වෙබ් ලිපිනය:

Saturday, June 6, 2020

කළු, සුදු හා අළු


මා කවර ආකාරයක හෝ භීෂණකාරී ක්‍රියා අනුමත නොකරන අයෙකු බව මේ බ්ලොග් එක දිගටම කියවන අය දන්නවා. භීෂණය අනුමත නොකරන මා පොලිස් භීෂණය කෙසේවත් අනුමත කරන්නේ නැහැ. පොලීසිය ඉන්නේම ජීවිත හා දේපොළ ආරක්ෂා කරන්න නිසා පොලිස් නිලධාරියෙකු අතින් ජීවිතයක් නැති වීම සාමාන්‍ය පුද්ගලයෙකු අතින් ජීවිතයක් නැති වනවාට වඩා නරක දෙයක්.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය වැරැද්දක්. සිදු විය යුතුව නොතිබුණු දෙයක්. මා කෙසේවත් එය අනුමත කරන්නේ නැහැ. එහෙත්, මේ සිද්ධිය ගැන කතා කරන්නන් පහසුවෙන් අමතක කර දමන ඇතැම් කරුණු නැවත මතක් කර ගත යුතුයි. ප්‍රශ්නයක් හඳුනාගෙන විසඳුම් හොයන්නනම් පළමුව අන්තවාදී නොවී ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි.

ඇමරිකාවේ පොලීසි කියා කියන්නේ ඒකීය පුද්ගලයින්ගේ අවශ්‍යතා මත ඔවුන් විසින් සාමූහික තීරණයකින් පිහිටුවා ගෙන  පොදු අරමුදල් වලින් නඩත්තු කරන ආයතන. පොලිස් නිලධාරියෙකුගේ කාර්ය භාරය වන්නේ අදාළ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකීමයි. වෙනත් වචන වලින් කිවුවොත් තමන් වෙනුවෙන් වියදම් දරන පුද්ගලයින්ගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කර දීමයි.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයට හේතු වූ සිද්ධි දාමය ආරම්භ වන්නේ 911 අංකයට ලැබුණු හදිසි දුරකථන ඇමතුමකින්. දුරකථන ඇමතුම දෙන්නේ "කප් ෆුඩ්ස්" කඩේ සේවකයෙක්. කඩේ අයිතිකරු මහ්මුද් අබුමයියාලේ. පලස්තීන ඇමරිකානුවෙක්. සිද්ධිය වෙන වෙලාවේ ඔහු කඩේ ඉඳලා නැහැ. කවුන්ටරේ ඉඳලා තියෙන්නේ වයස අවුරුදු 17ක බාලවයස්කරුවෙක්. දුරකථන ඇමතුම දී තිබෙන්නේ මේ දරුවා. ඇතැම් විට ග්‍රීෂ්ම නිවාඩුවේ කීයක් හෝ හොයා ගන්න වැඩ කරන දරුවෙක් වෙන්න ඇති. දුරකථන ඇමතුමේ ඉංග්‍රීසි භාවිතය අනුව බොහෝ විට සුදු හෝ කළු ඇමරිකානු දරුවෙක් නොවිය හැකියි. අයිතිකරුගේ ඥාතියෙක් වෙන්නත් පුළුවන්.

දුරකථන ඇමතුම අනුව කඩේට පැමිණි පුද්ගලයෙක් බඩු අරගෙන මුදල් ගෙවීමෙන් පසුව මුදල් ගෙවා ඇත්තේ හොර නෝට්ටු වලින් බව පෙනී ගොස් තිබෙනවා. කවුන්ටරයේ සිටි දරුවා එම පුද්ගලයා පසුපස ගොස් මුදල්, ජංගම දුරකථනය හෝ සිගරැට් ආපසු දෙන මෙන් ඉල්ලා ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දුරකථන සංවාදය අනුව පැහැදිලි නැතත් ජංගම දුරකථනය ඉල්ලුවේ මුදල් ගෙවන තුරු ඇපයක් ලෙස වෙන්න පුළුවන්. පසුව මහ්මුද් අබුමයියාලේ විසින් සඳහන් කර තිබුණු පරිදි මේ පුද්ගලයා (ජෝජ් ෆ්ලොයිඩ්) ඔහුගේ කඩේට නිතර ආ ගිය ඔහු දන්නා කෙනෙක්.

දුරකථන ඇමතුම අනුව කඩේට පැමිණි පුද්ගලයා තමන්ට තමන්ව පාලනය කර ගත නොහැකි තරමට හොඳටම මත් වී සිටින පුද්ගලයෙක්. ඔහු දැන් කඩේ ඉදිරිපස මෝටර් රථයකට වී ඉන්නවා. ඒ අනුව, පොලිස් කණ්ඩායමක් වහාම සිද්ධිය වූ තැනට එනවා.

පොලිස් කණ්ඩායම වහාම එන්නේ අදාළ පුද්ගලයා තමන්ට තමන්ව පාලනය කර ගත නොහැකි තරමට හොඳටම මත් වී සිටින බවට ලැබුණු තොරතුරටද බරක් තබා විය යුතුයි. ඊට අමතරව මේ ප්‍රදේශය පොලිස් සුපරික්ෂාව යටතේ තිබෙන අපරාධ වැඩි ප්‍රදේශයක් කියා හිතන්න පුළුවන්.

ජෝජ් ෆ්ලොයිඩ් පොලිස් අණට අවනත වන්නේ නැහැ. චෝවින් ඔහුගේ දණහිස ෆ්ලොයිඩ්ගේ ගෙල මත තබා පීඩනයක් දමන්නේ ඔහුව අවනත කර ගැනීමේ අරමුණින් මිස මරා දැමීමේ අරමුණින් නෙමෙයි. මේ ක්‍රියාව පොලිස් අත් පොතේ තිබෙන, ඔවුන්ගේ පොලිස් පුහුණුවේ කොටසක් වන ක්‍රියාවක්. එවැන්නක් කළ යුතු අවස්ථාද පුහුණුවට ඇතුළත්. එහෙත්, මේ අවස්ථාව එවැනි අවස්ථාවක් නෙමෙයි. මෙය පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ සීමාව ඉක්මවා යාමක්.

පොලිස් නිලධාරියෙකු තමන්ගේ සීමාව ඉක්මවා යාමෙන් ජීවිතයක් හානි වූ විට එයට දඬුවම් හිමි විය යුතුයි. අධිකරණය හරහා එය සිදු විය යුතු නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. මේ අවස්ථාවේදීද අපක්ෂපාතී ලෙස හා කාර්යක්ෂම ලෙස ඒ කටයුත්ත සිදු වී තිබෙනවා. කිසිදු දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු විසින් අධිකරණයට බලපෑම් කර නැහැ. ඒ වගේම අධිකරණය මහජන උද්ඝෝෂණ වල පීඩනයට යටත්ව තීන්දු දිය යුතුත් නැහැ. පොලිස් නිලධාරියෙකු අතින් තමන්ගේ සේවය ඉටු කරන්නට යාමේදී සිදුවන නොදන්නා පුද්ගලයෙකුගේ මරණයක් පිළිබඳව තීන්දුවක් දීම ක්ෂණිකව කළ හැක්කක් නෙමෙයි. දෙපැත්තටම කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් දෙන්න වෙනවා.

පොලිස් නිලධාරීන් සෘජුවම චුදිතයින් වී සිටින මේ වගේ නඩුවකදී ඔවුන් අපක්ෂපාතී ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වීම විහිළුවක්. ඔවුන් අනිවාර්යයෙන්ම බලන්නේ තමන් බේරෙන්නේ කොහොමද කියලයි. මේ වන විට කවුරුත් දැක තිබෙන වීඩියෝව නොවන්නට සිද්ධිය හා අදාළ සියලු කරුණු අධිකරණය හමුවේ එළිදරවු වෙන්නේ නැහැ. මෙවැනි වෙනත් අවස්ථා වලදී සීමාව ඉක්මවා යන පොලිස් නිලධාරීන් ඕනෑ තරම් නිදහස් වෙනවා ඇති.

මේ සියලු සිද්ධි වලට කළු සුදු භේදය බලපාන්නේ කොහොමද? චෝවින් ෆ්ලොයිඩ්ගේ ගෙල මත අවම බලය වෙනුවට මාරාන්තික බලය යෙදීමට චෝවින් සුදු ජාතිකයෙක් වීමත්, ෆ්ලොයිඩ් කළු ජාතිකයෙක් වීමත් බලපෑවාද? සීමාව ඉක්මවා යන සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරුණු විට පොලිස් නිලධාරියා නිදහස් වෙන්නේ කළු සුදු භේදයක් නිසාද?

මේ වගේ කරුණක් දිහා සරලව බලන්න බැහැ. මතුපිටින් පෙනෙන විදිහට සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරෙනවා තමයි. නමුත්, ඒ හේතුව නිසාම මෙය කළු සුදු ප්‍රශ්නයක් කියා කියන්න බැහැ. පොලිස් නිලධාරියා කළු ජාතිකයෙක් වුනානම් ෆ්ලොයිඩ් තවමත් ජීවත් වෙනවාද? ෆ්ලොයිඩ් සුදු ජාතිකයෙක් වුනානම් ඔහු තවම ජීවත් වෙනවාද? මේ වගේ ප්‍රශ්නයකට විද්‍යාත්මක පිළිතුරක් හොයන එක ගොඩක් සංකීර්ණ වැඩක්. ඒ නිසා, සුදු ජාතිකයෙක් අතින් කළු ජාතිකයෙකු මිය ගිය පමණින් එහි කළු සුදු ප්‍රශ්නයක් තිබෙන බව කියන්න බැහැ. නැති බව කියන්නත් බැහැ.

සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මිය ගිය විට කළු ජාතිකයින් ඒ ගැන සංවේදී වෙනවා. තමන් කළු ජාතිකයින් වීම නිසා අසාධාරණයට ලක් වන බව ඔවුන් හිතනවා. නීතියෙන් කොයි තරම් සීමා දැම්මත් ජාතිවාදය කියන එක මුළුමනින්ම තුරන් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, කළු ජාතිකයින්ගේ කණස්සල්ල පදමනක් නැති එකක් කියා බැහැර කරන්න බැහැ. මේ කාරණයේදී කළු ජාතිකයින් සමඟ එකඟ වන සුදු ජාතිකයින් හා වෙනත් අයද විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට තමන්ගේ විරෝධතාව දක්වන්න තිබෙන අයිතිය ඇමරිකානුවන් විසින් පිළිගන්නා දෙයක්. ඒ වගේම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබෙන අයිතියක්.

ඇතැම් විට මේ විරෝධතාකරුවන් අතර සිටින පිරිස් සීමාව ඉක්මවා යනවා. එවැනි අවස්ථා වලට විශාල මාධ්‍ය අවධානයක් හිමි වෙනවා. එහෙත්, සමස්තයක් ලෙස බොහෝ විරෝධතා සාමකාමීයි.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය විරෝධතා වලට ආසන්න හේතුවක් පමණයි. මේ විරෝධතා හරහා මතු වන්නේ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබුණු ප්‍රශ්නයක්.

ආදායම, අධ්‍යාපන මට්ටම්, සෞඛ්‍යය වගේ කොයි දෙයක් බැලුවත් කළු ජාතිකයින් ඉන්නේ පසුපසින්. පොලිස් නිලධාරියෙකු අතින් මරණයට පත් වීමට තිබෙන සම්භාවිතාව බැලුවත් මේ වෙනස කැපී පෙනෙනවා. එහෙත් සැබෑ ප්‍රශ්නය වන්නේ මෙයයි. කළු ජාතිකයෙකුට කළු ජාතිකයෙකු වීම නිසා තිබෙන ප්‍රශ්න මොනවාද?

ජෝජ් ෆ්ලොයිඩ් සිදු වීමෙන් බැහැර වී පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතිකයෙකු මිය යන්න වැඩි ඉඩක් තිබෙනවාද කියන කරුණ පිළිබඳව පමණක් අපි දැනට පොදුවේ අවධානය යොමු කරමු.

පොලිස් නිලධාරියෙකුට ඇතැම් තත්ත්වයන් යටතේදී තීරණයක් ගන්න තිබෙන්නේ ඉතාම කෙටි කාලයක්. ඒ වගේ වෙලාවක ලොකු විශ්ලේෂණ කර කර ඉන්න බැහැ. ක්ෂණිකව ගිණි අවියට අත යනවා. මෙහිදී තීරණය ගැනෙන්නේ ඔවුන්ගේ පුහුණුව හා පූර්ව නිගමන මත පදනම්ව අවිඥානිකවයි.

තමන් ඉදිරියේ සිටින පුද්ගලයා සතුව අවියක් තිබෙනවාද කියන එක මේ විදිහට ක්ෂණිකව තීරණය කළ යුතු දෙයක්. පොලිස් නිලධාරියා විසින් කළු ජාතිකයින් ජීවත් වන ප්‍රදේශයකදී හමු වන අහඹු පුද්ගලයෙක් අතේ ගිණි අවියක් තියෙන්න වැඩි ඉඩක් තිබෙනවා කියන පූර්ව නිගමනයේ සිටියොත් කළු ජාතිකයෙකුට එරෙහිව වඩා ඉක්මණින් ගිණි අවිය පත්තු වෙන්න ඉඩ තිබෙනවා. පොලිස් නිලධාරීන් අතින් නිරායුධ කළු ජාතිකයින් වැඩිපුර මිය යන්නත් ඉඩ තිබෙනවා.

පරිගණක සමාකරණය මගින් මෙවැනි තත්ත්වයක් තිබේදැයි හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කර තිබෙනවා. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් 50 දෙනෙකු යොදාගෙන සිදු කළ පරිගණක සමාකරණ අධ්‍යයනයක් [1] මත 2005දී ප්‍රකාශිත පර්යේෂණ ප්‍රතිඵල අනුව පොලිස් නිලධාරියෙකු විසින් නිරායුධ කළු ජාතිකයෙකුට වෙඩි තියන්න තිබෙන සම්භාවිතාව නිරායුධ සුදු ජාතිකයෙකුට වෙඩි තියන්න තිබෙන සම්භාවිතාවට වඩා වැඩියි. එහෙත්, නිසි පුහුණුවක් ලබා දීමෙන් මේ තත්ත්වය වෙනස් කළ හැකියි.

කොලරාඩෝ සරසවියේ සිසුන් 69 දෙනෙකු යොදාගෙන සිදු කළ පරිගණක සමාකරණ අධ්‍යයනයකට අනුව ඔවුන් කළු ජාතිකයෙකු දුටු විට සුදු ජාතිකයෙකු දුටු විටදීට වඩා ඉක්මණින් ගිණි අවිය පත්තු කරන නමුත් ආසියානු පෙනුම ඇති අයෙකුට ගිණි අවිය පත්තු කරන්නේ සුදු ජාතිකයෙකුට පත්තු කරනවාටත් වඩා කල් ගැනීමෙන් පසුවයි. මෙයින් තහවුරු වන්නේ අනෙක් පුද්ගලයා අනතුරුදායක පුද්ගලයෙක් වීම පිළිබඳව තිබෙන පූර්ව උපකල්පනයයි. පොලිස් නිලධාරීන් 80 දෙනෙකු යොදාගෙන සිදු කර ඇති 2016දී ප්‍රකාශිත වෙනත් අධ්‍යනයකට අනුව පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුට වෙඩි තියන්නේ සුදු ජාතිකයෙකුට වෙඩි තියනවාට වඩා කාලයක් අරගෙනයි [3].

ඉතාම අලුත් පර්යේෂණ පත්‍රිකාවකට අනුව හමේ පැහැය ඈතට නොපෙනෙන තරම් අඳුර වැටීමෙන් පසුව පොලීසිය විසින් වාහන නවත්වද්දී කළු ජාතිකයින්ගේ වාහන නවත්වන්නේ දවල් කාලයේදී නවත්වනවාට වඩා අඩුවෙන් [4]. මේ වගේ දෙයකින් කියවෙන්නේ කළු ජාතිකයින් පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ පූර්ව නිගමනයන් ඇති බවයි. මෙය හරියට එල්ටීටීඊ ප්‍රශ්නය තිබුණු කාලයේදී චෙක් පොයින්ට් එකකදී දෙමළ සේ පෙනෙන අයෙකු පරීක්ෂාවට ලක් වීමට වැඩි ඉඩක් තිබීමට සමානයි.

කළු ජාතිකයෙකු අපරාධකරුවෙකු වීමට වැඩි ඉඩක් තිබෙන බවට පූර්ව නිගමනයක ඇමරිකාවේ පොලිස් නිලධාරීන් සිටින බව පැහැදිලි කරුණක්. ඔවුන් එසේ සිතන්නේ පදනම් විරහිතවද නෙමෙයි. එහෙත් මේ පූර්ව නිගමනය අහිංසක කළු ජාතිකයෙකුගේ ජීවිතය හා මරණය වෙන් කර අඳින ඉරක් වෙන්න පුළුවන්. පොලිස් නිලධාරියා සුදුද කළුද කියන එක මත මේ පූර්ව නිගමනය වෙනස් වෙනවාද? තවත් මෑතකාලීන පර්යේෂණයකට [5] අනුව පොලිස් නිලධාරියා කළු ජාතිකයෙකු වුවා කියා තත්ත්වය තවත් නරක අතට මිස හොඳ අතට වෙනස් වෙන්නේ නැහැ.

කළු ජාතිකයින්ට කළු ජාතිකයින් වීම නිසා අසාධාරණයක් වෙනවාද කියන එක එක එල්ලේ නිගමනය කළ හැකි සරල දෙයක් නෙමෙයි. එහෙත්, බොහෝ දෙනෙක් එසේ විශ්වාස කරනවා. මේ විශ්වාස වල පැහැදිලි දේශපාලනික බෙදීමක් තිබෙනවා. ඒ බෙදීම පර්යේෂණ ප්‍රතිඵල වලටත් බලපානවා.

දේශපාලන බෙදීමේ එක පැත්තක ඉන්න අයට අනුව කළු ජාතිකයින් කළු ජාතිකයින් වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්නයක් නැහැ. මේ වචන මගේ වචන වුනත් අදහස මේ වගේ එකක්. මේ මතය අනුව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට තමන්ගේ දක්ෂතාවය හා උනන්දුව මත ඉහළ යන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා, කළු ජාතිකයින්ට විශේෂ අවස්ථා ලබා දිය යුතු නැහැ.

කළු ජාතිකයින්ගේ ජීවන තත්ත්වය පහළ මට්ටමක තිබීමට හේතුව අධ්‍යාපනය, චර්යාවන් ආදී කරුණු මිස කළු ජාතිකයෙකු වීමම නොවන බව දත්ත ඇසුරෙන් පර්යේෂණාත්මකව පෙන්වා දිය හැකි කරුණක්. එහෙත්, කළු ජාතිකයින් අධ්‍යාපනය, චර්යාවන් ආදී කරුණු වලින් වෙනස් තැනක ඉන්නේ ඇයි කියන එක දේශපාලනික කරුණක්. එය ඔවුන්ගේ වැරැද්දක්ද නැත්නම් සමාජ ක්‍රමයේ වැරැද්දක්ද?

දේශපාලන බෙදීමේ අනෙක් අන්තයේ ඉන්න අයට අනුව කළු ජාතිකයින් අද සිටින තත්ත්වයේ සිටීමට ඓතිහාසික කරුණු හේතු වී ඇති නිසා ඔවුන්ට වූ ඓතිහාසික වැරැද්ද නිවැරදි වන තුරු ඔවුන්ට විශේෂ සැලකිලි හිමි විය යුතුයි. මෙය රතු ඉන්දියානුවන් වැනි වෙනත් අයටත් අදාළයි.

කාලයක් තිස්සේ මේ දෙවන මතයට ඇමරිකානු දේශපාලනයේ වැඩි ඉඩක් හිමි වුනා. එහිදී තමන්ට අසාධාරණයක් සිදු වන බව සුදු ඇමරිකානුවන්ට පෙනුනා. විශේෂයෙන්ම සුදු ඇමරිකානු පිරිමින්ට. එක පැත්තකින් බැලුවහම වත්මන් පරම්පරාවට වන්දි ගෙවන්න වී තියෙන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් කළ වරදකට. මගේ එක සුදු ජාතික මිතුරෙක් "නේටිව් ඇමරිකන්" කියන යෙදුමට දැඩි සේ විරුද්ධයි. ඔහු කියන්නේ තමන් ඉපදුනේ ඇමරිකාවේ නිසාත්, තමන්ට වෙනත් කිසිම රටක් නැති නිසාත්, තමන්ද නේටිව් ඇමරිකන් කෙනෙක් බවයි. ඒ නිසා, එක් කණ්ඩායමක් පමණක් එසේ හැඳින්වීම වැරැද්දක් බවයි.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වුනේ ඇමරිකාවේ සුදු ජාතිකයන්ගේ පීඩනය. එහෙත්, ට්‍රම්ප් මතුවීමත් සමඟම කළු ජාතිකයින්ගේ පීඩනය ඉහළ ගියා. දැන් කැකෑරෙමින් එළියට එන්නේ ඒ පීඩනයයි. ඇමරිකාවේ ප්‍රශ්නය පවතින සමාජ ක්‍රමය ඇතුළේ එක් එක් කණ්ඩායමට වෙන් කෙරෙන අවකාශය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ධනවාදය පිළිබඳ හෝ ඇමරිකානු අර්ථ ක්‍රමයේ පදනම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අවකාශය තීරණය විය යුත්තේ ධනවාදය ඇතුළේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියේ හෙට්ටු කිරීම් මතයි. සාමකාමී විරෝධතා කියන්නේත් එහි කොටසක්. මේ වගේ කරුණකදී හරි දේ තීරණය කළ හැකි වෙන විදිහක් නැහැ. එය දැන් සිදු වෙමින් තිබෙනවා.

Reference

[1] Plant, E. A., & Peruche, B. M. (2005). The consequences of race for police officers' responses to criminal suspects. Psychological Science, 16(3), 180-183.

[2] Sadler, M. S., Correll, J., Park, B., & Judd, C. M. (2012). The world is not black and white: Racial bias in the decision to shoot in a multiethnic context. Journal of Social Issues, 68(2), 286-313.

[3] James, L., James, S. M., & Vila, B. J. (2016). The Reverse Racism Effect: are cops more hesitant to shoot black than white suspects?. Criminology & Public Policy, 15(2), 457-479.

[4] Pierson, Emma, et al. "A large-scale analysis of racial disparities in police stops across the United States." Nature human behaviour (2020): 1-10.

[5] Johnson, D. J., Tress, T., Burkel, N., Taylor, C., & Cesario, J. (2019). Officer characteristics and racial disparities in fatal officer-involved shootings. Proceedings of the National Academy of Sciences, 116(32), 15877-15882.

14 comments:

  1. George Floyd පමණක් නොව පොලිසිය විසින් 75 වියැති සුදු මිනිසෙකු තල්ලුකර පෙරලාදමන වීඩියෝවක් අන්තර්ජාලයේ දකින්නට ලැබෙනවා.පොලිස් අත්පොත හැරෙන්නට වෙන පොතක් පතක් නොකියවපු මෙවැනි පොලිස් කාරයින්ට දඬුවම් ලැබිය යුතු අතර පසු කලෙක දඬුවම් කාලයද අඩු නොවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ සේවය අත්හිටුවීමට විරෝධය පළ කරමින් එම පොලිස් කණ්ඩායමේ 57 දෙනෙකු එක වර ඉල්ලා අස් වී තිබෙනවා. මිනිස්සු ඉන්නේ තනිකරම අන්ත දෙකක.

      Delete
    2. ඔබගේ ලිපිය ගැන එකග වුවත් කළු ජාතිකයෙක් වීම නිසා විනාඩි අටක් තද කරගෙන සිටීම සුදු එකෙකුට කරන්නේ නැහැ අනික ඔබගේ ලිපියේ පොලිසියට අවනත නොවුව කියන එක වැරදී NBC / CBS වලත් පෙන්නුවා අවට CCTV දර්ශන එකතුකර නිපදවූ වීඩියෝව ඔහු මත ගතියෙන් සිටියත් කළහ කාරී වුනේ නැහැ විශේෂයෙන් කොහොම කීවත් බහුතර සුද්දන් අතර කල්ලන් පහත ගනයේ ලා සැලකීමක් තියෙනවා නමුත් එක එළිපිට පෙන්නන්නේ නැහැ discriminate කරන්නේ නැහැ නමුත් රහසින් හෝ පවු කරනවා මා දන්නා අයෙක් කල්ලන් හදුන්වන්නේ worst creatures of the earth නමුත් ඔහු ජාතිවාදියෙක් නොවේ මෙය කල්ලන්ගේ මුල් බැසගත් ප්‍රශ්නයක් ලොකු සංවාදයක් ... ටික කාලයක පටන් ඔබගේ ලිපි කියවෙවුවත් ඔබවැනි අයෙක් හා කතාකලයුතු බොහෝ ඇත මගේ email ලිපිනටය අමතුවහොත් මහත් සේ අගේ කරමි

      Delete
    3. මෙහි ඇත්තේ ජෝජ් ෆ්ලොයිඩ් ගේ මරණයේ සැබෑ Visual Investigations
      https://www.youtube.com/watch?v=vksEJR9EPQ8&bpctr=1591374960

      Delete
    4. //ඔබගේ ලිපිය ගැන එකග වුවත් කළු ජාතිකයෙක් වීම නිසා විනාඩි අටක් තද කරගෙන සිටීම සුදු එකෙකුට කරන්නේ නැහැ//

      මමත් පෞද්ගලිකව එසේ සිතනවා. එහෙත් මෙය subjective judgment එකක්. වෙන කෙනෙක්ට වෙන විදිහකට හිතන්නත් පුළුවන්. ඔතැන සුදු ජාතිකයෙක් හිටියානම් වෙන්නේ කුමක්ද කියා (ප්‍රතිපරිසිද්ධික තත්ත්වය - counterfactual situation) අප කිසිවෙකු නිරීක්ෂනය කර නැහැ. අපට කළ හැක්කේ උපකල්පන කිරීම පමණයි.

      //අනික ඔබගේ ලිපියේ පොලිසියට අවනත නොවුව කියන එක වැරදී NBC / CBS වලත් පෙන්නුවා අවට CCTV දර්ශන එකතුකර නිපදවූ වීඩියෝව ඔහු මත ගතියෙන් සිටියත් කළහ කාරී වුනේ නැහැ//

      ඔව්. ඔහු කලහකාරී වී නැහැ. මාරාන්තික බලය යෙදීම වැරැද්දක් වෙන්නේ ඒ නිසයි. නමුත්, ඔහු පොලිස් අණට එක වර අවනත වන්නේත් නැහැ. පොලීසියට අනුව මෝටර් රථයෙන් එළියට එන්න කියද්දී, මාංචු දමන්න යද්දී හා නැවත පොලිස් රථයට ඇතුළු කරගන්න හදද්දී අණට අවනත නොවී විරුද්ධත්වය පල කර තිබෙනවා. පොලිස් රථයට ඇතුළු කරගන්න හදද්දී විරුද්ධත්වය පළ කරන බව පැහැදිලිව පෙනෙනවා. වරක් මාව රථවාහන වරදකට නැවැත්වූ අවස්ථාවක මගේ ලියකියවිලි අරන් ගිහිං සෑහෙන වෙලාවක් ප්‍රමාද වෙද්දී මම වාහනයෙන් බැහැලා පොලිස් වාහනය පැත්තට යන්න හදද්දීම නැවත වාහනයට යන්න කියා පොලිස් නිලධාරියා කෑ ගැහුවා (අණ කළා). මම ආපහු නැග්ගා. සියල්ල අවසන්ව අහන්න තියෙන දෙයක් අහන්න කියපු වෙලාවේ ඔහුගෙන් ඒ ගැන ඇහුවා. එහිදී ඔහු කිවුවේ මා වාහනයෙන් බැස ඔහු දෙසට එද්දී ඒ එන්නේ ඔහුට අනතුරක් කරන්න කියා සිතී වෙඩි තියන්න ඉඩ තිබෙන බවයි. හරි හෝ වැරදි හෝ තත්ත්වය ඒකයි. ඉන් පසුව එවැනි අවස්ථාවක වාහනය නවත්වා අත් දෙක හොඳින් පෙනෙන සේ සුක්කානම මත තියා ගෙන ඉන්නවා.

      //විශේෂයෙන් කොහොම කීවත් බහුතර සුද්දන් අතර කල්ලන් පහත ගනයේ ලා සැලකීමක් තියෙනවා නමුත් එක එළිපිට පෙන්නන්නේ නැහැ discriminate කරන්නේ නැහැ නමුත් රහසින් හෝ පවු කරනවා මා දන්නා අයෙක් කල්ලන් හදුන්වන්නේ worst creatures of the earth නමුත් ඔහු ජාතිවාදියෙක් නොවේ මෙය කල්ලන්ගේ මුල් බැසගත් ප්‍රශ්නයක් ලොකු සංවාදයක් ... //

      එකඟයි.

      //ටික කාලයක පටන් ඔබගේ ලිපි කියවෙවුවත් ඔබවැනි අයෙක් හා කතාකලයුතු බොහෝ ඇත මගේ email ලිපිනටය අමතුවහොත් මහත් සේ අගේ කරමි//

      economatta@gmail.com හරහා සම්බන්ධ විය හැකියි.

      Delete
  2. 83 කළු ජූලියේදි නම් හිටියේ කළු සිංහලයෝ සහ සුදු දෙමෙල්ලු.

    ReplyDelete
  3. ඔබ විසින් ලියන්නට යෙදුන පැරණි ලිපියක..
    http://emgesathapaha.blogspot.com/2016/06/blog-post_28.html

    //ආරම්භයේදී පුද්ගලයෙකුට ප්‍රාග්ධනය හෝ ඉඩම් වැනි ස්වභාවික සම්පත් හිමි කරගත හැක්කේ දෙමවුපිය උරුමයෙනි. එහෙත්, මේ වාසිය සියල්ලන්ටම එකසේ නොලැබේ. ඒ නිසා, ප්‍රාග්ධනය හා/හෝ ස්වභාවික සම්පත් හිමිකම 'වාසනාවට' ලැබෙන පුද්ගලයෙකුට එසේ නොලැබෙන කෙනෙකුට වඩා වැඩි ආරම්භක වාසියක් තිබේ. //

    ඒ ලිපියේම තවත් තැනක..

    // අධ්‍යාපනය නොමිලේ ලබා ගැනීමේ ආරම්භක වාසනාව...//

    ආදි ලෙසින් සටහන් වෙනවා.

    1. ධනවාදය යනු ස්වභාවික ප්‍රපංචයක් නොහොත් නොවැලැක්විය හැකි දෙයක් ලෙසට ඔබ අර්ථ දක්වයි. එසේ නම් එම ප්‍රපංචයට 'වාසනාව' වැනි subjective සංකල්ප එකතු වන්නේ කෙසේද? එනම්, මගේ පියාගේ පියා මඟින් මට දේපල, වතුපිටි, හරකා බාන උරුම වෙන්නත්, මගේ පාසැලේ පියල් (ආරූඪ නාමයකි) හට තවමත් ඉන්න ගෙයක් හෝ නැත්තේ ඔහුගේ අවාසනාව සහ මගේ වාසනාව නිසාම නොවෙයි නේද?

    2. එසේම නිශ්පාදන සාධක අතුරින් Labour power එක ගැන තමයි මාක්ස් අවධානය යොමු කලේ. ධනේශ්වර ආර්ථික ක්‍රමය labour power එක දකින්නේත් මාක්ස් දැකපු විධියටම නේද? නැත්නම්, ඇමරිකානු cotton industry එකට, බෙල්ජියම් කොන්ගෝවල රබර් වගාවට, බ්‍රිතාන්‍ය තේ වගාව ආදියට ස්වදේශික ශ්‍රමය සමඟ කේවල් කරන්න සිදු වුනානම් අද ආර්ථික විද්‍යාව, මීට වඩා, වෙනස් පරාමිතියක නොපවතීද?

    කෙටියෙන්ම කිව්වොත් , ප්‍රාග්ධනය සංචිත කිරීමේ එකම මඟ අරපරිස්සමින් යුතුව , සතෙන් සතේ -රුපියලෙන් රුපියල එකතු කිරීම, කොටස් විකිණීම, ආධාර එකතු කිරීම පමණක් නොවෙයි නේද?

    3. පොලිස් කාරයෝ 57 නොවෙයි; මුලු පොලෝසියම ඉල්ලා අස් වුනත්- පොලිස් නිලධාරීන්ගේ මෙම ක්‍රියාව ධනේශ්වර රාජ්‍යයක පදනමේ කොටසකට එල්ල කරන ලද, කඩාකප්පල්කාරී, මැරවර මුහුණුවරක් ගත් මරු පහරකි.- අදාල පොලිස් කොමසාරිස්වරයා එසේ ඉල්ලා අස්වූ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නඩු නොපැවරුවේ ඔහුට වුනත් තමන් නියෝජනය කරන පන්තියේ පංතිමය විඥානය/class consciousness ගැන අදහසක් නැති නිසායි.

    CP-C

    ReplyDelete
    Replies
    1. 1a. ස්වභාවිකත්වය කියන එක නිශ්චිත හෝ වෙනස් නොවන දෙයක් නෙමෙයි. මේ වචනයම වුවත් තේරුම් ගන්න වෙන්නේ සන්දර්භය අනුවයි. ධනවාදය ස්වභාවිකයි කියන එකෙන් මා හැමවිටම වාගේ අදහස් කර තිබෙන්නේ මිනිස්සු ස්වභාවිකව හිතන හා ක්‍රියා කරන ආකාරය සමඟ ධනවාදය ගැලපෙනවා කියන එකයි. එහෙමත් නැත්නම් එසේ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන (ප්‍රාග්ධනය එකතු වීම වැනි) තත්ත්වයක් ගැනයි. හරියටම කියනවානම් බොහෝ මිනිස්සුන්ට බොහෝ අවස්ථා වල තමන් සතු විකල්ප අතරින් තමන්ට වඩාත්ම වාසිදායක දෙය තෝරා ගැනීමට හැකි හා අවශ්‍ය වීමේ ස්වභාවික පෙළඹුම ගැන. එවැනි පෙළඹුමක් නැති මිනිස්සු පරිණාමයේදී ඉතිරි වෙන්නේ නැහැ. සමාජවාදී අර්ථ ක්‍රමයකින් කරන්නේ මිනිස්සුන්ට තිබෙන විකල්ප සීමා කරන එක. එසේ කළත් මිනිස්සු තමන්ට තිබෙන සීමිත විකල්ප අතරින් තමන්ට වඩාත්ම වාසිදායක දෙය තෝරා ගන්නවා. එය වළක්වන්න බැහැ. මම නොවැලැක්විය හැකියි වගේ දෙයක් කියා ඇත්නම් ඒ කියා ඇත්තේ මේ කරුණ ගැන විය යුතුයි.

      1b ."වාසනාව" කියන වචනය මම ලිපි වල යොදා තිබෙන්නේ වඩා සංකීර්ණ තාක්ෂණික වචන නොයොදා කියන දෙය පහසුවෙන් විස්තර කරන්නයි. මේ වචනය මම යොදන්නේ අහඹු / සසම්භාවී යන අර්ථයෙන්. මම කලින් ප්‍රතිචාරයක සඳහන් කළ පරිදි සංඛ්‍යානයේදී අහඹු/ සසම්භාවී කියන වචන වලට සරල අර්ථයක් දෙන්න අමාරුයි. අවුරුදු ගාණක් හැදෑරිය යුතු විෂය කරුණු ගොඩක් මේ සංකල්ප ආශ්‍රිතව තිබෙනවා.

      ආර්ථික විද්‍යා ආකෘති කියන්නේ ලෝකයේ පවතින කිසියම් තත්ත්වයක් පැහැදිලි කර ගැනීමට හා තේරුම් ගැනීමට යොදා ගන්නා මෙවලම් මිසක් ලෝකයේ පවතින සැබෑ තත්ත්වය නෙමෙයි. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යොදා ගෙන පොල් ගෙඩියක් වැටෙන එක පැහැදිලි කරනවා වගේ. කිසියම් දෙයක් පැහැදිලි කරන්න ආකෘතියක් ගොඩ නගද්දී ඒ ආකෘතියෙන් අවශ්‍ය දෙය පැහැදිලි කිරීම ප්‍රමාණවත්. ආකෘතියෙන් පිට අවශේෂ කරුණු ඕනෑ තරම් තිබෙනවා. ආකෘතියකින් පිට තීරණය වන හැම දෙයක්ම ආකෘතිකට අවශ්‍ය නැති වුනත් සමහර දේවල් ආකෘතියකට අවශ්‍යයි. එහෙත්, ඒවා ආකෘතිය ඇතුළේ තීරණය වෙන්නේ නැහැ.

      ගොඩක් ආකෘති වල ආකෘතිය ඇතුළේ තීරණය වෙන දේවල් (endogenous) සහ ආකෘතියෙන් පරිබාහිරව තීරණය වන දේවල් (exogenous) තිබෙනවා. ඇතැම් තාපගතික ආකෘති වල නියත වගේ. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ නියතය වගේ. ආකෘතිය විස්තර කරන්න මේ නියත අවශ්‍යයි. භෞතික විද්‍යා ආකෘති වලට මේ විදිහට පරිබාහිරව ඇතුළු වන විචල්‍ය බොහෝ විට නියත ලෙස ඇතුළු වෙනවා. එයට හේතුව භෞතික විද්‍යා ආකෘතියක නියතයක් විශ්වයටම පොදු වීමයි. අපි හිතමු මේ වගේ විශ්වයන් අනන්ත ප්‍රමාණයක් තිබෙනවා කියා. ඒ එක් එක් විශ්වයට වෙනත් නියත තියෙන්න පුළුවන්. නමුත්, අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට අවශ්‍ය අපේ විශ්වයේ කරුණු සිදුවන ආකාරය පැහැදිලි කරන්න පමණයි. ඒ සීමාව ඇතුළේ ආකෘතියට ගැලපෙන නියතය මේ නිශ්චිත අගයම වීම අහම්බයක්. නමුත්, ඔය වගේ විශ්ව විශාල ගණනක් අපට නිරීක්ෂණය කළ හැකිනම් එම නියතය ඒ අගයම වුනේ කොහොමද කියන එක පැහැදිලි කරන්න අපට වෙනත් ප්‍රවාදයක් හදන්න පුළුවන්.

      සමාජ විද්‍යාවක විෂය පථය පුද්ගලයෙක්. ඒ නිසා හැම පුද්ගලයෙක්ම තනි විශ්වයක් වගේ. ඔබ ඉපදෙන කොට පවතින, ඔබෙන් පරිබාහිරව තීරණය වී තිබෙන තත්ත්වයන් ඔබට සාපේක්ෂව අහම්බයන්. ඒවා ඔබට වෙනස් කරන්න බැහැ. ගුරුත්වාකර්ෂණ නියතය වගේ. නමුත්, ඒ නියතයන් තීරණය වෙන්නේ කොහොමද කියලා වෙනත් ආකෘතියක් යොදාගෙන විස්තර කරන්න පුළුවන්. ඔබ ලොතරැයියක් මිල දී ගත් විට දිනුමක් හිමි වෙනවාද නැද්ද කියන එක ඔබට සාපේක්ෂව අහම්බයක්. නමුත්, එසේ හිමි වන තෑගි මුදල් සියල්ල ලොතරැයි නිකුත් කරන පුද්ගලයා විසින් නිශ්චිතව සැලසුම් කර තිබෙනවා. ලොතරැයි සියල්ලේම තිබෙන තෑගි ප්‍රමාණය අහම්බයක් නෙමෙයි. මගේ පියාගේ පියා මඟින් මට දේපල, වතුපිටි, හරකා බාන උරුම වෙනවද කියන එකත් මට නිදහස් අධ්‍යාපනය ලැබෙනවාද කියන එකත් මට සාපේක්ෂව අහම්බයන්. ඒවා මට වෙනස් කරන්න බැහැ. ස්වභාවිකව ලෝකයේ කිසිම දෙයක් අහඹු ලෙස මිස සමානව බෙදී යන්නේ නැහැ. පියල් හට තවමත් ඉන්න ගෙයක් නැති වීම ඔහුට සාපේක්ෂව වුවත් තනිකරම අහම්බයක් නෙමෙයි. එය ඔහුට පාලනය කළ හැකි හා නොහැකි දේවල් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක්. ඔහුට උපතේදී ඔහුගේ පියාගේ පියා මඟින් කොයි තරම් දේපොළ ලැබුණත් ඔහු ඒවා නිසි පරිදි ආයෝජනය නොකර පරිභෝජනය කර අවසන් කර දැම්මොත් ඉතා ඉක්මණින් ඔහු කිසිදු ප්‍රාග්ධනයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්.

      Delete
    2. 2a. //ධනේශ්වර ආර්ථික ක්‍රමය labour power එක දකින්නේත් මාක්ස් දැකපු විධියටම නේද?// ඔබ අහන දේ මට හරියටම පැහැදිලි නැහැ. මගේ කලින් ප්‍රතිචාරයකින් මම උත්සාහ කළේ ඔබට මාක්ස්වාදය ගැන දැනුමක් ඇති නිසා ඔබේ තේරුම් ගැනීමේ පහසුව පිණිස මට හැකි පරිදි සමානතා පෙන්වමින් වෙනස්කම් පැහැදිලි කරන්නයි. මාක්ස්වාදී ප්‍රකාශන හැම එකක්ම මම හදාරලා නැහැ. හරියටම එකම විදිහට දකිනවා කියා මම හිතන්නේ නැහැ. මාක්ස්වාදයේ ශ්‍රමය කියන සංකල්පය ගැලපෙන්නේ මූලික මට්ටමේ මාංශ පේශි ශක්තිය වැය කරන ශ්‍රමයටයි. මාක්ස් මිනිසුන් දකින්නේ ඉන්ධන අවසන් වෙද්දී නැවත ඉන්ධන පිරවිය යුතු කාබනික යන්ත්‍ර වගේ. කාටත් තිබෙන්නේ එකම ශ්‍රමය. ධනවාදය තුළ ශ්‍රමය දකින්නේ ප්‍රාග්ධනය වගේම ගොඩ නගා ගත හැකි දෙයක් ලෙසයි. මූලික මට්ටමේ මාංශ පේශි ශක්තිය කියන්නේ උපතේදී "වාසනාවට" උරුමයෙන් ලැබෙන කොටස. එය ඔබට පාලනය කළ නොහැකි අහම්බයක්. සමහර අයට අඩුයි. සමහර අයට වැඩියි. එයින් ඔබ්බට අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙනුවෙන් ආයෝජනය කර එය ගොඩ නගාගත යුතුයි. මානව ප්‍රාග්ධනය කියන වචනය භාවිතා කරන්නේ ඒ නිසයි.

      2b. //කෙටියෙන්ම කිව්වොත් , ප්‍රාග්ධනය සංචිත කිරීමේ එකම මඟ අරපරිස්සමින් යුතුව , සතෙන් සතේ -රුපියලෙන් රුපියල එකතු කිරීම, කොටස් විකිණීම, ආධාර එකතු කිරීම පමණක් නොවෙයි නේද?// ඔබ කියන්න දෙය හරියටම පැහැදිලි නැහැ. ඔබ කියන්නේ උරුමයෙන් ලැබෙන ප්‍රාග්ධනය ගැනද? හොරකම් කිරීම් ගැනද?

      3. එකඟ නැහැ. පහර කෑ පුද්ගලයා වගේම පොලිස් නිලධාරීන්ටත් ඔවුන් කැමති රැකියාවක් කිරීමේ හෝ නොකිරීමේ අයිතියක් තිබෙනවා. ජෝජ් ෆ්ලොයිඩ් හා ඔහුට වෙඩි තැබූ පොලිස් නිලධාරියා ගත්තත් ඔවුන් එකම තැනක විශාල කාලයක් එකම රැකියාව කර තිබෙනවා (ඔවුනොවුන් හැඳින සිටි බවක් සඳහන්ව නැහැ). දෙන්නාම සාමාන්‍ය මිනිස්සු. පොලිස් නිලධාරීන් කියන්නේ අවදානම් රැකියාවක් කරන පුද්ගලයින් පිරිසක්. අද පොලිස් නිලධාරියෙක් හෙට වෙනත් රැකියාවක් කරන්න පුළුවන්. පොලිස් රැකියාව විශාල ජීවිත අවදානමක් තිබෙන රැකියාවක්. ඔය විරෝධතාකරුවෙකුගේ වෙඩි පහරකින් හෝ සාමූහික පහරදීමකින් පොලිස් නිලධාරියෙක් කොයි වෙලේ හෝ මිය යන්න පුළුවන්. මේ වසරේ මේ වන තුරු ඇමරිකාවේ පොලිස් නිලධාරීන් 96ක් රැකියාව කිරීමේදී මිය ගොස් තිබෙනවා. ඔවුන්ව සේවයට බඳවාගෙන තිබෙන්නේ සෘජුව හෝ වක්‍රව අදාළ ප්‍රදේශයේ ජනතාවයි. මේ වෙලාවේ ඔවුන්ට ජනතාව පාලනය කරන්න යන්න වී තිබෙන්නේ ජනතාව වෙනුවෙන්මයි. එහිදී ඔවුන්ට තමන්ගේ රැකියාවේ කොටසක් ලෙස ජීවිත හා දේපොළ ආරක්ෂා කරන්න වෙනවා. ආරක්ෂා කරන්න වෙන්නෙත් මිනිස්සුන්ගෙන්. නමුත්, ඔවුන් මත බලය යොදවන්නත් බැහැ. ඒ නිසා ඔවුන් දෙපැත්තකින් තැලෙනවා. මේ වගේ වෙලාවක ඔවුන්ට රැකියාවෙන් අස් වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. අර සමාජ ක්‍රියාකාරිකයාව තල්ලු කළ ආකාරය මම කෙසේවත් අනුමත කරන්නේ නැහැ. එයට දඩුවම් හිමි විය යුතුයි. එහෙත්, එයට විරුද්ධව පොලිස් නිලධාරියෙක් ඉල්ලා අස් වෙනවනම්, ගිවිසුමකින් බැඳීමක් ඇත්නම් හැර, එයට ඉඩ දෙන්න වෙනවා.

      Delete
  4. මෙහෙ; ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනා මේ සිදුවීමේ පසුබිම හොයා බලල නොවෙයි පැති අරගන්නේ. එයාලට මේක ඇති-නැති; පාලක-පාලිත; ධනපති-දුප්පත්; සුදු-කළු වගේ දෙපෙති අග්නි පුෂ්පයක් විතරයි.

    එහෙම ගොඩක් අයට මේ posts දෙක ගැනම කිව්වත්, කියෙව්වද මන්දා.....

    ReplyDelete
  5. දස දහසකට අධික දැවන්ත පිරිසකගේ සහභාගිත්වයෙන් ඕස්ට්‍රේලියාවේ ඇඬිලේඩ් නුවරදී පැවති ඕස්ට්‍රේලියානූ කළු ජාතික වර්නභේවාදී ප්‍රතිපත්තියට එරහි දැවන්ත විරෝධතාවට ජවිපෙ ඕස්ට්‍රේලියානූ කමිටුවත් එක්වෙයි!

    JVP Sri lanka solidarity with Adelaide protesters for "Black life matters movement !

    More than 10,000 thousands of people have engaged in this protest march and rally at Adelaide city in Australia.

    ReplyDelete
  6. ලංකාවේ රාජපක්ෂ කල්ලියේ දූෂිත ආර්ථික ප්‍රතිපත්තිය ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ එකක්...

    ජවිපෙ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, ලේකම් - අයිතින් උදෙසා කාන්තාවෝ

    පසුගිය මාස දෙකහමාරක් වැනි කාලයක් පුරාම ජනතාව කොරෝනා වසන්ගත තත්වයෙන් මිදෙන්න ලොකු අරගලයක් කළා. සෞඛ්‍ය ක්‍ෂේත්‍ර ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාම ඒ කැපකිරීම කළා. මෙම වසන්ගත තත්වය ලංකාව පුරා පැතිරී තිබෙන තත්වයක් තුළ අපිටත් කොරෝනා සමඟ ජීවත්වීමට ආණ්ඩුව බලකොට තිබෙනවා. පසුගිය කාලේ ජනතාවට තිබුණ මූලික ප්‍රශ්නය වුනේ ආහාර සපයා ගැනීමයි. නමුත් දැන් ජනතාව නැවත සාමාන්‍ය ජන ජීවිතයට අවතීරණය වෙමින් ඉන්නවා. දැන් නිවසට විදුලිබිල, ජලබිල එනවා. දරුවන්ගේ අධ්‍යාපන වියදම් නැවත දැනෙමින් තිබෙනවා. ප්‍රවාහන වියදම්, සෞඛ්‍ය ප්‍රතිකාර වියදම්, මගුල් අවමගුල් වියදම් දැනෙමින් තිබෙනවා. ජීවන වියදම යථාතත්වයට පත්වෙමින් තිබෙනවා. කොරෝනා නිසා පීඩාවට පත්වු ජනතාව වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල් විවිධ සහන පැකේජ හඳුන්වලා දුන්නා. නමුත් ලංකාවේ එවැනි තත්වයක් අපි දැක්කේ නැහැ.

    මේ වෙනකොට රටේ වැඩකරන ජනතාවගෙන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමිවෙලා තිබෙනවා. දෛනික ආදායම් ලබපු විශාල පිරිසකට ආදායම් මාර්ග අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම අවිධිමත් ක්‍ෂේත්‍රයේ රැකියා කළ බොහෝ පිරිසකට තවමත් තමන්ගේ රැකියාව ලැබෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැහැ. ඒ වගේම මෑන් පවර් ආයතනවල රැකියා අහිමි වෙලා. වෙළඳ කළාපවල මාස 06ට වඩා අඩු කාලයක් රැකියා කළ සේවක සේවිකාවන්ගේ රැකියා අහිමි කරලා. මේවා සමීක්ෂණවලට අහුවෙන්නේ නැහැ. බොහෝ පිරිසකගේ වැටුප කප්පාදු කරලා. නැත්නම් වැටුප භාගයකින් කප්පාදු කරලා. මේ නිසා සියලුම දෙනා වාගේ තමන්ගේ ජීවිතය ගෙනියන්න විශාල අරගලයක් කරනවා.

    මෙවැනි තත්වයක් තුළ රාජපක්ෂ කල්ලියේ ආර්ථික උපක්‍රමය වෙලා තියෙන්නේ මොකක්ද? හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ ආර්ථික ක්‍රමයක්. අමාරුවේ වැටිලා ඉන්න ජනතාවට තව තවත් බදු පිට බදු ගහනවා. ආණ්ඩුව පසුගියදා භාණ්ඩ විශාල ප්‍රමාණයක බදු මිල ඉහළ දැම්මා. හාල් මිල 98යි, 105යි කිව්වට ඒ ගණන්වලට වෙළඳ පොලේ හාල් නැහැ. කහ කිලෝව රුපියල් 4000ක් වෙලා. සීනි අල පරිප්පු සැමන් මේ සියල්ලම මිල ඉහළ දමලා. රුපියල් 65ට දෙනවා කියපු පරිප්පු රු.130 වුනා. දැන් 180ක් වෙලා. පොල් තෙල් බෝතලය රුපියල් 400යි. ඇතැම් විට ලීටරය රු.580යි. පොල් ගෙඩිය 70යි නැත්නම් 80යි. දියර කිරි මිලිලීටර් 900 රුපියල් 50කින් ඉහළ දමලා. ජනතාවට සහන දෙන්න ඕන වෙලාවක තමයි ආණ්ඩුව මේ විදියට භාණ්ඩ මිල ඉහළ දාලා තියෙන්නේ. රාජපක්ෂ ආණ්ඩුව කියනවා මේ බදු ගහලා තියෙන්නේ ගොවියා දිරිමත් කරන්න කියලා. නමුත් පරිප්පු, සුදුළුෑණු, සූදුරු මහදුරු වල බදු වැඩි කළේ ගොවියා දිරිගන්වන්න නෙවෙයි. මේ කරමින් ඉන්නේ රාජපක්ෂ කල්ලියේ බැරිකම වහගන්න ජනතාව මත බරපටවන එකයි.

    මේ අතර ජනතාවට 5,000ක දීමනාවක් ආණ්ඩුව ලබාදුන්නා. ඒකත් රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගත්තා. ඒ රුපියල් 5,000 සියලු දෙනාට ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩුව ඒ දුන්න 5,000 එක මාසයෙන් අයකර ගන්න උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි ජල බිල, වතුර බිල අයථා ආකාරයෙන් ගාස්තු වැඩි කිරීමයි. ඒකක 35 ජලය භාවිතා කළ මාර්තු මාසයේ රු. 2,186ක් ගෙවපු පුද්ගලයට අප්‍රේල් මැයි එකතු කරලා ඒකක 55කට රු. 5,335ක බිලක් දෙනවා. ඒකක ගණන වැඩිවෙන විට ජල බිල වැඩි වෙන ආකාරයක් අපේ රටේ තියෙන්නේ. එක බිලකින් ආණ්ඩුව රුපියල් එක්දහස් ගණනක් වැඩිපුර අය කර ගන්නවා. විදුලි බිලත් එහෙමයි.

    ජනතාවට මේ වගේ ආණ්ඩුවක් ඕන නැහැ. නාස්තිකාර වියදම් කරමින් ජනතාව මත බර පටවන්න නම් ආණ්ඩුවක් ඕන නැහැ. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම්වල මැති ඇමතිවරුන්ට වාහන ලබාගන්න කැබිනට් පත්‍රිකා සම්මත කරගත්තා. ඒ නිසා අපේ රටේ කවදාවත් ජනතාවට සහන දෙන ආණ්ඩු හැදිලා නැහැ. ජනතාව දැන්වත් මේ දේ තේරුම්ගත යුතුව තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න පාර්ලිමේන්තුවක් ඕන තමයි. ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගන්න පාර්ලිමේන්තුවක් ඕන කිව්වට ලංකාවේ මෙතෙක් පැවැති පාර්ලිමේන්තුවලින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න කතා කරලා තියෙනවද? ජනතාවට සෙතක් වෙලා තියෙනවද? බඩු මිල වැඩි කරන ආණ්ඩුව නාස්තිකාර වියදම් නතර කරලා නැහැ. පසුගියදා රුපියල් මිලියන 890ක් වතුරට ගහගෙන ගියා කියලා ඔබ කවුරුත් දන්නවා. තමන්ගේ ඇමතිවරු ව්‍යාපෘති ආරම්භ කරනවා. ජනාධිපති කියනවා දන්නේ නැහැ කියලා. ඒ නිසා අපේ රටට නවීන සමාජවාදී විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක්, සමාජ ආරක්ෂණය සහ සුබසාධන අරමුණින් යුතු විකල්ප දේශපාලනයක් සඳහා ජනතාව පෙළගැසිය යුතුව තිබෙනවා.

    මාධ්‍ය හමුව - 2020.06.02
    බත්තරමුල්ල, අවකාශ මධ්‍යස්ථානයේදී

    ReplyDelete
  7. මේ ඕස්ට්‍රේලියාවට නැත්නම් ඇමරිකාවේ හරි යුරෝපයේ හරි ගියා කියලා මොකෝ ඩිනර් එකට අලි මස් කන්නද? ඔය රට යන මුග්ධ ලාංකිකයෝ මේ රට වලට ඇවිල්ලත් යන්නේ බස් වල කන්නේ පරිප්පු, අල හා බත්. එකම වෙනස, පාරට ගියාම වෙලාවට බස් එක කෝච්චිය එනවා. මේ රටවල සුදු මිනිසුන් ගේ රටවල හරියට අපේ දුඹුරු හමට වෙනස්කම් කරනවා. එක බැල්මට ඔවුන් සමහරක් දකුණු ආසියාවේ අපි දිහා බලන්නේ වනචාරී ගෝත්‍රිකයන් හැටියට. බහුතරයක් කළු මිනිස්සු ගැන හිතන්නේ උපතින්ම දාමරිකයන් කියලා. ආසියාතික රටවල අයට දරුණු නෑ කියලා හිතනවා හැබැයි අපි හෙන දෙකයි පණහේ හිඟන්නන් කියලා හිතන්නේ. මේ රටවලට ගියාට කමක් නැහැ, හැබයි විශේෂයෙන්ම යම් ක්ෂේත්‍රයකට සුවිශේෂී දක්ෂකමක් තිබෙන අය.

    ReplyDelete
    Replies
    1. වෙනස්කම් නොකරන්නේ කොහෙද? ලංකාවේ නොයෙකූත් 'වාදි' ලේබල් තියේනවා නේද? නවතම ඛයියන් සහ ටොයියන්. බටහිර රටක තියෙන නිදහස අගය කළ නොහැකි අය සංක්‍රමණය නොවිය යුතුයි

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: