වෙබ් ලිපිනය:

Wednesday, March 20, 2024

ඩොලරය බහින එක හොඳද?


මේ වෙද්දී මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (මාර්තු 20) ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.1361ක්. විකිණුම් මිල රුපියල් 308.7249ක්. මැදි මිල 303.9753ක්. දැනට පවතින ප්‍රවණතාවය අනුව ඉතා ඉක්මණින් ඩොලරයක මැදි මිල රුපියල් 300 සීමාවෙන් පහළට එන්න පුළුවන්.

ලංකාවේ ගොඩක් අය ඩොලරයක මිල ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ ප්‍රධාන දර්ශකයක් ලෙස සලකනවා. ඩොලරයක මිල ඉහළ යද්දී එය ආර්ථිකයේ කඩා වැටීමක් විදිහටත්, මිල අඩු වෙද්දී එය ආර්ථිකය ස්ථායී වීමක් විදිහටත් දකිනවා. ලංකාවේ දේශපාලනයේ දිශානතිය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි, ආනයන පරිභෝජනය මත ජීවිතයේ සන්තුෂ්ඨිය රඳවා ගත්, ලංකාවේ ඉහළ හා පහළ මධ්‍යම පන්තියේ ආර්ථික අභිලාෂ එක්ක මේ සිතීම සමපාත වෙනවා. 

මේ විදිහට ඩොලරයක මිල "කඩා වැටීම" ඇත්තටම හොඳද? 

ඉහත ප්‍රස්ථාරය දිහා බැලූ විට "කඩා වැටීම" කියන වචනය යොදා ගැනීමේ ලොකු වැරැද්දක් පේන්න නැහැ. මිල පහත යන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මේ දවස් වල ලංකාවේ ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම සැලකිය යුතු තරම් වැඩියි.

පෙර ලිපියකද විස්තර කළ පරිදි මීට හේතුව ණය නොගෙවීම නෙමෙයි. ණය ගෙවපු කාල වකවානු වල, හැම විටම මෙන්, ණය ගෙවුවේ අලුතෙන් තව ණය අරගෙනයි. ඒ නිසා, ණය නොගෙවනවා කියන එක ඒ තරම් බරක් තැබිය යුතු නැති තර්කයක්. සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙන පරිදි, මේ දවස් වල ලංකාව උපයන ඩොලර් ප්‍රමාණය වැය කරන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩියි. 

වාහන ආනයන වලට තවමත් ඉඩ දී නැති බව ඇත්ත. නමුත්, වඩා වැදගත් කරුණ මහ බැංකුව විසින් මුදල් සැපයුම පාලනය කිරීම හරහා ආනයන ඉල්ලුම සීමා කර තිබීමයි. වාහන හැර අනෙකුත් ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ ඒ නිසා. අපනයන ආදායම් හා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයේ ආදායම් ඇතුළත් සේවා ආදායම් වලට ශ්‍රමික ප්‍රේෂණ එකතු වූ විට සෑම මාසයකදීම ආනයන වියදමට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබෙනවා. 

මේ වගේ වෙනසක් එක්ක විදේශ විණිමය වෙළඳපොළ තුලනය වෙද්දී ඩොලරයක මිල දවසෙන් දවස බහිනවා. එය නවතින්නේ ආනයන ඉල්ලුම ඩොලර් සැපයුමේ මට්ටමට ඉහළ ගිය විටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශද එක්ක මහ බැංකුව ඉන්නේ පාලිත පාවෙන විණිමය ප්‍රතිපත්තියක. ඒ අනුව, ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ කලින් නිශ්චය කර තිබෙන මට්ටමක් දක්වා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නවා. ඩොලරයක මිල මේ විදිහට කඩා වැටෙන්නේ එසේ කරද්දී. මහ බැංකුවේ මැදිහත් වීම් නොවන්නට මේ වෙද්දී ඩොලරයක මිල මීට වඩා ගොඩක් අඩුවෙලා. 

ඩොලරයක මිල අඩු වීමේ වාසි වගේම අවාසිත් තිබෙනවා. මෙයින් පාඩු ලබන ප්‍රධානම පාර්ශ්වය අපනයනකරුවෝ. ඩොලරයක මිල ඉහළ යද්දී තේ වගාකරුවන් වැනි අයගේ ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වුනා. මීට සාපේක්ෂව කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ වැටුප්ද වැඩි වුනා. දැන් තේ ආදායම් ලෙස ලැබෙන මුදල අඩු වෙද්දී ශ්‍රමිකයින්ට ගෙවිය යුතු මිල අනුපාතිකව අඩු වෙන්නේ නැහැ. 

කොහොම වුනත්, මම හිතන විදිහට, ශ්‍රමික වැටුප් ඩොලරයක මිල ඉහළ ගිය තරමටම වැඩි වී නැති නිසා ඩොලරයක මිලේ යම් අඩුවීමක් දරා ගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. මේ සීමාව ගැන මට අදහසක් නැති වුනත්, ඩොලරයක මිල දිගටම පහළ වැටෙද්දී එය කර්මාන්තයට ප්‍රශ්නයක් වෙන බවනම් පැහැදිලියි. මෙය අනෙකුත් අපනයන කර්මාන්ත වලටත් අඩු වැඩි වශයෙන් අදාළයි.

ඩොලරයක මිල පහත වැටෙද්දී විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයට ලැබෙන රුපියල් ප්‍රමාණයද අඩු වෙනවා. එය ඔවුන්ට අවාසියක්. ලැබෙන මුදලෙන් තමන්ගේ වියදම තියාගෙන වැඩි කොටස කොහොමටත් ලංකාවට එවන අයට ඩොලරයක මිල කීය වුනත් එවන මුදල වැඩි කරන්න බැහැ.

ලංකාවට ප්‍රේෂණ එවන ගොඩක් අය ඔය වගේ අය වුනත් හැමෝම ඔය කාණ්ඩයේ අය නෙමෙයි. කාලයක් තිස්සේ ඇමරිකාවේ පදිංචිව සිටින මම දන්නා ගොඩක් අය ලංකාවට මාස්පතා සල්ලි යවනවා. ඒ විදිහට සල්ලි යවන්නේ තමන්ගේ පවුලේ අයටම නෙමෙයි. උදාහරණයක් ලෙස ගොඩක් අය ලංකාවේ තෝරාගත් පාසැල් සිසුන්ට හා සරසවි සිසුන්ට උදවු කරනවා. එහිදී ඔවුන් කරන්නේ මාස්පතා නිශ්චිත රුපියල් ප්‍රමාණයක් යවන එක නිසා ඩොලරයක මිල අඩු වෙද්දී වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට යවන්න වෙනවා. මේ වගේ ප්‍රේෂණ හා අදාළව ඩොලරයක මිල අඩුවීම කෙටිකාලීනව ලංකාවට වාසිදායකයි. 

සංචාරක ලැබීම් සැලකුවොත් ගොඩක් වෙලාවට සංචාරකයින්ගෙන් අය කරන්නේ රුපියල් වලින්. ගාස්තු ඩොලර් වලින් කිවුවත් ඩොලර් වලට හරවන්නේ රුපියල් ගණන නිසා ඔවුන් ගෙවන්නේ ඩොලර් වලින්ද නැත්නම් රුපියල් වලින්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල අඩු වෙද්දී සංචාරක ලැබීම් ලෙස රටට එන විදේශ විණිමයද ඉහළ යනවා. අඩු වශයෙන් කෙටිකාලීනව. 

ඩොලරයක මිල අඩු වෙද්දී, අඩු වශයෙන් කෙටිකාලීනව, ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ඉහළ යන නිසා, අපනයන වල යම් අඩුවක් වුනත් එය පහසුවෙන්ම නිශේධනය වෙනවා. දිගුකාලීනව විය හැකි බලපෑම් වෙනම කතාවක්. නමුත්, ප්‍රශ්නය අනෙක් අතට ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානමයි.

මහ බැංකුව විසින් ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානම පාලනය කර තිබෙන්නේ මුදල් සැපයුම පාලනය කිරීම හරහා. කොහොමටත් යෝජිත ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ මුදල් සැපයුම වැඩි කළ හැක්කේ යම් සීමාවන් තුළ පමණයි. 

ඩොලරයක මිල පහළ යද්දී ආනයන වඩා ආකර්ශනීය වීම ඉතාම පැහැදිලි කරුණක් වුනත් ඒ වෙනුවෙන් වැය කිරීම සඳහා ඩොලර් මිල දී ගන්න රුපියල් අවශ්‍ය වෙනවා. ඒ නිසා, රුපියල් සැපයුමේ ප්‍රසාරණය සීමා වෙද්දී ආනයනද පාලනය වෙනවා. කොහොම වුනත්, ඩොලරයක මිල "කඩා වැටීමේ" ප්‍රශ්න තියෙනවනේ. මහ බැංකුවට මැදිහත්වීම් වැඩි කරලා මේ කඩා වැටීම නවත්වන්න බැරිද?

පුළුවන්. නමුත් එහෙම කරද්දී රටේ රුපියල් සැපයුම ඉහළ යනවා. මොකද ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. වෙනත් වචන වලින් කිවුවොත් යම් සීමාවකින් එහාට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නනම් සල්ලි අච්චු ගහන්න වෙනවා.

සල්ලි අච්චු ගහන්නෙත් නැතුව වෙළදපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?

එහෙම ක්‍රමයකුත් තියෙනවා. මහ බැංකුව දැන් බොහෝ දුරට අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. ඩොලර් මිල දී ගනිද්දී එළියට යන රුපියල් ප්‍රමාණය මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණලා නැවත ආපසු ලබා ගන්න පුළුවන්. එවිට වෙළඳපොළේ රුපියල් ප්‍රමාණය වැඩි නොකර ඩොලර් ටිකත් එකතු කර ගන්න පුළුවන්.

එහෙමනම් ඔය වැඩේ නොකරන්නේ ඇයි?

මේ වෙද්දී රජය ප්‍රාථමික අයවැය හිඟය තුලනය කරගෙන තිබෙනවා. ඒ නිසා, රජයේ වියදමට අලුතෙන් ණය ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසාම, දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයම නැවත අලුත් කරනවා මිස වෙළඳපොළට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ස්ථාවරව තිබෙනවා.

එසේ වුවත්, දැනට නිකුත් කර තිබෙන රාජ්‍ය සුරැකුම්පත් වලින් විශාල කොටසක් තියෙන්නේ මහ බැංකුව සතුවයි. මහ බැංකුව ඒ රාජ්‍ය සුරැකුම්පත් එළියට දමද්දී වෙළඳපොළේ තිබෙන රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය ඉහළ ගිහින් ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. රජය අලුතෙන් සුරැකුම්පත් නිකුත් කරද්දී වෙන දෙයමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පොලී අනුපාතික ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට බාධාවක්.

බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් වැඩි වැඩියෙන් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරද්දී පෞද්ගලික අංශයට ණය සේ ලබා දිය හැකි ණය ප්‍රමාණය සීමා වෙනවා. ආර්ථික වර්ධනයට බාධා වෙන්නේ ඒ නිසා. පෞද්ගලික අංශයට දෙන ණය ඕනෑවට වඩා ඉහළ ගියොත් ආනයන ඉල්ලුම සීමාව පනින නිසා ඒකත් ප්‍රශ්නයක්. හැබැයි ආර්ථික වර්ධනය සඳහා මෙම ණය වල යම් වර්ධනයක් අවශ්‍යයි. මේ සියල්ල තුලනය කර ගන්න එක සීරුමාරුවට කළ යුතු සංකීර්ණ වැඩක්.

ඉහත විස්තර කළ පරිදි, මහ බැංකුව උත්සාහ කරන්නේ විනිමය අනුපාතය හා පොලී අනුපාතික යන දෙකම එකවර පාලනය කරන්නයි. මූලධර්මයක් විදිහටම ඔය දෙකම එකවර පූර්ණ වශයෙන් පාලනය කරන්න බැහැ. විණිමය අනුපාතය අවශ්‍ය විදිහට පාලනය කරන්නම් පොලී අනුපාතික නිදහස් කරන්න වෙනවා. ඒ කියන්නේ ආර්ථික වර්ධනය අමතක කරන්න වෙනවා. පොලී අනුපාතික අවශ්‍ය විදිහට පාලනය කරන්නනම් විණිමය අනුපාතය සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න වෙනවා. මහ බැංකුව දැනට උත්සාහ කරන්නේ ඔය දෙකම යම් තරමකින් නිදහස් කර සහ යම් තරමකින් පාලනය කර උද්ධමන ඉලක්ක හා ආර්ථික වර්ධනය අතර තුලනයක් පවත්වා ගන්නයි.

මැදිකාලීනව මහ බැංකුවට විදේශ සංචිත සැලකිය යුතු ලෙස වැඩි කරගන්න සිදු වෙනවා. ඒ වගේම, දැනට මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කන්දරාවෙන් නිදහස් වෙන්නත් වෙනවා. මේ දෙක එකවර කරද්දී විණිමය අනුපාතය ඉහළට තෙරපෙනවා වගේම පොලී අනුපාතිකත් ඉහළට තෙරපෙනවා. පළමුවැන්න ආර්ථික වර්ධනයට නරක නැතත් දෙවැන්න ආර්ථික වර්ධනයට හානිකරයි. ඒ නිසා, මහ බැංකුව රාජ්‍ය සුරැකුම්පත් එළියට දමමින් සිටින්නේ එයින් පොලී අනුපාතික මත වන පීඩනයද කළමනාකරණය කරමිනුයි. මේ වැඩේ කරන නිසා, මහ බැංකුවට මිල දී ගත හැකි විදේශ විණිමය ප්‍රමාණය සීමා වෙනවා. ඒ නිසා, ඩොලරය බහිනවා. 

7 comments:

  1. ඉතා අගනා ලිපියක් ඉකෝන්...

    පොඩි ගැටලු කීපයක් නිරාකරණය කරන්න පුලුවන් නම් ස්තූතිවන්ත වෙනවා.

    ඔබ ලියා තියෙනවා පොලී අනුපාතිකයයි, එක්ශේන්ජ් රේට් එකයි සෛධාන්තිකව එකවර පාලනය කරන්න බැරි විත්තිය..

    ඉම්පොසිපල් ට්‍රිනිටි යටතට ගැනෙන්නේ විණිමය අනුපාතිකය, පොලී අනුපාතිකය ( මොනිටරි පොලිසි ) එක සහ මුදල් සැපයුම නේද..

    සෛධාන්තිකව මෙයින් දෙකක් පමණියි පාලනය කර හැක්කේ නේද
    ඒ අනුව ගත්තම පොලී අනුපාතිකයයි,විණිමය අනුපාතිකයයි දෙක ස්ථාවරව තියාගෙන මුදල් සැපයුම විචලනය වෙන්න දෙන්න පුලුවන් නේද


    දෙවන ගැටලුව...

    අයිඑමෙෆ් ගිවිසුම යටතේ විදේශ විණිමය පාලනය සම්බන්දයෙන් ලංකා මහ බැංකුවට මැදිහත් වීමට යම් සීමා පණවලා තියෙනවා නේද? මෙම සීමාව නිශ්ච්චිතවම අර්ථ දක්වලා තියෙනවද? එහෙම තියෙනවා නම් එම සීමාව නොවෙයිද , ඩොලරය බාල්දු වීමට දී මහබැංකුවට බලා ගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. උදාහරණයක් ලෙස චීනය විනිමය අනුපාතිකය සහ පොලී අනුපාතියක නියතව තබා ගන්නා ප්‍රතිපත්තියක නේද ඉන්නේ..

      Delete
    2. //ඉම්පොසිපල් ට්‍රිනිටි යටතට ගැනෙන්නේ විණිමය අනුපාතිකය, පොලී අනුපාතිකය ( මොනිටරි පොලිසි ) එක සහ මුදල් සැපයුම නේද..//

      නැහැ. විණිමය අනුපාතිකය, පොලී අනුපාතිකය (මොනිටරි පොලිසි එක) සහ ප්‍රාග්ධනය ගලා යාමේ නිදහස (free capital mobility). අද ලෝකයේ අන්තිම එක ප්‍රායෝගිකව කරන්න බැහැ (උතුරු කොරියාව වැනි රටකට හැර). ලංකාවේ මෑතකාලීන උදාහරණය බැංකු වලින් ඩොලර් ලබා ගැනීම සහ පිටට යැවීම සීමා කරද්දී උන්ඩියල් වීම. මුදල් සැපයුම හා පොලී අනුපාතික කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. ප්‍රමාණය හා මිල. ඒ දෙකෙන් එකක් පාලනය කරද්දී අනිත් එකත් ඉබේටම පාලනය වෙනවා. ඒ නිසා, ඔය දෙකෙන් කොයි එක පාලනය කළත් වෙන්නේ එකම දෙය. දෙකම මොනිටරි පොලිසි. ඒ නිසා අවශ්‍යනම් පොලී අනුපාතික ඉවත් කරලා මුදල් සැපයුම ආදේශ කරන්න පුළුවන්. අන්තිම එක පාලනය කළ නොහැකි නිසා මුල දෙකෙන් එකක් අත අරින්නම වෙනවා.

      //අයිඑමෙෆ් ගිවිසුම යටතේ විදේශ විණිමය පාලනය සම්බන්දයෙන් ලංකා මහ බැංකුවට මැදිහත් වීමට යම් සීමා පණවලා තියෙනවා නේද?//
      ඔව්.

      //මෙම සීමාව නිශ්ච්චිතවම අර්ථ දක්වලා තියෙනවද?//
      ඔව්. නමුත් මේවා මාර්ගෝපදේශ මිසක් නීති නෙමෙයි. ඒ නිසා මහ බැංකුවට සැලකිය යුතු නිදහසක් තිබෙනවා. 2023 අවසානයේ උද්ධමනය 12%-18% අතරයි තියා ගත යුතු වුනේ. නමුත් ඊට වඩා ගොඩක් පහළට ආවා. ප්‍රාථමික අතිරික්තය ධන කළ යුතු වුනේ 2024දී. නමුත් 2023දීම ඒ ඉලක්කයට ගියා. ඒ වගේම විදේශ සංචිතත් ඉලක්කයෙන් උඩට ගියොත් එය ප්‍රශ්නයක් සේ සලකන එකක් නැහැ. අඩු වුනොත් තමයි ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ.

      //එහෙම තියෙනවා නම් එම සීමාව නොවෙයිද , ඩොලරය බාල්දු වීමට දී මහබැංකුවට බලා ගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙ..//

      දළ, කෙටි පිළිතුරක් විදිහට ඔව් කියන්න පුළුවන්. නමුත් මෙහිදී වෙන්නේ මහ බැංකුවට බලා ගෙන ඉන්න සිදුවීමක්ම නෙමෙයි. උඩ කිවුවා වගේ අවශ්‍යමනම් ඉලක්කයෙන් එහාට යන්න බැරිකමක් නැහැ.

      Delete
  2. ඇතුළට අරගෙන වැඩියෙන්
    එළියට දිය යුතු අඩුවෙන්!
    මතක් වුණා ඒ උපදෙස-
    මේ දක්වා කියවීමෙන්

    ReplyDelete
  3. ඇමෙරි කානුවාMarch 21, 2024 at 11:38 PM

    බහින එක හොඳයි

    ReplyDelete
  4. අපි ඉතාම ආඩම්බරයෙන් කියන දෙයක්නේ ඉස්සර ඩොලර් එකක් ආසන්නයේ රුපියල තිබ්බේ දැන් තමා මේ විනාස වෙලා තියෙන්නේ කියන කාරනාව, ආපහු එතනටම (ඒක වෙන්නේ නෑ) නමුත් සැලකිය යුතු මට්ටමක ඒ කියන්නේ 200න පහළටත් අඩුවීම ප්‍රහ්නයක් ඇතිකරන්න හේතුවෙන එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවා. ඩොලරය රුපියල් 200ට තිබුණු දවස් වලට සාපේක්ෂව දැන් බඩු මිල 60%කින් පමණ වැඩි වෙලා. බොහෝ දේශීය නිෂ්පාදන වල මිල ඊට වඩා වැඩි වෙලා. රටේ ආදායම් උද්ධමනයට ආසන්නව වැඩි වෙලා. රජයේ සේවකයින් වැනි ඇතැම් අයගේ පමණයි ආදායම් වැඩි වී නැත්තේ. විශේෂයෙන්ම පහළ මට්ටමේ ශ්‍රමිකයන්ගේ හා සේවා සපයන්නන්ගේ ශ්‍රමයේ මිල වැඩි වෙලා. එහෙම වුනාට පස්සේ බඩු මිල නැවත අඩු වෙන්නේ නැහැ. දැන් ඩොලරය 200 වෙනවා කියන්නේ (සිදු විය නොහැකි, උපකල්පනක් පමණක් වුවත්) රටේ නිපදවන කිසිම දෙයක් විකුණාගන්න බැරි වෙන තත්ත්වයක්. හැම දෙයක්ම වගේ ආනයනය කරන එක ලාබ වෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: