Sunday, May 21, 2017

තිථි හා නැකැත්

පුර පසළොස්වක හෝ අමාවක පෝය දෙකක් අතර කාලය දින 29.53ක් පමණ වේ. හඳේ රටා අනුව සකස් කරගත් දින දර්ශන බොහොමයක මෙන්ම ලංකාවේ භාවිතා වන චන්ද්‍ර දින දර්ශනයේද මාසයක දින ගණන 29ක් හෝ 30ක් වේ. දින 30ක මාසයක් පක්ෂ ලෙස හැඳින්වෙන කොටස් දෙකකට වෙන් කෙරේ. අමාවක සිට පුර පසළොස්වක දක්වා පුර පක්ෂය හෙවත් ශුක්ල පක්ෂයයි. පුර පසළොස්වක සිට අමාවක දක්වා අව හෙවත් කෘෂ්ණ පක්ෂයයි. මේ එක් පක්ෂයක දින හැඳින්වෙන්නේ පහත නම් වලිනි.

1. පෑළවිය
2. දියවක
3. තියවක
4. ජලවක
5. විසේනිය
6. සැටවක
7. සතවක
8. අටවක
9. නවවක
10. දසවක
11. එකොළොස්වක
12. දොළොස්වක
13. තෙළෙස්වක
14. තුදුස්වක
15. පසළොස්වක/අමාවක

පක්ෂය අනුව පුර හෝ අව යන්න මුලට එකතුවේ. මේ අනුව, සිංහල චන්ද්‍ර මාසයක දෙවන දිනය පුර දියවක වන අතර දහහත්වන දිනය අව දියවකයි. පහළොස්වන දිනය පුර පසළොස්වක වන අතර අවසාන දිනය අව අමාවක දිනයයි. දින 29කින් අවසන් වන මාස වල අව තුදුස්වක දිනයම අමාවක දිනයද වෙයි. මෙය අමාන්ත ක්‍රමයයි.

පූර්ණාන්ත ක්‍රමයේදී අමාවක දිනය පහළොස්වන දිනයද පුර පසළොස්වක දිනය මාසයේ අවසන් දිනයද වන අතර පුර දියවක දිනය දහහත්වන දිනයද අව දියවක දෙවන දිනයද වෙයි.

කෙසේ වුවද, ජ්‍යෝතිෂයේදී තිථි ලෙස මේ නම් වලින්ම හැඳින්වෙන්නේ දවසක් නොවේ. චන්ද්‍ර මාසයක නියම කාලය 30න් බෙදූ කොටසකි. ඒ නිසා ජ්‍යෝතිෂයේදී චන්ද්‍ර මාසයක් හෙවත් තිථි 30ක් යනු දින 29ක් හෝ 30ක් නොවේ. ආසන්න ලෙස දින 29.53කි. මේ තිථියක් බොහෝ විට දවසේ මැද කිසියම් වෙලාවක ආරම්භ වී පසුදින එවැනිම මැද වෙලාවක අවසන් වන අතර පැය 24කට වඩා අඩු කාලයකින් අවසන් වේ.

හඳට පොළොව වටා වටයක් හෙවත් අංශක 360ක් යාමට ගතවන්නේ දින 27.32කි. ඒ නිසා දින 29.53ක් තුළ හඳ පොළොව වටා වටයක් සම්පූර්ණ කර තවත් අංශක 29.11ක් (360*29.53/27.32= 389.11) ගමන් කරයි. පොළොවට ඉර වටා වටයක් යාමට දින 365.25ක් පමණ යයි. ඒ නිසා දින 29.53ක් තුළ පොළොව ඉර වටාද අංශක 29.11ක් (=360*29.53/365.25) ගමන් කරයි. මේ නිසා දින 29.53ක් තුළ පොළොවේ සිට ඉරට හා පොළොවේ සිට හඳට ඇඳිය හැකි සරල රේඛා දෙක අතර සෑදෙන කෝණය අංශක 0 සිට ක්‍රමයෙන් අංශක 360 දක්වා වැඩි වේ. තිථියක් ලෙස හැඳින්වෙන්නේ මේ කෝණය අංශක 12කින් වැඩි වීමට ගත වන කාලයයි.

තිථි තිහක කාලය දින 29.53ක් නිසා තිථියක් අවසන් වීමට ගතවන සාමාන්‍ය කාලය දිනකට වඩා අඩු වුවත් ඇතැම් විටෙක තිථියක් දවසකට වඩා දිගෙන් වැඩි විය හැකිය. ඒ පොළොව ඉර වටා යන පථය මෙන්ම, හඳ පොළොව වටා යන පථයද ඉලිප්සාකාර නිසා ඉහත කෝණය අංශක 12කින් වැඩි වීමට ගත වන කාලය නිශ්චිත කාලයක් නොවන බැවිනි.

තිථි වලින් මනින්නේ පොළොවේ සිට පෙනෙන පරිදි ඉරට සාපේක්ෂ හඳේ චලිතයයි. මේ අයුරින්ම, ජ්‍යෝතිෂයේදී පොළොව වටා හඳේ නිරපේක්ෂ (ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂ) චලිතය ගැනද සැලකිලිමත් වන අතර නැකැත් ලෙස හැඳින්වෙන්නේ ඒ හා අදාළ මිනුමකි.

හඳට පොළොව වටා යාමට දින 27.32ක් ගතවන අතර නැකතක් යනු මේ කාලය කොටස් 27කට බෙදූ විට කොටසකි. වඩාත් නිවැරදිව හඳට පොළොව වටා අංශක 360/27= 13.33ක් යාමට ගත වන කාලයයි. මේ චලිතය ඒකාකාරී නොවන නිසා, පෙර මෙන්ම මේ කාලය නියතයක් නොවේ. සාමාන්‍යයෙන් නැකතක කාලය දිනකට වඩා වැඩි වුවත් ඇතැම් විට දිනකට වඩා කෙටි වන්නටද පුළුවන.

නැකැත් විසි හතේ සංස්කෘත හා සිංහල නම් පහතින් තිබේ.

1. අශ්විනී  - අස්විද
2. භරණී - බෙරණ
3. කෘතිකා - කැති
4. රෝහිණී - රෙහෙණ
5. මෘග ශීර්ෂ - මුවසිරස
6. ආර්ද්‍ර - අද
7. පුනර්වසු - පුනාවස
8. පුෂ්‍ය - පුස
9. ආශ්ලේෂ - අස්ලිස
10. මාඝ - මා
11. පූර්ව ඵාල්ගුණී - පුවපල්
12. උත්තර ඵාල්ගුණී - උතුරුපල්
13. හස්ත - හත
14. චිත්‍ර - සිත
15. ස්වාති -සා
16. විශාඛ - විසා
17. අනුරාධ - අනුර
18. ජ්‍යෙෂ්ඨ -දෙට
19. මූල - මුල
20. පූර්ව ආශාඪ- පුවසල
21. උත්තර ආශාඪ- උතුරුසල
22. ශ්‍රාවන - සුවන
23. ධනිෂ්ඨ - දෙනට
24. ශතාභිෂ - සියාවස
25. පූර්ව භද්‍රපාද - පුවපුටුප
26. උත්තර භද්‍රපාද - උත්‍රපුටුප 
27. රේවතී - රේවතී

මේ නැකැත් ක්‍රමය පරිණාමය වූ ආකාරය හා චන්ද්‍රමාස වලට එහි ඇති සම්බන්ධය ඉදිරි ලිපියකින් කතා කරමු.

19 comments:

  1. අවපසළොස්වක නොවී අමාවක වුනේ ඇයි දන්නෑ ?

    ReplyDelete
    Replies
    1. ඇතැම් තැන්වල අව පසළොස්වක ලෙස භාවිතා වී තිබෙනුත් මා දැක තිබෙනවා. වෙනත් වචනයක් වඩා ජනප්‍රිය වීමට හේතුව ලෙස මම හිතන්නේ දින 29ක් පමණක් ඇති චන්ද්‍රමාස වලදී අමාවක දිනය පසළොස්වක නොවී තුදුස්වක වීමටත් ඉඩක් තිබීමයි.

      Delete
  2. කරුණාකර මෙම බොග පටන්ගත් දිනවල ලියූ ලිපි මෙන් තවත් ලිපි ලියන්න.දැන් ලියන ඒවා කියවන විට එන්නේ ඉර හඳ පත්තරය කියවන්නාක් මෙන් හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. Ha ha ha

      I had to agree with him up to some extent. Dear Econo, it is better if you could write-up another blog regarding Astronomy & Astrology, isn't it? Better this blog dedicate to economic outlook in Sinhalese language isn't it? Just my opinion & request. It's up to you my friend.

      A reader of your blog.

      Delete
    2. I really appreciate the opinions of both of you. It doesn't make sense to start another blog for Astrology and Astronomy since I do not plan to write on those topics continuously. However, I do need to publish some more related articles, particularly since I want to record certain things that I don't find anywhere else. Some of these articles are already written. Moreover, I already have a blog dedicated to economics (emgesathapaha.blogspot.com) which doesn't have a readership as I have for this blog. The very reason for having more readers with this blog, but not with the other is because most readers like a mixed content than economics alone. I realize that astrology and astronomy is not a favorite topic of some readers like you and I am, of course, sensitive to that. I have already decided to space the remaining articles in that series instead of publishing continuously. Thanks again to both of you for expressing what you think.

      Delete
  3. එම ලිපියත් කියවන්න බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. එය දැනටත් ලියා තිබෙන්නේ, නිර්මාණී. තව ලිපි කිහිපයකින් පසුව පළ කරන්නම්!

      Delete
  4. මට දෙර්කාණ කේන්ද්‍රය කියලා එකකුත් නවාංශක කේන්ද්‍රය කියා එකකුත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මේවා ලග්න කේන්ද්‍රයෙන් පෙන්වන අහසේ සිතියමක් විවිධ මට්ටම් වලට zoom කළ විට පෙනෙන දේ කියා කියන්න පුළුවන්. දෙර්කාණයක් කියන්නේ ලග්නයක් තුනට බෙදූ කොටසක් එනම් අංශක 10ක් (මට මතක තරමින්). නවාංශකයක් කියන්නේ ලග්නයක් නවයට බෙදූ කොටසක් එනම් අංශක 3 1/3ක්. මම ජ්‍යෝතිෂ්‍යය ගැන ගැඹුරට කතා කරන්න අදහස් කරන්නේ නැහැ. එසේ කතා කරන්න තරම් දැනුමකුත් මට නැහැ. ඒ වුනත්, කාලය මැනීම හා අදාළ වන ජ්‍යෝතිෂ්‍යයේ මූලික කරුණු පිළිබඳ දැනුමක් නැතුව ඉතිහාසයේ බොහෝ දේ නිවැරදිව තේරුම් ගන්න බැහැ. විශේෂයෙන්ම සංසන්දනාත්මක ඉතිහාස අධ්‍යයනයක් සඳහා ලෝකයේ විවිධ සංස්කෘතීන් වල කාලය සටහන් කළ ආකාරය ගැන දැනගන්න වෙනවා. ඉතිහාසය නොදැන වර්තමානය හරියට තේරුම් ගන්න බැහැ. ඒ නිසා කාලය මැනීමේ ඉතිහාසය හා අදාළ මූලික කරුණු ගැන තවත් ටිකක් කතා කරන්න වෙනවා. මේ ඇතැම් කරුණු ජ්‍යෝතිෂයටත් සම්බන්ධයි.

      Delete
  5. පසලොස්වක පෝයදාට පස්සේ දවසේ සමහර විට පෝයදාට වඩා හඳ ලොකුයි, අටවකේ ඩබල දාසයවක වගේ!

    ReplyDelete
    Replies
    1. ජ්‍යෝතිෂයේ පරිදි හඳ සහ ඉරේ පිහිටීම අනුව තීරණය වන පසළොස්වක තිථිය නියමම පසළොස්වක කියා කියන්න පුළුවන්. මෙය බොහෝ විට දවස් දෙකක් අතර බෙදී යන එකක්. පෝය නිවාඩුව එය මත පදනම් වූ පරිපාලනමය කරුණක් නිසා ඇතැම් විට පසළොස්වක ලෙස තීරණය කරන දිනය හා පසු දිනය අතර හඳේ වක්‍රයේ ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. ඇතැම් විට හඳේ වක්‍රය වෙනස් වීමට සම්බන්ධ නැති කරුණක් වන පොළොවේ සිට හඳට ඇති දුර චක්‍රීය ලෙස වෙනස් වීම අනුව පසුදින හඳ ලොකුවට පේන්නත් පුළුවන්. මම රවීගේ බ්ලොග් එකේ කමෙන්ට් එකකට දැම්ම පරිදි අපට පෙනෙන හඳේ ප්‍රමාණය (වක්‍රය නොවේ) පොළොව හා හඳ අතර දුර වෙනස් වීම අනුව 13%කින් වෙනස් වෙනවා. මේ අවුරුද්දේ හඳ පොළොවට ආසන්නවම තියෙන්නේ (ලොකුවටම පෙනෙන්නේ) මැයි 26. මේ අවුරුද්දේ ලොකුම පසළොස්වක හඳ වෙසක් පසළොස්වක.

      Delete
  6. අභිජිත් නැකත කොහෙද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. ඒ ගැන ඉදිරි ලිපි වල විස්තර කරන්නම්. මෙය නැකැත් ක්‍රමය විකාශනය වීමේදී 'අධික නැකතක්' ලෙස කාලයක් භාවිතා කර හතර වන සියවසේ දී පමණ අත හැර දමනු ලැබූ නැකතක්. වැඩි විස්තර ඉදිරියට පළ වීමට නියමිත ලිපියක ලියා තිබෙනවා.

      Delete
  7. “I don’t believe in astrology; I’m a Sagittarius and we’re skeptical.”
    ― Arthur C. Clarke

    ReplyDelete
  8. කිසි දවසක ඇල්මක් නොතිබූ විෂය පථකයක් පැත්තට ඔබ මා සිත ඇදගන යනවා.

    ReplyDelete
    Replies
    1. එසේනම් මගේ ව්‍යායාමය සාර්ථකයි. මම ගොඩක් විෂයයන් කලවම් කරන්නෙම කිසියම් විෂයයක් වැඩිපුර නොකියවන අයව තමන්ගේ විෂය පථයෙන් පොඩ්ඩක් එහාට ගෙනියන්නයි. අදාළ විෂය ලිපියේ කතා කරන ඒවායින් කුමක් හෝ විය හැකියි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.