වෙබ් ලිපිනය:

Showing posts with label ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. Show all posts
Showing posts with label ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. Show all posts

Sunday, May 17, 2026

විදේශ අංශයේ ප්‍රශ්නය ඉවරයිද?


මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික දෙක සම්බන්ධව තීරණය මැයි 27 ලැබෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ අනුමැතියට මේ වගේ දෙයක් දමන්නේ යටින් අවශ්‍ය එකඟතා ඇති කර ගැනීමෙන් පසුවයි. මේ වෙද්දී මැයි 27 දිනය අධ්‍යක්ෂ මණ්ඩල කැලැන්ඩරයට දමලා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 700ක මුදලක් බොහෝ විට එදින ලැබෙනවා. ඒ මුදලින් දැනට තිබෙන කෙටිකාලීන ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. දිගුකාලීන ප්‍රශ්න වෙනම විසඳිය යුතුයි.

මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ඇතුළේ සිටියදී මේ වගේ අවුලක් ඇති වුනේ කොහොමද?

පසුගිය මාර්තු 20 දින ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගනිද්දී මිල සූත්‍රය අනුව පිරිවැය තීරණය කළ ආකාරය රජය විසින් ප්‍රසිද්ධ කළේ නැහැ. මේ වෙද්දී එය ප්‍රසිද්ධ කර තිබෙනවා. 

පහත තිබෙන්නේ පසුගිය මාර්තු 1-20 අතර කාලය මත පදනම්ව ගණනය කර තිබෙන තෙල් සංස්ථාවේ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක පිරිවැය. 

ගොඩබෑමේ පිරිවැය (V1) = රුපියල් 425.70

සැකසුම් පිරිවැය (V2) = රුපියල් 13.83

සංචිත පවත්වා ගැනීමේ පිරිවැය (V3) = එකතු කර නැත 

බදු (V4) = රුපියල් 138.39

අනෙකුත් වියදම් (V5) = රුපියල් 8.65

ලාභ ආන්තිකය (V6) = එකතු කර නැත

පිරිපහදු නිෂ්පාදන පිරිවැය වෙනස සමග ගැලපීම (V7) = සිදු කර නැත

මුළු පිරිවැය = රුපියල් 586.56

නමුත් මාර්තු 21 දින සිට ඩීසල් ලීටරයක මිල පැවතුනේ රුපියල් 382 ලෙසයි. පසුව, මැයි 3 දින සිට මිල රුපියල් 392 කළත්, ඒ වෙද්දී පිරිවැය රුපියල් 749.70 දක්වා ඉහළ ගිහින්.

මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව, ඉන්ධන මිල හා විදුලි ගාස්තු පිරිවැය හා ගැලපිය යුතුයි. යම් හෙයකින් එසේ නොකරන්නේනම්, වෙනස රජය මගින් ගෙවිය යුතුයි. 

රජය මේ වෙනසින් රුපියල් 100ක මුදලක් තෙල් සංස්ථාවට සහ අනෙක් සැපයුම්කරුවන්ට දුන්නා. එහෙම කරපු එකේ හොඳ නරක පැත්තකින් තිබිබොත්, ඒ රුපියල් 100 දුන්නට පස්සෙත් පිරිවැය ගැලපීමක් වෙන්නේ නැහැ. මාර්තු 20 වන විට පිරිවැය වෙනස රුපියල් 200කට කිට්ටුයි. මැයි වෙද්දී රුපියල් 350කටත් වඩා වැඩියි. ඒ කියන්නේ මාර්තු 20 සිට රජය විසින් මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි කඩ කරලා තිබෙනවා.

මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි කඩ කළ කළ නිසා අරමුදලේ වාරික ලැබෙන එක ප්‍රමාද වී තිබෙනවා. මෙය අදාළ වන්නේ ඉන්ධන මිල ගණන් වලට පමණක් නෙමෙයි. විදුලි ගාස්තු හා අදාළ තත්ත්වයද මෙයම තමයි. විදේශ අංශයේ අස්ථාවරත්වයට ප්‍රධානම හේතුව මේ විදිහට ආණ්ඩුව විසින් මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි වලින් පිට පැනීම. 

ආණ්ඩුව මේ විදිහට කොන්දේසි වලින් පිට පැන්නේ ඇයි?

ආණ්ඩුවට මූල්‍ය අරමුදල එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න කිසිම උවමනාවක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුවට "ඔලු දෙකේ" ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආණ්ඩුව දිගින් දිගටම පෙන්වන්න උත්සාහ කරන්නේ රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂමව පවත්වා ගෙන යන්න පුළුවන් කියලා. ප්‍රශ්නය තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහිමි වීම කියලා කෙළින්ම කියන අයත් ඉන්නවා. 

මේ පිරිවැය තෙල් සංස්ථාවේ පිරිවැය. ගොඩක් වෙලාවට අනෙක් තරඟකාරී සමාගම් වල පිරිවැය මීට වඩා අඩුයි. අඩු වශයෙන් සමහර සමාගම් වල. තෙල් සංස්ථාව විසින් හරියටම මිල ගැලපුවානම් අනෙකුත් සමාගම් වලට විශාල ලාබයක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම ලාබ ලබද්දීත් තෙල් සංස්ථාවට ලාබ ලබන්න බැරි වුනොත් තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය පැහැදිලිව පේනවා.

ඊළඟ ප්‍රශ්නය තෙල් මිල ගලපද්දී විදුලිය නිපදවීමේ පිරිවැය විශාල ලෙස ඉහළ යාම. බාල ගල් අඟුරු ප්‍රශ්නයත් එක්ක විදුලිය නිපදවීම පිණිස ඉන්ධන අවශ්‍යතාවය විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා පිරිවැය ගලපන්නනම් විදුලි ගාස්තු විශාල ලෙස වැඩි කරන්න වෙනවා. එවිට ආණ්ඩුවට ගල් අඟුරු වංචා චෝදනා වලට මුහුණ දෙන්න වෙනවා. 

මේ තත්ත්වයන් එක්ක, මම හිතන විදිහට, ආණ්ඩුව විසින් උත්සාහ කර තිබෙන්නේ ලෝක තෙල් මිල ඉක්මණින් පහත වැටෙයි කියන උපකල්පනය මත, පොඩ්ඩක් කාලය ගන්න. තෙල් මිල ඉක්මණින් අඩු වුනානම් ඔය කරපු වැරැද්ද ලේසියෙන්ම වහලා දමන්න පුළුවන්කම තිබුණා.

නමුත් ඔය විදිහට වෙළඳපොළ එක්ක ඔට්ටු දමන එක ඉතාම අවදානම් සූදුවක්‌. මිල අඩු වෙයිද වැඩි වෙයිද කියන එක කාටවත්ම හරියටම පුරෝකථනය කරන්න බැහැ. ඒ ඒ වෙලාවේ පවතින පිරිවැය අනුව මිල ගැලපීම හොඳම විසඳුම වන්නේ ඒ නිසා.

ආණ්ඩුවේ උපක්‍රමය වූ බව පෙනෙන්නේ මුලින් පාඩුව දරාගෙන පසුව මිල අඩු වෙද්දී ඒ පාඩුව ආවරණය කර ගන්න එකයි. නමුත් දැන් වෙලා තියෙන්නේ මිල වැඩි වී පිරිවැය තවත් වැඩි වී පාඩුව තවතවත් වැඩි වෙන එකයි. 

ආර්ථික අර්බුදයට කලින් වුනෙත් ඔය වැඩේමයි. පිරිවැය වැඩි වෙද්දී මිල වැඩි නොකර පිරිවැය අඩු වෙනකම් බලා හිටියට ඒ වැඩේ කවදාවත් වුනේ නැහැ. අන්තිමට මිල හා පිරිවැය අතර වෙනස ටිකෙන් ටික වැඩි වෙලා එකවර ප්‍රායෝගිකව ගැලපීමක් කළ නොහැකි මට්ටමකට ආවට පස්සේ කොහොමටවත් මිල ගැලපීමක් කරන්න බැරිව යනවා. ඔය තත්ත්වය කෙළවර වෙන්නේ විශාල අර්බුදයකින්. 2022දී එකවර විශාල ලෙස ඉන්ධන, විදුලි ගාස්තු වැඩි කරන්න වුනෙත්, ඩොලරයක මිල එකවර ඉහළ ගියෙත් ඔන්න ඔය හේතුව නිසා.

මූල්‍ය අරමුදල විසින් මිල ගැලපීම දැඩි කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරන්නේ ඔන්න ඔය හේතුව නිසා. එසේ නොකරන්නේනම්, බදු මුදල් යොදවා සුබසාධනය කරන්න වෙනවා. ඒ කියන්නේ වෙනත් ක්‍රමයකින් ඒ මුදල් හොයා ගන්න වෙනවා. ඒ නිසා පාඩු දිගින් දිගටම තියා ගන්න එක සීමා වෙනවා. දැන් වුනත් ආණ්ඩුවට අවශ්‍යනම් රුපියල් 100 වෙනුවට රුපියල් 350ක් සැපයුම්කරුවන්ට ගෙවලා ඩීසල් අඩු මිලට විකුණන්න බාධාවක් නැහැ. නමුත් ඒ මුදල වෙනත් බද්දක් විදිහට එකතු කරගන්න වෙනවා. ඒ නිසා ඒ වැඩේ වෙන්නේ නැහැ. ආණ්ඩු කැමති පාඩු අනාගත බදු ගෙවන්නට ඉතිරි කරන පහසු ක්‍රමයට. දැන් මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක ඉන්න නිසා ආණ්ඩුවට ඒ වැඩේ කරන්න බැහැ. 

කොහොම වුනත්, අවසාන වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ලංකාවේ ණය වාරිකය අනුමත කරන්න දමලා කියන්නේ ලංකාවේ රජය මිල ගලපන්න එකඟ වෙලා කියන එකයි. ඒ වැඩේ ඉදිරි සති වල වෙයි.

දැන් ඔය ඩොලර් මිලියන 700 ලැබෙන එකේ වාසිය ඒ මුදල පමණක් නෙමෙයි. රජය ඉන්ධන, විදුලි ගාස්තු මිල ගැලපීමක් කරන බවත්, අනෙකුත් ආදායම් හා වියදම් ඉලක්ක අත හරින්නේ නැහැ කියන එකත් පිළිබඳ සහතිකයත් ඒ එක්කම ලැබෙනවා. ඒ කියන්නේ රජයේ ණය අවදානම අඩු වීම පිළිබඳවද සහතිකයක්. මෙය විදේශ අංශයේ ස්ථාවරත්වයට උදවු වෙනවා.

මෙයින් අදහස් වන්නේ ඩොලරය ඉහළ යන එක නවතියි කියන එක නෙමෙයි. ඩොලරයක මිල ඉහළ යාමේදී වෙන්නෙත් එක්තරා ආකාරයක පිරිවැය ගැලපීමක්. ඒ ගැලපීම වුනේ නැත්නම්, ඩොලරයක් ඉපැයීමේ පිරිවැය සහ ඩොලරයක මිල අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙලා යම් අවස්ථාවක විශාල කඩා වැටීමක් සිදු වෙනවා. 2022දී සිදු වුනේ එයයි. බොහෝ විට මහ බැංකුව විසින් කරනු ඇත්තේ පවතින නරක තත්ත්වය වෙනස් වන තුරු යම් පාලනයක් ඇතිව ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ අරින එකයි. ඒ වෙනුවෙන් යම් සංචිත ප්‍රමාණයක් විකුණන්න වෙන්නත් පුළුවන්. මේක සංචිත වලට ලොකු හානියක් කර ගන්නේ නැතිව, ඩොලරයක මිලද අයාලේ යන්න නොදී පරිස්සමෙන් ගහන්න තියෙන ගේමක්. 

කෙටිකාලීන විසඳුමක් විදිහට ඉන්ධන හා විදුලි ගාස්තු වලට සහනාධාරයක් දෙන එක රජය විසින් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ ආණ්ඩුවකට ඒ වගේ දේශපාලන තීරණ ගන්න අයිතියක් තියෙනවා. මූල්‍ය අරමුදල ඒ වගේ තීරණයකට විරුද්ධ වෙන එකක් නැහැ. නමුත් රජයට සමස්තයක් ලෙස ආදායම් හා වියදම් ගලපගන්න වෙනවා. 

පසුගිය කාලයේ පැවති යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වයේ උදවුවෙන් යම් මට්ටමක සහනාධාරයක් කෙටිකාලීනව ලබා දිය හැකි වුවත්, එවැන්නක් කළ හැකි සීමාවක් තිබෙනවා. තෙල් මිල කාලයක් ඉහළ මට්ටමක තිබුණොත් හෝ තවත් ඉහළ ගියොත් කොහොමටත් මිල වැඩි කරන්න වෙනවා. එවිට වෙන්නේ එළුවාගේ බෙල්ල කපලා මුට්ටියත් බිඳින්න වුනා වගේ වැඩක්. කොහොම වුනත් එය ආණ්ඩුවට අයිති දේශපාලනික තීරණයක්. 

දැන් පවතින තත්ත්වයත් එක්ක උද්ධමනය ඉහළ යාමේ අවදානම පැහැදිලියි. මේ විදිහට උද්ධමනය ඉහළ යාමට හේතුව බාහිර කම්පනයක් වුවත්, ඒ කම්පන තත්ත්වය එක දිගට පවතිද්දී එය ඉල්ලුම ඉහළ දැමීමටද හේතු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති දැඩි කරන්න සිදු වෙනවා. වෙනත් විදිහකට කිවුවොත්, ආර්ථික වර්ධනය සීමා වෙන ක්‍රියාමාර්ග ගන්න වෙනවා. මේ තත්ත්වය රජයේ ආදායම් කෙරෙහි නරක විදිහට බලපානවා වගේම වියදම් වැඩි කරනවා. ඒ නිසා, කලින් පැවති යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වය ඒ විදිහටම පවත්වා ගැනීම වඩා අසීරු වෙනවා. ඒ වගේ තත්ත්වයක් පේන්න තියෙද්දී වැඩි වැඩියෙන් සහනාධාර දෙනවා කියන්නේ දැළි පිහියෙන් කිරි කෑමක්. 

Friday, December 19, 2025

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක්!


"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය රැස් වෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාධාරණයක් ඉටු කර දෙයි කියලා. අපි ඒ සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ නිසා 2026 සැලැස්මේ තිබු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳවාගත යුතුයි."

-ජනාධිපති අනුර කුමාර දිසානායක 

මෙය මේ විදිහටම දමන්නේ රුපියල් බිලියන 500කින් රාජ්‍ය වියදම් වැඩි කළ විට එයින් විදේශ අංශයට ඇති වන බලපෑම මෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම කෙටියෙන් පැහැදිලි කර තිබෙන නිසා. 

මේ වන විට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි ණයක් අනුමත කර තිබෙනවා. එහෙත්, ජනාධිපති දිසානායකටම අනුව, උද්ධමනය සහ විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා, අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 300ක් පමණවත් අවශ්‍ය වෙනවා. ඒ කලින් අපේක්ෂා කළ විදේශ විණිමය ලැබීම් වලට අමතරවයි.

මූල්‍ය අරමුදල විසින් ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුරෝකථනය 2.9% දක්වා පහත හෙළා ඇති අතර වර්ෂාවසාන විදේශ සංචිත අපේක්ෂාව ඩොලර් මිලියන 6,550 දක්වා පහත හෙළා තිබෙනවා. එයට අද අනුමත වූ ඩොලර් මිලියන 206ක ණය මුදලද ඇතුළත්. 

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවට ඉතා අසීරු විදේශ සංචිත ඉලක්කයක් ලඟා කර ගැනීමට සිදු වී තිබෙනවා. ඒ අනුව, 2026දී ඩොලර් බිලියන 3.7කින්ද, 2027දී ඩොලර් බිලියන 4.5කින්ද විදේශ සංචිත වැඩි කර ගැනීමට සිදු වෙනවා. ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ඉදිරි දෙවසර තුළ මහ බැංකුව විසින් ඩොලර් බිලියන 8.2 ඉක්මවන අමතර විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගත යුතුයි. 

Tuesday, November 25, 2025

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව


මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පස්වන විමර්ශනය සලකා බැලීමට නියමිතයි. මෙම විමසා බැලීමෙන් අනතුරුව හයවන වාරික මුදල නිදහස් කරනු ලැබීමට ඉඩ තිබෙනවා. එය එසේ වුවහොත්, ලංකාවට තවත් ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක් ලැබෙනවා.

ඒ අතරම, ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වරට, ශ්‍රී ලංකා රජය විසින් නැවතත් ඩොලර් බැඳුම්කර වෙන්දේසි කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. දෙසැම්බර් 3 දින අදාළ වෙන්දේසිය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නීතිය යටතේ නිකුත් කරනු ලබන මෙම ඩොලර් බැඳුම්කර මිල දී ගැනීම සඳහා ඉල්ලුම් කළ හැක්කේ ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාණිජ බැංකු වලට පමණයි. 

මේ වන විට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ණය නිකුත් කිරීම හා කළමනාකරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසිනුයි. වසර ගණනාවක්ම මෙම කාර්යය සිදු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හරහා වුවද, එහි වූ බැඳියා පිළිගැටුම ඉවත් කිරීමේ අරමුණෙන් මෙම අලුත් ආයතනය පිහිටුවීමෙන් අනතුරුව, මේ වන විට එම කාර්යාලය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මකව පවතිනවා. 

අලුතෙන් නිකුත් කරන බැඳුම්කර ආකෘතිය අනුව ආර්ථික අර්බුදයට පෙර නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලට සමානයි. එහෙත්, මෙසේ අලුතෙන් නිකුත් කරන ඩොලර් බැඳුම්කර සංවර්ධන බැඳුම්කර ලෙස නම් කර නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකා රජය විසින් ඒ වන විට නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.59ක සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයක් වෙනුවට ඒවායේ හිමිකරුවන්ට රුපියල් බැඳුම්කර ලබා දුන්නා. 

දෙසැම්බර් 3 දින වෙන්දේසි කෙරෙන්නේ ඩොලර් මිලියන 50ක බැඳුම්කර ප්‍රමාණයක් පමණයි. එසේ වුවද, ප්‍රමාණවත් ඉල්ලුමක් තිබේනම්, ඩොලර් මිලියන 150 දක්වා ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනවා. මෙම බැඳුම්කර 2026, 2027 හා 2028 වසර වලදී (වසර 1, 2 හා 3ක කාලයකින්) කල් පිරෙනවා. 

මෙම වෙන්දේසියට ඉදිරිපත් විය හැක්කේ දේශීය බැංකු වලට පමණක් බැවින් මේ හරහා රටට අලුතෙන් ඩොලර් පැමිණීමක් සිදු වන්නේ නැහැ. රජයට ලබා ගත හැකි වනු ඇත්තේ දැනට බැංකු පද්ධතිය තුළ තිබෙන ඩොලර් වලින් කොටසක් පමණයි. ඒ අනුව, මෙහිදී රජය විසින් ණයට ලබා ගන්නා ඩොලර් ප්‍රමාණයට අනුරූපව මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගත හැකි ඩොලර් ප්‍රමාණය සීමා වෙනවා. කෙසේ වුවද, මේ ක්‍රම දෙකේදීම බැංකු පද්ධතිය තුළ දැනට තිබෙන ඩොලර් වලින් කොටසක් රටේ නිල විදේශ සංචිතයට එකතු වෙනවා.

රජය විසින් මේ අයුරින් දේශීය වෙළඳපොළෙන් ණයට ලබා ගන්නා ඩොලර් රජයේ ණය ගෙවීම සඳහා යොදා ගත හැකියි. මෙම ණය ආපසු ගෙවිය හැකි විකල්ප ක්‍රමයක් වන්නේ මහ බැංකුව සතු සංචිත වලින් ඩොලර් මිල දී ගැනීමයි. එහිදී මහ බැංකුවට සංචිත පවත්වා ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නට සිදු වෙනවා. ඒ අනුව, මෙහිදී සිදු වන්නේ පසුගිය කාලය තුළ වක්‍ර ලෙස සිදු වූ දෙයක් සෘජු ලෙස සිදු වීමයි. 

රජය විසින් ඩොලර් බැඳුම්කර නිකුත් කර වෙළඳපොළෙන් සෘජු ලෙසම ඩොලර් ලබා ගැනීමේදී රජයට එසේ ලබා ගන්නා අරමුදල් වෙනුවෙන් නියම මිල ගෙවන්නට සිදු වෙනවා. මහ බැංකුව හරහා ඩොලර් ලබා ගනිද්දී එය එසේ සිදු වන බවට සහතිකයක් නැහැ. ඒ වගේම, වාණිජ බැංකු වල පැත්තෙන් බලද්දී, ඔවුන් කරන්නේ ණය දීමක්. ඒ ණය නිශ්චිත දිනයක ආපසු ලැබෙනවා. මහ බැංකුවට විකුණන ඩොලර් එසේ ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට නොවිකුණන ඩොලර් යම් ප්‍රමාණයක් රජයට ණය ලෙස ලබා ගැනීමේ ඉඩක් තිබෙනවා. එය එසේ වුවහොත්, විකල්ප තත්ත්වයට සාපේක්ෂව, නිල සංචිත ඉහළ යාමක් සිදුවිය හැකියි. 

ලැබීමට නියමිත මූල්‍ය අරමුදලේ හයවන වාරිකය සහ ඉහත කී ඩොලර් බැඳුම්කර ණය වල උදවුවෙන් වසර අවසන් වීමට පෙර නිල සංචිත වල යම් ඉහළ යාමක් සිදු විය හැකි බැවින් ඩොලර් බිලියන හතේ වර්ෂාවසාන සංචිත ඉලක්කය තවමත් මුළුමනින්ම ගිලිහී ගොස් නැහැ. එය තීරණය වන්නේ අවසන් මාස දෙක තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් ප්‍රමාණය මතයි. 

Tuesday, July 8, 2025

SDR කියන්නේ මොනවාද?


මේ වෙද්දී ලංකාවට මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය ලැබී තිබෙනවා. මූල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේත්, එම ණය ආපසු ගෙවිය යුත්තේත් SDR වලිනුයි. සරල අර්ථදැක්වීමක් ලෙස, SDR කියා කියන්නේ ජාත්‍යන්තර මුදල් ඒකකයක් කියා කියන්න පුළුවන්. එහෙත් මූල්‍ය අරමුදල විසින් SDR හඳුන්වන්නේ වත්කමක් ලෙස මිස මුදලක් ලෙස නෙමෙයි. මේ විදිහට SDR ලෙස කෙටි කර තිබෙන්නේ special drawing rights යන්නයි. මෙය සිංහලෙන් "විශේෂ ආදාන හිමිකම්" ලෙස හැඳින්විය හැකි වුවත්, SDR ලෙසම හැඳින්වීම වඩා පහසුයි. 

ඇමරිකන් ඩොලර් හෝ ජපාන යෙන් මෙන් SDR කිසිදු රටක සාමාන්‍ය ගනුදෙනු සඳහා භාවිතා වෙන්නේ නැහැ. එහෙත් රටවල් අතර සිදු කෙරෙන ගනුදෙනු වලදී SDR යොදා ගත හැකියි. SDR නිකුත් කරන්නේ මූල්‍ය අරමුදල විසිනුයි. සාමාජික රටවලට මෙසේ නිකුත් කරන SDR මිල දී ගත හැකියි. කිසියම් සාමාජික රටකට මිල දී ගත හැකි SDR ප්‍රමාණය පදනම් වන්නේ අදාළ රටට මූල්‍ය අරමුදල විසින් ලබා දෙන SDR කෝටාව මතයි. එම කෝටාව තීරණය කරන්නේ ජාත්‍යන්තර වෙළඳාම තුළ අදාළ රටේ පංගුව අනුවයි. 

ලංකාවට අරමුදලේ ණය අනුමත වන අවස්ථාවේදී ඇමරිකාව සතු SDR කෝටාව මිලියන 82,994.2ක් වූ අතර නාවුරු රාජ්‍යයේ කෝටාව SDR මිලියන 2.8ක් පමණයි. ලංකාවේ කෝටාව SDR මිලියන 578.8ක්. සාමාජික රටවල් 191කට ලබා දී තිබුණු මුළු SDR කෝටා ප්‍රමාණය මිලියන 476,372ක්. 

මූල්‍ය අරමුදල තුළ එක් එක් රටට හිමි වන ඡන්ද ප්‍රමාණය තීරණය වන්නේද මෙම SDR කෝටාව අනුවයි. ඒ අනුව, සෑම SDR 100,000ක් වෙනුවෙන්ම එක් ඡන්දයක් හිමි වෙනවා. ඊට අමතරව සෑම රාජ්‍යකටම යම් මූලික ඡන්ද ප්‍රමාණයක් හිමි වෙනවා. එම ප්‍රමාණය ඡන්ද 1,452ක්. මේ අනුව, SDR මිලියන 578.8ක කෝටාවක් හිමි ලංකාවට ඒ වෙනුවෙන් ඡන්ද 5,788ක් සහ කාටත් හිමි වන මූලික ඡන්ද 1,452 ලෙස ඡන්ද 7,240ක් හිමිව තිබෙනවා. අරමුදල තුළ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිව තිබෙන්නේ වැඩිම SDR කෝටාවක් හිමි ඇමරිකා එක්සත් ජනපදයටයි. 

මේ වන විට SDR එකක මිල ආසන්න වශයෙන් රුපියල් 410ක් පමණ වෙනවා. ඒ අනුව, ලංකාවේ කෝටාව වන  SDR මිලියන 578.8 රුපියල් වලින් බිලියන 240ක් පමණ වෙනවා. කිසියම් රටක SDR කෝටාව මිල දී ගැනීමේදී ඒ සඳහා ගෙවිය යුතු මුදලින් 75%ක් තමන්ගේම මුදලින් ගෙවිය හැකියි. ඉතිරි 25%ක මුදල මුල් කාලයේදී රන් වලින් ගෙවිය යුතුව තිබුණු අතර දැන් ඩොලර්, පවුම් වැනි ප්‍රධාන මුදල් වර්ගයකින් ගෙවිය යුතුයි. 

ලංකාවේ ණය අනුමත වීමෙන් පසුව, 2023 දෙසැම්බර් මාසයේදී මුළු කෝටා ප්‍රමාණය 50%කින් වැඩි කෙරුණු අතර ඒ අනුව මුළු SDR ප්‍රමාණය බිලියන 476 සිට බිලියන 715ක් පමණ දක්වා ඉහළ යා යුතු වුවත් මේ වන විටද සියලුම රටවල් තමන්ට හිමි අමතර SDR කෝටාව සඳහා මුදල් ගෙවා නොමැති බැවින් මේ දක්වා නිකුත් කර ඇති මුළු SDR ප්‍රමාණය බිලියන 660.7ක් පමණයි. එම මුදලට ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සතුව තිබෙන SDR සහ අරමුදලේම දෙපාර්තමේන්තු ගිණුමක තිබෙන SDR යම් ප්‍රමාණයක්ද ඇතුළත්. 

මෙසේ අරමුදලේ සාමාජිකත්වය ගැනීමේදී සහ පසුව වරින් වර කෝටාව ඉහළ දැමීමේදී තමන්ගේ කෝටාවේ තරමට SDR මිල දී ගත යුතු බැවින් සෑම සාමාජික රටක් සතුවම SDR වත්කම් යම් ප්‍රමාණයක් තිබෙනවා. එසේ සාමාජික රටවල් විසින් SDR මිල දී ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අරමුදල සතුව සෑම සාමාජික රටක් විසින්ම නිකුත් කරන මුදල් වර්ග තිබෙනවා. ණය ලෙස ලබා දෙන්නේ මෙම අරමුදල්. 

කිසිදු රටකට තමන්ගේම රටේ මුදල් අරමුදලෙන් ණයට ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ වෙනත් රටක මුදල්. එහෙත්, ලෝකයේ වෙනත් කිසිදු රටක් අරමුදලෙන් ශ්‍රී ලංකා රුපියල් ණයට ඉල්ලන්නේ නැහැ. බොහෝ රටවලට අවශ්‍ය වන්නේ ඩොලර්, යුරෝ, යෙන් වැනි මුදල් වර්ගයක්. මේ හේතුව නිසා, ප්‍රායෝගිකව ණය සේ ලබා දිය හැක්කේ අරමුදල සතු විදේශ මුදල් වලින් කොටසක් පමණයි. 

කිසියම් රටකට ලබා දෙන ණය ප්‍රමාණය තීරණය වන්නේද අදාළ රටේ කෝටාව මතයි. ආජන්ටිනාව හා යුක්‍රේනය වැනි රටවලට ලොකු ණය මුදල් ලැබෙන්නේ ඒ නිසා. ලංකාව විසින් ලබාගත් විස්තීර්ණ ණය පහසුකම ලබා දීමේදී සාමාජික රටකට උපරිම වශයෙන් තමන්ගේ කෝටාව මෙන් 435%ක මුදලක් ලබා ගත හැකි වුවත්, අදාළ ණය ඉල්ලුම් කරන විට ලංකාව විසින් ඊට පෙර ලබා ගෙන ගෙවා නොතිබුණු ණයද යම් ප්‍රමාණයක් තිබුණු බැවින් අලුතෙන් ලබාගත හැකි වූයේ කෝටාව මෙන් 395%ක මුදලක් පමණයි. එම ප්‍රමාණය SDR මිලියන 2,286ක් වූ අතර සමාන වාරික නවයකින් ලැබුණු බැවින් එක් වාරිකයක් SDR මිලියන 254ක් වුනා. පසුගිය සතියේ ලැබුණේ SDR මිලියන 254ක පස් වන වාරිකයයි. 

බොහෝ අවස්ථා වලදී මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා රටවල් විසින් එසේ ලබා ගන්නා අරමුදල් තමන්ගේ සංචිත වලට එකතු කරගන්නවා මිස වියදම් කරන්නේ නැහැ. ඒ නිසා, ලබා ගන්නා SDR වෙනත් මුදල් ඒකකයකට මාරු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එම මුදල් SDR ලෙසම තියා ගන්න පුළුවන්. එහෙත්, මෙම අරමුදල් වියදම් කිරීමට අවශ්‍යනම් ඩොලර්, යුරෝ වැනි මුදලක් සමඟ හුවමාරු කළ හැකියි. අරමුදල සතුව සෑම මුදල් වර්ගයක්ම තිබෙන නිසා සාමාන්‍යයෙන් මෙය ප්‍රශ්නයක් වන්නේ නැහැ. එසේ වෙනත් මුදල් වර්ගයකට මාරු කළහොත් ණය ආපසු ගෙවන විට නැවතත් SDR මිල දී ගැනීමට සිදු වෙනවා. මේ ආකාරයෙන් SDR විකිණීමේ සහ මිල දී ගැනීමේ ගනුදෙනු අරමුදල හරහා වෙනත් සාමාජික රටක් සමඟ කළ හැකි අතර ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟද කළ හැකියි.

SDR විණිමය අනුපාතය තීරණය වන්නේ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයට වුවත් එක් මුදල් වර්ගයකට සාපේක්ෂව නෙමෙයි. ඩොලර්, පවුම්, යෙන්, යුරෝ සහ යුවාන් යන මුදල් වර්ග පහ අඩංගු මුදල් මල්ලක වටිනාකමට සාපේක්ෂවයි. ඒ නිසා මේ මුදල් වර්ග පහේ වටිනාකම් වෙනස් වෙද්දී SDR වල වටිනාකමද වෙනස් වෙනවා.

මෙම මුදල් මල්ලේ ආසන්න වශයෙන් ඩොලර් 0.578ක්, යුරෝ 0.293ක්, යුවාන් 1.099ක්, පවුම් 0.081ක් සහ යෙන් 14.452ක් අඩංගුයි. ඒ නිසා, වෙනත් මුදලකින් SDR එකක වටිනාකම වන්නේ ඉහත මුදල් වර්ග පහේ ඉහත ප්‍රමාණ වල වටිනාකමයි. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අනෙකුත් මුදල් වල වටිනාකම ඉහළ යද්දී ඩොලර් වලින් ඩොලර් ඩොලර් 0.578ක මිල එම ප්‍රමාණයම වුනත්, අනෙකුත් මුදල් අදාළ ප්‍රමාණ වල මිල ඉහළ යන නිසා ඩොලර් වලින් SDR එකක මිලද ඉහළ යනවා. මේ වන විට SDR එකක මිල ඇමරිකන් ඩොලර් 1.37ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සාමාන්‍යයෙන් ලෝකයේ සෑම මහ බැංකුවක් විසින්ම නිරන්තරයෙන් මුදල් සැපයුම වැඩි කරනවා. සරලව කිවුවොත් සල්ලි අච්චු ගැසීමක් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර්, පවුම්, යෙන් වැනි සියලුම මුදල් වර්ග  නිරන්තරයෙන් බාල්දු වෙනවා. ඒ අනුව, භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණ නිරන්තරයෙන් ඉහළ යනවා. එසේ වෙද්දී ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අවශ්‍ය වන SDR ප්‍රමාණයද ඉහළ යනවා. මේ නිසා මූල්‍ය අරමුදල විසින් ඊට අනුරූපව අවස්ථා හතරකදී SDR සැපයුම වැඩි කර තිබෙනවා. එහිදී අලුතෙන් SDR මැවීමක් හෙවත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. එසේ "අමුද්‍රව්‍ය නොමැතිව" අලුතෙන් "නිපදවන" SDR සාමාජික රටවල් අතර ඔවුන්ගේ කෝටා අනුපාතයට බෙදා දෙන අතර ඒ සඳහා සාමාජික රටවල් විසින් මුදල් ගෙවිය යුතු වන්නේ නැහැ. 

පසුගිය වසංගත සමයේදී (2021 අගෝස්තු) SDR බිලියන 456.5ක දැවැන්ත මුදලක් මේ අයුරින් අලුතින් "අච්චු ගසා" සාමාජික රටවල් අතර බෙදා දුන්නා. මේ සමඟම ඒ වන විට නිකුත් කර තිබුණු මුළු SDR ප්‍රමාණය වූ බිලියන 204.2ක් වූ SDR ප්‍රමාණය බිලියන 660.7 දක්වා ඉහළ ගියා. ඊට පෙර ලෝක ආර්ථික අවපාතය හමුවේදීද  (2009 අගෝස්තු) මේ අයුරින්ම SDR බිලියන 161.2ක මුදලක් අලුතෙන් "අච්චු ගසා" සාමාජිකයින් අතර බෙදා දුන්නා. මෙම අවස්ථා දෙකම ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව ඇතුළු ලෝකයේ ප්‍රධාන මහ බැංකු විසින් විශාල ලෙස මුදල් සැපයුම ඉහළ දැමූ අවස්ථා දෙකක්. 

මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා සාමාජික රටවල් විසින් ඒ වෙනුවෙන් පොලියක් ගෙවිය යුතුයි. අරමුදල නඩත්තු වන්නේ මෙසේ ලැබෙන පොලී ආදායමෙන්. ඊට අමතරව ණය ලෙස ලබා නොදෙන අරමුදල් ආයෝජනය කිරීමද සිදු වෙනවා. සාමාජික රටකට අරමුදලෙන් ණය ලබා ගත හැකිවාක් මෙන්ම, "නොමිලේ බෙදා දුන්" SDR ඇතුළු තමන්ගේ කෝටාව ප්‍රයෝජනයනට ගන්නත් පුළුවන්. මෙහිදී ගිණුමේ ශේෂය කෝටාවේ ප්‍රමාණයට වඩා පහත වැටෙනවා. එසේ තමන්ගේ කෝටාවේ ප්‍රමාණයට වඩා ගිණුම් ශේෂය පහත වැටුණු විට අඩු ප්‍රමාණය වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ අර්ථයෙන් මෙය ණය ගැනීමකට සමානයි. සාමාන්‍ය ණය ගැනීමකට සාපේක්ෂව මෙහි ඇති වෙනස වන්නේ ලබාගත් මුදල් ආපසු ගෙවිය යුතු නිශ්චිත දිනයක් නොමැති වීමයි. 

මූල්‍ය අරමුදල විසින් SDR ප්‍රමාණය වැඩි කරන එකම ක්‍රමය ඉහත සඳහන් "නොමිලේ බෙදා දීමේ" ක්‍රමය නෙමෙයි. අරමුදලට අලුතෙන් රටවල් එකතු වෙද්දී මෙන්ම ලෝක ආර්ථිකය තුළ කිසියම් රටක පංගුව ඉහළ ගිය විටද එම රටවලට SDR ප්‍රමාණයක් හිමි වෙනවා. එහෙත් මේ අයුරින් ලැබෙන SDR වෙනුවෙන් (විශේෂ අවස්ථා වලදී හැර) මුදල් ගෙවන්නට සිදු වෙනවා. 

මේ වන විට ලංකාවේ ගිණුමේ SDR නොමැති තරම්. ඒ නිසා, එහි අඩුව වෙනුවෙන් ලංකාව විසින් දිගටම පොලියක් ගෙවිය යුතුයි. එමෙන්ම ලබා ගෙන තිබෙන හා ලබා ගැනීමට නියමිතව ඇති SDR වෙනුවෙන්ද පොලියක් ගෙවිය යුතුයි. මෙසේ ණයට හෝ නොමිලේ ලබා ගන්නා SDR වෙනත් රටකට විකිණූ විට එම රටේ ගිණුමේ ඇති SDR ප්‍රමාණය අදාළ කෝටාවට වඩා වැඩි වෙන්න පුළුවන්. එවිට එම අමතර ප්‍රමාණය වෙනුවෙන් ඒ රටට පොලියක් ලැබෙනවා.

පෙර කී පරිදි 2023 දෙසැම්බර් මාසයේදී මුළු කෝටා ප්‍රමාණය 50%කින් වැඩි කළද එය සමානුපාතික වැඩි කිරීමක් නෙමෙයි. සෑම රටකම කෝටාවේ ප්‍රමාණය වැඩි වී ඇතත්, අරමුදලේ නිර්ණායක අනුව ඇතැම් රටවල කෝටා පංගුව වැඩි වී වෙනත් රටවල එම පංගුව අඩු වී තිබෙනවා. ලංකාවේ පංගුව වැඩි වී ඇති බැවින් කෝටාව 50%කට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. දැන් කෝටාව SDR මිලියන 950.2ක්. එහෙත් මේ වන විට ලංකාවේ ගිණුමේ තිබෙන්නේ SDR මිලියන 1.7ක් පමණයි. ඒ කියන්නේ ගිණුම අඩියටම හිඳිලා. ලංකාව විසින් අරමුදලෙන් ලබා ගෙන තිබෙන සහ ඉදිරියේදී ලබා ගන්නා ණය ආපසු ගෙවනවාට අමතරව මෙම ගිණුම නැවත පිරවීමද කළ යුතුයි. එතෙක් හිඟ මුදල වෙනුවෙන් පොලී ගෙවන්නට සිදු වෙනවා. 

Wednesday, July 2, 2025

සැම්බියාවේ මිල සූත්‍රය

 



සැම්බියාව මෙන්ම ඝානාවද ලංකාව ගෙවුම් ශේෂ හා රාජ්‍ය ණය අර්බුද වලට මුහුණ දුන් කාලයට ආසන්න කාලයකදී එවැනිම අර්බුද වලට මුහුණ දුන් රටවල් දෙකක්. ලංකාව මෙන්ම ඉහත රටවල් දෙකද මේ වන විට මූල්‍ය අරමුදලේ උදවුවෙන් සිය ආර්ථිකයන් ස්ථාවර කරගෙන තිබෙනවා.

ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මුළුමනින්ම මෙන් අවසන් කර ඇතත්, ඉහත සඳහන් අප්‍රිකානු රටවල් දෙකෙහි එම ක්‍රියාවලීන් තවමත් අවසන්ව නැහැ. එහෙත් බොහෝ දුරට අවසන්. ස්ථායිකරණ වැඩසටහන් වල ප්‍රතිඵලයක් ලෙස සැම්බියාව, ඝානාව මෙන්ම ලංකාව යන රටවල් තුනෙහිම කඩා වැටී තිබූ මුදල් ඒකක නැවත ශක්තිමත් වී තිබෙනු දැකිය හැකියි.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකන් ඩොලරයක් සඳහා ඝානා සීඩී 16.33ක් පමණ ගෙවිය යුතුව තිබුණත් මේ වන විට ඩොලරයක් සඳහා ගෙවිය යුතුව තිබෙන්නේ ඝානා සීඩී 10.35ක් පමණයි. එමෙන්ම, මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකන් ඩොලරයක් සඳහා සැම්බියා ක්වාචා 28.81ක් පමණ ගෙවිය යුතු වුවත් දැන් ගෙවිය යුත්තේ සැම්බියා ක්වාචා 23.88ක් පමණයි. 

ලංකාවේ මෙන්ම සැම්බියාවේ හා ඝානාවේ ආර්ථිකයන්ද නැවත පණ ගසා නැගිටිමින් සිටින අතර පළමු කාර්තුව තුළ පිළිවෙලින් 4.5%ක හා 5.3%ක වර්ධනයන් වාර්තා කර තිබෙනවා. මෙම රාජ්‍යයන් දෙක සඳහා මූල්‍ය අරමුදල විසින් යෝජනා කළ වැඩපිළිවෙළවල් සහ ලංකාව සඳහා යෝජනා වූ වැඩපිළිවෙළ අතර සැලකිය යුතු සමානකම් දැකිය හැකියි. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය උදාහරණයක්. 

ලංකාවේ මෙන්ම සැම්බියාවේද ඉන්ධන සඳහා මිල සූත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ සමඟ පළ කෙරෙන සැම්බියාවේ උපයෝගීතා කොමිසමේ සභාපති ජේම්ස් බණ්ඩාගේ නිවේදනය අනුව, 2025 ජූලි 1 දින සිට සැම්බියාවේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබියදී මේ අයුරින් සැම්බියාවේ ඉන්ධන මිල ගණන් අඩු කෙරෙන්නේ සැම්බියා ක්වාචා මුදල ශක්තිමත් වී තිබීමේ උදවුවෙනුයි. 

Friday, March 7, 2025

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ?


ප්‍රතිව්‍යුහගත කළ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබෙන හෙයාකට් එක වෙනස් වීමට හේතු වන නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය. තවත් නිර්ණායකයක් වන්නේ 2024-2027 කාලය තුළ සමුච්ඡිත මූර්ත ආර්ථික වර්ධනය.

ඔය දෙවනුව සඳහන් කළ නිර්ණායකය මම තේරුම් ගෙන තිබුණේ 2024 සිට 2027 දක්වා වසර තුනක කාලය තුළ සිදු වන වර්ධනය ලෙසයි. සාමාන්‍යයෙන් 2025 ආර්ථික වර්ධනය කියද්දී එයින් අදහස් වෙන්නේ 2024 සිට 2025 දක්වා වසරක කාලය තුළ සිදු වූ වර්ධනය. ඒ විදිහට බැලුවොත්, 2024 සිට 2027 දක්වා වසර තුනක කාලය තුළ සිදු වන වර්ධනය කියන්නේ 2025, 2026 සහ 2027 යන වසර තුනේ ආර්ථික වර්ධනය. මෙම වසර තුන පෙර සඳහන් කළ පළමු නිර්ණායකය සමඟද ගැලපෙනවා.

නමුත් උමේෂ් මොරමුදලි විසින් ප්‍රතිචාරයක් දමමින් සඳහන් කළේ 2024-2027 කාලය තුළ සමුච්ඡිත මූර්ත ආර්ථික වර්ධනය යන්නට 2024 වසරද ඇතුළුව වසර හතරක කාලයක් අයත් වන බවයි. පසුව ඔහු විසින් මේ කරුණ පැහැදිලිව සඳහන් මූලාශ්‍රයක්ද අප වෙත යොමු කළා. ඔහුට ස්තුතියි!

මේ අනුව බලද්දී ඉහත සඳහන් දෙවන නිර්ණායකයෙන් ලංකාවට වාසියක් ලැබීමේ ඉඩක් නැති තරම්. මූල්‍ය අරමුදලේ අලුත් පුරෝකථන අනුවම වුවත්, 2024 සිට 2027 දක්වා සමුච්ඡිත මූර්ත ආර්ථික වර්ධනය 14.3%ක් වෙනවා. ඊට හේතුව 2024 වර්ධනය ඉහළ මට්ටමක තිබීමයි. මෙම අගය 11.5% ඉක්මවා ඇත්නම්, දෙවන නිර්ණායකය අනුව, හෙයාකට් එක අඩු වෙන්නේ නැහැ. වැඩිවීම නවතින්නේත් නැහැ. 

කෙසේ වුවද, මූල්‍ය අරමුදල විසින් තවමත් ඇස්තමේන්තු කරන්නේ පළමු නිර්ණායකය අනුව සාමාන්‍ය හෙයාකට් එක වන 27% ලැබෙනු ඇති බවයි. එය එසේ වීමටනම්, 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය ඩොලර් බිලියන 94.0 නොඉක්මවිය යුතුයි. මේ නිර්ණායකයේදීනම් පැහැදිලි ලෙසම 2024 වර්ෂය ගණන් ගැනෙන්නේ නැහැ. අරමුදලේ අලුත් ඇස්තමේන්තු අනුව, අදාළ අගය මෙම සීමාව කිට්ටුවටම යනු ඇති නමුත් තවමත් මෙම අගය පවතින්නේ සීමාවට පහළිනුයි. 

ඉහත සඳහන් ඩොලර් බිලියන 94.0 සීමාව ඉක්මවුවොහොත් හෙයාකට් එක 27% සිට 19% දක්වා අඩු වෙනවා. අරමුදලේ ඇස්තමේන්තු අනුවම 2024 දදේනිය ඩොලර් බිලියන 99.0ක් වන තත්ත්වයක් තුළ 2025-2027 මෙම අගයේ සාමාන්‍යය ඩොලර් බිලියන 94.0ට වඩා අඩු විය හැක්කේ ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් පමණයි. මේ අනුව පෙනෙන්නේ මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු සකස් කරද්දී ඩොලරයක මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් උපකල්පනය කර ඇති බවයි. 

මූල්‍ය අරමුදල විසින් ඩොලරයක මිල පිළිබඳ ඔවුන්ගේ උපකල්පන ඉදිරිපත් කර නැතත්, රුපියල් වලින් ඔවුන්ගේ දදේනි ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති බැවින් ඒ අනුසාරයෙන් ඩොලරයක මිලෙහි හැසිරීම පිළිබඳ ඔවුන්ගේ උපකල්පන අපෝහනය කරගත හැකියි. අරමුදලේ දදේනි ඇස්තමේන්තු මේවායි.

2025 - රුපියල් බිලියන 32,309

2026 - රුපියල් බිලියන 35,123

2027 - රුපියල් බිලියන 38,113

මෙම එක් එක් අගය ඩොලර් බිලියන 94.0 නොඉක්මවීමටනම්, ඩොලරයක සාමාන්‍ය මිල අවම වශයෙන් කොපමණ ඉහළ යා යුතුද?

2025 - රුපියල් 344

2026 - රුපියල් 374

2026 - රුපියල් 405

ඩොලරයක මිල මෙපමණ ඉහළ නොයන්නට ඉඩකඩ වැඩියි. මීට පෙරද අරමුදල විසින් ඩොලරයක මිල ඇස්තමේන්තු කර තිබුණේ සැලකිය යුතු තරම් ඉහළින්. නමුත් අවසාන වශයෙන් මෙය තීරණය වෙන්නේ මේ වසර තුළ සහ ඉදිරී වසර දෙකේදී රටට කොපමණ විදේශ විණිමය ආදායම් ලැබෙනවාද කියන එක මතයි.

Sunday, March 2, 2025

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය


මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා.

අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 

2024 - 4.5%

2025 - 3.0%

2026 - 3.0%

2027 සිට - 3.1%

දැන් අපට මෙම ඇස්තමේන්තු ඔවුන්ගේ 2023 මාර්තු ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි. 

2024 - 1.5%

2025 - 2.6%

2026 - 3.0%

2027 සිට - 3.1%

මේ ඇස්තමේන්තු සකස් කරන විට 2024 තුන් වන කාර්තුවේ දදේනිය ගණන් හදා තිබුණේ නැහැ. එම අගය, අනපේක්ෂිත හොඳ මට්ටමක (5.5%) තිබුණා. ඒ අනුව, 2024 ආර්ථික වර්ධන වේගය 4.5% මට්ටමේ තියෙන්නනම් හතරවන කාර්තුවේ වර්ධන වේගය 2.5% පමණ විය යුතුයි. එම අගය බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, පසුගිය 2024 වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% මට්ටම ඉක්මවා ඇතැයි සිතන්න පුළුවන්. 

පෙන්විය යුතු වැදගත් කරුණ එය නෙමෙයි. පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය මුලින් හිතූ මට්ටමට වඩා සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණත්, අරමුදල ඔවුන්ගේ දිගුකාලීන ආර්ථික වර්ධන ඇස්තමේන්තු වෙනස් කරලා නැහැ. 2025 ඇස්තමේන්තුව පොඩ්ඩක් උස්සලා තිබුණත්, එය 2026 මට්ටමට වඩා උඩට උස්සලා නැහැ. ඒ වගේම, 2026 සිට ඉදිරියට ඇස්තමේන්තු වෙනස් කරලා නැහැ.

මේ අනුව පෙනෙන්නේ අරමුදලට අනුව කෙටිකාලීනව ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි වී තිබුණත් රටේ දිගුකාලීන වර්ධන විභවයේ වෙනසක් වී ඇති බවක් ඔවුන් නොදකින බවයි. ඇත්තටම රටකට වැදගත් දිගුකාලීනව සාමාන්‍ය වශයෙන් කොයි තරම් වේගයකින් වර්ධනය විය හැකිද කියන එකයි. අතරින් පතර අවුරුදු කීපයක් ඉහළ වර්ධන වේගයක් තිබු පමණින් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. 

අලුත් ඇස්තමේන්තු අනුව වුවද, 2025-2027 අවුරුදු තුනේ වර්ධන වේග වල එකතුව 9.1%ක් පමණයි. ප්‍රතිව්‍යුහගත කළ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබුණු හෙයාකට් එක අඩු වෙන්නේ මේ වසර තුනේ වර්ධන වේග වල එකතුව 11.1%ට වඩා වැඩි වුනොත් පමණයි. වර්ධන වේගය ඒ සීමාවෙන් එහාට නොයන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

අරමුදලේ ඇස්තමේන්තු වල විදිහට ආර්ථිකය වර්ධන වුනොත්, යාන්තම් 2018 හිටපු තැනට එන්න ලැබෙන්නේ 2028දී. ඒ කියන්නේ අහිමි වූ දශකයකට පසුව. ඊට වඩා වේගයෙන් ආර්ථිකය වර්ධනය වුනොත් 2027දී හෝ ඇතැම් විට 2026දී 2018 හිටපු තැනට එන්න පුළුවන් වෙයි.

දෙවනුව මම අවධානය යොමු කරන්නේ සංචිත ඉලක්ක වලට. පහත තිබෙන්නේ සංශෝධිත සංචිත ඉලක්ක. 

2025 - ඩොලර් මිලියන 7,056

2026 - ඩොලර් මිලියන 9,303

2027 - ඩොලර් මිලියන 13,118

මේ අනුව, ඉදිරි (2025) වසරේ ඉලක්කයට යන එක ඒ තරම්ම අමාරු වැඩක් නෙමෙයි. එකතු කරගන්න තියෙන්නේ ඩොලර් බිලියනයක පමණ මුදලක්. අභියෝගය තියෙන්නේ 2026 හා 2027 අවුරුදු දෙකේදී. එම අවුරුදු දෙකේදී පිළිවෙළින් ඩොලර් බිලියන දෙකක් හා ඩොලර් බිලියන හතරක් (ආසන්න වශයෙන්) එකතු කරගන්න වෙනවා. ඊට අමතරව චීනයෙන් ගත් යුවාන් බිලියන දහය ආපසු ගෙවන්න තවත් ඩොලර් බිලියන 1.4ක් අවශ්‍ය වෙනවා. 

සංචාරක ආදායම් ඉදිරි වසර වලදී ඉහළ යයි. නමුත් එහි සීමාවක් තිබෙනවා. ඒ නිසා, විදේශ විණිමය ආදායම් වල කිසියම් දැනෙන වැඩිවීමක් සිදු වුනේ නැත්නම්, මේ අවුරුද්දේ කොහොම වෙතත්, 2026දී සහ ඊටත් වඩා වැඩියෙන් 2027දී ඩොලරයක මිල මත සැලකිය යුතු පීඩනයක් එන්න පුළුවන්. 

ආර්ථික වර්ධනය වැඩිවීමට සහ විදේශ විණිමය ආදායම් ඉහළ යාමට හේතු වන අමුතු විශේෂ දෙයක් සිදු වන බවක් දැනටනම් පෙනෙන්න නැහැ. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නය මගෙන් අහන්න එපා. එවැනි නිශ්චිත අත් දුටු ප්‍රතිකාර මා ළඟ නැහැ. හම්බන්තොට පිරිපහදුව වගේ ආයෝජන නිසා කොයි තරම් විදේශ විණිමය රටට ආවත්, ඒ විදේශ විණිමය නැවත ආනයන ලෙස ආපසු යන නිසා සංචිත වලට එයින් වාසියක් ලැබෙන්නේ නැහැ. 

Saturday, November 23, 2024

තෙවන විමර්ශනය අවසන් වෙයි!


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන විමර්ශනය මේ වන විට අවසන්ව ඇති අතර ඒ මත පදනම්ව නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවයක් පසුව අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීම සාමාන්‍ය තත්ත්වයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟතා ඇති කරගන්නේ සහ ගිවිසුම්ගත වන්නේ ශ්‍රී ලංකා රජය සමඟ මිස රනිල් වික්‍රමසිංහ හෝ අනුර කුමාර දිසානායක සමඟ නෙමෙයි. එහෙත් මෙවැනි එකඟතාවයකදී රටේ දේශපාලන අධිකාරිය සිටින ස්ථාවරය ඉතා වැදගත්.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මුලින්ම ගිවිසුම්ගත වෙද්දී රටේ රාජ්‍ය නායකයාව සිටියේ රනිල් වික්‍රමසිංහයි. මේ හා අදාළව, විශේෂයෙන්ම විපක්ෂ කණ්ඩායම් වල, විවේචනයක් වූයේ රට වෙනුවෙන් මෙම ගිවිසුමට එළැඹෙන්නේ ජනමතයක් නොමැති ආණ්ඩුවක් බවයි. 

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ අතර ඉන් පසුව පැවති මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට විශාල ජනවරමක් ලැබුණා. දැන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වන්නේ එසේ විශාල ජනවරමක් ලැබූ ආණ්ඩුවක් යටතේයි. ඒ නිසා, මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යාම සදහා ජනමතය ලැබීමක් ලෙසද සැලකිය හැකියි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිතන ආකාරය පිළිබඳව පසු ගිය දිනෙක ඔහු විසින්ම පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා.

"අප ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කර තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන ලද රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් තිබෙන රාජ්‍යයක, එම එකඟතාව බිඳ වට්ටා අපට ඉදිරි ගමනක් නැති බව අප තේරුම්ගෙන ඇති බව. ඒ අනුව අප ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මෙම එකඟතාවන්ට අනුරූපවන පරිදි ආර්ථිකය හැසිරවීමට අප සූදානම් බව."

මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලය මාලිමා කණ්ඩායමේ ඉහළ ස්ථරය ඇතුළු බොහෝ දෙනෙකුට සාපේක්ෂව අපේක්ෂාවන් ඉක්මවා ගිය තත්ත්වයක් වුවත්, ආණ්ඩුව පිහිටුවන්නේ එම කණ්ඩායම විසින් බව සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයෙන් පසුව සක් සුදක් සේ පැහැදිලිව තිබුණු කරුණක්. එම විශ්වාසය මත පදනම්ව, එමෙන්ම සිදු විය යුතු පරිදි, මහ මැතිවරණයට පෙර සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇති කර ගැනීම සඳහා පසුබිම සැකසෙමින් පැවතුණා. මැතිවරණය අවසන් වූ වහාම තෙවන විමර්ශනයද අවසන් වන්නේ එසේ සියල්ල කලින්ම සැලසුම්ව පැවති බැවිනුයි.

දැන් පවතින දේශපාලන වාතාවරණය තුළ ස්ථායීකරණ වැඩපිළිවෙළ බාධාවකින් තොරව දිගටම ඉදිරියට යාමේ විභවය වඩා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර කුමාර දිසානායක හොඳ මහජන සන්නිවේදකයෙකු වීමද වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී වාසිදායක සේ බලපානවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුවත්පත් නිවේදනය මිස විමර්ශන වාර්තාව තවමත් ප්‍රසිද්ධියට පත් කර නැහැ. අදාළ එකඟතා පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත්ව තිබෙන්නේ එම විමර්ශන වාර්තාවේයි.

වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අරමුදල මෙසේ පවසනවා.

“සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2024 ජූනි මස අවසානයට මෙන්ම  සැප්තැම්බර් මස අවසානයට අදාළ සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමග වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් විය. 2024 ඔක්තෝබර් මස අවසානයට පෙර සිදු කිරීමට නියමිතව පැවැති බොහෝ ව්‍යුහාත්මක මිනුම් දඬු නිසි කලට සම්පූර්ණ කර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත; මැතිවරණ ක්‍රියාවලිය හේතුවෙන්  ඇතැම් මිනුම් දඬු සපුරා ගැනීම ප්‍රමාද විය."

ඒ සමඟම අරමුදල විසින් යෝජිත ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේ වැදගත්කම අවධාරණය කරනවා.

"වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම, විශ්වසනීයත්වය වර්ධනයකර ඇති අතර ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. මේ දක්වා වැඩසටහන යටතේ අත් පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථිකය කල් පවත්නා පරිදි යථා තත්ත්වයට පත්වීමක් හා ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වේ" 

මෙහි සඳහන් අපේක්ෂිත ප්‍රතිතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිශ්චිත තොරතුරු කාර්ය මණ්ඩල විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් පසුව දැනගත හැකි වනු ඇති අතර බොහෝ විට මුල් එකඟතා වලින් එතරම් වෙනස් නොවිය හැකියි. 

ඇතිකරගත් කාර්ය මණ්ඩල එකඟතාවය සඳහා අධ්‍යක්ෂ්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමටනම් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ප්‍රධාන කරුණු දෙකෙක් ඉටුවිය යුතුයි. එයින් පළමුවැන්න වැඩසටහනේ පරාමිතීන් හා ගැලපෙන පරිදි 2025 අයවැය ලේඛණය සකස් කිරීමයි. දෙවැන්න විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමයි.

“පහත සඳහන් කරුණු සපුරාලීම මත මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ඉදිරි කාල සීමාව තුල ජා. මූ. අරමුදලෙහි කළමනාකාරිත්වය සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත: (i) බලධාරීන් විසින් වැඩසටහන් අරමුණුවලට අනුකූල වන පරිදි 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම; සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්යේ කැපවූ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිවුහගත කිරීම නියමිත වේලාවට සහ වැඩසටහයන් ණය ඉලක්කයට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ලබා දීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම."

මේ අනුව, 2025 අයවැයෙහි මූලික පරාමිතීන් මේ වන විටද තීරණය වී අවසන්. එහෙත්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ මුලින් මාස හතරක කාලයක් සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කොට 2025 මාර්තු මාසයේදී අයවැය සම්මත කර ගැනීමටයි. 

"අපට ඉක්මණින් අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නැහැ. ඉදිරි මාස 04ක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා දෙසැම්බර් මාසයේ මුල අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. පෙබරවාරි මාසයේ මුල වන විට අය වැය ලේඛනය ඉදිරිපත් කර මාර්තු මාසයේ සම්මත කර ගැනීමට අප අපේක්ෂා කරනවා."

මෙම තීරණයට ආර්ථික, දේශපාලන මෙන්ම ප්‍රායෝගික හේතු පාදක වී ඇතැයි සිතිය හැකියි. ඉතා ඉක්මණින් අයවැයක් සකස් කළහොත් එමගින් කිසිදු කැපී පෙනෙන වෙනස් කමක් කිරීමේ ඉඩක් අලුත් ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට එහිදී ජනප්‍රිය නොවන තීරණ ගන්නට වුවත් සිදු විය හැකියි. මෙම කාලය ඇතුළත පළාත් පාලන මැතිවරණ පවත්වා අවසන් වනු ඇති අතර එය ආණ්ඩුවට දේශපාලනික අවදානමක් මග හැර යාමට ඉඩ සලසනවා. 

කෙසේ වුවත්, ආණ්ඩුවේ පැත්තෙන්, එම දේශපාලනික හේතුව හැර තවත් හේතු ගණනාවක් තිබෙනවා. පළමුව, දෙසැම්බර් පමණ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත සාර්ථක ලෙස අවසන් කරනු ලැබුවහොත් ඉන් අනතුරුව දැනට පවතින ඇතැම් අවිනිශ්චිතතාවයන් ඉවත් වී යනවා. ඒ හා සමඟම වාහන ආනයනය සඳහා ඉඩකඩ විවෘත කළහොත් විණිමය වෙළඳපොළ තුලනය පිළිබඳ වඩා නිවැරදි අදහසක් ලබා ගත හැකියි.

ඉහත කරුණු වලට අමතරව, මේ ආණ්ඩුවට ලැබුණේ කාර්ය සාධන ඉලක්ක ඉක්මවා ආදායම් ඉලක්ක සපුරාගෙන හා වියදම් සීමා කරගෙන ඇති රාජ්‍යමුල්‍ය ගිණුමක්. එහි වාසිය හරියටම ගණන් බැලිය හැක්කේ වසර අවසාන වීමෙන් පසුවයි. එමෙන්ම ඒ වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය සම්බන්ධ වඩා නිවැරදි ඇස්තමේන්තුද ලැබෙනවා. ඒ නිසා, දැනට පවතින තත්ත්වයට සාපේක්ෂව ඉදිරි වසරේ පෙබරවාරි මාසය වන විට මේ ආණ්ඩුවට, අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවය තුළ රැඳී සිටින අතරම, කවර හෝ වෙනස්කමක් සහිතව අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා වැඩි අවකාශයක් ලැබෙනවා.

Monday, September 9, 2024

උපකල්පන වෙනස් වී ඇති ආකාරය

 

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු වෙනස් වන විට උපකල්පනද වෙනස් කර ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරනවා.

සාමාන්‍යයෙන් අරමුදල විසින් මේ අයුරින් අලුත් දත්ත යොදාගෙන ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරන්නේ සයමාසික විමර්ශන සිදු කරන අවස්ථා වලදීයි. ඇගයීමෙන් පසුව ණය තිරසාරත්ව දර්ශක සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත්නම් වැඩසටහනේ ඉලක්ක හා ගැලපෙන පරිදි අලුත් නිර්දේශ ඉදිරිපත් කරනවා. මෙය සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවලියයි. කෙසේ වුවත්, පුරෝකථන, එම පුරෝකථන මත පදනම් වූ උපකල්පන හා එම උපකල්පන මත පදනම්ව ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය අනුව සිදු කෙරෙන නිගමන සය මසක කාලයක් තුළ විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. 

මේ සමඟ පළ කෙරෙන වගුවේ දැකිය හැක්කේ අරමුදලේ පළමු හා දෙවන විමර්ශන අතර කාලයේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ උපකල්පන වෙනස් වී ඇති ආකාරයයි. 

2023 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = (-3.6%)
දෙවන විමර්ශනය = (-2.3%)

2024 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = 1.8%
දෙවන විමර්ශනය = 2.8%

2023 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 20.4%
දෙවන විමර්ශනය = 17.5%

2024 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 10.1%
දෙවන විමර්ශනය = 9.8%

2023 ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = (-0.7)%
දෙවන විමර්ශනය = 0.6%

2024 ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = 0.8%
දෙවන විමර්ශනය = 1.0%

2023 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 28,033
දෙවන විමර්ශනය = 27,630

2024 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 31,422
දෙවන විමර්ශනය =30,917

මේ අනුව, පහසුවෙන්ම පහත නිරීක්ෂණ සිදු කළ හැකියි.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි වේගයකින් උද්ධමනය පහත වැටීම 
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි ප්‍රාථමික අයවැය ශේෂයක් වාර්තා වීම.

මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ රටේ ණය තිරසාරත්වය පිළිබඳ දර්ශක මුලින් අරමුදල විසින් ඇස්තමේන්තු කළ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට පැමිණ තිබීමයි. දෙවන විමර්ශනයෙන් පසුව ලැබුණු දත්ත අනුව පෙනී යන්නේ මේ තත්ත්වය මේ වන විට තවත් හොඳ අතට හැරී තිබිය යුතු බවයි. 

කෙසේ වුවත්, මේ අයුරින් කෙටිකාලීනව සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම අරමුදල විසින් උපකල්පනය කළාට වඩා හොඳ තත්ත්වයක ඇති බව පෙනී යාමෙන් පසුව වුවද, අරමුදල විසින් ඔවුන්ගේ දිගුකාලීන පුරෝකථන හෝ උපකල්පන වෙනස් කර නැති බවද පෙනී යා යුතුයි. ඔවුන් එම උපකල්පන වලට එළැඹෙන්නේ ඔවුන්ගේ පුරෝකථන ආකෘති හා ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ දිගුකාලීන හැසිරීම මත පදනම්වයි. 

වෙනත් විදිහකින් කිවුවොත් වසරක් හෝ දෙකක් "කරලා පෙන්නීමෙන්" පසුව අරමුදල විසින් ඔවුන්ගේ කෙටිකාලීන උපකල්පන වෙනස් කරනවා. එහෙත් දිගුකාලීන උපකල්පන වෙනස් කරනු ඇත්තේ වසර ගණනාවක් එක දිගට "කරලා පෙන්නීමෙන්" පසුවයි. 

Monday, August 26, 2024

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද?

ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් හෝ වෙනත් ඕනෑම වියදම් වැඩි කිරීමක් සිදු කරන්න වෙන්නේ ඔය සීමාවට යටත්වයි. (එසේ කිරීමේ හැකියාව ගැන පෙර ලිපි වල විස්තර කළා.)

ඔය 13% සීමාව එන්නේ සති කිහිපයකට පෙර රටේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුවයි. එම පණතේ 15(1) වගන්තියේ සඳහන් කොට ඇති පරිදි "ආණ්ඩුවේ ප්‍රාථමික වියදම් අදාළ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහතුනක ප්‍රතිශතයක් නොඉක්මවිය යුතුය."

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත දැන් රටේ නීතියක් නිසා ආණ්ඩුව මාරු වුනත් මේ සීමාව තවදුරටත් වලංගුයි. නමුත්, මෙය සාමාන්‍ය පණතක් නිසා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පහසුවෙන්ම සංශෝධනය කරන්න පුළුවන්. 

පණත ගෙනාවේ රනිල් කඳවුර නිසා රනිල්ට පක්ෂපාතී කණ්ඩායමක් දිගටම බලයේ හිටියොත් ඔය සීමාව වෙනස් වෙන්න හේතුවක් නැහැ. නමුත් රජයේ වියදම් කොපමණද කියා තීරණය කරන එක බලයේ සිටින ආණ්ඩුවේ අයිතියක්. ජනතාව ආණ්ඩුවක් බලයට පත් කරන්නේ ඒ අයිතිය ඔවුන්ට ලබා දීලයි. ඒ වගේම, එය පවතින ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය අනුව සිදු වෙන දෙයක්. 

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුවත්, ඒ නැතත්, රටේ ණය තිරසාරත්වය ඇති කරගෙන ඉතා ඉක්මණින් නැවත ආර්ථික අර්බුදයකට නොයා සිටීම සඳහාත්, අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නම වෙනවා. සජිත් කඳවුර වගේම මාලිමා කඳවුරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමෙන් ඉවත් වන බවක් කියා නැහැ. ඒ වගේම, ඔය කණ්ඩායම් දෙකෙන් එකක්වත් ඉතා ඉක්මණින් රට නැවත ආර්ථික අර්බුදයකට යන විදිහේ වැඩක් දැන දැන, හිතාමතා කරන එකක් නැහැ. 

පවතින තත්ත්වයන් යටතේ නැවතත් රටේ ආර්ථිකය අස්ථාවර වෙන්න යනවා කියන්නේ ඊට කලින්ම පවතින ආණ්ඩුව අස්ථාවර වෙනවා කියන එක. දේශපාලන කඳවුරක් අමාරුවෙන් බලය ලබාගන්නේ ලේසියෙන් බලය අත හැර යන්න නෙමෙයි. ඒ නිසා, ඔය කවුරු බලයට ආවත්, තම තම නැණ පමණින්, "කරන දෙයක් පරිස්සමෙන්" කරයි කියලයි මම හිතන්නේ.

රජය ක්‍රමයෙන් කුඩා කරමින් රාජ්‍ය වියදම් දිගටම 13% සීමාවේ පවත්වා ගැනීම රනිල්ගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය බවයි පෙනෙන්න තියෙන්නේ. නමුත් සජබ විසින් මේ සීමාව ඕනෑවට වඩා සීමාකාරී එකක් බව කිහිප තැනකම සඳහන් කර තිබෙනු දැක්කා. මාලිමාවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති එක්ක මේ සීමාව කොහොමටවත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා, ඔය කඳවුරු දෙකෙන් එකක් බලයට ආවොත් 13% සීමාව ඉහළ දමන්න ඉඩ තිබෙනවා.

පවතින ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය මත පදනම්ව ඇති 13% සීමාව වැඩි කරන එක ඒ හේතුව නිසාම ප්‍රශ්නකාරී වෙන්නේ නැහැ. මොකද කුඩා රජයක් පවත්වා ගෙන යාම කියන එකෙන් නියෝජනය වන්නේ එක් ආර්ථික-දේශපාලන ධාරාවක් පමණයි. නමුත් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තය එවැන්නක් නෙමෙයි. එය මේ වෙද්දී ලංකාව ඉන්න තත්ත්වයත් එක්ක අනිවාර්ය අවශ්‍යතාවයක්. 

රජයේ ප්‍රාථමික වියදම් 13%නම් (මේ කියන්නේ දදේනි අනුපාත ගැන), 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම අවම වශයෙන් 15.3% දක්වා වැඩි කරගන්න වෙනවා. ඒ කියන්නේ, ඔය 13% සීමාව් වැඩි කර ගත්තත්, රාජ්‍ය ආදායම 15.3% මට්ටමට යන තුරු 13%කට වඩා වියදම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

රනිල්ගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ රාජ්‍ය ආදායම 15.3% මට්ටමට අරගෙන දිගටම ඒ මට්ටමේ දිගටම පවත්වා ගෙන යන එක. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන වැඩපිළිවෙළේ ඉලක්කයත් ඒකයි. මේ ඉලක්කයට ඉදිරි (2025) වර්ෂය තුළම වුනත් යාමේ හැකියාවක් තිබෙනවා. එසේ යා හැකි වුවහොත්, ඉන් පසුව තව දුරටත් බදු වැඩි කරන්න අවශ්‍ය වන්නේ නැහැ. 

මාලිමා කඳවුර විසින් කිහිප තැනක කියා තිබුණු විදිහට ඔවුන්ගේ ඉලක්කය රාජ්‍ය අදායම මීට වඩා ඉහළ මට්ටමකට අරගෙන යන එක. රාජ්‍ය අදායම තිරසාර ලෙස වැඩි කරගත හැකිනම්, 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගනිමින්, රාජ්‍ය වියදමත් වැඩි කරන්න පුළුවන්. ඒ විදිහේ වෙනසකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ වෙන එකක් නැහැ. මොකද ලංකාවේ වාමාංශික කඳවුර විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල "නව ලිබරල්" ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස හැඳින්වුවත්, අරමුදල විසින් දිගින් දිගටම පෙන්වා දී තිබෙන්නේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. 

ඔය කතාව සජිත් කඳවුර ඇතුළු වෙනත් ඕනෑම කඳවුරකට අදාළයි. දැනට යෝජිත 15.3% සීමාවෙන් එහාට රාජ්‍ය ආදායම ගෙන යා හැකිනම් වැඩියෙන් වියදම් කරන්නත් පුළුවන්. ඒක රටේ මිනිස්සුන්ගේ බහුතර කැමැත්ත අනුව තීරණය විය යුතු දෙයක්. නමුත් දැනට තිබෙන ප්‍රශ්නය 15.3% සීමාවට යන එකයි.

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කළේ 2023 මාර්තු වලදීනේ. රනිල්ට බලය ගියේ 2022 ජූලි. මහ බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ ලොකු පුටු මාරු වුනේ ඊටත් මාස කිහිපයකට කලින්. නමුත් ඔය දේවල් වෙන්න කලින්, 2021දීත් යම් බදු වැඩි කිරීම් යෝජනා කළා. එහෙම නොකළානම් දදේනි අනුපාතයක් විදිහට රාජ්‍ය ආදායම් වැඩි වෙන්න තිබුණේ පහත ආකාරයටයි. මේ බදු නොවන ආදායම් කොටසද ඇතුළත්ව.

2023 - 6.8%

2024 - 7.6%

2025 - 8.1%

දැන් ඔය විදිහට කිසිම බදු වැඩි කිරීමක් කළේ නැතත් අවුරුද්දෙන් අවුරුද්ද බදු ආදායම් ඉහළ යනවා. ඊට හේතුව නාමික දළ දේශීය නිෂ්පාදිතය වැඩිවීම. එය සිදු වෙන්නේ ආර්ථික වර්ධනය නිසා වෙන්නත් පුළුවන්. උද්ධමනය නිසා වෙන්නත් පුළුවන්. හේතුව ඔය දෙකෙන් කොයි එක වුනත් බදු ආදායම් වැඩි වෙනවා. 

ඕනෑනම් මේක වෙන්නේ බදු කැපීම නිසා එහි උදවුවෙන් ආර්ථිකය වර්ධනය වීමෙන් කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. ඒක එහෙම වුනත් නොවුනත්, 2025 වෙද්දී යා හැකිව තිබුණේ 8.1% සීමාවට පමණයි. 


ඔය තත්ත්වය හමුවේ, ආර්ථික අර්බුදය එන්න කලින්ම, 2021දී යම් බදු වැඩි කිරීම් යෝජනා කළානේ.

- මූල්‍ය සේවා මත අය කරන වැට් බද්ද වැඩි කිරීම 

- සමාජ සංරක්ෂණ බද්ද 

- නිෂ්පාදන බදු වැඩි කිරීම 

ඔය බදු වැඩි කිරීම් වලින් රාජ්‍ය ආදායම තවත් 1%කින් වැඩි කරගන්න පුළුවන්කමක් තිබුණා. විශේෂයෙන්ම සමාජ සංරක්ෂණ බද්දෙන්.  

2023 - 7.8%

2024 - 8.6%

2025 - 9.1%

නමුත් තවමත් හැරෙන්නවත් මදිනේ. හැබැයි 2022දී යෝජනා වූ බදු ප්‍රතිසංස්කරණ වලින් තත්ත්වයේ විශාල වෙනසක් සිදු වුනා. මේ බදු ප්‍රතිසංස්කරණ සියල්ල යෝජනා වුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කරන්න කලින්. ඊට පස්සේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු වෙනස් වුනේ මේ විදිහට.

2023 - 11.0%

2024 - 13.2%

2025 - 14.9%

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක් අත්සන් කරන්න කලින්ම ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔය ව්දිහට බදු ප්‍රතිසංස්කරණ යෝජනා කරලා සහ එයින් වැඩි කොටසක් ක්‍රියාත්මක කරලා රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබීම රටට ඉක්මණින් ගොඩ එන්න විශාල උදවුවක් වුනා. 

ඉහත 2022 බදු ප්‍රතිසංස්කරණ යෝජනා බොහොමයක් ඉතා ඉක්මණින් සිදු කිරීමට නියමිතව තිබුණත් තෑගි හා උරුම බද්දත්, වත්කම් බද්දත් අය කරන්න අදහස් කර තිබුණේ 2025 සිටයි. ඊට හේතුව මේ බදු අය කරන්න කලින් රටේ දේපොළ පිළිබඳ නිවැරදි තක්සේරු සිදු කර අවසන් කළ යුතු වීමයි. 2025 රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවෙන් 1.2%ක් ආවේ ඔය බදු දෙකෙන්. ඒ දෙක නැතිව තත්ත්වය මේ වගේ.

2023 - 11.0%

2024 - 13.2%

2025 - 13.7%

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේක්ෂා කරන පරිදි රාජ්‍ය ආදායම 15.3% මට්ටමට එසවිය යුත්තේ පහත ආකාරයටයි.

2025 - 15.0%

2026 - 15.1%

2027 - 15.2%

2028 සිට ඉදිරියට - 15.3%

නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පළමු විමර්ශනය සිදු කරද්දී, ඒ වෙද්දී පැවති ප්‍රගතිය අනුව, පේන්න තිබුණේ මේ වගේ තත්ත්වයක්. 

2023 - 10.1%

දැන් මේ තත්ත්වය අනුව 2023 ඉලක්කය වූ 11.0%ට යන්න 0.9%ක අඩුවක් තියෙනවනේ. 2023 ඉලක්කයට යන්නේ නැතිව 2024 හා ඉන් ඉදිරියට ඉලක්ක වලට යන්නත් බැහැ. වැට් බද්ද 18% දක්වා වැඩි කළේ ඒ අඩුව හදා ගන්න. කලින් කියපු 2022 බදු ප්‍රතිසංස්කරණ අනුව වැට් බද්ද වැඩි කිරීමට නියමිතව තිබුණේ සහ වැඩි කර තිබුණේ 15% දක්වා පමණයි. වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමෙන් පසුව 2024දී 12.9% මට්ටමට යන්න පුළුවන් වෙයි කියන එකයි ඇස්තමේන්තුව වුනේ. ඒක වුනත් 13.2% මට්ටමට වඩා අඩු වුනත් කිට්ටුවට හරි යනවනේ.

කොහොම වුනත් 2023 දෙවන භාගයේදී බදු ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වූ නිසා අන්තිමට 2023 අපේක්ෂිත ඉලක්කය වූ 11.0%ට යන්න පුළුවන් වුනා. ඒකට 2024 සිට වැට් වැඩි කිරීම නිසා ලැබෙන ආදායමද එකතු කළ විට දැන් තත්ත්වය මෙවැන්නක්.

2024 - 13.5%

මේ අනුව, 2025 ඉලක්කය වන 15.0%ට යන්න තවත් අඩු 1.5%ක් පමණයි. වාහන ආනයනයට ඉඩ දුන් පසුව එයින් 0.8%ක් එකතු වෙනවා. වැට් බදු පැහැර හරින අයගෙන් එම බදු අය කර ගැනීම සඳහා දැනට ගන්නා ක්‍රියාමාර්ග වලින් තවත් 0.3%ක් එකතු වීමට නියමිතයි. ඒ අනුව, තවත් අඩු 0.4%ක් පමණයි.

දැන් මම කලින් කිවුවනේ 2022 බදු ප්‍රතිසංස්කරණ යෝජනා අනුව 2025 සිට තෑගි හා උරුම බද්දක් සහ වත්කම් බද්දක් පැනවීමට සැලසුම් කර තිබුණු බව සහ එමගින් 1.2%ක් එකතු කරගන්න යෝජනා වී තිබුණු බව. නමුත් දැන් ඒ තරම් අඩුවක් නැහැ. තව අඩු 0.4%ක් පමණයි. ඒ අනුව, රජය විසින් අරමුදලට යෝජනා කර තියෙන්නේ අර කලින් කියූ බදු දෙක වෙනුවට වෙනත් බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් මගින් ඔය 0.4% අඩුව හදාගන්න. රුපියල් වලින්නම් බිලියන 136ක් පමණ. 

මේ සඳහා "ආරෝපිත ගෙවල් කුලී" බද්දක් අලුතෙන් හඳුන්වා දෙන්න නියමිතව තිබෙනවා. එමගින් තව 0.15%ක් එකතු කරගන්න පුළුවන්. රුපියල් බිලියන 51ක් පමණ.

තමන් පංදිචි නිවසට අමතරව සමහර අයට තවත් ගෙවල් තිබෙනවා. ඒ අමතර ගෙවල් කුලියට දී තිබේනම්, එසේ ලැබෙන ආදායම වෙනුවෙන් කොහොමටත් ආදායම් බදු ගෙවන්න වෙනවා. කොහොමටත් කිවුවට මුළු ආදායම අවම ආදායම් බදු සීමාවෙන් එහාට යන අයට පමණයි. නමුත් එවැනි අමතර ගෙවල් කුලියට දී නැත්නම් ආදායමක් නොලැබෙන නිසා බද්දක් ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ.

දැන් මේ අලුත් බද්ද හඳුන්වා දුන් පසුව එවැනි අමතර ගෙයක් කුලියට නොදුන්නත්, කුලියට දීමෙන් ලබා ගත හැකි ආදායම ඇස්තමේන්තු කරලා එම "ලබා ගත හැකි" ආදායම වෙනුවෙන් බද්දක් ගෙවන්න වෙනවා. මේකත් වත්කම් බද්දක් වගේම තමයි. නමුත් වෙනස්කම් දෙකක් තිබෙනවා.

පළමු වෙනස මේ බද්දට යටත් වන්නේ කෙනෙකුගේ වත්කම් වලින් එක් වර්ගයක් පමණයි. ඒ නිසා, අය කර ගැනීම වඩා පහසුයි. හැබැයි අපේක්ෂිත ආදායම කලින් යෝජනා වූ බදු ක්‍රම වලින් ලබා ගත හැකි වූ ප්‍රමාණයෙන් අටෙන් එකක් පමණයි. 

දෙවන වෙනස නීතිමය වෙනසක්. ලංකාවේ දැනට පවතින නීතිය අනුව දේපොළ බදු අය කළ හැක්කේ පළාත් සභා වලටයි. ඒ නිසා, මධ්‍යම රජය විසින් දේපොළ බද්දක් පැනවීම පළාත් සභා බලතල ආපසු ගැනීමක් වගේ දෙයක් වෙනවා. නමුත් ආදායම් බදු අය කළ හැක්කේ මධ්‍යම රජයට නිසා මේ විදිහට අය කරන එකේ නීතිමය අවුලක් නැහැ. යම් ආකාරයකින් පළාත් සභා නීතියට වංගු ගැහීමක් වගේ දෙයක්. 

මේ අලුත් බද්ද හැම පොඩි ගෙදරකින්ම අය කරන එකක් නැහැ. එය අදාළ වනු ඇත්තේ යම් අවම වටිනාකමක් තිබෙන වටිනා හා විශාල නිවාස මත පමණයි. 

ඊළඟට මත්පැන්, දුම්කොළ හා සූදු ක්‍රීඩා මත දැනට අය කරන 40% බද්ද 45% දක්වා වැඩි කර තවත් රුපියල් බිලියන 27ක් පමණ එකතු කර ගැනීමට නියමිතව තිබෙනවා. සේවා අපනයන ආදායම් සඳහා දැනට ලබා දී තිබෙන ආදායම් බදු සහනයක් ඉවත් කිරීමෙන් තවත් රුපියල් බිලියන 14ක් පමණ එකතු කරගන්න පුළුවන්. දැනට වැට් බදු අය නොකරන කාණ්ඩ කිහිපයක් මත වැට් බදු පැනවීමෙන් ඉතිරි අඩුව හදාගන්න පුළුවන්. 

අවසාන වශයෙන්, මේ වෙද්දී රජය විසින් ආදායම් වැඩි කිරීම හා අදාළව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන නිසා, ආරෝපිත ගෙවල් කුලී බද්ද ඇතුළු බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් පමණක් කරලා දිගුකාලීන රාජ්‍ය ආදායම් ඉලක්කය වන 15.3% මට්ටමට යන්න පුළුවන්. මේ බදු ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන මට්ටමේ ඒවා නෙමෙයි. මේ විදිහට 15.3% ඉලක්කයට් ගියාට පස්සේ එයින් 2.3%ක් ඉතිරි කරගෙන 13.0% දක්වා මුදලක් වියදම් කරන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් වියදම් කරනවානම් 15.3% මට්ටමට වඩා ආදායමත් වැඩි කරගන්න වෙනවා. 



Tuesday, August 6, 2024

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය

රටේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු වී තියෙද්දී, පසුගිය සතිය අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ විමර්ශනයක් සිදු කර ආපසු ගියා. ඔවුන් ආර්ථිකයේ වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ සංක්ෂිප්ත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැඩ පිළිවෙලේ මෙතෙක් ප්‍රගතිය පිලිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමකට පත්ව සිටින අතර ඔවුන් විශේෂයෙන්ම පහත කරුණු අවධාරණය කර තිබෙනවා.

- කාර්තු ගණනාවක් තිස්සේ හැකිළුණු ආර්ථිකය කාර්තු තුනක් තිස්සේ එක දිගට වර්ධනය වීම සහ 2024 පළමු කාර්තුව වන විට වර්ධන වේගය 5.3% දක්වා ඉහළ යාම.

- උද්ධමනය මහ බැංකුවේ ඉලක්කගත මට්ටම වන 5%ද ඉක්මවා පහත වැටී තිබීම සහ ණය පොලී අනුපාතික පහත වැටී තිබීම.

- මෙම වසරේ පළමු අර්ධය තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.6 දක්වා ඩොලර් බිලියන 1.2කින් ඉහළ යාම.

- එම කාලය ඇතුළත රාජ්‍ය ආදායම් ඉහළ ගොස් තිබීම.

- ඉහත සඳහන් යහපත් තත්ත්වයන්ගේ ප්‍රතිඵල ඉදිරි කාලය තුළ රටවැසියන්ගේ ජීවන තත්ත්වය තුළ පිළිබිඹු වීමට නියමිත බව පෙනෙන්නට තිබීම.

මේ යහපත් වර්ධනයන් ගැන සඳහන් කරමින් ඔවුන් මෙවැනි අවවාදයක්ද කරනවා.

"මේ ආකාරයෙන් බිම නොවැටී අතුරේ යමින් ඉතා අසීරුවෙන් නැවත ආර්ථිකය ස්ථාවර කරගෙන ලංකාව ඉතා තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටින මේ මොහොතේ, ඒ තත්ත්වය ස්ථිර ප්‍රගතියක් බවට පත් කරගනිමින් මෙතෙක් ඉතා අසීරුවෙන් ලබාගත් ආර්ථික ප්‍රගතිය කුඩා කම්පනයකින් වුවත් පහසුවෙන්ම නැවත බිම වැටී කුඩු පට්ටම් වී යන තත්ත්වයෙන් ඉවත් වීමටනම්, වැඩ සටහන අනුව සිදු විය යුතු දේ අවශ්‍ය කාලය තුළ එලෙසම සිදු විය යුතුයි!"

“With Sri Lanka’s knife-edged recovery at a critical juncture, sustaining the reform momentum and ensuring timely implementation of all program commitments are critical to cement the hard-won economic progress to date and put the economy on a firm footing"

රටේ ආර්ථිකය නැවත අස්ථාවර වී කඩා වැටීම වලක්වා ගැනීම සඳහා කළ යුතු ප්‍රධානම දෙය වන්නේ ඉදිරි 2025 වසර සඳහා අයවැය සකස් කිරීමේදී ආදායම් වැඩි කර ගනිමින් හා වියදම් සීමා කර ගනිමින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%කට සමාන ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. එය සිදු නොකර රටේ ණය තිරසාරත්වය පවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. (කෙටියෙන් කිවුවොත්, මේ පාරෙන් පිට පැන්නොත් රට නැවත නැවත බංකොලොත් විය හැකියි.)

"The 2025 Budget needs to be underpinned by appropriate revenue measures and continued spending restraint so as to reach the medium-term primary balance objective of 2.3 percent of GDP—a key requirement for restoring Sri Lanka’s debt sustainability."

මෙය පැහැදිලි කිරීම අපහසු නැහැ. රටේ දළ දේශීය නිෂ්පාදිතය 100 ලෙසත් රාජ්‍ය ණය ප්‍රමාණයද 100 ලෙසත් සැලකුවහොත් (2023දී මෙම ප්‍රමාණය 103.9ක්), පොලී අනුපාතික 7%නම්, වාර්ෂික පොලී වියදම 7ක් වෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තය 2.3ක්නම්, පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්න වෙන්නේ 4.7ක් පමණයි. ඒ කියන්නේ වසරකට පසුව ණය ප්‍රමාණය 4.7කින් ඉහළ යනවා. ආර්ථිකය 5%කින් වර්ධනය වුවහොත්, ණය වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වන නිසා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ණය ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනවා.

එසේ නොවී, 5%ක ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගතහොත් සිදු වන්නේ කුමක්ද? 

පළමුව, නැවත ප්‍රාථමික අයවැය හිඟයකට මාරු වෙනවා කියන්නේ වැඩි වැඩියෙන් ණය ගන්න වෙනවා කියන එකයි. එහිදී පොලී අනුපාතික ඉහළ යනවා. පොලී අනුපාතික 10% සේ සැලකුවොත් පොලී ගෙවීමට 10ක් අවශ්‍ය වෙනවා. ප්‍රාථමික අයවැය හිඟය පියවීමට තවත් 5ක් අවශ්‍ය වෙනවා. මේ අනුව 15ක් ණය ගන්නට සිදු වෙනවා. ආර්ථිකය 5%කින් වර්ධනය වුවහොත්, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ණය ප්‍රමාණය වසරකට 10%කින් පමණ ඉහළ යනවා. මෙවැන්නක් වසර කිහිපයක් වීමට නියමිත බව පේනවා කියන්නේ අනිවාර්යයෙන්ම රට කොයි මොහොතක හෝ නැවත බංකොලොත් වෙනවා කියන එකයි. 

ආර්ථිකය මෙහෙයවන ප්‍රවේශය තුළ වසර දෙක තුනක් ඇතුළත රට නැවත බංකොලොත් වීමට නියමිතනම්, එතැනින් එහාට හදන කිසිදු දිගුකාලීන සැලසුමකින් වැඩක් නැහැ. ඒ නිසා, දිගුකාලීන සැලසුම් රටකට ඉතා වැදගත් වුවත්, කෙටිකාලීන ස්ථායීතාවය තහවුරු නොකර හදන ඕනෑම දිගුකාලීන සැලසුමක් ප්‍රායෝගික නොවන හිතළුවක් පමණයි.

රට නැවත බංකොලොත් වුවහොත් සිදු විය හැකි දේ ගැන ලංකාවට දැන් යම් අත්දැකීමක් තිබෙනවා. එහෙත්, ලංකාව මේ අත්දැකීම හරියටම අත් වින්දේ නැහැ. ලංකාව දැක්කේ චිත්‍රපටයේ ට්‍රේලරය පමණයි. ඔය තත්ත්වයට වැටුණු රටක් ඔය තරම් ඉක්මණින් ගොඩ ගිය අවස්ථා ඇත්නම් එය ඉතා දුලබ දෙයක්. ලෝකයේ හැම තැනකම මෙන් සිදු වී තිබෙන්නේ තනිකරම වෙනස් දෙයක්. යම් හෙයකින් සිදු විය හැකි දෙවන බංකොලොත් වීමකදී ලංකාවටද සිදු විය හැක්කේ පළමුවර සිදු වූ දුලබ දෙය නෙමෙයි. 

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය නැවත ගිලිහී ගියහොත් එය රටේ සිටින සියල්ලන්ටම බලපානවා. එහෙත්, එවැන්නක බලපෑම තිබෙන්නේ රටේ සිටින අයට පමණක් නෙමෙයි. ශ්‍රී ලාංකිකයින් නොවන ආයෝජකයින්, බැඳුම්කරහිමියන්, බහුජාතික සමාගම්, ආනයනකරුවන්, අපනයනකරුවන්, ලංකාවේ සංචාරය කරන්නට සිතා සිටින අය ඇතුළු බොහෝ දෙනෙකුට මෙහි බලපෑමක් තිබෙනවා. ඒ නිසා, ශ්‍රී ලාංකිකයින් නොවන අයටද ලංකාවේ ආර්ථික අනාගතය පිළිබඳව උනන්දුවක් තිබෙනවා.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ලංකාවේ ආර්ථික අනාගතය කෙරෙහි සෘජු ලෙසම බලපාන දෙයක්. ඒ නිසාම, ඒ පිළිබඳව උනන්දුවක් තිබෙන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරන පිරිසට පමණක් නෙමෙයි. තවත් බොහෝ දෙනෙකු මේ දෙස බලා ඉන්නවා. ඒ නිසාම, ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ඇස්තමේන්තු වලට තිබෙන ඉල්ලුමද ලංකාවට සීමා වූ එකක් නෙමෙයි. 

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හැර, ලංකාවෙන් පිට සිටින බොහෝ දෙනෙකුට මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ලංකාවේ ආර්ථික අනාගතය වුවත්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඇතුළු ශ්‍රී ලාංකිකයින් ජනාධිපතිවරණය හා අදාළ තීරණ ගනිද්දී සලකා බලන එකම සාධකය රටේ ආර්ථික අනාගතය නෙමෙයි. එය වෙනත් ඕනෑම රටකටද පොදු, සාමාන්‍ය තත්ත්වයක්. ආර්ථික කරුණු වලට අමතරව, යහපාලනය, සමාජ සාධාරණත්වය, ජාතිකත්වයට තිබෙන තැන වැනි දේවල්ද බොහෝ ඡන්දදායකයින් විසින් සලකා බලනවා. කාලයක්ම ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණ උතුරේ පැවති සිවිල් යුද්ධයයි. බංග්ලාදේශයේ කැරැල්ලට හේතු වූයේ ආර්ථික සාධක නෙමෙයි.

යහපාලනය, සමාජ සාධාරණත්වය වැනි දේවල් ගැනද කතා කළත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් අවධාරණය කරන්නේ රටේ කෙටිකාලීන ආර්ථික ස්ථාවරත්වය හා දිගුකාලීන වර්ධනය පිළිබඳවයි. එයට සාපේක්ෂව, ආර්ථික කරුණු වලින් බැහැර වී නැතත්, මාලිමා කඳවුර ප්‍රමුඛ කරුණු ලෙස ඉදිරිපත් කරන්නේ යහපාලනය හා සමාජ සාධාරණත්වයයි. රනිල් වටා පෙළ ගැසෙන්නේ කෙටිකාලීන ආර්ථික ස්ථාවරත්වයට වැඩි බරක් තබන අයයි. මාලිමා කඳවුර වටා පෙළ ගැසෙන්නේ යහපාලනය හා සමාජ සාධාරණත්වය කෙරෙහි වැඩි බරක් තබන අයයි.

ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුව දැනට ඉදිරියෙන් සිටින සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සිටින්නේ ඔය අන්ත දෙක අතර රනිල්ගේ අන්තයට වඩා ආසන්න තැනකයි. ඇත්තටම කියනවානම්, මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබෙන දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් මුල සිටම පෙනී සිටියේ සමගි ජන බලවේගයයි. එයින් පැහැදිලි ලෙසම බැහැරව සිටි පොහොට්ටු කඳවුර ඒ තැන සිට දැන් සිටින තැනට තල්ලු වුනේ ඔවුන්ගේ විකල්ප වැඩ පිළිවෙළ අසාර්ථක වී ආර්ථිකය කඩා වැටීමෙන් පසුවයි. 

පොහොට්ටු කඳවුර දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩපිළිවෙළ වෙත මාරු වුනේ රනිල් වික්‍රමසිංහ අගමැති වීමට පෙරයි. නන්දලාල් වීරසිංහ හා මහින්ද සිරිවර්ධන එම තනතුරු වලට පත් කළේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි. යම් හෙයකින් අරගලයෙන් පසුව විකල්ප ඉතිහාසයක් ලියැවුනද, මේ තනතුරු වෙනස් නොවිය හැකිව තිබුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසුව මෙම වැඩ පිළිවෙළ තමන්ගේ කරගෙන මහත් ජවයකින් එය ඉදිරියට ගෙන ගියා. සිදු වූ ප්‍රධාන වෙනස එයයි.

රටේ ජනතාවගේ පැත්තෙන් මේ මොහොතේදී රනිල් වික්‍රමසිංහගෙන්, සජිත් ප්‍රේමදාසගෙන් මෙන්ම පොහොට්ටු අපේක්ෂකයෙකුගෙන්ද අඩු වැඩි වශයෙන් දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ නියෝජනය වෙනවා. ඒ නිසා, මේ ඕනෑම අපේක්ෂයෙකුට තිබෙන කැමැත්තෙන් පිළිබිඹු වන්නේ රටේ ආර්ථිකය නැවත කඩා නොවැටී ස්ථායී ලෙස පවතිනු දකින්නට තිබෙන කැමැත්තයි. ඊට අමතරව මාලිමා කඳවුර විසින්ද සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙන් බැහැර වන බවක් කියා නැහැ. ඒ සඳහා එම කඳවුරට ඇති හැකියාව හා කැපවීම නිසියාකාරයෙන් පෙන්වීමට ඔවුන් තවමත් අසමත්ව ඇතත්, එය බොහෝ දුරට මාලිමා කඳවුරෙන් පිටත සිටින අයගේ ප්‍රශ්නයක් මිසක් කඳවුර තුළ සිටින අයගේ ප්‍රශ්නයක් නෙමෙයි. එම කඳවුර තුළ සිටින අයද අනෙක් පිරිස් මෙන්ම රටේ ආර්ථික ස්ථායීතාවය අපේක්ෂා කරන අයයි. ප්‍රධාන වෙනස ඔවුන් තමන්ගේ නියෝජිතයින් පිළිබඳව තිබෙන විශ්වාසය මත පමණක් පදනම්ව එසේ අපේක්ෂා කිරීමයි.

කෙසේ වුවත්, මේ මොහොතේ අවධාරණය කළ යුතු කරුණ වන්නේ ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුව දැනට ජනාධිපති තරඟය තුළ ඉදිරියෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස බවයි. සජිත් ප්‍රේමදාස ලංකාවේ නවවන ජනාධිපති වුවහොත්, දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ නවවන්නේ කොහොමද?

මෙතෙක් ලබාගෙන ඇති සාර්ථකත්වයේ උදවුවෙන්, ලංකාවේ නවවන ජනාධිපතිට දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ නවවන්නට සුළු අවකාශයක් ඉතිරි වී ඇතත්, සුරංගනා කතා කියා රටේ ජනතාව නලවමින් නලවන ජනාධිපති කෙනෙකු වීමේ ඉඩක් තව දුරටත් ඉතිරි වී නැහැ. ඒ නිසා, සජබ ආර්ථික ප්‍රතිපත්තිය වඩා නිරවුල් ලෙස ඉදිරිපත් කිරීම ඡන්දදායකයින්ගේ පැත්තෙන් වගේම රටේ ආර්ථික ස්ථායීතාවය පැත්තෙන් වුනත් වැදගත්.

සජබ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව දැනට තිබෙන නිශ්චිත ලියැවිල්ල වසර කිහිපයකට පෙර හර්ෂ ද සිල්වා විසින් පිළියෙළ කළ ලියැවිල්ලයි. එය කබීර් හෂීම් හා එරාන් වික්‍රමසිංහ සමඟ එකතුව, තවත් විශාල පිරිසකගේ අදහස්ද ලබා ගෙන සකස් කරනු ලැබූ සහ සජිත් ප්‍රේමදාසගේ හා පක්ෂයේ අනුමැතිය ලැබූ ලියැවිල්ලක්. කෙසේ වුවත්, එය ආර්ථික අර්බුදය හමුවේ කෙටිකාලීනව ගත යුතු පියවර විස්තර කෙරුණු ලියැවිල්ලක් මිසක් එතැනින් එහාට යන ලියැවිල්ලක් නෙමෙයි.

ඉහත ලියැවිල්ලේ සඳහන්ව තිබුණු දේ සහ පසුගිය දෙවසර තුළ සිදු වූ දේ අතර ලොකු වෙනසක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත්, ආර්ථිකය කෙටිකාලීනව ස්ථායී කර ගැනීම පිණිස සජබ විසින් යෝජනා කර තිබුණු පියවර මේ වෙද්දී ක්‍රියාත්මක කර අවසන්. ඒ නිසා, ඒ ලියැවිල්ල නිරවුල් හා නිවැරදි ලියැවිල්ලක් වුවත්, මේ වෙද්දී කල් ඉකුත් වූ ලියැවිල්ලක්. මේ අනුව, සජබ බලයට පත් වී ඉදිරියේදී කරන්නට අපේක්ෂා කරන වෙනස්කම් පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබෙනවා. 

ප්‍රකාශිත කරුණු අනුව සහ සජබ සමඟ සිටින බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන් අනුව, සජබ යම් බදු අඩු කිරීමක් කරන්නට ඉඩ තිබෙනවා. මේ වන විටද රජය බදු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ නංවාගෙන තිබෙන අතර, වාහන ආනයන වලට ඉඩ ලැබෙද්දී වැඩි අපහසුවක් නොමැතිව රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා යාමේ හැකියාවක් පෙනෙන්නට තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ, පොලී අනුපාතික පහළ මට්ටමක පැවතියහොත්, රාජ්‍ය ආදායම් ඉලක්ක නොගිලිහෙන පරිදි බදු අනුපාතික යම් තරමකින් අඩු කිරීම නොකළ හැක්කක් නෙමෙයි. මේ හා අදාළ සජබ ප්‍රතිපත්තිය නිශ්චිත ලෙස ඉදිරිපත් කරන්නේනම්, වෙළඳපොළ පොලී අනුපාතික මත එයින් යම් සාධනීය බලපෑමක් සිදු විය හැකියි.

Saturday, March 23, 2024

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා. ඇතැම් ඉලක්ක අපේක්ෂා කළාටත් වඩා හොඳින් ළඟා කර ගෙන තිබෙනවා.

මෙම වැඩ සටහනේ ප්‍රධානම ප්‍රමාණාත්මක ඉලක්ක වුනේ පහත ඒවායි. 

රජයේ ප්‍රාථමික අයවැය ශේෂය: මෙය 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 209ක හිඟයක් විය හැකි අතර එම හිඟය ඊට වඩා වැඩි නොවිය යුතුයි. රජය විසින් 2023 නොවැම්බර් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 331ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. වසර අවසාන වන විටද ප්‍රාථමික අතිරික්තයක් පැවතී ඇති බව පැහැදිලියි. 

ශුද්ධ විදේශ සංචිත: 2023 වසර අවසාන වන විට ඩොලර් මිලියන 1,592ක හිඟයක් පැවතිය හැකි අතර එම හිඟය ඊට වඩා වැඩි නොවිය යුතුයි. මෙම ඉලක්කයට ගොස් ඇති බව පෙනෙනවා. 

මහ බැංකුවෙන් රජයට ලබා දී ඇති ණය ප්‍රමාණය: මෙය 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 2,740ට නොවැඩි විය යුතුයි. වසර අවසානයේදී මෙම අගය රුපියල් බිලියන 2,376 දක්වා අඩු වී තිබෙනවා.

උද්ධමනය: මෙය 2023 දෙසැම්බර් මාසයේදී 12%-18% අතර පැවතිය යුතුයි. වසර අවසාන වන විට උද්ධමනය 4% දක්වා අඩු වී තිබුණා.

රජයේ බදු ආදායම: 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 2,940ට වඩා වැඩි විය යුතුයි. නොවැම්බර් අවසානය වන විට රජයේ බදු ආදායම රුපියල් බිලියන 2,512ක්. ඒ අනුව, දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 428ක් එකතු කර ගත යුතුව තිබුණා. මෙම ඉලක්කයට ගොස් ඇති බව පෙනෙනවා. 

සමාජ වියදම්: 2023 වසර අවසාන වන විට අවම වශයෙන් රුපියල් බිලියන 187ක සමාජ වියදම් වැය කර තිබිය යුතුයි. වසර අවසන් වෙද්දී රජය විසින් මෙම මුදල වියදම් කර නැහැ. 

මේ අනුව පෙනෙන පරිදි, රජයේ බදු ආදායම් ඉලක්කය ලඟා කර ගෙන ඇති බව පෙනෙන නමුත් එය ලඟා කරගෙන තිබෙන්නේ යාන්තමින් බවයි පෙනෙන්නේ. එසේ නොවීනම්, වසර අවසන් වීමට ආසන්නව නැවත වරක් වැට් බදු අනුපාතය වැඩි කරන්න හේතුවක් නැහැ.

මේ අනුව, ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙන්නේ ඉලක්කයට වඩා ආදායම් වැඩි කර ගැනීමෙන් නොව, යාන්තම් ආදායම් ඉලක්කයට යමින් රජයේ වියදම් දැඩි දෙස සීමා කිරීම මගිනුයි. සමාජ වියදම් ඉලක්කය මග හැරීමෙන් පෙනෙන්නේද එසේ වියදම් දැඩි ලෙස සීමා කර ඇති බවයි. 

මේ ආකාරයෙන් ඉලක්කයට වඩා අරමුදල් ඉතිරි කර ගැනීම නිසා මහ බැංකුවේ ණය වලින් අවශ්‍ය ඉලක්කයට වඩා සැලකිය යුතු කොටසක් ගෙවා දමන්නට රජයට හැකි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුවට සංචිත මුදල් වැඩි නොකර විදේශ සංචිත ඉලක්කයට යා හැකි වී තිබෙනවා. උද්ධමනය ඉලක්කයට වඩා විශාල ලෙස පහත වැටීම මෙහි ප්‍රතිඵලයයි. 

උද්ධමන ඉලක්කය කරා කලින්ම පැමිණ ඇති නිසා දැන් මහ බැංකුවට හා රජයට ආර්ථික වර්ධනය ගැන කලින්ම හිතන්නට ඉඩක් ලැබී තිබෙනවා. ඒ වගේම, උද්ධමනය ප්‍රශ්නයක් කර නොගෙන රජයේ වියදම් යම් පමණකින් වැඩි කිරීමටද අවකාශයක් ලැබී තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන ඉදිරිපත් වූ කාලයේ ඇතැම් අය ලෝකය පුරා රටවල් පීරමින් අරමුදලේ වැඩ සටහන් අසාර්ථක වූ තැන් හොයන්නට පුදුම මහන්සියක් ගත්තා. එසේ කළේ එම වැඩ සටහන් සාර්ථක වීම පිළිබඳව නිදර්ශන 16ක් ලංකාවේම තිබියදී. දැන් එම 16ට තවත් එකක් එකතු වී තිබෙනවා. මෙවර ගොඩ පැමිණ ඇත්තේ පෙර අවස්ථා වල පැවති මට්ටමේ සරල ගෙවුම් ශේෂ අර්බුදයකින් නෙමෙයි. ගෙවුම් ශේෂ අර්බුදය හා බැඳුණු දැවැන්ත විදේශ ණය අර්බුදයකින්. අර්බුදය අවසන්ව නැතත් එහි අසීරුම මුල් අදියර දැන් අවසන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනක් කියන්නේ කෝකටත් තෛලයක් හෝ සර්ව සම්පූර්ණ වැඩ පිළිවෙලක් නෙමෙයි. නමුත් ලංකාව "දේශීය විසඳුම්" වලින් රටේ ආර්ථිකය බොරු වලවල් වලට වට්ටවා ගත් හැම විටකම එම වැඩ සටහන් වල උදවුවෙන් රට ගොඩ ගිහින් තිබෙනවා. මෙන් පෙර කිසිම අවස්ථාවක රට ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වුනේ නැහැ. අරමුදලේ වැඩසටහනකට වසරකට පමණ කලින් ගියානම් මෙවරද මේ තරම් විනාශයක් සිදු වන්නේ නැහැ.

පෙර 16 වරම අරමුදලේ උදවුවෙන් ගොඩ ගිය ආර්ථිකය නැවත නැවත අර්බුදයට ගියේ යාන්තම් ගොඩ එද්දී එම වැඩ පිළිවෙළින් පිට පැනපු නිසා. මෙවරත් එවැන්නක් වෙන්න පුළුවන්. එසේ නැවත පිට පැන්නොත් මුහුණ දෙන්න වෙන්නේ කලින් මුහුණ දුන්නාට වඩා උග්‍ර ආර්ථික අර්බුදයකටයි. 

Sunday, December 24, 2023

ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය

ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් හැදුවා. මේ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව අරමුදලේ වැඩ සටහන් කාලය අවසන් වෙද්දී රටේ ආර්ථිකය නැවත ස්ථාවර වෙනවා. නමුත්, ඒ සඳහා වැඩසටහනේ ඉලක්ක වලට හරි වෙලාවට යා යුතුයි. මේ දක්වා තත්ත්වය දිහා ආපසු හැරී බැලුවොත්, යන පාර නිවැරදි වුනත්, හැම දෙයක්ම හරියටම වෙලා නැති බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි.

ඇතැම් පාර්ශ්ව විසින් මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඒ හා අදාළ සාරාංශයක් ප්‍රසිද්ධ කරනවා. මෙය ඉතාම හොඳ කටයුත්තක්. ඒ වුනත්, අප මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය දෙස බලන්නේ 46/73 = 63% වගේ සරල ආකාරයකට නෙමෙයි. මොකද සමහර දේවල් ඒ විදිහටම සිදු නොවුනා හෝ ටිකක් පරක්කු වුනා කියලා සමස්ත වැඩපිළිවෙළට ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත්, වැඩපිළිවෙළේ ප්‍රධාන කුළුණක් කලට වෙලාවට හදාගන්න බැරි වුනොත්, අනෙක් මොන දේ වෙලා තිබුණත්, වැඩපිළිවෙළ සාර්ථක වෙන්නේ නැහැ. 

මේ වැඩපිළිවෙළ යෝජනා වූ මුල් අවස්ථාවේදීම අප විසින් එය ක්‍රියාත්මක කිරීම හා අදාළ මූලික අභියෝග හතරක් හඳුනාගෙන ඒවා විස්තර කළා. ඒ අතරින් දෙකක් ක්ෂණිකව කළ යුතු වූ, කෙටිකාලීන දේවල්. ඉතිරි දෙක මැදිකාලීනව, හරියටම කිවුවොත් වැඩසටහන් කාලය තුළ, සිදු විය යුතු දේවල්. මේ අභියෝග හතර සහ එම අභියෝග ජයගැනීමේ ප්‍රගතිය ගැන අප විසින් ඉන් පසුවද වරින් වර කතා කර තිබෙනවා. මෙය මේ සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සහ විශ්ලේෂනාත්මක විග්‍රහයක්.

මුලින්ම අප විසින් හඳුනා ගත් අභියෝග හතර ගැන නැවත මතක් කරන්නම්. පළමුවැන්න ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය හරහා 2023 වසර අවසාන වෙද්දී ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ලඟා කර ගැනීම. දෙවැන්න විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු අනෙක් දේවල් මගින් 2023 වසර අවසාන වෙද්දී ජංගම ගිණුම් ශේෂ ඉලක්කය ලඟා කර ගැනීම. මේ දෙක ක්ෂණිකව කළ යුතු වූ කෙටිකාලීන දේවල්. තුන්වැන්න, වැඩ සටහන් කාලය අවසන් වෙද්දී ආදායම් වැඩි කරගෙන තිරසාර ලෙස ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය පවත්වා ගනිමින්, ආර්ථික වර්ධනය හා අත්‍යවශ්‍ය සුබසාධනය පවත්වා ගත හැකි මට්ටමක රාජ්‍ය වියදම්ද පවත්වා ගැනීම. හතරවැන්න, අපනයන ආදායම් වැඩි කර ගෙන, ආනයන සීමා නොකරමින්, තිරසාර ලෙස ජංගම ගිණුම් ශේෂ ඉලක්කය පවත්වා ගැනීම.

මේ ඉලක්ක හතර හරහා කරන්න උත්සාහ කරන්නේ ලංකාවේ ආර්ථිකයේ නිදන්ගත රෝග දෙක වන අයවැය හිඟය සහ ජංගම ගිණුම් හිඟය කියන ප්‍රශ්න දෙකට දිගුකාලීනව විසඳුම් සපයමින් ඒ හරහා දිගුකාලීනව රටේ ආර්ථික ස්ථායීතාවය ඇති කරන එකයි. කෙටිකාලීන ඉලක්ක දෙක ළඟා කර ගැනීම මගින් රට වැටී සිටි තැනින් එළියට පැමිණීමට අවකාශ සැලසෙනවා. නමුත්, එය සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර ආයතන වල වගේම විදේශ ණය හිමියන්ගේද උදවුවෙන්. 

ඉහත පරිදි කී පරිදි ක්ෂණික ක්‍රියාමාර්ග මගින් දැනට ප්‍රශ්නය විසඳා ගැනීම මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබා ගත් අවස්ථාවන්ගෙන් ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන්නේ මේ වෙලාවේ එම අරමුදලට අමතරව ණය හිමියන් ඇතුළු වෙනත් පාර්ශ්ව වල මැදිහත්වීමක්ද අවශ්‍ය වීම යන කරුණ මතයි. ප්‍රශ්නය බාහිර උදවු නැතුව තනිව විසඳා ගත නොහැකි වීම යන කරුණ හා අදාළව මේ අවස්ථාව මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය අවස්ථා වලට සමානයි. නමුත්, මෙවර අරමුදලේ උදවුවෙන් පමණක් ගොඩ යන්න බැරි වුනා කියන්නේ නැවත වරක් පරණ චක්‍රයේම යාම තවදුරටත් විසඳුමක් නෙමෙයි කියන එක. ආර්ථිකය නැවත වරක් අස්ථාවර වුවහොත් එය සමතුලිත වෙන්නේ මෙවර හානිය මෙන් කිහිප ගුණයක හානියක් සිදු වීමෙන් පසුවයි.

මෙවැනි තත්ත්වයක් වලක්වා ගනිමින්, නැවත 17 වන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් තනිව ආර්ථිකය ස්ථාවරව පවත්වා ගත හැකි තත්ත්වයක් ගැන හිතන්නනම්, කෙටිකාලීන ඉලක්ක දෙකෙන් පසුව, දැනට අවම වශයෙන් ඉහත කී මැදිකාලීන ඉලක්ක දෙකද ලඟා කර ගෙන ඉන් පසු ඒ තත්ත්වය දිගටම පවත්වා ගන්න වෙනවා. ඒ මාර්ගයේ යමින්, රටේ ආර්ථිකය යම් අවම මට්ටමක් දක්වා ඔසොවා ගන්නා තෙක් කාලය අතරතුර විශාල බාහිර කම්පනයක් නොපැමිණියහොත්, මේ පාරේ යමින් නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු අවශ්‍ය වන තත්ත්වයක් ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. 

මේ කරුණු හතරෙන් එක් එක් කරුණ ගැන වෙන වෙනම විස්තරාත්මකව විමසා බැලීමට අවශ්‍ය වුවත්, තනි ලිපියකින් එය කිරීම අසීරුයි. ඒ නිසා, මෙම ලිපිය අපි ඉහත ඉලක්ක කරුණු හතරෙන් පළමුවැන්න වන කෙටිකාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්කයට සීමා කරමු.

මෙම කෙටිකාලීන රාජ්‍යමූල්‍ය ඉලක්කය හඹා යාමේදී වූ ප්‍රධාන අභියෝගය රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය සඳහා දේශපාලනිකව කරන්නට අසීරු බදු වැඩි කිරීම, ඉන්ධන හා විදුලි ගාස්තු ගැලපීම වැනි දේ කළ යුතු වීමයි. සියයට සියයක්ම ඉලක්ක වලට ගොස් නැතත්, රජය විසින් මේ වන විට මේ අභියෝගය බොහෝ දුරට ජයගෙන තිබෙනවා. 

වැඩ සටහනේ ආරම්භයට පෙර, 2022 වසර තුළ, රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 895ක්. වැඩසටහනේ ඉලක්ක අනුව, 2023 වසර තුළ මෙම හිඟය රුපියල් බිලියන 209 දක්වා අඩු විය යුතුයි. මේ සඳහා, රාජ්‍ය ආදායම් දදේනියෙන් 11.0% මට්ටම දක්වා වැඩි කර ගන්නා අතර පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් 11.7% මට්ටමේ පවත්වා ගත යුතුයි. එවිට, ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 0.7% මට්ටමට සීමා වෙනවා. 2022දී රාජ්‍ය ආදායම් පැවතුණේ දදේනියෙන් 8.5% මට්ටමේ. පොලී ගෙවීම් හැර වියදම් දදේනියෙන් 12.3% මට්ටමේ. ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 3.8%ක් වුනා. ඒ එම වසර තුළද යම් රාජ්‍යමූල්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව. ඊට පෙර, 2021 වසරේදී ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 5.7%ක්. කෙටිකාලයක් තුළ ප්‍රාථමික අයවැය හිඟය මේ මට්ටමින් අඩු කර ගැනීමේ විශාල අභියෝගයක් තිබෙනවා. 

අරමුදල විසින් ඉහත ඉලක්ක සකස් කරන අවස්ථාවේදී 2023 වසරේ ලංකාවේ දදේනිය රුපියල් බිලියන 29,852ක් කියලයි ඇස්තමේන්තු කර තිබුණේ. 2021 හා 2022 දෙවසර තුළ බදු වැඩි කිරීම් නොකළේනම්, 2023 රාජ්‍ය ආදායම මෙම අගයෙන් 6.8%ක් පමණක් වනු ඇති බව ඔවුන් ගණන් හදා තිබුණා. නමුත්, 2021 බදු වැඩි කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම අගය 1.0කින්ද, 2022 බදු යෝජනා ක්‍රියාත්මක වෙද්දී තවත් 3.3%කින්ද ඉහළ ගොස්, මහ බැංකුව ස්වාධීන කිරීම නිසා මහ බැංකුවේ ලාබ වලින් රජයට ලැබෙන ආදායම (දදේනියෙන් 0.1%ක්) අඩු වීමෙන් පසු 2023 රාජ්‍ය ආදායම දදේනියෙන් 11.0% දක්වා ඉහළ යනු ඇති බව අරමුදලේ ඇස්තමේන්තුව වුනා. 2025 සිට පැනවිය යුතු වූ වත්කම් හා ධන බදු හැර 2023 හා 2024 වසර වලදී වෙනත් බදු පැනවීමක් හෝ බදු වැඩි කිරීමක් මෙම වැඩපිළිවෙළ තුළ යෝජනා වී තිබුණේ නැහැ. නිශ්චිත කරුණක් ලෙස, 15% මට්ටමේ වූ වැට් බද්ද 18% කිරීමක් ආරම්භක යෝජනා අතර තිබුණේ නැහැ. 

මේ විදිහට රාජ්‍ය ආදායම් ඉහළ යාමෙන් පසුව 2023 රාජ්‍ය ආදායම රුපියල් 3,280 ලෙස ගණන් බලා තිබුණා. එම මුදල ඇස්තමේන්තුගත දදේනිය වූ රුපියල් බිලියන 29,852න් 11.0%ක්. පොලී ගෙවීම් හැර වියදම රුපියල් බිලියන 3,483ක්. ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 209ක්. 

කොහොම වුනත්, ඉහත දදේනි ඇස්තමේන්තුව සකස් කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් උපකල්පනය කර තිබුණේ 2023 මූර්ත ආර්ථික වර්ධනය සෘණ 3.0 හා දදේනි අවධමනකය අනුව සාමාන්‍ය වාර්ෂික උද්ධමනය 30.0 ලෙස පවතිනු ඇති නිසා නාමික ආර්ථික වර්ධනය 26.0%ක් වනු ඇති බවයි. නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියෙන් හා වේගයෙන් උද්ධමනය අඩු වූ නිසා නාමික දදේනිය ඔවුන් මුලින් ඇස්තමේන්තු කළ මට්ටමට යන්නේ නැහැ. මේ අනුව, පළමු විමර්ශනය කරද්දී ඔවුන් ඔවුන්ගේ දදේනි ඇස්තමේන්තුව රුපියල් බිලියන 28,033 දක්වා පහත හෙළා තිබෙනවා. 

දදේනි ඇස්තමේන්තුව අඩු වෙද්දී එයින් 11.0% කියන එකත් අඩු වන නිසා රාජ්‍ය ආදායම් ඉලක්කයත් අඩු වෙනවා. ඒ වගේම, රාජ්‍ය වියදම් හා ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කත් අඩු වෙනවා. 

මේ (2023) වසරේ දදේනිය ඇත්තටම කොපමණ වෙයිද?

මේ වෙද්දී, මෙම (2023) වසරේ පළමු කාර්තු තුනේ දදේනි ඇස්තමේන්තු ප්‍රකාශයට පත් වී අවසන්. එම ඇස්තමේන්තු සලකා බැලීමෙන් පසුව, 2023 දදේනිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංශෝධික ඇස්තමේන්තුව නිවැරදි වීමටනම් සිදුවන කාර්තුවේ නාමික ආර්ථික වර්ධනය 16.4%ක් විය යුතුයි. අපගේ අදහස වන්නේ එවැන්නක් කෙසේවත් සිදු නොවනු ඇති බවයි. 

සිවුවන කාර්තුවේ උද්ධමනය පවතිනු ඇත්තේ 2%-3% අතර මට්ටමකයි. මූර්ත ආර්ථික වර්ධනය 5%-7% අතර මට්ටමක පැවතිය හැකියි. ඒ අනුව, නාමික ආර්ථික වර්ධනය 10% ඉක්මවීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. මෙය 8%ක් පමණ විය හැකියි. මේ අනුව, අපගේ ඇස්තමේන්තුව වන්නේ 2023 දදේනිය රුපියල් බිලියන 27,500-27,600 අතර මට්ටමක පවතිනු ඇති බවයි. 

අපගේ මෙම ඇස්තමේන්තුව අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා 1.0%-1.5%කින් අඩු මට්ටමක්. ඒ වගේම, අරමුදලේ මුල් දදේනි ඇස්තමේන්තුවට සාපේක්ෂව බැලුවොත් 7.5%-8.0% අතර අඩුවීමක්. මෙහි තියෙන්නේ උද්ධමනය අරමුදලේ ඉලක්ක මට්ටමට වඩා ගොඩක් වැඩියෙන් අඩුවීමේ ප්‍රතිඵලය. 

මූර්ත වර්ධනය බැලුවොත්නම් ගොඩක් වෙලාවට අරමුදලේ ඇස්තමේන්තුව වඩා හොඳ මට්ටමක තියෙයි. අපගේ අදහස වන්නේ අරමුදලේ මුල් ඇස්තමේන්තුව වූ සෘණ 3.0%ට මෙන්ම ඊටත් වඩා නරක සංශෝධිත ඇස්තමේන්තුව වන සෘණ 3.6%ට සාපේක්ෂව, 2023 වසරේ මූර්ත ආර්ථික වර්ධනය සෘණ 2.0%-2.5% අතර පවතිනු ඇති බවයි. මෙයින් නාමික දදේනි ඇස්තමේන්තුව ඉහළ ගියත්, උද්ධමනය අඩු වීමේ බලපෑම ඊට වඩා වැඩි නිසා, එහි පෙර කී අඩුවීම සිදු වීමට නියමිතයි.

කෙසේ වුවත්, අපි දැනට අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව සමඟ ඉදිරියට යමු. 

අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව, ඉලක්කය වූ රුපියල් බිලියන 3,280ට සාපේක්ෂව, 2023 වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,847ක් පමණයි. මෙය දදේනියෙන් 10.2%ක් පමණයි. ඒ අනුව, ඉලක්කයට සාපේක්ෂ දදේනියෙන් 0.8%ක අඩුවක් තිබෙනවා. සංශෝධිත වියදම් ඇස්තමේන්තුවේද අඩුවක් තිබෙනවා. මුල් ඇස්තමේන්තුව වූ රුපියල් බිලියන 3,489ට සාපේක්ෂව පොලී ගෙවීම් හැර වියදම රුපියල් බිලියන 3,043ක් හෙවත් දදේනියෙන් 10.9%ක්. මෙහිද 0.8ක අඩු වීමක් තිබෙන නිසා ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 196ක් වී තව දුරටත් දදේනියෙන් 0.7 මට්ටමේ පවතිනු ඇති බව අරමුදලේ ඇස්තමේන්තුවයි. 

දැන් රජය විසින් නැවත වටයකින් බදු සංශෝධනයක් ගෙනත් තිබෙනවා. නිශ්චිතව කිවුවොත්, වැට් අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කරලා වැට් ගෙවිය යුතු අවම පිරිවැටුම් සීමාව වසරකට රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කරලා තිබෙනවා. මෙය මුල් වැඩසටහනේ නොතිබුණු දෙයක්. මෙවැනි තත්ත්වයක් ඇති වුනේ ඇයි කියන එක කතා කළ යුතු දෙයක් වුවත්, මෙම සංශෝධනය ක්‍රියාත්මක වන්නේ 2024 සිට නිසා මේ වසරේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු වලට මෙයින් බලපෑමක් නොවන නිසා, මේ ගැන කතා කරන එක අපි පසුවට තියමු. 

දැනට වඩා වැදගත් විමසා බැලිය යුතු කරුණ අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වලට සාපේක්ෂව රාජ්‍යමූල්‍ය තත්ත්වය කොයි වගේ වෙයිද කියන එක. මෙම ඇස්තමේන්තු වලට අනුව, 2023 වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,847ක්. වසරේ පළමු මාස නවය ඇතුළත එකතු වී තිබෙන රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,118.8ක්. ඒ කියන්නේ අරමුදලේ ඇස්තමේන්තුව හරියන්නනම්, අන්තිම මාස තුනේදී රුපියල් බිලියන 728.2ක ආදායමක් එකතු කර ගන්න සිදු වෙනවා. ඒ මාස තුනේ දදේනියේ අනුපාතයක් විදිහට මේ ආදායම 10.4%ක්. 

පෙර වසරේ තුන් වන කාර්තුවේ රාජ්‍ය ආදායමට සාපේක්ෂව 2023 වසරේ තුන් වන කාර්තුවේදී රාජ්‍ය ආදායමේ 51%ක වර්ධනයක් තිබෙනවා. අවසාන කාර්තුවේදී අවම වශයෙන් මීට සමාන වර්ධනයක් නොතිබෙන්න හේතුවක් නැහැ. එහෙම වුනොත්, හතරවන කාර්තුවේදී රුපියල් බිලියන 849ක ආදායමක් එකතු වී වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,967.8 මට්ටමට යා යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව, මෙයින් අදහස් වන්නේ මෙම 2023 වසර තුළ දදේනියෙන් 10.7%-10.8% අතර රාජ්‍ය ආදායමක් ඉලක්ක කළ හැකි බවයි. මෙය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්කය වන දදේනියෙන් 11.0% මට්ටමට වඩා අඩු වුවත්, අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන දදේනියෙන් 10.2% මට්ටමට වඩා ගොඩක් හොඳ මට්ටමක්. 

වඩා වැදගත් කරුණ වන්නේ වසරේ පළමු මාස නවය තුළ පොලී ගෙවීම් හැර රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායමට වඩා පහළින් තබා ගැනීම මගින් රුපියල් බිලියන 123.78ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන තිබීමයි. මෙය එම මාස නවයේ දදේනියෙන් 0.6%ක අතිරික්තයක්. වසර අවසාන වන විටද මෙවැනි ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම, වැඩසටහන අනුව අවශ්‍ය දෙයක් නොවෙතත්, නොකළ හැක්කක් නෙමෙයි.

රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගන්නවා යන්නෙන් අදහස් වන්නේ අදාළ කාලය තුළ රාජ්‍ය මූල්‍යනය ස්ථාවරව පැවතී ඇති බවයි. එසේනම්, නැවත වටයකින් බදු වැඩි කිරීමක් අවශ්‍ය වූයේ ඇයි?

අවසාන ඉලක්කය වන ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ගිලිහී යාමේ අවදානමක් පෙනෙන්නට නැතත්, ආදායම් ඉලක්කය මග හැරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සලු වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෙයට හේතුව වර්ෂාවසාන ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය මැදිකාලීන වැඩපිළිවෙලක පළමු පියවරක් පමණක් වීමයි. ඒ නිසා, ආදායමට ගැලපෙන සේ වියදම් ගලපාගෙන වසරේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ලඟා කර ගත්තත්, මැදිකාලීනව ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක ලඟා කර ගැනීම සඳහා දිගින් දිගටම වියදම් සීමා කරන්නට සිදු වෙනවා. එය වර්ධන ඉලක්ක කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකියි.

ආදායම් ඉලක්කය මග හැරුනේ ඇයි?

රජය විසින් කළ හැකි හැම දෙයක්ම කිසිදු අඩුපාඩුවක් නැතිව ප්‍රශස්ත ලෙස කර ඇතැයි අප නොකියන නමුත් රාජ්‍ය ආදායම් ඉලක්කය ගිලිහීම රාජ්‍ය අකාර්යක්ෂමතාවයට බැර කළ නොහැකියි. මෙයට ප්‍රධානම හේතුව උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා පහත වැටීමයි. උද්ධමනය වඩා ඉක්මණින් පහත වැටීම හොඳ දෙයක් වුවත්, බොහෝ හොඳ දේ වල මෙන්ම මෙහිද නරක පැති තිබෙනවා. රාජ්‍ය ආදායම් අඩුවීම එවැනි නරක ප්‍රතිඵලයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උද්ධමන ඉලක්කය ඉදිරියේ සටහන් තබා තිබෙන්නේ මග හැරී ගිය ඉලක්කයක් ලෙස බවද මෙහිදී සඳහන් කළ යුතුයි.

උද්ධමනය වේගයෙන් අඩු වීම රාජ්‍ය ආදායම් කෙරෙහි බලපාන්නේ කොහොමද?

වසර අවසාන වෙද්දී උද්ධමනය 15% වීනම් එයින් අදහස් වන්නේ වසර තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් 15%කින් ඉහළ ගොස් ඇති බවයි. මෙම වැඩි වීම 3% දක්වා අඩු වූ විට මිල ගණන් පවතින්නේ කලින් ඇස්තමේන්තු කළ මට්ටමට වඩා 12%ක් පහළින්. මෙය වැට් බදු ආදායම කෙරෙහි සෘජු ලෙසම බලපානවා. හරියටම කිවුවොත්, මේ හේතුව නිසා කලින් ඇස්තමේන්තු කළ වැට් බදු ආදායම 12%කින් අඩු වෙනවා. මේ ආකාරයෙන්ම සමාගම් වල පිරිවැටුම ඇස්තමේන්තුවට වඩා 12%කින් අඩු වී සමාගම් වල ආදායම් මත අය කරන බදුද අවම වශයෙන් 12%කින් අඩු වෙනවා.

කෙසේ වුවත්, උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩුවීම හේතුවෙන් නිසා මේ ආකාරයෙන් රාජ්‍ය ආදායම් අඩු වෙද්දී ඊට සමාන්තරව නාමික දදේනියද අඩු වන නිසා රුපියල් අගයක් ලෙස මිස දදේනිහි අනුපාතයක් ලෙස රාජ්‍ය ආදායම් අඩු වෙන්නේ නැහැ. එහෙමනම්, 11.0% ඉලක්කය 10.7% පමණ දක්වා පහත වැටෙන්නේ කොහොමද?

මෙයට හේතුව උද්ධමනයේ බලපෑම බදු පදනම කෙරෙහිද බලපෑමයි. එය එසේ සිදු වන්නේ වැට් වැනි බදු වල බදු පදනම තීරණය වන්නේ අවම පිරිවැටුම් අගයක් මත නිසායි. මෑතකාලීන බදු සංශෝධනයට පෙර මෙම අවම අගය වූයේ වසරකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක්. වර්ෂාවසාන උද්ධමන අගය 15%ක් වීනම් මෙම සීමාව ඉක්මවිය හැකිව තිබුණු ව්‍යාපාර ගණනාවක පිරිවැටුම උද්ධමන අගය 3%ක් පමණ වෙද්දී රුපියල් මිලියන 80 සීමාවට පහළින් නවතිනවා. ඒ නිසා, එවැනි ව්‍යාපාර වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු නැහැ. මේ හේතුව නිසා, දදේනි අනුපාතයක් ලෙසද රාජ්‍ය ආදායම් පහත වැටෙනවා.

මෙයට විසඳුම, දැන් කර ඇති පරිදි, වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු අවම පිරිවැටුම් අගය පහළට ගෙන ඒමයි. ඇතැම් විට මුලින්ම එවැන්නක් කළේනම් වැට් බදු අනුපාතය 18% දක්වා වැඩි නොකරම දදේනියෙන් 11.0%ක් වූ මුල් රාජ්‍ය ආදායම් ඉලක්කය කරා යා හැකිව තිබුණු බව අපගේ අදහසයි. වැට් බදු අනුපාතය 18% දක්වා වැඩි කිරීම නිසා උද්ධමනය මත උඩුකුරු තෙරපුමක් ඇති වී නාමික දදේනියද ප්‍රසාරණය වන නිසා දදේනියේ අනුපාතයක් ලෙස ගත් විට රාජ්‍ය ආදායම්හි ලොකු වැඩි වීමක් වෙන්නේ නැහැ. රුපියල් අගය වැඩිවීමේ වාසිය දදේනි වැඩිවීම මගින් නිශේධනය වෙනවා. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ආදායම් ඉහළ ගියහොත් එයට වැඩිපුර දායකත්වය සපයන්නේ වැට් බදු අනුපාතය ඉහළ දැමීම නොව, ලියාපදිංචි විය යුතු අවම පිරිවැටුම් අගය පහත දැමීමයි. 

මෙතෙක් අප කතා කළේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ අභියෝග හතරෙන් පළමුවැන්න හා අදාළ ප්‍රගතිය පිළිබඳවයි. ඉතිරි අභියෝග තුනේ ප්‍රගතිය ගැන කතා කිරීම පසුවට තබා මෙම කරුණු සාරාංශගත කළහොත්, අපගේ ඇස්තමේන්තුව වනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන 10.2% ඉක්මවමින් මෙම වසර අවසන් වන විට දදේනියෙන් 10.7%කට ආසන්න රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට රජය සමත් වනු ඇති බවයි. එමෙන්ම, වර්ෂාවසාන උද්ධමනය අගය අරමුදලේ ඉලක්කය වූ 15% මට්ටමේ පැවතියේනම් 11.0% ඉලක්කය ලඟා කර කර ගත හැකිව තිබුණු බවයි. ඒ අනුව, මේ නිශ්චිත කාරණයේදී කාර්ය සාධනයේ දුර්වත්වය ගැන රජයට චෝදනා කිරීමේ හැකියාවක් අපට පෙනෙන්නට නැහැ. 

කෙසේ වුවත්, උද්ධමනය අඩුවීම දැන් සිදු වී අවසන් නිසා මේ වසර අවසානයේදී 11.0% රාජ්‍ය ආදායම් ඉලක්කයට යා නොහැකියි. එසේ වුවද, රාජ්‍ය වියදම් සීමා කර ගැනීම මගින් ඉලක්කගත ප්‍රාථමික අයවැය හිඟයට වඩා අඩු හිඟයක් හෝ ප්‍රාථමික අයවැය අතිරික්තයක් වසර අවසාන වෙද්දී වාර්තා වීමේ ඉඩක් අපට පෙනී යන බැවින් සමස්තයක් ලෙස ගත් විට මෙම පළමු අභියෝගය රජය විසින් සාර්ථක ලෙස ජයගෙන ඇති බව සැලකීමේ වරදක් අපට පෙනෙන්නට නැහැ. 

Friday, December 22, 2023

සතියක් තුළ ඩොලර් මිලියන 787ක්!


දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබී තිබෙනවා. ඒ පහත ආකාරයෙනුයි.

දෙසැම්බර් 14 - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 337ක්.

දෙසැම්බර් 15 - ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්.

දෙසැම්බර් 20 - ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්.

එකතුව - ඩොලර් මිලියන 787ක්.

ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ලැබුණු ඉහත අරමුදල් මීට පෙර ලැබිය යුතුව තිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ප්‍රමාද වීම නිසා එයින් අනතුරුව ලැබෙන්නට නියමිතව තිබුණු ඉහත අරමුදල් වාරික දෙක නිදහස් කිරීමද ප්‍රමාද වුනා. කෙසේ වුවත්, අරමුදලේ දෙවන වාරිකය නිදහස් කරනු ලැබීමෙන් පසුව, මෙම අරමුදල් ශ්‍රී ලංකා රජය වෙත ක්ෂණිකවම මෙන් ලැබී තිබෙනවා.

නොවැම්බර් අවසාන වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය පැවතුනේ ඩොලර් මිලියන 3,584 මට්ටමේ. එම ප්‍රමාණයට ඩොලර් මිලියන 787ක් එකතු වුවහොත්, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,371 දක්වා ඉහළ යනවා. මීට අමතරව, සාමාන්‍යයෙන් ශ්‍රමික ප්‍රේෂණ වැඩියෙන් රටට එන මාසයක් වන දෙසැම්බර් මාසයේදී වෙළඳපොළෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 100ක් වත් මිල දී ගැනීමේ හැකියාවක්ද තිබෙනවා. මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 108ක් හා නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 117ක් මිල දී ගෙන තිබීම සැලකූ විට දෙසැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 100 ඉක්මවා මිල දී ගැනීම පහසු ඉලක්කයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබුණු ඉලක්කය අනුව, 2023 අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,431 දක්වා වර්ධනය කර ගත යුතුව තිබුණත්, දෙවන වාරිකය ලබා දෙන අවස්ථාවේදී ඔවුන්ගේ ඇස්තමේන්තුව වූයේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි.  

දැන් තත්ත්වය අනුව, වසර අවසාන වන විට රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් ඇස්තමේන්තුව වන ඩොලර් මිලියන 3,806 ඉක්මවා මුලින් ලබා දුන් ඉලක්කය කිට්ටුවට යාමට ඉඩ තිබෙනවා. ඒ සඳහා, කළ යුතු වන්නේ ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදල සංචිත වලට එකතු කරගෙන තවත් ඩොලර් මිලියන 60ක් වෙළඳපොළෙන් මිල දී ගැනීම පමණයි.

Tuesday, December 12, 2023

IMF දෙවන වාරිකය නිදහස් කරයි!


අද (දෙසැම්බර් 12) දින පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව හා අදාළ ස්ථායිකරණ වැඩ පිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ඩොලර් මිලියන 337ක් වන දෙවන වාරිකය නිදහස් කර තිබෙනවා.

මෙම සමාලෝචනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ණය තිරසාරත්වය නැවත ඇති කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම, විදේශ සංචිත වර්ධනය කරගැනීම, උද්ධමනය පහත හෙළීම හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සම්බන්ධව බලධාරීන් විසින් සිදු කර ඇති කාර්ය භාරය අගය කර තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ලංකාව අරමුදලේ ක්‍රමවේද අනුගමනය කරමින් රාජ්‍ය පාලනයේ අඩුපාඩු හඳුනා ගෙන වාර්තාවක් නිකුත් කර ඇති (Governance diagnostic report) පළමු ආසියාතික රට බවට පත් වීම ගැනද විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.
අරමුදලේ නිවේදනය අනුව වර්ෂාවසාන සංචිත ඉලක්කය ලෙස සටහන්ව ඇත්තේ ඩොලර් මිලියන 3,806ක මුදලක්. මෙම මුදල මුල් ඉලක්කය වූ ඩොලර් මිලියන 4,431ට වඩා අඩු, අපහසුවකින් තොරව ලඟා කර ගත හැකි ඉලක්කයක්. නොවැම්බර් මාසය අවසානයේදී පැවති නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 3,584ට අරමුදලේ ඩොලර් මිලියන 337ක මුදල එකතු වූ විට ඉහත ඉලක්කය පහසුවෙන්ම ඉක්මවා යනවා.

Thursday, December 7, 2023

නිල විදේශ සංචිත - නොවැම්බර් 2023


නොවැම්බර් මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,584 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 83ක් හා ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 108ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර නොවැම්බර් මාසය තුළද විදේශ සංචිත ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ එම මාසය තුළද යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති බවයි. 

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 1,705 දක්වා පහත වැටී තිබුණු අතර 2023 ජූලි වන විට ඩොලර් මිලියන 3,765 දක්වා වර්ධනය කර ගැනුණා. එහෙත්, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමෙන් පසුව ආසන්න වශයෙන් එපමණකින් පහත වැටුණා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, 2023 අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,431 දක්වා වර්ධනය කර ගත යුතුයි. මේ සඳහා මෙම මාසය තුළ ඩොලර් මිලියන 847ක සංචිත එකතු කර ගත යුතුයි. ඉදිරි සතිය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබුණද, ඉලක්කයට යාම සඳහා තවත් ඩොලර් මිලියන 500ක් පමණ සොයා ගන්නට වෙනවා. ඇතැම් විට ආසියානු සංවර්ධන බැංකුවේ ණයකින් එම අඩුව පුරවා ගැනීම සැලසුම විය හැකියි. 

වෙබ් ලිපිනය: