වෙබ් ලිපිනය:

Showing posts with label මූර්ත දළ දේශීය නිෂ්පාදිතය. Show all posts
Showing posts with label මූර්ත දළ දේශීය නිෂ්පාදිතය. Show all posts

Sunday, April 5, 2026

රටේ ආර්ථිකය දැන් තිබෙන තැන...


කිසියම් නිශ්චිත වසරක් තුළ රටක ආර්ථිකය වර්ධනය වෙන්න වගේම හැකිළෙන්නත් පුළුවන්. නමුත් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් වසරින් වසර එක දිගටම වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයයි. මෙහිදී ආර්ථිකය කියන එකෙන් අදහස් කරන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය. ඒ කියන්නේ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. 

නිදහසෙන් පසුව 2019 දක්වා කාලය තුළ ලංකාවේ ආර්ථිකය එක දිගටම මෙන් වර්ධනය වුනා. එම දීර්ඝ කාලයේදී ආර්ථිකය හැකිළුනේ කටුනායක ගුවන් ප්‍රහාරය එල්ල වුනු 2001 වසරේදී පමණයි. කාලයක් ඇදුණු සිවිල් යුද්ධයක් රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල තිබුණත්, දකුණේ ආර්ථික ක්‍රියාකාරකම් දිගින් දිගටම වර්ධනය වූ නිසා අනෙකුත් වසර වලදී ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක තිබුණා. 

රට පුරාම දේපොළ විනාශයක් සිදු වූ 1971දී රටේ ආර්ථික වර්ධන වේගය 0.2% මට්ටම දක්වා පහත වැටුණත්, ආර්ථිකය යාන්තමින් හෝ වර්ධනය වුනා මිසක් හැකිළුනේ නැහැ. ඉන් පසුව, 1987-89 කාලයේදී සිදු වූ දේපොළ විනාශය නිසා සිදු වුනෙත් ආර්ථික වර්ධන වේගය අඩු වීම පමණයි. මහ බැංකු ප්‍රහාරය එල්ල වූ 1996දීත් ආර්ථික වර්ධන වේගය තරමක් අඩු වුනා පමණයි. ඔය කිසිම අවුරුද්දක ආර්ථිකය යම් තරමකින් හෝ වර්ධනය වුනා මිසක් හැකිළුනේ නැහැ. 2001දී ආර්ථිකය හැකිළුනත්, ඊළඟ වසරේදී (2002) ඒ හැකිලීම ඉක්මවා ආර්ථිකය ප්‍රසාරණය වුනා. ඒ නිසා, ලංකාවට 2019 වන තුරුම ආර්ථිකයේ හැකිළීමක් හරියකට අත් විඳින්න ලැබිලා තිබුණේ නැහැ.

එහෙත්, 2019 සිට ගත වුනු වසර පහක කාලයෙන් වසර හතරකදීම රටේ ආර්ථිකය හැකිළුනා. ඔය අතර, 2021දී යම් වර්ධනයක් සිදු වුනත්, එම වර්ධනය පෙර (2020) වසරේදී වසංගතය හමුවේ ආර්ථිකය 4.6%කින් හැකිලීම ඉක්මවා ගිය වර්ධනයක් නෙමෙයි. ඉන් පසුව, 2022දී ආර්ථිකය පෙර කිසිදු වසරක සිදු නොවූ අයුරින්, 7.3%කින් විශාල ලෙස හැකිළුනා. 2020දී වසංගතයේ බලපෑම තිබුණත්, 2022දී ආර්ථිකය මේ විදිහට විශාල ලෙස හැකිළුනේ බාහිර හෝ අභ්‍යන්තර කම්පනයක් නිසා නෙමෙයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය නැති වූ නිසා. වසංගතයට පෙරම රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය නැති වෙලයි තිබුණේ.

පසු ගිය 2024 සහ 2025 දෙවසර තුළ රටේ ආර්ථිකය 5.0% බැගින් වන වේගයකින් වර්ධනය වී ඇතත්, එමගින් 2019-2023 හැකිළීම ආවරණය වන්නේ නැහැ. ඒ නිසා, දැනටද රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ 2018 පැවති මට්ටමට වඩා 0.8%කින් අඩු මට්ටමකයි. 2018 සිට වසර අටකට පසුව රටේ ආර්ථිකය යම් තරමකින් හෝ ඇත්තටම වර්ධනය විය හැක්කේ 2026 වසරේදීයි. ඒ කියන්නේ, තවමත් රටේ ආර්ථික ක්‍රියාකාරකම් සිදු වන්නේ ධාරිතා මට්ටමට පහළින්.

ඉහත කතා කළේ රටේ මූර්ත ආර්ථික වර්ධනය හෙවත් සැබෑ ආර්ථික වර්ධනය ගැනයි. මූර්ත ආර්ථික වර්ධනයක් නැතත්, උද්ධමනය නිසා නාමිකව ආර්ථිකය වර්ධනය වී තිබෙනවා. ඒ නිසා, නාමිකව රටේ ආදායම්ද ඉහළ ගොස් තිබෙනවා. 2018දී රටේ ආදායම රුපියල් 100ක් සේ සැලකුවහොත්, 2025දී එම ආදායම රුපියල් 213.33ක්. නමුත් එම මුදල වැය කර 2025දී මිල දී ගෙන පරිභෝජනය කළ හැක්කේ 2018දී මිල දී ගත හැකිව තිබුණු භාණ්ඩ හා සේවා ප්‍රමාණයෙන් 99.2%ක් පමණයි. ඒ නිසා, කවුරු හෝ කෙනෙක් 2018 වැනි වසරක් එක්ක සංසන්දනය කරලා පසුගිය දෙවසරක කාලය තුළ වූ ආර්ථික වර්ධනය තමන්ට දැනෙන්නේ නැහැ කියනවානම්, ඒ කියන දෙයෙහි වැරැද්දක් නැහැ,

උද්ධමනය නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. එහිදී නාමිකව දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ යනවා. ඒ වගේම, රටේ ආදායම්ද නාමිකව ඉහළ යනවා. නමුත් ඒ හා සමානව හෝ ඊටත් වඩා වැඩියෙන් වියදම් ඉහළ ගියහොත් පරිභෝජනය අනුපාතිකව වැඩි වෙන්නේ නැහැ. 2018-2025 කාලය සමස්තයක් ලෙස සැලකුවොත් වෙලා තියෙන්නේ ඔය වැඩේ. 

මූර්ත ආර්ථික වර්ධනය යනු උද්ධමනයේ බලපෑම ඉවත් කිරීමෙන් පසු රටේ නිෂ්පාදනයෙහි සැබෑවටම සිදු වන වර්ධනයයි. පරිභෝජනය ඉහළ යන්නේ මූර්ත ආර්ථික වර්ධනය නිසා. ජීවන තත්ත්වය ඉහළ යන්නේ ආර්ථික වර්ධනය නිසා. උද්ධමනය නිසා වෙන්නේ අතට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ යන එක පමණයි. හැබැයි අතට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ යන නිසා උද්ධමනයෙන් ජීවන තත්ත්වය පහත වැටීමක් වෙන්නෙත් නැහැ. එසේ වෙන්නේ උද්ධමනයක් ඇතිව හෝ නැතිව ආර්ථිකය හැකිළෙන විටයි. සමස්තයක් ලෙස රටේ ආර්ථිකය, ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, මේ වෙද්දී තියෙන්නේ 2018 මට්ටමට වඩා 0.8%ක් පහළින් වුවත්, ඇතැම් අංශ මේ වන විට කඩා වැටීම ඉක්මවා වර්ධනය වී තිබෙනවා. විශේෂයෙන්ම සේවා ආර්ථිකය.

සේවා ආර්ථිකය:

සමස්තයක් ලෙස රටේ ආර්ථිකය හැකිළුණු සෑම වසරකදීම රටේ සේවා ආර්ථිකය හැකිළුනේ නැහැ. සේවා ආර්ථිකය හැකිළුනේ 2020 සහ 2022 වසර දෙකේදී පමණයි. 2020 හැකිළීම ඉක්මවා යමින් 2021දී සේවා ආර්ථිකය වර්ධනය වුනා. 2022 හැකිළීම ආවරණය වෙන්න වසර දෙකක් ගියා. නමුත් 2024 වෙද්දී ඒ හැකිළීම ඉක්මවා උඩට ආවා. 2025දී තවත් උඩට ආවා. 2025 වෙද්දී රටේ සේවා ආර්ථිකය 2018දී පැවති මට්ටමට වඩා 8.1%කින් විශාලයි. ඒ කියන්නේ සේවා අංශ වල, සමස්තයක් ලෙස, උද්ධමනය එපමණකින් ඉක්මවා යන ආදායම් වර්ධනයක් සිදු වී තිබෙනවා. 

සේවා ආර්ථිකය කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 58.5%ක (2025දී) විශාල කොටසක්. සේවා නිෂ්පාදන සිදු කරන ආයතන සහ එම ආයතන වලට සම්බන්ධ පුද්ගලයින් මේ වන විටත් ආර්ථික අර්බුදයේ කඩා වැටීම ඉක්මවා පරිභෝජනය වැඩි කරගෙන ඉවරයි. මෙම වසරේදී සේවා ආර්ථිකය තව දුරටත් ප්‍රසාරණය වෙයි.

සංචාරක කර්මාන්තය:

ලංකාවේ සේවා ආර්ථිකයේ එක් කොටසක් වන සංචාරක කර්මාන්තය ලංකාවට ගොඩක් වැදගත්. නමුත් සංචාරක කර්මාන්තයෙන් රටේ ආර්ථික වර්ධනයට ලැබෙන සෘජු දායකත්වය ඒ තරම්ම විශාල නැහැ. සංචාරක කර්මාන්තය වැදගත් වෙන්නේ විදේශ අංශයේ තුලනය තියා ගන්නයි. වෙනත් විදිහකින් කිවුවොත් රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මේ කර්මාන්තය ගොඩක් වැදගත්. සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම රටේ නිෂ්පාදනය කෙරෙහි බලපාන්නේ හෝටල් සහ ආහාරපාන සේවා සැපයීම් හරහා. 

- 2019 පාස්කු ප්‍රහාර වලින් පසුව හෝටල් සහ ආහාරපාන සේවා සැපයීම් 6.0%කින් අඩු වුනත්, සමස්තයක් ලෙස සේවා ආර්ථිකය වර්ධනය වුනා.

- 2020දී වසංගතය හා රට වැසීම නිසා ඉහත අංශ වල 40.8%ක දැවැන්ත සංකෝචනයක් සිදු වුනත්, රටේ සේවා ආර්ථිකය හැකිළුනේ 1.9%කින් පමණයි.

- 2022දී ඉහත අංශ 27.0%කින් වර්ධනය වෙද්දී සේවා ආර්ථිකය 2.6%කින් හැකිළුනා.

- 2023දී ඉහත අංශ 25.9%කින් වර්ධනය වෙද්දී සේවා ආර්ථිකය වර්ධනය වුනේ 0.6%කින් පමණයි.

- 2024දී ඉහත අංශ 32.4%කින් වර්ධනය වෙද්දී සේවා ආර්ථිකය වර්ධනය වුනේ 2.6%කින් පමණයි.

- 2025දී ඉහත අංශ වල වර්ධනය 12.4%ක් පමණක් වුවත් සේවා ආර්ථිකය 3.3%කින් වර්ධනය වුනා. 

මේ අනුව පෙනෙන පරිදි, සංචාරක කර්මාන්තයේ සිදු වන වර්ධනයන් වගේම පසුබෑම් වලින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට වගේම සමස්තයක් ලෙස සේවා ආර්ථිකයට වුවද විශාල බලපෑමක් වන්නේ නැහැ. ඒ නිසා, කවර ආකාරයකින් හෝ, එහි බලපෑම විශාල වශයෙන් දැනෙන, විදේශ අංශය කළමනාකරණය කරගත හැකිනම්, සංචාරක කර්මාන්තයේ සිදු වන කඩා වැටීමක් හමුවේ වුවද, ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු හොඳ මට්ටමක පවත්වා ගන්න පුළුවන්.


කෘෂිකාර්මික ආර්ථිකය:

රටේ ආහාර සුරක්ෂිතතාවය, රැකියා නියුක්තිය වැනි හේතු නිසා වැදගත් වුනත්, කෘෂිකාර්මික අංශයෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය 7.1%ක් පමණයි. ඒ නිසා, මෙම කොටසේ සිදු වන විචලනයන් රටේ ආර්ථික වර්ධන වේගය කෙරෙහි කරන්නේ සීමිත බලපෑමක්.

සේවා ආර්ථිකය වගේම, 2018 වර්ෂයෙන් පසුව, කෘෂිකාර්මික ආර්ථිකය හැකිළුනේත් 2020 සහ 2022 දෙවසර තුළදී පමණයි. එයින් 2020 හැකිළීම 0.9%ක සුළු හැකිලීමක්. වසංගත කාලයේ සිදු වූ ඒ හැකිලීම 2021 වෙද්දී ආවරණය වුනා. නමුත් ඉන් පසුව 2022දී සිදු වූ 4.1%ක "කාබනික" හැකිලීමෙන් තවමත් ගොඩ යා හැකි වී නැහැ. 2018 වසරට සාපේක්ෂව කෘෂිකාර්මික නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 1.7%ක් පසුපසින්. 2021ට සාපේක්ෂව 2.2%ක් පසුපසින්. 

මේ අඩුව 2026දී හෝ 2027දී ආවරණය කරගන්න පුළුවන් වෙයි. එහෙත් මේ අංශයේ මූර්ත ආදායම් තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට ඇවිත් නැහැ. ආර්ථිකයට ලැබෙන දායකත්වය අඩු වුනත් රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් ඉන්නේ කෘෂිකාර්මික ආර්ථිකය ඇතුළේ.


ඉදි කිරීම් අංශය:

ලංකාවේ ආර්ථික අර්බුදය ඉදි කිරීම් බුබුළ පුපුරා යාමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මෙය ආරම්භ වූයේ 2018 සිටයි. ඉන් පසුව, 2023 දක්වාම ඉදිකිරීම් අංශයේ අඛණ්ඩව සිදු වූ හැකිලීම පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. 2017 මට්ටමට සාපේක්ෂව, 2023 වන විට ඉදි කිරීම් අංශයේ ක්‍රියාකාරකම් 53.6%කින් පහත වැටී තිබුණා. පසුගිය දෙවසර තුළ ඉදි කිරීම් අංශයේ වර්ධනයක් දැකිය හැකි වුවත්, 2025 මට්ටම සැලකුවද, එය 2017 මට්ටමට වඩා 39.1%කින් අඩු මට්ටමක්.

ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තය තවමත් "පැරණි ශ්‍රී විභූතිය" ගැන සිහින මවනවා වෙන්න පුළුවන්. රාජ්‍යමූලික, පරපෝෂිත කර්මාන්තයක් විදිහට කාලයක් පවත්වා ගත් ඉදි කිරීම් අංශයේ "ශ්‍රී විභූතිය" නැවත ගොඩ නගා ගත හැකි එකක් නෙමෙයි. එම කර්මාන්තයට රාජ්‍ය ව්‍යාපෘති වල උදවු නොමැතිව ස්වාධීනව ගොඩ නැගෙන්නට සිදු වෙනවා. රටේ ආර්ථිකය සමස්තයක් ලෙස ගොඩ ගියත් ඉදි කිරීම් කර්මාන්තයට තවත් විශාල කාලයක් යන තුරු පෙර පැවති මට්ටමට යා නොහැකියි. (කර්මාන්තය වෙනුවෙන් රජයට මුදල් වැය කිරීම අසීරු මේ වගේ වෙලාවක තමන්ට දෙමවුපියන්ගෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලැබුණු විශාල මුදලක් තිබෙන කෙනෙකුට අවශ්‍යනම් ලොකු ගෙයක් හදලා කඩා වැටී තිබෙන ඉදි කිරීම් කර්මාන්තයට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්!)


කර්මාන්ත අංශය:

ඉදි කිරීම් අංශයද ඇතුළුව කර්මාන්ත අංශය සමස්තයක් ලෙස ගත් විට 2018-2023 වසර හයෙන් 2021 වසර හැර අනෙක් වසර පහේදීම හැකිලීමක් දැකිය හැකි වුවත්, මේ සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වූයේ ඉදි කිරීම් අංශයේ සිදු වූ හැකිලීමයි. ඉදි කිරීම් අංශය ඉවත් කළ විට, වසංගතය හමුවේ 2020දී සිදු වූ හැකිලීම 2021දී ආවරණය වුනා. ඉන් පසුව, ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 හා 2023 වසර වලදී හැකිලීමක් සිදු වුනා. 

මේ වන විට (2025) ඉදි කිරීම් අංශය හැර කර්මාන්ත අංශයේ නිෂ්පාදිතය පවතින්නේ 2018 මට්ටමට වඩා 0.5%ක් පසුපසින් වන අතර 2021 මට්ටමට වඩා 4.8%ක් පසු පසින්. මේ අනුව, 2026දී හෝ 2027දී මෙම අංශ වල සැබෑ ප්‍රසාරණයක් දකින්නට හැකි විය හැකියි. 


සමස්ත චිත්‍රය:

රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දෙන සේවා අර්ථීකය මේ වන විටද ආර්ථික අර්බුදයට පෙර පැවති ප්‍රමාණය ඉක්මවා ප්‍රසාරණය වී ඇති අතර තව දුරටත් ප්‍රසාරණය වෙමින් තිබෙනවා. එහෙත් කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ තවමත් ආර්ථික අර්බුදයට පෙර පැවති නිෂ්පාදන මට්ටම් වලට පැමිණ නැහැ. කෘෂිකාර්මික නිෂ්පාදිතය මෙන්ම ඉදි කිරීම් කර්මාන්තය හැර අනෙකුත් කර්මාන්ත අංශ වලටද 2026 වසර තුළ හෝ 2027 වසර තුළ ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම ඉක්මවා යා හැකියි. එහෙත් ඉදි කිරීම් අංශයටනම් නැවත පහසුවෙන් පෙර සිටි මට්ටමට පැමිණිය නොහැකියි. එම කර්මාන්තයට රජයේ උදවු නොමැතිව ස්වාධීනව දියුණු වීමට සිදු වෙනවා. 

සේවා අංශයට අඩු හානියක් සිදු වීමට හේතු වූයේ මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් එම අංශය යම් සීමාවක් දක්වා උත්තේජනය කිරීමේ හැකියාවක් පැවතීමයි. එහෙත්, එය සීමාව ඉක්මවා යද්දී විදේශ අංශයේ තුලනය කෙරෙහි බලපෑමක් ඇති වෙනවා. ආර්ථික අර්බුදය හමුවේ ඉදි කිරීම් අංශය පමණක් නොව කෘෂි කාර්මික නිෂ්පාදිතය පවා බිඳ වැටෙන තත්ත්වයක් ඇති වීමට හේතු වූයේ විදේශ අංශයේ තුලනය පවත්වා ගැනීමට නොහැකි වීමයි. ඒ නිසා, රජයට විදේශ අංශයේ තුලනය පවත්වා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තය උත්තේජනය වන මට්ටමක ආයෝජන කිරීමේ හැකියාවක් තවමත් නැහැ. එහෙත් ආර්ථිකයේ හැකිලීමක් සිදු නොවන සහ යම් වර්ධන වේගයක් පවත්වා ගත පරිදි, විදේශ අංශයේ බාහිර කම්පන හමුවේ වුවද, සාර්ව ආර්ථික තුලනය පවත්වා ගැනීමට බැරිකමක් නැහැ. 

මේ සඳහා කළ යුතු අනිවාර්ය සහ වැදගත්ම දෙය විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව සකස් වීමට ඉඩ හැරීමයි. විණිමය අනුපාතය ඉන්ධන ඇතුළු ආනයනික භාණ්ඩ වල මිල ගණන් කෙරෙහිද බලපානවා. ඒ අනුව, ආනයන වියදම් මත පදනම්ව මිල ගණන් හා සේවා ගාස්තු පිරිවැය හා ගැලපීමද අනිවාර්යයෙන්ම කරන්නට සිදු වෙනවා. එය උද්ධමනය කෙරෙහි බලපානවා. උද්ධමනය පාලනය කළ යුතු වුවත්, එය කළ යුත්තේ ඉල්ලුම පාලනය කිරීම මගින් මිස විණිමය අනුපාතය හෝ මිල පාලනය කිරීම මගින් නෙමෙයි. 

Saturday, January 10, 2026

විභව ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ කොහොමද?


නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැන පෙර ලිපියක පැහැදිලි කළා. මේ දෙක අතරින්, රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට ඉවහල් වෙන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමයි. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය ලෙස හඳුන්වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයයි.

රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේනම් පමණයි. ඒ නිසා රටකට වඩා වැදගත් වන්නේ දිගුකාලීනව, සාමාන්‍ය වර්ධන වේගය ඉහළ දමා ගැනීමයි. මෙම දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගය ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, කිසියම් නිශ්චිත වසරක් ගත්තොත්, සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගයට හරියටම සමාන වෙන්නේ නැහැ. එය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහනයක් දිගටම එකම නිශ්චිත වේගයකින් ගමන් කරන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් වැදගත් වන්නේ ගාල්ල දක්වා යන්න කොපමණ කාලයක් ගත වුනාද කියන එකයි. මේ ගමන හැකි ඉක්මණින් යන එක වැදගත් වුනත්, ඒ සඳහා අනුගමනය කළ යුතු හොඳම උපාය මාර්ගය පුලුවන්ම තරම් වේගයෙන් ගමන යන එක නෙමෙයි. 

වංගු වැනි අවදානම් තැන් වලදී වේගය අඩු කරන්න සිදු වෙනවා. ලොකුවට වැස්සොත් වේගය අඩු කරන්න සිදු වෙනවා. ඒ වගේ තැන් වල සහ ඒ වගේ අවස්ථා වල වේගය අඩු කළේ නැත්නම් අනතුරක් වී ගමන වඩා ප්‍රමාද වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාහන තදබදය වැනි හේතු නිසාත් වේගය අඩු කරන්න වෙනවා. ඔය වගේ ප්‍රශ්නයක් නැති තැන් වල සහ අවස්ථා වල වැඩි වේගයකින් වාහනය ධාවනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් ගාල්ලට යන්න ගත වන කාලය තීරණය වන්නේ සාමාන්‍ය වේගය මතයි.

පසුගිය වසර 75ක පමණ කාලය දෙස ආපසු හැරී බැලුවොත්, ලංකාවේ ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4.4%ක පමණ සාමාන්‍ය වේගයකින්. 1977 සිට වසර 50කට ආසන්න කාලය සැලකුවත්, මෙම වේගය 4.6%ක් පමණ. ඇතැම් වසර වල සත්‍ය වර්ධන වේගය මෙම අගයට වඩා වැඩි වුවත්, එවැනි ඉහළ වර්ධන වේගයක් පැවති හැම විටකම මෙන් පසුව එම වර්ධන වේගය අඩු වී තිබෙනවා. ඒ වගේම, වර්ධන වේගය අඩු වූ වකවානු වලින් පසුව නැවත වර්ධන වේගය වැඩි වී තිබෙනවා. අවසාන වශයෙන්, පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ, සත්‍ය වර්ධන වේගය වරින් වර වෙනස් වුවද, එහි සාමාන්‍ය අගය, එනම් විභව වර්ධන වේගය, 4.5%ට ආසන්න මට්ටමක නොවෙනස්ව තිබී ඇති බවයි.

අපට මෙවැනි ගණනයක් වෙනත් රටවල් හා අදාළවද කළ හැකියි. එවිට පෙනී යන්නේ බොහොමයක් ඉහළ ආදායම් රටවල විභව ආර්ථික වර්ධන වේගය 2%-3% අතර මට්ටමක නොවෙනස්ව ඇති බවයි. ලංකාවට ආසන්න ආදායම් මට්ටමක සිටින රටවල වර්ධන වේගය බොහෝ විට 4%-5% වැනි මට්ටමක්. මෙය සාමාන්‍ය තත්ත්වයයි. ඔය අතර යම් කාලයක් වඩා අඩු වේගයකින් හෝ වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇති රටවල්ද තිබුණත් එය පොදුවේ දැකගත හැකි තත්ත්වයක් නෙමෙයි.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ කිසියම් වසරක, කිසියම් රටක සිදු වන භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අපට ශ්‍රමය, ප්‍රාග්ධනය සහ තාක්ෂනය අවශ්‍ය වෙනවා. මේ අතරින්, අද වන විට, නිෂ්පාදිතය වැඩි කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වන්නේ ප්‍රාග්ධනය සහ තාක්ෂනය කියන සාධක දෙකයි. අද වන විට මූලික ශ්‍රමය ඒ තරම්ම වැදගත් සාධකයක් නෙමෙයි. පුහුණු ශ්‍රමයේ කාර්ය භාරය අප‍ට තාක්ෂනය යටතේම සලකා බලන්න පුළුවන්. ඒ නිසා, ප්‍රායෝගිකව විභව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට ඉවහල් කර ගත හැක්කේ ප්‍රාග්ධනය සහ තාක්ෂනය කියන සාධක දෙකයි.

රටක ප්‍රාග්ධන සංචිතය තිරසාර ලෙස වැඩි කර ගැනීමට ඉවහල් වන්නේ ඉතිරි කිරීමේ අනුපාතිකයයි. විදේශ ණය ගැනීම මගින්ද ප්‍රාග්ධන සංචිතය වැඩි කරගත හැකි නමුත් එම ණය ආපසු ගෙවන විට නැවතත් ප්‍රාග්ධන සංචිතය අඩු වෙනවා. ඒ නිසා මේ ක්‍රමයට ප්‍රාග්ධනය වැඩි කරගෙන තාවකාලිකව ආර්ථික වර්ධන වේගය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ වර්ධනය තිරසාර වර්ධනයක් නෙමෙයි. ඒ ක්‍රමයට විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න අමාරුයි.

රටක ඉතිරි කිරීම් අනුපාතය ඉහළ ගියහොත් තිරසාර ලෙස ප්‍රාග්ධන සංචිතයද ඉහළ යනවා. ඒ හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද විශාල වෙනවා. මෙය සිදු වන කාලය තුළ ආර්ථික වර්ධන වේගයද ඉහළ යනවා. නමුත් ආර්ථිකයක් විශාල වන තරමට ආර්ථිකය ඒ මට්ටමේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධන සංචිතයයේ ප්‍රමාණයද ඉහළ යනවා. ඒ නිසා, ඉතිරි කිරීම් අනුපාතය ඉහළ ගියත් ඒ හේතුවෙන් ආර්ථිකය දිගින් දිගටම වර්ධනය වෙන්නේ නැහැ. විදේශ ණය ගැනීමට සාපේක්ෂව මෙහි තිබෙන ප්‍රධාන වෙනස වන්නේ වර්ධන වේගය පසුව අඩු වුනත්, ආර්ථිකය කඩා වැටී ඒ වන විට සිදු වූ වර්ධනය අහිමි නොවීමයි. නමුත් විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය ප්‍රසාරණය කළ විට වර්ධන වේගය අඩු වීමට අමතරව, ආර්ථිකය කඩා වැටී ඒ වන විට සිදු වූ වර්ධනයේ ප්‍රතිලාභ වුවද අහිමි වෙන්න පුළුවන්. 

රටක ආර්ථිකයේ ප්‍රමාණය තිරසාර ලෙස දිගින් දිගටම ප්‍රසාරණය වන්නේ ඵලදායීත්වය ඉහළ යාම නිසායි. මෙය බොහෝ දුරට සිදු වන්නේ තාක්ෂනය වැඩි දියුණු වීම නිසා. 

ඇමරිකාව වැනි ඉහළ ආදායම් රටක තාක්ෂනය වැඩි දියුණු වී ඵලදායීත්වය ඉහළ යාම සඳහා නවෝත්පාදන අවශ්‍ය වෙනවා. දිගින් දිගටම නවෝත්පාදන බිහි කිරීම පහසු කාර්යයක් නෙමෙයි. එහෙත්, ඇමරිකාවේ ආර්ථිකය දිගුකාලීනව 3%ක පමණ වේගයකින් වර්ධනය වෙනවා. මෙයින් පෙනී යන්නේ ඇමරිකන් සමාජය තුළ නවෝත්පාදන බිහි වීම සඳහා උපකාරී වන තත්ත්වයන් දිගින් දිගටම පැවතී ඇති ආකාරයයි. 

වසර 75කට පෙරත් (1950දී) ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම 2024 ඩොලර් වලින් 20,327ක්. ලංකාවේ 2024 ඒක පුද්ගල ආදායම වුවද ඩොලර් 4,516ක් පමණයි. ඒ කියන්නේ වසර 75කට පෙරත්, ඇමරිකාවේ ඵලදායීතා මට්ටම ලංකාවේ දැන් මට්ටම මෙන් හතර ගුණයකටත් වඩා වැඩියි. වෙනත් අඩු හා මැදි ආදායම් රටවල් සැලකුවත්, ඒ රටවල් තවමත් ඉන්නේ ඉහළ ආදායම් රටවල් සියවසකටත් කලින් හිටපු මට්ටමටත් වඩා පහළින්. 

මේ වගේ විශාල ඵලදායීතා පරතරයක් පැහැදිලිව පෙනෙන්න තියෙද්දී, ලංකාව වැනි රටකට සිය නිෂ්පාදිතය සහ ආදායම් මට්ටම වැඩි කරගැනීම සඳහා ඇමරිකාව මෙන් නවෝත්පාදන බිහි කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම, ප්‍රායෝගිකව අද ලෝකයට අවශ්‍ය නවෝත්පාදන ලංකාව වැනි රටක සිට බිහි කරන එක පහසු කටයුත්තකුත් නෙමෙයි. ඇමරිකාව වැනි රටක් අද ඉන්න තැනට ආවේ කොහොමද කියන එක දිහා බලාගෙන අවශ්‍ය දේවල් කිරීමෙන් පමණක් ලංකාවේ ආර්ථිකය දැන් තිබෙන මට්ටම මෙන් විසි ගුණයක් පමණ දක්වා විශාල කර ගන්න පුළුවන්. 

ඉහත කී විභවය තිබුණත්, ලංකාව වැනි රටකට වසරක් හෝ වසර කිහිපයක් ඇතුළත රටේ ඵලදායීතාව ඇමරිකාවේ මට්ටමට වැඩි කරගන්න බැහැ. දැනට වෙනත් රටක තිබෙන තාක්ෂනය ලබා ගන්න වුනත් රටකට සැලකිය යුතු කාලයක් යනවා. 

ඇමරිකාව වැනි රටක විභව ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ නවෝත්පාදන බිහි කර ගැනීම මගින් ඵලදායීත්වය ඉහළ දමා ගන්නා වේගය. ලංකාව වැනි රටක විභව ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ඇමරිකාව වැනි රටක දැනටම දියුණු කර තිබෙන තාක්ෂනය සහ ඵලදායීත්වය වැඩි කරන ක්‍රමවේද උකහා ගන්නා වේගය. දැනටම කවුරු හෝ කළ දෙයක් ඒ විදිහටම කරන එක ඵලදායීත්වය තවත් වැඩි කරගත හැකි ක්‍රම අලුතෙන්ම හොයා ගන්න එක තරම් අමාරු නැහැ. චැට්ජීපීටී වගේ මෙවලමක් හදන්න විශාල ආයෝජනයක් කරන්න වෙනවා. නමුත් එවැනි මෙවලමක් කවුරු හෝ විසින් හැදුවට පස්සේ එය ප්‍රයෝජනයට ගන්න එක පහසුවෙන් කළ හැකි දෙයක්. 

ඉහත හේතුව නිසා, අඩු ආදායම් රටකට වැඩි වේගයකින් වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ආදායම ක්‍රමයෙන් ඉහළ යද්දී ඒ හැකියාවත් ක්‍රමයෙන් අඩු වෙනවා. ඊට හේතුව ආදායම ක්‍රමයෙන් ඉහළ යද්දී වෙනත් අයගෙන් ගත හැකි දේවල් අවසන් වෙන්න පටන් ගැනීමයි. මේ ප්‍රශ්නය ඇති වන්නේ ජපානය, සිංගප්පූරුව වගේ මට්ටමකට පැමිණියාට පසුවයි. ලංකාව වගේ රටකට තවත් විශාල කාලයක් මේ ක්‍රමයට වර්ධනය වෙන්න පුළුවන්.

ලංකාව වගේ රටක් හා අදාළව විභව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම කියා කියන්නේ දැනටම වෙනත් රටවල් විසින් අනුගමනය කරන සාර්ථක ක්‍රම උකහා ගන්නා වේගය වැඩි කර ගැනීම. ලංකාව වැනි රටකට අවශ්‍ය ව්‍යවසායකත්වය කියා කියන්නෙත් මේක. මේ ක්‍රමයට විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නම්, වෙනත් අයගෙන් ගත හැකි දේවල් ගන්න තිබෙන බාධාවන් හඳුනාගෙන ඒවා ඉවත් කරගන්න වෙනවා.

මේ කාර්යයේදී වුවත්, ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය සීමාකාරී සාධක වෙනවා. ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැත්නම් දියුණු රටවල් කරන සමහර දේවල් කරන්න බැහැ. ප්‍රාග්ධනය තිබුණත් අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැත්නම් දියුණු ක්‍රමවේද උකහා ගන්න බැහැ. 

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහනයකට එක දිගටම එකම නිශ්චිත වේගයකින් ගමන් කරන්න බැහැ. වේගය අවශ්‍ය පරිදි අඩු වැඩි කරන්න වෙනවා. නමුත් බොරළු පාරක් කාපට් පාරක් වෙද්දී මේ ගමනට ගත වෙන සාමාන්‍ය කාලය අඩු වෙනවා.  කාපට් පාර අධිවේගී මාර්ගයක් වෙද්දී මේ ගමනට ගත වෙන සාමාන්‍ය කාලය තවත් අඩු වෙනවා. ඔය බැව් දැනගෙන හිටියත්, පාර කාපට් කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය නැත්නම්, කරන්න දෙයක් නැහැ. ප්‍රාග්ධනය තිබුණත්, අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැත්නම් සමහර දේවල් කරන්න බැහැ. මැදපෙරදිග රටවල් බොහොමකට විදෙස් ශ්‍රමිකයින් අවශ්‍ය වී තිබෙන්නේ මේ නිසා.

ඔය සීමාවන් නිසා රටකට වෙනත් රටවල් වලින් ගත හැකි දේ අරගෙන වුවද ඵලදායීතාවය වැඩි කරගත හැකි වන්නේ ප්‍රාග්ධනය සහ මානව ප්‍රාග්ධනයද ක්‍රමයෙන් වැඩි කරගන්නා අතරයි. ලංකාව හා අදාළව මානව ප්‍රාග්ධනය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවට අවශ්‍ය ආකාරයේ දියුණුවක් ලබා ගන්න නොබෙල් තෑග්ග ගන්න පුළුවන් මට්ටමේ අය අවශ්‍ය වන්නේ නැහැ. විදේශගත වන ලංකාවේ වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ ඵලදායීතාවය ක්ෂණිකව ඉහළ යන්නේ අවශ්‍ය මානව ප්‍රාග්ධනය ඔවුන් සතුව තිබෙන නිසා. ලංකාවේ සීමාකාරී සාධකය භෞතික ප්‍රාග්ධනය.

භෞතික ප්‍රාග්ධනය සීමාකාරී සාධකයක් වන්නේ ලංකාවට පමණක් නෙමෙයි. මෙය අඩු ආදායම් රටවලට පොදු තත්ත්වයක්. ප්‍රශ්නයට විසඳුමක් ලෙස කාලයක් තිස්සේ ලංකාව ඇතුළු බොහෝ රටවල් විසින් අනුගමනය කර තිබෙන ක්‍රමයක් වන්නේ විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම. නමුත් ඒ ක්‍රමයට ගොඩ ගිය රටවල් දකින්න නැහැ. අඩු ආදායම් මට්ටමක සිට වේගයෙන් ඉහළට ආ රටවල් බොහොමයක් එසේ කර තිබෙන්නේ ඉතිරි කිරීම් අනුපාතය කාලයක් තිස්සේ එක දිගටම ඉහළ මට්ටමක තබා ගැනීම මගින්. 

ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගැනීම මගින් ලංකාව වැනි රටකට යම් කිසි කාලයක් වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව වගේ රටවල් බොහොමයක් ආදායම් මට්ටම වෙනම තලයකට උස්සා ගත්තේ ඔය ක්‍රමයට. හදිසියේ තෙල් නිධියක් හමු වීම වැනි හේතුවක් නිසාත් ප්‍රාග්ධන සංචිතය ඉහළ ගිහින් රටක තත්ත්වය ඉහළට එසැවෙන්න පුළුවන්. නමුත් ඒවා වාසනාවට වෙන දේවල් මිසක් සැලසුම් කර කළ හැකි දේවල් නෙමෙයි.

ඉතිරි කිරීම් අනුපාතය ඉහළ දමා ගැනීම සඳහා රජයට කළ හැකි කාර්ය භාරයක් තිබෙනවා. නමුත් මෙය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ රටේ ජනතාවගේ චර්යාවන් මතයි. තනි තනි පුද්ගලයින් විසින් තමන්ගේ පරිභෝජනය සීමා කර ඉතිරි කිරීම් වැඩි කරද්දී සමස්තයක් ලෙස රටේ ඉතිරි කිරීම්ද ඉහළ යනවා. මේ ක්‍රමයට ආර්ථිකයේ විභවය දිගින් දිගටම වැඩි වෙන්නේ නැතත්, වසර 20ක පමණ කාලයක් වේගවත් වර්ධනයක් පවත්වා ගැනීම මගින් වෙනම මට්මකට යන්න පුළුවන්.

මීට අමතරව, විභව වර්ධන වේගය වැඩි කරගැනීම සඳහා කළ හැකි වෙනත් දේවල්ද තිබෙනවා. ඒ දියුණු රටවල් දියුණු වීමට හේතු වූ දේ අනුගමනය කිරීමට බාධාවක් වන මානසික හා සංස්කෘතික සීමා වලින් මිදීම. එම බාධා වැඩි රටවල් වල ආදායම් මට්ටම අඩු වුනත්, දියුණු රටවල් එක්ක පරතරය වඩා වැඩි වුවත්, විභව වර්ධන වේගය සීමා වෙලයි තියෙන්නේ. මේ බාධාවන් ඉවත් කරගත් සමාජ කෙටි කාලයක් ඇතුලත වේගයෙන් දියුණු වී තිබෙනවා. ඒ එක්කම සමාජයේ වේගවත් සංස්කෘතික පරිවර්තනයකුත් වෙනවා. ඒ සංස්කෘතික පරිවර්තනය ජපානයේ, සිංගප්පූරුවේ, දකුණු කොරියාවේ සිට තායිලන්තය දක්වා දකින්න පුළුවන්.

මෙවැනි සංස්කෘතික පරිවර්තනයක් සමාජය වේගයෙන් බටහිරකරණය වීමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. අපි කැමති වුනත් අකැමැති වුනත්, නූතන සංවර්ධනයේ තිඹිරිගෙය බටහිර සංස්කෘතිය කියන එක අපට අමතක කරන්න බැහැ.

Sunday, January 4, 2026

ආර්ථික වර්ධනය කියන්නේ කුමක්ද?


මෙය කියවන අය අතර සෑහෙන කාලයක සිට අපව කියවන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. නමුත් වැඩි පිරිසක් පසුගිය ආර්ථික අර්බුද සමයෙන් පසුව එකතු වූ අය. විශේෂයෙන්ම වත්පොත හරහා අපව කියවන වැඩි දෙනෙකු එවැනි අය. ඒ නිසා, ඒ අය වෙනුවෙන්, සමහර මූලික සංකල්ප නැවත පැහැදිලි කළ යුතුව තිබෙනවා.

මෙම සටහනේ අරමුණ නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන සාර්ව ආර්ථික විද්‍යාවේ මූලික විචල්‍ය දෙක ගැන නැවතත් මූලික මට්ටමේ හඳුන්වා දීමක් කරන එක. අපගේ පාඨකයින් බොහෝ දෙනෙකුට මේ මේ මට්ටමේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවනු ඇති වුනත්, මෙවැනි මූලික දේවල් ගැනවත් අවබෝධයක් නොමැති අයත් අපේ පාඨකයින් අතර සිටින නිසා ඒ අය වෙනුවෙන් මෙවැනි සටහනක් ලියන්න වෙනවා. 

මේ වන විට මෙවැනි පැහැදිලි කිරීමක් නැවත කිරීමේ දේශපාලනික අවශ්‍යතාවයක්ද මෝදු වෙමින් තිබෙනවා. 

වසර කිහිපයකට පෙර ලංකාවේ ආර්ථිකයේ සිදු වූ විශාල කඩා වැටීම තවමත් බොහෝ දෙනෙකුට අමතක වී නැහැ. ඒ වගේම, එවැනි කඩා වැටීමක් සිදු වූ බව තවමත් බොහෝ දෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බැහැ. ආර්ථික අර්බුදයේ කම්පනය තවමත් තිබෙනවා. නමුත් කාලයත් එක්ක මේ සාමූහික මතකයේ කම්පනයත් ටිකෙන් ටික ක්ෂය වෙලා යයි. අවුරුදු 26ක සිවිල් යුද්ධය දැන් ගොඩක් අයට මතක නැහැ වගේ.

රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඒ රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගත නොහැකි තත්ත්වයක් ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. බාහිර කම්පනයක් නිසා මෙවැන්නක් සිදු විය හැකි වුවත්, එයින් අදහස් වන්නේද බාහිර කම්පනයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් රටේ තිබී නැති බවයි. දශක ගණනාවක් තිස්සේ ලංකාවේ තිබුණේ එවැනි ආර්ථිකයක්. 

අඩු වැඩි වශයෙන් ඕනෑම රටක ආර්ථිකයකට බාහිර කම්පන දරාගත හැකි සීමාවක් තිබෙනවා. ස්ථායී ආර්ථිකයක් කියා කිව හැක්කේ මේ දරා ගැනීමේ හැකියාව ගොඩක් ඉහළ ආර්ථිකයකටයි. පසුගිය ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව පැවතුණේ ඉතාම පහළ මට්ටමකයි.

සාර්ව ආර්ථික ස්ථායීතාවය කියන එක සාමාන්‍ය පුද්ගලයෙකුට ඇඟට දැනෙන එකක් නෙමෙයි. එහි වැදගත්කම සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන්නේ ආර්ථිකයක් අස්ථායී වී කඩා වැටීමකට ලක් වූ විට පමණයි. සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන්නේ තමන්ගේ ජීවන තත්ත්වය උසස් වීම හෝ පහත වැටීමයි. ජීවන තත්ත්වය උසස් වෙන්නේ ආර්ථික වර්ධනයත් එක්කයි. ඒ නිසා ආර්ථික වර්ධනය පිළිබඳව ගොඩක් අය සංවේදී වුවත්, ආර්ථික ස්ථායීතාවය පිළිබඳව ගොඩක් අය සංවේදී නැහැ.

රටක ආර්ථික ප්‍රතිපත්තිය අවසාන වශයෙන් තීරණය වෙන්නේ දේශපාලනය හරහා. රටේ ගොඩක් අය ආර්ථික වර්ධනය පිළිබඳව සංවේදී වන තරමට ආර්ථික ස්ථායීතාවය පිළිබඳව සංවේදී නැති තත්ත්වයක් තුළ, ආර්ථික වර්ධනයට ලැබෙන ප්‍රතිපත්ති ප්‍රමුඛතාවය ආර්ථික ස්ථායීතාවයට ලැබෙන්නේ නැහැ. කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ මෙයයි.

නමුත් පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව මේ තත්ත්වයේ වෙනසක් සිදු වුනා. ආර්ථික ස්ථායීතාවයේ වැදගත්කම රටේ බොහෝ දෙනෙකුට ක්ෂණිකව අවබෝධ වුනා. ඊට හේතුව ඊට පෙර වියුක්තව සිතා තේරුම් ගත යුතුව තිබුණු දෙයක් ප්‍රායෝගික අත්දැකීම් විදිහට අත්විඳින්න ලැබීමයි. මේ තත්ත්වය තුළ, රටේ ආර්ථික ප්‍රතිපත්තියේද වෙනසක් සිදු වුනා. ඒ ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම සඳහා කලින් නොලැබුණු මහජන සහයෝගයක් ලැබුණා. අවශ්‍යනම් මහජන සහයෝගයක් ලැබුණා නොකියා මහජන විරෝධය පාලනය වීමක් සිදු වුනා කියන්න වුනත් පුළුවන්. ආණ්ඩුව වෙනස් වීමෙන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් සිදු වුනේ නැහැ.

එහෙත් අවසාන වශයෙන් රටක ජනතාවට ඇඟට දැනෙන්නේ වර්ධනයේ ප්‍රතිලාභ මිසක් ස්ථායීතාවයේ ප්‍රතිලාභ නොවන නිසා, ස්ථායීතාවය පිළිබඳව පැවතුනු මහජන උනන්දුව ක්‍රමයෙන් ක්ෂය වී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ආර්ථික ප්‍රතිපත්ති හරහා අවසාන වශයෙන් ඉස්මතු වෙන්නේ මහජන මතය නිසා මෙවැනි වෙනසක දේශපාලනික බලපෑමක් තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වැනි සාර්ව ආර්ථික විචල්‍ය ගැන දැනුවත්ව සිටීම දේශපාලනික අවශ්‍යතාවයක්ද වන්නේ ඒ නිසා. 

ආර්ථික වර්ධනය කියන්නේ කුමක්ද?

මෙය ඉතාම සරල ප්‍රශ්නයක් සේ පෙනෙන්න පුළුවන්. ආර්ථික වර්ධනය ගැන කතා නොකරන කෙනෙක් නැති තරම්. නමුත් ඒ ඕනෑම කෙනෙකුට ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන්ද?

ආර්ථික වර්ධනය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම ඇසුරෙනුයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් වසරක කිසියම් රටක නිපදවනු ලැබූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒ අනුව, ආර්ථික වර්ධනය කියා කියන්නේ වසරක් ඇතුළත එසේ නිපදවනු ලැබූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව වැඩි වීම. අවශ්‍යනම් වසරක කාලයක් වෙනුවට කාර්තුවක (මාස තුනක) වැනි කාලයක් සලකා බලන්න පුළුවන්. රටම වෙනුවට රටේ එක් පළාතක් සලකා බලන්න පුළුවන්. නමුත් මූලික අදහස එකයි. ඒ නිසා, අපි රටක් සහ වසරක කාලයක් සලකමු. වඩාත්ම ප්‍රචලිතව ආර්ථික වර්ධනය ගැන කතා කෙරෙන්නේ රටක් හා වසරක කාලයක් අරගෙනයි.

මේ සංකල්පීය අර්ථදැක්වීම අනුව, දළ දේශීය නිෂ්පාදිතයට මුදල් වල සම්බන්ධයක් නැහැ. එහි මූලික පදනම රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යද්දී ඒ රටේ ජනතාවගේ පරිභෝජනය කිරීමේ හැකියාවද ඉහළ යනවා. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය සමස්තයක් ලෙස ඉහළ යාමක් ලෙස සලකන්න පුළුවන්. 

පසුගිය අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 10ක් සහ හාල් කිලෝ 10ක් පමණක්නම්, මේ අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 11ක් සහ හාල් කිලෝ 11ක් වෙලානම්, ආර්ථික වර්ධනය 10%ක් ලෙස සලකන්න පුළුවන්. නමුත් රටේ නිපදවන සෑම භාණ්ඩයක් හා සේවාවක්ම ඔය විදිහට එකම අනුපාතයකින් වැඩි වෙන්නේ (හෝ අඩු වෙන්නේ නැහැ). මේ අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 11ක් සහ හාල් කිලෝ 12ක් වෙලානම්, ආර්ථික වර්ධනය සේ සලකන්නේ පොල් වල 10%ද නැත්නම් හාල් වල 20%ද?

රටක නිපදවන්නේ හාල් හා පොල් පමණක් නෙමෙයි. තවත් ගොඩක් දේවල් නිපදවනවා. ඒ එක් එක් භාණ්ඩයේ හෝ සේවාවේ නිෂ්පාදිතය වසරක් තුළ ඉහළ හෝ පහළ යන්නේ එකම අනුපාතයකින් නෙමෙයි. ඒ නිසා, ආර්ථික වර්ධනය මැනීම සඳහා අප‍ට මේ වෙනස්වීම් වල සාමාන්‍ය අගයක් ගන්න වෙනවා. නමුත් මේ සාමාන්‍ය අගය විදිහට සරල සාමාන්‍යය ගන්න එකේත් ප්‍රශ්නයක් තිබෙනවා.

උදාහරණයක් විදිහට අපි පොල් වල 10% වර්ධනයේ සහ හාල් වල 20% වර්ධනයේ සාමාන්‍ය අගය වන 15% රටේ ආර්ථික වර්ධන වේගය ලෙස සලකනවා කියා හිතමු. මෙහිදී අපට පොල් ගෙඩියකින් රටේ නිෂ්පාදිතය වැඩිවීම සහ හාල් කිලෝවකින් රටේ නිෂ්පාදිතය වැඩි වීම කියන්නේ දෙකක් නොව එකක් ලෙස සලකන්න වෙනවා. ඊට හේතුව මේ ක්‍රමය අනුව පොල් ගෙඩි තුනකින් පමණක් නිෂ්පාදිතය වැඩි වුනත්, හාල් කිලෝ තුනකින් පමණක් නිෂ්පාදිතය වැඩි වුනත්, පොල් ගෙඩියකින් හා හාල් කිලෝ දෙකකින් නිෂ්පාදිතය වැඩි වුනත් ආර්ථික වර්ධනය සමාන වීමයි. නමුත් එය නිවැරදිද? 

හාල්, පොල් අතරට මෝටර් රථයක් වගේ දෙයක් එකතු කළ විට ප්‍රශ්නය වඩා පැහැදිලිව පේනවා. වැඩිපුර මෝටර් රථයක් නිපදවනවා කියන එක සහ වැඩිපුර පොල් ගෙඩියක් නිපදවනවා කියන්නේ එකක් නෙමෙයි දෙකක්. පොල් ගෙඩියකට වඩා මෝටර් රථයක් වටිනවා කියන එක කාට වුනත් තේරෙනවා. ඒ නිසා, වෙනස් භාණ්ඩ හා සේවාවන් අප‍ට සරල ලෙස එකතු කරන්න බැහැ. ඒවා එකතු කිරීම සඳහා අපට භාණ්ඩ හා සේවා එකිනෙකට සමාන වෙන්නේ කොහොමද කියා හිතන්න වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරද්දී මුදල් ඒකකයක් යොදා ගන්නේ මේ ප්‍රශ්නය විසඳන්නයි. 

මුදල් ඒකකයක් යොදා ගෙන අප‍ට ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් එහි වටිනාකම අනුව මුදල් වලින් මනින්න පුළුවන්. එවිට මේ වටිනාකම් එකතු කරන්න පුළුවන්. ඒ නිසා, හාල්, පොල් හා මෝටර් රථ වල ඒකකයක් එක සමාන සේ සැලකීමක් සිදු වෙන්නේ නැහැ. වටිනාකම වැඩි නිෂ්පාදිතයට වැඩි බරක් වැටෙනවා. 

දැන් අපි වඩා වැදගත් කොටස තේරුම් ගැනීම සඳහා ඇමරිකාවේ 2017 සහ 2024 දළ දේශීය නිෂ්පාදිත අගයන් දෙස බලමු.

2017 - ඩොලර් බිලියන 19,612

2024 - ඩොලර් බිලියන 29,298

වර්ධනය (වසර හතක් ඇතුළත) - 49.4%


මේ ගණන් අපට රුපියල් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. 

2017 - රුපියල් ට්‍රිලියන 2,990 (ඩොලරය = රුපියල් 152.46)

2024 - රුපියල් ට්‍රිලියන 8,852 (ඩොලරය = රුපියල් 302.12)

වර්ධනය (වසර හතක් ඇතුළත) - 96.0%

රුපියල් වලින් බැලුවොත් ඇමරිකාවේ ආර්ථිකය වසර හතක් ඇතුළත 96.0%කින් වර්ධනය වෙලා තියෙනවා. නමුත් ඩොලර් වලින් බැලුවොත්, ඇමරිකාවේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ 49.4%කින් පමණයි. එහෙමනම්, ඔය දෙකෙන් හරි එක කොයි එකද?

රුපියල් වලින් බලද්දී පෙනෙන 96.0% වැරදියි කියලා ගොඩක් අය කියයි. ඒකට හේතුව ඔය කාලය ඇතුළත රුපියල බාල්දු වීම කියලා සමහර විට පැහැදිලි කිරීමකුත් කරයි. නමුත් එහෙම පැහැදිලි කිරීමක් කළ හැකි ඇතැම් අය 49.4%ක වර්ධනය වැරදියි කියා නොකියන්න ඉඩ තිබෙනවා. 

ඇත්තටම කිවුවොත්, ඔය අගයයන් දෙකෙන් එකක් අනෙක් එකට වඩා වැඩියෙන් හරි හෝ වැරදි නැහැ. එක්කෝ දෙකම හරි. නැත්නම් දෙකම වැරදියි. 

ඉහත වසර හතක කාලය ඇතුළත නාමික රුපියල් වටිනාකම අනුව, ඇමරිකාවේ ආර්ථිකය 96.0%කින් වර්ධනය වී තිබෙනවා. ඒ වගේම, නාමික ඩොලර් වටිනාකම අනුව, ඇමරිකාවේ ආර්ථිකය 49.4%කින් වර්ධනය වී තිබෙනවා. ඒ නිසා, ඔය දෙකම හරි. නමුත් අපට මනින්න අවශ්‍ය වන්නේ ඔය අවුරුදු හතක කාලය ඇතුළත ඇමරිකාවේ නිෂ්පාදිතයේ ඇත්තටම සිදු වූ වර්ධනයනම්, ඔය ගණන් දෙකම වැරදියි. 

නාමික කියන එකෙන් අදහස් වන්නේ "නමට" සිදු වූ වර්ධනයක් කියන එකයි. එය සැබෑ වර්ධනයක් නෙමෙයි. 

රටක භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නිසාත්, ඒ භාණ්ඩ හා සේවා වල නිෂ්පාදිතය එකතු කළ හැකි තනි ඒකකයක් අවශ්‍ය නිසාත්, අපි ඔය වැඩේට කිසියම් මුදල් ඒකකයක් යොදා ගන්නවා. යොදා ගන්නා මුදල් ඒකකය රුපියල් වුනත්, ඩොලර් වුනත් අවශ්‍ය වැඩේ කෙරෙනවා. ඒ නිසා, ඔය ක්‍රමයට කිසියම් අවුරුද්දක රටක දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම, එහෙම කරන එකේ වැරැද්දකුත් නැහැ. නමුත් ඔය විදිහට වෙනස් වසර දෙකක දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරලා සංසන්දනය කරද්දී අමතර ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ ප්‍රශ්නය තමයි අදාළ වසර දෙක ඇතුළත භාණ්ඩ හා සේවා වල වටිනාකම් වෙනස් වීම.

භාණ්ඩ හා සේවා වල වටිනාකම් වසරෙන් වසරට වෙනස් වෙනවා. ඒ නිසා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ කිසිම වෙනසක් සිදු නොවුනත්, මුදල් වර්ගයක් මගින් මනින එම භාණ්ඩ හා සේවා වල අගය වෙනස් වෙනවා. ඒ වගේම, කොයි තරම් වෙනසක් වෙනවද කියන එක මේ සඳහා යොදා ගන්නා මුදල් ඒකකය අනුවත් වෙනස් වෙනවා. "නාමික ආර්ථික වර්ධනයක්" එහෙමත් නැත්නම් නිකම් නමට වර්ධනයක් කියා කියන්නේ ඒ නිසා.

නාමික ආර්ථික වර්ධනයක් තිබූ පමණින් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ නැහැ. ඒ සඳහා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යා යුතුයි. සැබෑ වර්ධනයක් එහෙමත් නැත්නම් මූර්ත වර්ධනයක් කියා කියන්නේ එවැන්නකටයි. මුදල් වලින් මනින වටිනාකම් වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි නාමික ආර්ථික වර්ධනයක් සැබෑ ආර්ථික වර්ධනයක් නෙමෙයි. එහෙමනම්, මූර්ත ආර්ථික වර්ධනය මැන ගත හැක්කේ කොහොමද?

භාණ්ඩ හා සේවා වල නිෂ්පාදිත එකතු කළ යුතු නිසා අපට එම නිෂ්පාදිත මුදල් වටිනාකම් වලට පරිවර්තනය නොකර මේ වැඩේ කරන්න විදිහක් නැහැ. එසේ වුවත්, මූර්ත ආර්ථික වර්ධනය මැනීම සඳහා අපට භාණ්ඩ හා සේවා වල වටිනාකම් වෙනස් වීම් නොසලකා හැර, නියතව තියාගෙන, ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඉහත උදාහරණය වෙත ගියොත්, අපට ඇමරිකාව තුළ 2024දී නිපදවූ භාණ්ඩ හා සේවා වල වටිනාකම 2017දී පැවති මිල ගණන් යොදා ගෙන තක්සේරු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම්, 2017දී නිපදවූ භාණ්ඩ හා සේවා වල වටිනාකම 2024දී පැවති මිල ගණන් යොදා ගෙන තක්සේරු කරන්න පුළුවන්. නිෂ්පාදිතයේ ඇත්තටම සිදු වූ වැඩි වීම මැනිය හැක්කේ ඔය විදිහට එකම වටිනාකම් යොදා ගෙන තක්සේරුවක් කළහොත් පමණයි. 

අපි 2017දී පැවති මිල ගණන් යොදා ගෙන මේ තක්සේරුව කරමු. එසේ කළ පසුවද, 2017 අගයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත්, 2024 අගය සැලකිය යුතු ලෙස අඩු වෙනවා.

2017 - ඩොලර් බිලියන 19,612

2024 - ඩොලර් බිලියන 23,358

වර්ධනය (වසර හතක් ඇතුළත) - 19.1%

පේනවානේ වෙනස. දැන් අර කලින් තිබුණු 49.4% වර්ධනය නැහැ. එය 19.1% දක්වා අඩු වෙලා. ඒ තමයි මූර්ත වර්ධනය හෙවත් සැබෑ වර්ධනය. 

දැන් අපිට ඉහත ගණන් 2017 රුපියල් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. 

2017 - රුපියල් ට්‍රිලියන 2,990 (ඩොලරය = රුපියල් 152.46)

2024 - රුපියල් ට්‍රිලියන 3,561 (ඩොලරය = රුපියල් 152.46)

වර්ධනය (වසර හතක් ඇතුළත) - 19.1%

රුපියල් වලින් මැන්නත්, ඩොලර් වලින් මැන්නත් වර්ධන වේගයේ වෙනසක් නැහැ. ඊට හේතුව, මෙය මූර්ත වර්ධනයක් හෙවත් සැබෑ වර්ධනයක් වීමයි. යොදා ගන්නා මුදල් ඒකකය අනුව වෙනස් වෙන්නේ නාමික ආර්ථික වර්ධනය පමණයි. ඊට හේතුව එක් එක් මුදල් ඒකකයේ වටිනාකම කාලයත් සමඟ වෙනස් වන්නේ එකම වේගයෙන් නොවීමයි. නමුත් සංකල්පීය වශයෙන් ආර්ථික වර්ධනය සේ සලකන්නේ නිෂ්පාදිතය ඉහළ යාම මිසක් වටිනාකම් වෙනස් වීම නොවන නිසා එය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන්නේ නැහැ. 

දැන් අපිට මේ විදිහටම "රාජපක්ෂ දශකයේ", ඒ කියන්නේ 2004-2014 කාලයේ, ආර්ථික වර්ධනය දෙසත් බලන්න පුළුවන්. මේ කාලය විශේෂයෙන්ම සලකා බලන්නේ එම කාලයේ ලංකාවේ ආර්ථිකය හතර ගුණයක් වූයේයයි සිතන අය තවමත් ඉතිරි වී සිටින නිසා. මුලින්ම අපි රුපියල් වලින් හා ඩොලර් වලින් 2004 හා 2014 වසර වල ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය දෙස බලමු.

2004 - රුපියල් බිලියන 2,090.8

2014 - රුපියල් බිලියන 10,361.1

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 395.6%


2004 - ඩොලර් බිලියන 20.7 (ඩොලරය = රුපියල් 101.19)

2014 - ඩොලර් බිලියන 79.4 (ඩොලරය = රුපියල් 130.56)

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 284.1%

ගොඩක් අය ඔය කාලය ඇතුළත ලංකාවේ ආර්ථිකය හතර ගුණයක් වුනා කියා හිතාගෙන ඉන්නේ දෙවනුවට තිබෙන නාමික වර්ධනය අනුවයි. ඔය අවුරුදු දහයේ ඩොලර් නාමික වර්ධනය ඇත්තටම 3.84 ගුණයක්. නමුත් බලන්නේ නාමික වර්ධනයනම්, රුපියල් වලින් බැලුවොත් 4.96ක වර්ධනයක් තිබෙන නිසා හතර ගුණයක් නොකියා පස් ගුණයක වර්ධනයක් කියා කියන්නත් පුළුවන්. තවත් වැඩි වර්ධනයක් දකින්න කැමති කෙනෙකුට අවශ්‍යනම් වෙනිසියුලාවේ බොලිවාරය වගේ මුදල් ඒකකයක් යොදාගෙන ඔය වගේ තුන් ගුණයක පමණ වර්ධනයක් පෙන්නන්න වුනත් පුළුවන්!

ඒ කියන්නේ 2004-2014 කාලයේ ලංකාවේ ආර්ථිකය හතර ගුණයකින් වර්ධනය වුනා කියන එක බොරුවක්ද?

නෑ. මෙය බොරුවක් නෙමෙයි. හතර ගුණයක වර්ධනයක් වුනා. නමුත් එය නාමික වර්ධනයක් පමණයි. රුපියල් වලින්නම් පස් ගුණයකම වර්ධනයක් වුනා. එහෙත්, එවැනි මට්ටමක මූර්ත වර්ධනයක් ඔය කාලයේ සිදු වුනේ නැහැ.

ඒ කියන්නේ මූර්ත වර්ධනයක් ඔය කාලයේ සිදු වුනේම නැද්ද?

හතර ගුණයක මූර්ත වර්ධනයක් සිදු වුනේ නැතත් ඔය කාලයේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනා. පහත තිබෙන්නේ 2004 රුපියල් වලින් සහ 2004 ඩොලර් වලින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත වර්ධනය. 

2004 - රුපියල් බිලියන 2,091

2014 - රුපියල් බිලියන 3,886

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 85.8%


2004 - ඩොලර් බිලියන 20.7 (ඩොලරය = රුපියල් 101.19)

2014 - ඩොලර් බිලියන 38.4 (ඩොලරය = රුපියල් 101.19)

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 85.8%

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනා. නමුත් අවුරුදු දහයක වර්ධනය 85.6%ක් මිසක් හතර ගුණයක් නෙමෙයි. ඔය හතර ගුණයේ කතාව ඇතුළේ තිබෙන්නේ දේශපාලනික අරමුණකින් කාලයක් තිස්සේ හිතාමතාම කළ මොළ ශෝධනයක ප්‍රතිඵලයක්. 

සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය ගැන කතා කරන කෙනෙක් මූර්ත ආර්ථික වර්ධනය ගැන මිසක් නාමික ආර්ථික වර්ධනය ගැන බර තියලා කතා කරන්නේ නැහැ. නමුත් නාමික ආර්ථික වර්ධනය සැලකිල්ලට ගත යුතු සන්දර්භයන්ද තිබෙනවා. උදාහරණ විදිහට දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාත ලෙස සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරද්දී සැලකිල්ලට ගන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතය. නමුත් ඒ වගේ අවස්ථා වලදී වඩා වැදගත් වන්නේද රුපියල් වලින් ගණනය කරන නාමික දළ දේශීය නිෂ්පාදිතයයි.

ඉහත කාලයේදී හා ඉන් පසුව, දේශපාලන ව්‍යාපෘතියක් ලෙස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගැන කතා කරද්දී ඩොලර් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය කෙරෙහි මිසක් රුපියල් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මත බර තැබුවේ නැහැ. එහෙම කළානම් නඩුව පරදිනවා. 

රුපියල් වලින් බැලුවොත්, 2020-2024 අවුරුදු හතර ඇතුළත වුනත් නාමික දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයකට ආසන්න වෙලා තියෙනවා.

2020 - රුපියල් බිලියන 15,646

2024 - රුපියල් බිලියන 29,999

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 91.1%

පසුගිය අවුරුදු හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය දෙගුණයක් වුනා කියා කිවුවොත් කවුරුවත් ඒක පිළිගන්න එකක් නැහැ. නමුත්, ඒ වගේම බොරුවක් (හෝ ඇත්තක්) වන, 2004-2014 කාලය තුළ ආර්ථිකය හතර ගුණයක් වුනා කියන එක විශාල පිරිසක් පිළිගත්තා. ඒ ගොඩක් අය, ආර්ථික විද්‍යාව ගැන මෙලෝ මළ හත්තිලව්වක් දැනගෙන නොසිටි නමුත්, වෙනත් විවිධ වෘත්තීන් වල ප්‍රවීණතාවක් ලබා සිටි අය. ඔය කතාවට රැවටුණේ ගම් වල සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. 

මෙවැනි බොහෝ දෙනෙකු ආර්ථික අර්බුදයෙන් පසුව මූලික ආර්ථික විද්‍යා සංකල්ප ගැන දැනගන්න උනන්දුවක් ඇති කරගෙන සැලකිය යුතු අවබෝධයක් ලබාගෙන ඇතත්, එවැනි අවබෝධයක් තවමත් නොමැති අයද සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එකම බොරුවට නැවත නැවත රැවටෙනවානම්, ආර්ථික අර්බුදයේ කටුක අත්දැකීම් වලින් පසුවද එවැනි අය අවශ්‍ය පාඩම ඉගෙනගෙන නැහැ. 

රාජපක්ෂ දශකය තුළ සහ ඉන් පසුව මෙවැනි බොරුවක් ජනගත කර එයින් දේශපාලනික වාසියක් ලබා ගත හැකි වීමට කරුණු කීපයක් ඉවහල් වුනා. පළමුවැන්න ඔය කාලයේ මූර්ත ආර්ථික වර්ධනයද සැලකිය යුතු ඉහළ මට්ටමක තිබීම සහ එහි ප්‍රතිඵල පෙනෙන්න තිබීම. දෙවැන්න, අනෙක් බොහෝ වකවානු වලද මීට කිට්ටුවෙන් යන රුපියල් නාමික වර්ධනයක් තිබුණද, මේ මට්ටමේ ඩොලර් නාමික වර්ධනයක් නොතිබීම. 

ඔය සාධක දෙකම රටේ ආර්ථික ස්ථායීතාවය බිඳ වැටී පසුව ආර්ථිකය කඩා වැටීමට හේතු වුනා. මේ ගැන අප විසින් පැහැදිලි කිරීම් කර තිබෙන්නේ ආර්ථිකය කඩා වැටීමට බොහෝ කාලයකට පෙර සිටයි. කෙසේ වුවද, මේ ලිපියෙන් එම කරුණු නැවත සාකච්ඡාවට ගන්නේ නැහැ. මෙහි අරමුණ නාමික ආර්ථික වර්ධනය සහ මූර්ත ආර්ථික වර්ධනය අතර වෙනස සරලව පැහැදිලි කිරීමයි. අනෙකුත් කරුණු ගැන පසුව වෙනම කතා කරමු. 

Wednesday, February 21, 2024

ඇමරිකාවේ ආර්ථික වර්ධනය


පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයක්.

ආර්ථික වර්ධනය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. උද්ධමනය නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙනවා. පසුගිය වසර තුළ ඇමරිකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 1,612.3කින් හෙවත් 6.3%කින් වර්ධනය වී තිබෙනවා. (2022දී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතයම ඩොලර් බිලියන 77.1ක් පමණයි.)

ඉහත වර්ධනයෙන් පසුව, 2023 වසරේ ඇමරිකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,356.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2023 වසර මැද ඇමරිකාවේ ජනගහණය මිලියන 335,208ක්. ඒ අනුව, ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 81,610ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිල ඇස්තමේන්තු අනුව, පෙර වසරේ (2022) මෙම අගය ඩොලර් 77,178ක්.

ඉහත සංඛ්‍යලේඛන වලින් පෙනෙන පරිදි, පසුගිය වසර තුළ පමණක් ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,432කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩි වීම පමණක් වුවද, 2022දී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 3,474ට වඩා වැඩි අගයක්. ඒ නිසා, ලංකාවේ ඒක පුද්ගල ආදායම වසරක් තුළ 100%කින් වර්ධනය වුවද, ඒක පුද්ගල ආදායමේ මෙවැනි වැඩි වීමක් සිදු වන්නේ නැහැ. 

ඉහළ ඒක පුද්ගල ආදායමක් තිබෙන රටවල ආර්ථිකය අඩු වේගයෙන් වර්ධනය වුවද ඒක පුද්ගල ආදායම වසරක් තුළ සැලකිය යුතු ලෙස ඉහළ යනවා. ඊට අනුරූපව එම රටවල ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව ප්‍රසාරණය වෙනවා. එහි වාසිය ලබා ගනිමින්, එවැනි රටවල පාරිභෝගිකයින් ඉලක්ක කර අපනයන කිරීම අඩු ඒක පුද්ගල ආදායමක් ලබන රටකට දියුණු විය හැකි වේගවත්ම ක්‍රමයයි. 

ලංකාව වැනි රටක නිෂ්පාදිතය ප්‍රමාණාත්මකව දෙගුණ කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. එහෙත්, අපනයන වෙළඳපොළ ඉලක්ක කිරීම මගින් කළ හැකි නිෂ්පාදිතයේ වටිනාකම වැඩි කර ගැනීම කළ හැක්කක්. 

රටක නිෂ්පාදිතය එක වර විශාල ලෙස වැඩි කළ නොහැකි වුවත්, වැඩි ඒක පුද්ගල ආදායමක් ලබන රටවල පාරිභෝගියන්ට විකිණිය හැකි දේ, එසේ විකිණිය නොහැකි නිෂ්පාදන වෙනුවට ක්‍රමයෙන් ආදේශ කිරීම මගින් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයද ක්‍රමයෙන් ඉහළ දමා ගත හැකියි. මෑත දශක වල සංවර්ධනය වූ රටවල් බොහොමයක් සංවර්ධනය වී තිබෙන්නේ මේ ක්‍රමයටයි. 

වෙබ් ලිපිනය: