වෙබ් ලිපිනය:

Friday, June 18, 2021

ද්විපක්ෂ ක්‍රමය


කෝවිඩ් ක්‍රමයෙන් අවසන් වී නැවතත් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට සමාන්තරව කළ යුතු වැඩ වට්ටෝරුව දිග් ගැසෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කෝවිඩ් කාලයේ පැත්තකට කර තිබුණු වැඩ. කොයි තරම් කාර්ය බහුල වුනත් බ්ලොග් එකත් පැත්තකටම විසි කරන්න බැහැනේ. නිහඬ කාලය දිගු වෙද්දී පාඨකයින් එකිනෙකා කරුණු විමසන්න පටන් අරන්.

ධනවාදී පරමාදර්ශය ගැන සහ සැබෑ ලෝකය ගැන අපි කතා කරමින් සිටියා. ධනවාදී පරමාදර්ශය මගින් විස්තර කෙරෙන්නේ කිසිදු නරකක් නැති යුතෝපියාවක් ගැන නෙමෙයි. එහෙත්, බොහෝ දෙනෙකු විසින් ධනවාදය සම්බන්ධව ගෙන එන ජනප්‍රිය විවේචන වලින් විස්තර කෙරෙන්නේ ධනවාදයක් නැති කමේ ප්‍රශ්න මිසක් ධනවාදයේ ප්‍රශ්න නෙමෙයි. ඒ බොහෝ ප්‍රශ්න වලට විසඳුම ධනවාදී පරමාදර්ශය කරා යාමයි. කෙසේ වුවත්, ධනවාදී පරමාදර්ශයේම ප්‍රශ්නත් තිබෙනවා. 

ධනවාදී පරමාදර්ශය අවසන් ඉලක්කය සේ ගතහොත් ඒ කරා යන මාර්ගය වැටී තිබෙන්නේ නිදහස් ගනුදෙනු හරහා. මේ විදිහට සරලව කිවුවත්, ඒ එක්කම මතුවෙන ප්‍රශ්නය නිදහස් ගනුදෙනුවක් කියන්නේ කුමක්ද කියන එකයි. සංකල්පයක් විදිහට ගත්තොත් නිදහස් ගනුදෙනුවක් කියන එක ඒ තරම්ම වියුක්ත අදහසක් නෙමෙයි. 

නිදහස් ගනුදෙනුවකදී සිදු වන්නේ නිදහස් මිනිසුන් දෙදෙනෙකු (හෝ වැඩි දෙනෙකු) අතර කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් කිසිදු බලකිරීමකින් තොරව නිදහසේ හුවමාරු වීමයි. මේ විදිහට කිවුවත් මෙහි අවිනිශ්චිතතා ගණනාවක් තිබෙනවා.

- නිදහස් මිනිහෙක් කියන්නේ කාටද?

- හුවමාරු කළ හැකි භාණ්ඩයක් හෝ සේවාවක් කියන්නේ කුමක්ද?

- නිදහසේ සිදුවන හුවමාරුවක් කියන්නේ කුමක්ද?

නිෂ්පාදන තාක්ෂනය වෙනස් වීමට සමාන්තරව ධනවාදයේ ස්වරූපය වෙනස් වන බව මම කලින්ම කිවුවා. එහෙමනම්, කිසියම් නිශ්චිත නිෂ්පාදන තාක්ෂනයක් පවතිද්දී ඕනෑම සමාජයක පැවතිය හැක්කේ එකම ආකාරයක ධනවාදයක්ද?

පැහැදිලිවම නැහැ. කිසියම් සමාජයක ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය එම සමාජයේ සම්මතයන් අනුව යම් තරමකින් වෙනස් වෙනවා. නිෂ්පාදන තාක්ෂනය වෙනස් වෙද්දී වගේම මේ සම්මත වෙනස් වෙද්දීත් ධනවාදයේ ස්වරූපය වෙනස් වෙනවා.

මෙහි කිසිම අරුමයක් නැහැ. ධනවාදය කියා කියන්නෙත් වියුක්ත ආකෘතියක් වුවත් එම වියුක්ත ආකෘතියේ පදනම වියුක්ත අදහසක් නොව ස්වභාවික මිනිස් හැසිරීමයි. ඒ නිසා, මේ ආකෘතිය, එහි ස්වභාවය අනුවම, ස්වභාවික මිනිස් හැසිරීම් වෙනස් වෙද්දී ඉබේටම වෙනස් විය හැකි තරම් නම්‍යශීලි ආකෘතියක්. මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් යෝජනා කරන ආකෘතිය පදනම් වන්නේම වියුක්ත අදහසක් හෝ අදහස් සමුදායක් මතයි. ඒ නිසා, මාක්ස්වාදී ආකෘතිය තුළ මෙන් නොව ධනවාදී ආකෘතිය තුළ සමාජ සම්මතය විසින් සිදු කරන කාර්ය භාරයක් තිබෙනවා. 

බාලවයස්කරුවෙක්, මානසික රෝගියෙක්, මත් වී සිටින අයෙක් හෝ කෝමා තත්ත්වයක සිටින කෙනෙක් නිදහස් මිනිසෙක්ද? වකුගඩුවක් වැනි මිනිස් අවයවයක් නිදහසේ හුවමාරු කළ හැකි භාණ්ඩයක්ද? හැඟීම්බරව යම් මොහොතක ක්ෂණිකව ගන්නා තීරණයක් නිදහස් තීරණයක්ද?

මේ කිසිවක් ධනවාදය විසින් විසඳන ප්‍රශ්න නොවනවාක් මෙන්ම ධනවාදයේ ප්‍රශ්නද නෙමෙයි. ඒ ප්‍රශ්න ධනවාදයෙන් බාහිරව සමාජ සම්මතය අනුව විසඳාගත යුතු දේවල්. ඒ නිසා, මූලික ලක්ෂණ සමාන වුවත් හැම සමාජයකම ධනවාදය හරියටම එකම නීතිරීති යටතේ ක්‍රියාත්මක වන්නේ හෝ ක්‍රියාත්මක විය යුත්තේ නැහැ.

ධනවාදය ක්‍රියාත්මක වන සමාජ ආකෘතිය හදන්නේ කවුද? කිසියම් රටක මිනිස්සු කියා අපට සරලව කියන්න පුළුවන් වුනත් ප්‍රායෝගිකව රටක සම්මත හැදෙන්නේ ඒ රටේ හැම දෙනෙකුගේම සම දායකත්වයෙන් නොවන බව අපි දන්නවා. මේ සම්මත හදන කාර්යයේදී ප්‍රාග්ධනය හිමි අයගේ අදහස් වලට ශ්‍රමය හිමි අයගේ අදහස් වලට වඩා වැඩි තැනක් ලැබුනොත්, එහෙමත් නැත්නම් එහි අනෙක් පැත්ත සිදු වුනොත්, ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතා බෙදී යන ආකාරයේ වෙනසක් වෙන්න බැරිද?

ලංකාව වැනි රටක ගනුදෙනු සිදු වෙද්දී ගනුදෙනුවේ පාර්ශ්ව දෙක හැම විටම සමානයින් නොවන බව අප අත්දැකීමෙන් දන්නවා. අසමානයින් අතර සිදුවන ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් වන්නේ නැහැ.

මාක්ස් විසින් සම්පත් බෙදී යාමේ ක්‍රමය හා බලය බෙදී යාමේ ක්‍රමය එකිනෙක හා සම්බන්ධ කිරීමේ වැදගත්කම ඉස්මතු වන්නේ මේ පසුබිමේදී. මාක්ස්වාදයේ කවර අඩුපාඩු තිබුණත් එය සම්පත් බෙදී යාම සහ බලය බෙදී යාම අතර තිබෙන අන්තර් සම්බන්ධතාවය ග්‍රහණය කර ගන්නවා. ධනවාදය විසින් එවැන්නක් කරන්නේ නැහැ. තිබෙන බල ව්‍යුහය එලෙසම භාර ගන්නවා. ඒ නිසා, ධනවාදයට ක්‍රියාත්මක වීම පිණිස ධනවාදයට බාහිරව බලය සාධාරණව බෙදා ගත හැකි ක්‍රමයක්ද තිබිය යුතුයි. ධනවාදී පරමාදර්ශය අනුව යන බොහෝ රටවල මේ රික්තකය පුරවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විසින්. 

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව රටක "සියලුම" මිනිස්සු සමානයි. සියලුම කියා කිවුවත් සියලුම මිනිස්සු නෙමෙයි. සමාන අයිතිවාසිකම් තිබෙන මිනිස්සු කවුද කියන එක තීරණය වෙන්නේ සමාජ සම්මතය අනුව. සමාජ සම්මතය තීරණය වන්නේ බලය මත. ඒ නිසා එක පැත්තකින් සමාජයක පවතින සම්මතය විසින් එම සමාජයේ බල ව්‍යුහය තීරණය කරද්දී අනෙක් පැත්තෙන් එම සමාජයේ බල ව්‍යුහය විසින් සමාජ සම්මතය තීරණය කරනවා. 

මේ වගේ තත්ත්වයක් යටතේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ වාසියට සම්මත හැදෙන්න බැරිද?

ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධන හිමියාටත් ලැබෙනවා. මේ බෙදීම වෙනත් ඕනෑම බෙදීමකට වඩා කාර්යක්ෂමයි. මෙහිදී කාර්යක්ෂමතාවය අර්ථදක්වන්නේ සමස්ත නිෂ්පාදිතයේ ප්‍රමාණය ඉක්මණින් වැඩි කරගැනීමේ හැකියාව පාදක කරගෙනයි. නමුත් මේ බෙදීම සාධාරණද?

සාධාරණත්වය පිළිබඳ අදහස කාර්යක්ෂමතාවය පිළිබඳ අදහස මෙන් තාක්ෂනික ලෙස අර්ථදැක්විය හැකි අදහසක් නෙමෙයි. එය පුද්ගලයෙකුට සාපේක්ෂ දෙයක්. මාක්ස්වාදය හා ධනවාදය සංසන්දනය කරමින් ධනවාදය මාක්ස්වාදයට වඩා කාර්යක්ෂම බව පෙන්වා දිය හැකි වුවත්, ධනවාදය මාක්ස්වාදයට වඩා සාධාරණ බව එසේ පෙන්වා දීම අසීරුයි. 

සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහස වන්නේ කිසියම් සම්පතක් එම සම්පත නිර්මාණය කළ පුද්ගලයාට හිමි විය යුතු බවයි. මෙය බොහෝ දෙනෙකුට පිළිගත හැකි අදහසක්. එහෙත්, කිසියම් සමාජයක කිසිදු සම්පතක් නිර්මාණය කර ගත නොහැකි පුද්ගලයින් සිටිය හැකියි. ඔවුන්ට කිසිවක් නොලැබීම සාධාරණද?

ධනවාදී සමාජයක කිසියම් පුද්ගලයෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය අඩුවක් නැතිව හිමි වන බව තහවුරු කෙරෙනවා. එය වෙනත් කිසිවෙකු විසින් සූරාකනු ලබන්නේ නැහැ. එහෙත්, මෙසේ යමෙකුට ඇයගේ ආන්තික ඵලදායීතාවය සේ හිමි වන කොටස "ජීවත් වීමට" ප්‍රමාණවත්ද යන්න පිළිබඳ කිසිදු සහතිකයක් නැහැ. මෙය ප්‍රශ්නයක් වන්නේ පුද්ගලයෙකුගේ ආන්තික ඵලදායීතාවය අඩුවීමට හේතුව ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත සමාජ ව්‍යුහයේම ප්‍රශ්නයක්ද විය හැකි නිසා. සමාජ ව්‍යුහය වෙනස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සමාජවාදී අදහස මේ ආකාරයෙන්ද තේරුම් ගත හැකියි.

සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහස සමඟ බොහෝ දෙනෙක් බොහෝ විට එකඟ වුවත් හැම දෙනෙක්ම හැම විටම එකඟ වන්නේ නැහැ. මිනිසුන් ස්වභාවයෙන්ම උන්නතිකාමීන් වනවාක් මෙන්ම සහකම්පනය ඇති සත්ත්ව කොට්ඨාශයක්ද වනවා. ධනවාදී පරමාදර්ශයක් තුළ "පරාජය වන" පිරිස් විසින් ධනවාදී පරමාදර්ශයේ වැරැද්දක් දකිනවාට අමතරව එසේ පරාජය නොවන අයද මෙහි කිසියම් වැරැද්දක් දකිනවා. ලෝකයේ කිසිම රටක් මුළුමනින්ම ධනවාදී පරමාදර්ශය කරා නොයාමට මෙය එක් හේතුවක්.

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ල පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙන් (සොරකමට එරෙහිව) පෙනී සිට ඇති බව මම පෙර ලිපියක සඳහන් කළා. මෙයින් පිළිබිඹු වන්නේ ධනවාදී පරමාදර්ශය පිළිගැනීමක්. ඒ අතරම, ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලම ධනවාදී පරමාදර්ශයක් තුළ "පරාජය වන" පිරිස් වෙනුවෙන්ද පෙනී සිට ඇති බව අප දන්නවා. දානය වැනි සංකල්ප ප්‍රවර්ධනය වන්නේ මේ සන්දර්භයේ.

ධනවාදී පරමාදර්ශයක් තුළ "පරාජය වන" පිරිස් වෙත යමක් ලැබීම ඔවුන්ට හිමිවන වරප්‍රසාදයක්ද නැත්නම් ඔවුන්ගේ අයිතියක්ද? ධනවාදී පරමාදර්ශය අනුව බැලුවොත් මෙය වරප්‍රසාදයක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙය අයිතියක් බවට පත් වෙනවා. බටහිර රටවල ස්ථාපනය වී තිබෙන ද්විපක්ෂ ක්‍රමය මේ අන්ත දෙක අතර සිදුවන චක්‍රීය දෝලනයක් කියා කිව හැකියි.

ධනවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය බලවත් වීම තුළ සමාජයේ පහළ ස්ථර වලට ඔවුන්ගේ ආන්තික ඵලදායිතාවය ඉක්මවන කොටසක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එම කොටස ලැබෙන්නේ ඉහළ ස්ථර වල සිටින අයගේ ආන්තික ඵලදායිතාවය වෙනුවෙන් ලැබිය යුතු දෙයින් කොටසක් අඩු වීමෙනුයි. සමාජවාදයක් යටතේ සිදුවන තරමට නොවුනත්, මෙහිදී කාර්යක්ෂමතාවයේ යම් අඩුවක් සිදු වෙනවා. එහෙත් එය දරාගත හැකි, සමාජයට බරපතල ලෙස නොදැනෙන අඩුවක්.

මේ ආකාරයට කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කරමින් ධනවාදී පරමාදර්ශයෙන් තරමක් ඈත් වූ සුබසාධන ආර්ථිකයක් කරා යාම බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයක් තුළ සිදු වන දෙයක්. එහෙත්, සුබසාධනය ඉහළ යන තරමට කාර්යක්ෂමතාවයද අඩු වන නිසා යම් මට්ටමකදී මෙය ආර්ථික වර්ධනය කෙරෙහි දැනෙන බලපෑමක් කරනවා. එවිට, ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහය තුළම ජනමතය අනෙක් පසට දෝලනය වෙනවා. සුබසාධනය වෙනුවට ධනවාදී පරමාදර්ශයට ප්‍රමුඛතාවය ලැබෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා. එහෙත් එහි ප්‍රතිඵල සමාජයේ පහළ ස්ථර වලට එතරම් දැනෙන්නේ නැහැ. ඒ නිසා, නැවතත් සමාජයේ පහළ ස්ථර අතර ආතතිය වැඩි වෙනවා. ධනවාදී පරමාදර්ශයෙන් විරුද්ධ පැත්තට ජනමතය දෝලනය වෙනවා. 

බොහෝ බටහිර රටවල ස්ථායී ගතික සමතුලිතතාවයක් වී තිබෙන ප්‍රධාන පක්ෂ දෙකක් අතර සිදුවන ආවර්තීය බල හුවමාරුව තුළ සිදුවන්නේ ධනවාදී පරමාදර්ශයෙන් ඕනෑවට වඩා ඈත් නොවන අතරම ධනවාදී තරඟය තුළ පරාජය වන කොටස් පිළිබඳව අවශ්‍ය පමණින් අවධානය යොමු වීමක්. 

10 comments:

  1. ජෝර්ඩන් පීතරසාමිJune 19, 2021 at 12:36 AM

    ඉකොනො මැට්ටාගෙ ධනවාදී රෙටොරික් වලට හොඳ පිලිතුරු දෙන චැනල් එකක් මේ.
    https://youtu.be/hactcmhVS1w

    ඉකොනොමැට්ටා සාමාන්‍යකරණය කරන දේත් අපි හදාගත්ත එකක්ම තමා.

    ReplyDelete
    Replies
    1. අප කතා කරන ඕනෑම දෙයක් අවසන් විග්‍රහයේදී අප විසින්ම හදාගත්/ සංස්කරණය කරගත් දෙයක්.

      Delete
    2. ජෝර්ඩන් පීතරසාමිJune 19, 2021 at 9:27 PM

      ඒකතමා මහත්තයෝ සීන් එක. ඇත්ත කියලා දෙයක් නෑ. අපිට ටොප්ල් කරන්න ඕනෙ සිස්ටම් එකට විරුද්ධව මතයක් විතරයි ගොඩනගන්න ඕනෙ.කැපිටලිසම් මස්ට් බී අවුට්ග්‍රොව්න්.

      Delete
  2. "ධනවාදී පරමාදර්ශයක් තුළ "පරාජය වන" පිරිස් ..." ලෙස ආරම්භ වී "...පරාජය වන කොටස් පිළිබඳව අවශ්‍ය පමණින් අවධානය යොමු වීමක්." යනුවෙන් අවසන් වන අන්තිම ඡේද සතරේ අදහස ගැනයි.

    දැන් ඔරුමිත්තනාඩුවේ බලයේ ඉන්නා බෛදාන මහතාගේ සහ පසුව කා'මලා මහත්මියගේ ආණ්ඩුව මෙයින් නියෝජනය කරන්නේ කුමන පාර්ශ්වයද?
    මා නම් ට්‍රම්පාක්‍ෂිකයෙක්. මා සිතන්නේ ඔහුගේ පාලනය යටතේ සාමාන්‍ය ඇමරිකානුවන්ට වඩා යහපත් රටකුත් ලෝක වාසීන්ට වඩා යහපත් ලෝකයකුත් ගොඩ නැගෙන ලක්‍ෂණ තිබුණු බවයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය කරුණක් ලෙස, වත්මන් ඇමරිකානු දේශපාලනය තුළ බලයට පැමිණීමේ ශක්‍යතාවයක් තිබෙන පක්ෂ දෙක අතරින් ධනවාදී පරමාදර්ශය නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂය විසින්. (එය ඊටත් වඩා හොඳින් නියෝජනය කරන්නේ ලිබටේරියන් පක්ෂය විසින් කියා කියන්න පුළුවන්.) ඩිමොක්‍රටික් පක්ෂය වැඩි බරක් තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව වෙතයි. ප්‍රායෝගිකව එයින් අදහස් වන්නේ ධනවාදී පරමාදර්ශය වෙතින් විතැන් වීමයි. ලංකාව වැනි රටකට සාපේක්ෂව බැලූ විට ඉතා සුළු විතැන් වීමක් වුවත්, මේ විතැන් වීම සමාජවාදය පැත්තට සිදුවන්නක් කියා කිව හැකියි. මේ ලිපි මාලාව තුළ මම තවමත් ජාතිකවාදය/ජාත්‍යන්තරවාදය ගැන සාකච්ඡා කර නැහැ. මම දකින ආකාරයට එය ධනවාදී-සමාජවාදී රේඛාවට ලම්බක වෙනම මානයක් මිසක් තෙවන විකල්පයක් නෙමෙයි. මේ චිත්‍රයට එම මානය එකතු කළ විට මෙතෙක් කතා කළ බොහෝ දේවල් වඩා සංකීර්ණ වෙනවා. ඒ නිසා දැනට ඔබට මගේ පැහැදිලි කිරීම් සමඟ එකඟ නොවිය හැකි තැන් බොහෝ තිබිය හැකියි.

      Delete
    2. ජොර්ඩානියන් පීටර්ස් සන්June 19, 2021 at 9:30 PM

      ලොල්. ඔය දෙකම උග්‍ර ධනවාදී.

      Delete
  3. නිදහස් රටක්, මිනිසුන් හෝ දෙයක් නැත
    ඕනෙම දෙයක් තව දෙයකට බැඳී ඇත
    සිතිවිල්ලක් පවා තවකෙක වෙළී ඇත
    ඇතුළෙත් ගැටය, පිටතත් ඒවාම ඇත

    ReplyDelete
  4. ධනවාදී පරමාදර්ශනය ගැන ලියල තියෙන නිසා මතක් උනේ, ඇමරිකන් ආයු ගනනය (actuarial ) හා බ්‍රිතාන්‍යය ආයු ගනනය ලෙස වර්ග දෙකක් තියෙනවා ද ?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන වෙනස කුමක්ද කියා මට හරියටම පැහැදිලි නැහැ. සමහර විට මම නොදන්න දෙයක් වෙන්න ඇති.

      Delete
  5. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේ සංරචකය ගැන?

    ලෝක සාම දර්ශකය කියලා කියන රාජ්‍ය නොවන සංවිධානයට අනුව, The 10 most peaceful countries in 2021:

    ���� Iceland
    ���� New Zealand
    ���� Denmark
    ���� Portugal
    ���� Slovenia
    ���� Austria
    ���� Switzerland
    ���� Ireland
    ���� Czech Republic
    ���� Canada

    Download the 2021 Global Peace Index & investigate the data →

    https://www.visionofhumanity.org/maps/

    කෙසේ වෙතත් උතුරු ඇමරිකාවේ කැනඩාව හැර අනෙක් රටවල් ලංකාවටත් වඩා කුජීතයි නේද? දකුණු ඇමරිකාවේ චිලී තවත් රටක් හැර ගොඩක් රටවල් අවුල් පාලනයක් තියෙනවා. දකුණු ආසියාතික රටවල් වලින් භූතානය උඩින් සිටින අතරම ලංකාව සහ බංගලාදේශය සාමාන්‍ය තත්ත්වයක සිටින බව පේනවා නේද? ඇමරිකන් එක්සත් ජනපදය ලංකාවටත් වඩා කචල් කියලා සමහරු කියන්නේ ඇත්ත නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: