ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන විමර්ශනය මේ වන විට අවසන්ව ඇති අතර ඒ මත පදනම්ව නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවයක් පසුව අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීම සාමාන්‍ය තත්ත්වයයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟතා ඇති කරගන්නේ සහ ගිවිසුම්ගත වන්නේ ශ්‍රී ලංකා රජය සමඟ මිස රනිල් වික්‍රමසිංහ හෝ අනුර කුමාර දිසානායක සමඟ නෙමෙයි. එහෙත් මෙවැනි එකඟතාවයකදී රටේ දේශපාලන අධිකාරිය සිටින ස්ථාවරය ඉතා වැදගත්.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මුලින්ම ගිවිසුම්ගත වෙද්දී රටේ රාජ්‍ය නායකයාව සිටියේ රනිල් වික්‍රමසිංහයි. මේ හා අදාළව, විශේෂයෙන්ම විපක්ෂ කණ්ඩායම් වල, විවේචනයක් වූයේ රට වෙනුවෙන් මෙම ගිවිසුමට එළැඹෙන්නේ ජනමතයක් නොමැති ආණ්ඩුවක් බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ අතර ඉන් පසුව පැවති මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට විශාල ජනවරමක් ලැබුණා. දැන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වන්නේ එසේ විශාල ජනවරමක් ලැබූ ආණ්ඩුවක් යටතේයි. ඒ නිසා, මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යාම සදහා ජනමතය ලැබීමක් ලෙසද සැලකිය හැකියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිතන ආකාරය පිළිබඳව පසු ගිය දිනෙක ඔහු විසින්ම පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා.
"අප ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කර තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන ලද රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් තිබෙන රාජ්‍යයක, එම එකඟතාව බිඳ වට්ටා අපට ඉදිරි ගමනක් නැති බව අප තේරුම්ගෙන ඇති බව. ඒ අනුව අප ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මෙම එකඟතාවන්ට අනුරූපවන පරිදි ආර්ථිකය හැසිරවීමට අප සූදානම් බව."
මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලය මාලිමා කණ්ඩායමේ ඉහළ ස්ථරය ඇතුළු බොහෝ දෙනෙකුට සාපේක්ෂව අපේක්ෂාවන් ඉක්මවා ගිය තත්ත්වයක් වුවත්, ආණ්ඩුව පිහිටුවන්නේ එම කණ්ඩායම විසින් බව සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයෙන් පසුව සක් සුදක් සේ පැහැදිලිව තිබුණු කරුණක්. එම විශ්වාසය මත පදනම්ව, එමෙන්ම සිදු විය යුතු පරිදි, මහ මැතිවරණයට පෙර සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇති කර ගැනීම සඳහා පසුබිම සැකසෙමින් පැවතුණා. මැතිවරණය අවසන් වූ වහාම තෙවන විමර්ශනයද අවසන් වන්නේ එසේ සියල්ල කලින්ම සැලසුම්ව පැවති බැවිනුයි.
දැන් පවතින දේශපාලන වාතාවරණය තුළ ස්ථායීකරණ වැඩපිළිවෙළ බාධාවකින් තොරව දිගටම ඉදිරියට යාමේ විභවය වඩා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර කුමාර දිසානායක හොඳ මහජන සන්නිවේදකයෙකු වීමද වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී වාසිදායක සේ බලපානවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුවත්පත් නිවේදනය මිස විමර්ශන වාර්තාව තවමත් ප්‍රසිද්ධියට පත් කර නැහැ. අදාළ එකඟතා පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත්ව තිබෙන්නේ එම විමර්ශන වාර්තාවේයි.
වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අරමුදල මෙසේ පවසනවා.
“සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2024 ජූනි මස අවසානයට මෙන්ම සැප්තැම්බර් මස අවසානයට අදාළ සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමග වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් විය. 2024 ඔක්තෝබර් මස අවසානයට පෙර සිදු කිරීමට නියමිතව පැවැති බොහෝ ව්‍යුහාත්මක මිනුම් දඬු නිසි කලට සම්පූර්ණ කර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත; මැතිවරණ ක්‍රියාවලිය හේතුවෙන් ඇතැම් මිනුම් දඬු සපුරා ගැනීම ප්‍රමාද විය."
ඒ සමඟම අරමුදල විසින් යෝජිත ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේ වැදගත්කම අවධාරණය කරනවා.
"වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම, විශ්වසනීයත්වය වර්ධනයකර ඇති අතර ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. මේ දක්වා වැඩසටහන යටතේ අත් පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථිකය කල් පවත්නා පරිදි යථා තත්ත්වයට පත්වීමක් හා ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වේ"
මෙහි සඳහන් අපේක්ෂිත ප්‍රතිතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිශ්චිත තොරතුරු කාර්ය මණ්ඩල විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් පසුව දැනගත හැකි වනු ඇති අතර බොහෝ විට මුල් එකඟතා වලින් එතරම් වෙනස් නොවිය හැකියි.
ඇතිකරගත් කාර්ය මණ්ඩල එකඟතාවය සඳහා අධ්‍යක්ෂ්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමටනම් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ප්‍රධාන කරුණු දෙකෙක් ඉටුවිය යුතුයි. එයින් පළමුවැන්න වැඩසටහනේ පරාමිතීන් හා ගැලපෙන පරිදි 2025 අයවැය ලේඛණය සකස් කිරීමයි. දෙවැන්න විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමයි.
“පහත සඳහන් කරුණු සපුරාලීම මත මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ඉදිරි කාල සීමාව තුල ජා. මූ. අරමුදලෙහි කළමනාකාරිත්වය සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත: (i) බලධාරීන් විසින් වැඩසටහන් අරමුණුවලට අනුකූල වන පරිදි 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම; සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්යේ කැපවූ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිවුහගත කිරීම නියමිත වේලාවට සහ වැඩසටහයන් ණය ඉලක්කයට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ලබා දීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම."
මේ අනුව, 2025 අයවැයෙහි මූලික පරාමිතීන් මේ වන විටද තීරණය වී අවසන්. එහෙත්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ මුලින් මාස හතරක කාලයක් සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කොට 2025 මාර්තු මාසයේදී අයවැය සම්මත කර ගැනීමටයි.
"අපට ඉක්මණින් අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නැහැ. ඉදිරි මාස 04ක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා දෙසැම්බර් මාසයේ මුල අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. පෙබරවාරි මාසයේ මුල වන විට අය වැය ලේඛනය ඉදිරිපත් කර මාර්තු මාසයේ සම්මත කර ගැනීමට අප අපේක්ෂා කරනවා."
මෙම තීරණයට ආර්ථික, දේශපාලන මෙන්ම ප්‍රායෝගික හේතු පාදක වී ඇතැයි සිතිය හැකියි. ඉතා ඉක්මණින් අයවැයක් සකස් කළහොත් එමගින් කිසිදු කැපී පෙනෙන වෙනස් කමක් කිරීමේ ඉඩක් අලුත් ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට එහිදී ජනප්‍රිය නොවන තීරණ ගන්නට වුවත් සිදු විය හැකියි. මෙම කාලය ඇතුළත පළාත් පාලන මැතිවරණ පවත්වා අවසන් වනු ඇති අතර එය ආණ්ඩුවට දේශපාලනික අවදානමක් මග හැර යාමට ඉඩ සලසනවා.
කෙසේ වුවත්, ආණ්ඩුවේ පැත්තෙන්, එම දේශපාලනික හේතුව හැර තවත් හේතු ගණනාවක් තිබෙනවා. පළමුව, දෙසැම්බර් පමණ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත සාර්ථක ලෙස අවසන් කරනු ලැබුවහොත් ඉන් අනතුරුව දැනට පවතින ඇතැම් අවිනිශ්චිතතාවයන් ඉවත් වී යනවා. ඒ හා සමඟම වාහන ආනයනය සඳහා ඉඩකඩ විවෘත කළහොත් විණිමය වෙළඳපොළ තුලනය පිළිබඳ වඩා නිවැරදි අදහසක් ලබා ගත හැකියි.
ඉහත කරුණු වලට අමතරව, මේ ආණ්ඩුවට ලැබුණේ කාර්ය සාධන ඉලක්ක ඉක්මවා ආදායම් ඉලක්ක සපුරාගෙන හා වියදම් සීමා කරගෙන ඇති රාජ්‍යමුල්‍ය ගිණුමක්. එහි වාසිය හරියටම ගණන් බැලිය හැක්කේ වසර අවසාන වීමෙන් පසුවයි. එමෙන්ම ඒ වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය සම්බන්ධ වඩා නිවැරදි ඇස්තමේන්තුද ලැබෙනවා. ඒ නිසා, දැනට පවතින තත්ත්වයට සාපේක්ෂව ඉදිරි වසරේ පෙබරවාරි මාසය වන විට මේ ආණ්ඩුවට, අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවය තුළ රැඳී සිටින අතරම, කවර හෝ වෙනස්කමක් සහිතව අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා වැඩි අවකාශයක් ලැබෙනවා.
සිරිලක් මවට සෙත් වේවා!
ReplyDeleteපච ලපයා කලින් කියපුව නෙමෙයි නේද දැන් කරන්නේ
ReplyDeleteනාකි සොම්බියා දැන් ඉරිසියාව නිසා පිස්සු වැටිල ඇති. නාකි සොම්බියා කයිවාරු ගැහුවෙ IMF එක වැඩ කරන්නෙ ඌ එක්ක විතරයි කියලා. දැන් උගෙ කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවලු. 😂😂😂
ReplyDelete@
DeleteAnonymousNovember 24, 2024 at 3:13 AM , ඇත්තටම නාකි සොම්බියා පුලුවන්නං ඕකටත් අංචියක් අදියි. ඕක එදා ඉඳන්ම දේශද්‍රෝහියෙක්.
Delete