෙන්නත් පුළුවන්. කල් පිරුණු බිල්පත් වලින් මහ බැංකුවේ කොටස හරියටම දන්නේ නැතත් එම පංගුව සැලකිය යුතු පංගුවක් විය යුතුයි.

පොලී අනුපාතික වලද යම් පහත යාමක් පෙන්නුම් කරනවා. අදාළ දත්ත පහත වගුවේ ඇති නිසා නැවත සටහන් කරන්නේ නැහැ.

අලුතෙන් නිකුත් කරන බිල්පත් වල පොලී අනුපාතික අඩු වීමේදී පහත වැටෙන්නේ එම බිල්පත් වල පොලිය පමණක් නෙමෙයි. වෙළඳපොළේ දැනට තිබෙන බිල්පත් හා බැඳුම්කර වල පොලී අනුපාතිකද ඒ හා පහත වැටෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහත වැටෙන එක සෙමින් සිදුවන ක්‍රියාවලියක්. පොලී අනුපාතික සුළුවෙන් පහත වැටෙද්දී වුවත් දිගුකාලීන බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යනවා. 

ණය සීමාව ඉහළ දමා ඇති නිසා මහ බැංකුව තව සල්ලි අච්චු ගසයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුමෙන් මහ බැංකුව විසින් රජයට ලබා දිය හැකි ශුද්ධ ණය ප්‍රමාණය පිළිබඳව උපරිම සීමාවන් නියම කර තිබෙනවා. පහත තිබෙන්නේ එම සීමාවන්.

2022 අවසානයේදී රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය - රුපියල් බිලියන 2,834යි.

2023 මාර්තු අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 ජූනි අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 සැප්තැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,840යි.

2023 දෙසැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,740යි.

මේ අනුව, උපරිම සීමාව ක්‍රමයෙන් පහත වැටෙන බව පැහැදිලි විය යුතුයි. රුපියල් බිලියන 2,890 කියන්නේ ජනවාරි අවසාන වෙද්දී තිබුණු ඇත්ත ගණන. එම ගණන ජූනි අවසන් වන තුරු වැඩි වෙන්න බැහැ. ඉන් පසුව, සැප්තැම්බර් IMF විමර්ශනය වෙද්දී අඩු වශයෙන් රුපියල් බිලියන 50කින් අඩු වෙන්න ඕනෑ. වසර අවසන් වන විට තවත් රුපියල් බිලියන 100කින් අඩු වෙන්න ඕනෑ. ඕකයි එකඟතාවය.

මෙම සීමා ඉක්මවා යාමට ලංකාවේ නීතියෙන් බාධාවක් නැතත් එසේ සීමා ඉක්මවා ගියහොත් රජයට සහ මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා. 



Wednesday, March 22, 2023

පොලී අනුපාතික අඩු වෙන්න පටන් අරන්ද?


අද (මාර්තු 22) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික වල සැලකිය යුතු අඩුවීමක් දැකිය හැකියි. දින-91 පොලී අනුපාතික 26.23% දක්වාත්, දින-182 පොලී අනුපාතික 26.12 % දක්වාත් අඩු වී ඇති අතර, දින-364 පොලී අනුපාතික 24.32% දක්වා පහත වැටී තිබෙනවා.

පොලී අනුපාතික මෙලෙස පහත වැටී තිබෙන්නේ රුපියල් බිලියන 125ක, සැලකිය යුතු තරම් විශාල, බිල්පත් තොගයක් වෙන්දේසි කරද්දී වීම විශේෂත්වයක්. මෙම බිල්පත් ප්‍රමාණය සඳහා එමෙන් දෙගුණයකට ආසන්න, රුපියල් බිලියන 241.3ක ලංසු ඉදිරිපත් වී තිබෙනවා. 

මෙයින් පෙනී යන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ අවදානම්හි පහළ යාමක් විය හැකියි. මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වනු ඇති බව පෙනෙන්නට ඇතත් එයින් සිදු විය හැකි අලාභය ගැන බිල්පත් හිමියන්ට තිබුණු අවිනිශ්චිතතා අඩු වී තිබෙනවා. 

දේශීය ණය කියන්නේ මොනවාද?

අප කතා කරන සන්දර්භය තුළ, දේශීය ණය යනු ශ්‍රී ලාංකිකයින් විසින් රාජ්‍ය අංශයට ලබා දී ඇති ණයයි. එම සන්දර්භය තුළ, විදේශ ණය යනු රාජ්‍ය අංශය විසින් විදේශිකයින්ගෙන් ලබා ගෙන ඇති ණයයි. කෙසේ වුවද, මෙම වර්ගීකරණය ආර්ථික සංඛ්‍යාලේඛණ වල කරන වර්ගීකරණයක් මිස භෞතික හෝ නීතිමය වෙනස්කමක් මත කරණ වර්ගීකරණයක් නෙමෙයි. අයිතිය වෙනස් වීම නිසා ඕනෑම මොහොතක දේශීය ණයක් විදේශීය ණයක් විය හැකියි. එහි අනෙක් පැත්තද විය හැකියි.

නීතිමය කටයුත්තක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ඉහත වර්ගීකරණය එතරම් වැදගත් නැහැ. එහිදී වැදගත් වන්නේ ණය ගිවිසුම සිදුව ඇති නීතියයි. ඇතැම් ණය ලංකාවේ නීතිය යටතේ ලබාගෙන ඇතත්, තවත් ඇතැම් ණය ලබා ගෙන තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේයි. මේ ගොඩවල් දෙකේම දේශීය ණය මෙන්ම විදේශීය ණයද තිබෙනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය තුළ, ණය වර්ගීකරණය කරන්නේ මේ ආකාරයෙන් නෙමෙයි. එහිදී කාණ්ඩ තුනක් යටතේ ණය වර්ගීකරණය කෙරෙනවා.

-විදේශ නීතියක් යටතේ විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගෙන ඇති ණය 

-දේශීය නීතියක් යටතේ විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගෙන ඇති ණය 

-නීතියක් යටතේ ශ්‍රී ලංකා රුපියල් වලින් ලබාගෙන ඇති ණය 

මෙම කාණ්ඩ තුන අතරින් ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත්ම අසීරු පළමු කාණ්ඩයේ ණයයි.

පසුගිය වසර අවසානයේදී ඩොලර් මිලියන 83,595ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ලංකාවේ මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 41,474ක්ම පළමු කාණ්ඩයේ ණයයි. එම මුදලින් ඩොලර් මිලියන 3,002ක් පසුගිය වසර තුළ පැහැර හැර අවසානයි. දෙවන කාණ්ඩයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,069ක් වන අතර එයින් ඩොලර් මිලියන 230ක්ද පසුගිය වසර තුළ පැහැර හැර තිබෙනවා. තුන් වන කාණ්ඩය යටතේ ඇති රුපියල් ණය වල ඩොලර් අගය මිලියන 38,052ක්. 

පළමු කාණ්ඩයට අයත් ණය වලින් බහුපාර්ශ්වික ණය, මුදල් හුවමාරු ණය සහ නිල වශයෙන් ණය පැහැර හැරීමෙන් පසුව ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත්තේ ඉතිරි ද්විපාර්ශ්වික ණය සහ වාණිජ ණයයි. මීට අමතරව දෙවන කාණ්ඩයේ ණයද ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙනවා. 

ඉහත කාණ්ඩ තුන තුළම දේශීය ණය තිබෙනවා. පළමු කාණ්ඩය තුළ ඇති මුහුණත අගය ඩොලර් මිලියන 12,250ක් වන ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,750ක් දේශීය ණය වන අතර දෙවන කාණ්ඩය බොහෝ දුරට දේශීය ණයයි. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම දේශීය බැංකු වල ශේෂ පත්‍ර කෙරෙහි බලපානවා.

වැඩි වශයෙන්ම දේශීය ණය වන තුන්වන කාණ්ඩය හා අදාළව නිශ්චිත තීරණයක් තවමත් ගෙන නැතත් යම් ආකාරයක ණය ප්‍රතිසංවිධානය කිරීමක් අපේක්ෂා කළ හැකියි. මේ වන විට ශ්‍රී ලංකා බලධාරීන් සහ ඔවුන්ගේ උපදේශකයින් විසින් රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි මෙම තුන්වන කාණ්ඩයේ ණය ප්‍රතිසංවිධානය කළ හැකි විවිධ විකල්ප ක්‍රමවේද සලකා බලමින් සිටිනවා.

Sunday, March 19, 2023

මහ බැංකු ස්වාධීනත්වය


අලුත් මහ බැංකු පණතත් එක්ක මහ බැංකු ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක් ලෙසයි. එහෙම පැත්තකුත් තිබුණත්, මහ බැංකු ස්වාධීනත්වය කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ ඒකම නෙමෙයි. ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් පැත්තකින් තිබ්බොත් මේක නිශ්චිත තේරුමක් තිබෙන තාක්ෂනික කරුණක්.

මහ බැංකු නිලධාරීන්ට ස්වාධීන තීරණ ගන්න අවශ්‍යනම් ඊට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැන් තිබෙන මුදල් නීති පණතේත් තිබෙනවා. ඒ වැඩේ ඒ විදිහට සිදු නොවීම නීතියේ ප්‍රශ්නයකට වඩා තනතුරු දරන පුද්ගලයින්ගේ ප්‍රශ්නයක්. අලුත් පණතක් යටතේ අලුත් මහ බැංකුවක් හැදුවා කියලත් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ ස්වාධීනත්වය කොයි තරම් දුරකට ප්‍රයෝජනයට ගන්නවද කියන එක පුද්ගලබද්ධ කාරණයක්. ඒ නිසා, අලුතෙන් මහ බැංකුවක් හැදූ පමණින් මහ බැංකුව පාලනය කරන මිනිස්සු ක්‍රියාකරන ආකාරය වෙනස් වන බව සහතික කෙරෙන්නේ නැහැ. 

මහ බැංකු ස්වාධීනත්වය කියන එකෙන් පොදුවේ අදහස් කෙරෙන්නේ ආයතනික ස්වාධීනත්වය. පුද්ගල ස්වාධීනත්වය ඒ එක්ක බැඳී තිබීම වෙනම කරුණක්. මැතිවරණ කොමිසම හෝ පොලිස් කොමිසම වගේ එකක ස්වාධීනත්වය ගැන කතා කරද්දී කොමිසමේ ස්වාධීනත්වය කියා කියන්නේ පුද්ගලයින් විදිහට සාමාජිකයින්ගේ ස්වාධීනත්වය. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ඒ වගේ එකක් පමණක් නෙමෙයි. ඊට වඩා පුළුල් තේරුමක් තිබෙන දෙයක්.

මේක එන්නේ මහ බැංකුවක කාර්යභාරය කුමක්ද කියන එකත් එක්ක. අලුතෙන් පිහිටුවන්න යන මහ බැංකුවේ ප්‍රමුඛ කාර්යභාරය මිල ස්ථායීතාවය. ඒ කියන්නේ උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. අනෙක් හැම දෙයක්ම ද්වීතියීකයි. මහ බැංකුවක් අලුතෙන් පිහිටුවන්නේම මේ වැඩේට.

මහ බැංකුවක් අලුතෙන් පිහිටුවනවා කිවුවට දැන් ඉන්න මහ බැංකු අධිපති, අනෙක් නිලධාරීන්, ගොඩනැගිලි සියල්ල ඒ විදිහටම තියෙනවා. කලින් නිකුත් කළ මුදල් ඒ විදිහටම භාවිතා වෙනවා. භෞතික වෙනසක් නැතත්, නීතිමය වශයෙන් පරණ මහ බැංකුව අහෝසි වෙලා අලුත් මහ බැංකුවක් හැදෙනවා. භෞතික වශයෙන් කලින් නිකුත් කළ මුදල් නෝට්ටුම වුනත්, ඊට පස්සේ ගුණාත්මක භාවය අතින් රුපියල් නෝට්ටු පරණ රුපියල් නෝට්ටුම නෙමෙයි. 

අලුත් පණතකින් අලුත් මහ බැංකුවක් පිහිටුවන්න වෙලා තියෙන්නේ අවුරුදු 75කට පසුව කලින් මහ බැංකුව එහි අරමුණු ඉටු කර ගැනීමට අසමත්ව බංකොලොත් වී ඇති නිසා. මේ වගේ තත්ත්වයකදී තිබුණු මහ බැංකුව මුළුමනින්ම විසුරුවා හැර අලුතෙන්ම මහ බැංකුවක් හදන එක ඇතැම් රටවල සිදු වී තිබෙන දෙයක්. නමුත් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. අඩු වශයෙන් භෞතික ලෙස පෙනෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තිබෙන මහ බැංකුවම අලුත් මහ බැංකුවක් ලෙස අලුත් උපතක් ලබන එකයි වෙන්නේ. 

මහ බැංකුවකට මිල ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා තිබෙන ප්‍රධානම උපකරණය පොලී අනුපාතිකයි. නිදහසේ පොලී අනුපාතික තීරණය කරන්න බැරිනම් මහ බැංකුවකට මිල ස්ථායීතාවය පවත්වා ගන්න බැහැ. දැනට තිබෙන මහ බැංකුවට නිදහසේ පොලී අනුපාතික තීරණය කරන්න බැරි හේතු කිහිපයක්ම තිබෙනවා. මේවා තීරණ ගන්නා පුද්ගලයින්ගේ අසමත්කම්, දේශපාලනික ඇඟිලි ගැසීම් ආදියෙන් ඔබ්බට ගිය බාධාවන්. අලුත් පණතින් කෙරෙන ප්‍රධානම දෙය මෙම බාධාවන් ඉවත් කිරීමයි. 

ලංකාවේ රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරනය කරන්නෙත් මහ බැංකුවයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කොටසක් වන රාජ්‍ය ණය කළමණාකරනයේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ හැකි අඩුම පොලියකට ණය ගැනීමටයි. මිල ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා පොලී අනුපාතික වැඩි කළ යුතු වූ විට මේ අරමුණු දෙක කෙළින්ම ගැටෙනවා. එක අරමුණක් ඉටු කරගන්න යන විට අනෙක් අරමුණ ඉටු කරගන්න බැරි වෙනවා. මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නය එන්නේ ඔය පසුබිමේ.

භාණ්ඩාගාර ලේකම් නිල බලයෙන්ම දැන් තිබෙන මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්. මහ බැංකුව කියා කිවුවත් ඇත්තටම දැන් තිබෙන නීතිමය ව්‍යුහය මහ බැංකුවේ මුදල් මණ්ඩලය මිසක් මහ බැංකුව නෙමෙයි. මෙයින් වෙනස්ව අලුත් පණත අනුව පිහිටුවන නව මහ බැංකුව කෙනෙකුට අවශ්‍යනම් නඩු පැවරිය හැකි නීතිමය ව්‍යුහයක්. 

භාණ්ඩාගාරයේ ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් වූ විට මිල ස්ථායීතාවය වෙනුවට රජයේ ණය අවශ්‍යතාවය සපුරා ගන්න එකට බර වැටෙන එක සාමාන්‍ය දෙයක්. ඒක නීතියේම ප්‍රශ්නයක් මිසක් පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. පුළුවන් තරම් අඩු පොලියකට ණය ගන්න එක භාණ්ඩාගාරයේ ලේකම් විසින් කළ යුතුම දෙයක්. හැබැයි ඒ වැඩේ කරන්න යාමේ ප්‍රතිඵලය උද්ධමනය පාලනය කර ගැනීම අසීරු වීම.

අලුත් පණත අනුව භාණ්ඩාගාරයේ ලේකම් මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නා කමිටුවේ සාමාජිකයෙක් නෙමෙයි. මහ බැංකුව පාලනය කරන පරිපාලන කමිටුවේ සාමාජිකයෙකුත් නෙමෙයි. ඒ වගේම, රාජ්‍ය ණය කළමනාකරණය අලුතෙන් පිහිටුවීමට නියමිත ආයතනයක් යටතට වැටෙනවා. මහ බැංකුව මේ වැඩේ කරන්නේ එම ආයතනය පිහිටුවන තුරු සංක්‍රමනික කාලය තුළ පමණයි. 

මීට අමතරව තවත් දේවල් වෙනවා. අලුත් මහ බැංකුවට රජයේ අයවැය හිඟය පියවීමේ අරමුණින් රජයට ණය දෙන්න බැහැ. ඒ අනුව, ප්‍රාථමික වෙන්දේසියෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බැහැ. ඒ වගේම, දැනට රජයට දෙන තාවකාලික අත්තිකාරම් ප්‍රමාණයද සීමා කර තිබෙනවා. එහෙත්, මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බාධාවක් නැහැ. 

අලුත් මහ බැංකුව පිහිටුවීමට සමාන්තරව පණතේ ප්‍රතිපාදන අනුවම තවත් දෙයක් වෙනවා. මෙය සරල ලෙස කිවුවොත් මහ බැංකුව සතු අති විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමක්. මේ වැඩෙන් යම් කාලයකට රජයේ ණය බර සැලකිය යුතු ලෙස පහළ යනවා. සමස්තයක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙන අවශ්‍යතාවය අඩු වෙනවා. 

කොහොම වුනත්, අවසාන වශයෙන් සල්ලි අච්චු ගැසීම සීමා වෙනවා. ඉදිරි වසර තුනක කාලය තුළ උද්ධමනය පවත්වා ගත යුතු මට්ටම රජය විසින් තීරණය කිරීමෙන් පසුව එම කාර්යය කිරීම මහ බැංකුවට පවරමින් ගිවිසුමක් අත්සන් කෙරෙනවා. ඊට පස්සේ වැඩේ කරන එක මහ බැංකුවේ වගකීම. 

සල්ලි අච්චු ගැසීම සීමා වන නිසා රජයට වියදම් කරන්න වෙන්නේ බදු එකතු වෙන විදිහටයි. නැත්නම් ණය ගන්න සිදු වෙනවා. ගත් ණය ආපසු ගෙවීම රජයේ ප්‍රශ්නයක්. නමුත් IMF එක සමඟ ඇති ගිවිසුම සහ ඉදිරියේදී ණයකරුවන් එක්ක ඇති කරගන්න යන ගිවිසුම් අනුව ණය ගත හැකි ප්‍රමාණයද සීමා වෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවට වගේම ඉදිරියේදී බලයට පත් වන ආණ්ඩු වලටත් කලින් කළා වගේ "නැති සල්ලි" වියදම් කරන්න වැඩි ඉඩක් ඉතිරි වන්නේ නැහැ. එක්කෝ වියදම් සීමා කරන්න වෙනවා. නැත්නම් බදු ආදායම් වැඩි කරගන්න වෙනවා.

වෙබ් ලිපිනය: