වෙබ් ලිපිනය:

Thursday, August 28, 2025

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්

ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු.

ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා කළ හැකි වුවත්, සාපේක්ෂව මෑත ඉතිහාසයෙන් පටන් ගනිමු. 

සියවස් ගණනාවක සිට ලංකාවේ ලෝහ කාසි භාවිතා වී ඇතත්, ලංකාවේ සාමාන්‍ය පුද්ගලයින් මුදල් ගනුදෙනු වලට පෙලැඹී විශාල කාලයක් නැහැ. ඉංග්‍රීසි කාලයේ මුල් යුගය වන විටත් ලංකාවේ බොහෝ දුරට තිබුණේ එකිනෙකින් ස්වායත්ත ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් ගණනාවක්. ඒ කුඩා ස්වයංපෝෂිත ආර්ථිකයන් ගනුදෙනු හරහා ලොකුවට එකිනෙක හා සම්බන්ධ වී තිබුණේ නැහැ. 

ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් ස්වාධීන ඒකක ලෙස පැවතුණා වගේම නිවාස ඒකක වල තිබුණේත් බොහෝ දුරට ස්වයංපෝෂිත ආර්ථික. ආයුධ, වළං වගේ දේවල් හදපු අය හිටියත්, ඒවා මුදලට විකිණීමක් සිදු වුණේ නැහැ. ඒ කියන්නේ ගනුදෙනු සිදු වුණත්, ඒවා අද ආර්ථික විද්‍යා අච්චුවේ ගනුදෙනු නෙමෙයි. 

ගොවිතැන් නොකරන පවුල් ඒකකයක් විසින් ආයුධ, වළං වගේ දේවල් සපයද්දී එහි හිලවුවට වී, හාල් වගේ දේවල් ලැබුණත්, ඒවා ලබා නොදී වුනත් වී හාල් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම, වී හාල් ලබා ගත නොහැකි වෙලාවක වුවත් තමන්ගේ සේවාවන් ලබා නොදී සිටීමට එය හේතුවක් කර ගැනුණේ නැහැ. ගම් ප්‍රධානීන්ට සහ පන්සල් දේවාල වලට මුදල් ආධාර හෝ ගෙවීම් ලැබුණේ නැහැ. ඒ වෙනුවට දුන්නේ ධාන්‍ය පංගු හෝ එවැනි වෙනත් දේ. කෙටියෙන්ම කිවුවොත්, ගනුදෙනු සිදු වුනත්, අද අර්ථයෙන් මුදල් භාවිතයක් සිදු වුනේ නැහැ.

යුරෝපීයයන්, විශේෂයෙන්ම ඉංග්‍රීසින්, විසින් වෙළඳ ආර්ථිකයට සම්බන්ධව නොසිටි සාමාන්‍ය ජනතාව මත විවිධ බදු පනවද්දී, ඒ බදු ගෙවන්න අවශ්‍ය මුදල් රටේ මිනිස්සු අතේ සංසරණය වෙමින් තිබුණේ නැහැ. ඒ නිසාම, ඉංග්‍රීසින්ටත් රාජකාරි ක්‍රමයේ ව්‍යුත්පන්න ක්‍රම දිගටම පවත්වා ගෙන යන්න වුනා. ඇඟ බද්ද වගේ දේවල් ආවේ ඒ නිසා. 

වෙනත් සමහර සමාජ වල වගේ ලංකාවේ වත්මන් මුදල් වලට, ඒ කියන්නේ රුපියල් වලට, පිළිගැනීමක් ලැබුණේ ඒවා ඊට පෙර මුදල් ලෙස භාවිතා වූ වටිනා ලෝහ වල ව්‍යුත්පන්නයක් වූ නිසා නෙමෙයි. රජයට බදු ගෙවීම සඳහා එම මුදල් අවශ්‍ය වූ නිසා. රජය වෙනුවෙන් සේවය කළ අයට මුදලින් වැටුප් ලැබුණා. එසේ නොකළ අය විසින්ද බදු ගෙවිය යුතු වූ නිසා ඔවුන් මුදල් ලබාගෙන ඒ වෙනුවට භාණ්ඩ හා සේවා ලබා දුන්නා. රටේ බහුතර ජනතාව අතර පොදුවේ ගනුදෙනු සඳහා මුදල් භාවිතා වීම දෙවනුව සිදු වූ දෙයක්. 

ඉහත හේතුව නිසා, මුල සිටම මෙන්, ලංකාවේ රුපියල් වලට වටිනා ලෝහ සමඟ සම්බන්ධයක් තියෙනවද නැද්ද වගේ ප්‍රශ්න රටේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. රජයට බදු ගෙවීම සඳහා මේ මුදල් යොදා ගත හැකි වීම නිසාම ඒවාට වටිනාකමක් ලැබුණා. නමුත් මේ විදිහට ලංකාවේ රුපියල් වලට වටිනාකමක් තිබුණේ රට ඇතුළේ පමණයි.

රටින් පිටතදී ලංකාවේ රුපියල් වලට කවදාවත්ම වටිනාකමක් හැදුනේ නැහැ. ලංකාවේ රුපියල් කවදාවත්ම සෘජුව රන් වැනි දෙයක් එක්ක ගැට ගහලා තිබුණෙත් නැහැ. නමුත් ලංකාවේ රුපියල ඉන්දියාවේ රුපියල එක්ක ගැට ගහලා තිබුණා. ඉන්දියාවේ රුපියල බ්‍රිතාන්‍ය පවුම එක්ක ගැට ගහලා තිබුණා. බ්‍රිතාන්‍ය පවුම රන් එක්ක ගැට ගහලා තිබුණා. ඒ නිසා වක්‍ර සම්බන්ධයක් තිබුණා.

මේ සම්බන්ධය සෘජු සම්බන්ධයක් නොවී වක්‍ර සම්බන්ධයක් වූ නිසා ලංකාවේ රුපියලේ බාහිර වටිනාකම පවත්වා ගැනීම සඳහා ලංකාවට රන් සංචිතම පවත්වා ගන්න අවශ්‍ය වුනේ නැහැ. නමුත් ඉන්දියන් රුපියල් හෝ වෙනත් විදේශ සංචිත පවත්වා ගන්න සිදු වුනා. අද වන තුරුත් මේ තත්ත්වයේ වෙනසක් සිදු වී නැහැ. 

රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉක්මවා රුපියල් සැපයුම ඉහළ යද්දී රට තුළ රුපියලේ වටිනාකම අඩු වෙනවා. උද්ධමනය ඇති වෙනවා. ඒ අතින් ලංකාවේ රුපියල සහ ඇමරිකන් ඩොලරය අතර වෙනසක් නැහැ. නමුත් ඇමරිකන් ඩොලරයට මෙන් ලංකාවේ රුපියලට රටෙන් පිටත පිළිගැනීමක් නැහැ. ප්‍රායෝගිකව ලංකාවේ රුපියලේ බාහිර අගය තීරණය වෙන්නේ රුපියල් සැපයුම කොපමණද කියන එක මතම නෙමෙයි. රුපියල් ප්‍රමාණය කොපමණ වුනත්, ඒ රුපියල් ප්‍රමාණය හා සැසඳෙන විදේශ සංචිත මහ බැංකුවේ තියෙනවාද කියන එක මතයි. ප්‍රමාණවත් සංචිත නැත්නම් රුපියල අවප්‍රමාණය වෙනවා.

රුපියල අවප්‍රමාණය වූ විට ආනයනික බඩු වල මිල ඉහළ යනවා. එයද උද්ධමනයට හේතු වෙනවා. මුදල් සැපයුමේ ලොකු වෙනසක් නැතිව වුනත්, රුපියල අවප්‍රමාණය වීමෙන් ලංකාවේ උද්ධමනය ඉහළ යන්න පුළුවන්. ඒ වගේම, මුදල් සැපයුම ඉහළ යද්දී වුවත් රුපියල ශක්තිමත් වීම නිසා උද්ධමනය පාලනය වී තියෙන්න පුළුවන්.

අපි හිතමු මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000ක් කියලා. ඩොලරයක මිල රුපියල් 200නම්, මේ රුපියල් ප්‍රමාණය ඩොලර් බිලියන 5කට සමානයි. මහ බැංකුව සතුව ඩොලර් බිලියන 5ක විදේශ සංචිත තිබෙනවා කියා හිතමු. ඒ කියන්නේ මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් සියල්ල ආපසු අරගෙන ඒ වෙනුවෙන් ඩොලර් ආපසු දීමේ හැකියාවක් මහ බැංකුවට තිබෙනවා. 

මෙහෙම දෙයක් ඇත්තටම වෙන්නේ නැහැ තමයි. නමුත් ඩොලර් බිලියන 5ක විදේශ සංචිත අතේ තියාගෙන රුපියල් බිලියන 1000ක සංචිත මුදල් එළියට දමා ඇත්නම් රුපියල් 200ක් ඩොලරයක් වටිනවා කියන එක එයින් ගම්‍ය වෙනවා. ඒ නිසා, ස්වාධීන මුදල් ඒකකයක් විදිහට රුපියල ගැන කිසිම විශ්වාසයක් නැති කෙනෙකුට වුනත් විදේශ සංචිත නිසා ඒ විශ්වාසය ඇති වෙනවා. 

ඔහොම තියෙද්දී මහ බැංකුව සල්ලි අච්චු ගැසීම නිසා සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළ ගියොත් සිදු වෙන්නේ කුමක්ද? රට ඇතුළේ රුපියල බාල්දු වෙන එක කොහොමටත් සිදු වෙනවා. එය සිදු වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීමට අනුරූපවයි. නමුත් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 දක්වා වැඩි කර ගන්න පුළුවන්නම්, රුපියල ගැන තිබෙන බාහිර විශ්වාසය පළුදු වෙන්නේ නැහැ. තව දුරටත් රුපියල් 200ක් ඩොලරයක් වටිනවා. ඒ අනුපාතයට රුපියල් බිලියන 1500ක සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් කරන්න පුළුවන්.

නමුත් ඔය විදිහට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 දක්වා වැඩි නොවී, ඩොලර් බිලියන 5 මට්ටමේම තියෙද්දී, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළ ගියොත් සිදු වෙන්නේ කුමක්ද? දැන් රුපියල් බිලියන 1500ක සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් කරන්න පුළුවන් තරම් විදේශ සංචිත මහ බැංකුවේ නැහැ. ඒ නිසා, රුපියල් 200ක් ඩොලරයක් හා සමානව වටිනා බවක් රුපියල ගැන විශ්වාසයක් නැති පාර්ශ්වයකට පෙනෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ බොහෝ දෙනෙක් රුපියල් ඩොලර් කරනවා. ඔය වැඩේ අනෙක් අයට වඩා කලින් නොකළොත් ප්‍රමාද වූ අයට රුපියල් ඩොලර් කර ගන්න ඉඩක් ලැබෙන්නේ නැති බව ඔවුන්ට පේන්න ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලරයක මිල ඉහළ යනවා. 

මහ බැංකුවට සංචිත මුදල් වැඩි කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් විදේශ විණිමය මිල දී ගෙන ඒ වෙනුවට රුපියල් නිකුත් කරන එක. අනෙක් ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවට රුපියල් නිකුත් කරන එක. ඔය ක්‍රම දෙකෙන් පළමු ක්‍රමයේදී සංචිත මුදල් වැඩි වුනත් ඊට අනුරූපව විදේශ සංචිතත් ඉහළ යනවා. නමුත් දෙවැනි ක්‍රමයේදී ඒ වැඩේ වෙන්නේ නැහැ. 

මේ විදිහට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 මට්ටමේම තියෙද්දී භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක දක්වා වැඩි කළත්, ඩොලරයක මිල රුපියල් 200 සිට රුපියල් 300 දක්වා වැඩි වෙන්න ඉඩ හැරියොත්, එසේ මිල ඉහළ යාමෙන් පසුව, නැවතත් රුපියල ගැන විශ්වාසය තහවුරු වෙනවා. ඊට හේතුව, එම අනුපාතයට සංචිත මුදල් සියල්ල ඩොලර් කිරීම සඳහා අවශ්‍ය විදේශ සංචිත මහ බැංකුව සතුව තිබීමයි. නමුත් ඩොලරයක මිල ඔය විදිහට ඉහළ යද්දී ඒ හේතුව නිසා ආනයනික බඩු වල මිල ඉහළ ගිහින් උද්ධමනයක් ඇති වෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ස්වාධීන මහ බැංකුවකට රුපියල් නිකුත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම මේ විදිහට විදේශ සංචිත තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකයේ හැම මහ බැංකුවක්ම එසේ කරන්නේ නැහැ. ස්ථාවර හා අඩු මට්ටමක උද්ධමනයක් දිගටම පවත්වා ගැනීම මගින් විදේශ සංචිත නැතුව මුදල් ඒකකයක් පිළිබඳව විශ්වාසය ගොඩ නගා ගන්න පුළුවන්. ඩොලර්, යුරෝ වගේ මුදල් ඒකක පිළිබඳව එවැනි විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා. ඇමරිකාව රන් සම්මතයෙන් ඉවත් වුනේ රන් එක්ක තරඟ කළ හැකි තරමේ විශ්වාසයක් ඇමරිකන් ඩොලරයටත් ඒ වෙද්දී තිබුණු නිසා.

නමුත් ඉතිහාසයේ කිසිම දවසක ලංකාවේ රුපියල පිළිබඳව එවැනි විශ්වාසයක් ගොඩ නැගී නැහැ. පසුගිය සංඛ්‍යාලේඛණ දෙස බලද්දී පෙනී යන්නේ මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණය සහ මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය අතර අනුපාතය සමඟ ඩොලරයක මිල ගැලපෙන්නේ නැත්නම්, ඩොලරයක මිල ඉහළ ගොස් මේ තුලනය සිදු වන බවයි. 

පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ සිදු වුනෙත් මෙයයි. සල්ලි අච්චු ගැසීම නිසා රට තුළ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටීම උද්ධමනයට හේතු වුනත්, එය උද්ධමනයට හේතු වූ එකම කරුණ නෙමෙයි. විදේශ සංචිත අවසන් වී ඩොලරයක මිල ඉහළ යාමේ බලපෑම එහි විශාල ලෙස තිබෙනවා. නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීමටනම් අවම වශයෙන් සංචිත මුදල් සැපයුම හා ගැලපෙන තරමේ විදේශ සංචිත ප්‍රමාණයක් මහ බැංකුවේ පවත්වා ගත යුතු වෙනවා.

පසු ගිය ජූනි මාසය අවසන් වන විට සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,660.1ක්. ඩොලරයක මිල 299.97ක්. ඒ කියන්නේ මේ රුපියල් ප්‍රමාණය ඩොලර් කරන්න ඩොලර් මිලියන 5,534ක් අවශ්‍යයි. ඒ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 6,081ක විදේශ සංචිත තිබුණු නිසා ඩොලරයක මිල ඔය මට්ටමේ පවත්වා ගැනීමේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

ඊයේ (අගෝස්තු 27) වෙද්දී සංචිත මුදල් ප්‍රමාණය රුපියල් 1,719.2 දක්වා ඉහළ ගොස් තිබුණා. ඩොලරයක මිල රුපියල් 302.30ක්. ඩොලර් මිලියන 5,687ක විදේශ සංචිත ඇත්නම්, ඔය සංචිත මුදල් ප්‍රමාණයත් එක්ක ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ පවත්වා ගෙන යන්න පුළුවන්. දැනට දැකිය හැකි පරිදි, මහ බැංකුව විසින් සංචිත මුදල් වැඩි කරද්දී ඩොලරයක මිල සහ විදේශ සංචිත ප්‍රමාණය අතර තුලනය අවශ්‍ය අවම මට්ටමේ තියාගෙන යනවා.

නමුත් ප්‍රශ්නය වන්නේ මේ කතා කරන්නේ දළ විදේශ සංචිත ගැන මිසක් ශුද්ධ විදේශ සංචිත ගැන නොවීමයි. මහ බැංකුව සතුව අවශ්‍ය පමණ දළ විදේශ සංචිත තිබුණත්, එයින් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයට, ඉන්දියාවට සහ මූල්‍ය අරමුදලට ආපසු ගෙවිය යුතුයි. මේ සඳහා අවුරුදු කීපයක කාලයක් තිබෙන නිසා ක්ෂණික ප්‍රශ්නයක් නැතත්, අවසාන වශයෙන් මහ බැංකුවට ඔය අවශ්‍ය ප්‍රමාණයට ශුද්ධ විදේශ සංචිත හදාගන්න වෙනවා. එසේ නොකළහොත්, ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත නැවතත් අර්බුදයක් මතු වෙන්න පුළුවන්. 

පසුගිය තෙවසරක පමණ කාලය පුරා දළ විදේශ සංචිත වගේම ශුද්ධ විදේශ සංචිතද ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. නමුත් පසුගිය ජූනි මාසයේදී මේ ප්‍රවණතාවයේ වෙනසක් සිදු වී තිබුණා. එය තාවකලික තත්ත්වයක්නම් ගැටලුවක් නැතත් එසේ නොවේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ සිදු වූ දෙය සහ දැන් තත්ත්වය අතර වෙනස කුමක්ද? සංචිත මුදල් වැඩි වූ රටාවන් පමණක් සංසන්දනය කළොත් විශාල වෙනසක් පේන්නේ නැහැ. නමුත් අර්බුදයට පෙර දෙවසර තුළ සංචිත මුදල් වැඩි වුණේ මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත වල දැවැන්ත කඩා වැටීමකුත් එක්කයි. ඒ ගැන සලකා බැලූ විට පෙනෙන තත්ත්වය, සංචිත මුදල් වැඩිවීම දෙස පමණක් බලද්දී පෙනෙන තත්ත්වයට වඩා ගොඩක් භයානක තත්වයක්. දැවැන්ත කඩා වැටීමකට හේතු වුනේ ඒ භයානක සමස්ත තත්ත්වයයි. 

පසුගිය (2025) ජූනි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,418 සිට 1,667 දක්වා 17%කින් වැඩි වී තිබෙනවා. මෙය පැහැදිලි ලෙසම සැලකිය යුතු වැඩි වීමක්. ඊට කලින්, 2022 ජූනි සිට 2024 ජූනි දක්වා අවුරුදු දෙක සැලකුවොත් දැකිය හැක්කේ රුපියල් බිලියන 1,453 සිට 2.4%ක අඩු වීමක්. ඔය අඩු වීම තමයි අවධමනයකට දායක වුනේ. ඊටත් කලින් අවුරුදු දෙක සැලකුවොත්, ඒ කියන්නේ 2020 ජූනි සිට 2022 ජූනි දක්වා කාලයේදී, රුපියල් බිලියන 869 සිට 67%ක් වැඩි වීමක් දකින්න පුළුවන්. මේ වැඩි වීම රුපියල් වලින් බිලියන 584ක්. 

පසුගිය අවුරුද්දේ සංචිත මුදල් වැඩි වීම අර්බුදයට පෙර සිදු වූ සංචිත මුදල් වැඩිවීම එක්ක බලද්දී අඩු මට්ටමක් වුනත්, කණස්සල්ලට කාරණයක් නෙමෙයි කියලා කියන්න බැහැ. නමුත් මේ දෙකේ වෙනසට එකම හේතුව වැඩි වූ සංචිත මුදල් ප්‍රමාණ සහ අනුපාත අතර වෙනස නෙමෙයි.

අර්බුදයට කලින් මෙහි සඳහන් වසර දෙකක කාලය තුළ සංචිත මුදල් වැඩි වුනේ රුපියල් බිලියන 584කින් වුනත්, ඊට අමතරව ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 2,437කින් අඩු වුනා. සල්ලි අච්චු ගහලා රජයට මහ බැංකුවෙන් දුන් ණය ප්‍රමාණය (ශුද්ධ වශයෙන්) රුපියල් බිලියන 2,537කින් ඉහළ ගියා. මෙය 356%ක වැඩි වීමක්!

වෙනත් විදිහකින් කිවුවොත්, සංචිත මුදල් සැපයුම ඔය මට්ටමෙන්, ඒ කියන්නේ 67% මට්ටමෙන්, වැඩි වෙලා නැවතුණේ අච්චු ගහලා රජයට දුන් සල්ලි වලින් විශාල කොටසක් විදේශ සංචිත විකුණලා නැවත ලබාගත් නිසා. එහි ප්‍රතිඵලයක් විදිහට විදේශ සංචිත ඉවර වුනා විතරක් නෙමෙයි මහ බැංකුවට ණය වෙන්නත් සිදු වුනා. රුපියල පිළිබඳ බාහිර විශ්වාසය බිඳ වැටුනා. මූල්‍ය අරමුදලට ගිහින් සහ තවත් නොයෙක් දේවල් කරලා විදේශ අංශය තුලනය කරගෙන ඒ නැති වූ විශ්වාසය ඉතා ඉක්මණින් නැවත ගොඩ නගා ගත්තේ නැත්නම් උද්ධමනය ඔය මට්ටමෙන් නවතින්නේ නැහැ. 

පසුගිය අවුරුද්දේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. සංචිත මුදල් ප්‍රමාණය වසරක් තුළ රුපියල් බිලියන 242කින් වැඩි වී තිබුණත්, එම කාලය තුළ ශුද්ධ විදේශ සංචිත රුපියල් බිලියන 661කින් වැඩි වෙලා තිබෙනවා. ඔය කාලයේදී රජයට ණය දීමක් සිදු වෙලාම නැහැ. රුපියල් බිලියන 4ක පමණ අඩු වීමකුයි දකින්න තියෙන්නේ. ඒ නිසා, ඔය කාලය තුළ සංචිත මුදල් වැඩිවීමක් සිදු වී තිබුණත්, ඒ හේතුව නිසා රුපියල පිළිබඳ බාහිර විශ්වාසය පළුදු වීමක් සිදු වෙලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ විශ්වාසය නැවත ඇති වීමක්. මුදල් ඒකකයක් පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙද්දී ඒ මුදලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඒ ඉල්ලුම හා ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි කළා කියලා අනිවාර්යයෙන්ම උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පමණ සිට ගත වූ කාලය තුළ රටේ දළ නිල විදේශ සංචිත වල පෙනෙන වර්ධනයක් සිදු වී නැහැ. නමුත් මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත දිහා බැලුවොත් පසුගිය ජූනි මාසය දක්වා දිගටම වර්ධනයක් සිදු වී ඇති ආකාරය දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත පසුගිය සැප්තැම්බර් මාසය වන තෙක්ම තිබුණේ සෘණ පැත්තේ. ඔක්තෝබර් මාසයේදී තමයි යාන්තම් ධන පැත්තට ගියේ. 

ආණ්ඩුවේ කවුරු හෝ ඇමති කෙනෙක් පසු ගිය දවසක සෘණ තිබුණු සංචිත ධන වුනු කතාවක් කියලා තිබුණේ, මම හිතන විදිහට, මේ ගැනයි. වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ගැඹුරු ශුද්ධ විදේශ සංචිත වලක් සම්පූර්ණයෙන්ම ගොඩ කිරීමෙන් පසුවයි ආණ්ඩුව වෙනස් වුනේ. ඒ නිසා, අලුතෙන් කරන්න තිබුණේ ඒ ගොඩ කරපු වල උඩ සංචිත කන්දක් නැවත හදා ගන්න එකයි. ඊට කලින් එකතු කරගත් සංචිත සියල්ලෙන්ම කළ හැකි වූයේ අර්බුදයට පෙර හදා තිබුණු ගැඹුරු වල වහන එක පමණයි (ප්‍රස්ථාරය බලන්න).

මහ බැංකුවේ ඉලක්කය ඩොලරයක මිල රුපියල් 300 ආසන්නව තියා ගන්න එකනම් සහ සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1,800 පමණ දක්වා වැඩි කරන්න සැලසුම් කර තිබෙනවානම්, රුපියල පිළිබඳ විශ්වාසය පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 6ක පමණ සංචිතයක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය ගොඩ නගා ගන්නා තුරු මහ බැංකුව වැඩි අවධානය යොමු කර තිබුණේ දළ නිල සංචිත වැඩි කර ගන්න එකටයි. නමුත් ඔය ඩොලර් බිලියන හයේ සීමාවට ආවට පස්සේ අවුරුදු තුනක පමණ කාලයක් පැවතුනු වැල් පාලම් අවදානම ඉවත් වුනා. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ණය අඩු කර ගනිමින් ශුද්ධ විදේශ සංචිත වැඩි කර ගන්නයි.

ශුද්ධ විදේශ සංචිත වැඩි වෙනවානම් දළ විදේශ සංචිත වැඩි නොවෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ශුද්ධ විදේශ සංචිත අඩු වෙනවානම් එහි ලොකු අවුලක් තිබෙනවා. ඒ නිසා, දැන් විමසිල්ලෙන් බලා සිටිය යුතුව ඇත්තේ ශුද්ධ විදේශ සංචිත වෙනස් වෙන්නේ කොහොමද කියන එක දෙසයි. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: