ජනාධිපති ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසුව ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය මේ වෙද්දී විශාල අවධානයකට ලක්ව තිබෙන දෙයක්. වෙළඳ යුද්ධය ඇමරිකාවේ සිදු වෙමින් පවතින දේවල් වලින් එකක් පමණයි. කෙටි කාලයක් ඇතුළත තවත් බොහෝ දේවල් වෙනස් වෙමින් තිබෙනවා.
පොදුවේ ගත්තහම ට්‍රම්ප් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සැලකිය හැක්කේ වෙළඳපොළ හිතවාදී ප්‍රතිපත්ති විදිහටයි. එහෙමනම් ඒ ප්‍රතිපත්ති පැකේජ් එකත් එක්ක ආරක්ෂණවාදී ප්‍රතිපත්ති යන්නේ කොහොමද? ජාත්‍යන්තර වෙළඳාම සීමා කෙරෙන ප්‍රතිපත්ති වෙළඳපොළ හිතවාදී ප්‍රතිපත්ති විදිහට සැලකිය හැකිද? වෙළඳ යුද්ධකදී සිදු වන්නේ කුමක්ද?
මෙය තේරුම් ගැනීමේ පහසුවට අපි ලංකාව සහ ඇමරිකාව අතර කෙරෙන වෙළඳාම උදාහරණයකට ගනිමු.
ලංකාව ඇඟලුම් මසා ඇමරිකාවට අපනයනය කරනවා. ඇමරිකාවේ සිල්ලර වෙළඳසැලක ඩොලර් 50කට විකිණෙන ඇඟලුමක් ලංකාවේ සිට ඇමරිකාවට එද්දී මිල ඩොලර් 10ක් සේ සලකමු. මේ ඇඟලුමේ පැයක මිනිස් ශ්‍රමය තිබෙනවා කියා හිතමු. ලංකාවේදී පැයක මිනිස් ශ්‍රමයේ වටිනාකම ඩොලරයක් නැත්නම් රුපියල් 300ක් කියා හිතමු.
දැන් මේ ඇඟලුම ඇමරිකාවට ඇමරිකාවේදීම හදාගන්න බැරිකමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය, ශ්‍රමය, තාක්ෂනය ආදී සියල්ලම ඇමරිකාවේ තිබෙනවා. එසේ තිබියදී ඇඟළුම ඇමරිකාවේ නොහදා ලංකාවෙන් ආනයනය කරන්න ප්‍රධානම හේතුව ඇමරිකාවේ පැයක ශ්‍රමයේ මිල වඩා වැඩි වීම.
ලංකාවේ ඩොලරයක් වන පැයක ශ්‍රමය ඇමරිකාවේදී ඩොලර් 15ක් පමණ වෙනවා. ඒ කියන්නේ ඇඟළුම ඇමරිකාවේ නිපදවිය හැකි වුනත්, එසේ කළොත් එහි පිරිවැය ඩොලර් 14කින් ඉහළ යනවා. ප්‍රවාහන ගාස්තු වලින් වන ඉතිරිය ඉවත් කළත්, පිරිවැය ඩොලර් 12කින් පමණ ඉහළ යනවා. ඒ නිසා, මෙය ඇමරිකාවේම නිපදවුවොත් සිල්ලර මිල ඩොලර් 50 සිට ඩොලර් 62 පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. මිල ඉහළ යද්දී ඉල්ලුම අඩු වීමත්, ඒ නිසා සිදු වන මිල අඩු වීමත් සැලකීමෙන් පසුවද එම මිල ඩොලර් 60ක් පමණ වෙන්න පුළුවන්. ඇඟලුම ඇමරිකාවේ නිපදවන්නේ නැතිව ලංකාවේ හදන එකෙන් පාරිභෝගිකයාට ඩොලර් 10ක පමණවත් වාසියක් ලැබෙනවා.
දැන් ඇමරිකාවේ රජය විසින් එකවරම මේ ඇඟලුම ආනයනය කරද්දී ඒ මත 100%ක බද්දක් දැම්මොත් වෙන්නේ කුමක්ද? ඇඟලුම රට ඇතුළට එද්දීම ඩොලර් 10ට තව ඩොලර් 10ක් එකතු වෙලා ඩොලර් 20ක් වෙනවා. පාරිභෝගිකයාට යද්දී මිල ඩොලර් 50 සිට 60 දක්වා ඉහළ යනවා.
ඇමරිකන් රජය විසින් ඔය වගේ බද්දක් පැනවූ වහාම වෙන්නේ මිල ඉහළ යන එක. එහි බර දරාගන්න වෙන්නේ ඇමරිකාවේ පාරිභෝගිකයාට. ලංකාවේ සැපයුම්කරුට ක්ෂණිකව විශාල බලපෑමක් වෙන්නේ නැහැ.
මේ බද්ද දමන්නේ ලංකාවේ ඇඟලුම් වලට පමණක්නම් ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවට තමයි. නමුත් පොදුවේ ඇමරිකාවට ආනයනය කරන ඇඟලුම් සියල්ලටම බලපාන බද්දක් දැම්මොත් ලංකාවට වෙන්නේ මිල ඉහළ යාමේදී ඉල්ලුම අඩු වීම නිසා සිදු වන පාඩුව පමණයි.
එහෙමනම්, මේ වගේ වැඩකින් ඇමරිකාවට තිබෙන වාසිය කුමක්ද?
ක්ෂණිකව සිදු වෙන්නේ ඇමරිකාව ඇතුළේදී ආනයනික ඇඟලුම් මිල ඉහළ යාම පමණක් වුවත්, ඒ එක්කම ඇමරිකාවේ ඇඟලුම් නිපදවන්නේ නැතිව ලංකාවේ (හෝ වෙනත් ශ්‍රමය ලාබ රටක) ඇඟලුම් නිපදවන එකේ විශේෂ වාසියක් නැතිව යනවා. බද්ද තවත් වැඩිනම් එහෙම කරන එක පාඩු වැඩක් වෙන්නත් පුළුවන්. ඒ නිසා, දිගුකාලීනව ලංකාවේ තිබෙන ඇඟලුම් කම්හල් එකින් එක වැහිලා ඒවා නැවත ඇමරිකාවට විතැන් වෙනවා. ඇමරිකාවේ රැකියා වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා. හැබැයි පාරිභෝගිකයාට වැඩි මිලක් ගෙවන්නත් වෙනවා.
කෙටිකාලීනව විශාල බලපෑමක් නැතත්, දිගුකාලීනව ලංකාවේ නිෂ්පාදනය අඩු වෙනවා. රැකියා නැති වෙනවා.
දැන් අපි ලංකාව වෙනුවට කැනඩාව, මෙක්සිකෝව හෝ චීනය ආදේශ කළත් වෙන්නේ ඔය වැඩේමනේ. ඇමරිකාව පටන් ගත් වෙළඳ යුද්ධය නිසා ක්ෂණිකව සිදු වෙන්නේ ඇමරිකාවේ පාරිභෝගිකයාට ඒ රටවලින් එන භාණ්ඩ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න වෙන එක. නමුත් දිගුකාලීනව ඇමරිකාවේ නිෂ්පාදනය වැඩි වීමක්, රැකියා වැඩි වීමක් සිදු වෙනවා. කැනඩාවේ, මෙක්සිකෝවේ හා චීනයේ වෙන්නේ එහි අනෙක් පැත්ත. හැබැයි එහෙම වෙන්නේ ඒ රටවල් නිකම්ම බලාගෙන සිටියොත්.
සාමාන්‍යයෙන් එක රටක් වෙළඳ යුද්ධයක් පටන් ගත් විට අනෙක් රටවල් පාඩුව විඳ දරාගෙන බලා ඉන්නේ නැහැ. ඒ රටවල් විසින්ද එකට එක කරනවා. හොඳම උදාහරණය කැනඩාව. කැනඩාවේ භාණ්ඩ වලට ඇමරිකාව බදු ගහද්දී කැනඩාව ඇමරිකාවේ භාණ්ඩ වලටත් බදු ගහනවා. ඇමරිකාවේ බදු වලින් ඇමරිකාවේ පාරිභෝගිකයාට පාඩුවක් වෙනවා වගේම කැනඩාවේ බදු වලින් කැනඩාවේ පාරිභෝගිකයාටත් පාඩුවක් වෙනවා. නමුත් කැනඩාවේ අපනයන කර්මාන්ත වල රැකියා නැති වෙද්දී ආනයන ආදේශක කර්මාන්ත වල අලුතෙන් රැකියා හැදෙනවා. ඇමරිකාවේ ඒ අංශ වල රැකියා නැති වෙනවා. අවසාන වශයෙන් ඇමරිකාවේ එක අංශයක රැකියා හැදෙද්දී තවත් අංශයක රැකියා නැති වෙනවා. ශුද්ධ ප්‍රතිඵලය පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල ගණන් ඉහළ යාම පමණයි. ශුද්ධ වශයෙන් රැකියා ප්‍රමාණය කලින් තිබුණු ප්‍රමාණයමයි. සමහර විට ඊටත් අඩුයි.
වෙළඳ යුද්ධයක අවසන් ප්‍රතිඵලය ඕක කියලා ජනාධිපති ට්‍රම්ප් දන්නේ නැද්ද? අඩු වශයෙන් ඔහුගේ උපදේශකයෝවත් දන්නේ නැද්ද? එහෙම වෙන්න බැහැ කියන එක පැහැදිලි කරුණක්නේ. ඒ කියන්නේ මෙහි ඊට වඩා දෙයක් තිබෙනවා.
වෙළඳ යුද්ධයට හේතුව විදිහට ඉදිරිපත් කර තිබෙන ප්‍රකාශිත කරුණු වන්නේ බෝඩරය හරහා සංක්‍රමනිකයින් ඇමරිකාවට හොරෙන් පැමිණීමට සහ මත්ද්‍රව්‍ය පැමිණීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අදාළ රජයන්ට බලපෑම් කිරීම. මෙය ඒ තරම්ම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නය ඕකනම් එයට විසඳුම වෙළඳ යුද්ධයක් පටන් ගන්න එකද? මේවා ඇත්තම හේතු සේ සලකන්න අමාරුයි.
ගොඩක් වෙලාවට ඇත්තම හේතුව ඇමරිකාවේ වෙළඳ හිඟය. මේ ගැන ජනාධිපති ට්‍රම්ප් විසින් වරින් වර ඔහුගේ කණස්සල්ල පළ කර තිබෙනවා.
පසුගිය වසර වල ඇමරිකාවේ භාණ්ඩ අපනයන හා ආනයන දෙස බැලුවොත් වසරකට ඩොලර් ට්‍රිලියනයක් ඉක්මවන හිඟයක් දිගින් දිගටම පැවතී ඇති ආකාරය දැකිය හැකියි. පහත තිබෙන්නේ 2024 තත්ත්වය.
භාණ්ඩ අපනයන - ඩොලර් බිලියන 2083.8
භාණ්ඩ ආනයන - ඩොලර් බිලියන 3295.6
හිඟය (2024) - ඩොලර් බිලියන (-1211.7)
මේ හිඟය ලංකාවේ දදේනිය මෙන් 12 ගුණයකටත් වඩා වැඩි දැවැන්ත හිඟයක්. පෙර වසර වල තත්ත්වය බැලුවත් ලොකු වෙනසක් නැහැ.
වෙළඳ හිඟය (භාණ්ඩ)
2021 - ඩොලර් බිලියන (-1083.2)
2022 - ඩොලර් බිලියන (-1179.4)
2023 - ඩොලර් බිලියන (-1063.3)
වෙළඳ හිඟයක් තිබීම ඇමරිකාවට අලුත් දෙයක් නෙමෙයි. භාණ්ඩ ආනයන හා අපනයන පමණක් සැලකුවොත් 1976 වසරේ සිට එක දිගටම ඇමරිකාවේ තිබී ඇත්තේ හිඟයක්. කෙසේ වුවත්, ජාත්‍යන්තර වෙළඳාම කියා කියන්නේ භාණ්ඩ ආනයන සහ අපනයන පමණක් නෙමෙයි. සේවා ආනයන සහ අපනයනද එහි කොටසක්. ඔය මුළු කාලය පුරාම, ඊටත් පෙර සිටම, ඇමරිකාවේ සේවා සේවා ආනයන හා අපනයන දෙස බැලූ විට අතිරික්තයක් දැකිය හැකියි.
වෙළඳ අතිරික්තය (සේවා)
2021 - ඩොලර් බිලියන 235.1
2022 - ඩොලර් බිලියන 235.2
2023 - ඩොලර් බිලියන 278.4
2024 - ඩොලර් බිලියන 293.3
වාසිදායක සේවා වෙළඳාම නිසා භාණ්ඩ වෙළඳාමේ අවාසියෙන් කොටසක් ඉවත් වී ගියත්, සමස්තයක් ලෙස බැලුවත් දැකිය හැක්කේ ඇමරිකාවට අවාසිදායක තත්ත්වයක්.
වෙළඳ හිඟය (භාණ්ඩ හා සේවා)
2021 - ඩොලර් බිලියන (-848.1)
2022 - ඩොලර් බිලියන (-944.7)
2023 - ඩොලර් බිලියන (-784.9)
2024 - ඩොලර් බිලියන (-918.4)
ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාවේ මෙම අඛණ්ඩ වෙළඳ හිඟය පිළිබඳව කලක සිටම කණස්සල්ලෙන් සිටින අයෙකු ලෙස හඳුනාගත හැකියි. එමෙන්ම, ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා ඇමරිකාවේ වෙළඳ හිඟය අඩු කර ගැනීමට ඔහු විසින් මීට පෙරද උත්සාහ දරා තිබෙනවා.
ඇමරිකාවට සිදු කෙරෙන භාණ්ඩ ආනයන දෙස බැලුවහොත්, ඇමරිකාව වැඩිපුරම භාණ්ඩ ආනයනය කරන රටවල් වන්නේ කැනඩාවෙන්, මෙක්සිකෝවෙන් සහ චීනයෙන්. වෙළඳ යුද්ධය එම රටවල් තුනෙන් පටන් ගැනීමට හේතුව එයයි. පහත තිබෙන්නේ 2023දී එම රටවල් තුනෙන් ඇමරිකාව විසින් සිදු කළ භාණ්ඩ ආනයන වල වටිනාකම.
කැනඩාවෙන් - ඩොලර් බිලියන 427.3 (13.7%)
මෙක්සිකෝවෙන් - ඩොලර් බිලියන 484.5 (15.6%)
චීනයෙන් - ඩොලර් බිලියන 427.5 (13.8%)
ඇමරිකාවට 2023දී සිදු කෙරුණු ආනයන වලින් 43.1%ක්ම පැමිණියේ මේ රටවල් තුනෙන් එකකින්.
කෙසේ වුවද, ඇමරිකාවෙන් වැඩිපුරම භාණ්ඩ ආනයනය කරන රටවල් තුන වන්නේද ඉහත රටවල් තුනයි. පහත තිබෙන්නේ 2023දී ඉහත රටවල් තුන ඇමරිකාවෙන් සිදු කළ භාණ්ඩ ආනයන වල වටිනාකම.
කැනඩාව - ඩොලර් බිලියන 355.0 (17.4%)
මෙක්සිකෝව - ඩොලර් බිලියන 323.1 (15.8%)
චීනය - ඩොලර් බිලියන 148.8 (7.3%)
මෙම ආනයන ප්‍රමාණය ඇමරිකාවේ මුළු අපනයන ප්‍රමාණයෙන් 40.4%ක්. මේ අනුව, පෙනී යන්නේ ආනයන අනුව බැලුවත්, අපනයන අනුව බැලුවත්, ඇමරිකාවේ ප්‍රධානම වෙළඳ හවුල්කරුවන් වන්නේ කැනඩාව, මෙක්සිකෝව හා චීනය බවයි. අනෙක් අතට මේ රටවල් තුනේම ප්‍රධානම වෙළඳ හවුල්කරු ඇමරිකාවයි. කැනඩාවේ මුළු අපනයන වලින් 77%ක් සහ මෙක්සිකෝවේ මුළු අපනයන වලින් 78%ක් මිල දී ගන්නේ ඇමරිකාවයි. මීට සාපේක්ෂව චීනයේ අපනයන වලින් ඇමරිකාව විසින් මිල දී ගන්නා කොටස 17%ක් පමණයි.
සිය ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් තිදෙනා සමඟව ඇමරිකාව විසින් අවාසිදායක වෙළඳ ශේෂයක් පවත්වා ගෙන යන නමුත්, එම රටවල් තුන අතරින් වඩා විශාලම ආනයන අපනයන පරතරය තිබෙන්නේ චීනය සමඟයි. කැනඩාව හා මෙක්සිකෝව සමඟ තිබෙන වෙළඳ හිඟය ඊට සාපේක්ෂව අඩුයි. ඇමරිකාවට වැඩිම වෙළඳ හිඟයක් තිබෙන්නේ චීනය හා මෙක්සිකෝව සමඟ වුවත්, කැනඩාව සමඟ තිබෙන වෙළඳ හිඟය තෙවන විශාලතම හිඟය නෙමෙයි. එය පස්වැන්නයි. ඇමරිකාවට ජර්මනිය සහ වියට්නාමය සමඟ ඊට වඩා වැඩි වෙළඳ හිඟයක් තිබෙනවා.
ඇමරිකාවට වැඩිම වෙළඳ හිඟයන් තිබෙන්නේ (2023) පහත රටවල් සමඟයි.
චීනය - ඩොලර් බිලියන 278.7
මෙක්සිකෝව - ඩොලර් බිලියන 161.4
වියට්නාමය - ඩොලර් බිලියන 104.6
ජර්මනිය - ඩොලර් බිලියන 83.2
කැනඩාව - ඩොලර් බිලියන 72.3
ජපානය - ඩොලර් බිලියන 71.9
අයර්ලන්තය - ඩොලර් බිලියන 65.5
දකුණු කොරියාව - ඩොලර් බිලියන 51.0
තායිවානය - ඩොලර් බිලියන 47.3
ඉතාලිය - ඩොලර් බිලියන 44.5
ඉන්දියාව - ඩොලර් බිලියන 43.2
ඇමරිකාවේ වෙළඳ යුද්ධය මොන විදිහට අවසන් වෙයිද? මේ වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ වෙළඳ හිඟය අඩු වෙයිද? ජනාධිපති ට්‍රම්ප් කැනඩාවට, මෙක්සිකෝවට සහ චීනයට තියපු අත ඉහත ලැයිස්තුවේ අනෙකුත් රටවල් වලටත් තියයිද? එයින් එහාට ගිහින් ලංකාව වැනි රටවලටත් අත තියයිද? මේ කරන වැඩෙන් අවසාන වශයෙන් ඇමරිකාවට වාසියක් වෙයිද? මේ ක්‍රියාමාර්ග ඇතුළේ ඇමරිකාවේ වෙළඳ හිඟය අඩු කර ගැනීමේ අරමුණෙන් එහාට ගිය තවත් දේවල් තියෙනවද? තියෙනවානම් ඒ මොනවාද?
ඉහත ප්‍රශ්න අපි වෙනත් ලිපියකට හෝ ලිපි කිහිපයකට ඉතිරි කරමු.