වෙබ් ලිපිනය:

Monday, October 6, 2025

අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්!


ලෝක බැංකුව විසින් මුලින්ම ලෝකයේ රටවල් ආදායම අනුව වර්ගීකරණය කළ 1987 වර්ෂයේදී පහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුණු රටවල් 49ක් තිබුණා. ලංකාවත් ඒ රටවල් 49 අතරින් එක් රටක්. ඒ වෙද්දී දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් තිබුණේ මේ පහළ ආදායම් කාණ්ඩයේ. 

වසර 37කට පසුව, 2024 වන විටත්, ඉහත රටවල් වලින් 21ක්ම පහළ ආදායම් රටවල්. මේ රටවල් 21 අතරින් ඇෆ්ඝනිස්තානය හැරුණු විට අනෙක් රටවල් 20ම අප්‍රිකානු රටවල්. ලංකාව ඇතුළු රටවල් 23ක් මෙම වසර 37ක කාලය ඇතුළත තමන්ගේ වර්ගීකරණය පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා. මාල දිවයින, චීනය, ඉන්දුනීසියාව සහ සමක ගිනියාව යන රටවල් හතර ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා පියවර දෙකක් ඉදිරියට ගොස් තිබෙනවා. මෙයින් රටවල් තුනක්ම ලංකාවට සමීප ආසියානු රටවල්. වසර 37ක කාලයක් ගැනීමෙන් පසුව පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා යාමට සමත් වී තිබෙන්නේ ලෝකයේ රටවල් අතරින් එකම එක රටක් පමණයි. ඒ දකුණු ඇමරිකානු කලාපයේ පිහිටි ගයනාව. 

මේ දත්ත දෙස බලද්දී පැහැදිලි වන කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැන්න වසර 37ක් වැනි කාලයකට පසුව වුවද, කිසියම් රටක් පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා යාම ඉතා දුලබ සිදු වීමක් බවයි. දෙවන කරුණ වන්නේ මෙවැනි කාලයක් ගත වෙද්දී බොහොමයක් රටවල් පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි. එනම් එය කාලයත් සමඟ බොහෝ විට සිදුවන දෙයක් බවයි. එමෙන්ම, මෙවැනි කාලයක් තුළ ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ නැගීම, එතරම්ම පහසු නැති, එහෙත් කළ හැකි දෙයක් බවයි. 

මෙම නිරීක්ෂණද සමඟ පසුගිය 37 වසරක ලංකාවේ ප්‍රගතිය දෙස බලද්දී පෙනී යන්නේ ලංකාවේ තත්ත්වයෙහි ලෝකයේ අනෙක් රටවල තත්ත්වයන්ට සාපේක්ෂව විශේෂ හොඳක් මෙන්ම විශේෂ නරකක්ද පෙනෙන්නට නොමැති බවයි. වෙනත් වචන වලින් කිවහොත් "37 වසරක සාපයක්" හෝ "37 වසරක ඓශ්චර්යයක්" පෙනෙන්නට නොමැති බවයි. 

ඇත්ත වශයෙන්ම, රටක ආර්ථික වර්ධනය හා අදාළව "සාප" හෝ "ඓශ්චර්යයන්" දැකිය හැකි වන්නේ කලාතුරකිනුයි. බොහෝ විට දැකිය හැකි වන්නේ කලාපය වර්ධනය වන වේගයෙන් අදාළ කලාපයේ රටවල්ද වර්ධනය වීමයි. එම වර්ධන වේගය ඉහළ දමා රටක් වසර කිහිපයකින් ධනවත් රටක් කළ හැකි "ක්ෂණික ප්‍රතිකාර" තිබේනම්, වසර 37ක් වැනි දීර්ඝ කාලයකට පසුව පහළ ආදායම් රටවල් අතරින් වැඩි ප්‍රමාණයක් ඉහළ ආදායම් රටවල් බවට පත් වී තිබිය යුතුයි. 

එහෙත්, පසුගිය වසර 37ක කාලය තුළ, අපට ලෝකය තුළ දැකිය හැකිව තිබෙන්නේ එවැනි එක් නිදර්ශයක් පමණයි. ඒ ගයනාවයි. මතු විස්තර කෙරෙනු ඇති පරිදි, ගයනාවේ ප්‍රගතිය පසුපස ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේද දක්ෂිණාංශික හෝ වාමාංශික මූලධාර්මික න්‍යායයන් නොව වාසනාව යන සාධකයයි. ඒ නිසා, ගයනාව අනුගමනය කර ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට ආර්ථික වර්ධනය ඒ තරමටම වේගවත් කර ගැනීමේ හැකියාවක් නැහැ. කෙසේ වුවද, වාසනාවට අමතරව ගයනාවේ තත්කාර්යවාදී ක්‍රමෝපායික ප්‍රවේශයද ආර්ථික වර්ධනය කෙරෙහි දායක වී තිබෙනවා.

මේ සමඟ පළ කරන ප්‍රස්තාරයෙහි දැකිය හැකි පරිදි, ගයනාව යනු 1987දී දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටි එකම පහළ ආදායම් රටයි. එමෙන්ම, දකුණු ඇමරිකාවේ පිහිටි ස්වාධීන රාජ්‍යයන් අතරින්, එකම බ්‍රිතාන්‍ය යටත් විජිතය වන්නේද, ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වූ එකම රට වන්නේද ගයනාවයි. මුලින් කලාපය සමඟ එකට වර්ධනය නොවීමට මෙන්ම පසුව වේගයෙන් වර්ධනය වීමටද මේ සාධක දායක වී තිබෙනවා. 

පසුගිය වසර 37ක කාලය ඇතුළත ගයනාවේ ආර්ථිකය වර්ධනය වූයේ පහත ආකාරයෙනුයි.

1987-2019 සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය - 2.77%

2020 - 43.51%

2021 - 18.88%

2022 - 62.11%

2023 - 33.03%

2024 - 42.56%

මේ අනුව පෙනෙනු ඇත්තේ 2020 සිට ගයනාවේ ආර්ථිකය, හිතා ගැනීමට පවා අසීරු, "ඓශ්චර්යමත්" වේගයකින් වර්ධනය වෙමින් ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2020දී ඇමරිකන් ඩොලර් 6,776 වූ ගයනාවේ ඒක පුද්ගල දදේනිය වසර හතරකට පසුව ඇමරිකන් ඩොලර් 29,884 දක්වා 4.4 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

රටක ආර්ථික වර්ධනය හා අදාළව කලාතුරකින් මෙවැනි "ඓශ්චර්යයන්" සිදු වනු දැක ගත හැකියි. එහෙත් එවැනි "ඓශ්චර්යයන්" බොහෝ විට අහඹු සිදු වීම් වල ප්‍රතිඵල පමණයි. ගයනාවේ ආර්ථික ඓශ්චර්යයේ රහස ගයනාවට අයිති මුහුදෙන් තෙල් හමුවීමයි.

මේ වන විට ගයනාවේ රාජ්‍ය බලය හොබවන්නේ ජනතා ප්‍රගතිශීලී පක්ෂයයි. 2015-2020 වසර පහක කාලය හැරුණු විට දිගටම ගයනාවේ රාජ්‍ය බලය හොබවන්නේ එම පක්ෂයයි. මුලින් මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් වූ එම පක්ෂය මේ වන විට මධ්‍ය-වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස රූපාන්තරණය වී තිබෙනවා. කෙසේ වුවත්, ගයනාවේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ මතවාදී නැඹුරුව නොව ජනවාර්ගික බෙදීමයි. 

ගයනාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ආ ඉන්දියානු හා අප්‍රිකානු කම්කරුවන්ගෙන් පැවත එන අයයි. ඉන්දියානු ජනගහණය 40%ක් පමණ වන අතර අප්‍රිකානු ජනගහණය 30%ක් පමණද, ස්වදේශික ඇමරිකානු ජනගහණය 10%ක් පමණද වෙනවා. ඉතිරි 20% මිශ්‍ර වී ඇති අයයි. ජනතා ප්‍රගතිශීලී පක්ෂය ප්‍රධාන වශයෙන්ම ඉන්දියානුවන්ගේ පක්ෂයක් වන අතර 2015-2020 අතර බලයේ සිටි සන්ධානය බොහෝ දුරට අප්‍රිකානුවන්ගේ පක්ෂයක්. ජනවාර්ගික පදනම මත දේශපාලනය කරන මෙම පක්ෂ දෙකෙහි ආර්ථික ප්‍රතිපත්ති වල විශාල වෙනසක් නැහැ. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ගයනා ආර්ථිකය ඉදිරි වසර 5ක කාලය තුළද 14%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වීමට නියමිතයි. ඒ අනුව, වසර පහකට පසුව, ගයනාවේ ඒක පුද්ගල ආදායම කැනඩාවේ මට්ටම ආසන්නයට පැමිණීමට නියමිතයි. කෙසේ වුවත්, මේ "ඓශ්චර්යය" පසුපස ඇති ප්‍රධානම සාධකය ගයනා මුහුදෙන් තෙල් හමු වීම සහ ලක්ෂ අටකට මදක් වැඩි එරට කුඩා ජනගහණයයි. යම් හෙයකින් ලංකාව ආසන්න මුහුදෙන් තෙල් හමු වුවද, මිලියන 23 ඉක්මවන ජනගහණයකගේ ආදායම් ගයනාවේ තරම් වේගයෙන් ඉහළ යන එකක් නැහැ. 


ගයනාව වැනි රටකට තෙල් වාසිය නිසා ඉතා කෙටිකාලයක් ඇතුළත පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටමට පැනගන්න හැකි වුනත්, ඔය විදිහට ඇදෙන ලොතරැයි වල වාසිය දිගටම තියාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතු වන්නේ සමක ගිනියාව වැනි රටවල් දිහා බලද්දීයි. 

සමක ගිනියාව කියන්නෙත් මිලියන 1.9ක කුඩා ජනගහණයක් සිටින රටක්. ගයනාවෙන් වගේම සමක ගිනියාවෙනුත් තෙල් මතු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට 2003දී ඩොලර් 2,931ක් පමණක් වූ සමක ගිනියාවේ ඒක පුද්ගල ආදායම, අවුරුදු පහකට පසුව, 2008 වන විට ඩොලර් 18,211 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ 6.2 ගුණයක වර්ධනයක්! 

ගයනාවට වගේම, පහළ ආදායම් මට්ටමේ සිටි සමක ගිනියාවට ඉහළ ආදායම් මට්ටමට යන්න තෙල් ඉනිමගක් හමු වුනත්, ඉනිමගෙන් උඩට ගිහින් කොටු කීපයක් යද්දී නයෙකුත් හමු වෙනවා. දැන් (2024) සමක ගිනියාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 6,745ක් පමණයි.

ඉහත රටවල් එක්ක බලද්දී අපේ යාබද මාල දිවයින ක්‍රමිකව ආදායම ඉහළ නංවා ගත් රටක්. මාල දිවයින උඩට ආවේ තෙල් ලැබිලා නෙමෙයි. බොහෝ දුරට සංචාරක කර්මාන්තයේ උදවුවෙන්. නමුත් මාල දිවයිනේ ජනගහණය මිලියන බාගයකට වඩා පොඩ්ඩක් වැඩි කුඩා ජනගහණයක්. ඒ නිසා, සංචාරක කර්මාන්තයේ උදවුවෙන් පමණක් මාල දිවයින තරම් දුරක් යන්න ලංකාවට බැහැ. 

ලංකාව එක්ක එක අත්තේ ඉඳලා ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ වහපු අනෙක් රටවල් දෙක චීනය හා ඉන්දුනීසියාව. මේ රටවල් දෙක අතරින් ඉන්දුනීසියාවේ සහ සහ ලංකාවේ ආර්ථික වර්ධන වේග වල විශාල වෙනසක් නැහැ. ලංකාව 1997දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යද්දී ඉන්දුනීසියාව 1993දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යනවා. ලංකාව 2018දී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට යද්දී ඉන්දුනීසියාව 2019දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යනවා. ලංකාව වගේම ඉන්දුනීසියාවත් නැවත පහළට වැටෙනවා. ඉන්දුනීසියාව දැන් නැවතත් උඩට ඇවිත් වුනත් ලංකාව තවමත් පහළ මැදි ආදායම් කාණ්ඩයේ. ඒ හැරුණු විට ඉන්දුනීසියාව විසින් ලංකාව නොකළ අමුතු ප්‍රාතිහාර්යයක් කරලා නැහැ. 

අනාගත ප්‍රගතිය කෙසේ වුවත්, 1987දී පහළ ආදායම් තත්ත්වයේ සිටි රටවල් අතරින් ලංකාවට හැරී බැලිය හැකි ප්‍රගතියක් අත් කරගෙන තිබෙන එකම රට චීනය. චීනය ඒ වැඩේ කළේ අන්තවාදී සමාජවාදයෙන් ටික ටික ඉවත් වෙලා වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීම මගිනුයි. නමුත් චීනය මේ ජයග්‍රහණය ලබා ගෙන තිබෙන්නේ රජයේ ජාතික සැලසුමක් යටතේම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීමෙන් මිස දක්ෂිණාංශික අන්තයකට ගිහිනුත් නෙමෙයි.

රටකට කෙටි කාලයකින් අනිවාර්යයෙන්ම වේගයෙන් දියුණු විය හැකි නිශ්චිත වට්ටෝරුවක් නැහැ. ඒ සඳහා පවතින ලෝක තත්වයන් අනුව ප්‍රායෝගිකව කළ හැකි හොඳම දේ කරන්න වෙනවා. හරි පාරේ ගියත්, ඒ සඳහා යම් අවම කාලයක් ගත වෙනවා. තෙල් හමුවීම වැනි ලොතරැයියක් ඇදුනත්, එයින් ලොකු ගැම්මක් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ ගයනාව හා සමක ගිනීයාව වැනි ජනගහණය ගොඩක් අඩු රටවල් වලට පමණයි. වඩා වැඩි ජනගහණයක් සිටින රටක ආර්ථිකය වර්ධනය කිරීමටනම් අංශ ගණනාවකම වේගවත් වර්ධනයක් සිදු විය යුතුයි. 

1 comment:

  1. අපිට පොල් තියෙන නිසා පොල් තෙල් වලින් ගේමක් ගහගන්න බැරි වෙයිද ඉකොනො

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: