වෙබ් ලිපිනය:

Saturday, March 23, 2024

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා. ඇතැම් ඉලක්ක අපේක්ෂා කළාටත් වඩා හොඳින් ළඟා කර ගෙන තිබෙනවා.

මෙම වැඩ සටහනේ ප්‍රධානම ප්‍රමාණාත්මක ඉලක්ක වුනේ පහත ඒවායි. 

රජයේ ප්‍රාථමික අයවැය ශේෂය: මෙය 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 209ක හිඟයක් විය හැකි අතර එම හිඟය ඊට වඩා වැඩි නොවිය යුතුයි. රජය විසින් 2023 නොවැම්බර් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 331ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. වසර අවසාන වන විටද ප්‍රාථමික අතිරික්තයක් පැවතී ඇති බව පැහැදිලියි. 

ශුද්ධ විදේශ සංචිත: 2023 වසර අවසාන වන විට ඩොලර් මිලියන 1,592ක හිඟයක් පැවතිය හැකි අතර එම හිඟය ඊට වඩා වැඩි නොවිය යුතුයි. මෙම ඉලක්කයට ගොස් ඇති බව පෙනෙනවා. 

මහ බැංකුවෙන් රජයට ලබා දී ඇති ණය ප්‍රමාණය: මෙය 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 2,740ට නොවැඩි විය යුතුයි. වසර අවසානයේදී මෙම අගය රුපියල් බිලියන 2,376 දක්වා අඩු වී තිබෙනවා.

උද්ධමනය: මෙය 2023 දෙසැම්බර් මාසයේදී 12%-18% අතර පැවතිය යුතුයි. වසර අවසාන වන විට උද්ධමනය 4% දක්වා අඩු වී තිබුණා.

රජයේ බදු ආදායම: 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 2,940ට වඩා වැඩි විය යුතුයි. නොවැම්බර් අවසානය වන විට රජයේ බදු ආදායම රුපියල් බිලියන 2,512ක්. ඒ අනුව, දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 428ක් එකතු කර ගත යුතුව තිබුණා. මෙම ඉලක්කයට ගොස් ඇති බව පෙනෙනවා. 

සමාජ වියදම්: 2023 වසර අවසාන වන විට අවම වශයෙන් රුපියල් බිලියන 187ක සමාජ වියදම් වැය කර තිබිය යුතුයි. වසර අවසන් වෙද්දී රජය විසින් මෙම මුදල වියදම් කර නැහැ. 

මේ අනුව පෙනෙන පරිදි, රජයේ බදු ආදායම් ඉලක්කය ලඟා කර ගෙන ඇති බව පෙනෙන නමුත් එය ලඟා කරගෙන තිබෙන්නේ යාන්තමින් බවයි පෙනෙන්නේ. එසේ නොවීනම්, වසර අවසන් වීමට ආසන්නව නැවත වරක් වැට් බදු අනුපාතය වැඩි කරන්න හේතුවක් නැහැ.

මේ අනුව, ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙන්නේ ඉලක්කයට වඩා ආදායම් වැඩි කර ගැනීමෙන් නොව, යාන්තම් ආදායම් ඉලක්කයට යමින් රජයේ වියදම් දැඩි දෙස සීමා කිරීම මගිනුයි. සමාජ වියදම් ඉලක්කය මග හැරීමෙන් පෙනෙන්නේද එසේ වියදම් දැඩි ලෙස සීමා කර ඇති බවයි. 

මේ ආකාරයෙන් ඉලක්කයට වඩා අරමුදල් ඉතිරි කර ගැනීම නිසා මහ බැංකුවේ ණය වලින් අවශ්‍ය ඉලක්කයට වඩා සැලකිය යුතු කොටසක් ගෙවා දමන්නට රජයට හැකි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුවට සංචිත මුදල් වැඩි නොකර විදේශ සංචිත ඉලක්කයට යා හැකි වී තිබෙනවා. උද්ධමනය ඉලක්කයට වඩා විශාල ලෙස පහත වැටීම මෙහි ප්‍රතිඵලයයි. 

උද්ධමන ඉලක්කය කරා කලින්ම පැමිණ ඇති නිසා දැන් මහ බැංකුවට හා රජයට ආර්ථික වර්ධනය ගැන කලින්ම හිතන්නට ඉඩක් ලැබී තිබෙනවා. ඒ වගේම, උද්ධමනය ප්‍රශ්නයක් කර නොගෙන රජයේ වියදම් යම් පමණකින් වැඩි කිරීමටද අවකාශයක් ලැබී තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන ඉදිරිපත් වූ කාලයේ ඇතැම් අය ලෝකය පුරා රටවල් පීරමින් අරමුදලේ වැඩ සටහන් අසාර්ථක වූ තැන් හොයන්නට පුදුම මහන්සියක් ගත්තා. එසේ කළේ එම වැඩ සටහන් සාර්ථක වීම පිළිබඳව නිදර්ශන 16ක් ලංකාවේම තිබියදී. දැන් එම 16ට තවත් එකක් එකතු වී තිබෙනවා. මෙවර ගොඩ පැමිණ ඇත්තේ පෙර අවස්ථා වල පැවති මට්ටමේ සරල ගෙවුම් ශේෂ අර්බුදයකින් නෙමෙයි. ගෙවුම් ශේෂ අර්බුදය හා බැඳුණු දැවැන්ත විදේශ ණය අර්බුදයකින්. අර්බුදය අවසන්ව නැතත් එහි අසීරුම මුල් අදියර දැන් අවසන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනක් කියන්නේ කෝකටත් තෛලයක් හෝ සර්ව සම්පූර්ණ වැඩ පිළිවෙලක් නෙමෙයි. නමුත් ලංකාව "දේශීය විසඳුම්" වලින් රටේ ආර්ථිකය බොරු වලවල් වලට වට්ටවා ගත් හැම විටකම එම වැඩ සටහන් වල උදවුවෙන් රට ගොඩ ගිහින් තිබෙනවා. මෙන් පෙර කිසිම අවස්ථාවක රට ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වුනේ නැහැ. අරමුදලේ වැඩසටහනකට වසරකට පමණ කලින් ගියානම් මෙවරද මේ තරම් විනාශයක් සිදු වන්නේ නැහැ.

පෙර 16 වරම අරමුදලේ උදවුවෙන් ගොඩ ගිය ආර්ථිකය නැවත නැවත අර්බුදයට ගියේ යාන්තම් ගොඩ එද්දී එම වැඩ පිළිවෙළින් පිට පැනපු නිසා. මෙවරත් එවැන්නක් වෙන්න පුළුවන්. එසේ නැවත පිට පැන්නොත් මුහුණ දෙන්න වෙන්නේ කලින් මුහුණ දුන්නාට වඩා උග්‍ර ආර්ථික අර්බුදයකටයි. 

4 comments:

  1. විහිලු කරන්න එපා ඉකොනෝ

    //පෙර 16 වරම අරමුදලේ උදවුවෙන් ගොඩ ගිය ආර්ථිකය නැවත නැවත අර්බුදයට ගියේ යාන්තම් ගොඩ එද්දී එම වැඩ පිළිවෙළින් පිට පැනපු නිසා. මෙවරත් එවැන්නක් වෙන්න පුළුවන්. එසේ නැවත පිට පැන්නොත් මුහුණ දෙන්න වෙන්නේ කලින් මුහුණ දුන්නාට වඩා උග්‍ර ආර්ථික අර්බුදයකටයි. //

    සභාවේ ඉතාම තදින් හිනා 😄😀🤣😂 ගොන් ආතල් 🤣😂

    ඉකොනෝ මේ කෙටි පැහැදිලිකිරීම බලන්න

    https://www.facebook.com/100069359613647/posts/pfbid02krcTZiiqoENkEjhMF7kHRWUFjpcRbKspC6HtZFssAXt86vQPjXes5V1VzAT8HrcRl/?app=fbl

    මේක තමයී දැන් ලංකාවෙි ඇත්තම තත්වය.ඒක පැහැදිලිව තේරැම් කර ගන්න මේ ක්ලිප්එක. වත් බලලා (හැබැයි මේ ඇත්ත තත්ත්වය තේරෙන්නේ නැති කට්ටියකුත් ඉන්නවා). දැන් ඒ අය ප්‍රමාණය ඉතාම සීමිතයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා ඕක බලල තේරුම් ගත්ත ඇත්ත තත්ත්ත්වය මොකක්ද , ඇනෝ?

      Delete
  2. //පෙර 16 වරම අරමුදලේ උදවුවෙන් ගොඩ ගිය ආර්ථිකය නැවත නැවත අර්බුදයට ගියේ යාන්තම් ගොඩ එද්දී එම වැඩ පිළිවෙළින් පිට පැනපු නිසා. මෙවරත් එවැන්නක් වෙන්න පුළුවන්. එසේ නැවත පිට පැන්නොත් මුහුණ දෙන්න වෙන්නේ කලින් මුහුණ දුන්නාට වඩා උග්‍ර ආර්ථික අර්බුදයකටයි. //

    ආයෙත් ඇවිත් කියවන්නෙමි ප්‍රතිචාර
    රජයේ මතක සුරැකේවා මේ පාර!

    ReplyDelete
  3. ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වෙනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිත දේශනයේ කතාව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකුවේ පාලනාධිකාරිය විසින් ඒ ප්‍රධාන දේශනය සඳහා ආරාධනා කර තිබුණේ ආචාර්ය ශර්මිලා කුරේ මහත්මියට. එතුමිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කළ ලංකාවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරියක්. එම දේශනයේදී ඇය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කියන සියලුම කොන්දේසි ඉටු කළත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කරගත්තත්, ඒ වගේම මේ වසරේ සිට ආදායම් වියදම් අතර පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.3 ක දක්වා ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන ගියත් 2032 වන විටත් අපගේ ණය බර අඩුවන්නේ සියයට අනූපහක් දක්වා පමණයි කියලා. ඇය මෙම සමස්ත කතාවේදී දැඩිව අවධාරණය කළේ ලංකා ආර්ථිකය තිබෙන්නේ ඉතාම අවදානම්කාරී තැනක බවයි. ඒ බව ඇය දිගින් දිගටම අවධාරණය කළා. ඒ වගේම ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ වෙනත් ආර්ථිකමය හා මූල්‍ය සංවිධාන අප රටේ ඇති අවදානම්කාරී තත්ත්වය ගැන දිගින් දිගටම මතු කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔවුන්ගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු, ඔවුන්ට හිතවත් මාධ්‍ය මේ අර්බුදය වසා ජනතාව තවත් වටයකින් අන්දවන්න උත්සාහ ගනිමින් සිටිනවා. හැබැයි මේවාට තවදුරටත් ජනතාව ඇන්දෙවෙන්නේ නැහැ.

    අයිඑම්එෆ් එකේ පොරොන්දු වුණු ඩොලර් මිලියන 2,900ම ලැබුණත්, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න බැහැ. අයිඑම්එෆ් එකේ අයම කියනවා අයිඑම්එෆ් එකට කරන්න පුලුවන්ද බම්බුවක් නෑ කියලා

    ආචාර්ය ශර්මිලා කුරේ මහබැංකුවේ ලොක්කෝ සේරම එකමිටට තියලා ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා සාමාන්‍ය බළලට තියෙන්නෙ පණ නමයයි කියලා මතයක් තිබුණට, ලංකාව අයිඑම්එෆ් එකට 17 වතාවක් ගිහින් තියෙන බවත් ඒ දාහත් වතාවේම කරපු මගුලක් නැති බවත් නටපු තොයිලයක් වත් බෙරේ පලුවක් වත් නැති බව. ඒ නිසා අයිඑම්එෆ් සරණ ගිහින් ගොඩ යන්න බලාගෙන ඉන්නවා නම් ඒක සම්පූර්ණ වැරැදි ආකල්පයක්.

    අයිඑම්එෆ් ගිවිසුමේ බරපතල කොන්දේසි අනුව දැන් රනිල්ලා ක්‍රියාත්මක කරල තියෙනවා. ඊළඟ මැතිවරණය වෙද්දි බලාගන්න පුළුවන් මේ අයිඑම්එෆ් වැඩපිළිවෙළේ අපිට ලැබුණු දේවල් මොනවාද, ඒකෙ අයහපත් ප්‍රතිඵල මොනවද කියල.

    දැනට රනිල්ට නන්දලාල්ලට කුණුහරුපෙන් බනින බහුතර ජනතාවට බොහොම පැහැදිලිව පේන සත්‍යය අපි අයිඑම්එෆ් එකට යටවෙලා නිෂ්පාදන ආර්ථිකයක් හදන්නෙ නැතිව, ආනයන සීමා සම්පූර්ණයෙන් ලිහිල් කරගෙන දේශීය නිෂ්පාදන කඩා වට්ටන ගමනකද යන්නෙ, එහෙම නැත්නම් ජවිපෙ ජාතික ජන බලවේගයේ අපි ඉදිරිපත් කරන රාජ්‍ය මූලික නිෂ්පාදන ආර්ථිකයද වැදගත් කියල තීරණය කරන්න පුළුවන්නෙ.

    හැබැයි අපි ක්‍රියාත්මක කරන ඕනම දෙයක් අපේ ජාජබ ජනවරමට අනුව කටයුතු කරන්නෙ. මොකද ජනතාවගේ විශ්වාසය හරි වැදගත්. ජනතාව අප ගැන, අපේ ආර්ථිකය ගැන විශ්වාසය තියෙනවා නම්, අපිට ජනතාව එක්ක යන්න ගමනක් තියෙනවා. මොකද ජනතාවගේ සහයෝගයකින් තොරව මේ කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක කරගන්න බැහැ.

    ඒනිසා ජාතික ජනබලවේගය මේ කියන නිෂ්පාදන මූලික ආර්ථික වැඩපිළිවෙළට තමයි අපි චීනය වියට්නාමය ඉන්දියාව වැනි රටවල ආයෝජකයක් කැඳවා ගන්නෙ. ඒ වගේම විදෙස්ගත ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා මේ රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය ලබාදෙන්න පුළුවන් තැන්වලට උපරිමයෙන් දායක වෙන්න කියල. කැනඩාවෙදි අනුර සහෝදරයාට විශාල පිරිසක් එහෙම ස්ථිරව පොරොන්දු දී තිබෙනවා ලංකාවට ඩොලර් මිලියන ගණනක ආයෝජන ගෙන එන බවට ඒ විශ්වාසය මත ආයෝජන සහ විදෙස්ගත ප්‍රේෂණ ප්‍රමාණය අතිවිශාල ලෙස සැලකිය යුතු මට්ටමකින් වැඩිකර ගන්න පුළුවන්.

    දැන් මේ රජයේ ආර්ථික විශේෂඥයෝ මතු කරන කාරණය තමයි අපි දැන් තර්ක කර කර ඉන්න ඕනෙ මහ බැංකුව පොලී අනුපාත වැඩිකරනවාද, අඩුකරනවාද, කවර රාජ්‍ය ව්‍යවසායද පුද්ගලීකරණය කරන්නෙ කියන එක නෙමෙයි. ඒවා අනවශ්‍ය බහුබූත

    ජාතික ජන බලවේගයේ රජයක පළමු කාරණය වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් දේශපාලන සංස්කෘතියක් රටේ තහවුරු කිරීම. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව කවර සුපිරි ආර්ථික වැඩපිළිවෙළක් වුණත් යථාර්ථයක් කරගන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු විදිහට මම කියන්නෙ මේ දූෂණයෙන් තොර දේශපාලනයක්. අනෙක් පැත්තෙන් සැලසුම්සහගත නිෂ්පාදන ආර්ථිකයක් කියන කාරණා දෙකට තමයි අපි මේ ප්‍රමුඛතාව දෙන්නෙ. අයිඑම්එෆ් වගේ ජනතා විරෝධී බදු වැඩිකරන ගාස්තු වැඩිකරන කෝන්දේසි අපි වහාම අහෝසිකර බදු සහන සහ ගාස්තු අඩු කර රජයේ ආයතන වල සේවක පඩිවැඩිකිරීම සහ සේවක අතිරික්ත ඇති තැන් වලින් පුරප්පාඩු ඇති තැන් පුරවා රාජ්‍ය ආයතන වල උපරිම සහයෝගය ඇතිව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් රටට වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබාගැනීමට ඉතාම පහසුවෙන් පුලුවන්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: