වෙබ් ලිපිනය:

Monday, August 19, 2024

මුජිබ්වාදයේ සිට බංග්ලාදේශ ජාතිකවාදය දක්වා...



පෙර ලිපියෙන් විස්තර කළේ නූතන බංග්ලාදේශය බිහි වෙද්දී මුජිබ්වාදය විසින් සිදු කළ කාර්ය භාරය සහ මුජිබුර් රහ්මන් ඝාතනයෙන් බංග්ලාදේශයේ මුජිබ්වාදයද කඩා වැටී සියා රහ්මන් බලයට පත් වීම දක්වා සිදු වූ සිදුවීම් පෙළ ගැනයි. මේ සියල්ල සිදු වෙන්නේ වසර හතරක පමණ කෙටි කාලයක් තුළයි.

1970 දෙසැම්බර් 7 - ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නායකත්වයෙන් අවාමි ලීගය ඒකාබද්ධ පකිස්ථානයේ පළමු (හා අවසන්) මහ මැතිවරණය ජය ගැනීම හා අපේක්ෂිත පරිදි බල හුවමාරුවක් සිදු නොවීම.

1971 මාර්තු 26 - ෂේක් මුජිබුර් රහ්මාන් අත් අඩංගුවට පත් වීම. ෂේක් මුජිබුර් රහ්මාන් වෙනුවෙන් සියා රහ්මන් විසින් බංග්ලාදේශ ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීම හා යුද්ධය ආරම්භ වීම 

1971 දෙසැම්බර් 16 - පකිස්ථාන හමුදා යටත් වීම සහ යුද්ධය අවසන් වීම 

1972 ජනවාරි 10 - ෂේක් මුජිබුර් රහ්මාන් නිදහස් වී නැවත බංග්ලාදේශයට පැමිණීම 

1972 නොවැම්බර් 4 - ව්‍යවස්ථාදායක සභාව විසින් බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව සම්මත කර ගැනීම 

1972 දෙසැම්බර් 16 - පළමු බංග්ලාදේශ ව්‍යවස්ථාව බලාත්මක වීම 

1973 මාර්තු 7 - නිදහස් බංග්ලාදේශයේ පළමු මහ මැතිවරණය හා එම මැතිවරණය ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නායකත්වයෙන් අවාමි ලීගය ජය ගැනීම. 

1974 දෙසැම්බර් 28 - ෂේක් මුජිබුර් රහ්මාන් විසින් හදිසි නීතිය පැනවීම හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සියලු දේශපාලන පක්ෂ තහනම් කර තනි පක්ෂ ක්‍රමයක් හඳුන්වා දීම.

1975 ජනවාරි 25 - ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ෂේක් මුජිබුර් රහ්මාන් විධායක ජනාධිපති බවට පත් වීම. ව්‍යවස්ථාදායකයේ මෙන්ම අධිකරණයේද බලතල කප්පාදු කිරීම.

1975 අගෝස්තු 15 - ෂේක් මුජිබුර් රහ්මාන් ඝාතනය වීම සහ ඛොන්දකාර් අහමඩ් වීසින් රාජ්‍ය බලය ලබා ගැනීම 

1975 නොවැම්බර් 3 - සිරගත කර සිටි අවාමි ලීගයේ නායකයින් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීම සහ ඉන් අනතුරුව මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් විසින් ඛොන්දකාර් අහමඩ්ව ඉවත් කර හමුදා ආණ්ඩුවක් පිහිටුවීම.

1975 නොවැම්බර් 7 - මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් ඝාතනය වීම සහ සියා රහ්මන් බලයට පත් වීම.

දැන් ඔය විදිහට තමයි හමුදා නිලධාරියෙක් වූ සියා රහ්මන් මුලින්ම බලයට පත් වෙන්නේ. සියා රහ්මන් කියන්නේ ඛලිඩා සියාගේ සැමියා සහ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නිර්මාතෘ. ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නිදහස් ප්‍රකාශනය ඔහු වෙනුවෙන් කියෙවුවේ සියා රහ්මන් නිසාත්, විමුක්ති යුද්ධයේ සේනාධිනායකයෙක් වූ නිසාත්, ඔහුටත් බංග්ලාදේශ නිදහස් අරගලයේ උරුමයක් තිබෙනවා. 

තව දුරටත් මතක් කළ යුතු කරුණක් වන්නේ ෂේක් මුජිබුර් රහ්මාන් ඝාතනය සිදු වන විට ඒකාධිපතිත්වයක් කරා යමින් සිටීම, දූෂන චෝදනා, පවුලේ අයට සැලකීම පිළිබඳ චෝදනා ආදිය එල්ල වීම නිසා ඔහුගේ ජනප්‍රියත්වය පිරිහිලයි තිබුණේ. ඒ වෙද්දී ඔහු වසර හතරකට කලින් හිටපු යුද වීරයා නෙමෙයි. 

දේශපාලනයට අලුත් මූණක් වූ සියා රහ්මන්ට ඒ වන විට මෙවැනි චෝදනා නැහැ. ඒ වගේම ඔහු යුද විරුවෙක්. බංග්ලාදේශ නිදහස් සටනට දේශපාලන නායකත්වය සැපයුවේ ෂේක් මුජිබුර් රහ්මාන් වුනත් යුද්ධය සිදු වෙද්දී මුජිබුර් රහ්මාන් සිටියේ සිරගතවයි. යුද්ධය කළේ සියා රහ්මන් වැනි සේනාධිනායකයෝ. ඒ වගේම, කලින් සිදු වුනු කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස සියා රහ්මන්ට බලය ලැබෙනවා මිසක් ඒ කුමන්ත්‍රණ ඔහු මුල් වී කරපුවා නෙමෙයි. යම් සැක මතු වී ඇතත් මුජිබුර් රහ්මාන් ඝාතන කුමන්ත්‍රණයට සියා රහ්මන් සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂියක් නැහැ.

ඉහත සියලු තත්ත්වයන් දේශපාලනිකව සියා රහ්මන්ට වාසිදායක වුනත්, ඔහුට අවාමි ලීගයේ සහයෝගය ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. ලැබුණු බලය දිගටම පවත්වා ගෙන යන්නනම් ඔහුට ෂේක් මුජිබුර් රහ්මාන් විසින් සිදු කළ අයුරින් කිසියම් දේශපාලන දර්ශනයක් ඉස්සරහට දමන්න වෙනවා. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය නිර්මාණය කරමින් ඔහු මේ වැඩේ කරනවා. 

අවාමි ලීගය වගේ ස්ථාපිත දැවැන්ත පක්ෂයක් රටේ තියෙද්දී එයට විකල්ප දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කරන කෙනෙකුට අවාමි ලීගයේ දේශපාලන දර්ශනයේ අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කරන්න සිදු වෙනවා. ඒ කියන්නේ මුජිබ්වාදයට විකල්පයක් යෝජනා කරන්න සිදු වෙනවා.

මුජිබ්වාදයේ එක් කුලුනක් ප්‍රජාතන්ත්‍රවාදය වුනත්, එයින් අදහස් වුනේ බටහිර පරමාදර්ශය වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. සමාජවාදී ලෝකයේ සම්මුතිය වී තිබුණු තනි පක්ෂ ක්‍රමය. මුජිබ්වාදයේ මේ අඩුපාඩුව වෙත අවධානය යොමු කරමින් සියා රහ්මන් විසින් එක දොරක් විවෘත කර ගන්නවා. ඒ අනුව, නැවතත් බහු පක්ෂ ක්‍රමයට ඉඩ ලැබෙනවා. ඒ ඉඩ විවෘත වෙන්නේ ආගමික හා වාර්ගික දේශපාලනයට තිබුණු තහනමද ඉවත් කරගෙනයි.

මේ එක්ක සියා රහ්මන්ව කොටස් දෙකකට ආකර්ශනය වෙනවා. එක් කොටසක් මුස්ලිම් පක්ෂ. අනෙක් කොටස චීන පාර්ශ්වයේ සමාජවාදී පක්ෂ. මේ කාලයේදී ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය සෝවියට් කඳවුරට එරෙහිව චීනය එක්ක උපාය මාර්ගික සහයෝගීතාවයක හිටපු නිසා චීනය පැත්තට නැඹුරු වීම සහ බටහිර වෙත නැඹුරු වීම එකක් මිසක් දෙකක් වුනේ නැහැ. මුජිබ්වාදයට සාපේක්ෂව සියා රහ්මන්ගේ දේශපාලන දර්ශනය ස්ථානගත වුනේ දක්ෂිනාංශයට බරවයි. 

දෙපැත්තක හිටපු මේ පාර්ශ්ව දෙකේ තවත් පොදු ලක්ෂණයක් වුනේ ඉන්දියානු විරෝධය. ඉස්ලාම් දේශපාලන පක්ෂ වලට හින්දු ඉන්දියාවට වඩා මුස්ලිම් පකිස්ථානය වෙත යම් ඇඟලුම්කමක් තිබුණා. චීන සමාජවාදී කඳවුරට සෝවියට්-ඉන්දියා සම්බන්ධතා නිසා ඉන්දියාව එක්ක ප්‍රශ්න තිබුණා. ඔවුන් බංග්ලාදේශ නිදහස සැබෑ නිදහසක් නොවන බවට තර්ක කළා. එය බංග්ලාදේශ ජනතාව ඉන්දීය ආධිපත්‍යයකට යටවීමක් විදිහට විග්‍රහ කෙරුණා. ඇත්ත තත්ත්වය දිහා බැලුවොත්, ඉන්දියානු හමුදා මැදිහත්වීම් නොවන්නට බංග්ලාදේශ නිදහස් සටන පහසුවෙන් ජයගන්න ලැබෙන්නේ නැහැ. ඒ අනුව, බංග්ලාදේශය කියන්නේ ඉන්දියාවේ නිර්මාණයක්. 

මුජිබ්වාදයේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය (බටහිර අර්ථදැක්වීම් අනුව ඒකාධිපතිත්වය) වෙනුවට බටහිර ලිබරල් ප්‍රජාන්තන්ත්‍රවාදය පැත්තටත්, අනාගමිකත්වය වෙනුවට ආගමික නිදහස පැත්තටත් නැඹුරු වීම මගින් සියා රහ්මන්ට මුජිබ්වාදයට විකල්පයක් විය හැකි දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කළ හැකි වුනත්, මුජිබ්වාදයේ කුළුණු හතරෙන් ශක්තිමත්ම කුළුන වුනේ බංගලි ජාතිකවාදය නිසා ඒ කුළුණට පහර දිය හැකි විකල්පයක් නැතිව ඔහුට ඉදිරි ගමනක් තිබුණේ නැහැ. ඒ වගේම, ජාතිකවාද ඉක්මවා යන ජාත්‍යන්තරවාදයක් මේ සඳහා යෝග්‍ය වුනෙත් නැහැ. සමාජවාදය හා අනාගමිකත්වය පැත්තෙන් විතැන් වෙද්දී ජාත්‍යන්තරවාදය ඒ පැකේජ් එකට ගැලපුනේ නැහැ. 

මුජිබ්වාදයේ ජාතිකවාදය වෙනුවට විකල්පයක් විදිහට වෙනත් ආකාරයක ජාතිකවාදයක් හඳුන්වා දෙමින් සියා රහ්මන් මේ ප්‍රශ්නය සාර්ථකව විසඳා ගත්තා. බංග්ලාදේශ ජාතිකවාදය හැදෙන්නේ ඔය විදිහට. ඒක තමයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් අවාමි ලීගයට එරෙහිව පාවිච්චි කළ සහ තවමත් පාව්ච්චි කරන ප්‍රධානම අවිය. 

මුජිබ්වාදයේ ජාතිකවාදය භාෂාව මත පදනම් වූ ජාතිකවාදයක්. එය පකිස්ථානයෙන් මානසිකව වෙන් වීම සඳහා උදවුවක් වුනත්, බංගලි ජාතිකවාදයේ අතුරු ඵලයක් විදිහට බංග්ලාදේශයේ බංගලියන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බංගලියන් එක්ක මානසිකව එකතු වෙනවා. ඇත්තම තත්ත්වය අනුව බැලුවොත් ඉතිහාසය පුරාම සියවස් ගණනක් බංගලියෝ කියන්නේ එකම ජාතියක්. ආගම් අනුව හින්දු හා මුස්ලිම් ලෙස බෙදීම කෘතීම හා දේශපාලනික දෙයක්. මේක තරමක් දුරට උඩරට පහතරට ලෙස සිංහලයින් බෙදීමට සමාන කරන්න පුළුවන්. නමුත් ඇමරිකා-චීන කඳවුර පැත්තට බර, ඉන්දියානු විරෝධයක් තිබෙන, දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ මොන විදිහකින් හෝ ඔය සම්බන්ධය කඩන්න. 

සියා රහ්මන් මේ වැඩේ කරන්නේ බංග්ලාදේශ-බංගලි ජාතිකත්වයක් පිළිබඳ අදහස ඉස්මතු කරලා. ඒක ටිකක් දුරට සිංහල-බෞද්ධ වගේ අදහසක්. ජාතිකත්වය හැදෙන්න භාෂාව හා ආගම යන දෙකම එකට එකතු වෙලා. මේ දේශපාලන දර්ශනය අනුව, බංග්ලාදේශ-බංගලි කියන්නේ ඉන්දියානු-බංගලි ජාතියෙන් වෙනස් වෙනම ජාතියක්. 

බංග්ලාදේශ-බංගලි ජාතිකයන් ඉන්දියානු-බංගලි ජාතියෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඇත්තටම බැලුවොත් තිබෙන එකම ප්‍රධාන වෙනස්කම ආගම. ඒ නිසා ආගම ඉස්මතු නොකර ඔය වැඩේ කරන්න බැහැ. සියා රහ්මන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් කිවුවේනම් හාත්පසින්ම වෙනස් කතාවක්. ඔවුන් තර්ක කළේ බංගලි ජාතිය කියා කියූ විට බංගලි නොවන චක්මා ගෝත්‍රිකයින් වැනි සුළුතර බැහැර කෙරෙන බව හා බංග්ලාදේශ ජාතිකත්වය යටතේ ඔවුන්ද එකතු කළ හැකි බවයි. නමුත් ඇත්තටම මේ වැඩෙන් වුනේ ජනගහනයෙන් 1%කටත් අඩු චක්මා ගෝත්‍රිකයින් පමණක් නොව 8%ක් පමණ වන හින්දු ආගමිකයින්ද බැහැර වී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය බංගලි-මුස්ලිම් පක්ෂයක් වීම. ඊට සමාන්තරව අවාමි ලීගය සුළු ජාතීන්ට හා ආගමිකයින්ටද එකතු විය හැකි තැනක් වෙනවා. ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය වගේ. 

බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය උලුප්පා පෙන්වන්න ඉන්දීය-බංගලි භාෂාවේ හා බංග්ලාදේශ-බංගලි භාෂාවේ වෙනස්කම් උලුප්පා පෙන්වන්න වෙනවා. මේවා දකුණේ භාෂාවේ හා උඩරට භාෂාවේ වෙනස්කම් වැනි සියුම් වෙනස්කම්. ඇත්තටම එකම භාෂාව. නිදහසෙන් පස්සේ කාලයක් භූගොලීයව ඈතින් තිබෙන (බටහිර) පකිස්ථානය එක්ක එකට හිටපු නිසා පහු පහු වෙද්දී බංග්ලාදේශ-බංගලි භාෂාවට උර්දු වචන වැඩියෙන් කලවම් වෙලා තිබෙනවා. බංග්ලාදේශ-බංගලි භාෂාවේ යම් අනන්‍යතාවයක් ඇත්නම් ඒ මේ උර්දු වචන නිසා. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් කරන්නේ මේ වගේ වචන වලට බර තබමින් වෙනස්කම් උලුප්පන එක. 

බංග්ලාදේශ විමුක්ති යුද්ධයේ වගේම අවාමි ලීගයේද උද්යෝග පාඨය "බංග්ලාදේශයට (බෙංගාලයට) ජයවේවා!" කියන තේරුම තිබෙන "ජොයි බංග්ලා!" කියන එක. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් මෙය "බංග්ලාදේශ් සින්දාබාද්!" ලෙස වෙනස් කරනවා. "ජොයි" යන්න බිඳී එන්නේ බෙංගාලි භාෂාවේ මූලාරම්භ භාෂාවක් වන සංස්කෘත භාෂාවේ "ජය" යන්නෙන්. සින්දාබාද් කියන්නේ පර්සියානු සම්භවයක් තිබෙන වචනයක්. ඔය වගේ පොඩි දේවල් වලින් තමයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් බංග්ලාදේශ-බංගලි ජාතිකත්වයක් පිළිබඳ අදහස ඉස්මතු කරලා දේශපාලන අවකාශයක් හදා ගන්නේ.  

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය හදලා ඒ වටා ශක්තිමත් ජන බලයක් ගොඩ නගා ගැනීමෙන් පසුව, සියා රහ්මන් විසින් 1979දී මැතිවරණයක් පවත්වනවා වගේම අවාමි ලීගය පරදවා එයින් ජයගන්නවා. ඒ අනුව, හමුදා පාලනයද අවසන් වෙනවා. නමුත් ඔය ව්දිහට නැවත ස්ථාපනය කෙරෙන බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒ පාරත් වැඩි ආයුෂ තියෙන්නේ නැහැ. අවුරුදු දෙකකට පස්සේ 1981දී සියා රහ්මන්ද ඝාතනය වෙනවා.

මුජිබුර් රහ්මන් ඝාතනය වන විට ඔහුගේ ජනප්‍රියත්වය ගිලිහී තිබුණත්, සියා රහ්මන් ඝාතනය වන විට ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහුගේ අවමගුලට විශාල ජනකායක් සහභාගී වෙනවා. අලුතෙන් හදපු බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය තවමත් ජනප්‍රියයි. සියා රහ්මන්ගේ උප ජනාධිපති අබ්දුස් සතාර් ව්‍යවස්ථාව අනුව වැඩ බලන ජනාධිපති වෙලා මාස හයකට පසුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඒ අනුව, අබ්දුස් සතාර් ජනාධිපති වුනත් ඔහුට ජනාධිපති සේ කටයුතු කරන්න වෙන්නේ මාස කිහිපයක් පමණයි. හමුදාපති මුහම්මද් එර්ශාඩ් විසින් අබ්දුස් සතාර්ව බලයෙන් පහ කර හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා. එර්ශාඩ් පාලනය අවසන් වන්නේ 1990 අවසානයේදී. 

ෂේක් මුජිබුර් රහ්මාන් වගේම සියා රහ්මන්ද යුද වීරයෙක්. එය ලංකාවේ මහින්ද රාජපක්ෂ- සරත් ෆොන්සේකා සම්බන්ධයට යම් තරමකින් සමාන කළ හැකි ආකාරයේ සම්බන්ධයක්. නමුත් හමුදා ඇතුළේ සිටි නිදහස් සටනට සම්බන්ධ වූ කොටස් වල සහයෝගය ලබා ගන්න සියා රහ්මන්ට හැකි වන්නේ නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය දිගටම තිබෙන්නේ අවාමි ලීගයටයි.

මෙය මේ විදිහට වෙන්න එක හේතුවක් වන්නේ ෂේක් මුජිබුර් රහ්මාන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය තුළ නිදහස් සටනට සහයෝහය දුන් හමුදා කොටස් වලට විශේෂ වරප්‍රසාද දීම මගින් තමන් වටා බල පවුරක් ගොඩ නගා ගන්න ගත් උත්සාහය. සිවිල් දේශපාලන නායකයෙක් වූ මුජිබුර් රහ්මාන්ගේ දෘෂ්ඨි කෝණයෙන් බලද්දී නිදහස් සටනට සහයෝහය දුන් හමුදා කොටස් වීරයින්. එසේ නොකළ අය ද්‍රෝහීන් නොවුනත් අඩු වශයෙන් "දෙවන පංතියක" අය.

නමුත් හමුදා විනය යටතේ කාලයක් පුහුණු වූ අයෙක් හිතන්නේ මේ ආකාරයටම නෙමෙයි. හමුදා විනය ඇතුළේ වඩා වැදගත් වන්නේ ඉහළින් එන අණ පිළිපැදීම හා පක්ෂපාතිත්වයයි. විනයගරුක හමුදා නිලධාරියෙකුගේ පැත්තෙන් බැලු විට බංග්ලාදේශ නිදහස් අරගලය කැරැල්ලක්. අරගලකරුවන්ගේ පැත්තේ හිට ගැනීම හමුදා විනය කඩ කිරීමක්. 

ඒකාබද්ධ පකිස්ථාන හමුදා වල සිටි ඇතැම් බංගලි සෙබළුන් නිදහස් අරගලයට එකතු වුනත් හැමෝම එහෙම කළේ නැහැ. ඇතැම් අයව මෙම යුද්ධය අවසන් වන තුරු පකිස්ථානයේ රඳවා ගනු ලැබුවා. තවත් අය පැත්තක් නොගෙන ස්වේච්ඡාවෙන්ම පකිස්ථානයේ රැඳී සිටියා. යුද්ධය අවසන් වීමෙන් පසුව හමුදා තුළ එවැන්නට ලැබුනේ කුඩම්මාගේ සැලකිල්ලක්. සියා රහ්මන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට එකතු කර ගත හැකි වූ බොහෝ හමුදා සෙබළුන් නිදහස් අරගලයට සහභාගී නොවූ මෙවැනි අයයි. 

සියා රහ්මන් ජනාධිපති ලෙස පත් වීමෙන් අනතුරුව හමුදාපති ලෙස පත් කළ මුහම්මද් එර්ශාඩ්ද ඉහත කී දෙවන කණ්ඩායමට අයත්, යුද්ධයේ උරුමයක් නොතිබුණු අයෙක්. යුද්ධය සිදුවන කාලය තුළ පකිස්ථානය විසින් යුද සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටි ඔහුට නැවත බංග්ලාදේශයට එන්නට ඉඩ ලැබෙන්නේ 1973දී ඉන්දිරා ගාන්ධි හා අලි භූතෝ අතර අත්සන් කෙරෙනු සිම්ලා ගිවීසුමෙන් අනතුරුවයි. 

යුද උරුමයක් තිබුණු සියා රහ්මන්ටද කළ නොහැකි වූ දෙයක් එවැනි උරුමයක් නොතිබුණු එර්ශාඩ්ට කිරීමේ හැකියාවක් නොතිබුණු බැවින් ඔහුට අවාමි ලීගයේ ආධාරකරුවන් ආකර්ෂණය කර ගත හැකි වූයේ නැහැ. ඒ නිසා, එර්ශාඩ් වඩා නැඹුරු වූයේද බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ මතවාදය පැත්තටයි. එර්ශාඩ් විසින් නිල වශයෙන්ම බංග්ලාදේශය මුස්ලිම් රටක් ලෙස නම් කරනවා. 

එර්ශාඩ් විසින් බලය අත් පත් කර ගැනීමට පෙර ළඟ ළඟ සිදු වූ හමුදා කුමන්ත්‍රණ වලට එක් ප්‍රධාන හේතුවක් වුයේ හමුදා තුළ වූ බෙදීම් හා කල්ලිවාදයි. ප්‍රධානම බෙදීම තිබුණේ නිදහස් සටනට සම්බන්ධ වූ හා නොවූ කොටස් අතරයි. එර්ශාඩ්ගේ දැඩි හමුදා පාලනය යටතේ සිදු වූ එක් සාධනීය දෙයක් වන්නේ හමුදාව විනයගත කරනු ලැබීමයි. ඒ හේතුවෙන් හමුදා කුමන්ත්‍රණද නැවතුණා.

අනෙක් අතට එර්ශාඩ් විසින් රාජ්‍ය බලය පැහැර ගත්තේ එවකට ජනප්‍රියව සිටි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ජනාධිපතිව ඉවත් කරමිනුයි. ඒ නිසා, ඔහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියෙකු වූයේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. මේ තත්ත්වය තුළ, සතුරාගේ සතුරා මිතුරාය යන න්‍යාය අනුව, විප්‍රවාසීව සිටි සීක් හසීනාට නැවත බංග්ලාදේශයට පැමිණ අවාමි ලීගය සංවිධානය කිරීමට ඉඩ ලැබෙනවා. පසුගිය අගෝස්තු 5 දින හවස්වරුවේ විරෝධතාකරුවන් විසින් ගිණි තබා විනාශ කළ ඇගේ ධන්මොන්ඩි නිවෙස වෙත ප්‍රවේශ වීමට ඇයට නැවතත් ඉඩකඩ ලැබෙන්නේ මෙයින් පසුවයි.

කෙසේ වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි බැස එර්ශාඩ් පාලනය අවසන් කිරීම සඳහා හසීනාගේ අවාමි ලීගය හා ඛලිඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අත්වැල් බැඳගන්නවා. ගංවතුරට නයි මුගටි එක කොටේට ගොඩ වෙනවා කියනවනේ. එහි ප්‍රතිඵලයක් ලෙස පැවැත්වෙන මැතිවරණය ජයගන්නේ ඛලිඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. අවාමි ලීගයට නැවත බලයට පැමිණෙන්නට ඉඩ ලැබෙන්නේ 1996දී. ඒ මුජිබර් රහ්මන් ඝාතනයෙන් වසර 21කට පසුවයි.

අවාමි ලීගය බලයේ නොසිටි වසර 21ක කාලය තුළ, විශේෂයෙන්ම බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය බලය හොබවද්දී, බංග්ලාදේශය ඉතිහාසය නැවත ලියැවෙනවා. ඒ අනුව, නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස මුජිබුර් රහ්මාන්ගේ භූමිකාව දියාරු වී සියා රහ්මන්ගේ දායකත්වය උඩට ඉස්සෙනවා. මුජිබර් රහ්මන්ගේ දියණිය, ෂීක් හසිනා, 1996දී බලයට පත්වීමෙන් පසුව නැවතත් ඉතිහාසයේ වැරදි "නිවැරදි කරන්නේ" ඉතාම ආක්‍රමණශීලී ආකාරයකිනුයි.

මේ කාලය මට බංග්ලාදේශය පිළිබඳ පෞද්ගලික අත්දැකීම් තිබෙන කාලයක්. ඔය කාලයේ බංග්ලාදේශයට යන අයෙකුට හැඟෙන්නේ එරට මුජිබුර් රහ්මන්ගේ ප්‍රවේණි දේපොළක් ලෙසයි. මැතකදී කඩා දැමුණු ස්මාරක බොහොමයක් ඔය කාලයේ ඉදි වූ ඒවා විය යුතුයි. මේ කාලයේදී හා ඉන් පසුව, රට පුරා පිහිටි අධිවේගී මාර්ග, පාලම්, ගුවන් තොටුපොළ, උද්‍යාන, විශ්ව විද්‍යාල, රෝහල් ගණනාවක් ඔහුගේ නමින් නම් කර තිබෙනවා. 

මුජුබුර් රහ්මන්ගේ උපන් දිනය වන මාර්තු 17 මෙන්ම ඔහුව ඝාතනය කෙරුණු අගෝස්තු 15 දිනයද (අඩු වශයෙන් පසුගිය වසර තෙක්) බංග්ලාදේශයේ රජයේ නිවාඩු දිනයි. මීට අමතරව, බංග්ලාදේශ ස්වාධීනත්වය ප්‍රකාශයට පත්  කළ මාර්තු 26 දිනය මෙන්ම යුද්ධය ජයගත් දෙසැම්බර් 16 දිනයද මුජුබුර් රහ්මන්ව සමරනු ලබන රජයේ නිවාඩු දිනයි.

අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අතර බංග්ලාදේශයේ දේශපාලන බලය මාරු වෙද්දී එරට ඉතිහාසයද නැවත නැවත වෙනස් ලෙස ලියැවෙනවා. ඒ නිසා, බංග්ලාදේශයට එරට පාලනය කරන දේශපාලන පක්ෂයෙන් ස්වායත්ත නිරපේක්ෂ ඉතිහාසයක් කවදාවත්ම තිබුණේ නැහැ. එයට හේතුව මේ පක්ෂ දෙකම අඩු වැඩි වශයෙන් බංග්ලාදේශ නිදහස් අරගලයට උරුම කියන හා යම් ආකාරයක ජාතිකත්වයක් මත පදනම් වූ "පවුලේ පක්ෂ" වීමයි. මේ තත්ත්වයන් එක්ක, දැන් නැවතත් සිදුවෙමින් තිබෙන, බංග්ලාදේශ ඉතිහාසය නැවත ලිවීම පළමු වරට සිදුවන දෙයක් නොවන බව පැහැදිලි විය යුතුයි. 

මුජිබුර් රහ්මන් විසින් සමාජවාදී විප්ලවයක් නොකළත්, මුජිබුර් රහ්මන්ගේ මුජිබ්වාදී බංග්ලාදේශයේ ආර්ථිකය සමාජවාදී ආර්ථිකයක්. මෙම කාලයේදී රටේ සියළුම බැංකු, රක්ෂණ සමාගම් හා කම්හල් විශාල ප්‍රමාණයක් ජනසතු කෙරුණා. (හැබැයි මේ ගොඩක් පෞද්ගලික කම්හල් රට හැර පලාගිය (බටහිර) පකිස්තානුවන් විසින් අත් හැර ගිය ඒවා. මේ නිසා මාක්ස්වාදීන් විසින් මුජිබ්වාදය විවේචනය කළේ "එපා වී දමා ගිය සමාජවාදයක් - abandoned socialism" ලෙසයි). පෞද්ගලික සමාගම් වල උපරිම ලාබය සීමා කෙරුණා. ලාබ වැඩිනම් එවැනි ආයතන ජනසතු කරන බව නිවේදනය කෙරුනා. (තරමක් වෙනස් ආකෘතියක් යටතේ දැන් චීනය කරන්නේ එයයි). පෞද්ගලික ඉඩම් අයිතිය බිඝා 25කට (අක්කර 15ක් පමණ) සීමා කෙරුණා. කෙසේ වුවත්, අමතක නොකළ යුතු කරුණක් වන්නේ එම කාලයේදී ඉන්දියාව හා ලංකාව වැනි කලාපයේ රටවල පැවතියේද මෙවැනි සමාජවාදී ආර්ථික ක්‍රමයන් බවයි.

කෙසේ වුවත්, මුජිබුර් රහ්මන් ඝාතනයෙන් පසුව බංග්ලාදේශයේ සමාජවාදයද අවසන් වුනා. එය පූර්ණ වෙළඳපොළ ආර්ථිකයක් නොවුනත්, මිශ්‍ර ආර්ථිකයක් සේ හැඳින්විය හැකි තරමට දක්ෂිනාංශික හැරවුමක් ක්‍රමිකව සිදු වුනා. කවර අඩුපාඩු මධ්‍යයේ වුවද හමුදා ආණ්ඩු යම් තරමකින් හෝ ජනප්‍රියව පැවතීමට මේ හැරවුමද උදවු වූවා විය හැකියි. මුජිබුර් රහ්මන්ගේ අවාමි ලීගයට සාපේක්ෂව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මෙන්ම එර්ශාඩ්ගේ ජාතික පක්ෂයද (ජාතීයො පාර්ටි) මුල සිටම පෙනී සිටියේ පෞද්ගලික අංශයට වැඩි තැනක් දුන් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන්. 

අවාමි ලීගය 1996දී නැවත බලය ලබා ගන්නේ වසර 21කට පසුවයි. ඒ අතරතුර දිගු කාලයක් ඉන්දියාවේ කල් ගෙවූ ෂීක් හසීනාව ඉන්දියාව විසින් නැවත බංග්ලාදේශය වෙත එවන්නේ හොඳින් "පුහුණු කිරීමෙන්" පසුව යන්න ප්‍රචලිත අදහසක්. මුජිබුර් රහ්මන්ගේ කාලයේ සිටම අවාමි ලීගය හඳුනා ගැනුනේ ඉන්දීය හිතවාදී පක්ෂයක් ලෙසයි. එහෙත්, 1991න් පසු ඉන්දියාව 1970-75 කාලයේ පැවති ඉන්දියාව නෙමෙයි. ඒ වෙද්දී ඉන්දියාව වෙළඳපොළ වෙත නැඹුරු වූ රටක්. ලෝක තත්ත්වයන්ද වෙනස් වෙලා. මේ තත්වයන් එක්ක ෂීක් හසීනා නැවත මුජිබුර් රහ්මන්ගේ සමාජවාදයට යන්නේ නැහැ. ඒ නිසාම, අවාමි ලීගයේ හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති අතර තව දුරටත් විශාල වෙනස්කම් නැහැ. මෙය චන්ද්‍රිකාගේ ආගමනයෙන් පසුව ශ්‍රීලනිපයේ සිදු වූ පර්වර්තන වලින් පසුව එජාප හා ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති ඒක-දිශානුගත වීමට සමාන කළ හැකියි.

අනුව දශකය වන විට ලෝක දේශපාලනය තුළ සිදුව තිබුණු තවත් ප්‍රධාන වෙනස්කමක් වූයේ මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදී රාජ්‍ය බිඳ වැටෙමින් හෝ දුර්වල වෙමින් තිබීම හා ආගමිකත්වය හා බැඳුනු දේශපාලනය නැවත හිස ඔසොවමින් පැවතීමයි. ඒ නිසා, ෂීක් හසීනාට මුලින් පැවති අනාගමික බංග්ලාදේශ රාජ්‍යය නැවත හදන්නට හැකි වන්නේ නැහැ. එහෙත්, ඇය ඉන්දියාව අනුගමනය කරමින් ඒ දිශාවට යම් දුරක් ගමන් කරනවා. අවාමි පක්ෂයේ දේශපාලනය තුළ රජය අනාගමික නොවුනත් එය මුස්ලිම් රජයක්ද නෙමෙයි. යම් තරමක අතරමැදි තත්වයක්. මෙය අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අතර ප්‍රධාන වෙනස්කමක්. ඒ නිසාම, අවාමි ලීගය බංග්ලාදේශයේ හින්දු ආගමිකයින් ඇතුළු සුළුතර කොටස් වලට වඩා ආකර්ශනීය පක්ෂයක්. 

සුළු ජාතිකත්වය හා අදාළ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ස්ථාවරය වන්නේ ඉස්ලාම් ආගමික රාජ්‍යයක් තුළ සියලු සුළුතර කොටස් වල අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වන බවයි. මෙය ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍යයක සුළුතර කොටස් වල අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වන්නේය යන තර්කයට බොහෝ දුරට සමාන තර්කයක්. මේ මතවාදය සුළුතරයන්ට එරෙහි මතවාදයක් නොවුනත්, එම මතවාදය මගින් සුළුතරයන්ට එරෙහි මතවාද පෝෂණය වීම පහසුවෙන්ම සිදු වන බව ලංකාවේදී මෙන්ම බංග්ලාදේශයේදීද නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. මේ වෙනස්කම් නිසා, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සම්ප්‍රදායවාදී මුස්ලිම් ආගමික කොටස් වලටත්, අවාමි ලීගය වඩා ලිබරල් මුස්ලිම් ආගමිකයන්ට හා සුළුතර කොටස් වලටත් වඩා ආකර්ශනීය වනු දැකිය හැකියි. කෙසේ වුවත්, ආර්ථික ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් නැහැ.

අරගලකරුවන්ගේ දේශපාලන මතවාදය දෙස සුපරීක්ෂාකාරී ලෙස බැලු විට පෙනී යන්නේ ජාතිකත්වය පිළිබඳ ඔවුන්ගේ අදහස් බොහෝ දුරට සමාන වන්නේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් පෙනී සිටි බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය සමඟ බවයි. බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය පෙනී සිටින්නේ ඉස්ලාම් ආගමික බංග්ලාදේශයක් වෙනුවෙන්. මේ මතවාදය අනුව, "සැබෑ මුස්ලිම්වරුන්" යනු සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කරන පිරිසක්. අරගලයට සම්බන්ධ වූ ශිෂ්‍ය කණ්ඩායම් විසින් පොලු මුගුරු රැගෙන හින්දු කෝවිල් ආරක්ෂා කළේ මේ මතවාදය අනුවයි. එහෙත්, බංග්ලාදේශ-බංගලි ජාතිකත්ව මතවාදයේ අතුරු ඵලයක් ලෙස ඉස්ලාම් ආගමික අන්තවාදය මතුවීම නොවැලැක්විය හැකි ප්‍රායෝගික යථාර්තයක් බව අප‍ට පෙනෙන්නට ඇති දෙයයි.

මා පෙර විස්තර කළ පරිදි බංග්ලාදේශ විමුක්ති අරගලයට සම්බන්ධ වූ කොටස් දිගටම රැඳී සිටියේ අවාමි ලීගය සමඟයි. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය වෙත වැඩිපුරම ආකර්ෂණය වුනේ විමුක්ති අරගලයට සෘජුව සම්බන්ධ නොවූ හෝ ඒකාබද්ධ පකිස්ථානයක් වෙනුවෙන් පෙනී සිටි ආගමික කොටස් හා වාමාංශික කණ්ඩායම්. ඒ නිසාම, මෑතකාලීන අරගලයට ප්‍රධාන වශයෙන්ම හේතු වූ කෝටා ක්‍රමය හරහා සිදු වූයේ අවාමි ලීගයේ ආධාරකරුවන්ට නිල වශයෙන්ම දිගින් දිගටම විශේෂ සැලකිලි දැක්වීමක්. මෙයින් අසාධාරණයට ලක් වූ බොහෝ දෙනෙක් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ප්‍රධාන අනෙකුත් අවාමි ලීගයට එරෙහි දේශපාලන පක්ෂ වල ආධාරකරුවන්ගේ පවුල් වල අයයි. ඒ නිසා, බංග්ලාදේශ අරගලය පොදු මහජන නැගිටීමකට වඩා එක් දේශපාලන කඳවුරක නැගිටීමක්. අනෙක් දේශපාලන කඳවුර, එනම් අවාමි ලීගයට හිතවත් දේශපාලන කඳවුර, මේ මොහොතේ අඩපණව ඇතත් එයද බංග්ලාදේශ දේශපාලනය තුළ නොසලකා හැරිය නොහැකි දැවැන්ත බලවේගයක්. 

ෂීක් හසීනා විසින් විපක්ෂය දුර්වල කළ වසර පහළොවක් එක දිගට බංග්ලාදේශය පාලනය කිරීම නිසා ආණ්ඩු විරෝධී පක්ෂ වල ආධාරකරුවන් දිගින් දිගටම පීඩාවට ලක් වුනා. අරගලය හරහා පුපුරා ගියේ එම පීඩනයයි. මෙම ලිපි මාලාවෙහි විස්තර කර ඇති පරිදි මීට පෙරද අවස්ථා ගණනාවක මෙවැනි තත්ත්වයන් බංග්ලාදේශය තුළ ඇති වී තිබෙනවා. මේ අවස්ථාව අවසන් අවස්ථාව කියා හිතන්න අමාරුයි. 

3 comments:

  1. බොහොම හොඳින් විස්තර කරල තියනවා. නොදැන සිටි කරුනු රැසක්. පුදුමයට කාරණය නම්, මේ දේශපාලන කුණාටු මාලාව මැද වුනත්, බංගලි දේශය බංකොලොත් රටක් නොවී සෑහෙන ආර්ථික දියුණුවක් ලබා ගැනීමයි.

    ++++++++++++++👌💐🙏

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදයක් නැතත් එකම ක්‍රමය වෙනස් නොවී දිගටම තියෙන කොට ඒකේ වාසියක් තිබෙනවා. නමුත් ප්‍රශ්නය සමාජ-දේශපාලන අර්බුදයක් ආ විට සියල්ල අවුල් විය හැකි වීම.

      Delete
  2. හොඳ ලිපි මාලාවක්! ස්තූතියි!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: