වෙබ් ලිපිනය:

Monday, June 22, 2020

ඇමරිකාවේ මහ බැංකුව


ඇමරිකාවේ මහ බැංකුව කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් තිබෙනවා- ෆෙඩරල් සංචිත බැංකුව. මේ වගේ ඕනෑම ප්‍රශ්නයකට ලැබෙන පිළිතුරක් කෙනෙක් අවබෝධ කර ගන්නේ තමන් දන්න දේවල් වලට සාපේක්ෂවයි. ඇමරිකාවේ පොලීසිය කියා කිවුවහම ලංකාවේ ඉන්න කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ ඇමරිකාවේ තිබෙන ලංකාවේ පොලීසිය වගේ එකක්. ඉන්දියාවේ කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ ඇමරිකාවේ තිබෙන ඉන්දියාවේ පොලීසිය වගේ එකක්. මහ බැංකුව ගැන වුනත් එහෙමයි.

ඇමරිකාවේ බොහෝ ආයතනික ව්‍යුහයන් ලෝකයේ අනෙක් හැම රටකටම වඩා වෙනස්. ඒ නිසා, ලංකාවේ පමණක් නෙමෙයි බටහිර යුරෝපීය රටවල අය පවා මේ වෙනස්කම් වලට එතරම් සංවේදී නැහැ. එය බොහෝ විට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඇතැම් මූලික කරුණු අතින් බැලුවොත් වෙනසක් නැහැ. ලංකාවේ වගේම ඇමරිකාවෙත් පොලීසිය විසින් කරන්නේ නීතිය හා සාමය රකින එක. මහ බැංකුව විසින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ රටේ මිල ස්ථායීතාවය පවත්වා ගන්න එක.

ඇමරිකාවේ මහ බැංකුව අවම වශයෙන් කරුණු දෙකක් මත ලෝකයේ වෙනත් මහ බැංකු වලින් වෙනස් වෙනවා. පළමු කරුණ ඇමරිකාවේ තිබෙන්නේ මහ බැංකු පද්ධතියක් මිසක් තනි මහ බැංකුවක් නොවීම. දෙවන කරුණ මේ මහ බැංකු පද්ධතිය සෑහෙන තරම් දුරකට පෞද්ගලික අංශයේ පාලනය යටතේ තිබීම. මෙයින් වෙනස්ව ලෝකයේ හැම රටකම වගේ මහ බැංකු රාජ්‍ය අංශය යටතේ තිබෙන මධ්‍යගත ආයතන. හැබැයි ඇමරිකාවේත් මේ තත්ත්වයන් දෙකම ක්‍රමයෙන් වෙනස් වෙමින් ෆෙඩරල් සංචිත පද්ධතිය රාජ්‍ය අංශය යටතේ තිබෙන මධ්‍යගත ආයතනයක් දක්වා ක්‍රමයෙන් රූපාන්තරණය වෙමින් පවතින බවත් කිව යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කළේ 1950 වසරේදී. ශ්‍රී ලංකා මහ බැංකුව කියා කිවුවත් ඒ දවස් ලංකා මහ බැංකුව (The Central Bank of Ceylon). ශ්‍රී ලංකා මහ බැංකුවට දැන් අවුරුදු හැත්තෑවක්. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ස්ථාපිත කළේ 1914 වසරේදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය එක්ක සංසන්දනය කළොත් ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය අවුරුදු 34කින් මහළුයි. නමුත්, යුරෝපයේ ඇතැම් මහ බැංකු එක්ක සංසන්දනය කළ විට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය සෑහෙන්න තරුණයි.

එංගලන්තයේ මහ බැංකුව වන එංගලන්ත බැංකුව (Bank of England) ආරම්භ කෙරුණේ 1694 වසරේදී. ස්වීඩනයේ මහ බැංකුව (Sveriges Riksbank) ආරම්භ කෙරුණේ 1668 වසරේදී. එහෙත් එයින් අදහස් වෙන්නේ මේ මහ බැංකු අද පවතින්නේ ඒ ආයතන ආරම්භ කළ ස්වරූපයෙන්ම කියන එක නෙමෙයි. එක් එක් මහ බැංකුව හා අදාළ වෙනස් ඉතිහාස කතා තිබෙනවා.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ආරම්භ කරන්න කලින් ඇමරිකාවේ මහ බැංකුවක් ස්ථාපිත කරන්න උත්සාහයන්  කිහිපයක්ම ගත්තත් ඒ උත්සාහයන් සාර්ථක වුනේ නැහැ. එයට හේතු වුනේ රටක මහ බැංකුවකට මිනිසුන්ගේ ජීවිත පාලනය කළ හැකි යම් ඒකාධිකාරයක් ලැබීම හා බොහෝ ඇමරිකානුවන් එවැනි තත්ත්වයක් ඇති වනවාට මනාපයක් නොදැක්වීමයි. ඒ ඉතිහාසය පහු කරලා 1913 වසරට ආවොත්, ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ස්ථාපිත කෙරුණේ ඇමරිකානු කොංග්‍රසයේ සම්මත වී 1913 දෙසැම්බර් 23 දින ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් අත්සන් කිරීමෙන් පසුව නීතියක් බවට පත් වූ ෆෙඩරල් සංචිත පණතේ ප්‍රතිපාදන අනුවයි.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතියට ප්‍රාදේශීය ෆෙඩරල් සංචිත බැංකු 12ක් අයත් වෙනවා. මේ එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතියේ කොටස් වුවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර හෝ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාල මෙන් බැංකු ප්‍රධාන කාර්යාලය යටතේ තිබෙන ප්‍රාදේශීය කාර්යාල නෙමෙයි. එකිනෙකින් ස්වාධීන ෆෙඩරල් සංචිත බැංකු.  මේවායින් ඇතැම් ෆෙඩරල් සංචිත බැංකු යටතේ ප්‍රාදේශීය ෆෙඩරල් සංචිත බැංකු කාර්යාලත් තිබෙනවා.

ඇමරිකාව ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්ක 12කට බෙදා තිබෙන අතර මේ එක් එක් දිස්ත්‍රික්කයකට වෙනම ෆෙඩරල් සංචිත බැංකුවක් බැගින් තිබෙනවා. ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයකට සාමාන්‍යයෙන් ප්‍රාන්ත කිහිපයක් ඇතුළත් වෙතත්, ප්‍රාන්ත හරහා ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්ක මායිම් වැටී ඇති අවස්ථාද කිහිපයක්ම තිබෙනවා. දිස්ත්‍රික් සීමා සලකුණු වීම ආරම්භක අවස්ථාවේදී සීමා නිර්ණය කරද්දී රට පුරා විසිරී තිබුණු මූල්‍ය ආයතන වල හා ජනතාවගේ රුචිකත්වය අනුව සිදු වී තිබෙන දෙයක්. මේ ෆෙඩරල් සංචිත බැංකු ඒවා පිහිටි නගර වල නම් වලින් හැඳින්වෙනවා.

පළමු දිස්ත්‍රික්කය - බොස්ටන් ෆෙඩරල් සංචිත බැංකුව
දෙවන දිස්ත්‍රික්කය - නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව
තෙවන දිස්ත්‍රික්කය - ෆිලඩෙල්ෆියා ෆෙඩරල් සංචිත බැංකුව
සිවුවන දිස්ත්‍රික්කය - ක්ලීව්ලන්ඩ් ෆෙඩරල් සංචිත බැංකුව
පස්වන දිස්ත්‍රික්කය - රිච්මන්ඩ් ෆෙඩරල් සංචිත බැංකුව
හයවන දිස්ත්‍රික්කය - ඇට්ලන්ටා ෆෙඩරල් සංචිත බැංකුව
හත්වන දිස්ත්‍රික්කය - චිකාගෝ ෆෙඩරල් සංචිත බැංකුව
අටවන දිස්ත්‍රික්කය - සෙන්ට් ලුවිස් ෆෙඩරල් සංචිත බැංකුව
නමවන දිස්ත්‍රික්කය - මිනියාපොලිස් ෆෙඩරල් සංචිත බැංකුව
දහවන දිස්ත්‍රික්කය - කැන්සාස් සිටි ෆෙඩරල් සංචිත බැංකුව
එකොළොස්වන දිස්ත්‍රික්කය - ඩලස් ෆෙඩරල් සංචිත බැංකුව
දොළොස්වන දිස්ත්‍රික්කය - සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් සංචිත බැංකුව

ස්වාධීන ආයතන වන ෆෙඩරල් සංචිත බැංකු අධීක්ෂණය කරන්නේ වොෂින්ටන් ඩීසීහි සිටින "ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය" විසින්. එයට සභාපතිවරයෙකු හා උප සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකු අයත්.

කිසියම් ෆෙඩරල් සංචිත බැංකුවක "අයිතිය" අදාළ ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ බැංකු සතුයි. "අයිතිය" කිවුවත් මේ අයිතිය මොන වගේ එකක්ද කියා මම පැහැදිලි කරන්නම්.

ෆෙඩරල් සංචිත බැංකුවක සාමාජිකත්වය දරන බැංකුවක් විසින් එම බැංකුවේ ප්‍රාග්ධනයෙන් හා පසුව ප්‍රාග්ධන සංචිත වලට එකතු කළ ලාබ වලින් 6%ක මුදලක් යොදවා තමන් අයත් දිස්ත්‍රික්කයේ ෆෙඩරල් සංචිත බැංකුවේ කොටස් මිල දී ගත යුතුයි. එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව සතු ප්‍රාග්ධනය වන්නේ මේ ආකාරයට කොටස් විකුණා ලබන මුදල්. කිසියම් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයක ඇති ලොකු බැංකු වලට අදාළ සංචිත බැංකුවේ වැඩි කොටස් ප්‍රමාණයකුත් පොඩි බැංකු වලට පොඩි කොටස් ප්‍රමාණයකුත් හිමි වෙනවා.

ඒ කියන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු වල කොටස් හිමිකරුවන් වන්නේ අදාළ දිස්ත්‍රික්කයේ බැංකු. එසේ වුවත්, මේ කොටස් හිමිකරුවන්ට අදාළ ෆෙඩරල් සංචිත බැංකු වල ලාබ රිසි සේ බෙදා ගන්න බැහැ. ලාභාංශ ලෙස ලබා ගත හැක්කේ කොටස් වටිනාකමෙන් 6%ක් පමණයි.

එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව පාලනය කරන්නේ නව දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින්. එම අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගන්නේ පහත ආකාරයටයි.

- කොටස් හිමි බැංකු විසින් ඔවුන්ව නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් තිදෙනෙක්
- කොටස් හිමි බැංකු විසින් තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් නොවන නියෝජිතයින් තිදෙනෙක්
- ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය විසින් පත් කරන නියෝජිතයින් තිදෙනෙක්

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ අනුමැතියට යටත්ව අදාළ ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියාව තෝරා ගන්නවා. අධ්‍යක්ෂවරුන් නව දෙනෙකුගෙන් හය දෙනෙකුම තෝරා පත් කර ගන්නේ බැංකුකරුවන් විසින් නිසා 2010 වසර වන තුරුම ෆෙඩරල් සංචිත බැංකු වල ප්‍රධානීන් තෝරා ගැනීමේදී බැංකු කරුවන්ගේ අභිමතයට වැඩි ඉඩක් ලැබුණා. එහෙත්, ඔබාමා රජය විසින් 2010දී ගෙන ආ සංශෝධනයකට අනුව මේ වන විට ඉහත පළමු කාණ්ඩයේ අධ්‍යක්ෂවරුන්ට, එනම් කොටස් හිමි බැංකු විසින් ඔවුන්ව නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් තිදෙනාට, බැංකුවේ ප්‍රධානියා (ප්‍රධාන විධායක නිලධාරියා) පත් කර ගැනීමේ කටයුත්තට සම්බන්ධ විය නොහැකියි. ඒ සමඟ ෆෙඩරල් සංචිත පද්ධතිය තුළ ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ බලය වැඩි වී තිබෙනවා.

ආරම්භයේදී ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනාගෙන් දෙදෙනෙකු නිල බලයෙන් පත් වුනා. ඒ භාණ්ඩාගාරයේ ලේකම් වරයා සහ මුදල් පාලක වරයා. එවකට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය හැඳින්වුණේ ෆෙඩරල් සංචිත මණ්ඩලය ලෙසයි. එහෙත්, 1935 වසරේ සිට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් පසුව සාමාජිකයින් හත් දෙනාම පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනුයි. මේ පත්වීම් වලට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුයි.

ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයට කිසියම් සාමාජිකයෙකු පත් කිරීමෙන් පසුව එම පත්වීම වසර 14ක කාලයකට වලංගුයි. විශේෂ හේතුවක් නැතිව ධුර කාලය අවසන් වීමට පෙර සාමාජිකයෙකු ඉවත් කළ නොහැකියි.

මේ සාමාජිකයින්ව ජනාධිපතිවරයා විසින් පත් කළත් එය කරන්නේ එක් වර නෙමෙයි. වසර දෙකකට එක් අයෙකු බැගිනුයි. මේ අනුව, සෑම වසර දෙකකට වරක්ම සාමාජිකයින් හත් දෙනාගෙන් එක් අයෙකුගේ ධුර කාලය අවසන් වී ඒ වෙනුවට වෙනත් අයෙක් පත් වෙනවා. ඇමරිකාවේ ජනාධිපති වරයෙකුගේ ධුර කාලය වසර හතරකට සීමා වී ඇති නිසා එක් ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය තුළ සාමාන්‍යයෙන් පත් කරන්න ලැබෙන්නේ ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු පමණයි. ඉතිරි පස් දෙනා කලින් ජනාධිපතිවරුන් විසින් පත් කළ අයයි.

ජනාධිපතිවරයෙක් පිට පිට දෙවරක් පත් වුනොත් අධිපති මණ්ඩල සාමාජිකයින් සිවු දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහෙත්, ඒ දෙවන ධුර කාලයේ අවසාන භාගය වෙද්දී. ඒ නිසා, කිසියම් ජනාධිපතිවරයෙකුට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයට කළ හැකි බලපෑම සීමා වෙනවා. එහෙත්, යම් අධිපති මණ්ඩල සාමාජිකයෙක් මිය ගියහොත් හෝ ඉල්ලා අස් වුනොත් ඔහුගේ හෝ ඇයගේ ඉතිරිව ඇති ධුර කාලය සඳහා වෙනත් අයෙකු පත් කළ හැකියි. ප්‍රායෝගිකව බොහෝ අධිපති මණ්ඩල සාමාජිකයින් ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස් වෙනවා.

ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින් අතරින් එක් අයෙකු ජනාධිපතිවරයා විසින් සෙනෙට් සභාවේ අනුමැතියට යටත්ව ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සභාපති සේ පත් කරනවා. ඒ වසර හතරක ධුර කාලයක් සඳහා. මේ අයුරෙන්ම උප සභාපති වරයෙක්ද පත් කෙරෙනවා.

ෆෙඩරල් සංචිත බැංකුව පිහිටවූ කාලයේදී එහි ප්‍රමුඛ ඉලක්කය වුනේ අද අර්ථයෙන් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නෙමෙයි. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමයි. මේ ඉලක්කය අරමුණු කර ගනිමින් සංචිත බැංකු විසින් වාණිජ බැංකු සමඟ විවට වෙළඳපොළ කටයුතු කරමින් එක් එක් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කය තුළ ද්‍රවශීලතාව කළමණාකරණය කළා. එහිදී එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් වෙන වෙනම පොලී අනුපාතික තීරණය කළා. නමුත්, රටේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ එක් තනි වෙළඳපොළක් වූ නිසා මේ කටයුත්තේදී ෆෙඩරල් සංචිත බැංකු අතර සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු වුනා.

ෆෙඩරල් සංචිත බැංකු අතරින් වැඩිම ප්‍රාග්ධනයක් හා වත්කම් තිබුණේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවටයි. ඒ නිසා, රටේ පොලී අනුපාතික බොහෝ දුරට තීරණය වුනේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව ක්‍රියා කළ ආකාරය මතයි. අනෙක් ෆෙඩරල් සංචිත බැංකු වලට එවැනි විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා, නිල අවශ්‍යතාවයක් නොතිබුණත් අනෙක් ෆෙඩරල් සංචිත බැංකු නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් හා එම බැංකුවට ප්‍රමුඛත්වය දෙමින් ඇමරිකාවේ පොලී අනුපාතික හා මුදල් සැපයුම පාලනය කළා.

පසුව මේ අවිධිමත් සහයෝගය විධිමත් වැඩපිළිවෙලක් බවට පත් වුනා. ඒ 1935දී ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුව පිහිටුවීමෙන් පසුවයි. එතැන් පටන් මේ දක්වා ඇමරිකාවේ මුදල් ප්‍රතිපත්ති තීරණය කරන්නේ ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුව විසින්. විවට වෙළඳපොල කමිටුවට අවශ්‍ය පරිදි විවට වෙළඳපොල කටයුතු ක්‍රියාත්මක කරන්නේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව විසින්. මූල්‍ය පද්ධති අධීක්ෂණය වැනි අනෙකුත් කටයුතු එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් වෙන වෙනම කරනවා.

ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුවට සාමාජිකයින් දොළොස් දෙනෙකු අයත් වෙනවා. එයින් හත් දෙනෙක් ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින්. අටවැන්නා නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියා. ඉතිරි සිවුදෙනා තෝරා ගැනෙන්නේ අනෙකුත් ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් එකොලොස් දෙනා අතරින්. ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ආදිය තීරණය කරන්නේ මේ කමිටුව විසින්. වෙනත් විදිහකින් කිවුවොත් ඇමරිකන් ඩොලර් මුද්‍රණය කරන යන්ත්‍රයේ බොත්තම් ඔබන්නේ මේ දොළොස් දෙනා විසින්. එසේ කිරීමේදී උද්ධමනය කළමනාකරණය කරමින්  ඇමරිකන් ඩොලරයේ වටිනාකම පවත්වා ගැනීමේ වගකීම තියෙන්නේත් මේ දොළොස් දෙනා අතේ.

(Image: https://www.connectedtoindia.com/trumps-presidential-takeover-boosts-real-estate-affects-vehicle-sales-in-the-us-241.html)


13 comments:

  1. ලංකාවේ මහබැංකුව ස්ථාපනය කරන්න උපදේශකත්වය දුන්න එක්ස්ටර් මහත්තයත් ඇමෙරිකාවේ මහ බැංකුවෙ ලොක්කෙක් නේද?

    ReplyDelete
  2. ඉකනෝ මේ ප්‍රශ්නය මේ ඉහත ඉකනෝ පොස්ට් කරපු "මිනීමරු සීසර්ලා" ලිපිය හා සම්බන්ධව අහන්න හිටි එකක්.

    හැම ගෙදරකම වාහන දෙකක් තියෙන එක ඇමරිකාවේ සාමාන්‍ය තත්වයක් බව ඒ ලිපියේ ඉකනෝ කියා තිබුනානේ.එතකොට ඇමරිකාවේ පොදු ප්‍රවාහන සේවා වල තත්වය කොහොමද ? එය පැතිරුණු ව්‍යාපාරයක්ද ?නැතිනම් සීමිත පිරිසක් විතරක් භාවිතා කරන සේවයක්ද?මොකද අපි එංගලන්තයේ ඩබල් ඩෙකර් ගැන අහලා තියෙනවා,කැනඩාවේ නිෂ්පාදනය කරන දුම්රිය එංජින් ලංකාවෙත් ජනප්‍රියයි.එත් ඇමරිකාවේ පොදු ප්‍රවාහන සේවා ගැන අපි එච්චර අහලා නැහැනේ.

    ReplyDelete
    Replies
    1. වාහන නැවැත්වීමේ ඉඩ (පාකින්) ප්‍රශ්න තිබෙන නිවුයෝර්ක් වැනි ලොකු නගර වල හොඳ පොදු ප්‍රවාහන සේවා තිබෙනවා වගේම බොහෝ දෙනෙක් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරනවා. නමුත් පොදුවේ ඇමරිකාව ගත්තහම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ ඉතා සීමිත පිරිසක්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇමරිකාවේ පොදු ප්‍රවාහන සේවයත්පදනම් වෙලා තියෙන්නෙ තමතමන්ගේ ප්‍රාන්තවල නගරවල ජනතාවගේ අවශ්‍යතාවය අනුවයි. නිව්යෝක් වැනි විශාල නගරයක පොදු ප්‍රවාහන සේවාව සාර්ථක වුණත් එතරම් ජන ගහනයක් නොමැති වෙනත් නගරවල පොදු ප්‍රවාහන සේවාවන්හි භාවිතය අඩුයි. නිව්යෝක් වැනි නගරවල වාහනයක් නැවැත්වීමටත් විශාල මුදල් අය කරන නිසා පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම වාසිදායකයි. වොෂින්ටන් DC නගරයේ එලෙසමයි, නමුත් නිව්යෝර්ක් නගරයේ තරම් එය ලාභදායක නෑ. අනිත් විශේෂ කාරණය තමයි ්‍රාමීය මට්ටමෙන් තිබෙන සිටි නගරවල සහ county ( ලංකාවේ නම් ප්‍රාදේශීය බල ප්‍රදේශයක් වගේ ප්‍රදේශයක්) වල ්‍රවාහන සේවය අයිති වෙලා තියෙන්නේ එම නගරයේ ආණ්ඩුවට එහෙම නැත්නම් එම county ආණ්ඩුවට. ඇතැම් වෙලාවට නගරය තුල දිවෙන බස්රථ මගින් ගෙනියන්නේ ඉතාමත් අඩු මුදලකට, සමහර වෙලාවට ටවුන් circular නොමිලේ ලබා දෙනවා. ප්‍රාන්ත අතර දිවෙන සීඝ්‍රගාමී දුම්රිය සම්පූර්ණයෙන් වාගේ අයිති වන්නේ පෞද්ගලික අංශයට. සමහරවිට දුම්රියෙන් ගමන් ගැනීමට වඩා අහස් යානාවේ ගමන් ගැනීම ලාභදායක වෙනවා. සියලුම පාසල් බස්රථ එම පාසල් දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක වන අතර සම්පූර්ණයෙන්ම නොමිලේ එම සේවාව සිසු දරු දැරියන්ට ලබා දෙනවා. ඒ වාගේම county බස්රථවල නොමිලේ ගමන් කරන්න පාසල් සිසුන්ට පුළුවන්.

      Delete
    4. පැහැදිලි කිරීම් වලට ස්තුතියි.

      Delete
  3. ඉකොනොමැට්ටා මේ ගැන ඔබේ මතය මොකක්ද කියලා කියන්න පුළුවන් ද?

    https://www.facebook.com/106443839880919/posts/844117389446890/?d=null&vh=e

    ReplyDelete
  4. අයිය මලෝ හතරදෙනෙක්
    උසස් පෙළට වාඩිවෙලා
    පාස් උනේ වැඩ දෙකයිලු
    ඇහුනා මැති සබයෙන්

    එයින් එකෙක් දැන් ජනපති
    අනෙකා වේ මුදල් ඇමති
    මහ බැංකුව ඇපයට ගති
    සැලසුම් හදලා ඉල්ලති
    මට ගැලපෙන ලෙසට දියව්
    කියමින් උදහස පෙන්නති

    ReplyDelete
  5. ජනතාවගේ දුක දැනෙන අමුතු නහරයක් සජිත් ප්‍රේමදාසට තිබෙනවා කියන එක ඇත්තද? මම දන්න විදිහට නම් කිසිම ස්නායු විශේෂඥයෙකු කිසිම මනුෂ්‍යයෙකුට එවැනි නහරයක් තිබෙන බව සොයා ගෙන නෑ. ඒ නිසා සජිත් පිටසක්වල ජීවියෙකු ද කියන සැකය අපට මතු වෙනවා.

    ඒවගේම සජිත් ප්‍රේමදාස අගමැති වුවහොත් සෑම පවුලකටම මාසිකව රුපියල් විසි දහස ගණනේ දෙනවා කියන එක කරන්න පුළුවන් වෙයිද? ලංකාවේ ගෘහ ඒකක ලක්ෂ 51ක් වුවත් පවුල් ලක්ෂ 72ක් ඉන්නවා. ඒ් නිසා මේ දීමනාව සඳහා වසරකට බිලියන 1,728ක් නැතිනම් ට්‍රිලියන 1.7ක් යනවා. ලංකාවේ 2019 වසරේ ආණ්ඩුවේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 1.9යි. ඒකෙන් පොලී නැතිව ණය වාරික විතරක් ගෙවන්න රුපියල් ට්‍රිලියන 1.1ක් වැය වුණා. ඒ නිසා ආර්ථික විශේෂඥයෙකු වන ඉකොනොමැට්ටාට කියන්න පුළුවන් නේද සෑම පවුලකටම මසකට රුපියල් විසි දහස ගණනේ ගෙවන්න රුපියල් ට්‍රිලියන 1.7ක් සොයා ගන්නේ කෙසේද කියන එක?

    ලංකාවේ දේශපාලනය තුල කුජීත ජෝකර්ලාගෙන් එකෙක් වූ මංගල සමරවීර ඡන්ද පදනම අහිමි වීමත් සමග දේශපාලනයෙන් සමු ගත්තාට පස්සේ පුංචි මංගල වීමට සැරසෙන හරින් ප්‍රනාන්දු ආගමික නායකයින්ට අපහාස කරන්න පටන් අරන්. අගරදගුරු වරයා කියන්නේ ලංකාවේ කතෝලික ප්‍රජාවේ සංකේතය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු ප්‍රකාශ කරන්නේ කතෝලික ප්‍රජාවේ මතය බවත් කතෝලික ප්‍රජාවේ ප්‍රකාශකයා ලෙස ප්‍රකට අගරදගුරුට අපහාස කරනවා කියන්නේ සමස්ත කතෝලික ප්‍රජාවටම අපහාස කරනවා වගේ දැන් මතයක් තියෙනවා.

    සජිත් ප්‍රේමදාස හරින් වෙනුවෙන් අගරදගුරුතුමාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒකත් හරි අපූරු වැඩක්. එදා හරින් අගරදගුරුතුමාට බනිනවා. සජිත් සමාව ඉල්ලනවා. හෙට හරින් භික්ෂූන්ට බනිනවනම් සජිත් සමාව ඉල්ලනවා. අර ස' කාරය බනිද්දී නාමෝල් ට්වීටර් එකේ ෂේප් ටෝක්ස් කෝලම් කරනව වගේ උඹ පතුරු යන්න බැනපන්, මම සමාව අරන් වැඩේ ෂේප් කර ගන්නම් වගේ දෙන්නා අතර එකඟතාවයක් තිබෙනවා ද?

    ReplyDelete
    Replies
    1. AnonymousJune 24, 2020 at 12:47 a.m.

      ඇත්තටම කතෝලික පල්ලියේ සමහර කොටස්වල ඇති කුහකකමට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයාට තිබූ ධෛර්යය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බව හිටපු ඇමැති මංගල සමරවීර සඳහන් කරලා.

      ඒ හරීන් ප‍්‍රනාන්දුගේ ප‍්‍රකාශය අගය කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ අදාල සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් පාලකයනට සහාය දෙන අන්තවාදී බෞද්ධ හා කතෝලික පූජක සන්ධානයක් ඇති බවයි.

      ඒක එසේ නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ද හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් අගරදගුරුවරයාගෙන් සමාව ගැනීමට කටයුතු කළා.

      Delete
  6. ලංකාවේ මිනිස්සු කැමතියි වැටෙන්න වැටෙන්න නැගිටින්න, උං කැමතියි මාසෙ පඩිය හරි දන් දීල ඉන්න හිතෙන රටක් හදාගන්න.


    ලංකාවේ ගොඩක් මිනිස්සු කැමතියි අවලං දේශපාලනය ගෙදර ඇරල අලුත් වෙච්ච පාලන තන්ත්‍ර ඇති කරගන්න, තව කැමතියි වයස, තත්වය,රූපය නොබල ආදරේ දෙන්න..
    උං කැමතියි භයානක ලෙඩක් හැදුනම කියන දේ ඒ විදිහටම අහල ඒ ලෙඩේ පරාජය කරල දාන්න, කැමතියි නාගරීකරණය වෙන්න, ධනවාදී සිහින හැබෑ කරගන්න, දියුණු වෙන්න

    ඔව් උං කැමතියි දියුණු වෙන්න...

    ඒකට ඉඩ දෙන්න !

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: