Sunday, May 28, 2017

හතළිස්පන් දොහේ වතුර


මගේ පෙර ලිපියේ සඳහන් කළ පරිදි ඇමරිකාවේ ගංවතුර තර්ජන පවතින තැන් ලකුණු කර ඇති සිතියම් (floodplain maps) ඉතාම විස්තරාත්මකය. පර්චස් කිහිපයක කුඩා ඉඩමක් ඇතුළත ගංවතුරෙන් යටවෙන්නට ඉඩ ඇති තැන් පවා මේ සිතියම් වලින් බලාගන්නට පුළුවන. මා දන්නා තරමින් මේ සිතියම් සකස් කර ඇත්තේ ආකෘති අනුසාරයෙන් නොව නිරීක්ෂණ අනුසාරයෙනි. අලුත් නිරීක්ෂණ පදනම් කර ගනිමින් මේ සිතියම් නිරන්තරව යාවත්කාලීන කෙරේ.

කාලගුණ අනාවැකි කීම සඳහා උපයෝගී කරගන්නා ආකෘතිද බොහෝ දුරට පදනම් වී ඇත්තේ අතීත නිරීක්ෂණ මතය. මෙහිදී, අනාවැකි කීම සඳහා යොදාගන්නා ක්‍රමවේදය වන්නේ පැරණි දත්ත මත කාලගුණ රටාවන් හඳුනාගැනීම හා ඒ රටාවන් ඉදිරියේදීද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි උපකල්පනය කිරීමයි. එහෙත්, චන්ද්‍රිකා ඡායාරූප වැනි වෙනත් ආසන්න නිරීක්ෂණ මත මේ අනාවැකි සීරුමාරු කෙරේ.


සිතියම්ගත කර නොතිබුණත් මේ ෆ්ලඩ්ප්ලේන්ස් වල මායිම් අඩුම වශයෙන් අප කුඩා දරුවන්ව සිටි කාලය වන තුරුම ගංවතුර තර්ජන ඇති ප්‍රදේශ වල ජීවත් වූ අය දැන සිටියෝය. නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ගමක ජීවත් වූ මගේ පියාගේ දෙමවුපියන්ට හා ඔවුන්ගේ පරම්පරාවේ වැඩිහිටියන්ට ඒ ගමේ ඕනෑම තැනක හතළිස් හතේ මහ ගංවතුරට යටවුනු සීමාවන් වගේම ඊටත් පෙර නවසිය තිස් හයේ ගංවතුරට යටවුනු සීමාවන්ද පෙන්වන්නට පුළුවන්කම තිබුණේය.

මගේ පියාගේ දෙමවුපියන් සතු වූ ඉඩම් වලින් ගංවතුර තර්ජනයට වැඩියෙන්ම ලක් වූ ඉඩම තෝරාගෙන තිබුණේ පවුලේ සුසානභූමිය වශයෙනි. මේ ගැන දැන් හිතද්දී මතුවන ප්‍රශ්නයනම් අවුරුද්දේ මාසයක පමණ කාලයක් තුළම වතුරෙන් යටව තිබූ හෝ ගඟේ ජල මට්ටම වැඩි නිසා වලක් කපන්නට උදැල්ලක් ගහන පරක්කුවෙන් වතුර ඉනූ මේ ඉඩම ගංවතුර කාලයේදී සිදුවන මරණයකදී කෙසේ ප්‍රයෝජනයට ගත්තේද යන්නයි. ගෙදර වටේටම වතුරින් යටව තියෙද්දී කුඩා දරුවෙකු වූ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් සිදුවූ එක් අවස්ථාවක් ගැන පමණක් මගේ මතකයේ තිබීමෙන් පෙනෙන්නේ ගංවතුර හේතුවෙන් අමුතුවෙන් මරණ සිදු වීම එතරම් සුලභ නොවූ බවයි.

මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඉඩම් යනු අද තරම්ම හිඟ සම්පතක් නොවූවත්, මරණ අනුපාතිකය අඩුවීම නිසා රටේ ජනගහණය විශාල ලෙස වර්ධනය කළ ඊළඟ පරම්පරාවේ බොහෝ දෙනෙකු අතර මේ ඉඩම් බෙදී යද්දී මේ තත්ත්වය වෙනස් විය. ඒ නිසා, පියාගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට පෙර පරම්පරාවේ අය මෙන්  තමන්ගේ වාසය සඳහා 'ෆ්ලඩ්ප්ලේන්' එකක නොපිහිටි තැනක් තෝරා ගන්නට තරම් හැකියාවක් නොතිබුණේය.

ඇමරිකාවේ ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට ඇති ඉල්ලුම අඩු පරිද්දෙන්ම මගේ පියාගේ දෙමවුපියන්ගේ ඉඩම් දරුවන් අතර බෙදී යද්දීද ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට තිබුණේ අඩු ඉල්ලුමකි. ඒ කාලයේ වෙනත් පවුල් මෙන්ම සාමාජිකයින් ගණනින් ලොකු පවුලක් වූ මේ පවුලේ
බාල සාමාජිකයින් ඇටෙන් පොත්තෙන් එළියට එන විට වැඩිහිටි සාමාජිකයින් පවුල් පන්සල් වී ගෙවල් දොරවල් හදාගෙන අවසන්ය. ඒ නිසා, බාල සාමාජිකයින් ගෙවල් හදන්නට හිතන විට ෆ්ලඩ්ප්ලේන්ස් වල නොපිහිටි ඉඩම් පියාගේ දෙමවුපියන් සතුව ඉතිරිව නොතිබුණේය.

රත්නපුර පැත්තේ වැඩිහිටි පරම්පරාවේ ඕනෑම කෙනෙක් වාගේ සමඟ කතා කළොත් හතළිස් දොහේ වතුර ගැන අහගන්නට පුළුවන. මේ ප්‍රවාදය අනුව සිංහල අවුරුද්ද පහුවී දවස් හතලිස් පහකින් කළු ගඟ පිටාර දමයි. මගේ පියාගේ මහගෙදර පිහිටි ප්‍රදේශය වැනි ප්‍රදේශ සැලකූ විට මේ සිදුවීම හැම අවුරුද්දකම වාගේ නොවැරදීම සිදුවිය. ආසන්න වශයෙන් ගංවතුර ඇති විය හැකි කාලය දැනගෙන සිටි නිසා ඒ කාලය තුළ වඩා විමසිල්ලෙන් කාලගුණයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් ගඟ පිටාර දමන්නට ඉඩ ඇති මොහොත හරියටම හඳුනාගෙන ඒ සඳහා සූදානම් වීමට ඔවුන්ට හැකිවිය.

මෙවර ගංවතුර පැමිණ ඇත්තේද සිංහල අවුරුද්ද පසුවී ආසන්න වශයෙන් දින 42-43කට පමණ පසුවය. පසුගිය සියවසක පමණ කාලය තුළ නිවර්තන අවුරුද්ද මත පදනම් වූ කාලගුණ චක්‍රයට සාපේක්ෂව සිංහල අවුරුදු දිනය දිනකින් හෝ දෙකකින් පස්සට තල්ලු වී ඇති බැවින් දැන් ඒ ගංවතුර සිංහල අවුරුද්ද පසුවී දින 43කින් පමණ පැමිණෙනවා වන්නට පුළුවන.

මේ ගංවතුර බොහෝ අවුරුදු වල දින කිහිපයකින් පසුව බැස ගියත් සමහර අවුරුදු වල සති ගණනක් අල්ලා සිටියේය. ගංවතුර නිසා බාහිර ලෝකය සමඟ සම්බන්ධතා විශාල ලෙස සීමා වුනු මෙවැනි ගම්මාන වලට වසර හතළිහකට පණහකට පෙර අද මෙන් සහන සේවා වල උපකාර ලොකුවට ලැබුණේද නැත. එහෙත්, ගංවතුර මැදින් එවැනි ගම් වල ජීවිතය සාමාන්‍ය පරිදි ගලා ගියේය.

ගංවතුර එන කාලය ගැන අදහසක් තිබුණු නිසා වී වැපිරීම වැනි කටයුතු ගංවතුර අවසන් වන තුරු කල් දැමුණේය. විවාහ උත්සව ආදිය සඳහා දින නියම කරගැනීමේදී ඇතැම් විට මේ ගංවතුර කාලය මඟ හැරියත්, එවැනි කටයුතු සඳහා වෙනත් ඵලදායී වැඩක් සඳහා යොදාගත නොහැකි ගංවතුර කාලයම යොදා ගත් අවස්ථාද තිබුණේය. මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ ඇතැම් වැඩිහිටියන් සිය මනාලියන් කැන්දාගෙන පැමිණ ඇත්තේ ඔරු පෙරහැරකින් බව මා අසා තිබේ. ගොවිතැන් කටයුතු කළ නොහැකි වූ ගංවතුර කාලය වට්ටි, පැදුරු විවීම් වැනි ගෙවල් වල සිට කළ හැකි දේ කරන්නට හොඳ කාලයක් විය.

අඩ සියවසකට පමණ පෙර කාලය දක්වාත් ලංකාවේ බොහෝ පෙදෙස් වල පැවති ජීවන රටාව අනුව ගංවතුර සමඟ 'සහයෝගයෙන්' අනෙක් කටයුතු කරගන්නට පුළුවන්කමක් තිබුණත් දැන් ගම් ඒකක වලට පෙර මෙන් ස්වාධීනව ජීවිතය පවත්වා ගත නොහැකි නිසා ගංවතුර සමඟ සහයෝගීතාවය පවත්වා ගැනීමද අසීරුය. ඒ අතින් බැලූ විට ගංවතුර වැනි ස්වභාවික ආපදා බටහිර සංවර්ධනයේ ප්‍රශ්නයක්යැයි කියන කතාවට පදනමක් තිබේ.


එහෙත් වඩා විමසිල්ලෙන් බැලුවොත් ප්‍රශ්නය තිබෙන්නේ බටහිර සංවර්ධනයේ නොව ලංකාව වැනි රටවල බටහිර සංවර්ධන ආකෘතීන් යොදාගෙන ඇති ආකාරයේය. තමන් අලුතින් ජනාවාස පිහිටුවා ගෙන පදිංචි වන ප්‍රදේශ වල කාලගුණ රටාවන් හඳුනා ගනිමින්, ෆ්ලඩ්ප්ලේන් සිතියම් අඳිමින් ස්වභාව ධර්මයට යටත් විය යුතු තැන් වල යටත් වෙමින් ඇමරිකාව වැනි රටවල් ඉදිරියට පැමිණි තුලිත සංවර්ධන ක්‍රියාවලියේ ඇතැම් වැදගත් පියවර ලංකාව වැනි රටවලට මඟ හැරේ. ලංකාව හා ඉතියෝපියාව වැනි රටවල කුණු කඳු වලට මිනිසුන් යටවීමේ සිට ගංවතුර ආපදා දක්වා බොහෝ ප්‍රශ්න වලට මුල බටහිර සංවර්ධනය නොව ඒ බටහිර සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේදී නොවැදගත්යැයි සිතා උවමනාවෙන්ම මඟ හරින හෝ නොසැලකිල්ල නිසා මඟ හැරෙන දේවල්ය.


ලෝකයේ ප්‍රධාන ශිෂ්ඨාචාර ගණනාවක් ගංගා නිම්න ආශ්‍රිතව බිහි වූයේ ගංවතුර තර්ජන හමුවේ වුවද ගංගා නිම්න වල ජීවත් වීම වඩා වාසිදායක වූ බැවිනි. මේ වාසි අතරින් එක් ප්‍රධාන වාසියක් වූයේ ප්‍රවාහන පහසුවයි. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා පසුගිය සියවස ඇරඹෙන තුරුත් ජල ප්‍රවාහනය කාර්යක්ෂම ක්‍රමයක් විය. එහෙත්, දැන් මේ අවශ්‍යතාවයන් වෙනස් වී තිබේ.

මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාවික ආපදා එන්න එන්නම වැඩිවන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාව ධර්මය මත විශාල බලපෑමක් සිදු වී ඇති බව ඇත්තක් වුවත් මිනිසාගේ පාලනයෙන් තොර හේතු මත ස්වභාව ධර්මයේ සිදුවන ඇතැම් වෙනස්කම් සැලකූ විට ස්වභාව ධර්මය කෙරෙහි මිනිසුන් විසින් කර ඇති බලපෑම එතරම්ම විශාල නැත. ස්වභාව ධර්මය ඉදිරියේ මිනිසා තවමත් කුරා කුහුඹුවෙකි.

ස්වභාව ධර්මය සමඟ ජීවත් වීමේදී තවමත් හොඳම උපාය මාර්ගය වන්නේ ස්වභාව ධර්මයේ රිද්මය හඳුනාගැනීම හා ස්වභාව ධර්මයට යටත් වීමයි. ඉතිහාසය පිරික්සා බලන විට පෙනෙන්නේ පසුගිය සියවසක පමණ කාලය තුළ ස්වභාවික ආපදා වැඩි වීමට වඩා ස්වභාවික ආපදා නිසා සිදුවන හානි වැඩිවී ඇති බවයි. එය ස්වභාව ධර්මයේ රිද්මය නොතකා හැරීමේ හා ස්වභාව ධර්මයට අවශ්‍ය මට්ටමින් යටත් නොවීමේ ප්‍රතිඵලයකි.

12 comments:

  1. ලංකාව හා ඉතියෝපියාව වැනි රටවල කුණු කඳු වලට මිනිසුන් යටවීමේ සිට ගංවතුර ආපදා දක්වා බොහෝ ප්‍රශ්න වලට මුල බටහිර සංවර්ධනය නොව ඒ බටහිර සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේදී නොවැදගත්යැයි සිතා උවමනාවෙන්ම මඟ හරින හෝ නොසැලකිල්ල නිසා මඟ හැරෙන දේවල්ය.////// ++++++++

    ReplyDelete
  2. ඊළඟ ඡන්දෙ දිනන්නෙ කොහොමද කියලා බලන් වැඩ කරණ ආණ්ඩු තියන රටක ගංවතුර ඇවිත් මේ තරමින් බේරිලා ඉන්න එකත් ලොකු දෙයක්.. අවිධිමත් සැළසුම් නිසා දැන් මේක වාර්ෂික ව්‍යසනයක් වෙලා. ඉස්සර මේවගේ ලොකු ගංවතුර ගැලීම් වෙලා තියෙන්නේ ඉඳලා හිටලා නේද? ඒකනේ තිස් නවයේ ගංවතුර, හතලිස් හතේ ගංවතුර ගැන තාම කතා කරන්නේ..

    ReplyDelete
    Replies
    1. උඩින් මම කියපු ගමටනම් මගේ පියා හා ඔහුගේ දෙමවුපියන් දන්න කාලේ සිට හැම අවුරුද්දකම ගංවතුර එනවා. සමහර අවුරුදු වල සති ගණනක් අල්ලා හිටිනවා. අනෙක් අවුරුදු වල මාසයක් හෝ දෙකක් ඇතුළත තුන් හතරපාරකට සාපේක්ෂව පොඩි ගංවතුර එනවා. නමුත් දැන් තරම් හානියක් වුනේ නැත්තේ පළමුව මිනිස්සු දැන් වගේ ගං කටේ ගෙවල් හදාගෙන පදිංචි වී නොසිටි නිසා. දෙවනුව, ගමේ ගොඩක් ගෙවල් ස්ථිර ගොඩනැගිලි නොවූ නිසා. කටුමැටි ගෙයක් කැඩුනහම දවසකින් දෙකකින් නැවත හදාගත හැකියි. ගංවතුරට කොටුවී ඉන්න කාලේ පොල් අතු වියාගෙන එයට සූදානම් විය හැකියි. මීට අමතරව ඒ කාලයේ සමාජ ජාලා ආදිය නොතිබුණු නිසා මේවායේ ෆොටෝ ගහලා ශෙයා කරන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා පිට පළාත් වල අය මේ ගැන දැනුවත් වුනේ අඩුවෙනුයි.

      Delete
  3. අවිධිමත් නාගරික සංවර්ධනය සහ ගම්පැතිවල පවා කුඹුරු සහ පහත් බිම් ගොඩ කිරීමේ විපාක තමයි මේ. ඒ නැතුව ලංකාවට වැටෙන වාර්ෂික වර්ෂාපතනයේ හෝ මෝසම් වැහි රටාවල වෙනසක් සිදු වී නෑ කියායි මා නම් හිතන්නේ.

    උදාහරණයක් ලෙස මා මේ ළඟ දී සටහනක (දද, දද, දද...) සටහන් කළ කලවානේ ආච්චීලාගේ නිවස ඉදිරිපිට සහ අවට තිබුණේ කුඹුරු. මා පසුගිය දා ගූගල් කර බැලූ විට දැක්කේ ඒ සියල්ල ගොඩ කර බිල්ඩින් තනා ඇති බවයි. මෙවර ලොකු ගඟක් අහල පහල නැති කලවානත් යටවෙලා ලු!

    මේවා ගංවතුර නොවෙයි වැහි වතුර!

    ReplyDelete
    Replies
    1. රජ කාලේ තහනම් කැලෑ තිබුණා. සුද්දෝ රිෂවේෂන් ඇති කලා. අපේ ගෙවල් ළඟ කාලයක් තිබුණු ඇල රක්ෂිතයක මුලින්ම එක් අයෙක් පළාතේ වාමාංශික දේශපාලනඥයෙකුගේ හයිය අරගෙන පදිංචි වුනා. දැන් එතන පොඩි ජනපදයක්. ගොඩක් තැන් වල වෙන්නේ ඔය වගේ දේවල්.

      Delete
  4. බියගම හා කඩුවෙලත් සාම්ප්‍රදායික ගංවතුර ප්‍රදේශ. වී ඩී ලැනරෝල්ගේ පොත් වල හුඟක් විස්තර තියනවා

    ReplyDelete
    Replies
    1. අලින්ගේ වාස භුමි ආක්‍රමණය කළාම අලි ගහනවා. ගඟේ සීමාව ආක්‍රමණය කළාම ගංවතුර හානි බලාපොරොත්තු වෙන්න වෙනවා.

      Delete
  5. වැඩිවෙන ජනගහණයත් එක්ක ඉස්සර වගේ ඉඩම් වෙන්කර ගැනීමේ ගැටළු තියෙනවානේ.රජය විසින් නගර නිර්මාණකරණයෙදී මේ ප්‍රශ්න ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.