වෙබ් ලිපිනය:

Friday, August 9, 2024

කාසිය බෙදා ගැනීමේ අලි-පොහොට්ටු ක්‍රීඩාව


ආර්ථික විද්‍යාව ඇතුළු විෂයන් ගණනක අනු විෂයක් වන ක්‍රීඩා න්‍යාය (game theory) විෂයේ ඉගැන්වෙන මූලික ක්‍රීඩා අතරින් එකක් තමයි කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව. මේ ක්‍රීඩාවේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුට කාසියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. නමුත්, ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ එය බෙදා ගන්නා ආකාරය සම්බන්ධව ක්‍රීඩකයින් දෙදෙනා එකඟ වීම. එවැනි එකඟත්වයක් නැත්නම් කාසිය කාටවත් ලැබෙන්නේ නැහැ. 

මේ ක්‍රීඩාවේ ආකෘතියට සමාන ආකෘතියක් තිබෙන කතාවක් මම ගොඩක් පොඩි කාලේ අහලා තියෙනවා. ඔය කතාවේ පූසෝ දෙන්නෙක්ට කැවුමක් හම්බ වෙනවා. නමුත් පූසෝ දෙන්නාට කැවුම බෙදාගන්න බැහැ. පූසෝ දෙන්නා කැවුම බෙදාගන්න ආකාරය ගැන වාද කර කර ඉන්න තැනට වඳුරෙක් එනවා. ඔන්න දැන් වඳුරා මේ කැවුම පූසෝ දෙන්නාට බෙදා දෙන්න ඉදිරිපත් වෙනවා. එහෙම ඉදිරිපත් වෙලා කැවුම කොටස් දෙකකට කඩනවා.

"එක කෑල්ලක් ලොකු වැඩියි!"

පූසෝ දෙන්නාගෙන් එක පූසෙක්වත් පොඩි කෑල්ල ගන්න කැමති වෙන්නේ නැහැ. වඳුරා කරන්නේ ලොකු කෑල්ලෙන් කොටසක් කඩා ගෙන ඒ කෑල්ල කුඩා කරන එක. කඩා ගත්ත කෑල්ල වඳුරාගේ බඩට. 

"දැන් අනික් කෑල්ල ලොකු වැඩියි!"

දැන් මොකද කරන්නේ? වඳුරා කරන්නේ අනෙක් කෑල්ලෙනුත් කොටසක් කඩා ගෙන ඒ කෑල්ලත් කුඩා කරන එක. ඒ කඩා ගත්ත කෑල්ලත් වඳුරාගේ බඩට. 

"දැන් ආයෙම අනික් කෑල්ල ලොකු වැඩියි!"

කතාවේ විදිහට කැවුම වඳුරාගේ බඩට යනකල්ම පූසෝ දෙන්නාට එකඟ වෙන්න බැරි වෙනවා. 

කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවේ ප්‍රතිඵලයත් ඔය වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ක්‍රීඩකයින්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ක්‍රීඩකයෝ තර්කානුකූලව හිතනවා කියලා උපකල්පනය කළොත්, අනිවාර්යයෙන්ම ක්‍රීඩකයෝ දෙන්නා කාසිය බෙදා ගන්න විදිහ ගැන එකඟ විය යුතුයි.

ක්‍රීඩකයෝ දෙන්නා කාසිය බෙදා ගන්න එකඟ වියහැක්කේ මොන විදිහටද? එක පාරටම ඔළුවට එන්නේ පණහට පණහ වගේ දෙයක්. නමුත් ඔය ක්‍රීඩාවේදී අනිවාර්යයෙන්ම ක්‍රීඩකයෝ දෙන්නා පණහට පණහ බෙදා ගන්න එකඟ වෙන්න කිසිම හේතුවක් නැහැ. එය (1, 99) සිට (99, 1) දක්වා ඕනෑම සමතුලිතතාවයක් වෙන්න පුළුවන්. ඒ ඇයි?

"අපි පණහට පණහ බෙදා ගම්මු!"

එක ක්‍රීඩකයෙක් ඔහොම යෝජනාවක් කළා කියලා හිතමු.

"නෑ. මට අඩු ගානේ හැටක් ඕනෑ. ඔයාට ඕනෑනම් හතළිහක් දෙන්නම්!"

දෙවන ක්‍රීඩකයා ඔය වගේ දෙයක් කිවුවොත් මොකද වෙන්නේ?

"ඒක අසාධාරණයිනේ! පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මම කිවුවේ සාධාරණ විදිහ."

"මට ඔය සාධාරණ අසාධාරනකම් වැඩක් නැහැ. මට හැටක් දෙනවානම් මම වැඩේට කැමතියි. නැත්නම් නැහැ. එච්චරයි!"

දැන් පළමු ක්‍රීඩකයාට කළ හැක්කේ කුමක්ද? එක්කෝ මේ ගනුදෙනුවට කැමති වෙලා හතළිහක් ගන්න පුළුවන්. නැත්නම් ඒකත් නැහැ. ඔය තර්කය අනුව, දෙවන ක්‍රීඩකයා හැටක්  වෙනුවට 99ක්ම ඉල්ලුවත්, ඉතිරි තනි කොටස භාර ගන්න වෙනවා. නැත්නම් ඒකත් නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව (1, 99) සිට (99, 1) දක්වා ඕනෑම සමතුලිතතාවයක් පවතින්න පුළුවන්. 

ප්‍රායෝගිකව සමතුලිතතාවය තීරණය වෙන්නේ ක්‍රීඩකයින්ගේ සාපේක්ෂ හෙට්ටු කිරීමේ දක්ෂතාවය මත. මේ ක්‍රීඩාවේදී අනෙක් ක්‍රීඩකයාව නම්මා ගන්න වෙන්නේ තමන් කිසිසේත්ම නැමෙන්නේ නැති බව අනෙක් ක්‍රීඩකයාට ඒත්තු ගැන්වීමෙන් පමණයි. 

සැබෑ ලෝකයේදී තරඟකාරීත්වයක් නැති වෙළඳපොළක ගනුදෙනු සිදු වෙන්නේ ඔය විදිහට. අපි හිතමු ශ්‍රම වෙළඳපොළක් ගැන. කිසියම් කුසලතාවයක් තියෙන ශ්‍රමිකයෝ ඉන්නේ එක්කෙනෙක් පමණයි. අනෙක් අතට ඒ කුසලතාව අවශ්‍ය වෙන පාරිභෝගිකයෝ ඉන්නෙත් එක්කෙනෙක් පමණයි. ගනුදෙනුවක් සිදු නොවුනොත් දෙන්නාටම වෙන්නේ පාඩුවක්. ඔය වගේ වෙලාවක පවතින තත්ත්වය කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවකට සමානයි.

විද්‍යාගාර තත්ත්වයන් යටතේ ඔය කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව කළාම බොහෝ විට පණහට පණහට ආසන්න බෙදා ගැනීමක් සිදු වෙනවා. ඒ ගොඩක් අය තීරණ ගන්නේ තමන්ගේ වාසිය ගැන වගේම සාධාරණත්වය ගැනත් හිතලා නිසා. එක් ක්‍රීඩකයෙක් දැඩි දෙස අනූවක්ම ඉල්ලා සිටියොත් අනෙක් ක්‍රීඩකයා තමන්ට වෙන පාඩුව නොසලකා දහයත් අත හැරලා කැමති නොවී ඉන්න එක සුලබ සිදු වීමක්. ඒ විදිහේම ක්‍රීඩකයෝ දෙන්නෙක් තරඟ කරද්දී එකඟතාවයක් ඇති නොවන තරම්.

මම සිද්ධි විශ්ලේෂණය කරන විදිහට රනිල් හා පොහොට්ටුව අතර සිදු වුනු හෙට්ටු කිරීම් මට පෙනුනෙත් කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවක් විදිහටයි. මේ ක්‍රීඩාවට සහභාගී වූ ක්‍රීඩකයින් හිටපු තත්ත්වයන් එක්ක එක ක්‍රීඩකයෙක්ටවත් අනෙක් ක්‍රීඩකයාගේ පැත්තෙන් හිතන්න පුළුවන්කමක් තිබුණු බව මට පෙනුණේ නැහැ. 

මම මේ තත්ත්වය විග්‍රහ කර ගත්තේ ඔය විදිහට වුනත් දේශපාලනයේදී කටයුතු සිදු වෙන්නේ අපට පහසුවෙන් විග්‍රහ කරගන්න පුළුවන් විදිහටම නොවන නිසා, මම මේ හා අදාළව කළින්ම ලිපියක් ලිවුවත් එය පළ නොකර ඉන්න තීරණය කළා. මට පෙනුණු විදිහට පොහොට්ටුව පැත්තෙන් කළ හැකිව තිබුණු වඩාත්ම තාර්කික දෙය නාමල්ව තරඟයට ඉදිරිපත් කරන එක. ඒ වෙනුවට ධම්මික පෙරේරාව ඉදිරිපත් කරන එකෙන් කාටවත්ම ලබා ගත හැකි දෙයක් පෙනෙන්න තිබුණේ නැහැ. කාටවත්ම කිවුවේ ධම්මික පෙරේරාට හෝ පොහොට්ටුවට. 

ජනාධිපතිවරණ තරඟය ඇතුළේ සිටින මේ ක්‍රීඩාවට සෘජු සම්බන්ධයක් නැති සජිත් කඳවුර හා මාලිමා කඳවුර පැත්තකින් තිබ්බට පස්සේ කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව එජාප-පොහොට්ටු කඳවුර ඇතුළේ සිදු වෙන දෙයක්. නමුත් පැහැදිලි ලෙසම මේ කඳවුර කඳවුරු දෙකක්. රනිල් තරඟයට එන්නේ දිනන්න බලාගෙන. නමුත් පොහොට්ටු කඳවුරට මේ තරඟය ජයගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහි තිබුණේ නාමල් ප්‍රධාන රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන අනාගතය නැවත ගොඩ නගා ගැනීමේ අභිප්‍රාය.

රනිල්ට දිනන එක ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වුනේ පොහොට්ටුව ඉනිමගක් ලෙස යොදා ගැනීමෙන් පමණයි. එහෙම කරන්නත් කාසිය තනිකරම රනිල්ගේ අතට ගන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒ නිසා, එය පණහට පණහ බෙදන්න පුළුවන්කමක් රනිල්ට තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් රාජපක්ෂ කඳවුරට කාසියෙන් තමන්ගේ කොටස කලින්ම වෙන් කර ගත්තේ නැත්නම්, පස්සේ හෙට්ටු කරලා එයින් කොටසක් ලබා ගැනීම පිළිබඳව විශ්වාසය තියන්න පුළුවන් වුනේ නැහැ.

මෙතැන බෙදා ගන්න තිබෙන කාසිය කලින් පොහොට්ටුව සතුව තිබුණු, මේ වන විට අතීරක, ඡන්ද ප්‍රමාණය. මේ ප්‍රමාණය ගැන කාටවත්ම හරියටම කියන්න බැහැ. කොයි තරම් අඩුපාඩු තිබුනත්, දැනට තිබෙන විශ්වාසනීයම ඇස්තමේන්තු වන IHP ඇස්තමේන්තු අනුව, පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 16%ක් හා එජාප ඡන්ද ප්‍රමාණය 7%ක්. නමුත් රනිල්ගේ ප්‍රමාණය 20%ක් හා පොහොට්ටු අපේක්ෂකයාගේ ප්‍රමාණය 7%ක්. කිසිසේත්ම නිවැරදි තක්සේරුවක් කරන්න අමාරු වුනත්, අවම වශයෙන් 10%-15%ක පමණවත් අතීරක ඡන්ද ප්‍රමාණයක් තිබිය යුතුයි.

මේ තත්ත්වය එක්ක, නාමල් වෙනුවට "නයිට් වොච්මන්" කෙනෙක් විදිහට ධම්මික පෙරේරාව දැම්මා කියලා හිතමු. අනුර, සජිත් හා රනිල් විකල්ප ලෙස ඉඳිද්දී ඡන්දදායකයෙකුට ධම්මික පෙරේරාව ආකර්ශනීය වෙන්නේ ඇයි?

අනුර, සජිත් හා රනිල් තුන් දෙනාටම අකැමැති පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ කඳවුරු තුනෙන්ම පිට වාමාංශික අන්තයේ ඉන්න කොටස පැත්තකින් තියමු. ලංකාවේ ජාතිකවාදී කඳවුර එකට එකතු වෙලා ඉන්නේ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වෙනත් විවිධ හේතු මත රාජපක්ෂලා එක්ක එකතු වුනත්, ඒ කඳවුර ගොඩක් විෂමජාතීය කඳවුරක්. ඒ කඳවුරේ සමහර කොටස් වලට අනුර, සජිත් හා රනිල් තුන් දෙනාම හරියන්නේ නැහැ. විශේෂයන්ම ජාතික සමාජවාදයට වඩා බර අයට. නමුත් ඒ අයට ධම්මික පෙරේරාව සෙට් වෙන්නෙත් නැහැ. විශාල ප්‍රතිශයක් නොවුනත්, මේ ඡන්ද ප්‍රමාණය දිලිත්ට ලබා ගත හැකිව තිබුණා. ඒ ටික දිලිත්ට ගියා කියලා රනිල්ට පාඩුවක් වෙන්නේ නැහැ. දිලිත් වගේ විකල්පයක් නැත්නම් ඒ ඡන්ද බොහෝ විට හැරෙන්නේ මාලිමාව පැත්තට. 

නමුත් රාජපක්ෂලා එක්ක තව දුරටත් ඉන්න මුළු පිරිසම ඉන්නේ ඔය ගොඩේ නෙමෙයි. ධම්මික පෙරේරාට ලබා ගත හැකිව තිබුණේ ඔය ගොඩෙන් වඩා දක්ෂිණාංශයට බර ඡන්ද කොටස. ඔය ගොඩවල් දෙක අතර බෙදී යා හැකිව තිබුණේ පොහොට්ටු ඡන්ද වලින් රනිල්ට නොගිය 7%. විකල්පයක් ලෙස රනිල් ඉඳිද්දීත් පොහොට්ටු අපේක්ෂකයෙක්ව තෝරා ගන්නවා කියන්නේ ඒවා සොලිඩ් පොහොට්ටු ඡන්ද. රනිල්ට පොහොට්ටුවේ සහයෝගය ලැබුණානම් ඔය ඡන්ද වලින් වැඩි කොටසක් රනිල්ට ලැබෙනවා. ඉතිරි ටික දිලිත්ට යනවා. දිලිත් හා ධම්මික දෙන්නාම ආවානම් ඔය 7%ත් දෙකට බෙදෙනවා.

හැබැයි ඔය 7%ට අමතරව සහ රනිල් විසින් ආකර්ශනය කරගෙන තිබෙන 9%ක පමණ පොහොට්ටු ඡන්ද ප්‍රමාණය හැර තවත් අතීරක පොහොට්ටු ඡන්ද 10%-15%ක පමණවත් තියෙන්න පුළුවන්. නමුත් අභියෝගය ඔය ඡන්ද ඡන්ද පොළට ගේන එක. ධම්මික පෙරේරා වගේ අපේක්ෂයෙක්ට ඒ වැඩේ කරන්න බැහැ. ඒ වැඩේ කළ හැක්කේ දිනන එක පිළිබඳ බලාපොරොත්තුවක් දිය හැකි අපේක්ෂයෙකුට පමණයි. ඒ කාරණයේදී අලි-පොහොට්ටු කඳවුර ඇතුළේ රනිල්ට වඩා ඉදිරියෙන් කවුරුවත් හිටියේ නැහැ. 

ඒ නිසා, ධම්මික පෙරේරා ආවානම් අවසාන වශයෙන් රනිල්ට විශාල අවාසියක් වෙන්නේ නැහැ. ඒ වගේම, පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ධම්මික පෙරේරාට ලබා ගන්න වෙන්නේ ඉතාම ලජ්ජා සහගත ඡන්ද ප්‍රතිශතයක්. ඒක ඒ කඳවුර එක්ක ඉන්න අයගේ මහ මැතිවරණ ප්‍රතිඵලයට වගේම නාමල්ගේ දේශපාලන අනාගතයටත් සෘජුව බලපානවා. ඒ නිසා, ධම්මික තරඟයට ආවානම් වෙන්නේ පොහොට්ටුවම වගේ රනිල් වෙන එක. 

මේ ප්‍රායෝගික තත්ත්වයන් එක්ක තමන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා නාමල්ට කළ හැකිව තිබුණු දෙය තමන්ම පිට්ටනියට බහින එක. ඒක ගොඩක් අවදානම් වැඩක්. මොකද නාමල්ට වුනත් මේ තරඟය දිනන්න බැරි බව පාක්ෂිකයෝ දන්නවා. ඒ නිසා, පරදින අපේක්ෂයෙක්ට ඔට්ටු දමන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. තවත් විශාල පිරිසක් රනිල්ගේ පැත්තට හැරෙන නිසා පොහොට්ටුවේ ඇත්ත ශක්තිය මේ ජනාධිපතිවරණයේදී පෙනෙන්නේ නැහැ. ඒක ලොකු අවාසියක්. හැබැයි ගෙදරට වෙලා නිදාගෙන හිටියොත් වෙන්නේ ඊටත් වඩා අවාසියක්. ඒ නිසා, නාමල්ගේ පැත්තෙන් බැලුවහම මේක තමයි හොඳම තීරණය.

නාමල් පිට්ටනියට බැස්ස එකෙන් ලොකුවටම බඩට වදින්නේ දිලිත් ඇතුළු සර්වජන කණ්ඩායමට. යම් හෙයකින් ධම්මික පෙරේරා තරඟයට ආවානම් දිලිත්ට ධම්මික එක්ක සෑහෙන තරඟයක් දෙන්න තිබුණා. ඒ හරහා පොහොට්ටු කඳවුර ඇතුළේ සැලකිය යුතු හෙට්ටු කිරීමේ බලයක් හදා ගන්න තිබුණා. මොකද 7%කින් 2%ක් ගත්තත්, ඒක තුනෙන් පංගුවකට කිට්ටුයි. නමුත් නාමල් පිට්ටනියට බැස්සට පස්සේ දිලිත්ට තවදුරටත් දේශපාලන රික්තකයක් ඉතිරි වෙලා නැහැ. 

රනිල්ව තේරීම නොවුණු පොහොට්ටු ඡන්ද ටික නාමල්ට පහසුවෙන්ම ගන්න පුළුවන්. අතීරක ඡන්ද වලින් කොටසක් ගන්නත් පුළුවන්. රනිල්ගේ ඡන්ද වලින් යම් ප්‍රමාණයක් වුනත් නැවත ආකර්ෂණය කරගන්න බැරිකමක්ම නැහැ. ඒක තීරණය වෙන්නේ පොහොට්ටු දේශපාලනඥයෝ පෙළ ගැසෙන ආකාරය එක්ක. 

යම් හෙයකින් රනිල් විසින් නාමල් තරඟයට පැමිණීමේ හැකියාව ගැන කලින් හිතලා තිබුණා වුනත්, රනිල්ට මීට වඩා නම්‍යශීලී වෙන්න ඉඩක් ඉතුරු වෙලා තිබුණෙත් නැහැ. ඒ පැත්තෙන් ඉදිරිපත් කරපු කොන්දේසි ඔක්කොටම කැමති වුනානම් රනිල්ට තරඟයට එන්න වෙන්නේ රාජපක්ෂලාගේ නියෝජිතයෙක් විදිහටයි. ඒ නිසා, රනිල්ටත් කරන්න ඉතුරු වෙලා තිබුණේ කාසියෙන් ගොඩක් ලොකු කෑල්ලක් ඉල්ලමින් නොනැමී ඉන්න එක පමණයි. ඔය තත්ත්වයන් එක්ක වෙලා තියෙන්නේ තාර්කිකව වෙන්න වඩාත්ම ඉඩ තිබුණු දේ.

දැන් පැහැදිලි කඳවුරු හතරක් තිබෙනවා. ඉතිරිය තීරණය වෙන්නේ කොයි තරම් ආක්‍රමණශීලී විදිහට මැතිවරණ ප්‍රචාරණය සිදු වෙනවද කියන එක මත සහ සුළු ජාතික ඡන්ද වල හැසිරීම මත. 

13 comments:

  1. ඉකොනෝ මහත්තයෝ, ඊයේ මගේ blog අඩවියේ post එකක් දැම්මා- 'හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - හයවෙනි කොටස' කියලා. ඒකට එවල තිබුණු comment එකක් මේ. කරුණාකර මේ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කළ හැකිද?

    //වියදම් කරන හැම රුපියලකින්ම සත අසූවක් විතරම වැය වෙන්නේ tax වශයෙන් නං? එහෙම වෙලා තියෙන්නෙ කාගේ වරදින්ද... මේක ඉකොනෝ ගෙන්ම අහල බලන්න , මගේ දැකීමේ හැටියට මේකේ වැරැද්ද වෙන කාගේවත් නොවේ ලෙනින් (මොරායස් නොවේ)ගේ . අපිට සමාජවාදී අදහස් සහ බලාපොරොත්තු දීපු ලෙනින් සහ සංගමයට. මොකද අපේම ටැක්ස් වියදන්වෙන්නේ රජයේ සේවක පඩි සහ නොමිලේ සපයන සියලු සේවා වලට මිසක් අර නාස්තිය දූෂණය කියන ඒවලටම නෙවෙයි . නාස්තිය දූෂණය පැහැදිලිව තිබුනත් රටේ සුබසාධන සහ running costs තමයි අපේ අගාධයට පාර කැපුවේ . ඉකොනෝ ගෙන් අහල බලන්න මම කියන දේ වැරදිද කියල//

    ReplyDelete
    Replies
    1. නිදි, වියදම් කරන හැම රුපියලකින්ම සත අසූවක් විතරම වැය වෙන්නේ tax වශයෙන් කියන එකනම් බොරුවක්නේ. වැට් එක ඊට වඩා ගොඩක් අඩුයි. ආනයනය කරන සමහර දේවල් වලට ඔය කතාව හරි. නමුත් බොහෝ දේවල් හා අදාළ බදු අනුපාතය ඊට වඩා අඩුයිනේ.

      Delete
    2. ගොඩාක් ස්තුතියි ඉකොනෝ, පිළිතුරු දෙමින් වඩාත් නිවැරදි තොරතුරු පෙන්නා දුන්නාට.

      Delete
  2. තවම මේ post එක කියෙව්වේ නෑ. පස්සේ එන්නං...

    ReplyDelete
  3. කෑමට රුසියෝ....
    මේ සිරිලංකාවේ වැසියෝ
    ඉල්ලං කන්නට දෙයියෝ
    බදං කන්නටත් මරුවෝ-
    අතිනුත් ගෙවලා
    අණවින කරවා
    කෙළවා ගන්නා
    xයියෝ!

    ReplyDelete
  4. පූසෝ දෙන්නගෙයි වඳුරගෙයි කථාව නම් හරිම රසවත්. ඒක පොඩි කාලේ අහපු එකක් කියලා කිව්වට, මම හිතනවා, ඒක ඒ කාලේ තිබ්බ සෝවියට් ළමා කථා පොතක එකක් නෙමේ කියලා. මොකද ඒ වගේ කථාපොතක තිබ්බ නම් තියෙන්නෙ වඳුරා මුලික වෙලා පූසෝ දෙන්නට 50% -50% බෙදලා දෙන තත්වයක්.ඔතැන වඳුරට අඳින්නේ රජය. මේ වගේ කථාන්දර පොඩි ළමා මනසට ගොඩක් බලපානවා. පසුකාලිනව සමාජ්වාදී මනසක් හැදෙන්න. මම හිතන්නේ ගොඩක් කාලෙකට කලින් ඉකෝන් මේ ගැන ලිපියක් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. මේක රුසියන් කතාවක් නෙමෙයි. මම ගොඩක් පොඩි කාලේ රෑට නින්ද යන තුරු කතා කියන්න කීප දෙනෙක්ම හිටියා. මගේ මව පවුලේ වැඩිමලා නිසා බාල, ඒ වෙද්දී අවිවාහක, සහෝදර සහෝදරියෝ හිටියා. පියා වැඩිමලා නොවුනත් පවුල ලොකු නිසා බාල අය ගොඩක් හිටියා. ඒ වගේම දෙපැත්තේම උඩ පරම්පරා වල අය හිටියා. මතක විදිහට මේක මවගේ බාල සොහොයුරාගේ කතාවක්. එක්කෝ ලංකාවේ ජන කතාවක්. නැත්නම් භාරත සම්භවයක් තියෙන කතාවක්. කථා සරිත් සාගරේ එහෙම ඔය වගේ කතා තියෙනවා. සමහර විට ඊසොප්ගේ කතාවක් වෙන්නත් පුළුවන්. මුල් කතාව කුමක් වුවත් ඔය ගොඩක් අය, විශේෂයෙන්ම මාමා, කතා කිවුවේ ඒ වෙලාවට අතින් කෑලි දමලා. හැමදාම අලුත් කතාවක් ඉල්ලලා රණ්ඩු කරන එක ඒ දවස් වල මගේ පුරුද්දක්. කතාව පටන් ගන්න කොටම "ඕක එපා! ඕක මම දන්න කතාවක් කියනවා." එතකොට "නෑ. ඒ කතාව නෙමෙයි වෙන එකක්!" කියලා කතාව මැදින් වෙනස් කරනවා. ඒ නිසා, අන්තිමට එක කතාවෙම වර්ෂන් ගණනාවක්. මේ කතාවේ අන්තිම ටික මම සටහනේ ඒ විදිහටම ලිවුවේ නැහැ. ඔය විදිහට කැවුම බෙදද්දී පූසෝ දෙන්නාට රණ්ඩුව නිසා මුලදී කැවුම ටිකෙන් ටික කුඩා වන බව තේරෙන්නේ නැහැ. නමුත් පස්සේ පස්සේ වැඩේ තේරෙන්න පටන් ගන්නවා. නමුත් එතකොට පරක්කු වැඩියි. වඳුරා ඊට කලින් ඉස්සර වෙනවා. "ඔය දෙන්නාට කැමති වෙන්න බැරි වුනු නිසා මට මේ නඩුව අහන්න සෑහෙන වෙලාවක් යොදවන්න වුනා. මේක මගේ නඩු ගාස්තුව!" අන්තිමට ඉතිරි වෙන කෑලි දෙක කටේ දාගන්න වඳුරා ගස් උඩින් පැනලා යනවා. බඩගිණි පූසෝ දෙන්නා රණ්ඩුව නවත්තලා යාළු වෙලා ආපහු කෑමක් හොයන්න යනවා. කතාව ඉවර වෙන්නේ ඔය විදිහට.

      Delete
    2. අපේ දරුවෝ කුඩා කාලයේ ඔවුන් නින්දට යන තුරු මමත් ඔවුන්ට කතා කිවුවා. කැවුම් ගැන ඒ තරම් තේරුමක් නැති නිසා කැවුම් වෙනුවට මෆින් ආදේශ කරලයි කතාව කිවුවේ. "ටෙන් ලිට්ල් මන්කීස් ජම්පිං ඔන් ද බෙඩ්.." වගේ ඒවා නිසා මංකිලා දැකලා නැති වුනත් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ.

      Delete
  5. ඔබ කියන එක හරි...නාමල් පොහොට්ටුවෙන් ඉදිරිපත් වීම තමයි ඒගොල්ලනෙගෙ පැත්තෙන් තාර්කිකම දේ...හැබැයි ඔය තීරණය ගැනීමේ කාල වකවානු ගැන පොඩි අවුලක් තිබ්බා. පොහොට්ටු තීරණය ගැනීමට තරමක් විශාල කාලයක් ගත්තා. මේ අවිනිශ්චිත කාලය තුල ගොඩක් දේවල් සිද්ධ උනා.

    ReplyDelete
    Replies
    1. මේ තීරණය අඩුම වශයෙන් මාසයකට කලින් ගත්තානම් සැලකිය යුතු වෙනසක් වෙනවා. පෙබරවාරි පමණ ගත්තානම් විශාල වෙනක් වෙනවා. නමුත් කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව සෛද්ධාන්තික විදිහට වගේම පර්යේෂණාගාර තත්ත්ව යටතේදීත් සිදු වෙන්නේ ඔය විදිහට. හෙට්ටු කිරීම් එකඟත්වයක් නැතිව දිගට ඇදෙනවා. පොහොට්ටුවේ පැත්තෙන් හොඳම තේරීම නාමල්ව දමන එක වුනත්, තමන්ගේ ඩීල් එකට රනිල්ව නම්මා ගන්න පුළුවන් වුනානාම් එය වඩා හොඳ ඩීල් එකක්. ඩීල් එක තිබුනේ ඊළඟ ඡන්දයේ අපේක්ෂක ප්‍රතිශතයට. ඒක ගොඩක් වැඩිනම්, රනිල් දිනුවත් පැරදුනත් ඊට පස්සේ පාර්ලිමේන්තු කණ්ඩායම පොහොට්ටුවේ. විශේෂයෙන්ම රනිල් පැරදෙන තත්ත්වයක් යටතේ මේක පොහොට්ටුවට වාසියක්. ඒ වගේම, රනිල් දිනන්නේ තනිකරම වගේ පොහොට්ටු ඡන්ද වලින් නිසා ඔවුන්ගේ පැත්තෙන් බැලුවහම මේ ඉල්ලීම සාධාරණයි. නමුත් රනිල් කියන්නේ ප්‍රතිපත්ති වලට වැඩි බරක් දෙන කෙනෙක්. ඒ අතින් න්‍යාය වෙත බර වූ වාමාංශික පක්ෂ වගේම තමයි. ඡන්දය දිනනවද පරදිනවද, පාක්ෂිකයෝ තමන් දාල යයිද වගේ දේවල් රනිල්ට ද්වීතියික කරුණු. ඒ නිසා, රනිල්ගේ පැත්තෙන් බැලුවහම පොහොට්ටුවේ රූකඩයක් වෙන එකට වඩා පරදින එක හොඳ තේරීමක්. ඒ වගේම, මේ ඡන්දයෙන් පැරදුනත් අවුරුදු දෙකක් යන්න කලින් මේ පාර්ශ්ව දෙකටම තමන්ගේ දැන් තීරණ වල වාසිය ගන්න පුළුවන්. මොකද පාර්ශ්ව දෙකටම ඡන්දය හරහා යම් අවම මන්ත්‍රී නියෝජනයක් හදා ගන්න පුළුවන්. සමහර විට හත අටක් හෝ දහයක් තරම් අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ කණ්ඩායමකට වුනත් පාර්ලිමේන්තුවේ හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති වන බල තුලනයක් හැදෙන්න ගොඩක් ඉඩකඩ වැඩියි. ඉදිරියේදී එන ආණ්ඩුවක් දැන් ක්‍රියාත්මක වැඩි පිළිවෙලින් පිට පැනලා අනා ගත්තොත් ඉතාම ඉක්මනින් නැවත රැල්ල කැරකෙන්නේ රනිල් පැත්තට. ඒ වගේම, දිගුකාලීනව ලංකාවේ ද්විපක්ෂ ක්‍රමය නැවත සකස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයේදී නාමල්ගේ කණ්ඩායමටත් ඉඩක් ඉතුරු වෙනවා. මොකද ලිබරල් කඳවුර කොහොමටත් ඉතුරු වෙනවා. එතකොට ප්‍රශ්නය ජාතිකවාදී කඳවුර වෙනුවට දිගුකාලීනව සමාජවාදී කඳවුර ආදේශ වෙනවද කියන එක. මෙය අනාගතයට අයිති ප්‍රශ්නයක් වුවත් ලංකාවේ ජාතිකවාදී කඳවුර ලේසියෙන් නැති වෙන එකක් නෙමෙයි. නාමල් ඉදිරිපත් වීම ඒ කඳවුරේ වත්මන් ශක්තිය පිළිබඳ පරීක්ෂාවක් සහ වෙන යන්න තැනක් නැති අයට එකතු වෙන්න තැනක්. යම් අර්ථයකින් මේ ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත් ප්‍රධාන කඳවුරු හතරටම දිගුකාලීනව එහි කවර හෝ වාසියක් තිබෙනවා. මලිමාව හා එජාපය කොහොමත් දිනලා. මොකද ඔවුන් 3% හා 2% හිටපු පක්ෂ. දිනුවත් පැරදුනත් ඔවුන් තමන්ගේ මතවාද වෙනුවෙන් ලොකු ඉඩක් හදාගෙන ඉවරයි. සජබ දිනුවොත් ඒකත් රනිල්ගේ මතවාදයේ ජයග්‍රහණයක් නිසා රනිල් අහෝසි වෙන්නේ නැහැ. සජබට මෙය ජයග්‍රහණයක් වන්නේ ඇත්තටම දිනුවොත්. පොහොට්ටුවට මෙය ජයග්‍රණයක් වන්නේ අරගලයෙන් පසුව වැටී හිටපු තැනට සාපේක්ෂව. නැවත නාමල්ව ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයක් කියන්නෙම, ප්‍රතිඵලය කුමක් වුනත්, ජයග්‍රහණයක්. ඉතිරි වී ඉන්න සොල්දාදුවන් එක්ක නායකයා යුද පෙරමුණේ ඉන්නවා.

      Delete
  6. නිදී සහ ඉකොනොමැට්ටා,

    මේ මාතෘකාවට පොඩ්ඩක් අදාල නැතී වුණත් නිදි ලංකාවේ රනිල් වික්‍රමසිංහ රජය මගින් අය කරන අධික බදු බර ගැන කතා කරන නිසා පක්ෂ භේදයෙන් තොරව මේ බදු බර ගැන මගේ අදහස කියන්න ඕන කියල හිතුනා, මේකට ඉකොනොමැට්ටාට උත්තරයක් දෙන්න පුළුවන්ද?

    ලංකාවේ රනිල් වික්‍රමසිංහ 2022 ජූලි මාසයේ මැද බලයට පත්වීමත් සමග අයි එම් එෆ් එකේ යෝජනා කියලා ජනතාව රවට්ටලා අධික ලෙස බදු අය කිරීමට පටන් ගත්තා, ඒ නිසා පෞද්ගලික අංශයේ වගේම රජයේ සමහර අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ පඩියටත් රනිල කෙලිනව නේද? මනුෂ්‍යයෙකු මහත් ලෙස වෙහෙස මහන්සි වෙලා අමාරුවෙන් මාසයක් මහන්සි වෙලා වැඩ කරන දෙයින් රනිල්ලා එහෙම කොල්ලකා ගත්තහම ජීවත් වෙන්න විශාල සටනක් කරන්න ලංකාවේ බහුතර ජනතාවකට සිදුවෙලා තියෙනවා.මෙතන ගැටලු 03ක් තියෙනවා.

    1.මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වගේම, ඍජු බදු සඳහා ලක් නොවන නොයෙකුත් වෘත්තීන්ගෙන්(ටියුෂන් වගේ) බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම. ඒ වගේම රනිල්ගේ ආණ්ඩුවෙන් ඒවා හිතා මතා පැහැර හැර තිබීම.

    2. සෘජු බදු ගෙවන මිනිස්සු නැවත වාරයක් එහෙම නොගෙවන මිනිස්සුන්ට වගේම වක්‍ර බදු වලටත් ලක් වීම.

    3. බදු මුදල් රටේ සංවර්ධනයට වැයකරන ආකාරය පිළිබඳ පාරදෘශ්‍ය භාවයක් නොමැති වීම.

    මෙහෙම ගැටලු තිබුණත් රටක් සංවර්ධනය කරන්න නම් ඉකොනොමැට්ටා කියනව වගේ අනිවාර්යයෙන්ම සෘජු බදු අය කර ගත යුතුයි කියන එක විශ්වාස කරන යම් පිරිසකුත් දරන මතය. පෞද්ගලිකව අපිට ඒක පාඩු වුණත් ඒක අවශ්‍ය බවත් හිතන පිරිසකුත් රටේ ඉන්න එකයි ගැටලුව.

    ඉහත ගැටලු විසඳෙනවා නම් මම හිතන්නේ බහුතරයක් වෘත්තිකයෝ වුණත් තමන්ගෙන් සෘජු බදු අය වෙනවට අකමැති වෙන එකක් නෑ.

    ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන,සමහරු එකක් මදිවට තව එකක් හොරාටත් කරගෙන, ඉවර වෙච්ච ගමන් කොහේ හරි රටකට පැනලා ලංකාව හදන්න ලොරි ටෝක් දෙන වෘත්තික අයියල නම් කොහෙත්ම අදාල නෑ.(මේ ඉකෝනෝට නෙමෙයි කිව්වේ ඈ.ඔයා ඒ කුලකයේ නෙමෙයි. ඔන්න මගෙත් එක්ක එල්ලෙන්න එපා.🙂)

    ඒ වගේම බදුත් අඩු කරල, පඩිත් වැඩි කරලා, ලොවෙත් සුරංගනා ලෝක මවන මාලිමාවෝ සහ සජිත් ප්‍රේමදාස වගේ එවුන් නම් ප්‍රායෝගික නෑ කියලත් පැහැදිලිව පේනවා.

    ReplyDelete
    Replies
    1. 1, ඓතිහාසික තත්ත්වයන් දෙස බැලුවහම ඔබේ විවේචනය නිවැරදියි. නමුත් හිතාමතා පැහැර හැර තියෙනවා කියන එක වැරදියි. බදු නොගෙවන පිරිස් බදු දැල ඇතුළට ගන්න එක එක රැයින් කරන්න බැහැ. එය වසර ගණනාවක් යන ක්‍රමානුකූල ලෙස කළ යුතු දෙයක්. තමන්ගේ ආදායම හරියට නොපෙන්වා බදු පැහැර හරින අය එක පාරටම හොඳ මිනිස්සු වෙලා බදු ගෙවන්න පටන් ගන්නේ නැහැ. ඒ අයහෙන් බදු අය කරගන්නම් ආදායම තහවුරු කර පෙන්වන්න වෙනවා. ඒ වැඩේ කැමැත්තෙන් නොකරද්දී අවශ්‍ය සාක්ෂි හොයාගෙන ඉදිරිපත් කරන එක ලේසි වැඩක් නෙමෙයි. උතුරේ හා දකුණේ ත්‍රස්තවාදී සංවිධාන විසින් කළ විදිහට සහ අනෙකුත් විවිධ කප්පම්කරුවන් විසින් කරන විදිහට නීත්‍යානුකූල රජයකට කටයුතු කරන්න බැහැ. ක්‍රමවේදය ශක්තිමත් කරන එක පියවරෙන් පියවර කළ යුතු දෙයක්. ඒ වගේම මෙහිදී වගකීම ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ අදාළ රාජ්‍ය ආයතන වලට. ආණ්ඩුව කුමක් වුවත් වැඩේ වෙන්නේ ඒ ආයතන වලින්. ක්‍රමවේදය හා අදාළව පසුගිය දෙවසර තුළ සැලකිය යුතු ප්‍රගතියක් දකින්න පුළුවන්. පසුගිය මාස වල බදු ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙන්නේ ඒ නිසා. එහෙම නැතුව බදු අනුපාතික වැඩි කළ නිසා පමණක් නෙමෙයි. බදු අනුපාතික වැඩි කරලා දැන් ටිකක් කල්. නමුත් තවමත් අඩුපාඩු බොහෝ තියෙනවා කියන එක ඇත්ත. ඒවා නිවැරදි කරන්න වසර හතරක පමණවත් කාලයක් අවශ්‍යයි. ඊට වඩා හදිසියෙන් කරන්න බැහැ. IMF වැඩ සටහනේ වුනත් අවශ්‍ය කාලය ලබා දී තියෙන්නේ ඒ නිසා. මගේ නිරීක්ෂණ අනුව දැනට අවශ්‍ය ප්‍රමාණයට හා ප්‍රායෝගිකව කළ හැකි ප්‍රමාණයට ක්‍රමවේදය දියුණු කර තිබෙනවා. විවිධ ආයතන වල දත්ත එකතු කරගෙන යන්නේ මේ ක්‍රියාවලියේ කොටසක් විදිහට. මම දකින පරිදි වෙන ක්‍රමයක් නැහැ. ඒ යන ක්‍රියාවලිය දිගටම ලෙසම සිදු වෙයිද නැද්ද කියලා මට කියන්න බැහැ. නමුත් දිගටම ඉදිරියට ගෙන ගියොත් ප්‍රශ්නය විසඳෙනවා.

      2. ඒක ඕනෑම රටක සිදුවන සාමාන්‍ය තත්ත්වයක්. සෘජු බදු ගෙවන අයව වක්‍ර බදු වලින් නිදහස් කරන රටවල් තියෙන්නේ කොහෙද?

      3. බදු වැඩි වශයෙන්ම වැය කරන්නේ රජය පවත්වා ගැනීම සහ සුබසාධනය සඳහා මිසක් සංවර්ධන කටයුතු සඳහා නෙමෙයි. ඉතිහාසයේම සංවර්ධන කටයුතු සිදු කර තිබෙන්නේ ණය අරගෙන. එසේ නොවන අවස්ථා තිබුණත් සාමාන්‍ය තත්ත්වය ඕකයි. රජය බදු ආදායම් වියදම් කරන ආකාරය පාරදෘශ්‍ය දෙස පෙන්වනවා. මුදල් අමාත්‍යංශයේ හා මහ බැංකුවේ වාර්තා වල විස්තර තිබෙනවා. ඒ එකක්වත් කියවන්නේ නැතිව ඔය කතාව කියන එකයි මෙහි තිබෙන ප්‍රශ්නය. මගේ ඇතැම් ලිපි වලත් රජය බදු ආදායම් වියදම් කරන ආකාරය පෙන්වා තිබෙනවා. ඇත්තටම එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට නිල ලේඛණ වලින් බලාගන්න පුළුවන්. තවත් වැඩිපුර විස්තර අවශ්‍යනම් RTI එක අනුව විමසීම් කරන්නත් පුළුවන්. අවුරුදු ගණනාවක සිට මේ තත්ත්වයන් තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක්ට රැල්ලට විවේචන කරනවා මිසක් තමන්ම කරන විවේචන හා අදාළ ඇත්ත තත්ත්වය හොයා බලන්න උවමනාවක් නැහැ. ආණ්ඩු කිසිසේත්ම සර්ව සම්පූර්ණ නැතත් මේවා පුරවැසියන්ගේ අඩුපාඩු.

      Delete
  7. පිනා සැප්තැම්බර් 22ට එලිවෙනකොට කුල්ල කුජීත වෙලා හොම්බෙන් යන්නෙ 😂😂😂

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: