වෙබ් ලිපිනය:

Tuesday, June 1, 2021

පිස්සු බල්ලන් පාලනය කිරීම


ලංකාවේ කාලයක් ක්‍රියාත්මක වූ බලු වෑන් ක්‍රමය ගැන කලින් ලිපියේ ලිවුවනේ. ඔය විදිහට බලු වෑන් වලින් උස්සලා හරි වෙනත් ක්‍රමයකට හරි බල්ලො මරන එක 2005දී නැවතිලා තියෙනවා. ඊට හේතුව මේ විදිහට බල්ලො මැරුවයි කියලා ලංකාවේ බලු ගහණය අඩු නොවන බව පැහැදිලි වීමයි. මෙය සංස්කෘතික කාරණයක්. ලෝකයේ වෙනත් ඇතැම් රටවල මේ විදිහට බල්ලො මරන එක සාර්ථක වෙලා තියෙනවා.

ඔය විදිහට බලු වෑන් වලින් උස්සලා බල්ලො මරන එක සිදු වුනේ ලංකාවේ ජලභිතිකා මර්දන වැඩ පිළිවෙළේ කොටසක් විදිහටයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ මේ වැඩ සටහන ආරම්භ වී තිබෙන්නේ 1975දී වුවත් මට වගේම ලංකාවේ තවත්  ගොඩක් අයට බලු වෑන් ගමට එන බව දකින්න ලැබෙන්න ඇත්තේ 1977 පමණ කාලයේදී වෙන්න ඇති. ඔය ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර මුදල නිසා ලංකාවේ යම් කිසි පිරිසකට බල්ලො මරලා සල්ලි හෙවීමේ රැකියා අවස්ථාවත් ලැබෙන්න ඇති.

බටහිර වෛද්‍ය ක්‍රමය තුළ රෝගයට ප්‍රතිකාර කිරීම වගේම රෝගීන්ට ප්‍රතිකාර කිරීමද සිදු වෙනවා. එන්නත්කරන වැඩ සටහනකදී වෙන්නේ රෝගයට ප්‍රතිකාර කිරීම. ප්‍රතිකාර කියා කිවුවත් මෙයින් හැම විටම අදහස් වන්නේ බෙහෙත් දීමක්ම නෙමෙයි. මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය වගේ දේවල් කෝවිඩ් සඳහා ප්‍රතිකාර වනවා වගේම බලු වෑන් වලින් උස්සා බල්ලො මැරීම ජලභීතිකා රෝගය පාලනය කිරීමේ අරමුණින් කළ ප්‍රතිකාරයක්.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වගේම රෝගයකට ප්‍රතිකාර කිරීමේදීත් "සියල්ලන්ටම එකම බේත" න්‍යාය වැඩ කරන්නේ නැහැ. අවස්ථා දෙකේදීම සංස්කෘතික කරුණු ඇතුළු තවත් බොහෝ දේවල් වල බලපෑමක් තිබෙනවා. බලු වෑන් ක්‍රමය ලංකාවට හරි නොයන්නත් වෙනත් ඇතැම් රටවලට හරියන්නත් හේතු වුනේද මේ සංස්කෘතික වෙනස්කම්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවේ, ඉක්වදෝරයේ හා ටියුනීසියාවේ සිදු කළ නියාමක ව්‍යාපෘති හා පශ්චාත් අධ්‍යයනයන්හිදී මේ වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.

අසූව දශකයේ මැද භාගයේදී ඔය අධ්‍යයනය කරන විට ලංකාවේ ගෙවල් වලින් 60%ක එක බල්ලෙක් හෝ ඉඳලා තියෙනවා. ඒ වගේම, ලංකාවේ මිනිස් ජනගහනයෙන් අටෙන් එකකට සමාන ගෘහස්ථ බලුගහණයක් ඉඳලා තියෙනවා. ලංකාවේ බලුගහණයෙන් 24%ක් අවුරුද්දකට වඩා අඩු වයසක සිට ඇති අතර බල්ලෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 3-4ක් පමණ වී තිබෙනවා. ඒ වගේම ලංකාවේ ගෘහස්ථ බලුගහණයෙන් තුනෙන් දෙකක් පමණම පිරිමි සතුන් වෙද්දී බැල්ලියන් ඉඳලා තියෙන්නේ තුනෙන් එකක් පමණයි. මෙය සමීක්ෂණය කළ අනෙක් රටවලටත් පොදු තත්ත්වයක්.

ටියුනීසියාව වගේ රටවල මිනිස්සු තමන්ගේ බැල්ලියන්ගෙන් ඉපදෙන අනවශ්‍ය බලු පැටවුන් මරා දැමීම පුරුද්දක් ලෙස කර ඇතත් ලංකාවේ එවැන්නක් සිදු නොවන බව අපි හොඳින්ම දන්නා දෙයක්නේ. ලංකාවේ මිනිස්සු කරන්නේ තමන්ට අනවශ්‍ය බලු පැටවු, පූස් පැටවු පාරක් අයිනට හරි පන්සලකට හරි හොරෙන්ම ගිහිං දාන එකනේ. ඔය ඉරණමට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙන්නේ ගැහැණු සතුන්ට. පිරිමි සතෙක්ව දෙන්න කාව හරි හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයිනේ.

ලංකාවේ ගෙවල් වල ඉන්න බල්ලන් ගෙවල් වලට ඇවිත් තියෙන්නේ කොහොමද? ලංකාවේ ගෘහස්ථ බලුගහණයෙන් 72%ක්ම කාගෙන් හෝ ඉල්ලා ගත්ත බලු පැටවු. මුදල් ගෙවා මිල දී ගෙන තියෙන්නේ 11%ක් පමණයි. ගෙදර බැල්ලියකගේ පැටවු ඉඳලා තියෙන්නේ 13%යි. ඉතිරි 4% පාරෙන් අහුලගෙන ගෙදර ගෙනාපු බලු පැටවු. 

ලංකාවේ බල්ලන් ඇති කිරීමේ සංස්කෘතිය මොන වගේ එකක්ද කියලා මෙයින් පැහැදිලි වෙනවනේ. බල්ලෙක් අවශ්‍ය කෙනෙක් ගොඩක් වෙලාවට කරන්නේ කොහේ හෝ ගෙදරක බැල්ලියක් පැටවු දැම්මට පස්සේ බලු පැටවෙක් ඉල්ල ගන්න එක. ඒ වගේම ගෙදර බැල්ලී පැටවු දැම්මම ගෙදර මිනිස්සු බලන්නේ ඔය පැටවු කාට හරි දීලා දාන්න. වැඩිම වුනොත් එක බලු පැටවෙක් ගෙදර තියා ගනියි. කාටවත් දී ගන්න බැරි වෙන බලු පැටවු එක්කෝ පාරකට නැත්නම් පන්සලකට. ඔය විදිහට පාරට විසිවන බලු පැටවෙක් ඉඳහිට නැවත කාගේ හෝ ගෙදරකට අරන් යනවා. ඉතිරි බැලු පැටවු නොමැරී ජිවත් වුනොත් දිගටම පාරේ!

කොහොම වුනත් මේක කාලයක් තිස්සේ පැවතුනු සමතුලිත පද්ධතියක්. ගෙවල් වලට අනවශ්‍ය බල්ලෝ පාරට වැටෙනවා. පාරට වැටුණු බල්ලෙක් ඉඳහිට ගෙදරකට එනවා. පාරේ ජීවිතය ගෙදරක ජිවිතේට වඩා අමාරුයි. ඒ වුනත් පාරේ ඉන්න බල්ලොත් අමරුවෙන් ජිවිතේ ගැට ගහගන්නවා. බලු වෑන් වලින් වැඩිපුරම ගේම දුන්නේ ඔය විදිහට පාරට වැටිච්ච බල්ලන්ටයි. හැබැයි ඔය පාරට වැටිච්ච බලු නඩ එක්ක දඩාවතේ ගිය ගෙවල් වල ඇති කරපු බල්ලෝත් බලු වෑන් වලට අහුවුනා.

බලු වෑන් ක්‍රමය හා සමස්තයක් ලෙස ජලභීතිකා රෝග මර්දන උපාය මාර්ගයක් විදිහට බල්ලො මැරීම අසාර්ථක වුනේ ඇයි? මිනිස්සු ගෙවල් වල බල්ලෝ තියා ගත්තේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. අනවශ්‍ය බලු පැටවු පාරට දැම්මා. බලු පැටවෙක් ඕනෑ වුන කෙනෙක් කාගෙන් හරි පැටවෙක් ඉල්ල ගත්තා. නැත්නම් පාරෙන් ඇහිඳ ගත්තා. බලු වෑන් වලින් බල්ලෝ උස්සන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු බලු පැටවු පාරට දමන එක අඩු වුනා. ඒ වගේම, පාරේ ඉන්න බලු පැටවු ඇහිඳගෙන ගෙදර ගේන එක වැඩි වුනා. ඒ නිසා, ගෘහස්ථ බලුගහණයේ අඩුවක් වුනේ නැහැ.

අන්තිමේදී බල්ලො මරන එක නැවැත්තුවත්, බල්ලො මරා සල්ලි හොයපු අයට රස්සා නැති වුනත්, ජලභීතිකා මර්දන වැඩ සටහන දිගටම ක්‍රියාත්මක වුනා. තවමත් ක්‍රියාත්මක වෙනවා. බල්ලො මැරීම වෙනුවට බැල්ලියන් වඳ කිරීම ආදේශ වුනා. ඒ වගේම බල්ලො එන්නත් කරන එක වේගවත් වුනා. බල්ලො මරන එක ලංකාවේදී සාර්ථක වුනේ නැතත් මේ අනෙකුත් ක්‍රියාමාර්ග සාර්ථක වී තිබෙනවා. 

7 comments:

  1. මේ ගැන සිපිපියගෙයි ලපිපියගෙයි අදහස මොකක්ද ?

    ReplyDelete
  2. අනේ ඉකොනෝ
    ඇහුවේ දැක්කෙ නැද්දෝ
    බල්ලන් නැති වුණේ
    නැත්තට දකුණු පැත්තේ!

    වැඩවලට වරායේ
    නොරටුන් පැටව් ගහලා
    සිටියදි වුණු හොඳේ
    තමයි, බල්ලෝ මරං කාලා

    ReplyDelete
    Replies
    1. Jagath PathiranaJune 2, 2021 at 10:56 AM

      දෙමෙල්ලුන්ට වඩා චීන්නු හොඳයි.

      Delete
  3. බල්ලන් මැරීම නැවතුනේ ඊට එරෙහිව නැගුන ආගමික හා සත්ව අවිහිංපා සංවිධාන වල බලපෑම නිසයි. ගෙවල්වල ඇතිකරන බල්ලන් ද දඩාවතේ යන බල්ලන් ලෙස වරදවා වටහාගෙන මරාදැමීම ද මීට තවත් හේතුවක් උනා. උපත් පාලනය පැන නැගුනේ එයට විකල්පයක් ලෙසයි.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා,

    ඇමරිකානු එක්සත් ජනපදයේ බදු ආදායම් වල විෂමතා තියෙනවා ද? මේ කෙටි වීඩියෝ පටයේ කියන දේවල් ඇත්ත ද?

    https://youtu.be/-hSJWt4SwzI

    ReplyDelete
    Replies
    1. "බදු ආදායම් වල විෂමතා" කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඕනෑම රජයක බදු ආදායම් කොහොමටත් වසරින් වසර, කාර්තුවෙන් කාර්තුව වෙනස් වෙනවා. සමහර විට ඔබ අදහස් කරන්නේ බදු ගෙවීම් අනුපාතික වල විෂමතා කියන එක වෙන්න ඇති. බදු කියන ඒවා සැලසුම් කරන්නේම විෂම විදිහට තමයි. ලෝකයේ කිසිම රටක හැමෝගෙන්ම සමානව බදු අය කරන්නේ නැහැ. ඔබ අදහස් කරන්නේ බදු ගෙවීම පැහැර හැරීම ගැනනම්, ඇමරිකාවේ එය සිදුවන්නේ ඉතාම අඩුවෙන්.

      Delete
  5. Econo, The government has restricted the importation of inorganic fertilizer to Sri Lanaka recently. In my opinion this is a disaster of unimaginable magnitude. The reduction of yield, insufficiant domestic production of organic agro chemicals and associated issues with imported organic fertilizer. Can you share bit on US agriculture and the possibility of imposing restrictions on inorganic fertilizer importation.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: