වෙබ් ලිපිනය:

Friday, December 22, 2023

සතියක් තුළ ඩොලර් මිලියන 787ක්!


දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබී තිබෙනවා. ඒ පහත ආකාරයෙනුයි.

දෙසැම්බර් 14 - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 337ක්.

දෙසැම්බර් 15 - ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්.

දෙසැම්බර් 20 - ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්.

එකතුව - ඩොලර් මිලියන 787ක්.

ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ලැබුණු ඉහත අරමුදල් මීට පෙර ලැබිය යුතුව තිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ප්‍රමාද වීම නිසා එයින් අනතුරුව ලැබෙන්නට නියමිතව තිබුණු ඉහත අරමුදල් වාරික දෙක නිදහස් කිරීමද ප්‍රමාද වුනා. කෙසේ වුවත්, අරමුදලේ දෙවන වාරිකය නිදහස් කරනු ලැබීමෙන් පසුව, මෙම අරමුදල් ශ්‍රී ලංකා රජය වෙත ක්ෂණිකවම මෙන් ලැබී තිබෙනවා.

නොවැම්බර් අවසාන වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය පැවතුනේ ඩොලර් මිලියන 3,584 මට්ටමේ. එම ප්‍රමාණයට ඩොලර් මිලියන 787ක් එකතු වුවහොත්, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,371 දක්වා ඉහළ යනවා. මීට අමතරව, සාමාන්‍යයෙන් ශ්‍රමික ප්‍රේෂණ වැඩියෙන් රටට එන මාසයක් වන දෙසැම්බර් මාසයේදී වෙළඳපොළෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 100ක් වත් මිල දී ගැනීමේ හැකියාවක්ද තිබෙනවා. මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 108ක් හා නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 117ක් මිල දී ගෙන තිබීම සැලකූ විට දෙසැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 100 ඉක්මවා මිල දී ගැනීම පහසු ඉලක්කයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබුණු ඉලක්කය අනුව, 2023 අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,431 දක්වා වර්ධනය කර ගත යුතුව තිබුණත්, දෙවන වාරිකය ලබා දෙන අවස්ථාවේදී ඔවුන්ගේ ඇස්තමේන්තුව වූයේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි.  

දැන් තත්ත්වය අනුව, වසර අවසාන වන විට රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් ඇස්තමේන්තුව වන ඩොලර් මිලියන 3,806 ඉක්මවා මුලින් ලබා දුන් ඉලක්කය කිට්ටුවට යාමට ඉඩ තිබෙනවා. ඒ සඳහා, කළ යුතු වන්නේ ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදල සංචිත වලට එකතු කරගෙන තවත් ඩොලර් මිලියන 60ක් වෙළඳපොළෙන් මිල දී ගැනීම පමණයි.

6 comments:

  1. කවටයාමුණේ පන්සල ඉස්සර සිරිලක පුරාම පරසිද්දයි
    නිකං නොවෙයි ඒ, ප්‍රසිද්ධ වුයේ සල්ලි ගිලින යක්ෂය හින්දයි
    අයියෝ දැන් ඌ ඔහේ ඉන්නවා, ඌ මොන යකෙක්ද කියා හිතෙයි
    ඩොලර්ම ගිලිනා බහිරවයන් දැන් සිරිලක මහපුටු අරා හිඳියි

    ReplyDelete
  2. ඔය ඒඩිබී එකෙන් දෙන සල්ලි ඔක්කොම සංචිත ලෙස සලකන්න පුලුවන්ද ..මොකද මම එහෙම අහන්නෙ කියනවනම්, මේ සල්ලි හම්බෙන්නේ විවිධාකාර ප්‍රොජෙක්ට්ස් සදහා. මේ සමහර ප්‍රොජෙක්ට්ස් වල ඉන්නේ ඉන්ටනැශනල් කොන්ත්‍රාත් කරුවන්...ඔවුන් සදහා කරන ගෙවීම් ඇතැම් විට කෙලින්ම ඩොලර් වලින් කරන්නේ...සමහර විට කොටසක් පමනක්...MAYYA

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙය සාධාරණ වශයෙන් නිවැරදියි. නමුත් මෙවර මේ සල්ලි ලබා දී තිබෙන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා. ඒ නිසා, එම මුදල් නැවත රටින් එළියට යන්නේ නැහැ. කොහොම වුනත් මේ ලැබුණු මුදල් සියල්ල සංචිත සේ සැලකීමට හදිසි විය යුතු නැහැ. රජය විසින් විදේශ ණය ගෙවීම සඳහා මෙයින් කොටසක් යොදාගත්තොත් එම කොටස සංචිත වලට එකතු වෙන්නේ නැහැ.

      Delete
    2. තවත් කරුණක් , අයිඑම්එඑෆ් එක නම් කෙලින්ම සල්ලි දෙන්නෙ මහබැංකුව ට....ඒත් ඒඩිබි එකයි වර්ල්ඩ් බෑන්ක් එකයි සල්ලි දෙන්නේ ආණ්ඩුව ට. ආණ්ඩුව ට දෙන සල්ලි කෙලින්ම සාංච්ත ලෙස සලකන්න ආමාරුයි. ඉකොන් කියා ඇති විදිහටම ආන්ඩුව මේ විදේශ මුදල් ණායගෙවීමට යොදා ගත හැකියි .-MAYYA

      Delete
    3. ඔව්. ඉතා පැහැදිලි ලෙසම ඒ වෙනස තිබෙනවා. නමුත් මේ වෙලාවේ රජයට මේ සල්ලි වියදම් කරන්න වෙන්නේ ඩොලර් කරලා. ඒ නිසා, බොහෝ විට මේ ඩොලර් මහ බැංකුවට විකුණන්න වෙනවා. සෘජුවම හෝ ලංකා බැංකුව හරහා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: