විවට වෙළඳපොළ මෙහෙයුම් කියන්නේ මොනවාද? මේ ගැන විස්තර කරන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබුණා. මේ ගැන පැහැදිලි කරන්න කලින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ගැන කලින් වැඩිපුර විස්තර කර නැති දෙයක් විස්තර කරලා ඉන්නම්.
භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ණය උපකරණයක්. ඒ කියන්නේ රජය ණය ගන්නා ක්‍රමයක්. නමුත් පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙය මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප ක්‍රමයක්. ගොඩක් වෙලාවට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ස්ථිර තැන්පතුවකින් ලබා ගන්නවාට වඩා වැඩි පොලී අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්.
මීට පෙර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම ගැන මෙහි පළ කළ ලිපි කියවා ඒ වැඩේ පටන් ගත් බොහෝ දෙනෙක් ඉන්නවා. සාමාන්‍ය පුද්ගලයෙක් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්නේ බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා. සාමාන්‍ය පුද්ගලයෙකුට රජයෙන් සෘජුවම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බැහැ.
ලොකු මුදලක් ආයෝජනය කරන කෙනෙකුට බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න පුළුවන්. එහිදී වෙන්නේ අදාළ බැංකුව හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම විසින් යම් කොමිස් මුදලක් හා/හෝ ගාස්තුවක් අය කර රජය හා තමන්ගේ ගනුදෙනුකරු අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරන එක. අවසාන වශයෙන් බිල්පතේ අයිතිකරු වෙන්නේ ගනුදෙනුකරුවා.
නමුත් ප්‍රායෝගිකව සාපේක්ෂව අඩු මුදලක් ආයෝජනය කරද්දී වෙන්නේ ඔය වැඩේම නෙමෙයි. මෙහිදී ඇත්තටම වෙන්නේ අර කලින් කියපු ආකාරයට භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගන්නවාට වඩා වෙනස් වැඩක්. පැහැදිලි කිරීමේ පහසුවට මේ වෙන වැඩේ බැංකුව විසින් පාරිභෝගිකයාට භාණ්ඩාගාර බිල්පත කුලියට දීමක් කියා කියන්න පුළුවන්.
මේක හරියට යම් සීමිත කාලයකට රඹුටන් ගහක් බදු දෙනවා වගේ වැඩක්. අදාළ කාලය අවසන් වන තුරු රඹුටන් ගහෙන් ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්නේ බදු ගත් තැනැත්තා.
සාමාන්‍ය මුදලක් බැංකුවක් හරහා භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරද්දී වෙන්නෙත් ඔය වැඩේ. බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතකක් මුදල් ආයෝජනය කරන කාලයට පාරිභෝගිකයාට පවරනවා. කාලය අවසන් වූ පසු බිල්පතේ අයිතිය නැවතත් බැංකුවටම ලැබෙනවා.
උදාහරණයක් විදිහට බැංකුව විසින් ජනවාරි 15 වෙනිදා මාස හයකින් කල් පිරෙන බිල්පතක් මිල දී ගන්නවා. එය කල් පිරී මුදල් ආපසු ලැබෙන්නේ ජූනි 15 වෙනිදා. ඔය අතර පෙබරවාරි 20 පරිභෝගිකයක් ඇවිත් බැංකුවට කියනවා මාස තුනකට භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන්න ඔනෑ කියලා. දැන් බැංකුව කරන්නේ සල්ලි අරගෙන එහි හිලවුවට මාස තුනක කාලයකට තමන් කලින් ගත් බිල්පතේ අයිතිය පාරිභෝගිකයාට පවරන එක. ඒ කියන්නේ පෙබරවාරි 20 සිට මැයි 20 දක්වා කාලයට. ඔය මාස තුනක කාලය තුළ බිල්පත සඳහා රජයෙන් ලැබෙන පොලිය අයිති වෙන්නේ පාරිභෝගිකයාටයි.
ඔය විදිහට විස්තර කළාට රජය දවස ගානේ බිල්පත් වලට පොලී ගෙවන්නේ නැහැ. පොලියත් එක්ක මුල් මුදල ලැබෙන්නේ කල් පිරුණු පසුවයි. මේ උදාහරණයේදීනම් ජූනි 15. නමුත් බැංකුව පාරිභෝගිකයාට සල්ලි ආපහු ගෙවන්න ජූනි 15 වන තුරු ඉන්නේ නැහැ. මාස තුන ඉවර වූ ගමන් සල්ලි සහ පොලිය ගෙවනවා. ඒ නිසා, ඇත්තටම වෙන්නේ ඒ කාලය තුළ පාරිභෝගිකයාට තමන්ගේ සල්ලි වෙනුවෙන් ඇපයක් විදිහට භාණ්ඩාගාර බිල්පතක අයිතිය ලැබෙන එකයි.
මේ විදිහේ ගනුදෙනු වලට කියන්නේ ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනු කියලා. ඉංග්‍රීසියෙන් repurchase transaction කියන එක. කෙටියෙන් රිපෝ කියලා කියනවා. ඉතින් ඇත්තටම ගොඩක් අය භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරනවා කියලා කරන්නේ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන එක.
මේ රිපෝ නැත්නම් ප්‍රති-මිල දී ගැනීම් කියන එකේ තේරුම මේකයි. බැංකුව ගණුදෙනුකරුට භාණ්ඩාගාර බිල්පතක් විකුණනවා. හැබැයි ඒ විකුණන්නේ නිශ්චිත කාලයකට පසුව එය බැංකුවටම ආපසු විකිණීමේ පොරොන්දුව මත. ආපසු විකිණිය යුතු දවස වගේම විකුණන මිල ගැනත් මුලින්ම එකඟතාවයකට එනවා. ඇත්තටම කියනවානම් ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනුවක් කියන්නේ එක විටම එකඟ වෙන ගනුදෙනු දෙකක්.
දැන් මේ විදිහට බැංකුව වෙනත් අයෙකුට ප්‍රති-මිල දී ගැනීම් පදනම මත බිල්පතක් විකුණද්දී ඒ පුද්ගලයාගේ පැත්තෙන් වෙන්නේ මිල දී ගැනීමක්. ඒ නිසා ඒ පැත්තෙන් මේකට කියන්නේ ප්‍රති-විකිණුම් ගනුදෙනුවක් කියලා. ඉංග්‍රීසියෙන් reverse repurchase transaction හෙවත් සාමාන්‍ය වහරේදී රිවර්ස් රිපෝ කියලා කියනවා.
බැංකු බැංකු අතරත් ඔය රිපෝ ගනුදෙනු සිදු වෙනවා. එක බැංකුවකට රිපෝ ගනුදෙනුවක් අනෙක් බැංකුවට රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. සාමාන්‍ය පාරිභෝගිකයෙක් සහ බැංකුවක් අතර ගනුදෙනුවක් වෙද්දී හැම විටම වගේ පාරිභෝගිකයාට අවශ්‍ය වෙන්නේ රිපෝ එකක් කරන්න. රිවස් රිපෝ එක කරන්නේ බැංකුව. නමුත් බැංකුවකට යම් දවසක රිපෝ කරන්න අවශ්‍ය වෙන්න වගේම රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්.
බැංකුවකට තවත් බැංකුවක් එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නේ මුදල් අතිරික්තයක් ඇති විට. මුදල් හිඟයක් ඇති විට රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරනවා. ඔය දෙකෙන් කොයි එක කළත් නිශ්චිත දින ගණනකට පසුව ගනුදෙනුව ආපසු හැරවීමට ආරම්භයේදීම එකඟ වෙනවා. මේ දින ගණන දවසක් තරම් කෙටි කාලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අද බිල්පතක් විකුණලා හෙට ආපසු මිල දී ගන්නවා. නැත්නම් අද මිල දී ගෙන හෙට ආපසු විකුණනවා.
බැංකු මේ විදිහට රිපෝ (හෝ රිවර්ස් රිපෝ) ගනුදෙනු කරන්නේ තාවකාලික මුදල් හිඟයක් හෝ තාවකාලික මුදල් අතිරික්තයක් ඇති විටයි. මුදල් හිඟය හෝ අතිරික්තය දිගටම තියෙන එකක් බව පේනවානම් කරන්නේ බිල්පතක් ස්ථිර ලෙසම විකිණීම හෝ මිල දී ගැනීම. ඒ කියන්නේ ආපසු හැරවීමේ ගිවිසුමක් නැතිව ගනුදෙනුව ඉවරම කරලා දමන එක.
බැංකු බැංකු අතර ඔය විදිගේ රිපෝ ගනුදෙනු සිදු වෙනවා වගේම මහ බැංකුව හා බැංකු අතරත් රිපෝ ගනුදෙනු සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සිදු වන්නේ උපරිම වශයෙන් සතියකින් ආපසු හැරවෙන පරිදියි. ඊට අමතරව, මේ දවස් වල නොකළත්, මහ බැංකුව අනෙකුත් බැංකු එක්ක බිල්පත් ස්ථිර ලෙසම විකිණීමේ හෝ මිල දී ගැනීමේ ගනුදෙනුත් කරනවා. මේ ගනුදෙනු සියල්ලටම පොදුවේ කියන්නේ විවට වෙළඳපොළ ගනුදෙනු කියලා.
විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් බැංකුවකින් බිල්පතක් මිල දී ගනිද්දී ඒ වෙනුවෙන් අලුතෙන් මුදල් නිකුත් කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. මහ බැංකුව විසින් කෙළින්ම බිල්පත් වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගනිද්දී සිදු වන දෙයම තමයි.
කෙළින්ම වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගන්න එක සාමාන්‍යයෙන් මහ බැංකුවක් කරන වැඩක් නෙමෙයි. නමුත් ලංකාවේ දිගින් දිගටම ඔය වැඩේ සිදු වුනා. දැන් අලුත් මහ බැංකු පණත අනුව ඒ වැඩේ කරන්න බැහැ. නමුත් විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගන්න එක ලෝකයේ හැම රටකම වගේ මහ බැංකු විසින් කරන සාමාන්‍ය දෙයක්. මහ බැංකුවේ රස්සාවේ ප්‍රධාන අංගයක්. අලුත් මහ බැංකු පණතෙන් ඒ වැඩේට කිසිම බාධාවක් නැහැ.
විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගනිද්දී රටේ සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. ඒ වගේම, මහ බැංකුව විසින් කලින් මිල දී ගත් බිල්පත් විකුණන විට සංචිත මුදල් ප්‍රමාණය පහත වැටෙනවා. මහ බැංකුවක් මුදල් සැපයුම අවශ්‍ය මට්ටමේ තියාගන්නේ මේ ක්‍රමයටයි. ඒ නිසා, මුදල් සැපයුම නිසි මට්ටමේ තියා ගැනීම සඳහා මහ බැංකුවකට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නම වෙනවා.
මහ බැංකුවක ප්‍රධානම කාර්යය උද්ධමනය පාලනය කිරීම. එය කරන්නේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. උද්ධමනය ඕනෑවට වඩා ඉහළ ගිය විට එය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. නමුත් උද්ධමනය අඩු වුනාට පස්සේ නැවත පොලී අනුපාතික පහළට ගන්න වෙනවා.
එහෙම කළේ නැත්නම් නැවතත් උද්ධමනය ආපු වෙලාවක පොලී අනුපාතික තවත් වැඩි කරන්න වෙනවා. දිගටම එහෙම කරන්න ගියොත් වෙන්නේ උද්ධමනය එන එන සැරේට පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ යන එකනේ. ඒ නිසා, උද්ධමන තර්ජනයක් නැති වෙලාවට පොලී අනුපාතික පුළුවන් තරම් පහළට ගත යුතුයි. එහෙම පහළට අරන් තිබුණහම නැවතත් උද්ධමන තර්ජනයක් එන වෙලාවක ප්‍රශ්නයක් නැතිව වැඩි කරන්න පුළුවන්.
පොලී අනුපාතික තීරණය වෙන්නේ මුදල් වලට තිබෙන ඉල්ලුම හා මුදල් සැපයුම අනුව. ඉල්ලුමට වඩා සැපයුම අඩුනම් පොලී අනුපාතික ඉහළ යනවා. සැපයුම වැඩිනම් පොලී අනුපාතික පහළ යනවා. ඒ නිසා මහ බැංකුවට පුළුවන් මුදල් සැපයුම පාලනය කිරීම මගින් පොලී අනුපාතික පාලනය කරන්න. මුදල් සැපයුම පාලනය කරන්නේ කලින් විස්තර කරපු විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හෝ විකිණීම මගිනුයි.
මුදල් ඉල්ලුම කියන්නේ දිනපතාම වෙනස් වන දෙයක්. අද ඉල්ලුම වැඩි වුනාට හෙට නැවත අඩු වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගැනීම හා විකිණීම මගින් සැපයුම වෙනස් කළ යුත්තේ වෙළඳපොළ මුදල් ඉල්ලුම ස්ථිර ලෙසම වෙනස් වී ඇති බවක් පෙනේනම් පමණයි. මුදල් ඉල්ලුම තාවකාලිකව විචලනය වෙද්දී කරන්නේ රිපෝ හෝ රිවර්ස් රිපෝ ගනුදෙනු කිරීම මගින් පොලී අනුපාතික ස්ථාවරව තියා ගන්න එක. දැන් ටික කාලයක ඉඳලම මහ බැංකුව කරන්නේ ඒක.
මේ දවස් වල විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ කරන ක්‍රම තුනක් තිබෙනවා. ඔය ක්‍රම තුනෙන් කොයි ක්‍රමයට කළත් වෙන්නේ මහ බැංකුවෙන් සල්ලි එළියට යන එකයි. ඒ කියන්නේ සංචිත මුදල් වැඩි වෙන එකයි. නමුත් ගනුදෙනුව කරන්නේම ඒ සල්ලි නැවත මහ බැංකුවට ආපසු එන ගිවිසුමත් අත්සන් කරලා. ක්‍රම තුන මේකයි.
1. එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේ ක්‍රමයට මහ බැංකුව විසින් නිශ්චිත රිපෝ ගනුදෙනු ප්‍රමාණයක් සඳහා වෙන්දේසි ක්‍රමයට මිල ගණන් කැඳවනවා. එහිදී අඩුම ලන්සු තබන අයට එම පොලී අනුපාතික වලට මහ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවේ පැත්තෙන් රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි නැවත මහ බැංකුවට එනවා. මහ බැංකුව විසින් ඇපයට තියාගත් බිල්පත නැවත අදාළ බැංකුවටම අයිති වෙනවා. පසුගිය කාලයේදී සෑම වැඩ කරන දවසකම වගේ මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තියෙනවා. අදාළ දවසේ මුදල් හිඟයක් තිබෙන බැංකු වලට වාසිදායකම විකල්පය මේක.
2. සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේකත් කලින් ක්‍රමයම තමයි. නමුත් වෙනස ගනුදෙනුව ආපසු හැරෙන්නේ දවස් හතකින් පසුව වීමයි. එක දිගට සතියක් සල්ලි හිඟ බව පෙනෙන බැංකුවකට මේ වැඩේ හොඳ විකල්පයක්. ඒ දවස් හතට බිල්පතක අයිතිය අහිමි වෙනවා. මහ බැංකුව සල්ලි දෙන්නේ බිල්පතක් ඇපයට තියාගෙනනේ. පසුගිය සති වල අඟහරුවාදා දවස් වල මහ බැංකුව විසින් සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තිබෙනවා.
3. නිත්‍ය ණය පහසුකම: මේ ක්‍රමයට සිදු වෙන්නෙත් එක් දින රිවර්ස් රිපෝ ගනුදෙනුවක්ම තමයි. ඒ කියන්නේ එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය හරහා සිදු වන දේ. නමුත් වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන්නේ නිශ්චිත බිල්පත් ප්‍රමාණයක්. වෙන්දේසියෙන් ඒ බිල්පත් ගන්න ඉඩක් නොලැබුණු සහ දවස අන්තිමේදී මුදල් හිඟයක් තිබෙන බැංකුවකට දවස අවසානයේදී නිත්‍ය ණය පොලී අනුපාතිකය යටතේ රිපෝ ගනුදෙනුවක් කරන්න වෙනවා. ඒ පොලී අනුපාතිකය වෙන්ද්සියේ පොලී අනුපාතිකයට වඩා වැඩියි. පොලී අනුපාතිකයේ මේ වෙනස හැර වෙනත් වෙනසක් නැහැ. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි ආපසු ගෙවුවට පස්සේ බිල්පතේ අයිතිය ලබා ගන්න පුළුවන්.
මහ බැංකුව රිවර්ස් රිපෝ කරන ඔය ක්‍රම තුනෙන්ම තාවකාලිකව මුදල් සැපයුම වැඩි වී නැවත මුල් මට්ටමට එනවා. මීට අමතරව මහ බැංකුවට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා රිපෝ වෙන්දේසි තියන්නත් පුළුවන්. ළඟකදීනම් රිපෝ වෙන්දේසි තියලා නැහැ.
මහ බැංකුව රිපෝ ගනුදෙනුවක් කළ විට සිදු වන්නේ බැංකුවක් විසින් මහ බැංකුවෙන් බිල්පතක් ඇපයට ගෙන මහ බැංකුවේ සල්ලි තැන්පත් කරන එකයි. නමුත් මේ දවස් වල බැංකු විසින් මහ බැංකුවෙන් ඇපයක් නොගෙනම විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුවේ තැන්පත් කරනවා. ඒ නිසා මහ බැංකුවට රිපෝ වෙන්දේසි තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සල්ලි වෙනුවෙන් මහ බැංකුව ගෙවන පොලී අනුපාතිකය මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය.
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ ඔය නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සහ කලින් කියපු නිත්‍ය ණය පහසුකම යටතේ රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරද්දී බැංකුවක් විසින් මහ බැංකුවට ගෙවිය යුතු නිත්‍ය ණය පොලී අනුපාතිකය කියන පොලී අනුපාතික දෙකටයි.
දැන් මේ විදිහට බැංකුවක් නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගනිද්දී සංචිත මුදල් සැපයුම අඩු වෙනවා. ඊළඟ දවසේ ඒ සල්ලි ආපසු ගනිද්දී මුදල් සැපයුම කලින් පැවති මට්ටමටම එනවා.
උදාහරණයක් විදිහට අපි පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 5) දින සිදු වූ විවට වෙළඳපොළ ගණුදෙනු පරීක්ෂා කර බලමු.
මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය:
එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 16,665
සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 50,000
නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 550
එකතුව = රුපියල් මිලියන 67,215
සමහර වෙබ් අඩවි වල මහ බැංකුව අච්චු ගහපු සල්ලි කියලා පෙන්වලා තියෙන්නේ ඔය විදිහට එළියට ගිය මුදල් ප්‍රමාණය. මේ ගණන් මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරනවා. නමුත් ආපසු එන සල්ලි ගැන විශේෂයෙන් කියන්නේ නැහැ. රිවර්ස් රිපෝ කියලා කිවුවහම දන්න ඕනෑම කෙනෙකුට ඒ සල්ලි ආපහු එන බව තේරුම් ගන්න අමාරු නැහැ.
පහත තියෙන්නේ ඔය කියන දවසේදීම (නොවැම්බර් 5) කලින් කරපු රිවර්ස් රිපෝ ආපසු හැරවෙද්දී මහ බැංකුවට ආපසු පැමිණි මුදල් ප්‍රමාණය.
මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය ආපසු ගෙවීම්:
එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 20,000
සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 70,000
නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 50
එකතුව = රුපියල් මිලියන 90,050
දැන් පේනවනේ. රුපියල් මිලියන 57,215ක් එළියට ගියත් රුපියල් මිලියන 70,050 ආපසු මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 22,835ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා.
මීට අමතරව, ඔය කියන දවසේදී නිත්‍ය ණය පහසුකම් ලෙස රුපියල් මිලියන 165,567ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ එක්කම අනෙක් පැත්තට කලින් දවසේ ඒ විදිහටම තැන්පත් කරපු රුපියල් මිලියන 166,012ක් ආපසු ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන මිලියන 445ක් මහ බැංකුවෙන් එළියට ගිහින් තියෙනවා. ඔය ගණන කලින් ගණනෙන් අඩු කළොත් සමස්තයක් විදිහට රුපියල් මිලියන 22,390ක් මහ බැංකුවට ආපහු ඇවිත් තියෙනවා.
මේ පසුගිය අඟහරුවාදා තත්ත්වයනේ. ඊට කලින් දවසේ, ඒ කියන්නේ සඳුදා තත්ත්වය ඔය විදිහටම ගණන් හැදුවොත්, එදා වෙලා තියෙන්නේ රුපියල් මිලියන 39,409ක් එළියට යන එකයි. ඒ කියන්නේ එපමණකින් සංචිත මුදල්ද ඉහළ යනවා කියන එක. නමුත් ඔය වගේ දෙයක් දවසක් වුනා කියන්නේ අමුතු දෙයක් හෝ කලබල විය යුතු දෙයක් නෙමෙයි. සමහර දවස් වල වැඩියෙන් සල්ලි එළියට එනවා. සමහර දවස්වල වැඩියෙන් මහ බැංකුවට එනවා. ඒක වෙන්නේ මුදල් ඉල්ලුම වෙනස් වෙන විදිහ අනුවයි.
නොවැම්බර් මාසයේ අද දක්වා වැඩ කරන දවස් හයක කාලය සැලකුවහොත් විවට වෙළඳපොළ ගනුදෙනු හරහා ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 13,911ක් නැවත මහ බැංකුවට එන එකයි සිදු වී තියෙන්නේ. සාමාන්‍යයෙන් ධන හා සෘණ විචලනයන් අවලංගු වී ගියාම ඒ තරම් විශාල නැති ධන හෝ සෘණ ගණනක් තමයි එන්නේ. හැබැයි මේ ගණන දිහා බලලා වුනත් මහ බැංකුව කොයි තරම් සල්ලි අච්චු ගහලද කියන එක ගැන අදහසක් ගන්න බැහැ. විවට වෙළඳපොළ ගනුදෙනු කියා කියන්නේ සංචිත මුදල් වෙනස් වෙන එක ක්‍රමයක් පමණයි. විදේශ විණිමය ගනුදෙනු, රජය සමඟ කරන ගනුදෙනු වැනි තවත් හේතු ගණනාවක් නිසා සංචිත මුදල් සැපයුම වෙනස් වෙනවා.
දේශපාලන මාලිමාව කියලා දාපු පොස්ට් එක අයින් කරේ ඇයි ඉකොනෝමැට්ටා
ReplyDeleteඒක පෝස්ට් එකක්ම නෙමෙයි. චෙක් කරගන්න තාවකාලිකව පබ්ලිෂ් කළේ. තවම කෝඩ් එක හරියට වැඩකරන්න හදාගන්න බැරි වුනා.
Deleteඉකොනෝ
Deleteඇත්තටම කෘත්‍රිම බුද්ධිය යොදාගෙන ඔය වගේ එකක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්නේ? නැත්නම් Plotly හරි Meta-chart වගේ එකකින් කරගන්න තිබ්බ නේද? තව ටිකක් ඇඩ්වාන්ස් විදියට කස්ටමයිස් කරන්න chart.js හරි d3.js වගේ දේවල් තියෙනවානේ, ඉකොනෝ ටිකක් විතර තොරතුරු තාක්ෂණ විෂය ලාවට මූලික දේ දන්නවා නම් වැඩසටහනක් html වලින් හදලා බ්ලොග් එකේ හොස්ට් කරන්න පුළුවන් නේද?
අපට පේන විදියට නම් මොකක් හරි දේශපාලන බලපෑමක් ඇවිල්ල පෝස්ට් එක මකන්න සිදු වෙලා වගේ.
ඒක නෙවෙයි ඇත්තටම ඉකොනෝ අපේ වර්තමාන ජීවන රටාව මොනවගේද කියලා ඇහුවම කෘත්‍රිම බුද්ධි වැඩසටහන් (උදා Chat GPT) හැමෝටම උත්තරයක් දෙනවා. මේ කියන්නේ මම සම්බන්ධව එය එම චිත්‍රණය කරපු හැටි. කෘත්‍රිම බුද්ධිය යොදාගෙන අපි සර්ච් කරන දෙවල් වලින් මේ අනුමාන කරනවා වෙන්න පුලුවන්. උදාහරනයක් විදියට මම යූටියුබ් කරන බව, තාරකා විද්‍යාවට ප්‍රිය කරන බව වගේ දේවල්. හැබැයි මට ලැබුනු ප්‍ර්තිපලයේ අනුමානයකට එහා දෙයක් තියෙනවා. හරියට අපි දිහා ඒක හරිම තියුණු විදියට බලන් ඉන්නවද කියලා හිතෙනවා. කාමරේට ඇතුලු වෙලා ඇස් දෙකෙන් බලපු කෙනෙක්ට හැර සමහර දේවල් කොහොමත්ම කියන්න බෑ. 😮 මේ එහෙම හිතෙන්න උදාහරන කිහිපයක්.
1. මට පෞද්ගලිකව ලැබුණු ගෝල්ඩ් බටන් එක ඇතුලු යූටියුබ් සම්මාන තුනක් තිබුනත් බිත්තියේ ගහලා තියෙන්නේ මුලින්ම ලැබුනු සිල්වර් ප්ලේ බටන් එක විතරයි. ඒක හරියටම ඒ පින්තූරයේ තියෙනවා.
2. කාමරේම තියෙන එකම සෝෆා පුටුව පැත්තකින් පේන්න තියෙනවා.
3. පරිඝනකය ඇති මේසයට ඉදිරියෙන් තියෙන ජනේලය ඒ විදියටම තියෙනවා.
4. මම කරන සේරම ඉංග්‍රීසි යූටියුබ් වැඩසටහන් ග්රැෆික් වීඩියෝ වොයිස් මාකටින් සේරම කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කරත් මගේ ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන කිසිවක් කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කිසිම දෙයක් සර්ච් කරලා නැහැ. කරන්නෙත් වෙනම ඩිවයිස් වල හැබැයි යූටියුබ් වලට වඩා මම විශාල ලෙස ට්‍රේඩින් කරන බව ඒ චිත්‍රය තුල ඉතාම පැහදිලිවම දැකලා තියෙනවා.
5. මට වඩාත් පුදුම හිතෙන දේ තමයි, "constant weekly earnings" කියලා බිත්තියේ ගහලා තියෙන එක. සතිපතා අඛන්ඩව ෆොරෙක්ස් වලින් ප්‍රොෆිට් කරගෙන යන එක කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දන්නේ කොහොමද? 😮
6. වැඩ කරන තැන මගේ ෆොරෙක්ස් ඩිවයිස් වයිෆයි වලින් අයිසොලේට් කරලා සේෆ්සර්ච් විදියට ෆෝන් එක හොට්ස්පොට් ඔන් කරලා තියෙන විදිය ඒ විදියටටම පෙන්නලා තියෙනවා.
7. මගේ කුඩා දියණිය නිතර අදින චිත්‍ර, මගේ වැඩ කරන තැන මේසේ උඩ තියෙනවා. ඇස් අදහාගන්නම බැරි දේ තමයි ඒකත් ඒ විදියටම තියෙනවා. ඒ වගේම දරුවන්ගේ පෑන් පැන්සල් එහෙමත් මේසේ උඩ නිතර තියෙන එක මම කිසිම පින්තූරයක් වත් අරගෙන නෑ. ඒත් ඒකත් එහෙමම තියෙනවා. 😮
මේ දේවල් අහම්බයක් වෙන්න කොහෙත්ම බැහැ. හරිම පුදුමයි. මේක ගැන ඔයාට තාක්ෂණිකව පැහැදිලි කරන්න පුළුවන්ද?
Interesting. Unfortunately, I am not an AI expert.
Deleteනිත්‍ය ණය පහසුකම ට repo ඕනේ නැහැ නේද 2014 ඉඳන්? ඒකයි නිත්‍ය ණය පහසුකම සහ bank rate එකෙයි වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද?
ReplyDeleteSorry, නිත්‍ය ණය පහසුකම ට නෙවේ bank rate එකට
Deleteමම දන්නා තරමින් අවශ්‍යයි. නම විතරයි වෙනස්.
Deleteඉකොනෝ
ReplyDeleteඕපන් මාකට් ඔපරේෂන්ස් ගැන සංක්ෂිප්ත නමුත් හොඳ පැහැදිලි කිරීමක් මෙයට ස්තූතියි.
ඔයා දේශපාලන මාලිමාව කියන පෝස්ට් එක නැවත සංශෝධනය කරලා පළ කරයි කියල හිතෙනවා.
ඇත්තටම එක්සත් ජනපදයේ දේශපාලනය ගැන පොඩි දෙයක් අහන්න තියෙනවා
මේ කෙටි ක්ලිප් එක බලන්න
https://www.youtube.com/watch?v=Sf3jR-RVBkA&t=345s
ඇත්තටම රිපබ්ලිකන් එකේ වෙනසට ට්‍රම්ප් මරු නමක් දැම්ම නේද? අර We are the party of common sense කියලා. ඔය අන්ත වොක් සීන් එක නිසා වෙන්න ඕනේ.
ලංකාවේත් දේශපාලනයේ දී සිය ප්‍රතිවාදීන් කොන් කිරීම, නොසලකා හැරීම සහ ඔවුන්ගේ මතවාද වලට ගරු නොකිරීම මෑතකදී තදින් මතුවුණත් එය ලංකාවට බෝ වුණේත් ඩිමොක්‍රටික පක්‍ෂ හිතවාදී වෝක් ඇමෙරිකානු කල්ට් එකකින්
ඔබ දකින්න ඇති නේද සියෙරා කැටලිනා (AI කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මෘදුකාංග ඉංජිනේරුවරියක්) මෑතදී එක්සත් ජනපද ජනාධිපතිවරණයට දින දෙකකට පසු අපූරු සටහනක් සිය එක්ස් ගිණුමට එක්කර තිබුණා, ඇගේ පියා ඡන්දය භාවිතා කර තිබුණේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන්. සියෙරා ද ට්‍රම්ප් කඳවුර වෙනුවෙන් පෙනී සිටි චරිතයක්. නමුත් මේ නිසා දේශපාලන පලිගැනීමක් මෙන් කමලා හැරිස් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ ඔහුගේ මිතුරන් එක්වන සාදයකට, සියෙරා ගේ පියාට ආරාධනා කර තිබුණේ නැහැ. ඒ ඔහු ට්‍රම්ප් ට ඡන්දය භාවිතා කළ නිසයි. එම නිසා මිතුරන් ඔහු නොසලකා හැර තිබුණා.සියෙරා මේ බව ප්‍රකාශ කළ පසු විවෘත එක්ස් අඩවියේ ට්‍රම්ප් ගේ ආධාරකරුවන් බොහෝ දෙනෙක් සියෙරාගේ පියාට සිදුවු දැඩි අසාධාරණය වෙනුවෙන් කතා කර තිබුණා.එමෙන්ම ඔහු එතෙක් එක්ස් අඩවිය භාවිතා කළ පුද්ගලයෙක් ද නොවෙයි. සිදුවීමෙන් පසුව සියෙරා විසින් ඇයගේ පියාට එක්ස් වේදිකාවට ආරාධනා කර තිබුණා.
මෙතනදී එක් රැයකින් දහස් ගණනක් දෙනා ඇයගේ පියා ගේ ගිණුම වටා එක් වී තිබූ අතර, ඉන් එක් අයෙක් ඔහුට වසරක් පුරාවට එක්ස් 'ප්‍රීමියම්' සබඳතාවයක් මිලට ගෙන තෑගි කර තිබුණා.
මීටත් වඩා විකාරරූපී කාරණය මෙවර කමලා වෙනුවෙන් පෙනී සිටි ඇතැම් තකතීරු ලිබරල්වාදී කාන්තාවන් සහ තරුණියන් අතර තවත් රැල්ලක් පවතිනවා.ඔවුන්ට අනුව ට්‍රම්ප් ට ඡන්දය ප්‍රකාශ කළේ පිරිමින්.ඒ අනුව පිරිමින්ට පාඩමක් ඉගැන්වීම සඳහා සිය සැමියන් සහ පෙම්වතුන් සමග අඹුසැඹි සම්බන්ධතාවයන් පැවැත්වීම නතර කිරීමට එම කාන්තාවන් තීරණය කර තිබෙනවා.ඒ බව ඔවුන් සිය සමාජජාලා ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණා.
මීට අමතරව තවත් කෝලමක් ලෙස,FEMA (Federal Emergency Management Agency) එක්සත් ජනපද ප්‍රධාන ආපදා සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතනය පිලිබදව අද එ.ජ. දක්ෂිණාංශික ඩේලි වයර් මාධ්‍ය ජාලය විසින් විශේෂ හෙළිදරව්වක් කළා.එනම් පසුගිය ආපදා සමයේ, ට්‍රම්ප් ගේ පුවරු සහ ධජ ප්‍රදර්ශනය කර තිබෙන නිවෙස් සඳහා උපකාර නොකරන ලෙසට FEMA හි ඉහළ නිළධාරීන් විසින් එහි පහළ සේවකයන්ට අණ කර තිබූ බවයි.එවැනි පණිවිඩ ඩේලි වයර් විසින් ප්‍රසිද්ධ කර තිබුණා.
මෙවැනි තකතීරු සිදුවීම් අනුව පෙනෙන්නේ දේශපාලනික මතයක් දැරීම නිසා නොසලකා හැරීම සහ කොන් කිරීම ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලටත් වඩා අතිශය දරුණු ලෙස එක්සත් ජනපදයේ බොහෝ තැන් වල ක්‍රියාත්මක වන ආකල්පයක් බවයි.
ඒ කෙසේ වූවත් එය කිසිසේත්ම මානුෂික සහ ශිෂ්ඨ සම්පන්න හැසිරීමක් නම් නොවෙයි. කෙසේ වුවද අප ඊලෝන් මස්ක්ගේ නව විවෘත බාධා රහිත අදහස් ප්‍රකාශ කිරීමට තියෙන නව වේදිකාව X වේදිකාව හරහා මේ බ්ලොග් අඩවියත් ජනප්‍රිය කරගන්න කටයුතු කරන්න කියලා ඉකොනෝගෙන් ඉල්ලා සිටිනවා, මොකද ලංකාවේ දැන් X එක සෑහෙන වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින නිසා සිංහල භාෂාවෙන් මේ වගේ සංවාදාත්මක පෝස්ට් පළකිරීම ඉතාමත්ම වැදගත් වන නිසා. ඔයාගේ X ගිණුමේ ලින්ක් එක දාන්න පුළුවන්ද මට හොයාගන්න බැරිවුනා තාම.
තෙල් ගිවිසුම හා මිල සූත්‍රය ගැන ලිපියක් දාන්න බැරිද
ReplyDeleteගිවිසුම ප්‍රසිද්ධ කරලා තියෙනවද?
Deleteප්‍රසිද්ද කරල නැද්ශ? කට්ටිය ඔය හෝ ගාල ෆේස්බුක් එකේ දාන්නෙ
Deleteඉකොනොමැට්ටා
ReplyDeleteඇත්තටම ලංකාවේ තෙල් සංස්ථාවේ පාඩුව, නැත්නම් භාන්ඩාගාරයෙ පාඩුව පිළිබඳව මේ දිනවල කතාවක් යනවා. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
පහුගිය කාලේ දිගින් දිගටම පාඩු ලැබූ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙ පාඩුව 2022 ද කොහේද සීරෝ කරල ඒ ලොස් එක භාණ්ඩාගාරයට ගත්ත නේද?.දැන් ඛණිජ තෙල් සංස්ථාව භාන්ඩාගාරෙට ඒක ගෙවන්න ඕන ණයක් හැටියට. ආණ්ඩුව භාණ්ඩාගාරය ඒක රිකවර් කරගෙන යන අතරේ IOC ඇතුලු පෞද්ගලික අංශයේ ආයතන අධික ලෙස ලාභ ලබනවා නේද?
වසන්ත සමරසිංහ එහෙම මේකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කැබිනට්ටුවට චෝදනා එල්ල කරනවා, ඇත්තටම ඔවුන් වගකියන්න ඕන නේද මේකට? මේක ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
Thank you for stimulating our interest in Economics.
ReplyDelete