වෙබ් ලිපිනය:

Wednesday, May 17, 2017

දෙකක් කතා කිරීම හා දෙකක් දා ගැනීම


"දෙකක් කතා කරල මිසක් පස්ස බලන්නෙ නෑ!"

සමහර අය ඔහොම කියන වෙලාවල් තිබේ. එහෙම කතා කරන සමහර අය කිවුවා වගේම දෙකක් කතා කරන තුරු පස්ස බලන්නේ නැත. ඒත්, ඔහොම කියන ගොඩක් අය නිකමට වගේ ඕක කිවුවාට දෙකක් කතා කරන්න යන්නේ නැත. ඒ දෙකක් කතා කිරීම කියන තරම්ම ලේසි නැති නිසාය. සමහර වෙලාවට කලින්ම දෙකක් දාගත් විට දෙකක් කතා කිරීමට උත්තේජනයක් ඇතිවේ.

ලොකුවට බලාපොරොත්තුවක් නොතිබුණත් ඉකොනොමැට්ටාත් අන්තිමේදී දෙකක් කතා කර තිබේ!

ඉකොනොමැට්ටා බ්ලොග් ලියන්නට පටන් ගත්තේ 2015 මැයි 18 වෙනිදාය. ඒ අනුව, 2017 මැයි 18 වෙනිදා වන විට ඉකොනොමැට්ටා මේ වියුණුව හරහා අවුරුදු දෙකක්ම කතා කර තිබේ.

අවුරුදු කිවුවාට අවුරුදු වර්ග තිබෙන්නේ එකක් නොවේ. දැන් මෙහි දෙකක් කතා කළ බව කියන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අවුරුදු අනුවය. ග්‍රෙගෝරියන් අවුරුද්දකට දින 365ක් හෝ 366ක් තිබේ. ඉකොනොමැට්ටාගේ පළමු ග්‍රෙගෝරියන් අවුරුද්දට දින 366ක් තිබුණු නිසා අවුරුදු දෙකට දින 731කි. මෙය ග්‍රෙගෝරියන් අවුරුද්දක සාමාන්‍ය දිග අනුව හෝ නිවර්තන, නක්ෂත්‍ර මෙන්ම ඇනොමලිස්ටික් යන මොන ක්‍රමයට බැලුවත් අවුරුදු දෙකකට වඩා පැය 12කට ආසන්න කාලයකින් දිග වැඩිය.

ග්‍රෙගෝරියන් දින දර්ශනය වෙනුවට ජුලියන් දින දර්ශනය දිගටම භාවිතා කළේනම් ඉකොනොමැට්ටා බ්ලොග් එක ආරම්භ කළ දිනය වෙන්නේ 2015 මැයි 5 දිනයි. එමෙන්ම, සිංහල සූර්ය දින දර්ශනය අනුවනම් ශක වර්ෂ 1937 වෘෂභරවි මාසයේ තෙවන දිනයි. වෘෂභරවි මාසය සිංහල සූර්ය දින දර්ශනයේ දෙවන මාසයයි. මේ දින දර්ශන දෙක අනුවද 2017 මැයි 18 දිනට බ්ලොග් එකට වසර දෙකක් සම්පූර්ණ වේ. සූර්ය දින දර්ශනය අනුව 2017 මැයි 18 යනු ශක වර්ෂ 1939 වෘෂභරවි මාසයේ තෙවන දිනයි.

සිංහල චන්ද්‍රමාස ක්‍රමය අනුව, ඉකොනොමැට්ටා බ්ලොග් එක ආරම්භ කළ දිනය බුද්ධ වර්ෂ 2559 පොසොන් මාසයේ පළමු දිනය වන පුර පෑලවිය දිනයයි. එතැන් සිට දෙවසරක් ගත වී, බුද්ධ වර්ෂ 2561 පොසොන් මාසයේ පළමු දිනය වන පුර පෑලවිය දිනය එළැඹෙන්නේ 2017 මැයි 26 වෙනිදාය. ඒ නිසා සිංහල චන්ද්‍ර කැලැන්ඩරය අනුව දෙවන සංවත්සරය සමරන්නට ඉකොනොමැට්ටාට තවත් සතියක් බලා ඉන්නට සිදුවේ. චන්ද්‍ර වර්ෂ අනුව සංවත්සරය කල් යන්නේ මේ දෙවසර තුළ අධික මාසයක් එකතු වී ඇති බැවිනි.

අධික මාස එකතු කිරීමක් නොකරන චන්ද්‍ර කැලැන්ඩරයක් වන ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය අනුව බ්ලොග් එක ආරම්භ කළ දිනය 1436 අටවන මාසය වන ශබාන් මාසයේ පළමු දිනයයි. 1438 ශබාන් මාසයේ පළමු දිනය යෙදුනේ 2017 අප්‍රේල් 26 දිනටය. ඒ නිසා, ඒ කැලැන්ඩරය අනුවනම් දැන් ඉකොනොමැට්ටා දෙකක් කතා කර සති තුනකටත් වඩා වැඩිය.

මේ අවුරුදු දෙක ඇතුළත ඉකොනොමැට්ටාට සම්මාන මෙන්ම අවමානද ලැබුණේය. ඒ මොනවා ලැබෙද්දීත් ඉකොනොමැට්ටා සමඟ දිගටම රැඳී සිටි පාඨක පිරිස ඉකොනොමැට්ටාගේ ලොකුම ශක්තියයි. මේ කාලය තුළ ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙත පැමිණි ඇතැම් අය දැන් මේ වියුණුවේ පමණක් නොව සිංහල වියුණු අතරද පෙනෙන්නට නැත. ඇතැම් අය බ්ලොග් වලට පමණක් නොව ජීවිතයටද සමුදී ඇත. ඒ අයත්, තවමත් මෙහි පැමිණෙන අයත් ඇතුළු බොහෝ දෙනෙක් දිගින් දිගටම ඉකොනොමැට්ටාව දිරිමත් කළ බව ස්තුති පූර්වකව සඳහන් කළ යුතුය.

කෙසේ වුවත්, සමස්තයක් ලෙස පාඨකයින් ඉවත් වනවාට වඩා වැඩියෙන් සිදුවී ඇත්තේ අළුත් පාඨකයින් එකතු වීමයි. පාඨකයින් සංඛ්‍යාවට වඩා ඉකොනොමැට්ටාව සතුටට පත් කරන්නේ මුල් වසරට සාපේක්ෂව දැන් මෙහි ලිපි කියවන බොහෝ දෙනෙක් කැමැත්තෙන් කියවන අය වීමයි.   විශේෂයෙන්ම දෙවන වසර තුල සිදු වුනු ප්‍රධානම වෙනස කලින් සින්ඩි හරහා පැමිණි බොහෝ දෙනෙක් දැන් කෙළින්ම මෙහි ලිපිනය ඇතුළු කරමින් පැමිණීමයි. ඒ අතරම, ඉඳහිට කියවන්නට තමන් කැමති ආකාරයේ වෙනත් දෙයක් නැති විට අකැමැත්තෙන් මෙහි පැමිණි අය දැන් බොහෝ දුරට අඩුවී තිබේ.

කිසිදා කමෙන්ට් නොදැම්මත් දිගටම නොවරදවා මෙහි පැමිණෙන හා නන් අයුරින් මේ වියුණුව ප්‍රචාරණය කරන පාඨකයින් විශාල පිරිසක් සිටින බව ඉකොනොමැට්ටා නොදන්නවා නොවේ. ඒ අය ඇතුළු සියළුම පාඨකයින්ගේ ශක්තියෙන් දෙකක් කතා කරන්නට පෙර ඉකොනොමැට්ටාට දෙකක් දමා ගන්නට හැකිවුණා පමණක් නොව මදි පාඩුවට තවත් බාගයක් දාගන්නට
හැකි විය.



අපි දිගටම හමුවෙමු!

(Image: https://vinepair.com/wine-blog/wine-toast-new-years-hate-champagne/)

43 comments:

  1. එලස්.... ජය වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, සූටික්කා!

      Delete
  2. දෙක තුන වි තුන හතරවි බොහෝ කාලයක් ඉකෝනොමැට්ටාගේ බොජුන් හල පැවතේවා....

    ReplyDelete
  3. Hey Econ ,
    We appreciate your new found enthusiasm on astrology.But please start writing on economics and current affairs , as you used to do man.
    We miss those articles on simplified complex economic topics.

    cheers

    ReplyDelete
    Replies
    1. Thanks, Ano! I appreciate your suggestion too. Economics will not be missed for sure. The very purpose of opening a separate blog (emgesathapaha.blogspot.com) also was to make sure that a minimum number of economics articles would be published each month and I have been publishing 3 or more economics articles each and every month even when the readership was not that large. In general, I loose some readers when publishing articles related to economics repeatedly and I attract them back when I change the topic. So, I just balance the supply and demand in this blog while ignore the demand (though not completely) when publishing in the other blog. However, when I add my opinions more to an economics article rather than following conventional and standard methods of economic analysis, they are published here.

      Delete
  4. තාම දෙකයිද කථා කලේ...?

    මම ඉකොනොමැට්ටා කියවන්න ගත්තේ ලඟකදීනේ. මම හිතුවේ මේක බොහෝම පරන බ්ලොග් එකක් කියලා.
    ඒ කියන්නේ අවුරුදු දෙකක් තුල ඔබ ගිහින් තියෙන දුර.
    සතුටුයි!

    ඉකොනොමැට්ටා බ්ලොග් අඩවියට චිරාත් කාලයක් තව තව සාර්තක වෙමින් පවතින්නට ඉකොනොමැට්ටාගේ ලේඛන හැකියාව හා දැනුම වැඩි දියුනු වන්නට පතමු!

    ReplyDelete
    Replies
    1. ඔවු, තවම යාන්තම් දෙකයි! කතා කරන්න කැමැත්තෙන් ඉන්න මාතෘකා ගණනාවක් තවම අත තියලවත් නැහැ. දෙකකට ගිය දුර ගැනනම් ඇත්තටම තෘප්තිමත්. සුබ පැතුමට ස්තුතියි!

      Delete
  5. සුබ පැතුම්!

    අවුරුදු දෙකට (=120/60) අවුරුදු තුනයි දශම හයයි හයයි හහයි හතක් (=220/60) ආවඩා ආයිබෝ වේවා!

    ReplyDelete
    Replies
    1. අවුරුදු සිය හෝ ඇතැම් විට දහස් ගණනක් තිස්සේ මිනිසුන් ප්‍රාර්ථනා කළ එහෙත් තවම ඉටු කර ගැනීමට නොහැකි වූ පැතුමක්! ජාන තාක්ෂනය, කෘතීම අවයව නිෂ්පාදනය ආදිය නිසා සමහර විට ඉදිරි සියවසකදී ඉටු විය හැකි බලාපොරොත්තුවක්. සුබ පැතුමට ස්තුතියි!

      Delete
    2. ඒ වගේම බ්ලොග් එක ආරම්භයේදී රසික විසින් සිදු කල ප්‍රචාරණය මෙහි ජනප්‍රියත්වයට විශාල ලෙස ඉවහල් වූ බව නැවතත් ස්තුතිපූර්වකව සඳහන් කළ යුතුයි.

      Delete
  6. සූර්ය ශක වර්ෂ, බුද්ධ වර්ෂ, චන්ද්‍ර වර්ෂ, හිජ්රි වර්ෂ වගේ සේරම හැඳින්වීම් මේ සටහනේ තිබුණාට ක්‍රිස්තු වර්ෂ කියා ලියවී නෑ.

    මාත් ලියන්නේ ව්‍යවහාර වර්ෂ කියායි!

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තු වර්ෂ මේ වන විට ලෝකයේ වැඩි කොටසක සිවිල් වර්ෂ ක්‍රමය වී තිබෙන නිසා ව්‍යවහාර වර්ෂ කියන යෙදීම නරක නැහැ. අනිත් එක ක්‍රිස්තු වර්ෂ භාවිතය ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ හයවන සියවසේදී. එය ප්‍රචලිත වුණේ ඊටත් පසුව. ජේසු උපත සිදුවී තිබෙන බව පිළිගන්නේත් ක්‍රිස්තු පූර්ව වර්ෂයකදී. සම්බුද්ධ පරිනිර්වාණය සිදුවී තිබෙන්නේ වෙසක් මාසය එළඹෙන සෘතුවේ නොවන පරිදිම ක්‍රිස්තු උපත සිදුවී තිබෙන්නේ නත්තල සමරන සෘතුවේත් නෙමෙයි.

      Delete
  7. දෙකක් දා ගත්තට බොහෝම ස්තූතීයි. තව ටිකක් දා ගමු එහෙනම්. අවුරුදු දෙකම ඔබ සමග සිටි පාඨකයෙක්.

    ReplyDelete
  8. දෙවසරක් දැනුම බෙදු සිප් හලක්. සුබ පැතුම් ඉකෝන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, නලින්! ඔබ කලක් වැඩිපුර බ්ලොග් වල පෙනෙන්න නොසිටි කාලයේ අඩුව දැනුණා.

      Delete
  9. අපිත් දෙවසරක්ම බොජුන් හලෙන් සප්පායම් වෙලා හේමනං, මෙනුවට තව තව රසවත් බෝජන එක්කරන්නට වැඩිපුර කාල වේලාව ලැබේවා යයි පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, ඇණයා! ඔබ දිගටම රැඳී සිටි අයෙක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

      Delete
  10. සුබ පැතුම්!

    ReplyDelete
  11. මේ බොජුන්හලට එන කෑම රසයෙන් වගේම ගුණෙනුත් ඉහළයි.එකයි මේ ඉල්ලුම.සුබ පැතුම් ඉකානෝ..!
    දිගටම හමු වෙමු.

    ReplyDelete
  12. ජයවේවා ඉකොනො,

    අපෙනුත් සුභ පැතුම් ! තාරකා විද්‍යා ලිපිත් රසවත්, නමුත් ඔබට හැකිනම් තව තවත් ආර්ථික විද්‍යා ලියන මෙන් ඉල්ලා සිටිමි.

    මේවා බලාපොරොත්තු වෙමි;

    01. ලංකාවේ ආර්ථිකය - වත්මන් තත්වය/ මහබැංකු වාර්තා විවරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති - ඒවායේ බලපෑම්
    02. ලෝක ආර්ථිකය - වත්මන් තත්වය සහ නව ප්‍රවණතා
    03. වත්මන්/ අනාගත සමාජ ආර්ථික දේශපාලන පුවත් විවරණ.

    ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට වගේම යෝජනාවටත් බොහොම ස්තුතියි, ඇනෝ! ඔබේ ඉල්ලීම හැකිතරමින් ඉටු කරන්නම්. දැනට මේක කියවන්න.

      http://emgesathapaha.blogspot.com/2017/05/blog-post.html#comment-form

      Delete
  13. නිතරම පැමිණ කියවන බ්ලොගකි.කොමෙන්ට් කිරීමට තරම් මාතෘකාවට අදාල දැණුමක් බොහෝවිට නොමැති නිසා උගනිමින් නිහඬව සිටිමි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, ගස්ලබ්බා! ඔබත් දිගටම කියවූ අයෙක් බව මම දන්නවා.

      Delete
  14. රසක් ගැවසුණු සුවඳ පරිදිම ගුණය ඇති බව දන්නෙමී
    වරක් දෙවරක් බොජුන්හල වෙත ඇවිත් ගිය බව කියනෙමී
    දෙකක් වසරින් පිරෙන මොහොතක තේ එකක් බොන්නට එමී
    ඉරක් සේ හෙට තව දිලෙන්නට සුභ පැතුම් එක් කරනෙමී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වරක් දෙවරක් වුවද ආවේ තුටින් ඔබ පිළිගන්නෙමී
      පැනක් තොලගා නොගොස් අහරද බුදින මෙන් අයදින්නෙමී
      තැනක් නොතැනක් නැතුව බ්ලොග් වල පබඳිනා කවි මියුරු මී
      සැකක් නෑ ඔබෙ සුබ පැතුම් හදවතින් එන බව දන්නෙමී...

      බොහොම ස්තුතියි!

      Delete
  15. Congratulations ..
    Keep it up

    ReplyDelete
  16. Best wishes. pl. continue to serve quality fare.

    ReplyDelete
    Replies
    1. Thank you very much, Pra Jay! I'll try to continue what I did so far.

      Delete
  17. සුබ පැතුම් ඉකොන්.. //කිසිදා කමෙන්ට් නොදැම්මත් දිගටම නොවරදවා මෙහි පැමිණෙන. .. // ..ආන් ඒ ජාතියේ එක්කෙනෙක් තමා මාත්.. මේ බ්ලොග් එකත් එක්ක මට තියෙනවා අමතක නොවන මතකයක්..”මට පෙනේනේ ඔබට පෙනෙන ලෝකයමද” සීරීස් එක කියවන්න ගිහින්, දවසක් කෝච්චියෙන් බැස්සේ ස්ටේෂන් දෙකක්ම පහුවෙලා..එදා ත්‍රීවීල් එකකින් තමයි ගෙදර ආවේ. මහත්තයට විතරක් ඇත්ත කිව්වා,මගේ ඇබ්බැහි කම් ගැන දන්න හන්දා. අනෙක් හැමෝටම කිව්වේ නින්ද ගියා කියල. නැත්නම් මට කට්ටියට සිංහල බ්ලොග් ගැන මුල ඉඳල කියල දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මහත්තයගෙන් ඉකොනොමැට්ටා බැනුම් අහන්නත් ඇති එහෙනම්! බොහොම ස්තුතියි, සුභා!

      Delete
  18. දෙකක් කියලා මෙහෙමනම්, හත අටක් කිව්වොත් කොහොමට තියෙයිද !

    ජය !!

    ReplyDelete
    Replies
    1. හත අටක්... ජීවිතේ කිසිම දෙයක් ඒ තරම් දුර ප්ලෑන් කරල නැහැ.

      බොහොම ස්තුතියි!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: