වෙබ් ලිපිනය:

Friday, November 29, 2024

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!


නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු අනුව, අවධමන තත්ත්වය ඉදිරි වසරේ මැද භාගය දක්වා පැවතිය හැකි අතර, ජනවාරි මාසය වන විට -5% පමණ මට්ටමකට යා හැකියි.

අවධමන තත්ත්වයක් පවතිද්දී මූර්ත පොලී අනුපාතික නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. මූර්ත පොලී අනුපාතික යනු නාමික පොලී අනුපාතිකයෙන් උද්ධමනය අඩු කළ විට අගයයි. උද්ධමනය සෘණ අගයක් වූ විට මෙම අගය නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. නාමික පොලී අනුපාතික 8.5% හා උද්ධමනය -2.0% යන්නෙන් අදහස් වන්නේ මූර්ත පොලී අනුපාතිකය 10.5%ක් බවයි.

ඉහළ මූර්ත පොලී අනුපාතිකයක් තිබීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එවැනි තත්ත්වයක් යටතේදී සාමාන්‍යයෙන් මහ බැංකුවක් විසින් කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පොලී අනුපාතික පහතට ගැනීමයි. මේ සඳහා වෙළඳපොළට මුදල් මුදා හැරීමක් කරන්නට සිදු වෙනවා. එය කරන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහායි.

මේ වන විට මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ලෙස යොදා ගන්නේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයයි. එම අනුපාතිකය 8.0% ලෙස මහ බැංකුව විසින් නිර්ණය කර තිබෙනවා. ඒ අනුව, ඒක්ෂණ මුදල් වෙළඳපොළේ පොලී අනුපාතිකය 8.0% මට්ටමේ පවත්වා ගත හැකි පරිදි විවට වෙළඳපොළ මෙහෙයුම් කටයුතු කිරීමට මහ බැංකුවට සිදු වෙනවා.

අද දින සිදු වූ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය 8.15% මට්ටමේ පැවතුනු අතර ප්‍රතිමිලදී ගැනීම් (රිපෝ) වෙළඳපොල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 8.20% මට්ටමේ පැවතුනා. මෙම අගයයන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා මඳක් වැඩියි.

පොලී අනුපාතික ඉලක්ක මට්ටමට වඩා ඉහළින් ඇති විට මහ බැංකුවට වෙළඳපොළට මුදල් මුදා හැරීම මගින් එම සමතුලිතතාවය වෙනස් කරගන්නට සිදු වෙනවා. මේ අයුරින් මුදල් මුදා හැරීම ස්ථිර පදනමකින් හෝ තාවකාලික පදනමකින් කළ හැකියි. දැනට මහ බැංකුව විසින් අනුගමනය කරන්නේ පළමු ක්‍රමයයි.

ඊයේ දිනයේ මහ බැංකුව විසින් එක් දින ප්‍රති විකුණුම් (රිවර්ස් රිපෝ) ලෙස රුපියල් බිලියන 40ක මුදලක් වෙළඳපොළට මුදා හැර ඇති අතර එම මුදල් වෙන්දේසි වී තිබෙන්නේ 8.00-8.20% පරාසය තුළයි. ඊට අමතරව තවත් රුපියල් බිලියන 4.4ක මුදලක් 8.50%ක පොලියක් ගෙවා එක් දින ප්‍රති විකුණුම් ක්‍රමයට මහ බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ඇතැම් බැංකු සැලකිය යුතු ද්‍රවශීලතා හිඟයකින් පෙලෙන බවයි. එය වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටීමට බාධාවක්ව පවතිනවා.

කෙසේ වුවත්, රුපියල් බිලියන 210 ඉක්මවන මුදලක්  ඊයේ දිනම 7.5% පොලියට මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. එම මුදල ඉහත සඳහන් කළ රුපියල් බිලියන 44ක ප්‍රති විකුණුම් ගනුදෙනු ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩි මුදලක්. මේ අනුව පෙනී යන්නේ වෙළඳපොළ තුළ 8.0-8.5% පොලියකට ණය දීමේ අවස්ථාව තිබියදී ඇතැම් බැංකු විසින් ඊට වඩා අඩු 7.5% පොලියට මහ බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පෙලැඹී ඇති බවයි. 

පොලී අනුපාතික යනු මුදල් වෙළඳපොළ ගනුදෙනු සිදු කරද්දී සලකා බලනු ලබන එකම සාධකය නෙමෙයි. මුදල් ණයට දීමේ අවදානමද එහිදී සලකා බැලෙනවා. ශ්‍රී ලංකා රජය ණය පැහැර හැර ඇති තත්ත්වයක් තුළ බොහොමයක් දේශීය බැංකු වලට ණය දීම සැලකෙන්නේද ඉහළ අවදානමක් ඇති කටයුත්තක් ලෙසයි. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් වේයැයි අපේක්ෂා කළ හැකියි.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 27 දින පැවති භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 බිල්පත් වල ඵලදා අනුපාතික පෙර සතියට සාපේක්ෂව 0.57%කින් පහත වැටී ඇති අතර, දින 182 ඵලදා අනුපාතික 0.63%කිනුත්, දින-364 ඵලදා අනුපාතික 0.70%කිනුත් පහත වැටී තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ පොලී අනුපාතික වල මැදිකාලීන හැසිරීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් පහත වැටෙමින් ඇති ආකාරයයි. 

භාණ්ඩාගාර බැඳුම්කර ඵලදා අනුපාතික වලද මෙම පහත වැටීම නිරූපනය වී තිබෙනු දැකිය හැකියි. නොවැම්බර් 28 දින (ඊයේ) පැවති වෙන්දේසියේදී 2028 ඔක්තෝබර්හිදී කල් පිරෙන බැඳුම්කර වෙන්දේසි වූයේ 10.62% අනුපාතිකයටයි. 

8 comments:

  1. ඒ උනාට බඩු මිලේ අඩුවක් නැහැනේ ඉකොනෝ

    ReplyDelete
    Replies
    1. අනුර කුමාරගෙ වැඩකිඩ

      අනුර කුමාර දිසානායක ජනාධිපති වී මාස දෙකක පමණ වී ඇති මේ අවස්ථාවේ කරපු වැඩ.

      🔺මේරට ස්විටර්ලන්තය නෙමේ ලංකාව කියලා තේරුම්ගත්තා.

      🔺වාහන , කෑමබීම එපා කියලා ඒව ඔක්කොම ගත්තා

      🔺 ජනතාවට සේවය කරන්න නිල නිවාස අවශ්‍යයි කියලා පිළී ගත්තා.

      🔺මිනිස්සු උනාම කාල බිලා ෂෝ එකක් බලල ඉන්න ඕනි කියලා අවබෝධ කරගත්තා. ඒක කෙනෙක්ට 50,000 උනත් කමක් නෑ කියලා තීරණය කලා.

      🔺තනියම දොර ඇරගෙන බැස්සා.

      🔺 වාහන පෝලිම ළග ළග යන්නෙ නැතිව ගොඩක් දුර තියාගෙන යනවා.

      🔺 ඒවයෙ යන Ambulance වල ස්ටිකර ගැලෙව්වා.

      🔺උගන්ඩාවේ සල්ලි නැහැ කියලා රටට හෙළි කළා.

      🔺කතානායක බොත්තම දැමීම හා නැවත එය ගැලවීම ගැන කරුණු ඉදිරිපත් කළා.

      🔺ජයමංගල ගාථා වැනි අහිතකර ආර්ථික ප්‍රතිපත්තීන් ඉවත්කලා.

      🔺සිකියුරිටි රූම් කැඩුවා.

      🔺කාලගුණික වෙනස්වීම් වලට වගකිවයුත්තා කාලගුණය බව හෙළි උනා.

      🔺මහවිරු සමුළුව ගැම්මට කලා.

      🔺කුණාටු දෙකක් ගෙනාව .

      🔺 පට්ට වැහි කාලෙක උසස් පෙළ තියලා ළමයීන්ගෙ ඔලුව මැල්ලුම් කලා.

      🔺බලියක් නැතුව නිධානයක් ගත්තා.

      🔺 විසාල කළුගලක් රාජ්ය අනුග්‍රහයෙන් කුඩු කළා.

      ⭕තෙල් වලින් කාන්චන කොමිස් ගැහුවෙ නැහැ කියලා ඔප්පු කලා

      ⭕කිසිම ඇපයක් නැතුව දෙනව කිව්ව ලෝන් දුන්නා 😁

      ⭕පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ වියදම කෝටි 5

      ⭕බැංකු හොරා රවී කරුනානායකව පාර්ලිමේන්තුවේ වාඩි කෙරෙව්ව

      ⭕හාල් මාෆියාව එක පෑන් ඉරෙන් ඉවර කරනව කියලා ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 70000 ගෙන්වන්න ටෙන්ඩර් දැම්ම

      ⭕ඇවිත් මාසෙන් අඩු කරනව කිව්ව විදුලි බිල අඩු නොකර ජනතාව මුලාවේ දැම්ම

      එකී මෙකී නොකී පච සියල්ලම කියා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කර ජනතාවගේ පැතුම් සුන් විසුණු කරමින් කෝටි 5 හේ සැප වාහනයේ පස්ස තියාගෙන සැපම සැප ජීවිතයක් ගත කරමින් සිටියි

      Delete
  2. එකොනෝ මහත්තයලා අනුර කුමාරට ඡන්දෙ දීලා දැන් සැපද

    ReplyDelete
  3. එයාර් භාරත්.

    ReplyDelete
  4. රුපියල් දෙකකින් පෙට්ටල් අඩු කිරීම සම්බන්ධයෙන් එකොණ මහත්තයාගේ සහ අනුර ආණ්ඩුවට පුංචි අපි බුදු බව ප්‍රාර්ථනා කරමු

    ReplyDelete
  5. ඉදිරියේ ගෑස් මිල ඉහල යයිද

    ReplyDelete
    Replies
    1. ගෝලීය අර්බුද, මැදපෙරදිග යුධමය වාතාවරණය, චීනය, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි අධික ජනගහනය සහිත රටවල වේගවත් සංවර්ධනය සමග ගෘහස්ථ ගෑස් පරිභෝජනය විශාල ලෙස ඉහල යාම වගේම යුරෝපීය රටවල දැඩි ශීත සෘතුව නිසා ගෑස් වලට ඇති ඉල්ලුම ඉදිරී මාස කිහිපය තුල ඉහළ යාමට නියමිත අතර ලංකාව තුල රජය මිල පාලනය කිරීම නිසා පෞද්ගලික අංශයට අයත් ලාෆ්ස් ගෑස් සමාගම මේ නිසාම දැඩි ලෙස අර්බුදයකට ලක්ව තිබෙන අතර රජයට අයත් ලිට්රෝ සමාගම පාඩු පිට ගෑස් සැපයූවත් එයද ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි බව විශේෂඥයෝ පවසති.

      Delete
  6. කුකුල් මස් කඩ වේලෙනවා
    කුකුල්ලුන්ගේ පණ බේරෙනවා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: