වෙබ් ලිපිනය:

Saturday, August 16, 2025

ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය


දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක් හෝ ප්‍රති උපකාරයක් ලෙසම නොවුණත්, ඔහු ඇමරිකාවට ඇවිත් අපේ නගරයේ ගත කළ දින කිහිපය මම ඔහු වෙනුවෙන් වෙන් කළා. වැඩිපුරම කළේ ඔහුගේ රියැදුරු වැඩේ. 

ඔය දවස් කිහිපයෙන් එක් දවසක් ඔහු යොදා ගෙන තිබුණේ මගේත් වැඩසගයෙකු (coworker) වන ඇමරිකානුවෙකු හමු වෙන්න. රාත්‍රී භෝජනයක් එක්ක සිදු වූ ඒ හමුවීම සඳහා නියම කරගෙන තිබුණේ නගරය මැද තිබෙන ජර්මන් අවන්හලක්. සාමාන්‍යයෙන් මම ඔය වගේ වැඩකට තේරීමක් කරද්දී නගරය මැද තැනක් තෝරා ගන්නේ නැහැ. ඊට හේතුව වාහනය නවත්වන්න තැනක් හොයා ගැනීම තරමක හිසරදයක් වීම. නගරයේ පැත්තකට යද්දී ඒ ප්‍රශ්නය නැති තැන් ඕනෑ තරම් තිබෙනවා. කොහොම වුනත් මේ අවස්ථාවේදී වැදගත් වුනේ චීන මිතුරාට සහ ඇමරිකන් වැඩසගයාට පහසු තැනක් තෝරා ගැනීම. මට කළ හැකිව තිබුණේ චීන මිතුරාගේ රියැදුරා ලෙස ඔහුට පහසුකම් සැලසීම පමණයි.

අවන්හල වටේ රවුමක් දෙකක් කැරකුනාට පස්සේ කොහොම හරි පාර අයිනේ වාහනයක් ඉවත් කර ගනිද්දී වාහනය ඒ ඉඩට දමා ගත්තා. මේ වගේ වාහනයක් නැවැත්විය හැකි ඉඩකට අංකයක් තිබෙනවා. ඒ අංකය කිට්ටුව තිබෙන මුදල් ගෙවීමේ යන්ත්‍රයකට ඇතුළු කරලා අවශ්‍ය කාලය වෙනුවෙන් මුදල් ගෙවිය යුතුයි. අනුන්ගේ ඉඩමක වාහනයක් නවත්වද්දී අපි කරන්නේ එම ඉඩ යම් කාලයකට කුලියට ගන්න එක. මාස කුලියට ගෙයක් ගන්නවා හෝ දවස් කුලියට හෝටල් කාමරයක් ගන්නවා වගේම වැඩක්. 

පාර අයිනේ මේ ඉඩ අයිති නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවටයි. වාහන නැවැත්වීම සඳහා තිබෙන ඉල්ලුමට සාපේක්ෂව වාහන නැවැත්විය හැකි බිම්කොටස් ප්‍රමාණය සීමිතයි. වෙනත් විදිහකින් කිවුවොත්, ඉල්ලුම කොපමණ වුණත් සැපයුම වැඩි කරන්න බැහැ. හරියට දුම්රියක ආසන ප්‍රමාණය වගේ. ඒ නිසා තිබෙන සීමිත සැපයුම කිසියම් ක්‍රමයකට වෙන් කරන්නම වෙනවා. මේ වෙන් කිරීම කරන්නේ අය කරන මිල මගිනුයි. 

අය කරන මිල නියම මිලට වඩා අඩුනම් ඉල්ලුම හා සැපයුම තුලනය වෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි ගෙවලා වුනත් වාහනයක් නවත්වන්න තැනක් හොයා ගන්න බැරි වෙනවා. අපි වගේ රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට යන කෙනෙකුට එක්කෝ වාහනය සෑහෙන ඈතක නවත්වලා පයින් ඇවිදගෙන එන්න වෙනවා. එහෙම නැත්නම් ළඟ තැනක් හොයා ගන්න සෑහෙන්න කලින් එන්න වෙනවා. ඔය දෙකෙන් කොයි එක කළත් අමතර කාලයක් නාස්ති වෙනවා. ඔය අපහසුතාවය විඳින්න හෝ කාලය නාස්ති වීමේ පාඩුව දරාගන්න කැමති නැති කෙනෙක්ට වෙනත් විකල්ප ගැන හිතන්න වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් නගරයට වාහනයකින් එන්නේ ඔය කට්ට කන්න කැමති සහ කාලයේ වටිනාකම අඩු අය. 

අය කරන මිල අවශ්‍ය පමණ වැඩි කිරීම මගින් ඔය ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන්. එහිදී වෙන්නෙත් කිසියම් පිරිසක් ඉවත් කරලා ඉල්ලුම හා සැපයුම තුලනය කරන එක. මේ විකල්පයේදී, මුදලක් ඉතිරි කර ගැනීම සඳහා ඉහත කට්ට කන්න කැමති අය තරඟයෙන් ඉවත් වෙනවා. වැඩි මුදලක් ගෙවන්න කැමති අයගේ කාලය ඉතිරි වෙනවා. 

දෙවන ක්‍රමය නගරයේ තිබෙන අවන්හල් ආදියටත් වාසියි. පහසුවෙන් වාහන නැවැත්වීමේ විකල්පය නැත්නම් වැඩි මුදලක් වියදම් කළ හැකි පාරිභෝගිකයෝ ඔය අවන්හල් වලට එන්නේ නැහැ. නමුත් මිල ගැන හිතා වාහනය කිට්ටුව පාතක නොනවත්වා ඈතක නවත්වන පාරිභෝගිකයෝ කොහොමටත් එනවා. සංචාරකයෙක් තමන්ගේ සංචාරක ගමනාන්ත තෝරා ගනිද්දී වෙන්නෙත් ඔය වැඩේමයි. තමන්ට අවශ්‍ය තේරීම් නැති බව පේනවානම් ඒ තේරීම් තිබෙන රටකට යනවා. ඉස්තිරික්කයෙන් රොටී පුච්චන සංචාරකයෝනම් කොහොමටත් එනවා.

ඉහත හේතුව නිසාම නගරය මැද තිබෙන මිල අධික අවන්හල් විසින් මුදල් අය කර වාහනය ඉඩ තිබෙන තැනක නවත්වා දීමේ සේවාව (valet parking) සපයනවා. ඒ වගේ අවන්හලකට ඇවිත් ලොකු මුදලක් වියදම් කරන පාරිභෝගිකයෙකුට වැඩි මුදලක් ගෙවා ඔය සේවාව ලබා ගන්න එක වාහනය නවත්වන්න තැනක් හොයන්න කට්ටක් කන එකට වඩා වාසියි. මම ඔය කාණ්ඩයේ පාරිභෝගිකයෙක් නොවුනත්, වාහනය නවත්වන්න තැනක් හොයාගන්න දඟලන එකට තිබෙන අකැමැත්ත නිසාම සාමාන්‍යයෙන් ඉඳහිට නගරයේ අවන්හලකට යන දවසකට ඔය පහසුකම ලබා ගන්නවා. නමුත් මගේ වැඩ සගයින් සහ වෙනත් මිතුරන් බොහෝ දෙනෙක් ඔය ඩොලර් කීපය ඉතිරි කර ගැනීම සඳහා රවුම් දෙක තුනක් කැරකෙන්න වැඩි කැමැත්තක් තිබෙන අය. 

මගේ චීන මිතුරාත් ඔය දෙවන කාණ්ඩයට අයිති කෙනෙක්. සමහර විට වාහනය නැවැත්වීමේ ගාස්තුව ඔහුගේ අතින් ගෙවන්න හිතාගෙන හිටපු නිසා, ඔහුගේ අදහස වුනේ වාහනය නවත්වන්න තැනක් හොයාගන්න ඒ තරම් අමාරු නැති බවයි. "ඒ තරම් අමාරු නැහැ" කියන එක සාපේක්ෂ මිනුමක්නේ. කොහොම හරි වාහනයක් ඉවත් කර ගන්නා බවක් ඔහු නිරීක්ෂණය කළා. මම වාහනය එතැනට දැම්මා.

වාහනය නැවත්වූ ගමන්ම මුදල් ගෙවීම සඳහා චීන මිතුරා බැහැලා ගියා. මේ මුදල් අය කිරීම කරන්නේ පෞද්ගලික සමාගමක් විසින්. නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුව විසින් එසේ මුදල් එකතු කරගැනීමේ අයිතිය පෞද්ගලික සමාගමකට විකුණලයි තියෙන්නේ. රජය විසින් ඔය වගේ සිල්ලර වැඩත් කරන්න යන එකට වඩා ඒ වැඩේ කාර්යක්ෂමයි. අදාළ බිම්කොටස් වාහන නැවැත්වීම සඳහා කුලියට දීම මගින් වැඩිම ආදායමක් උපයන වැඩේ වඩාත්ම හොඳින් සිදු වෙන්නේ ලාබ ලැබීම අරමුණු කරගත් පෞද්ගලික ආයතනයක් විසින් ඒ වැඩේ කරද්දීයි. එවැනි සමාගම් අතරින් වැඩිම මිලක් ගෙවන සමාගමකට අදාළ බිම් කොටස් එක වර වසරක් වැනි දීර්ඝ කාලයකට කුලියට දීම මගින් නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවටත් එම බිම්කොටස් වෙනුවෙන් වැඩිම මුදලක් ලබා ගන්න පුළුවන්. 

මම වාහනය නවත්වලා අදාළ මුදල් ගෙවීමේ යන්ත්‍රය වෙත යන කොටත් චීන මිතුරා විසින් පැය එකහමාරක කාලයක් වෙනුවෙන් මුදල් ගෙවලා. ඩොලර් තුනක පමණ සාපේක්ෂව ඉතාම සුළු මුදලක්. අපේ නගරය ඇමරිකාවේ ලොකු නගර එක්ක බලද්දී ඒ තරම්ම ජනාකීර්ණ නගරයක් නොවන නිසා ඔය වගේ සුළු මුදලක් අය කරලා ඉල්ලුම හා සැපයුම තුලනය කරගන්න පුළුවන්. 

මේ වගේ හමු වීමකදී ආගිය කතා කතා කරලා ඉවර වෙද්දී පැය එකහමාර පනිනවා කියන එක මටනම් ඉතාම පැහැදිලි කරුණක්. මගේ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් ඔය වගේ වැඩකට පැය දෙකක් පමණවත් යනවා. ඒ නිසා, චීන මිතුරා මට මුදල් ගෙවන්න ඉඩ හැරියානම්, මම කරන්නේ අඩුම වශයෙන් පැය තුනකටවත් මුදල් ගෙවන එක. එවිට හිතේ නිදහසින් කෑම ටික කාලා වාහනයට එන්න පුළුවන්. එහෙම නැත්නම්, අඩු මුදල ගෙවන්න කෑම නවත්වලා නැගිටලා එන්න වෙනවා. වාහනය නැවැත්තුවෙත් අවන්හලට තරමක් දුරින්. 

මගේ අඬවැඩියාව නිසාම චීන මිතුරා තවත් පැය බාගයක කාලයක් එකතු කළා. දැන් ඩොලර් හතරයි. වැඩිපුර ගියේ තවත් ඩොලරයක් පමණයි. තවත් අමතර ඩොලරයක් ගෙවුවානම් හිතේ නිදහසේ කෑම ටික කන්න තිබුණත්, මගේ කීමට ඩොලරයක් වැඩියෙන් ගෙවුවටත් පස්සේ තවත් ඔය ගැන වාද කරන්න බැරි නිසා මම කටවහගෙන හිටියා. 

අපේ සුහද හමුව අවසන් වෙලා නැවත අවන්හලේ සිට වාහනයට ඇවිදගෙන එද්දී, ලොකු වෙලාවකින් නොවුනත්, පැය දෙක පහු වෙලා. ඒ කියන්නේ දඩ කොළයක් ලැබීමට ඉඩක් තිබෙනවා. රාත්‍රී 7:54 දක්වා අපි මුදල් ගෙවලයි තිබුණේ. චීන මිතුරා දිගින් දිගටම කිවුවේ රාත්‍රී අටෙන් පසුව වාහන නැවැත්වීම සඳහා මුදල් ගෙවිය යුතු නැති බව සහ ඒ දක්වා තිබෙන මිනිත්තු 6ක කාලය තුළ මෙය පරීක්ෂාවට ලක් වීමේ ඉඩක් නොමැති බවයි. නමුත් වාහනයට පැමිණි වහාම තහවුරු වුනේ ඔහු වැරදි බවයි. අවසාන වශයෙන් ඩොලරයක් ඉතිරි කර ගැනීමේ උත්සාහය වෙනුවෙන් ඩොලර් විස්සක දඩයක් ගෙවන්න වුනා.

මේ අවස්ථාවේදී චීන මිතුරා විසින් කළේ වාසියක් අපේක්ෂාවෙන් අවදානමක් ගන්න එක. නමුත් ඔහු සූදුවෙන් පැරදුනා. මේ ගැන කතාබහ දිගට යද්දී ඔහු කිවුවේ ඔහුගේ මිතුරෙක් කිසිම දවසක වාහන නැවැත්වීම සඳහා මුදල් නොගෙවන බවයි. ඊට හේතුව, එම මිතුරාගේ ගණනය කිරීම් අනුව, දඩ කොළ ලැබීමේ සම්භාවිතාව අඩු නිසා වාහන නැවැත්වීමේ ගාස්තු නොගෙවීම මගින් ඉතිරි කරගත හැකි මුදලින් ඉඳහිට දඩයක් ගෙවුවත් අවසාන වශයෙන් කීයක් හෝ ඉතිරි වීමයි. 

මේ තමයි මිනිසුන්ගේ සාමාන්‍ය චර්යාව. ඔවුන් කටයුතු කරන්නේ, තීරණ ගන්නේ තමන්ට ලැබෙන වාසි අවාසි කිරා මැන බැලීමෙන් පසුවයි. ඉහත දිනයේ එම හමුවට මම තනිවම ගියානම් මම කරන්නේ වාහනය නවත්වා දීමේ සේවාව (valet parking) ලබා ගැනීමයි. ඒ සඳහා ඩොලර් 15ක් පමණ ගෙවන්න වෙනවා. විකල්පයක් ලෙස පාරේ වාහනය නැවැත්වීමට තීරණය කළේනම්, මම කරන්නේ අවම වශයෙන් පැය තුනක කාලයක් සඳහාවත් මුදල් ගෙවන එකයි. ඒ අනුව, වාහනය නවත්වා දීමේ සේවාව ලබා ගැනීම වෙනුවෙන් මට අමතර ඩොලර් 10ක් පමණ වැය වෙනවා. නමුත්, මට සාපේක්ෂව, වාහනය නවත්වන්න තැනක් සෙවීමේ අපහසුව මග හැර ගැනීම ඩොලර් 10කට වඩා වටිනවා. නමුත් මගේ බොහෝ මිතුරන් එම අපහසුව විඳ ගැනීම ඩොලර් 10ක් බේරා ගැනීම වෙනුවෙන් විඳ දරාගන්නවා. මා මෙන්ම ඔවුන් කරන්නේද තමන්ට වඩාත්ම වාසිදායක දෙයයි.

ඇතැම් විට අපට කිසියම් තීරණයක වාසි අවාසි ගැන කලින් නිශ්චිතව දැන ගන්න බැහැ. මිල දී ගන්නා ලොතරැයියකින් දිනුමක් ඇදුනොත් වාසියක් වෙනවා. දිනුමක් නැත්නම් අවාසියක් වෙනවා. මේ වගේ අවස්ථා වල මිනිස්සු තීරණ ගන්නේ අපේක්ෂිත වාසි හා අවාසි මත පදනම්වයි. 

ඉහත අවස්ථාවේදී මගේ චීන මිතුරා අපේක්ෂා කළේ සුහද හමුව පැය එකහමාරකින් පමණ අවසන් වනු ඇති බවයි. එමෙන්ම, යම් හෙයකින් වාහනයට නැවත පැමිණෙන විට පැය දෙකක් පසු වී තිබුණේ වුවද එය කිසිවෙකුගේ අවධානයට යොමු නොවනු ඇති බවයි. ඔහුගේ එම උපකල්පන නිවැරදි වීනම් ඔහුට ඩොලරයක වාසියක් සිදු වෙනවා. ඔහුගේ මිතුරා කිසි දිනක වාහන නැවැත්වීම වෙනුවෙන් මුදල් නොගෙවන්නේද එය ඔහුට හෝ ඇයට වාසිදායක නිසයි.

වාහන නැවැත්වීම සඳහා බිම්කඩ කුලියට දෙන සමාගම විසින් එම බිම්කඩ නාගරික අධිකාරයෙන් කුලියට ගෙන නැවත කුලියට දෙන්නේ එසේ කිරීම මගින් ඔවුන්ට ලාබයක් අපේක්ෂා කළ හැකි බැවිනුයි. එමෙන්ම, එම නාගරික අධිකාරය, එනම් පොදු වැඩ දෙපාර්තමේන්තුව, ඒ කාර්යය වැඩිම මුදලක් ගෙවන සමාගමට පවරා තිබෙන්නේ එය වඩාත්ම වාසිදායක නිසයි. 

මේ සියල්ල ආර්ථික ක්‍රියාකාරකම්. ආර්ථික ක්‍රියාකාරකම් හැම විටම සදාචාරය හෝ නීතිය සමඟ එකඟ වන්නේ නැහැ. තමන්ට සාපේක්ෂව වාසියක් වේනම් මිනිස්සු සාමාන්‍යයෙන් ඒ වාසිදායක දේ කරනවා. ඇතැම් විට එවැනි වාසිදායක දෙයක් සදාචාරයේ හෝ නීතියේ සීමා කඩන දෙයක් වෙන්න පුළුවන්. 

දුම්රිය ප්‍රවේශපත් කලින් අලෙවි කරද්දී එසේ කරන්නේ අනන්‍යතා සංකේත රහිතවනම්, එයින් අදහස් වෙන්නේ එසේ අලෙවි කරන්නේ හුවමාරු කළ හැකි (transferable) හිමිකමක් බවයි. එවැනි අවස්ථාවකදී ප්‍රවේශපතක් මිල දී ගෙන නැවත අලෙවි කරනා අයෙකු විසින් කිසිදු නීතිමය හෝ සදාචාර සීමාවක් නොසලකා හරින්නේ නැහැ. නමුත් එම ප්‍රවේශපත් වලට අනන්‍යතා සංකේත ඇතුළු කිරීමෙන් පසුව මෙම හිමිකමේ ස්වභාවය වෙනස් වී හුවමාරු කළ නොහැකි හිමිකමක් (non transferable) බවට පත් වෙනවා. හුවමාරු කළ නොහැකි හිමිකමක් පසුව මුදල් ගෙවා මිල දී ගන්නා අයෙකු විසින් කරන්නේ අවදානමක් ගැනීමක්. එහිදී එවැන්නෙකු විසින් මුදල් ගෙවන්නේ තමන්ට ඇත්තටම අයිති නැති හිමිකමක් වෙනුවෙන්. එසේ මිල දී ගන්නා, වෙනත් අයෙකුට අයිති ප්‍රවේශපත්‍රයක් පෙන්වා අදාළ හිමිකම භුක්ති විඳින අයෙකු විසින් ඇත්තටම කරන්නේ හොරකමක් හෝ වංචාවක්. ව්‍යාජ ප්‍රවේශපත්‍රයක් පෙන්වා දුම්රියකට ඇතුළු වීමට සමාන දෙයක්. එම ප්‍රවේශපත්‍රය වෙනුවෙන් ඉහළ මිලක් තෙවන පාර්ශ්වයකට ගෙවූ පමණින් මෙය නිවැරදි දෙයක් වන්නේ නැහැ. 

යම් ක්‍රියාවක් වැරදි හෝ නිවැරදි වීම සහ එය සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකමක් වීම කරුණු දෙකක්. වාහනයක් නවත්වන විට පුරුද්දක් ලෙස හිතාමතාම ඒ වෙනුවෙන් මුදල් නොගෙවා සිටීම මට සාපේක්ෂව නිවැරදි දෙයක් නෙමෙයි. නමුත් යම් නිශ්චිත වාස්තවික තත්ත්වයන් යටතේ පුද්ගලයින් එසේ කරන්නට පෙළඹීම අනිවාර්යතාවයක්. ඒ වගේම මට සාපේක්ෂව නිවැරදි නොවන දෙයක් වෙනත් අයෙකුට සාපේක්ෂව නිවැරදි දෙයක් වෙන්නත් පුළුවන්. 

අලෙවි කරන්නේ හුවමාරු කළ නොහැකි හිමිකමක් වුවත්, ප්‍රායෝගිකව හිමිකම භාවිතා කරන අවස්ථාවේදී එය පරීක්ෂාවට ලක් නොවේනම්, ඇතැම් අය එම තත්ත්වයෙන් වාසියක් ගැනීමට පෙළඹෙනවා. ලංකාවේ දුම්රිය ප්‍රවේශපත් නැවත අලෙවි වීම සිදු වුනේ ඒ නිසයි. මගේ චීන මිතුරාගේ මිතුරා වාහනයක් නවත්වන විට පුරුද්දක් ලෙස හිතාමතාම ඒ වෙනුවෙන් මුදල් නොගෙවා සිටින්නේද මෙය පරීක්ෂාවට ලක් වීමේ සම්භාවිතාව අඩු නිසා. නමුත් සදාචාර සීමාවන් හෝ වෙනත් හේතු නිසා හැම දෙනෙක්ම එසේ කටයුතු කරන්නේ නැහැ. යම් හෙයකින් වැඩි දෙනෙකු එසේ කටයුතු කරන්නේනම්, ඒ හේතුව නිසාම පරීක්ෂාවට ලක් වීමේ සම්භාවිතාවද ඉහළ යනවා. 

බැංකුවක ආරක්ෂක විධිවිධාන දුර්වල වන විට එම බැංකුවෙන් මංකොල්ලකරුවෙකු විසින් මුදල් පැහැර ගැනීමේ සම්භාවිතාවද ඉහළ යනවා. ආරක්ෂක විධිවිධාන දුර්වල වූ පමණින් ඕනෑම කෙනෙක් බැංකුව මංකොල්ල කන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් එසේ බැංකු මංකොල්ල කන අයෙකු ඒ සඳහා තෝරා ගන්නේ ආරක්ෂක විධිවිධාන දුර්වල බැංකුවක් මිසක් ශක්තිමත් බැංකුවක් නෙමෙයි. කිසියම් බැංකුවක් නැවත නැවත මංකොල්ල කනු ලබන්නේනම් එය එම බැංකුවේ ආරක්ෂක විධිවිධාන දුර්වල බව පෙන්වන සංඥාවක්. මේවාත් ආර්ථික ක්‍රියාකාරකම්ම තමයි. 

ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිස් හැසිරීම් පැහැදිලි කරන එක. ආර්ථික විද්‍යාව විද්‍යාවක් වන්නේ ඒ හැසිරීම් පරීක්ෂණ මගින් නැවත නැවත තහවුරු කර ගැනීමේ හැකියාවක් පවතින නිසා. එම හැසිරීම් හරිද වැරදිද කියන එක ආර්ථික විද්‍යාවේ වපසරියට අයිති දෙයක් නෙමෙයි. ස්වභාවික මිනිස් හැසිරීම් පැහැදිලි කරන එකට අමතරව එම මිනිස් හැසිරීම් වෙනස් කර ගත හැකි ආකාරයන්ද ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් පෙන්වා දෙන්න පුළුවන්. එහෙත් එසේ වෙනස් කර ගත යුතුද නැද්ද යන්න බොහෝ විට ආර්ථික විද්‍යාවෙන් බාහිර දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික සාධක මත තීරණය වන දෙයක්.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: