වෙබ් ලිපිනය:

Tuesday, July 21, 2026

මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද?


පසු ගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය සඳහා උද්ධමන ඉලක්කය නිර්ණය කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් විමසා තිබුණා. මේ සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. එම අදහස්ද සලකා බැලීමෙන් පසුව, නුදුරු කාලයේදී මහ බැංකුව සහ රජය විසින් ඉදිරි කාලය හා අදාළ උද්ධමන ඉලක්කය පිළිබඳව එකඟතාවකට පැමිණෙනු ඇතැයි සිතිය හැකියි.

වත්මන් උද්ධමන ඉලක්කය 

පසුගිය වසර තුනක කාලය තුළ මහ බැංකුව විසින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් පවත්වා ගැනීම සඳහා රජය සමඟ එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. මෙම එකඟතාවය අනුව, උද්ධමනය සේ සැලකුණේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වෙනස් වීමෙහි මාස තුනක සාමාන්‍ය අගයයි. කාර්තුවෙන් කාර්තුවට මෙම ඉලක්කය පිළිබඳව විමසා බැලීමක් සිදු කෙරුණු අතර ඉලක්කයෙන් 2% ඉක්මවන අපගමනය වීමක් ඉලක්කය ගිලිහීමක් ලෙස සැලකුණා. පසුගිය කාලය වෙත ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන්නේ මහ බැංකුවට එම කාලය තුළ බොහෝ කාර්තු වලදී ලබා දී තිබුණු උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි. පසුගිය කාර්තු දහයක කාලය සැලකුවහොත්, මහ බැංකුවට උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි වී තිබෙන්නේ කාර්තු දෙකකදී පමණයි.

උද්ධමන ඉලක්කය පරීක්ෂා කිරීම සඳහා වඩා යෝග්‍ය නිර්ණායකය කුමක්ද?

මෙහිදී මේ සඳහා සලකා බැලිය හැකි විකල්ප දෙකක් තිබෙනවා. පළමුවැන්න දැනට යොදා ගන්නා කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. දෙවැන්න ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. පළමුවැන්න ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය ලෙස දිගටම යොදාගෙන ඇති අතර, මෙය මාසය අවසන් වෙද්දී ගණනය කරනු ලබනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ඉදිරිපත් කරනු ලබන්නේ මාසයක් ගත වී සති තුනකට පසුවයි. කෙසේ වුවද, රටේ මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ රටේම උද්ධමනය මිස කොළඹ නගරයේ උද්ධමනය පමණක් නොවන නිසා උද්ධමන ඉලක්කය සේ යොදා ගැනීම වඩා යෝග්‍ය වන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය බව අපගේ අදහසයි. වඩා ස්ථාවර දර්ශකයද එයයි. සති තුනක ප්‍රමාදය අවාසියක් වුවත්, මිල මට්ටමේ හැසිරීම පිළිබඳව ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරෙන් මහ බැංකුවට අදහසක් ලබා ගත හැකි බැවින් එය ගැටලුවක් වන්නේ නැහැ. 

දර්ශකය තෝරා ගැනීමෙන් පසුව දෙවන තේරීමක්ද තිබෙනවා. ඒ, මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය අතරයි. මතුපිට උද්ධමනය යනු දර්ශකය ඇසුරෙන් සාමාන්‍ය පරිදි ගණනය කරන උද්ධමනයයි. එහෙත් එහි ඇතැම් සංරචක පිළිබඳව මහ බැංකුවට පාලනයක් නැහැ. ලෝක ඉන්ධන මිල අනුව රටේ තෙල් මිල ඉහළ යාම නිදර්ශනයක් සේ පෙන්වා දිය හැකියි. මූලික උද්ධමනය යනු මහ බැංකුවට පාලනය කළ නොහැකි කොටස් ඉවත් කර නැවත ගණනය කරන අගයක්. 

ඉහත තේරීම් දෙක අතරින් වඩා යෝග්‍ය තේරීම වනුයේ මතුපිට උද්ධමනයයි. රටේ ජනතාවට වැදගත් වන්නේ මතුපිට උද්ධමනය වීම ඊට හේතුවයි. එසේ මතුපිට උද්ධමනය ඉලක්ක කරන අතර, මහ බැංකුවට ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අපහසු අවස්ථා වලදී කරුණු ඉදිරිපත් කිරීම සඳහා මූලික උද්ධමනය යොදා ගත හැකියි. ඉලක්කය ලෙස දැනට යොදා ගන්නේද මතුපිට උද්ධමනයයි.

මීට අමතරව දර්ශකය පිළිබඳ තුන්වන තේරීමක්ද තිබෙනවා. ඒ, දැනට සිදු කරන පරිදි, මාසික උද්ධමන අගය වෙනුවට එහි මාස තුනක සාමාන්‍ය අගය යොදා ගැනීම සුදුසුද යන්නයි. මගේ අදහස වනුයේ තව දුරටත් එසේ කිරීම යෝග්‍ය බවයි. මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති මගින් මිල දර්ශකයක කෙටිකාලීන විචලනයන් පාලනය කළ නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවයි. 

උද්ධමන ඉලක්කය කොපමණ විය යුතුද?

මෙම කරුණ විමසා බැලීමේදී දැනට පවතින 5% ඉලක්කය උපරිම සීමාවක් සේ සැලකිය හැකියි. ඊට වඩා වැඩි ඉලක්කයක් කිසිවෙකු විසින් යෝජනා කරන්නේයැයි මා සිතන්නේ නැහැ. එමෙන්ම, සංවර්ධිත රටවල් විසින් ඉලක්ක කරන 2% විමසා බැලිය යුතු අවම සීමාව සේ සැලකිය හැකියි. 

මෙම ඉලක්කය පිළිබඳ මගේ අදහස වනුයේ 5% ඉලක්කය තව දුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බව සහ එසේ කිරීම යෝග්‍ය බවයි. එහෙත්, ඉලක්කය එක වරම 2% මට්ටම දක්වා පහත හෙලීම සුදුසුයැයි මා සිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ අවම වශයෙන් 4% දක්වා මෙම ඉලක්කය පහත හෙළිය යුතු බවයි.

ලංකාවට 2%ක උද්ධමනයක් ඉලක්ක කළ හැකිනම්, ඩොලරයක මිල දිගුකාලීනව ස්ථාවරව පවත්වා ගත හැකියි. ඊට වඩා වැඩි ඕනෑම උද්ධමන ඉලක්කයකින් අදහස් වනුයේ වාර්ෂිකව, ඩොලරයට සාපේක්ෂව, රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හරින්නට සිදු වන බවයි. එහෙත්, 4%ක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම මගින් ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවත්වා ගත හැකියි. ඊට හේතුව ඉන්දියාවේ උද්ධමන ඉලක්කය 4%ක් වීමයි. මෑතකදී ඉන්දියාව විසින් මෙම 4% ඉලක්කය 2031 දක්වා පවත්වා ගැනීමට තීරණය කළා. අවශ්‍යනම් ඉන්දියාවේ ඉලක්කයට වඩා අඩු, 3% වැනි මට්ටමක් ඉලක්ක කිරීමද ඒ තරම් අපහසු නැති බව අපගේ අදහසයි. ඉන්දියාවේ ඉලක්කයට වඩා අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම මගින් කලාපයට පැමිණෙන විදේශ ආයෝජන තරඟකාරී ලෙස ආකර්ෂණය කර ගත හැකියි.

උද්ධමන ඉලක්කය ඕනෑවට වඩා පහත හෙළීමේ ප්‍රශ්නය වනුයේ එසේ කිරීම සඳහා පෞද්ගලික ණය වර්ධනය සීමා කිරීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කිරීමයි. එහෙත්, දැනට සිදු වන පරිදි, දැඩි රාජ්‍යමූල්‍ය විනයක් දිගටම පවත්වා ගත හැකිනම්, මුදල් සැපයුමේ වර්ධන වේගය අඩු මට්ටමක පවත්වා ගන්නා අතරම, පෞද්ගලික ණය වර්ධන වේගය සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ හැරීම අපහසු කාර්යයයක් නෙමෙයි.

ඉලක්කය කොපමණ විචලනය වීමට ඉඩ දිය යුතුද?

විචලන සීමාව අඩු වන්නේනම් හොඳ වුවත්, දැනට පවතින 2% විචලන පරාසය වුවද මහ බැංකුවට අභියෝගයක්ව පවතින බැවින් එය තව දුරටත් අඩු කර ගැනීම ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. එබැවින් වඩා සුදුසු වන්නේ විචලන පරාසය නොවෙනස්ව දැන් මට්ටමේම පවත්වා ගැනීමයි.

මේ අනුව, අපගේ යෝජනාව වනුයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ගණනය කරන මතුපිට උද්ධමන අගයේ මාස තුනක සාමාන්‍ය අගය, ඉදිරි වසර තුනක කාලය තුළ එක එක් කාර්තුව තුළ, 2%ක විචලන පරාසයකට යටත්ව, 4% හෝ 3% මට්ටමේ පවත්වා ගැනීම වඩාත්ම යෝග්‍ය බවයි. මෙම අගයන් දෙක අතරින්ද, රටේ විදේශ අංශය ශක්තිමත් කර ගැනීම ගැන සිතන්නේනම් වඩා යෝග්‍ය වනුයේ 3% මට්ටම වන අතර අපගේ අදහස අනුව 4% යනු මහ බැංකුව විසින් ඉලක්ක කළ යුතු උපරිම මට්ටමයි.

කෙසේ වුවත්, මහ බැංකුවේ හැසිරීම් අනුව දැනට පෙනෙන්නේ උද්ධමන ඉලක්කය 3% වැනි මට්ටමක් දක්වා පහත හෙළීමට මහ බැංකුවේ වැඩි කැමැත්තක් නොමැති බවයි. 

3 comments:

  1. ඊකොනෝ අප මුලින්ම වටහාගත යුතු මූලිකම සත්‍යය නම්, මේ මොහොතේ ලංකාවේ ආර්ථිකයේ ප්‍රමුඛතම ඉලක්කය විය යුත්තේ 'ආර්ථික වර්ධනය' (Economic Growth) මිස උද්ධමනය පාලනය කිරීම පමණක්ම නොවන බවයි. යම් හෙයකින් සාපේක්ෂව ඉහළ උද්ධමනයක් පවත්වා ගනිමින් හෝ ආර්ථික වර්ධනය උත්තේජනය කළ හැකිනම්, එය කිසිසේත්ම නරක උපායමාර්ගයක් නොවෙයි. මොකද, රියල් 'තථ්‍ය දළ දේශීය නිෂ්පාදිතය(Real GDP) වර්ධනය වෙනවා කියන්නේ රටේ සැබෑ නිෂ්පාදනය ඉහළ යාමක් මිසක් දැන් මාලිමා ආණ්ඩුව කරන විදියට ඒක කෘතිම හෝ මවාගත් දෙයක් නෙවෙයි, ඒක තමයි සැබෑ ප්‍රගතිය.

    නමුත් මෙතැනදී ලංකාවේ රජය මුහුණ දෙන සැබෑ අර්බුදය වෙනත් එකක්. රජයක් හෝ මධ්‍යම බැංකුවක් මුදල් මුද්‍රණය කළ පළියටම හැමවිටම ආර්ථික වර්ධනයක් සිදු වන්නේ නැහැ. යම් හෙයකින් එහෙම වර්ධනයක් සිදු වුණත්, ඒ ක්‍රියාවලියට සීමාවක් (threshold) තියෙනවා. අන්න ඒ යථාර්ථය නිසාම, අපට එක රැයකින් උද්ධමන ඉලක්ක පහළ දැමිය නොහැකියි. එය කළ යුත්තේ ඉතාමත් ක්‍රමානුකූලව සහ පියවරෙන් පියවරයි.

    අනෙක් අතට, ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් (Debt Restructuring) පසුව වුවත්, ලංකාවේ දිගුකාලීන බැඳුම්කර පොලී අනුපාතික තවමත් පවතින්නේ දෙකේ ඉලක්කම්වල හෝ ඒ ආසන්නයේයි. බැඳුම්කරවල කල් පිරීමේ කාලය (Maturity profile) ඉතා දිගු නිසා, නාමික පොලී අනුපාත (Nominal interest rates) ඉදිරි වසර කිහිපය තුළ එකවරම පහත වැටෙන්නේ නැහැ.

    මෙන්න මේ වටපිටාව ඇතුළේ, අප උද්ධමනය ඉතා වේගයෙන් පහත හෙළීමට උත්සාහ කළහොත් සිදු වන්නේ නාමික පොලී අනුපාත පහත වැටෙනවා වෙනුවට, 'තථ්‍ය පොලී අනුපාතය' (Real Interest Rate) ශීඝ්‍රයෙන් ඉහළ යනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ ව්‍යාපාරිකයන් ණය ලබාගැනීමට අධෛර්යමත් වීමයි. ණය වර්ධනය අඩාල වූ විට සමස්ත ආර්ථික වර්ධනයම අඩපණ වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ, අවම වශයෙන් ඉදිරි වසර තුනක කාලය තුළවත් මේ සාධක අතර ඉතා සියුම් සමතුලිතතාවක් (Fine balance) පවත්වා ගැනීම අනිවාර්යයි කියලා.

    අවසාන වශයෙන්, මේ දිනවල ඇතැමුන් කතා කරන කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) හෝ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) වැනි දර්ශකයන් සමඟ සෙල්ලම් කරන්නේ කොහොමද කියා පැහැදිලි කරමින් පෝස්ට් එකක් දාන්න පුළුවන් වෙයි ද

    හැ,බැයි. මොකද උද්ධමනය කියන්නේ මේ මිල දර්ශකයන්ගේ වර්ධන වේගයයි (growth rate of an index). සරල ගණිතමය සිද්ධාන්තයක් ලෙස, ඔබ දේශපාලනික හෝ වෙනත් පීඩනයක් මත අද දවසේ පවතින දර්ශක අගය සැබෑ අගයට වඩා අඩුවෙන් පෙන්වීමට උත්සාහ කළහොත්, එහි 'පදනම් බලපෑම' (Base Effect) නිසා හරියටම තව වසරකින් උද්ධමන අනුපාතිකය සැබෑ මට්ටමට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නවා. මේ ආණ්ඩුව කරනවා වගේ සංඛ්‍යාලේඛන සමඟ සෙල්ලම් කළ නොහැක්කේ ඒ නිසයි.

    ReplyDelete
  2. තාමත් ලංකාවේ දැනුම කේන්ද්‍ර කරගත් ව්‍යාපාර රටේ ආර්ථිකයට තියන දායකත්වය සෑහෙන අඩුයි🥲
    විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේශන බහුතරයක් ඒ රටවල සාමාන්‍ය පුරවැසියන්ට අවම වැටුප ඉහල අගයක් වෙන නිසා ඒ වෙනුවට ඊට අඩු වැටුපකට වැඩ කරන අය.

    ලංකාවේ සංචාරක කර්මාන්තය සහ එයින් ලැබෙන ආදායමත් කොහෙත්ම ගැළපෙන්නේ නෑ. ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් හොයන ගානම මාලදිවයිනත් හොයනව🤣
    රටේ ආර්ථිකය ගොඩ දාන්න නම් උපාධිධාරීන් ගොඩ වැඩි කරනවට වඩා නවෝත්පාදනය, විශ්ව විද්‍යාල සහ කර්මාන්ත සහයෝගිතාවය වැඩි කිරීම, තරගකාරී විදෙස් සමාගම් වලට දොර ඇරීම කර යුතුයි.
    රැල්ලට ඉගෙනගන්න ගියාම ඔහොම වෙනවා, මේ දවස්වල ඉන්දියාව දිහා බැලුවොත් ඕක තේරෙනවා. ඉන්දියාවේ ළමයිම පාරට බැහැල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලනවා.

    ReplyDelete
  3. සෙක්කුවෙ බැඳි ගොනුන් වාගෙයි අපේ ළමයි
    පොතේ දැනුම උකහාගන්නට දැක්කෙයි
    ඒකම වමාරා කනකොට ලකුණු ලැබෙයි
    අපි එක තැනම - කොයි කාටත් අබ සරණයි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: