Tuesday, June 9, 2020

රට ගිය ඇත්තෝ (තෙවන කොටස)


මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි සිරිල් සපරමාදු, ඔහුගේ බිරිඳ පද්මිණී සහ දරුවන් තිදෙනා ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදී ඇමරිකාවට එනවා. ඔහු අවම වශයෙන් උපාධියක් ලබා තිබෙන, මහ බැංකුවේ වසර පහළොවකට නොඅඩු පළපුරුද්දක් තිබෙන කෙනෙක්. එහෙත්, ඔවුන්ට ඇමරිකාවේදී තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන රැකියා ලැබෙන්නේ නැහැ.

"මාත් ඔයා වගේ ගෑස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න අමාරු නිසා මම ජොබ් දෙකක් කළා."

සිරිල් සපරමාදුගේ බිරිඳ පද්මිණීට මොන්ටිසෝරියක රැකියාව ලැබුණේ ලංකාවෙන් එන්න කලින් අදාළ පාඨමාලාවක් හදාරා පෙර සූදානමක් ඇතිව පැමිණි නිසා වෙන්න පුළුවන්. 2019 දී ඇමරිකාවේ පෙර පාසැල් ගුරුවරියකගේ මධ්‍යස්ථ වැටුප ඩොලර් 30,520ක්. ඇතැම් විට ඇයට පටන් ගන්න වුනේ සහකාර ගුරුවරියක ලෙස වෙන්න පුළුවන්. එසේ වුවත්, වසර දෙකක් පමණ යද්දී ගුරුවරියක් සේ උසස් වෙන්න පුළුවන්. කලින් පාඨමාලාවක් හදාරා අවසන් කර නොතිබුණානම් ඒ කාලය ඇතුළත අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කර ගන්න එකත් අමාරු දෙයක් නෙමෙයි. ලංකාවේ පාසැල් ගුරුවරියකව සිටි පද්මිණීට ආපු ගමන්ම මොන්ටිසෝරි ආකෘතියේ හෝ වෙනත් පෙර පාසැලක රැකියාවක් ලැබුනානම් එය නරක තත්ත්වයක් නෙමෙයි.

පොඩි අවුලකට තියෙන්නේ සපරමාදු ජෝඩුවට 5, 6, 7 වයස් වල දරුවන් තිදෙනෙකු සිටීමයි. ඒ නිසා, පද්මිණීට පූර්ණකාලීන රැකියාවක් කරන්නනම් පාසැල් ඇරුණු පසුව පැය කිහිපයකට දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යවන්න වෙනවා. ඇතැම් විට ඇය සේවය කළ තැනටම ගෙන්න ගන්න වුනත් පුළුවන්. හැබැයි දරුවන් තිදෙනෙකුගේ දිවා සුරැකුම් වියදම් ගෙවනවාට වඩා අඩු පැය ගණනක් වැඩ කර ගෙදර එන එක වාසි වෙන්න පුළුවන්. අපි හිතමු පද්මිණී මුලදී වැඩ කළේ අර්ධකාලීනව කියලා. බාලම දරුවාගේ වයස අවුරුදු දහයක් පමණ වන තුරු අවුරුදු පහක් හවස තුන වගේ වෙද්දී ගෙදර ආවා කියමු. එහෙම හිතලා ඒ අවුරුදු පහේ ඇගේ වාර්ෂික ආදායම ඩොලර් 15,000ක් දාමු.

අවුරුදු විසි පහකට කලින් තත්ත්වය දැන් තත්ත්වය එක්ක සසඳන එක නිවැරදි නැහැ. ඒ කාලයේ වැටුප් අඩුයි. නමුත්, ඒ කාලයේ ජීවන වියදම ඇතුළු අනෙක් දේවලුත් අඩු නිසා දැන් ජීවන තත්ත්වය එක්ක දැන් වැටුප් සංසන්දය කිරීමත්, ඒ කාලේ වැටුප් සමඟ ඒ කාලේ ජීවන තත්ත්වය සංසන්දනය කිරීමත් ආසන්න ලෙස සමානයි. සපරමාදුලා ලංකාවට පැමිණි අවුරුද්ද දන්නේත් නැති නිසා අපි උද්ධමනයේ බලපෑම අත ඇරලා අද තත්ත්වයට සාපේක්ෂව හැම දෙයක්ම සංසන්දනය කරමු. ඒ කියන්නේ අපි කතා කරන්නේ සපරමාදුලා ඇමරිකාවට පැමිණි කාලයේ ඩොලර් වල අද අගයයන් ගැනයි.

ගෑස් ස්ටේෂන් එකක රැකියාවක් කියා කියන්නේ මීට වඩා අඩු වැටුපක් ලැබෙන රැකියාවක්. බොහෝ විට ලැබෙන්නේ අවම වැටුපයි. 2019 වසරේදී ඔය වගේ රැකියාවක් කළ කෙනෙකුගේ මධ්‍යස්ථ වැටුප ඩොලර් 23,650ක්. පූර්ණකාලීන රැකියාව කරන තැන පැය 40ක් වැඩ කරලා තව තැනක පැය 15ක් වැඩ කළා කියමු. ඩොලර් 30,000ක් වගේ හම්බ වෙයි. අවුරුදු 15-20ක් මහ බැංකුවේ මාණ්ඩලික ශ්‍රේණියක රැකියාවක් කරපු කෙනෙක්ට ඔය වගේ රැකියාවක් සතියකට පැය 55ක් විතර කරන එක ලේසි දෙයක් නෙමෙයි.

"ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම නිතර නිතර ලෙඩ වුනා."

සිරිල් සපරමාදු ගෙදර වැඩ සහ ළමයින්ව බලාගෙන බිරිඳට මොන්ටිසෝරියේ පූර්ණකාලීනව වැඩ කරන්න කිවුවනම් අඩු ගානේ ඩොලර් 25,000ක් විතර හොයා ගන්න තිබුණා. ළමයි පාසැල් යන වෙලාවේ හා සති අන්තයේ අර්ධකාලීනව වැඩ කරලා සිරිල්ටත් තව ඩොලර් 10,000ක් විතර හොයා ගන්න තිබුණා. එහෙම කරන ගමන් වඩා හොඳ රැකියාවක් හොයන්න තිබුණා. ලොකු දේවල් කරන්න බැරි වුනත් ඩොලර් 25,000ක් වගේ ගාණකින් වුනත් පවුලකට ජීවත් වෙන්න බැරි නැහැ. පවුලේ පස් දෙනෙක් ඉන්න නිසාත්, ග්‍රීන්කාඩ් එක තියෙන නිසාත්, ආහාර මුද්දර එහෙමත් ගන්න පුළුවන්.

කතාවේ පිළිවෙලට සිරිල් සපරමාදු බිරිඳට සේවය කරන්න අවස්ථාව දී ගෙදර ළමයි බලා ගන්න ජාතියේ පිරිමියෙක් නෙමෙයි. ඔහුට ඇමරිකන් උණ හැදී ඇමරිකාවට ආවා කියා කිවුවත් ඔහු ජීවත් වෙන්නේ ඇමරිකන් ජීවිතයට දුරස්ථවයි. ඔහුගේ දූ වරුන් දෙන්නා ඇමරිකානුවන් සමඟ විවාහ වීම ගැන ඔහු පසුව කතා කරන්නේ එතරම් ප්‍රසාදයකින් බව පෙනෙන්නේ නැහැ. ඇමරිකන් උණ තියෙන කෙනෙක් හරිනම් ඒ ගැන සතුටු වෙන්න ඕනෑ.

සිරිල් සපරමාදුට වඩා හොඳ රැකියාවක් හොයා ගන්නම බැරි වුනානම් තව මොනවා හෝ අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් හදා ගන්න තිබුණා. මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් විදිහට වයස අවුරුදු 43ක් වෙනකම් වැඩ කරලා ඉතිරි කරගත් මුදල් හා ලංකාවේ තිබුණු දේපොළ විකුණා ලැබූ මුදල් අරගෙන ආවානම් අතේ සැලකිය යුතු මුදලක් තියෙන්න ඕනෑ. ඒ නැතත් ශිෂ්‍ය ණය ගන්න පුළුවන්. ලංකාවෙන් එද්දී උපාධියක් නොතිබුණු, ග්‍රීන්කාඩ් ලොතරැයියෙන් ඇමරිකාවට ආපු මම දන්න කිහිප දෙනෙක්ම ඇමරිකාවට ආවට පස්සේ උපාධි පාඨමාලා සම්පූර්ණ කරලා හොඳ රැකියා කරනවා. උපාධියක් කරන්න වයස ප්‍රශ්නයක් නෙමෙයි. වයස පණහ පැනපු කෙනෙක් ඉගෙන ගන්න එක ඇමරිකාවේ සාමාන්‍ය දෙයක්. එහෙම දෙයක් නොකර ගෑස් ස්ටේෂන් වගේ තැන් වල දිගටම වැඩ කර කර හිටියනම් කතාවේ කියනවා වගේ දෙයක් වෙන එක පුදුමයක් නෙමෙයි.

අනෙක් අතට ඔය ගෑස් ස්ටේෂන් වගේ තැන් වලම වැඩ කරපු ග්‍රීන්කාඩ් ලොතරැයියෙන් ඇමරිකාවට ආපු මම දන්නා ලංකාවේ අය ඉන්නවා. හැබැයි එහෙම අයත් දිගින් දිගටම එකම තැන ඉන්නේ නැහැ. අවුරුද්දක් දෙකක් යද්දී සහකාර කළමනාකාර, කළමනාකාර ආදී ලෙස ඉහළට යනවා. ඉර හඳ අල්ලන එක කොහොම වුනත්, උනන්දුවෙන් හා අවංකව වැඩ කරන කෙනෙක්ට මොන රස්සාව කළත් ඉහළට යන්න පුළුවන්. හැබැයි සමන් ජයසිංහ වගේ තමන් කරන රැකියාවට අවංක නැති අයටනම් වැඩේ අමාරුයි.

"මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල, රෑ ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට ගියා."

සමහර විට සිරිල් සපරමාදුගේ ඉලක්කය වෙන්න ඇත්තේ දරුවන්ට හොඳට උගන්නන එක වෙන්න ඇති.

"පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල දෙන්නම ”මාස්ටර්ස්” දක්වා ඉගෙනගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා."

"පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රථ හදන කොම්පැනියකට බැඳුනා."

සපරමාදු පවුලේ දරුවන් තුන් දෙනාම ඉහළට ඉගෙනගෙන තිබෙනවා. සපරමාදුලාගේ ආදායම් මට්ටම අනුව දරුවන් ඉගෙන ගන්න ඇත්තේ ශිෂ්‍ය ණය අරගෙන විය යුතුයි. ඔවුන්ට ගෙවන්න සැලකිය යුතු ශිෂ්‍ය ණය ප්‍රමාණයක් ඇති. ඇමරිකාවේ සරසවියකින් මාස්ටර්ස් උපාධියක් ගත් අයෙකුට හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් කළ හැකියි. මෝටර් රථ හදන කොම්පැනියක මෝටර් මෙකැනික් කෙනෙක් කියන්නෙත් හොඳ ආදායමක් උපයන කෙනෙක්. එහෙම බැලුවොත් සිරිල් සපරමාදු ඇමරිකාවට ආපු එකෙන් දරුවන්ට නරකක් වෙලා නැහැ. හැබැයි මේ පවුලේ විශාල අවුල් ගොඩක් තිබෙනවා.

"ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට. ඉන්න තැනක් අපි කාටවත් කීවෙ නැහැ."

මේක ඉතාම අසාමාන්‍ය හැසිරීමක්. මේ වගේ හැසිරීමක් සාමාන්‍ය ඇමරිකානු පවුලකින් දකින්න ලැබෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉන්න ලාංකික සම්භවයක් ඇති පවුලකින් දකින්න ලැබෙන්නේත් නැහැ. මෙහෙම දෙයක් වෙන්නනම් සපරමාදු පවුලේ ලොකු දුවට කුමක් හෝ හේතුවක් නිසා තමන්ගේ පවුල එක්ක විශාල වෛරයක් තියෙන්න ඕනෑ. ඒ මොකක්ද කියලා රචකයා කියන්නේ නැහැ.

"පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා එයාලගෙ ගෙදරට."

හැම දෙයම කණපිට හැරෙන්නේ සිරිල් සපරමාදු හා පද්මිණී තමන්ගේ පොඩි දුවගේ ගෙදර පදිංචියට යාමෙන් පසුවයි. සපරමාදුට පොඩි දුවගේ ගෙදරින් පිට වී පුතා ලඟට යන්න වෙන්නේත්, පාරට වැටෙන්නෙත් එයින් පසුවයි. අපි හිතමු මේ ටික වුනේ අවුරුද්දක් ඇතුළත කියලා. සපරමාදුට සමන් ජයසිංහව හමු වෙන්නේ පාරට වැටිලා අවුරුදු පහකින් පස්සේ. ලංකාවෙන් ඇවිත් අවුරුදු 25කට පස්සේ. ඒ කියන්නේ සපරමාදු ජෝඩුව පොඩි දුව ළඟට යන්නේ ලංකාවෙන් ඇවිත් අවුරුදු 19කට පස්සේ. ඒ වෙද්දී පොඩි දුවගේ බබාට අවුරුදු පහක් වෙලා.

සපරමාදුලා ඇමරිකාවට එනකොට පොඩි දුවගේ වයස අවුරුදු පහයි. ඒ කියන්නේ අවුරුදු දහ නවයකට පස්සේ වයස 24යි. එහෙමනම් බබා ලැබිලා තිබෙන්නේ වයස දහ නමයේදී. ගර්භණී වෙලා තියෙන්නේ වයස දහ අටේදී. ඒ කියන්නේ යාන්තම් පාසැල් අධ්‍යපනය ඉවර කරන වයසේදී. ටීන් ප්‍රෙග්නන්සි එකක් හෙවත් බාල වයස්කාර ගැබ් ගැනීමක්. ඇමරිකාවේදී වයස 21ක් වන තුරු කඩේකින් මත්පැන් දුම්වැටි ආදිය මිල දී ගන්නවත් බැහැ. හැබැයි වයස දහ අටක් වුනාට පස්සේ විවාහ වෙන්න බාධාවක් නැහැ. ගර්භණී වෙද්දී පොඩි දුව විවාහ වෙලාද හිටියේ?

"ඒව නිකම් ”නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ”drive through” කසාද බඳින්න තැනක්."

ගර්භණී වුණාට පස්සේ පොඩි දුවට හදිසියේම ”drive through” කසාද බඳින්න වුණාද?

කොහොම වුනත් පොඩි දුව දරුවාවත් හදාගෙන ප්‍රථම උපාධිය කරලා තව මාස්ටර්ස් උපාධියකුත් කරලා තියෙනවා. ඒ අතින්නම් මාරයි!

පොඩි දුව වයස දහ අටෙන් ගර්භණී වෙද්දී ලොකු දුවට දහනමයයි. පුතාට විස්සයි. ඒ වෙද්දීත් සපරමාදු පවුලේ පුතා මත්පැන් දුම්වැටි ආදිය මිල දී ගත හැකි වයසක නැහැ.  ලොකු දුව ප්‍රථම උපාධිය හා මාස්ටර්ස් උපාධිය කරලා තියෙන්නෙත් මේ සිද්ධියෙන් පස්සේ. පොඩි දුවගේ දරුවාගේ වයස අවුරුදු පහක් වන තුරු කාලය පවුලේ කාටත් වගේ හොඳ කාලයක්.

"මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි උනා. ඉතිරියක්, අනාගතයක් ගැන හිතුවෙ නැහැ"

ඔය කිවුවට ඔය වෙද්දී පුතාගේ වයස අවුරුදු 26ක් පමණයිනේ. මත්පැන් මිල දී ගත හැකි වයස සම්පූර්ණ කරලා අවුරුදු පහයි. ඔය වයසට ඔහොම නැත්තේ කවුද? ඉතිරියක්, අනාගතයක් ගැන හිතන්න තව කොච්චර කල් තියෙනවද? ඔක්කෝටම වඩා, ඔහොම කියන්නේ ඉතිරියක්, අනාගතයක් නැතිව හෝම්ලස් වෙලා පාරට වැටිලා ඉන්න මනුස්සයෙක්!

"දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what the hell that old man doing here කියල."

බෑණා හිටපු ගමන්ම මෙහෙම ඇහුවේ ඇයි? සපරමාදු මොකක් හරි හොඳටම අවුල් වැඩක් කළාද?

"Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.

But this is my house– ඒ බෑණා."

ගොඩක් වෙලාවක විවාහක යුවලක් ගෙයක් ගන්නේ හවුලේ. මාස්ටර්ස් උපාධියක් තිබුණු පොඩි දුවට හොඳ රැකියාවක් නොතිබුණා වෙන්න බැහැ. එහෙම නොතිබුණත් ගොඩක් වෙලාවට ගෙයක් ගන්නේ හවුලේ. හදිසියේ දික්කසාද වුනත් ඇමරිකාවේ නීතිය අනුව දේපොළ දෙන්නාට සමානව බෙදෙනවා මිස එයාගේ ගේ මගේ ගේ කියලා එකක් නැහැ. ඒ ලංකාවේ. "This is my house" වගේ කතා ඇමරිකාවේ සුද්දන්ගේ සාමාන්‍ය කතා නෙමෙයි. තාත්තා හිටියත් නැතත් ඔය වගේ කතාවක් මනුස්සයෙක් කිවුවට පස්සේ ගෑණියෙක්ට තවත් ඒ ගෙදර ඉන්න පුළුවන්ද? ඔය වගේ කතාවක්ම ඇති දික්කසාද වෙන්න. පොඩි දුව දෙමවුපියන් ගෙන්න ගත්තේ මයික් එක්ක කතා නොකරද? දෙමවුපියන් ගෙන්න ගැනීම වගේ අසාමාන්‍ය දෙයක් එහෙම කළානම් ඒකත් ඇති දික්කසාද වෙන්න. නැත්නම් මයික් හොඳටම චාටර් කේස් එකක්ද?

ඔය සිද්ධියෙන් පස්සේ සිරිල් සපරමාදු පොඩි දුවගේ ගෙදරින් පිට වෙලා පුතා ළඟට යනවා. පාරට වැටෙන සිද්ධිය වෙන්නේ ඊට පස්සෙයි.

”තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට. ට්‍රේනින් එකකට. සති දෙකකට.” එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා."

තාත්තා ඇවිත් ටික දවසකින් පුතා තාත්තාට බොරුවක් කියලා හොරෙන්ම මාරු වෙනවා. පුතාට තාත්තාව එච්චරටම අවුල්ද? මුලින්ම ලොකු දුව නොකියා මාරු. දැන් පුතා නොකියා මාරු. පොඩි දුවගේ සැමියාටත් සපරමාදුව අවුල්. එහෙම වෙන්නේ කොහොමද? මේක අනෙක් හැමෝගෙම අවුලක්ද නැත්නම් සපරමාදුගේ අවුලක්ද?

අන්තිමට පද්මිණිට පවා සපරමාදුව එපා වෙනවා.

” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට තමයි නිදා ගන්නෙ”

” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න” 

ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී. මාව බලෙන්ම දොස්තර ගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස් වෙලා.

” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”

ලොකු දුවට පවුලම එපා වෙනවා. පුතා බොරුවක් කියලා පිට වෙලා ගිහින් තාත්තාගෙන් ගැලවෙනවා. පොඩි දුවගේ ගෙදරින්නම් එළවන්න කලින් හිතලම සිරිල් සපරමාදු පිට වෙලා යනවා. සපරමාදු එයට හේතු වුනු සිද්ධිය හරියටම කියන්නේ නැහැ. අන්තිමට වැඩ කළ හැකි වයසේ සිටින, රැකියාවක් කරන සිරිල් සපරමාදුගේ බිරිඳත් ඔහුව හමු වූ වහාම මග හැර හිමිහිට මාරු වෙනවා.

තමන්ට පළපුරුද්දක් හා බොහෝ විට වෘත්තීය සුදුසුකම්ද තිබෙන දරුවන් බලා ගන්න රැකියාවක් කරන පද්මිණී ජීවත් වන්නේ තනි කාමරයක් ඇති අපාර්ට්මන්ට් එකක වුවත් ඇයට සිරිල් සපරමාදුව එහි ගෙනියන්න පුළුවන්. ඉන් පසුව, ලිපිනයක් නැති ප්‍රශ්නයක් නැහැ. මොන හේතුවක් නිසා හෝ මාසිකව ලබා නොගත් සිරිල් සපරමාදුගේ මාසික සමාජ සංරක්ෂණ දීමනා ලොකු ඇරියස් එකක් එක්ක ගන්නත් පුළුවන්. වයස 65 පහු කර සිටින සිරිල් සපරමාදුට නොමිලේ සෞඛ්‍ය රක්ෂණයක්ද ලැබෙනවා. නමට හරි තව කෙනෙක් ගෙදර ඉන්න එක පද්මිණීට විශාල හයියක්.

එහෙමනම් පද්මිණී සිරිල් සපරමාදුව හමු වුනාට පස්සේ හිමිහිට මග ඇරලා ගියේ ඇයි? මෙතැන තියෙන්නේ ඇමරිකාවේ ප්‍රශ්නයක්ද නැත්නම් සිරිල් සපරමාදුගේ හෝ සපරමාදු පවුලේ ප්‍රශ්නයක්ද?

මේ කරුණු අපි හතරවන කොටසින් කතා කරමු.

10 comments:

  1. මේ අභව්‍ය කතාවේ විශ්ලේෂණය තවත් දිග්ගස්සන්න ඕන නෑ කියලයි මම හිතන්නේ. නරකද ආපහු ඉකොනොමික්ස් ලියවිලි වලටම බැස්සා නම්. ඒවා මොලයට හරි රහයි.

    ReplyDelete
    Replies
    1. උපාලි, ඔබේ ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි! දිග වැඩි නිසා කොටස් වශයෙන් දැම්මත් මෙය ලිවුවේ එක දිගට. තව කොටසක් තිබෙනවා. ඊට අමතරව, මෙයටම අදාළ පස් වන කොටසක්ද තිබෙනවා. මේ කතාව අභව්‍ය බව කියන්න පුළුවන් වුනත් බොහෝ දෙනෙකුට එහි භව්‍ය බලපෑමක් තිබෙනවා. මම හිතන්නේ ඔබ කියන්නේ macroeconomics ගැන වෙන්න ඇති. මේ වගේ දේවලුත් ඉකොනොමික්ස්ම තමයි. behavioral economics. මට කතා කරන්න අවශ්‍ය මේ වගේ කතාවක් ශෙයා වෙන්නේ ඇයි කියන එකයි. පස් වන ලිපියෙන් එය කතා කරනවා. ඒ ලිපි දෙක පළ වන තුරු ඔබට (හා සමාන අදහස් දරන අනෙක් අයට) අකැමැත්තෙන් හෝ ඉවසා සිටින්න වෙනවා. හෙටින් ඉවරයි!

      Delete
  2. මටත් මුලින් හිතුනා මේ කතාවෙ technicality ගැන ඕනෙවට වඩා කතා කිරීමේ තේරුමක් තියේද කියලා. නමුත් දැන් හිතෙනව අලුතෙන් රට යන්න ඉන්න ඇත්තන්ට සහ රට ගිහින් හිතෙන් ලංකාවෙ ජීවත්වෙවී දුක් විඳින ඇත්තන්ට වැදගත් මාතෘකා බොහොමයක් මේ එක්ක ඉකොන් සාකච්චාවට ගන්නව කියල.

    ReplyDelete
  3. මමත් හිතන්නේ ඔබතුමාගේ වටිනා කාලය ඔයිට වඩා හොඳ කියවීමකට අපිව එක කරගන්න පුලුවන් නම් වටිනවා. මෙම ඇමරිකන් කතාව හරියට ගොතා ගන්න බැරි කෙප්පයක්. ඔය වගේ පවුල් ඇමරිකාවේ නෙමේ ලංකාවේ හිටියත් අනාථ වෙනවා. විශේෂයෙන්ම ඕනෑවට වඩා උණ හදා ගත්තාම ඕනෑ දෙයක් අවුල් වෙලා යනවා. ඕක ඇමරිකාව ගැන ද්වේෂයකින් ලියපු එකක්. එම නිසා තව දුරටත් ඒ ගැන කතා කිරීම තේරුමක් නෑ

    ReplyDelete
  4. ඔය කතාව ලියපු කෙනා අඩුම ගානේ ඇමරිකාවට පය ගහලවත් නැති කෙනක්.
    ඉකොනොත් මැට්ට වගේ මේකෙම වැරදි හොයනවා.

    ReplyDelete
    Replies
    1. This was written by a person named Nihal Gurusinghe in October 2011.

      Nihal Gurusinghe says:
      ඔක්තෝබර් 25, 2011 දින පෙ.ව. 2:59 ට

      මේක තනිකරම ප්‍රබන්ධයක් විතරයි. මා මෙහි ජීවත් වුනු කාලයේ කනට ඇසුන දේ ආශ්‍රයෙන් කළ රචනාවක්.

      Delete
  5. මම හිතන්නේ ඉකොනෝ 4 වෙනි කොටසින් මේක ඉවර කරයි. දිනපතාම ලියවුනු බවකුත් පෙන නිසා මට පෙනෙන්නේ change එකකට ලිව්වා වෙන්නැති.

    මට නම් මේ ලිපි රහයි. ඇත්තම කියනවා නම් මේ වැරදි පෙන්වීම තුලින් කියවෙන අතුරු කතාවකුත් තියෙනවනේ. ඇමෙරිකාවේ ඉතිහාසය- ජීවන රටා- ආකල්ප- නීතිරීති.... ඒවා මෙහෙම ඉදිරිපත් කෙරෙන කොටයි රසවත්!

    අවුරුදු 25 කට විතර කලින් වැටුප් තල- ජීවන වියදම්- රැකියා අවස්ථා ගැන කරුණු හොයන්න්න ගියොත්.... අපට නම්?

    ReplyDelete
  6. Dont waste your valuable time on this, but you are enjoying this, dont you?

    Any way, I have been busy as well posting links to these write ups to post shared by a batchmate of mine.

    ReplyDelete
  7. I read the original story when Nihal published it in his blog. I think he is in California, so he gets to interact with people from all walks of life. There are people filled with jealousy, who wants to promote the mindset that everyone who is living abroad is living tough lives. Someone like that copied this story and started forwarding this to cover their inferiority complex.

    There are people like the protagonist in all countries. Even in SL we hear "Salli thiyana thathalage nasthikara putthu". I would say it's only a very small minority of people that ends up like this. Most of them at least work in a McDonald's or a quick shop and teach their kids, but even that is a small percentage.

    These people never wants to share the success stories. The people who come here and complete their PhDs. Works good jobs in industries, or go for faculty positions. How their kids make use of the opportunities available in this country to be successful. They don't want the share those stories because they don't fit the narrative of the starving custodian.

    Anyway I enjoyed the way you are dissecting this story, even though it is a fiction.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.