වෙබ් ලිපිනය:

Thursday, June 11, 2020

ලොබින් බැඳී ලොබින් කිරීම


"පාතාල සාමාජිකයින් වෙඩි තැබූ පමණින් පොලීසිය වෙඩි තැබීම හෙළා දකිමු ..!" චාන්දනී සෙනෙවිරත්න ඇතුළු පිරිසක් ඔහොම ලියපු බැනර් එකක් අල්ලගෙන ඉන්න ඡායාරූපයක් වත්පොතේ හුවමාරු වන බව අද දැක්කා. එඩිට් කරපු එකක්. ඇත්ත බැනර් එකේ තියෙන්නේ "End Impunity Arrest the suspect NOW!” කියලා. මැතිවරණය පැවැත්වෙන තුරු ඉදිරි මාස දෙක තුළ ඔය වගේ එඩිට් කරපු ඡායාරූප දවස ගානේ අලුතෙන් හැදෙයි.


අප බ්ලොග් එක හරහා කරන්නේ ලොබින් කිරීමක් කියා හැඟවෙන ප්‍රතිචාරයක් පාඨකයෙක් විසින් දමා තිබුණා. "lobbying" කියන ඉංග්‍රීසි වචනයට "සභාකක්ෂ මන්ත්‍රණය" කියා සිංහල වචනයක් තියෙනවා. අපි සරලව ලොබින් කිරීම කියා කියමු.

අප කරන්නේ ලොබින් කිරීමක් කියා කවුරුවත් චෝදනාවක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අප මේ බ්ලොග් එක හරහා කරන්නේ ලොබින් කිරීමක් තමයි. ආයේ ඒකේ හංගන්න දෙයක් නැහැ.

ලොබින් කිරීම කියන වචනයෙන් ආසන්න වශයෙන් අදහස් කරන්නේ අනෙක් අයගේ අදහස් වෙනස් කිරීම සඳහා බලපෑමක් කිරීම. එය මෘදු බලපෑමක්. එක විදිහකට හිතන කෙනෙක් වෙනස් විදිහකට හිතන්න පෙළඹවීමයි මෙහිදී කෙරෙන්නේ. ලොබින් කිරීම නරක දෙයක් නොවනවා වගේම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය යුතුම දෙයක්.

ලොබින් කිරීම ප්‍රශ්නයක් වෙන්නේ කාටද? එක කොටසක් දැඩි විශ්වාස වල එල්බ ගෙන ඉන්න අය. කොයි තරම් වැරදි බව පෙනුනත්, කොයි තරම් තර්කානුකූල නොවුනත් තමන් එල්බ ගෙන ඉන්න අදහස අත අරින්න අමාරුයි. ඇබ්බැහියක් වගේ දෙයක්. වෙන කෙනෙක් තමන්ගේ මතයට වෙනස් මතයක් හරි කියා පෙන්වන කොට රිදෙනවා. මේ අය තම මතයෙහි ලොබින් බැඳුණු අය. මෙහි ලොබින් කිවුවේ ලෝභයෙන්.

දෙවන කොටස තමන්ගේ මතය බලහත්කාරයෙන් අනුන් මත පටවමින් ඉන්න අය. මේ අය කරන්නේත් ලොබින් කිරීමක්. නමුත්, ඒක කරන්නේ ඒකාධිකාරයක් පවත්වා ගැනීම හරහා. සමාජවාදී රටවල ආණ්ඩු කරන්නේ ඒකයි. වෙනත් අදහස් ප්‍රචාරණය කිරීම බලහත්කාරයෙන් වලක්වා තනි ලොබින් කණ්ඩායමක ඒකාධිකාරය පවත්වා ගන්නවා. අප මෙහිදී සමාජවාදී රටවල් කියන්නේ චීනය කියුබාව වගේ රටවල් පමණක් නෙමෙයි. කවර ආකාරයක හෝ මාධ්‍ය වාරණයක් ඇති හැම රටක්ම.

ලොබින් කිරීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක මූලික පදනමේම තියෙන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ ගොඩවල් හතර පහකට බෙදිලා ඉන්න අය අතරින් වැඩිම පිරිසක් ඉන්න ගොඩේ මතය අනික් අය විසින් අකැමැත්තෙන් පිළිගන්නවා කියන එක නෙමෙයි. බොහෝ විට අවසානයේදී එහෙම කරන්න වෙන්න පුළුවන් තමයි. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙමෙයි. එවැනි තැනකින් පටන් ගන්න එක කොහොමටවත්ම ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.

නියම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන තැනක විවිධ අදහස් දරන කණ්ඩායම් වලට ලොබින් කරන්න අවස්ථාව ලැබෙනවා. එවිට මේ කිසිදු කණ්ඩායමක නැති කෙනෙකුට හැම දෙයක්ම කිරා මැන තමන්ට වඩා නිවැරදි සේ පෙනෙන මතය තෝරා ගන්න පුළුවන්. ඒ වගේම එක ලොබින් කණ්ඩායමක ඉන්න කෙනෙකුට වුවත් තමන්ගේ මතය නිවැරදිම මතය නොවන බව පේනවානම් එය වෙනස් කර ගන්න පුළුවන්.

ලොබින් කිරීමේ ආකාර දෙකක් තිබෙනවා. පළමු එක කිසියම් මුදල් වාසියක් වෙනුවෙන් ලොබින් කිරීම. මෙහිදී ලොබින් කරන කෙනා විසින් ප්‍රවර්ධනය කරන අදහස් ඇත්තටම ඒ අය පෞද්ගලිකව විශ්වාස කරන දේවල් නොවෙන්න පුළුවන්. රූපවාහිණි වෙළඳ දැන්වීම් වල ඇන්කර් කිරි බොන මවුවරු, සන්සිල්ක් ගාන නිලියෝ, මයිලෝ බොන ක්‍රීඩකයෝ බොහෝ විට ඇත්තටම ඒ දේවල් නොකරනවා වෙන්න පුළුවන්. දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටින අයගෙන් කොටසකුත් එසේ කරන්නේ කුමක් හෝ වාසියක් බලාගෙනයි.

දෙවන කණ්ඩායම ලොබින් කරන්නේ පළමු ආකාරයේ අය මෙන් මුදල් වාසියක් බලාගෙන නෙමෙයි. තමන් විශ්වාස කරන අදහස් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්. මේ අය අතර විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අයත් ඉන්නවා. එසේ නැති අයත් ඉන්නවා.

මා මේ බ්ලොග් එක ලියන්නේ කිසිදු මුදල් වාසියක් බලාගෙන නෙමෙයි. ඒ වගේම ලංකාවේ හෝ ඇමරිකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ මට කිසිදු සම්බන්ධයක් නැහැ. කලින් තිබිලත් නැහැ. නමුත්, එයින් කියැවෙන්නේ මා කිසිදු දේශපාලනයක නිරත නොවන බව හෝ වාසියක් නොලබන බව නෙමෙයි. මෙහි ලියන දේ වල පැහැදිලි දේශපාලනයක් තිබෙනවා. ඒ දේශපාලනය ඇතැම් දේශපාලන පක්ෂ සමඟ අඩුවෙනුත් වෙනත් ඒවා සමඟ වැඩියෙනුත් සමපාත වෙන්න පුළුවන්. එය මට ප්‍රශ්නයක් නෙමෙයි.

මා ඇමරිකාවට ආවත් මගේ නෑදෑයින් මිතුරන් අසල්වාසීන් බොහෝ දෙනෙක් ඉන්නේ ලංකාවේ. මට ඒ අයව ඇමරිකාවට ගෙන්නා ගන්න බැහැ. යම් හෙයකින් එසේ ගෙන්නා ගත්තත් ඔවුන්ට එයින් යහපතක් වේයැයි හරියටම කියන්න බැහැ. ලංකාවේ තත්ත්වය වඩා යහපත් වී ඒ අයගේ ජීවිත හොඳ තත්ත්වයකට පත් වනු දකින්න මම කැමතියි.

මම හැමවිටම යෝජනා කරන්නේ ඒ සඳහා උදවු වේයැයි මා හිතන දේවල්. මේ යෝජනා වල අඩුපාඩු හෝ වැරදි තිබෙන්න පුළුවන්. වඩා හොඳ යෝජනා තියෙන්න පුළුවන්. මා මෙන්ම එවැනි වෙනත් යෝජනා ඇති අයද තමන් විශ්වාස කරන නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඒ නිසයි. එවැනි අයෙකුගේ අදහස් සමඟ එකඟ විය නොහැකි වුවත් ඒ අදහස් ඉදිරිපත් කරන්න තිබෙන අයිතිය වෙනුවෙන් මා පෙනී සිටිනවා.

එකම අදහසක එල්බී ඉන්න එක හරිම ඒකාකාරී දෙයක්. අදහස් වුනත් කාලයෙන් කාලයට වෙනස් වෙනවානම් ජීවිතයේ වෙනසක් තියෙනවා. ධනවාදය වගේ ක්‍රමයක අඩුපාඩු හොයන්න මම පෞද්ගලිකව කැමතියි. ඇමරිකානු සමාජයේ තිබෙන අඩුපාඩු ගැන කතා කරන්නත් කැමතියි. එහෙම අඩුපාඩුවක් හොයන බොහෝ අවස්ථා වලදී අන්තිමට පෙනී යන්නේ මුලින් අඩුපාඩුවක් වැරැද්දක් සේ පෙනුණු දේ එසේ නොවන බවයි, එහෙම නැත්නම් එය එසේ වෙන්න හේතුවක් තිබෙන බවයි. ඉතිං හත් දෙයියනේ ඒකට මම මොනවා කරන්නද?

ගොඩක් වෙලාවට ලිපියක් ලියන්න කලින් හරි ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න කලින් හරි මම කරුණු හොයනවා. එසේ හොයන්නේ කිසියම් පූර්ව නිගමනයක සිට නොවන බව කියන්න බැහැ. වෙනත් අයට වගේම මටත් පූර්ව නිගමන තියෙනවා. කරුණු හෙවුවට පස්සේ සමහර වෙලාවට ඒ පූර්ව නිගමනය වෙනස් කර ගන්න වෙනවා. ඒ හරහා මම අලුත් දේවල් ඉගෙන ගන්නවා. එය මට මේ බ්ලොග් එක හා එයට ලැබෙන පාඨක ප්‍රතිචාර නිසා ලැබෙන විශාල වාසියක්. ලිපියක් පළ කිරීමෙන් පසුව එහි අන්තර්ගතය වැරදි බව පැහැදිලි වීම ඉතාම කලාතුරකින් සිදු වී තිබෙන දෙයක්. එයට හේතුව ලිපිය ලියන්න කලින්ම මා වැරදි පූර්ව නිගමන තිබුණේනම් ඒවා වෙනස් කර ගන්නා නිසා.

ලියන දේ සමඟ එකඟ නොවන අයගේ අදහස් වලට මෙහි ඉඩ දෙන්නෙත් මගේ වාසිය වෙනුවෙන්. ප්‍රතිචාර අනුව පෙනෙන පරිදි මගේ පූර්ව නිගමන වැරදිනම් මට නිවැරදි කර ගන්න පුළුවන්. එහෙත්, බොහෝ විට සිදු වෙන්නේ මගේ පූර්ව නිගමන නිවැරදි බව තහවුරු වීමයි.

මා ලියන දේ කෙරෙහි මගේ ඇලීමක් නැහැ. ඒ නිසා, වෙනත් ප්‍රතිවිරුද්ධ අදහස් නිසා මට රිදෙන්නේ නැහැ. බොහෝ විට ඒ ප්‍රතිවිරුද්ධ අදහස් මා විසින් කලින් සලකා බලා හේතුසහගතව ප්‍රතික්ෂේප කර ඇති අදහස්. එසේ නොවන වඩා හොඳ අදහසක් ඇත්නම් මා ඇත්තටම සතුටු වෙනවා. නමුත්, පිළිගත නොහැකි අදහසක් ඉදිරිපත් වූ විට මගේ අදහස වෙනුවෙන් පෙනී සිටිනවා. මෙහි එන බොහෝ දෙනෙක් නිවැරදි දෙයක් කරුණු හෝ හේතු සහිතව පෙන්වා දුන් විට එය පිළිගන්නවා. නින්දේ සිටින අය ඇහැරෙන නමුත් හොරට නිදා ගෙන ඉන්න අය ඇහැරෙන්නේ නැහැ.

උඩ ඡායාරූපය බොරුවක්. ඇතැම් විට ඔය වගේ එඩිට් කළ ඡායාරූප ප්‍රචාරය කරන අයට එසේ කරන්න කවුරු හෝ මුදල් ගෙවනවා වෙන්න පුළුවන්. පසුගිය මැතිවරණ සමයේ එවැනි කණ්ඩායම් පෙනෙන්න හිටියා. මුදල් වෙනුවෙන් කළත් බොහෝ විට මේ වගේ දේවල් කරන අය එසේ කරන්නේ තමන් පක්ෂපාතී දේශපාලන පක්ෂයක් වෙනුවෙන්. ඒ නිසා, මුදල් ලබා මෙවැනි දේ කරනවාද ස්වේච්ඡා පදනමකින් කරනවාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි.

පොදුවේ ගත්තත් මුදල් වාසි වෙනුවෙන් ලොබින් කළත් මටනම් එහි ප්‍රශ්නයක් නැහැ. මුදල් ලබා හෝ ස්වේච්ඡාවෙන් ලොබින් කරන කෙනෙක් කරන්නේ පුද්ගලයෙකුට අදහස් හා මතවාද තෝරා ගැනීම සඳහා විකල්ප ඉදිරිපත් කරන එකයි. හොඳම විකල්පය තෝරා ගත හැක්කේ වැඩි විකල්ප ප්‍රමාණයක් ඇති විටයි.

මා උපන් දා සිට දශක ගණනක්ම ලංකාවේ තිබුණේ අදහස්, මතවාද වල ඒකාධිකාරයක්. අප හැම දෙනෙක්ම ඒ ඒකාධිකාරයේ ගොදුරු වූ අයයි. ඒකාධිකාරය තිබුණේ සම්මත මිනුම් අනුව උගත් සේ සැලකෙන පිරිස් අතේ. අනෙක් අයට කට වහගෙන ඒ අය කියන දේ පිළිගන්න සිදු වී තිබුණා. සමාජ මාධ්‍ය නිසා ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. සමාජ මාධ්‍ය වල රට ගිය ඇත්තෝ වගේ කතා, උඩ ඡායාරූපය වැනි එඩිට් කළ ඡායාරූපය වැනි ඕනෑම දෙයක් සංසරණය වෙන්න පුළුවන්. එය වැඩි දෙනෙකුගේ කැමැත්ත මත සිදු වන දෙයක්. ඒ නිසා සිදු වී තිබෙන හොඳ දෙයක් වන්නේ උගතුන්ගේ මතවාදී ඒකාධිකාරය බිඳ වැටීමයි. කලින් හිතාමතා අසත්‍ය ප්‍රචාර කරන්න පුළුවන් වුනෙත් ඔවුන්ටම පමණයි. දැන් වෙන අයත් කරනවා.

බොරු ගොඩක් ඇත්ත එක්ක තරඟ කරද්දී ඇත්ත තෝරා ගැනීම ප්‍රශ්නයක් වෙනවා. ලංකාවේ ගොඩක් අයට කාලයක් තිස්සේ එවැනි පුහුණුවක් ලැබී නැහැ. අපි ගොඩක් අය හැදුණේ ආණ්ඩුවේ, ජනමාධ්‍ය වල හා ප්‍රසිද්ධ කලාකාරයින්ගේ අදහස් ඒකාධිකාරය ඇතුළේ මිසක් සමාජ මාධ්‍ය තිබුණු වටපිටාවක නෙමෙයි. එහෙමයි කියලා උගත්, පිළිගත් අය කියන දේ අනිත් අය විශ්වාස කළ අතීතයට යා යුතු නැහැ. ඊට සාපේක්ෂව දැන් තියෙන්නේ හොඳ තත්ත්වයක්. මේ තත්ත්වයත් එක්ක උගත්, පිළිගත් අයට තමන් දන්නා ඇත්ත අනෙක් අයට සරලව පැහැදිලි කරන්න බල කෙරී තිබෙනවා. එසේ නොකළොත් ඔවුන් අවලංගු වී යනවා. කලින් තිබුණු ඒකාධිකාරය ඔවුන්ට නැහැ.

මේ බ්ලොග් එක නිර්නාමිකව ලියන එකත් එහි දේශපාලනයේම කොටසක්. ලියන දේ මිස ලියන පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය වැදගත් නැහැ. ගොනා කෝවිලේ රාජා හෝ ජෝජ් ෆ්ලොයිඩ් අපරාධකරුවන් වීම හෝ නොවීම මත ඔවුන් මරා දැමීම යුක්තියුක්ත කරන්න බැහැ. මරණය සිදු වුනේ කොහොමද කියන කාරණයේදී ඒ අයත් මිනිස්සු. හැබැයි අප විසින් ප්‍රවර්ධනය කරන්නේ කරුණු හොයා බලා හරි දේ හොයා ගැනීමේ සංස්කෘතිය මිසක් මෙහි ලියන දේ කිසිවක් නොවිමසා පිළි ගැනීමේ සංස්කෘතියක් නෙමෙයි. අපට හැම දෙයක් ගැනම ලියන්න වෙලාවක් නැහැ. මේ වගේ කටයුත්තක් හැමදාම කරන්නත් බැහැ. අප කරන්නේ වෙනත් ඕනෑම අයෙකුට කළ හැකි දෙයක්. බොහෝ විට මේ බ්ලොග් ලිපි වල තිබෙන්නේ අන්තර්ජාලයේම කොහේ හෝ තිබෙන තොරතුරු.

උඩ තිබෙන එඩිට් කළ බොරු ඡායාරූපයට අනුව අළුත් පියාපත් කණ්ඩායමේ සාමාජිකාවන් විසින් පොලීසිය විසින් පාතාල සාමාජිකයින්ට වෙඩි තබා මරා දැමීමට එරෙහිව විරෝධතාවයක් දක්වනවා. කාලයක් තිස්සේම විවිධ පුද්ගලයින් ලංකාවේ පොලීසියේ නිලධාරීන්ව ආයුධ පෙන්නන්න එක්ක ගියා. ඒ එක්ක ගිය හැම වෙලාවකම වගේ වෙඩි හුවමාරුවක් සිදු වී අදාළ පුද්ගලයා මිය ගියා. මේ කතාව අඩු වශයෙන් රෝහණ විජේවීරගේ මරණය තෙක් පැරණි කතාවක්.

වීඩියෝ සාක්ෂි හෝ වෙනත් සාක්ෂි නැතත් මේ කතා ඇත්ත නොවන බව මෙය කියවන හැම කෙනෙක්ම වගේ පිළිගන්නවා. එහෙත්, මේ ආකාරයෙන් පොලීසිය විසින් බලය අපහරණය කිරීමට පොදුවේ ලාංකිකයින්ගේ විරෝධයක් නැතුවා වගේම බොහෝ ලාංකිකයින් විසින් එවැනි බලය අපහරණය කිරීමක් ඉල්ලා සිටිනවා. උඩ බොරු ඡායාරූපයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඒ අයටයි.

පෙසපෙ විසින් ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වුවා. එහිදී කුමාර් ගුණරත්නම් විසින් කියා සිටියේ ඇමරිකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබෙන බවයි. ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය හා රාජ්‍ය ත්‍රස්තවාදය අතර සම්බන්ධයක් නැති බව මා පැහැදිලි කර තිබෙනවා. මෙය තනි පුද්ගලයෙකු හෝ වැඩිම වුනොත් කිහිප දෙනෙකු විසින් කළ වැරැද්දක් මිසක් රාජ්‍ය ත්‍රස්තවාදයක් නෙමෙයි. ජෝජ් ෆ්ලොයිඩ් මරා දමන්න කියා පොලීසියට ඉහළින් නියෝග ආවේ නැහැ.

පොලීසි අහෝසි කර දමන මෙන් ඉල්ලමින් මේ වන විට ඇමරිකාවේ ඇතැම් ලොබින් කණ්ඩායම් විසින් බලපෑම් කරමින් ඉන්නවා. ඔවුන් පෙන්වා දෙන්නේ අපරාධකරුවන්ට දඬුවම් දීම සඳහා යොදවන මුදල් අපරාධ වැළැක්වීම සඳහා යෙදවීම වඩා කාර්යක්ෂම බවයි. හරි හෝ වැරදි හෝ වේවා මෙය නැවුම් අදහසක්. මේ වගේ නැවුම් අදහස් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබීම ඇමරිකානු ප්‍රජාන්තන්ත්‍රවාදයයි. පොලීසි නැති සමාජයක් පොලීසි තිබෙන සමාජයකට වඩා යහපත් තැනක්ද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ අත්හදා බැලීමෙන් පසුවයි. ඇමරිකානු සමාජය මෙවැනි අත්හදාබැලීම් වලට සූදානම්.

පෙසපෙ විරෝධතාවයට ඇමරිකාව විරුද්ධ වී නැහැ. මෙවැනි විරෝධතා පවත්වන්න තිබෙන අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින්ම නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කර තිබෙනවා. විරෝධතාව මර්ධනය කළ ආකාරය අනුව එය පොලීසියේ තනි පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ක්‍රියාවක් පමණක්යැයි හිතන්න බැහැ. ගොනා කෝවිලේ රාජා මිය ගිය ආකාරය පිළිබඳ වීඩියෝ සාක්ෂි නැතත් පෙසපෙ විරෝධතාකරුවන් මර්දනය කරන ආකාරය පිළිබඳ වීඩියෝ සාක්ෂි තිබෙනවා. කළින් වාරණ නියෝගයක් ලබා ගෙන තිබීම පැත්තකින් තිබ්බත් විරෝධතාකරුවන්, විශේෂයෙන්ම කාන්තාවන්, ජීප් රථයට පටවා ගත් ආකාරය පොලිස් අත්පොතක තිබෙන ආකාරය වෙන්න බැහැ. කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ උපදෙස් මාලාවක යෝජනා කෙරෙන දෙයක් වෙන්නත් බැහැ.

මේ මර්දනයට එරෙහිව සමනලී ෆොන්සේකා කතා කරනවා. උඩ බොරු ඡායාරූපය හැදෙන්නේ ඒ පසුබිමේ. එය ප්‍රචාරය කරන අයෙක් පෙන්වන්න උත්සාහ කරන්නේ "අයිතීන් උදෙසා කාන්තාවන්" පාතාල සාමාජිකයින් වෙනුවෙන් වුවත් පෙනී සිටින අය නිසා ඔවුන් කියන දේවල් වලට බරක් නොතැබිය යුතු බවයි. ඇත්තටම ප්‍රශ්නය වන්නේ අයිතීන් උදෙසා කාන්තාවන් වගේම පෙසපෙ වැනි පක්ෂත් ඇමරිකාවේ නැති රාජ්‍ය ත්‍රස්තවාදයක් වෙනුවෙන් පෙනී සිටියත් ලංකාවේ පොලීසිය විසින් පාතාල සාමාජිකයෙකු ලෙස හඳුන්වන අයෙකු වෙඩි හුවමාරුවකදී මිය ගිය බව කී විට එය ප්‍රශ්න නොකිරීමයි.

ලංකාවේ ජනගහණයෙන් උසස් පෙළ සමත් ප්‍රතිශතය 13.8%ක්. ඒ කියන්නේ මිලියන 2.99ක් පමණ. 2007-2018 කාලයේදී පමණක් ඇමරිකාවට යන්න බලාගෙන ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයැදුම් කළ ප්‍රමාණය මිලියන 1.24ක්. එහෙම බැලුවහම ලංකාව වඩා හොඳ තැනක් කර ගන්න හදනවා වගේම ඇමරිකාව වඩා හොඳ තැනක් කර ගන්න එකත් ලාංකිකයින්ගේ ප්‍රශ්නයක්. පෙසපෙ සාමාජිකයින් ගොඩක් අය අඩු ගානේ උසස් පෙළවත් සමත් අයනේ. සමහර විට ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයැදුම් කළ අය ඔය ගොඩෙත් ඉන්න ඇති. ඒ දවස් වල ඇමරිකන් විරෝධීන් වූ අපේ යාළුවෝ ඕනෑ තරම් දැන් ඔය මෙහේ ඇවිත් ඉන්නේ.

ආණ්ඩුව පෙසපෙට ඔය තරම් හයියෙන් ගැහුවේ ඇයි කියන එක වෙනම කතා කළ යුතු දෙයක්.

23 comments:

  1. මිනියාපොලිස් පොලිසිය විසුරුවාහැර පොලිස් නිලදාරීන්ට රැකියා නැතිවුණා බවක් ඔබ කියා තිබුනා. එකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ. එත් දැන් ටිකකට කලිනුත් මම දැක්ක බෑන්ක් ස්ටේඩියම් එක හරියේ පොලිසිය ඉන්නවා. මට වැඩිය මෙහෙ ක්‍රමය තවම තේරෙන්නේ නෑ. එත් ඇමරිකන් යාලුවෝ නම් පොලිසිය අහෝසි වීම ඉක්මනට වෙන දෙයක් නෙවෙයි කියල. ඒ නිසා ඒ ගැන අනියත බියක් ඇතිකරන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. මෙය ක්ෂණිකව වෙන එකක් නැහැ. පැය විසි හතරෙන් පොලීසියක් සම්පූර්ණයෙන්ම අහෝසි කර දමන්න බැහැනේ. එවැන්නක් කියලත් නැහැ. ඔබ අනියත බියක් ඇති කරගත යුතු නැහැ. සිටි කවුන්සලයේ 9/13ක් පොලීසිය අහෝසි කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන නමුත් තවමත් ප්‍රායෝගිකව එතරම් දෙයක් සිදු වී නැහැ කියලයි මම හිතන්නේ. ආරම්භයේදී දැනට පොලීසිය යොදවන එහෙත් පොලීසිය අවශ්‍යම නොවන දේවල් වලට වෙනත් අය යොදවන්න ඉඩ තිබෙනවා.

      Delete
    2. "නිරායුධ මනුස්සයෙකුට මාංචුදාලා තියලා බෙල්ල හිරකරලා මරද්දී මහජනයා ඊට විරෝධය පානවා. එසේ වීම ලෝකය උහුලන්නේ නැති අපරාධයක් විදිහට ලෝකය පුරා ප්‍රතික්ෂේප වෙමින් තිබෙනවා. ලංකාවේත් ඇමරිකානු තනාපති කාර්යල් ඉදිරියේ විරෝධය පාන්නේ ඇමරිකානු රාජ්‍යයට හා ඇමරිකානු පොලීසියට එරෙහිව. එයට අවස්ථාව හිමි විය යුතුයි. මම දන්නේ නැහැ එය තහනම් කරමින් ඇයි උසාවිය නියෝගයක් දුන්නේ කියලා. උසාවිය දුන්න නියෝගය නිසා තමයි පොලීසියයි විරෝධතාකරුවන් අතරෙයි ගැටුමක් ඇති වුණේ. මෙතන වරද තියෙන්නේ නියෝගයක් දීමයි. ලෝකය සමස්ත වශයෙන් පිළිගත් අපරාධයක් පිළිබඳ ලෝකයම විරෝධය දක්වද්දී ලංකාවට එම අවස්ථාව අහිමි කරන එක නරකයි. නමුත් නිරෝධායන නීති අනුවයි විරෝධය පාන්න ඕනේ. සමාජ දුරස්ථභාවය තබාගෙන මුඛ වැසුම් දාලා. ඒ වෙනුවට වුණේ පොලීසිය ගිහින් කඩා පැනලා උසාවි නියෝගය කියවලා උසාවියේ නියෝගය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා විරෝධය නැවැත්වීමේ උත්සාහයක යෙදුණේ. ඒ උත්සාහයේ යෙදීම නිසා එතන විශාල ගැටුමක් ඇති වුණා.

      අශෝභන ගැටුමක් ඇති වුණා. පොලීසිය ගත්තු පියවර අපි ඒ වෙලාවේ තිරයේ දැක්කා. ඒ අනුව පෙනී ගියේ පොලීසියේ හැසිරිම, ක්‍රියා කලාපය අනුමත කරන්න බැරි තරම් අනවශ්‍ය ක්‍රියා කලාපයක්. මම දන්නේ නැහැ මේ නියෝගය ඉල්ලුවේ ඇයි කියලා. මම හිතන්නේ නැහැ අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක මේ ගැන කතා කරලා තමයි කටයුතු කරන්න තිබුණේ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ ගැන අහලා මෙහෙම දෙයකට ගියා නම් ඒ ගැන හිතාගන්න පුළුවන්. නමුත් සිද්ධ වූණේ ආණ්ඩුව අනවශ්‍ය පටලැවිල්ලකට ඇදලා දැමීම. ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්තරා විදිහකින් කෙළෙසුණා."

      ඒ අනුව එම උද්ඝෝෂණයට පොලීසිය ඒ අන්දමින් පහර දීම පිළිගත නොහැකි බවයි වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කළේ.

      Delete
  2. මේ වෙනකොට George Floyd උද්ඝෝෂකයන් විසින් එ‌ෙතිහාසික මංකොල්ලකාරය‌ෙක් වූ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ ප්‍රතිමා බිමට ඇදදමමින් විනාශ කරමින් අතිශය බිහිසුණු ලෙස මහත් සේ කෝලාහල කරමින් සිටී.

    මීට අමතරව උද්ඝෝෂකයන් හමුවේ සියටැල් පොලිසියක් පොලිස් ස්ථානය අතහැර පලා ගොස් ඇත. ඒ එක්කම එම කැපිටල් හිල් ප්‍රදේශය දැනට උද්ඝෝෂකයන්ගේ ස්වයං පාලනයක පවතී. තත්ත්වය ඉතා භයානක නිසා හැකි තරම් ස්වයංක්‍රීය ගිනි අවි වලින් සන්නද්ධව නිවාස තුලට වී ඉතා මැනවින් දොර අගුලු දාගෙන පහත මහල් වල දොර ජනෙල් තද බර දේවල් යොදා බ්ලොක් කරලා මාස තුනක පමණ කාලයක් සඳහා ඇති වන තරම් ආහාර ද්‍රව්‍ය රැස් කරගෙන ගෙවල් වලටම වෙලා ඉන්න. ඇමරිකාවේ ඉන්න ලංකාවේ හැමෝම මේ ආරක්ෂක ක්‍රියාවන් අනුගමනය කරන්නට දැනුවත් කරන්න. ස්තූතියි.

    Demonstrations in the US are raging on, with protestors in Seattle occupying the abandoned Seattle Police Department's East Precinct, establishing the so-called "Free Capitol Hill Zone", or "Capitol Hill Autonomous Zone".Protesters have put on the barricades that those coming into the area are “now leaving the USA” and entering the “Cap Hill autonomous zone” or “Free Capitol Hill.”

    ReplyDelete
  3. මේ කොමෙන්ට්එක කියවන අය අන්තර්ජාලයේ තවත් කරුණු හොයන්න.මමත් ඉන්නේ ඇමරිකාවේම කළු රජදහනක.කොලම්බස් ප්‍රතිමා තුනක් කඩාබිඳ දමා තියෙනවා.ඇනෝ කලබලවෙලා.තැන තැන පෙළපාලි ගියත් තත්වය බොහෝදුරට සන්සුන්.

    ReplyDelete
  4. //“lobbying" කියන ඉංග්‍රීසි වචනයට "සභාකක්ෂ මන්ත්‍රණය" කියා සිංහල වචනයක් තියෙනවා.//

    ඔය භාෂා විශාරදයොන්ගෙ දිව ගැටගැහෙන "සභාකක්ෂ මන්ත්‍රණය" නැතුවාට ඕකට හරියන නියම වචනෙ කඩේයෑම. ජෝර්ජ් ෆ්ලොයිඩ් සිද්ධියේදී ඉස්මතුවන ඇමරිකන් වයිට් සුප්‍රිමසි ගැන වචනයක්වත් නොකියා, ගොනා කෝවිලේ රාජා ගැන කියන කොට, අපට හිතෙන්නේ එහෙම තමා.

    මේ ටිකත් කියන්න ඕනෙ. කලු ජාතිකයො හොඳයි කියා මා කියන්නේ නෑ. රිවර්ස් ඩිස්ක්‍රිමිනේෂන්, ප්‍රි ලෝඩින් වගෙ ප්‍රශ්ණ තියෙන බව දන්නවා. ඕන කමින්ද මන්දා ඔබ මඟ හරින දෙයක් තමා, අපි මෙහේදි දෙවන පන්තියේ පුරවැසියන් බව. මේක වුනේ මේ නිසානෙ, අරයට මෙහෙම කරන්න තිබුණනෙ, කිය කියා අනාගතය ගැන පිඹුරුපත් හදන්න අමාරුයි කියල හිතෙන්නෙම නැත්ද? ඒ අවිනිශ්චිතභාවය “ෆීල් ගුඩ්” පෝස්ට් වලින් වහන්න අමාරුයි.

    ඔබ දක්ෂ සහ තීක්ෂණ පුද්ගලයෙක්. ඒකෙ කතා දෙකක් නෑ. මම නං ඔබෙන් බලාපොරොත්තු වුනේ මීට වඩා සමබර විචාරයක්. නැතුව ගොනා කෝවිලේ රාජා ගැන නෙමෙයි. එහෙම දාක අපි ආයෙ කතා කරමු. ජය!

    ReplyDelete
    Replies
    1. ලොබින් කරන අය අතර කඩේ යන අයත් ඉන්න පුළුවන්. මෙය ඇමරිකාවටත් වඩා ලංකාවට අදාළයි. නමුත්, ලොබින් කිරීම කඩේ යාමක් කියා හිතනවානම් එය ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තේරුම් ගෙන තිබෙන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්.

      //ඕන කමින්ද මන්දා ඔබ මඟ හරින දෙයක් තමා, අපි මෙහේදි දෙවන පන්තියේ පුරවැසියන් බව. //
      ඔබ ලංකාවේ පළමු පංතියේ පුරවැසියෙක්ව හිටපු කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා ඔබට මෙය ලොකුවට දැනෙනවා ඇති. මම ලංකාවේ සිටියදීත් සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ජීවත් වුන කෙනෙක්. ලංකාවේ මොන තැනකට ගියත් පළමු තැන ලබා ගන්නා පළමු පංතියේ පුරවැසියන් පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඉන්නේ නීතියට, සදාචාරයට උඩින්. අවශ්‍ය වුනානම් මටත් අවශ්‍ය පරිදි කඩේ යමින් පළමු පන්තියේ පුරවැසියෙක් ලෙස ජීවත් වෙන්න තිබුණත් මම ලංකාව වෙනුවට ඇමරිකාව තෝරා ගත්තේ මට ඒ විදිහට අනෙක් අය පහත හෙළා පළමු පන්තියේ පුරවැසියෙක් ලෙස ජීවත් වෙන්න අවශ්‍ය නොවූ නිසා. එහෙම නැතුව සල්ලි හොයන්න නෙමෙයි. ඇමරිකාවේදී අපට දෙවන පන්තියේ පුරවැසියන් සේ සලකන කෙනෙක් වුවත් මතුපිටින් පේන්න හරි සමාන ලෙස සලකනවා. වැරැද්දක් වෙනවානම් බය නැතුව කතා කරන්න පුළුවන්. තව මිනිස්සුත් අපි වෙනුවෙන් කතා කරනවා. මම එහෙම කරපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මම ඇමරිකාවේදී දෙවන පංතියේ පුරවැසියෙක් ලෙස මා ගැන හිතමින් මුළුගැන්වී ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා, මට මෙතෙක් කවදාවත් ප්‍රශ්නයක් වෙලාත් නැහැ. නමුත්, ලංකාවේදී ලොකු කතා නොකියා සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස තැනකට ගියොත් සමාන අවස්ථා ලබන්න තියා කතා කරන්නවත් ලැබෙන්නේ නැහැ. එසේ වුවත් දැන් වුනත් මම ලංකාවට ගිය විටක කළ යුතු දේවල් නොකර ඉන්නේ නැහැ. එහෙත් බොහෝ විට ඇමරිකාවේදී මෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

      Delete
    2. @ Anonymous June 11, 2020 at 8:35 PM

      එහෙමනම් ඉතින් ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලුත් පටන් ගත්තෙ සංක්‍රමනිකයන් ගෙන්නෙ. ලංකාව විතරද? මං හිතන්නෙ නැහැ ලංකාවේ බහුතරය ඔය රටවල ඉන්න ලාංකීය සම්භවයක් සහිත විදේශිකයන්ට එහෙම බනිනවා කියලා. හැබැයි ලංකාවේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තානම් ඒ ගාන ආපහු ගෙවලා පලයල්ලා කියලා තමයි කියන්නේ. ඒ වගේම ගිහිල්ලා ඒ රටේ කල්චර් එකට ඉන්ටිග්‍රේට් වෙලා ඉඳපල්ලා. එහෙදි කොච්චර කලත් තුන්වන පංතියේ සැලකීමක් තමයි ලැබෙන්නේ.කිසිම රෙකොග්නිෂන් නැහැ. YET ANOTHER PERSON ONLY. ඒ නිසා ඒ හීනමානය වහගන්න මේ රටේ දේශපාලනෙයි, අරකයි මේකට හොට දාල බක පණ්ඩිත අදහස් දාලා පොර වෙන්න හදනවා. ගියා නම් ගිහින් එහෙ ඉන්නකෝ සුදාලා" වගේ මතයක් තමයි ලංකාවේ බහුතරයක් දෙනා ඔය රට ගිය පොරටෝක් ඔස්තාර් ලා ගැන තියෙන්නේ.

      Delete
  5. ඇමෙරිකාවේදී සියල්ලෝම සමානය...ඒ අතරිනුත් සමහර අය වඩා සමානය...වයිට් සුප්‍රමිසි කතාව එයින් නිමි....මීට් කුලු කල්කස් කලෑන් සාමාජික මයියා

    ReplyDelete
    Replies
    1. මයියා ඕක 'ඇමරිකාවෙදි' කියල කියන්න වැඩක් නැහැ නේද? ලෝකෙ කොතනටත් ඔය කියමන අදාලයි.

      Delete
  6. ඔබට මතකද දන්නේ නැහැ ඉස්සර ලංකාවේ ගම් වල ස්වෝත්සාහයෙන් දියුණු වූ වඩාත් උත්සාහවන්ත මිනිසුන්ට කම්මැලි, වැඩක් කර ගන්න හැකියාවක් නැති පිරිස් ධනපතියන්, ප්‍රතිගාමීන් කියල ගැරහුවේ සමාජවාදයේ නාමයෙන්. ඔවුන්ට එරෙහිව වෛරය පැතිරුවේ, සමාජයේ කුම්මැහි කමට, සියලුම සමාජ ආර්ථික ගැටළුවලට විෂමතා වලට හේතුව ඔවුන් වගේ කියමින්. අදත් මා දකිනවා සමහරුන් ඒ වගේම උන්නතිකාමය මහා පවක් ලෙස අර්ථ දක්වන්නට උත්සහ කරනහැටි. මිනිසාගේ උන්නතිකාමය නොවන්නට අදත් අප ගල් ගුහා වල. මම හිතන්නෙ උන්නතිකාමය නොවේ වරද, වැඩක් පලක් නොකරමින්, අනුන්ගේ දේපොළ ගසා කමින්, අනාචාරය පතුරවමින් ජිවත් වීම. අනෙක උන්නතිකාමය හා තිරසාර (සස්ටේනබල්) ජීවිතය/පැවැත්ම කියන්නේ දෙකක් නේද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. දැන් ඔය ලංකාවේ ධනවාදයේ ගැටළු ලෙස හඳුන්වන බොහෝ දේවල් ඔබ කියන තිරසාර පැවැත්ම නැතිකම නිසා ඇති වී තිබෙන ප්‍රශ්න.

      Delete
    2. ඉකොනො තිරසාර සංවර්ධනය සහ ඒ හා සමාන සංකල්පයන් හරහා ධනවාදී ආර්ථික සමාජීය ක්‍රමයේ ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි විදිය ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් හොඳයි.

      Delete
  7. පෙසපෙ දැනට දශකයක විතර ඉඳලා කරනවායැයි පෙනුනේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට වාසිදායකවන අන්දමේ ප්‍රතිඵල වෙනුවෙන් යම් යම් කාර්යයන් කිරීමයි. ඒ පසුබිමේ ඉඳ බැලීමේ දී මේ සිදු කළ විරෝධතාවත් ඒ ගණයට දමා බැලීම නොවැළැක්විය හැකි යි.

    එහෙත් විරෝධතා පැවැත්වීම අයිතිවාසිකමක් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවක්. ඔවුන් එය සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් සිදුකළ බවකුත් දැක්කා.

    විරෝධතාවන්ට එරෙහිව අධිකරණ නියෝග ලබාගැනීම, අධිකරණය විධායකයේ අතකොලුවක් බවට පත්වීමක් ලෙස පෙනෙනවා.

    ඒ මර්දනයට එරෙහිව සියල්ලන්ම එක්වීම වැදගත්.

    ඒ වගේම නිර්වින්දනය කර ඇති සමාජ මනස නැවත අවදි කරවීමට එයිට වඩා අති විශාල කාර්යභාරයක් අවශ්‍ය වෙනවා.

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා මේ වීඩියෝ එක හදපු සුද්දෝ කියන්නේ බොරු ද එතකොට?

    https://youtu.be/1t3i5xY26g4

    මේක ගැනත් විස්තර කරල පෝස්ට් එකක් දාන්න

    ReplyDelete
    Replies
    1. කරුණු බොහොමයක් නිවැරදියි. නිගමන හරි හෝ වැරදි කියා කියන්න බැහැ. මම හිතන්නේ බොහෝ දුරට හරි.

      Delete
  9. ෆ්ලොයිඩ් සිද්ධිය සම්බන්ධයෙන් කරන උද්ඝෝෂණ පදනම මිනිසුන් ලෙස ජීවත්වීමට ඇති අයිතියි. පෙරටුගාමින් වැනි අප අකමැති කණ්ඩායමක් එම උද්ඝෝෂණ කළත් මිනිසුන් ලෙස එය අනුමත කල හැකියි. අනුමත කල යුතුයි.

    ගමේ සිටින පොහොසතා ධනපතියයි කියමින් මාක්ස්වාදය බාල්දු කලේ ජ.වි .පෙ. ය එය මාක්ස්වාදයේ ප්‍රශ්නයක් නොව ගම් කබරයන්ගේ කුහක ඊර්ෂ්‍යාවයි. එය මාක්ස්වාදය සමග පටලව ගන්නේ තම අධ්‍යාපනයේ දුප්පත්කමටයි.

    ReplyDelete
  10. ඇමෙරිකානුවන් විසින් ශතවර්ෂ ගණනක් පුරා දැඩිව ක්‍රියාත්මක කරන සුදු වර්ගවාදී වයිට් සුප්රීමෙසි ජාතිවාදී හා ඒකාධිපති පාලන ස්වරූපය මේ දවස්වල ලෝකය පුරාම ඉතා විශාල වශයෙන් විවේචනය කෙරේ. යම් යම් සුදු ජාතිකයන් පිරිසක් පවා ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා වලට එක් වූ අතර එම විරෝධතා වලට එල්ලවෙන ප්‍රහාර වලදී කළු ජාතිකයන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට එන බවක් ඇමෙරිකානු සටකපට මාධ්‍ය මුදලාලිලා පෙන්නුම් කළා. ජාතිවාදය, ආගම්වාදය හා වර්ණවාදයට එරෙහිව මානුෂීයවාදය සියළු ජනතාවන් එක මිටකට එකතු කරමින් ඉදිරියට ගමන් කරන බවට ප්‍රකාශ සහ ප්‍රබන්ධ නිර්මාණය කර සමාජ ජාල ඔස්සේ සංවිධානාත්මක ලෙස ප්‍රචාරණය වෙනවා.

    ඇමෙරිකානු තත්ත්වය මෙහෙම තියෙද්දී ට'සිරි ලංකාවේ ද විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ෆ්ලොයිඩ් වෙනුවෙන් විවිධ බහුබූත ප්‍රකාශ, වීඩියෝ, ඡායාරූප විරෝධතා වලින් පිරෙනු දැකිය හැකිය. නමුත් අද වන විට එම විරෝධතා ද "විල්පත්තුව රැක ගමු", පන්නයේ
    මල කෝලම් විරෝධතා පමණක් බවට පත් වෙමින් එම බොල් පිළිම හැව හැර ඇත්ත ස්වරූපය, නියම සතා එළියට පැමිණෙන බව දකින්නට ලැබෙනු ඇතැයි සිතමි.

    ReplyDelete
  11. @ මයියා

    ඇමරිකා එක්සත් ජනපදයේ මේ පොලිස් කෲරත්වයට සහ මර්දනයට දශක ගණනාවක නොව සියවස් කීපයක් දීර්ඝ ෂෙරීෆ් රේන්ජර් කාලයේ ඉඳලම එන ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය අන්තවාදී සුදු වර්ගවාදයට සෘජුවම සම්බන්ධ වූ අතරම කළු ජාතිකයන් දහස් ගණින් නීති විරෝධී ලෙස මරා දැමූ රහසිගත සුදු ජාතිවාදී Ku Klux Klan සංවිධානයේ නායකයෝ බහුතරයක් සුදු පොලිස් නිළධාරීන් වූ ලෙසම අදටත් ඇමරිකානු පොලිස් සේවයේ බහුතරය අන්ත වර්ගවාදී සුදු ජාතිකයෝ තමයි. ඔවුන්ගෙන් බහුතරය සුදු ජාතීවාදීහු බව කියනුම කවරේද?

    එක වසරකට දහසකට වැඩි ජීවිත බිලි ගන්නා ඇමරිකානු පොලිස් කෲරත්වයට නිදසුන් ලෙස නිව්යෝර්ක් සහ ලොස් ඇංජලීස් නගරවල ජන සංයුතිය බලන්න. එහි ජනගහනයෙන් බහුතරය සුළු ජාතිකයෝ. නිව්යෝර්ක් නගර ජනගහනයෙන් සියයට 57ක් සුදු නොවන සුළු ජාතිකයෝ. එහි ප්‍රධාන සංයුතිය නියෝජනය වන්නේ කළු අප්‍රිකානුවන්. ලොස් ඇංජලීස් නගරයෙහි සුදු ජාතික ජනගහනය සියයට 30 ක් පමණක් වෙලත් මේ නගර දෙකහිම පොලිස් සේවාවන්හි NYPD සහ LAPD හි සංයුතියෙන් අතිශය බහුතරය සුදු ජාතිකයෝ, සාධාරණ සුළු ජාතික නියෝජනයක් දකින්න බෑ. සුළු ජාතිකයන් බහුතරයක් වෙසෙන නගරවල තත්ත්වය මෙය නම් ඇමරිකාවේ අනෙකුත් නගර ගැන කථාකිරීම නිෂ්ඵලයි.

    සංඛ්‍යා ලේඛණ බැලූ විට බටහිර යුරෝපයේ සියලු රටවල පොලීස් කෲරත්වය හේතුවෙන් වසරකට මියයන සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් එක වසරකට මිය යන අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට Why this Police Brutality Still Happening?" යන ලිපිය පසුගිය මැයි 28 වන දා ලියූ Spencer Bokat-Lindell ගේ වාර්තා වලට අනුව පොලීස් කෲරත්වය හේතුවෙන් වසර 2016 දී මියගිය සංඛ්‍යාව 1071 ක්, වසර 2017 දී 1095 කූත් වසර 2018 දී 1143 ව 2019 දී 1099 ක්ද වසර 2016 සිට 2019 දක්වා කාලයේදී පොලීස් කෲරත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 4,408 වෙනවා. ඒ වගේම මේ මරාදමන ලද පිරිසෙන් අති මහත් බහුතරය කළු අප්‍රිකානු අහිංසකයන් සහ වෙනත් සංක්‍රමණිකයෝ.

    ඒ වගේම දැනට වසර 6 කට පෙරත් 2014 ජූලි මාසයේ Eric Garner නම් කළු ජාතිකයා පොලිස් නිළධාරීන් කණ්ඩායමක් නිව්යෝක්හි දී හුස්ම හිරකර ප්‍රසිද්ධියේ මරා දැමුවේ මේ වගේම “I can’t breathe” යනුවෙන් ආයාචනා කරද්දී. ළඟදි මිනිසෝටාහිදී George Floyd ව මරාදමනු ලැබුවේද මේ එකම විදිහට. එදා 2014 අගෝස්තු මාසයේ දහ අට හැවිරිදි පාසැල් ශිෂ්‍යයකු වූ Michael Brown ව ෆර්ගියුසන් මිසූරි හිදී පොලිස් නිළධාරියෙක් වෙඩි තබා ඝාතනය කළාම මේ සිද්ධි දෙකට එරෙහිව විශාල ජනතා විරෝධයක් ඇමරිකාව පුරා ගොඩනැගුණු අතර දහස් ගණනින් ජනතාව වීදි බැස උද්ඝෝෂණ කළා කියලා මතකනේ?

    එදත් උග්‍ර ඇමෙරිකා පොලිස් කෲරත්වය සහ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ විශාල සංවාදයක් රටතුළ ඇති වෙලා එවකට ජනාධිපතිව සිටි කපටි ලෝක අණ්ඩපාලයෙක් වුණ බැරක් ඔබාමා කියන තක්කඩි දේසපාලුවා
    ජනපති තනතුර දරන ගමන්ම එයට නායකත්වය ලබාදුන් අතර විවිධ රාජ්‍ය සහ සිවිල් ආයතන සක්‍රීයව දායක වෙලා මේ වගේම බොරු ෂෝ ගොඩක් දැම්මා. බෙල්ල හිරකිරීම වැනි අත්ඩංගුවට ගැනීමේ ක්‍රමවේද නීති විරෝධී කිරීම ඇතුළු නව නිර්දේශ සහ පොලිස් ප්‍රතිසංස්කරණ ගණනාවක් එහිදී ඇතිකරන බවට බොරු කයිවාරු නිර්මාණය කළා.

    ඒ වඳුරු කුණු හරුප තියෙන අතරේම මේ සිදු වූ George Floyd ඝාතනය මෙන්ම ජෝජියා ජනපදයේ Ahmaud Arbery සහ කෙන්ටූකී ජනපදයේ Breonna Taylor ඝාතන මගින් පෙන්නුම් කරන්නේ එම බයිලා කයිවාරු ගැසූ ප්‍රතිසංස්කරණ මළාට ක්‍රියාත්මක නොවන බව තමයි. මේ ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ නගරවල ප්‍රධාන පොලිස් දෙපාර්තමේන්තු 100 ක් අතරින් නව ප්‍රතිසංස්කරණ යම් තරමකට හෝ ක්‍රියාත්මක කර ඇත්තේ 28 ක පමණක් බව මාධ්‍ය වාර්තා කළා. මට නම් ඒකත් සැකයි. ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් බලතල හිමිවන්නේ ජනපද (ස්ටේට්) සහ නගර වලට. ඉතින් සුදු ජාතිවාදී පොලිස් නිළධාරීන් සහ ඔවුන් නියෝජනය කරන බලගතු පොලිස් සංගම්වල බලපෑම එක්ක වසර 2014 දී කපටී ඔබාමා ගේ බොරු කයිවාරු යෝජනා කිරීමට නොහැකි බව පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. මේ වගේම වර්ගවාදී මිනි'ඇපලස් පොලිස් නිළධාරින්ගේ සංගමය ද George Floyd ගේ ඝාතනයට සම්බන්ධ අපකීර්තිමත් පොලිස් නිළධාරීන් නියෝජනය කරන ‘මිනි'ඇපලස් පොලිස් නිළධාරින්ගගේ සංගමය’ මෙයට එක් නිදසුනක් විතරයි ඒ පොලිස් ප්‍රතිසංස්කරණ දැඩිව ප්‍රතික්ෂේප කළ. ඇමෙරිකානු අනෙකුත් පොලිස් දෙපාර්තමේන්තු ඔක්කොම වගේ මේ බොරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විරෝධය දැක්වූ හෙයින් පසුගිය ඔක්තෝබර් මාසයේ මිනිසෝටාහි පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ජනාධිපති කිරීමේ Cops for Trump රැලියේදී සිය සහෝදර පොලිස් නිළධාරීන් ඇමතූ මිනි'ඇපලස් පොලිස් නිළධාරි සංගමයේ Lt. Bob Kroll ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ නව පොලිස් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරමින් හිටපු ජනාධිපති ලෝකෝත්තර අණ්ඩපාල ඔබාමා කපටියා පොලිසියට "මාංචු" දමමින් පොලීසිය පීඩාවට පත් කළ බවට චෝදනා කරමින්. වත්මන් ජාතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී කළ පළමු කාර්ය වූයේ එම පොලිස් ප්‍රතිසංස්කරණ කයිවාරු ඉවත දැමීම බවත් දැන් පොලිස් නිළධාරීන්ට සුපුරුදු ලෙස නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබාදීම ගැන තමන් ප්‍රශංසා කරන බවත් කියුවේ Floyd ඝාතනය කළ Derek Chauvin ද සහභාගී වූ ට්‍රම්ප්ට සහාය පළකළ රැස්වීමකදී.

      ඒ වගේම කලින් ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ජනපදයේ ලෝන් අයිලන්ඩ්වවල නවක පොලිස් නිළධාරීන්ගේ විසිර යෑමේ උත්සවයක් අමතමින් සැකකරුවන් අත්ඩංගුවට ගැනීමේදී අයුතු බලය යෙදවීම සඳහා පොලිස් නිළධාරීන් උනන්දු කළා. රටේ ජනාධිපතිවරයා පොලිස් නිළධාරීන් නීතිවිරෝධී ක්‍රියාවන්ට උනන්දු කරන විට ලැබෙන ප්‍රතිඵල ගැන අමුතුවෙන් කියනුම කවරේද? ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි මාස කිහිපයකින් වර්ජිනියා ජනපදයේ චාර්ලට්විල් සුදු වර්ගවාදී "නාසි" කණ්ඩායම් නිර්මාණය කළ ගැටුම්කාරී අවස්ථාවේ දී ඔහු කපටි ඔබාමා වගේ සුදු වර්ගවාදී නාට්සි පිරිස් වල ප්‍රචණ්ඩ හැසිරීම් හෙළා දැක්කේ නැහැ. ජනාධිපති ට්‍රම්ප් කියන්නේ සුදු වර්ගවාදී නාට්සි කණ්ඩායම් මෙන්ම නාට්සි විරෝධීන් අතර හොඳ පුද්ගලයන් සිටින බව තමයි. Ku Klux Klan සුදු ජාතිවාදී කණ්ඩායමේ හිටපු නායක David Duke ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය ඉහළින් අගය කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා සුදු ජාතිවාදීන්ට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් සිටින බවයි. ඒ ට්‍රම්ප්ගේ ඡන්ද පදනම. පැහැදිලි ලෙසම ට්‍රම්ප් යනු නෙෙසර්ගික සුදු වර්ගවාදියෙක් සහ ජාතිවාදියෙක්, එය ඔහුට පියාගෙන් ලැබෙන උරුමයක්, ට්‍රම්ප් ගොයියාගේ පියා නිව්යෝර්ක් සුදු ජාතිවාදී Ku Klux Klan සංවිධානයේ රැස්වීමකට සහභාගීවීම හේතුවෙන් පොලිස් අත්ඩංගුවට පත්වූ, 1973 දී ට්‍රම්ප් මෙන්ම ඔහුගේ පියාගේ ව්‍යාපාර අනුගමනය කළ ජාතිවාදී සුළු ජාතික විරෝධී ප්‍රතිපත්ති හේතුවෙන් ෆෙඩරල් රජය විසින් වරදකරුවන් කළ ඔවුන්ට අයත් නිවාස සංකීර්ණයන්හි සමාන අවස්ථාවන් කළු අප්‍රිකානු ජනතාවට ලබානොදීමට කටයුතු කිරීම නිසාම දඩ ගෙවීමට සිදුවනු අමනයින්.

      වත්මන් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණියේ ද සුදු ජාතිවාදී, වර්ගවාදී සහ සංක්‍රමණික විරෝධී සුළු ජාතික විරෝධී පදනම මතය. ඔහු ජනතාව ඒකරාශී කරනවා වෙනුවට තම දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන් බෙදා වෙන් කිරීමට එකිනෙකාට එරෙහි වෙෙරය පතුරවමින්ත දේශපාලන වාසිය සඳහා ඕනෑම බොරුවක් පැවසීමට නොපැකිලේන කෙනෙක්. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් යනු වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ලුම්පන් දේශපාලඥයෙක් වුණත් ට්‍රම්ප් යනු බුරන බල්ලෙක්. ඒ දේශපාලන න්‍යාය පත්‍රයේ ඇත්තේ තම දේශපාලන බලය පවත්වා ගෙන යෑම පමණි. ඒ සඳහා ඔහු ඕනෑම පජාත වැඩක්‍ කරයි. කොරෝනා වෙෙරසය පැතිර යන විට ඔහු කියා සිටියේ එවැනි වෙෙරසයක් නොමැති බවයි. කොරෝනා වෙෙරසය යනු සිය දේශපාලන ප්‍රතිවාදීන් නිර්මාණය කළ බොරුවක් බව කියා සිටි අතර කොරෝනා වෙෙරසය වැළඳුන රෝගීන් එකා දෙන්නා බැගින් ඇමරිකාවෙන් හමුවන විට ඔහු කියා සිටියේ රෝගී සංඛ්‍යාව ඉක්මනින් බිංදුවට පහළ වැටෙන බවයි. ඔහු බොරුවට කටමැත දොඩවමින් සිටියා මිසක ජනාධිපති වශයෙන් මේ වසංගතයට මුහුණදීමට අවශ්‍ය කටයුතු නිසි පරිදි සංවිධානය කළේ නැත. රෝගී පරීක්ෂා කට්ටල අවශ්‍ය ප්‍රමාණයට නොතිබුණ අතර සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය මූලික සනීපාරක්ෂක පහසුකම් හෝ ලබාදීම දුෂ්කර විය. අවසානයේ සමස්ත ඇමරිකාවම කොරෝනා වෙෙරසයට ගොදුරු විය. මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව එක් ලක්ෂ දහදාහකට අධික අතර කොරෝනා වෙෙරසය වැළඳුන වැඩිම රෝගීන් සංඛාව මෙන්ම මරණ සංඛ්‍යාවේ වාර්තාව ට්‍රම්ප්ගේ පිහිටින් දැන් ඇමරිකාවට හිමි වෙලා.

      Delete
    2. ඒ වගේම කිසිදු දිනෙක තම වරදක් හෝ පසුබැසීමක් පිළිබඳ වගකීමක් නොපිළිගන්නා ට්‍රම්ප් කොරෝනා ඛේදවාචකයේ වගකීම විවිධ පාර්ශවයන්ට යොමු කරමින් ඇඟබේරා ගැනීමට උත්සාහ කරමින් කෝවිඩ් 19 වෙෙරසය චීනයේ රසායනාගාරයක නිෂ්පාදනයක් බව කියා ඉන්පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කර ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන වාර්ෂික ප්‍රදානයන් අත් හිටුවන බව කියා ඊටත් පසුව ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඉවත් වන බවට තර්ජනය කර විහිළු කතා කළා. චීනය මට්ටු කිරීම සඳහා ආර්ථික සම්බාධක පනවන කියා ජෝක් එකක් වුණා.

      හැබැයි මේ වනතෙක් මෑන් සිදු කළ එක කෙන්ගෙඩියක් නෑ, ඩොනල්ඩ් ට්‍රම්ප් යනු බුරන බල්ලෙක්, හපා කන්නේ නැහැ. ඇත්තේ මහා බොල් ශබ්දය විතරයි ඔබාම වගේම. ඔහුගේ මේ සියල්ල තම දේශපාලන බලය පත්වාගෙන යෑම සඳහා වන මාධ්‍ය සංදර්ශන. තමාට අවාසිසහගත තත්ත්වයක් ඇතිවන විට ජනතා අවධානය වෙනතක හැරවීම සඳහා මේ මාධ්‍ය සංදර්ශන ඔහු නිර්මාණය කරත් රාජ්‍ය පාලනයේ ළදරුවකු වුවද මාධ්‍ය සංදර්ශනයේ අති දක්ෂයෙක්.

      මෑන් ට්විටර් පණිවිඩ මගින් රට තවත් ගිණි තබන්නේ ලංකාවේ මංගල සමරවීර කියන ගොන් රිළවා මෑන්ව කොපි කරන්න ගිහින් කළවගත්තා වගේම තමයි.

      ඇමරිකාවේ කොරෝනා වසංගතය හෝ George Floyd ඝාතනය සමඟ රටතුළ ඇතිව තිබෙන විරෝධය ට්‍රම්ප්ට අදාළ නෑ, අදාල වෙන්නේ ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය ජය ගැනීම කියන එක විතරයි. ඒ තමන්ගේ සුදු ජාතිවාදී වර්ගවාදී ආධාරකරුවන් කුලප්පු කර ඔවුනට ලේ සහිත මස් කැබලි විසි කරමින්. දැන් මේ George Floyd ඝාතනයත් සමඟ රටපුරා ඇතිවී තිබෙන විරෝධතා සමනය කරනු වෙනුවට ට්විටර් පණිවිඩ හරහා රට තවත් ගිණි තබන්නේ මේ අවශ්‍ය තාවයට තමයි.

      දැන් ඇමරිකාවේ සියලු නගර වල පොලිස් මර්දනයට එරෙහිව ජනතාව වීදි බැස සාධාරණය ඉල්ලා කරන උද්ඝෝෂණයන්ට එක්ව සිටින්නේ කළු අප්‍රිකානු ජාතිකයන් පමණක් නොවෙයි. සියලු වර්ගයේ සුළු ජාතිකයෝ එහි එක්ව සිටිති. සුවිශේෂී ලක්ෂණය වන්නේ යම් මට්ටමකට සුදු ජාතික සහභාගීත්වයක් ද ඒ සමග දක්නට ලැබීමයි. සුද්දන් යම් පිරිසක්ද සුළු ජාතිකයන් සමඟ එක්ව පොලිස් කෲරත්වයට එරෙහිව සටන් කරත්.

      ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව තබා ලෝකයම ගිනි තබමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාධ්‍ය නිදහස ගැන අමතක වූ ඒකාධිපතියකු විලසින්. ට්‍රම්ප් සිය නීතිපතිවරයා තම පෞද්ගලික නීතිඥයා බවට පත්කර ගෙන තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව නඩුපැවරීමටත් තම දේශපාලන හෙංචයියන්ගේ නඩු ඉවත් කර ගැනීමටත් නීතිපතිව අවභාවිතා කරන හැටි ඇමරිකන් මාධ්‍ය අති බහුතරය දිනපතා හෙළි කරනව. ඇමරිකා එක්සත් ජනපදය දශක ගණනාවක් පුරා කයිය ගැසුව ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ සහ ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති රට තුළ වියෝවී ඇති බව ලෝකයටම පැහැදිලියි. ඒ මදිවට ට්‍රම්ප් ගොයියාගේ වීරයන් වී ඇත්තේ නග්න ඒකාධිපතීන් වන රුසියානු ජනාධිපති පුටීන්, බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ, පිලිපීන ජනාධිපති දූතර්තේ වගේ ගොබ්බසේනලා.

      ඔය අතරේ ලංකාව වෙනුවෙන් ඇමරිකන් පුරවැසියෙක් වුණ ගෝඨාභය රාජපක්ෂ තෝරා ගැනීම ද ට්‍රම්ප් ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක්. වැඩ කරන දින දොළහක් ඇතුළත ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට පැවති සියලු බාධක ඉවත් කළේ ට්‍රම්ප් පාලනයයි. වෙන කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයෙකු පාලනයක් යටතේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, දූෂණ චෝදනා, සහ ඝාතන චෝදනා ඇති ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට එවැනි සහයක් ලැබෙන්නේ නැහැ. කුණු එකතු වන්නේ තවත් එවැනිම කුණු ගොඩකටයි.

      ට්‍රම්ප්ගේ ජාතිවාදී ඒකාධිපති වියරුවේ ප්‍රතිඵල මේ මොහොතේ ඇමරිකාව ඉදිරියේ දිග හැරෙමින් තිබේ. රටම අස්ථාවර වී රට දෙකට බෙදී ගිහින්. දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටෙමින්ති බෙන අයුරුම ගෝඨාභය රාජපක්ෂගේ සිංහල බෞද්ධ ජාතිවාදී ඒකාධිපති රංගනයේ ප්‍රතිඵල ලැබීමට තව ටික දවසකින් දැකිය හැකි වනු ඇත. එහෙත් වැපුරූ දෑහි අස්වැන්න අනිවාර්යයෙන් නෙලාගැනීමට සිදුවනු ඇත.

      Delete
    3. දිගු ප්‍රතිචාරය පිළිබඳව ස්තුතියි! එකඟ නොවෙන දේවල් කිහිපයක් තිබුණත් ගොඩක් දේවල් කොයි වෙලාවක හෝ ලියන්න අවශ්‍යව තිබූ දේවල්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: