පළාත් පාලන මැතිවරණ අවසන් වීමෙන් පසුව, වෙනත් මැතිවරණයක් ලඟ පාතක නැති පසුබිමක, නැවතත් "නිදහසේ" යමක් කතා කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ පසුබිම තුළ අපේ පාඨකයින්ගෙන් කොටසක් "පැන්සල් උල් කිරීම" වෙනුවෙන් කාලය යොදවා ඇති බව පෙනෙනවා. ඇත්ත වශයෙන්ම, මේ කාලය පැන්සල් උල් කිරීම සඳහා හොඳ කාලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, එදිනෙදා සිදු වීම් වලින් එහාට ගිහින් සංකල්ප නිරවුල් කරගන්න හොඳ කාලයක්.
වසර දහයකට පෙර පැවති තත්ත්වය එක්ක සසඳද්දී අද ලෝක සමාජය වගේම ලංකාවේ සමාජයද දකුණට බර වී තිබෙන බව පැහැදිලිව පෙනෙන කරුණක්. දකුණ ගැන විවිධ අර්ථකතන හා මතිමතාන්තර තිබුණත්, ඒ කොයි අර්ථකථනය අනුව වුවත් මේ කරුණ සෑහෙන තරම් පැහැදිලිව පේනවා. මේ පසුබිම තුළ, විශේෂයෙන්ම ලංකාව ඇතුළේ, "දකුණ තුළ" මතවාදී බෙදීම් ඇති වෙමින් තිබෙනවා. මෙය අලුත් තත්ත්වයක්.
මේ මතවාදී බෙදීම් එක්ක, ඇතැම් වෙලාවට, ඇතැම් සංකල්ප අවභාවිතා වීමක්ද සිදු වෙනවා. අවභාවිතා වීමක් යන්නෙන් අදහස් කළේ සාමාන්‍ය සම්මත අර්ථයෙන් බැහැර අදහසක් ගම්‍ය වන සේ යොදා ගැනීම. අප ලියන ඇතැම් ලිපි අවුරුදු හත අටකට පසුවත් නැවත උඩට එන නිසා, ඉඩ ලැබෙන පරිදි සංකල්ප නිරවුල් කරන ලිපි ලියන එක ගැන නැවත වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් පසුව එදිනෙදා සිදු වීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ලිපි ලියන්න සිදු වුනත්, ඊට පෙර කාලයේ මේ විදිහේ ලිපි වැඩිපුර ලියවුනා. මෙවැනි ලිපි විශාල පිරිසක් වෙත නොයාම ප්‍රශ්නයක් නෙමෙයි.
මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද?
අප අද ජීවත් වන ලෝකයේ බොහෝ දෙනෙකුට දැකිය හැකිව තිබෙන්නේ මූලික වශයෙන්ම වෙළඳපොළ මත පදනම් වූ ආර්ථික ක්‍රමයක්. තැන් වල වෙනස්කම් තිබුණත් මේ ක්‍රමයට සාධාරණ වශයෙන් වෙළඳපොළ ආර්ථික ක්‍රමය කියා කියන්න පුළුවන්. මධ්‍යගත සැලසුම් ක්‍රමය කියන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයට විකල්පයක් සේ ගොඩ නැගුනු ක්‍රමයක්. එය ප්‍රායෝගිකව එවැනි එකම විකල්ප ක්‍රමය කියා කිවුවත් එහි වැරැද්දක් නැහැ. ඊට හේතුව මධ්‍යගත සැලසුම් ක්‍රමය වෙළඳපොළ ආර්ථික ක්‍රමයට පූර්ණ විකල්පයක් යෝජනා කිරීම සහ එම ක්‍රමය සැලකිය යුතු තරම් දීර්ඝ කාලයක් පුරා ලෝකයෙන් සැලකිය යුතු කොටසක් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමයි.
අද අප ආර්ථික විද්‍යාව සේ හඳුන්වන, මෙහි බොහෝ විට කතා කරන, ප්‍රචලිත විෂය වෙළඳපොළ ආර්ථික ක්‍රමය මත පදනම්ව ගොඩ නැගුනු විද්‍යාවක්. එහෙයින්, ඉතාම මූලික අදියරකදීම වෙළඳපොළ ආර්ථික ක්‍රමයෙන් විභේදනය වන මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ නූතන ආර්ථික විද්‍යා න්‍යායයන් බොහොමයක් වලංගු වන්නේ නැහැ. මධ්‍යගත සැලසුම් ක්‍රමය සාපේක්ෂව සාර්ථකව ක්‍රියාත්මක වූ තැන් වල යොදා ගැනුණේ විකල්ප ආර්ථික විද්‍යාවක්.
මධ්‍යගත සැලසුම් ක්රමයේ දෘෂ්ඨිවාදී පදනමේ තිබෙන්නේ පෞද්ගලික ප්රාග්ධනය එක්රැස්වීම ඓතිහාසිකව සිදු වූ වැරැද්දක් සේ හඳුනාගෙන පෞද්ගලික දේපොළ අයිතිය ප්‍රතික්ෂේප කිරීම සහ ප්රාග්ධනය පොදු අයිතියට යටත් කිරීමයි. මෙහිදී පොදු ප්රාග්ධනයේ භාරකරු වන රජයට රටක සියලුම නිෂ්පාදන සාධක වල අයිතිය පැවරෙන අතර, මුළු රටේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදා දීම සිදු වන්නේ රජයේ අභිමතය පරිදි, රජයේ සැලසුමකට අනුවයි. මධ්‍යගත සැලසුමක් සේ හැදින්වෙන්නේ මෙම සැලසුමයි.
මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ වුවද, ලෝකයේ පවතින ඇතැම් මූලික වාස්තවික තත්ත්වයන් බැහැර කළ නොහැකියි. මිනිස් අවශ්‍යතා අසීමිත වීම සහ එම අසීමිත අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තිබෙන සම්පත් ප්‍රමාණය සීමා වීම මූලික වාස්තවික සීමාවක්. ඒ නිසා, මෙම සීමිත සම්පත් ප්‍රමාණය "සාධාරණ ලෙස" බෙදා ගත හැකි කිසියම් සමාජ සැකැස්මක් අවශ්‍ය වෙනවා. වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ මෙම සාධාරණත්වයේ පදනම සේ සැලකෙන්නේ සම්පත් නිපදවන්නන්ට එම සම්පත් වල හිමිකම ලැබීමයි. එය සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහසයි.
සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහස සියල්ලන් විසින්ම පොදුවේ පිළිගන්නා අදහසක් නෙමෙයි. සම්පත් නිපදවීම සඳහා ශ්‍රමයේ දායකත්වය පිළිබඳ එතරම් ගැටළු නැතත් ප්රාග්ධනයේ දායකත්වය පිලිබඳව ප්‍රධාන විකල්ප අදහස් දෙකක් තිබෙනවා. ධනවාදී තර්කනය තුළ ප්රාග්ධනයේ දායකත්වය ප්රාග්ධනයේ වත්මන් හිමිකරුගේ දායකත්වය සේ සැලකෙන නමුත් මෙම අදහස හා එකඟ නොවන්නන් විසින් තර්ක කරන්නේ ප්‍රාග්ධන හිමිකාරත්වය ඓතිහාසිකව සාධාරණ ලෙස ගොඩ නැගුනු දෙයක් නොවන බවයි.
නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දැනුමේ අයිතිය පිළිබඳවද මෙවැනි විසංවාද තිබෙනවා. විකල්ප අදහස වනුයේ දැනුම යනු කාලයක් තිස්සේ සිදු වූ සමාජයීය ගොඩනැගුමක් බැවින් එහි ප්රතිලාභ පෞද්ගලිකව ලබා ගැනීම වැරැද්දක් බවයි. එහෙත්, අනෙක් අතට තර්ක කළ හැක්කේ පොදුවේ තිබෙන දැනුමක් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකි වුවත්, අනෙක් අය එසේ නොකරද්දී එක් අයෙකු විසින් පමණක් එම දැනුම නිෂ්පාදනය සඳහා යොදා ගන්නේනම් එහි ප්රතිලාභ ලබා ගැනීම සඳහා එවැන්නෙකුට පූර්ණ අයිතියක් ඇති බවයි.
වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ, අඩු වශයෙන් සංකල්පීය ලෙස, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය තනිකරම පෞද්ගලික කටයුත්තක්. නිදහස් හුවමාරුව හේතුවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා දායක වන ඒකීය පුද්ගලයින්ට තමන් විසින් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වටිනාකම ඉක්මවන පරිභෝජනයක් සිදු කරන්නට ඉඩ සැලසෙන නමුත් අවසාන වශයෙන් එක් එක් පුද්ගලයාගේ නිෂ්පාදන හැකියාව මගින් පරිභෝජන හැකියාව සීමා කරනවා.
වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළ රටක භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා දීම මෙහෙයවන තනි මධ්‍යගත සැලසුමක් නැහැ. එහෙත් ඒකීය පුද්ගලයින් විසින් තමතමන්ගේ සැලසුම් අනුව නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය සිදු කරනවා. මෙම ඒකීය පුද්ගල සැලසුම් අතර ගැටුමක් ඇති නොවන බවටත්, එම සැලසුම් සම්බන්ධීකරණය වන බවටත් වග බලා ගන්නේ මිල යාන්ත්‍රනයයි. මිල යාන්ත්රනයේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම තරමක් අපහසු විය හැකි වුවත්, මිල යාන්ත්‍රනය හරහා ඉහත කටයුත්ත හොඳින් සිදු වන බව ප්‍රායෝගිකව පෙනෙන්නට තිබෙන දෙයක්. විශේෂයෙන්ම මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක වූ සමාජ හා සසඳා බලද්දී මිල යාන්ත්රනයේ සාර්ථකත්වය පැහැදිලිව පෙනෙනවා.
කෙසේ වුවත්, "මිල යාන්ත්‍රනය හොඳින් හා සාර්ථකව ක්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙනවා" යන්නෙන් අදහස් වන්නේ එය හැම විටම, කිසිදු දෝෂයක් නොමැතිව, ක්‍රියාත්මක වන බව නෙමෙයි. සෛද්ධාන්තිකව එසේ විය හැක්කේ කල්පිත තත්ත්වයන් යටතේදීයි. සැබෑ ලෝකයේ පවතින තත්ත්වය බොහෝ විට මේ කල්පිත තත්ත්වයන්ට ආසන්න වුවත්, එය එසේ නොවන අවස්ථාද සුලබයි. එවන් අවස්ථා වලදී සාමාන්‍යයෙන් කරන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළම ප්‍රශ්න වලට පිළියම් සෙවීමයි. මෙවන් අවස්ථා වලදී පොදුවේ වෙළඳපොළ ක්‍රමය පිළිගන්නා කොටස් අතරම මත ගැටුම් ඇති වෙනු දැකිය හැකියි.
වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළම රැඳෙමින්, වෙළඳපොළ හරහා ස්වභාවික ලෙස නොවිසඳෙන ගැටළු වලට පිළියම් සෙවීම වෙළඳපොළ ආර්ථික ක්‍රමය බැහැර කිරීමක් හෝ මධ්‍යගත සැලසුම් ක්‍රමයක් වෙත විතැන් වීමක් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ වෙළඳපොල මුළුමනින්ම ප්‍රතික්ෂේප කර බැහැර කරන ක්‍රමයක් බැවින් මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ වෙළඳපොළ ප්‍රශ්න වලට පිළියම් සෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ.
මෙහිදී වෙළඳපොළ යන්නෙන් අදහස් වන්නේ වෙළඳපොළ පිළිබඳ සංකල්පීය අදහස මිස "බඩු විකුණන ස්ථාන" පැවතීම නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ වුවද බඩු විකුණන තැන් තියෙන්න පුළුවන් වගේම ප්‍රායෝගිකව එවැනි තැන් තිබුණා. නමුත් මිල සංඥාවක් නැත්නම්, මිල සංඥාව මත පදනම්ව ඉල්ලුම හා සැපයුම තුලනය නොවේනම්, බඩු විකුණන ස්ථාන පැවති පමණින් එය වෙළඳපොළක් වන්නේ නැහැ.
මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ ඉල්ලුම හා සැපයුම තුලනය කිරීම රජය විසින් සැලසුම් සහගත ලෙස සිදු කරන්නක් මිස මිල සංඥාව හරහා ස්වයංක්‍රීයව සිදු වන දෙයක් නෙමෙයි. මෙහිදී, සංවෘත ආර්ථිකයක් ඇති රටකදීනම්, සැපයුම යනු නිෂ්පාදනය බැවින් නිෂ්පාදනය සැලසුම් කිරීම සඳහා ඉල්ලුම පුරෝකථනය කරන්නට සිදු වෙනවා. නමුත් මෙහිදී මතු වන ප්රශ්නය වන්නේ ඉල්ලුම මිලෙන් ස්වායත්ත නොවීමයි. ඒ නිසා, මිල සංඥාවක් නැති සමාජ-ආර්ථික ආකෘතියක් තුළ, ඉල්ලුම යන සංකල්පයටද අර්ථයක් නැති වෙනවා.
ඉල්ලුම යන සංකල්පය නැති වෙද්දී ඒ වෙනුවට ආදේශ වන්නේ අවශ්‍යතාවය යන්නයි. මේ අනුව, ඉල්ලුම සහ සැපයුම තුලනය කිරීම අවශ්‍යතා සහ නිෂ්පාදනය තුලනය කිරීමක් බවට පත් වෙනවා. වෙළඳපොළ ක්‍රමයට පුරුදු වී තිබෙන කෙනෙකුට මෙහි යම් අවුලක් පෙනෙනු ඇතත්, ඉල්ලුම හා සැපයුම අපෝහනය වන්නේද අවශ්‍යතා සහ නිෂ්පාදනය මතයි. අවශ්‍යතා ඉල්ලුම බවටත්, නිෂ්පාදනය සැපයුම බවටත් පරිවර්තනය වන්නේ වෙළඳපොළ මත පදනම් වූ සමාජ-ආර්ථික ආකෘතියක් තුළයි. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම යන සංකල්ප අපට හුරු පුරුදු අර්ථයෙක් පැවතීම අනිවාර්ය සමාජ කොන්දේසියක් වන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළදී පමණයි.
වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළදී වුවද ඒකීය පුද්ගලයෙකුට තමන්ගේ අවශ්‍යතා සියල්ල ඉටු කර ගැනීමට අවකාශ සැලසෙන්නේ නැහැ. එය එක් එක් පුද්ගලයාගේ නිෂ්පාදන හැකියාව අනුව සීමා වෙනවා. එහෙත්, එහිදී පුද්ගලයෙකුට තම තමන්ගේ රුචිකත්ව ප්‍රමුඛතා අනුව තෝරා ගැනීමක් කිරීමට ඉඩ ලැබෙනවා. එක් එක් පුද්ගලයාගේ නිදහස් කැමැත්තට ඉඩ ලැබෙනවා.
මධ්‍යගත සැලසුම් ක්‍රමය යෝජනා වෙන්නේ වෙනත් දෘෂ්ඨිවාදයක් තුළයි. ඒ අනුව, ඒකීය පුද්ගල රුචිකත්වයන් වෙනුවට පොදු මිනිස් අවශ්‍යතා වෙත අවධානය යොමු වෙනවා. අවශ්‍යතා පුරෝකථනය කෙරෙන්නේ මෙම පදනම මතයි. මේ අනුව, මූලික අවශ්‍යතා වලින් පටන් ගෙන අවශ්‍යතා ධුරාවලියක් සකස් වෙනවා. නිෂ්පාදනය සැලසුම් වන්නේ මෙම අවශ්‍යතා ධුරාවලිය තුළ හැකි තාක් ඉහළට යාම ඉලක්ක කරගෙනයි.
මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ වුවද අවසාන වශයෙන් පුද්ගලයින්ට නිෂ්පාදනය සඳහා දායක වීමට සිදු වෙනවා. එහෙත්, ඔවුන් විසින් එය සැලසුම් කළ යුතු නැහැ. ඒ වගේම, නිෂ්පාදනය පෞද්ගලිකව සැලසුම් කිරීමට ඔවුන්ට ඉඩක් ඇත්තේද නැහැ. ඒ නිසාම, ඔවුන්ට තමන් වඩාත්ම කැමති නිෂ්පාදන කාර්යයෙහි යෙදීමට ඉඩක් ඇති බවට සහතිකයක්ද නැහැ. ඒකීය පුද්ගල රුචිකත්වයන් කෙරෙහි වැඩි බරක් නොතබන දෘෂ්ඨිවාදී සන්දර්භයක් තුළ මේ දේවල් ප්‍රශ්න සේ සැලකෙන්නේ නැහැ.
මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ නිෂ්පාදනය සඳහා ශ්‍රමය වෙන් කෙරෙන්නේද අවශ්‍යතා අනුපිළිවෙළ මත පදනම්වයි. එවිට, යම් අදියරකදී ශ්‍රම සම්පත් අවසන් වෙනවා. එම මට්ටම නිෂ්පාදනයේ මෙන්ම ඒකීය පුද්ගල පරිභෝජනයේද උපරිම සීමාව සලකුණු කරනවා. මෙහිදී රටේ හැම දෙනෙකුගේ මෙන්ම මූලික අවශ්‍යතා සැපිරෙනවා. නමුත් තනි පුද්ගලයෙකුට අවශ්‍ය ඇතැම් දේවල් ලබා ගන්න කිසිදු අවස්ථාවක් ඉතිරි වන්නේ නැහැ.
මධ්‍යගත සැලසුම කිසිදු වැරැද්දක් නොමැතිව හරියටම ක්‍රියාත්මක වේනම් (සාමාන්‍යයෙන් එසේ නොවන්නේ වුවත්), අවශ්‍යතා සහ නිෂ්පාදනය හරියටම සමපාත වීමක් සිදු වෙනවා. මෙහිදී අවශ්‍යතා යන්නෙන් අදහස් කරන්නේ ඒකීය පුද්ගල අවශ්‍යතා සේ රජය විසින් හඳුනා ගන්නා භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙම ගැලපීම මධ්‍යගත සැලසුම මගින් සිදු වන බැවින්, අප වඩා හුරු පුරුදු සංකල්ප අනුව, "ඉල්ලුම හා සැපයුම ගැලපීමට" මිල සංඥාවක් අවශ්‍ය වන්නේ නැහැ. මිල කවර එකක් වුවද ඉල්ලුම හා සැපයුම ගැලපෙනවා. ඒ නිසා, රජය විසින් මිල කවර මට්ටමක පැවතිය යුතුයැයි නිර්ණය කළද, එයින් "වෙළඳපොළ යාන්ත්‍රනය" කෙරෙහි බලපෑමක් සිදු වන්නේ නැහැ. ඒ නිසාම, මෙවැන්නක් මිල පාලනයක් නෙමෙයි. රජයකට මිල පාලනයක් සිදු කළ හැක්කේ වෙළඳපොළ මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් රටක ක්‍රියාත්මක වේනම් පමණයි.
අප මෙතෙක් කතා කළේ සංකල්ප මත පදනම්ව බැවින්, තේරුම් ගැනීමේ පහසුව පිණිස, මධ්‍යගත සැලසුමක් යටතේ ක්‍රියාත්මක වන මනඃකල්පිත ලංකාවක් සිතින් මවා ගනිමු. ආකෘතිය සරල කර ගැනීම සඳහා මෙය සංවෘත ආර්ථිකයක් ලෙසද සලකමු. උතුරු කොරියාව වැනි රටක දැනටත් තිබෙන්නේ මෙවැනි ක්‍රමයක් විය යුතුයි.
දැන් මේ ක්‍රමය තුළ රටේ සියලුම ඉඩම් වල අයිතිය තිබෙන්නේ රජය සතුවයි. ඒ අනුව, කුඹුරු ඉඩම් සියල්ලේ අයිතිය තිබෙන්නේද රජය සතුවයි. සහල් කියන්නේ රටේ ඒකීය පුද්ගල අවශ්‍යතා ලැයිස්තුවේ ඉහළින්ම එන භාණ්ඩයක්. මේ අනුව, රජය විසින් පළමුව කළ යුත්තේ එක් පුද්ගලයෙකුට වසරකට අවශ්‍ය සහල් ප්‍රමාණය තීරණය කර, රටේ සහල් අවශ්‍යතාවය ඇස්තමේන්තු කිරීමයි. ඉන් පසුව එක් එක් කන්නය තුළ එම සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරන ආකාරය තීරණය කර ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය වෙන් කරන්නට සිදු වෙනවා. ඉන් පසුව, අවශ්‍ය ශ්‍රමිකයින් ප්‍රමාණය ඒ සඳහා වෙන් කරන්නට සිදු වෙනවා. මේ අයුරින් අනෙකුත් සම්පත්ද වෙන් කිරීමෙන් පසුව, සැලසුම හරියටම ක්‍රියාත්මක වුවහොත්, රටේ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය හරියටම නිපදවා ගන්න පුළුවන්. අතිරික්තයක් හෝ හිඟයක් නැහැ.
රටේ සහල් අවශ්‍යතාවය සහ නිෂ්පාදනය හරියටම සමානනම්, පවුල් අතර සහල් බෙදා දීම අසීරු කාර්යයක් නෙමෙයි. මෙහිදී අය කරන මිල සංකේතයක් පමණයි. එය ශුන්‍ය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රජයට අවශ්‍යනම් සහල් නොමිලේ බෙදා දෙන්නත් පුළුවන්.
මෙසේ සහල් නිෂ්පාදනය මධ්‍යගත සැලසුම තුළ තීරණය කිරීමෙන් පසුව, අවශ්‍යතා අනුපිළිවෙල අනුව, අනෙකුත් භාණ්ඩ හා සේවාවන්ද එතුළට එකින් එක ගන්න පුළුවන්. පොල්, එළවළු, මිරිස් ආදී ලෙස. නමුත් යම් සීමාවකදී රටේ ඉඩම් ප්‍රමාණය වෙන් කර අවසන් වෙනවා. යම් සීමාවකදී රටේ ශ්‍රමය වෙන් කර අවසන් වෙනවා. ඒ සීමාවෙන් එහාට යද්දී පරිභෝජනය සීමා කරන්න වෙනවා. ඒ අනුව, වසරකට ලැබෙන ඇඳුම් ප්‍රමාණය සීමා වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව නැති වෙලාම යන්න පුළුවන්. (වෙළඳපොළ ක්‍රමයකදී වුවද, නිෂ්පාදනය හා අදාළව, මේ භෞතික සීමාවන් එලෙසම තිබෙනවා).
කල්පිත පූර්ණ මධ්‍යගත සැලසුමක් ඇතුළේ මුදල් කියා දෙයක් අවශ්‍ය වෙන්නේම නැහැ. රජයට සියලු වැඩිහිටියන්ට වැඩ කිරීම අනිවාර්ය කර, ඔවුන්ට වැටුප් නොගෙවා, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. නමුත් මුදල් යොදා ගැනීම මගින් මධ්‍යගත සැලසුමක් වුනත් තරමක් නම්‍යශීලී ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. මෙහිදී ශ්‍රමිකයින්ට වැටුප් ලැබෙනවා. ඔවුන්ට මුදල් ගෙවා භාණ්ඩ හා සේවා මිල දී ගන්නත් පුළුවන්. නමුත් අවශ්‍ය පමණ මිල දී ගන්න බැහැ. සීමාවක් තිබෙනවා. රජය විසින් තීරණය කර තිබෙන අවශ්‍යතාවයේ ප්‍රමාණය පමණයි.
සමාජවාදී විප්ලවයකින් රටක රාජ්‍ය බලය අල්ලා ගත්තත්, ඔය වගේ පූර්ණ මධ්‍යගත සැලසුමකට එකවර යන්න බැහැ. කාලයක් තිස්සේ පෞද්ගලික දේපොළ ක්‍රමය යටතේ හැඩ ගැසී තිබෙන සමාජයක සියලුම නිෂ්පාදන පහසුකම්, දේපොළ ඇතුළු ප්රාග්ධනය රජයේ අයිතියට ගැනීම වසර ගණනාවක යුද්ධයක්. මහජන ඡන්දයකින් බලයට පත් වෙන ආණ්ඩුවකට මෙවැන්නක් වඩා අසීරුයි. නමුත් පූර්ණ මධ්‍යගත සැලසුමක තෝරාගත් කොටස් එකින් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමගි පෙරමුණු ආණ්ඩුව කළේ ඒ වැඩේ. ඊට පෙර සිටම ජනසතු කිරීම් හරහා මේ වැඩේ යම් මට්ටමකින් සිදු වුනා. නමුත් ජනසතු කිරීම් වලට එකම හේතුව වුනේ මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට යන්න තිබුණු අවශ්‍යතාවය නෙමෙයි. ජාතිකවාදී අරමුණු පෙරදැරිව විදේශ සමාගම් සතු දේපොළ "ජනසතු" කළ අවස්ථාද තිබෙන නිසා, මධ්‍යගත සැලසුම් අරමුණ එකම අරමුණ වුනා කියා කියන්න බැහැ.
සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ ඔය විදිහේ පූර්ණ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට තිබුණු මතවාදී ඉල්ලුම අවසන් වුනා. දැන් ඔය වගේ ක්‍රමයකට කිට්ටු ක්‍රමයක් තියෙන්නේ උතුරු කොරියාවේ සහ කියුබාවේ පමණයි. කියුබාව වුනත් වෙනස්කම් කරමිනුයි ඉන්නේ.
සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ මතවාදී තලයේදී මධ්‍යගත සැලසුම් ක්‍රමය පරාජය වුනේ ප්‍රායෝගිකව පෙනෙන්නට තිබුණු එම ක්රමයේ දුර්වලකම් නිසා. නමුත් මධ්‍යගත සැලසුම් ක්‍රමය දශක හතක් සෝවියට් දේශයේ ක්‍රියාත්මක වුනා. ඒ කාලය තුළ සෝවියට් දේශය ප්‍රබල රාජ්‍යයක් ලෙස ගොඩ නැගුනා සහ පැවතුනා. සෝවියට් දේශයෙන් පිටත, විකල්ප වෙළඳපොළ ආර්ථික ක්‍රමය යටතේ වඩා සාර්ථක වූ රටවල් පෙනෙන්නට නොතිබුණානම්. මධ්‍යගත සැලසුම් ක්රමයේ දුර්වලතා මේ විදිහට සංසන්දනය වෙන්නේ නැහැ. නැගෙනහිර හා බටහිර ජර්මනි, දකුණු හා උතුරු කොරියා වගේ නිදර්ශන නිසා වෙනස පැහැදිලිව පෙනුනා.
වෙන් වී සිටි කාලයේදී විවිධ ක්‍රම වලින් නැගෙනහිර ජර්මනියේ සිට බර්ලින් තාප්පය තරණය කර බටහිර ජර්මනියට පැමිණි හෝ පැමිණෙන්න උත්සාහ කළ අය හිටියත් එය අනෙක් අතට ඒ විදිහටම සිදු වුනේ නැහැ. මධ්‍යගත සැලසුම් ක්‍රම යටතේ දිගු කාලයක් ඉන්න මිනිස්සු කැමති වුනේ නැහැ. මෙයට හේතුව වුනේ මධ්‍යගත සැලසුමකට සංකීර්ණ ඒකීය පුද්ගල රුචිකත්වයන් හඳුනා ගැනීම සඳහා හැකියාවක් නොතිබීම.
ප්‍රායෝගික නිදර්ශන පෙනෙද්දී මධ්‍යගත සැලසුම් ක්‍රමය මතවාදී තලයේදී පසු බෑමකට ලක් වුනත්, ඒ සඳහා පදනම් වූ සංකල්පීය පදනම අදටත් විශාල බිඳ වැටීමකට ලක් වී නැහැ. සමහර විට අනාගතයේදී මධ්‍යගත සැලසුම් ක්‍රමය වඩා දියුණු හා පරිපූර්ණ ආකාරයකින් නැවත මතු වෙන්නත් පුළුවන්. මෙය එවැනි ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීමක් සේ වරදවා වටහා ගත යුතු නැහැ. මේ මට පෙනෙන තත්ත්වය.
වෙළඳපොළ තර්කනයේ පදනම වෙන්නේ තමන්ට හොඳම දෙය හොඳින්ම දන්නේ තමන් පමණක්ය යන්නයි. මෙය බොහෝ අවස්ථා සඳහා නිවැරදි තර්කයක්. වෙළඳපොළ යාන්ත්‍රනය, සාමාන්‍ය කරුණක් ලෙස, හොඳින් ක්‍රියාත්මක වන්නේ ඒ නිසා. නමුත් එයින් අදහස් වන්නේ මේ තර්කය හැම විටම නිවැරදි බව නෙමෙයි. සරල උදාහරණයක් ලෙස, ඔබ රෝගී වූ විට ඔබ සඳහා හොඳම දෙය ඔබේ වෛද්‍යවරයා ඔබට වඩා හොඳින් දන්නවා. මෙවැනි අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඔබට හොඳම දෙය ඔබට වඩා හොඳින් වෙනත් අයෙකු දන්නේ නැහැ.
කෘතීම බුද්ධිය නිසා ඉහත තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. ඒ හරහා, අලුත් ආකාරයක මධ්‍යගත සැලසුම් ක්‍රමයකට පාර කැපෙමින් තිබෙනවා. මෙවැන්නක් සිදු වීම හෝ නොවීම තීරණය වන්නේ කෘතීම බුද්ධිය කොපමණ දුරකට විමධ්‍යගත වන්නේද යන්න මතයි.
අනාගතයේදී සිදු විය හැකි දේවල් කවරක් වුවත්, සෝවියට් මධ්‍යගත සැලසුම් ක්‍රමයට වෙළඳපොළ මුළුමනින්ම විස්ථාපනය කළ හැකි වූයේ නැහැ. මධ්‍යගත සැලසුම් අසාර්ථක වූ සීමාවේදී කළුකඩ වැනි වෙළඳපොළ ව්‍යුහයන් හැදුනා. මේ තත්ත්වය හමුවේ පෙරස්ත්‍රොයිකාව මගින් ඉලක්ක කළේ මධ්‍යගත සැලසුම තුළට ක්‍රමයෙන් වෙළඳපොළ අවශෝෂණය කර ගැනීම විය යුතුයි. එහෙත්, ඒ උත්සාහය සාර්ථක වූයේ නැහැ.
මධ්‍යගත සැලසුම තුළට ක්‍රමයෙන් වෙළඳපොළ අවශෝෂණය කර ගැනීමට සෝවියට් දේශයට නොහැකි වුවත්, චීනය සහ වියට්නාමය වැනි රටවල් ඒ කටයුත්ත සාර්ථක ලෙස කළා. මේ රටවල් වල තවමත් මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරම, වෙළඳපොළ යාන්ත්‍රනයද ක්‍රියාත්මක වෙනවා. වෙළඳපොළ යාන්ත්‍රනය ක්‍රියාත්මක වුවද මිල සංඥාව බොහෝ විට විකෘති වූවක්. නමුත් විකෘති තත්ත්වයක් යටතේ හෝ මිල සංඥාව ක්‍රියාත්මක වෙනවා.
අනෙක් අතට ලෝකයේ කිසිම තැනක කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොමැති වෙළඳපොළක් පැවතී නැහැ. වෙළඳපොළ ක්‍රමය ක්‍රියාත්මක වන හැම රටක් මෙන්ම වෙළඳපොළ හරහා නොවිසඳෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වෙළඳපොළට මැදිහත් වීම් කරනවා. මේ සමහර ප්‍රශ්න වෙළඳපොළ ක්රමයේම ප්‍රශ්න.
හැම මැදිහත්වීමකින්ම වෙළඳපොළට සිදුවන්නේ එකම ආකාරයක බලපෑමක් නෙමෙයි. උදාහරණයක් ලෙස බදු නිසා, වෙළඳපොළ සංඥාව විකෘති වන නමුත් වෙළඳපොළ සංඥාව නැතිව යන්නේ නැහැ. නමුත් මිල පාලන නිසා සංඥාව නැතිව යනවා. ඒ වගේම, මිල පාලන, බදු ආදී වෙළඳපොල මැදිහත්වීම් සියල්ලක්ම සිදු වන්නේ වෙළඳපොළ ක්‍රමය තුළයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ වෙළඳපොළක් කියා එකක් නැති නිසා මෙවැනි මැදිහත්වීම් කිසිවක් කළ යුතු නැහැ.
භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම එසේම තිබියදී සැපයුම එකවර විශාල ලෙස අඩු වූ විට ඉල්ලුම හා සැපයුම අතර පරතරය නිසා භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. එය භෞතිකව සිදු වන දෙයක්. ක්‍රමය වෙළඳපොළ ක්‍රමයක් වුවත්, මධ්‍යගත ක්‍රමයක් වුවත්, මෙහි වෙනසක් නැහැ. ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භයේදී ගෑස් සිලින්ඩර හිඟ වීම උදාහරණයක්.
ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් හදිසියේ ඇති වූ විට ඒ සඳහා "වෙළඳපොළ විසඳුම" වන්නේ ඉල්ලුම හා සැපයුම ගැලපෙන තෙක් මිල ඉහළ යන්නට සැලසීමයි. නමුත් මෙය එක් විසඳුමක් පමණයි. මධ්‍යගත සැලසුම් ක්රමයකදීනම් මෙහිදී සිදු වන්නේ සලාක ක්‍රමයකට තිබෙන භාණ්ඩ ප්‍රමාණය බෙදා හැරීමයි. මේ විසඳුමද වැඩ කරන විසඳුමක්. මිල පාලනය මේ විසඳුම් දෙකට අමතරව තිබෙන තෙවන විසඳුමක්.
වෙළඳපොළ විසඳුම මගින් ප්රශ්නය විසඳෙන නමුත් එහිදී සිදු වන්නේ "ඇති හැකි" අයට භාණ්ඩය හිමි කර ගැනීමේ ඉඩ ඉතිරි කරමින් නැති බැරි අය බැහැර කිරීමයි. ගෑස් සිලින්ඩරයක මිල අවශ්‍ය පමණ ඉහළ යාමට ඉඩ දුන්නේනම්, යම් මිල මට්ටමකදී ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා. එහිදී සිදු වන්නේ එම මිල දරාගත නොහැකි විශාල පිරිසක් තව දුරටත් ගෑස් සිලින්ඩර නොඉල්ලා සිටීමයි. මෙය කොපමණ සාධාරණද යන්න ආර්ථික විද්‍යාවෙන් බාහිර දේශපාලනික කරුණක්.
සලාක ක්‍රම විසඳුමේදී සිදුවන්නේ සියලු දෙනාටම සමසමව භාණ්ඩය හිමි කරගැනීමට ඉඩ සැලසීමයි. මෙහිදී අවශ්‍යතා වෙනස්කම් නොසලකා හැරෙනවා. ඉන්ධන අර්බුදය හමුවේ හඳුන්වා දෙනු ලැබූ QR කෝඩ් ක්රමයද සලාක ක්‍රමයක්.
මිල පාලනයේදී සිදු වන්නේ පෝලිමේ සිට හෝ පොර කා භාණ්ඩය ලබා ගත හැකි පිරිසට එය හිමි වීමයි. එසේ නොකරන අයට එය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. සාමාන්‍ය වශයෙන් මෙහිදී සිදු වන්නේ "ඇති හැකි" අයට භාණ්ඩය හිමි කර ගැනීමේ ඉඩකඩ අහිමි වීමයි. මිල පාලනයේ අවාසි හමුවේ වුවද, අඩු ආදායම්ලාභීන් මිල පාලනයට කැමති වීමට හේතුව මෙයයි.
සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ ක්‍රමය වැඩි ආදායමක් ඉපැයිය හැකි අයට වාසිදායක ක්‍රමයක්. එහි සාධාරණත්වය කෙසේ වුවත්, රටක ආර්ථිකය ඉදිරියට යන්නේ වැඩි ආදායමක් උපයන්නට උත්සාහ කරන අය නිසා. වෙළඳපොළ ක්‍රමයට නැඹුරු වන තරමට රටවල් වඩා වේගයෙන් දියුණු වන්නේත්, වෙළඳපොල ක්‍රමය වඩා කාර්යක්ෂම සේ සැලකෙන්නේත් ඒ නිසා. කෙසේ වුවත්, එහිදී රටේ ආර්ථිකය දියුණු වීමේ ප්රතිලාභ සියලු සමාජ ස්ථර අතර බෙදී යාම අනිවාර්ය කොන්දේසියක් නෙමෙයි.
තවත් ලියන්නට දේවල් ඇතත්, ඒ සඳහා ඉඩක් කොයි වෙලාවේ ලැබෙයිද කියා සහතිකයක් නොමැති නිසා, මතු සම්බන්ධයි කියා මේ සටහන අවසන් කරන්නේ නැහැ.
++++++++++++++++👌
ReplyDeleteඉකොනොමැට්ටා,
ReplyDeleteවාමාංශික පක්ෂයක් මුලික කරගත්තු රජයක් නේද ලංකාවේ බලයේ ඉන්නේ. එතකොට 'ලංකාවේ සමාජයද දකුණට බර වී තිබෙන බව පැහැදිලිව පෙනෙන කරුණක්.'කියන එක පැහැදිලි කරන්න
ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපි කෙළින්ම මාලිමාව කියලම කියමුකෝ. මාලිමාව බලයට පත් වෙන්නෙම ජවිපෙ දශක ගණනක් හිටපු ස්ථාවරයට සාපේක්ෂව ලංකාවේ සමාජය ක්‍රමක්‍රමයෙන් දකුණට විතැන් වීම හමුවේ එය නිවැරදිව කියවාගෙන අනුවර්තනය වූ නිසා. 1994දී චන්ද්‍රිකාගේ ආගමනයෙන් පසුව ශ්‍රීලනිප තුළ මේ පරිවර්තනය සිදු වුනා. දීර්ඝ එජාප පාලනය අවසන් වීමට ඒ පරිවර්තනය හේතු වුනා. ඊට දශක තුනකට පසුව ජවිපෙ දකුණට විතැන් වී බලය ලබා ගැනීමට සමත් වුනා. ජනාධිපතිවරණය ආසන්නයේදී මේ ගැන සෑහෙන විස්තරාත්මක ලිපියක් ලිවුවත් එය ප්‍රසිද්ධ කළේ නැහැ. තවමත් බ්ලොග් එකේ ප්‍රසිද්ධ නොකළ ලිපි අතර තිබෙනවා. සමාජය මේ තරම්ම දකුණට විතැන් වුනේ නැත්නම් මාලිමාව වෙනස් වෙන්නේ නැහැ. මාලිමාව වෙනස් වුනේ නැත්නම් බලයට එන්නේ නැහැ. දැනට වුනත් මාලිමාවේ ක්‍රියාකාරීත්වය වමට බර වීම සීමා වී තිබෙන්නේ ලංකාවේ සමාජය වෙනස් වී තිබෙන නිසා. හැබැයි මේ කාරණයේදී වැදගත් වෙන්නේ මාලිමා ආණ්ඩුවට පක්ෂපාතී අයගේ ස්ථාවරය මිසක් ආණ්ඩුවට විරුද්ධ අයගේ ස්ථාවාරය නෙමෙයි. ඒ අය අතරින් තීරණාත්මක කොටසක් දකුණට බර අය. ඒ කොටස නැති කර ගත්තොත් මාලිමාව අතින් බලය ගිලිහෙනවා.
Delete@ ඇනෝ
Deleteලංකාවේ සමාජය ඔය කියන විදිහට දකුණකට බර වෙලා නෑ, ලංකාවේ දේශපාලන පක්ෂ විශේෂයෙන්ම 1977 ජේ ආර්, 1988 ප්‍රේමදාස, 94 පොදුපෙරමුණේ චන්ද්‍රිකා, 2001 එජා පෙරමුණේ රනිල්, 2005 මහින්ද චින්තන ප්‍රතිපත්තිය සමග ආපු එජනිස මරා, 2015 ආපු මෛත්‍රීපාල, 2019 ආපු නන්දසේන වගේම දැන් ඔය ලංකාවේ බලයේ ඉන්න ජාතික ජන බලවේගය ඇතුළු සියලුම දේශපාලන පක්ෂ බලයට එන්න පෙර කරපු කැම්පේන් සේරම අතිශය වාමාංශික ඒවා, ධාන්‍ය වර්ග ඇට අටක් දීම, රජයේ රැකියා සහ සුබසාධන වැඩ, සුබසාධන වියදම් දරමින් පාන් 3.50ට දීම, දරුවන්ට නොමිලේ ආහාර ඇඳුම් කිරි, විදුලි බිල අඩුකිරීම, තෙල් මිල අඩුකිරීම, සහන කෝටා ලබාදීම ඔය වගේ හැමෝම විශාල ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ජනතාවට පොරොන්දු වෙලා අන්තිමට බලයට ආවාම රට හිරවෙලා තියෙන ණය උගුල් නිසා එක්සත් ජනපදය සහ බටහිර යුරෝපීය බළල් අත් වන IMF, IBRD ලෝක බැංකුව, ADB ජපාන බැංකුව වගේ ඒවායින් උන්ට හදලා දීල තියෙන economic policies ක්‍රියාත්මක කළේ අර ඡන්දය දීපු ජනතාවට කොකා පෙන්වලා මිසක් ජනතාව ඉල්ලපුවා නෙවෙයි ඒ මොනවත්
ඔය ඉකොනොමැට්ටා මේකේ කියන ලිබරල් මතවාදය අදහන අය බුකියේ සහ රාජ්‍ය නොවන සංවිධාන අටවාගෙන දකුණ කියාගෙන දැඟලුවාට උන්ගේ අදහස් වලට රටේ 1%ක් වත් කැමති නෑ ලංකාවේ සාතිශය බහුතරය කැමති වාමාංශික සමාජවාදී අදහස් වලට. ඒක සිංහල බෞද්ධ විතරක් නොවෙයි දමිළ සහ මුස්ලිම් ජනතාවත් ආර්ථික වශයෙන් අතිශය බහුතරය වාමාංශික අදහස් තමයි දරන්නේ මේ 2025දීත්. දැනට ලංකාවේ බලයේ සිටින ජාතික ජන බලවේග ආණ්ඩුව දෙස ඡන්දය දීපු සහ නොදීපු බොහෝ දෙනා දැන් බලන්නේ කුතුහලයෙන් සහ සකසහිතව ප්‍රශ්නාර්ථයක් සමඟින්. ඒ දකුණේ ආර්ථික සංකල්පයන් ජවිපෙ කලක් තිස්සේ විවේචනය කරපු ධනේශ්වර ප්‍රතිසංස්කරණ ඔස්සේ IMF සරණ ගිහිල්ල ඒවයින් රටේ ආර්ථිකය කළමණාකරණය කිරීමට උත්සාහ කරන මොහොතක, මාක්ස්වාදී සහ සමාජවාදී පසුබිමක් සහිත බලවේගයක් රාජ්‍ය බලය ලබාගෙන එම කර්තව්‍යයට උරදීම සැබවින්ම විකෘතියක් ලෙස පෙනෙනවා තමයි.
ඒ නිසා රටේ බොහෝ දෙනාගේ මතය වන්නේ ජා.ජ.බ.ට මෙම තත්ත්වය තුළ සාර්ථකව ඉදිරියට යාමට නොහැකි බවයි. එක්කෝ ඔවුන් පවතින ක්‍රමය බිඳ දමනු ඇත, නැතහොත් ඔවුන්ගේ මූලික මතවාදයන් වෙනස් කර ගැනීමට උත්සාහ කරනු ඇත. දැනට පෙනෙන්නේ මේ කිසිවක් නිසි ලෙස සිදු නොවී, ඔවුන් මහා පඹ ගාලක පැටලී සිටින බවයි.
මේ අතර, ලංකාවේ විපක්ෂයේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ ජා.ජ.බ ආණ්ඩු පක්ෂයේ අතීත චර්යාවන් සහ මතවාදයන් නැවත පෙන්වා දෙමින් ඌරුමාලු පිටේම තියා කපමින් ඔවුන්ව දැඩිව විවේචනය කිරීමයි. රටේ අනිත් දේශපාලන පක්ෂ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අතිශය උත්තරීතර උත්තුංග රහසින් වත් පවු නොකරන උතුම් අතිශය වීරෝදාර සහ අසාමාන්‍ය බලවේගයක් ලෙස පෙනී සිටි ජ.ජ.බ.යේ සැබෑ ස්වරූපය නිරුවත්ව රටටම හෙළිවීම නම් හරිම ප්රගතිශීලී පියවරක්. ඔවුන් දෙස ධනාත්මකව බැලීමට පවා, ඔවුන්ගේ ඒ මතවාදී සහ ජනයා අන්දවා තිබූ ඒ ව්‍යාජ "සරුවපිත්තල තොරොම්බල්" ගලවා දැමිය යුතුයි. දැන් එම මෙහෙයුම බොහෝ දුරට සාර්ථක වී ඇති බව පෙනේ. ජවිපෙ ඇතුළු සමස්ත ජාතික ජන බලවේගයේම "රෙදි ඉල්ලෛ" තත්ත්වයකට පත්ව ඇති බව බොහෝ දෙනා දැන් පිළිගෙන තිබෙන මොහොතක දකුණ වෙනුවට නව විකල්ප වමේ දේශපාලන ව්‍යාපාරයකට නම් ඉඩකඩ විවර වෙමින් තිබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා.
ක්වන්ටම් පරිගණනය දියුණුවීම නිසා නුදුරු අනාගතයේදී මහාසාංගීකවාදය යථාර්ථයක් වෙයි නේද?
ReplyDelete//මධ්‍යගත සැලසුම් ක්රමයේ දෘෂ්ඨිවාදී පදනමේ තිබෙන්නේ පෞද්ගලික ප්රාග්ධනය එක්රැස්වීම ඓතිහාසිකව සිදු වූ වැරැද්දක් සේ හඳුනාගෙන පෞද්ගලික දේපොළ අයිතිය ප්‍රතික්ෂේප කිරීම සහ ප්රාග්ධනය පොදු අයිතියට යටත් කිරීමයි. මෙහිදී පොදු ප්රාග්ධනයේ භාරකරු වන රජයට රටක සියලුම නිෂ්පාදන සාධක වල අයිතිය පැවරෙන අතර, මුළු රටේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදා දීම සිදු වන්නේ රජයේ අභිමතය පරිදි, රජයේ සැලසුමකට අනුවයි. මධ්‍යගත සැලසුමක් සේ හැදින්වෙන්නේ මෙම සැලසුමයි.//
ReplyDeleteසැලසුම කොහොම වූවත් මෙහෙ පාලකයන්
වැඩ කෙරුවේ රජය තමුන්ට අයිති ලෙසින්
රටවැසියාට හෙණ වැදුණත් නොගෙන ගණන්
උන් වැජඹුණා අජරාමර සතුන් ලෙසින්
+++++
ReplyDeleteවම දකුණ නෙවෙයි දැන් උතුර දකුණ මාරු වෙලා ලංකාව Dead lock වෙන තත්වේ පවතින්නේ. අකුදි උතුමාණන් අපට ඡන්දෙට ඉස්සර කියපු කතා සම්පුර්ණ බොරු කරලා දැන් ණය වලින් තමයි මේක තල්ලු කරගෙන යන්නේ. අනෙක Taxes. සල්ලි ඇතුලේ ම කැරකෙනවා. එළියෙන් රට තුළට පැමිණීම අඩුයි. (Tourisum and Remittance)
ReplyDeleteJuly USA duties අඩු උනත් 10% Global tax එක වදිනවා. එතකොට Garment Factory මොනවා වේවිද Sure නෑ. ඒ සේවකයෝ රැකියා නති උනොත් ලැබෙන වන්දියෙන් හරි යන්තම් ඉන්න FD interest එක මේ විදියට හරි මුන්ට තියන්න තිබුණා.
මොකද banks Deposit/lending rate gap එකෙන් Super Profit එකක් ගන්නවා. සිරිසේන ජනපති කාලේ රනිල් යහපාලනය කාලේ ලොකු ණයක් වැඩි පොලියට කෙට් කාලීනව ගෙවීමට ඩොලර් බිලියන 12.5 ක් ගත්තා. ඒක ගෙවාගන්න බැරිව තමයි රට බංකොලොත් උනේ. රාජපක්ෂලා ණය ගත්තේත් ඩොලර් බිලියන 3.5 යි. අමතරව රනිලා හම්බන්තොට වරාය වසර 99 කට බදු දීලා. ඩොලර් බිලියන 1 ගත්තා. ඒකට වෙච්ච දෙයක් නෑ දැන් IMF ලෝක බැංකුව වගේ ඒවයින් ගත්ත ණය සහ අර පරණ ණය සේරම ගෙවන්නට සිද්ධ වෙනවා තව වසර දෙක හමාරක පමණ සිට
මුන්ට පොදු ජනයාට සහනයක් දෙන්න උවමනා නැහැ, ණය ගෙවිය යුතුය කියන එක ඔලුවේ තියාගෙන වැඩ කරනවා IMF ගහන පදේට නටනවා විතරයි.
In the beginning you have said that "අද අප ආර්ථික විද්‍යාව සේ හඳුන්වන, මෙහි බොහෝ විට කතා කරන, ප්‍රචලිත විෂය වෙළඳපොළ ආර්ථික ක්‍රමය මත පදනම්ව ගොඩ නැගුනු විද්‍යාවක්. එහෙයින්, ඉතාම මූලික අදියරකදීම වෙළඳපොළ ආර්ථික ක්‍රමයෙන් විභේදනය වන මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ නූතන ආර්ථික විද්‍යා න්‍යායයන් බොහොමයක් වලංගු වන්නේ නැහැ. මධ්‍යගත සැලසුම් ක්‍රමය සාපේක්ෂව සාර්ථකව ක්‍රියාත්මක වූ තැන් වල යොදා ගැනුණේ විකල්ප ආර්ථික විද්‍යාවක්. "
ReplyDeleteThen after few paras you have mentioned about the "objective condition of scarcity" and that a centrally planned system will not address it.
Even though the term scarcity is not inherently capitalist, capitalism emphasizes the endless nature of wants and often incentivizes the creation of new needs.
You have contradicted your own statement made earlier trying to explain a centrally planned system through a term which is strongly connected to capitalism. (or market economy or what ever)
Even though
1. I’m not sure where you got that idea from in the note. A centrally planned system explicitly aims to increase production. That’s its strategy to address the objective condition of scarcity.
Delete2. This is a perspective held by certain segments of anti-capitalist thought.
3. It’s not clear what the contradiction is. Perhaps you're interpreting this through an anti-capitalist lens.
Then I can say "Perhaps you are interpreting everything with an anti socialist lens"
DeleteYes. You can say anything of that nature. What one says reflects that person's perspective and world view.
Delete