වෙබ් ලිපිනය:

Friday, August 23, 2024

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක?


මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි.

ආර්ථිකය/ ආර්ථික අර්බුදය - 59%

ජීවන වියදම/ උද්ධමනය - 55%

රැකියාව/ විරැකියාව - 38%

ඉහළ බදු - 21%

අල්ලස්/ දූෂණ - 6%

සෞඛ්‍ය/ සෞඛ්‍ය සේවා - 6%

මත් ද්‍රව්‍ය/ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම - 5%

අධ්‍යාපනය - 4%

එක් එක් තනි පුද්ගලයින්ට "මහ පොළොවේ තත්ත්වය" විවිධ ආකාරයෙන් පේනවා. එය තීරණය වෙන්නේ තමන් නිතර ඇසුරු කරන්නේ මොන වගේ අයද කියන එක මතයි. ගොඩක් අය වැඩිපුර ඇසුරු කරන්නේ තමන්ගේ අදහස් වලට කිට්ටු අදහස් තිබෙන අයවයි. විශේෂයෙන්ම විරුද්ධ මතධාරීන්ව පේන්නවත් බැරි මානසිකත්වයක ඉන්න අය ඇසුරු කරන්නේම තමන්ගේ අදහස් වලට සමීප අදහස් තිබෙන අයයි. ඒ නිසා එවැනි අයට මහ පොළොවේ තත්ත්වය සේ පෙනෙන්නේ තමන් දකින්නට කැමතිම තත්ත්වයයි. 

මහ පොළොවේ තත්ත්වය හරියට දැනගන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාව නිසි ලෙස නිරූපනය වන නියැදි සමීක්ෂණයක් මගින් පමණයි. අඩුපාඩු රහිත එකක් නොවුනත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය එවැන්නක්.

පසුගිය (2023) වසරට සාපේක්ෂව 69% සිට 59% දක්වා අඩු වී ඇතත්, තවමත් රටේ බොහෝ දෙනෙකු විසින් ආර්ථිකය/ ආර්ථික අර්බුදය ප්‍රධානම ප්‍රශ්න ලෙස හඳුනා ගන්නවා. ඒ වගේම, උද්ධමනය පාලනය වී ඇතත්,  බඩුමිල පෙර මට්ටමට අඩු වී නැති නිසා, ජීවන වියදම තව දුරටත් රටේ ප්‍රධානම ප්‍රශ්න දෙකෙන් එකක් ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නවා. 

වැදගත් නිරීක්ෂණයක් වන්නේ රැකියාව/ විරැකියාව ප්‍රධාන ප්‍රශ්නයක් සේ හඳුනාගන්නා පිරිස 16% සිට 38% දක්වා ඉහළ ගොස් තිබීමයි. ආර්ථිකය හැකිලීමේ බලපෑමට අමතරව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් නැවතී තිබීමද මෙයට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම, ජීවන වියදම ඉහළ ගොස් තිබීම නිසා විරැකියා ප්‍රශ්නයේ බර වැඩියෙන් දැනෙනවා වෙන්නත් පුළුවන්.

ඉහළ බදු ප්‍රශ්නයක් සේ දකින ප්‍රමාණය 21%ක් පමණ වෙනවා. අල්ලස්/ දූෂණ ප්‍රධාන ප්‍රශ්නයක් සේ දකින ප්‍රතිශතය 11% සිට 6% දක්වා පහත වැටී ඇති අතර මත් ද්‍රව්‍ය/ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ප්‍රශ්නයක් සේ දකින අයගේද විශාල අඩුවීමක් දැකිය හැකියි. 

4 comments:

  1. ඔය මැතිවරණ විශ්ලේෂණ වලින් වැඩක් නෑනේ තව මාසයක්වත් නෑනේ දවස් විසි අටක් නමයක් ගියාම ලබන 21 වන දින, මේ වෙලාව වනවිට ලංකාවේ උණුසුම් ම ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙලා, අපි හැමෝම නව ජනාධිපති කවුද කියලා දැනගන්නවා

    ඊට වඩා බරපතල කාරණය මැතිවරණයෙන් පසු ලංකාවේ ආණ්ඩුව කොහොමද පාලනය කරගන්නේ කියලා, මොකද තුන්කොන් සටනක් පවතින මේ ජනාධිපතිවරණය එක පැත්තකින් අරගලයෙන් පස්සෙ අවුරුදු දෙකක් රට ඇදගෙන ආපු අවුරුදු පනහක පරිපාලනමය අත්දැකීම් ඇති, ආණ්ඩු හයක ජනාධිපතිවරු යටතේ අගමැති පදවිය පස් වතාවක් හොබවපු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ.
    අනෙත් පැත්තෙන් මෙතුවක් කල් ඇමති තනතුරකට වඩා ඉහලට නොගිය, රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් නැති, නමුත්, වංචා දූෂණ චෝදනා තවමත් අනිත් අයට වඩා අඩු (නොමැති තරම්) හොරු ඇල්ලීම, සමාජ පරිවර්තනයක් සිදු කිරීම, ප්‍රායෝගික වේ දැයි සැක සහිත නමුත්, ජනප්‍රියවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් විශාල රැල්ලක් ඇතැයි කියන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක තරඟ වදිනව.
    අනිත් කෝණයෙන්, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිගේ පුතාණෝ, විපක්ෂ නායක තනතුර හෙබවූ, සහ ඇමති තනතුරු හෙබවූ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තරඟ වදිනව.

    සමහරවිට, ලබන මාසයේ මුල වනවිට පැහැදිලිවම කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කරාවි දැයි, ඡන්දය අවසන් වන්නටත් පෙර ජනතාවට තේරුම් ගන්න ලැබේවි. නමුත්, මේ වනතෙක් තරඟය විවෘත බවයි මගේ හැඟීම,

    මාසයක් ඇතුලත ඕනම දෙයක් වෙන්න පුළුවනි. ඒ නිසා මේ විශ්ලේෂණය විවෘතව කළ යුතුයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි ඉකොනොමැට්ටාට...

    ReplyDelete
    Replies
    1. රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළොත් මොකද වෙන්නෙ. ?

      රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළොත්, දැනට පවතින තත්ත්‍වයේ කිසිදු වෙනසක් සිදු වෙන එකක් නැහැ. ඒ කියන්නෙ පාර්ලිමේන්තුව විසුරවා හැරීම වැනි රටට විශාල වෙනසක් වන තීරණයකට යන එකක් නැහැ. ඉන්පසුව බොහෝදුරට කැබිනට් සංශෝධනයක් සිදු වෙන්න පුළුවන්. ඒ අනුව ඒ ඒ පක්ෂ වලින් පැමිණි විවිධාකාර පුද්ගලයින්ට ඇමති තනතුරු ලැබෙන්න පුළුවනි. ඒ අනුව සමහරවිට ඇමති මණ්ඩලය මීට වඩා විශාල වන්නට පුළුවන්. ඒත් එක්කම කරගෙන ගිය ව්‍යවස්ථා පනත් කෙටුම්පත් අලුත් කිරීම නව පනත් සම්මත කිරීම වගේ ඒවා සිදු වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසුරවා හැරීම කල් දාන්නෙ, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි වීම නිසා නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීම නිසා සහ දැනට සිටින ඇමති මණ්ඩලය හෝ පත් කරන ඇමති මණ්ඩලය හරහා දැනට පවතින ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමේ පහසුව නිසා වෙන්නටත් පුළුවනි.

      පාර්ලිමේන්තුව කල් පිරුණ පසු, මහමැතිවරණයකට යන්න පුළුවනි එහිදී දැනට පවතින රජයේ ඉදිරි ක්‍රියාදාමය අනුව වැඩි වාසිය හෝ අවාසිය ඔවුනට ලැබීම ඔවුන්ගේ ක්‍රියාකලාපය හා බැඳී පවතිනවා.

      ඒ රජය පැත්තෙන්. ජනතාව පැත්තෙන් ගත්තොත්, ජනතාවට මේ යන විදියටම ටික කාලයක් යන්න සිදු වෙන අතර, සමහරවිට වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය වැඩි වී, නැවත විවිධාකාර ඉල්ලීම් මත වර්ජන ඇතිවන්නටත් පුළුවනි. ඒ නිසා රජය අපකීර්තියට පත් කරලා වැඩි වාසි ලබා ගන්න සජබ ජවිපෙ සහ වෙනත් වාමාංශික පෙරමුණු අරමුණු කරගෙන ඉන්න පුළුවනි.

      බාහිර කරදරයක් නොපැමිණිය හොත් විදේශ සම්ප්‍රේෂණ, සංචාරක ව්‍යපාරය සහ වෙනත් ක්‍රම මාර්ගයෙන් විදේශ සංචිත තර වීම නිසා මීට වඩා යහපත් ආර්ථික තත්ත්‍වයකට රට පත් වන්නට පොඩි ඉඩක් නැත්තේම නෑ නේද?

      රජය බලාපොරොත්තු වන පරිදිම විදේශ ආයෝජන පැමිණීම සහ කර්මාන්ත නැවතත් පණ ගසා ගැනීම රජයට අභියෝගයක් මෙන්ම වාසි ලබා ගැනීමේ තත්ත්‍වයක් ද වෙන්න පුළුවන් . මහ මැතිවරණයකදී සමහරවිට නැවතත් මේ අය පක්ෂ වලට බෙදෙන්න හෝ නව සභාගයක් යටතේ තරඟ කරන්න ඉඩ තියෙනවා. ඒ අනුව ආණ්ඩුවක් පිහිටවයි. මේ ආණ්ඩුවෙන් රැඩිකල් වෙනසක් අපට බලාපොරොත්තු වෙන්න බැරි උනත්, එහි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුට දැනට වඩා වැඩි කේවල් කිරීමේ බලයක් ලැබෙන නිසා සමහරවිට මීට වඩා තරමක හොඳ තත්ත්වයකට එන්න ඉඩක් තිබෙනවා. එහෙත් එහෙම නොවෙන්නත් පුළුවන්

      Delete
    2. ඊළඟට රනිල් වික්‍රමසිංහ පරාජය වී ජාතික ජන බලවේගයේ මාලිමා නායකත්වය දරන අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කළොත් මොකද වෙන්නෙ ?

      අනුරගේ ජයග්‍රහණය 2019 දී නන්දසේන ගෝඨාභයගේ ජයග්‍රහණයටත් එහා ගිහින් නැවත 1977 එජාප ජයග්‍රහණය සිහිපත් කරමින් උග්‍ර ජවිපෙ පාක්ෂිකයින් පාරවල් වල කිරිබත් උයාවි, සමහරවිට, පාලනයෙන් ගිලිහුණු ආවේගශීලී පාක්ෂිකයින් විරුද්ධවාදීන්ට පහර දෙන්න වුනත් පුළුවනි. මේ තත්ත්‍වය දවස් දෙක තුනක් හෝ සතියක් වුවත් පවතින්න පුළුවනි. නව පුනරුදයකින් පාක්ෂිකයින් ජයග්‍රහණය සමරද්දී අන්තර්වාර පාලනයක් ඇති කරලා, අනුර කුමාර පාර්ලිමේන්තුව විසුරවා හරිනවා. ඒ ජනාධිපතිවරණයේ උණුසුම පිටම මහ මැතිවරණයක් පැවැත්වීමෙන් ලබන වාසිය ලබා ගැනීමට. මෙම අන්තර්වාර ආණ්ඩුවට දැනට පාර්ලිමේන්තුවේ සිටින කිසිදු මන්ත්‍රීවරයෙක් ඇතුලත්කර ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් අනුර කුමාරට නොහැකි වනවා. ඒ, අනුර කුමාර විසින් ම පාර්ලිමේන්තුවේ සිටින 225 ම බූරු කූට්ටමේ කොළ වශයෙන් නම් කිරීම නිසා ඔහුට ප්‍රතිපත්තිමය වශයෙන් සහ සදාචාරාත්මක වශයෙන් එම 225 න් සහයෝගයක් ලබා ගැනීමට නොහැකි වන නිසායි.

      එසේත් නැතිනම්, අනුර සිය ඇඳුම් උනා තබා, පාර්ලිමේන්තුවේ සිටි අයගෙන් අන්තර්වාර ආණ්ඩුව සැකසිය යුතුයි. මෙය අනුරට පනින්න තියෙන පළමු කඩුල්ල වනවා.
      එසේ නැතහොත්, අනුරට සිදු වන්නේ සිය පාක්ෂිකයින් සමඟ “වියත්මග 2” රඟ දක්වමින්, ජාතික ජන බලවේගයට ප්‍රතිපත්ති සැකසීමට දායක වූ වියතුන්ගෙන් සමන්විත අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවීමයි. එහිදී ඔවුන් සතුව ප්‍රායෝගික දැනුම ඇති සහ ආණ්ඩුවක් කර නැති කණ්ඩායමක් සිටින නිසා සමහරවිට මූලිකවම එය සෑබෙන අපහසු වනු ඇති. නමුත්, එය උපකල්පනයක් පමණයි.

      මෙසේ අන්තර්වාර ආණ්ඩුව ක්‍රියා කරන අතර, මහමැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන අතර, විපක්ෂ දේශපාලන පක්ෂ මෙම තත්ත්‍වයෙන් ඵල නෙලා ගැනීමට පවතින තත්ත්‍වය අවුල් සහගත කිරිමට ද ඉඩක් පවතිනවා.. එසේම වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය ද ඒ අනුව වෙනස් විය හැකියි. නමුත් වෘත්තීය සමිති බහුතරයක් ජවිපෙ මූලිකත්වය ගත් වෘත්තීය සමිති නිසා එය පාලනය කළහැකි වෙනු ඇති.

      මීලඟට නව ජාජබ අන්තර්වාර ආණ්ඩුවට මුහුණ පාන්නට වන අභියෝගය වන්නේ ඔවුන් මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමේ අභියෝගයයි. මෙය යම් තරමකට හෝ සිදු නොවුවහොත්, එය මහ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් ප්‍රබල විය හැකියි.

      බඩුමිල පාලනය
      ඉන්ධන මිල පාලනය
      නීතිය හා සාමය
      දූෂකයන්ට දඬුවම් දීම
      පවතින රජයේ දැඩි වියදම් පාලනය
      රජයේ නිලධාරීන් සහ වෙනත් අංශ වල දූෂණය පාලනය, මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම් නැවැත්වීම
      පොරොන්දු වූ බදු සහන - තාවකාලික සහ ස්ථිර පත්වීම්
      රජයේ රැකියා
      ආදී බොහෝ දේ ඉටු නොවුව හොත්, තමන් සුවහසක් බලාපොරොත්තු තබාගෙන බලයට ආ අනුර කුමාර පිළිබඳ ක්‍ෂණික ඉච්ඡාභංගත්වයක් රට වැසියා තුළ හට ගැනීම මහ මැතිවරණයේ ප්‍රතිඵලයට ඍජුවම බලපානු ඇති.

      අනුරගේ මීලඟ අභියෝගය මහ මැතිවරණයෙන් ආසන 113 කට වඩා බහුතරයක් ලබා ගැනීමයි. ජනාධිපතිවරණ උණුසුම සහ උද්දාමය මත යම් ආසන ප්‍රමාණයක් ලබා ගත හැකි වුවත්, තනි පක්ෂයක් වශයෙන් ආසන 113 ක් ලබා ගැනීම ජාතික ජන බලවේගයට ඉතාමත්ම අසීරු කරුණක් විය හැකියි.

      එසේ නොගතහොත් ඔවුනට සභාග ආණ්ඩුවකට යාමට සිදු වන අතර. අනුරට හොරු සමග හෙළුවෙන් ජීවත් වීමට සන්ධානගත වන්නට සිදුවනු ඇති. එවිට පාරිශුද්ධ ආණ්ඩුවක් ගෙන ඒමට දායක වූ කෝටියක් ඡන්ද දායකයින්ට ඇතිවන ඉච්ඡාභංගත්වය කෙසේ දරාගන්නට පුළුවන් වේද යන්න සැක සහිතයි.
      මන්ද, අනුර මෙන්ම ඔවුන්ද රෙදි උනා දමා සිටින්නට සිදු වන නිසා.

      අනුරට 113 ක් ගන්නට නොහැකි වුවහොත් සන්ධානගත වන පක්ෂ එක්ව තනන ආණ්ඩුව සමග අනුරට ඉදිරි වසර රට ගෙන යාමට සිදු වන අතර, එය යහපාලන දීගයටත් වඩා මහා අවුලක් වනු ඇති.

      ඉන්පසුුව සිදු වන දෑ ගැන කතා කිරීමද පළක් නොවන අතර, අනුරට ඉතා ඉක්මනින් ගෙදර යාමට සිදු වනු ඇති. මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද මොකද?

      Delete
    3. මේ දෙදෙනාම පරාජය වී සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හොත් මොකක් වේවිද ?

      සජිත්ට ද සිදු වන්නේත් පාර්ලිමේන්තුව විසුරවා හැරීමටයි. අනුරට වඩා ඔහුට එය තරමක අභියෝගයක් වන්නේ ඔහුගේ පක්ෂයේ ද විශ්‍රාම වැටුපට හිමිකම් කියන සමහර මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි වීමේ වේදනාව ඔහුට දායක වන්නට සිදු වන නිසා. කෙසේ වුවත් සජිත්ට ද ආණ්ඩුව විසුරවා හැරීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැහැ.

      ආණ්ඩුව විසුරවා හැරිය පසු, සජිත්ට ඇති එකම වාසිය, අනුරලාට වඩා තරමක අත්දැකීම් ඇති කණ්ඩායමක් ඔහු පසුපස (මේ ලිපිය ලියන අවස්ථාවේ) සිටින නිසා, ඔවුන් භාවිත කර ජාජබට සාපේක්ෂව තරමක හෝ ස්ථාවර සහ වඩා රාජ්‍යතාන්ත්‍රික ලෙස රජය කරගෙන යාමේ වාසිය ලැබීමයි.

      ඒ අනුව අනුරට වඩා තරමක් සුමට ලෙස අන්තර්වාර රජය ගෙන යාම මගින් මහ මැතිවරණ වාසිය ඔහුට ලබා ගත හැකි වන නමුත්, සජබයට ද තනිව ආසන 113 ක් ගැනීමේ අභියෝගය පවතිනවා.

      මේ නිසා, කවුරු ජනාධිපති වුවත්, තනි බලයකින් ආණ්ඩුවක් පිහිටවීම අපහසු කාරණයක් වන අතර, අනිවාර්යයෙන්ම සහයෝගීතා, සන්ධානගත ආණ්ඩුවකට යාමට සිදු වනවා. ඒ අනුව ඇමති මණ්ඩලයේ සංඛ්‍යාවන් වැඩි වන අතර කිසිදු අවස්ථාවක නුදුරු System Change එකක් මේ රටට අත්විඳින්නට නොහැකි වනු ඇති.

      කවුරු ජනාධිපති උනත්, උපරිම ලෙස ඔය දෙන මැතිවරණ පොරොන්දු වලින් සියයට පනහක් වත් ඉටු කරන්නට ඔවුන්ට ඉඩක් නැහැ. බොහෝ දුරට 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය වගේම 100% ක් ඔය දෙන පොරොන්දු බොරු පොරොන්දු වී පච මල්ලක් බවටත් පත් වෙයි.

      මේ නිසා වැඩිම කම්පනය දැනෙන්නේ, අනුර කුමාර ජනාධිපති වුවහොත්, ඊට දායක වූ 3% ක් වූ ආත්මීය ජවිපෙ සාමාජිකයින්ට සහ ඉන් එපිටට එකතු වන පාවෙන ජවිපෙ සාමාජිකයින්ට, ඔවුන් පක්ෂයෙන් පක්ෂයට පාවෙන නිසා ඔවුන්ට නන්දසේන ගෝඨාභය ගෙන් සිදු වූ බලාපොරොත්තු කඩවීම දෙවන වතාවටත් දරා ගැනීමට අපහසු වනු ඇති.

      දැනටමත් සමහරක් පවසන්නේ, “ අනුර නොකළොත්, ඉස්සෙල්ලම පාරට බහින්නෙ අපි” නම් ජනප්‍රිය සටන් පාඨය.
      ඇත්තටම අපි පත්වන ජනාධිපති තමන්ගෙ අපේක්ෂා ඉටු නොකළා කියා හැම අවුරුද්දෙම පාරට බැහැලා විප්ලව කරනවාද ? එහෙමත් නැතිනම්, අපි මුලින් හැදිලා, පාලකයට වෙනස් නොවී ඉන්න බැරිවන තැනට කටයුතු සිද්ධ කරනවද ? කියන එක හිතන්න කාලය ඇවිත්.

      නමුත්, යකාගෙ හැටියට විමානය කිව්වා සේ, අපට ලැබෙන දේශපාලනඥයින් ලැබෙන්නේ අපේ හැටියට.

      අපි තවමත්, දේශපාලනඥයින්ගෙන් සාධාරණත්වය, යුක්තිය, නීතිගරුක බව බලාපොරොත්තු වෙමින්, අපි තමන්ගේ වැඩ කෙසේ හෝ කරගන්න, නීති කඩමින්, අල්ලස් දෙමින්, අනිකා පාගමින්, සදාචාරය පැත්තකට දමා ආත්මාර්ථකාමීව කටයුතු කරමින් සිටින තාක් කල්, අපට ද අප පාලනයට ලැබෙන්නේ අපේම සමාජයේ පැතිකඩක් බව අපි හැමෝම මතක තබා ගත යුතුමයි.

      මම සියයට සියයක් නිවැරදි නොවෙන්න පුළුවන්. ඔබේ විශ්ලේෂණය මොකද්ද? මේක ගැන ඉකොනොමැට්ටාගෙන් විශ්ලේෂණයක් අවශ්‍යයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: