වෙබ් ලිපිනය:

Tuesday, August 6, 2024

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය

රටේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු වී තියෙද්දී, පසුගිය සතිය අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ විමර්ශනයක් සිදු කර ආපසු ගියා. ඔවුන් ආර්ථිකයේ වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ සංක්ෂිප්ත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැඩ පිළිවෙලේ මෙතෙක් ප්‍රගතිය පිලිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමකට පත්ව සිටින අතර ඔවුන් විශේෂයෙන්ම පහත කරුණු අවධාරණය කර තිබෙනවා.

- කාර්තු ගණනාවක් තිස්සේ හැකිළුණු ආර්ථිකය කාර්තු තුනක් තිස්සේ එක දිගට වර්ධනය වීම සහ 2024 පළමු කාර්තුව වන විට වර්ධන වේගය 5.3% දක්වා ඉහළ යාම.

- උද්ධමනය මහ බැංකුවේ ඉලක්කගත මට්ටම වන 5%ද ඉක්මවා පහත වැටී තිබීම සහ ණය පොලී අනුපාතික පහත වැටී තිබීම.

- මෙම වසරේ පළමු අර්ධය තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.6 දක්වා ඩොලර් බිලියන 1.2කින් ඉහළ යාම.

- එම කාලය ඇතුළත රාජ්‍ය ආදායම් ඉහළ ගොස් තිබීම.

- ඉහත සඳහන් යහපත් තත්ත්වයන්ගේ ප්‍රතිඵල ඉදිරි කාලය තුළ රටවැසියන්ගේ ජීවන තත්ත්වය තුළ පිළිබිඹු වීමට නියමිත බව පෙනෙන්නට තිබීම.

මේ යහපත් වර්ධනයන් ගැන සඳහන් කරමින් ඔවුන් මෙවැනි අවවාදයක්ද කරනවා.

"මේ ආකාරයෙන් බිම නොවැටී අතුරේ යමින් ඉතා අසීරුවෙන් නැවත ආර්ථිකය ස්ථාවර කරගෙන ලංකාව ඉතා තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටින මේ මොහොතේ, ඒ තත්ත්වය ස්ථිර ප්‍රගතියක් බවට පත් කරගනිමින් මෙතෙක් ඉතා අසීරුවෙන් ලබාගත් ආර්ථික ප්‍රගතිය කුඩා කම්පනයකින් වුවත් පහසුවෙන්ම නැවත බිම වැටී කුඩු පට්ටම් වී යන තත්ත්වයෙන් ඉවත් වීමටනම්, වැඩ සටහන අනුව සිදු විය යුතු දේ අවශ්‍ය කාලය තුළ එලෙසම සිදු විය යුතුයි!"

“With Sri Lanka’s knife-edged recovery at a critical juncture, sustaining the reform momentum and ensuring timely implementation of all program commitments are critical to cement the hard-won economic progress to date and put the economy on a firm footing"

රටේ ආර්ථිකය නැවත අස්ථාවර වී කඩා වැටීම වලක්වා ගැනීම සඳහා කළ යුතු ප්‍රධානම දෙය වන්නේ ඉදිරි 2025 වසර සඳහා අයවැය සකස් කිරීමේදී ආදායම් වැඩි කර ගනිමින් හා වියදම් සීමා කර ගනිමින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%කට සමාන ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. එය සිදු නොකර රටේ ණය තිරසාරත්වය පවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. (කෙටියෙන් කිවුවොත්, මේ පාරෙන් පිට පැන්නොත් රට නැවත නැවත බංකොලොත් විය හැකියි.)

"The 2025 Budget needs to be underpinned by appropriate revenue measures and continued spending restraint so as to reach the medium-term primary balance objective of 2.3 percent of GDP—a key requirement for restoring Sri Lanka’s debt sustainability."

මෙය පැහැදිලි කිරීම අපහසු නැහැ. රටේ දළ දේශීය නිෂ්පාදිතය 100 ලෙසත් රාජ්‍ය ණය ප්‍රමාණයද 100 ලෙසත් සැලකුවහොත් (2023දී මෙම ප්‍රමාණය 103.9ක්), පොලී අනුපාතික 7%නම්, වාර්ෂික පොලී වියදම 7ක් වෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තය 2.3ක්නම්, පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්න වෙන්නේ 4.7ක් පමණයි. ඒ කියන්නේ වසරකට පසුව ණය ප්‍රමාණය 4.7කින් ඉහළ යනවා. ආර්ථිකය 5%කින් වර්ධනය වුවහොත්, ණය වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වන නිසා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ණය ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනවා.

එසේ නොවී, 5%ක ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගතහොත් සිදු වන්නේ කුමක්ද? 

පළමුව, නැවත ප්‍රාථමික අයවැය හිඟයකට මාරු වෙනවා කියන්නේ වැඩි වැඩියෙන් ණය ගන්න වෙනවා කියන එකයි. එහිදී පොලී අනුපාතික ඉහළ යනවා. පොලී අනුපාතික 10% සේ සැලකුවොත් පොලී ගෙවීමට 10ක් අවශ්‍ය වෙනවා. ප්‍රාථමික අයවැය හිඟය පියවීමට තවත් 5ක් අවශ්‍ය වෙනවා. මේ අනුව 15ක් ණය ගන්නට සිදු වෙනවා. ආර්ථිකය 5%කින් වර්ධනය වුවහොත්, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ණය ප්‍රමාණය වසරකට 10%කින් පමණ ඉහළ යනවා. මෙවැන්නක් වසර කිහිපයක් වීමට නියමිත බව පේනවා කියන්නේ අනිවාර්යයෙන්ම රට කොයි මොහොතක හෝ නැවත බංකොලොත් වෙනවා කියන එකයි. 

ආර්ථිකය මෙහෙයවන ප්‍රවේශය තුළ වසර දෙක තුනක් ඇතුළත රට නැවත බංකොලොත් වීමට නියමිතනම්, එතැනින් එහාට හදන කිසිදු දිගුකාලීන සැලසුමකින් වැඩක් නැහැ. ඒ නිසා, දිගුකාලීන සැලසුම් රටකට ඉතා වැදගත් වුවත්, කෙටිකාලීන ස්ථායීතාවය තහවුරු නොකර හදන ඕනෑම දිගුකාලීන සැලසුමක් ප්‍රායෝගික නොවන හිතළුවක් පමණයි.

රට නැවත බංකොලොත් වුවහොත් සිදු විය හැකි දේ ගැන ලංකාවට දැන් යම් අත්දැකීමක් තිබෙනවා. එහෙත්, ලංකාව මේ අත්දැකීම හරියටම අත් වින්දේ නැහැ. ලංකාව දැක්කේ චිත්‍රපටයේ ට්‍රේලරය පමණයි. ඔය තත්ත්වයට වැටුණු රටක් ඔය තරම් ඉක්මණින් ගොඩ ගිය අවස්ථා ඇත්නම් එය ඉතා දුලබ දෙයක්. ලෝකයේ හැම තැනකම මෙන් සිදු වී තිබෙන්නේ තනිකරම වෙනස් දෙයක්. යම් හෙයකින් සිදු විය හැකි දෙවන බංකොලොත් වීමකදී ලංකාවටද සිදු විය හැක්කේ පළමුවර සිදු වූ දුලබ දෙය නෙමෙයි. 

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය නැවත ගිලිහී ගියහොත් එය රටේ සිටින සියල්ලන්ටම බලපානවා. එහෙත්, එවැන්නක බලපෑම තිබෙන්නේ රටේ සිටින අයට පමණක් නෙමෙයි. ශ්‍රී ලාංකිකයින් නොවන ආයෝජකයින්, බැඳුම්කරහිමියන්, බහුජාතික සමාගම්, ආනයනකරුවන්, අපනයනකරුවන්, ලංකාවේ සංචාරය කරන්නට සිතා සිටින අය ඇතුළු බොහෝ දෙනෙකුට මෙහි බලපෑමක් තිබෙනවා. ඒ නිසා, ශ්‍රී ලාංකිකයින් නොවන අයටද ලංකාවේ ආර්ථික අනාගතය පිළිබඳව උනන්දුවක් තිබෙනවා.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ලංකාවේ ආර්ථික අනාගතය කෙරෙහි සෘජු ලෙසම බලපාන දෙයක්. ඒ නිසාම, ඒ පිළිබඳව උනන්දුවක් තිබෙන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරන පිරිසට පමණක් නෙමෙයි. තවත් බොහෝ දෙනෙකු මේ දෙස බලා ඉන්නවා. ඒ නිසාම, ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ඇස්තමේන්තු වලට තිබෙන ඉල්ලුමද ලංකාවට සීමා වූ එකක් නෙමෙයි. 

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හැර, ලංකාවෙන් පිට සිටින බොහෝ දෙනෙකුට මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ලංකාවේ ආර්ථික අනාගතය වුවත්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඇතුළු ශ්‍රී ලාංකිකයින් ජනාධිපතිවරණය හා අදාළ තීරණ ගනිද්දී සලකා බලන එකම සාධකය රටේ ආර්ථික අනාගතය නෙමෙයි. එය වෙනත් ඕනෑම රටකටද පොදු, සාමාන්‍ය තත්ත්වයක්. ආර්ථික කරුණු වලට අමතරව, යහපාලනය, සමාජ සාධාරණත්වය, ජාතිකත්වයට තිබෙන තැන වැනි දේවල්ද බොහෝ ඡන්දදායකයින් විසින් සලකා බලනවා. කාලයක්ම ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණ උතුරේ පැවති සිවිල් යුද්ධයයි. බංග්ලාදේශයේ කැරැල්ලට හේතු වූයේ ආර්ථික සාධක නෙමෙයි.

යහපාලනය, සමාජ සාධාරණත්වය වැනි දේවල් ගැනද කතා කළත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් අවධාරණය කරන්නේ රටේ කෙටිකාලීන ආර්ථික ස්ථාවරත්වය හා දිගුකාලීන වර්ධනය පිළිබඳවයි. එයට සාපේක්ෂව, ආර්ථික කරුණු වලින් බැහැර වී නැතත්, මාලිමා කඳවුර ප්‍රමුඛ කරුණු ලෙස ඉදිරිපත් කරන්නේ යහපාලනය හා සමාජ සාධාරණත්වයයි. රනිල් වටා පෙළ ගැසෙන්නේ කෙටිකාලීන ආර්ථික ස්ථාවරත්වයට වැඩි බරක් තබන අයයි. මාලිමා කඳවුර වටා පෙළ ගැසෙන්නේ යහපාලනය හා සමාජ සාධාරණත්වය කෙරෙහි වැඩි බරක් තබන අයයි.

ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුව දැනට ඉදිරියෙන් සිටින සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සිටින්නේ ඔය අන්ත දෙක අතර රනිල්ගේ අන්තයට වඩා ආසන්න තැනකයි. ඇත්තටම කියනවානම්, මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබෙන දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් මුල සිටම පෙනී සිටියේ සමගි ජන බලවේගයයි. එයින් පැහැදිලි ලෙසම බැහැරව සිටි පොහොට්ටු කඳවුර ඒ තැන සිට දැන් සිටින තැනට තල්ලු වුනේ ඔවුන්ගේ විකල්ප වැඩ පිළිවෙළ අසාර්ථක වී ආර්ථිකය කඩා වැටීමෙන් පසුවයි. 

පොහොට්ටු කඳවුර දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩපිළිවෙළ වෙත මාරු වුනේ රනිල් වික්‍රමසිංහ අගමැති වීමට පෙරයි. නන්දලාල් වීරසිංහ හා මහින්ද සිරිවර්ධන එම තනතුරු වලට පත් කළේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි. යම් හෙයකින් අරගලයෙන් පසුව විකල්ප ඉතිහාසයක් ලියැවුනද, මේ තනතුරු වෙනස් නොවිය හැකිව තිබුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසුව මෙම වැඩ පිළිවෙළ තමන්ගේ කරගෙන මහත් ජවයකින් එය ඉදිරියට ගෙන ගියා. සිදු වූ ප්‍රධාන වෙනස එයයි.

රටේ ජනතාවගේ පැත්තෙන් මේ මොහොතේදී රනිල් වික්‍රමසිංහගෙන්, සජිත් ප්‍රේමදාසගෙන් මෙන්ම පොහොට්ටු අපේක්ෂකයෙකුගෙන්ද අඩු වැඩි වශයෙන් දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ නියෝජනය වෙනවා. ඒ නිසා, මේ ඕනෑම අපේක්ෂයෙකුට තිබෙන කැමැත්තෙන් පිළිබිඹු වන්නේ රටේ ආර්ථිකය නැවත කඩා නොවැටී ස්ථායී ලෙස පවතිනු දකින්නට තිබෙන කැමැත්තයි. ඊට අමතරව මාලිමා කඳවුර විසින්ද සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙන් බැහැර වන බවක් කියා නැහැ. ඒ සඳහා එම කඳවුරට ඇති හැකියාව හා කැපවීම නිසියාකාරයෙන් පෙන්වීමට ඔවුන් තවමත් අසමත්ව ඇතත්, එය බොහෝ දුරට මාලිමා කඳවුරෙන් පිටත සිටින අයගේ ප්‍රශ්නයක් මිසක් කඳවුර තුළ සිටින අයගේ ප්‍රශ්නයක් නෙමෙයි. එම කඳවුර තුළ සිටින අයද අනෙක් පිරිස් මෙන්ම රටේ ආර්ථික ස්ථායීතාවය අපේක්ෂා කරන අයයි. ප්‍රධාන වෙනස ඔවුන් තමන්ගේ නියෝජිතයින් පිළිබඳව තිබෙන විශ්වාසය මත පමණක් පදනම්ව එසේ අපේක්ෂා කිරීමයි.

කෙසේ වුවත්, මේ මොහොතේ අවධාරණය කළ යුතු කරුණ වන්නේ ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුව දැනට ජනාධිපති තරඟය තුළ ඉදිරියෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස බවයි. සජිත් ප්‍රේමදාස ලංකාවේ නවවන ජනාධිපති වුවහොත්, දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ නවවන්නේ කොහොමද?

මෙතෙක් ලබාගෙන ඇති සාර්ථකත්වයේ උදවුවෙන්, ලංකාවේ නවවන ජනාධිපතිට දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ නවවන්නට සුළු අවකාශයක් ඉතිරි වී ඇතත්, සුරංගනා කතා කියා රටේ ජනතාව නලවමින් නලවන ජනාධිපති කෙනෙකු වීමේ ඉඩක් තව දුරටත් ඉතිරි වී නැහැ. ඒ නිසා, සජබ ආර්ථික ප්‍රතිපත්තිය වඩා නිරවුල් ලෙස ඉදිරිපත් කිරීම ඡන්දදායකයින්ගේ පැත්තෙන් වගේම රටේ ආර්ථික ස්ථායීතාවය පැත්තෙන් වුනත් වැදගත්.

සජබ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව දැනට තිබෙන නිශ්චිත ලියැවිල්ල වසර කිහිපයකට පෙර හර්ෂ ද සිල්වා විසින් පිළියෙළ කළ ලියැවිල්ලයි. එය කබීර් හෂීම් හා එරාන් වික්‍රමසිංහ සමඟ එකතුව, තවත් විශාල පිරිසකගේ අදහස්ද ලබා ගෙන සකස් කරනු ලැබූ සහ සජිත් ප්‍රේමදාසගේ හා පක්ෂයේ අනුමැතිය ලැබූ ලියැවිල්ලක්. කෙසේ වුවත්, එය ආර්ථික අර්බුදය හමුවේ කෙටිකාලීනව ගත යුතු පියවර විස්තර කෙරුණු ලියැවිල්ලක් මිසක් එතැනින් එහාට යන ලියැවිල්ලක් නෙමෙයි.

ඉහත ලියැවිල්ලේ සඳහන්ව තිබුණු දේ සහ පසුගිය දෙවසර තුළ සිදු වූ දේ අතර ලොකු වෙනසක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත්, ආර්ථිකය කෙටිකාලීනව ස්ථායී කර ගැනීම පිණිස සජබ විසින් යෝජනා කර තිබුණු පියවර මේ වෙද්දී ක්‍රියාත්මක කර අවසන්. ඒ නිසා, ඒ ලියැවිල්ල නිරවුල් හා නිවැරදි ලියැවිල්ලක් වුවත්, මේ වෙද්දී කල් ඉකුත් වූ ලියැවිල්ලක්. මේ අනුව, සජබ බලයට පත් වී ඉදිරියේදී කරන්නට අපේක්ෂා කරන වෙනස්කම් පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබෙනවා. 

ප්‍රකාශිත කරුණු අනුව සහ සජබ සමඟ සිටින බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන් අනුව, සජබ යම් බදු අඩු කිරීමක් කරන්නට ඉඩ තිබෙනවා. මේ වන විටද රජය බදු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ නංවාගෙන තිබෙන අතර, වාහන ආනයන වලට ඉඩ ලැබෙද්දී වැඩි අපහසුවක් නොමැතිව රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා යාමේ හැකියාවක් පෙනෙන්නට තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ, පොලී අනුපාතික පහළ මට්ටමක පැවතියහොත්, රාජ්‍ය ආදායම් ඉලක්ක නොගිලිහෙන පරිදි බදු අනුපාතික යම් තරමකින් අඩු කිරීම නොකළ හැක්කක් නෙමෙයි. මේ හා අදාළ සජබ ප්‍රතිපත්තිය නිශ්චිත ලෙස ඉදිරිපත් කරන්නේනම්, වෙළඳපොළ පොලී අනුපාතික මත එයින් යම් සාධනීය බලපෑමක් සිදු විය හැකියි.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: