වෙබ් ලිපිනය:

Sunday, March 31, 2024

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?


පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව, "බිංදුවටම හිඳී තිබුණු" නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 පමණ මට්ටමකට ඉහළ ගොස් ඇති අතර මේ (මාර්තු) මාසය අවසන් වන විට තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි. එහෙමනම් තව දුරටත් වාහන ආනයන වලට ඉඩ නොදී වලක්වා තිබෙන්නේ ඇයි? දැන් වාහන ආනයන වලට ඉඩ දෙන්න බැරිද?

පළමුවෙන්ම, ඔය සංචිත "බිංදුවටම හිඳී තිබුණු" කතාව කියන්නේ චීන මුදල් හුවමාරු ණය ඉවත් කරලා. ඒ කොටස ඉවත් කළොත් දැනටත් සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 3ක් පමණ ප්‍රමාණයක්. කොහොම වුනත්, තිබුණු හැටියට ඒ ප්‍රමාණය වුනත් නරක ප්‍රමාණයක් නෙමෙයිනේ. එහෙමනම් ප්‍රශ්නය කුමක්ද?

ඇත්ත ප්‍රශ්නය ඔය සංචිත ප්‍රමාණයෙන් පේනවාට වඩා ටිකක් ගැඹුරුයි. 

මෙය කියවන හැමෝම වගේ දන්නා පරිදි 1965 අවුරුද්දේ ඉඳලා ලංකාව දිගින් දිගටම 17 වාරයක් IMF ගියා. ගිහින් ණය ගත්තා. සාමාන්‍යයෙන් IMF එක ණය දෙන්නේ රටේ මහ බැංකුවට. ඒ ණය ආපසු ගෙවන්නෙත් මහ බැංකුව. ඒ හැර රජයේ ණය වලට මහ බැංකුවේ සෘජු සම්බන්ධයක් නැහැ.

මහ බැංකුවට IMF එක විසින් ණයක් දුන් විට ඒ ණය වාරික වශයෙන් ආපසු ගෙවීම සඳහා යම් කාලයක් දෙනවා. නමුත් මෙතෙක් දිගින් දිගටම වුනේ ඒ කාලය අවසන් වෙන්න කලින් ලංකාව නැවත IMF එකට ගිහින් අළුත් ණයක් ගන්න එක. මේ හේතුව නිසා, දිගින් දිගටම හැම වසරකම වගේ මහ බැංකුව විසින් IMF එකට ගෙවිය යුතු යම් ණය ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා, මහ බැංකුව සතු වූ නිල සංචිත වලින් යම් කොටසක් හැමදාමත් ආපසු ගෙවිය යුතු, ණයට ගත් මුදල්. 

මීට අමතරව ලංකාව 1974 සිටම ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජිකයෙක්. මෙහි සාමාජික රටවල් ආනයන අපනයන කරද්දී ඒ අවස්ථාවේදීම මුදල් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට ගෙවිය යුතු මුළු මුදලම මාස දෙකකට වරක් එක වර ගෙවන එකයි කරන්නේ. හරියට ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවනවා වගේ.

මෙහෙම කිවුවට ලංකාවේ ආනයනකරුවෙක් යම් දෙයක් ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටකින් ආනයනය කරද්දී මුදල් නොගෙවා ආනයනය කරන්නේ නැහැ. එකම වෙනස අදාළ මුදල එම රටට නොගෙවා ලංකාවේ මහ බැංකුවට ගෙවන එක. ඒ බව දැනුම් දුන් පසු අදාළ රටේ මහ බැංකුවෙන් ගෙවිය යුතු තැනට මුදල් ගෙවනවා. ටිකක් විතර අර උන්ඩියල් ක්‍රමයේදී වගේ. 

ඔය විදිහට මහ බැංකුව විසින් එකතු කර ගන්න මුදල් මාස දෙකකට වරක් පියවන තුරු මහ බැංකුවේ ණයක්. නමුත් මේ ප්‍රමාණයත් සංචිත ඇතුළේ තිබෙනවා. 

මීට අමතරව, පසුගිය කාලයේදී මහ බැංකුව විසින් අසල්වැසි රටවල මහ බැංකු වලින් අතමාරු ණය ගන්න පුරුද්දකුත් ඇති වුනා. චීන මුදල් හුවමාරු ණය ඒ වගේ ණයක්. ඊට අමතරව ඉන්දියාවෙන් වගේම බංග්ලා දේශයෙනුත් ඔය ක්‍රමයට ණය ගත්තා. 

ආර්ථික අර්බුදය ලංකාවේ ගොඩක් අයට දැනෙන කොට සංචිත ඇත්තටම තිබුණේ බිංදුවටම හිඳිලා නෙමෙයි. බිංදුවෙනුත් ගොඩක් පහළට වැටිලා. මහ බැංකුවේ ණය ගැන සැලකුවාට පස්සේ සංචිත බිංදුවටම හිඳුනේ රුපියල කඩා වැටෙන්න මාස ගණනකට කලින්. 2021 මාර්තු අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 2,704ක විදේශ සංචිත තිබුණත්, ඒ වන විට මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3,073ක්. රුපියල කඩා වැටෙන කොට මේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන හයකට ආසන්න වෙලා.

පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ මහ බැංකුව විසින් සැලකිය යුතු ලෙස සංචිත ගොඩ නගාගත්තා තමයි. නමුත් මහ බැංකුවේ විදේශ ණය ටික ඒ විදිහටම වගේ තිබෙනවා. ගෙවා දමා තිබෙන්නේ බංග්ලා දේශයෙන් ගත් ඩොලර් මිලියන 200 ඇතුළු තවත් සුළු කොටසක් පමණයි. 2023 වසර අවසන් වන විට මහ බැංකුව විසින් ගෙවිය යුතු වූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 6,081ක්. මෙම මුදල 2022 වසර අවසානයේදී මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,391ට වඩා අඩු වුනත් ඒ තරම්ම අඩු නැහැ.

මහ බැංකුව විසින් ආපසු ගෙවිය යුතු ඉහත ණය ප්‍රමාණය සැළකු විට, 2023 වසර අවසානයේදී මහ බැංකුව සතු වූ ඩොලර් මිලියන 4,392 යොදාගෙන එම ණය පියෙවුවොත් මහ බැංකුව තව දුරටත් ඩොලර් මිලියන 1,688ක ණය කරුවෙක්. 

ගිය අවුරුද්දේ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 2,245කින් සංචිත වැඩි කරගෙන තිබුණනේ. මේ අවුරුද්දෙත් ඔය වගේ ප්‍රමාණයකින් සංචිත වැඩි කරගත්තොත් 2024 වර්ෂය අවසන් වෙද්දී මහ බැංකුව ශුද්ධ ණයකරුවෙකුගේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා මේ වසරේදීත් පසුගිය වසරේ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න වෙනවා. වාහන ආනයනය කරන්න හදිස්සි වුනොත් ඒක කරන්න අමාරුයි.

දැනට මහ බැංකුව ණය කාටද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට = ඩොලර් මිලියන 2,189

ඉන්දියාවට = ඩොලර් මිලියන 2,471

චීනයට = ඩොලර් මිලියන 1,420

එකතුව = ඩොලර් මිලියන 6,081

ඉන්දියානු ණය වලින් වැඩි කොටසක් ආසියානු නිෂ්කාශන සංගමයේ "නොගෙවූ බිල්පත්". ලොකුවට කතා නොකෙරුණත් ඇත්තටම මෙය මහ බැංකුව විසින් ණය පැහැර හැරීමක්. ඉන්දියාවේ එකඟත්වය ලැබුණු නිසා නිල වශයෙන් ණය පැහැර හැරීමක් ලෙස සැලකෙන්නේ නැති වුනත් ඇත්තටම වුනේ මාස දෙකකට වරක් ගෙවිය යුතු "බිල්පත්" ගෙවන්නේ නැතුව මහ බැංකුව විසින් ඉන්දියාවේ මහ බැංකුවට "පොල්ල තියපු එක". 

මුලින් මුලින් ලංකාව මේ "බිල්පත්" ගෙවන්න අමතර සහන කාලයක් ඉල්ලාගෙන දිගින් දිගටම ආසියානු නිෂ්කාශන සංගමයේ යාන්ත්‍රනය ඇතුළේ හිටියා. ඒ කාලයේ ලංකාවේ ආනයනකරුවන් විසින් ඉන්දියාවට ගෙවිය යුතු වූ මුදල් මහ බැංකුව විසින් එකතු කරගෙන ඉන්දියාවට නොගෙවා හිටපු නිසා මහ බැංකුවට රෝල ගහගන්න වඩා ලේසි වුනා. ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහාත්, දිගටම ගෙවා ගෙන ගිය ණය ගෙවීම සඳහාත් යොදා ගත්තේ මේ විදිහට එකතු කරගත් ඩොලර්. නමුත්, ඔය වැඩේ දිගින් දිගටම කරන්න බැරි නිසා අන්තිමට මහ බැංකුවට තාවකාලිකව ආසියානු නිෂ්කාශන සංගමයේ යාන්ත්‍රනයෙන් ඉවත් වෙන්න සිදු වුනා. නැවත එම යාන්ත්‍රනයට ඇතුළු වෙන්නනම් නොගෙවූ ණය හා පොලී ගෙවලා ඉන්න වෙනවා. 

පසුගිය වසරේ සැප්තැම්බර් වන විට මහ බැංකුව විසින් ආසියානු නිෂ්කාශන සංගමයේ "නොපියවූ බිල්පත්" වෙනුවෙන් ඩොලර් මිලියන 2,198ක් ඉන්දියාවට ගෙවිය යුතුව තිබුණා. ඊට අමතරව මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 400ක් අරගෙන තිබුණා. එකතුව ඩොලර් බිලියන 2.6ක් පමණ. ඔය මුදලින් ඩොලර් මිලියන 150ක් පමණ ආපසු ගෙවා තිබෙන බව පේනවා. ඉතිරි හිඟ මුදල සහ පොලිය තමයි ඩොලර් මිලියන 2,471. 

චීනයට ගෙවිය යුතු ඩොලර් මිලියන 1,420 කියන්නේ චීනයෙන් ලබාගත් යුවාන් බිලියන 10ක මුදල් හුවමාරු ණයේ ඩොලර් අගය. මේ මුදලනම් නමට වගේ තියෙන එකක් පමණයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,285ක් ලංකාවට හදිසියකදී ප්‍රයෝජනයකට ගත හැකි, අරමුදලේ සාමාජික ගිණුමේ තිබුණු මුදල්. එම මුදල ආපසු ගෙවිය යුතු නිශ්චිත දිනයක් නැහැ. ඉතිරි ඩොලර් මිලියන 904 වරින් වර ගත් ණය. ඒ කොටස ඉදිරි වසර වලදී ගෙවන්න වෙනවා. 

එක වාසියකට තියෙන්නේ මහ බැංකුවේ ඔය ණය හෙට අනිද්දා ආපසු ගෙවන්න අවශ්‍ය නැති වීම. IMF එකෙන් වගේම චීනයෙන් හා ඉන්දියාවෙනුත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙනවා. ඒ නිසා, එම ණය ගෙවන්න හදිස්සි නොවී සංචිත එකතු කර ගන්න පුළුවන්. හැබැයි ඉතිං ණය කියන්නේ ණය. තව අවුරුද්දක් දෙකක් ලැබුණත් චීනයේ හා ඉන්දියාවේ ණය වසර කිහිපයක් ඇතුළත ආපසු ගෙවන්න වෙනවා. IMF ණය ආපසු ගෙවන්නනම් ඊට වඩා වැඩි කාලයක් ලැබෙනවා.

යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව, 2024 වසර අවසන් වන විට මහ බැංකුවේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,128 දක්වා වැඩි කර ගත යුතුයි. ලොකු ප්‍රයෝජනයක්ච නැති, චීනයෙන් ලැබී තිබෙන යුවාන් බිලියන 10 හැර ඉතිරි කොටස ඩොලර් මිලියන 4,692ක් දක්වා වැඩි කර ගත යුතුයි. ඒ කියන්නේ තවත් ඩොලර් මිලියන 1,700ක් පමණ මහ බැංකුවට මේ අවුරුද්ද තුළ එකතු කර ගන්න සිදු වෙනවා. ඊට අමතරව ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලෙනුත් යම් කොටසක් හෝ ගෙවන්න සිදු වෙනවා. 

දැන් යන විදිහට දිගටම ගියොත් මහ බැංකුවට මේ වසර ඇතුළත ඩොලර් බිලියන තුනක් පමණ එකතු කර ගන්න ඉලක්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 250ක්. එහෙම කළොත් සංචිත ඉලක්කයටත් ගිහින් ඉන්දියානු ණයෙන් බාගයක් පමණ ගෙවා දමන්න පුළුවන්. වාහන ආනයන වෙනුවෙන් මේ අවුරුද්දේ විදේශ විණිමය වැය කරන්න වුනොත් ඔය ඉලක්කයට යන්න අමාරුයි. 

Saturday, March 30, 2024

අලුත්ම "ලෝකයේ ලොකුම පෝසතා"


ජෙෆ් බේසොස්, ඊලෝන් මස්ක් හා මාක් සකර්බර්ග් වැනි ඇමරිකානු ධනවතුන් අභිබවා යමින්, ඩොලර් බිලියන 227ක පමණ වත්කම් සමඟ ප්‍රංශයේ බනාඩ් ආර්නෝ (Bernard Arnault) පවුල මේ වන විට ලෝකයේ ලොකුම ධනවතුන් බවට පත් වී තිබෙනවා. ලුවී විටෝන්, සෙපෝරා වැනි මිල අධික සන්නාම වල අයිතිය හිමි බනාඩ් ආර්නෝ පවුලටයි. 

වසංගතයට පෙර, 2020 වසරේදී මෙම පවුල සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 76ක්. එනම්, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න මුදලක්. මේ වන විට එම පවුලේ වත්කම් එමෙන් තුන් ගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය සිදු වන්නේ වසංගත කාලයේදී සහ ඉන් පසුවයි.

වසංගත කාලයේදී ලුවී විටෝන්, සෙපෝරා වැනි සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය තවත් ඉහළ ගියා මිස පහත වැටුණේ නැහැ. එයට එක් හේතුවක් සේ සැලකෙන්නේ වසංගත කාලයේදී බොහෝ දෙනෙකු විසින් තමන්ගේ මානසික මට්ටම පහත වැටීම වලක්වා ගැනීම සඳහා වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ මිල දී ගැනීමයි. වසංගතයට ප්‍රතිචාර දක්වමින් ලෝකයේ බොහෝ රටවල් විසින් මුදල් සැපයුම වැඩි කිරීම මීට තවත් හේතුවක්. 

ලෝකයේ සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳාමෙන් හතරෙන් එකක් පමණ උතුරු ඇමරිකාව (ඇමරිකාව හා කැනඩාව) තුළත්, තවත් හතරෙන් එකක් පමණ යුරෝපය තුළත් සිදු වන අතර චීනය තුළද ආසන්න වශයෙන් හතරෙන් එකක සුඛෝපභෝගී භාණ්ඩ අලෙවියක් සිදු වනවා. මෙම වෙළඳපොළවල් අතරින් වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළ චීනයයි. 2030 වසර වන විට ලෝක සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳපොළ තුළ චීනයේ පංගුව 40% දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ලෝක ජනගහණයෙන් පහෙන් එකක් පමණ ජීවත් වන චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වෙද්දී සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉල්ලුමද වේගයෙන් ඉහළ යාම මීට හේතුවයි. මේ වන විටද මෙම වෙළඳපොළ යුවාන් බිලියන 600ක පමණ, එනම් ඩොලර් බිලියන 85ක පමණ වෙළඳපොළක්. එයින් 10%ක පමණ ලොකුම පංගුව තිබෙන්නේ ලුවී විටෝන් හා සෙපෝරා ඇතුළු ආර්නෝ පවුලේ පාලනය යටතේ තිබෙන සන්නාම වලටයි.

වසංගත කාලයේ මන්දගාමී වී තිබුණු චීනයේ ආර්ථිකය මේ වන විට නැවතත් වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සමඟම චීනය තුළ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන ඉල්ලුමද වේගයෙන් ඉහළ යනවා. මීට සමාන්තරව ආර්නෝ පවුලේ වත්කම්ද ඉහළ යනු දැකිය හැකියි. 

කෙසේ වුවත් මේ අයුරින් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යද්දී එහි වාසිය ලැබෙන්නේ බනාඩ් ආර්නෝ වැනි ධනවතුන්ට පමණක් නෙමෙයි. මෙම භාණ්ඩ වල සැපයුම් දාමයන්ට සම්බන්ධව ලොව පුරා විසිරී සිටින විශාල පිරිසකගේ ආදායම් ඉහළ යාමට මෙය හේතු වෙනවා. 

(Image: https://www.consultancy.asia/news/5338/china-leapfrogs-rivals-to-become-worlds-largest-luxury-goods-market)

Friday, March 29, 2024

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!


පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි. 

මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි. අනෙක් සෑම වසරකදීම ශ්‍රී ලංකාව විසින් වසර තුළ ඉපැයූ විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබෙනවා. ණය පැහැර හැරීමකින් කෙළවර වන තුරු ගොඩගසා ගත් ලංකාවේ දැවැන්ත විදේශ ණය කන්දරාව මෙහි ප්‍රතිඵලයයි. 

ඩොලර් බිලියන 4 ඉක්මවන හෝ ඊට ආසන්න මට්ටමක පැවති 2008, 2011 හා 2012 වසර වල ජංගම ගිණුමේ හිඟය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. ඉන් පසුව, 2021 වසර තුළදීද ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ගියා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළද ජංගම ගිණුමේ හිඟය සීමා කිරීමක් මිස අතිරික්තයක් පවත්වා ගැනීමේ සැලසුමක් තිබුණේ නැහැ. අරමුදලේ සැලසුම් අනුව 2023 වසරේ ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,184 සීමාව නොඉක්මවිය යුතුව තිබුණා. එම සැලසුමට සාපේක්ෂව වුවද ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් යනු කැපී පෙනෙන ජයග්‍රහණයක්. මෙහි ගෞරවය ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවට යා යුතු අතර රජයටද එයින් කොටසකට හිමිකම් කිව හැකියි. 

මේ ආකාරයෙන් වසර තුළ ඩොලර් මිලියන 1,559ක් ඉතිරි වුනේ කොහොමද?

පහත තිබෙන්නේ පසුගිය වසර තුළ රටට විදේශ විණිමය ලැබුණු ආකාරය සහ රටෙන් විදේශ විණිමය පිටතට ගලා ගිය ආකාරයයි.

විදේශ විණිමය ලැබීම්:

භාණ්ඩ අපනයන ආදායම = ඩොලර් මිලියන 11,911

සේවා අපනයන ආදායම = ඩොලර් මිලියන 5,416

ප්‍රාථමික ආදායම් = ඩොලර් මිලියන 463

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) = ඩොලර් මිලියන 5,989

ආදායම් එකතුව = 23,779


විදේශ විණිමය ගෙවීම්:

භාණ්ඩ ආනයන වියදම = ඩොලර් මිලියන 16,811

සේවා ආනයන වියදම = ඩොලර් මිලියන 2,012

ප්‍රාථමික ආදායම් ගෙවීම් (පොලී හා ලාභාංශ) = ඩොලර් මිලියන 3,027

විදේශිකයින්ගේ ද්වීතියික ආදායම් = ඩොලර් මිලියන 371

වියදම් එකතුව = 22,221


රට තුළ ඉතිරි වූ මුදල = ඩොලර් මිලියන (23,779 - 22,221) = ඩොලර් මිලියන 1,559


මෙවැනි අතිරික්තයක් බැංකු පද්ධතිය තුළ ඉතිරි වීනම් ඒ හේතුවෙන් ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී ආනයන ප්‍රමාණය මීට වඩා ඉහළ යනවා. එහෙත්, මහ බැංකුව මැදිහත් වී මෙම අතිරික්තය වෙළඳපොළෙන් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම නිසා එවැන්නක් සිදු වී නැහැ. 

ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් "අතිරික්ත ඩොලර්" මිල දී ගත් බව කීම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ජංගම ගිණුමේ මෙවැනි අතිරික්තයක් ඇති වී තිබෙන්නේම මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඩොලරයක මිල "ඉහළින්" තියා ගත් නිසා. මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල "ඉහළ" මට්ටමක පවත්වා ගනිද්දීද ඩොලරයක මිල පහත වැටීම වෙනම කරුණක්. 

මෙය 2008, 2011 හා 2012 වැනි වසර වලදී මෙන්ම නැවත 2021දීද ජංගම ගිණුමේ විශාල හිඟයක් පවත්වා ගනිමින් (උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් වැය කරමින්) විදේශ ණය වල උදවුවෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීමට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. 

පසුගිය වසර තුළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ප්‍රමාණය ජංගම ගිණුමේ අතිරික්තය වූ ඩොලර් මිලියන 1,559ට වඩා ඩොලර් මිලියන 616කින් වැඩියි. එම අතිරික්ත ඩොලර් ප්‍රමාණය ආවේ කොහෙන්ද?

ජංගම ගිණුමේ ශේෂයට අමතරව, පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ශුද්ධ වශයෙන් (ලංකාවෙන් සිදු කළ ඩොලර් මිලියන 34ක සෘජු විදේශ ආයෝජන අඩු කිරීමෙන් පසු) ඩොලර් මිලියන 678ක් ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන අරමුදල් දිගු කාලයක් රට තුළ රැඳෙනවා. ඒ අනුව, පැහැදිලි විය යුත්තේ මහ බැංකුව සංචිත තර කර ගෙන තිබෙන්නේ සෘජුව හෝ වක්‍රව ණය ගෙන නොවන බවයි.

රටක ජංගම ගිණුමේ හිඟයක් ඇත්නම් ඒ රට ණය ගන්නෙක් වන අතර ජංගම ගිණුමේ අතිරික්තයක් ඇත්නම් ඒ රට ණය දෙන්නෙක්. දිගුකාලීන තත්ත්වය කෙසේ වුවත්, පසුගිය වසර පමණක් සැළකු විට ලංකාව ණය ගන්නෙක් නොව ණය දෙන්නෙක් වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකිනම් ලංකාවට විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි ණය ආපසු ගෙවීමට පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මේ සඳහාද ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවට වසරක කාලයක් තුළ හෝ ණය ගන්නෙකු නොවී ණය දෙන්නෙකුව සිටින්නට හැකි වී තිබෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. එයින් පළමුවැන්න රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. දෙවැන්න වාහන ආනයන නවත්වා තිබීමයි. 2018 වසරේදී පෞද්ගලික වාහන ආනයනය සඳහා ලංකාව ඩොලර් මිලියන 1,573.5ක් වැය කළ අතර, අනෙකුත් ප්‍රවාහන උපකරණ ආනයනය කිරීමට තවත් ඩොලර් මිලියන 668.1ක් වැය කළා. 

වාහන ආනයනයට පූර්ණ නිදහසක් ලබා දුන්නොත් පහසුවෙන්ම වසරකට ඩොලර් බිලියන දෙක ඉක්මවන වාහන ආනයන සිදු විය හැකි අතර ඇතැම් විට මෙම ඉල්ලුම ඩොලර් බිලියන තුන ඉක්මවන්න වුනත් බැරි නැහැ. එසේ වුවහොත් ජංගම ගිණුමේ අතිරික්තය නැවත හිඟයක් බවට පත් වන අතර ඩොලරයක මිලද ඉහළ යනවා. වාහන ආනයන වාරණ එකවර ඉවත් නොකර පියවරෙන් පියවර ඉවත් කිරීම මගින් මෙම අවදානම කළමනාකරණය කර ගන්නට සිදු වෙනවා. 

Thursday, March 28, 2024

මහ බැංකුව පොලී අඩු කළේ ඇයි?


දින දෙකකට පෙර (මාර්තු 26) මහ බැංකුව විසින් ප්රතිපත්ති පොලී අනුපාතික 0.5%කින් අඩු කළා. ඒ අනුව, මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතික 8.5%-9.5% දක්වා පහතවැටී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? එහි බලපෑම් මොනවාද?

රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වන්නේ උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීමයි. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටමේ.

උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා පොලී අනුපාතික දිගුකාලීනව 7%-8% වැනි මට්ටමක තබා ගැනීම ප්‍රමාණවත්. එවිට උද්ධමනයට වඩා 2%-3%කින් වැඩි පොලියක්, ඒ කියන්නේ 2%-3% පරාසයේ මූර්ත පොලී අනුපාතිකයක් පවත්වා ගැනෙනවා.

මූර්ත පොලී අනුපාතික ගොඩක් වැඩිනම් එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක ලෙස බලපානවා. ඒ නිසා, මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් මූර්ත පොලී අනුපාතික ඕනෑවට වඩා ඉහළ මට්ටමක තියා ගන්නේ නැහැ. හැබැයි උද්ධමන ඉලක්ක වලට යන්න බැරි වීමේ අවදානම ගනිමින් මූර්ත පොලී අනුපාතික ඕනෑවට වඩා පහළ යන්න දෙන්නේත් නැහැ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික සීරුමාරු කිරීම මගින් මහ බැංකුවක් උත්සාහ කරන්නේ ඔය අන්ත දෙක අතර තුලනයක් පවත්වා ගැනීම. ඒ කියන්නේ උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගන්නා අතරම හැකි උපරිම ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීම. සමහර අවස්ථා වලදී ඔය දෙකෙන් එකක් ගැන වැඩිය නොහිතා අනෙක් එක ගැන පූර්ණ අවධානය යොදවන්න වෙනවා.

මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීම ලෙස පවතිද්දී උද්ධමනය 70% තරම් ඉහළ මට්ටමකට ගියාම මහ බැංකුවට එහි වගකීම් ඉටු කිරීමට තිබෙන හැකියාව පිළිබඳ විශ්වාසනීයත්වය බරපතල ලෙස බිඳ වැටෙනවා. ඒ වගේ අර්බුදයකින් පස්සේ මහ බැංකුවකට ආර්ථික වර්ධනය ගැන ලොකුවට නොහිතා, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට තිබෙන හැකියාව පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩ නගන්න වෙනවා.

ඉතා කෙටි කලක් තුළ උද්ධමනය ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගැනීම මගින් මහ බැංකුව විසින් නැවතත් එහි ප්‍රතිරූපය ගොඩ නගා ගත්තා. නමුත් කලින් මහ බැංකුව අනාගත්ත අනාගැනිල්ල නිසා පොඩි එහා මෙහා වීමකින් මහ බැංකුවේ ප්‍රතිරූපය නැවත බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව දැන් කටයුතු කරන්නේ ගිණි පෙණෙල්ලෙන් බැට කෑ පසු කණාමැදිරියන් ගැනත් පරිස්සම් වෙන ප්‍රවේශයකින්. මහ බැංකු වැටුප් ප්‍රශ්නයේදී වුනත් වැරැද්දක් වී තිබෙන බව තේරුම් ගෙන වැඩි කතා නැතිව එය හදාගන්න යොමු වීමෙන් පෙනෙන්නේ මේ පරිස්සමයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 1.3% දක්වාම අඩු වුනා. නමුත්, මහ බැංකුව හදිස්සි වෙලා පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු කළේ නැහැ. ඊට හේතුව වැට් වැඩි කිරීම වැනි හේතු නිසා මේ අවුරුද්දේ මුල් මාස වලදී උද්ධමනය නැවතත් යම් තරමකින් ඉහළ යන බව පෙනෙන්නට තිබීම. හිතපු විදිහටම 2024 ජනවාරි මාසයේදී උද්ධමනය 6.4% මට්ටමට ගියා.

විදුලි ගාස්තු අඩු කිරීම හා එළවළු මිල විශාල ලෙස පහත වැටීම නිසා මේ (2024 මාර්තු) මාසයේ උද්ධමනය 0.9% දක්වාම පහත වැටිලා. මේ තත්ත්වයත් එක්ක වසර තුළ උද්ධමනය 4%-6% සීමාවෙන් උඩට යාමේ අවදානමක් පෙනෙන්න නැහැ.

අනෙක් අතට මාස ගණනක් තිස්සේ වර්ධනය වෙමින් පැවති පෞද්ගලික අංශයට දෙන ණය ප්‍රමාණය ජනවාරි මාසයේදී තරමක් පහත වැටී තිබුණා. කාර්තු හයක් තිස්සේ එක දිගට හැකිලුනු ආර්ථිකය නැවත වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ ණය වර්ධනයේද උදවුවෙන්. ඒ නිසා, ඒ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා මූර්ත පොලී අනුපාතික යම් තරමකින් පහත වැටෙන්න ඉඩ අරින්න වෙනවා. උද්ධමන අවදානම පහළ ගොස් ඇති නිසා මහ බැංකුවට ඒ සඳහා ඉඩක් ලැබී තිබෙනවා. බොහෝ විට වසරේ ඉදිරි කාලයේදී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවත් අඩු කරන්න ඉඩ තිබෙනවා.

උද්ධමනය අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ විදුලි ගාස්තු අඩු කිරීම. විදුලි ගාස්තු අඩු කළ හැකි වුණේ ඩොලරයක මිල පහළ ගොස් නිෂ්පාදන පිරිවැය අඩු වූ නිසා. ඒ අනුව, පොලී අනුපාතික පහළ යාම කෙරෙහි ඩොලරයක මිල අඩු වීම වක්‍ර ලෙස බලපා තිබෙනවා.

මේ වෙද්දී ඩොලරයක මිල තිබෙන්නේ රුපියල් 300 සීමාව ආසන්නයේ. ඉදිරියේදී ඩොලරයක මිලට කුමක් වෙයිද?

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය කළමනාකරුවන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ බොහෝ විට මේ වන විට වාණිජ ණයහිමියන් සමඟ මූලික එකඟතාවයක් ඇති කර ගෙන අවසන් බවයි. මේ අනුව, වසර මැද වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වීමට ඉඩ තිබෙනවා.

ඩොලරයක මිල දවසින් දවස අඩු වෙමින් තිබෙන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටිද්දීයි. සංචාරක පැමිණීම් හා ශ්‍රමික ප්‍රේෂණ වල වර්ධනය හමුවේ මහ බැංකුව විසින් එසේ මැදිහත්වීම් නොකරන්නට ඩොලරයක මිල මීට වඩා වේගයෙන් පහත වැටෙනවා. මහ බැංකු අධිපතිවරයා විසින් ඉඟි කර තිබුණේ මෙසේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම නිසා මාර්තු මාසය අවසානයේදී විදේශ සංචිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන වාරිකයද සංචිත වලට එකතු වීමට නියමිතයි. මේ සියල්ලට අමතරව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු රටට එන විදේශ විණිමය ප්‍රවාහ තවත් ඉහළ යන්නට ඉඩ තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ දැනට ලංකාවේ විදේශ අංශය තුළ පීඩනකාරී තත්ත්වයක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, විණිමය අනුපාතය මගින් උද්ධමනය පහළට තෙරපීමත්, එයට ප්‍රතිචාර ලෙස මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති තව දුරටත් ලිහිල් කිරීමත් අපේක්ෂා කළ හැකියි. සරලව කිවුවොත් පොලී අනුපාතික තව දුරටත් පහළ යාම අපේක්ෂා කළ හැකියි.

Monday, March 25, 2024

සුදාගේ ජනමත සමීක්ෂණ


සුදත්ත තිලකසිරි, එහෙමත් නැත්නම් සුදා, විසින් නගරයන් නගරයට යමින් "ජනමත සමීක්ෂණ" මාලාවක් පවත්වා ගෙන යනවා. මේ වැඩේ කරන්නේ "විද්‍යාත්මක ක්‍රමවේදයකට" නෙමෙයි. ඔහුට එවැනි පුහුණුවකුත් නැතුව ඇති. හැබැයි විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන ජනමත සමීක්ෂණයකදී වගේම මේ වගේ අවිධිමත් ජනමත සමීක්ෂණයකිනුත් අප වැනි අයට ලංකාවේ ජනමතය ගැන අදහසක් ගන්න ඉඩක් ලැබෙනවා. 

සුදත්ත තිලකසිරිගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මම මේ කාරණයේදී ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. එවැනි පක්ෂපාතීත්වයන් නැති අය හොයන එක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගත්ත සමාජවාදියෙක් හොයනවා වගේ අමාරු වැඩක්. සුදත්ත පැහැදිලිව කියන්නේ ඔහුගේ ජනමත සමීක්ෂණ වීඩියෝ එඩිට් නොකර එලෙසම ප්‍රසිද්ධ කරන බවයි. ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝ දෙස බැලූ විට ඒවා එඩිට් කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.

මේ වන විට සුදත්ත විසින් පිටකොටුවේ, නුගේගොඩ, මහරගම, හම්බන්තොට හා තිස්සමහාරාමයේ ඔහුගේ සමීක්ෂණය සිදු කර තිබෙනවා. මේ එක් තැනකින්වත් ලංකාවේ ජනමතය හරියටම නියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම මේ තැන් අහඹු ලෙස තෝරා ගත් තැන් නෙමෙයි. එහෙත්, මෙවැනි තැන් කිහිපයක ජනමතයේ පොදු රටාවන් යම් දුරකට සාධාරණීකරණය (generalize) කරන්න පුළුවන්. වැදගත්ම කාරණය සුදත්ත තිලකසිරි විසින් "අමු දත්ත" එකතු කර ඒවා එලෙසම ප්‍රසිද්ධ කිරීමයි.

මේ වගේ අමු දත්ත වලින් යම් විශ්ලේෂණයක් නොකර සෘජුව ජනමතය ඇස්තමේන්තු කරන්න බැහැ. එසේ වුවත්, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු වලට වඩා මම මේ වගේ අමු දත්ත වලට පෞද්ගලිකව කැමතියි. 

අමු දත්ත පරිශීලනය කරද්දී විශ්වාසය තියන්න වෙන්නේ එම අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන පමණයි. මෙහිදී එය සියයට සියයක්ම මෙන් පාරදෘශ්‍ය ලෙස සිදු වී තිබෙනවා. එයින් වෙනස්ව, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු විශ්වාස කරද්දී අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන වගේම ඒවා විග්‍රහ කර ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදය ගැනත් අන්ධ ලෙස විශ්වාස කරන්න සිදු වෙනවා. මම පෞද්ගලිකව මේ වගේ අමු දත්ත වලට වඩා කැමති ඒ නිසා.

සුදත්ත මෙහිදී ප්‍රතිචාර දක්වන්නන්ගෙන් අහන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ තිබෙන අපේක්ෂකයින් හතර දෙනෙකුට තිබෙන කැමැත්ත පිළිබඳවයි. අපේක්ෂකයින් හතර දෙනා අනුර, සජිත්, රනිල් සහ නාමල්. ආකෘතිය අනුව මෙය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (Institute for Health Policy හෙවත් IHP) අනුරූපී සමීක්ෂණයට බොහෝ දුරට සමානයි. ඒ නිසාම, මෙම සමීක්ෂණ ප්‍රතිඵල එම ආයතනයේ සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වූ ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි. ප්‍රධානම වෙනස සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නාමල් වෙනුවට ඔහුගේ පක්ෂයේ "කවර හෝ අපේක්ෂකයෙක්" විකල්පය ලෙස ඉදිරිපත් කරමින් වඩා විවෘත ලෙස ප්‍රශ්නය ඇසීමයි.

පහත තිබෙන්නේ සුදත්තගේ මහරගම හා හම්බන්තොට සමීක්ෂණ ප්‍රතිඵල. මම මේ ස්ථාන දෙක තෝරා ගත්තේ එම ස්ථාන දෙක හා අදාළ සමීක්ෂණ ප්‍රතිඵල වීඩියෝවේම සාරාංශගත කර ඉදිරිපත් කර තිබෙන නිසා. මුල් සමීක්ෂණ තුන දිහා බැලුවත් ප්‍රධාන රටාවන්ගේ ලොකු වෙනසක් පේන්න නැහැ. 

හම්බන්තොට ප්‍රතිඵලය 

අනුර - 67 (34%)

සජිත් - 38 (19%)

රනිල් - 2 (1%)

නාමල් - 1 (1%)

වෙනත් - 91 (46%)

එකතුව - 199 (100%)


මහරගම ප්‍රතිඵලය 

අනුර - 93 (33%)

සජිත් - 38 (14%)

රනිල් - 17 (6%)

නාමල් - 5 (2%)

වෙනත් - 125 (45%)

එකතුව - 278 (100%)


ඉහත "අමු දත්ත" අපට සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සමඟ සංසන්දනය කළ හැකියි. 

අනුර - 50%

සජිත් - 33%

රනිල් - 9%

පොහොට්ටු අපේක්ෂකයා - 8%

එකතුව - 100%


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර සමානතා කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්.

- ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්නවා. එය ඉතාම පැහැදිලියි. 

- අනුර කුමාර දිසානායක ඉන්න තැනට කිට්ටුවක නැතත්, දෙවැනි තැන ඉන්නේ සජිත්.

- රනිල් හෝ පොහොට්ටු අපේක්ෂකයෙක් කිට්ටුව පාතක නැහැ.


කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර කැපී පෙනෙන වෙනස් කමක් තිබෙනවා. ඒ තමයි සුදාගේ "අමු දත්ත" අනුව, විශාල පිරිසක් ඉහත කිසිවකු වෙනුවෙන් තවමත් සෘජු  කැමැත්තක් පළ කරන්නේ නැති බව. හම්බන්තොට හා මහරගම නියදි අනුව එම ප්‍රමාණය 45%ක් තරම් විශාලයි.

මෙහිදී වැදගත්ම කාරණය "වෙනත්" කියා විකල්පයක් සුදා විසින් ඉදිරිපත් නොකිරීමයි. වෙනත් පිළිතුරු ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ එවැනි පසුබිමක. ඒ තත්වය තුළ, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයටද මේ ආකාරයේ "වෙනත් පිළිතුරු" ප්‍රතිචාර ලෙස නොලැබෙන්නට හේතුවක් නැහැ. අහඹු දුරකථන අංක වලට ඇමතීමෙන් පසුව ඔවුන් විසින් ජනමතය විමසන්නේද සුදා අසන ආකාරයේ ප්‍රශ්නයක් අසමිනුයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඔවුන් විසින් එකතු කරගත් අමු දත්ත ප්‍රසිද්ධ කර නැහැ. ඔවුන් ඔවුන්ගේ "සකස් කළ ඇස්තමේන්තු" ඉදිරිපත් කර තිබෙන්නේ එකතු කරගත් අමු දත්ත වල "හිස්තැන් පිරවීමෙන්" පසුවයි. හරියටම කිවුවොත්, ප්‍රතිචාර දක්වන්නන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු මත පදනම්ව ඔවුන්ගේ "ලබා නොදුන් ප්‍රතිචාරය" ඇස්තමේන්තු කිරීමෙන් පසුවයි. එම "සකස් කළ ඇස්තමේන්තු" වල "වෙනත්" ගොඩක් නැත්තේ ඒ නිසා. ඒ කොටස අපේක්ෂකයින් හතර දෙනා අතර බෙදී ගිහින්. සුදාගේ "අමු දත්ත" අනුසාරයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" පිළිබඳවද අදහසක් ගන්න පුළුවන්.

මේ ආකාරයේ "හිස් තැන් පිරවීමකදී" වෙන්නේ අපේක්ෂකයෙකු වෙනුවෙන් කැමැත්ත පළ කළ කණ්ඩායමේ රුචිකත්වයන් එසේ නොකළ කණ්ඩායම මතද ආදේශ වීමයි. එහිදී උපකල්පනය කෙරෙන්නේ  වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු සමාන වේනම් රුචිකත්වයන්ද සමාන විය යුතු බවයි. ප්‍රස්තුත සන්දර්භය තුළ මෙම උපකල්පනයේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. 

සුදාගේ වීඩියෝ වලින් "වෙනත්" කණ්ඩායම සිටින තැන පැහැදිලිව දැන ගන්න පුළුවන්. එම කණ්ඩායමේ වැඩි පිරිසක් සෘජු ලෙසම ඉහත අපේක්ෂකයින් සියලු දෙනාවම ප්‍රතික්ෂේප කරනවා. එම තත්ත්වය තුළ ඔවුන් කිසියම් අපේක්ෂකයෙකුට කැමැත්ත පළ කරන කණ්ඩායමෙන් වෙනස් වෙනම පිරිසක්. 

සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් අරගලය තුළ සිටි පිරිස් අතරද පැහැදිලි ලෙස කණ්ඩායම් දෙකක් හඳුනා ගත හැකි වුනා. එයින් එක් කණ්ඩායමක් මෙතෙක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කළ, එහෙත් ජවිපෙ සම්බන්ධව එවැනි විරෝධයක් නොතිබුණු පිරිසක්. අනෙක් කණ්ඩායම, විකල්පයක් ගැන අදහසක් නොමැතිව වුවත්, ජවිපෙද ඇතුළුව සියලුම පැරණි දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් "225ම එපා" කියූ පිරිසක්. මගේ විග්‍රහය අනුව සුදාගේ අමු දත්ත වල "වෙනත්" ගොඩේ ඉන්නේ මේ මොහොතේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන, එහෙත් ජවිපෙ ගොඩට එකතු වීමටද හිත හදාගෙන නැති පිරිසක් බවයි. ඒ නිසා, එම ප්‍රතිශතය අනුර, සජිත්, රනිල් හා පොහොට්ටුව අතර අනුපාතිකව බෙදා දැමීම නිවැරදි උපකල්පනයක්යැයි මා සිතන්නේ නැහැ. 

එක පැත්තකින් මේ 45% විසින් පෙන්නුම් කරන්නේ දැනට නැති විකල්පයකට තිබෙන දේශපාලන අවකාශය. එහෙත්, වෙනත් ප්‍රබල විකල්පයක් ඉදිරි ජාතික මැතිවරණ වලට පෙර අලුතෙන් ගොඩ නැගීමේ ඉඩක් පෙනෙන්නට නැති නිසා එම ගොඩ දැනට තිබෙන විකල්ප අතර බෙදී යා යුතුයි. එය මොන විදිහට වෙයිද?

සිදු විය හැකි එක් දෙයක් වන්නේ මේ කණ්ඩායම කිසිවෙකුට ඡන්දය නොදී සිටීමයි. එසේ වුවහොත්, පවතින විකල්ප සතු ප්‍රතිශත ඉහළ ගොස් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සකස් කළ ඇස්තමේන්තු වලට කිට්ටු ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙත්, ජාතික මැතිවරණයකදී 45%ක පිරිසක් ඡන්දය නොදීමේ ඉඩක් නැහැ. එම ප්‍රමාණය, සුළු පක්ෂ අපේක්ෂකයින්ගේ ඡන්ද හා අවලංගු ඡන්දද ඇතුළත්ව, වැඩිම වුනොත් 20%ක් වෙයි. ඉතිරි 25%කට නොඅඩු කොටස ඉදිරියේදී ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් අතර බෙදී යාමට නියමිතයි.

මේ ගොඩේ බොහෝ දුරට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දී බලාපොරොත්තු කඩ කරගත් අයයි. එම කඳවුරට ආකර්ශනීය සේ පෙනෙන අලුත් මූණකට මෙම ප්‍රතිශතයෙන් යම් කොටසක් ආකර්ශනය විය හැකියි. එම ගොඩෙන් තවත් කොටසක් රැල්ල තිබෙන පැත්තට ගසා ගෙන යන්න පුළුවන්. වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. 

පසුගිය ජනාධිපතිවරණයේදී මහරගම ආසනයේ ඡන්ද වලින් 66%ක් පමණ ගෝඨාභය විසින් ලබා ගනිද්දී අනුර කුමාර 5%ක් පමණ ලබා ගත්තා. එම මැතිවරණ ප්‍රතිඵලය අනුව යමින්, වලංගු ඡන්ද ප්‍රමාණය 83%ක් සේ සැලකුවහොත්, සුදාගේ අමු දත්ත අනුව, මේ වන විට අනුර කුමාර විසින් ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ගෝඨාභය ලබාගත් 66% ප්‍රතිශතයෙන් 35%ක් පමණයි. නාමල්ගේ 2% ඉවත් කළ විට, එයින් 29%ක්ම තවමත් තිබෙන්නේ "වෙනත්" ගොඩේ. සජිත් විසින් ලබා ගත් 27% ප්‍රතිශතයෙන් 10%ක් පමණද දැන් එම ගොඩේ නැහැ. එයින් 7%ක් පමණ රනිල්ගේ ගොඩේ තිබෙනවා. ඒ අනුව, අවසාන වශයෙන් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට (ජවිපෙද ඇතුළු) ලැබිය හැකි ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ අවිනිශ්චිත අවකාශයකයි.

සමස්ත චිත්‍රය දෙස බැලූ විට අනුර කුමාර තවමත් සිටින්නේ 50% සීමාවට පහළින්. එහෙත් වෙනත් කිසිවකු ඔහුගේ ළඟපාතකවත් නැහැ. 

සමීක්ෂණ ප්‍රතිඵල වලින් ඔබ්බට ගියොත්, ජවිපෙ හැමදාම මෙන් ඔවුන් ගැන අධි තක්සේරුවක සිටියා. ඒ නිසා, ජවිපෙ ප්‍රකාශ පැත්තකින් තිබ්බත්, බැසිල් හා රනිල් වැනි ප්‍රතිපක්ෂයේ නායකයින්ගේ ප්‍රකාශ වලින් ජවිපෙ සම්බන්ධව ඔවුන්ගේ තක්සේරුව කුමක්දැයි පැහැදිලි වෙනවා. දැනට පවතින තත්ත්වය තුළ ජවිපෙ ගොඩ ඉක්මවීමටනම් අනෙකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මෙන් එකතු වෙන්නට සිදු වෙනවා. එක පැත්තකින් එය සිදු වීමේ ප්‍රායෝගික ඉඩකඩ ගොඩක් අඩුයි. අනෙක් පැත්තෙන් එවැන්නක් සිදු වුවහොත් එයින්ද ජවිපෙට වක්‍ර වාසි කිහිපයක්ම ලැබෙනවා. 

අනෙක් ප්‍රධාන පක්ෂ සියල්ල එකතු වී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත්, ජවිපෙට ඔවුන්ගේ ජනප්‍රිය "හොරු ඔක්කොම එකගොඩේ" තර්කය ඉදිරියට ගෙන යාම පහසු වෙනවා. ඒ වගේම, අනෙක් සියලු කණ්ඩායම් වලට එකතු වෙන්නට සිදු වන තරමට ජවිපෙ ශක්තිමත්ය යන අදහස ඉස්මතු වෙනවා. අඩු වශයෙන් මේ හේතු දෙක නිසා දැනට පිටිය සකස් වී තිබෙන්නේ කවර තත්ත්වයක් යටතේ වුවද ජවිපෙට වාසිදායක ලෙසයි.

කෙසේ වුවත්, උතුරු නැගෙනහිර හා කඳුකර දෙමළ ඡන්ද වල හැසිරීම වැනි වෙනත් සාධක නිසා ජනාධිපතිවරණයකදී අනුර කුමාර ඉදිරියට ආවත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 50% නොඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත් දෙවන මනාපය ගණන් කරන්නට සිදු වෙනවා. දැනට පවතින ජවිපෙ හා ජවිපෙට එරෙහි බෙදීම අනුව, ජවිපෙට දෙවන මනාප ලොකුවට ලැබෙන්න ඉඩක් නැහැ. කෙසේ වුවත්, එවැනි තත්ත්වයකදී වුවද ඉදිරියෙන් සිටීමට බැරිකමක් නැති පරතරයක් දැනට ජවිපෙ විසින් පවත්වා ගෙන යනවා. 

ප්‍රසිද්ධ කර නොමැති, එහෙත් නිසි ක්‍රමවේදයකට එකතු කර ගෙන ඇති සේ උපකල්පනය කළ හැකි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" නිවැරදි බවත්, එහෙත් ඔවුන් විසින් ප්‍රසිද්ධ කර තිබෙන "සකස් කළ ඇස්තමේන්තු" සඳහා පාදක කරගෙන තිබෙන උපකල්පන නිවැරදි නොවන බවත් සලකා, එම ඇස්තමේන්තු වල කිසියම් අපේක්ෂකයෙකුගේ ගොඩට එකතු කර තිබෙන ඡන්ද වලින් 30%ක් "වෙනත්" ගොඩට දැම්මොත් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිඵලයක්.

අනුර - 35%

සජිත් - 23%

රනිල් + පොහොට්ටුව  - 12%

වෙනත් - 30%

එකතුව - 100%

මේ අනුව, අනුරට පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගැනීමටනම් "වෙනත්" ගොඩේ ඡන්ද වලින් 15%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. සජිත්ටනම් 27%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. එජාප/ පොහොට්ටු කඳවුරේ අපේක්ෂකයෙකුද සිටියදී එවැන්නක් ප්‍රායෝගිකව ඉතාම අසීරු ඉලක්කයක්. රනිල්ට, පොහොට්ටු කඳවුරේ පූර්ණ සහයෝගය ඇතුව වුවද, එවැනි ඡන්ද ප්‍රතිශතයක් ඉලක්ක කිරීමේ ඉඩකඩක් දැනට පෙනෙන්නට නැහැ. 

රනිල්ට තිබෙන එක් වාසියක් වන්නේ සජිත්ගේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක "දෙවන මනාපය" ලබා ගත හැකි වීමයි. එහෙත්, එය වාසියක් වන්නේ සජිත් අභිබවා දෙවන ස්ථානයට පැමිණිය හැකිනම් පමණයි. දැනට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැහැ. රනිල් + පොහොට්ටු කඳවුරේ දෙවන මනාප වලින් යම් කොටසක් සජිත්ට ලබා ගත හැකි වුවත්, එම ප්‍රමාණයේ උදවුවෙන් අනුර කුමාර සමඟ දැනට තිබෙන පරතරය ඉක්මවිය හැකිද යන්න සැක සහිතයි. දෙවන මනාපයක් ලබා ගත හැකි තරමට සජබ ඡන්දදායකයින්ට රනිල්ව ආකර්ශනීය වුවත්, පොහොට්ටු ඡන්දදායකයින්ට සජිත් ඒ ආකාරයෙන් ආකර්ශනීය නැහැ. 

මේ තත්ත්වය තුළ ආණ්ඩුව මුලින් ජනාධිපතිවරණයක් පවත්වයිද? එසේ නැත්නම් මහ මැතිවරණයකට යයිද?

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සම්බන්ධව රටේ විශාල පිරිසකගේ ප්‍රසාදයක් ඇති බව හෝ අඩු වශයෙන් විරුද්ධත්වක් නැති බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, ඉතා සීමිත පිරිසක් හැර, ඒ ගොඩෙන් වැඩි පිරිසක් මෙම වැඩ පිළිවෙළ වෙනුවෙන් විවෘතව පෙනී සිටීමට සූදානම් බවක් පෙනෙන්නට නැහැ. මීට ප්‍රධානම හේතුව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන දේශපාලන කඳවුරේ පරමාදර්ශ සහ වැඩ පිළිවෙළේ පරමාදර්ශ අතර තිබෙන ප්‍රතිවිරෝධයයි. 

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය විසින්  කාලයක සිටම පෙනී සිටි වැඩ පිළිවෙලයි. නමුත් පොහොට්ටු කඳවුර සමඟ සිටියේ එවැනි වැඩ පිළිවෙලකට ප්‍රතිපක්ෂව කාලයක් තිස්සේ මොළ ශෝධනය කරනු ලැබූ පිරිසක්. ඒ නිසා, දැන් ඔවුන් මෙම වැඩ පිළිවෙලට කැමැත්තක් දක්වන්නේ හෝ අකැමැත්තක් නොදක්වන්නේ "වෙන කළ හැකි හැකි දෙයක් නැති නිසා" මිස ඇඟෙන්ම නෙමෙයි.

අනෙක් පැත්තෙන් සජබ විසින් දිගටම පෙනී සිටියේ මෙම වැඩ පිළිවෙලට බොහෝ දුරට සමාන වැඩ පිළිවෙලක් වෙනුවෙන් වුවත් දැන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට ප්‍රතිවිරුද්ධ කඳවුර විසින් නිසා ඔවුන් කරන්නේ මෙම වැඩ පිළිවෙළේ අඩුපාඩු උලුප්පන එකයි. 

ඉහත තත්ත්වය තුළ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ලංකාවේ දේශපාලනය තුළ, හරියකට අම්මෙක් අප්පෙක් නැති, "අවජාතක" වැඩ පිළිවෙලක් බවට පත් වී තිබෙනවා. එම වැඩ පිළිවෙළ ගැන ස්වාධීනව විමසා බලා නිගමනයකට පැමිණිය හැකි නාගරික මධ්‍යම පාන්තිකයින් සුළු පිරිසක් හැරුණු විට, එය වැඩ කරන බව "ඇඟෙන් දැනෙන" බොහෝ දෙනෙකු සිටින්නේ කාලයක් තමන් සිර වී සිටි දේශපාලන සිර කූඩු වල සීමාවෙන් බැහැර වී එම වැඩ පිළිවෙළ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි තත්ත්වයකයි. මෙය කණගාටුදායක සිරකරුවාගේ උභතෝකෝටිකයක් (prisoner's dilemma). 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි "අයිතියට" උරුම කිව හැකි රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයක් ජයගැනීමේ ඉඩක් දැනටනම් පෙනෙන්නට නැහැ. ජවිපෙට ප්‍රතිපක්ෂ කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින සජබ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය හැකි සජිත් ප්‍රේමදාසට අවස්ථාව දී එජාප-පොහොට්ටු කඳවුර පැත්තකට වීමේ ඉඩක්ද නැහැ. එසේ වුවද, එම කඳවුරේ ඡන්ද සියල්ල සජිත්ට ආකර්ශනය කරගත නොහැකියි. සජිත්ට සාපේක්ෂව අනුර කුමාරට එම ඡන්ද ආකර්ෂණය කර ගැනීම පහසුයි. 

කෙසේ වුවත්, සරත් ෆොන්සේකා හෝ පාඨලී වැනි, සජබ හා එජාප/පොහොට්ටු කඳවුරු දෙකටම මැදින් සිටින අපේක්ෂකයෙකුට අනුර කුමාරට තරඟයක් දෙන්න පුළුවන්. එසේ නැත්නම් අලුත්ම මුහුණක් කරලියට එන්න පුළුවන්. ජවිපෙ විරෝධී කඳවුර එවැනි තේරීමක් කරයිද?

ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් මෙවැනි ක්‍රියා මාර්ගයක අවදානම් දෙකක් තිබෙනවා. පළමුව, යම් හෙයකින් මෙසේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් පසුවද ජවිපෙ ජය ගතහොත්, ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී ජවිපෙ විශාල ජයග්‍රහණයක් ලැබීම නොවැලැක්විය හැකියි. කෙසේ වුවත්, එසේ නොකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයද මෙයම නිසා එම කඳවුරේ පැත්තෙන් බැලූ විට මෙවැන්නක් නරක අදහසක් වන්නේ නැහැ. 

මහ මැතිවරණයක් මුලින්ම පැවැත්වීමෙන් ඉහත අවදානම ඉවත් කරගත හැකියි. බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය බව පෙනෙන්නේ එයයි. මෙය පොදුවේ පොහොට්ටුවේ ස්ථාවරය විය හැකියි. මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයක්නම්, එජාප, පොහොට්ටු හා සජබ කණ්ඩායම් වෙනම තරඟ කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජවිපෙ තනි කණ්ඩායමක් ලෙස මුල් තැනට පැමිණියද මන්ත්‍රී ධුර වලින් බහුතරය නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා, ජවිපෙ විරෝධී කණ්ඩායම් වලට පශ්චාත් මැතිවරණ සන්ධානයක් සදා ගැනීමේ අවස්ථාව තිබෙනවා. නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්නේ මේ ස්ථාවරයේද?

මෙහිදී ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් දැකිය හැකි දෙවන අවදානම සැලකිල්ලට ගන්න වෙනවා. කවර ක්‍රමයකින් හෝ ජවිපෙ විරෝධී කණ්ඩායම් වල ආණ්ඩුවක් පිහිටුවන්නේනම්, එම ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුවටත් වඩා කැඳ හැලියක් වීම නොවැලැක්විය හැකියි. එවැනි ආණ්ඩුවකට නොකරම බැරි ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් වැඩි කාලයක් පවතින්නට බැහැ. ඒ, ජවිපෙ විසින් ආණ්ඩුවක් නොපිහිටුවද, ජවිපෙ අනිවාර්යයෙන්ම ඉතා ප්‍රබල විපක්ෂයක් බවට පත් වන නිසයි. ඒ නිසා, අවසාන වශයෙන් සිදු වන්නේ යම් කාල පමාවකින් පසුව ජවිපෙ ජයග්‍රහණයකට පාර කැපෙන එක පමණයි.

මෙවැන්නක් වුවද, බැසිල් රාජපක්ෂ වැනි අයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් නරක තත්ත්වයක් නොවන්නට පුළුවන්. ඒ මගින් යම් කාලයක් හෝ බලය රඳවා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එහෙත්, ස්වකීය පෞද්ගලික අභිලාශ වලට වඩා දෘෂ්ඨිවාදී අභිලාශ වෙනුවෙන් පෙනී සිටින අයෙකු සේ හඳුනා ගත හැකි රනිල් වික්‍රමසිංහ හිතන්නේ මේ විදිහටද?

පමා වී හෝ ජවිපෙ බලයට පැමිණීම නොවැලැක්විය හැකි සේ පෙනේනම් එය කලින්ම සිදු වන්නට ඉඩ හැරීම ඇතැම් විට රනිල් වික්‍රමසිංහ වැනි අයෙකුගේ තේරීම වන්නට ඉඩ තිබෙනවා. එය එසේනම්, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නට අවශ්‍යතාවයක් නැහැ.

තුන් වන විකල්පයක් විය හැක්කේ මැතිවරණ සාමාන්‍ය පරිදි නොපවත්වා "ජිල්මාට් එකක්" දැමීමයි. පළාත් පාලන මැතිවරණ අත්දැකීම අනුව එවැන්නක් සිදු නොවිය හැකි දෙයක් නෙමෙයි. කෙසේ වුවත්, එවැන්නක් කෙරෙහි යොමු වීම දේශපාලනික ලෙස ප්‍රතිඵලදායක වන්නේ ජනමතය පසුව ආණ්ඩුව වෙත නැඹුරු වීමේ ශක්‍යතාවක් ඇත්නම් පමණයි. ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකියි. 

මේ හේතු නිසා, ජනමතය තිබෙන්නේ මාලිමාව පැත්තේනම්, එම ජනමතයට ඉඩ දීමට රනිල් වික්‍රමසිංහ විසින් ඉඩ හරින්නට ඉඩකඩ වැඩියි. එවිට තමන් හා එකතු වෙන ජනතාව දිගටම තමන් සමඟ රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ මාලිමාවටයි. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය දිගටම පවත්වා ගත යුතු වෙනවා. 

මාලිමාව මේ අභියෝගය යම් දුරකට හඳුනාගෙන ඇති බව පෙනෙනවා. ඔවුන් මේ අභියෝගයට මුහුණ දෙන එක් ආකාරයක් වන්නේ නාමික විරෝධයක් පමණක් පෙන්වමින් පවතින ආණ්ඩුවට ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කලින්ම සිදු කිරීමට ඉඩ හැරීමයි. එය අත පුච්චා නොගෙන කොස් ඇට පුච්චා ගත හැකි ක්‍රමයක්. එහෙත්, එය ප්‍රමාණවත් උපාය මාර්ගයක් නෙමෙයි. ඉදිරි ජාතික මැතිවරණ ජය ගෙන ආණ්ඩුවක් හදන්නේ කවර පාර්ශ්වයක් වුවත්, තමන් පැළඳ ගත් ඔටුන්න කටු ඔටුන්නක් බව පෙනී යන්නට වැඩි කාලයක් ගත වන එකක් නැහැ. 

Saturday, March 23, 2024

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා. ඇතැම් ඉලක්ක අපේක්ෂා කළාටත් වඩා හොඳින් ළඟා කර ගෙන තිබෙනවා.

මෙම වැඩ සටහනේ ප්‍රධානම ප්‍රමාණාත්මක ඉලක්ක වුනේ පහත ඒවායි. 

රජයේ ප්‍රාථමික අයවැය ශේෂය: මෙය 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 209ක හිඟයක් විය හැකි අතර එම හිඟය ඊට වඩා වැඩි නොවිය යුතුයි. රජය විසින් 2023 නොවැම්බර් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 331ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. වසර අවසාන වන විටද ප්‍රාථමික අතිරික්තයක් පැවතී ඇති බව පැහැදිලියි. 

ශුද්ධ විදේශ සංචිත: 2023 වසර අවසාන වන විට ඩොලර් මිලියන 1,592ක හිඟයක් පැවතිය හැකි අතර එම හිඟය ඊට වඩා වැඩි නොවිය යුතුයි. මෙම ඉලක්කයට ගොස් ඇති බව පෙනෙනවා. 

මහ බැංකුවෙන් රජයට ලබා දී ඇති ණය ප්‍රමාණය: මෙය 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 2,740ට නොවැඩි විය යුතුයි. වසර අවසානයේදී මෙම අගය රුපියල් බිලියන 2,376 දක්වා අඩු වී තිබෙනවා.

උද්ධමනය: මෙය 2023 දෙසැම්බර් මාසයේදී 12%-18% අතර පැවතිය යුතුයි. වසර අවසාන වන විට උද්ධමනය 4% දක්වා අඩු වී තිබුණා.

රජයේ බදු ආදායම: 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 2,940ට වඩා වැඩි විය යුතුයි. නොවැම්බර් අවසානය වන විට රජයේ බදු ආදායම රුපියල් බිලියන 2,512ක්. ඒ අනුව, දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 428ක් එකතු කර ගත යුතුව තිබුණා. මෙම ඉලක්කයට ගොස් ඇති බව පෙනෙනවා. 

සමාජ වියදම්: 2023 වසර අවසාන වන විට අවම වශයෙන් රුපියල් බිලියන 187ක සමාජ වියදම් වැය කර තිබිය යුතුයි. වසර අවසන් වෙද්දී රජය විසින් මෙම මුදල වියදම් කර නැහැ. 

මේ අනුව පෙනෙන පරිදි, රජයේ බදු ආදායම් ඉලක්කය ලඟා කර ගෙන ඇති බව පෙනෙන නමුත් එය ලඟා කරගෙන තිබෙන්නේ යාන්තමින් බවයි පෙනෙන්නේ. එසේ නොවීනම්, වසර අවසන් වීමට ආසන්නව නැවත වරක් වැට් බදු අනුපාතය වැඩි කරන්න හේතුවක් නැහැ.

මේ අනුව, ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙන්නේ ඉලක්කයට වඩා ආදායම් වැඩි කර ගැනීමෙන් නොව, යාන්තම් ආදායම් ඉලක්කයට යමින් රජයේ වියදම් දැඩි දෙස සීමා කිරීම මගිනුයි. සමාජ වියදම් ඉලක්කය මග හැරීමෙන් පෙනෙන්නේද එසේ වියදම් දැඩි ලෙස සීමා කර ඇති බවයි. 

මේ ආකාරයෙන් ඉලක්කයට වඩා අරමුදල් ඉතිරි කර ගැනීම නිසා මහ බැංකුවේ ණය වලින් අවශ්‍ය ඉලක්කයට වඩා සැලකිය යුතු කොටසක් ගෙවා දමන්නට රජයට හැකි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුවට සංචිත මුදල් වැඩි නොකර විදේශ සංචිත ඉලක්කයට යා හැකි වී තිබෙනවා. උද්ධමනය ඉලක්කයට වඩා විශාල ලෙස පහත වැටීම මෙහි ප්‍රතිඵලයයි. 

උද්ධමන ඉලක්කය කරා කලින්ම පැමිණ ඇති නිසා දැන් මහ බැංකුවට හා රජයට ආර්ථික වර්ධනය ගැන කලින්ම හිතන්නට ඉඩක් ලැබී තිබෙනවා. ඒ වගේම, උද්ධමනය ප්‍රශ්නයක් කර නොගෙන රජයේ වියදම් යම් පමණකින් වැඩි කිරීමටද අවකාශයක් ලැබී තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන ඉදිරිපත් වූ කාලයේ ඇතැම් අය ලෝකය පුරා රටවල් පීරමින් අරමුදලේ වැඩ සටහන් අසාර්ථක වූ තැන් හොයන්නට පුදුම මහන්සියක් ගත්තා. එසේ කළේ එම වැඩ සටහන් සාර්ථක වීම පිළිබඳව නිදර්ශන 16ක් ලංකාවේම තිබියදී. දැන් එම 16ට තවත් එකක් එකතු වී තිබෙනවා. මෙවර ගොඩ පැමිණ ඇත්තේ පෙර අවස්ථා වල පැවති මට්ටමේ සරල ගෙවුම් ශේෂ අර්බුදයකින් නෙමෙයි. ගෙවුම් ශේෂ අර්බුදය හා බැඳුණු දැවැන්ත විදේශ ණය අර්බුදයකින්. අර්බුදය අවසන්ව නැතත් එහි අසීරුම මුල් අදියර දැන් අවසන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනක් කියන්නේ කෝකටත් තෛලයක් හෝ සර්ව සම්පූර්ණ වැඩ පිළිවෙලක් නෙමෙයි. නමුත් ලංකාව "දේශීය විසඳුම්" වලින් රටේ ආර්ථිකය බොරු වලවල් වලට වට්ටවා ගත් හැම විටකම එම වැඩ සටහන් වල උදවුවෙන් රට ගොඩ ගිහින් තිබෙනවා. මෙන් පෙර කිසිම අවස්ථාවක රට ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වුනේ නැහැ. අරමුදලේ වැඩසටහනකට වසරකට පමණ කලින් ගියානම් මෙවරද මේ තරම් විනාශයක් සිදු වන්නේ නැහැ.

පෙර 16 වරම අරමුදලේ උදවුවෙන් ගොඩ ගිය ආර්ථිකය නැවත නැවත අර්බුදයට ගියේ යාන්තම් ගොඩ එද්දී එම වැඩ පිළිවෙළින් පිට පැනපු නිසා. මෙවරත් එවැන්නක් වෙන්න පුළුවන්. එසේ නැවත පිට පැන්නොත් මුහුණ දෙන්න වෙන්නේ කලින් මුහුණ දුන්නාට වඩා උග්‍ර ආර්ථික අර්බුදයකටයි. 

මහ බැංකුව වැටුප් නැවත සලකා බලයි!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇති පරිදි, සාමූහික ගිවිසුමක් හරහා වැඩි කර ගනු ලැබූ මහ බැංකු සේවකයන්ගේ වැටුප් පිළිබඳව නැවත සලකා බැලීමට එහි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සහ වෘත්තීයවේදීන්ගේ බහුතරය විසින් තීරණය කර තිබෙනවා. ඒ අතරම, මේ හා අදාළව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින්ද මහ බැංකුව වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත පද්ධතියට අයත් ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සභාපති වරයාගේ 2019 වාර්ෂික වැටුප ඇමරිකන් ඩොලර් 203,500ක්ව පැවත ඇති අතර උප සභාපති ඇතුළු අනෙකුත් අධිපති මණ්ඩල සාමාජිකයින් හය දෙනාගේ වාර්ෂික වැටුප ඩොලර් 183,100ක්. මෙම වැටුප් මේ වන විට මීට වඩා වැඩි වී තිබිය හැකියි. එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් ඉහළම ශ්‍රේණියේ ආරම්භක වැටුප 2024 වර්ෂයේදී ඩොලර් 147,000ක් වන අතර පහළම ශ්‍රේණියේ ආරම්භක වාර්ෂික වැටුප ඩොලර් 35,400ක්. මෙම පහළම වැටුප 2024දී ඇමරිකාවේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක දරිද්‍රතා මට්ටම සලකා බලන ආදායම වන ඩොලර් 31,200ට වඩා 13.5%කින් වැඩියි. 

අනෙකුත් දීමනා ආදිය ඇතුළුව ෆෙඩරල් සංචිත බැංකුවේ ඇතැම් නිලධාරීන් විසින් 2022 වසරේදී ඩොලර් 298,359 දක්වා වන වැටුප් ලබාගෙන තිබෙනවා. එම වසර තුළ ඩොලර් 225,000 ඉක්මවන වැටුපක් ලැබු නිලධාරීන් ප්‍රමාණය 538ක්. 2019 වසරේදී ෆෙඩරල් අධිපති මණ්ඩලයෙහි 2,843 දෙනෙකු සේවය කළ අතර සමස්තයක් ලෙස ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය තුළ 22,725 දෙනෙකු සේවය කළා.

ඉන්දියාවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති වරයෙකු විසින් රුපියල් 225,000ක මාසික වැටුපක් ලබා ගන්නවා. එහි අනෙකුත් සේවකයින් 13,887 දෙනෙකු අතරින් වැඩිම වැටුප් ගන්නා (Class I) සේවකයින් විසින් 2023 ජූලි මාසයේදී මසකට ඉන්දියානු රුපියල් 185,900ක් ලබා ගෙන ඇති අතර අඩුම වැටුප් ගන්නා සේවකයින් (Class IV) විසින් මසකට ඉන්දියානු රුපියල් 17,270ක වැටුපක් ලබා ගෙන තිබෙනවා. 

Wednesday, March 20, 2024

ඩොලරය බහින එක හොඳද?


මේ වෙද්දී මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (මාර්තු 20) ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.1361ක්. විකිණුම් මිල රුපියල් 308.7249ක්. මැදි මිල 303.9753ක්. දැනට පවතින ප්‍රවණතාවය අනුව ඉතා ඉක්මණින් ඩොලරයක මැදි මිල රුපියල් 300 සීමාවෙන් පහළට එන්න පුළුවන්.

ලංකාවේ ගොඩක් අය ඩොලරයක මිල ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ ප්‍රධාන දර්ශකයක් ලෙස සලකනවා. ඩොලරයක මිල ඉහළ යද්දී එය ආර්ථිකයේ කඩා වැටීමක් විදිහටත්, මිල අඩු වෙද්දී එය ආර්ථිකය ස්ථායී වීමක් විදිහටත් දකිනවා. ලංකාවේ දේශපාලනයේ දිශානතිය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි, ආනයන පරිභෝජනය මත ජීවිතයේ සන්තුෂ්ඨිය රඳවා ගත්, ලංකාවේ ඉහළ හා පහළ මධ්‍යම පන්තියේ ආර්ථික අභිලාෂ එක්ක මේ සිතීම සමපාත වෙනවා. 

මේ විදිහට ඩොලරයක මිල "කඩා වැටීම" ඇත්තටම හොඳද? 

ඉහත ප්‍රස්ථාරය දිහා බැලූ විට "කඩා වැටීම" කියන වචනය යොදා ගැනීමේ ලොකු වැරැද්දක් පේන්න නැහැ. මිල පහත යන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මේ දවස් වල ලංකාවේ ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම සැලකිය යුතු තරම් වැඩියි.

පෙර ලිපියකද විස්තර කළ පරිදි මීට හේතුව ණය නොගෙවීම නෙමෙයි. ණය ගෙවපු කාල වකවානු වල, හැම විටම මෙන්, ණය ගෙවුවේ අලුතෙන් තව ණය අරගෙනයි. ඒ නිසා, ණය නොගෙවනවා කියන එක ඒ තරම් බරක් තැබිය යුතු නැති තර්කයක්. සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙන පරිදි, මේ දවස් වල ලංකාව උපයන ඩොලර් ප්‍රමාණය වැය කරන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩියි. 

වාහන ආනයන වලට තවමත් ඉඩ දී නැති බව ඇත්ත. නමුත්, වඩා වැදගත් කරුණ මහ බැංකුව විසින් මුදල් සැපයුම පාලනය කිරීම හරහා ආනයන ඉල්ලුම සීමා කර තිබීමයි. වාහන හැර අනෙකුත් ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ ඒ නිසා. අපනයන ආදායම් හා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයේ ආදායම් ඇතුළත් සේවා ආදායම් වලට ශ්‍රමික ප්‍රේෂණ එකතු වූ විට සෑම මාසයකදීම ආනයන වියදමට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබෙනවා. 

මේ වගේ වෙනසක් එක්ක විදේශ විණිමය වෙළඳපොළ තුලනය වෙද්දී ඩොලරයක මිල දවසෙන් දවස බහිනවා. එය නවතින්නේ ආනයන ඉල්ලුම ඩොලර් සැපයුමේ මට්ටමට ඉහළ ගිය විටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශද එක්ක මහ බැංකුව ඉන්නේ පාලිත පාවෙන විණිමය ප්‍රතිපත්තියක. ඒ අනුව, ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ කලින් නිශ්චය කර තිබෙන මට්ටමක් දක්වා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නවා. ඩොලරයක මිල මේ විදිහට කඩා වැටෙන්නේ එසේ කරද්දී. මහ බැංකුවේ මැදිහත් වීම් නොවන්නට මේ වෙද්දී ඩොලරයක මිල මීට වඩා ගොඩක් අඩුවෙලා. 

ඩොලරයක මිල අඩු වීමේ වාසි වගේම අවාසිත් තිබෙනවා. මෙයින් පාඩු ලබන ප්‍රධානම පාර්ශ්වය අපනයනකරුවෝ. ඩොලරයක මිල ඉහළ යද්දී තේ වගාකරුවන් වැනි අයගේ ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වුනා. මීට සාපේක්ෂව කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ වැටුප්ද වැඩි වුනා. දැන් තේ ආදායම් ලෙස ලැබෙන මුදල අඩු වෙද්දී ශ්‍රමිකයින්ට ගෙවිය යුතු මිල අනුපාතිකව අඩු වෙන්නේ නැහැ. 

කොහොම වුනත්, මම හිතන විදිහට, ශ්‍රමික වැටුප් ඩොලරයක මිල ඉහළ ගිය තරමටම වැඩි වී නැති නිසා ඩොලරයක මිලේ යම් අඩුවීමක් දරා ගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. මේ සීමාව ගැන මට අදහසක් නැති වුනත්, ඩොලරයක මිල දිගටම පහළ වැටෙද්දී එය කර්මාන්තයට ප්‍රශ්නයක් වෙන බවනම් පැහැදිලියි. මෙය අනෙකුත් අපනයන කර්මාන්ත වලටත් අඩු වැඩි වශයෙන් අදාළයි.

ඩොලරයක මිල පහත වැටෙද්දී විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයට ලැබෙන රුපියල් ප්‍රමාණයද අඩු වෙනවා. එය ඔවුන්ට අවාසියක්. ලැබෙන මුදලෙන් තමන්ගේ වියදම තියාගෙන වැඩි කොටස කොහොමටත් ලංකාවට එවන අයට ඩොලරයක මිල කීය වුනත් එවන මුදල වැඩි කරන්න බැහැ.

ලංකාවට ප්‍රේෂණ එවන ගොඩක් අය ඔය වගේ අය වුනත් හැමෝම ඔය කාණ්ඩයේ අය නෙමෙයි. කාලයක් තිස්සේ ඇමරිකාවේ පදිංචිව සිටින මම දන්නා ගොඩක් අය ලංකාවට මාස්පතා සල්ලි යවනවා. ඒ විදිහට සල්ලි යවන්නේ තමන්ගේ පවුලේ අයටම නෙමෙයි. උදාහරණයක් ලෙස ගොඩක් අය ලංකාවේ තෝරාගත් පාසැල් සිසුන්ට හා සරසවි සිසුන්ට උදවු කරනවා. එහිදී ඔවුන් කරන්නේ මාස්පතා නිශ්චිත රුපියල් ප්‍රමාණයක් යවන එක නිසා ඩොලරයක මිල අඩු වෙද්දී වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට යවන්න වෙනවා. මේ වගේ ප්‍රේෂණ හා අදාළව ඩොලරයක මිල අඩුවීම කෙටිකාලීනව ලංකාවට වාසිදායකයි. 

සංචාරක ලැබීම් සැලකුවොත් ගොඩක් වෙලාවට සංචාරකයින්ගෙන් අය කරන්නේ රුපියල් වලින්. ගාස්තු ඩොලර් වලින් කිවුවත් ඩොලර් වලට හරවන්නේ රුපියල් ගණන නිසා ඔවුන් ගෙවන්නේ ඩොලර් වලින්ද නැත්නම් රුපියල් වලින්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල අඩු වෙද්දී සංචාරක ලැබීම් ලෙස රටට එන විදේශ විණිමයද ඉහළ යනවා. අඩු වශයෙන් කෙටිකාලීනව. 

ඩොලරයක මිල අඩු වෙද්දී, අඩු වශයෙන් කෙටිකාලීනව, ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ඉහළ යන නිසා, අපනයන වල යම් අඩුවක් වුනත් එය පහසුවෙන්ම නිශේධනය වෙනවා. දිගුකාලීනව විය හැකි බලපෑම් වෙනම කතාවක්. නමුත්, ප්‍රශ්නය අනෙක් අතට ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානමයි.

මහ බැංකුව විසින් ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානම පාලනය කර තිබෙන්නේ මුදල් සැපයුම පාලනය කිරීම හරහා. කොහොමටත් යෝජිත ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ මුදල් සැපයුම වැඩි කළ හැක්කේ යම් සීමාවන් තුළ පමණයි. 

ඩොලරයක මිල පහළ යද්දී ආනයන වඩා ආකර්ශනීය වීම ඉතාම පැහැදිලි කරුණක් වුනත් ඒ වෙනුවෙන් වැය කිරීම සඳහා ඩොලර් මිල දී ගන්න රුපියල් අවශ්‍ය වෙනවා. ඒ නිසා, රුපියල් සැපයුමේ ප්‍රසාරණය සීමා වෙද්දී ආනයනද පාලනය වෙනවා. කොහොම වුනත්, ඩොලරයක මිල "කඩා වැටීමේ" ප්‍රශ්න තියෙනවනේ. මහ බැංකුවට මැදිහත්වීම් වැඩි කරලා මේ කඩා වැටීම නවත්වන්න බැරිද?

පුළුවන්. නමුත් එහෙම කරද්දී රටේ රුපියල් සැපයුම ඉහළ යනවා. මොකද ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. වෙනත් වචන වලින් කිවුවොත් යම් සීමාවකින් එහාට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නනම් සල්ලි අච්චු ගහන්න වෙනවා.

සල්ලි අච්චු ගහන්නෙත් නැතුව වෙළදපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?

එහෙම ක්‍රමයකුත් තියෙනවා. මහ බැංකුව දැන් බොහෝ දුරට අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. ඩොලර් මිල දී ගනිද්දී එළියට යන රුපියල් ප්‍රමාණය මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණලා නැවත ආපසු ලබා ගන්න පුළුවන්. එවිට වෙළඳපොළේ රුපියල් ප්‍රමාණය වැඩි නොකර ඩොලර් ටිකත් එකතු කර ගන්න පුළුවන්.

එහෙමනම් ඔය වැඩේ නොකරන්නේ ඇයි?

මේ වෙද්දී රජය ප්‍රාථමික අයවැය හිඟය තුලනය කරගෙන තිබෙනවා. ඒ නිසා, රජයේ වියදමට අලුතෙන් ණය ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසාම, දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයම නැවත අලුත් කරනවා මිස වෙළඳපොළට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ස්ථාවරව තිබෙනවා.

එසේ වුවත්, දැනට නිකුත් කර තිබෙන රාජ්‍ය සුරැකුම්පත් වලින් විශාල කොටසක් තියෙන්නේ මහ බැංකුව සතුවයි. මහ බැංකුව ඒ රාජ්‍ය සුරැකුම්පත් එළියට දමද්දී වෙළඳපොළේ තිබෙන රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය ඉහළ ගිහින් ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. රජය අලුතෙන් සුරැකුම්පත් නිකුත් කරද්දී වෙන දෙයමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පොලී අනුපාතික ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට බාධාවක්.

බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් වැඩි වැඩියෙන් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරද්දී පෞද්ගලික අංශයට ණය සේ ලබා දිය හැකි ණය ප්‍රමාණය සීමා වෙනවා. ආර්ථික වර්ධනයට බාධා වෙන්නේ ඒ නිසා. පෞද්ගලික අංශයට දෙන ණය ඕනෑවට වඩා ඉහළ ගියොත් ආනයන ඉල්ලුම සීමාව පනින නිසා ඒකත් ප්‍රශ්නයක්. හැබැයි ආර්ථික වර්ධනය සඳහා මෙම ණය වල යම් වර්ධනයක් අවශ්‍යයි. මේ සියල්ල තුලනය කර ගන්න එක සීරුමාරුවට කළ යුතු සංකීර්ණ වැඩක්.

ඉහත විස්තර කළ පරිදි, මහ බැංකුව උත්සාහ කරන්නේ විනිමය අනුපාතය හා පොලී අනුපාතික යන දෙකම එකවර පාලනය කරන්නයි. මූලධර්මයක් විදිහටම ඔය දෙකම එකවර පූර්ණ වශයෙන් පාලනය කරන්න බැහැ. විණිමය අනුපාතය අවශ්‍ය විදිහට පාලනය කරන්නම් පොලී අනුපාතික නිදහස් කරන්න වෙනවා. ඒ කියන්නේ ආර්ථික වර්ධනය අමතක කරන්න වෙනවා. පොලී අනුපාතික අවශ්‍ය විදිහට පාලනය කරන්නනම් විණිමය අනුපාතය සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න වෙනවා. මහ බැංකුව දැනට උත්සාහ කරන්නේ ඔය දෙකම යම් තරමකින් නිදහස් කර සහ යම් තරමකින් පාලනය කර උද්ධමන ඉලක්ක හා ආර්ථික වර්ධනය අතර තුලනයක් පවත්වා ගන්නයි.

මැදිකාලීනව මහ බැංකුවට විදේශ සංචිත සැලකිය යුතු ලෙස වැඩි කරගන්න සිදු වෙනවා. ඒ වගේම, දැනට මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කන්දරාවෙන් නිදහස් වෙන්නත් වෙනවා. මේ දෙක එකවර කරද්දී විණිමය අනුපාතය ඉහළට තෙරපෙනවා වගේම පොලී අනුපාතිකත් ඉහළට තෙරපෙනවා. පළමුවැන්න ආර්ථික වර්ධනයට නරක නැතත් දෙවැන්න ආර්ථික වර්ධනයට හානිකරයි. ඒ නිසා, මහ බැංකුව රාජ්‍ය සුරැකුම්පත් එළියට දමමින් සිටින්නේ එයින් පොලී අනුපාතික මත වන පීඩනයද කළමනාකරණය කරමිනුයි. මේ වැඩේ කරන නිසා, මහ බැංකුවට මිල දී ගත හැකි විදේශ විණිමය ප්‍රමාණය සීමා වෙනවා. ඒ නිසා, ඩොලරය බහිනවා. 

Monday, March 18, 2024

ලංකාවේ ජනගහණය අඩු වෙයි!


රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 144,395කින් අඩු වී තිබෙනවා. මෙය මෑතකාලීන ඉතිහාසය තුළ (නිදහසින් පසුව) මෙවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාව විය යුතුයි. මේ ආකාරයෙන් රටේ ජනගහණය අඩු වීමට හේතුව අදාළ කාලය තුළ 222,715 දෙනෙකු රටෙන් පිටව යාමයි. 

රටක ජනගහණය වෙනස් වීමට හේතු වන කරුණු හතරක් තිබෙනවා. ඒ උපත් ප්‍රමාණය, මරණ ප්‍රමාණය, රටින් පිටවූ ප්‍රමාණය හා රටට පැමිණි ප්‍රමාණයයි. මේ අනුව, කිසියම් කාලයක් තුළ රටක ජනගහණය වෙනස් වීම පහත ආකාරයෙන් ගණනය කළ හැකියි.

ජනගහණයේ වෙනස් වීම = උපත් ප්‍රමාණය - මරණ ප්‍රමාණය - රටින් පිටවූ ප්‍රමාණය + රටට පැමිණි ප්‍රමාණය

ලංකාවේ නීතිය අනුව උපත් හා මරණ ලියාපදිංචි කළ යුතු අතර රටින් පිටවීමේදී හා රටට පැමිණීමේදී ආගමන විගමන නීති අනුව කටයුතු කළ යුතුයි. ඒ නිසා, ජනගහණයේ වෙනස් වීම සෑහෙන තරම් නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි. 

සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට සිදුවන උපත් ප්‍රමාණය වසරකට සිදුවන මරණ ප්‍රමාණයට වඩා වැඩි නිසා රටට පැමිණෙන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් රටින් පිටව නොගියහොත් ජනගහණය වර්ධනය වෙනවා. ඇතැම් වසර වලදී රටට පැමිණෙන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටින් පිටව යන නමුත් එම සංඛ්‍යා අතර වෙනස උපත් හා මරණ ප්‍රමාණ අතර වෙනසට වඩා අඩුයි. එමෙන්ම, 2015-2018 අතර කාලයේදීත් ඉන් පසුව 2020/21 වසංගත කාලය තුළත් සිදු වූයේ රටෙන් පිටව යන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටට පැමිණීමයි. 

ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී ශ්‍රී ලාංකිකයින් රටෙන් පිටව යාම විශාල ලෙස ඉහළ ගියා. ඊට අමතරව, උපත් ප්‍රමාණය අඩු වීම සහ මරණ ප්‍රමාණය ඉහළ යාමද ජනගහණ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා. 

බොහෝ දෙනෙකුගේ අදහස් අපේ මතයට වඩා වෙනස් විය හැකි වුවත්, අපගේ අදහස වනුයේ වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලාංකිකයින් වැඩි වැඩියෙන් විදේශගත වීම රටට නරක දෙයක් නොවන බවයි. අප එසේ සිතන්නේ ඔවුන් රටට විදේශ විණිමය එවනු ඇතැයි යන අදහසින් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ වල සාධනීය පැත්තක් වගේම නිශේධනීය පැත්තකුත් තිබෙනවා.

ලංකාව ප්‍රාග්ධනය හිඟ රටක් බව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණක්. රටක ප්‍රාග්ධන අවශ්‍යතාව හෝ ප්‍රාග්ධන හිඟය ගැන කතා කළ හැක්කේ ඒ රටේ මානව සම්පත් ප්‍රමාණයට සාපේක්ෂවයි. ලංකාව සතු මානව ප්‍රාග්ධනය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා දැනට තිබෙනවාට වඩා වැඩි භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් නොලැබෙන්නේ මේ හේතුව නිසා. භෞතික ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් මානව ප්‍රාග්ධනය වර්ධනය වෙද්දී තරඟය ඉහළ යාම නිසා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පහළ යනවා. ලංකාවේදී මානව ප්‍රාග්ධනය වෙනුවෙන් සාපේක්ෂව අඩු ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ නිසා. 

ලංකාවේ ප්‍රාග්ධන හිඟය වෙනත් ආකාරයකින් විග්‍රහ කරමින්, රටේ දැනට තිබෙන භෞතික ප්‍රාග්ධනයට සාපේක්ෂව මානව ප්‍රාග්ධන අතිරික්තයක් ඇති බව කියන්නත් පුළුවන්. ඒ නිසා, එම මානව ප්‍රාග්ධන සංචිතය අඩු වීම රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. ඒ නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස රටින් පිටවීම රටට හානියක් නෙමෙයි. ඒ වගේම, ඒ හරහා ගොඩ නැගෙන සම්බන්ධතා ලංකාවට දිගුකාලීන වාසියක්.

සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහණය සෑම වසරකම මෙන් වර්ධනය වන නිසා රටේ ඒක පුද්ගල ආදායම වර්ධනය වන්නේ ආර්ථික වර්ධන වේගයට වඩා අඩු වේගයකින්. එහෙත්, ජනගහණය අඩු වෙද්දී රටේ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි වේගයකින් ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. ඒ අතරම, ශ්‍රමය සඳහා වන තරඟය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආදායමෙන් ශ්‍රමයේ පංගුව ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකියි.

වත්මන් ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රමිකයින් විදේශ ගත වීම් ප්‍රවර්ධනය කරමින් සිටින බව පෙනෙනවා. මෙම ප්‍රතිපත්තිය ඇතැම් අයගේ විවේචන වලට බඳුන්ව ඇති බවද දැකිය හැකියි. කෙසේ වුවත්, ජාජබ වැනි පක්ෂ විසින්ද මේ අයුරින් වැඩි වැඩියෙන් ශ්‍රමිකයින් රට පැටවීමේ වැදගත්කම ආර්ථික අර්බුදයට පෙර සිටම හඳුනාගෙන ඇති බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලූ විට පැහැදිලි වෙනවා. ධීවර කාර්මිකයින්ගේ සිට ඉදිකිරීම් කර්මාන්තයේ ශ්‍රමිකයින් දක්වා පිරිස් රජය මැදිහත් වී රට පැටවීම ජාජබ ප්‍රකාශිත ප්‍රතිපත්තියේ කොටසක්. එම පක්ෂයේ ප්‍රතිපත්ති වල වෙනස්කම් කෙරෙහි විශාල අවධානයක් යොමුව ඇතත්, දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති සහ ජාජබ ප්‍රතිපත්ති සමපාත වන මෙවැනි තැන්ද ගණනාවක් හඳුනා ගත හැකියි.

Saturday, March 16, 2024

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?


ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක ජනගහණයෙන් 17.8%ක්ම ජීවත් වන්නේ ඉන්දියාවේ බැවින් මෙය අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉන්දියාව වෛද්‍ය උපාධිධාරීන් නිපදවන්නේ ඉන්දියානු වෙළඳපොළ සඳහා පමණක් නෙමෙයි. 

පහත තිබෙන්නේ ඉහත සඳහන් ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, ලෝකයේ රටවල් අතරින් වැඩිම වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයක් තිබෙන රටවල්.

ඉන්දියාව - 600

බ්‍රසීලය - 375

ඇමරිකා එක්සත් ජනපදය - 211

චීනය - 164

මෙක්සිකෝව - 147

පකිස්ථානය - 123

තුර්කිය - 109

බංග්ලා දේශය - 100

රුසියාව - 91

ඉන්දුනීසියාව - 91

ජපානය - 82

ඉරානය - 64

කොලොම්බියාව - 59

පිලිපීනය - 54

පේරු - 50

ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි ලෝකයේ තිබෙන වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් බාගයකට වඩා තිබෙන්නේ රටවල් දහයකයි. එයින් රටවල් අටක වෛද්‍ය විද්‍යාල සීයකට වඩා තිබෙනවා. මෙම රටවල් අට අතර අපේ අසල්වැසි රටවල් තුනක්ම තිබෙනවා. වෛද්‍ය විද්‍යාල පණහකට වඩා තිබෙන රටවල් ගණන 15ක්.

පෙර ලිපියක විස්තර කළ පරිදි ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වල උපාධි වර්ග දෙකක් ලබා දෙනවා. ලබා දෙන වෛද්‍ය උපාධිය අනුව, මෙම වෛද්‍ය විද්‍යාල පිළිගැනීමට ලක් කරන ආකාරයද වෙනස් වෙනවා. වෛද්‍ය විද්‍යාල වැඩි ගණනකින් ලබා දෙන MD උපාධිය පිළිගැනීමට ලක් කරන්නේ (accredit) වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුව (LCMA) විසින්. මෙම කමිටුව ඇමරිකානු වෛද්‍ය සංගමයේ හා ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්. මෙම ආයතන කිසිවකට ඇමරිකාවේ ෆෙඩරල් හෝ ප්‍රාන්ත රජයක සෘජු සම්බන්ධයක් නැහැ. 

ඇමරිකානු වෛද්‍ය සංගමයට හා ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මක භාවය පවත්වා ගන්නට අවශ්‍ය ඇයිද කියන එක තේරුම් ගන්න අපහසු නැහැ. එක් වෛද්‍ය විද්‍යාලයකින් ලබා දෙන වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය හොඳ මට්ටමක නැත්නම් එය ඊට සමාන උපාධි ලබා දෙන අනෙක් වෛද්‍ය විද්‍යාල වල වෛද්‍ය උපාධි වල කීර්ති නාමය කෙරෙහිද බලපානවා. ඒ නිසා, MD උපාධිය ලබා දෙන ඇමරිකානු වෛද්‍ය විද්‍යාල වල එකතුවක් වන ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමය මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම, ඇමරිකාවේ MD උපාධියක ගුණාත්මක භාවය පහත වැටීම දැනට එම උපාධිය තිබෙන සියල්ලන්ටම බලපානවා. ඒ නිසා, එවැන්නන්ගේ එකතුවක් වන ඇමරිකානු වෛද්‍ය සංගමය මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා. 

ඉහත පිළිගැනීම ලබා ඇති වෛද්‍ය විද්‍යාල ගණන 158ක්. එම වෛද්‍ය විද්‍යාල 158ට තවමත් පූර්ණ පිළිගැනීමක් ලැබී නොමැති අලුත් වෛද්‍ය විද්‍යාල 8ක් සහ පිළිගැනීම පරිවාස මට්ටමට ලක් කර ඇති පැරණි වෛද්‍ය විද්‍යාල 3ක්ද ඇතුළත්. මීට පෙර අපේ ලිපි කිහිපයකට මාතෘකාව වූ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට මේ වන විට පරිවාස තත්ත්වයේ තිබෙන වෛද්‍ය විද්‍යාලයක්. එයින් අදහස් වන්නේ කිසියම් අඩුපාඩුවක් නිවැරදි කර ගැනීම සඳහා යම් කාලයක් ලබා දී ඇති බවයි. මීට අමතරව තවත් වෛද්‍ය විද්‍යාල පහක් වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවේ ඇගයීම අපේක්ෂාවෙන් සිටිනවා. 

මේ දක්වාම කැනඩාවේ වෛද්‍ය විද්‍යාල පිළිගැනීමට ලක් කරන්නේද ඇමරිකාවේ වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවයි. එහෙත්, ලබන වසරේ මැද (2025 ජූනි 30) සිට මෙම කාර්යය කැනේඩියානු වෛද්‍ය විද්‍යාල පිළිගැනීමේ කමිටුව විසින් සිදු කිරීමට නියමිතයි.

ඇමරිකාවේ විද්‍යා විද්‍යාල වලින් ලබා දෙන දෙවන උපාධි වර්ගය වන DO උපාධි පිළිගැනීමට ලක් කරන්නේ ඇමරිකානු ඔස්ටියෝපති සංගමය විසින්. මෙහිදීද, උපාධියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම ගැන උනන්දු වන්නේ දැනට එම උපාධිය ලබා ඇති අයයි. මේ ආයතනයටද ඇමරිකන් රජයේ සම්බන්ධයක් නැහැ. මේ වන විට DO උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41ක් ඇමරිකානු ඔස්ටියෝපති සංගමයේ පිළිගැනීමට ලක්ව තිබෙනවා.

ඉහත සඳහන් උපාධි වර්ග දෙක ලබා දෙන වෛද්‍ය විද්‍යාල අතරින් අඩක් පමණ පෞද්ගලික විශ්ව විද්‍යාලයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අනුබද්ධ වෛද්‍ය විද්‍යාල වලද පාඨමාලා ගාස්තු අය කෙරෙන බැවින් මේ දෙවර්ගයේ විශාල වෙනසක් නැහැ. අදාළ ප්‍රාන්ත රජයයන් විසින් තමන්ගේ ප්‍රාන්තයේ සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් කොටසක් බදු මුදල් වැය කර සුබසාධනය කරනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බොහොමයක් පවුලේ ආදායම් මට්ටම සලකා පාඨමාලා ගාස්තු වලින් සැලකිය යුතු කොටසක් කපා හරිනවා. ඒ නිසා, දක්ෂ සිසුවෙකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා ආදායම විශාල බාධාවක් වන්නේ නැහැ. 

රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර ගුණාත්මක භාවයේ විශාල වෙනසක් නැහැ. හොඳම වෛද්‍ය විද්‍යාල අතර වැඩියෙන්ම තිබෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. එහෙත් එම හොඳම වෛද්‍ය විද්‍යාල ලාබ ලැබීම ඉලක්ක කරන ආයතන නෙමෙයි. රජයට සම්බන්ධයක් නැති ඉහත සඳහන් ආයතන විසින් ඇමරිකාවේ වෛද්‍ය විශ්ව විද්‍යාල සියල්ලේම ගුණාත්මක භාවය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා. ගුණාත්මක භාවය ඉහළින් තබා ගැනීමට වැඩි බරක් තබන නිසාම, ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලින් ඇමරිකාවට අවශ්‍ය පමණ වෛද්‍යවරුන් බිහිවන්නේ නැහැ. 

මේ තත්ත්වයේ වාසිය වැඩි වශයෙන්ම ලබා ගෙන තිබෙන්නේ ඇමරිකාවට ආසන්නව පිහිටි කැරිබියන් දූපත් රාජ්‍ය වල වෛද්‍ය විද්‍යාලයි. එම වෛද්‍ය විද්‍යාල ඇමරිකානු වෛද්‍ය සිසුන් ඉලක්ක කරනවා. ඔවුන් වෛද්‍ය උපාධිය ලබා ගෙන නැවත ඇමරිකාවට පැමිණෙනවා.

ඇමරිකාවේ රජය විසින් වෛද්‍ය විද්‍යාල නියාමනය නොකළත්, වෛද්‍ය වෘත්තියට ප්‍රවේශ වීම නියාමනය කරනවා. ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලද පමණින් වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කළ නොහැකියි. ඒ සඳහා ඇමරිකාවේ ප්‍රාන්ත එකකින් හෝ වැඩි ගණනකින් බලපත්‍ර ලබා ගත යුතුයි. මෙය අසීරු හා සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම අදාළ විභාග සමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මේ විභාග සඳහා පෙනී සිටිය හැකි උපරිම වාර ගණනක් තිබෙනවා. ඉන් පසුව වසර 1 සිට 3 දක්වා කාලයක් ගත වෙන (ප්‍රාන්තය අනුව) සීමාවාසික පුහුණුවක් අවශ්‍ය වෙනවා. 

මේ සියලු අවශ්‍යතා නිසි සේ සම්පූර්ණ නොකර වෛද්‍ය බලපත්‍රයක් ලබා ගත නොහැකියි. එසේ ලබා ගත්තද ඇමරිකාවේ වෛද්‍යවරුන්ට රජයේ රැකියා ලැබෙන්නේ නැහැ. තමන් විසින් වෛද්‍ය සේවා සපයා මුදල් සොයා ගත යුතුයි. මෙම තත්ත්වය තුළ නමට මොකක් හෝ වෛද්‍ය උපාධියක් ලබා ගැනීමේ ඇති ප්‍රයෝජනයක් නැහැ. වෛද්‍ය උපාධිය තුළින් වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කුසලතා වැඩි දියුණු විය යුතුයි. මෙය වෛද්‍ය වෘත්තියට පමණක් සීමා වූ තත්ත්වයක් නෙමෙයි. තවත් වෘත්තීන් ගණනාවක් සඳහා උපාධියක් ලබා ගැනීමට අමතරව වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කර මෙවැනි බලපත්‍රයක් ලබා ගත යුතුයි. රැකියාවක් කළ හැක්කේ ඉන් පසුවයි. උදාහරණ ලෙස ඉංජිනේරු හා ගුරු වෘත්තීන් පෙන්වා දිය හැකියි. 

ඇමරිකාවේ ප්‍රාන්තයක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව ඇමරිකාවෙන් පිටත ලංකාව ඇතුළු වෙනත් රටවල වෛද්‍ය උපාධි ලබා ඇති අයටද විවෘතයි. මේ සඳහා ඇමරිකාවෙන්ම වෛද්‍ය උපාධියක් ලබාගත යුතු නැහැ. මුලින්ම විස්තර කළ ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියේ නම සඳහන් වෛද්‍ය විද්‍යාලයකින් එම උපාධිය ලබා තිබිය යුතුයි. මෙම නාමාවලියේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල අටක නම් ඇතුළත්ව තිබෙනවා. ඒවානම් කොළඹ, පේරාදෙණිය, රුහුණු, යාපනය, රජරට, නැගෙනහිර, කැළණිය හා ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. මීට අමතරව මෙම නාමාවලියෙහි නම සඳහන් දැනට ක්‍රියාත්මක නැති වෛද්‍ය පීඨයකින් වෛද්‍ය උපාධිය ලබා ගත් අයටද මෙම අවස්ථාව විවෘතයි. 

වෙනත් රටක වෛද්‍ය විද්‍යාලයක සිසුවෙකු අවශ්‍ය සුදුසුකම් සපුරා ඇමරිකාවේ ප්‍රාන්තයකින් බලපත්‍රයක් ලබා ගැනීම අදාළ වෛද්‍ය විද්‍යාලයේ හා පොදුවේ අදාළ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ පිළිබිඹුවක් සේ සැලකිය හැකියි. ඇමරිකානු වෛද්‍ය උපාධිධාරීන් හැරුණු විට ඇමරිකාවේ බලපත්‍රලාභී වෛද්‍යවරුන් අතර වැඩියෙන්ම සිටින්නේ ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලැබූ අයයි. 

ඇමරිකාවේ මෙන්ම ඉන්දියාවේද වෛද්‍ය විද්‍යාල වලින් අඩක් පමණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව, එරට හොඳම වෛද්‍ය විද්‍යාල දහය අතර වෙල්ලෝරාවේ ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය, කොයිම්බතූර්හි අම්රිතා විශ්ව විද්‍යාපීතම්, කස්තුර්බා වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද තිබෙනවා.

ඇමරිකාවේ දැනට සිටින බලපත්‍රලාභී වෛද්‍යවරුන් 1,044,734 දෙනෙකු අතරින් (2022 සංඛ්‍යාලේඛණ) ඇමරිකාවේ හෝ කැනඩාවේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධි ලැබූ ප්‍රමාණය 77%ක් පමණයි. ඉතිරි 23% අතර ඉන්දියානු වෛද්‍ය උපාධි ලැබූ 51,383ක්, පකිස්තානු වෛද්‍ය උපාධි ලැබූ 14,793ක් හා පිලිපීන වෛද්‍ය උපාධි ලැබූ 11,402 දෙනෙකු සිටිනවා. මේ අනුව පෙනෙන පරිදි ඉන්දියාව, පකිස්ථානය හා පිලිපීනය වැනි රටවල් ඉතා තරඟකාරී ඇමරිකාවේ ශ්‍රම වෙළඳපොළ වෙතද මහා පරිමාණයෙන් වෛද්‍යවරුන් සපයමින් සිටිනවා.

සංචිත වැඩි වෙන්නේ ණය නොගෙවන නිසාද?


පසුගිය (2023) වසර අවසන් වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400 දක්වා වර්ධනය වී තිබුණා. ඊට වසර එක හමාරකට පමණ පෙර පැවති තත්ත්වය හා සසඳන විට මෙය කෙතරම් සතුටු විය හැකි තත්ත්වයක්ද කියා විස්තර කිරීමට මා වචන නාස්ති කරන්නේ නැහැ. 

සමහර අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මේ විදිහට විදේශ සංචිත වර්ධනය වී තිබෙන්නේ දැනට රජය විදේශ ණය ආපසු නොගෙවන නිසාද යන්නයි. කරුණක් ලෙස ගත්තොත්, මේ වන විට ලංකාව ද්විපාර්ශ්වික ණය හා වාණිජ ණය ආපසු ගෙවීම අත් හිටවා තිබෙනවා. එය රහසක් නෙමෙයි. දිගටම ආපසු ගෙවන්නේ බහුපාර්ශ්වීය ණය හා අර්බුදයට පසුව ලබාගත් ණය ඇතුළු විදේශ ණය වලින් කොටසක් පමණයි.  

කල් ඉකුත්ව ඇති විදේශ ණය සියල්ල පියවීම සඳහා ඉහත සංචිත යොදා ගත්තේනම්, එම සංචිත සියල්ලම අවසන් වන බව තර්කයක් ලෙස සැලකුවහොත් නිවැරදියි. පසුගිය (2023) වසර අවසන් වන විට ගෙවිය යුතුව තිබුණු, එහෙත් නොගෙවූ රජයේ විදේශ ණය ප්‍රමාණය ඉහත සංචිත ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයි. ඒ පහත පරිදියි.

නොගෙවූ ද්විපාර්ශ්වික ණය - ඩොලර් මිලියන 1,770.8

නොගෙවූ වාණිජ ණය - ඩොලර් මිලියන 2,680.3

එකතුව - ඩොලර් මිලියන 4,451.1

මේ අනුව පැහැදිලි වන පරිදි, කල් ඉකුත්ව ඇති මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය පමණක් වුවද මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 51කින් වැඩියි. 

කෙසේ වුවත්, මේ තර්කය නොමග යවන සුළු තර්කයක්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස, මහ බැංකුවේ සංචිත රජයේ ණය ගෙවීම සඳහා යොදා ගන්නේ නැහැ. සෘජුව එසේ යොදා ගන්නත් බැහැ. නමුත්, ණය පැහැර හැරීම දක්වා තල්ලු වීමට ආසන්න කාලයේදීනම් එවැන්නක් සිදු වුනා. 

මධ්‍යම රජයේ විදේශ ණය ආපසු ගෙවිය හැකි ක්‍රම තුනක් තිබෙනවා. එයින් පළමු හා තිරසාර ක්‍රමය රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් සීමා කිරීම මගින් අතිරික්ත රුපියල් ප්‍රමාණයක් එකතු කර ගෙන එම රුපියල් ගෙවා වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමයි. නමුත් දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඒ ක්‍රමයට විශාල රුපියල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම, විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් මිල දී ගැනීමේ හැකියාවක්ද රජයට නැහැ.

දෙවන ක්‍රමය දේශීය වෙළඳපොළෙන් රුපියල් ණය ලබාගෙන එම රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමයි. මෙසේ කිරීමේදී විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක් මිසක් රජයේ ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම, පවතින වෙළඳපොළ තත්ත්වයන් යටතේ මෙසේ කිරීම වාසිදායක දෙයක් නෙමෙයි. ඊට හේතුව, මේ වන විට පවතින පොලී අනුපාතික යටතේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ කිරීම අවාසිදායක වීමයි. 

ණය පැහැර හැරීම දක්වා තල්ලු වීමට ආසන්න කාලයේදී කළේ රජය විසින් කළේ මහ බැංකුවෙන් ණයට රුපියල් ලබා ගෙන (සල්ලි අච්චු ගසා) එම රුපියල් ගෙවා මහ බැංකුවෙන්ම ඩොලර් මිල දී ගැනීමයි. මෙය රජයේ ණය ගෙවීම සඳහා සෘජුව මහ බැංකුවේ විදේශ සංචිත යොදා ගැනීමකට සමාන දෙයක්. අලුත් මහ බැංකු පණතේ විධිවිධාන අනුව දැන් මෙවැන්නක් සිදු වීමේ ඉඩක් නැහැ. දැන් රජය විසින් රුපියල් ණය ලබා ගන්නේනම් වෙළඳපොළ පොලී අනුපාතික ගෙවා දේශීය වෙළඳපොළෙන් එම ණය ලබා ගන්නට සිදු වෙනවා. මෙවැන්නක් කිරීමේදී පොලී අනුපාතික ඉහළ ගොස් ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන නිසා දෙවනුව රජයේ බදු ආදායම්ද අඩු වීමේ අවදාමනක් තිබෙනවා. 

විදේශ ණය පියවිය හැකි තෙවන ක්‍රමය අලුතෙන් විදේශ ණය අරගෙන එම අරමුදල් යොදවා පැරණි විදේශ ණය පියවීමයි. ඉතිහාසයේ දිගින් දිගටම සිදු වුනේද මෙයයි. මේ ක්‍රමයේදී වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමක් සිදු වන්නේ නැහැ. 

මෙතෙක් කාලයක් තිස්සේ සිදු කළ මෙම තෙවැනි ක්‍රමය දැන් යොදා ගත නොහැකිව තිබෙන්නේ පැරණි ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් විදේශ ණය අලුතෙන් ලබා ගත නොහැකි නිසා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ මෙම ප්‍රශ්නය විසඳා ගැනීමයි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමමෙන් පසුව, යම් කාලයක් යන තුරු, අලුත් විදේශ ණය ලබා ගෙන එම අරමුදල් වලින් පැරණි විදේශ ණය ගෙවන්නට සිදු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය වන්නේ ලබා ගත හැකි ණය වලින් පැරණි ණය ගෙවිය හැකි වන පරිදි ණය ගෙවීමේ කාලය දිගු කර ගැනීමයි. නමුත්, මේ තෙවන ක්‍රමයෙන්ද රජයේ ණය අඩු වෙන්නේ නැහැ. පමා වී හෝ ණය ගෙවන්නට සිදු වෙනවා.

ණය අඩු වෙන්නේ පළමු ක්‍රමයෙන් ණය පියවුවහොත් පමණයි. ඒ සඳහා, දිගුකාලීනව එක දිගටම ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නට සිදු වෙනවා. එහිදී ඉතිරි වන රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන විදේශ ණය ගෙවිය හැකියි. තිරසාර ලෙස විදේශ ණය අඩු වන්නේ මේ ක්‍රමයෙන් පමණයි.

මේ ආකාරයෙන් රජය විසින් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන ණය ගෙවීමටනම්, රජය විසින් රුපියල් සොයා ගැනීමට අමතරව රටේ ප්‍රමාණවත් ඩොලර් සංචිත තිබීමද අවශ්‍ය වෙනවා. එහෙත්, රජයට හදිසියේ විශාල රුපියල් ප්‍රමාණයක් හොයා ගත නොහැකි නිසා, මහ බැංකුවට මේ සඳහා අවශ්‍ය වන සංචිත ගොඩ නගා ගැනීමටද ප්‍රමාණවත් කාලයක් තිබෙනවා. 

කෙසේ වුවත්, මේ කතා කළේ රජයේ ණය ගැනයි. රජයේ ණය වලට අමතරව, මේ වන විට මහ බැංකුව විසින් ලබා ගෙන තිබෙන මහ බැංකුව විසින් ගෙවිය යුතු විදේශ ණයද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් ලෙස, පසුගිය වසර අවසානයේදී ඩොලර් බිලියන 4.4ක් වූ විදේශ සංචිත වලින් ඩොලර් බිලියන 1.4ක් පමණ මහ බැංකුව විසින් චීනයෙන් ලබා ගත් මුදල් හුවමාරු ණයයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයද මහ බැංකුවේ ණයයි. මීට අමතරව, බංග්ලාදේශයෙන් ලබා ගත් ණය මේ වන විට ගෙවා ඇතත්, මහ බැංකුව විසින් ඉන්දියාවට විශාල මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. විදේශ ණය තර්කය ඇත්තටම අදාළ වන්නේ මෙම මහ බැංකුවේ ණය වලටයි.

පසුගිය (2023) වසර අවසානයේදී, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3ක්. වසර අවසානයේදී ඩොලරයක මිල වූ රුපියල් 323.93 සැලකූ විට මෙම අගය ඩොලර් මිලියන 2,584.9ක්. ඒ කියන්නේ පසුගිය වසර අවසාන වන විටද මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණයට වඩා විදේශ බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩි වූ බවයි. කෙසේ වුවද, පසුගිය (2023) වසර ආරම්භයේදී මෙම හිඟය රුපියල් බිලියන 1,606.4ක් හෙවත් ඩොලර් මිලියන 4,424.0ක්ව පැවතුණා. 

මේ අනුව, පසුගිය වසර තුළ මහ බැංකුව විසින් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,898 සිට ඩොලර් මිලියන 4,400 දක්වා ඩොලර් මිලියන 2,502කින් වැඩි කර ගනිද්දී, මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,839කින් පමණයි. ඒ නිසා, ශුද්ධ වශයෙන් සැලකුවහොත් සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 1,839ක් පමණයි. ඉතිරි ඩොලර් මිලියන 662ට අනුරූපව විදේශ බැරකම්ද එකතු වී තිබෙනවා. මෙම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු වාරික දෙකට සමාන මුදලක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික නිසා මහ බැංකුවේ සංචිත ඉහළ ගියත් අනෙක් පැත්තෙන් ඊට අනුරූපව මහ බැංකුවේ බැරකම්ද ඉහළ යන නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල වෙනසක් සිදු වෙන්නේ නැහැ. එහෙත්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගත් විට විදේශ සංචිත මෙන්ම ශුද්ධ විදේශ වත්කම්ද ඉහළ යනවා. 

මහ බැංකුව වගේම, ශ්‍රී ලංකා රුපියලද අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන්ම එළියට පැමිණි සේ සැලකිය හැක්කේ මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණය ඉක්මවූ විටයි. මෙම ඉලක්කයට යාම සඳහා තවත් වසරක පමණ කාලයක් යා හැකියි. කෙසේ වුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිණුමෙන් ලබා ගෙන ඇති අරමුදල් වලින් කොටසක් ආපසු ගෙවීම සඳහා ඕනෑ තරම් කල් ගත හැකියි. ඒ වගේම, මෑතකදී ලබා ගත් වාරික හා ඉදිරියේදී ලැබෙන්නට නියමිත වාරික ආපසු ගෙවිය යුත්තේ වසර 4-10 අතර කාලයකදීයි. චීනයෙන් හා ඉන්දියාවෙන් ලබා ගත හැකි මුදල් ආපසු ගෙවීම සඳහාද යම් කාලයක් ගත හැකියි. ඒ නිසා, මේ වෙද්දී මහ බැංකුවට මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමක් නැහැ. 

මෙම (2024) වසරේ ජනවාරි මාසය අවසන් වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 745.1 දක්වා අඩු වී තිබුණා. එයට එක් හේතුවක් වන්නේ ඩොලරයක මිල රුපියල් 317.41 දක්වා අඩු වීම වුවත්, එම විණිමය අනුපාතය යටතේ වුවද මෙම හිඟය ඩොලර් මිලියන 2,347.5ක් පමණයි. මෙය මසකට පෙර පැවති ශුද්ධ විදේශ වත්කම් හිඟයට වඩා ඩොලර් මිලියන 237.4කින් අඩු අගයක්.

ජනවාරි මාසය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 245.3ක් මිල දී ගෙන තිබෙනවා. එහෙත්, එම මාසය තුළ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 96කින් පමණයි. මෙයින් පෙනී යන්නේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගත් විදේශ විණිමය වලින් කොටසක් ණය ගෙවීම සඳහා යොදවා ඇති බවයි. 

පෙබරවාරි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් තවත් ඩොලර් මිලියන 239.5ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. එහෙත් සංචිත ඉහළ ගොස් ඇත්තේ ඩොලර් මිලියන 21කින් පමණයි. මෙයින් පෙනෙන්නේ පෙබරවාරි මාසය තුළද මහ බැංකුව විසින් සැලකිය යුතු මුදලක් මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් යොදවා ඇති බවයි.

දැනට පවතින වෙළඳපොළ සමතුලිතතාව තුළ, ශ්‍රමික ප්‍රේෂණ වලින් හා සේවා ආදායම් වලින් වෙළඳ ශේෂ හිඟය පියැවීමෙන් පසුවද සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මෙම තත්ත්වය තුළ මහ බැංකුව විසින් පසුගිය දෙමස තුළ ශුද්ධ ලෙස ඩොලර් මිලියන 484.8ක් මිල දී ගැනීමෙන් පසුවද ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින්, දිගටම මේ මට්ටමෙන් (සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 240 පමණ බැගින්) වෙළඳපොලෙන් විදේශ විණිමය මිල දී ගතහොත් මෙම වසර අවසන් වන විට මහ බැංකුවට එහි ශුද්ධ විදේශ වත්කම් හිඟය සම්පූර්ණයෙන්ම පියවා ගන්න පුළුවන්.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව රජයට එම ණය ගෙවීම පටන් ගන්නට සිදු වෙනවා. නමුත් දැනට යෝජිත ක්‍රමවේදය අනුව වාණිජ ණය වලින් කොටසක් කපා හැරෙන අතර ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා සැලකිය යුතු කාලයක් ලැබෙනවා. ඒ අනුව, අමතර බරක් සේ ක්ෂණිකව එකතු වන්නේ ගෙවිය යුතු වාණිජ ණය කොටස පමණයි. 

මෙම කොටස රජයේ රුපියල් ආදායම් හා වියදම් ගැලපූ පසු දරා ගත හැකි මට්ටමකට සීමා කෙරෙන බැවින් එසේ ගෙවිය හැකි ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකමද සීමා වෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුවේ ණය වලින් නිදහස් වීමෙන් පසුව මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් මේ වෙනුවෙන් වෙන් කළ හැකි නිසා, රුපියල මත ලොකු පීඩනයක් ඇති නොවන පරිදි අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයට සපයන එක මහ බැංකුවට ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.

Friday, March 15, 2024

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි!


පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 2.3%කින් හැකිලී තිබෙනවා. තෙමසකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණේ 2023 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 3.6%කින් හැකිලෙනු ඇති බවයි. මෙය ඊට වඩා බොහෝ සෙයින් හොඳ තත්ත්වයක්. 

වසරේ මුල් කාර්තු තුනේදීම හැකිළුණු කාර්මික නිෂ්පාදිතය අවසන් කාර්තුවේදී 7.9%කින් වර්ධනය වී ඇති අතර සේවා නිෂ්පාදිතය 2.8%කිනුත්, කෘෂිකාර්මික නිෂ්පාදිතය 0.6%කිනුත් වර්ධනය වී තිබෙනවා. මුළු වසරම සැලකූ විට, කෘෂිකාර්මික අංශය 2.6%ක වර්ධනයක් පෙන්වන නමුත්, කාර්මික නිෂ්පාදිතය 9.2%කින්ද, සේවා නිෂ්පාදිතය 0.2%කින්ද හැකිළී තිබෙනවා.

වෙළඳපොළ මිල අනුව, 2023 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 27,629,665ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර මැදදී ශ්‍රී ලංකාවේ ජනගහණය 22,037,000ක්. මේ අනුව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,253,785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස ඩොලරයක මිල රුපියල් 320ක් සේ සැලකුවහොත්, මෙම අගයන්ගෙන් ඩොලර් බිලියන 86.3ක ආර්ථිකයක් සහ ඩොලර් 3,918ක ඒක පුද්ගල ආදායමක් නිරූපණය වෙනවා. 

Tuesday, March 12, 2024

මහ බැංකුවේ කුසලතා ප්‍රශ්නය

පෙර ලිපියෙන් පෙන්වා දුන්නේ අලුතෙන් සම්මත කර ගැනුණු, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන අනුව, එහි පාලක මණ්ඩලයට මහ බැංකු සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ස්වාධීනව තීරණය කිරීමේ බලයක් ඇති බවයි. නීතිය බලාත්මකව පවතින තුරු වෙනත් අධිකාරියකට අදාළ බලය ප්‍රශ්න කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. මෙම නීතිය සම්මත වීමට පෙර මහ බැංකුවට මෙවැනි බලයක් තිබුණේ නැහැ. 

කෙසේ වුවත්, අවශ්‍යනම් ව්‍යවස්ථාදායකයට මෙම නීතිය වෙනස් කළ හැකියි. එය සාපේක්ෂව පහසු කටයුත්තක්. එමෙන්ම, පාලක මණ්ඩලයේ නෛතිකත්වය සම්බන්ධව ව්‍යවස්ථාදායකයට හා විධායකයට කළ හැකි බලපෑම් හරහා වක්‍ර ආකාරයකින් මෙම කාර්යය කිරීමට උත්සාහ කළ හැකියි. එහිදී අධිකරණයේ එකඟත්වයද අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් අධිකරණයට ඉහත පණත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් අදාළ පනත් ඇත්නම් ඒවා සලකා බලමින් පාලක මණ්ඩලය සතු මෙම බලට අභියෝගයට ලක් කළ හැකි ආකාරය පැහැදිලි කරමින් අර්ථදැක්වීමක් කළ හැකියි. මෙම ආකාර වලින් පළමු ආකාරය හැර අනෙකුත් ආකාර වලින් මහ බැංකුවේ පාලක මණ්ඩලය වෙත පවරා ඇති බලය අභියෝගයට ලක් කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසාම සිදු වීමට ලොකු ඉඩකඩක් නැහැ. 

ඊටත් පෙර ලිපියෙන් අප පෙන්වා දුන්නේ මහ බැංකුව ආදායම් උපයන්නේ "සල්ලි අච්චු ගැසීම" මගින් නිසාත්, ප්‍රායෝගිකව ඒ හා අදාළ සීමාවන් නොමැති නිසාත්, වෙනත් ඕනෑම ආයතනයකට සේවක වැටුප් වැඩි කිරීමේදී මුහුණ දෙන්නට සිදු වන "අරමුදල් සීමා බාධාව" මහ බැංකුවේ පාලක මණ්ඩලයට නොමැති බවයි. ඒ අනුව, බාහිර නෛතික ව්‍යුහයකින් හෝ වෙළඳපොළ යාන්ත්‍රණය විසින් ස්වභාවික ලෙස නියාමනය නොකෙරෙන පසු බිමක, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් "අසාධාරණ ලෙස" සේවක වැටුප් වැඩි කිරීම පහසුවෙන්ම සිදු විය හැක්කක්. එය සිදුවීම වලක්වා ගත හැක්කේ මහජනතාවට වගවෙන පාරදෘශ්‍ය ස්වයං නියාමනයක් මගින් පමණයි. 

මේ තත්ත්වය ඕනෑම රාජ්‍ය ව්‍යවසායකට අදාළ තත්ත්වයක් නෙමෙයි. පළමුව, වෙනත් කිසිම රාජ්‍ය ව්‍යවසායකට මහ බැංකුවට ලබා දී ඇති ආකාරයේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දී නැහැ. (එසේ  මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දීම අප විසින් විවේචනය කරන්නේද නැහැ.) දෙවනුව, වෙනත් රාජ්‍ය ව්‍යවසායකට මේ ආකාරයේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දුන්නේ වුවද, එවැනි ආයතනයකට සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව ආයතනය විසින් උපයන ආදායම් හරහා වෙළඳපොළ විසින් නියාමනය කෙරෙනවා. මහ බැංකුවට මේ බාධාවන් දෙකෙන් එකක්වත් නැහැ.

පෙර විස්තර කර ඇති පරිදි, මහ බැංකුවේ ලාබ නිර්ණය වන්නේ එහි සේවකයින්ගේ කාර්යක්ෂමතාවය මත නෙමෙයි. එහෙත්, එයින් අදහස් වන්නේ එම වාක්‍යයෙහි සඳහන් දේ පමණයි. මහ බැංකු සේවකයින් අකාර්යක්ෂම බවක් එයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. ඔවුන් කාර්යක්ෂම වුවත් අකාර්යක්ෂම වුවත් මහ බැංකුවේ ලාබ හෝ ආදායම් නිරීක්ෂණය කිරීමෙන් එය පරීක්ෂා කළ නොහැකියි. ඒ නිසාම, මහ බැංකුවේ ලාබ හෝ ආදායම් මත ඔවුන්ගේ ඵලදායීතාව මැනිය නොහැකියි. මහ බැංකුවේ ලාබ හෝ ආදායම් මත එහි පාලක මණ්ඩලයේ වැටුප් හෝ සේවක වැටුප් නිර්ණය නොවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු පණතේම විශේෂයෙන් සඳහන් කර තිබෙන්නේ මේ හේතුව නිසා.

මහ බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වන "සල්ලි අච්චු ගැසීම" හා අදාළව එම ආයතනයට කිසිදු තරඟයක් නැහැ. මහ බැංකුව මේ හා අදාළව නෛතික ඒකාධිකාරයක්. කෙසේ වුවත්, මහ බැංකු අධිපතිවරයා විසින් නිවැරදිව පෙන්වා දෙන පරිදි, සේවකයින් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවටද ශ්‍රම වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙය බොහෝ දුරට විවෘත තරඟයක්.

මහ බැංකුවේ සේවකයින්ට අනන්‍ය විශේෂ කුසලතා අවශ්‍යද? සංක්ෂිප්ත අදහසක් ලෙස මහ බැංකුවේ ඇතැම් තනතුරු වල කටයුතු කරන්නන්ට අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය විය හැකි වුවත්, එහි සේවකයින් බහුතරයකට එවැනි අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම, අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වන රැකියා තිබෙන්නේ මහ බැංකුවේ පමණක් නෙමෙයි. 

මුලින්ම කතා කරන්නට යන කරුණට එතරම් අදාළ නොවන ඉහත ප්‍රශ්නය පැත්තකින් තිබ්බොත්, කිසියම් රැකියාවක් සඳහා අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වුවත් නැතත්, තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් තුළ සේවකයින් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී ඔවුන්ගේ "නියම මිල" ගෙවන්නට සිදු වෙනවා. එසේ නොකර "කුණු කොල්ලයට" ශ්‍රමය මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. නූතන ආර්ථික විද්‍යාව අනුව, ඉහත "නියම මිල" යන්නෙන් අදහස් කෙරෙන්නේ සේවකයින්ගේ ආන්තික ඵලදායීතාවයයි.

වෙළඳපොළ මූලධර්ම අනුව, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් එහි සේවකයින්ට ඔවුන්ගේ "ආන්තික ඵලදායීතාවය" වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ සේ ගෙවන්නේනම් එය විවේචනය කළ නොහැකියි. මෙසේ ගෙවන  වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ අනෙකුත් වෘත්තිකයින්ගේ වැටුප් වලට සාපේක්ෂව හෝ නිරපේක්ෂව කෙතරම් වැඩිද යන්න මෙහිදී අදාළ කරුණක් නෙමෙයි.

මහ බැංකු වැටුප් වෛද්‍ය හා ඉංජිනේරු වැටුප් සමඟ සංසන්දනය කිරීමක්ද අප‍ට දැකිය හැකියි. මේ සහ අදාළව අපට කිව හැක්කේ දශක ගණනාවක සිටම ලංකාවේ ගණකාධිකාරීවරුන් හා මූල්‍ය කළමනාකරුවන් වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයින්ට සාපේක්ෂව ඉහළ වැටුප් ලබා ගනිමින් සිටින බවයි. ඒ ගැන විග්‍රහ කර පැහැදිලි කළ හැකි වුවත්, අපි ප්‍රස්තුතය තුළ රැඳී සිටිමු.

මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් එහි සේවකයින්ට ඔවුන්ගේ වෙළඳපොළ මිල මත පදනම්ව වැටුප් ගෙවන්නේනම් එහි වරදක් නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් එවැන්නක් සිදු වන බව පෙන්වන්නට උත්සාහ කළද මහ බැංකුවේ සේවක වැටුප් නිර්ණය වන්නේ වෙළඳපොළ මිල මත පදනම්ව නොව සාමූහික ගිවිසුමක් මත වීමයි.

වෙළඳපොළ මිල මත පදනම්ව සේවක වැටුප් ගෙවීම පිළිබඳ අදහසේ මූලය ධනවාදී සාධාරණත්වයයි. එහෙත්, සාමූහික ගිවිසුම් මත පදනම්ව සේවක වැටුප් ගෙවීම පිළිබඳ අදහසේ මූලය සමාජවාදී සාධාරණත්වයයි. යම් තත්ත්වයන් යටතේ ලංකාවේ ශ්‍රම වෙළඳපොළට මේ අදහස් දෙකම ගැලපිය හැකි වුවත්, පෙර ලිපි වල විස්තර කර තිබෙන මහ බැංකුවේ සුවිශේෂී ව්‍යාපාරික ආකෘතිය තුළ ඉහත අදහස් දෙකම එකවර ක්‍රියාත්මක වීම තුළ ඇති වන්නේ රටේ මහජනතාවගේ වියදමෙන් මහ බැංකුවේ සේවකයින්ට රිසි සේ තමන්ගේ වැටුප් වැඩි කරගත හැකි විකෘතියක්. 

මේ ක්‍රම දෙකේ වෙනස පැහැදිලි කර ගැනීම සඳහා අපි උදාහරණයක් ගනිමු.

ශ්‍රමිකයින් තිදෙනෙකු විසින් තාප්පයක් බඳී. නිශ්චිත කාලයක් තුළ මේ තිදෙනා පිළිවෙලින් තාප්ප වර්ග අඩි 80, 100 හා 120 ප්‍රමාණයක් බඳී. මොවුන්ව සේවයේ යොදවන කොන්ත්‍රාත්කරුට මේ වෙනුවෙන් රුපියල් 10,000ක් ලැබේ. කොන්ත්‍රාත්කරුගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ඔහුට හෝ ඇයට අවම වශයෙන් රුපියල් 1000ක් අවශ්‍ය වන නිසා ශ්‍රමිකයන්ට ලබා දිය හැකි උපරිම මුදල රුපියල් 9000ක් වන අතර කොන්ත්‍රාත්කරුගේ ඉලක්කය හැකිතාක් අඩු ගාස්තුවක් ඔවුන්ට ගෙවා තමන්ගේ ලාබ වැඩි කර ගැනීමයි. කෙසේ වුවද, තමන්ට අවම වශයෙන් රුපියල් 1000ක් ලැබේනම් කොන්ත්‍රාත්කරු මෙම කාර්යයය කරයි. එසේ නැත්නම් වැඩේ අතහැර දමයි.

තරඟකාරී ශ්‍රම වෙළඳපොළක මේ එක් එක් ශ්‍රමිකයාට කොපමණ මුදලක් ලබා ගත හැකිද?

මෙය තීරණය වන්නේ එක් එක් ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීත්වය මතයි. එය ඔවුන් අදාළ කාලය තුළ බඳින තාප්ප වර්ග අඩි ගණන දෙස බලා නිර්ණය කළ හැකියි. මේ අනුව, ශ්‍රමිකයින් තිදෙනාට ඔවුන්ගේ ගාස්තු ලෙස පිළිවෙලින් රුපියල් 2400ක්, 3000ක් සහ 3600ක් ලැබෙනවා. ඒ කියන්නේ වර්ග අඩියකට රුපියල් 30 බැගින්. කොන්ත්‍රාත්කරුට රුපියල් 1000ක් ඉතිරි වෙනවා.

කොන්ත්‍රාත්කරුට මීට වඩා අඩු මුදලක් ගෙවා මෙම ශ්‍රමය ලබා ගත නොහැකියි. ඊට හේතුව ශ්‍රම වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළක් වීමයි. වර්ග අඩියකට රුපියල් 30ට වඩා අඩුවෙන් ගෙවුවොත් මේ ශ්‍රමිකයින් වෙනත් කොන්ත්‍රාත්කරුවෙක් වෙත යනවා. ඔවුන්ට එවැනි විකල්ප අවස්ථා තිබෙනවා. අනෙක් අතට ඔවුන්ට වර්ග අඩියකට රුපියල් 30කට වඩා ලබා ගැනීමේ හැකියාවක් නැහැ. වෙනත් කිසිදු කොන්ත්‍රාත්කරුවෙකු විසින් ඊට වඩා වැඩි මිලක් ගෙවන්නේ නැහැ.

මෙම ශ්‍රම වෙළඳපොළ තරඟකාරී නොවේනම්, කොන්ත්‍රාත්කරු සතුව ඒකාධිකාරයක් තිබේනම් තත්ත්වය කුමක්ද? 

කොන්ත්‍රාත්කරු සතුව ඒකාධිකාරයක් තිබේනම්, ඔහුට හෝ ඇයට ශ්‍රමිකයන්ට මීට වඩා අඩු මිලක් ගෙවිය හැකියි. වර්ග අඩි ගණනට මුදල් නොගෙවා මේ ශ්‍රමිකයින්ට එක් අයෙකුට රුපියල් 2000 බැගින් මුදල් ගෙවුවා කියා හිතමු. දැන් කොන්ත්‍රාත්කරුගේ ලාබය රුපියල් 4000ක්. එයින් පළමු රුපියල් 1000 කොන්ත්‍රාත්කරුගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් අවශ්‍ය මුදලක් බැවින් එය "ආර්ථික ලාබයක්" නෙමෙයි. එහෙත්, ඉතිරි රුපියල් 3000 ආර්ථික ලාබයක්, එසේත් නැත්නම් සුපිරි ලාබයක්. නමුත් ශ්‍රමිකයින්ට කළ හැකි දෙයක් නැහැ. ඔවුන්ට මේ රැකියාව නැති වුවහොත් වෙන යා හැකි තැනක් නැහැ!

ඉහත පසුබිම තුළ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ශ්‍රමයේ "නියම මිල" ලැබෙන්නේ නැහැ. එහෙත්, තිදෙනා එක්ව කාටලයක් ලෙස ක්‍රියා කර හෙට්ටු කිරීම මගින් ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ මිල ඉහළ දමාගන්න පුළුවන්. මෙහිදී එක් අයෙකුට උපරිම වශයෙන් රුපියල් 3000 දක්වා මිලක් ලබා ගන්න පුළුවන්. එම මිල එක් එක් ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවයට සමාන නොවෙතත්, තිදෙනා එකතුව ලබා ගන්නා මුදල ශ්‍රමිකයින් තිදෙනාගේම ආන්තික ඵලදායීතාවයට සමානයි. එම මුදල ශ්‍රමිකයින් තිදෙනා අතර සම සේ බෙදී යනවා. 

තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය හරියටම ලැබෙනවා. එය අඩු හෝ වැඩි වෙන්නේ නැහැ. එහෙත්, ඒකාධිකාරයක් වෙනුවෙන් ශ්‍රමය ලබා දෙන විට ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය හරියටම ලැබෙන බවට සහතිකයක් නැහැ. සාමූහිකව හෙට්ටු කිරීම මගින් සාමූහික ශ්‍රමයේ සමස්ත ආන්තික ඵලදායීතාවය ඔවුන්ට ලබා ගන්න පුළුවන්. මෙසේ ලබා ගන්නා මුදල ශ්‍රමිකයින් අතර සමව බෙදී යනවා. ඔය දෙකෙන් කොයි එක වුනත්, කොන්ත්‍රාත්කරුට අවසාන වශයෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ලැබිය යුතු නියම මිල හරියටම ලැබෙනවා. එය අඩු හෝ වැඩි වන්නේ නැහැ. අවස්ථා දෙකේදීම වෙළඳපොළ යාන්ත්‍රනය හරහා මෙය නියාමනය වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව හා අදාළව ඉහත තත්ත්වය වෙනස්. ඉහත උදාහරණයේදී කොන්ත්‍රාත්කරුට තමන්ගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ලබා ගත හැකි හා ශ්‍රමිකයින්ට ගෙවිය හැකි සමස්ත මුදල උපරිම වශයෙන් රුපියල් 10,000ක් පමණයි. එය ඊට වඩා වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒකාධිකාරයක් පැවතියද ලැබිය හැකි ලාබ වල උපරිම සීමාවක් තිබෙන බව මීට පෙර විස්තර කර තිබෙනවා. නමුත්, සල්ලි අච්චු ගැසීම මගින් ලාබ හොයන මහ බැංකුවට මෙවැනි උපරිම සීමාවක් නැහැ!

මහ බැංකු සේවකයින්ට ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන වැටුපක් ඉල්ලමින් සාමූහිකව හෙට්ටු කළ හැකියි. දැන් සිදු වී තිබෙන්නේද එයයි. මහ බැංකුවේ ආදායම් හා ලාබ වෙනත් ආයතනයක මෙන් ශ්‍රමිකයින්ගේ ඵලදායීත්වය මත තීරණය වේනම්. එහි පාලක මණ්ඩලයට එම ශ්‍රමිකයින්ගේ සාමූහික ශ්‍රමයේ සමස්ත ආන්තික ඵලදායීතාවය ඉක්මවන මුදලක් ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. එහෙත්, මහ බැංකුවේ ආදායම් හා ලාබ එහි ශ්‍රමිකයින්ගේ ඵලදායීත්වය මත තීරණය නොවන බැවින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට මෙවැනි සීමාවක් නැහැ. සල්ලි අච්චු ගසන ප්‍රමාණය වැඩි කර ඔවුන්ගේ වැටුප් ඕනෑ තරම් වැඩි කරන්න පුළුවන්.

මහ බැංකුවට එහි සේවක වැටුප් වැඩි කිරීමේදී වෙනත් ආයතන වලට මෙන් සීමාවකට යටත් වීමට සිදු නොවන බව එහි සේවකයින් දන්නවා. ඒ නිසා, ඔවුන්ට සාමූහිකව හෙට්ටු කිරීමේ අවස්ථාව ඇති තුරු, ඔවුන් එසේ නොකර ඉන්නේ නැහැ. මහ බැංකුවේ සේවකයින් සියලු දෙනා එක් වී සාමූහිකව හෙට්ටු කළහොත් එහි පාලක මණ්ඩලයට ඔවුන් සියලු දෙනාවම එක වර අස් කර දමන්න බැහැ. මෙම ශ්‍රමිකයින් බහුතරය වෙනුවට වෙනත් අය පහසුවෙන්ම පිටතින් බඳවා ගත හැකි වුවත් ඇතැම් තනතුරු පිරවීම ඒ තරම් පහසු නැහැ. ඉල්ලන මිල ගෙවීම ඊට වඩා පහසුයි.

මහ බැංකුවේ වැටුප් බාහිර නියාමනයකට ලක් වන විට එහි පාලක මණ්ඩලයට ඒ බව පෙන්වමින් "ඇඟ බේරා ගන්න" පුළුවන්. එහෙත්, ඔවුන්ට ශ්‍රමික වැටුප් නිර්ණය කිරීමේ පූර්ණ බලයක් ලැබුණු විට සේවකයින් සමඟ හෙට්ටු කළ හැකි කිසිදු අවියක් නැති වෙනවා. දැන් සිදු වී තිබෙන්නේ එයයි. 

මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව මහ බැංකුව ස්වාධීන කිරීම හෝ මහ බැංකුවේ වැටුප් නිර්ණය කිරීමේ අයිතිය එහි පාලක මණ්ඩලය සතු වීම නෙමෙයි. එය සිදු වීමෙන් පසුවද මහ බැංකු සේවකයින්ට සාමූහිකව හෙට්ටු කර වැටුප් වැඩි කර ගැනීමේ අයිතියක් මෙන්ම අවශ්‍යනම් සාමූහිකව වැඩ වර්ජනය කිරීමේ වුවද අයිතියක් තව දුරටත් ඉතිරිව තිබීමයි. 

අවසාන තීරණය මහ බැංකුවේ පාලක මණ්ඩලය සතු වුවත් ප්‍රායෝගිකව මහ බැංකුවේ (හෝ ලංකාවේ එවැනි වෙනත් ආයතනයක) වෘත්තීය සමිති සමඟ මහ බැංකුව වෙනුවෙන් හෙට්ටු කිරීම් කරන්නේ එහි මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දෙපාර්තමේන්තු මට්ටමට වඩා උඩින් සිටින මහ බැංකුවේ ඉහළ කළමණාකාරිත්වයයි. මෙහි ඇති පරස්පරය වන්නේ ඔවුන් මෙම හෙට්ටු කිරීම් වල ප්‍රතිපාර්ශ්වයේ අවශ්‍යතාවයන් සෘජුව නියෝජනය කරන්නන් වීමයි. වෙනත් විදිහකින් කිවුවොත් මෙහිදී ඔවුන්ට හෙට්ටු කරන්නට සිදු වන්නේ තමන්ගේම වැටුප් හා ප්‍රතිලාභ වැඩි කරන ලෙස කරන ඉල්ලීමකට එරෙහිවයි. මෙවැනි හෙට්ටු කිරීමක අවසන් ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. 

ප්‍රසිද්ධ අවකාශයේ ඇති තොරතුරු අනුව, මහ බැංකුවේ කාර්යාල සහායක පන්තියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප රුපියල් 189,000ක් පමණ වන අතර තුන් වන පංතියට උසස් වෙද්දී එම දළ වැටුප රුපියල් 224,000 දක්වා ඉහළ යනවා. එයින් එහාටද වාර්ෂිකව මෙම වැටුප් ඉහළ යනවා. මෙම ගණන් වලින් වුවද ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ මුළුමනින්ම නිරූපණය වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස මාස දෙකක වැටුපට සමාන විශේෂ දීමනා, විශ්‍රාම ප්‍රතිලාභ, සහන ණය පහසුකම් ආදිය එකතු වූ විට ප්‍රතිලාභ වල මුළු වටිනාකම මීට වඩා බොහෝ වැඩි විය හැකියි. මෙම සේවකයින් කිසිවෙකුට මහ බැංකුවෙන් ඉවත් වී වෙනත් තැනක සේවය කර මීට සමාන වැටුපක් ලබා ගත හැකියැයි මා සිතන්නේ නැහැ. ඒ වගේම, මෙම තනතුරකට අලුතෙන් පිරිස් බඳවා ගැනීමට අවශ්‍යනම්, අවශ්‍ය කුසලතා ඇති පිරිස් ඕනෑ තරම් පෝලිමේ එනු ඇති බව සහතිකයි. මේ අනුව, මෙම වැටුප් ශ්‍රම වෙළඳපොළ මත පදනම් වූ වැටුප් නොවන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුයි.

අලුත් සාමූහික ගිවිසුමට පෙර කාර්යාල සහායක පන්තියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප රුපියල් 146,000ක් පමණ මට්ටමක පැවති අතර තුන් වන පංතියට උසස් වෙද්දී එම දළ වැටුප රුපියල් 165,000ක් පමණ වෙනවා. මෙම පැරණි වැටුප් මට්ටම් සැලකුවද ඉහත කතාව වෙනස් වන්නේ නැහැ. 

කළමනාකරණ සහකාර පළමු පංතියේ අලුත් දළ වැටුප රුපියල් 242,000ක් පමණ වන අතර පැරණි දළ වැටුප ආරම්භ වන්නේද රුපියල් 174,000 මට්ටමෙන්. පස්වන පංතියට යද්දී අලුත් ආරම්භක දළ වැටුප රුපියල් 421,000 දක්වා ඉහළ යනවා. කළමනාකරණ සහකාර රැකියා යනු දළ වශයෙන් ලිපිකරු තනතුරු කියා කියන්න පුළුවන්. යතුරු ලිවීම, දත්ත ඇතුළු කිරීම, දෛනිකව පිළියෙල කරන ඇතැම් වාර්තා සකස් කිරීම ආදිය කරන්නේ මෙවැන්නන්. මෙම තනතුරු වල කටයුතු කිරීම සඳහා මහ බැංකුවට පමණක් අනන්‍යව අවශ්‍ය වන සුවිශේෂී කුසලතා අවශ්‍ය වන්නේ නැහැ.

යම් හෙයකින් මහ බැංකුවට පමණක් අනන්‍යව අවශ්‍ය වන සුවිශේෂී කුසලතා අවශ්‍ය වේනම් එසේ අවශ්‍ය වන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ ඇතැම් තනතුරු සඳහා පමණයි. මේ තර්කය බැහැර කළ නොහැකි තර්කයක් වුවත්, මෙම තර්කය වුවද හේතු ගණනාවක් මත පදනම්ව අභියෝගයට ලක් කළ හැකි තර්කයක්. ඒ අතරින් පළමු තර්කය මහ බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය ඇති තනතුරු දරන අයට අවශ්‍ය නොවන කුසලතා ඔවුන් වෙනුවෙන් තාක්ෂණික කටයුතු කරන අයට අවශ්‍ය වේද යන්නයි.

වත්මන් මහ බැංකු අධිපතිවරයා යනු සෑහෙන දුරකට අනන්‍ය මානව සම්පතක් බව බොහෝ දෙනෙකුට බැහැර හැරිය නොහැකි කරුණක්. එම ධුරය සඳහා පත් කළ හැකි ඔහු සතු කුසලතා තිබෙන අය තවත් සිටිය හැකි වුවත් එවැන්නන් විශාල ප්‍රමාණයක් සිටීයැයි සිතන්නට බැහැ. ඒ අතරම, පුද්ගලයෙකු වශයෙන් සැලකුවොත්, ඔහු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දක්වා වන තනතුරු දැරූ අයෙක්. නියෝජ්‍ය අධිපති ලෙස ඔහුට එම කුසලතා පෙන්විය නොහැකි වූයේ ඇයි?

ලංකාවේ ආර්ථික අර්බුදයට ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වගකිව යුතු බව පැහැදිලි කරුණක්. එම වගකීම එහි නිලධාරීන්ටද පැවරෙනවා. විශේෂයෙන්ම උසස් නිලධාරීන්ට. මෙහිදී එම නිලධාරීන් සියලු දෙනාම මෙන් නැවත නැවත පවසා ඇති කරුණක් වන්නේ, මේ වචන වලින්ම නොවුනත්, මහ බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය තිබෙන්නේ එහි අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩලයට බැවින් තමන් නිකම්ම රූකඩ පමණක් බවයි. දැන් මේ බලය තිබෙන්නේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට සහ පාලක මණ්ඩලයටයි. 

අලුත් පණත යටතේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකුද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් වන නමුත් එහි ඉතිරි සාමාජිකයින් කිසිවකු මහ බැංකුවේ නිත්‍ය සේවකයින් නොවෙයි. ඇත්ත වශයෙන්ම, ඉහළම කුසලතා අවශ්‍ය වන්නේ මහ බැංකුව වෙනුවෙන් තීරණ ගන්නා එහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සහ පාලක මණ්ඩලයේ සාමාජිකයින්ට මිස ඔවුන් වෙනුවෙන් තාක්ෂණික සේවා සපයන මහ බැංකුවේ පහළ සේවකයින්ට නොවෙයි. ඒ නිසා, කොපමණ වැඩි වුවත්, වෙළඳපොළ මිල ගෙවා සුදුසුම පුද්ගලයින් පත් කර ගත යුත්තේ මෙම ඉහළ තනතුරු වලටයි.

එහෙත්, එක පැත්තකින්, ඉතිහාසය දෙස බැලූ විට මෙම ඉහළ තනතුරු වලට අවශ්‍ය කුසලතා තිබෙන සුදුසුම පුද්ගලයින් පත් වී නැහැ. මේ වැරැද්ද අනාගතයේදී වුවත් සිදු විය හැකි අතර එවැන්නක් සිදු වුවහොත් පහළ ස්ථර වල සේවය කරන අයගේ කුසලතා කොපමණ වැඩි වුවත් එම කුසලතා වලින් වැඩක් වෙන්නේ නැහැ. 

දෙවනුව, මෙම කුසලතා ඇති අයෙකු අදාළ තනතුරකට පත් කිරීමේදී බොහෝ විට ප්‍රායෝගිකව ඔවුන්ගේ "වෙළඳපොළ මිල" බාධකයක් වන්නේ නැහැ. උදාහරණයක් ලෙස වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ පෙර එම ධුරය දැරූ බොහෝ දෙනෙකු විසින් එම තනතුරු භාර ගෙන තිබෙන්නේ තමන්ට ලැබෙන ඉහළ වැටුප් බලාගෙන නෙමෙයි. මෙම තනතුරේ ආකර්ශනීයත්වය හා සිවිල් බලය නිසාම, එතරම් අපහසුවක් නැතිව, බොහෝ විට සුදුසු අයෙකු සේවයේ යෙදවිය හැකියි. කෙසේ වුවත්, මෙය පුද්ගල අභිරුචි අනුව වෙනස් වන්නක්.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට වඩා පහළ අනෙකුත් මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු සඳහා කුසලතා පූර්ණ පිරිස් බඳවා ගත නොයුතු බව හෝ එසේ බඳවා ගැනීමේදී ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් තරඟකාරී මිලක් නොගෙවිය යුතු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. මෙම තනතුරු දරන අය අතරින් යම් පිරිසක් මේ වන විට වැඩි වී තිබෙන වැටුප් මට්ටම යටතේ වුවද බාහිර විකල්ප සොයා ගත හැකි අයයි. එහෙත්, එම ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු දරන අය අතරින් බොහෝ අයද වෙනත් බාහිර විකල්ප නොමැති අයයි. ඔවුන් ලේසියකට තමන්ගේ තනතුරු හැර යන්නේ නැහැ. බාහිර විකල්ප තිබෙන බොහෝ අයද දිගටම බැංකුවේ රැඳී සිටින්නේ සහන පොලියට මහ බැංකුවෙන් ලබාගත් විශාල ණය මුදල් හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේදී අත්සන් කළ බැඳුම්කර වැනි බාධක නිසා. 

මහ බැංකුවේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ කෙතරම් ඉහළ මට්ටමක තිබුණත්, සෑම වසරකදීම මහ බැංකුවේ සේවකයින් ආසන්න වශයෙන් දහ දෙනෙකු පමණ රැකියාවෙන් ඉවත්ව යනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. මේ අය බාහිර විකල්ප තිබෙන, ඉහත කී ආකාරයේ බාධා නැති අයයි. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු රැකියාවෙන් අස්ව ගිය අවස්ථාවක් ගැන මා පෞද්ගලිකව දන්නේ නැතත්, ඉන් පහළ සහකාර අධිපති දක්වා තනතුරු දැරූ අය මීට පෙර වරින් වර මහ බැංකුවේ රැකියාවෙන් ඉල්ලා අස් වී තිබෙනවා. බොහෝ විට යමෙකුට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය හිමි වන්නේ විශ්‍රාම යාමේ වයස ආසන්නව නිසා ඉල්ලා අස් වීමේ විකල්පය වෙනුවට විශ්‍රාම යාමේ විකල්පය තිබෙනවා. ඒ නිසාත්, සාමාන්‍යයෙන් නියෝජ්‍ය අධිපතිවරුන් සිටින්නේ දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණක් නිසාත් එවැන්නෙකු ඉල්ලා අස්වනු දකින්නට ලැබීමේ ඉඩකඩ අඩුවීම පුදුම විය යුතු දෙයක් නෙමෙයි. 

මෙසේ රැකියාවෙන් ඉවත්ව යන බොහෝ දෙනෙකු එසේ කරන්නේ විදේශ ගතවීම සඳහායි. ඉහළ වැටුප් ගෙවන විදේශ රැකියාවක් වෙනුවෙන් මහ බැංකුවේ රැකියාව අත හරින්නෙකු වැඩි වැටුප් ගෙවා නවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. තවත් අය බිරිඳ හෝ සැමියා විදේශගත වීම නිසා මහ බැංකුවේ රැකියාවෙන් ඉවත් වෙනවා. මේ හැර ලංකාවේම වෙනත් බැංකුවක හෝ පර්යේෂණ ආයතනයක ඉහළ වැටුපක් වෙනුවෙන් මහ බැංකුවේ රැකියාවෙන් ඉවත්ව යන අයද සිටියත් ඒ ඉතා කලාතුරකින්.

ආර්ථික අර්බුදය පැමිණීමත් සමඟ මහ බැංකුවේ සේවකයින් රැකියාවෙන් ඉවත්ව යාම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පහත සඳහන් තෝරාගත් (තොරතුරු සොයා ගත හැකි) වසර වල මහ බැංකුවේ සේවකයින් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති රටාව දෙස බැලූ විට මෙම වෙනස පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්.

2008 - 13

2010 - 9

2012 - 11

2014 - 16

2019 -9

2020 -5

2021 - 14

2022 - 51

වසරක් තුළ මහ බැංකුවේ සේවකයින් 51 දෙනෙකු රැකියාවෙන් ඉවත්ව යාම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ හේතුව නිසා 2022 අවසානය වන විට මහ බැංකුවේ සේවක ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීමක් දකින්න පුළුවන්. ඇතැම් විට, පසුගිය (2023) වසර තුළද මෙවැනිම තත්ත්වයක් පැවතුණා විය හැකියි. පහත තිබෙන්නේ පසුගිය වසර 15ක කාලය තුළ මහ බැංකුවේ සේවක ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරයයි.

2008 - 1,304

2009 - 1,263

2010 - 1,497

2011 - 1,411

2012 - 1,398

2013 - 1,550

2014 - 1,483

2015 - 1,422

2016 - 1,471

2017 - 1,405

2018 - 1,421

2019 - 1,366

2020 - 1,335

2021 - 1,357

2022 - 1,260

ඉහත සංඛ්‍යා වලින් පෙනෙන පරිදි, 2010 වසරේදී මහ බැංකුවේ කාර්යාල සහායක පංතියට 71 දෙනෙකු සහ කළමනාකරණ සහකාර පංතියට 94 දෙනෙකු බඳවා ගනු ලැබීම නිසා මහ බැංකුවේ සේවක සංඛ්‍යාව 19%කින් පමණ ඉහළ ගියා. එහෙත්, 2013 වසරේ සිට මහ බැංකුවේ සේවක සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යමින් පැවති බව දැකිය හැකියි. එය සැලසුම් සහගත ලෙස කර තිබෙන දෙයක්. එහෙත්, 2022 වසරේ ඉල්ලා අස් වීම් නිසා මහ බැංකුවේ සේවක ප්‍රමාණය අඩු වීම සැලසුමක ප්‍රතිඵලයක් නෙමෙයි. එමෙන්ම, එම වසරේ බොහෝ දෙනෙකු රට හැර විදේශගත වීම මහ බැංකුවෙන් පිටත අනෙකුත් ආයතන වලද දැකිය හැකි වූ තත්ත්වයක්. 

පුද්ගල ආදායම් බදු එකවර විශාල ලෙස ඉහළ යාම නිසා පසුගිය දෙවසර තුළ වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ අතට ලැබෙන පඩිපත කුඩා වුනා. මෙය මහ බැංකුවේ සේවකයින්ටද බලපා තිබෙනවා. එහෙත්, වෙනදාට වඩා වැඩියෙන් මහ බැංකුවේ සේවකයින් ඉල්ලා අස්වීමට එකම හේතුව එය කියා මා හිතන්නේ නැහැ.

රටේ ආර්ථිකයට "වෙන්න යන දේ" ගැන අනෙක් බොහෝ දෙනෙකුට කලින් දැනගන්නට ලැබෙන්නේ මහ බැංකුවේ සේවය කරන අයටයි. එමෙන්ම, පැවති ආර්ථික අර්බුදයේ ස්වභාවය අනුව සහ පැවති දේශපාලන වාතාවරණය තුළ මහ බැංකුවේ සේවය කරන සියල්ලන්ගේම රැකියා නැති වීමේ අවදානමක් තිබුණා. එම තත්ත්වය තුළ මේ ඉල්ලා අස්වීම් ගිලෙන නැවෙන් මීයන් පැනීමක් ලෙසද හඳුනාගත හැකියි. 2022 වසර අවසාන වන විට මහ බැංකුවේ සේවක සංයුතිය පහත පරිදියි.

මාණ්ඩලික ශ්‍රේණිය - 661

කළමනාකරණ සහකාර ශ්‍රේණිය - 463

කාර්යාල සහායක ශ්‍රේණිය - 136

මෙම පිරිසගේ වැටුප් ලෙස වසර තුළ රුපියල් මිලියන 6,692ක් ගෙවා ඇති අතර එය සාමාන්‍ය අගයක් ලෙස එක් අයෙකුට මාසයකට රුපියල් 442,577ක මුදලක්. මේ වැටුප් ඉහළ දැමීමට පෙරයි. විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම්ද ඇතුළුව පුද්ගල වියදම් ලෙස එම වසර තුළ වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 20,334ක්. මේ අනුව, වැටුප් වැඩි කිරීම නිසා වියදම් ඉහළ යන ආකාරය ගැන අදහසක් ගත හැකි විය යුතුයි. 

පහත තිබෙන්නේ පසුගිය වසර 16ක කාලය තුළ සේවක වැටුප් වෙනුවෙන් මහ බැංකුව විසින් වැය කර තිබෙන මුදල් ප්‍රමාණයයි. අදාළ කාලයේ සාමාන්‍ය අගයක් ලෙස විශ්‍රාම ප්‍රතිලාභ සඳහා වැය කර තිබෙන මුදල මෙම මුදලින් 60%ක් පමණ වෙනවා. 

2007 1,591,667,000

2008 1,718,302,000

2009 2,128,264,000

2010 2,224,931,000

2011 2,274,045,000

2012 2,865,544,000

2013 3,138,445,000

2014 3,256,096,000

2015 4,201,583,000

2016 4,258,884,000

2017 4,112,349,000

2018 5,409,137,000

2019 5,544,943,000

2020 5,298,938,000

2021 7,116,223,000

2022 6,691,770,000

ඉහත සංඛ්‍යා දෙස බැලු විට වසර තුනකට වරක් (2009, 2012, 2015, 2018 හා 2021) වැටුප් වියදම් එක වර විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, අනෙකුත් වසර වලදී ආසන්න වශයෙන් ස්ථාවරව පැවතී ඇති බවත් ඔබට පෙනෙනවා ඇති. මෙයට හේතුව, මහ බැංකුව විසින් වසර තුනකට වරක් සේවකයින් සමඟ වන සාමූහික ගිවිසුම අලුත් කිරීමයි. මෙම ගිවිසුම අනුව, තවත් වසර තුනක කාලයක් යන තුරු මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන නැවත සලකා බැලෙන්නේ නැහැ. 2024 වසරද මෙසේ මහ බැංකුවේ සේවක වැටුප් නැවත සංශෝධනය වන වසරක්. 

ඉහත පැහැදිලි කර ඇති පරිදි මේ වසරේදී මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම අලුත් මහ බැංකු පණත නිසා සිදුව ඇති දෙයක් නෙමෙයි. නමුත්, දිගින් දිගටම සිදුව තිබෙන "වැරැද්දක්" මෙවරද නැවතත් සිදු වී තිබෙනවා. මහ බැංකුව ස්වාධීන කර ඇති පසුබිමක, ඒ වැරැද්ද මෙවර සිදුව තිබෙන්නේ වඩා නරක ආකාරයකිනුයි. 

කාර්යාල සහායක හා කළමනාකරණ සහකාර ශ්‍රේණි ගැන පෙර කතා කළ බැවින් මාණ්ඩලික ශ්‍රේණි වෙත අවධානය යොමු කළහොත්, ලංකාව ඇතුළේම වුවද වඩා හොඳ වැටුපක් ලබා ගැනීමේ හැකියාව තිබෙන අය මහ බැංකුවේ සේවය කරනවා. නමුත්, සියල්ලන්ම නෙමෙයි. අනෙක් අතට මෙම තනතුරු පිරවීමට අවශ්‍යනම් මහ බැංකුව ගෙවන වැටුප් වලට පිටතින් පිරිස් බඳවා ගැනීම කිසිසේත්ම නොකළ හැකි දෙයක් නෙමෙයි. ඇත්තම ප්‍රශ්නය එසේ බඳවා නොගැනීමයි!

මහ බැංකුව මාණ්ඩලික ශ්‍රේණියේ ඉහළ තනතුරු සඳහා පිටතින් පිරිස් බඳවා ගන්නේ නැහැ. එම තනතුරු වලට උසස්වීමටනම් මුලින්ම කළමනාකරණය පුහුණුවන්නෙකු ලෙස (MANAGEMENT TRAINEE) මහ බැංකුවේ සේවයට පැමිණිය යුතුයි. මෙසේ මහ බැංකුවේ සේවයට පැමිණෙන්නෙකුට වසරක කාලයක් යන තුරු සියලු දීමනා සමඟ මසකට ලැබෙන්නේ රුපියල් 125,000ක මුදලක් පමණයි. මෙය මෑතකදී වැටුප් වැඩි කිරීමට පෙර කාර්යාල සහායක ශ්‍රේණියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප වූ රුපියල් 145,773ටද වඩා අඩු වැටුපක්.

මාණ්ඩලික ශ්‍රේණියට බැඳී මහ බැංකුවේ ඉහළම සේවක තනතුර (rank position) වන නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස් වීමට සුදුසුකම් ඇති අය බඳවා ගැනීමේදී මහා බැංකුව මෙවැනි "අඩු" වැටුපක් ගෙවන්නේ ඇයි? 

පිළිතුර සරලයි. පවතින ශ්‍රම වෙළඳපොළ තත්ත්වයන් තුළ එම වැටුපට මහ බැංකුවේ සේවයට පැමිණෙන්නට කැමති සහ අවශ්‍ය සුදුසුකම් තිබෙන දහස් ගණනක් රටේ ඉන්නවා. කෙසේ වුවත්, ඔවුන් මෙසේ මහ බැංකුවේ සේවයට එන්නේ වසරකට පසු සැලකිය යුතු වැටුපක් හා ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගත හැකි නිසයි. වසරක "අසීරු කාලය" ගත කිරීමෙන් පසුව ඔවුන්ට සාපේක්ෂව හොඳ කලක් ලබනවා.

කෙසේ වුවත් මෙම හොඳ තත්ත්වය නැවතත් කාලයත් සමඟ වෙනස් වෙනවා. ඊට හේතුව, මහ බැංකුවේ සේවයට බැඳෙන අය‍ට "ඉහළට නැගීම" සඳහා විශාල කාලයක් බලා ඉන්නට සිදු වීමයි. වෙනස් විය යුතු දෙය මෙන්ම ඇත්ත ප්‍රශ්නය මෙයයි.

මූල්‍යකරණය වැනි විෂයයක අධ්‍යාපන හා/හෝ වෘත්තීය සුදුසුකම් ලබා පෞද්ගලික අංශයේ රැකියාවකට යන අයෙකුට තමන්ගේ දක්ෂතාවය අනුව වසර පහ හයක් යද්දී මධ්‍යම මට්ටමේ කළමණාකාර තනතුරක් දක්වා ඉහළට යාම අපහසු දෙයක් නෙමෙයි. මහ බැංකුවේ මීට සමාන කළ හැකි තනතුර වන දෙපාර්තුමේන්තු ප්‍රධානී තනතුරක් ලබා ගැනීම සඳහා අඩු වශයෙන් වසර 17ක පමණවත් කාලයක් බලා ඉන්නට සිදු වෙනවා. මේ කාලය තුළ, තමන්ට සමකාලීනව පෞද්ගලික අංශයේ සේවයට ගිය අය තමන් පසු කර ඉහළට යන ආකාරය දෙස හූල්ලමින් බලා සිටින්නට මාණ්ඩලික ශ්‍රේණියේ ඇතැම් නිලධාරීන්ට සිදු වෙනවා.

මහ බැංකුවේ ඇතැම් දෙපාර්තමේන්තු වල ප්‍රධානී තනතුර දැරීම සඳහා සැලකිය යුතු කුසලතා හා පළපුරුද්දක් අවශ්‍ය වුවත්, තවත් ඇතැම් දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු වල කාර්ය භාරය ඒ තරම්ම සංකීර්ණ නැහැ. ඊට ඉහළ හා පහළ සමාන්තර තනතුරු ගැන කියන්න තියෙන්නේද එවැනිම දෙයක්. එමෙන්ම මේ එක් එක් සමාන්තර තනතුරු සඳහා අවශ්‍ය කුසලතා වල වෙළඳපොළ මිල සමාන නැහැ.

උදාහරණ ලෙස මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ හෝ බැංකු අධීක්ෂණ වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරක් දැරීම සඳහා මහ බැංකුවේම කලක් සේවය කර පළපුරුද්දක් ඇති අය පත් කිරීම සුදුසු වුවත්, පහසුකම් කළමනාකරණ හෝ මානව සම්පත් වැනි දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරු සඳහා සුදුසුකම් ඇති අය පිටතින් බඳවා ගැනීමට බැරිකමක් නැහැ. එමෙන්ම, ආර්ථික පර්යේෂණ හෝ බැංකු අධීක්ෂණ වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුවකට පවා යම් නිලධාරීන් පිරිසක් පිටතින් බඳවා ගත හැකියි. දක්ෂ පුද්ගලයෙකුට මෙවැනි දෙපාර්තමේන්තුවක වුවද "වැඩ අල්ලා ගැනීමට" විශාල කාලයක් අවශ්‍ය වන්නේ නැහැ.

මහ බැංකුවේ කියන්නේ රජයේ වෙනත් ආයතන මෙන්ම දැඩි සේ ධුරාවලිගත වූ සහ එම ධුරාවලිය මහ බැංකුවේ සේවයට මුලින්ම සේවයට පැමිණි දිනය මත නිර්ණය වන ආයතනයක්. මේ ධුරාවලිය හා සම්ප්‍රදාය බැහැර කරන්නේනම් මහ බැංකුවට මානව ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා මේ තරම් මිලක් ගෙවන්නට සිදු වන්නේ නැහැ. නමුත්, දැඩි ලෙස වෘත්තීය සමිති ග්‍රහණයට යටත්ව ඇති ආයතනයක ධුරාවලිය හා සම්ප්‍රදාය බැහැර කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. 

පහළ ශ්‍රේණි වල සිටින වඩා කාර්යක්ෂම නිලධාරීන්ට ඉක්මණින් ඉහළ තනතුරු වලට යාමට අවස්ථාව ලබා දෙනවා කියන්නේ සේවා කාලයෙන් වඩා ජ්‍යෙෂ්ඨ, එහෙත් සාපේක්ෂව අකාර්යක්ෂම නිලධාරීන්ට එම අවස්ථාව අහිමි වෙනවා කියන එකයි. ධුරාවලිගත ආයතනයක සාපේක්ෂව අකාර්යක්ෂම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ තත්ත්වය ඇති වනු දකින්නට කැමති වන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින් ඉහළ යාමේ අවස්ථා අහිමිවන, වැඩි කුසලතා ඇති, ඒ නිසාම බාහිර විකල්ප තිබෙන, නිලධාරීන් යම් පිරිසක් සේවය හැර යාම නොවැලැක්විය හැකි දෙයක්. මහ බැංකුවේ වැටුප් ක්‍රමය සකස් වී තිබෙන්නේ නිලධාරීන් බඳවා ගැනීම හා රඳවා ගැනීම පහසු කරන ආකාරයෙන් නොව, කවර කොන්දේසි යටතේ වුවද මහ බැංකුව හැර නොයන නිලධාරීන්ට හැකි ඉහළම ප්‍රතිලාභ ලැබෙන අයුරිනුයි.

මහ බැංකුවේ ඇත්තම ප්‍රශ්නය එහි නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම නොව සාපේක්ෂව අකාර්යක්ෂම නිලධාරීන් එසේ ඉවත් වී නොයාමයි. ඊට හේතුව ඔවුන්ට ලැබෙන වැටුප් හා ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගත හැකි "වෙළඳපොළ වැටුප්" වලට වඩා වැඩි වීමයි. මෙය සිදු වන්නේ සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදන සාමූහික ගිවිසුම් ක්‍රමයේ උදවුවෙන්. ඒ නිසා, පහළ ස්ථර වල සිටින අයට ඉහළට යාමට, පෞද්ගලික ආයතනයකට සාපේක්ෂව, විශාල කාලයක් ගත වෙනවා. මේ තත්ත්වය තුළ වඩා අභිලාෂකාමී (ambitious), දක්ෂ නිලධාරීන් සේවයෙන් ඉවත්ව යනවා. 

මේ තත්ත්වය මහ බැංකුවට පමණක් සුවිශේෂී තත්ත්වයක් නෙමෙයි. තමන්ගේ වාසියට ධනවාදී තර්කනයේ වෙළඳපොළ මිල හා සමාජවාදී තර්කනයේ සාමූහික ගිවිසුම් කලවම් කර දෙමුහුන් ක්‍රමයක් හදා ගැනීම වෙනත් අයද කරන දෙයක්. 

පහත උපුටා ගැනීම නලින් ද සිල්වාගේ ලිපියකින්.

"මොටාල  වැඩ වර්ජනයක් කළා. මාත් එකල මොටාවෙක්. අපි තර්ක කළා මොටාවලටත් දක්‍ෂයන් බඳවා ගන්න හා රඳවා ගන්න ඕන නිසා ඒ ඒ ක්‍ෂෙත්‍රවල මොටාලගෙ වැටුප ඒ ක්‍ෂෙත්‍රවල ඉහළ ම වැටුප වෙන්න ඕන කියලා. උදාහරණයක් වශයෙන් මොටාවල ආර්ථික විද්‍යාඥයන්ට මහා බැංකුවෙ වැටුප් ගෙවන්න ඕන කියා. වෛද්‍ය පීඨයෙ නම් රජයේ වෛද්‍ය සේවයේ ඉහළ වැටුප් ගෙවන්න ඕන කියා. ඊළඟට අප තර්ක කළා මොන පීඨයෙ හිටියත් මොටාල මොටාලා නිසා පීඨයෙන් පීඨයට වැටුප් වෙනසක් තියෙන්න බැහැ කියා.

ඒ කියන්නෙ මොන පීඨයෙ හිටියත් අදාළ ක්‍ෂෙත්‍රයෙ ඉහළ ම වැටුප මොටාලට ලැබෙනව විතරක් නො වෙයි මා වැනි ගණිත මොටාවෙකුට වුණත් මහා බැංකුවෙ හරි රජයේ වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙ හරි ඉහළ ම වැටුප් ලැබෙනවා. එකල උසස් අධ්‍යාපන ඇමති හමීඩ්. ප්‍රතිපාදන කොමිසමේ සභාපති අර්ජුන අළුවිහාරෙ. ඔවුන් අපේ තර්කය පිළිගත්තා. වැටුප් වැඩි කළා."

මහ බැංකුවේ වෙලා තියෙන්නෙත්, තිබෙන ක්‍රමය තුළ ඉදිරියේදී විය හැක්කේත් හරියටම ඔන්න ඔය වැඩේ. නිශ්චිත කිවුවොත් කණ්ඩායමක සිටින දක්ෂම පුද්ගලයන්ගේ ආන්තික ඵලදායීතාවය මත කණ්ඩායමේ සියල්ලන්ගේම වැටුප් නිර්ණය වීම. මෙහි තිබෙන අවුල මෙය සිදු වන්නේ රටේ පොදු මහජනතාවගේ වියදමෙන් වීමයි. 

දක්ෂ පුද්ගලයින් බඳවා ගත යුතුනම් හෝ රඳවා ගත යුතුනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොදුවේ සියල්ලන්ගේම වැටුප් ඉහළ දැමීම නෙමෙයි. එසේ බඳවාගත යුතු හෝ රඳවා ගත යුතු පුද්ගලයින්ට ඔවුන්ගේ වෙළඳපොළ වටිනාකම හා ගැලපෙන වැටුපක් ගෙවන එක සහ ඉක්මනින් ඉහළට යාමට අවස්ථා ලබා දීමයි. ඒ වගේම, ඉහළ තනතුරු ඇතුළු සියලුම තනතුරු බාහිර තරඟයට විවෘත කිරීමයි.  

වෙබ් ලිපිනය: