වෙබ් ලිපිනය:

Saturday, March 16, 2024

සංචිත වැඩි වෙන්නේ ණය නොගෙවන නිසාද?


පසුගිය (2023) වසර අවසන් වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400 දක්වා වර්ධනය වී තිබුණා. ඊට වසර එක හමාරකට පමණ පෙර පැවති තත්ත්වය හා සසඳන විට මෙය කෙතරම් සතුටු විය හැකි තත්ත්වයක්ද කියා විස්තර කිරීමට මා වචන නාස්ති කරන්නේ නැහැ. 

සමහර අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මේ විදිහට විදේශ සංචිත වර්ධනය වී තිබෙන්නේ දැනට රජය විදේශ ණය ආපසු නොගෙවන නිසාද යන්නයි. කරුණක් ලෙස ගත්තොත්, මේ වන විට ලංකාව ද්විපාර්ශ්වික ණය හා වාණිජ ණය ආපසු ගෙවීම අත් හිටවා තිබෙනවා. එය රහසක් නෙමෙයි. දිගටම ආපසු ගෙවන්නේ බහුපාර්ශ්වීය ණය හා අර්බුදයට පසුව ලබාගත් ණය ඇතුළු විදේශ ණය වලින් කොටසක් පමණයි.  

කල් ඉකුත්ව ඇති විදේශ ණය සියල්ල පියවීම සඳහා ඉහත සංචිත යොදා ගත්තේනම්, එම සංචිත සියල්ලම අවසන් වන බව තර්කයක් ලෙස සැලකුවහොත් නිවැරදියි. පසුගිය (2023) වසර අවසන් වන විට ගෙවිය යුතුව තිබුණු, එහෙත් නොගෙවූ රජයේ විදේශ ණය ප්‍රමාණය ඉහත සංචිත ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයි. ඒ පහත පරිදියි.

නොගෙවූ ද්විපාර්ශ්වික ණය - ඩොලර් මිලියන 1,770.8

නොගෙවූ වාණිජ ණය - ඩොලර් මිලියන 2,680.3

එකතුව - ඩොලර් මිලියන 4,451.1

මේ අනුව පැහැදිලි වන පරිදි, කල් ඉකුත්ව ඇති මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය පමණක් වුවද මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 51කින් වැඩියි. 

කෙසේ වුවත්, මේ තර්කය නොමග යවන සුළු තර්කයක්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස, මහ බැංකුවේ සංචිත රජයේ ණය ගෙවීම සඳහා යොදා ගන්නේ නැහැ. සෘජුව එසේ යොදා ගන්නත් බැහැ. නමුත්, ණය පැහැර හැරීම දක්වා තල්ලු වීමට ආසන්න කාලයේදීනම් එවැන්නක් සිදු වුනා. 

මධ්‍යම රජයේ විදේශ ණය ආපසු ගෙවිය හැකි ක්‍රම තුනක් තිබෙනවා. එයින් පළමු හා තිරසාර ක්‍රමය රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් සීමා කිරීම මගින් අතිරික්ත රුපියල් ප්‍රමාණයක් එකතු කර ගෙන එම රුපියල් ගෙවා වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමයි. නමුත් දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඒ ක්‍රමයට විශාල රුපියල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම, විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් මිල දී ගැනීමේ හැකියාවක්ද රජයට නැහැ.

දෙවන ක්‍රමය දේශීය වෙළඳපොළෙන් රුපියල් ණය ලබාගෙන එම රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමයි. මෙසේ කිරීමේදී විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක් මිසක් රජයේ ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම, පවතින වෙළඳපොළ තත්ත්වයන් යටතේ මෙසේ කිරීම වාසිදායක දෙයක් නෙමෙයි. ඊට හේතුව, මේ වන විට පවතින පොලී අනුපාතික යටතේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ කිරීම අවාසිදායක වීමයි. 

ණය පැහැර හැරීම දක්වා තල්ලු වීමට ආසන්න කාලයේදී කළේ රජය විසින් කළේ මහ බැංකුවෙන් ණයට රුපියල් ලබා ගෙන (සල්ලි අච්චු ගසා) එම රුපියල් ගෙවා මහ බැංකුවෙන්ම ඩොලර් මිල දී ගැනීමයි. මෙය රජයේ ණය ගෙවීම සඳහා සෘජුව මහ බැංකුවේ විදේශ සංචිත යොදා ගැනීමකට සමාන දෙයක්. අලුත් මහ බැංකු පණතේ විධිවිධාන අනුව දැන් මෙවැන්නක් සිදු වීමේ ඉඩක් නැහැ. දැන් රජය විසින් රුපියල් ණය ලබා ගන්නේනම් වෙළඳපොළ පොලී අනුපාතික ගෙවා දේශීය වෙළඳපොළෙන් එම ණය ලබා ගන්නට සිදු වෙනවා. මෙවැන්නක් කිරීමේදී පොලී අනුපාතික ඉහළ ගොස් ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන නිසා දෙවනුව රජයේ බදු ආදායම්ද අඩු වීමේ අවදාමනක් තිබෙනවා. 

විදේශ ණය පියවිය හැකි තෙවන ක්‍රමය අලුතෙන් විදේශ ණය අරගෙන එම අරමුදල් යොදවා පැරණි විදේශ ණය පියවීමයි. ඉතිහාසයේ දිගින් දිගටම සිදු වුනේද මෙයයි. මේ ක්‍රමයේදී වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමක් සිදු වන්නේ නැහැ. 

මෙතෙක් කාලයක් තිස්සේ සිදු කළ මෙම තෙවැනි ක්‍රමය දැන් යොදා ගත නොහැකිව තිබෙන්නේ පැරණි ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් විදේශ ණය අලුතෙන් ලබා ගත නොහැකි නිසා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ මෙම ප්‍රශ්නය විසඳා ගැනීමයි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමමෙන් පසුව, යම් කාලයක් යන තුරු, අලුත් විදේශ ණය ලබා ගෙන එම අරමුදල් වලින් පැරණි විදේශ ණය ගෙවන්නට සිදු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය වන්නේ ලබා ගත හැකි ණය වලින් පැරණි ණය ගෙවිය හැකි වන පරිදි ණය ගෙවීමේ කාලය දිගු කර ගැනීමයි. නමුත්, මේ තෙවන ක්‍රමයෙන්ද රජයේ ණය අඩු වෙන්නේ නැහැ. පමා වී හෝ ණය ගෙවන්නට සිදු වෙනවා.

ණය අඩු වෙන්නේ පළමු ක්‍රමයෙන් ණය පියවුවහොත් පමණයි. ඒ සඳහා, දිගුකාලීනව එක දිගටම ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නට සිදු වෙනවා. එහිදී ඉතිරි වන රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන විදේශ ණය ගෙවිය හැකියි. තිරසාර ලෙස විදේශ ණය අඩු වන්නේ මේ ක්‍රමයෙන් පමණයි.

මේ ආකාරයෙන් රජය විසින් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන ණය ගෙවීමටනම්, රජය විසින් රුපියල් සොයා ගැනීමට අමතරව රටේ ප්‍රමාණවත් ඩොලර් සංචිත තිබීමද අවශ්‍ය වෙනවා. එහෙත්, රජයට හදිසියේ විශාල රුපියල් ප්‍රමාණයක් හොයා ගත නොහැකි නිසා, මහ බැංකුවට මේ සඳහා අවශ්‍ය වන සංචිත ගොඩ නගා ගැනීමටද ප්‍රමාණවත් කාලයක් තිබෙනවා. 

කෙසේ වුවත්, මේ කතා කළේ රජයේ ණය ගැනයි. රජයේ ණය වලට අමතරව, මේ වන විට මහ බැංකුව විසින් ලබා ගෙන තිබෙන මහ බැංකුව විසින් ගෙවිය යුතු විදේශ ණයද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් ලෙස, පසුගිය වසර අවසානයේදී ඩොලර් බිලියන 4.4ක් වූ විදේශ සංචිත වලින් ඩොලර් බිලියන 1.4ක් පමණ මහ බැංකුව විසින් චීනයෙන් ලබා ගත් මුදල් හුවමාරු ණයයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයද මහ බැංකුවේ ණයයි. මීට අමතරව, බංග්ලාදේශයෙන් ලබා ගත් ණය මේ වන විට ගෙවා ඇතත්, මහ බැංකුව විසින් ඉන්දියාවට විශාල මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. විදේශ ණය තර්කය ඇත්තටම අදාළ වන්නේ මෙම මහ බැංකුවේ ණය වලටයි.

පසුගිය (2023) වසර අවසානයේදී, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3ක්. වසර අවසානයේදී ඩොලරයක මිල වූ රුපියල් 323.93 සැලකූ විට මෙම අගය ඩොලර් මිලියන 2,584.9ක්. ඒ කියන්නේ පසුගිය වසර අවසාන වන විටද මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණයට වඩා විදේශ බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩි වූ බවයි. කෙසේ වුවද, පසුගිය (2023) වසර ආරම්භයේදී මෙම හිඟය රුපියල් බිලියන 1,606.4ක් හෙවත් ඩොලර් මිලියන 4,424.0ක්ව පැවතුණා. 

මේ අනුව, පසුගිය වසර තුළ මහ බැංකුව විසින් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,898 සිට ඩොලර් මිලියන 4,400 දක්වා ඩොලර් මිලියන 2,502කින් වැඩි කර ගනිද්දී, මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,839කින් පමණයි. ඒ නිසා, ශුද්ධ වශයෙන් සැලකුවහොත් සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 1,839ක් පමණයි. ඉතිරි ඩොලර් මිලියන 662ට අනුරූපව විදේශ බැරකම්ද එකතු වී තිබෙනවා. මෙම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු වාරික දෙකට සමාන මුදලක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික නිසා මහ බැංකුවේ සංචිත ඉහළ ගියත් අනෙක් පැත්තෙන් ඊට අනුරූපව මහ බැංකුවේ බැරකම්ද ඉහළ යන නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල වෙනසක් සිදු වෙන්නේ නැහැ. එහෙත්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගත් විට විදේශ සංචිත මෙන්ම ශුද්ධ විදේශ වත්කම්ද ඉහළ යනවා. 

මහ බැංකුව වගේම, ශ්‍රී ලංකා රුපියලද අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන්ම එළියට පැමිණි සේ සැලකිය හැක්කේ මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණය ඉක්මවූ විටයි. මෙම ඉලක්කයට යාම සඳහා තවත් වසරක පමණ කාලයක් යා හැකියි. කෙසේ වුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිණුමෙන් ලබා ගෙන ඇති අරමුදල් වලින් කොටසක් ආපසු ගෙවීම සඳහා ඕනෑ තරම් කල් ගත හැකියි. ඒ වගේම, මෑතකදී ලබා ගත් වාරික හා ඉදිරියේදී ලැබෙන්නට නියමිත වාරික ආපසු ගෙවිය යුත්තේ වසර 4-10 අතර කාලයකදීයි. චීනයෙන් හා ඉන්දියාවෙන් ලබා ගත හැකි මුදල් ආපසු ගෙවීම සඳහාද යම් කාලයක් ගත හැකියි. ඒ නිසා, මේ වෙද්දී මහ බැංකුවට මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමක් නැහැ. 

මෙම (2024) වසරේ ජනවාරි මාසය අවසන් වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 745.1 දක්වා අඩු වී තිබුණා. එයට එක් හේතුවක් වන්නේ ඩොලරයක මිල රුපියල් 317.41 දක්වා අඩු වීම වුවත්, එම විණිමය අනුපාතය යටතේ වුවද මෙම හිඟය ඩොලර් මිලියන 2,347.5ක් පමණයි. මෙය මසකට පෙර පැවති ශුද්ධ විදේශ වත්කම් හිඟයට වඩා ඩොලර් මිලියන 237.4කින් අඩු අගයක්.

ජනවාරි මාසය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 245.3ක් මිල දී ගෙන තිබෙනවා. එහෙත්, එම මාසය තුළ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 96කින් පමණයි. මෙයින් පෙනී යන්නේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගත් විදේශ විණිමය වලින් කොටසක් ණය ගෙවීම සඳහා යොදවා ඇති බවයි. 

පෙබරවාරි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් තවත් ඩොලර් මිලියන 239.5ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. එහෙත් සංචිත ඉහළ ගොස් ඇත්තේ ඩොලර් මිලියන 21කින් පමණයි. මෙයින් පෙනෙන්නේ පෙබරවාරි මාසය තුළද මහ බැංකුව විසින් සැලකිය යුතු මුදලක් මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් යොදවා ඇති බවයි.

දැනට පවතින වෙළඳපොළ සමතුලිතතාව තුළ, ශ්‍රමික ප්‍රේෂණ වලින් හා සේවා ආදායම් වලින් වෙළඳ ශේෂ හිඟය පියැවීමෙන් පසුවද සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මෙම තත්ත්වය තුළ මහ බැංකුව විසින් පසුගිය දෙමස තුළ ශුද්ධ ලෙස ඩොලර් මිලියන 484.8ක් මිල දී ගැනීමෙන් පසුවද ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින්, දිගටම මේ මට්ටමෙන් (සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 240 පමණ බැගින්) වෙළඳපොලෙන් විදේශ විණිමය මිල දී ගතහොත් මෙම වසර අවසන් වන විට මහ බැංකුවට එහි ශුද්ධ විදේශ වත්කම් හිඟය සම්පූර්ණයෙන්ම පියවා ගන්න පුළුවන්.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව රජයට එම ණය ගෙවීම පටන් ගන්නට සිදු වෙනවා. නමුත් දැනට යෝජිත ක්‍රමවේදය අනුව වාණිජ ණය වලින් කොටසක් කපා හැරෙන අතර ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා සැලකිය යුතු කාලයක් ලැබෙනවා. ඒ අනුව, අමතර බරක් සේ ක්ෂණිකව එකතු වන්නේ ගෙවිය යුතු වාණිජ ණය කොටස පමණයි. 

මෙම කොටස රජයේ රුපියල් ආදායම් හා වියදම් ගැලපූ පසු දරා ගත හැකි මට්ටමකට සීමා කෙරෙන බැවින් එසේ ගෙවිය හැකි ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකමද සීමා වෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුවේ ණය වලින් නිදහස් වීමෙන් පසුව මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් මේ වෙනුවෙන් වෙන් කළ හැකි නිසා, රුපියල මත ලොකු පීඩනයක් ඇති නොවන පරිදි අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයට සපයන එක මහ බැංකුවට ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: