වෙබ් ලිපිනය:

Wednesday, June 9, 2021

නටත් අයෙක් සුරා මතින්!


වත්පොතේ පළ කිරීමකට දමා තිබුණු ප්‍රතිචාරයක රසික විසින් ඉකොනොමැට්ටා ටැග් කර තිබුණා. මේ පළ කිරීම සිංහල ව්‍යාකරණ ප්‍රශ්නයක් පිළිබඳවයි. ව්‍යාකරණ ප්‍රශ්නයක් කියා කිවුවත් පොදුවේ සිංහල භාෂාවේ ආකෘතිය හා භාවිතය ගැනත්, ලංකාවේ අධ්‍යාපනය ගැනත් අවධානය යොමු කරමින් සිදු වූ කතාබහක් කියා කියන්න පුළුවන්.

ඉකොනොමැට්ටා සාමාන්‍යයෙන් දන්නේම නැති දේවල් ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. පාඨකයින් විවිධ ප්‍රශ්න අහද්දී ඒ බව කෙළින්ම කියපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉකොනොමැට්ටා මොනවත්ම නොදන්නා විෂයයන් ඕනෑ තරම් තිබෙනවා.

මෙහි ලිපි ලෙස පළ කරන බොහොමයක්ම මොනවා හෝ දන්න දෙයක් තිබෙන මාතෘකා. බොහෝ විට ලිපියක තිබෙන්නේ මාතෘකාව යටතේ ලිවිය හැකි දේවල් වලින් සුළු කොටසක් පමණයි. ලැබෙන ප්‍රතිචාර අනුව අවශ්‍ය පරිදි තවත් දේවල් ලියනවා. සමහර අය මෙය දකින්නේ ඉකොනොමැට්ටාගේ මතය කෙසේ හෝ තහවුරු කිරීමක් ලෙසයි. 

"කෙසේ හෝ" කතාව කොහොම වුනත්, තහවුරු කරන්න බැරි දේවල් මේ වගේ විවෘත බ්ලොග් එකක නිතිපතා පළ කරන එක නිවැරදි දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා, බොහෝ දේවල් දෙවරක් හිතා නොලියා ඉන්න අවස්ථා තිබෙනවා. සමහර විට ලියා පළ නොකරන වෙලාවල් තිබෙනවා. එහෙත් ලිපියක් ලියා පළ කළොත්, එසේ ලියන දේ වෙනුවෙන් ඉකොනොමැට්ටා පෙනී සිටිනවා.   

ඉකොනොමැට්ටාට සිංහල ව්‍යාකරණ පිළිබඳ ලොකු දැනුමක් නැහැ. ඉකොනොමැට්ටා සිංහල භාෂාව ඉගෙන ගෙන තිබෙන්නේ ලංකාවේ සිංහලෙන් ඉගෙන ගන්න ඕනෑම කෙනෙක් අවම වශයෙන් සිංහල භාෂාව ඉගෙන ගන්නා තරමට පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ මට්ටම දක්වා පමණයි.

රසික පෙර කී වත්පොත් පළ කිරීමට ඉකොනොමැට්ටාව ටැග් කර තිබුණෙත්, මේ ලිපිය ලියන්නේත් ඉකොනොමැට්ටාට සිංහල ව්‍යාකරණ පිළිබඳ සැලකිය යුතු දැනුමක් තිබෙන නිසා නෙමෙයි. ඉතා පැහැදිලිවම එය එසේ නොවෙයි. මෙහි රසික විසින් දැක තිබෙන සම්බන්ධය එම පළ කිරීමේ සාකච්ඡාවට බඳුන් වන කතානායකයා ආර්ථිකය හා අදාළව කටයුතු කරන ආයතනයක සේවය කරන ඉංජිනේරු උපාධිධාරියෙකු වීමයි. සේවය කරන්නේ ඉංජිනේරුවෙකු ලෙසමද නැද්ද කියන එක පැහැදිලිව සඳහන්ව නැහැ.

ප්‍රස්තුත පළ කිරීමේ අදාළ කොටස පහත තිබෙනවා.

"පසුගිය ලක්ෂපතියේ කුතුහලය දනවන දෙයක් සිදුවිය. ඒ උපාධිධාරී ඉංජිනේරුවකු වන,   මහ බැංකුවේ විධායක නිලධාරියෙකු මුල් ප්‍රශ්න කිහිපයේදීම සරල සිංහල ව්‍යාකරණ ප්‍රශ්නයකට උත්තර දීමට නොහැකි වී තරඟයෙන් ඉවත් වන්නට සිදු වීමයි. ඔහු අවුරුදු 12ක් පමණ පාසලේ සිංහලෙන් ඉගෙනගෙන මෙවැනි සරල සිංහල ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට බැරි වීම ඇත්තෙන් ම පුදුම සහගතය. 

ඇතැමුන් කෑගසද්දී කෙනෙක් නිශ්ශබ්දව ........... වැනි වාක්‍යයක්, ඔහුට සම්පූර්ණ කරන්නට නොහැකි විය, ඒ සියයට පනහේ උපකාරක අවස්ථාවකුත් ලබාගෙනය. ප්‍රශ්න විචාරක ඔහු මේ වැරැද්දට නොයවා සිටින්නට හැකි පමණ වෙහෙසක් දරනවාද දුටුවෙමි. ඔහු සිතුවේ මෙය ඒක වචන ලෙසින් අවසන් විය යුතු බවය.

තමන්ගේ භාෂාවේ සරල වාක්‍ය ක් ලියාගන්නට මෙතරම් ඉගෙන ගත් කෙනෙකුට බැරි වෙන්නෙ ඇයි, ඒ ඔහුගේ වැරැද්දක් නිසා පමණක්ම විය නොහැක. එක්කෝ අපේ අධ්‍යාපන ක්‍රමයේ යම් වැරැද්දක් තිබිය යුතුය, එසේ නැත්නම් අපේ භාෂාව බොහෝ පැටලුම් සහගත විය යුතුය."

පළමුව කිව යුත්තේ මේ ප්‍රශ්නය ඒ තරම්ම සරල ප්‍රශ්නයක් නොවන බවයි. ප්‍රශ්නය ඒ තරම්ම සරලනම් එය මෙවැනි වැඩ සටහනක ප්‍රශ්නයක් වීමේ ඉඩක් නැහැ. මෙවැනි ප්‍රශ්නයක් ප්‍රශ්න මාලාවට ඇතුළත් වන්නේම එයට වැරදි පිළිතුරක් ලැබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙන නිසා.

ඇත්තටම කියනවානම් සිංහල භාෂාවේ නිත්‍ය බහුවචන කියා දෙයක් ඇති බව මට කලකට පසු මතක් වුනේත් මේ වත්පොත් පළ කිරීම දැකීමෙන් පසුවයි. යම් හෙයකින් මේ තරඟයට සූදානමක් නැතිව මා ඉදිරිපත් වී මගෙන් මේ ප්‍රශ්නය අසනු ලැබුවේනම් මා විසින් එක වරම පිළිතුර ලෙස ඒක වචන ආඛ්‍යාතයක් නොසපයන්නේ, මේ ප්‍රශ්නය මෙවැනි තරඟයක ප්‍රශ්නයක් වන්නේ ඇයි කියා හිතීම ඔස්සේ මිස නිත්‍ය බහුවචන ගැන සිහිපත් වීම නිසා නොවිය හැකියි. 

සිංහල ව්‍යාකරණ ඉගැන්වීමේදී අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදිය නිත්‍ය බහුවචන ලෙස හැඳින්වෙන වෙනම කැටගරියකට දමන්නේම මේ වචන හා අදාළ ව්‍යාකරණ රීතිය ව්‍යතිරේඛයක් වන නිසයි. එම ව්‍යතිරේඛය නොදන්නා හෝ මතකයේ නැති අයෙකු සාමාන්‍ය රීතිය අනුව යමින් මේ වචන ඒක වචන සේ සැලකීම ඉතාම තර්කානුකූල දෙයක් මිසක් බරපතල ගණයේ වැරැද්දක් කියා කියන්න බැහැ.

දෙවනුව කිව යුත්තේ සාමාන්‍ය පෙළ මට්ටමට පෙර උගත්, ඉන් පසු භාවිතයට නොගත්, විෂයයක හැම කරුණක්ම දිගටම මතකයේ තිබීම පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කළ යුතු දෙයක් නොවන බවයි. පෞද්ගලිකව මා ඉතා කුඩා කළ සිටම ගණිතය විෂයයට මෙන්ම සිංහල විෂයයටද විශාල කැමැත්තක් දැක්වූ සහ විභාග ආදියේදී ඉහළ ලකුණු ගත් අයෙක්. පසුව ඉංජිනේරු උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබන අය අතර මුල් කාලයේදී සිංහල විෂය හොඳින් හැදෑරූ සහ එම විෂයයට දක්ෂතා දැක්වූ අය සිටියත් එය හැම විටම එසේම වන්නේ නැහැ. ඇතැම් අය ගණිත විෂයයට බොහෝ දක්ෂ වුවත් සිංහල වැනි විෂයයකට එවැනි දක්ෂතාවයක් හෝ කැමැත්තක් නොදක්වන අයයි. විෂය නිර්දේශයේ හැම දෙයක්ම නොහදාරන අයෙකුට සාමාන්‍ය පෙළ විභාගයේදී කිසියම් විෂයයකට සම්මානයක් නොව විශිෂ්ඨ සාමාර්ථයක් වුවද ලබා ගන්නට බැරි කමක් නැහැ. ඒ වගේම, සාමාන්‍ය පෙළින් පසුව ගණිතය නොහැදෑරූ, වෙනත් විෂයයක් හදාරා විධායක රැකියාවක් කරන කෙනෙකුගෙන් "සරල" ගණිත ප්‍රශ්නයක් ඇසුවොත් වැරැද්දක් කරන්න මීට වඩා ඉඩක් තිබෙන බව වත්පොතේ සංසරණය වන ඇතැම් "ගණිත ගැටළු" සහ ඒවා බෙදා ගන්නා අයගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කළහොත් පැහැදිලි වෙයි. 

සිංහල භාෂාව කියන්නේ තවත් එක් විෂයයක් නොවන බවත් සිංහලයෙකුගේ මවු භාෂාව බවත් මෙහිදී කෙනෙකුට කියන්න පුළුවන්. ඉංග්‍රීසි වැනි වෙනත් භාෂාවක් මවු භාෂාව වූ අයෙකු හා අදාළව මේ කතාවේ ඇත්තක් තිබුණත් මවු බස සිංහල වූ අයෙකු සම්බන්ධව මේ කතාව එලෙසම යෙදිය නොහැකියි. 

ඉංග්‍රීසි භාෂාව මවු බස වූ අයෙකු පාසලේදී ඉගෙන ගන්නේ තමන් කොහොමටත් කතා කරන භාෂාවේ තිබෙන, එදිනෙදා භාවිතා වන වන ව්‍යාකරණ ගැනයි. එහෙත්, මවුබස සිංහල වූ අයෙක් පාසලේදි සිංහල භාෂාවේ ව්‍යාකරණ ලෙස ඉගෙන ගන්නේ වෙනස්ම භාෂාවක්. ඒ භාෂාව ඉංග්‍රීසි හෝ දෙමළ වගේම අලුත් භාෂාවක්. භාෂාව ඉගෙන ගැනීම කියන්නේ තමන් කතා කරන භාෂාවේ රීති හඳුනා ගැනීමෙන් ඔබ්බට ගිය කලින් නොදැන සිටි දේවල් අලුතින් ඉගෙන ගැනීමක්. අනාගතයේ කරන රැකියාවක් සඳහා මේ ව්‍යාකරණ අවශ්‍ය නොවන පසුබිමකදී සිසුවෙක් විසින් කරන්නේ විභාග ඉලක්ක කර, විභාග සඳහා අවශ්‍ය කොටස් හැදෑරීමට පමණක් ප්‍රමුඛතාවය දෙන එකයි. ලක්ෂපති තරඟයකට යන වෙලාවක හැර මේ වැඩෙන් කාටවත් පසුව පාඩුවක් වෙන්නේ නැහැ. මෙය සිංහල භාෂාව හා අදාළ සුවිශේෂී තත්ත්වයක්.

ලංකාවේ සිට ආර්ථික විද්‍යාව හදාරන සිසුවෙකුටත් මෙවැනිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඇමරිකාවේ සිසුවෙක් ආර්ථික විද්‍යාව හදාරද්දී කරන්නේ තමන් ජීවත් වන සමාජය ක්‍රියාත්මක වන මූලධර්ම තේරුම් ගැනීම. එහෙත්, සමාජවාදී රටක ජිවත් වන ලංකාවේ සිසුන්ට ආර්ථික විද්‍යාවේ න්‍යාය හා තමන් ජීවත් වන සමාජය ක්‍රියාත්මක වන ආකාරය අතර සම්බන්ධය පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඔවුන්ට පෙනෙන්නේ බල්ලෝ මරා හෝ සල්ලි හොයන අයයි. ලංකාවේ මිනිස්සු බල්ලෝ මරා හෝ සල්ලි හොයන්න පෙළඹී තියෙන්නේ ලංකාවේ සමාජවාදය නිසාම බව තේරුම් ගන්නනම් වඩා ධනවාදී රටකට ගිහින් සංසන්දනයක් කර බලන්නම වෙනවා. ලංකාවේ සිටින තුරු මෙය තේරුම් ගන්න අමාරුයි.

උසස් පෙළ ගණිත අංශය තෝරා ගන්නා අයෙකුට උසස් පෙළ පන්ති වලදී සිංහල ව්‍යාකරණ අවශ්‍ය වෙන්නේ නැතුවා වගේම විෂය හැදෑරීමේදී ලිඛිත සිංහල අවශ්‍ය වන්නේ ඉතා අඩුවෙන්. ඉන් පසුව ඉංජිනේරු උපාධිය හදාරන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. රැකියාව තුළ කටයුතු කරන්න සිදු වෙන්නේත් ඉංග්‍රීසි භාෂාවෙන්. සරසවියේදී හා රැකියාව තුළ සාමාන්‍ය කතාබහ කෙරෙන්නේ සිංහලෙන් වුවත්, ලේඛණය කිරීම් සිදු වන්නේ ඉංග්‍රීසියෙන්. කාලයක් මේ විදිහට ඉංග්‍රීසියෙන් ලියද්දී යම් තරමකින් ඉංග්‍රීසියෙන් හිතන්නත් පුරුදු වීමක් වෙනවා.

ඉහත සිංහල නිත්‍ය බහුවචන සමඟ ඉංග්‍රීසි භාෂාවේ “someone”, "somebody", “everyone”, “everybody”, "no one", "nobody" යන යෙදුම් සැසඳිය හැකියි. සිංහල භාෂාවෙන් මුළුමනින්ම වෙනස්ව ඉංග්‍රීසි භාෂාවේ මේ සියලුම යෙදුම් සියල්ල "නිත්‍ය ඒකවචන". පාසැලේ සාමාන්‍ය පෙළ මට්ටමින් පසුව සිංහල ඉගෙන නොගන්නා ඉංජිනේරු උපාධිධාරියෙකුට ඉන් පසු සිංහල ව්‍යාකරණ ගැඹුරට දැන සිටීමේ අවශ්‍යතාවයක් මතු නොවන තරම්. සිංහලෙන් ලියන්න අවශ්‍ය වන්නේ වුවත් ඉතා අඩුවෙන්. බොහෝ විට කටයුතු සිදු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. 

කෙනෙකුගේ මවුබස ලේසියකට අමතක විය නොහැකි වුවත්, සිංහල ව්‍යාකරණ ලෙස පාසලේ ඉගෙන ගන්නේ සිංහලයකු කතා කරන භාෂාවේ ව්‍යාකරණ නෙමෙයි. ඒ නිසා, එම ව්‍යාකරණ දිගටම මතක තියෙන්නේ දිගින් දිගටම ලිඛිත සිංහල භාෂාවෙන් ලියන අයෙකුට පමණයි. එවැනි අවශ්‍යතාවයක් තිබෙන රැකියා කරන අය ලංකාවේ ඉන්නේ ඉතා අඩුවෙන්. එයින් වෙනස්ව, ප්‍රස්තුත උපාධිධාරියා සේවය කරන ආයතනය වැනි ආයතනයක සේවය කරද්දී දිගින් දිගටම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න සිදු වෙනවා. භාෂාවක් දිගින් දිගටම භාවිතා කරද්දී හිතන ආකාරයටත් යම් බලපෑමක් වෙනවා. "කෙනෙක්" සිංහලෙන් නිත්‍ය බහු වචනයක් වුවත්, ඉංග්‍රීසියෙන් "someone” ඒක වචනයක්.

මේ බලපෑම පෞද්ගලිකව මටත් තිබෙනවා. "කෙනෙක්" යන්න ඇසෙද්දී මට තනි පුද්ගලයෙක් මිසක් පිරිසක් මනසේ චිත්‍රනය වන්නේ නැහැ. ඒ නිසා, කෙනෙක් සමඟ ගැලපෙන සේ සිතෙන්නේ ඒක වචන ආඛ්‍යාතයක්. "කෙනෙක්" යන්න ඇසෙද්දී මෙය කියවන කී දෙනෙකුට පිරිසක් සිහියට එනවාද?

අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී සිංහල භාෂාවේ නිත්‍ය බහුවචන සමඟ කියැවෙන තවත් වචනයක් වන්නේ "සියල්ලෝ" යන්නයි. මේ වචනය ඇසෙන විටනම් මට අනිවාර්යයෙන්ම මතක් වෙන්නේ පිරිසක්. ඒ නිසා, "සියල්ලෝ සතුටින් විසිර ගියහ" කියන එකේ කිසිම අවුලක් දැනෙන්නේ නැහැ. මේ වචනයට ගැලපෙන ඉංග්‍රීසි වචන ලෙස “everyone” හෝ  “everybody” සැලකිය හැකියි. “everyone” යන්න මතක් වෙද්දී කවදාවත් මගේ සිහියට තනි පුද්ගලයෙක් එන්නේ නැහැ. මේ වචනයෙන් මගේ මනසේ චිත්‍රනය වන්නේ පිරිසක්. ඒ අනුව,  “everyone” හෝ  “everybody” යන උක්තයකට වඩා ගැලපෙන්නේ බහුවචන ආඛ්‍යාතයක් වුවත් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණය අනුව මෙහිදී යෙදිය යුත්තේ ඒක වචන ආඛ්‍යාතයක්.

ඉංග්‍රීසි භාෂාවේදී “everyone” ඒක වචනයක් සේ සැලකෙන්නේ ඇයි? මෙම වචනයේ නිරුක්තිය තුළ “someone”, "somebody", “everybody”, "no one", "nobody" ආදී මෙම කුලකයේ අනෙකුත් වචන වල මෙන්ම "one" යන්න හෝ "body" යන්න දැකිය හැකියි. මෙහිදී අප අදහස් කරන්නේ එක් අයෙක් හෝ එක් ශරීරයක්. “everyone” හෝ “everybody” යන යෙදුම් වලින් අදහස් වන්නේ පිරිසක් අතර සිටින එක් එක් තනි පුද්ගලයා- every one නැත්නම් every body. “someone” හෝ "somebody" කියද්දී එම පිරිස අතර සිටින ඕනෑම තනි පුද්ගලයෙක්. ඉංග්‍රීසි භාෂාවේ යෙදුම තුළ පිරිසක් පෙනෙන්නට හිටියත් ඔබ එම පිරිස දකින්නේ එකිනෙකාගෙන් වෙනස් ඒකීය පුද්ගලයින් විදිහටයි.

සිංහලෙන් අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී ලෙස ගනිද්දී සිදුවන්නේත් මෙවැනිම දෙයක් වුවත් එය සිදු වන්නේ වෙනස්, ප්‍රතිවිරුද්ධ ආකාරයකටයි. "අයෙක්" කියද්දී අවධානය යොමු වන්නේ තනි පුද්ගලයෙකු දෙස නෙමෙයි. එම පුද්ගලයාගෙන් නියෝජනය වන කණ්ඩායම දෙසයි. අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී මොන විදිහකින් බැලුවත් සියල්ලෝ කියද්දී වගේම ඔබ දකින්නේ පිරිසක්. ඔබට තනි පුද්ග්ගලයෙක් පෙනෙන්න හිටියත් ඔබ දකින්නේ එම පුද්ගලයා නෙමෙයි. එම පුද්ගලයාගෙන් නියෝජනය වන කණ්ඩායමක්. සිංහල සමාජයේදී ඉතා පහසුවෙන් තනි පුද්ගලයෙක් "බයියෙක්" "ටොයියෙක්" "දේශප්‍රේමියෙක්" "දේශද්‍රෝහියෙක්" වෙන්නේ මේ දැක්ම නිසා වෙන්න පුළුවන්. 

භාෂාවක් හැදෙන්නේ කිසියම් සංස්කෘතියක් තුළයි. සංස්කෘතිය වෙනස් වෙද්දී භාෂාවත් වෙනස් වෙනවා. ඒ වගේම එහි අනෙක් පැත්තත් වෙනවා. මිනිස්සු හිතන පතන විදිහ කතා කරන භාෂාව අනුව වෙනස් වෙනවා. භාෂාව වෙනස් වෙද්දී මිනිස්සු හිතන පතන විදිහ වෙනස් වෙනවා. සංස්කෘතිය වෙනස් වෙනවා. මෙහි තියෙන්නේ චක්‍රීය සම්බන්ධයක්.

අද මෙය කියවන මවුබස සිංහල වූ කී දෙනෙකුට අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් වැනි වචනයක් ඇහෙද්දී තනි පුද්ගලයෙක් මතක් වෙනවද? කී දෙනෙකුට තනි පුද්ගලයෙකුගෙන් නියෝජනය වන කණ්ඩායමක් මතක් වෙනවද?

(Image: http://disssinhala.blogspot.com/)

55 comments:

  1. මෙය මා කාලයක් තිස්සේ මාතෘකාවක් කර ගැනීමට සිටි දෙයක්.

    නිත්‍ය බහුවචන අපට ඉගැන්වූ ගුරුතුමා ගෙදර වැඩ ලෙස ඒ එක එකක් මාතෘකා කරගෙන වාක්‍ය කිහිපය (ගණන මතක නැත) බැගින් ලියාගෙන එන ලෙස පැවරුවා.

    මා එකම එක වාක්‍යයක "එක් කෙනෙක්" ලෙස උක්තය තබා අඛ්‍යාතය ඒක වචනයෙන් තැබුවා. ඊට පමණක් වැරදි ලකුණක් හිමි උනා. වැරැද්ද කුමක්දැයි මට අදටත් තේරෙන්නේ නෑ. (`කෙනෙක්` බහු වචන යැයි කී විට පිළිගත්තත් `එක් කෙනෙක්` බහු වචනය යැයි පිළිගන්නට මගේ සිත ඉඩ දෙන්නේ නෑ.) මා එදා සිට අද දක්වා ඒ වැරැද්ද නම් කළේ නෑ.

    මීට වෙනස්ව මා ඉංගිරිසි ව්‍යාකරණය ඉගෙන ගත්තේ උසස් පෙළ ලිවීමෙන් පසුව. එහිදී ඔබ පෙන්වා දෙන ඉංගිරිසි නිත්‍ය ඒක වචන උගන්වන විට මට ඇති වුණේ "අම්මට සිරි !" වැනි අදහසක් - "සුද්ද හැම දේම තෝරන්නේ වැරදියට". නමුත් අර මතකය හේතුවෙන් ඉංගිරිසි වචනත් මට කවදාවත් වැරදුණේ නෑ.

    පොදුවේ එසේ කීවත් අර නිත්‍ය බහු වචන වෙනුවෙන් ඒක වචන ආඛ්‍යාතයක් නොදැනීම යෙදීමේ අවස්ථා තිබිය හැකියි. එය දැනුම ගැන ප්‍රශ්නයක් නොව දැනීම (සංවේදනය) ගැන ප්‍රශ්නයක්. අර මහතාට සිදු වන්නට ඇත්තේ එය විය හැකියි. ඔය කියන වැඩසටහන බැලුවේ නැති බැවින් හරියටම කියන්නට බෑ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බැහැ මල්ලි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මව් බසට පෙම් කරමි
    එහෙත් එහි දොස් දකිමි
    පැරැණි හණ මිටිය හැර-
    දමා යා යුතු බව හඟින්නෙමි

    මේ මතය අගයන
    දනෝ වෙති අපමණ
    එහෙත් බස සැදිය යුතු
    දනෝ නිහඬව සිටිති අද දින

    තම මත හුවා දක්වන
    අන් මත දුරින් දුරලන
    ලකේ පඬියන් රොදම
    මෙය කරනු හීනයකි, මතු දින!

    ReplyDelete
  4. මට නං සිංහල එච්චර බැහැ. ඒ නිසා තේරුනෙත් නැහැ ඉකොනෝමැට්ටාගේ ලිපියේ තියෙන කරුණු. මේක ඉංග්‍රීසියෙන් ලියන්න පුලුවන්ද?

    ReplyDelete
  5. 'ඉකොනොමැට්ටා මොනවත්ම නොදන්නා විෂයයන් ඕනෑ තරම් තිබෙනවා.'

    ආර්ථික විද්‍යාව ගැන නං ඔහේ මොකවත්ම දන්නේ නැහැ කියලා පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීම පිළිබඳව ස්තුතියි! මෙය රටක ආර්ථිකය මෙහෙයවීම සඳහා හොඳ සුදුසුකමක් වුවත් මට එවැනි ඉලක්කයක්නම් නැහැ.

      Delete
    2. ඇත්තටම ඇමරිකානු එක්සත් ජනපදයේ ආර්ථිකය මෙහෙයවන්නේ කෙබඳු පුද්ගලයන් ද? ආර්ථිකය කෙසේ වෙතත් ඇමරිකානු බලධාරීන් යුද්ධ ඇවිලවීම හා විශාල මුදලක් නාස්ති කරමින් යුද්ධ කිරීම, රටවල් වල පාලකයන් (ඇතැම් ඒකාධිපතියන් මෙන්ම නීත්‍යානුකූල ලෙස මහජන ඡන්දයෙන් පත් වූ අය පවා) වෙනස් කොට තමන්ගේ රූකඩ පාලකයන් පත් කර එම රටවල් වල විනාශයට පාර කැපීම, ඛණිජ තෙල් ඇතුළු ලොව පුරා වටිනා සම්පත් මංකොල්ලකෑම් වැනි දේවල් වලට ඉතා දක්ෂ බව පැහැදිලියි. ඒත් ඒකෙන් ලෝක ආර්ථිකයට වුණේ විනාශයක් මිස සුගතියක් නොවන බව දැනටමත් කාහටත් පැහැදිලියි නේද?

      වියට්නාම් යුද්ධය අමතක කර දමා ඇමරිකානු එක්සත් ජනපදය මැදපෙරදිග යුද්ධය වෙනුවෙන් වියදම් කළ ඩොලර් ට්‍රිලියන හයක් හතක් පමණ මුදල යුද්ධ නොකර ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් වල සාර්ථක ලෙස ආයෝජනයන් කිරීමට කටයුතු කළා නම් ඇමරිකානු බදු ගෙවන ජනතාවගේ බදු මුදලටත් සාධාරණයක් වන අතරම පහත කරුණු කාරණා

      01. ඌන සංවර්ධිත රටවල් රැසක් මැදි ආදායම් තත්ත්වයට පත්වීම.

      02. ඒ රටවල් සමග වන වෙළඳාම නිසා ඇමරිකානු ආර්ථිකයට ද වාසියක් හිමි වනු ඇත.

      03. වඩාත් වැදගත් දෙය තමයි ඇමරිකානු එක්සත් ජනපදයට චීනය නමැති ධනවත් බලවත් හතුරා වෙනුවට ලොව පුරා කුඩා ප්‍රමාණයේ මිතුරන් රාශියක් ලැබීම.

      නමුත් මේ වගේ සරල දෙයක් වත් නොතේරෙන මුග්ධ බලධාරීන් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ පාලනය කරන විට එබඳුම මුග්ධ ඇමරිකානු පුරවැසි රූකඩයක් ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයකට ඇද දමමින් එම් සී සී ගිවිසුම නමැති ඇමරිකානු උගුල ක්‍රියාත්මක කිරීමට කැස කවන බව ඇතැමුන් පවසති.

      ඇත්තටම ඉහත සඳහන් ඇමරිකානු එක්සත් ජනපදයේ තරම් බරපතළ මුදල් නාස්තියක් ලොව කිසිම රටක වෙලා නැහැ නේද 1979 - 88 සෝවියට් ඇෆ්ගන් යුද්ධයට පසුව?

      ඒ වගේම කෝල්ඩ් වෝ සීතල යුද්ධයට පසුව 1990 න් පසු ඇමරිකානු එක්සත් ජනපදයට සමීප වූ කිසිම රටක් ආර්ථික වශයෙන් දියුණු වී නැති අතර 1990 ට කලින් ඇමරිකානු එක්සත් ජනපදයට සමීප වූ හොංකොං, සිංගප්පූරුව, තායිවාන්, දකුණු කොරියාව ආදී රටවල් මෙන්ම ජපානය හා ජර්මනිය පවා චීනය සමග උපක්‍රමශීලීව වෙළඳ කටයුතු දියුණු කිරීමට පියවර ගන්නා බවත් පෙනෙන්නට තියෙනවා. ඇමරිකානු මෝඩ පාලකයන් පසු ගිය දශක දෙකක පමණ කාලය නාස්තිකාරී ලෙස විනාශ කර ගෙන තියෙනවා නේද? විශාල වශයෙන් ස්වභාවික සම්පත් වලින් ගොඩ නගා ගත් ධනය යොදාගනිමින් 1800 සිට මෙක්සිකෝවට අයත්ව තිබූ වටිනා ඉඩම් කොල්ලකමින් නේටිව් ඇමරිකන් ජනයා වනසා දමා, රුසියානු අධිරාජ්‍යයෙන් උපක්‍රමශීලීව ඇලස්කාව මිලදී ගනිමින් 20 වන සියවසේ සටකපට ලෙස දෙවන ලෝක යුද්ධයට පොහොර දමා පසුව මැදපෙරදිග කලාපයේ තෙල් කැනීම් වල ආධිපත්‍යය තහවුරු කර, පසුව තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු වල බලය අත්පත් කරගෙන ඒ හරහා ලෝකයේ ධනවත් බලවත් රටක් ලෙස පවත්වාගෙන ගිය ඇමරිකානු එක්සත් ජනපදයේ ආධිපත්‍යය සටකපට චීනය විසින් බිඳ දැමීමට ආසන්න බව මගේ හැඟීමයි. කෙසේ වෙතත් එය විය යුතු දෙයක් තමයි. ස්වභාවික වරණය වගේ එකක්.

      Delete
  6. Jagath PathiranaJune 10, 2021 at 5:47 AM

    සිංහල කියන්නේ ශාබ්දික බාශාවක්.
    ඒ නිසාම බස කියවන විදියටම ලියන්න හැදුවොත් අවුල් ඇතිවෙනවා වැඩියි. ඒ නිසා තමයි ලියන බසක් හදා ගන්න සිදුවුනේ.

    ReplyDelete
    Replies
    1. මේ අදහස සමඟ මම එකඟ නැහැ. වෙනත් ශාබ්දික භාෂා විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම භාෂා වල මෙවැනි තත්ත්වයක් නැහැ. කිසිම අවුලක් නැතුව කතා කරන සිංහල එලෙසම ලියන්න පුළුවන්. මේ ගැන මගේ යම් අදහසක් තිබුණත් එය අදහසක් පමණයි. දළ වශයෙන් විජයාගමනයෙන් සංකේතවත් වල සිද්ධිය සිදු වූ කාලයටත් සියවස් කිහිපයකට පෙර සිට මහින්දාගමනය දක්වා කාලය තුළ ලංකාවට වත්මන් නැගෙනහිර ඉන්දියාවේ සිට සහ එහි සිටි ජනතාවට සමීප සංස්කෘතික සම්බන්ධතා තිබුණු වත්මන් ඉන්දියාවේ තැන් තැන් වල වූ වෙරළබඩ නගර වල සිට විශාල වශයෙන් සංක්‍රමණිකයින් පැමිණියා. ඉන්පසුව එම කණ්ඩායමේ සංස්කෘතිය ක්‍රමක්‍රමයෙන් ලංකාවේ සංස්කෘතියේ ප්‍රමුඛ සංරචකය බවට පත් වුනා. මම මෙය සංසන්දනය කරන්නේ පහළොස්වන සියවසේ අවසානයේ සිට දකුණු ඇමරිකාවේ සිදු වූ වෙනස සමඟ. සංක්‍රමණිකයන්ගෙන් පැවත ආ අයගේ (අනුරාධපුර වැනි) ජනපද වල සංස්කෘතිය (ඔවුන්ගේ මුල් සංස්කෘතියද නොවූ) ප්‍රමුඛ සංස්කෘතිය වුවත් සංක්‍රමණිකයන්ගෙන් සෘජුව පැවත ආ අය කිසි විටෙකත් සංඛ්‍යාත්මක බහුතරය වුනේ නැහැ. ඒ වගේම, මේ පිරිස් විශාල කාලයක් ලංකාවේ වරප්‍රසාද ලත් කණ්ඩායමක් (elite) ලෙස ජිවත් වෙනවා. මම හිතන විදිහට ලිඛිත සිංහලය ඒ අයගේ භාෂාව. එහෙත් ස්වදේශිකයින් විසින් මේ භාෂාව ටිකෙන් ටික පුරුදු වෙද්දී ඔවුන් එම භාෂාවේ සංකීර්ණ රීතින් පිළි පදින්නේ නැහැ. භාෂාව සරල කර ගන්නවා. සංඛ්‍යාත්මකව වැඩි පිරිසක් කතා කරන භාෂාව ව්‍යවහාර භාෂාව බවට පත් වුනත් ලේඛණ කටයුතු වල නියැලෙන්නේ සංක්‍රමණිකයින්ගෙන් සෘජුවම පැවත එන වරප්‍රසාද ලත් කණ්ඩායමේ අය. කටපාඩමින් පරම්පරාවෙන් පරම්පරාවට පොත් පිටපත් කරන්නේත් ඒ අය. තාක්ෂනික සීමාවන් නිසා කතා කරන භාෂාව වෙනස් වෙන තරමට ලියන භාෂාව වෙනස් වෙන්නේ නැහැ. (තාක්ෂනයේ දියුණුව නිසා දැන් එසේ වෙනවා) ඒ වගේම දැන් වුනත් ලංකාවේ සාමාන්‍යයෙන් සිදු වන්නේ සියවස් ගාණකට පෙර ලියූ පොත්පත් ආශ්‍රයෙන් භාෂාවේ රීති හඳුනාගෙන ඒවා අධ්‍යාපනය හරහා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන එක මිසක් වර්තමානයේ කතා කරන භාෂාව ඇසුරෙන් එහි රීති හඳුනා ගැනීම නෙමෙයි. "නිත්‍ය බහුවචන" වුවත් එවැනි දෙයක්.

      Delete
    2. සිංහලයේ කථන හා ලේඛණයේ බස් දෙකක් තිබීම ගැන ඉකොනෝ දක්වන මතය දළ වශයෙන් මගෙත් අදහසයි.
      සමහරුන් සිංහලය පාලි සහ සංස්කෘත බස් වලින් පරිණාමය වූ එකක් බව කියනු අසා (ලියා තිබෙනු කියවා) තිබෙන මුත් එය හිස් ප්‍රලාපයක් බවයි මගේ අදහස.

      විජයයා පැමිණීමට පෙර මෙහි සිටි ප්‍රාග් සිංහලයින් කතා කළ බසට පසුව පැමිණි අනෙක් බස් වලින් වචන සහ රීති එකතු වූ සැදුණු අච්චාරුවක් තමයි දැන් තිබෙන සිංහලය. මෙහිදී කෝට්ටේ යුගය වන විට ෂඩ් භාෂා ලෙස ගැනුණු සකුව, ප්‍රාකෘත, ශෞරසේනී, මාගධී (පාලිය), අපභ්‍රංශ, පෛශාචි ආදී භාෂාත් අනතුරුව මැලේ, අරාබි, පරංගි, ඕලන්ද, අණ්ඩර දෙමළ, ඉංගිරිසි සහ දෙමළ යන භාෂාත් සඳහන් කළ හැකියි.

      මා මෙය ගලපන්නේ දකුණු ඇමරිකාවට වඩා එක්සත් සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ආදර්ශය සමග. එහිදී එතෙක් ලිඛිත අක්‍ෂර හෝඩියක් නොතිබි හෝ එතරම් පොහොසත් නොවූ හෝඩියක් තිබුණු භාෂාවන් රුසියානු හෝඩිය භාවිතා කිරීම සිදු උණා. නමුත් භාෂාව රුසියන් උනේ නෑ. සිංහලයේත් සාමාන්‍ය ජනයා තමන්ගේ බස තමන් විසින් හසුරුවා ගන්නා අතර ඔවුන්ගෙන් වෙනස්ව ලේඛණය ඉකොනෝ විසින් හඳුන්වන élite ලාට අවශ්‍ය පරිදි යම් යම් වියුක්ත නීති වලට අනුකූලව කෙරෙන්නට ඇති (නමුත් මේ élite ලා නොරටුන් බව මගේ අදහස නොවේ).

      මෙහි කිසි අමුත්තක් නම් නැහැ. අද වුවත් සිංහල (හෝ ඉංගිරිසි) ගත්තත් නීතිඥයන් විසින් කෙටුම්පත් කළ ලේඛනයක් සාමාන්‍ය හුදී ජනයාට තේරුම් ගත හැකිද ? (බටහිර වෛද්‍යවරයෙක් ලියන බෙහෙත් තුණ්ඩු ගැන කතා නොකර ඉමු). අපට ඒවා කියවා තේරුම් ගත නොහැක. අද පාර්ලිමේන්තුවේ 225 න් කී දෙනෙකුට බාහිර සහයක් නොමැතිව පනත් කෙටුම්පතක් සම්පූර්ණයෙන් කියවා තේරුම් ගත හැකිද (නමුත් ඡන්දය දී පනත් සම්මත කරන්නේ ඔවුන් ය) ?

      මේ භාෂා වෙනසට හේතුව පැහැදිළිය. සාමාන්‍ය ජනයාට සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන දෙයක නිශ්චිතභාවය එතරම් අවශ්‍ය නැත - එහෙත් නිළ රාජ්‍ය ලේඛණයක අර්ථය නිශ්චිත විය යුතුය. සිංහලයේ කථන බසත් ලේඛණ බසත් දෙකක් වීමට හේතුව එයයි.

      Delete
    3. එම්.එල්.ආර්. සුර‍ංගගේ “යාං හෑල්ල“ බ්ලොග් අඩවියේ අමු කතා කරන බාශාවෙන් ලියපු සිංහල ලිපි කියවන්න පුළුවන්.
      එව්වා කියවන්න ගිහින් පිස්සු ඩබල් වෙනවා.

      Delete
  7. එකොනෝ , කාලගුණය හා දේශගුණය වෙනස් වීම් සම්බන්ධයෙන් විවිධ රටවල ,ලොකයේ විවිධ ප්‍රදේශවල විශ්වාසදායක දත්ත ගන්න පුලුවන් විශ්වාසදායක වෙබ් පිටු ගැන දන්න ද?

    ඔබ භාවිතා කරන වෙබ් පිටු හෝ, අප ආයතනයේ විශ්ලේෂණ කටයුත්තක් සදහා !!!

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව හා අදාළ දත්ත: https://edg.epa.gov/metadata/catalog/main/home.page

      Delete
  8. හොඳ නිරීක්ෂණයක්, ඉකනෝ. වෙනසකට, සුපුරුදු මාතෘකා වලින් වෙනස්වීමත් හොඳ දෙයක්.

    සිංහල භාෂාව ගැන දැඩි කැමැත්තක් තිබුණත්, එය ලෝකයේ ඇති හොඳම භාෂාව ලෙස "ඇදහීම" තුලි වෙන්නේ හානියක්, කියලයි මට හිතෙන්නේ. ඉංග්‍රීසි භාෂාව "කඩ්ඩ" ලෙස හැඳින්වීම සාධාරණයි. එය බොහෝ විට භාවිතාවන්නේ "ආයුධයක්" ලෙසයි. පරක්කුවෙලා හරි මේ තත්ත්වය තේරුම් අරගෙන, යම් වෙනසක් කිරීමට සැරසීම හොඳ දෙයක් කියල හිතෙනවා. ඒත් සුපුරුදු පරිදිම, "හැල-යක්ෂ" පරම්පරාවෙන් විරෝධයක් එල්ලවීම බලාපොරොත්තු විය හැකියි.

    ReplyDelete
  9. ඉකොනෝමැට්ටා අන්තර්ජාල බ්ලොක් අඩවියේ හිමිකරු ඉකොනෝමැට්ටාව ඇමරිකන් හමුදාවට බන්දවා ගෙන තුවක්කුවක් දෙකක් දී මැදපෙරදිග තම්බීන් මැරීමට යවනා මෙන් අප ඇමරිකාවේ අලුත් ජනාධිපතිතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  10. ඉකොනොමැට්ටාව Millionaire එකට යවන්න වටිනවා!

    ReplyDelete
  11. ඉකොන් මට පොඩි ප්‍රශ්නයක් තිනවා මතෘකාවට අදාල නැති .


    Parameter සහ statistic කියන්නේ සංකල්ප දෙකක් ද එකක් ද? සහ parameter , යම් අගයක් (value ) එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. Parameter එකක් කියා කියන්නේ කිසියම් ජනගහණයක් ආ අදාළ වියුක්ත ආකෘතියක තිබෙන නොදන්නා අගයක්. උදාහරණයක් විදිහට ලංකාවේ කිසිවෙකු විසින් කෝවිඩ් එන්නත් කිසිවක් නොගැනීමට සාපේක්ෂව ලංකාවේ සියලු දෙනාම යම් නිශ්චිත කෝවිඩ් එන්නතක් ගත්තොත් යම් නිශ්චිත කාල පරාසයක් තුළ අඩු වන මරණ ප්‍රමාණය. මෙය නිශ්චිත නියත අගයක් වුවත් සෛද්ධාන්තිකවම කිසි විටෙකත් නිරීක්ෂණය කළ නොහැකි දෙයක්. ඇතැම් විට Parameter එකක් සෛද්ධාන්තිකව නිරීක්ෂණය කළ හැකි විය හැකි නමුත් ප්‍රායෝගිකව නිරීක්ෂණය කළ නොහැකි විය හැකියි. statistic එකක් කියා කියන්නේ ඉහත කී ආකාරයේ ජනගහණයකින් ලබා ගන්නා නියැදියක් යොදාගනිමින් ලබා ගන්නා දත්ත ඇසුරෙන් එම දත්ත වල ශ්‍රිතයක් ලෙස ඇස්තමේන්තු කරන ඉහත කී නිශ්චිත අගයක් ගන්නා Parameter එකේ අවිනිශ්චිත ඇස්තමේන්තුවක්. අවිනිශ්චිතතාවය කොපමණද කියන එකත් statistic එකක් ලෙසම ඇස්තමේන්තු කළ හැකියි. මේ ආකාරයේ ඕනෑම ඇස්තමේන්තුවක් සාධාරණ වශයෙන් ගත් විට ඇස්තමේන්තු කරනු ලබන Parameter එකට හරියටම සමාන නොවන අතර ඇස්තමේන්තු කිරීම සඳහා උපයෝගී කර ගන්නා නියැදිය අනුව වෙනස් වන දෙයක්. ඒ නිසා, දෙවන නියැදියක් යොදා ගත් විට ලැබෙන අගය සාධාරණ වශයෙන් ගත් විට මුල් ඇස්තමේන්තුවෙන් වෙනස්. මම හිතන්නේ යම් අගයක් එක්ක වෙනස් වීම කියා ඔබ අදහස් කරන්නේ එය විය හැකියි. මීට අමතරව වියුක්ත ආකෘතියේ තිබෙන නොදන්නා අගයම වුවත් විවිධ සාධක මත වෙනස් විය හැකියි. සමහර විට ඔබ අදහස් කළේ මෙය වෙන්න පුළුවන්. ඉහත උදාහරණය ගත්තොත් කොරෝනා වෛරසය පරිණාමය වී අළුත් ප්‍රභේද හැදීම වැනි දෙයක් එක්ක. ඒ වගේ වෙලාවක වියුක්ත ආකෘතියක තිබෙන නොදන්නා Parameter එකක් කිසියම් නිශ්චිතව නොදන්නා විචල්‍යයක ශ්‍රිතයක් ලෙස ආකෘතිගත කර ආකෘතිය තුළටම internalize කරගත හැකියි. එවිට එම නිශ්චිතව නොදන්නා විචල්‍යය පසුව නිරීක්ෂණය කළ හැකි වූ විට (හෝ වෙනස් වීම ගැන උපකල්පනය කර) පරාමිතිය වෙනස් වන ආකාරය මුල් ඇස්තමේන්තුව ඇසුරෙන්ම වුවත් හැදෑරිය හැකියි.

      Delete
    2. එතකොට sufficient statistic කියන සංකල්පය ගොඩ නැගෙන්නේ මොන පදනමෙන් ද?

      Delete
    3. නියැදියකින් ලබාගත් දත්ත ඇසුරෙන් P කියන ජනගහණ පරාමිතිය ඇස්තමේන්තු කරන්න යනවා කියමු. දත්ත x කියා ගත්තොත් R(x) වැනි x වල ඕනෑම ශ්‍රිතයකට statistic එකක් කියා කියන්න පුළුවන්. මෙවැනි ශ්‍රිත අතරින් එක් නිශ්චිත ශ්‍රිතයක් (statistic එකක්) T කියා ගනිමු. දැන් P කියන ජනගහණ පරාමිතිය ඇස්තමේන්තු කිරීම සඳහා x කියන ශ්‍රිතයෙන් ලබා ගත හැකි සියළුම තොරතුරු T කියන statistic එකේ තිබෙනවානම්, වෙනත් අමතර තොරතුරු කිසිවක් ඉතිරි වී නැත්නම්, T කියන statistic එක P කියන ජනගහණ පරාමිතිය ඇස්තමේන්තු කිරීම සඳහා sufficient statistic එකක්.

      Delete
    4. // දැන් P කියන ජනගහණ පරාමිතිය ඇස්තමේන්තු කිරීම සඳහා x කියන ශ්‍රිතයෙන් ලබා ගත හැකි සියළුම තොරතුරු T කියන statistic එකේ තිබෙනවානම්, වෙනත් අමතර තොරතුරු කිසිවක් ඉතිරි වී නැත්නම්, T කියන statistic එක P කියන ජනගහණ පරාමිතිය ඇස්තමේන්තු කිරීම සඳහා sufficient statistic එකක්.//

      මෙමෙ කොටස උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්න පුලුවන් ද? එච්චර යි දැන ගන්න ඕනේ

      Delete
    5. Bernoulli process එකකින් හැදුනු ජනගහණ ආකෘතියක් ගැන හිතන්න. මේ ආකෘතිය හඳුනා ගැනීම සඳහා අපි නියැදියක දත්ත යොදා ගන්නවා. නියැදියේ ප්‍රමාණය හා මධ්‍යන්‍යය පමණක් තියාගෙන අපිට දත්ත සියල්ල විනාශ කර දැමිය හැකියි. එසේ කිරීමෙන් ජනගහණ ආකෘතිය හඳුනා ගැනීම සඳහා යොදාගත හැකි කිසිම තොරතුරක් විනාශ වෙන්නේ නැහැ.

      වඩා සංයුක්ත උදාහරණයක් අවශ්‍යනම් රෝග ලක්ෂණ නොමැතිව කෝවිඩ් හැදීම ගනිමු. ලංකාවේ ජනගහණය මිලියන 2.2ක් පමණ වෙනවා. එයින් 1%ක් පමණ පීසීආර් පරීක්ෂණ වලින් කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ඉතිරි 99% අතරින් යම් පිරිසකට ඔවුන්වත් නොදැන කෝවිඩ් ආසාදනය වී තිබිය හැකියි. අපට මෙම ප්‍රතිශතය හරියටම දැන ගන්න අවශ්‍යයි. මෙය සෛද්ධාන්තිකව මැනිය හැකි දෙයක්. ඒ සඳහා කළ යුත්තේ ඔය හැම කෙනෙකුගේම රුධිර පරීක්ෂාවක් කරන එකයි. නමුත් ප්‍රායෝගිකව එය කළ නොහැකි නිසා අපි නියැදියක් යොදාගෙන ප්‍රතිදේහ පරීක්ෂණ කරගෙන යනවා. මෙම ප්‍රතිඵල 1 හා 0 ලෙස සටහන් කරගෙන යනවා. ඔය වැඩේ අවසන් වුනාට පස්සේ නියැදියේ ප්‍රමාණය සහ එයින් 1 සටහන් වූ ප්‍රමාණය තියාගෙන සියලුම දත්ත විනාශ කර දැමිය හැකියි. අවශ්‍ය දෙය ඇස්තමේන්තු කිරීම සඳහා නියැදියෙන් ලබාගත හැකි සියලුම තොරතුරු මේ සංඛ්‍යා දෙක ඇතුළේ තිබෙනවා. ඊට අමතරව අනිල් 1, සමන්ති 0 ආදී වශයෙන් තොරතුරු තබා ගැනීමේ කිසිදු අමතර ප්‍රයෝජනයක් නැහැ.

      Delete
    6. බොහොම ස්තූති පැහැදිලි කිරීමට ,

      හැම ආක්‍රතියකටම මෙම sufficient statistics ගන්න බෑ නෙද අකෘතිය හදුනා ගන්න, උදාහරණයක් විදියට normal distribution හදුනාගන්න , sufficient statistics එකක් නෑ නේද?

      Delete
    7. normally distributed population එකක මධ්‍යන්‍යය සඳහා නියැදියේ මධ්‍යන්‍යය sufficient statistics එකක්. මධ්‍යන්‍යය සහ සම්මත අපගමනය දන්නවානම් මුළු ශ්‍රිතයම හඳුනාගත හැකියි.

      Delete
  12. In the latest episode of the US-China geopolitical showdown, President Joe Biden is enforcing a new executive order that bans investment in 59 Chinese companies including Huawei effective from August 2. The new decision prevents US investments in Chinese companies with suspected ties to the Chinese Communist Party.

    US Government bans investment in Huawei and 58 other Chinese companies
    Joining Huawei on the list is chip maker SMIC, telecom operator China Mobile, video surveillance company Hikvision, and a plethora of Chinese defense sector companies. A senior US official confirmed that more Chinese companies will likely be added to the list in the months to come.

    With the new sanctions in place, President Biden is reinforcing the hard stance against China’s intelligence and security research firms, which peaked during former President Donald Trump’s four-year term. US investment companies and individuals are allowed to divest any funds in the newly banned companies over a one-year period.

    US Government bans investment in Huawei and 58 other Chinese companies
    It remains to be seen if other major smartphone makers from China will be added to the list. There’s also no word if Chinese social media and messaging platforms like Tik-Tok and WeChat will be subject to similar bans.

    Source: https://www.gsmarena.com/us_government_bans_investment_in_huawei_and_58_other_chinese_companies_-news-49457.php

    ඔරුමිත්තනාඩුවේ ඉහත ප්‍රතිපත්ති තීරණය ධනවාදී පරමාදර්ශය වෙත තබන තවත් එක් පියවරක්ද ?

    ReplyDelete
    Replies
    1. ඉතා පැහැදිලිවම නැහැ. රජයයන් විසින් කරන මැදිහත්වීම් බොහොමයකදී වෙන්නේ ධනවාදී පරමාදර්ශයෙන් ඉවතට යාමයි. ඇමරිකාවේ කියලා එහි වෙනසක් නැහැ. විශේෂයෙන්ම මේ දවස්වල. කෙසේ වුවත් මෙය සරල පිළිතුරක්. මෙහි වෙනත් සංකීර්ණ මාන තිබෙනවා.

      අතුරු කරුණක් ලෙස, ඔබට මුහුණ දෙන්න සිදුවුණු "වායු හොරකම" සිදුවන්නේත් ධනවාදයක් නැතිකමින් මිස ධනවාදය නිසා නෙමෙයි. දියුණු ධනවාදයක් තුළ ඔය වගේ දේවල් සිදුවෙන්න තිබෙන ඉඩකඩ ඉතා අවමයි.

      Delete
    2. වායු සොරකම නම් ධනවාදය නැති වීම පිළිබඳ ප්‍රශ්නයක් (පද්ධතිය අකාර්යක්‍ෂම බව, තරඟකාරීත්වයක් නැතිවීම සහ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස මිල තීරණයට රජයේ මැදිහත්වීම) බව තේරුම් ගත්තා. නමුත් ඔවුන් 18 L ලෙස ලේබල් කර ඇස්බැන්දුමක් කිරීමට යොදා ගන්නේ ධනවාදී ප්‍රවාද සහ මිණුම් දඬු. කොටින්ම ඔබ මීට සති කිහිපයකට පෙර අපට තේරුම් කර දුන් 'පාරිභෝගික අතිරික්තය' පිළිබඳ අදහසත් මෙහිදී යහමින් යොදා ගැනෙනවා.

      මා මෙහිදී නැගූ ප්‍රශ්නයට මා නිවැරදි යැයි සිතූ පිළිතුර ඔබ ලබා දී තිබෙනවා. ස්තූතියි.
      (ස්තූතිය "පිළිතුර" ලබා දීම වෙනුවෙන් මිස "මා නිවැරදි යැයි සිතූ පිළිතුර" ලබා දීම වෙනුවෙන් නොවන බව කරුණාවෙන් සළකන්න.)

      Delete
    3. //නමුත් ඔවුන් 18 L ලෙස ලේබල් කර ඇස්බැන්දුමක් කිරීමට යොදා ගන්නේ ධනවාදී ප්‍රවාද සහ මිණුම් දඬු. කොටින්ම ඔබ මීට සති කිහිපයකට පෙර අපට තේරුම් කර දුන් 'පාරිභෝගික අතිරික්තය' පිළිබඳ අදහසත් මෙහිදී යහමින් යොදා ගැනෙනවා.//

      පළමුව ඔබේ ලිපියේ සමස්තය සමඟ වගේම තනි කරුණු බොහොමයක් සමඟ මට පහසුවෙන් එකඟ විය හැකියි. මා මුළුමනින්ම එකඟ නොවන්නේ පහත කොටස සමඟයි.

      //(එයනම් සමාජවාදය නොව තුප්පහි ධනවාදයයි).//

      ඒ වගේම මේ කාරණාව ඉතා සියුම් කරුණක් නිසා ඔබ හිතපු ආකාරය සම්පූර්ණයෙන්ම වැරදියි කියා මම කියන්නෙත් නැහැ. පැහැදිලිවම මෙහිදී සමාගම විසින් කරන්නේ ඔබේ පාරිභෝගික අතිරික්තයෙන් කොටසක් ගන්න එක. එසේ ගැනීමෙන් පසුවත් ඔබට යම් පාරිභෝගික අතිරික්තයක් ඉතිරි වෙනවා. සමාගම එසේ කරන්නේ ඔවුන්ගේ පාඩුව පියවා ගන්න හෝ ලාබය නඩත්තු කරන්න.

      //එබැවින් ලිට්‍රෝ සමාගම පාඩු ලබමින් අඩු මිලට අපට හුළං ගැසිය යුතු යැයි රෙද්දක් ඇඳගෙන කීමේ හැකියාවක් අපට නැත. ඒ සමාගම නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව තම ටැංකියේ මිල ඉහළ නංවයි නම් අප ඒ වැඩි මිල ගෙවා මිලදී ගැනීමට එකඟය.//

      සමාගමට පාඩුවට ගෑස් විකිණිය නොහැකි බව ඔබ පිළිගෙන තිබෙනවා. ඒ වගේම, සමාගම විසින් ගෑස් මිල වැඩි කළේනම් එම වැඩි වූ මිල ගෙවන්න ඔබ සූදානම්ව සිටිනවා. එහිදී ඔබේ පාරිභෝගික අතිරික්තය අඩු වුනත් සමාගමටද පාඩු විඳිය නොහැකි බව ඔබ නිවැරදිව තේරුම් ගන්නවා. ඒ කියන්නේ ඔබට මේ කාරණයේදී ධනවාදී පරමාදර්ශයන් සමඟ ප්‍රශ්නයක් නැහැ.

      //එසේ වුවත්, 18 L ලෙස ගණන් බැරි සාමාන්‍ය ජනයා මුලා කර වැඩි මිලට අළෙවි කරන ටැංකි බලෙන් ඇඟේ ගසන විට ඒවා බාර ගැනීමට තරම් අප ගොනුන් යැයි සමාගම් සිතන්නේ නම් අපට වෙනත් විකල්ප තිබේ.//

      ඔබට (වගේම මටත්) තිබෙන ප්‍රශ්නය එසේ මිල වැඩි නොකර ඇස්බැන්දුමක් කිරීමයි. සමාගමට මෙවැනි ඇස්බැන්දුමක් කරන්න වෙන්නේ නිදහසේ මිල වැඩි කිරීමේ හැකියාවක් නැති නිසයි. එය රජය විසින් වලක්වා තිබෙනවා. කොපමණ බාධා කළත් වෙළඳපොළ මූලධර්ම ක්‍රියාත්මක වෙනවා. මා ධනවාදය ස්වභාවිකයි කියන්නේ ඒ අර්ථයෙන්. මිල වැඩි කිරීමේ අවස්ථාව නැති කළත් සමාගම ලාබ සෙවීමේ අවස්ථාව අත අරින්නේ නැහැ. එය සමාගමක/පුද්ගලයෙකුගේ නෛසර්ගික ගුණයක්. ඒ නිසා ඔවුන් ඇස්බැන්දුමක් කිරීමේ විකල්පය තෝරා ගන්නවා. එහෙත් මිල වැඩි කිරීමේ නිදහස තිබුණේනම් ඔවුන් එසේ කරන්නේ නැහැ. සෘජුවම මිල වැඩි කරනවා. මා නිදැල්ලේ ඉන්න සිංහයෙකුගේ හා කුඩුවක ඉන්න සිංහයෙකුගේ හැසිරීම් වලට සමාන කළේ මෙවැනි අවස්ථා. කූඩුවේ දැම්මා කියා සිංහයා තණකොල කන්නේ නැහැ. නමුත් ඌට දඩයම් කිරීමේ අවස්ථාවත් නැහැ. එවිට මේ වගේ විකෘති ඇති වෙනවා.

      මේ උදාහරණයෙන්ම පැහැදිලි වන පරිදි ඔබට සිදුවන පාඩුව (වඩා නිවැරදිව පාරිභෝගික අතිරික්තය අඩු වීම) ගැන ඔබත් සංවේදීයි. "ජනයා මුලා කර වැඩි මිලට අළෙවි කරන ටැංකි බලෙන් ඇඟේ ගසන විට ඒවා බාර ගැනීමට තරම්" ඔබ මෝඩයෙක් නෙමෙයි. ධනවාදයේ මූලධර්මය වන්නේ කවුරුවත් මෝඩයින් නොවන බවයි. ඒ නිසා ඔය වගේ අවස්ථාවකදී පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. සමාගමකට හිතේ හැටියට පාරිභෝගිකයින්ව ගොනාට අන්දන්න බැහැ.

      නමුත් අවුලකට තිබෙන්නේ "අපට වෙනත් විකල්ප තිබේ" කියා කිවුවත් ඇත්තටම ඔබට විකල්ප ගොඩක් නැති වීමයි. ඒ නිසා විකල්පයක් නැති කමට සමහර විට අලුත් ටැංකිය අරන් යන්න ඉඩ තිබෙනවා. දියුණු ධනවාදයක් කියා කියන්නේ ඔබට ගෑස් මිල දී ගැනීම සඳහා විකල්ප අවස්ථාවන් විශාල ප්‍රමාණයක් තිබෙන තත්ත්වයක්.

      ඔය වගේ දෙයක් ඇමරිකාවේ වුනානම් "ලිට්‍රෝ සමාගමේ ඇස්බැන්දුමට අහු නොවී අපෙන් ගෑස් ගන්න" කියා වහාම වෙනත් සමාගමක් විසින් ප්‍රචාරනය කරනවා. ඔය වගේ වෙලාවක් එන තුරු බලා ඉඳලා ඔබ මෙන් අතෘප්තියට පත් වෙන පාරිභෝගිකයින් ටික ආකර්ෂණය කර ගන්නවා.

      කොහොම වුනත්, ඇමරිකාවේ වුවත් කිසියම් නිශ්චිත ප්‍රදේශයක ජලය, විදුලිය, ගෑස්, අන්තර්ජාල පහසුකම්, කුණු එකතු කිරීම වගේ සේවාවන් සපයන සමාගම් කිහිපයක් පමණයි තියෙන්නේ. එය මේ කර්මාන්තයේ ස්වභාවය අනුව හා නියාමනය නිසා සිදු වන දෙයක්. ඒ නිසා, තරඟය පූර්ණ තරඟයක් නෙමෙයි. එහි වාසිය ගනිමින් පාරිභෝගිකයින්ට ඇස්බැන්දුම් පෙන්වන අවස්ථා තිබෙනවා. මෙවැනි එක් අවස්ථාවක් ගැන මා පෙර ලිපියක ලිවූ බව මතකයි. මෑතකදීත් එවැනිම තවත් ඇස්බැන්දුමක් සිදුවුනා. ඒ වගේ දේවල් ගැන සවිඥානකව සිටිය යුතුයි. ධනවාදය තුළ මේ වගේ දේවල් ස්වභාවිකව නිවැරදි වෙනවා කියා කියන එකෙන් අදහස් වන්නේ පාරිභෝගිකයින් විසින් "මෝඩයින් සේ බාර නොගෙන" ප්‍රතිචාර දැක්වීම තුළ වැරැද්ද නිවැරදි වෙනවා කියන එකයි. එසේ නැතුව කිසියම් අදිසි බලවේගයකින් නිවැරදි වෙන්නේ නැහැ.

      Delete
    4. ඔබේ මේ පැහැදිළි කිරීම සමග එතරම් ගැටීමක් නැති නිසා වෙනත් දෙයක් පැහැදිළි කිරීමට කැමතියි.

      "කොපමණ බාධා කළත් වෙළඳපොළ මූලධර්ම ක්‍රියාත්මක වෙනවා. මා ධනවාදය ස්වභාවිකයි කියන්නේ ඒ අර්ථයෙන්."

      ස්වභාවික දේ තිබෙනවා, නමුත් "ධනවාදය" ස්වභාවික යැයි ඔබ කියන්නේ නම් ගුරුත්වාකර්ෂණයත් ස්වභාවික විය යුතුයි. සැබවින්ම මේ දෙකම ස්වභාවික සංසිද්ධි (නිරීක්‍ෂණ) පැහැදිළි කිරීම සඳහා මිනිසුන් විසින් තැනූ ආකෘති. ඒවා ස්වභාවික නෑ. පරමාදර්ශී ධනවාදයක් ලෝකයේ කොහෙවත් නැති බව ඔබත් පිළිගන්නා කරුණක්. එය ස්වභාවික නොවන බවයි එහි අර්ථය.

      මාතෘකාවට අදාළ නූනත්, සිංහයා තණකොළ නොකන්නේ යැයි මා සිතන්නේ නෑ. ඌ සමහර විට තණකොළ කනවාත් විය හැකියි. නමුත් ඔහුගේ ප්‍රධාන ආහාරය නම් තණකොළ නොවන බවට අපට එකඟ විය හැකියි.

      බටහිර විද්‍යාව අදහන්නන් ගුරුත්වාකර්ෂණය "ඇති දෙයක්" ලෙස සළකනවා. ඔබ "ධනවාදය" ඇති දෙයක් ලෙස සළකනවා. මා සළකන්නේ මේ දෙකම දෙන ලද පරාමිතීන් නිශ්චිතව ඇති විට පද්ධතියක හැසිරීම පැහැදිළි කිරීම පිණිස මිනිසුන් විසින් තැනූ ආකෘති වශයෙන් පමණයි. මා කියන්නේ සමාගම එම ආකෘති පිළිබඳ දැනුම (සහ හුදී ජනයාගේ නොදැනුම) තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට භාවිතා කිරීම ගැනයි. ඔබට අනුව එය ස්වභාවික ක්‍රියාවලියක්. මට එය තුප්පහි වැඩක්.

      Delete
    5. //සැබවින්ම මේ දෙකම ස්වභාවික සංසිද්ධි (නිරීක්‍ෂණ) පැහැදිළි කිරීම සඳහා මිනිසුන් විසින් තැනූ ආකෘති. ඒවා ස්වභාවික නෑ.//

      ඔබ මේ කියන දෙය අදාළ වෙන්නේ මගේ ලිපි වල මම ඉදිරිපත් කරපු ආකෘති වලට. ඔබ කියනවා වගේම මේවා ආකෘති. ඒ වගේම ස්වභාවික නැහැ. මම මේ බ්ලොග් එක පටන් අරගෙන වසර ගණනක්ම මේ ආකෘති වලින් කියන දේවල්ම ආකෘති කිසිවක් නැතිව විස්තර කර තිබෙනවා. මෑතකදී ආකෘති ඉදිරිපත් කරන්න හේතුව වුනේ දිගින් දිගටම වැටුණු ප්‍රතිචාර කිහිපයක්. (එම ප්‍රතිචාර සම්බන්ධ විවේචනයක් නෙමෙයි- මා එම ප්‍රතිචාර බොහෝ සේ අගය කරනවා.). ඇතැම් අය ආකෘති ඇසුරෙන් වඩා පහසුවෙන් ලෝකය තේරුම් ගන්නවා. ඒ වගේම මාක්ස්වාදය විසින් ලෝකය පැහැදිලි කරන්නේත් ආකෘතියක් ඇසුරෙන්. ඒ නිසා මා විසින් මෑතකදී කළ සංසන්දනයන් සඳහා අනිවාර්යයෙන්ම ආකෘති අවශ්‍ය වෙනවා.

      //ඔබ "ධනවාදය" ඇති දෙයක් ලෙස සළකනවා.// මෙහිදී මා "ඇති දෙයක්" සේ සලකන්නේ ධනවාදය මගින් පැහැදිලි කරන ස්වභාවික ක්‍රියාකාරීත්වය මිසක් මේ ලිපි වල තිබෙන ආකෘති නෙමෙයි. ඒවා අනිවාර්යයෙන්ම ආකෘති. උදාහරණයක් ලෙස නැට්ටෙන් ගැලවෙන පොල් ගෙඩියක් බිමට වැටීම මිසක් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය නෙමෙයි. මම මාක්ස්වාදය ස්වභාවික නැහැ කියා කියන්නෙත් එම අර්ථයෙන්. මාක්ස්වාදය අනුව අනාගතයේ යම් දිනක නැට්ටෙන් ගැලවෙන පොල් බිම නොවැටී උඩ යනවා. එය වෙන්නේ පොල් ගහට බිලි පූජාවක් දීමෙන් පසුවයි. හැබැයි කවදාවත්ම එහෙම වෙලා නැහැ. කොයි තරම් බිලි පූජා දුන්නත් පොල් වැටෙන්නේ බිමට. මෙය නැවත නැවත සිදු වෙනවා. ඒ හැම විටකම පිළිතුර බිලි පූජාව හරියට සිදු වුනේ නැහැ කියන එකයි. ආකෘතිය අනුව හරියට බිලි පූජාව කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම පොල් බිම නොවැටී උඩ යා යුතුයි. හැබැයි ආකෘතිය ඇතුළේ මිසක් සැබෑ ලෝකයේ කවදාවත් එය සිදු වෙන්නේ නැහැ. එයින් වෙනස්ව ගුරුත්වාකර්ෂණය කියා දෙයක් තිබුණත් නැතත් එයින් පැහැදිලි කරන ආකාරයට පොල් වැටෙනවා. පරිපූර්ණ ලෙසම ආකෘතියට අනුව නොවූවත් සෑහෙන තරමේ ගැලපීමක් ඇතිව. ඔබේ ධනවාදය පිළිබඳ විවේචනයේ පදනම වන්නේ එය තවත් ආකෘතියක් පමණයි කියන එක. ඒ ප්‍රකාශය සමඟ මම මුළුමනින්ම එකඟයි. නමුත් ඒ හේතුව නිසා මාක්ස්වාදය හා ධනවාදය යන දෙකම ඔබ කියන ආකාරයේ එක සමාන ඇදහීම් වෙන්නේ නැහැ. මාක්ස්වාදය ආකෘතියක් ලෙසම අසමත් ආකෘතියක්.

      //මා කියන්නේ සමාගම එම ආකෘති පිළිබඳ දැනුම (සහ හුදී ජනයාගේ නොදැනුම) තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට භාවිතා කිරීම ගැනයි. ඔබට අනුව එය ස්වභාවික ක්‍රියාවලියක්. මට එය තුප්පහි වැඩක්.//

      සමාගම් කියා පවතින දෙයක් නැහැ. සමාගමක් කියන්නේ වියුක්ත දෙයක්. ආකෘති පිළිබඳ දැනුම (සහ ඔබට අනුව හුදී ජනයාගේ නොදැනුම) තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට භාවිතා කරන්නේ සමාගම් පාලනය කරන මිනිස්සු. මේ ආකෘති ගැන කිසිවක් නොදන්නා ගමේ සිල්ලර කඩේ මුදලාලිත් තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඔබ ඇතුළු පාරිභෝගිකයන් විසින්ද ඒ දෙයම කරනවා. ඔබ ගෑස් සිලින්ඩරය මාරු නොකර ඔබේ ලිපියේ විස්තර කර තිබෙන ඉතිරි පියවර ගන්නේ ඒ නිසා. ආකෘති ගැන දැන නොසිටියත් හැමෝම වගේ තමන්ට සිදුවන පාඩු අඩු කර ගැනීම සඳහා සහ වාසි වැඩි කර ගැනීම සඳහා මොනවා හෝ කළ හැකි දේවල් කරනවා. ඔබ කියනවා වගේම ආකෘති පිළිබඳ දැනුම තිබෙන කෙනෙකුට මෙහිදී සාපේක්ෂ වාසියක් තිබෙනවා. ඇමරිකාව හා ලංකාව වෙනස් වෙන එක තැනක් මෙතැන. මේ ඔබ කියන ආකෘති පිළිබඳ දැනුම පොදු දැනුමක් වූ විට එයින් කාටවත් විශේෂ වාසියක් නැහැ. එවැනි පරතරයක් ඇති විට සමාගමකට (එහි කළමනාකරුවන්ට) ඔබ කියන ආකාරයේ "තුප්පහි වැඩ" කිරීමේ යම් අවකාශයක් හැදෙනවා. මෙහිදී ඔබට සමාගම සහ ඔබ අතර තිබෙන දැනුම් පරතරය නැති කරගනු මිස එම පරතරය තිබියදී සමාගම විසින් "තුප්පහි වැඩ" කරන එක නතර කරන්න පුළුවන්කමක් නැහැ. එය ඔබෙන් බාහිරව සිදුවන දෙයක්. රටවල් අතර ගනුදෙනු වලදී වෙන්නෙත් ඔය වැඩේමයි. අර රාහුල හාමුදුරුවෝ වටාපොත අල්ලා පිළිමයක් බිම වට්ටපු කතාව ඔබ අසා ඇතිනේ. දැනුම නැති අය හමුවේ පිළිම අහසේ පා කර පෙන්විය හැකියි. මේ විස්තරය ඔස්සේ හිතුවොත් මම මේ තරම් කැප වී, මගේ පෞද්ගලික කාලය වැය කර, සිංහලෙන් ධනවාදය ගැන ලියන්නේ ඇයි කියන කරුණ ඔබට තේරුම් යා යුතුයි.

      Delete
    6. ඔබ සඳහන් කළ "තුප්පහි" වැඩේ සම්බන්ධව මා මෙහි කරන පැහැදිලි කිරීමත්, මුලින් කළ පැහැදිලි කිරීමත් එකම නොවන බව ඔබට පෙනෙනු ඇති. දෙවන ප්‍රශ්නය (දැනුම් පරතරය නිසා ඇති වන අසමමිතිය) ධනවාදී පරමාදර්ශයේම ප්‍රශ්නයක්. එය සමාජවාදයට සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙත් පළමු ප්‍රශ්නය ධනවාදී පරමාදර්ශයෙන් ඉවත් වීම පිළිබඳ ප්‍රශ්නයක්. කිසියම් සංසිද්ධියකට එකම හේතුවක් නොසොයන ඔබට මෙවැනි පැහැදිලි කිරීම් දෙකක් තිබීම ප්‍රශ්නයක් කියා මම හිතන්නේ නැහැ. මෙය සිදු වන්නේ ඔය හේතු දෙක ඇතුළු තවත් හේතු නිසා. ඔබ හිතපු ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි නැති බවත්, ඔබේ ප්‍රකාශය සමඟ මම *මුළුමනින්ම* එකඟ නොවන බවත් (යම් තරමකින් එකඟ වන බවත්) මුලින්ම කිවුවේ මේ හේතුව නිසා. මෙහි තිබෙන්නේ තනිකරම ධනවාදයේ ප්‍රශ්නයක් නොවුවත් එවැනි සංරචකයක්ද මෙහි තිබෙනවා.

      Delete
    7. පැහැදිලි කිරීම් දෙකක් තිබීම ප්‍රශ්නයක් නොවෙයි. එයින් පෙන්වන්නේ ඔබ නොයෙක් මාන ඔස්සේ ප්‍රශ්නය විග්‍රහ කර ගැනීමට දක්වන පරිචයයි. එය මා මනුෂ්‍යයෙකුගේ ඉතාම අගය කරන ගුණාංගයක්.

      Delete
    8. "මේ ආකෘති ගැන කිසිවක් නොදන්නා ගමේ සිල්ලර කඩේ මුදලාලිත් තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඔබ ඇතුළු පාරිභෝගිකයන් විසින්ද ඒ දෙයම කරනවා. ඔබ ගෑස් සිලින්ඩරය මාරු නොකර ඔබේ ලිපියේ විස්තර කර තිබෙන ඉතිරි පියවර ගන්නේ ඒ නිසා. ආකෘති ගැන දැන නොසිටියත් හැමෝම වගේ තමන්ට සිදුවන පාඩු අඩු කර ගැනීම සඳහා සහ වාසි වැඩි කර ගැනීම සඳහා මොනවා හෝ කළ හැකි දේවල් කරනවා"

      මා සළකන්නේ ලිට්‍රෝ සමාගම සහ අප (පාරිභෝගිකයන්) අතර අලිඛිත එකඟතාවයක් ඇති බවයි.

      ඊට අනුව අතීතයේ එක්තරා දිනෙක කිලෝ ග්‍රෑම් 12.5 වායුව පිරවිය හැකි ටැංකියක් ඒ සමාගමෙන් මිලදී ගැනීමටත්, එහි වායු අවසන් වූ පසු ඔවුන් වෙතින්ම එය පුරවා ගැනීමට (නොහොත් වායු පිරවූ ඒ හා සමාන ටැංකියක් හුවමාරු කර ගැනීමටත්) මා එකඟ වෙයි. මිල අඩුවට දෙද්දීත්, ලිට්‍රෝ ටැංකිය වෙනුවට ලාෆ්ස් ටැංකි නිකුත් කරද්දීත් මා ඒ කරා නොයන්නේ ඒ එකඟතාවය මගේ පාර්ශවයෙන් ආරක්‍ෂා කර ගත යුතු බැවින් මිස පාඩු අඩු කර ගැනීම සඳහා හෝ වාසි වැඩි කර ගැනීම සඳහා හෝ නොවෙයි. ඒ සඳහා නම් කළ යුතුව තිබුණේ එහි අනික් පැත්තයි.

      ඒ අයුරින්ම මා සළකන්නේ ලිට්‍රෝ සමාගමේ අන්තයෙන් ඒ ගිවිසුම ප්‍රකාරව අපගේ ටැංකි වලට වායුව 12.5 kg පුරවා දීමේ අතහැරිය නොහැකි වගකීමක් ඔවුන්ට ඇති බවයි. එසේ කිරීම වෙනුවට 12.5 ටැංකි සාමාන්‍ය වෙළෙඳ පොළෙන් තුරන් කොට ඒ වෙනුවට 18 L ලෙස සඳහන් කර 9 kg ටැංකියක්, ඊට 12.5 kg දක්වා (සමහර විට ඊට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා) පිරවිය හැකිව තිබියදී අප මත පැටවීම සාපරාධි විශ්වාසය කඩ කිරීමක් බවයි.

      මා තුප්පහි ක්‍රියාවක් යැයි හඳුන්වන්නේ එයයි; කවුරුන් හෝ නඩු දැමිය යුතු යැයි කියන්නේ ඊට විරුද්ධවයි.

      Delete
    9. මේ දවස් වල වෙනත් වැඩ කිහිපයක් වෙනුවෙන් කාලය යොදවන්න වී තිබෙන නිසා බ්ලොග් එක පැත්තේ එන්න කාලය හොයා ගන්න අසීරුයි. පිළිතුරු ප්‍රමාදය ගැන සමාවෙන්න.

      ඔබ කියන දෙය මට දැන් බොහෝ දුරට පැහැදිලියි. ඇත්තටම ඔබ දැන් ප්‍රවේශ වී තිබෙන්නේ ආර්ථික විද්‍යාවේ කතා කරන ඉතා වැදගත් මාතෘකාවකට. ඒ වගේම සාපේක්ෂව අලුත් කොටසකට. අලුත් කියා කිවුවේ අවුරුදු පණහකට පමණ වඩා පැරණි නැති වැනි අර්ථයකින්.

      සාරාංශයක් ලෙස ගත්තොත් ඔබ කියන්නේ ඔබ සහ අනෙකා අතර අලිඛිත එකඟතාවයක් තිබුණා, අනෙක් පාර්ශ්වය විසින් එය ඒකපාර්ශ්වික ලෙස කැඩුවා කියන එකයි. සේතුවා විසින් හැමදාම තමන්ගේ කරුංකා මරික්කාර් මුදලාලිටම දීම සහ ගාණ ටිකක් වැඩියෙන් ගෙවන්න ඉදිරිපත් වුනත් අලුතෙන් එන වෙළෙන්දෙකුට නොදීම මීට සමාන උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. සිංහල චිත්‍රපට, ටෙලිනාට්‍ය, නවකථා ආදියේ ඔය වගේ අවස්ථා නොඅඩුව තිබෙනවා වගේම මම පෞද්ගලිකවත් ඔය වගේ අවස්ථා ඕනෑ තරම් දැකලා තිබෙනවා. ඔබත් දැකලා ඇති. ඔබ කියන කතාව මේ කතාවේම අලුත් වර්ෂන් එකක්.

      මේ වගේ අලිඛිත එකඟතාවයක් මරික්කාර් මුදලාලිට වාසි බව බැලූ බැල්මටම පේනවා. ඔහුගේ පැත්තෙන් මෙවැනි අලිඛිත එකඟතාවයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවයත් පැහැදිලියි. දැන් මෙහි ප්‍රශ්නය තිබෙන්නේ මේ අලිඛිත එකඟතාවයට සේතුවා විසින් කැමති වන්නේ ඇයි කියන එකයි. සේතුවා එසේ එකඟ වනවානම් එසේ කරන්නේ ඔහුට කෙටිකාලීන අවාසියක් සිදු වුනත් දිගුකාලීනව වාසියක් සිදු වෙන නිසයි. අඩු වශයෙන් එවැනි විශ්වාසයක් තිබෙන නිසයි. තවත් උදාහරණයක් ලෙස රත්නපුරේ මැණික් මුදලාලිලාගේ භූමිකාව ගන්න පුළුවන්. පතල්කරුවන් බොහෝ විට ගලක් අරන් යන්නේ එකම මුදලාලි කෙනෙක් ළඟට. ඔහු ගල නොගත්තත් පතල්කරුට ගල ආපසු දී කීයක් හෝ මුදලක් අත මිට මොලවනවා. එහි අරමුණ ඔබ කියන අලිඛිත එකඟතාවය දිගටම නඩත්තු කිරීමයි.

      වත්මන් ලෝකයේ බොහෝ සමාගම් විසින් මේ ආකාරයේ අලිඛිත එකඟතා ඇති කරගෙන පවත්වා ගැනීම සඳහා බොහෝ දේ කරනවා. පොදුවේ ගත් විට ලැදියා වැඩසටහන් (loyalty programs) වල ඉලක්කය මෙවැනි අලිඛිත එකඟතා ඇති කරගෙන පවත්වා ගෙන යාමයි. ක්‍රෙඩිට් කාඩ්, ගුවන් සේවා සමාගම් ආදිය උදාහරණයි. ඔබ ලිට්‍රෝ සමාගම සමඟ ලැදියාවක් ඇති කර ගන්නේ මේ කිසිවක් නැතුව. සාමාන්‍ය මූලධර්මයක් ලෙස කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඔබේ "ඇල්ම" වැඩි වූ තරමට ඔබට ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න වෙනවා. ලැදියාවන් නිසා වෙන්නේත් ඒකයි. ඒ වගේම මේ වගේ අලිඛිත එකඟතා වල එල්බ සිටි විට අනෙක් පාර්ශ්වය විසින් එකඟතාවය කැඩීමේ අවදානමට ඔබට මුහුණ දෙන්න වෙනවා. දැන් ඔබට සිදු වුනා වගේ.

      හැබැයි ඔබ මෙහිදී මෝඩයෙක් ලෙස හැසිරී තිබෙනවා කියා හෝ ඔබේ වැරැද්දෙන් පාඩුවක් කරගෙන තිබෙනවා කියා ධනවාදය විසින් යෝජනා කරන්නේ නැහැ. ධනවාදය විසින් එසේ යෝජනා කරනවානම් එයින් අදහස් වන්නේ ඔබ වෙනස් විය යුතු බව ධනවාදය විසින් යෝජනා කරනවා කියන එකයි. මිනිස්සු වෙනස් විය යුතු බව යෝජනා කිරීම ධනවාදී ප්‍රවේශය නෙමෙයි. ධනවාදය විසින් කවර හෝ පවතින මිනිස් චර්යාවන් ස්වභාවිකත්වය සේ භාර ගන්නවා. දැනට තිබෙන ආකෘතියක් සමඟ පවතින මිනිස් චර්යාවන් ගැලපෙන්නේ නැත්නම් ආකෘතිය වෙනස් කරගන්නවා මිස ආකෘතියට ගැලපෙන සේ මිනිස්සු වෙනස් කරන්න යන්නේ නැහැ.

      Delete
    10. දැන් මේ අවස්ථාවේදී ලිට්‍රෝ සමාගම විසින් "සාපරාධි විශ්වාසය කඩ කිරීමක්" හෝ "තුප්පහි වැඩක්" කරන්නේ සමාජවාදයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. (එවැනි කොටසක් තිබෙන බව මම කලින් ලිවුවා. දැන් මම කතා කරන්නේ ඒ කොටස ගැන නෙමෙයි). මෙතැනදී අපට පැහැදිලිව පෙනෙනවා ප්‍රායෝගික තත්ත්වය හා ධනවාදී පරමාදර්ශය අතර පරතරයක් තිබෙන බව. ලැදියා ප්‍රශ්නය ස්වභාවික සේ සැලකුවොත්, ධනවාදී පරමාදර්ශය වෙතට ගමන් කළ පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. තව තරඟකාරී සමාගම් සීයක් තිබුණත් ඔබ ඉන්නේ ඔබේ සමාගම සමඟමනම් ඔබව ඕනෑම මොහොතක රැවටෙන්න පුළුවන්. පුද්ගල නිදහස ප්‍රමුඛ සේ සලකනවානම් ඔබේ හැසිරීම් වෙනස් කරන්න කියා බලපෑමක් කරන්නත් බැහැ. එසේ නොකර ධනවාදී ක්‍රමය තුළ ඔබව ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

      මෙහිදී රැවුලත් කැඳත් බේරාගත හැකි පරිදි ධනවාදය ක්‍රියාත්මක වන සම්මත වෙනස් කරන්න වෙනවා. සරලම විසඳුම අලිඛිත ගිවිසුම ලිඛිත ගිවිසුමක් බවට පරිවර්තනය කිරීමයි. ඇමරිකාවේ ඉතාම පොඩි ගනුදෙනු හා අදාළව පවා මෙවැනි ලිඛිත ගිවිසුම් තිබෙනවා. ඒ නිසා ඒකපාර්ශ්වික "තුප්පහි වැඩ" කළ හැක්කේ ඉතා අඩුවෙන්. එක පැත්තකින් වැරැද්දක් වූ වහාම ඔබ යෝජනා කරන පරිදිම කවුරු හෝ විසින් නඩු දමනවා. එම නඩු දැමීම සිදු වන්නේ ලංකාවේ මෙන් පාරිභෝගික ආරක්ෂණ පණත වැනි පොදු නීතියක් යටතේ නොව නිශ්චිත ද්විපාර්ශ්වික ගිවිසුමක් කඩකිරීම මත නිසා හරි වැරැද්ද බොහෝ විට පැහැදිලියි. ඇමරිකාව අද තිබෙන තැනට පරිණාමය වෙන්න ඇත්තේ ලංකාව දැන් සිටින තැන ඉඳලා. ඒ දවස් වල ඇමරිකාවෙත් ඔය වගේ දේවල් වෙන්න ඇති. (තවමත් සිදු නොවෙනවා නෙමෙයි.)

      කෙටියෙන් කිවුවොත් ධනවාදය තුළ, පරමාදර්ශී තත්ත්වයන් යටතේ වුවත්, මේ වගේ සීමාවන් තිබෙනවා. නමුත් එවැනි සීමාවන් තිබීම දරුවා සමඟ බේසම වීසි කරන්න තරම් හේතුවක් නෙමෙයි. මේ වගේ ප්‍රශ්න වලට ධනවාදී රාමුව ඇතුළේම විසඳුම් සෙවිය හැකියි. ආර්ථික විද්‍යඥයින්ගේ රස්සාව එසේ කරන එකයි.

      Delete
    11. ඉකොනොමට්ටා මහතාණෙනි, මෙතැනින් එහාට නම් ඔබට දීමට පිළිතුරක් නෑ. ධනවාදී පැත්තෙන් දිය යුතු සම්පූර්ණ පිළිතුර අඩු නැතුවම ඔබ විසින් දී තිබෙන බව මගේ අදහසයි.

      මා රාජකාරි වශයෙන් සේවා ගිවිසුම් සම්බන්ධයෙන් ඉතා උනන්දුයි (මා නීතිඥයෙක් නොවෙයි... -ඉතිරිය බලධාරියා විසින් කපා හරින ලදී-

      සමහර විට මේ නිශ්චිත අවස්ථාවේ මාගේ සිතුවිළි පරම්පරාව සහ මා ඒ අයුරින් ක්‍රියා කිරීමට සහ හදිසියේ ලිපියක් (ඇත්ත වශයෙන් ගතහොත් කිහිපයක්) ලිවීමටත් ඒ පසුබිම හේතුවක් වූවා විය හැකියි. ප්‍රස්තුත ලිපිය ලියැවෙන්නේ මැයි 29, ඊට පෙර ලිපිය පල වී තිබෙන්නේ ජනවාරි 8.

      ඔබේ පිළිතුර ධනවාදී පරමාදර්ශයට අනුව නිවැරදිම පිළිතුර වුවත් ලංකාවේ එය ක්‍රියාත්මක කරන්නට ගියහොත් මතු වන්නේ ධනවාදයෙන් පිට ගැටළු. ඔරුමිත්තනාඩුවේ සමාජ පරිණාමය බාහිරින් පැමිණ බලෙන් පැටෙව්වොත් මිස මෙහි එළෙසින්ම සිදු වීමේ ඉඩක් මා දකින්නේ නෑ.

      Delete
    12. අපේ බොහෝ විවේචනයන්ට පිළිතුරු දුන්නාට ස්තූතියි.

      Delete
    13. මේකට අදාල ඔබේ ලිපියේ ලින්ක් එක මොකක්ද , එකොන් ගේ පිලිතුරට මමත් කැමතියි (ලාෆ් ගෑස් ගැන කතවක් බව තේරුනේ.)

      Delete
  13. එකොනමැට්ටාහු ගේ මේ ලියමන අප මහත්සේ අගයමු. රුසියානු සහ ජර්මානු බස මෙන්ම සිංහල බසද කියන විට ලිවිය හැකි ඒවාය. ඉංග්‍රීසිය එසේ නොවේ. සමහර විට මට මේ භාෂා හසුරුවීම් වල වෙනස මහා වදයකි. මේ ලියන පද ගැන මගේ දැනුමද ඉතා අඩුය. අපට ලොවටම එක බසක් කවදා ඒවිද?

    ReplyDelete
    Replies
    1. //අපට ලොවටම එක බසක් කවදා ඒවිද?//

      ලොවටම එක බසක් එන එකනම් නුදුරු දිනක වෙයි කියා හිතන්න අමාරුයි. නමුත් ලොවටම එක බසක් තිබීමෙන් අපේක්ෂා කරන බොහෝ දේ ඉතා ඉක්මණින් ඉටු වෙයි. දැනටත් අපට අන්තර්ජාලයේ ඕනෑම භාෂාවකින් ලියා ඇති දෙයක් ක්ෂණිකව පර්වර්තනය කරගෙන කියවිය හැකියි. මේ මෘදුකාංග වල අඩුපාඩු තිබුණත් එම අඩුපාඩුද ඉතා වේගයෙන් ඉවත් වෙනවා. ඒ වගේම චීනය වගේ රටකට යන එම රටේ භාෂාව නොදන්නා කෙනෙක් දැනට වුවත් ජංගම දුරකථනයේ උදවුවෙන් "කතා කරනවා". චීන, රුසියන් වැනි ඕනෑම බසකින් කෙනෙක් කතා කරද්දී එය එසැණින් පරිවර්තනය වී සිංහලෙන් ඇහෙනවානම් සහ එයම අනෙක් පැත්තට වෙනවානම් භාෂාව තවදුරටත් සන්නිවේදයේදී බාධාවක් වෙන්නේ නැහැ. මේ වැඩේට ලොකු තාක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ ජංගම දුරකථනයේ ඇප් එකකට ඔබ ඉදිරියේ සිටින කෙනා කියන දේ "අසා" එය එසැණින් පරිවර්තනය කර කොහොමටත් කණේ ගසාගෙන ඉන්න ඔබේ කණබනුවට (earphone) යොමු කළ හැකියි. තාක්ෂනය නිසා මිනිස්සු මිනිසුන් නොවන ජීවීන් ගැන හිතන ආකාරයේද විශාල වෙනසක් විය හැකියි. සතුන් සමඟ "කතා කළ හැකි" මූලික මට්ටමේ ඇප් දැනටමත් තිබෙනවා. සතුන්ගේ හැඟීම් වඩා හොඳින් තේරුම් ගත හැකි වූ විට මිනිස්සු අනෙකුත් සතුන් ගැන දැන් විදිහටම හිතන එකක් නැහැ. මෙය බටහිර රටවල අය විවිධ "නොදියුණු ගෝත්‍රිකයින්" මුලදී මිනිසුන් සේ නොසැලකීම හා පසුව එසේ සැලකීම වැනි වෙනසක් විය හැකියි. වඩා සංකීර්ණ ප්‍රශ්නය වන්නේ අපට "ඇහෙන දෙය" සහ අප "අහන දෙය" එකක්ම නොවීමයි. එකම භාෂාවක් කතා කරන අය අතර වුවත් මේ ප්‍රශ්නය තිබෙනවා. මවුබස වෙනස් වූ විට තත්ත්වය ගොඩක් සංකීර්ණයි. අප හිතන විදිහ මවුබස අනුව වෙනස් වෙනවා. ඒ වගේම තාක්ෂනය විසින් සන්නිවේදන ප්‍රශ්නය විසඳූ විට මවුබස අතහැර වෙනත් බසක් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයද හීන වෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේ ලොවටම එක බසක් එන එක වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ දෙය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැනට තිබෙන භාෂාවනුත් අභිරුචිකරණය වූ පවුලේ භාෂා (customized family languages) බවට පරිණාමය වීම. ඒ වගේම ලොවම එකම බසක් කතා කරන තත්ත්වයක් යටතේ මිනිස්සු හිතන විදිහ ඒකාකෘතික වී සාමූහිකත්වය වර්ධනය විය හැකි වුවත් ඒ හේතුව නිසාම මිනිස් නිර්මාණශීලිත්වය අඩු වෙන්නත් පුළුවන්.

      Delete
    2. `ලොවටම එක බසක්` යනු අධිපතිවාදී අදහසක්.

      නමුත් විශේෂිත අවස්ථාවල එවැන්නක් නරකම අදහසක් නොවෙයි, උදාහරණ ලෙස (බිහිරි අය සඳහා වන) සඥා භාෂාව, බ්‍රේල් හෝඩිය, මෝස් කේත ක්‍රමය දැක්විය හැකියි.

      නමුත් සාමාන්‍ය තත්වය යටතේ 'අප හිතන විදිහ මවුබස අනුව වෙනස් වෙනවා.' යන්න ඉතාම හොඳ ගැඹුරු පිළිතුරක්. එක ලෝක භාෂාවක් යටතේ "මිනිස් නිර්මාණශීලිත්වය අඩු වෙන්නත් පුළුවන්" පමණක් නොව සියවස් ගණනක් තුළ එකිනෙකින් ස්වාධීනව ගොඩ නැගුණු මහත් දැනුම් සම්භාරයක් දශක කිහිපයක් තුල නැති භංගස්ථාන වී යනු ඇත.

      ඒ නිසා මා නම් සිතන්නේ මෙය උගතුන්ට පහළ වන නොයෙක් අදහස් අතර ගොබ්බම ගොබ්බ අදහසක් වශයෙන්.

      Delete
    3. මම ඕක ලිව්වේ ටිකක් sarcastic විධිහට. මට භාෂා තුනක් හොඳට පුළුවන්. හතරවන භාෂාව තරමක් දුරට. ඕවට ග්‍රැම හිටපු ගමන් ටැපලෙනවා. ඔය ඉකොන් කියන ඇප් මම සාමන්‍යයෙන් භාවිත කරන දේ. විශේෂයෙන් ජර්මනියේදී in law හෑ නෑදෑයන් සමග කතා කරද්දී. ඒ වගේමනේ සමහර වෙලාවට ගූගල් නුත් භාවිතා කරන්නේ, පොත් කියවන කොට. නමුත් ගූගල් එපමනම් හොඳ නැහැ තවම. . තනි භාෂාවක් කියා කීවේ එස්පරාන්ටෝ වගේ එකක් නොව , අපි හැමෝටම සීමා මායිම් නැතිව එකිනෙකා වටහා ගන්න පුළුවන් දවසක් ගැන

      Delete
    4. ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව ඉගෙන ගත් නිසා නලින්ද සිල්වා කියන ඒවා තේරෙනවා කියන එකත් එක්තරා විධිහක ගොබබ් අදහසක්. හැබැයි නලින් ගේ දරුවනුත් බටහිර ඉන් නිසා ඒක ගොබ්බ අදහසක්ම නෙමෙයි

      Delete
    5. "ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව ඉගෙන ගත් නිසා නලින්ද සිල්වා කියන ඒවා තේරෙනවා" යැයි කවුරුන් විසින් හෝ කියා ඇත්නම් එය "උගතුන්ට පහළ වන නොයෙක් අදහස් අතර ගොබ්බම ගොබ්බ අදහසක්" බව එකඟ විය හැකියි. ආචාර්‍ය උපාධි ගත් අය අතර පවා ඔහු කියන දේ නොතේරෙන අය බොහෝමයි. සමහර අවස්ථා වල භාෂා තුන හතරක් දන්නා අයත් ඔහු සරල සිංහලෙන් කියන දේ තේරුම් ගැනීමට නොහැකිව ඇඹරෙනවා.

      එසේ වුවත්, යම් කෙනෙක් "මා ඔහුගේ ලිපි සහ ඔහුට පිළිතුරු ලියන අයගේද ලිපි දශක තුනකට වඩා ඈත කළෙක සිට පරිශීලනය කර ඇති බැවිනුත් ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරා ඇති බැවිනුත් ඔහු කියන දේ යම් තරමකින් තේරෙයි." යි කියා ඇති විට දෙවැන්නෙක් එයින් "ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව ඉගෙන ගත් නිසා නලින්ද සිල්වා කියන ඒවා තේරෙනවා"යි අදහසක් ගනී නම් ... ඒ ගැන අදහසක් පල නොකරමි.

      Delete
    6. අජිත් සහ කතා කතු මිත්‍රවරුනි,

      අගනා වටිනා සාකච්ඡාවක්, නමුත් මෙහිදී කේන්ති නොගෙන සමගියෙන් හා සාමයෙන් මේ ගැන කතා කරනවා නම් හොඳ බවයි මගේ හැඟීම.

      කෙසේ නමුත් මේ වනවිට ඉතාමත් යල් පැන ගිය තාක්ෂණයෙන් සහ යටිතල පහසුකම් නිසා ආර්ථිකයට ඇතිවී තිබෙන දැඩි පීඩනය අවම කර ගැනීමට දීප ව්‍යාප්ත යටිතල පහසුකම් නවෝදයක් සඳහා වූ බෛඩන් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයි ද දේශපාලන වේදිකාවල පොර ටෝක්ස් දුන්නා වගේ?

      මේ ගැන කෙටියෙන් කියන මේ වීඩියෝ එකත් බලන්න;

      https://youtu.be/I034BVDxvzQ

      මේ බයියන්ගේ සැලසුම් සාර්ථක වෙයිද කියලා දැඩි අවදානමක් තියෙනවා, ඒ වගේම තමයි එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ අපනයන වලට බලපෑමක් තියෙනවා මොකද අපේ ප්‍රධානතම අපනයන වෙළඳ පොළ නිසා.

      ඒ වගේම චීනයේ මේ දවස් වල වේගයෙන් ගොඩ නගමින් යන ක්ෂොංගැං (Xiongan) නම් වූ අලුත් නගරය ඉදිරියේ චීනයේ පරිපාලන අගනුවර බවත් සමස්ත ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් සෑදූ අතිවිශාලතම සහ වඩාත්ම ඇඩ්වාන්ස් අධිතාක්ෂණික සහ පරිසර හිතකාමී නගරයක් බව පැවසේ. මේක නිව්යෝක් වගේ කිහිප ගුණයක් විශාල දැවැන්ත නගරයක් ලෙස ඇත්තටම සාර්ථක වේවිද? මේක ලංකාවේ පෝට් සිටි සහ හම්බන්තොට කර්මාන්ත පුරය වගේ ඒවා ඉක්මනට පටන් ගැනීමට නියමිත ව්‍යාපෘති සමග කෙසේ පෑහෙයි ද?

      Delete
    7. කේන්ති ගෙන නැහැ ඇනෝ , මම සාමාන්‍යයෙන් මට ලැබෙන පිළිතුරට සාපේක්ෂව පිළිතරු සපයන්නෙක් විතරයි. බයියන් සෑහෙන දුරට ඇනගෙන තියෙන නිසා ඒ භූමිකාවත් අපටම කරන්න වෙන සයිස් එකක් තියෙන්නේ හේ හේ

      Delete
    8. ඒ කියන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ පාලනයත් දැන් එංගලන්තයේ සිට කරන බවද? බයිඩන් ගොන් බයිය නම් ළඟදිම වලකජ්ජ ගහයි කියලා පේනවා අර කමලා නැන්දාත් එංගලන්තයේ රූකඩයක් ද? එතකොට ලංකාවේ නන්දසේනගේ මල්ලී බැසිලා එම් සී සී ඩීල් දාන්නෙ එංගලන්තේ එක්කද?

      අජිත් ඔය උඩ ඇනෝ දාල තියෙන වීඩියෝ එක බලල තියෙනවා ද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබත් ඉංජිනේරු ක්ෂේත්‍රයේ කෙනෙක් විදිහට?

      ඇමරිකානු එක්සත් ජනපදයේ තරුණ ව්‍යාවසායකයන් බොහෝ දෙනෙක් ඒ රටේ යල්පැන ගිය infrastructure ඉදිකිරීම් ගැන වගේම ඇමරිකානු තෙල් වෙළඳ මාෆියාව විසින් සැලසුම් සහගතව සියවසකට ආසන්න කාලයක් තිස්සේ ඇමරිකන් එක්සත් ජනපදයේ පොදු ප්‍රවාහන සේවා වල සංවර්ධනය අඩාල කර තිබෙනවා ඔවුන්ගේ පෞද්ගලික ලාභ සහ වාසි වෙනුවෙන්. මේකට ඇමරිකානු වාහන නිෂ්පාදකයන් ද සහය දක්වා තිබේ. කෙසේ වෙතත් ඇමරිකානු පාලකයන්ගේ මෙවැනි ඵලදායී නැති මුග්ධ තීරණ රැසක් නිසා අතිශය අකාර්යක්ෂමතාවය, ඵලදායිතාව පහළ යාම නිසා ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථික දේශපාලනික බලය පරදා කපටි චීනය ලෝක ආර්ථිකය අල්ලේ නටවන තත්ත්වයට එමින් තිබේ. එංගලන්තය ද මේ ආකාරයෙන් අකාර්යක්ෂම සහ ඵලදායී නැති (සරලව non effective and non efficient) තීන්දු තීරණ ගෙන තිබෙන බව මට හිතෙනවා. මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?

      Delete
  14. “නා යෙව්කේ සුන්හල“ කියන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Jagath PathiranaJune 16, 2021 at 7:14 PM

      මම 8 වසරේ ඉන්නකොටයි රුසියන් හෝඩිය ඉගෙන ගත්තේ. ඔය වාක්‍යයෙන් තමයි පටන් ගත්තේ. හැම සෝවියට් පොතකම මුල් පිටුවක ඕක තිබුනා. වැල් අකුරු වලින් තිබුනේ. සුන්හල කියලා කියෙව්වට සිංහල වෙන්න ඇති.
      නා කියන්නේ the
      අනිත් වචනේ නම් හරියට උච්චාරනය වුනාද මන්ද

      Delete
    3. නා කියන්නේ ඉංග්‍රීසියෙන් to කියන එක, නා සවෝද් - කම්හලට යෙව්කේ කියල වචනයක් දන්නේ නැහැ. අකුරු ටික ලියන පුලුවන්ද ещё කියන වචනය නම් යෙට් කියන තේරුම - තවම,තිබුනේ මේ ටික නම් на еще синхала තව සිංහල ලෙසන් එකකට වගේ තේරුමක් තමා එන්නේ

      Delete
    4. "на языке сингалa " meaning 'in sinhala language'

      Delete
    5. ඌඅබ හරි මම දන්නේ නැහැ මොකද්ද තිබ්බේ කියල. මම угадал කළා විතරයි.ඔබ හරි. නා යෙව්කේ කියල ජගත් කියල තියෙන්නේ ඒකටනේ හා හා

      Delete
  15. ඉකෝන් ඔබ ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී ලෙස බිඳ වැටී මේ වනවිට පවතින බරපතල ලෙස දැඩි අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින බව දන්නවා නේද? මේ ගැන කෙටි අදහසක් පහත දැක්වෙන ඉතා කෙටි සාකච්ඡාවක තිබෙනවා. මේක ගැන හිතන්නේ මොකද? පුළුවන් නම් පොඩි කාලයක් වැය කොට මෙම කෙටි සාකච්ඡාවම බලලා මේක ගැන පෝස්ට් එකක් දාන්න. කබරරාල කබ්බා කියන්නේ ලෝක හොරෙක් උනත් මම හිතන්නේ මිනිහා මෙතන කෙළින් කතා කරනවා වගේ;

    https://fb.watch/6aDbrwlgg6/

    ඒ වගේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසන ආකාරයට ලංකාවේ ආර්ථිකය කඩා බිඳ වැටී ජනපතිවරයා මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මට මේක කරන්න බෑ කියලා දමල ගහල නැගිටලා යාවි ද ඇත්තටම? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? ඒ වගේම බැසිල් රාජපක්ෂ ලංකාවේ වටිනා දේපල එම් සී සී ගිවිසුමේ පරිදි ඇමරිකානු එක්සත් ජනපදයට පාවා දී ඇමරිකන් ආධාර විශාල මුදලක් ගෙන ඒමට මැදිහත් වී ඇති බවට පවතින කටකතා ඇත්ත ද? ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් මේ වගේ කතාවක් පවසන්නේ මේක ඇත්ත වන්නට පුළුවන් මේ අයගේ ඉතිහාසය අනුව.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: