මීට හරියටම වසර දෙකකට පෙර ලංකාවේ බැංකු එක දිගට දින පහක් වසා තබනු ලැබුවා. ඒ දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා. ඒ වෙලාවේදී ලංකාවේ බැංකු වල ස්ථායීතාවය පිළිබඳව විවිධ දුර්මත පැතිරුණා. එසේ නැත්නම් පතුරවා හරිනු ලැබුවා. නමුත් වසර දෙකකට පසුව ආපසු හැරී බලද්දී ලංකාවේ බැංකු පද්ධතිය ශක්තිමත් තැනක තිබෙනවා වගේම, බැංකු විසින් හොඳින් ලාබ ලබමින් සිටිනවා.
මෙම සටහන වාණිජ බැංකුවක ක්‍රියාකාරිත්වය පිළිබඳ සරල පැහැදිලි කිරීමක්.
වෙනත් ඕනෑම ව්‍යාපාරයකට වගේම වාණිජ බැංකුවකටත් එහි ආරම්භක ප්‍රාග්ධනය සපයන කොටස්හිමියන් ඉන්නවා. බැංකුවක් ලාබ ලැබුවොත් එම ලාබ බෙදාගන්නේත්, බැංකුවක් පාඩු වුනොත් එම පාඩුව අවසාන වශයෙන් විඳ දරා ගන්නේත් මේ කොටස්හිමියෝ. නමුත්, පසුව විස්තර කරන පරිදි සහ ඔබ දැනටමත් දන්නා පරිදි, බැංකුවක් කඩා වැටුනොත් එම බැංකුවේ තැන්පත්හිමියන්ටත් පාඩුවක් සිදු වෙන්න පුළුවන්. ඒ අතින් බැංකු ව්‍යාපාරය අනෙක් ව්‍යාපාර වලට වඩා වෙනස්. කෙසේ වුවත්, බැංකුවක ලාබ හා පාඩු මූලික වශයෙන්ම විඳ දරා ගන්නේ එහි කොටස්හිමියන්.
උදාහරණයක් ලෙස අපි හිතමු වාණිජ බැංකුවක කොටස්හිමියන් විසින් එහි මූලික ප්‍රාග්ධනය ලෙස රුපියල් 100ක මුදලක් යෙදෙවුවා කියලා. සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක අරමුදල් මූලාශ්‍ර (sources of funds) කොටස් දෙකකින් සමන්විතයි. ඒ කොටස්හිමියන් විසින් සපයන ප්‍රාග්ධනය සහ ණය ලෙස ලබා ගන්නා ප්‍රාග්ධනය. මේ ප්‍රවර්ග දෙක ආයතනයක බැරකම්. මෙහිදී අප විසින් බැරකම් යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍ය බැරකම් (ණය) සහ කොටස් ප්‍රාග්ධනය යන ප්‍රවර්ග දෙකම.
වත්කම් හා බැරකම් (කොටස් ප්‍රාග්ධනයද ඇතුළුව) සමාන විය යුතු නිසා වත්කම් හැදෙන්නෙත් ඔය බැරකම් වලින්. නමුත් වාණිජ බැංකුවක වත්කම් (හා බැරකම්) හැදෙන තුන්වන ක්‍රමයක්ද තිබෙනවා. ඒ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු. ඇත්තටම බැංකුවක වත්කම් වලින් වැඩි කොටසක් හැදෙන්නේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු වල උදවුවෙන්. (නමුත් ගණුදෙනුකරුවන්ගේ තැන්පතු බැංකුවක බැරකම් මිසක් වත්කම් නෙමෙයි.)
දැන් අපේ උදාහරණයේ බැංකුව පටන් ගන්නා අවස්ථාවේදී එහි බැරකම් පැත්තේ රුපියල් 100ක් තිබෙනවා. ඒ කොටස් ප්‍රාග්ධනය. ඒ නිසාම වත්කම් පැත්තේත් රුපියල් 100ක් තිබෙනවා. ඒ මුදල් ලෙස. ඇතැම් විට මෙම මුදල් ගොඩනැගිලි, වාහන, කාර්යාල උපකරණ, මෘදුකාංග ආදී භෞතික හා අරූපී (=අස්පර්ශනීය) වත්කම් මිල දී ගැනීම සඳහා වැය කර තියෙන්න පුළුවන්. බැංකුවක් පටන් ගන්න ඒ වගේ දේවල් අවශ්‍යයිනේ. අපි හිතමු මේ විදිහට භෞතික හා අරූපී වත්කම් වෙනුවෙන් රුපියල් 85ක් වැය කළා කියලා. දැන් කොටස්හිමියන් විසින් දමපු රුපියල් 100ක මුදලින් මුදල් වශයෙන් තියෙන්නේ රුපියල් 15ක් පමණයි.
වත්කම්
මුදල් - රුපියල් 15
භෞතික හා අරූපී වත්කම් - රුපියල් 85
එකතුව - රුපියල් 100
බැරකම්
කොටස් ප්‍රාග්ධනය - රුපියල් 100
බැංකුවක් ආදායම් උපයන ප්‍රධාන මාර්ගය ණය දීම වුනත්, ණය විදිහට දෙන්නේ ඔය විදිහට කොටස්හිමියන් විසින් දමන අරමුදල් පමණක් නෙමෙයිනේ. අරමුදල් වලින් වැඩි ප්‍රමාණයක් එකතු කර ගන්නේ තැන්පතු ලබා ගැනීම මගින්. අපි හිතමු තැන්පතු විදිහට රුපියල් 900ක් එකතු වුනා කියලා. ඒ මේ විදිහට.
ජංගම ගිණුම් - රුපියල් 70
ඉතිරි කිරීම් ගිණුම් - රුපියල් 245
ස්ථිර තැන්පතු - රුපියල් 585
එකතුව - රුපියල් 900
දැන් බැරකම් පැත්තේ රුපියල් 1000ක් තියෙනවා. වත්කම් පැත්තේ මුදල් විදිහට හෝ වෙනත් වත්කම් විදිහට රුපියල් 100ක් තියෙනවා.
වත්කම්
මුදල් - රුපියල් 915
භෞතික හා අරූපී වත්කම් - රුපියල් 85
එකතුව - රුපියල් 1000
බැරකම්
ජංගම ගිණුම් - රුපියල් 70
ඉතිරි කිරීම් ගිණුම් - රුපියල් 245
ස්ථිර තැන්පතු - රුපියල් 585
කොටස් ප්‍රාග්ධනය - රුපියල් 100
එකතුව - රුපියල් 1000
ඉතිරි කිරීම් තැන්පතු සහ ස්ථිර තැන්පතු වෙනුවෙන් බැංකුව විසින් පොලියක් ගෙවිය යුතුයි. ඒ වගේම කොටස්හිමියන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා දෙන්නත් ඕනෑ. තව බැංකුවේ සේවක වැටුප් ඇතුළු අනෙකුත් වියදම් පියවෙන ක්‍රමයක් තියෙන්නත් ඕනෑ. ඔය සියල්ලම වෙනුවෙන් බැංකුවක් විසින් ආදායම් උපයන ප්‍රධාන ක්‍රමය ණය දෙන එක.
නමුත් බැංකුවක තැන්පතු වලින් සැලකිය යුතු කොටසක් ජංගම ගිණුම් සහ ඉතිරි කිරීම් ගිණුම් තැන්පතු. තැන්පතුකරුවන්ට ඒ සල්ලි අවශ්‍ය වෙලාවක ආපසු ගන්න පුළුවන් විය යුතුයි. ඒ සල්ලි ණය වලට හිර කළොත්, කොයි වෙලාවක හරි බැංකුවත් හිර වෙනවා. වැඩි අවදානමක් නැතිව ණය විදිහට දෙන්න පුළුවන්කම තියෙන්නේ ස්ථිර තැන්පතු ලෙස දමා තිබෙන සල්ලි. ඉහත උදාහරණයෙහි එම ප්‍රමාණය රුපියල් 585ක් පමණයි. ඒ සල්ලි බයක් සැකක් නැතිව ණයට දෙන්න පුළුවන්. ඊට අමතරව ඉතිරි කිරීම් ගිණුම් වල දමා තිබෙන සල්ලි වලිනුත් යම් කොටසක් ණය විදිහට දෙන්න පුළුවන්. ඒ සල්ලි ඔක්කොම එකවර ආපහු ගන්න තිබෙන ඉඩකඩ අඩුයිනේ. අපි හිතමු රුපියල් 695ක් ණය විදිහට දුන්නා කියලා. දැන් වත්කම් පැත්ත මේ විදිහට වෙනස් වෙනවා. මතක තියාගන්න බැංකු වලින් ලබා දෙන ණය කියා කියන්නේ බැංකුවේ වත්කම්.
වත්කම්
මුදල් - රුපියල් 220
ණය - රුපියල් 695
භෞතික හා අරූපී වත්කම් - රුපියල් 85
එකතුව - රුපියල් 1000
බැංකුවට පොලී ආදායමක් ලැබෙන්නේ ඔය ණයට දුන්න රුපියල් 695ක අරමුදල් ටිකෙන්. ඉතිරි රුපියල් 220ක මුදල තැන්පතුකරුවන් ඉල්ලූ විට ආපසු දීම සඳහා තියාගන්න වෙනවා. එක්කෝ මුදල් නෝට්ටු විදිහට. එහෙම නැත්නම් මහ බැංකුවේ තිබෙන ගිණුමේ දමලා. නමුත් මේ විදිහට ඉතිරි අරමුදල් සියල්ලම සල්ලි විදිහටම තියාගත්තොත් එම අරමුදල් වෙනුවෙන් කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කළොත් යම් ආදායමක් ලැබෙනවා.
භාණ්ඩාගාර බිල්පත් ආයෝජන නිසා ණය දුන් විට මෙන් දිගුකාලීනව සල්ලි හිර නොවන නිසා තැන්පතුකරුවන් සල්ලි ඉල්ලුවොත් එම ආයෝජන පහසුවෙන් මුදල් කරන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන් හෝ වෙනත් බැංකුවකින් හදිසියකට ණයක් ගන්නත් පුළුවන්. ඒ නිසා, මුදල් ලෙස ඉතිරිව තිබෙන අරමුදල් වලින් කොටසක් සල්ලි විදිහටම තියාගෙන ඉතිරි කොටස භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න පුළුවන්.
අපි හිතමු රුපියල් 50ක් මුදල් ලෙස සහ මහ බැංකුවේ තැන්පතු ලෙස තියාගෙන ඉතිරි මුදල් ප්‍රමාණය භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කළා කියලා. භාණ්ඩාගාර බිල්පත් වල වගේම කෙටිකාලීනව කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර වලද මෙම සල්ලි ආයෝජනය කරන්න පුළුවන්. මෙම ලිපියෙහි භාණ්ඩාගාර බිල්පත් කියා කියද්දී පොදුවේ මේ කාණ්ඩ දෙකම අදහස් කෙරෙනවා. දැන් වත්කම් පැත්ත මේ වගේ.
වත්කම්
මුදල් - රුපියල් 50
භාණ්ඩාගාර බිල්පත් - රුපියල් 170
ණය - රුපියල් 695
භෞතික හා අරූපී වත්කම් - රුපියල් 85
එකතුව - රුපියල් 1000
දැන් බැංකුවට පොලී ආදායම් උපයා දෙන වත්කම් වර්ග දෙකක් තිබෙනවා. ණය සහ භාණ්ඩාගාර බිල්පත්. ඉතිරි කිරීම් ගිණුම් හා ස්ථිර තැන්පතු වෙනුවෙන් බැංකුව පොලී ගෙවිය යුතුයි. ඔය ආදායම් හා වියදම් අතර වෙනස බැංකුවට ශුද්ධ ආදායමක් විදිහට එකතු වෙනවා.
ඉහත උදාහරණ වල තිබෙන ගණන් අහඹු ගණන් සේ පෙනුනත්, පසුගිය වසර පහේ, එනම් 2020-2024 කාලයේ, ලංකාවේ වාණිජ බැංකු සියල්ලේම වත්කම් හා බැරකම් සංයුතිය එම ගණන් වලින් ආසන්න ලෙස නිරූපණය වෙනවා. පොඩි වෙනසකට තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන මෙහි පෙන්වනවාට වඩා තරමක් වැඩි වීම. නමුත් එම වැඩි කොටස ඇපයට තබා ණය අරගෙන තිබෙන නිසා මේ නිරූපණයේ වැරැද්දක් නැහැ. ඒ කොටසත් එකතු කළොත් වත්කම් හා බැරකම් මේ වගේ.
වත්කම්
මුදල් - රුපියල් 50
භාණ්ඩාගාර බිල්පත් - රුපියල් 300
ණය - රුපියල් 695
භෞතික හා අරූපී වත්කම් - රුපියල් 85
එකතුව - රුපියල් 1130
බැරකම්
ජංගම ගිණුම් - රුපියල් 70
ඉතිරි කිරීම් ගිණුම් - රුපියල් 245
ස්ථිර තැන්පතු - රුපියල් 585
ණය - රුපියල් 130
කොටස් ප්‍රාග්ධනය - රුපියල් 100
එකතුව - රුපියල් 1130
ලංකාවේ නියෝජනීය වාණිජ බැංකුවක ශේෂ පත්‍රය සරලව ඔය වගේ. මෙහි වත්කම් කොටසේ ණය සේ සඳහන්ව තිබෙන්නේ බැංකු වලින් ලබා දුන් ණය. බැරකම් කොටසේ සඳහන්ව තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තබා බැංකු විසින් ලබා ගෙන තිබෙන ණය. දැන් අපි ලංකාවේ නියෝජනීය වාණිජ බැංකුවක ආදායම් හා වියදම් දෙස බලමු.
ආදායම්
පොලී ආදායම - රුපියල් 90
අනෙකුත් ආදායම් - රුපියල් 10
මුළු ආදායම - රුපියල් 100
වියදම්
පොලී වියදම් - රුපියල් 55
බොල් ණය කපා හැරීම් - රුපියල් 10
සේවක වැටුප් - රුපියල් 9
අනෙකුත් මෙහෙයුම් වියදම් - රුපියල් 8
මුළු වියදම - රුපියල් 82
බදු ගෙවීමට පෙර ලාබය - රුපියල් 18
බදු ගෙවීම් - රුපියල් 6
බදු ගෙවීමෙන් පසු ලාබය - රුපියල් 12
කොටස්හිමියන්ගේ ප්‍රතිලාභ අනුපාතය = 12%
මේ ගණන් දිහා බැලුවහම බැංකුවක ණය පොලිය හැදෙන විදිහ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ණය විදිහට දෙන්නේ තැන්පතු නිසා ණය පොලිය හැදෙන්න මූලික වෙන්නේ තැන්පතු පොලිය. ඉන් පසු ඒ මත බොල් ණය කපා හැරීමේ වියදම් වෙනුවෙන් 1%ක් පමණ එකතු කරන්න වෙනවා. සේවක වියදම් වෙනුවෙන් තවත් 1%ක් එකතු කරන්න වෙනවා. අනෙකුත් මෙහෙයුම් වියදම් වෙනුවෙන්ද 1%කට ආසන්නව එකතු කරන්න වෙනවා. ඔය සියල්ල එකතු කිරීමෙන් පසුව කොටස්හිමියන්ගේ ලාබ විදිහට තවත් 1%ක් පමණ එකතු කරන්න වෙනවා. එවිට අවසාන වශයෙන් තැන්පතු පොලිය මත 4%ක පමණ අමතර පොලියක් එකතු වෙලා.
තැන්පතුහිමියන්ගේ පැත්තෙන් බැලුවොත් ඔවුන්ට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමේ අවස්ථාව තිබෙන නිසා තැන්පතු වෙනුවෙන් ඊට කිට්ටුවෙන් යන පොලියක් ගෙවන්න වෙනවා. ඒ නිසා ණය පොලිය හැදෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පොලියට වඩා 4%ක් පමණ උඩින්.
'ආපසු හැරී බලද්දී ලංකාවේ බැංකු පද්ධතිය ශක්තිමත් තැනක තිබෙනවා වගේම, බැංකු විසින් හොඳින් ලාබ ලබමින් සිටිනවා.'
ReplyDeleteඉකොනො ඔහොම කියනවා නං බංකු ටික බංකොලොත් වෙලා යයි.
ඒ වගේ සුපිරි වස්තිය ඉකොනො කියන්නේ
*බැංකු
Delete