ව්‍යවසායකයෙක් කියා කියන්නේ ප්‍රාග්ධනහිමියෙකුට කවුරුත් වගේ දන්නා සාමාන්‍ය ආයෝජන මගින් තමන්ගේ ප්‍රාග්ධනය සඳහා උපයා ගත හැකි උපරිම ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඉපැයිය හැකි ක්‍රමයක් ගැන අදහසක් තිබෙන කෙනෙක් කියලා සරලව කියන්න පුළුවන්. එවැනි ව්‍යවසායකත්ව අදහස් හැමෝටම, හැම වෙලාවෙම පහළ වෙන්නේ නැති වුනත්, ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක පහළ වෙන්න පුළුවන්.
ව්‍යවසායකත්ව අදහසක වටිනාකම කොපමණද කියන එක තීරණය වෙන්නේ ඒ මගින් සාමාන්‍ය ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිලාභ අනුපාතිකයට වඩා කොපමණ ප්‍රතිලාභයක් ලබා ගන්න පුලුවන්ද කියන එක මතයි. උදාහරණයක් විදිහට මේ දවස් වල ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 7.5%ක් පමණ වෙනවා. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමේ අවදානමක් නොමැති තරම්. ලංකාවේ සිදු වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී වුනත්, භාණ්ඩාගාර බිල්පත් ආයෝජන වල ප්‍රතිලාභ අඩු වුනේ නැහැ.
මේ අනුව, ලංකාවේ ප්‍රාග්ධනහිමියෙකුට මේ මොහොතේදී ඇස් දෙක පියාගෙන තමන්ගේ ප්‍රාග්ධනය වෙනුවෙන් 7.5%ක ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. එහෙම පුළුවන්කමක් තියෙද්දී කිසිම ප්‍රාග්ධනහිමියෙක් ඊට වඩා අඩු ප්‍රතිලාභයක් ලැබෙන ආයෝජනයකට තමන්ගේ මුදල් යොදවන්නේ නැහැ. ඒ නිසා, කාට හෝ පහළ වන ව්‍යවසායකත්ව අදහසක අපේක්ෂිත ප්‍රතිලාභය 7.5% හෝ ඊට වඩා අඩුනම්, ඒ අදහසට අදහසක් විදිහටම මැරිලා යනවා මිසක් ඊට වඩා දුරක් යන්න බැහැ. ඇත්තටම කියනවානම් අපේක්ෂිත ප්‍රතිලාභය 7.5%ට වඩා පොඩ්ඩක් වැඩි වුනත්, අවදානම නිසා ප්‍රාග්ධනහිමියෙක් මුදල් යොදවන්න පෙළඹෙන්නේ නැහැ.
ඉහත හේතුව නිසා, ලංකාවේ වත්මන් සන්දර්භයේදී හොඳ ව්‍යවසායකත්ව අදහසක් කියා කියන්නේ 7.5%ට වඩා සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන ව්‍යවසායකත්ව අදහසක්. උදාහරණයක් විදිහට 30%ක් වැනි ඉහළ ප්‍රතිලාභයක් කියා අපි හිතමු. අදහස පහළ වූ ව්‍යවසායකයාට මේ 30% ප්‍රතිලාභ අනුපාතිකය ගැන හොඳටම විශ්වාසනම්, බය නැතුව වෙළඳපොළෙන් ණයක් ගන්න පුළුවන්. එය බැංකු ණයක් හෝ ප්‍රාග්ධනහිමියෙකුගෙන් පෞද්ගලිකව ලබා ගන්නා ණයක් වෙන්න පුළුවන්. මේ සඳහා කළ යුතු වන්නේ තමන්ගේ අදහස ගැන සහ එහි අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය ගැන බැංකුවට හෝ ප්‍රාග්ධනහිමියාට ඒත්තු ගන්වන එකයි.
ඔය විදිහට බැංකුවකට හෝ ප්‍රාග්ධනහිමියෙකුට ව්‍යවසායකත්ව අදහසක් ගැන ඒත්තු ගැන්වුවත්, වෙන්ඩ ව්‍යවසායකයෙකුට භාණ්ඩාගාර බිල්පත් පොලිය වන 7.5%ට ණය ලැබෙන්නේ නැහැ. ණයක් දෙන ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් අදාළ ව්‍යාපෘතියේ අවදානම සලකා බලලා භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වලට අවදානම් අධිභාරයක් එකතු කරනවා. අපි හිතමු මේ අධිභාරය 5%ක් කියලා. දැන් 12.5%ක පොලී අනුපාතිකයට ණය ගන්න පුළුවන්. ඒ කියන්නේ පොලිය එක්ක ණය බේරුවට පස්සෙත්, තවත් 17.5%ක ප්‍රතිලාභයක් අතේ ඉතිරි වෙනවා.
කෙටියෙන් කිවුවොත්, ඔය වගේ ඉහළ ප්‍රතිලාභයක් ලැබිය හැකි ව්‍යවසායකත්ව අදහසක් කාට හෝ පහළ වුනොත්, සාපේක්ෂව හොඳ මූල්‍ය වෙළඳපොළක් ඇත්නම්, ප්‍රාග්ධනය නැතිකම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසාම, ඒ විදිහට පහළ වුන ව්‍යවසායකත්ව අදහස අපතේ යන්නේ නැහැ. එය සැබෑ නිෂ්පාදනයක් බවට පත් වෙලා රටේ දදේනියට එකතු වෙනවා.
භාණ්ඩාගාර බිල්පත් පොලිය 7.5%නම්, 5%ක අවදානම් අධිභාරයක් හා ගැලපෙන ව්‍යවසායකත්ව අදහසක් සැබෑවක් විය හැක්කේ එයින් අවම වශයෙන් 12.5%ක ප්‍රතිලාභයක්වත් ලැබෙනවානම් පමණයි. නමුත්, මූල්‍ය වෙළඳපොළ කාර්යක්ෂමනම්, ඊට වඩා වැඩි අපේක්ෂිත ප්‍රතිලාභයක් තිබෙන අදහසක් සැබෑවක් වෙනවා.
දැන් භාණ්ඩාගාර බිල්පත් පොලිය 7.5% දක්වා අඩු වී තිබුණත්, එම පොලී අනුපාතික 32% වැනි ඉහළ මට්ටමක තිබුනේ අපට මතක නැති අතීතයකදී නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් පොලිය 32% වැනි ඉහළ මට්ටමක තියෙනවා කියන්නේ ප්‍රාග්ධනහිමියෙකුට අවදානමක් නැතිව 32%ක ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියන එක. එහෙම පුළුවන්කමක් තියෙද්දී ප්‍රාග්ධනහිමියෙක් තමන්ගේ සල්ලි ඊට වඩා අඩු ප්‍රතිලාභයක් තියෙන, කවුරු හෝ වෙනත් අයෙකුගේ ව්‍යවසායකත්ව අදහසක හිර කරන්නේ නැහැ. ඒ නිසා, 30% වැනි ප්‍රතිලාභයක් ලැබිය හැකි ව්‍යවසායකත්ව අදහසක් වුනත් උපන් ගෙයි මැරිලා යනවා. ඒ වගේම, ඒ මගින් දදේනියට එකතු විය හැකිව තිබුණු දායකත්වය නැති වෙනවා.
සමහර රට වල පොලී අනුපාතික තිබෙන්නේ ලංකාවට සාපේක්ෂව ඉතාම ඉහළ මට්ටමක. උදාහරණයක් ලෙස ආජන්ටිනාව වැනි රටක් සැලකුවොත් (2025 ජූනි දත්ත), බැංකු වල ණය පොලී අනුපාතික අවම වශයෙන් 40% ඉක්මවන අතර 140% දක්වා ඉහළ අගයක් වෙන්න පුළුවන්. තවත් සමහර රටවල පොලී අනුපාතික තිබෙන්නේ ලංකාවට සාපේක්ෂව ඉතාම පහළ මට්ටමක. උදාහරණයක් විදිහට ස්විට්සර්ලන්තයේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මේ දවස් වල තිබෙන්නේ 0.1% වගේ පහළ මට්ටමක.
ව්‍යවසායකත්ව අදහසක් ඉදිරියට යනවාද නැත්නම් උපන් ගෙයිම මැරිලා යනවාද කියන එකට පොලී අනුපාතික සෘජුව බලපානවා. ස්විට්සර්ලන්තය වගේ රටක ව්‍යවසායකත්ව අදහසක් සාර්ථක ලෙස ඉදිරියට යන්න එහි ප්‍රතිලාභ අනුපාතිකය 5%ක් පමණ වීම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා, ප්‍රාග්ධනය නැති කෙනෙකුට වුනත් තමන්ගේ අදහස් වල වටිනාකම නිසා සාපේක්ෂව පහසුවෙන් ධනවතෙක් වෙන්න පුළුවන්. නමුත් ආජන්ටිනාව වගේ රටක 50%ක ප්‍රතිලාභයක් ලබා ගත හැකි අදහසක් පහළ වුන කෙනෙකුට වුනත්, තමන් සතුව ප්‍රාග්ධනය නැත්නම්, ඒ අදහස එතැනින් එහාට ගෙනියන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ සිදු වෙන්නේ ප්‍රාග්ධනය හිමි අයම තව තවත් ධනවත් වෙන එක. ලංකාවේ තියෙන්නේ ඔය දෙක අතර අතරමැදි තත්ත්වයක්.
ව්‍යාපාරයක පිරිවැය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයක් වන්නේ ප්‍රාග්ධනයේ පිරිවැය. ප්‍රාග්ධනයේ පිරිවැය ඉහළ යන තරමට ව්‍යපාරයක් කරලා ලාබ ගන්න අමාරු වෙනවා. ප්‍රාග්ධනයේ පිරිවැය පහළ යන තරමට වැඩි ව්‍යවසායකත්ව අදහස් ප්‍රමාණයක් සැබෑ ව්‍යාපාර බවට පත් වෙනවා.
කලින් කිවුවා වගේ ව්‍යවසායකත්ව අදහසක් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක පහළ වෙන්න පුළුවන්. නමුත් 50% ඉක්මවන ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි අදහසක් කෙනෙකුට පහළ වෙන එක ඉතාම දුලබ සිදු වීමක්. නමුත් 10-15% වැනි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි අදහස් ඊට වඩා සුලබවත්, 5% වැනි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි අදහස් ඉතාම සුලබවත් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා, ව්‍යවසායකත්ව අදහස් පහළ වීම අතින් ලංකාවේ, ස්විට්සර්ලන්තයේ සහ ආජන්ටිනාවේ මිනිස්සු සමානයි කියා සැලකුවත්, මේ එක් එක් රටවල එම අදහස් වලට ඉදිරියට යාමට ලැබෙන අවස්ථාවන් සමාන නැහැ.
ආජන්ටිනාව වගේ රටක මේ මොහොතේ පහළ වන ව්‍යවසායකත්ව අදහස් බොහොමයක් අපතේ යනවා. නමුත්, ආජන්ටිනාවේ උද්ධමනය ක්‍රමයෙන් අඩු වෙලා පොලී අනුපාතික සාමාන්‍ය මට්ටමකට ආවොත් ඒ අදහස් වලටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ මගින් අපේක්ෂිත දිගුකාලීන ආර්ථික වර්ධනය 3% මට්ටමෙන් උඩට ගන්න ඉඩක් තිබෙනවා. ඊට සාපේක්ෂව ස්විට්සර්ලන්තය වැනි රටක ව්‍යවසායකත්ව අදහස් අපතේ යාමක් වෙන්නෙම නැහැ. ඉතා පහළ මට්ටමක ප්‍රතිලාභ සහිත අදහසක් ක්‍රියාත්මක කරන්න වුනත්, අඩු පිරිවැය ප්‍රාග්ධනය වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන්. ප්‍රාග්ධනහිමියන්ට අවදානමක් නොගෙන ලේසියෙන් ධනය වැඩි කරගන්න තිබෙන අවස්ථා අඩුයි.
පොලී අනුපාතික 32% වැනි මට්ටමක තියෙද්දී ලංකාවේ ව්‍යවසායකත්ව අදහස් බොහොමයක් අපතේ ගියා. ඉතා කලාතුරකින් මිස කෙනෙකුට 40% වැනි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි ව්‍යාපෘතියක් ගැන අදහසක් පහළ වන්නේ නැහැ. නමුත් 15% වැනි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි ව්‍යාපෘති ගැන අදහස් ඊට වඩා වැඩි පිරිසකට පහළ වෙන්න පුළුවන්. පොලී අනුපාතික පහළ යද්දී ඒ අදහස් වලට ඉඩක් ලැබෙනවා. ඒ හරහා දදේනියට යම් එකතු වීමක් සිදු වෙනවා.
නමුත් ලංකාවේ දැන් තිබෙන පොලී අනුපාතික වුවත් ස්විට්සර්ලන්තය හෝ ජපානය වැනි රටකට සාපේක්ෂව ඉහළ මට්ටමක්. එහෙම වෙලා තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික එම රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙන නිසා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අඩු කරගත හැකි ක්‍රමය රජයේ අයවැය තුලනය දිගටම හොඳ මට්ටමක පවත්වා ගැනීම.
මේ වෙද්දී ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යමින් සිටියත්, පැරණි ණය සඳහා ගෙවිය යුතු පොලිය නිසා, තවත් කාලයක් යන තුරු ලංකාවට සමස්තයක් ලෙස අයවැය අතිරික්තයක් පෙන්වීමේ හැකියාවක් නැහැ. ඒ අතින් ලංකාවේ රාජ්‍ය අයවැය තුලනය තිබුණේ සහ තවමත් තිබෙන්නේ ආජන්ටිනාවේ මෙන් පහසුවෙන් ගොඩ දැමිය හැකි තැනක නෙමෙයි.
කෙසේ වුවත්, යම් කාලයක් එක දිගට සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් තියාගෙන ගියොත් වසර ගණනාවකට පසුව ලංකාවටත් සමස්ත අයවැය අත්රික්තයක් හදා ගන්න පුළුවන්. පොලී අනුපාතික තවත් අඩු කරගෙන, ඒ මගින් ප්‍රාග්ධනයේ පිරිවැය අඩු කරගෙන අපතේ යන ව්‍යවසායකත්ව අදහස් වලට අවස්ථාවක් ලබා දී ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම සඳහා රජය පැත්තෙන් කළ හැකි සහ කළ යුතු ප්‍රධානම කාර්යය ඒකයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.