වෙබ් ලිපිනය:

Thursday, June 4, 2020

වාහනයක් පාරෙන් එළියට පැන්නොත්...


සිංහල අවුරුදු කාලෙට අපි ගොඩක් අය ගෙවල් වලට යනවා. මේ සිද්ධිය වුනෙත් සිංහල අවුරුදු කාලෙක. හැබැයි මම ගෙදර ඇවිත් හිටියේ අවුරුද්ද නිසාම නෙමෙයි. ශිෂ්‍ය විරෝධතාවක් දිග් ගැස්සී සරසවිය වසා දමා තිබුණු නිසා. අවුරුද්දට ගෙදර ආවම ආපහු යන දවසක් ගැන ඉලක්කයක් තියෙනවා. මේ කියන අවුරුද්දේ එහෙම ඉලක්කයක් තිබුණේ නැහැ. සරසවිය අරිනකම් බලා ඉන්න ඕනෑ.

මම ජනේලය ළඟට වෙලා ඔහේ බලා හිටියා. සරසවිය ඇරලද කියලා පේන නිසා නෙමෙයි. වෙන කරන්න කියලා විශේෂ වැඩක් නැති නිසා.

මොකක් හෝ හේතුවක් නිසා පාරේ වාහන තදබදයක්. මෙය සාමාන්‍ය දෙයක් නෙමෙයි. බොහෝ විට වාහන තදබදයක් හැදෙන්නේ වාහන අනතුරක් නිසා. අපේ ගේ ඉස්සරහින් යන පාර ප්‍රධාන පාරක් වුනත් නගරයකින් තරමක් ඈත්ව පිහිටි කොටසක් නිසා බොහෝ විට වාහන එක ගැම්මට වේගයෙන් යනවා. එය එහෙම නොවනවානම් අනිවාර්යයෙන්ම මොකක් හරි අවුලක්.

මහ පාරට සමාන්තරව අපේ ගෙදරට විරුද්ධ පැත්තේ බොරළු පාරක් තිබෙනවා. ඔය පාරේ ඉඳහිට මෝටර් සයිකලයක්, ත්‍රී වීල් එකක් ගියත් ලොකු වාහනයක් යන්නේ නැහැ. ප්‍රධාන පාරේ සිට ඔය බොරළු පාර යා කරන හරස් පාරවල් ගණනාවක් තැනින් තැන තියෙනවා.

මහ පාරේ වාහන තදබදය නිසා වාහන ඔය කියපු සමාන්තර පාරට දමලා. අපේ ගෙදරට ටිකක් කලින් තිබෙන හරස් පාරෙන් ඒ පාරට දමලා ගෙදරට එහායින් තිබෙන ඊළඟ හරස් පාරෙන් නැවත ප්‍රධාන පාරට ගන්නවා.

ඔහොම බලා ඉඳිද්දී අපේ ගේ පැත්තට කණ්ඩායමක් එනවා. ගමේ තරුණයින් පිරිසක්. මම මේ අයත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. අපි මේ ගෙදර පදිංචියට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. අපි කියා කිවුවත් ගෙදර අය. මම වැඩිපුර හිටියේ සරසවි නේවාසිකාගාරයේ. ඉඳහිට ගෙදර එන දවසක අහල පහළ මිනිස්සු ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඒ මිනිස්සු මාව දන්නවා.

"මහත්තයා පොලීසියට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්ද?"

තරුණ කණ්ඩායමත් එක්ක විදේශික කාන්තාවක්.

"ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

තරුණ පිරිස අර විදේශික කාන්තාව දෙසට මුහුණ හැරෙවුවා. මම ඒ ප්‍රශ්නයම නැවත ඇගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා.

"මගේ ජංගම දුරකතනයේ සිග්නල් නැහැ. පොලීසියට කෝල් එකක් ගන්න ඕනෑ."

ඒ දවස් වල ලංකාවේ ගොඩක් තැන්වල සිග්නල් නැහැ. අපේ ගෙවල් පැත්තේ සිග්නල් නැති බව අමුත්තක් නෙමෙයි.

"මේ නෝනගේ වාහනේ පාරෙන් පැත්තකට ගිහින්. පොලීසියට කතා කරන්න ඕනෑ කියනවා."

එක තරුණයෙක් පිළිතුරු දුන්නා. අර සාමාන්‍යයෙන් වාහන නොදමන පාරට ඇය ඇගේ වාහනයත් අනිත් වාහන පස්සෙන් දමලා. වාහනය අළුත්, සුඛෝපභෝගී වාහනයක්. පාර පටු පාරක්. යාන්තම් වාහනේ පළලට ඇති. ඔය වගේ පාරක වාහනයක් එළවන එක බටහිර රටක ජීවත් වන අයෙකුට පුරුදු දෙයක් නෙමෙයි. අවුලක් කර ගෙන තියෙන එකේ පුදුමයක් නැහැ.

ඔය වගේ වෙලාවක ගමේ තරුණ කැල පටස් ගාලා උදවු කරන්න ඉදිරිපත් වෙනවා. ලංකාවේ වෙන ගොඩක් ගම් වල වගේම තමයි. වාසියක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.

"කරුණේ මුදලාලිගේ ට්‍රැක්ටරේ ගෙනාවනම් වාහනේ අදින්න තිබුණා. කොහෙද කිවුවට අහන්නේ නැහැනේ. මහත්තවත් කියල බලන්න. අපි කියන දේ තේරෙන්නෙ නැතුව ඇති."

විදේශික කාන්තාව මගේ සහ තරුණයින්ගේ මුහුණු දිහා මාරුවෙන් මාරුවට සැකයෙන් බලනවා.

"මම සල්ලි දෙන්නම්!"

කීයක් හරි කඩා ගන්න බලාගෙන දුරකතන ඇමතුමක් අරන් දෙන්න අදිමදි කරනවා කියල හිතන්න ඇති.

"එන්න."

මම ඇයට දුරකථනය තිබෙන තැනට පැමිණෙන ලෙස ආරාධනා කළා.

"පොලීසියේ අංකය කුමක්ද?"

ඇය මගෙන් ඇහුවේ 999 වැනි ඉලක්කම් තුනේ අංක කිහිපයක් උත්සාහ කිරීමෙන් පසුවයි. ඒ දවස් වල ලංකාවේ ඔය ඉලක්කම් තුනේ හදිසි ඇමතුම් අංක තිබුණේ නැහැ. මම දුරකථන නාමාවලිය පෙරළලා අපේ පොලීසියේ අංකය ඇයට පෙන්නුවා.

පොලීසියට ඇමතුමක් ගන්න කිහිප වරක් උත්සාහ කළත් කවුරුවත් දුරකථනය උස්සන්නේ නැහැ. මේ වෙලාවේ ඕනෑනම් පොලීසියේ නිකම් නමට වගේ එක නිලධාරියෙක් ඇති. අවුරුදු දවස් වල කන්තෝරු වල තත්ත්වය කවුරුත් දන්නවනේ. නමට ඩියුටි හිටියත් එක්කෙනෙක් තියලා අනිත් අය ගෙදර ගිහින් ඇති.

වැඩේ හරියන්නේ නැති බව ඇයට තේරුණා. එහෙත් අපේ ගමේ තරුණයන්ගේ ඉංග්‍රීසි එක්ක ඔට්ටු වී හොඳටම තෙහෙට්ටු වී සිටි ඇයට අඩු වශයෙන් මගේ ඉංග්‍රීසි වලින් කිසියම් හෝ පහසුවක් දැනෙන්න ඇති.

"මට පොලීසියට කියලා ඇදගෙන යන ට්‍රක් රථයක් (tow truck) ගෙන්න ගන්න ඕනෑ"

අපේ පොලීසිය සතුව ටෝ ට්‍රක් නැති බවත්, මේ වගේ දෙයකට පොලීසිය එන්නේ නැති බවත්, අද වගේ දවසක ඔය වගේ දේකට තියා අත්‍යාවශ්‍යම දෙයකටවත් එවන්න අමතර නිලධාරීන් පොලීසියේ නැති බවත් මම අමාරුවෙන් ඇයට පහදා දුන්නා.

ගමේ තරුණයින්ව සම්බන්ධීකරණය කරලා ට්‍රැක්ටරයක් හොයා ගෙන ඇගේ වාහනය නැවත පාරට අරන් දුන්නා. වැඩේට දුරකථන ඇමතුම් කිහිපයක් ගන්නත් සිදු වුනා.  අවුරුද්ද දවසේ ඔය වගේ දෙයක් කරන එකත් ටිකක් කෝස් එකක්. ට්‍රැක්ටරේ වගේම එළවන්න මනුස්සයෙක් හොයා ගන්නත් ඕනෑ. ඒ මනුස්සයාට ට්‍රැක්ටරේ දෙන්න අයිතිකාරයා කැමති වෙන්නත් ඕනෑ.

වැඩේ ගොඩ දාගත්තාට පස්සේ ඇයට ගොඩක් සතුටුයි. ට්‍රැක්ට්‍රරයට අසාධාරණ ගානක් ගත්තේ නැහැ. ඇයට වැඩේට සතුටුයි. වැඩේ කෙරුණට පස්සේ තරුණයින් පිරිස පිරිවරා නැවත අපේ ගෙදර ඇවිත් මට කීයක් හෝ මුදලක් දික් කළා. දුරකථන ඇමතුම් වල වියදමට හරියන්න කියලා දුන්නත් ඊට වඩා ගොඩක් වැඩි මුදලක්. මම මුදල් ප්‍රතික්ෂේප කළා. ගමේ තරුණයින්ට කීයක් හෝ දෙන්න කියා ඉල්ලීමක් කළහම ඇය මගෙන් අසා ගාණක් දුන්නා. කට්ටියට හවසට සෙට් වෙන්න ඒ මුදල ප්‍රමාණවත්.

වාහනේ තිබුණේ අපේ ගෙදරින් ටිකක් ඈත. මට කීයක් හෝ මුදලක් දෙන්න හිතාගෙන ආපු ඇගේ අතේ ඒ වෙලාවේ මුදල් හැර වෙනත් දෙන්න දෙයක් තිබුණේ නැහැ. ඇය පැළඳ සිටි කැප් තොප්පිය ගලවලා මට දීලා ගියා. "LA" අකුරු දෙක ගහපු කැප් තොප්පියක්. ඔය තොප්පිය කාලයක් මා ළඟ තිබුණා.

ඔය සිද්ධිය වෙන කොට මම කවදාවත් ලංකාවෙන් පිට වෙනත් රටකට ගිහින් තිබුණේ නැහැ. පොතකින් පතකින් හෝ චිත්‍රපටියකින් දැනගෙන සිටි දෙයක් මිසක් වෙන රටවල් වල කටයුතු සිදුවෙන පිළිවෙළ ගැන අවබෝධයක් තිබුණේත් නැහැ. විදේශික කාන්තාවගේ හැසිරීම අනුව පෙනුනේ ඔය වගේ අවස්ථාවක ඇගේ රටේනම් මුලින්ම කරන්නේ පොලීසියට කතා කර උදවු ඉල්ලා ගන්න එක බවයි.

මේ කාලය වෙන කොට ජවිපෙ දෙවන කැරැල්ල ඉවර වෙලා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. කැරැල්ල කාලයේ ජවිපෙ කටයුතු කරපු ආකාරය ගැන වගේම පොලීසිය හා හමුදා එකතු වෙලා කැරැල්ල මර්දනය කරපු ආකාරය ගැනත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ජවිපෙට කිසිදු සම්බන්ධයක් නොතිබුණු කෙනෙක් වුවත් ඕනෑම වෙලාවක රාජ්‍ය මර්දනයේ ගොදුරක් විය හැකිව තිබුණා. කොටින්ම ඔය කාලය වෙද්දීත් පොලිස්කාරයෙක් කියන්නේ දකින්න ප්‍රිය උපදවන දර්ශනයක් නෙමෙයි. හදිසියකදී උදවුවක් ඉල්ල ගන්න එක කොහොම වුනත් අහම්බෙන් පොලිස් කාරයෙක් මුණ ගැහුණු වෙලාවක වුනත් අයින් වෙලා පයින් යන එක ඇඟට ගුණයි.

කාලයකට පස්සේ මම ඇමරිකාවේ පදිංචියට ආවා. ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ පොදු ප්‍රවාහන පහසුකම් ඇත්තේම නැති තරම්. නිවුයෝර්ක් වගේ නගර වල තත්ත්වය වෙනස්. මේ කියන කාලයේ මම හිටියේ පොඩි ගමක.

අර ලංකාවේදී කැප් තොප්පිය දුන්නු කාන්තාව අහම්බෙන් ඇමරිකාවේදී නැවත හමු වුනාද? නෑ. මේක හොලිවුඩ් චිත්‍රපටියක් හෝ ටෙලි නාට්‍යයක් නෙමෙයි. ඒ කතාව එතැනින් ඉවරයි. මේක වෙන කතාවක්.

පදිංචියට ඇවිත් ටික දවසකින් මූලික අවශ්‍යතාවයක් වන කාර් එකක් ගත්තා. අලුත් එකක් නෙමෙයි. ලංකාවේදීනම් හිතන්නවත් බැරි පොඩි ගාණකට.

ඊළඟ කාර්යය වුනේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම. ඒ වැඩෙත් කොහොම හරි කර ගත්තා. ඊට පස්සේ ළඟ පාත කඩේකට වගේ යන්න අවශ්‍ය වූ විට වෙන කාගේ හෝ උදවු ඉල්ලන්න අවශ්‍ය වුනේ නැහැ.

කාර් එක අරගෙන ටික දවසකින් ගමෙන් පිටත ආසන්න නගරයකට යන පළමු ගමන. කිලෝමීටර 130ක වගේ දුරක්. අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරපු පළමු දවස. අපි ලංකාවෙන් එන කාලයේ ලංකාවේ අධිවේගී මාර්ග තිබුණේ නැහැ. වෙන රටකදී අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරලා තිබුණෙත් නැහැ.

මේ වෙද්දී බිරිඳගේ මවත් අපේ ගෙදර ඇවිත් හිටියා. අප හිටියේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන්.

ගමේ පාරවල් වල වාහනය ධාවනය කළේ වැඩිම වුනොත් පැයට කිලෝමීටර හැත්තෑවක අසූවක වේගයෙන්. කිලෝමීටර වලින් කිවුවත් ඇමරිකාවේ දුර මනින්නේ හැතැම්ම වලින්. ඒ දවස් වෙද්දීත් ඔලුවේ තිබුණේ ලංකාවේදී කාලයක් තිස්සේ පුරුදු වී සිටි කිලෝමීටර් නිසාත්, පාරවල් හොඳ නිසාත් වේගය ඒ තරම් ඇඟට දැනෙන්නේ නැහැ. ලංකාවේදී පැයට කිලෝමීටර සීය පන්නන්න පුළුවන් තැන් තිබුණේ ඉතා අඩුවෙන් නිසා එය ලොකු වේගයක් වගේ හිතට දැනුනත් කිලෝමීටර සීය හැතැම්ම හැටපහක් වෙද්දී කිලෝ මීටර හැතැම්ම වෙනස අමතක වෙනවා.

ගමන ගිහින් අවුලක් නැතුව ආපහු ආවා. අවුල වුනේ ගමනේ අන්තිම හරියේදී. පැයට කිලෝමීටර සීයක වගේ වේගයකින් ඇවිත් ගමට ඇතුළු වන පාරට වාහනය හරවන්න ඕනෑ. ගමෙන් එළියට ගිය පළමු අවස්ථාව නිසා හරවන තැන ගැන අදහසක් නැහැ. ජීපීඑස් එක කියනකම් ඔහේ එන්නයි තියෙන්නේ.

ජීපීඑස් එක වාහනය පාරෙන් එළියට ගන්න දැනුම් දුන්නා. වාහනයේ වේගය අඩු කළත් රෑම්ප් එකේ වංගුව ගන්න අවශ්‍ය තරමට වේගය අඩු වුනේ නැහැ. පළමු දවස නිසා වංගුවේ වක්‍රතාවයේ තරම ගැන අදහසක් තිබුණේම නැහැ. වාහනය පාරෙන් එළියට පැන්නා. එළියට කියා කිවුවත් බොහොම පොඩ්ඩක්.

පාර දෙපැත්තේ ගල් කැට (gravel) දමලා. වාහනේ නැවතුනේ ඒ නිසා. වාහනයේ වැඩි කොටසක් තවමත් පාරේ වුනත් ඉස්සරහ රෝද පාරෙන් එළියේ.

ඔහොම දේවල් ලංකාවේදී ඕනෑ තරම් වෙලා තියෙන නිසා කිසිම අවුලක් දැනුනේ නැහැ. රිවස් කරලා ආපහු පාරට දාගෙන යන එකනේ තියෙන්නේ.

හැබැයි හිතපු විදිහටම වැඩේ වුනේ නැහැ. රෝද එක තැන කැරකෙනවා. පොඩි තල්ලුවක් ලැබුණානම් වාහනේ පාරට එනවා. ලෑල්ලක් වගේ දැම්මනම් ඒත් හරි.

ඔය තරම් දේවල් හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. පාරේ ගිය තව වාහන දෙකක් නවත්වා ඒ වාහන වල සිටි අය උදවුවට ආවා. පාරේ මේ හරියේ වාහන මහ ගොඩක් යන්නේ නැහැ. ගෙවල් හෝ කඩ තියෙන හරියකුත් නෙමෙයි. දැකපු අය තමයි තමන්ගේ වාහන නවත්තලා උදවුවට එන්නේ. ඔය වගේ වෙලාවක සාමාන්‍යයෙන් බොහෝ ඇමරිකානුවන් උදවු කරන්න ඉදිරිපත් වෙනවා.

"මොකද වුනේ? මොනවා හරි උදවුවක් අවශ්‍යද?"

"නෑ. ප්‍රශ්නයක් නැහැ. වාහනේ පොඩ්ඩක් පාරෙන් එළියට ගියා විතරයි"

වාහනේ පාරෙන් එළියට ගියාම ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද? අර ඇමරිකානුවා හිතන්න ඇති. කොයි තරම් බඩගිණි වෙලාවක වුනත් හදිසියේ ගෙදරකට ගියාම කෑමට ආරාධනා කළොත් "දැන් කන්න බෑ. කාලා ආවේ." කියල කියන්නනේ කාලයක් තිස්සේ පුරුදු වෙලා හිටියේ. ඔහොම කිවුවට අනිවාර්යයෙන්ම කෑම හම්බුවෙන බව දන්නවා. හැබැයි ඒ ලංකාවේ. ලංකාවෙත් ඒ දවස් වල.

"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?" ඇමරිකානුවා අහනවා.

"මූට පිස්සුද මන්දා...ටෝ ට්‍රක් එකක් ගෙනත් ගොඩ ගන්න වාහනේ අනිත් පැත්ත ගහල නෑනේ. ඔහොම දේවල්ද අපිට ලංකාවෙදි වෙලා තියෙන්නේ.." මම හිතනවා.

හිතුවේ ඔහොම වුනත් උත්තර දුන්නේ මෙහෙමයි.

"නෑ. ටෝ ට්‍රක් එකක් ගේන්න තරම් දෙයක් නැහැ. ඉස්සරහින් පොඩි තල්ලුවක් දෙන්න පුලුවන්නම් වාහනේ පස්සට එයි."

උදවුවට ඇවිත් හිටපු ඇමරිකානුවන් කිහිප දෙනා එකිනෙකාගේ මුහුණු බලා ගන්නවා. මෙහෙම දෙයක් ඒ මිනිස්සුන්ට ඒ තරම් පුරුදු නැහැ වගේ. හැබැයි වැඩේට ඉදිරිපත් වුනා.

වාහනයකට තල්ලුවක් දාන එකෙත් පොඩි කලාවක් තියෙනවනේ. මේ මිනිස්සුන්ට ඔය කලාව පුරුදු නැහැ. රෝද තවත් එක තැන කැරකුණා විතරයි.

"අපි ඇතුලෙ කට්ටියව බස්සලා ට්‍රයි කරලා බලමු."

ඔය වෙලාවෙම ඔතැනින් ගිය පොලිස් මුර සංචාරක රථයක් නවත්වා පොලිස් නිලධාරියෙක් බැහැලා ආවා. මම හිතන්නේ අහම්බයක්. මේ හරියේ පොලිස් මුර සංචාරක රථ නිතරම යන්නේ නැහැ.

"කාට හරි තුවාලද?"

"නෑ. පොඩ්ඩක් වාහනේ පාරෙන් එළියට පැන්නා විතරයි."

එළියේ උෂ්ණත්වය අඩුයි. ඒ නිසා, බිරිඳ, දරුවා හා බිරිඳගේ මව මේ වන තුරුත් හිටියේ වාහනය ඇතුළේ. පොලිස් නිලධාරියා ඔවුන්ට ඔහුගේ මෝටර් රථයට ගිහින් ඉන්න කියා ආරාධනා කර එහි එන්ජිම හා හීටරය ක්‍රියාත්මකව තැබුවා. එය ලොකු සහනයක් වුනා. ඉන් පසු ඔහු නැවත ආවා.

"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?"

"නෑ."

"නොම්මරයක් ළඟ තියෙනවද?"

"නෑ"

ඒ දවස් වල අන්තර්ජාල සම්බන්ධතා තිබෙන ස්මාර්ට් ෆෝන් ප්‍රචලිතව තිබුණේ නැහැ.

"මම ටෝ ට්‍රක් එකක් කෝල් කරලා දෙන්නද?"

දැන් වැඩේ කොහොමටත් ගොඩින් බේරගන්න බැරි බව පැහැදිලියි. ටෝ ට්‍රක් එකක් ගෙන්න ගන්න එක හැර වෙන විකල්පයක් නැහැ.

"හා"

පොලිස් නිලධාරියා අවශ්‍ය දුරකථන ඇමතුම ගත්තා.

"අපි දැන් ඉන්න අවශ්‍ය නැහැනේ. එහෙනම් අපි යනවා."

උදවුවට වාහන නවත්තපු ඇමරිකානුවන් පිටත්ව ගියා. ටික වෙලාවක් යද්දී ටෝ ට්‍රක් එක ආවා. ඉතා පහසුවෙන් වාහනයේ ඉදිරිපස ඔසොවා පාරෙන් තියලා දුන්නා. බොහොම පොඩි වෙලාවයි ගියේ. ඊට පස්සේ බිලකුත් දුන්නා.

ඔය අතරවාරයේ පොලිස් නිලධාරියා විසින් මගේ රියදුරු බලපත්‍රය ඇතුළු ලියකියවිලිද පරීක්ෂා කළා.

"ටෝ ට්‍රක් එක යන්න කලින් වාහනය ධාවනය කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න." පොලිස් නිලධාරියා මතක් කළා.

එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ටෝ ට්‍රක් යන්න ගියා. බිරිඳ හා මව දරුවාද සමඟ ඇවිත් වාහනයේ වාඩි වුනා. ඉතුරු වෙලා තිබුණේ කරපු හැම දෙයකටම පොලිස් නිලධාරියාට ස්තුති කරන එක පමණයි. මම ඒ සඳහා ඔහුගේ මෝටර් රථය දෙසට ගියා.

"පොඩ්ඩක් ඉන්න."

ඔහු මොකක්ද කොළයක් අතේ තිබ්බා.

"පාලනය කර ගත නොහැකි වේගයකින් වාහනය ධාවනය කිරීම නිසා මට ඔබට දඩ කොළයක් දෙන්න වෙනවා. ඔබ වරද පිළිගෙන දඩය ගෙවනවානම් එය මේ ආකාර වලින් කළ හැකියි. ඔබ වරද පිළි නොගන්නවානම් මේ දේවල් කරන්න පුළුවන්." ඔහු විස්තර කළා.

"ඔබට මොනවා හරි දෙයක් පැහැදිලි කර ගන්න අවශ්‍යද?"

"නැහැ"

නැහැ නොකියා වෙන මොනවා කියන්නද?

"මේ මගේ බිස්නස් කාඩ් එක. පවුලේ අයත් එක්ක පරිස්සමෙන් යන්න."

ඔය තමයි මට ඇමරිකාවේදී ලැබුණු පළමු දඩ කොළය.

කොයි තරම් පරිස්සමෙන් එළෙවුවත් ඕනෑම වාහනයක් පාරෙන් එළියට පනින්න පුළුවන්. පොලිස් වාහනයක් වුනත්!

21 comments:

  1. සිහිකරමි නුඹ
    අද දවසේ
    George Floyd නම්වූ
    සුදු පොලිස්
    දණහිසට යටකර
    බිලිගත්
    කළු ඇමරිකානුවා

    නුඹ කෙඳිරි ගෑ සේම
    "මට හුස්ම බෑ" කියමින්
    මරහඬ තලන්නට ඇති
    සිය ගණනක් වූ
    චීන තරුණ තරුණියෝ
    බීජිං නුවර
    ටියන්මන් චතුරස්‍රයේදී
    කලකට ඉහත
    අද වැනිම දවසක
    මියැදෙන්ට පෙර
    පොලිස් වෙඩි පහරින්

    ReplyDelete
  2. ගොඩක් බර කතාවක්
    බරක් නැති විලාසෙන්...

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට බරක් නැහැ වගේ පේන දේවල් වල ලොකු බරක් තිබෙනවා.

      Delete
  3. අත්දැකීම් ජිවිතේදි හරියට වටිනවා රසවත් කථා දෙකක් ඔබ නිසා මටත් කථාවක් මතක් වුණා පසුව ලියන්නමි
    විචාරක දියණිය

    ReplyDelete
  4. //මහ පාරට සමාන්තරව අපේ ගෙදරට විරුද්ධ පැත්තේ බොරළු පාරක් තිබෙනවා. ඔය පාරේ ඉඳහිට මෝටර් සයිකලයක්, ත්‍රී වීල් එකක් ගියත් ලොකු වාහනයක් යන්නේ නැහැ. //

    පරණ කැලණි වැලි රේල් පාරද?

    ReplyDelete
    Replies
    1. //පාර පටු පාරක්. යාන්තම් වාහනේ පළලට ඇති.//

      Delete
  5. ඇමරිකාවේ මේ දවස්වල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා, කඩගිනිතැබීම, මංකොල්ල කෑම්, මිනීමැරීම් ගැන මම කොමෙන්ටුවක් දැම්මා ඉකොනොගේ පහුගිය පොස්ට් එකකට. මම කිව්වේ ලංකාවේ ජාතින් අතර ගැටුම් ඇති උනාම 'ජාතිවාදය එපා, ආගම්වාදය එපා' කියමින් ඇමරිකාව ලංකාව ගැන පණිවිඩ නිකුත් කරාට ඇමරිකාවේ කළුජාතිකයන් ඇද එලියට බැහැල විරෝධතා දක්වනවා. ලංකාවේ පහුගිය දවස් වල සිංහල මුස්ලිම් අය ගත්තම ඇමරිකාව කිව්වනි මුස්ලිම් අයට රටේ තැනක් නැහැ, ජාතිවදී සිංහලු ඒ අයට පහර දෙනවා වගේ කතා. ඒ උනාට ඇමරිකාවේ කළු ජාතිකයන් කියන හැටියට ලංකාවේ මුස්ලිම් අයට තියෙන්නේ මොන ප්‍රශ්නද? එහෙ මිනිස්සු ලංකාවේ මිනිස්සු හැසිරුනාටත් වඩා දරුණු විදියට හැසිරෙන්නේ කියලා දැන් පේනවනි.

    ඊට පස්සේ ඉකොනෝ කිව්වා කළු මිනිස්සු සුදු මිනිස්සුන්ට ගැහීමක් හෝ සුදු මිනිස්සු කළු මිනිස්සුන්ට ගැහීමක් කොහේවත් වෙලා නැහැයි කියලා. ඊට පස්සේ එහෙම පහර දෙන වීඩියෝ දැම්මම ඉකොනෝ ආයේ වෙන කතාවක් කියනවා. ඉකොනොගේ උත්තර දැක්කම හිනා අපට.

    හැබැයි මොනා උනාත් ඉකොනෝට මම රෙස්පෙක්ට් කරනවා, මොකද ඇමරිකාවට වෙලා ඉන්න ගමන් බොරුවට ලංකාව හොදයි, ඇමරිකාව වැඩක් නැහැ. මේ රටේ කිසිම සභ්‍යත්වයක් නැහැ. ලංකාවේ සම්බෝලයි බතුයි කාලා හිටියත් හොදයි වගේ කතා කියන්නේ නැතිව පුර්ණකලිනවම ඇමරිකාවට පුක දීගෙන ඉන්න ගැන.(පුක යනු කුණුහරුපයක් නොවේ)

    මොකද වෙනින් බටහිර රටවල ඉන්නා බොහෝ ලාංකිකයන් ඒ රටවල ඉන්නා ගමන් ඒ රටවල සුපිරි පහසුකම් අත්විදිනා ගමන් ලංකාවේ අපට බණ දේශනා කරන එකනි කරන්නේ ලංකාව තරං ආයේ වෙන රටක් නෑ කියලා.

    හැබැයි ඉකොනෝ එහෙම නෙමෙයි. ඉකොනෝ හැම වෙලේම ඇමරිකාවට කඩේ යන්නේ,ඇමරිකාව සුද්ද කරන්නේ නිකං නන්දසේන ජනාධිපතිතුමා මොන තීරණේ ගත්තත් ඒක සාධාරිණිකරණය කරන බයියෙක් වගේ. ඉන්න රට ආරක්ෂා කරන එකට ලයික් ඈ ඉකොනෝ.

    ReplyDelete
    Replies
    1. ඔබට එහෙම වෙනසක් පෙනෙන්නේ ඔබ ජාතිවාදී පදනමකින් ලෝකය දකින්න පුරුදු වී තිබෙන නිසා. සිංහල කණ්ඩායමක් එකතු වී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු මුස්ලිම් වීම නිසා ඔහුගේ කඩය ගිණි තිබ්බොත් එහි තිබෙන්නේ ජාතිවාදය. එහෙත්, මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ කඩයකින් සිංහලයෙක් විසින් ඇඳුමක් හොරකම් කරගන ආවොත් එය හොරකමක් මිසක් ජාතිවාදයක් නෙමෙයි. එය අහුවෙලා කඩේ මුස්ලිම් සේවකයින් එකතු වී හොරකම් කළ පුද්ගලයාට පහර දුන්නොත් එයත් ජාතිවාදයක් නෙමෙයි. තමන්ගේ දේපොළ හොරුන්ගෙන් රැක ගැනීමක්. ඇමරිකාවේ ජාතිවාදීන් නැහැ කියා මම කියා නැහැ. එහෙත් ඔබ දකින වීඩියෝ බොහොමයක ගැටුම් ඇති වන්නේ දේපොළ මංකොල්ල කන්නන් හා දේපොළ මංකොල්ල කෑම වලක්වන්න උත්සාහ ගන්නා අය අතරයි.

      Delete
    2. මම ජාතිවාදියෙක් කියලා ඉකොනෝ කියන්නේ කොහොමද? මගේ ප්‍රියතම දේශපාලකයා වික්‍රමභාහු වෙනකොට. මේ රටේ ද්‍රවිඩ ජාතිකයෙක්/මුස්ලිම් ජාතිකයෙක් රටේ පාලකයා උනත් මට කිසිම ගැටලුවක් නැහැ. මම මනෝ ගනේෂන්ටත් ජන්දේ දීලා තියෙනවා.

      මෙහෙ ඉන්නා බයියෙක් වගේම තමයි ඉකොනෝත්. රාජපක්ෂලා මොන දේ කරත් ඒක හොදයි. දැන් හිතන්නකෝ අද උදේ හාල් වලට පාලන මිලක් දැම්මා කියලා. ඒක ඉතාම හොද දුරදක්න අනර්ග තීරණයක්‌ කියලා බයියෝ හෑලි ලියනවා. ආයේ හවස ඒ පාලන මිල අයින්කරොත් බයියෝ ආයේ කියන්නේ ඊට එහා හොද තීරණයක්‌ නැහැ කියලා.

      ඉකොනොත් අන්න එහෙම්ම තමයි. කොවිඩ් 19 ගැන උනත් බලන්නකෝ. ඉකොනෝ ලිව්වේ ඇමරිකාවේ ඒ ගැන ගත්තු තීරණ හොදම එව්වා කියලනි. ඒ උනාට පේනවනි උන දේ. ඉකොනොත් බයියෙක් වගේ තමයි එක් ආකාරයකින් බලනකොට.

      මම ඉකොනොට දොස් කියනවා නෙමෙයි. ඉකොනෝ ඇමරිකාවේ ඉන්න නිසා එහෙ හැම දේම හරියි කියාගෙන ඉන්නවට මම මාර කැමතියි. මම උනත් ආයේ ලංකාව දාලා වෙනින් රටකට ගියා නං ලංකාව දීලා බලං ඉන්නේ නැහැ ආයේ. ඒ රටේ දේවල් හොදයි කියන් ඉන්නවා මිසක්.

      Delete
    3. ඔබ ජාතිවාදයට එරෙහිනම් ඇමරිකාවේ කවුරු හරි ලංකාවේ ජාතිවාදී ක්‍රියාවකට එරෙහිව කරන ප්‍රකාශයක් ඔබට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ඔබ ඡන්දය දුන්නේ කාට වුනත් එය අදාළ කරුණක් නෙමෙයි. මනෝ ගනේෂන්ට ඡන්දය දුන්නා කියලා කෙනෙක් ජාතිවාදියෙක් නොවන්නේ නැහැ. ඔබ මනෝ ගනේෂන්ට ඡන්දය දුන්නේ ඔහු සුළු ජාතිකයෙක් නිසානම් ඔබ අනිවාර්යයෙන්ම ජාතිවාදියෙක්. ඔබ ජාතිවාදියෙක් නොවේනම් ඔබ ඡන්දය දෙන විට පුද්ගලයෙක් සුළු ජාතිකයෙක්ද නැද්ද කියන එක ගැන සලකා බලන්න අවශ්‍ය නැහැ. ඔබ එහෙම බලනවානම් ඔබ අන්තිමේදී සුළු ජාතිකයාගේ පැත්ත ගත්තත් ඔබ ජාතිවාදියෙක්. මොකද ඔබ ඡන්දය දෙන්නේම ජාතිය ගැන හිතලා. ඔබ මනෝ ගනේෂන්ට ඡන්දය දුන්නේ ඔහු සුළු ජාතිකයෙක් නිසා කියා මම මෙහිදී කියන්නේ නැහැ. එය එසේ නොවන්න පුළුවන්. එය දන්නේ ඔබයි. නමුත්, මෙහි ඔබ ලියා ඇති කරුණු අනුව ඔබ ඇමරිකාවේ සිදුවන දේවල් විග්‍රහ කරන්න පටන් ගන්නේම මිනිස්සු කළු හා සුදු ලෙස වර්ග කිරීමෙන් පසුවයි. එය ජාතිවාදී දැක්මක්.

      කෝවිඩ් සම්බන්ධව ඇමරිකාව ගත් ක්‍රියාමාර්ග නිවැරදියි කියන මතයේ මම තවමත් ඉන්නවා. ජෝජ් ෆ්ලොයිඩ් සිද්ධියේදී වගේම මෙහිදීත් හැම සුළු දෙයක්ම සිදු විය යුතු හොඳම විදිහට සිදු වී නැහැ. නමුත්, සමස්තයක් ලෙස වෙනත් විකල්පයක් යටතේ වඩා හොඳ තත්ත්වයක් තිබිය හැකි වුනා කියා කියන්න බැහැ. රජය මුල් වී කොයි තරම් දැඩි පාලනයක් කළත් කොවිඩ් තුරන් කළ නොහැකි බවට හොඳම උදාහරණය ලංකාවයි. හැබැයි ලංකාවේ පැවති තත්ත්වයන් මත මුලදී එසේ කිරීමේ ලොකු වැරැද්දකුත් මම දකින්නේ නැහැ. ලංකාවේ හා ඇමරිකාවේ බොහෝ දේවල් වෙනස්. හැම ලෙඩේටම එකම බේත හරියන්නේ නැහැ. හැම කාලයටම හරියන්නෙත් නැහැ.

      මම ඇමරිකාවේ ඉන්න නිසා ඇමරිකාවේ හැම දේම හරි කියා කියන්නේ නැහැ. හරි කියන්නේ මම හරි කියා දකින දේ පමණයි. ඇමරිකාවේ සිදුවන දෙයක් හරියට වෙන්නේ නැත්තම් ඒ ගැන කතා කරන්න නිදහස මට ඇමරිකාවේ තිබෙනවා. බොරුවට ලංකාවේ අය කියවන සිංහල බ්ලොග් එකක ලියන්න අවශ්‍ය නැහැ. සිංහලෙන් කොච්චර ලිවුවත් ඇමරිකාවේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඇමරිකාවේ තිබෙන මම කැමතිම දෙය ඒ නිදහසයි. ඒ නිසා වැරදි දේවල් නිවැරදි වෙනවා. ඇමරිකානු ක්‍රමය කියන්නෙම ඒකයි. පවතින තත්ත්වය හරි කියා බදාගෙන හිටියොත් රටක් එතැනින් එහාට යන්නේ නැහැ. වික්‍රමබාහු වගේ මාක්ස්වාදීන්ට වෙලා තිබෙන්නේ ඒකයි. මාක්ස්ගෙන් එහාට හිතන්න බැහැ. මාක්ස්ව ආගමක් වගේ අදහනවා. වික්‍රමබාහු දිගින් දිගටම අසාර්ථක වී තිබෙන්නේ මාක්ස්වාදයේ අඩුපාඩු නිසා මිසක් වික්‍රමබාහුගේ වැරැද්දකින් නෙමෙයි. ඔහු ජීවිතකාලයම මාක්ස්වාදයට අවංකව මාක්ස්වාදය අදහාගෙන සිටි පුද්ගලයෙක්.

      මම ඇමරිකාවේ ඉන්න නිසා ඇමරිකාව හොඳයි කීමක් නෙමෙයි වෙන්නේ. ඇමරිකාව මට තිබෙන වෙනත් විකල්ප වලට සාපේක්ෂව හොඳ නිසා මම ඇමරිකාවේ ඉන්න එකයි. වඩා හොඳ තැනක් තිබෙනවානම් මම ඇමරිකාවේ ඉන්නේ නැහැ. මම ඇමරිකාවේ ඉන්නේ මුදල් නිසා නෙමෙයි. මම කැමති ජීවිතය ඇමරිකාවේ තිබෙන නිසා. මුදල් එහි එක් කොටසක් පමණයි. ලංකාවේ ඉන්න මගේ ඥාති මිත්‍රයින් බොහෝ දෙනෙක්‌ මුදල්, වත්කම් අතින් මට වඩා සාර්ථකයි. නමුත්, වෙනත් රටකදී මුදල් වලට ගන්න බැරි ගොඩක් දේවල් ඇමරිකාවේ තිබෙනවා. ඒ දේවල් වලට මම කැමතියි. ඒ නිසා, එවැනි යහපත් තත්ත්වයක් ඇමරිකාවෙන් පිටත වෙනත් තැන් වල ඇති වෙනවාටත් කැමතියි.

      Delete
    4. හැබැයි මොනා උනාත් ඉකොනෝට මම රෙස්පෙක්ට් කරනවා, මොකද ඇමරිකාවට වෙලා ඉන්න ගමන් බොරුවට ලංකාව හොදයි, ඇමරිකාව වැඩක් නැහැ. මේ රටේ කිසිම සභ්‍යත්වයක් නැහැ. ලංකාවේ සම්බෝලයි බතුයි කාලා හිටියත් හොදයි වගේ කතා කියන්නේ නැතිව පුර්ණකලිනවම ඇමරිකාවට පුක දීගෙන ඉන්න ගැන.(පුක යනු කුණුහරුපයක් නොවේ)

      ඉකොනෝ හැම වෙලේම ඇමරිකාවට කඩේ යන්නේ,ඇමරිකාව සුද්ද කරන්නේ නිකං නන්දසේන ජනාධිපතිතුමා මොන තීරණේ ගත්තත් ඒක සාධාරිණිකරණය කරන බයියෙක් වගේ. ඉන්න රට ආරක්ෂා කරන එකට ලයික් ඈ ඉකොනෝ.

      Delete
    5. දශක ගාණක් තිස්සෙම ලංකාවේ දේශපාලනය කැරකෙන්නේ ඇමරිකන් විරෝධය කේන්ද්‍ර කරගෙන. එහි ආරම්භය සමාජවාදී කඳවුරේ සැලසුම් සහගත ව්‍යාපෘතියක්. ඔබ ඇතුළු ලංකාවේ බොහෝ දෙනෙක් මේ ව්‍යාපෘතියේ ගොදුරක් වී සිටින අයුරින්ම මමත් කාලයක් මේ ව්‍යාපෘතියේ ගොදුරක් වෙලා හිටියා. සෝවියට් දේශයට හෝ වෙනත් සමාජවාදී රටකට ලංකාවෙන් කාලයක් තිස්සේ ගිය අය ඒ රටවල් වල නැවතිලා තිබෙන්නේ ඉතා කලාතුරකින්. ඔවුන් නැවත ලංකාවට එනවා. ලංකාව හා සෝවියට් දේශය අතර වෙනස්කම් ඔවුන් බොහෝ දෙනෙක් දකින්නේ සමාජවාදය නිසා සෝවියට් දේශය ලබා ගත් දේවල් ලෙසයි. බටහිර රටවලට ලංකාවෙන් ගිය අය නැවත ලංකාවට එන්නේ ගොඩක් අඩුවෙන්. ඒ අය ලංකාව හා බටහිර රටවල් අතර දකින වෙනස්කම් ලංකාවේ ඉන්න අයට දැනගන්න ලැබෙන්නේ නැහැ. ධනවාදී රටවල් සමාජවාදී රටවල් වගේ මුදල් වැය කර ධනවාදී ක්‍රමය ප්‍රචලිත කරන්නේ නැහැ. ඒ නිසා සමස්තයක් ලෙස ඇමරිකාව පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙකු දකින්නේ හාත්පසින්ම වෙනස් වැරදි චිත්‍රයක්. දේශපාලනඥයින් විසින් තමන්ගේ වාසියට ඒ තත්ත්වය දිගින් දිගටම පවත්වා ගන්නවා. මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් අරන් තිබෙන්නේ අන්තර්ජාලය ව්‍යාප්ත වීමෙන් පසුවයි. එහෙත්, අපේ වයසේ හෝ වැඩි වයසක සිටින කාලයක් මොළ ශෝධනයට ලක් වී සිටින අයට තමන්ගේ ඇමරිකන් විරෝධයෙන් ගැලවෙන්න අමාරුයි. අප මෙහි ලියන දේවල් ඇමරිකාව සුද්ද කිරීමක් ලෙස පෙනෙන එක එහි ප්‍රතිඵලයක්.

      Delete
  6. ඉකොනෝ..

    1. මාර්ගයේ banking angle එක වැරදියට හදලා තිබුනේ වාගේ පොතේ තර්කයක් දාලා හරි දඩ කොලෙන් බේරෙන්න බැහැයි කියලා හිතුනාද? :)

    2. ඒ වේලාවේම අර පොලිස්කාරයා එතැනටම එන්නට සිදුවීම අහම්බයක් ද අනිවාර්යයක්ද? විද්‍යාවේදී kinetics හිදී අහඹු චලිතය පිලිගත්තත් - Brownian motion- ආර්ථික විද්‍යාවේ දී අහඹුතාවයක් / සසම්භාවීතාවය/ random nature පවතීද?

    3. අනාගතයේදී ඔබ ලියන ලිපිවල අල්ලස් ගැනීම සහ ප්‍රදානය කිරීමේ ආර්ථික විද්‍යාව - Economics of bribery -ගැන යමක් ලිවිය හැකිද? මෙහි ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කල යුතු යමක් ඇතැයි මට සිතේ.

    CP-C

    ReplyDelete
    Replies
    1. 1. ප්‍රාන්තයේ මාර්ග නීති පොතේ කුමන අංකය යටතේ දඩය නියම කරනවද කියන එක දඩ කොළයක ලියනවා. මාර්ග නීති පොත අරගෙන එම වැරැද්ද මොකක්ද කියලා කියවලා බැලුවහම වැරැද්ද නිශ්චිත ලෙස අර්ථදක්වලා තිබෙනවා. දෙන්න පුළුවන් දඩුවමත් තිබෙනවා. මාර්ග නීති අනුව සාමාන්‍ය තත්ත්වයක් යටතේදී පාරේ ඉරි ඇඳ තිබෙන සීමාවෙන් පිටත වාහනය ධාවනය කරන්න බැහැ. මට දඬුවම නියම කර තිබුණේ "තමන්ට පාලනය කර ගත නොහැකි වේගයකින් වාහනය ධාවනය කිරීම" කියලා. ඒ නිසා, නියමිත වේගයට වඩා වැඩියෙන් වාහනය ධාවනය කළේ නැහැ කියන එක තර්කයක් ලෙස ඉදිරිපත් කරන්න බැහැ. පොලිස් නිලධාරියා බැහැලා ආපු අවස්ථාවේ "වාහනය පාලනය කර ගත නොහැකිව පැත්තකට ගියාද?" කියලා ඇහුවා. මම ගත්ත කටටම "ඔවු" කියලා කිවුවා. අධික වේගයෙන් යාමක් වගේ දෙයක් නොවන නිසා මෙය වැරැද්දක් කියලා මම හිතුවේ නැහැ. ඒ වගේම වාහනය පාරට ගත්තට පස්සේ වාහනය ධාවනය කළ නොහැකි කිසියම් යාන්ත්‍රික දෝෂයක් තියෙනවාද කියන එකත් ඔහු ඇහුවා. පාලනය කර ගත හැකි වේගයකින් වාහනය ධාවනය කළානම් වාහනය පාරෙන් එළියට යන්න තිබුණු එකම සාධාරණ හේතුව යාන්ත්‍රික දෝෂයක් තිබීම. පසුව නීති පොත කියවා බැලුවහම ඔහු අහලා තිබුණේ නීති පොතේ වචන වලින්ම නිශ්චිත ප්‍රශ්නය දෙකක්. මේ ප්‍රශ්න දෙකට පිළිතුරු දීමෙන් පසුව මම වැරැද්ද පිළිගෙන අවසානයි. ඒ වගේම, ඒ අවස්ථාවේ මම අදාළ වැරැද්ද කර තිබුණු බවත් ඉතාම පැහැදිලියි. පොලිස් නිලධාරියා ඔහු විසින් කළ යුතු දෙය හරියටම කරලා තිබුණා. ඒ නිසා, මම කළ යුතුව තිබුණු හොඳම දෙය වැරැද්ද පිළිගෙන දඩය ගෙවන එකයි. ඒ වෙලාවේ දැන නොසිටියත් මීට වඩා වක්‍රතාවය වැඩි රෑම්ප් තියෙනවා. ඇමරිකාවේ පාරවල් වල ලොකු වංගු තිබෙන හැම තැනකම වෙනම වේග සීමාවක් තිබෙනවා. එය වංගුවේ වක්‍රතාවය අනුව අඩු වැඩි වෙනවා. නියමිත වේගයට ධාවනය කළානම් එම වක්‍රතාවය අනතුරුදායක නැහැ.

      2. අනිවාර්යයෙන්ම. අහඹු චලිතය විශේෂයෙන්ම ආර්ථිකමිතික ආකෘති වල මූලික පදනමේ කොටසක්. හැම ආකෘතියකම විස්තර කළ හැකි කොටසක් හා කළ නොහැකි සසම්භාවී කොටසක් තිබෙනවා. සමහර විට අනාවැකි වරදිනවා වගේ පෙනෙන්නේ ඇත්තටම අනාවැකි වරදින නිසා නෙමෙයි. මේ සසම්භාවී කොටස නිසා. නමුත්, එය තේරෙන්නේ ආකෘතිය ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට පමණයි. Brownian motion කියන එක එක ඉතාම සරල කොටසක් පමණයි. එතැනින් එහාට අවුරුදු ගාණක් ඉගෙනගන්න දේවල් තියෙනවා. Brownian motion එකෙන් කරන්නේ අහඹු චලිතයක් සීමිත උපකල්පන කිහිපයක් ඇතුළේ හිර කරන එක. එහෙත්, බොහෝ අවස්ථා සඳහා එම උපකල්පන සීමාකාරී වන නිසා එතැනින් එහාට යන්න වෙනවා. ආර්ථිකමිතික ආකෘති උගන්වද්දී පාඨ ග්‍රන්ථ / විභාග මට්ටමේදී පහසුවට ඔය වගේ සරල උපකල්පන වලින් පටන් ගන්නවා. ආකෘති සැබෑ තත්ත්වයන්ට යොදන විට වඩා සැලකිලිමත් විය යුතුයි.

      3. බලමු.

      Delete
  7. ඔයාට තිබුනේ ඉංග්‍රිසි බෑ කියන්න.

    ReplyDelete
    Replies
    1. එය විසඳුමක් වෙන්නේ කොහොමද?

      Delete
  8. මේකේ මම ආසම කෑල්ල තමයි මේක.. “ අර ලංකාවේදී කැප් තොප්පිය දුන්නු කාන්තාව අහම්බෙන් ඇමරිකාවේදී නැවත හමු වුනාද? නෑ. මේක හොලිවුඩ් චිත්‍රපටියක් හෝ ටෙලි නාට්‍යයක් නෙමෙයි. ඒ කතාව එතැනින් ඉවරයි. මේක වෙන කතාවක්”

    ReplyDelete
    Replies
    1. ඔතැනදී ඕක කිවුවේ නැත්නම් සමහර අය අවිඥානකව ඔතැනින් පහළට කියවන්නේ ඔයවගේ දෙයක් බලාගෙන. අන්තිමේදී බලාපොරොත්තු කඩ වුණාම ඒ ඇයි කියලා තමන්වත් දන්නේ නැතුව බැනලා කමෙන්ට් එකක් දාලා යනවා. :)

      Delete
  9. ඇමරිකාවෙ වාහන එලවිල්ල සෙල්ලං නෑ වගෙයි. ලංකාවෙනං ඔයිට වැඩිය දෙයක් උනත් වටේ පිටේ ඉන්න අය ගොඩ දාල දෙනව යස අගේට.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: