වෙබ් ලිපිනය:

Saturday, March 9, 2024

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය


පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද?

මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් "ශ්‍රී ලංකා මහ බැංකුව" කියා දැන් තිබෙන ආකාරයේ ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව නම් වූ "සංස්ථාවක්" පිහිටවනු ලබන්නේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන යටතේයි. 

මහ බැංකු පණතේ 4 වන වගන්තිය අනුව, එහි ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් දරනු ලැබිය යුතුයි. එමෙන්ම, ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරන ලද අරමුදල් වලින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වරින් වර වැඩි කළ හැකියි. වෙනත් විදිහකින් කිවුවොත් මෙම ආයතනය සියයට සියයක් ජනතා බදු මුදල් යොදවා පිහිටුවා තිබෙන රාජ්‍ය සංස්ථාවක්. 

විවිධ කාර්යයක් සඳහා පිහිටුවා තිබෙන මෙවැනි රාජ්‍ය සංස්ථා ගණනාවක් තිබෙනවා. ඒ රාජ්‍ය සංස්ථා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර තිබෙන වෙනස කුමක්ද?

පණතේ 5 වගන්තිය අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පරිපාලනමය හා මූල්‍ය ස්වාධීනත්වයක් ඇති ආයතනයක්. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ පාලක මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යවරයාගේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින්. පණතේ 21 වගන්තිය අනුව, මෙම පාලක මණ්ඩල සාමාජිකයින්ට ගෙවිය යුතු වැටුප්, දීමනා ආදිය ඔවුන්ව පත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් තීරණය කරනවා. ඉන් පසුව එම වැටුප්, දීමනා ආදිය අඩු කළ නොහැකියි. එමෙන්ම, පණතේ නිශ්චිතව සඳහන් කර ඇති පරිදි ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය (පාරිශ්‍රමික) මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතුයි. 

ඉහත කොන්දේසිය පණතටම ඇතුළු කර තිබෙන්නේ ඇයි කියන කරුණ අපගේ පෙර ලිපිය කියවා අවබෝධ කරගත හැකි විය යුතුයි. මහ බැංකුවේ ආදායම් වලින් හෝ ලාබ වලින් එම ආයතනයේ පාලක මණ්ඩලයේ හෝ සේවකයින්ගේ කාර්යක්ෂමතාවය හෝ ඵලදායීත්වය පිළිබිඹු කරන්නේ නැහැ. මෙම වෙනස නිසා මහ බැංකුවක් එහි ව්‍යාපාරික ස්වභාවයෙන් වෙනත් ඕනෑම ව්‍යවසායකට වඩා වෙනස් ආයතනයක්. ඒ වගේම, මහ බැංකු සේවකයින්ට වැටුප් ගෙවන්නේ බදු මුදල් වලින් නොවේ කියන එක තේරුමක් නැති තර්කයක් කියන එකද මෙයින් තහවුරු වෙනවා. 

මහ බැංකුවේ සේවා නියුක්තයින් පත් කිරීම හා ඉවත් කිරීම පිළිබඳව නෛතික තත්ත්වය පණතේ 23 වගන්තිය විස්තර කරනවා. එම වගන්තිය අනුව, මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කරන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින්. එම වැටුප් හා දීමනා මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතු බව නැවතත් විශේෂයෙන් සඳහන් වෙනවා. 

නැවතත් පනතේ 5 වගන්තිය වෙත ගියොත්, පණතෙන් ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී, කිසිවෙකුට මහ බැංකුවේ අධිපතිවරයාට හෝ එහි පාලක මණ්ඩලයට බලපෑම් කළ නොහැකියි. පණතේ 23 වගන්තිය අනුව සේවකයින් බඳවා ගැනීම සහ ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කිරීම එසේ පනත මගින් එහි පාලක මණ්ඩලයට ලබා දී තිබෙන බලතලයක්. ඒ නිසා, වෙනත් කිසිවෙකුට ඒ සම්බන්ධව පාලක මණ්ඩලයට බලපෑම් කිරීමේ අයිතියක් නැහැ.

අලුත් මහ බැංකු පණත සම්මත වීමට පෙර මහ බැංකුවට මේ මට්ටමේ ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. ඊට පෙරද මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවුවේ මහ බැංකුවේ අරමුදල් වලින්ම තමයි. ඒ වගේම, මීට පෙරද මහ බැංකු සේවකයින්ගේ වැටුප් විශාල ලෙස වැඩි කළ අවස්ථා තිබෙනවා. අප මෙහි කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මෙය වෙනම කාරණාවක්.

දැනටත් රාජ්‍ය සංස්ථා වල සේවකයින්ට වැටුප් ගෙවන්නේ එම ආයතන වල අරමුදල් වලින් මිසක් ඒකාබද්ධ අරමුදලින් නෙමෙයි. නමුත් මෙම රාජ්‍ය සංස්ථා මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත්. මුදල් අමාත්‍යාංශ අනුමැතියක් නැත්නම් එම ආයතන වලට අලුත් බඳවා ගැනීම් කිරීමට හෝ වැටුප් වැඩි කිරීමට නොහැකියි. සාමූහික ගිවිසුම් වලට එළැඹිය නොහැකියි. නමුත් මහ බැංකුව දැන් මෙම සීමාවන්ගෙන් නිදහස්.

මහ බැංකුවට මේ බලය ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. නමුත්, පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට බලය ලබා දීමෙන් පසුව පාර්ලිමේන්තුවට එම බලය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම වැළැක්විය හැක්කේ නීතිය වෙනස් කර දුන් බලය ආපසු ලබා ගැනීමෙන් පමණයි. වත්මන් මහ බැංකු පණත බලාත්මකව තිබෙන තුරු මහ බැංකුවේ පාලක මණ්ඩලයට අභිමතය පරිදි සේවක වැටුප් වැඩි කළ හැකියි. (සාමූහික ගිවිසුම් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ගැන පසුව වෙනම කතා කරමු.)

අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයක් සැලකුවහොත්, මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය පැත්තකින් තිබ්බත්, සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව අදාළ ආයතනයේ ආදායම් හා ලාබ හරහා නියාමනය වෙනවා. එසේ නැත්නම් වෙළඳපොළ විසින් නියාමනය කරනවා. අදාළ ආයතනය ඒකාධිකාරයක් වූ විට සහ නිපදවන භාණ්ඩය හෝ සේවාව අත්‍යාවශ්‍ය එකක් වීම මත මෙවැනි ආයතනයකට රිසි සේ ලාබ වැඩි කර ගැනීම සඳහා සැලකිය යුතු අවකාශයක් ලැබිය හැකි වුවත්, මහ බැංකුවට මෙන් "අසීමිත" අවකාශයක් ලැබෙන්නේ නැහැ.

මහ බැංකුව සතු නෛසර්ගික මූල්‍ය ස්වාධීනත්වය සම කළ හැක්කේ ව්‍යවස්ථාදායකයේ මූල්‍ය ස්වාධීනත්වයට පමණයි. ව්‍යවස්ථාදායකයට තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කරගන්න පුළුවන්. මහ බැංකුවට තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩි කරගන්න පුළුවන්. වෙනත් කිසිම ආයතනයකට එවැන්නක් කළ නොහැකියි. තෙල්, විදුලි ගාස්තු වැඩි වෙද්දී එය කොපමණ පීඩනයක් වුවත්, එක්තරා අයෙක් පසුගිය දිනෙක කියා ඇති පරිදි, "කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න" පුළුවන්. බර කරත්ත වලින් ගමන් යන්න පුළුවන්. නමුත් බදු, විශේෂයෙන්ම වක්‍ර බදු, නොගෙවා ඉන්න බැහැ. උද්ධමනයෙන් බේරෙන්න කොහොමටවත් බැහැ.

ව්‍යවස්ථාදායකය විසින් තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කර ගැනීම සහ මහ බැංකුව විසින් තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩිගැනීම නියාමනය විය හැකි එකම ආකාරය සෘජු ජනතා මැදිහත් වීම් පමණයි. ජනතා විරෝධය ප්‍රශ්නයක් වන තුරු ඔය දෙකම වෙන්න පුළුවන්. ජනතාවට ව්‍යවස්ථාදායකය පිළිබඳව ප්‍රශ්න ඇති විට එහි නියෝජිතයින් වෙනස් කළ හැකියි. එය වරින් වර සිදු වෙනවා. එහෙත්, මහ බැංකුව හා අදාළව ජනතාවට මේ විකල්පය හෝ නැහැ. 

ඉහත හේතුව නිසා සෘජුව ජනතාවට වගවීමට පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට තිබෙන වගකීමටද වඩා වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නෛතික අයිතිය අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද අවශ්‍ය පමණ වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් කිසිවකුගෙන් අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ. අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුවටද එවැනිම, පාර්ලිමේන්තුවට සම, නෛතික අයිතියක් ලැබී තිබෙනවා. ඇතැම් විට එම අයිතියේ බර දරා ගැනීමට මහ බැංකුවට තවමත් හැකියාවක් නැතුවා විය හැකියි. 

මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද 100%කින් වැඩි කරගත්තොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔවුන්ට එසේ කර ගැනීමට පූර්ණ නෛතික හැකියාවක් තිබෙනවා. නමුත්, ඔවුන් එසේ නොකරන්නේ ඒ සමඟ ඇති වන මහජන ප්‍රතිචාරය ගැන අවබෝධයක් තිබෙන නිසා. අලුත් පණත සම්මත වීමෙන් පසුව මහ බැංකු සේවකයින් සිටින්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඳගෙන සිටින ආකාරයේම උණුසුම් පුටු වලයි. 

කෙසේ වුවත්, මේ ලිපිය අනාගතවාදීව ලියන්නක් මිසක් සිදුව ඇති වැටුප් වැඩිවීම පමණක් ඉලක්ක කරගෙන ලියන්නක් නෙමෙයි. ඒ වගේම, මහ බැංකුවට සුවිශේෂී මානව ප්‍රාග්ධනයක් අවශ්‍යද කියන කරුණ ඇතුළු කතා නොකළ කරුණු පසුව කතා කරමු. 

5 comments:

  1. ඉකොනෝ ඇත්තටම ඔය මහ බැංකුවේ වැටුප් වැඩිකරගන්න එක රටේ සමස්ත ආර්ථිකය එක්ක බලනකොට එච්චරම ලොකු බලපෑමක් තියෙන එකක් නෙවෙයි

    හරියට ලංකාවේ දේශපාලනඥයන් රජයේ මිලදීගැනීම්වලදී හා ඇතැම් ව්‍යාපෘති වලදී කරන දූෂණ වගේ, ඒවා හිරිකිත දේවල් වුණත් සමස්ත රජයේ වියදම් සමග බලනකොට මේ හොරකම් දූෂණ කියන ඒවා එච්චරම සැලකිය යුතු තරමේ බලපෑමක් නෑනේ හරියට ඇනලයිස් කරල බලනකොට, අන්න ඒ වගේම තමයි මේ මහබැංකු වැටුප් වැඩිවීමත්

    ඒකට වඩා බරපතල දේ තමයි දැන් මේ නව බලතල සමග දේශීය විදේශීය බැදුම්කර නිකුත්කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අත්තනෝමතිකව තීරණ ගැනීමට මහ බැංකුවට පාර්ලිමේන්තුවෙ අධික්ෂණයෙන් තොරව අතිවිශාල බලයක් ලැබී තිබීමයි මේ නව බැංකූ පණතින්. ඒ වගේම රටේ සමස්ත ආර්ථිකය පිළිබඳව ගත්තම විනිමය අනුපාත සහ පොළි අනුපාත තීන්දු කරන්නත් මහ බැංකුවට පාර්ලිමේන්තුවෙ අධික්ෂණයෙන් තොරව අති විශාල බලයක් තිබිම. මේ බලය 2023 පනතෙන් කලින්ට වඩා සෑහෙන වැඩිවෙලා තියෙන බවයි පේන්නෙ.

    ඒ වගේම මේ තින්දු ගන්න විට වෙච්ච වැරදිවලට ඔවුන්ට කිසිම වගවීමක් හෝ වගකීමක් නැහැ. අතීතයෙ මේ තීන්දු ගත්ත මහ බැංකු අධිපතිවරු ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නවා. සමහරු රටෙත් නැහැ. අර්ජුන මහේන්ද්‍රන්, ඩබ්ඩී ලක්ෂ්මණ් වගේ අයට කවුරුත් මොනවත් කියන්නේ නෑ, මුකුත් නොදැන ලක්ෂ්මණ් වගේ අයව විශ්වාස කරපු මෝඩ නන්දසේන නිකම්ම බැනුම් අහනවා ලක්ෂ්මණ් අයි එම් එෆ් එකේ සුපිරි තනතුරු දරමින් ෂපාන් එකේ ඉන්නවා තමයි මිනිස්සුන්ට පේන චිත්‍රය

    වර්තමාන මහ බැංකු අධිපති බැංකු නන්දෙත් තමන්ගෙ ධූර කාලය ඉවර වෙලා සල්ලි සේරම එකතු කරගෙන ඔස්ට්‍රේලියාවට ෂේප්එකේ මාරු වෙලා යයි.

    ලංකාවෙ විදේශ විනිමය අර්බුදයට, ආර්ථිකය සංකෝචනය වීමට මෙන්ම රුපියල වරින් වර විශාල වශයෙන් අවප්‍රමාණ වීමටත් මේ මහබැංකුව සතු මධ්‍යගත දැඩිබලය අති විශාල ලෙස බලපාල තියෙනවා. එය මහ බැංකු අධිපතිවරයන් කීප දෙනෙනෙක්ගෙ ප්‍රශ්නයක් නොව මහබැංකු සිස්ටම් එකේම ප්‍රශ්නයක්. මහ බැංකුවට අදාළ නිති මහජනයාට වගකියන ලෙස සංශෝධනය නොකර හුදෙක් මහ බැංකු අධිපතිවරු මාරු කරා කියා මේ ප්‍රශ්නය විසදෙන්නෙ නැහැ.

    නමුත් පඩි වැඩිවීම ගැන ගැලරි ආතල් රස කතාවෙන් මේ ගැන ඇති විය හැකි සැබෑ ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය කරන ගැඹුරු සංවාදය යට යනවා. මේකට මහබැංකුවේ අයත් කැමති ඇති.

    මේ බලගතු නිලධාරීවාදයකින් මෙහෙයවෙන මධ්‍යගත රාජ්‍ය සැලසුම්වලට විරුද්ධව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන අයත් මේ ගැන මොනවත් කතා කරන්නෙ නැහැ ගල් ගිලපු පෙරේතයෝ වගේ උන්ගේ කටවල පිට්ටු. ඇත්තටම මහ බැංකුව කියල ආයතනයක පැවැත්මම මධ්‍යගත සැලසුමක්. ඊට එහා යන මධ්‍යගත සැලසුමක් තවත් ලොවෙත් නැහැනේ ඉකෝන්?

    දේශපාලන වශයෙන් ගත්විට පේන විදිහට රනිල්ගේ ගැටය තමයි අගෝස්තු වෙනකොට පාර්ලිමේන්තුව විසිරවීම.එතකොට ජනාධිපතිවරණය පැත්තක තියලා මහ මැතිවරණය කැඳවන්න වෙනවා.

    මහමැතිවරනණය පැවැත්වූවාට පසු මොන පක්ෂ මොන රට බයිලා ගැහුවත් රනිල් මුදල් ඇමතිකම අතට අරගෙන තවත් මැතිවරණයකට සල්ලි වෙන්කරන්න ආර්ථිකය යහපත් නැතැයි කීවොත් ජනාධිපතිවරණය හබක් තමයි.කවුරු මොනතර්ක ගෙනාවත් ප්‍රාදේශීය සභා මැතිවරනයට සිදුවූ දේ සිදුවෙනවා ස්තීරයි. අනික රාජපක්ෂ පවුලේ පොහොට්ටු කල්ලිය වගේම සජබයි කල්ලිය සහ මාලිමාවේ අනුර කුමාරලත් ස්ටේට් මොන බයිල ගැහුවත් යටින් රනිල්ව මෙහෙයවන හාම්පුතුන්ගේ සුවච කීකරු සුරතලුන් නිසා මොනවත් වෙන්නේත් නෑ. ඔය විදියට තව වසර කීපයක් යයි. අපට ඉතින් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.

    ReplyDelete
  2. අම්මට සිරි
    උන්ට සුපිරි
    තව සූකිරි
    අපට කැකිරි!

    ReplyDelete
  3. ලංකාවට තියෙන ප්‍රශ්ණයක් තමයි හැම දේම කඩිමුඩියෙ කරන්නට ගිහිල්ලා පස්සෙ හොදටම ඇණ ගෙන විසදන්න තිබ්බ ප්‍රශ්ණෙ වෙනුවට තව ප්‍රශ්ණ ගොඩක් හදා ගැනීම..

    ලගදි සම්මත කරගත්ත ඔන්ලයින් පණතත් ඒ වගේ..ඔහේ මොනවා හරි කෙටුම්පත් කරලා සම්මත කර ගන්නවා මිසක් ඒ ක්ශෙත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ඒවාට එන්නේ නෑ..ඒ වෙනුවට තමන්ට කඩේ යන හැමදේටම එහෙයියන් පිරිසකගේ අදහස් එක්ක පණත් කෙටුම්පත් වෙලා ඒවා ප්‍රශ්නේ තවත් වැඩි කරනවා.

    දැන් මහබැංකු පණතටත් ඒ වගේ දෙයක් වෙලා කියලා හිතෙනවා.. හැබැයි මේ පණත ගැන සමාජයේ කතිකාවක් ඇතිඋනා..ඒත් මේ වැටුප් කියන කාරණය එතැනිදි කතා උනේ නෑ...ඒක අඩුපාඩුවක්..

    මහබැංකුව ස්වාධීන වීම අවශයයි...නමුත් හැම ආයතනයකටම චෙක් ඇන්ඩ් බැලන්සස් අවශ්‍යායි...පාර්ලිමේතුවෙන් මහ බැංකුවට ලබා දුන් බලය වගකීමේන හැසිරවීම මහබැංකුවේ මුල්‍ය මණ්ඩලය සතු කාර්‍යභාරයක්..

    මහබැංකුවේ වැටුප් කියන කාර්‍යය පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය කාරනයක් බවට පත්විය යුතුයි...ඊටත් වඩා හොදයි මහබැංකුවේ වැටුප් පවතින උද්ධමනය වගේ දෙයක එන්න (අනුලෝමව ???) සමානුපාතික වන දෙයක් හා ගැට ගැසුවනම්,,,ඒතකොට මහබැංකුවේ ස්වාධීනත්වය රැක ගන්න ගමන් වැටුපු වර්ධයන වීමත් යම් කිසි සිස්ටම එකකට කරන්න පුලුවන් වේවි කියලා හිතනවා...

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා දැක්කද ලංකාවේ මෑතක සිදුවුණ OnmaxDT පිරමීඩ වංචාව ගැන කරන නඩු විභාගයේදී කියවුනා onmaxdt වල ලංකාවේ මිනිස්සු ලක්ශ 2.5 විතර මුදල් තැන්පත් කරලා තියනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 1%ක් සරලව කිව්වොත් මිනිස්සු 100ක් හම්බුනොත් එක්කෙනෙක් Onmaxdt පිරමීඩ ජාවාරමේ සල්ලි දාලා.

    ලංකාවේ ජනගනයෙන් 1% පිරමීඩ වංචාවකට ජොයින් කරගන්නකම් ඒකට විරුද්ධව කිසිම පියවරක් ගන්න ඔය ලබ්බේ මහ බැංකුවට බැරිවුනා. ඔහේ මුකුත් දැක්කේ නෑ වගේ බුදියගෙන හිටියේ. ඒවා මොනිටර් කරන්න ඉන්න ලක්ෂ ගණන් පඩි ගන්න වරප්‍රසාද සහිතව සිටින නිලධාරීන් සීයක් විතර ලංකාවේ ආර්ථිකයට දැඩිව දැනෙන ඩොලර් මිලියන සිය ගානක් රටින් යවනකන් හිටියා ඔහේ හරක්වගේ නිදාගෙන.

    අනික ආර්ථික අර්බුදය ඇති වෙන්න කලින් කොවිඩ් ආපු කාලේ එකපාරටම සුලු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා අනික් ජනතාවට ඇතිවුන ක්ෂණික ණය අර්බුදයෙදි මහබැංකු නිලධාරීන්ට කිසිම උත්තරයක් නැතුව ඔහේ හිටියේ නිදාගෙන. මහබැංකුව දීපු නියාමන ගණන් ගන්නේ නැතුව කටයුතු කරපු ණයදෙන ආයතන ගැන මහබැංකු නිලධාරීන් ගත් මෙලෝ පියවරක් නෑ. ඔහේ බුදියගෙන ඉන්නකොට මිනිස්සු මරාගන්න එක වලකන්න නන්දසේන මෝලා මැදිහත් වෙලා මහබැංකුවේ ගවරැලට තේරෙන්න දෙකක් කියලා බලෙන් ඇහෑරවලා තමයි යන්තම් 2020 දී හරි මොනවාහරි කළේත්, උගේ මොන අඩුපාඩු තිබ්බත් ඒකා මහබැංකුවේ මෙලෝ රහක් නැති ගෝතකරුම වලට වඩානම් යම් වැඩක් කළා ඒවෙලාවේ

    ඊලඟ එක තමයි රටේම ආර්ථික අර්බුදය. මේකෙදි මහබැංකුවට හා එහි ඊනියා අර්ථික ඔස්තාර්ලගේ කාර්‍යභාරය. එහිදි දේශපාලන අතපෙවීම්වලට මුවා වෙලා දේශපාලන බලපෑම නැති කරන්න කියල බයිලගහලා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කර ගත්තා. ඒ කරගෙන මුලින්ම කලේ දේශපාලකයො වගෙම පඩිවැඩි කර ගත්තා දෙගුණයක්ම වගේ.

    කෙනෙක්ගේ පඩිය තව කෙනෙක්ට අදාල නොවුනට අපේ බදු මුදල්වලින් ගෙවන පඩි නිසා අපි කමෙන්ට් කලේ. අනික ලංකාවට සේවය කරන අතලොස්සක්වන ස්පෙශලිස්ට් ඩොක්ටර්ස්ලා, සයන්ස් ඉංජිනේරු IT පීඨවල ලෙක්චරර්ස්ලා බුරුතු පිටින් රට යනවා වැටුප් ප්‍රශ්න නිසා. මේ වගේ දේවල්වලින් වෙන්නේ ඒවා තව වැඩිවෙන එක නෙවෙයිද?

    තව දෙයක් ඇත්තටම ඉකොනොමැට්ටාගේ අල්ලපු රටේ අර මෑතදී ඝාතනය වුනු ලාංකික පවුල ගැන ලාංකිකයො ලියලා තිබුනු ආතල් හෑලි කියෙව්වා ද ඉකොනොමැට්ටා?

    මට නම ඒ හෑලි කියෙව්වම පෙනුනේ වර්තමාන කැනඩාවේ සමාජීය තත්ත්වය ගැන පොදු ලාංකිකයාගේ තියෙන නොදැනීම පමණයි.සමහරු ලියල තිබුණා ඝාතකයා සහ ඝාතනය වූ පවුලේ පියා අතර සමලිංගික සම්බන්ධයක් ඇති කියලා.ඝාතකයා කෙරෙහි අනුකම්පාවෙන් බලන්න කියලා ඔහු කීමට හේතුව එවැන්නක් කියලා තිබුණා.එම ප්‍රකාශය තුල තියෙන්නේ වර්තමාන කැනඩාවේ තියෙන සමාජීය තත්ත්වය ගැන අදාල ලාංකික පුද්ගලයන්ගේ නොදැනීම නේද?

    ReplyDelete
    Replies
    1. මොකද සාමාන්‍යයෙන් මේ වෙද්දී කැනඩාවේ ප්‍රධාන mainstream media සංස්කෘතිය අනුව ඔය වගේ ඝාතනයක් වුණත් පොදුවේ අනුකම්පාව හිමි වෙන්නේ ඝාතකයාට.ඔහුට ඩිප්‍රෙෂන් වැනි මානසික තත්ත්වයක් තියෙනවා කියලා හෙළි වූ ගමන් කැනඩා බලධාරීන්ගේ සහ විශේෂයෙන්ම Gen Z පරපුරේ අනුකම්පාව ඝාතකයාට හිමිවෙනවා.ඔහුගේ මානසික තත්ත්වය ගැන බොහෝ මානුෂීයව බලනවා.

      මේ නිසා ඒ පියාට කතා කරන්න වෙන්නේ කැනඩාවේ සමාජයට. ඔහුගේ ප්‍රකාශය තමයි ඒ රටේ මාධ්‍යයට කිව යුතු කතාව.

      එතනදී ඒ ඝාතකයා කැනේඩියානු සුදු ජාතිකයෙක් වුනානම් ඝාතකයාට කිසිම සමාවක් හිමිවෙන්නේ නැහැ.

      එසේ නම් ඔහුට විරුද්ධව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක වෙනවා.
      සංක්‍රමණික පවුලක් ඝාතනය කළ සුදු ජාතිකයා ගැන මාධ්‍ය දිගින් දිගට කතා කරනවා.

      මේ වගේ තැනකදි මාධ්‍ය නිහඬ වෙනවා.

      සංක්‍රමණිකයන් ගැන වැරදි චිත්‍රයක් මැවෙනා ප්‍රවෘත්ති මේ මොහොතේ වාමවාදී බටහිර මාධ්‍ය විසින් පළ කරන්නේ නැහැ.

      ඒ වගේම ඔහු සංක්‍රමණිකයෙක් වීම නිසා කැනේඩියානු නීතිය කරවන වාමවාදී, වෝක් බලධාරීන් සහ රජය ඔහු ගැන දැඩිලෙස අනුකම්පා සහගත කෝණයකින් බලනවා.

      මේකට හොඳම උදාහරණය මේ දිනවල ඉකොනොමැට්ටලගේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය මාතෘකාවක් වෙන "ලේකන් රයිලී" (Laken Riley) සිදුවීම.

      එක්සත් ජනපද පුරවැසි සුදු ජාතික තරුණියක වූ විසි දෙහැවිරිදි ලේකන් රයිලී මෑතකදී නීති විරෝධී සංක්‍රමණිකයකු අතින් එක්සත් ජනපදයේදී අමානුෂික ලෙස ඝාතනය වුණා.

      නමුත් එ.ජ. රජයේ සම්පූර්ණ අනුකම්පාව සහ අවධානය හිමි වුණේ අර මිනීමරු ඝාතකයාට. ඔහුව ඇතැමුන් "නීති විරෝධී" සංක්‍රමණිකයකු ලෙස හැඳින්වීම ගැන ඇමරිකානු ජනාධිපති අවුරුදු අසූ දෙකේ වල පයයි ගොඩ පයයි ජෝ බයිඩන් ඇවිදින මලමිනිය ජාතියෙන්ම සමාව ගත්තා.දැනටමත් එක්සත් ජනපද මාධ්‍ය මෙවැනි ඝාතනයක් සිදුකිරීමට සංක්‍රමණිකයා මුහුණ දුන් පීඩන ගැන සෑහෙන කතා කරනවා.

      මීට සම්පූර්ණයෙන්ම වෙනස්ව විපක්ෂ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් රයිලිගේ පවුලේ සාමාජිකයින් හමුවී ඉතාම සංවේගයෙන් ඔවුන්ට කණගාටුව ප්‍රකාශ කළා. සිය රජයක් යටතේ මෙබඳු මිනීමරු නීති විරෝධී සංක්‍රමණයකින් අනිවාර්යයෙන්ම යලි හරවා යවන බව කිව්වා.

      සාමාන්‍යයෙන් බහුතර එක්සත් ජනපද පුරවැසි පොදු මහජනතාවගේ මතය ට්‍රම්ප්ගේ මතයට සෑහෙන සමාන වුවත් මේ මොහොතේ එක්සත් ජනපදය සහ කැනඩාවේ පාලක බලය හිමි පාර්ශව සහ මාධ්‍යයේ අනුකම්පාව මේ මිනීමරු ඝාතකයාට හිමිවෙනවා.

      යම් හෙයකින් ඔය කියන ආකාරයට පියා සහ ඝාතකයා අතර සමරිසි පෙමක් තිබුණා නම්, කතා දෙකක් නැහැ ඝාතකයාට ඉතාම අවම දඬුවමක් හිමි වීමට ඇති සම්භාවිතාව බොහෝ වැඩියි.

      අනෙක් අතට මෙවැනි සිදුවීම් නිසා ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ට කැනඩාවේ අවස්ථාව අහිමි වීමේ ඉඩක් ඇතැයි ඇතැම් ශ්‍රී ලාංකිකයන් කියා තිබුණා.
      එයත් වර්තමාන කැනඩාවේ සමාජීය තත්වය ගැන නොදැන කියන කතාවක්.එවැනි සිදුවීම් වර්තමාන කැනේඩියානු රජයට සංක්‍රමණිකයන්ට වඩා අවස්තා ලබාදීමට හේතුවක් මිසක ඔවුන් වැළැක්වීමට හේතුවක් නොවෙයි.
      මේ මොහොතේ කැනඩාව සහ එක්සත් ජනපදය වැඩ කරන්නේ එහෙම නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: