අද (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+/C මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මූඩිස් සහ ෆිච් රේටිං ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මීට පෙරම ලංකාවේ ණය ශ්‍රේණිය ණය පැහැර හැර ඇති තත්ත්වයෙන් ඉහළට එසවූ නමුත් S&P ආයතනය එසේ කළේ නැහැ. ඊට හේතුව වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතා අවසන්ව තිබුණද අදාළ ගිවිසුම් අත්සන් කර මේ කාර්යය අවසන් කර නොතිබීමයි. ශ්‍රී ලංකා රජය ඇප වී ඇති ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 175ක බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව එකඟතාවයක් ඇති කර ගෙන නොතිබීමද මීට හේතුවක් වුනා.
මේ වන විට රජයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් බොහෝ දුරට අවසන්ව ඇති නමුත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ බැඳුම්කරය හා අදාළව එකඟතාවයක් ඇති කර ගැනීමට රජය සමත්ව නැහැ. එහෙත් ඒ හා අදාළව දෙපාර්ශ්වය සිටින දුරස්ථ ස්ථාවර අනුව මේ සම්බන්ධව මීට වඩා ප්‍රගතියක් ලබා ගැනීමේ හැකියාවක් නොපෙනෙන බැවින් එය නොසලකා හැර ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට S&P ආයතනය විසින් තීරණය කර තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලධර්ම අනුව පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලබා ගත් සහනයට වඩා අඩු සහනයක් මෙම ණයහිමියන්ගෙන් ලබා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජයට නොමැති බැවින් සහ ණයහිමියන් එම සහනය ලබා දීමට එකඟ නොවීම තුළ එකඟතාවයක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
ණය ශ්‍රේණිය ඉහළ දැමීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ වත්මන් ආණ්ඩුව විශාල ජනවරමකින් බලයට පත් වීම හරහා නැවත ඇති වූ දේශපාලන ස්ථාවරත්වයට එම ආණ්ඩුව විසින් IMF වැඩපිළිවෙළ දිගටම ඉදිරියට ගෙනයාම සඳහා කැප වෙමින් ඒ බව ප්‍රදර්ශනය කිරීමට සමත් වීම නිසා ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය එකතු වීමයි. වේගවත් ආර්ථික වර්ධනය, රාජ්‍ය අංශය තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පැවතීම, විදේශ සංචිත ඉහළ යාම, විදේශ අංශය ශක්තිමත්ව තිබීම හා රාජ්‍ය ව්‍යවසාය වල බර අඩු වෙමින් තිබීම පිළිබඳව S&P ආයතනය විසින් විශේෂයෙන් සලකා බලා තිබෙනවා.
ජාජබ විසින් මහ මැතිවරණයේදී ලබාගත් තුනෙන් දෙකක ජයග්‍රහණය සහ ඉන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම් වලදීද ප්‍රමුඛ ස්ථානයේ සිටීම S&P ආයතනය විසින් හඳුනා ගන්නේ කාලයක් තිස්සේ පක්ෂ තුළ පිල් බෙදීම් හරහා සිදු වූ ඛණ්ඩනයන් සහ පක්ෂ මාරු කිරීම් සුලභව තිබුණු දේශපාලන වාතාවරණයේ වැදගත් හැරවුමක් ලෙසයි. මෙම තත්ත්වය තුළ, බලයට පත්ව සිටින්නේ අත්දැකීම් නොමැති කණ්ඩායමක් වුවද, රටේ දේශපාලන අනාගතය හා අපේක්ෂිත ආර්ථික ප්‍රතිපත්ති වෙනස්කම් පිළිබඳව බාහිර පාර්ශ්වයන්ට පුරෝකථනය කිරීම පහසු වී තිබෙනවා.
The ruling NPP secured a supermajority parliament following the 2024 general elections and also controls a majority of local councils following elections in May. This situation is relatively uncommon for Sri Lanka, which has historically been characterized by frequent political factionalism and crossovers. We believe the government's strong mandate demonstrates improved political stability and policy predictability, despite the NPP's limited record and lack of governing experience.
දේශපාලනිකව සිදු කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ වලදී පවා IMF වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුව විසින් කැප වී තිබීම S&P ආයතනය විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
The government has demonstrated strong commitment to the IMF program, mostly meeting--although some with delay--quantitative indicators and structural benchmarks, even when it involved politically difficult reform.
S&P ආයතනයේ පුරෝකථනය වනුයේ මෙම වසරේ ආර්ථික වර්ධනය 4.2%ක් වනු බවයි. ඔවුන්ගේ පුරෝකථන අනුව, මෙම වසරේදී රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,900 දක්වා ඉහළ යනු ඇති අතර 2028 වසර වන විට ඩොලර් 6,200 දක්වා ඉහළ යාමට නියමිතයි. විදේශ සංචිත වර්ධනය හා අදාළව S&P ඇස්තමේන්තු තිබෙන්නේ බොහෝ පහළ මට්ටමක වුවත් (2028 වන විටද ඩොලර් බිලියන 7.3ක්), එම ආයතනය විසින් එය ප්‍රශ්නයක් සේ සලකා නැහැ.
දැනට ලංකාව සිටින ණය ශ්‍රේණිය කලින් සිටි මට්ටම අනුව හොඳ මට්ටමක් වුවත්, ලොකුවට සතුටු විය හැකි මට්ටමක් නෙමෙයි. හොඳ ණය ශ්‍රේණියක් සේ සැලකිය හැක්කේ අඩු වශයෙන් B කාණ්ඩයේ ඉහළ මට්ටමකට යා හැකිනම් පමණයි. රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යමින් ඇති පසුබිමක, රාජ්‍ය වියදම් ඇස්තමේන්තු නොඉක්මවා පාලනය කර ගතහොත්, ඉලක්ක ඉක්මවන ප්‍රාථමික අතිරික්තයක් පෙන්වීමේ හැකියාවක් රජය සතුව තිබෙනවා. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කිසිවක් එවැනි තත්ත්වයක් ගැන දැනට සලකා බලා නොමැති බැවින් එවැන්නක් සිදු වුවහොත් ණය ශ්‍රේණිය ඉහළ දැමීම සඳහා එයම වුවද හේතුවක් වෙනවා.
රටේ ආර්ථික වර්ධනය සැලසුම් කර ඉහළ දැමීම රජයකට පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. එහෙත් රාජ්‍ය අයවැය තුලනය කිරීම සෘජුවම රජයේ පාලනය යටතේ ඇති දෙයක්. අයවැය තුලනය වඩා ඉක්මණින් හොඳ අතට හැරෙනවා කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම් ඉක්මණින් ඉහළ ගොස් රටට විදේශ ප්‍රාග්ධනය ගලා ඒම වැඩි වෙනවා කියන එකයි. එය රුපියල ශක්තිමත් කර ගැනීමට මෙන්ම පොලී අනුපාතික පහළ මට්ටමක තබා ගැනීමටද උදවුවක් වන අතර ඒ මගින් ආර්ථික වර්ධනය වේගවත් කරවනවා.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.