වෙබ් ලිපිනය:

Monday, October 6, 2025

අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්!


ලෝක බැංකුව විසින් මුලින්ම ලෝකයේ රටවල් ආදායම අනුව වර්ගීකරණය කළ 1987 වර්ෂයේදී පහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුණු රටවල් 49ක් තිබුණා. ලංකාවත් ඒ රටවල් 49 අතරින් එක් රටක්. ඒ වෙද්දී දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් තිබුණේ මේ පහළ ආදායම් කාණ්ඩයේ. 

වසර 37කට පසුව, 2024 වන විටත්, ඉහත රටවල් වලින් 21ක්ම පහළ ආදායම් රටවල්. මේ රටවල් 21 අතරින් ඇෆ්ඝනිස්තානය හැරුණු විට අනෙක් රටවල් 20ම අප්‍රිකානු රටවල්. ලංකාව ඇතුළු රටවල් 23ක් මෙම වසර 37ක කාලය ඇතුළත තමන්ගේ වර්ගීකරණය පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා. මාල දිවයින, චීනය, ඉන්දුනීසියාව සහ සමක ගිනියාව යන රටවල් හතර ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා පියවර දෙකක් ඉදිරියට ගොස් තිබෙනවා. මෙයින් රටවල් තුනක්ම ලංකාවට සමීප ආසියානු රටවල්. වසර 37ක කාලයක් ගැනීමෙන් පසුව පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා යාමට සමත් වී තිබෙන්නේ ලෝකයේ රටවල් අතරින් එකම එක රටක් පමණයි. ඒ දකුණු ඇමරිකානු කලාපයේ පිහිටි ගයනාව. 

මේ දත්ත දෙස බලද්දී පැහැදිලි වන කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැන්න වසර 37ක් වැනි කාලයකට පසුව වුවද, කිසියම් රටක් පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා යාම ඉතා දුලබ සිදු වීමක් බවයි. දෙවන කරුණ වන්නේ මෙවැනි කාලයක් ගත වෙද්දී බොහොමයක් රටවල් පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි. එනම් එය කාලයත් සමඟ බොහෝ විට සිදුවන දෙයක් බවයි. එමෙන්ම, මෙවැනි කාලයක් තුළ ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ නැගීම, එතරම්ම පහසු නැති, එහෙත් කළ හැකි දෙයක් බවයි. 

මෙම නිරීක්ෂණද සමඟ පසුගිය 37 වසරක ලංකාවේ ප්‍රගතිය දෙස බලද්දී පෙනී යන්නේ ලංකාවේ තත්ත්වයෙහි ලෝකයේ අනෙක් රටවල තත්ත්වයන්ට සාපේක්ෂව විශේෂ හොඳක් මෙන්ම විශේෂ නරකක්ද පෙනෙන්නට නොමැති බවයි. වෙනත් වචන වලින් කිවහොත් "37 වසරක සාපයක්" හෝ "37 වසරක ඓශ්චර්යයක්" පෙනෙන්නට නොමැති බවයි. 

ඇත්ත වශයෙන්ම, රටක ආර්ථික වර්ධනය හා අදාළව "සාප" හෝ "ඓශ්චර්යයන්" දැකිය හැකි වන්නේ කලාතුරකිනුයි. බොහෝ විට දැකිය හැකි වන්නේ කලාපය වර්ධනය වන වේගයෙන් අදාළ කලාපයේ රටවල්ද වර්ධනය වීමයි. එම වර්ධන වේගය ඉහළ දමා රටක් වසර කිහිපයකින් ධනවත් රටක් කළ හැකි "ක්ෂණික ප්‍රතිකාර" තිබේනම්, වසර 37ක් වැනි දීර්ඝ කාලයකට පසුව පහළ ආදායම් රටවල් අතරින් වැඩි ප්‍රමාණයක් ඉහළ ආදායම් රටවල් බවට පත් වී තිබිය යුතුයි. 

එහෙත්, පසුගිය වසර 37ක කාලය තුළ, අපට ලෝකය තුළ දැකිය හැකිව තිබෙන්නේ එවැනි එක් නිදර්ශයක් පමණයි. ඒ ගයනාවයි. මතු විස්තර කෙරෙනු ඇති පරිදි, ගයනාවේ ප්‍රගතිය පසුපස ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේද දක්ෂිණාංශික හෝ වාමාංශික මූලධාර්මික න්‍යායයන් නොව වාසනාව යන සාධකයයි. ඒ නිසා, ගයනාව අනුගමනය කර ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට ආර්ථික වර්ධනය ඒ තරමටම වේගවත් කර ගැනීමේ හැකියාවක් නැහැ. කෙසේ වුවද, වාසනාවට අමතරව ගයනාවේ තත්කාර්යවාදී ක්‍රමෝපායික ප්‍රවේශයද ආර්ථික වර්ධනය කෙරෙහි දායක වී තිබෙනවා.

මේ සමඟ පළ කරන ප්‍රස්තාරයෙහි දැකිය හැකි පරිදි, ගයනාව යනු 1987දී දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටි එකම පහළ ආදායම් රටයි. එමෙන්ම, දකුණු ඇමරිකාවේ පිහිටි ස්වාධීන රාජ්‍යයන් අතරින්, එකම බ්‍රිතාන්‍ය යටත් විජිතය වන්නේද, ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වූ එකම රට වන්නේද ගයනාවයි. මුලින් කලාපය සමඟ එකට වර්ධනය නොවීමට මෙන්ම පසුව වේගයෙන් වර්ධනය වීමටද මේ සාධක දායක වී තිබෙනවා. 

පසුගිය වසර 37ක කාලය ඇතුළත ගයනාවේ ආර්ථිකය වර්ධනය වූයේ පහත ආකාරයෙනුයි.

1987-2019 සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය - 2.77%

2020 - 43.51%

2021 - 18.88%

2022 - 62.11%

2023 - 33.03%

2024 - 42.56%

මේ අනුව පෙනෙනු ඇත්තේ 2020 සිට ගයනාවේ ආර්ථිකය, හිතා ගැනීමට පවා අසීරු, "ඓශ්චර්යමත්" වේගයකින් වර්ධනය වෙමින් ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2020දී ඇමරිකන් ඩොලර් 6,776 වූ ගයනාවේ ඒක පුද්ගල දදේනිය වසර හතරකට පසුව ඇමරිකන් ඩොලර් 29,884 දක්වා 4.4 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

රටක ආර්ථික වර්ධනය හා අදාළව කලාතුරකින් මෙවැනි "ඓශ්චර්යයන්" සිදු වනු දැක ගත හැකියි. එහෙත් එවැනි "ඓශ්චර්යයන්" බොහෝ විට අහඹු සිදු වීම් වල ප්‍රතිඵල පමණයි. ගයනාවේ ආර්ථික ඓශ්චර්යයේ රහස ගයනාවට අයිති මුහුදෙන් තෙල් හමුවීමයි.

මේ වන විට ගයනාවේ රාජ්‍ය බලය හොබවන්නේ ජනතා ප්‍රගතිශීලී පක්ෂයයි. 2015-2020 වසර පහක කාලය හැරුණු විට දිගටම ගයනාවේ රාජ්‍ය බලය හොබවන්නේ එම පක්ෂයයි. මුලින් මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් වූ එම පක්ෂය මේ වන විට මධ්‍ය-වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස රූපාන්තරණය වී තිබෙනවා. කෙසේ වුවත්, ගයනාවේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ මතවාදී නැඹුරුව නොව ජනවාර්ගික බෙදීමයි. 

ගයනාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ආ ඉන්දියානු හා අප්‍රිකානු කම්කරුවන්ගෙන් පැවත එන අයයි. ඉන්දියානු ජනගහණය 40%ක් පමණ වන අතර අප්‍රිකානු ජනගහණය 30%ක් පමණද, ස්වදේශික ඇමරිකානු ජනගහණය 10%ක් පමණද වෙනවා. ඉතිරි 20% මිශ්‍ර වී ඇති අයයි. ජනතා ප්‍රගතිශීලී පක්ෂය ප්‍රධාන වශයෙන්ම ඉන්දියානුවන්ගේ පක්ෂයක් වන අතර 2015-2020 අතර බලයේ සිටි සන්ධානය බොහෝ දුරට අප්‍රිකානුවන්ගේ පක්ෂයක්. ජනවාර්ගික පදනම මත දේශපාලනය කරන මෙම පක්ෂ දෙකෙහි ආර්ථික ප්‍රතිපත්ති වල විශාල වෙනසක් නැහැ. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ගයනා ආර්ථිකය ඉදිරි වසර 5ක කාලය තුළද 14%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වීමට නියමිතයි. ඒ අනුව, වසර පහකට පසුව, ගයනාවේ ඒක පුද්ගල ආදායම කැනඩාවේ මට්ටම ආසන්නයට පැමිණීමට නියමිතයි. කෙසේ වුවත්, මේ "ඓශ්චර්යය" පසුපස ඇති ප්‍රධානම සාධකය ගයනා මුහුදෙන් තෙල් හමු වීම සහ ලක්ෂ අටකට මදක් වැඩි එරට කුඩා ජනගහණයයි. යම් හෙයකින් ලංකාව ආසන්න මුහුදෙන් තෙල් හමු වුවද, මිලියන 23 ඉක්මවන ජනගහණයකගේ ආදායම් ගයනාවේ තරම් වේගයෙන් ඉහළ යන එකක් නැහැ. 


ගයනාව වැනි රටකට තෙල් වාසිය නිසා ඉතා කෙටිකාලයක් ඇතුළත පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටමට පැනගන්න හැකි වුනත්, ඔය විදිහට ඇදෙන ලොතරැයි වල වාසිය දිගටම තියාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතු වන්නේ සමක ගිනියාව වැනි රටවල් දිහා බලද්දීයි. 

සමක ගිනියාව කියන්නෙත් මිලියන 1.9ක කුඩා ජනගහණයක් සිටින රටක්. ගයනාවෙන් වගේම සමක ගිනියාවෙනුත් තෙල් මතු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට 2003දී ඩොලර් 2,931ක් පමණක් වූ සමක ගිනියාවේ ඒක පුද්ගල ආදායම, අවුරුදු පහකට පසුව, 2008 වන විට ඩොලර් 18,211 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ 6.2 ගුණයක වර්ධනයක්! 

ගයනාවට වගේම, පහළ ආදායම් මට්ටමේ සිටි සමක ගිනියාවට ඉහළ ආදායම් මට්ටමට යන්න තෙල් ඉනිමගක් හමු වුනත්, ඉනිමගෙන් උඩට ගිහින් කොටු කීපයක් යද්දී නයෙකුත් හමු වෙනවා. දැන් (2024) සමක ගිනියාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 6,745ක් පමණයි.

ඉහත රටවල් එක්ක බලද්දී අපේ යාබද මාල දිවයින ක්‍රමිකව ආදායම ඉහළ නංවා ගත් රටක්. මාල දිවයින උඩට ආවේ තෙල් ලැබිලා නෙමෙයි. බොහෝ දුරට සංචාරක කර්මාන්තයේ උදවුවෙන්. නමුත් මාල දිවයිනේ ජනගහණය මිලියන බාගයකට වඩා පොඩ්ඩක් වැඩි කුඩා ජනගහණයක්. ඒ නිසා, සංචාරක කර්මාන්තයේ උදවුවෙන් පමණක් මාල දිවයින තරම් දුරක් යන්න ලංකාවට බැහැ. 

ලංකාව එක්ක එක අත්තේ ඉඳලා ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ වහපු අනෙක් රටවල් දෙක චීනය හා ඉන්දුනීසියාව. මේ රටවල් දෙක අතරින් ඉන්දුනීසියාවේ සහ සහ ලංකාවේ ආර්ථික වර්ධන වේග වල විශාල වෙනසක් නැහැ. ලංකාව 1997දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යද්දී ඉන්දුනීසියාව 1993දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යනවා. ලංකාව 2018දී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට යද්දී ඉන්දුනීසියාව 2019දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යනවා. ලංකාව වගේම ඉන්දුනීසියාවත් නැවත පහළට වැටෙනවා. ඉන්දුනීසියාව දැන් නැවතත් උඩට ඇවිත් වුනත් ලංකාව තවමත් පහළ මැදි ආදායම් කාණ්ඩයේ. ඒ හැරුණු විට ඉන්දුනීසියාව විසින් ලංකාව නොකළ අමුතු ප්‍රාතිහාර්යයක් කරලා නැහැ. 

අනාගත ප්‍රගතිය කෙසේ වුවත්, 1987දී පහළ ආදායම් තත්ත්වයේ සිටි රටවල් අතරින් ලංකාවට හැරී බැලිය හැකි ප්‍රගතියක් අත් කරගෙන තිබෙන එකම රට චීනය. චීනය ඒ වැඩේ කළේ අන්තවාදී සමාජවාදයෙන් ටික ටික ඉවත් වෙලා වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීම මගිනුයි. නමුත් චීනය මේ ජයග්‍රහණය ලබා ගෙන තිබෙන්නේ රජයේ ජාතික සැලසුමක් යටතේම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීමෙන් මිස දක්ෂිණාංශික අන්තයකට ගිහිනුත් නෙමෙයි.

රටකට කෙටි කාලයකින් අනිවාර්යයෙන්ම වේගයෙන් දියුණු විය හැකි නිශ්චිත වට්ටෝරුවක් නැහැ. ඒ සඳහා පවතින ලෝක තත්වයන් අනුව ප්‍රායෝගිකව කළ හැකි හොඳම දේ කරන්න වෙනවා. හරි පාරේ ගියත්, ඒ සඳහා යම් අවම කාලයක් ගත වෙනවා. තෙල් හමුවීම වැනි ලොතරැයියක් ඇදුනත්, එයින් ලොකු ගැම්මක් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ ගයනාව හා සමක ගිනීයාව වැනි ජනගහණය ගොඩක් අඩු රටවල් වලට පමණයි. වඩා වැඩි ජනගහණයක් සිටින රටක ආර්ථිකය වර්ධනය කිරීමටනම් අංශ ගණනාවකම වේගවත් වර්ධනයක් සිදු විය යුතුයි. 

4 comments:

  1. අපිට පොල් තියෙන නිසා පොල් තෙල් වලින් ගේමක් ගහගන්න බැරි වෙයිද ඉකොනො

    ReplyDelete
    Replies
    1. රිලවු ලක්ෂ 52ක් එක්ක ටිකක් අමාරු වෙයි නේද?

      Delete
    2. රිලව් 68 ලක්ෂයක් නේද හිටියේ. ගිය පාර ලක්ෂ හතලිස් ගානට අඩු උනානේ

      Delete
  2. ඉකොනොමැට්ටා

    ඔයා දැක්ක ද 2025 සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආයෝජන දේශගුණික වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ රජයේ සුබවාදී වචනවලට ඉහළින් වූ කටුක යථාර්ථය නිරාවරණය කර ඇති බව?

    ලංකාවේ 2022 අර්බුදයෙන් පසු ආර්ථිකය යම් ප්‍රකෘතියක් පෙන්නුම් කළද, විදේශ සෘජු ආයෝජන (FDI) තවමත් අඩාල වී ඇත්තේ, ගැඹුරට මුල් බැසගත් ව්‍යුහාත්මක දෝෂ දහසකගේ සෙවනැලි නිසාද?

    ඩොලර් බිලියන 5 ක FDI ඉලක්කයක් ගැන කතා කළත්, වාර්තාවේ අන්තර්ගත වන ප්‍රධාන බාධක ලංකාවේ ආයෝජන ලෝකයට දොරටු වසා දමා ඇත. මේ පිළිබඳව ආර්ථික විද්‍යාත්මකව ගැඹුරු පැහැදිලි කිරීමක් ඔබගෙන් අපේක්ෂා කරමි.

    ​මෙම වාර්තාව මගින් විශේෂයෙන්ම ඉස්මතු කර ඇති, ශ්‍රී ලංකාවේ ආයෝජන විශ්වාසය බිඳ දමන කරුණු කීපයක් මේවායි:

    ​ප්‍රතිපත්තිවල සහ නියාමන රාමුවේ අස්ථාවරත්වය:

    වාර්තාව පෙන්වා දෙන්නේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති නොගැලපෙන අතර, නීති රීති සහ රෙගුලාසිවල නිරන්තර වෙනස්වීම් (Regulatory Unpredictability) නිසා ආයෝජකයන්ට විශ්වාසයෙන් තීරණ ගැනීමට නොහැකි බවයි.

    ​උදා: ඉන්දියානු අදානි සමූහය 2025 දී යෝජිත ඩොලර් මිලියන 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වීම, ප්‍රතිපත්තිවල මෙම අනපේක්ෂිත වෙනස්වීම් (ප්‍රතිපත්ති ආපසු හැරවීම - Project Reversals) හේතුවෙන් සිදු වූ බව වාර්තාවේ සඳහන් වීම.

    ​අතිශය නිලධාරීවාදී බාධක:

    ලංකා ආයෝජන මණ්ඩලය (BOI) 'එකම ස්ථානයකින් සියල්ල' (One-Stop Shop) ලෙස ක්‍රියා කිරීමට අසමත් වීම හේතුවෙන්, විවිධ රජයේ දෙපාර්තමේන්තු අතර අධිකාරීත්වය බෙදී ගොස් අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ වීම. මෙය ව්‍යාපාර පහසුකරණයට (Business Facilitation) ප්‍රබල බාධාවකි.

    ​උදා: බොහෝ ආයෝජකයින් 2025 දී වාර්තා කරන්නේ BOI සමඟ ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් පවතින බවයි.

    ​පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ගේ (SOE) බර:

    ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය ප්‍රමාද වීම, කර්මාන්ත මෙහෙයුම් සඳහා තීරණාත්මක වන පිරිවැය-ඵලදායී බලශක්ති සැපයුම් සංවර්ධනයට බාධා කරයි. මෙම ආයතනවල අකාර්යක්ෂම කළමනාකරණය සහ අධික කාර්ය මණ්ඩලය හේතුවෙන් ඒවා රජයේ මුදල් නිරන්තරයෙන් කා දමන බව වාර්තාවේ සඳහන් වේ.

    රජයේ ආයතන වල හැමතැනම පවතින අධික වංචා සහ දූෂණ සහ මෙම දූෂණ නිසිලෙස විමර්ශනය නොකිරීම සහ විනිවිදභාවයක් නොමැතිකම:

    පොදු ලෙස රාජ්‍යඅංශයේ පවතින අවසාන දූෂණය (Endemic Corruption) සහ රජයේ මිලදී ගැනීම්වල විනිවිදභාවය නොමැතිකම විශාල ආයෝජන වැළැක්වීමේ ප්‍රධාන හේතුවකි. 2025 වසරේ මෙබඳු දූෂණ ක්‍රියා විශාල ලෙස වාර්තා වී තිබෙනවා

    ​ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලු:

    ලංකාව විදේශීය ආයෝජනවලට ඉඩම් අත්පත් කර ගැනීමට ඇති සංකීර්ණ නීති සහ ඇතැම් විට පවතින තහනම් (උදා: 50%ට වැඩි විදේශීය කොටස් ඇති සමාගම්වලට ඉඩම් විකිණීම තහනම් කිරීම) නිසා ව්‍යාපෘති ප්‍රමාද වේ.

    ​අධික ගනුදෙනු පිරිවැය (High Transaction Costs):

    ආයෝජකයින්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන අධික මෙහෙයුම් සහ ගනුදෙනු පිරිවැය සහ අපැහැදිලි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි වෙළෙඳපොළට ඇතුළු වීම අධෛර්යමත් කරයි.

    රජයේ මන්දගාමී තීරණ ගැනීමේ ක්‍රියාවලිය:

    ආයෝජකයින්ට 'ව්‍යාපාර කිරීම ඉතාමත්ම දුෂ්කර' බව හැඟී යන්නේ, ආයතනික මට්ටමින් සිදුවන මන්දගාමී තීරණ ගැනීම සහ ස්ථාපිත ව්‍යාපාර සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම හේතුවෙනි.

    ​සීමිත ආයතනික ධාරිතාව:

    නව ආණ්ඩුව විසින් විවෘත ආයෝජන පරිසරයක් සඳහා ධනාත්මක වචන කතා කළද, එය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ආයතනික ධාරිතාව (Institutional Capacity) සීමා වී ඇත.

    රාජ්‍ය මැදිහත්වීම සහ වෙළඳපල විකෘති වීම්:

    දේශපාලන මැදිහත්වීම් සහ රජයේ විවිධ බලපෑම් හේතුවෙන් වෙළඳපොළේ සාධාරණත්වය (Market Equity) සහතික කිරීමට නොහැකිවීම.

    ජාතික ජන බලවේගයේ (NPP) මතවාදී අවදානම:

    වාර්තාවේ සඳහන් වන පරිදි, NPP ආණ්ඩුව IMF වැඩසටහනට සහාය දැක්වුවද, එහි නායකත්වයේ ඓතිහාසික මාක්ස්වාදී සහ බටහිර විරෝධී මතවාදය හේතුවෙන් බොහෝ ආයෝජකයින් තුළ අවිනිශ්චිතතාවක් සහ සැකයක් තවමත් පවතී.

    මෙම ගැටලු කිහිපය එකිනෙක අන්තර් සම්බන්ධිතව ලංකාවේ ආයෝජන විශ්වාසය බිඳ දමා ඇති ආකාරයත්, මෙම ව්‍යුහාත්මක අසාර්ථකත්වය ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනයට (Sustained Economic Growth) බලපාන්නේ කෙසේද යන්නත් පිළිබඳව විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: