වෙබ් ලිපිනය:

Friday, October 3, 2025

දැන් ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය කොපමණද?


පහත තිබෙන්නේ මෙම වසරේ ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයයි.

රජයේ විදේශ ණය - ඩොලර් මිලියන 36,609

මහ බැංකුවේ විදේශ ණය - ඩොලර් මිලියන 4,378

අනෙකුත් බැංකු වල විදේශ ණය - ඩොලර් මිලියන 5,158

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ ණය - ඩොලර් මිලියන 9,924

රටේම විදේශ ණය - ඩොලර් මිලියන 56,069


රටේ විදේශ ණය කියන්නේ ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලින් කොටසක්. ලංකාවේ ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් විදේශිකයින්ගෙන් ලබාගෙන තිබෙන ණය රටේ විදේශ ණය වල කොටසක්. රටේ විදේශ ණය රටේ විදේශ බැරකම් වල කොටසක්. එහෙත් රටේ විදේශ බැරකම් වලට, ඒ කියන්නේ ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලට, අයත් වන්නේ රටේ විදේශ ණය පමණක් නෙමෙයි. 

විදේශ ණය වලට අමතරව වෙනත් විදේශ බැරකම්ද තිබෙනවා. ඒ විදේශිකයින්ට අයිති ලංකාවේ තිබෙන ආයෝජනයි. විදේශ ණය වෙනුවෙන් වගේම විදේශ ආයෝජන වෙනුවෙන්ද වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභ විදේශිකයින් විසින් රටින් රැගෙන යනවා. විදේශ බැරකම් වැඩි වන තරමට මේ විදිහට වාර්ෂිකව රටින් එළියට යන විදේශ විණිමය ප්‍රමාණයද ඉහළ යනවා. ඒ වගේම, විදේශිකයින්ට තමන්ගේ ආයෝජනද රටෙන් ආපසු රැගෙන යා හැකි බැවින්, රටේ පැත්තෙන්, විදේශ ණය වල වගේම විදේශ ආයෝජන වලද අවදානමක් තිබෙනවා. 

රටේ විදේශ ණය ප්‍රමාණය - ඩොලර් මිලියන 56,069

ණය නොවන විදේශ බැරකම් ප්‍රමාණය - ඩොලර් මිලියන 11,406

රටේ මුළු විදේශ බැරකම් ප්‍රමාණය - ඩොලර් මිලියන 67,475


මේ වගේම, රටේ විදේශ වත්කම් කියා කියන්නේ මහ බැංකුවේ තිබෙන, අපි නිතරම කතා කරන, නිල විදේශ වත්කම් ප්‍රමාණය පමණක් නෙමෙයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් තිබේනම් ඒවා රටේ විදේශ වත්කම් වල කොටසක්. නමුත් හදිසියකදී මහ බැංකුවට ප්‍රයෝජනයට ගත හැක්කේ මහ බැංකුව සතු විදේශ වත්කම් පමණයි. ඒ ගැන වැඩිපුර අවධානයක් යොදවන්නේ ඒ නිසා. 


පහත තිබෙන්නේ මෙම වසරේ ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු විදේශ වත්කම් ප්‍රමාණයයි.

රජයේ විදේශ වත්කම් - නැත 

මහ බැංකුවේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 6,081

අනෙකුත් බැංකු වල විදේශ වත්කම් - ඩොලර් මිලියන 5,670

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 3,502

රටේම විදේශ වත්කම් - ඩොලර් මිලියන 15,254

මේ අනුව පෙනෙන පරිදි, රටේ විදේශ බැරකම් ඩොලර් 100කට විදේශ වත්කම් තිබෙන්නේ ඩොලර් 22.6ක් පමණයි. ආර්ථික අර්බුදයට පෙර, 2022 මාර්තු අවසානයේදී, මෙම අනුපාතය 13.5% දක්වා පහත වැටුණා. 

ඩොලර් 50ක් අතේ තියාගෙන ඩොලර් 100ක රෝලක් ගහන එක අමාරුවෙන් හරි කරන්න පුළුවන්. නමුත් ඩොලර් 13ක් අතේ තියාගෙන ඩොලර් 100ක රෝලක් ගහන්න බැහැ. ඒ වගේම එහෙම බැහැ කියන එක කාට වුනත් පැහැදිලිව පේනවා. වත්කම් බැරකම් අනුපාතය ඒ තරමටම අඩු වූ විට ආර්ථිකයක් කඩා වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි.

පහත තිබෙන්නේ 2022 මාර්තු අවසාන වන විට පැවති තත්ත්වයයි.

විදේශ බැරකම්:

රජයේ විදේශ බැරකම් - ඩොලර් මිලියන 26,522

මහ බැංකුවේ විදේශ බැරකම් - ඩොලර් මිලියන 5,923

අනෙකුත් බැංකු වල විදේශ බැරකම් - ඩොලර් මිලියන 6,815

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ බැරකම්- ඩොලර් මිලියන 20,526

රටේම විදේශ බැරකම් - ඩොලර් මිලියන 59,786


විදේශ වත්කම්:

රජයේ විදේශ වත්කම් - නැත 

මහ බැංකුවේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 1,917

අනෙකුත් බැංකු වල විදේශ වත්කම් - ඩොලර් මිලියන 3,441

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 2,715

රටේම විදේශ වත්කම් - ඩොලර් මිලියන 8,073


මේ අනුව පෙනෙන පරිදි, මේ වන විට රටේ විදේශ වත්කම්, අර්බුදය කාලයේ පැවති තත්ත්වයට සාපේක්ෂව, ඩොලර් බිලියන 7කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එහෙත් ඊට සමානව රටේ විදේශ බැරකම්ද ඉහළ ගොස් තිබෙනවා. 

ඩොලර් 22ක් අතේ තියාගෙන වුනත් ඩොලර් 100ක රෝලක් ගහන්න අමාරුයි. ලංකාව දැන් ඒ වැඩේ කරන්නේ ඉන්දියාවේ, චීනයේ සහ මූල්‍ය අරමුදලේ උදවුවෙන්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුගත කරගත්ත නිසා. 

කෙසේ වුවත්, මේ වන විට, මහ බැංකුව හා වාණිජ බැංකු සතුව ඔවුන්ගේ ණය ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් තිබෙනවා. එහෙත්, රජය සතුව හා අනෙකුත් ආයතන හා පුද්ගලයින් සතුව ඔවුන්ගේ විදේශ බැරකම් වලට සමානව විදේශ වත්කම් නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස රටේ විදේශ වත්කම් හා බැරකම් සැලකූ විට ඩොලර් මිලියන 52,220ක හිඟයක් තිබෙනවා. වසරකට ඩොලර් බිලියන 2 බැගින් ඉතිරි කර ගත්තත්, මේ හිඟය පියවා ගන්න වෙන්නේ 2050 පමණ වෙද්දීයි. 

22 comments:

  1. ඉකොනෝ,

    මධ්‍යම රජයේ වත්කම් ප්‍රමාණය දක්වලා නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මධ්‍යම රජය සතුව විදේශ වත්කම් කිසිවක් නැති නිසා.

      Delete
  2. ඉකොනෝ

    ලංකාවේ මධ්‍යම රජයේ ආයතන හෝ වෙනත් ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සංස්ථා සතුව විදේශ වත්කම් තියෙන්න ඕන නේද? ඒවා මෙහි දක්වා නැත්තේ ඇයි?

    ඒ වගේම ලංකාවේ රජයේ විදේශ වත්කම් සහ විදේශ ආයෝජන වැඩි කර ගන්නේ කෙසේද?

    මම දන්න විදියට මහබැංකුව නම් එක්සත් ජනපදය ඇතුලු විදේශ රටවල බැඳුම්කර ඇතුලු ආයෝජන කරලා තියෙනවා නේද? අර කබරරාල් ගේ ග්‍රීක බැඳුම්කර කේස් එක වගේ වර්තමාන ජාජබ ආණ්ඩුවටත් චෝදනාවක් එල්ල වුණා නේද ඒ වගේ දෙයක් සම්බන්ධව?

    ලංකාවේ වෘත්තීයවේදීන් වගේ අයගේ වැටුප් දැන් මාසයකට මිලියනය ඉක්මවන අය වැඩිවීම ඕස්ට්‍රේලියාව සමග සංසන්දනය කරන විට Annual income ඔසී $100,000 after tax සහ වියදම් අඩුකලපසු ගතයුතුයි. ඔසී වල දැන් සාමාන්‍ය ගෙයක් පවා $1 මිලියනයකට වඩා වැඩි නිසා ගෙදර Mortgage එක ආදායමෙන් අඩුකර ගතයුතුයි.

    බොහෝ Australia වල ලංකාවේ අය ගෙයක් ගැනීමට deposit එක ලංකාවේ දේපල විකිණීමෙන් සහ ලංකාවේ හිතවතුන්ගෙන් ණය ලෙස ඉතා අමාරුවෙන් මුදල් එකතුකරගෙන ලබාගනී.

    ලංකාවේ දැන් top executive කෙනෙක් Rs 5m monthly income එක ලබන එක සාමාන්‍ය දෙයක් නිසා ඕස්ට්‍රේලියාව වගේ ලංකාවේත් තව බදු ගහන්න කියලා IMF එක කොන්දේසි දාවි ද ඉස්සරහට?

    2027 දේපල බද්ද තවත් වැඩි කරන්නත් ඉඩ තියෙනවා නේද?ඕස්ට්‍රේලියාවෙ ලංකාවේ පන්සලකට ගියවිට ඔය කියන ලාංකික කෝටිපතියන්ගේ ජීවන තත්වය දැකිය හැකියි. ඕස්ට්‍රේලියාව තුල කඩෙන් කෑම කන්න යන වියදම වගේ 1/3 කින් හෝ ඊටත් අඩුවෙන් ජපානයේ එහෙම හොඳට කඩෙන් කෑම බීම කන්න බොන්න පුළුවන්, වෙනත් ආසියාතික රටවල ඊටත් වැඩිය සෑහෙන්න වියදම අඩුයි.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ මධ්‍යම රජයේ ආයතන හෝ වෙනත් ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සංස්ථා සතුව විදේශ වත්කම් තියෙන්න ඕන නේද? ඒවා මෙහි දක්වා නැත්තේ ඇයි?//

      මධ්‍යම රජයේ ආයතන සතුව විදේශ වත්කම් නැහැ. රාජ්‍ය බැංකු සතුව තිබෙන විදේශ වත්කම් බැංකු යටතේ තිබෙනවා. අනෙකුත් රාජ්‍ය ආයතන (ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සංස්ථා ) සතුව විදේශ වත්කම් තිබේදැයි මා දන්නේ නැහැ. ශ්‍රීලන්කන් වැනි ආයතන වල බැරකම්නම් තිබෙනවා. විදේශ වත්කම් තිබේනම් ඒවා තියෙන්නේ "අනෙකුත්" කාණ්ඩය ඇතුළේ.

      //මම දන්න විදියට මහබැංකුව නම් එක්සත් ජනපදය ඇතුලු විදේශ රටවල බැඳුම්කර ඇතුලු ආයෝජන කරලා තියෙනවා නේද?//

      ඔව්.

      //අර කබරරාල් ගේ ග්‍රීක බැඳුම්කර කේස් එක වගේ වර්තමාන ජාජබ ආණ්ඩුවටත් චෝදනාවක් එල්ල වුණා නේද ඒ වගේ දෙයක් සම්බන්ධව?//

      දන්නේ නැහැ.

      //ලංකාවේ දැන් top executive කෙනෙක් Rs 5m monthly income එක ලබන එක සාමාන්‍ය දෙයක් නිසා ඕස්ට්‍රේලියාව වගේ ලංකාවේත් තව බදු ගහන්න කියලා IMF එක කොන්දේසි දාවි ද ඉස්සරහට?//

      IMF එක ආදායම් වැඩි කරගන්න කිවුවේ ආදායම් විශාල ලෙස අඩු වී තිබුණු නිසා. නැවත එසේ කියන්නේ හේතුවක් නැහැ.

      Delete
  3. මාස කීපයක් ගතඋනාට පස්සෙ ඉකොනොට තමන්ගෙ ඇල්ල ටිකට් අනාවැකිය ගැන මොකෝ හිතෙන්නෙ? ඇයි මෙච්චර කියන කියන අනාවැකි වැරදෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අප විසින් කර තිබෙන්නේ දුම්රිය ආසන වඩා ප්‍රශස්ත ලෙස වෙන් කළ හැකි ක්‍රමයක් පෙන්වා දීමයි. ඒ ලියා තිබෙන දේවල් දැනටත් වලංගුයි. දැන් ඉල්ලුම වඩා හොඳින් පේනවා. අවශ්‍යනම් ලිපියේ යෝජනා කර තිබෙන දේ වඩා පහසුවෙන් කළ හැකියි.

      Delete
    2. //තවත් ටික දවසක් ගියාට පස්සෙ කලින් වගේම මුල් දවසේ හෝ දවස් කීපය ඇතුලත ටිකට් සියල්ලම විකිනෙයි. ඊට පස්සෙ ප්‍රශ්නය කලින් තිබ්බ තැනමයි.//
      මෙන්න මේ අනාවැකිය ගැන මොකද හිතෙන්නෙ කියල ඇහුවෙ.

      Delete
    3. ඒ තරම්ම ඉක්මණින් ටිකට් විකිණෙන බවක් පෙනෙන්න නැහැ. ඇල්ල ඔඩිසි එකේනම් පළමු පංතියට විශාල ඉල්ලුමක් නැති බවයි පෙනෙන්නේ. වැඩි ඉල්ලුමක් තියෙන්නේ දෙවන පංතියට. දෙවන තුන්වන පන්ති වල ටිකට් කලින් විකිණෙනවා. සංචාරක නියෝජිතයින් විසින් ප්‍රවර්ධනය කිරීම නිසා ඇති වී තිබුණු ඉල්ලුම නැති වෙලා වගෙයි පේන්නේ.

      Delete
    4. ඉතින් ඔබේ අනාවැකියෙ කියන විදියට ඉක්මනට විකිනෙන එකනෙ ප්‍රශ්නය වෙලා තිබ්බෙ.

      Delete
    5. නෑ. ඉක්මණට විකිණෙන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? තමන් විකුණන බඩු ඉක්මණට විකිණෙන එක ප්‍රශ්නයක් කියලා හිතන වෙළෙන්දෝ ඉන්නවද?

      ඉක්මණට විකිණුන එක රෝග ලක්ෂණයක් මිසක් රෝගය නෙමෙයි. ඉක්මණට විකිණුනේ ඉල්ලුම තිබුණු නිසා. ප්‍රශ්නය වුනේ ඒ ඉල්ලුමෙන් ගන්න තිබුණු වාසිය රජය විසින් ලබා නොගැනීම.

      මේක හරියට දුර ගමන් බස් රථ නවත්තන කඩයකට එන පාරිභෝගිකයින් ප්‍රමාණය වැඩි වෙද්දී බස් රථ රියදුරන්ට දෙන සන්තෝෂම් නවත්තලා කඩේට සෙනඟ එන එක අඩු කර ගත්තා වගේ වැඩක්.

      Delete
    6. ඔබගේ තර්කය උනේ මේකනෙ.

      මිල අඩු නිසා ඉල්ලුම සහ සෑයුම ගැලපුනෙ කලුකඩය මගින්. මෙය විසඳන්න කල යුත්තේ මිල වැඩි කිරිමයි. මේ කරපු වැඩෙන් වෙන්නෙ ටික දවසකින් ආපහු පෙර පරිදිම ටිකට් ටික විකිනිල අවසන් වෙල , පසුවට එන පාරිභෝගියන්ට වැඩි මිලක් හරි දීල ටිකට් එකක් ගන්න බැරිවෙනව. කලුකඩේ තිබ්බ කාලෙනම් කලුකඩෙන් හරො ගන්න තිබ්බ ඕන වෙලාවක. (දැන් කලුකඩෙත් ටිකට් නෑ, දෙපර්තුමේන්තුවෙන් ගන්නත් බෑ ටිකට් ඉවර වෙල නිසා)
      වෙන එකම දේ කලුකඩකාරයට ගිය ලාබෙ නැවතීම විතරයි.

      දැන් අපි ඇත්ත ත්ත්වය බැලුවම පැහැදිලිවම පේනව ඔබ කියපු දේ නෙමෙයි වෙල තියෙන්නෙ කියල. . ඒක වෙනුවට දැන් ඔබ කියනව තිබිච්ච ඉල්ලුමත් අඩුවෙල රජයට පාඩුලු.

      Delete
    7. තැන් තැන් වලින් වෙනවෙනම කොටස් ගන්නේ නැතිව මේ හා අදාළව මම ලියපු ලිපි තුනම එකට අරගෙන සම්පූර්ණයෙන්ම බැලුවොත් (එසේ කොටස් උපුටා දැක්වීමේ වරදක් නැහැ. කියන්නේ ඒ ගැන නෙමෙයි) එම ලිපි වල වියහැකියාවන් දෙකක් හඳුනාගෙන තිබෙනවා. ඔබ උපුටා දක්වා තිබෙන කොටසේ තිබෙන්නේ පළමු වියහැකියාව ගැනයි. නිශ්චිතව කිවුවොත්, ඓන්ද්‍රීය ලෙසම ඉල්ලුම වැඩි වී ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක් ඇති වීම සහ රජය එම තත්ත්වයෙන් ප්‍රයෝජන නොගැනීම නිසා සංචාරක නියෝජිතයින් විසින් එයින් ප්‍රයෝජනයක් ගැනීම ගැනයි.

      "ඇත්තටම මෙතැනදී වුනේ ඊනියා ජාවාරම්කාරයන් විසින් ප්‍රශ්නයක් ඇති කිරීම නෙමෙයි. තිබුණු ප්‍රශ්නයක් ඔවුන් විසින් පෙන්වා දීම. ...ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයක් හැදුනොත් කවුරු හෝ ඒ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නවා. ඔය ඊනියා ජාවාරම්කාරයින් විසින් කළේ ඒක."

      ඇත්ත වශයෙන්ම පළමු ලිපියෙහි මම බර තබා තිබෙන්නේ පළමු මේ වියහැකියාවටයි. ඒ වගේම, මේ අවස්ථාවේදී, ඔබ ඇතුළු බොහෝ දෙනෙකු හිටපු මතය වුනේ මෙම සංචාරක නියෝජිතයින් (ඊනියා කළුකඩය) වැරදි බව සහ ඔවුන් අසාධාරණ ලාබයක් ලබා ගන්නා බවයි. ඔබ දැන් උපුටා දක්වන කොටසේ පෙන්වා දී තිබෙන්නේ එය ප්‍රශ්නයක්නම් (කෙටියෙන්) ප්‍රශ්නයට විසඳුමයි. ඉල්ලුම ඓන්ද්‍රීය ඉල්ලුමක් වීනම්, රජයේ ඊනියා විසඳුමෙන් ඊනියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔය ඔබ උපුටා දක්වා ඇති කොටසේ තිබෙන්නේ මේ තත්ත්වය පැහැදිලි කිරීමක්.

      මේ ලිපිය පළ කළ කාලයේදී සංචාරක නියෝජිතයින්ගේ පැත්තෙන් බලා ඉදිරිපත් කළ තර්කයක්ද තිබුණා. ඒ අනුව, ඉල්ලුම හැදුවේ ඔවුන් විසිනුයි. අදාළ තර්කයට අනුව, සංචාරක නියෝජිතයින්ට ලාබ ගැනීමේ අවස්ථාව අහිමී කිරීමෙන් පසුව ඉල්ලුම අඩු වන නිසා ටිකට් විකිණෙන්නේ නැහැ. මගේ ලිපියේ මේ තර්කයට දමා තිබෙන්නේ අඩු බරක් වුවත්, ඒ ගැනත් ලියා තිබෙනවා. මෙය දෙවන වියහැකියාවයි.

      මේ ආකාරයෙන් වියහැකියාවන් දෙකක් තිබුණත්, එයින් අදහස් වෙන්නේ ඒ දෙකෙන් එකක් පමණක් විය හැකියි (අන්යෝන්ය ලෙස බහිෂ්කාර) කියන එක නෙමෙයි. දෙකම වෙන්න පුළුවන්. ප්‍රතිඵලය කෙරෙහි ඔය දෙකේම බලපෑම තිබෙනවා. ඒවා එක එක වෙනවෙනම අරගෙන පැහැදිලි කර තිබෙන්නේ තේරුම් ගැනීමේ පහසුව සඳහා පමණයි.

      "මිල බුබුළු වැනි විශේෂ තත්ත්වයන් වලදී හැර, නියම මිලට වඩා වැඩි කෘතීම මිලකට භාණ්ඩයක් විකුණා කාටවත් ලාබයක් ලබන්න බැහැ. එසේ ලාබයක් ලබන්නේනම් අදාළ භාණ්ඩය විකිණෙන්නේ නියම මිලට මිසක් කෘතිම මිලකට නෙමෙයි.

      ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී සිදු වී තිබෙන්නේ රජය විසින් කෘතිම මිලක් නියම කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අවස්ථාව හඳුනා ගන්නා පුද්ගලයෙකුට ලාබයක් ලැබීමට අවස්ථාවක් උදා වීමයි. ඇතැම් අය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තිබෙනවා."

      ඉහත කොටසේ විස්තර කර තිබෙන්නේ පළමු වියහැකියාව ගැනයි.

      "රජය විසින් ටිකට්පත් විකුණා ඇත්තේ නියම මිලටනම්, තැරැව්කරුවන් විසින් සිදු කර ඇත්තේ අගය එකතු කිරීමක් කර එම අගය එකතු කිරීම වෙනුවෙන් මුදලක් ලබා ගැනීමයි. එය එසේනම් ඔවුන්ගේ මිලද නියම මිලක් මිස කෘතීම මිලක් නෙමෙයි."

      ඉහත කොටසේ තිබෙන්නේ දෙවන වියහැකියාව ගැනයි.

      Delete
    8. ඒ වගේම, මේ වියහැකියාවන් දෙකෙන් එකක් නොව දෙකම සලකා බැලිය යුතු බවද මා පැහැදිලිව ලියා තිබෙනවා.

      "ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ඉහත කරුණු දෙකේම මිශ්‍රණයක්. රජය විසින් කෘතීම මිලකට ටිකට්පත් අලෙවි කරන නිසා ඇතිව තිබෙන ටිකට්පත් හිඟයෙන් තැරැව්කරුවන් වාසියක් ගෙන තිබෙන අතර අගය එකතු කිරීම් කරමින් එම අගය එකතු කිරීමේ මිලද ඔවුන් විසින් ලබාගෙන තිබෙනවා."

      ඉහත තත්ත්වය මේ වෙද්දී පැහැදිලිව දැකිය හැකියි. තැරැව්කරුවන් ඉවත් කිරීම මගින් රජය විසින් ඉල්ලුමෙන් කොටසක් නැති කරගෙන තිබෙනවා. නමුත් ඓන්ද්‍රීය ලෙස වැඩි වූ ඉල්ලුම නිසා, කලින් තරමටම නැතත්, ටිකට් විකිණෙනවා. ටිකට් ඉල්ලුම තීරණය කරන්නේ ලිපි වල විස්තර කළ ඉහත සාධක දෙක පමණක් නෙමෙයි. යුරෝපයේ ග්‍රීෂ්ම නිවාඩුව අවසන් වීම, ලංකාවේ නිවාඩු කාල හා විභාග කාල ආදී තවත් සාධක ගණනාවක් නිසා ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා, පැත්තක සිට මතුපිටින් බලා ඔය කියා තිබෙන දේවල් වලට වඩා වැඩි දෙයක් කියන්න බැහැ. වෙලා තිබෙන්නේ කුමක් වුවත්, තෙවන ලිපියේ තිබෙන "ගතික විචල්‍ය මිල ක්‍රමය" හොඳම විසඳුමයි. ඒ ක්‍රමයේදී හේතු හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව කුමක් වුවත් ඉල්ලුම හා සැපයුම ගැලපෙන අතර රජයට වැඩිම ආදායමක්ද ලැබෙනවා.

      දැන් දෙවන පන්තියේ ටිකට් කලින්ම විකිණෙනවා. ඉන් පසුව තුන්වන පන්තිය. අන්තිමට විකිණෙන්නේ පළමු පන්තිය. එයින් පෙනෙන්නේ පළමු පංතියේ ටිකට් ගන්න අය එසේ කරන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට බවයි. ඒ අයට දැන් අය කරන පළමු පංතියේ මිලත් (කළුකඩ මිලක් නොවුනත්) ආකර්ශනීය නොවන වැඩි මිලක්. ටිකට් ඉක්මණින් විකිණෙන්නේ නැත්තේ ඒ නිසා. නමුත් දෙවන පන්තිය ඉක්මණින් විකිණෙනවා. දෙවන පන්තිය විකිණී අවසන් වූ විට තුන්වන පංතියද විකිණෙනවා. මේ පිරිස පළමු පංතියේ ටිකට් ගන්නේ අනෙක් විකල්ප දෙකම නැති වීමෙන් පසුවයි. පළමු පංතියේ ටිකට් වලට විශාල මිලක් ගෙවන්න කැමැත්තෙන් සිටි පිරිස දැන් එන්නේ නැහැ. දැන් පැහැදිලිව පෙනෙන පරිදි, ඒ ඉල්ලුම හැදී තිබෙන්නේ සංචාරක නියෝජිතයින් විසින් ප්‍රවර්ධනය කිරීම නිසා. ඒ ප්‍රවර්ධන ගාස්තුව තමන් ඔවුන් අරගෙන තියෙන්නේ.


      Delete
    9. මුල් ලිපිය විතරයි මමනම් කියෙව්වෙ. ඊට පස්සෙ ඔබේ අදහස වඩාත් පැහැදිලි කරගන්න තමයි ඊට අදාලව ප්‍රශ්න ඇහුවෙ ඒ ලිපියෙදි. ඊට පස්සෙ තමයි මහිතෙ ඉතිරි ලිපි පලවෙන්න ඇත්තෙ.

      මම කියපු විදියටම කලුකඩේ විසින් කලේ කෘතිම ඉල්ලුමක් මවල කෘතිම ලෙස මිල ඉහල නංවපු එක. ඒ කාලෙ උන් කලේ එක පාර්ට ටිකට් ටික අරගෙන නියම පාරිභෝගිකයන්ව ප්‍රාන ඇපයට ගැනීම. ඊට පස්සෙ වැඩි මිලට නොවිකිනෙඅ ටිකට් ආඵපහු රිටර්න් කරල රෙෆන්ඩ් එකත් ගත්ත. කිසිම අවදානමක් නැති බිස්නස් එකක්. දැන් ඒක අයින් කලාම වෙලඳපොල සාමාන්‍යකරනය වෙලා තියෙනව. අත්තම කියනවනම මම ඔය ට්‍රේන් රයිඩ් එක ගැන සුද්දො දාපු රිවිව් එහෙමත් සෑහෙන කියෙව්ව. බහුතරයක් කලුකඩය ගන අප්‍රසාදයෙන් තමයි කමෙන්ට් අරල තිබ්බෙ සහ ඒ ගානට ඒ ගමන වටින්නෙ නෑ කියල තමයි කියල තිබ්බෙ.

      දෙක, තැරැව්කරුවන් නැතු වීම නිසා අමුතු අහිමිවීමක් වෙලා නෑ. දැනුත් ටිකට් ඔක්කොම විකිනෙනවා.

      Delete
    10. //මුල් ලිපිය විතරයි මමනම් කියෙව්වෙ. ඊට පස්සෙ ඔබේ අදහස වඩාත් පැහැදිලි කරගන්න තමයි ඊට අදාලව ප්‍රශ්න ඇහුවෙ ඒ ලිපියෙදි. ඊට පස්සෙ තමයි මහිතෙ ඉතිරි ලිපි පලවෙන්න ඇත්තෙ.//

      අපරාදේ මගේ කාලය. ප්‍රශ්න අහන්නේ ලියපුවා කියවලා නෙමෙයි කියලා දැනගෙන හිටියානම් පිළිතුරු ලියන්න මහන්සි වෙන්නේ නැහැ.

      Delete

      Delete
  4. ඉකොනොමැට්ටාගේ දත්ත වැරදි.

    මෙරට විදේශීය හා දේශීයව අමෙරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ඒ බව අනාවරණය විය.

    ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් කාරක සභාව කල විමසීමකදී එම අවස්ථාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන් පැවසුවේ විදේශ ණය අමෙරිකානු ඩොලර් බිලියන 37 ක් ලබාගෙන ඇති අතර එය රුපියල් ට්‍රිලියන 19.6 ක් බවයි.

    ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හා සිදුවන අතර, ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද මෙහිදී කාරක සභා සභාපතිවරයා සඳහන් කර ඇත.

    ReplyDelete
    Replies
    1. ඩොලර් බිලියන 36.6 බිලියනයකට රවුම් කළ විට ඩොලර් බිලියන 37යි. ඒ හැර එකම ණය ප්‍රමාණය විවිධ ආකාර වලින් වාර්තා කරද්දී (වෙළඳපොළ අගය, මුහුණත අගය ආදී, වෙනසක් වෙන්න පුළුවන්.)

      Delete
  5. 2022 මාර්තු අවසාන වන විට ලංකාවේ මුළු විදේශ ණය ඩොලර් මිලියන 59,786
    2025 ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු රටේම විදේශ ණය ඩොලර් මිලියන 56,069

    අර්බුදය කාලයේ පැවති තත්ත්වයට සාපේක්ෂව, ඩොලර් බිලියන 3කින් පමණ රජය විදේශ ණය ගෙවා තිබිනවා කියන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම නිශ්චිතව කියන්න බැහැ. බැඳුම්කර වල ණය වල වෙළඳපොළ අගය දවසින් දවස වෙනස් වෙනවා. ඒ වගේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය ප්‍රමාණයේ අඩු වීමක් සිදු වුනා. එය ණය ආපසු ගෙවීමක් නෙමෙයි. ණය ආපසු ගෙවීම් වෙනම බැලිය යුතුයි.

      Delete
    2. @ Economatta

      ඇත්තටම ඔය කියන විදිහට සිරි ලංකා රජය 2022 අප්‍රේල් 12 වැනි දින සිට විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට (Intention to Suspend Repayment of External Debt) තීරණය කළා.

      මෙම තීරණයට අනුව, ණය හිමියන් (චීනය, ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික ණයහිමියන්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සහ වාණිජ බැංකු) වෙත ගෙවිය යුතු වූ ප්‍රාග්ධන (Principal) සහ පොලී (Interest) යන දෙකම ගෙවීම නතර වුණා

      ණය ගෙවීම් නතර කිරීම යනු ණය අර්බුදය තාවකාලිකව පාලනය කර ගැනීම මිස, සැබවින්ම ණය බර අඩු වීමක් නොවේ. එදින සිට මෙතෙක්, පොලී සහ වාරික ගෙවීම් සිදුවී නොමැති නිසා, සාමාන්‍ය ජනතාවට හිතෙන විදිහට ණය ප්‍රමාණය එලෙසම තිබිය යුතුයි

      එකඟ වූ ගෙවීම් නොකිරීම සමගම රටේ විදේශ විනිමය සංචිත අතිශය අවදානම් මට්ටමක තිබූ නිසා, රජය මෙම මුදල් නැවත ණය සේවාකරණයට යෙදවූයේ නැහැ. එම නිසා, ණය බර අඩු වූවා යැයි පැවසීම තාක්ෂණිකව වැරදියි.

      ​මුදල් ඒකක විචලනයේ (Currency Revaluation) බලපෑම
      ​ඔබ සඳහන් කරන ඩොලර් බිලියන 3ක පමණ අඩුවට බලපෑ ප්‍රධානම සාධකය වන්නේ මුදල් ඒකකවල වටිනාකමේ වෙනස්වීම්.

      මීට අදාළව ගණනය කිරීම ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගෙන ඇත්තේ ඇමරිකානු ඩොලරයෙන් පමණක් නොවේ. ජපන් යෙන් (JPY), යුරෝ (EUR), චීන රෙන්මින්බි යුවාන් (CNY) සහ තවත් මුදල් ඒකක ගණනාවකින් ණය ගෙන ඇත.

      ​ඩොලරයට පරිවර්තනයේදී ලංකා මහ බැංකුව ණය වාර්තා ඉදිරිපත් කිරීමේදී, මෙම සියලු ණය ප්‍රමාණයන් වාර්තාකරණ දිනට අදාළ වන පරිදි ඇමරිකානු ඩොලරයට පරිවර්තනය කර පෙන්වයි.

      ​යෙන් (Yen) අගය බිඳ වැටීම2022 න් පසු කාලපරිච්ඡේදයේදී, ජාත්‍යන්තර වශයෙන් ජපන් යෙන්වල වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස පහත වැටුණි.

      ​තාක්ෂණික අඩුවක් ලෙස ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබී ඇති ණය ප්‍රමාණය (Official Development Assistance - ODA) අති විශාලයි. යෙන්වල වටිනාකම ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහත වැටෙන විට, යටින් පවතින ණය ප්‍රමාණය එලෙසම තිබුණද, එය ඇමරිකානු ඩොලර්වලට පරිවර්තනය කළ විට, ණය ප්‍රමාණය ස්වයංක්‍රීයව අඩුවී පෙනේ.

      ​සාරාංශයක් ලෙස ඒ අනුව 2022 මාර්තු අවසානයට සාපේක්ෂව 2025 ජූනි වන විට විදේශ ණය ඩොලර් බිලියන 3කින් පමණ අඩුවීම සිදුවී ඇත්තේ

      ​ණය සේවා අත්හිටුවීම නිසා ණය ගෙවීමකින් තොරව කාලය ගතවීම සහ
      ​ප්‍රධාන වශයෙන් ජපන් යෙන් වැනි මුදල් ඒකකවල වටිනාකම ඩොලරයට සාපේක්ෂව පහත වැටීම නිසා තාක්ෂණිකව මුදල් ඒකක විචලනය සිදුවීම නිසයි.

      ​මෙම අඩුව සැබෑ ණය ගෙවීමක් ලෙස සැලකිය නොහැකියි. ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළයි. එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් වූ විට, ණය මුදල්වල කොටසක් කපා හැරීම (Haircut) හෝ ගෙවීමේ කාලය දීර්ඝ කිරීම තුළින් ණය බරෙහි සැබෑ අඩුවීමක් අපේක්ෂා කළ හැකියි.

      @ ඇනෝ 10.25AM

      සිංගප්පූරුවේ ප්‍රවාහන ඇමති සුබ්‍රමනියම් ඉෂ්වරන් හිරේ යන්නේ ඩොලර් ලක්ෂ 300,000 ඉක්මවා තෑගි ලබා ගැනිම හේතුකොට ගෙනයි..මේවා අල්ලස් නෙමෙයි කියලා සිංගප්පූරුවම කියනවා.. නමුත් ලංකාවේ මේ දිනවල දැඩිලෙස චෝදනා වලට ලක්වන අල්ලස් කොමිසමේ රංග දිසානායකගේ ප්‍රසිද්ධ මාධ්‍ය වල සිදුකළ අල්ලස් ගැන වූ නිර්වචනය හා අර්ථ නිරූපනය සම්පුර්ණයෙන් වැරදියි..මොකද රාජ්‍ය තුළ ඉහල තනතුර දරණ මිනිස්සු තුන් වැනි පාර්ශවයන්ගෙන් තැගී ලබා ගැනිමේ දී එම තැග්ගට මූල්‍යමය වටිනාකම් සිමාවක් ඇත..එය ඉක්මවා ගිය පසු එය අල්ලසක් ලෙස හැදින්වේ..උදා- මම අද රජයේ ඇමතිවරයෙක් හරහා වැඩක් කරගෙන අවුරුදු දෙකකට පසුව ඔහු ගේ උපන්දිනයට බෙන්ස් කාර් රථයක් මගේ යාලුවෙක් හරහා ඔහුට ලබා දුනහොත් රංග දිසානායකට අනුව එය අල්ලසක් නොවේ තෑගි දිමකි..එම නිර්වචනය ට අනුව නාමල් රාජපක්ෂ වැනි පල හොරෙකුට ක්‍රීෂ් ගොඩනැගිල්ල දීමත් එබඳු තෑග්ගක් විය හැකියි.. දිසානායක වගේ කොමිටල් හාදයෙක් සිංගප්පූරුවේ අදාල තනතුරක හිටියානම් සුබ්‍රමනියම් ඉෂ්වරන් මහතා අද හිරේ නොවෙ එලියේ..මොකද ඒ දීපූ අය දිලා තියෙන්නේ කැමත්තෙන්නේ.

      Delete
  6. @ ඉකොනොමැට්ටා

    ලංකාවේ ආර්ථිකය දරා සිටින අදෘශ්‍යමාන අත්තිවාරම වන්නේ ජනතා විශ්වාසය මත ගෙවන බදු මුදල් බවත් ජනතාව තම මුදල් නිසි ලෙස, අවංකව සහ වෘත්තීයභාවයෙන් යුතුව කළමනාකරණය කරන බවට විශ්වාස කිරීමට ආණ්ඩුවට හැකි විය යුතු බවත් ඔබත් පිලිගනීවි. එහෙත් වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය දෙස බලන විට, මේ විශ්වාසය බිඳවැටෙමින්, පක්ෂපාතීත්වයේ අඳුරු සෙවණැලි රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිර යන අයුරු දක්නට ලැබේ.

    ​එක්සත් ජනපදයේ FBI සහ DOJ වැනි ආයතනවල ඉහළම තනතුරුවලට පවා 'Conflict of Interest' (බලපෑම් ගැටුම්) වළක්වා, දේශපාලන පක්ෂග්‍රාහී නොවන වෘත්තිකයන් පත් කරන විධිමත් ක්‍රමවේද තිබියදී, ලංකාවේ ආණ්ඩුව පත්කිරීමට මැතිවරණයට පෙර ආණ්ඩු බලය හිමි දේශපාලන පක්ෂයට රෙදි නැතුව 'කඩේ ගිය' දේශපාලන ගොට්ටන්ට රාජ්‍ය තනතුරු ලබා දීමෙන් පෙනී යන්නේ, වෘත්තීයභාවයට වඩා දේශපාලන පක්ෂපාතීත්වය ඉස්මතු වී ඇති බවයි.

    ​අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත් කිරීමේ ක්‍රියාවලිය විවෘතවම පක්ෂපාතී තීරණයක් ලෙස විවේචනයට ලක්වන්නේ, ඔහුට තනතුරට අවශ්‍ය නඩු පවරන්නෙකුගේ අත්දැකීම් නොතිබුණත්, මාලිමා පක්ෂයේ පූර්ණ කාලීන කාඩරයේ සාමාජිකයන් දෙදෙනෙකු (ආණ්ඩුකාරවරුන්) ඔහුගේ CV එකේ නිර්දේශ ලෙස සිටීම හේතුවෙනි. තවද, CID අධ්‍යක්ෂ, ආරක්ෂක ලේකම් වැනි තනතුරුවලට පවා, ජනපතිවරයා බලයට ගෙන ඒමට දේශපාලන වේදිකාවල සෘජුවම 'කඩේ ගිය' පුද්ගලයන් පත් කිරීමෙන්, දූෂණ විමර්ශන සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමා ඇත.

    ​කන්ටේනර් 323 ක් පැන්නවීමේ දූෂණය, ඇමතිවරුන්ගේ ඉඩම් වංචා සහ ආණ්ඩුවේ ඇමතිවරුන්ට විශ්මයජනක ක්ෂණික වත්කම් උපයාගැනීම් වැනි බරපතල චෝදනා එල්ල වෙද්දී ඒවා විමර්ශනය නොවී යටපත් වනු ඇතැයි යන සාධාරණ බිය ජනතාව තුළ පවතී. ආණ්ඩුවේ ගොට්ටන් රාජ්‍ය නිලධාරීන් ලෙස පත්කර, දේශපාලන චෝදනා යටගසමින් සිටින මෙවන් මොහොතක, "රෙදි ඇඳගෙන" බදු ගෙවන්නට කියා ජනතාවගෙන් ඉල්ලා සිටීම සදාචාරාත්මක වන්නේ ද?

    ​විදේශ ණය අර්බුදයේ දම්වැල් සහ සංඛ්‍යාමය මායාව ගැන කීමේදී ලංකාවේ ආර්ථික අර්බුදයේ බරපතලම සාධකය වන විදේශ ණය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) දී හෙළි වූ කරුණු අවධානයට ලක්විය යුතුය. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් විසින් COPF වෙත තහවුරු කරන ලද පරිදි, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37ක් (රුපියල් ට්‍රිලියන 19.6ක්) පමණ වේ. මෙවැනි අතිවිශාල ණය කන්දරාවක් නිසි ලෙස කළමනාකරණය කිරීමට නිපුණතාවෙන් යුතු නිලධාරීන් අවශ්‍ය බව COPF සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

    ​සමහරු සැනසුම් සුසුම් හෙළුවද, සංඛ්‍යාලේඛන දෙස ගැඹුරින් බලන විට පෙනී යන්නේ, 2022 මාර්තු අග භාගයේ පැවති ඩොලර් බිලියන 59.786ක මුළු විදේශ ණය ප්‍රමාණය, 2025 ජූනි වන විට ඩොලර් බිලියන 56.069 දක්වා ඩොලර් බිලියන 3ක පමණ අඩුවක් සටහන් වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ණය සේවා අත්හිටුවීම (Debt Moratorium) සහ විවිධ මුදල් ඒකකවල වටිනාකම ඩොලරයට සාපේක්ෂව අඩු වීමෙන් සිදුවූ මුදල් ඒකක විචලනය මිස, සක්‍රීයව විශාල ණය ප්‍රමාණයක් ගෙවා දැමීම නොවන බවයි. රට තවමත් සිටින්නේ ණය අර්බුදයේ දම්වැල්වල පැටලී බව මෙයින් පැහැදිලියි.

    දශක කිහිපයකට පෙර ජේ. ආර්. ජයවර්ධනයන් සැන් ෆ්‍රැන්සිස්කෝවේදී බුදු දහමේ මෛත්‍රිය ලෝකයට කියාපාමින් ජපානයට සමාව දී, ශ්‍රේෂ්ඨ මිත්‍රත්වයක් ගොඩනැගුවත්, අද ජපානයේ සිටින සමහර ශ්‍රී ලාංකිකයන්ගේ වෛරයෙන් හා කුහකත්වයෙන් පිරි හැසිරීම් දකින විට, ජපනුන්ට සිංහල නොතේරෙන එකම හොඳ යැයි සිතීමට සිදු වී ඇත.

    එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් 96%කගේම ශුද්ධ වත්කම පවුම් ලක්ෂ පහකට වඩා අඩු වී, ලන්ඩනයේ හොරකම් අධික වී, නිවාස අහිමිවීම වැනි සමාජ අර්බුද දෙස බලන විට, ස්වාධීනත්වය නොසලකා හරින ඕනෑම ආර්ථිකයක අවසානය භයානක බව පැහැදිලියි.

    ​දේශපාලන පක්ෂපාතීත්වය මුල් කරගත් පත්කිරීම් සහ අතිවිශාල ණය බරක් සමඟ ඉදිරියට යන පාලනයකට රට ගොඩනැගිය හැකිද? මේ පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: