Monday, June 8, 2020

රට ගිය ඇත්තෝ (දෙවන කොටස)


රට ගිය ඇත්තෝ කතාවේ සමන් ජයසිංහ චරිතය ගැන අපි කතා කළා. එහි එන සිරිල් සපරමාදු චරිතය වෙතට දැන් අපි අවධානය යොමු කරමු. කතාව කැරකෙන්නේ මේ චරිතය වටා.

සමන් ජයසිංහට සිරිල් සපරමාදුව මුලින්ම හමු වෙන කොටත් සිරිල් සපරමාදු අවුරුදු පහක් තිස්සේ නිවාසයක් අහිමිව සිටින (හෝම්ලස්) පුද්ගලයෙක්.

"දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙලා?”

"දැනට අවුරුදු 5 කට වඩා.."

සිරිල් සපරමාදු ඇමරිකාවට ඇවිත් තියෙන්නේ අවුරුදු 25 කට පෙරයි.

"දැනට අවුරුදු 25කට ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා."

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී රැකියාවක් කියා කියන්නේ ලංකාවේ සරසවියකින් උපාධියක් ලබා රාජ්‍ය අංශයේ රැකියාවක් හොයන කෙනෙකුගේ සිහින රැකියාවක්. සිවිල් සේවයට ඇතුළු වීමට හා මහ බැංකුවට යාමට අවස්ථාව ලබන  කෙනෙක් බොහෝ විට තෝරා ගන්නේ මහ බැංකුවේ රැකියාවයි.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී තනතුරකට කෙළින්ම යන්නනම් ඉතා තරඟකාරී තරඟ විභාගයකින් සමත් විය යුතුයි. විභාගයට පෙනී සිටිය හැක්කේ පළමු පන්තියේ හෝ දෙවන (ඉහළ) පංති සාමාර්ථයක් ඇත්නම් පමණයි. එසේ නැත්නම් පශ්චාත් උපාධියක් හෝ ගණකාධිකරණය වැනි ක්ෂේත්‍රයක වෙනත් වෘත්තීය සුදුසුකම් තිබිය යුතුයි. මේ කඩ ඉම් පනින්නේ සරසවියේ කණ්ඩායමක දක්ෂතම සිසුන්. මාණ්ඩලික නිලධාරී තනතුරකට යා හැකි අනෙක් ක්‍රමය මාණ්ඩලික නොවන ශ්‍රේණියක සිට ටිකෙන් ටික උසස් වීමයි. එයත් අසීරු හා අවුරුදු පහළොවක් විස්සක් කල් ගත වන කාර්යයයක්. ඔය කොයි ක්‍රමයකින් ගියත් මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී තනතුරක් ලබා ගන්නේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ඇති, දක්ෂ හා/හෝ මහන්සි වී වැඩ කරන පුද්ගලයෙක්.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී තනතුරක සිටින කෙනෙකුට ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටකට ගොස් පශ්චාත් උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. උනන්දුව ඇති අයෙකුට මේ අවස්ථාව ලබා ගැනීම ගොඩක් අසීරු දෙයක් නෙමෙයි. ඒ වගේම වෙනත් රජයේ සේවකයෙකුට වඩා ඉහළ වැටුපක් හා වරප්‍රසාද හිමි වෙනවා. ඒ නිසා, "අපි ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා" කියා සිරිල් සපරමාදු විසින් කරන ප්‍රකාශය සැක කරන්න හේතුවක් නැහැ.

"ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කී දෙනාටද මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක."

මේ කියන්නේ ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයිය ගැනයි. ග්‍රීන්කාඩ් ලොතරැයිය නිකම්ම ඇදෙන්නේ නැහැ. ඒ සඳහා අයදුම් කළ යුතුයි. අයදුම් කරන අයගෙන් ආසන්න වශයෙන් 400-500 කින් එක් අයෙකුටයි අවස්ථාව හිමි වන්නේ. 2018 වසරේදී අවස්ථා 50,000ක් සඳහා අයදුම් කළ පිරිස ලංකාවේ මුළු ජනගහණයට වඩා වැඩියි. අයදුම්කරුවන් 23,182,554 ක්. බොහෝ දෙනෙකුට ලොතරැයිය ඇදෙන්නේ කිහිප වරක් එක දිගටම අයැදුම් කිරීමෙන් පසුවයි.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරීන් බොහෝ දෙනෙකුට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත බටහිර රටකට පහසුවෙන් සංක්‍රමණය විය හැකියි. එසේ කර ඇති අය ඕනෑ තරම් ඉන්නවා. 1990 දශකයේදී කුසලතා පදනම මත කැනඩාව වැනි රටකට යන්න අවස්ථා ඕනෑ තරම් තිබුණා. ඒ වගේම බටහිර රටක ද්විත්ව පුරවැසිකම තිබෙන බොහෝ දෙනෙක් මහ බැංකුවේ රැකියා කරනවා. ඒ ඔවුන් ලංකාවේ තමන්ගේ ජීවිතය පිළිබඳව සතුටු නිසා. එහෙම තත්ත්වයක් තියෙද්දී සිරිල් සපරමාදු තමන්ගේ කැමැත්තෙන් ඇදෙන්න සුළු ඉඩක් තිබෙන ග්‍රීන්කාඩ් ලොතරැයියට අයැදුම් කරනවානම් ඔහුට තමන් ලංකාවේ ගත කළ "හොඳ ජීවිතය" පිළිබඳ මොනවා හෝ ප්‍රශ්න තියෙන්න ඕනෑ.

වසර තුනක සංක්‍රාන්ති කාලයකින් පසුව දැනට තිබෙන ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ආරම්භ වුනේ 1995 වසරේදී. ඒ වසරේදී ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදුණු කෙනෙක්ට බොහෝ විට වීසා ලබාගෙන ඇමරිකාවට එන්න වෙන්නේ 1996 වසරේදී. සිරිල් සපරමාදු 1996 දී ඇමරිකාවට ආවානම් වසර 25කට පසුව ඔහුට සමන් ජයසිංහ හමු විය යුත්තේ 2021දී. නමුත්, මේ කතාව මුලින්ම පළ වී තියෙන්නේ 2011දී. පෙර කොටසේ කතා කළ පරිදි සමන් ජයසිංහ ඇමරිකාවේ සිටි කාලය 2008 ආර්ථික අවපාතයට පෙර කාලයක් විය යුතුයි.

"මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා."

සමන් ජයසිංහ හා සිරිල් සපරමාදු අතර හමුව සිදු වූ පළමු දවසේ සේවය නිම කර යද්දී සමන් ජයසිංහගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනාපු පැනඩෝල් පෙති තියෙනවා. ටයිලනෝල් බ්‍රෑන්ඩ් එකෙන් ඔය බෙහෙතම විකුණන ගෑස් ස්ටේෂන් එකක සේවය කරන මනුස්සයෙක් පැනඩෝල් පෙති සාක්කුවේ තියාගෙන හිටියේ ඇයි කියා පැහැදිලි නැහැ.

"ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා." 

ලංකාවෙන් ගෙනාපුවා නිසා ලංකාවේ කමට කියමු. ඒත් ලංකාවේ පිරිමියෙක් ලංකාවේදී වුනත් හැම වෙලාවෙම සාක්කුවේ පැනඩෝල් තියාගෙන ඉන්නවද? ඒකටත් මොකක් හරි හේතුවක් තිබුණා කියමු.

සමන් ජයසිංහ ඔය වගේ වැඩක් කළානම් ඒ ලංකාවෙන් ආ අලුත වෙන්න ඕනෑ. ඒ කියන්නේ 2003 වගේ කාලයක. ලංකාවෙන් ගෙනා කල් ඉකුත් වූ පැනඩෝල් අවුරුදු හතරක් යනකම් සාක්කුවේ තියෙන්න විදිහක් නැහැනේ. එහෙමනම් සිරිල් සපරමාදු ඇමරිකාවට ඇවිත් අවුරුදු හත අටකට වඩා වෙන්න විදිහක් නැහැ. කතාව මුලින්ම පළ වුනු 2011 අවුරුද්ද ගත්තත් අවුරුදු පහළොවයි. අවුරුදු 25ක් කියන එක තාක්ෂනික ලෙස බැලුවොත් කොහෙත්ම වෙන්න බැරි දෙයක්. ලේඛකයාට ග්‍රීන්කාඩ් ලොතරැයියේ ඉතිහාසය ගැන කිසිම අදහසක් නැති බව ඉතාම පැහැදිලියි. ඒ කියන්නේ මේ කතාව ඉතිහාසයේ ස්ථානගත කරන්න බැරි මනෝමූලික කතාවක්.

"ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක් අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා."

ඔය කාලයේ ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදුනු බව දැනුම් දුන්නේ දැන් වගේ අන්තර්ජාලය හරහා නෙමෙයි. ලියුමකින් තමයි. හැබැයි ලියුම එවුවේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මිසක් එම්බසියෙන් නෙමෙයි. ලියුම එන අවස්ථාවේදී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට අඩු වශයෙන් මෙවැනි ලොතරැයි දිනුමක් පිළිබඳව දැනුම් දීමක් හෝ කර නැහැ. අදාළ එම්බසියට ගොස් වීසා අයදුම් කරන එක පසුව කළ යුතු වැඩක්. ලංකාවේ ජීවත් වන අයෙකු යා යුතු අදාළ එම්බසිය බොහෝ විට කොළඹ එම්බසිය වුනත් ඇතැම් අවස්ථා වලදී එය වෙන එකක් වෙන්නත් පුළුවන්. විශාල පිරිසකට ලියුම ලැබුණා කියලා ඇමරිකාවට එන්න වීසා ලැබෙන්නේත් නැහැ. ඒ සඳහා තවත් බොහෝ දේවල් සම්පූර්ණ විය යුතුයි. බොහෝ දේවල් කළ යුතුයි. ඔය වැඩ වලට අවුරුද්දක් විතර යන්න පුළුවන්. අන්තිමේ වීසා නොලැබෙන්නත් පුළුවන්. රට ගිය ඇත්තෝ රචකයාට ග්‍රීන්කාඩ් ලොතරැයි හරහා වීසා ලැබෙන ක්‍රියාවලිය ගැන කිසිදු අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ.

කතාව අනුව බැලුවොත් ලියුම ලැබුණට පස්සේ සිරිල් සපරමාදුගේ පවුලේ අයට අමුතුවෙන් ඇමරිකන් උණ හැදෙන්න දෙයක් නැහැ. මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී රැකියාවක් තියෙද්දී ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළානම් කළින්ම ඇමරිකන් උණ තිබිලා තියෙනවා.

ඒ උණ හදිස්සියේම හැදුණු උණක්ද? ග්‍රීන්කාඩ් ලොතරැයියට අයදුම් කළ පළමු වරම එය ඇදුනද? සිරිල් සපරමාදු තමන්ගේ වෘත්තීය සුදුසුකම් මත හෝ පශ්චාත් අධ්‍යාපනය සඳහා ලංකාවෙන් යන්න කලින් නොහිතුවේ ඇයි? මහ බැංකුවේ බොහෝ මාණ්ඩලික නිලධාරීන් මෙන් ඇමරිකාවේ සරසවියක පශ්චාත් උපාධියක් කරන්න ආවානම් අවුරුදු දෙකක් ඇමරිකාවේ ජීවත් වී ඇමරිකාවේ තත්ත්වය බලාගෙන "ඇමරිකන් උණ" සනීප කරගෙන ආපහු යන්න තිබුණා. යම් විදිහකින් ඇමරිකාවේ ඉන්න හෝ නැවත ආපහු එන්න අවශ්‍ය වුනානම් ඇමරිකන් සුදුසුකමක් තිබෙන නිසා ගෑස් ස්ටේෂන් වල වැඩ කරන්න වෙන්නේ නැහැ. සිරිල් සපරමාදු මේ කිසි දෙයක් තේරුම් ගත නොහැකි වූ මෝඩයෙක්ද? එහෙම කෙනෙක් මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් වුනේ කොහොමද?

"අපිට ළමයි තුන්දෙනයි. වැඩිමළා පුතා. ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට පුතාට 7 යි. දූලට 6 යි, 5 යි."

මේ ප්‍රකාශය අනුව සිරිල් සපරමාදු කියන්නේ දක්ෂ හා මහන්සි වී වැඩ කරන කෙනෙක් වුවත් ජීවිතය සැලසුම් කර ගන්න දක්ෂ නැති කෙනෙක් බවයි පෙනෙන්නේ. හවසට ගෙදර ආවට පස්සෙත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරල තියෙන බවනම් පේනවා. පාසැල් ගුරුවරියක්ව සිට ඇති ඔහුගේ බිරිඳ පද්මිණී උගන්නන්න ඇත්තේ සෞඛ්‍යය වගේ විෂයයක්නම් වෙන්න බැහැ. සිරිල් සපරමාදු ජෝඩුව හදන්නන් වාලේ ඔහේ ළමයි හදපු ජෝඩුවක්ද? ජීවිතයේ හැම තීරණයක්ම ගන්නේ ළමයි හැදුවා වගේම කිසිම සැලසුමක් නැතුවද?

ලොකු දරුවාගේ වයස අවුරුදු හතක් නිසා ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදෙන කොට සිරිල් සපරමාදු විවාහ වෙලා අඩුම ගානේ අවුරුදු 8 ක් වෙන්න ඕනෑ. විවාහ වෙලා කාලයක් ළමයි නැතිව ඉන්න ජෝඩුවකට අවුරුදු ගාණකට පස්සේ හදිසියේ පෝලිමට ළමයි හම්බු වෙන්නේ නැහැ. ඔය වගේ හදිස්සියක් තිබුණානම් ඒ බැඳපු අලුතම වෙන්න ඕනෑ. එහෙමනම් ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදෙන කොට සිරිල් සපරමාදු විවාහ වෙලා අවුරුදු 8 කට වැඩියි කියා හිතනවාට වඩා අවුරුදු අටයි කියලම හිතන එක සාධාරණයි.

සිරිල් සපරමාදු විවාහ වුනේ වයස කීයේදීද? විශේෂ තොරතුරක් සඳහන්ව නැති නිසා අපි වයස 25-35 පරාසයම ගනිමු. එහෙමනම් සපරමාදු පවුල ඇමරිකාවට එනකොට සිරිල් සපරමාදුගේ වයස අවුරුදු 33-43 අතර විය යුතුයි. අවුරුදු 25කට පස්සේ සමන් ජයසිංහ හමු වෙනකොට ඔහුගේ වයස අවුරුදු 58-68 අතර විය යුතුයි.

"ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බවෙනව නේද?”

"මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන්මට ඉන්න තැනක් නෑ. ඇඩ්‍රස් එකක් නෑ."

කතාවේ හැටියට සිරිල් සපරමාදු හෝම්ලස් වෙන්න කලින් ඔහුට සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ලැබී තිබෙනවා. 1943-1954 අතර කාලයේ ඉපදුනු කෙනෙකුට සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ සාමාන්‍ය මුදල ලැබෙන්නේ වයස අවුරුදු 66 සම්පූර්ණ වීමෙන් පසුවයි. සම්මත විශ්‍රාම වයස සේ සැලකෙන්නේ ඒ වයසයි. විශ්‍රාම වයස 62-70 අතර අඩු වැඩි වීම අනුව ලැබෙන මුදලත් අඩු වැඩි වෙනවා. වයස අවුරුදු 62 සම්පූර්ණ වූ පසු ප්‍රතිලාභ ලබා ගැනීම ආරම්භ කළොත් සාමාන්‍ය ප්‍රතිලාභ මුදලින් 75%ක් ගන්න පුළුවන්.

සපරමාදු සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ගත්තා කියා කියන්නේ සමන් ජයසිංහව හමු වෙන්න අඩු වශයෙන් වසර 5කට කලින්. ඉහත ගණන් බැලීම් අනුව ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 53-63 අතර විය යුතුයි. නමුත්, සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ලබාගත හැකි අඩුම වයස 62 නිසා ඔහුගේ දැන් වයස අඩුම වශයෙන් අවුරුදු 67ක් වෙන්න ඕනෑ. අවම වශයෙන් අවුරුද්දක් සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ලබා ගත්තානම් දැන් වයස අවුරුදු 68 ක්. ඒ කියන්නේ සපරමාදු ඇමරිකාවට එද්දී වයස අවම වශයෙන් අවුරුදු 43ක්. පළමු දරුවා ලැබෙද්දී වයස අවම වශයෙන් අවුරුදු 36ක්. තුන්වන දරුවා ලැබෙද්දී වයස අවුරුදු 38ක්.

සිරිල් සපරමාදුට පළමු දරුවා ලැබුණේ වයස අවුරුදු 36 දී නම් ඔහු විවාහ වුනේ වයස අවුරුදු 35ක් පමණ වෙලා වෙන්න පුළුවන්. අපි හිතමු අවුරුදු තුනකින් ළමයි තුන් දෙනෙක් හදලා ඇරියස් ඇල්ලුවා කියලා. තිස් පහක පිරිමියෙක් සමඟ විවාහ වූ ඔහුගේ බිරිඳ පද්මිණී ඔහුට වඩා අවුරුදු හතරක් පහක්වත් බාල තැනැත්තියක් වෙන්න පුළුවන්.

වයස අවුරුදු 43ක් වෙද්දී මහ බැංකුවේ මාණ්ඩලික නොවන නිලධාරියෙක්ට මාණ්ඩලික නිලධාරියෙක් වෙන්න බැරිකමක් නැහැ. එහෙමනම් මහ බැංකුවේ අවුරුදු 15-20ක් සේවය කරලා. සෘජුවම මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවයට ආවානම් ඒත් අවුරුදු දහයක් පහළොවක් වැඩ කරලා. උසස් වීම් කිහිපයකුත් අරගෙන. බොහෝ විට ගෙයක් හදලා ලෝන් එකෙනුත් සෑහෙන කොටසක් ගෙවලා ඉවරයි.

මහ බැංකුවේ සේවකයෙක්ට වයස 55 න් විශ්‍රාම යා හැකියි. ඉන් පසුව මැරෙන තුරු විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ලංකාවේ හැටියට හොඳ ජීවිතයක් ගෙවන්න ඒ වැටුප ප්‍රමාණවත්. වෛද්‍ය රක්ෂණ වගේ වෙනත් ප්‍රතිලාභත් ලැබෙනවා. සිරිල් සපරමාදුට ඇමරිකාවට යන්න වෙන්නේ මේ විශ්‍රාම වැටුප අත හැරලා. ඔහුගේ බිරිඳ පද්මිණී ගුරුවරියක්. ගුරු රස්සාවත් විශ්‍රාම වැටුපක් හිමි රැකියාවක්. මහ බැංකුවේ හිටියොත් ඉස්සරහට එන්නේ වඩා හොඳ කාලයක්. තව උසස්වීම් දෙකක් විතර ලබා ගන්න කාලය තියෙනවා. ඇමරිකාවට එන්නේ ඔහොම තියෙද්දී.

ඔය වගේ තත්ත්වයක ඉන්න පවුලක් තමන්ගේ රැකියා අත ඇරලා ඔය වගේ වයසකදී ඇමරිකාවට එනවා කියා කියන්නේ විශාල අවදානමක් ගැනීමක්. ඇමරිකාවට පැමිණි පසුව හැම දෙයක්ම නැවත මුල සිට පටන් ගන්න වෙනවා. ඇමරිකාවට එනවානම් ඒ අවදානම ගන්න සූදානමක් තිබිය යුතුයි.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් කියන්නේ බොහෝ විට ආර්ථික විද්‍යාව හදාරා පන්ති සාමාර්ථයක් ලබපු කෙනෙක්. නැත්නම් ගිණුම්කරණය වගේ දෙයක් හදාරපු කෙනෙක්. ඊට අමතරව මේ වයස දක්වා මහ බැංකුවේ හිටියා කියා කියන්නේ ආර්ථික විද්‍යාව හෝ බැංකුකරණය එක්ක අවුරුදු පහළොවක් විස්සක් ඔට්ටු අල්ලපු කෙනෙක්. එහෙම කෙනෙක් හොඳින් හිතා මතා මිස කිසිදු සැලසුමක් නැතිව මේ වගේ බරපතල තීරණයක් ගන්න හේතුවක් නැහැ. එහෙම කළානම් එය සුවිශේෂී තත්ත්වයක් මිස සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

සිරිල් සපරමාදු මොන හේතුවක් නිසා හෝ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරනවා. ඉතා අඩු සම්භාවිතාවක් තිබෙන දෙයක් වුනත් ඔහුට ලොතරැයිය ඇදී පසුව ඇමරිකාවට වීසා හම්බ වෙනවා. ඔහු ලංකාවේ ඉඩකඩම් විකුණලා පවුල පිටින්ම එක පාරටම ඇමරිකාවට එනවා. එක්කෝ ඔහු එන්නේ පැහැදිලි සැලසුමක් ඇතුව වුවත් කිසියම් හේතුවක් නිසා සැලසුම සාර්ථක වෙන්නේ නැහැ. එසේ නැත්නම් ඔහු දක්ෂයෙක් වුවත් තමන්ගේ පෞද්ගලික ජීවිතය සැලසුම් කර ගන්න නොදන්නා කෙනෙක්. අසාර්ථක වූ සැලසුමක් ගැන කතාවේ කොහේවත් නැහැ. ඇමරිකාවට ආවේ ඇයි කියලත් නැහැ. රචකයාට අනුව සිරිල් සපරමාදු ලංකාවේ හැම දෙයක්ම අත ඇරලා පවුලත් සමඟ ඇමරිකාවට එන්න එකම හේතුව ඇමරිකන් උණ!

සපරමාදු පවුල ඇමරිකාවට ආවට පස්සේ කතාව ඊළඟ කොටසින් සාකච්ඡා කරමු.

8 comments:

  1. ශ්‍රී ලංකාවේ හමුදාවේ මාණ්ඩලික < ඇමරිකන් පුරවසිකම < අමාත්‍යාංශ ලේකම්

    ReplyDelete
  2. නිහාල් ගුරුසිංහ හොඳ රචකයෙක්. නමුත් බොහෝ දෙනෙකු මෙන් ප්‍රභන්ධ ලියන විට ඔබ දක්වා ඇති ආකාරයේ ෆොරෙන්සික් වැඩ කරන්නේ නැතුව ලියූ බව පෙනෙනවා. නිහාල්ගේ මේ කතාව පීඩීඑෆ් කර බෙදා හැරි අය අතර මහබැංකුවේ සේවය කළ (ලාට්‍රෝබ් ආචාර්ය උපාධිය හැදෑෑ සමරතුංග ද සිටි බව මගේ මතකකයි).

    නිහාල් මීට අතමරව, පුසුඹා මල්ලිගේ කතාව සහ මැක්සිකන් කාන්තාවක් සම්බන්ධ කතාවක් ද ලිව්වා. නිහාල් තමන්ගේ ජීවිතය හා අදාලව ලියූ සටහන් අතර ද අපූරු කතා තිබුණා. ඉන් එකක් ඔහු මාස ගණනක් බ්ලොග් ලොවෙන් අතුරුදහන්ව සිටි පසු ලියූ සටහන.

    ReplyDelete
  3. Econ මේ ගැන කතා කරන එක හොඳයි. රචකයා ප්‍රබන්ඨයක් විදිහට ලිව්වත් pdf කරල මේ දේවල් බෙදා හරින්නෙ වැඩිපුරම පිටරට ජීවත් වෙන අයමයි. ඒකට හෙතුව අපෙ අය තුල තියෙන කුහක කම. උදාහරනයක් විදිහට මෙහෙ ජීවත් වෙන සමහරු නිතරම කියන්නෙ 'අපි නම් මෙහෙ ඉන්නෙ නැහැ මෙහෙ ලමයි හදන්න බැහැ ලන්කාවෙ අපි කොච්චර සැප වින්දද මෙහෙ මොනවද තියෙන්නෙ' ඔන්න ඔය වගෙ කතා. හැබැයි කවදා වත් ආපහු ලන්කාවට යන්නෙත් නැහැ. මගෙ අදහස නම් එහෙම කියන්නෙ මෙහෙ settle වෙන්න try කරන අනිත් අය negatively influence කරන්න. Secondly, කුහක කම. (If you know the English term for කුහක කම, let me know.

    Thanks Econ for the analysis.

    ReplyDelete
  4. ඉකොනො ගෙ මම කැමතියි ඔය ගුණාංගයට. ලංකාවේ ඉන්නවනම් පිටරට ගැන හූල්ලන්නේ නැතුව ලංකාවට ගැලපෙන විදිහට සැලසුම් කරගෙන ජීවත් වෙන්න ඕන. පිටරට ගියා නම් ලංකාව ගැන හූල්ලන්නේ නැතිව ගිය රටට වෙලා ඉන්න ඕන. මේ කතාව කියවපු පලවෙනි සැරේම මට හිතුනා අභව්‍ය ප්‍රබන්ධයක් කියලා.මගේත් බිරිදගේත් සරසවි මිතුරන් වැල නොකැඩී සංක්‍රමණය කරද්දී අපිටත් එක සැරයක් හිතුනා ගියා නම් මොකද කියලා. ඊට පස්සේ තත්ව විශ්ලේශණයකින් පසු අප තීරණය කරා යන්න අවශ්‍ය නැහැ කියලා.මේ විදිහට හරියට ඇනලයිස් කරලා ගිය යාලුවොත් හිටියා. සංක්‍රමණය ගැන පසුව දුක් වුන හෝ සංක්‍රමණය නොහැකි වීම ගැන පසුව දුක් වුන අයගේ දුකට හේතුව විදිහට මම නම් දැක්කේ නිසි ලෙස සැලසුම් නොකිරීම.

    ReplyDelete
  5. නියමයි ඉකොනෝ. මම අහරිම කැමතියි තර්කානුකූලව කර තිබෙන විශ්ලේෂණයට. ඒ වගේ දේවල්වලට පාර කියන ගමන්ම, දැනුවත් කිරීමත් කරනවා.

    ජාතක කතාවල වගේ, පූර්වාපර සන්ධි ගලපනවා.
    තිර නාටක රචනා කරන්න පටන් ගත්තොත් නරකද?

    ReplyDelete
  6. Even in Sri Lanka its the same. But I'd love to go back to 1960s Sri Lanka

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.